සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]


 


1 දිගහැරුම

මේඝගේ අඳුරු කුටිය තුළ තිබුණේ මළගෙයක නිහඬතාවයකි. දහවල් කාලයේ පවා ජනෙල් රෙදි තදින් වසා තිබූ අතර, කාමරය පුරාවට පැතිරී තිබුණේ දුම්කොළ, මත්පැන් සහ දින ගණනාවකින් හිරු එළිය නොදුටු දූවිලි මුසු පිලී ගඳකි. මේසය මත තිබූ අළු බඳුන සිගරට් කොටවලින් පිරී ඉතිරී ගොස් තිබුණි.

ඔහු සිටියේ ඇඳ මත වාඩි වී හිස් බැල්මකින් බිත්තිය දෙස බලාගෙනය. ඔහුගේ දෑස් යට කළු වී කම්මුල් ඇතුළට ගිලී තිබුණි. කලක් අපරාධ විද්‍යාවේ ජීවමාන පුස්තකාලය යැයි විරුදාවලිය ලත් ඒ තියුණු පරීක්ෂකයාගෙන් අද ඉතිරිව ඇත්තේ ඇටසැකිල්ලක් බඳු රුවක් පමණි. බීමත්කම නිසා සේවයෙන් නෙරපා හැරීම ඔහුට කිසිසේත්ම වේදනාවක් නොවීය. ඔහුට වේදනාව වූයේ තමා පණ මෙන් ආදරය කළ ගැහැනිය තමාගේම ඇස් ඉදිරිපිට තවත් අයෙකුගේ අත පතා යන අයුරු දැකීමයි.

මේඝ මේසය මත තිබූ මත්පැන් බෝතලය අතට ගෙන එක උගුරට අවසන් කළේ හදවතට දැනුණු අධික වේදනාවට එකම ඔසුව එය වූ බැවිනි. කාමරයේ දොර විවෘත වන හඬක් ඇසුණද මේඝ සිටි තැනින් සෙලවුණේවත් නැත.

“උඹට මේ සෙල්ලම නතර කරන්න අදහසක් නැද්ද මේඝ?” මාධවගේ ගැඹුරු හඬ කාමරයේ බිත්තිවල හැපී දෝංකාර දුන්නද මේඝ සෙලවුණේවත් නැත. මාධව පියවර කිහිපයක් ඉදිරියට තබා මේඝ අත තිබූ හිස් බෝතලය අතට ගත්තේය. මාධව යනු රාජකාරියේදී මේඝට හමුවූ දක්ෂතම පරීක්ෂකයෙකි. වෘත්තිමය වශයෙන් මාධව මේඝට වඩා නිලයෙන් අඩු වුවත්, ඔවුන් දෙදෙනා අතර තිබුණේ ඉතාමත් කුළුපග මිත්‍රත්වයකි. නිල ඇඳුම නොමැති කිසිදු තැනක මේඝ, මාධවව තමාගේ පහළ නිලධාරියෙක් ලෙස නොසැලකුවේය.

“පොලිස් නිල ඇඳුම ඇඳලා ඉන්නකොට උඹව දැකපු මිනීමරුවො පවා වෙව්ලුවා. කවදාවත් උඹේ වචනෙකට පිටින් කවුරුත් කතා කළේ නෑ. ඒත් අද මේ බෝතලේ ඉස්සරහා උඹ වෙව්ලනවා. ඒක උඹට ලැජ්ජාවක් නෙමේද?”

මේඝ සෙමෙන් හිස හැරෙවුවේය. ඔහුගේ දෑස් රතු වී තිබුණි. “ලැජ්ජාව තියෙන්නෙ පණ තියෙන මිනිස්සුන්ටනෙ මාධව.. මම දැන් පණ පිටින් ඉන්න මළකඳක් විතරයි. මාව මේ විදියට කුණු වෙන්න ඇරලා උඹ පලයන්. හැමදාම කියනවා වගේ උඹට ලොකු ගමනක් තියෙනවා. පණ ඇදෙන මගෙ ගැන හොයන්නෙ නැතුව උඹේ ගමන් හදා ගනින්.”

මාධව තදින් මේසයට පහරක් ගැසුවේය. “නැහැ, උඹේ දක්ෂකම පාවිච්චි නොකර මෙතන මැරිලා යන්න මම ඉඩ දෙන්නෙ නැහැ. බලපන් මේක!” මාධව තම නිල ඇඳුමෙහි සාක්කුවෙන් කළු පැහැති ලිපිගොනුවක් ගෙන මේඝගේ උකුළ මතට දැමුවේය.

“මේක නිකන්ම නිකම් අභිරහසක් නෙමෙයි. නුවරඑළිය සීතල මන්දිරය. අවුරුදු ගණනාවක් තිස්සෙ පොලිසියට විසඳන්න බැරි වුණ අභිරහසක්.” මාධව පියවරක් ඉදිරියට තබා, මේඝගේ ඇස් දෙස කෙලින් බලා මෙසේ කීවේය.

“අවුරුදු තිහකට විතර කලින් සීතල මන්දිරයේදී වෙච්ච ඒ සිද්ධිය අපිට පුහුණුවීම් කාලෙ ඉගැන්නුවා උඹට මතකයිනෙ මේඝ? එදා ඒක ‘අද්භූත සිද්ධියක්’ කියලා ෆයිල් එක වැහුණා කියලයි කිව්වෙ. ඒත් දැන් දවස් දෙකකට කලින් රෑක ඒ මන්දිරයේම කාමරයකින් තවත් මළ සිරුරක් හම්බවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේඝ... මේ පාර කේස් එක සෙල්ලම් නැහැ. එහේ ට්‍රිප් එකක් ගිය අපේ DIG සර්ගෙ පුතාට දැන් පිස්සු හැදිලා. කොල්ලව හොයාගන්න කොට මන්දිරය ඇතුළෙ සිහිසන් නැතුව වැටිලා ඉඳලා තියෙන්නෙ. සිහිය ආව වෙලාවේ ඉඳන් ‘ඇය එනවා... ඇය එනවා...’ කියලා කොල්ලා කෑගහනවා මිසක් වෙච්ච දේ ගැන වචනයක් කියන්නෙ නැහැ. ඩොක්ටර්ස්ලා කියන්නෙ කොල්ලා දරුණු මානසික කම්පනයකට පත්වෙලා කියලා.”

මාධව මේඝගේ උරහිසින් තදින් අල්ලා සෙලවීය. “මේක ‘සීරියල් කිලර්’ කෙනෙක්ගෙ වැඩක්ද, නැත්නම් ඒ මන්දිරයේ ඇත්තටම මොකක් හරි අද්භූත බලවේගයක් තියෙනවද කියලා දැනගන්න මට උඹේ ඒ තියුණු ඇස් දෙක ඕන කරනවා. මේඝ... ඒ කොල්ලා බේරගන්න නම් එදා ඒ සීතල මන්දිරයේ ඇත්තටම මොකක්ද වුණේ කියලා උඹ හොයන්න ඕනේ! ඒක කරන්න පුළුවන් උඹට විතරයි.”

“අද ලොක්කා මීටින් එකේදි උඹව හුඟක් මතක් කළා. මේක විසඳන්න පුළුවන් උඹටම විතරයි කිව්වා. ඒත් ලොක්කා කියනවා වගේ උඹට තියෙන ලොකුම ප්‍රශ්නය උඹේ බේබදුකමනෙ. ලොක්කා මේක මට බාර දුන්නෙ අන්තිම උත්සාහය විදියට. මොකද මට උඹ උදව් කරයි කියලා ලොක්කා බලාපොරොත්තු වෙනවා. ඒත් ලොකු විශ්වාසයක් නම් තිබුණෙ නෑ කියලා මට තේරුණා. මට මේකට උඹේ මොළේ ඕනෙ මේඝ. උඹේ මේ කාලකන්නි ජීවිතේ ඇපේට තියලා හරි මට මේක විසඳලා දියන්.”

මාධව පැවසූ කිසිවක් ගැන මේඝට වගක් නොවීය. මේසය මත තිබූ සිගරට් පෙට්ටියේ තිබූ අවසන් සිගරට්ටුවද දල්වා ගනිමින් ඉවත බලා ගත්තේය. මාධවට ඇවැසි වූයේ මේඝ මේ සිටින අපායෙන් කෙසේ හෝ ගලවා ගැනීමටය. නමුත් ඉතාම දරදඬු පුද්ගලයෙකු වූ මේඝ කිසිවෙකුගේ බහට අවනත නොවන්නෙකි. මාධවට ඇවැසි වූයේ මේ ලද අවස්ථාවෙන් මේඝ තුළ සිටින රහස් පරීක්ෂකයා උපායශීලීව නැවත අවදි කිරීමටය. උපතින්ම ගෙන ආ අමුතු ඉවක් ඇති මේඝ අභිමන්‍යුට මාධවගේ අදහස් හොඳින් වැටහිණි.

“ලොක්කා උඹට බාර දුන්නු වැඩේ උඹ කරපන් මාධව. මම දැන් ඔය රස්සාවෙ නෑ. අනික මේක උඹේ දක්ෂතාවය පෙන්වන්න හොඳ අවස්ථාවක්. උඹ හැදුණෙ මගෙ යටතෙ. මම දන්නවා උඹේ හැකියාව ගැන.”

“ඒ කියන්නෙ උඹ මට මේකට උදව් කරන්නෙ නැද්ද..?”

“ඔය අභිරහස් විසඳනවා තියා මට දැන් මගෙ ජීවිතේ තියෙන ප්‍රශ්නවත් විසඳගන්න බෑ.”

“ඒකත් එහෙමද..? හරි කමක් නෑ. අඩුම ගානෙ මේක බලලා කියපන් මට මේක විසඳන්න පුළුවන් වෙයිද කියලා.” මාධව තමාගේ අතේ තිබූ අවසාන තුරුම්පුවද දිග හැරියේය. මන්දිරයේ ස්වභාවයට මේඝ බොහෝසෙයින් කැමති වන බව මාධව දනී. මාධව මේ පින්තූරය රැගෙන ආවේ ඒ නිසාමය.

මේඝ ඔහුගේ වෙව්ලන ඇඟිලිවලින් ලිපිගොනුව විවෘත කළේය. එහි තිබූ පැරණි මන්දිරයේ කළු සුදු ඡායාරූපය දුටුවිට ඔහුට අමුතු සීතලක් දැනුණි. එම මන්දිරයේ තිබූ අඳුරු මලානික බව තමාගේ ජීවිතයට සමාන බව ඔහුට වැටහුණි.

ඡායාරූපය දෙස බලා සිටින මේඝගේ දෑස්වලින් අමුතු කාන්තියක් විහිදෙනු දුටු මාධවට තරමක සැනසීමක් දැනුණි. පෙර රාජකාරි සමයේද ඔහු කැමති ආකාරයේ අභිරහසක් හමු වූ විට මේඝගේ දෑස් මේ ලෙසින් දිලිසෙනු මාධව දැක ඇත.

“ඒක අභිරහසක් නෙමේ මාධව. ඒක මගෙ හිත වගේම හුදෙකලා මන්දිරයක්.” මේඝ කීවේ බිඳුණු හඬිනි. “හරි, මම උඹට උදව් කරන්නම්. හැබැයි එකක් මතක තියාගනින්; මම එතැනට යන්නෙ ඒක විසඳනවාට වැඩිය මට ලැබෙන්න ඕන මරණය එතැන තියෙනවාද බලන්න.”

මාධව මේඝ දෙස මොහොතක් නිහඬව බලා සිටියේය. “මරණය හරි ජීවිතය හරි උඹට හම්බවෙන්න ඕනෙ මොකක්ද කියලා ඒ මන්දිරය තීරණය කරයි. හෙට උදේ යන්න ලෑස්ති වෙලා හිටපන්.”

මාධව පිටව ගිය පසු මේඝ නැවතත් අඳුරේ ගිලුණි. ඔහු තමා ඉදිරියේ තිබූ මත්පැන් වීදුරුව දෙස බලා එය බිමට දමා කුඩු කළේය. විසිරුණු වීදුරු කැබලි මතින් ඔහුගේ මලානික රුව පිළිඹිබු විය. නුවරඑළියේ මීදුම ඔහු එනතුරු මඟ බලා සිටියේය.

********
 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."     
 



Comments

  1. Lassanai ikmanata ituru tika upload karanna.👍

    ReplyDelete
  2. සීතල මන්දිරය ලස්සන කතාවක් වෙයි කියල හිතනව. ඉක්මනට ඉතිරි කොටස් ටිකත් දාන්නෝ... good luck akke...❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1