11 වන දිගහැරුම 

මන්දිරයට පැමිණි විගස මාධව තම මිතුරාට එම ඡායාරූපය යවා පිළිතුරක් එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. පැයකට පමණ පසු මාධවගේ දුරකථනය නාද විය.

"මේඝ! විස්තර ලැබුණා," මාධව කලබලයෙන් පැවසුවේය. "මගේ යාළුවා පුදුම වෙලා අහනවා මට මේ අංකය කොහෙන්ද ලැබුණේ කියලා. මේ අංකය හිමි නිලධාරියාගේ නම වීරසිංහ. ඔහු 1993 අවුරුද්දේ මේ මන්දිරයේ අතුරුදහන් වීම් ගැන හොයන්න පත් කරලා හිටිය නිලධාරියාලු. හැබැයි පුදුමේ ඒක නෙවෙයි මේඝ..."

"මොකක්ද පුදුමේ?"

"වීරසිංහ කියන නිලධාරියා 1993 දෙසැම්බර් මාසේ මේ මන්දිරයේදී අතුරුදහන් වුණු බවට තමයි වාර්තාවල තියෙන්නේ. ඒත් මගේ යාළුවා කිව්වා ඒ මරණ පරීක්ෂණ වාර්තාවල පිටු කිහිපයක් ලේඛනාගාරයෙන් අතුරුදන් වෙලා කියලා. කවුරු හරි ඒ රහස හංගන්න උත්සාහ කරලා තියෙනවා."

"දෙසැම්බර් මාසේ... ඒ කියන්නේ මේ කාලේමයි," මේඝ තමාටම මුමුණා ගත්තේය. "ලේඛනාගාරයෙන් පිටු අතුරුදහන් වෙලා නම්, ඒක අහම්බයක් වෙන්න බෑ මාධව. කවුරු හරි ඒ වාර්තාවේ තිබුණු දෙයක් ලෝකෙට කියන්න බය වෙලා තියෙනවා."

මාධව සෙමින් ඇඳ මත හිඳගත්තේය. "ඔව්, ඒක මිනීමැරුමක් කියලා මිනීමරුවා දන්නවා නම්, ඔහු ඒ සාක්ෂි විනාශ කරන්න උත්සාහ කරන එක සාමාන්‍ය දෙයක්. අපිට වීරසිංහ ගැන තව විස්තර ඕනේ. ඔහු මොන වගේ නිලධාරියෙක්ද? ඔහු මෙතනට ඇවිල්ලා මොනවාද කළේ? ඔහුගේ අතුරුදහන් වීම කොහොමද සිද්ධ වුණේ? මේ හැමදේටම අපිට පිළිතුරු ඕනේ," මේඝ ස්ථිර හඬින් පැවසීය.

මාධව සුසුමක් හෙළීය. "මම දන්නේ නෑ මේඝ. ඒත් මම උත්සාහ කරන්නම්. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ. කවුරු හරි මේ රහස හංගන්න උත්සාහ කරනවා නම්, අපිටත් අනතුරක් වෙන්න පුළුවන්."

මේඝ මඳ සිනහවක් පෑවේය. "අනතුරට බයෙන් මේ පරීක්ෂණය නතර කරන්න බැහැ මාධව. අපි මේක විසඳන්න ඕනේ. උඹ දන්නවා මම වැඩකට අත ගැහුවොත් පණ දීලා හරි ඒක කරනවා. අපි දැන් මේකෙ ගොඩක් දුර ඇවිත්. කිසිම විදියකින් මම දැන් ආපහු හැරෙන්නේ නෑ. උඹ හෙට උදේම රස පරීක්ෂක වාර්තාව ගැන හොයලා බලන්න යමන්. ඒ බොත්තම, රෙදි පටිය සහ පෑන ගැන රස පරීක්ෂක වාර්තාවේ මොනවාද තියෙන්නේ කියලා මට දැනගන්න ඕනේ."

මාධව හිස වැනුවේය. "හරි මේඝ, මම ඒක ඉක්මනින් කරන්නම්."

දෙදෙනාම නිහඬ වූහ. කාමරය තුළ තිබුණේ මළගෙයක නිහඬතාවයකි. මන්දිරයේ අතීතය, ඒ අඳුරු රහස, තවමත් ඔවුන් වටා සැරිසරන බව ඔවුන්ට දැනුණි.

"මේක අවසන් කරන්න නම් ලේ මස් තියෙන මනුෂ්‍යයෙකුගේ බුද්ධියක් අවශ්‍යයි. අනික...." පියදාසගේ වචන මේඝගේ මනසේ නැවතත් දෝංකාර දුන්නේය. 'අනික' මොකක්ද? පියදාසට කියන්න බැරි වුණු ඒ දෙය.

කාමරයේ පැවති දැඩි නිහඬතාවය බිඳ දමමින් මාධව නැගී සිටියේය. ඔහුගේ අවධානය යොමු වූයේ බිත්තියක අඳුරු කෙළවරක එල්ලා තිබූ, දූවිලිවලින් වැසුණු සුලෝචනාගේ විශාල ඡායාරූපය දෙසටය.

"මේඝ, බලපන් මේක..." මාධව සෙමින් ඒ දෙසට පියනගමින් පැවසීය.

වසර ගණනාවක සිට දූවිලි තට්ටු බැඳී තිබීම නිසා පින්තූරය තරමක් අපැහැදිලි වී තිබුණි. මාධව තම අත්ලේ පිටිපසින් එහි වීදුරුව සෙමින් පිරිමැද්දේය. වීදුරුව බිඳී ගොස් තිබුණද ඡායාරූපයට කිසිවක් සිදුවී නොතිබුණි. මීදුමක් අතරින් මතුවන්නාක් මෙන් සුලෝචනාගේ රුව දර්ශනය විය. ඇය අතිශය රූමත් තරුණියකි. ඇගේ දෑස්වල තිබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි ගැඹුරු බවකි.

"හුඟක් ලස්සනයි... ඒත් ඒ ඇස්වල මොකක්දෝ ලොකු වේදනාවක් තියෙනවා වගේ," මාධව මුමුණන්නට විය.

ඔහුට එම පින්තූරය දෙස බලා සිටීමේදී ඇති වූයේ අමුතුම හැඟීමකි. ඒ රුව දෙස බලා සිටින විට, ඇය තවමත් එම මන්දිරය තුළම කොහේ හෝ ජීවත් වනවා වැනි හැඟීමක් ඔහු තුළ ජනිත විය. එම ආකර්ෂණය දරාගත නොහැකි වූ තැන, මාධව ඒ පින්තූරය බිත්තියෙන් ගලවා ගැනීමට උත්සාහ කළේය.

"මාධව! මොකද උඹ ඔය කරන්නේ?" මේඝ ඇසුවේ මවිතයෙනි.

"මට මේක තව ටිකක් ළඟින් බලන්න ඕනේ මේඝ. මට හිතෙනවා මේ පින්තූරෙට පණ තියෙනවා කියලා. මේ ඇස් අපි දිහා ඇත්තටම බලාගෙන ඉන්නවා වගේ දැනෙන්නේ නැද්ද?" මාධව වෙව්ලන දෑතින් පින්තූර රාමුව බිත්තියෙන් ගලවා ගත්තේය.

පින්තූරය අතට ගත් සැණින් මාධවගේ ගත සීතල වී ගියේය. ඒ රුවෙහි ඇති සජීවී බව කෙතරම්ද යත්, ඇගේ හුස්ම පවා තමාට දැනෙන බව ඔහුට සිතුණි. මේඝ නිහඬවම මාධව දෙස බලා සිටියේය. මාධව තවමත් සිටියේ ඒ රූපයෙන් වශී වූවාක් මෙනි. ඔහු සෙමින් සුලෝචනාගේ රුව පිරිමදිමින් ඇගේ සුන්දරත්වය වර්ණනා කරන්නට විය.

"බලපන් මේඝ... මේ වගේ ලස්සනක් මම ජීවිතේට දැකලා නැහැ. මේ හිනාව ඇතුළේ කොච්චර නම් අහිංසකකමක් තියෙනවාද? මෙච්චර අහිංසක කෙනෙක්ට කොහොමද මේ වගේ ඉරණමක් අත්වුණේ?" මාධවගේ හඬෙහි තිබුණේ මන්ත්‍රණයකට හසුවූවෙකුගේ ස්වරයකි.

නමුත් පුටුවේ වාඩි වී සිටි මේඝට මාධව කියන දේ ගැන කිසිදු තැකීමක් නොවීය. ඔහු තියුණු දෑස් යොමුව තිබුණේ මාධව පින්තූරය ගලවා ඉවත් කළ බිත්තියේ ඒ හිස් අවකාශය දෙසටය. වසර තිහක පමණ කාලයක් පින්තූර රාමුවෙන් වැසී තිබූ ඒ බිත්ති කොටස මන්දිරයේ අනෙක් බිත්තිවලට වඩා තරමක් වෙනස් බව ඔහුට නිරීක්ෂණය විය.

මේඝ සෙමින් නැගිට බිත්තිය අසලට ගියේය. ඔහු තම විදුලි පන්දම දල්වා එම ස්ථානය ඉතා සමීපව පරීක්ෂා කළේය.

"මාධව... උඹ ඔය ලස්සන ගැන කියවන එක නතර කරලා මෙතන බලපන්," මේඝ බර හඬින් පැවසීය.

මේඝ පින්තූරය රැඳවීමට භාවිතා කර තිබූ ඒ ආධාරකය දෙස ඉතා ඕනෑකමින් බැලුවේය. එය සාමාන්‍යයෙන් බිත්තියකට ගසන ඇනයක් හෝ කොක්කක් නොවන බව ඔහුට එකවරම වැටහුණි.

"මාධව, මේක බලපන්... මේක නිකන්ම ඇනයක් නෙමෙයි," මේඝ පින්තූරය තිබූ තැන ඉතිරිව තිබූ ලෝහමය කොටස පෙන්වමින් පැවසීය.

එය අඟල් කිහිපයක් දිග, සංකීර්ණ ලෙස නිමවන ලද කුඩා ලෝහමය ලීවරයක් වැනි උපකරණයකි. එහි මතුපිට දූවිලි තට්ටුවකින් වැසී තිබුණද, පින්තූර රාමුව ඉවත් කිරීමත් සමඟ එය මඳක් ඉදිරියට නෙරා විත් තිබුණි. එය පින්තූරයේ බරට අනුව ක්‍රියා කරන කිසියම් යාන්ත්‍රණයක කොටසක් බව මේඝගේ තියුණු මනසට වැටහුණි.

"මේක හරියට ස්විච් එකක් වගේ. පින්තූරය බිත්තියේ තියෙනකම් මේක ඇතුළට තෙරපිලා තියෙන්නේ. ඒත් දැන් පින්තූරය ගැලෙව්වාම මේක නිදහස් වෙලා," මේඝ එය සෙමින් පිරික්සමින් පැවසීය.

මාධව තවමත් සුලෝචනාගේ රූපය දෙස බලා සිටියද, මේඝගේ වචනත් සමඟ ඔහුගේ අවධානය බිත්තිය දෙසට යොමු විය.

"ඒ කියන්නේ මේ පින්තූරය ගැලෙව්වාම මොකක් හරි වෙන්න නියමිතයි කියලද උඹ කියන්නේ?"

මේඝ පිළිතුරක් දෙනවා වෙනුවට, ඒ ලෝහමය කොටස ඉතා පරෙස්සමෙන් බිත්තිය ඇතුළට තද කළේය. ඒ සමඟම මන්දිරයේ බිත්ති අතරින් අමුතුම ආකාරයේ 'කිරි කිරි' හඬක් ඇසෙන්නට විය. එය වසර ගණනාවකින් ක්‍රියා නොකළ යකඩ දම්වැල් හෝ රෝද කිහිපයක් එකිනෙක ගැටෙන හඬක් බඳුය.

මාධව පින්තූරය පසෙකට දමා වහාම පසුපසට පියවරක් තැබුවේය. "මේඝ! මොකක්ද ඒ වුණේ?"

බිත්තිය ඇතුළතින් තවත් බරැති යමක් හෙලවෙන හඬක් ඇසුණු අතර, මන්දිරයේ ඒ කොටසම මඳක් කම්පනය වන්නාක් මෙන් දැනුණි. ඒ සමඟම පිටුපසට ආ මේඝ කම්පනය හේතුවෙන් සමබරතාවය නොමැති වී ඇඳ මතට වැටුණි. මාධව ද ඇඳ මත වාඩි වූයේ සිදුවන දේ සිතා ගත නොහැකිවය.

ඒ සමඟම, කිසිවෙකු බලාපොරොත්තු නොවූ බිහිසුණු දෙයක් සිදු විය. ඔවුන් දෙදෙනා වාඩි වී සිටි ඇඳ යටින් මහා හෙණ හඬක් වැනි ශබ්දයක් නැගුණු අතර, මුළු කාමරයම කම්පනය වන්නට විය.

"මේඝ! මොකක්ද මේ වෙන්නේ?" මාධව බියෙන් මොරගෑවේය.

ඔවුන්ට ප්‍රතික්‍රියා කිරීමට හෝ ඇඳෙන් ඉවතට පැනීමට මොහොතක්වත් ලැබුණේ නැත. මුළු ඇඳම රඳවා තිබූ පොළොවේ කොටස එකවරම දෙබෑ වී, එය අඳුරු ප්‍රපාතයක් වැනි බිම් මහලක් තුළට සෙමින් කිඳා බසින්නට විය. ඔවුන් බියෙන් ඇඳේ හිස අත පැත්ත තදින් අල්ලා ගත්හ. මේඝ දෑස් පටු කරගෙන අවට බලන්නට උත්සාහ කළද, ඉහළ කාමරයේ ආලෝකය කෙමෙන් කෙමෙන් ඈත් වී ඔවුන් දෙදෙනා දැවැන්ත කළු කුහරයක් වැනි අඳුරු මාවතක් දිගේ පහළට ගමන් කරමින් සිටියහ.

තත්පර කිහිපයකට පසු, ඇඳ දැඩි ගැස්මක් සහිතව කොහේ හෝ නතර විය. දැන් ඔවුන් සිටින්නේ මන්දිරයටත් වඩා සීතල, අඳුරු, දූවිලි පිරි රහසිගත බිම් මහලකය.

"අපි... අපි කොහේද මේ ඉන්නේ?" මාධව වෙව්ලන හඬින් අසමින් තම විදුලි පන්දම දල්වන්නට උත්සාහ කළේය.

මේඝ සෙමින් ඇඳෙන් බිමට පය තැබුවේය. "මේක තමයි සුලෝචනාගේ රූපය පිටුපස තිබුණු සැබෑ රහස මාධව. මේක සාමාන්‍ය බිම් මහලක් නෙවෙයි, මේක මේ මන්දිරයේ තිබුණ රහස් උමගක් හෝ පර්යේෂණාගාරයක් වෙන්න ඕනේ."

විදුලි පන්දම් එළිය අඳුරු බිත්ති දිගේ වැටෙද්දී, ඔවුන්ට පෙනී ගියේ එහි වූයේ මන්දිරයේ ඉහළ මාලයට වඩා හාත්පසින්ම වෙනස් බියකරු දර්ශනයක් බවය. සුලෝචනා අතුරුදහන් වූයේ කොතැනටද යන්නට පිළිතුර මෙහි සැඟවී ඇති බව මේඝට සහතිකය. ඒ සමඟම මුළු පරිසරයම මළානික නිහඬතාවයකට පත් විය.

මේඝ සහ මාධව ඉතා පරෙස්සමෙන්, වෙව්ලන දෙපා තබමින් ඇඳෙන් බිමට බැස ගත්හ. ඔවුන් බිමට පය තැබූ සැණින්, කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව, යළිත් ඒ යකඩ දම්වැල් ක්‍රියාත්මක වන හඬ ඇසුණි.

"මේඝ! ඒක යනවා!" මාධව බියෙන් මොරගැසුවේය.

ඔවුන්ට කිසිවක් කිරීමට ඉඩ නොතබාම, ඔවුන් රැගෙන ආ ඇඳ සහිත පොළොවේ කොටස යළිත් ඉහළට ඇදී යන්නට විය. තත්පර කිහිපයක් ඇතුළත එය ඉහළ කාමරයේ සිවිලිම හා සමපාත වී, ඔවුන්ව මේ අඳුරු කුහරය තුළ තනි කරමින් සම්පූර්ණයෙන්ම වැසී ගියේය. දැන් ඔවුන්ට ඉහළින් පෙනෙන්නට තිබුණේ කළු පැහැති දැවැන්ත ගල් පුවරුවක් පමණි.

"අපි කොටු වුණා..." මාධව තමාටම මුමුණා ගත්තේය. ඔහුගේ විදුලි පන්දමේ ආලෝකය ඒ අඳුරු බිත්ති දිගේ වේගයෙන් එහා මෙහා විය.

මේඝ වටපිට බැලුවේය. ඔවුන් සිටින්නේ ඉතා පරෙස්සම් විය යුතු, තෙතමනය සහිත උමං මාර්ගයක් බඳු ස්ථානයකය. එහි බිත්තිවලින් වතුර බිංදු වැටෙන හඬ "ටොක්... ටොක්..." ගා දෝංකාර දුන්නේය. කොතරම් අපිරිසිදු වුවත් ඔවුන්ට හුස්ම ගැනීමට හැකි පිරිසිදු වාතය එහි පවතින බව මේඝගේ නහයට දැනුණි.

"බය වෙන්න එපා මාධව, මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ බර අනුවයි. අපි ඇඳෙන් බැස්ස ගමන් ඒකෙ බර අඩු වුණ නිසා ඒක ආපහු මුල් තැනට ගියා," මේඝ ඉතා සන්සුන්ව පැහැදිලි කළේය. "ඒ කියන්නේ මේ රහස් කාමරයට කවුරු හරි ආවොත්, ආපු කෙනා බිමට බැස්ස ගමන් ඇඳ ආපහු උඩට යනවා. එතකොට උඩ ඉන්න කෙනෙක්ට හිතෙන්නේ නෑ පහළ මෙහෙම දෙයක් තියෙනවා කියලා."

මාධවට දැනුණේ තමාගේ හුස්ම හිරවනවාක් මෙනි. "හරි මේඝ, ඒත් අපි දැන් කොහොමද ආපහු උඩට යන්නේ? අනික බලපන් මේකේ හැටි... මේක නිකන් මිනී වළක් වගේ."

මේඝ ඉදිරියට පියවරක් තැබුවේය. "උඩට යන එක ගැන පස්සේ හිතමු. දැන් අපිට තියෙන එකම මාවත මේ ඉදිරියට තියෙන උමග විතරයි. මේක කොහේට හරි වැටෙන්න ඕනේ. අනික මේක ඇතුළට පිරිසිදු වාතය එන විදියක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ විදිය හොයා ගත්තොත් අපිට එළියට යන මඟක් හොයා ගන්න පුළුවන්."

විදුලි පන්දම් එළියෙන් ඔවුන් දුටුවේ උමග කෙළවරේ තිබූ දිරාපත් වූ ලී දොරකි. ඒ දොර මඳක් විවෘතව තිබූ අතර, එතැනින් එන අමුතුම ආකාරයේ 'පොසිල' ගඳක් මුළු උමග පුරාම පැතිරී තිබුණි. ඒ දෙසට යන සෑම පියවරක්ම ඔවුන්ව තවත් භීතියකට සමීප කරමින් තිබුණි. මාධව සහ මේඝ ඉදිරියට පියවර තැබුවේ අතිශය බිහිසුණු අත්දැකීමකට මුහුණ දීමට සිත හදාගනිමිනි. එම උමග සාමාන්‍ය ගමන් මාර්ගයකට වඩා මරණයේ නිහඬතාවය රජ කරන සොහොන් ගැබක් බඳු විය.

උමග දෙපස ඇති බිත්ති කළු පැහැති කළුගලින් නිමවා තිබූ අතර, ඒවායේ තෙතමනය නිසා අමුතුම ආකාරයේ සෙවල තට්ටුවක් බැඳී තිබුණි. විදුලි පන්දම් එළිය එම බිත්ති මතට වැටෙද්දී, සෙවල තට්ටුව අතරින් දිලිසෙන්නේ මිනිස් ඇස් මෙන් පෙනෙන අමුතුම වර්ගයේ දිලීර විශේෂයකි. උමග වහලයෙන් වරින් වර වැටෙන ලේ පැහැති මලකඩ මුසු ජල බිංදු ඔවුන්ගේ සිරුරට දැනෙද්දී ගත කිලිපොළා ගියේය.

"මේඝ... බලපන් මේවා..." මාධව වෙව්ලන හඬින් පැවසුවේ තම විදුලි පන්දම බිත්තියක් දෙසට යොමු කරමිනි.

උමග බිත්තිවල තැනින් තැන යකඩ දම්වැල් සවි කර තිබූ අතර, ඒවායේ මලකඩ කෑ විලංගු තවමත් එල්ලෙමින් පවතී. ඒවා මීට දශක කිහිපයකට පෙර මෙහි සිර කර සිටි මිනිසුන්ගේ වේදනාත්මක අතීතය කියා පෑවේය. බිම දිගේ විසිරී තිබුණේ දිරාපත් වූ රෙදි කැබලි, කැඩුණු වීදුරු බෝතල් සහ හඳුනාගත නොහැකි සත්ව ඇටකටු කිහිපයකි. උමග දිගේ හමා ආවේ මළ සිරුරක ගඳට සමාන වූ, නහය පසාරු කරගෙන යන තදබල අපුල ගන්ධයකි.

"මේක සුද්දගේ කාලේ රහස් සිරමැදිරියක් වගේ."

ඔවුන් මීටර් සියයක් පමණ ඉදිරියට යද්දී උමග ක්‍රමයෙන් පටු විය. වවුලන් රංචු පිටින් ඔවුන්ගේ හිසට ඉහළින් පියාසර කරමින් අඳුරට අතුරුදහන් වූහ. එක්වරම ඔවුන්ගේ ඉදිරියෙන් දිස්වූයේ ඉහළට විහිදුණු පරණ යකඩ ඉණිමඟකි. එය අතිශය පැරණි වුවත් දිරාපත් වී නොතිබුණි.

"අපි කෙළවරට ඇවිත් වගේ," මේඝ සෙමින් පැවසීය.

ඔවුන් ඉතා පරෙස්සමෙන් ඉණිමඟ දිගේ ඉහළට නැගී ඒ අවට පරීක්ෂා කළහ. කුඩා ගුහාවක් වැනි කොටසක දම්වැලක් එල්ලෙනු දුටු මේඝ එය තදින් පහළට ඇද්දේය, එහි තිබූ බරැති යකඩ පුවරුවක් සෙමින් තල්ලු වෙනු ඔවුන්ට දැක ගත හැකි විය. මේඝ පළමුවෙන්ම ඉහළට හිස දමා බැලුවේය. ඔවුන් මතු වූයේ ඊයේ රාත්‍රියේ ඔවුන් පරීක්ෂා කළ ඒ පරණ ගබඩාව තුළටය!

ගබඩාවේ කෙළවරක තිබූ අතිවිශාල පෞරාණික වී පෙට්ටියක් බඳු යකඩ ව්‍යුහයක් ඇතුළතින් මෙම රහස් මාර්ගය ගබඩාවට විවෘත වී තිබුණි. පිටතින් බලන අයෙකුට එය සාමාන්‍ය යකඩ පෙට්ටියක් මිස රහස් මාර්ගයක දොරටුවක් යැයි කිසිසේත්ම සිතිය නොහැකි ලෙස එය සකසා තිබුණි.

"මේක කවුරු හරි තවමත් පාවිච්චි කරනවා මාධව. නැත්නම් මේ තරම් ලේසියෙන් මේ දම්වැල් අදින්න පුළුවන් වෙන්නේ නෑ."

"ඔව්, ඒක මටත් හිතුණා."

"කවුරුත් හිතන්නේ නැති වෙයි මේ ගබඩාවයි මන්දිරයයි ඇතුළතින් සම්බන්ධයි කියලා. ඒ කියන්නේ මේඝ... කළු ලෝගුකාරයා මේ මන්දිරයට එන්නේ මේ රහස් පාරෙන් වෙන්න ඕනේ. ඒත් ඌ කවදාවත් කාමරෙන් මතු වෙලා නෑනේ. එහෙම බැලුවොත් අපි ඉන්න කාමරේ හරිම අනාරක්ෂිත තැනක්."

ගබඩාව තුළ තිබූ ඒ මළානික එළිය ඔවුන්ගේ සෙවනැලි බිත්තිය මත මහා යෝධයන් මෙන් මවා පෑවේය. මේඝ ගබඩාවේ තිබූ ඒ අඳුරු කුහරය දෙස බලා සිටියේ දැඩි කම්පනයකිනි. සියල්ල එකිනෙකට ගැළපෙන්නට පටන් ගෙන තිබුණි.

"දැන් පැහැදිලියි මාධව... සුලෝචනා අතුරුදහන් වුණේ කොහොමද කියලා කාටවත් හොයාගන්න බැරි වුණේ ඇයි කියලා," මේඝ බර හඬින් පැවසීය. "මුළු ගමම, පොලිසියම මන්දිරයෙන් පිටත ඇයව හෙව්වා. ඒත් ඇයව අතුරුදහන් කළේ මන්දිරය ඇතුළෙමයි. ඇය නිදාගෙන හිටපු ඇඳත් එක්කම ඇයව මේ අපායට ඇදලා ගෙන තියෙනවා." සමහර විට පොලිසිය පරීක්ෂණ කරනකොටත් සුලෝචනා මේ උමගේ හිර වෙලා ඉන්න ඇති.

මාධවට සිහිපත් වූයේ පින්තූරයේ සිටි සුලෝචනාගේ රුවයි. ඒ අහිංසක තරුණිය තමා නිදා සිටියදීම මෙවැනි අඳුරු, පාලුවට ගිය උමගක් තුළට ඇද වැටෙද්දී දැනුණු බිය ඔහුට මවාගත හැකිය.

"ඒ කියන්නේ මේඝ... කවුරු හරි ඒ කාලේ ඉඳලම මේ මන්දිරයේ රහස් යාන්ත්‍රණය ගැන දැනගෙන ඉඳලා තියෙනවා. සුලෝචනාට වුණේ මොකක්ද කියලා දන්න කෙනෙක් මේ රහස් පාර දිගේ ඇයව මේ ගබඩාවට ගෙනත්, එතනින් එහාට අතුරුදහන් කරලා තියෙනවා."

මේඝ ගබඩාවේ පොළොව දෙසට තම විදුලි පන්දම යොමු කළේය. ගබඩාව තුළ රජ කළේ මරණීය නිහඬතාවයකි. පියදාස පැවසූ පරිදි, මේ අබිරහස අවසන් කිරීමට "ලේ මස් තියෙන මනුෂ්‍යයෙකුගේ බුද්ධියක්" අවශ්‍ය වී ඇත්තේ ඇයිදැයි දැන් මේඝට වැටහෙන්නට පටන් ගෙන තිබේ. මේ මන්දිරයේ බිත්ති අතර සහ පොළොව යට සැඟවී ඇත්තේ හුදු අද්භූත කතාවක් නොව, ඉතා සූක්ෂම ලෙස සැඟවූ මහා අපරාධ මාලාවකි.

"අපි ඉක්මනින් මෙතනින් යන්න ඕනේ මාධව. අපි මේ රහස හොයාගත්තා කියලා කිසිම කෙනෙක් දැනගන්න ඕනේ නෑ."

ඔවුන් දෙදෙනා ගබඩාවේ දොර දෙසට පියමං කරද්දී, ඈතින් පියදාසගේ ලන්තෑරුම් එළිය මීදුම අතරින් සෙමෙන් මතු වනු පෙනුණි. ඔහු මේ සියල්ල දෙස බලා සිටින්නාක් මෙන් මන්දිරයේ කෙළවරක නිසලව සිටිනු මේඝ දුටුවේය.


මන්දිරයේ කාමරයට යළිත් පිවිසි මේඝ සහ මාධව තුෂ්ණිම්භූතව බලා සිටියහ. තමන් මීට ස්වල්ප වේලාවකය පෙර මරණයේ දොරටුව අභියසට ගෙන ගිය ඒ බිහිසුණු ඇඳ, දැන් කිසිවක් සිදු නොවූ පරිද්දෙන් සුපුරුදු ස්ථානයේම තිබේ. එහි ඇති ඇතිරිලි පවා රැළි වැටී නොමැති තරමට සියල්ල යථා තත්ත්වයට පත් වී ඇත.

"මේක මැජික් එකක් නෙවෙයි මාධව... මේක ඉතාම දියුණු ඉංජිනේරු ශිල්පයක්," මේඝ පවසමින් කාමරය පුරා ඇවිදින්නට විය.

ඔහු මාධවගේ සහය ඇතිව ඉතා අපහසුවෙන් ඒ බරැති ඇඳ පසෙකට තල්ලු කළේය. පුදුමය නම්, ඇඳ පොළොවට කිසිදු ලෙසකින් සවි කර නොතිබීමයි. ඇඳ අයින් කළ පසු මේඝ යළිත් බිත්තියේ වූ රහස් ලීවරය ඇද බැලුවේය. නමුත් මෙවර කිසිදු හඬක් හෝ චලනයක් සිදු වූයේ නැත.

"බලපන් මාධව, දැන් ඒක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ උමගේ දොර ඇරෙන්න නම් මේ ඇඳ මෙතන තියෙන්නම ඕනේ," මේඝ පැවසීය.

මේඝ තුළ වූ පරීක්ෂණ නිලධාරියාගේ සහජ බුද්ධිය අවදි විය. ඔහු සෙමින් දණගසා, ඇඳ තිබූ ස්ථානයේ පොළොවට කන තබා ඇඟිලි තුඩුවලින් තට්ටු කරන්නට විය. "ටොක්... ටොක්... ටොක්..." සාමාන්‍ය හඬක් ඇසෙමින් තිබූ අතර, හරියටම ඇඳේ එක් කකුලක් තිබූ ස්ථානයට පැමිණි විට "ටොං..." යනුවෙන් වෙනස්ම, හිස් අවකාශයකින් එන හඬක් ඇසුණි.

"මාධව! මේක අහපන්. මෙතන සද්දේ වෙනස්!" මේඝ උද්යෝගයෙන් කෑගැසුවේය.

ඔහු වහාම ඇඳේ අනෙක් කකුල් තුන තිබූ ස්ථාන තුනද පරීක්ෂා කළේය. ඒ සෑම තැනකදීම ඇසුණේ එකම ආකාරයේ හිස් ශබ්දයකි. මේඝ නැගී සිට තම නළල පිසදා ගත්තේය.

"දැන් මට තේරෙනවා මේ රහස. මේ පොළොව යට තියෙන්නේ පීඩන සංවේදක හතරක්. ඒ කියන්නේ මේ උමගේ දොර ඇරෙන්න නම්, ඇඳේ කකුල් හතර හරියටම මේ ස්ථාන හතර මත පිහිටන්න ඕනේ. ඒ වගේම ඒකට ඇඳේ බරත් තියෙන්න ඕනේ. ඇඳ නැතුව නිකන් ලීවරය ඇද්දට වැඩක් වෙන්නේ නැහැ."

මාධව මවිතයෙන් තම මිතුරා දෙස බැලුවේය. "උඹ හරි මේඝ. ඒ කියන්නේ මේක හරියට 'Combination Lock' එකක් වගේ. ඇඳේ කකුල් හතර තමයි ඒ යතුර. ඒ නිශ්චිත බර ඒ ස්ථාන හතරටම එකවර වැටුණොත් විතරයි ලීවරය ඇද්දාම දොර ඇරෙන්නේ. ඒකයි අතීතයේ මේ ගැන හොයන්න ආපු අයට මේක අහුවෙන්න නැත්තේ. කවුද හිතන්නේ නිදාගන්න ඇඳක් කියන්නේ රහස් දොරක යතුරක් කියලා?"

සුලෝචනා ඒ රාත්‍රියේ ඇඳේ නිදාගෙන සිටීම නිසා ඇඳට අවශ්‍ය බර පවා ලැබී, ඉතා පහසුවෙන් ඇයව පොළොව යටට ගිල්වා ගන්නට අපරාධකරුට හැකි වූ බව ඔවුන්ට දැන් සහතිකය. මන්දිරයේ බිත්ති අතර සැඟවී ඇති දරුණුම රහසක මුල ඔවුන් දැන් අල්ලාගෙන සිටිති.

මේඝ ඒ ස්ථාන හතර දෙස බලා සිටියේ දැඩි විස්මයෙනි. ඔහු යළිත් සෙමින් බිම දණගසා, ඒ ස්ථානවල ඇති ගල් පුවරුවල නිමාව පරීක්ෂා කළේය.

"මාධව, මේක නිකම්ම යාන්ත්‍රණයක් නෙවෙයි. මේක අද කාලේ තියෙන තාක්ෂණයටත් වඩා සංකීර්ණ, ඉතාමත් ගැඹුරු සැලසුමක්," මේඝ තාර්කිකව කරුණු පැහැදිලි කරන්නට විය. "බලපන්, සාමාන්‍යයෙන් රහස් දොරක් කියන්නේ බිත්තියක් හරි පොළොවක් හරි විවෘත වෙන එකට. ඒත් මෙතන තියෙන්නේ 'බර සමතුලිතතාවය' මත පදනම් වුණු පද්ධතියක්. ඒ කාලේ මෙහෙම දෙයක් නිර්මාණය කරන්න නම්, භෞතික විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව ගැන පුදුම දැනුමක් තියෙන්න ඕනේ."

ඔහු එක් ස්ථානයක් පෙන්වමින් තවදුරටත් මෙසේ පැවසීය: "අපි හිතන්නේ තාක්ෂණය කියන්නේ විදුලිය හෝ පරිගණක කියලා විතරයි. ඒත් මේක යාන්ත්‍රික තර්කනවල ඉහළම අවස්ථාවක්. ඇඳේ බර ඒ ස්ථාන හතරටම සමානව බෙදිලා ගියොත් විතරයි අභ්‍යන්තරයේ තියෙන අගුල් නිදහස් වෙන්නේ. මේක හරියට අද කාලේ තියෙන 'Biometric' අගුලක් වගේමයි. හැබැයි මේක ක්‍රියා කරන්නේ ගුරුත්වාකර්ෂණයෙන්. ඒ කාලේ මෙවැනි නිර්මාණයක් කළ කෙනා මාරම දක්ෂයෙක්."

මාධව හිස වැනුවේ මේඝගේ කතාව අනුමත කරමිනි. "සැබෑවටම මේඝ, මේක අපිට දැන් හිතාගන්නවත් බැරි තරම් ගැඹුරු වැඩක්. මේ මන්දිරය හදපු කෙනා මේක නිර්මාණය කරලා තියෙන්නේ තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙක්ව හෝ හෝඩුවාවක් ලෝකයට රහසක් විදිහට අතුරුදහන් කරන්නයි. හදිස්සියක් වුණොත් හැංගෙන්න, පලා යන්න ඕනෑම දේකට. මේ තාක්ෂණය ඇතුළේ තියෙන්නේ බුද්ධියකට වඩා භයානක කපටිකමක්."

මේඝ ඇඳ දෙස බලා සිටියේ දැඩි කල්පනාවකිනි. ඉන්පසු ඔහු මාධව දෙසට හැරුණේය.

"මාධව, අපි මේ අගුල තාවකාලිකව වහලා දාන්න ඕනේ. අපි දැන් දන්නවා මේ උමග අනික් පැත්තෙන් මතු වෙන්නේ අර පරණ ගබඩාවෙන් කියලා. ඒ කියන්නේ කළු ලෝගුකාරයාට ඕනෑම වෙලාවක ඒ පැත්තෙන් ඇවිත් මේ ඇඳ හරහා අපේ කාමරයටම එන්න පුළුවන්," මේඝ අනතුරු ඇඟවීමේ ස්වරයෙන් පැවසීය.

"උඹ හරි මේඝ, අපේ ආරක්ෂාවට ඒක ලොකු ප්‍රශ්නයක්. අපි ඇඳ එතනින් අයින් කරලා තිබ්බොත් හොඳ නැද්ද?" මාධව ඇසුවේය.

"නෑ, එතකොට අපරාධකරු දැනගන්නවා අපි මේ රහස හොයාගත්තා කියලා. ඒ නිසා අපි ඇඳ තිබුණු තැනටම ගෙනියමු. හැබැයි අර කකුල් හතර අර නිශ්චිත ස්ථාන හතරටම සෙට් වෙන්න තියන්න එපා. පොඩ්ඩක් එහාට මෙහාට කරලා තියමු. එතකොට ලීවරය ඇද්දත් දොර විවෘත වෙන්නේ නැහැ. උමග පැත්තෙන් ආවත් කාටවත් මේක ඇතුළට එන්න බැහැ," මේඝ උපදෙස් දුන්නේය.

ඔවුන් දෙදෙනා එක්වී බරැති ඇඳ නැවතත් සුපුරුදු ස්ථානයට ඇදගෙන ගියහ. නමුත් මෙවර ඔවුන් ඉතා පරෙස්සම් වූයේ ඇඳේ කකුල් අර රහස් පීඩන සංවේදක මත හරියටම නොපිහිටන ලෙස තැබීමටයි. කකුල් හතර අඟල් කිහිපයක් පසෙකින් සිටින සේ ඇඳ ස්ථානගත කළ ඔවුන්, හදිසියකදී තමන්ට පමණක් ඉතා ඉක්මනින් එය නිවැරදි තැනට තල්ලු කරගත හැකි වන පරිදි කුඩා සලකුණු කිහිපයක් පොළොව මත තබා ගත්හ.

"දැන් හරි. මේ රහස දන්නේ අපි දෙන්නා විතරයි. දැන් අපි ආපහු පින්තූරය එල්ලමු," මේඝ පැවසීය.

මාධව සුලෝචනාගේ රුව සහිත රාමුව නැවතත් බිත්තියේ තිබූ ලීවරය මත රැඳෙව්වේය. දැන් කාමරය මීට පැයකට පෙර තිබූ ආකාරයටම කිසිදු වෙනසක් නැතිව දිස්වේ. මරණයේ දොරටුව තාවකාලිකව වසා දමා ඇති බවත්, තමන් දැන් යම් තරමක ආරක්ෂාවක සිටින බවත් ඔවුන්ට හැඟුණි.

මුළු මන්දිරයම යළිත් ඒ අද්භූත නිහඬතාවයේ ගිලී ගියේය. සුලෝචනාගේ රුව පිටුපස සැඟවුණු ඒ බියකරු තාක්ෂණික රහස යළිත් සැඟවූ ඔවුන්, මීළඟට මුහුණ දීමට ඇති අභියෝගය ගැන සිතමින් මඳක් නිහඬ වූහ.

*****


"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    
 

Comments

  1. Holaman na e kiyanne. Mara mola karayek thama hangila innr. Kathawa godariyak lassanayi

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1