දඟකාර ආඩම්බරී 14
14 වන දිගහැරුම
“මායාදුන්න මහත්තයෝ...”
“අම්මේ, ඔයා කතා කරන්න එපා. ටිකක් රෙස්ට් කරන්න.”
“නෑ භානුක පුතේ, අද මම කතා කළේ නැත්නම් මම මගෙ පුතාට ලොකු වැරැද්දක් කළා වෙනවා.”
“මගෙ අම්මා... මට වැරැද්දක් කරලා නෑ අම්මෙ.”
භානු ආන්ටිගෙ ඔළුව අතගාන ගමන් එහෙම කිව්වත් ආන්ටි ඒ කිසිම දෙයක් ඇහුවෙ නෑ. හෝ ගාලා අඬන ගමන් ආන්ටි මටත් එයා ළඟට එන්න කියලා ඔළුවෙන් කතා කළා.
“ඇයි ආන්ටි...?”
මම ආන්ටිගෙන් ඇහුවත් එයා මුකුත්ම කතා කළේ නෑ. මං දිහා ටිකක් වෙලා බලන් හිටිය ආන්ටිගෙ ඇස් දෙකෙන් හෝ ගාලා කඳුළු ගලාගෙන යනවා මම ඊළඟ තත්පරේදී දැක්කා.
“මායාදුන්න මහත්තයෝ...”
“ඇයි මේ? මොකක්ද භානුකලගෙ අම්මට තියෙන ප්‍රශ්නෙ? අපි පස්සෙ කතා කරමු. දැන් චුට්ටක් රෙස්ට් කරන්න.”
ඒ පාර අපේ සුදු සීයත් භානුලගෙ අම්මට කිව්වා. අඬන ගමන්ම භානුකලගෙ අම්මා ආයෙත් කතාව පටන් ගත්තා.
“මහත්තයො, මගෙ අතින් මහත්තයලට ලොකු වැරැද්දක් වෙලා තියෙනවා.”
“හරි ඉතින් අපි ඒවා පස්සෙ කතා කරමුකො භානුලගෙ අම්මෙ.”
“නෑ මහත්තයා, මට කතා කරන්න ඉඩ දෙන්න.”
“කමක් නෑ සුදු සීයා. අපේ අම්මට කතා කරන්න ඉඩ දෙන්න. එයාගෙ හිතේ තියෙන දේ කියන්න දෙන්න.”
“මහත්තයො, මේ ඉන්න භානුක මගෙ පුතා නෙමෙයි.”
“මොනවාද අපේ අම්මෙ මේ කියන්නෙ? මම ඔයාගෙ පුතා නෙමෙයි නම් කාගෙද? පිස්සු කියවන්නෙ නැතුව ඉන්න අම්මෙ. මේ ලෝකෙ මට ඉන්නෙ ඔයා විතරයි. කවුරු කොහොම මොනවා කිව්වත් ඔයා මගෙ අම්මා. මාව කුසින් වැදපු අම්මා.”
භානුක ආන්ටිගෙ අතින් අල්ලගෙන හෝ ගාලා කියවනවා. ඇත්තටම ඒ වෙලාවේ එතන හිටිය හැමෝම තුෂ්ණිම්භූත වෙලා හිටියෙ. මටත් හිතා ගන්න බැරි වුණා මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා. අමාරුවෙන් වචන ගලප ගලප භානුකලගෙ අම්මා ලොකු කතාවක් කියන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා. එතකොට කොහොමද අපේ සුදු සීයා මේ කතාවට සම්බන්ධ වුණේ? මෙලෝ මඟුලක් තේරෙන්නෙ නැති පැටලිච්ච නූල් බෝලෙක අග මුල හොයනවා වගේ.
භානු, ආන්ටිගෙ නෙමෙයි නම් කාගෙද? ඇයි ආන්ටි මටත් මෙතනට එන්න කිව්වෙ? මේ වගේ ප්‍රශ්න කෝටියක් මගෙ ඔළුවට ඇවිත් මගෙ ඔළුව තනිකරම කුණු ගොඩක් කළා. සාදියත් භානුක ගාවට ඇවිත් භානුගෙ අතින් අල්ල ගත්තා. මේ වෙලාවේ ඒකිවත් ළඟ හිටියෙ නැත්නම් ඇත්තටම භානු ගොඩක් අසරණ වෙනවා. භානු ගාවට ආපු සාදිගෙ අත අල්ල ගන්න ගමන් ආන්ටි දිග කතාවකට මුල පිරුවා.
“උඹට මතකද පුතේ උඹ මගෙන් ඇහුවා උඹට සහෝදරියක් ඉන්නවද කියලා? ඔව් පුතේ, ඒ විතරක් නෙමෙයි රත්තරන් සහෝදරයෙකුත් ඉන්නවා.”
“අම්මා...”
“භානුක…… මම උඹව කුසින් වැදපු අම්මා නෙමෙයි පුතේ. මම උඹව හදපු අම්මා. උඹව මේ ලෝකෙට ගෙනාපු ඒ රත්තරන් අම්මා උඹ ඉපදෙනකොටම ඇස් දෙක පියාගත්තා. මේ ඉන්නෙ උඹව මේ ලෝකෙට ජාතක කරපු උඹේ තාත්තගෙ තාත්තා. ඒ කියන්නෙ උඹේ සීයා පුතේ.”
ආන්ටිගෙ කටින් පිටවුණු ඒ වචන ටික ඇහුවම හැමෝම නිකන් කරකවලා අතෑරියා වගේ වුණා. මෙච්චර වෙලා ටිකක් එහාට වෙලා හිටිය සුදුත් ඒක ඇහුණු ගමන් දුවගෙන අපි ඉන්න තැනට ආවා.
“සුදු සීයෙ, මෙයාලා මොනවාද මේ කියන්නෙ...? කොහොමද භානුකගෙ අම්මා අපේ අම්මා වෙන්නෙ?”
“මටත් හිතා ගන්න බෑ සුදු පුතේ, මේක හරිම පටලැවිල්ලක්.”
“ඒ පටලැවිල්ල මම ලිහන්නම් මහත්තයෝ. එදා මට අද වගේ මතකයි. අසූ හතේ අප්‍රේල් පහළොව. අවුරුද්දට පස්සෙ දවසෙ. එදා ලොකු එක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා. එදා මහ ඉස්පිරිතාලෙ ගැබිනි වාට්ටුවෙ නයිට් ඩියුටි වැටිලා තිබ්බෙ මට. ඒ එක්සිඩන්ට් එක වෙලා ගෙනාපු ලෙඩ්ඩු දෙන්නටම ගොඩක් අමාරුයි. ඒකෙ හිටිය ගෑණු කෙනාට බබෙක් හම්බවෙන්න හිටියා.”
“ඒ මගෙ ලේලි. එදා තමයි ක්‍රිෂී දුව ඉපදුණේ. එතකොට එදා වාට්ටුවේ හිටිය නර්ස් ඔයාද...?”
“ඔව් මහත්තයෝ, එදා ඒ නර්ස් මහ පව් වැඩක් කළා.”
“ඒ කිව්වේ ආන්ටි...?”
“ක්‍රිෂි දුවේ, ඔයාගෙ තාත්තා එදා හොස්පිරිටල් ගෙනත් පැයකින් විතර නැති වුණා. අම්මා ඒ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. එදා ඔයාගෙ අම්මා මේ ලෝකෙට ඔයාව බිහි කරලා යන්න ගියා. ලේ වැඩිපුර පිටවෙච්ච එක නවත්වන්න කාටවත්ම බැරි වුණා දුවේ.”
“හරි ඉතින් ඒකට භානු සම්බන්ධ වෙන්නෙ කොහොමද?”
“එදා ඔයා මේ ලෝකෙට ආවේ තනියම නෙමෙයි දුවේ. මේ භානුක පුතත් එක්ක. ඔය දෙන්නා නිවුන් සහෝදරයො. එදා මම දැනන් හිටියේ නැහැ ඔයාගේ තාත්තා ලංකාවෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කියලා. අම්මත් නැති වුණාම දරුවො දෙන්නෙක් හදා ගන්න මායාදුන්න මහත්තයට බැරි වෙයි කියලා මම හිතුවෙ. අනික ගෙදරට විරුද්ධව හිතුවක්කාරකමට මිනිහෙක් එක්ක ගියාට මම දරුවො නැති වඳ ගෑනියෙක් කියලා දැන ගත්තෙ බැඳලා අවුරුදු තුනක් හතරක් ගියාට පස්සෙ. මම දරුවෙක් අරගෙන හදා ගමු කිව්වත් සෝමසිරි ඒකට කැමති වුණේ නෑ. එයා හැමදාම කිව්වෙ එයාගේ ලෙයින් උපන් එයාගෙම දරුවෙක් එයාට ඕන කියලා. එයාට ඒ දේ දෙන්න මට බැරි වුණා. ඒත් මේ දරුවො දෙන්නා දැක්ක ගමන් මට ආස හිතුණා. මගෙ මහත්තයා අකැමැති වුණත් මම දරුවෙක්ව හදා ගන්නවා කියන මතේ මම හිටියෙ. එදා අවුරුදු දවස් හින්දා ගොඩක් දොස්තරලත් නිවාඩු ගිහින්, මට ඉතින් මේ දරුවව පිට කරන්න අමාරු වුණේ නෑ. මම මුලින්ම වඩා ගත්තෙ ක්‍රිෂී දුවව. ඒත් දුවව වඩා ගත්ත ගමන්ම භානුක පුතා අඬන්න පටන් ගත්තා. ඊට පස්සෙ දුවව තියලා භානුක පුතාව මම එතනින් පිට කළා.”
දිගටම කතා කරගෙන ගියපු හින්දද කොහෙද භානුකලගෙ අම්මට කැස්සක් ආවා. ඒ හින්දා ටිකක් වෙලා ඉඳලා තමයි එයා ආයෙත් කතාව පටන් ගත්තෙ.
“එදා මායාදුන්න මහත්තයා වාට්ටුවට එද්දිත් මමයි වාට්ටුවෙ හිටියෙ. ඩියුටි ඕෆ් වෙලා යන්න වෙලාව ඇවිත් තිබුණත් මම හිටියේ මොනවාද වෙන්නෙ කියලා බලාගන්න. මායාදුන්න මහත්තයා ඇවිත් ක්‍රිෂී දුවව වඩාගෙන හුරතල් කරන කොට මගෙ ඇස් දෙකට කඳුළු ආවත්, මගෙ හිත මට බැන්නත් දරුවෙකුට තියෙන ලෝබකම හින්දා මම සද්ද නැතුව හිටියා. මහත්තයට මතකද එතන හිටිය තව ලෙඩෙක් ඇවිත් මහත්තයට කිව්වා ඔයාගෙ දුවට දරුවො දෙන්නෙක් හම්බුණා කියලා?”
“ඔව්... මට දැන් මතකයි. ඒත් එතන හිටිය නර්ස් කෙනෙක් මට කිව්වා ඒ මනුස්සයගෙ මොළේ අප්සට් එකක් තියෙනවා, ඒක හින්දා කියන කිසිම දෙයක් කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියලා.”
“එදා මහත්තයට එහෙම කිව්ව නර්ස් තමයි මම. මහත්තයා හිටියෙ පුතයි ලේලියි නැතිවුණ දුකින්. ඉතින් මහත්තයට ඒක ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ ගෑනු කෙනා හිටියෙත් ළමයා මැරිච්ච දුකින් පිස්සුවෙන් කියව කියව. ඒ නිසා එයා කියන දේවලුත් කවුරුත් ගණන් ගත්තෙ නෑ. මේ සිද්ධිය දැනන් හිටියෙ එදා රෑ ඩියුටි හිටිය දොස්තර නෝනයි තව නර්ස්ලා දෙන්නෙකුයි විතරයි. පස්සෙ මගෙ කණට වැටුණා මහත්තයලා දුවට දාපු නම භාවනා කියලා. ඒක නිසා මමත් මගෙ පුතාට භානුක කියලා නම දැම්මා. අන්තිමට භානුක පුතාව මම ගෙදර ගෙනාවා. ඒකට තරහෙන් පුපුර පුපුර හිටිය මගෙ මිනිහා අපිව දාලා වෙන ගෑනියෙක් එක්ක යන්න ගියා. මට කරන්නම දෙයක් නැති තැන මම දරුවත් අරන් ගමට ආවා. හැමෝම හිතුවෙ ඒ මගේම දරුවෙක් කියලා. ඒක හින්දා දරුවව හදා ගන්න මට මගේ මිනිස්සු ගොඩක් උදව් කළා. එදා ඉඳන් මගෙ ලෝකෙම පිරුණෙ මේ දරුවගෙන්. දරුවා මගේ කුසින් වැදුවේ නෑ කියලා හිතන්නවත් මම බය වුණා. පුංචි පුංචි අඩුපාඩුකම් ආවත් තුන් වේල කොහොම හරි කන්න දීලා මම මේ කොල්ලව ලොකු කළා මහත්තයො. හොඳට ඉගැන්නුවා. රටට හොඳ කොල්ලෙක් කළා.”
කතාව සේරම කියලා ඉවර වෙලා ආන්ටි ආයෙත් කහින්න පටන් ගත්තා. කවුරුවත්ම කතා කළේ නැති වුණාට හැමෝගේම හිත් ඇතුළෙන් හැමෝම කතා කරනවා කියලා කට්ටියගෙ මූණුවලින් පේන්න තිබුණා.
“මම මේ රහස මෙච්චර කාලයක් රැකගෙන උන්නෙ මගෙ පුතා මගෙන් ඈත් වෙලා යයි කියන බයට. ඒත් දැන් මටම මගෙ පුතාගෙන් ඈත් වෙලා යන්න වෙලා.”
“අ…අ..අම්මේ... මොනවාද මේ...?”
“නෑ භානුක, කතා කරන්න එපා. මම දන්නවා මේ ලෙඩේ හැදුණම මිනිස්සු ජීවත් වෙන්නෙ ටික කාලයයි. ඒත් මම සෑහෙන කල් ජීවත් වුණා. ඒත් දැන් මට යන්න කාලේ ඇවිල්ලා. මගෙ පුතා මේ ලෝකෙ තනි කරලා දාලා යන්න බැරි හින්දමයි මම මෙච්චර දවසක් හිත හයිය කරගෙන ජීවත් වුණේ. මම දන්නවා.... පුතාගෙ මැරුණ අම්මා හැමදාම ඔයා ළඟ හිටියා. එයා ඔයාව ආරක්ෂා කළා. ඒකයි අන්තිමට මේ ක්‍රිෂි දුවව මෙහෙට එව්වෙ. දැන් මගෙ පුතාට තනියක් නෑ. තමුන්ගෙම මිනිස්සු ළඟින් ඉන්නවා. ඒ වගේම මේ ගමේ නෑදෑයින්වත් අමතක කරන්න එපා මගෙ පුතේ. එයාලා ඔයාව හදාගන්න මට ගොඩක් ලොකු හයියක් වුණා. මායාදුන්න මහත්තයෝ.. දැන් මගෙ පුතාව ඔයාට භාරයි.”
“ඒත්…”
“මම දන්නවා මහත්තයෝ, මම කියපුවා කොහොම විශ්වාස කරන්නද නේද...?”
ආන්ටි මෙච්චර වෙලා හංගගෙන හිටිය ෆොටෝ එකක් අතට ගත්තා. ඒ පින්තූරෙ හිටියෙ භානුක. මගෙත් පුංචි කාලෙ ෆොටෝවල මම ඔය වගේමයි නේද කියලා මට මතක් වුණේ ඒක දැක්කම.
“මේ ඉන්නෙ භානුක පුතා චූටි කාලෙ. මහත්තයට දැන් විශ්වාසද? ක්‍රිෂී දුවගෙ චූටි කාලෙ වගේමයි නේද? අනික දෙන්නා දැනුත් එක වගේ. වෙනසකට තියෙන්නෙ දුවයි පුතයි වෙච්ච එක. හිනා වෙද්දි වුණත් දෙන්නගෙම මූණු වළගැහෙනවා. ඒත් විශ්වාස නැත්නම් මේක බලන්න මහත්තයො. මමත් මේ දෙන්නව අඳුනගත්තෙ මෙකෙන්. පුංචි කාලෙම මම මේ කැළල දැකලා තිබුණා.”
මෙච්චර වෙලා අපි කාටවත්ම මතක නැතුව තිබුණ දේ ආන්ටි හැමෝටම පෙන්නුවා. භානුගෙයි මගෙයි අත් දෙකම අරගෙන අතේ තියෙන කැළැල් දෙක පෙන්නද්දී, මම මෙහෙ ඉන්න ටික කාලෙදී මේ සම්බන්ධයෙන් වුණු හැම සිද්ධියම මගෙ මතකයට ගලාගෙන ආවා. එදා ආන්ටිව නාවනකොට එයා මේ ලපේ දිහා බලන් හිටියෙ මේක නිසා තමා.
“මහත්තයට එත් විශ්වාස නැත්නම් වෛද්‍ය පරීක්ෂණයක් තියන්න. එහෙමත් නැත්නම් එදා වෝඩ් එකේ හිටිය නර්ස්ලාගෙන් අහලා බලන්න.”
“ඒ කිසිම දෙයක් ඕනෙ නෑ. මට විශ්වාසයි. ඒක මට දැනුණෙ භානුක පුතාව දැකපු පළවෙනි දවසෙමයි. එයාගේ ලේ සුවඳට වෙන්න ඇති. බය වෙන්න එපා. මම භානුක පුතාව භාරගන්නවා.”
“ලොකු දෙයක් මහත්තයෝ. දැන් ඉතින් මට සැනසීමේ මැරිලා ගියෑකි.”
“අ.. අම්මා... ඔයාට පිස්සුද...?”
කතා කරන්න ශක්තිය ආපු පළවෙනි තත්පරේම භානු කතා කළා.
“නෑ පුතේ, උඹ හොඳින් ජීවත් වෙයං. මේ රත්තරන් කෙල්ලව කසාඳ බැඳපං.” සාදිගෙ අත අරගෙන භානුගෙ අතට තියලා තද කරලා මගෙ අතත් අරගෙන ඒ අත් දෙක උඩින් තිබ්බ ආන්ටි මට කිව්වෙ මෙච්චරයි.
“දුවේ, මට සමාවෙයං. උඹේ සහෝදරයව මම ඈත් කරලා තිබ්බා. ඒත් දැන් ඔයාට අයියලා දෙන්නෙක් ඉන්නවා. අද ඉඳන් මේ ඔයාගෙ අයියව ආරක්ෂා කරගන්න, එයාට හොඳ නංගි කෙනෙක් වෙන්න. මගෙ අන්තිම ඉල්ලීම වෙන්නෙ මෙන්න මේ හුරතල් කෙල්ලව මගෙ කොල්ලට කසාඳ බන්දලා දෙන්න.”
ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම ආන්ටිට ආයෙත් අර කැස්ස ආවා. ඉස්සෙල්ලා සැරවල්වලට වඩා කැස්ස ටිකක් තදට ආපු හින්දද කොහෙද ආන්ටිගෙ කටින් ලේත් ආවා. “කෝ කෝ කට්ටියම අයින් වෙන්න.”
අපි හැමෝම අයින් කරගෙන ආන්ටිගෙ ඇඳ වටේට එකතු වුණේ දොස්තරලයි නර්ස්ලයි.
********
වාට්ටුවෙන් එළියට ආවා විතරයි භානුක ඇවිත් මාව බදාගෙන අඬන්න පටන් ගත්තා.
“භා...නුක අයියෙ...”
අපි දෙන්නා බදාගෙන සෑහෙන වෙලා ඇඬුවා. කවුරුවත්ම අපි ගාවට ආවේ නෑ. අවුරුදු විසි හතරක් මගෙන් ඈත් වෙලා තිබුණ මගේම ලේ ආයෙත් මට හම්බවුණු එකේ සතුට මගෙ ඇඟේ හැම ලේ මස් නහරෙකටම එකතු වෙලා තියෙනවා මට තේරුණා.
“මම හිතුවා, මම සැක කළා නංගියෙ. මේ කැළල දැක්ක දවසෙ ඉඳන්ම මම සැක කළා. මගේ ගුරුවරුන්ගෙන්, කැම්පස් එකේ ලෙක්චර්ලගෙන්, ඩොක්ටර්ස්ලාගෙන්, පොත්පත්වලින් මේ හැම දේකින්ම මම හෙව්වා නංගියෙ. ඒත් මට තිබුණ එකම ප්‍රශ්නය අපි දෙන්නා දෙතැනක ඉන්නෙ ඇයි කියන එක. අන්තිමට මම අපේ අම්මගෙනුත් ඇහුවා. එයා මට කිව්වා මට විකාර කියලා. අන්තිමේ අපි දෙන්නගෙ මැරුණ අම්මයි තාත්තයි ඒකට උත්තර හොයාගෙන දුන්නා නංගියෙ.”
“එහෙනම් මම මේ දේවල් ගණන් ගත්තෙ නැති වුණාට ඔයා ගණන් ගත්තා. ඔයා එළකිරි පොරක්නෙ. එදා මම ඔයාව මගෙ අයියා කෙනෙක් හැටියට පිළිගත්ත එක අද ඇත්ත වුණා එහෙනම්.”
“මට දැන් කිසිම බයක් නෑ. මම හැමදාම දුක් වුණේ මට සහෝදරයෙක් නැති එකට. දැන් මට එක බඩවැල කඩාගෙන එකම වෙලාවෙ මේ ලෝකෙට ආපු මගේම නංගි කෙනෙක් ඉන්නවා.”
“එතකොට ඒ සහෝදරකමෙන් මාව අයින් කරලාද..?”
පිටිපස්සෙන් හිටගෙන හිටියෙ සුදු. සුදුගෙ ඇස් දෙකේ කඳුළු පිරිලා, රතු වෙලා තිබුණා.
“අයියෙ...”
“වචනයක් කතා කරන්න එපා. උඹලා දෙන්නා මාව ඇඬෙව්වා. මාව සහෝදරකමෙන් අයින් කළා.”
“අනේ...”
“කට... කට..... භානුක, උඹට නිකං හරි තිබුණා මාත් එක්ක කතා කරන්න. උඹට ඉන්නෙ ක්‍රිෂී විතරනෙ. උඹලා ඉඳපල්ලා, මම යනවා එහෙනම්.”
“අ.. අයියේ..”
යන්න හැරුණු සුදුගෙ අතේ භානුක එල්ලුණේ පොඩි එකෙක් වගේ.
“ක්‍රිෂී, මල්ලි කෙනෙක් නැති නිසා මම හැමදාම උඹෙන් මල්ලියෙක් බලාපොරොත්තු වුණා. දැන් ඉතින් උඹට ඒ චරිතෙට කණුව කියන්න වෙනවා. ආයෙ උඹට ඉස්සර ක්‍රිෂි වෙන්න ඕන නෑ. භාවනා වෙච්ච ක්‍රිෂි විදියටම ඉඳපං. දැන් මට මල්ලි කෙනෙක් ඉන්නවා. හැබැයි භානුක.... උඹට නංගි කෙනෙක් විතරක් නෙමෙයි අයියා කෙනෙකුත් ඉන්නවා කියලා මතක තියා ගනිං.”
“අනේ අයියෙ ම......ම... ”
“නෑ, උඹ මුකුත් කියන්න එපා. වරෙන් ඇවිත් මාව බදා ගනිං මගෙ මල්ලියේ...”
ඒ වෙලාවෙ සුදු හැසිරුණේ පොඩි ළමයෙක් වගේ. භානුකව බදාගෙන අඬන්නෙ මීට අවුරුදු හත අටකට කලින් මීගමුව හොල්ලපු භාවාද කියලා හිතෙනකොට මට පුදුම හිතුණා.
“ඒයි ක්‍රිෂි... මෙහෙට එනවා...”
“ඇයි සුදු...?”
“ඇයි ඇයි ගාන්නෙ, කතා කළාම ළඟට එනවකො.”
“හරි, දැන් මට කරන්න ලොකු වැඩක් තියෙනවා. මේ ගොන්නු දෙන්නා කඹේ කඩාගෙන දුවන්න කලින් හයිය කඹේකින් පොල් ගස් දෙකේ බැඳලා දාන්න ඕනා.”
අපි දෙන්නගෙ කරට අතදාගෙන සුදු කිව්ව කතාවට එතන හිටිය ඔක්කොම හිනා වුණා. ඇත්තටම අපේ කාඩ් මෙහෙමම්ම කුඩු කරලා සුදු මොනවා බලාපොරොත්තු වෙනවාද මන්දා.
“තාත්ති... තාත්ති...”
නෑනණ්ඩිගෙ අතින් අල්ලගෙන අපි ගාවට ආපු ශනු, සුදුගෙ ෂර්ට් එකෙන් අදින්න ගත්තා. මේ චූටි කෙල්ලටත් මාර ප්‍රශ්නයක්. ඇයි ඉතින් මොනවා තේරෙනවාද?
“ඇයි මගෙ චූටි පැටියෝ...?”
ශනුව වඩා ගන්න ගමන්ම අයියා ඇහුවා.
“එතකොට මේ ඉන්නෙ මගෙ බාප්පියද තාත්ති...?”
යකෝ මම හිතුවා තනිකරම වැරදියි කියලා. මේකිට තේරෙන තරමක්! ෂුවර් ඕක නම් නෑනගෙ ප්ලෑන් එකක්.
“ඔව් මගෙ දුවේ. මේ ඉන්නෙ ඔයාගෙ වන් ඇන්ඩ් ඔන්ලි බාප්පා.”
“එහෙනම් මම එයාට නම දානවා භානු බාප්පා කියලා. බාප්පි බාප්පි, මාව වඩා ගන්න.”
භානුකට අත දික්කරන ගමන් චූටි කෙල්ල කෑගැහුවා. “දැන් මට භානු බාප්පියි, ඉඳුවර මාමියි, සාදි පුංචියි සෙල්ලම් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා.”
“ඇත්තට, එහෙනම් ෂෝක් නේද මගෙ ශනුට.”
“මේ, ඔයා කාට මොන නම් කිව්වත් කමක් නෑ. තාම මම සාදි අක්කා හරිද?”
කොහෙන්දෝ ඉඳලා පාත් වෙච්ච සාදියා ශානුට බරබරයක් දැම්මා.
“ක්‍රිෂී, අපි දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ෂිප් එක එහෙනම් නෑකමකටත් පෙරළුණා. දැන් මම උඹේ දෙවැනි නෑණණ්ඩි.”
“ඔව් බං. චන්දු අංකල් මේක දැන ගත්තම ගොඩක් සතුටු වෙයි.”
කවුරු කොහොම සතුටින් හිටියත් භානුක වගේම නෙළුම්ලගෙ පවුලෙ හැමෝමත් හිටියෙ ලොකු වේදනාවකින්. භානුකගෙ අම්මා ඉන්න තත්ත්වය එයාලට දරාගන්න බෑ කියලා ඒ මූණුවලින් පේන්න තිබුණා. භානුකගෙ නොයිවසිලිමත් ඇස් වෝඩ් එක පැත්තම බලාගෙන හිටියෙ ඒ හින්දමයි.
සුදු සීයා භානුක ළඟින්ම හිටියෙ එයාට භානුක ඉන්න තත්ත්වය තේරුණු නිසා වෙන්න ඇති. එයා භානුකගෙ හිත හදන්න ලොකු උත්සාහයක් ගන්නවා කියලා මට තේරුණා.
“ක්‍රිෂී….”
කවුද කතා කළේ කියලා බලන්න පිටිපස්ස හැරුණම එතන හිටියෙ විරාජ් අයියා. ඒ මූණෙන් අහිමි වීමේ දුක හොඳටම පේන්න තිබුණා. මගෙ ප්‍රශ්න හැම එකක්ම විසඳෙද්දී, හැමෝගෙම මූණට හිතට සතුටු හිනාවක් එද්දී, මේ කොල්ලා විතරක් මෙහෙම හිතින් දුක් විඳිනවා ක්‍රිෂීට බලාගෙන ඉන්න වෙච්ච එක නම් පපුව පැලෙන දුකක්. කෙනෙක්ට සතුටක් එන්නෙ තවත් කෙනෙක්ට ලොකු දුකක් ඇති කරලා කියන එක නම් සහතික ඇත්ත.
“ඇයි විරාජ් අයියෙ...?”
මම විරාජ් අයියගෙ නම කියනවා ඇහුණා විතරයි මෙච්චර වෙලා පැත්තකට වෙලා හිටිය ඉඳුවර මං ළඟට ආවෙ අඩියට දෙකට.
“නංගි…, මාව නවත්වන්න හදන්න එපා. සමහර විට මේ මම ලංකාවට ආව අන්තිම පාර වෙන්න ඇති.”
“ඒත් අයියෙ, ගෙදර... ”
“මම ගිහින් ටික දවසකින් එයාලවත් එහෙට ගන්නවා නංගි. ආත්මෙන්ම පරාද වෙච්ච මිනිහෙකුට තවත් මේ පොළොවෙ පය ගහලා ජීවත් වෙන්න බෑ. ඔයා මට එදා බෑ කියලා කිව්වත් ඔයා දවසක මට කැමති වෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් මගෙ හිතේ තිබ්බා. ඒත් දැන් මම දන්නවා ඒක කවදාවත් වෙන්නෙ නෑ කියලා.”
“අනේ... අයි...යෙ”
මට තව කියන්න ගොඩක් දේවල් තිබුණත් මට මුකුත්ම කියන්න විරාජ් අයියා පුංචි ඉඩක්වත් දුන්නෙ නෑ.
“ප්ලීස් නංගි, මාව නවත්වන්න හදන්න එපා. මේ ගමේ ඔයාගෙ මතක සටහන් ගොඩක් තියෙනවා. ඒවා දැක දැක මට කවමදාකවත් ජීවත් වෙන්න බැරි වෙයි. මම මැරි මැරී ජීවත් වෙනවට ඔයා කැමති නෑ නේද නංගි? මම කසාද බඳින්නෙ නෑ කියලා හිටිය කොල්ලෙක්. ඒත් ඔයාව දැක්ක දවසෙම මගෙ ඒ තීරණය වෙනස් වුණා. මම බඳිනවා නම් බඳින්නෙ ඔයාවමයි කියලා එදා මම හිතා ගත්තා. ඒත් මට ඔයා හම්බවෙනකොට මම ගොඩක් පරක්කුයි නංගි. එදා ඔයා මෙච්චර හොඳ පවුලක කෙනෙක් කියලා මම දැනන් උන්නෙ නෑ. මම හිතුවෙ ඔයා මොන වගේ පවුලක කෙනෙක් වුණත් මම ඔයාව බඳිනවා කියලා. ඒත් ඔයාගෙ හිමිකාරයා මම නෙමෙයි, මේ ඉඳුවර.”
විරාජ් අයියා ඉඳුවරගෙ අතින් අල්ලගෙන හෝ ගාලා කියවනකොට මට තිබුණෙ අහගෙන ඉන්න විතරයි.
“ඉඳුවර, උඹ මේ කෙල්ලව හොඳට බලාගනිං. මට උඹෙන් ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි.”
මෙච්චර වෙලා මූණ එල්ලගෙන තරහෙන් පිපිරි පිපිරි හිටිය ඉඳුවර වුණත් විරාජ් අයියගෙ ඒ වචන ගාව කූල් වෙලා තිබුණා.
“භානුක, උඹට උඹේ පවුලෙ කට්ටියව හම්බුණා. මට ගොඩක් සතුටුයි. ඒ වගේම උඹේ නංගිට උඹලගෙ විරාජ බේබි ගොඩක් ආදරේ කළා කියලා හිතේ කොහෙන් හරි තැන්පත් කරලා තියා ගනිං. එතකොට කවදාම හරි මාව උඹලට මතක් වෙන්නෙ අන්න ඒ මතකයත් එක්ක. ක්‍රිෂී මම යනවා. ඔයාගෙ ජීවිතේදි ඔයාට විරාජ් කියලා ගොඩක් හොඳ කොල්ලෙක්වත් හම්බවුණා කියලා මතක තියා ගන්න. ඒ වගේම එදා මම ඔයාට කිව්ව හැමදේම ඒ විදියටම සිද්ධ වෙයි. මතකයිනෙ මම ඔයාගෙන් ඉල්ලපු එකම ඉල්ලීම. ඒක ඉෂ්ට කරන්න.”
ඒ ටික කියලා මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා විරාජ් යන්න ගියා. සමහර විට මේ ජීවිතේ ඔයාව දකින අන්තිම පාර වෙන්න ඇති විරාජ් අයියා.
‘ඔයා එදා කිව්වා වගේ මාව ඉඳුවරට ඔයා දෙන්නෙ මේ ආත්මේ විතරද...?’
ඔයා ඒක මෙතන කිව්ව නැති වුණාට ඔයාගේ හිතේ හැමදාමත් තියෙයි විරාජ් අයියා. මම ඒ ප්‍රාර්ථනාව ළඟ ගොඩක් අසරණයි අයියෙ. මට පුළුවන් ඔයා මගෙ සහෝදරයෙක් හරි, හොඳම යාළුවෙක් හරි වෙන්න ප්‍රාර්ථනා කරන්න විතරයි.
“ක්‍රිෂි.... ඇයි මේ අඬන්නෙ...? ඔයාට මම ඉන්නවනෙ... අනේ ක්‍රිෂි දැන් මස්සිනා ආවොත් මෙතනම බඳින්නත් කලින් කසාදෙ කඩලා දාවි. ඔයාව අඬවන්න තහනම්නෙ.”
“නෑ ඉඳුවර, මම අඬන්නෙ නෑ.”
“ඔය ඉතින් ඔයා මටත් බොරු කියනවනෙ. ඇස් දෙක ළඟ කඳුළු තියාගෙන අඬන්නෙ නෑලු.”
ඉඳුවර මගෙ ඇස් දෙක ළඟ තිබුණ කඳුළු එයාගෙ අතින්ම පිහදැම්මා. “දැන් ඉතින් සේරම හරි. ඔයා මම හින්දා මීගමුව අතහැරලා ආපු එකෙන් හැමෝටම වැඩක් වුණානෙ. ඔයාට අයියව හම්බුණා. භානුකට නංගිව හම්බුණා. සාදිට භානුකව හම්බුණා. නෙළුමිට රනියව හම්බුණා. මගෙ හිතේ ඔයාට තිබුණ ආදරේ වැඩි වුණා. එදා ඔයා එහෙම ආවෙ නැත්නම් අද මෙච්චර ලස්සනට මේ දේවල් ඉවර වෙන්නෙ නෑනෙ. එදා අපි දෙන්නා බීච් එකේදී අර විදියට වෙන් වෙන්න ඇත්තෙ මේ දේවල් මෙහෙම විසඳෙන්න තිබුණ හින්දා වෙන්න ඇති.”
“ඔව් ඉඳුවර, මටත් දැන් එහෙම හිතෙනවා. මට දැන් ජීවිතේ හැමදේම ලැබුණා.”
“ඒ කොහොමද මැට්ටියෙ එහෙම වෙන්නෙ? අපිට තව ලැබෙන්න කොච්චර දේවල් තියෙනවාද? තවම අපි ජීවිතේ පටන් ගත්තා විතරනෙ.”
“ඒ මොනවාද ඉඳුවර...?”
“ඔයත් හරියට පුංචි ළමයෙක් වගේනෙ ක්‍රිෂී.”
“ඒ කිව්වේ...?”
“ඇයි මෝඩියේ, අපි තව ජීවිතේ පටන් ගත්තා විතරනෙ.”
“ඉතින්..?”
“ඕ... ඇයි ඔයා අම්මා කෙනෙක් වෙන එක. මම එළකිරි වගේ තාත්තා කෙනෙක් වෙන එක. ඔයයි භානුකයි වගේ ලස්සන ටුවින්ස්ලා දෙන්නෙක්ව අතින් අල්ලගෙන බීච් එකට එක්කන් යන එක. තව කොච්චර වැඩ තියෙනවාද.....”
“අනේ….”
“ඇයි ලැජ්ජයිද...? ලැජ්ජ වෙන්න එපා මමනෙ කියන්නෙ.”
“අපිට කොයින්ද පූසො මාළු. අපි යනවැයි මුදු... ”
අපිව පහු කරගෙන යන රන්දිකයා හෙන පල් ටෝකක් දාලා ඉඳුවරගෙ පිටට හයියෙන් එකක් ගැහුවා.
“ඈ බං රනේ, එතකොට මම පූසා, ක්‍රිෂි මාළුවා. එතකොට තෝ මොකාද?”
“මම හාවානෙ බං.”
“මොන හාවෙක්ද යකෝ? අපිව හාවා කරන්නෙ නැතුව ඉඳපං.”
“ඇයි ඉඳුවර, මම ඉතින් දැලේ දා ගන්න යන්නෙ කැරට් අලයක්නෙ බං.”
රනියගෙ ඒ කතාව ඇහිලා නෙළුම් ඌට ගහන්න උගෙ පස්සෙන් එළවගෙන ගියා. තව නූලෙන් දෙන්නම එතන හිටිය ලෙඩ්ඩු හතර පස් දෙනෙක් පෙරළගෙනම බිම ඇඳගෙන වැටෙනවා. මුන්ට නම් මොනවා වුණත් මොකද? අනේ පව් අර අහිංසක මිනිස්සු!
“මිස්ටර් භානුක...”
අපිට එහායින් සුදු සීයයි, සුදුයි එක්ක කතා කර කර හිටිය භානුට ඩොක්ටර් කතා කරනවා දැක්ක හින්දා මායි ඉඳුවරයිත් ඒ පැත්තට කණ දැම්මා.
“ඇයි ඩොක්ටර්...?”
“සොරි භානුක... අපි ගොඩක් උත්සාහ කළා. ඒත් ඔයගෙ අම්මව බේරගන්න අපිට බැරි වුණා. ඔයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්නෙ. මම හිතනවා මේක ඔයා දරා ගනියි කියලා. ගිහින් බොඩි එක භාර ගන්න.”
නිමි.
පසු සටහන
දඟකාරියක වූ ක්‍රිෂීගේ ජීවිතය පිළිබඳ පසු සටහනක් නොතියාම බැරිය. එම නිසා මෙම සටහන තැබීමට මම තීරණය කළෙමි.
භානුකගේ අම්මාගේ මරණයේ සියලුම කටයුතු කරනු ලැබුවේද භවන්ත විසිනි. තම සහෝදරයා අවුරුදු ගණනක් ඈත් කොට තබා ඇය කර තිබුණේ විශාල වරදක් වුවද, මානුෂික පැත්තෙන් ගත්තොත් ඇය සාධාරණ යැයි භවන්තට සිතුණි. තම මල්ලීව මෙපමණ කලක් ආරක්ෂා කොට හදාවඩා ගත්තාටත්, හොඳින් උගන්වා මේ තාක් දුර රැගෙන ආවාටත් වඩා භානුකගේ අම්මාට සැළකීමක් කිරීමට ඔහුට නොහැකි විය. සහෝදරයෙකු නැති තමා සැමවිටම සහෝදරියගෙන් එවන් හැසිරීම් බලාපොරොත්තු වුවද, වර්තමානය වන විට සහෝදරයෙකු ලැබීම පිළිබඳව ඔහු මහත්සේ සතුටට පත්ව සිටියි.
ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින සුදු සීයාත්, සුදු ආච්චිත් දැන් පසුවන්නේ අපමණ වූ සතුටකිනි. තම පුතාත් ලේලියත් නැති වූවාට පසුව තම පණ සේ රැකගත් මේ දරුවන්ගේ අනාගතය නියමාකාරයෙන් විසඳීම පිළිබඳව ඔවුන්ට ඇත්තේ ආඩම්බරයකි. භානුක පුතා අලුතින් පවුලට එකතු වූ පසු ඔවුන්ගේ සතුට දෝරෙ ගලා ගියේය.
එදා රෝහලේ සිදු වූ අහඹු සිදුවීමෙන් අවුරුදු එකහමාරක් පමණ ගත වීමෙන් පසු ක්‍රිෂීගේත් භානුකගේත් උපන්දිනය උදා විය. එදින ඔවුන්ට ලැබුණේ කිසිදා අමතක නොවන තිළිණයකි. භවන්තගේත් මහනාමගේත් පොරොන්දුව එදින ඔවුන් ඉටු කළහ. සිංහල අලුත් අවුරුදු දිනට පසු දින භාවනා-ඉඳුවර යුවළත්, භානුක-මයුමි යුවළත් සුබ නැකතින් අතිනත් ගත්හ. ක්‍රිෂී-ඉඳුවර වෙන් කෙරූ මීගමු මුහුදු වෙරළේම භාවනා-ඉඳුවර අතිනත් ගැනීම විශේෂත්වයක් විය. ඔවුන්ගේ මංගල රථයේ පසුපස අලවා තිබුණු විශාල ගෙම්බාගේ රූපයද සැමට පැනයක් විය. කිසිදා නොමැකෙන ලෙස එය සැමගේ හදවත් තුළ රැඳී ඇත.
තම මිතුරාගේ එකම ප්‍රාර්ථනය එදින සඵල වීම ගැන චන්දන තවමත් සතුටු වෙයි. ඔවුන්ගේ මිත්‍රත්වය ඥාතීත්වයකට පෙරළීම එකල සිටම ඔවුන්ගේ අපේක්ෂාව විය. එය ඉටු නොවන ලකුණු පළවී තිබූ කාලයේදී ඔහු දස දහස් වර හිතින් තැවුණේය. භානුකගේ ආගමනයෙන් යළිත් තම බලාපොරොත්තු මල්පල ගැන්වීම ඔහුට මහත් සතුටක් විය.
එවන් වූ සුබ දිනයක තවත් කෙනෙකුට මංගල සීනුව නාද විය. මෙම මිතුරන් කැල වෙනුවෙන් මල්සරාට ඉතිරි වී තිබූ අවසාන ඊතලය ඔහු රන්දික වෙත යොමු කළේය. එදින පතිකුලයට පිවිසි භානුකගේත් මයුමිගේත් යාළු මනමාලයා වූ රන්දිකට, භාවනාගේත් ඉඳුවරගේත් යාළු මනමාලිය වූ නෙළුම් තම කැමැත්ත ප්‍රකාශ කරන ලද්දේ එදිනය. රන්දික නමැති හාවාගේ කැරට් අලය ඔහු සතුවන දිනයත් ළඟදීම එළඹෙන බව දන්වා සිටිමු.
එදින මල් කුමරිය සේ සැරසුණු පුංචි ශනු, ක්‍රිෂා නැන්දාත්, භානු බාප්පාත් ඇය හා සෙල්ලම් කිරීමට පුංචි බබාලා දෙන්නෙකු රැගෙන එන තෙක් බලා සිටියි.
සියලු දෙනා පිළිබඳවම අවසන් සටහන තබද්දී අශේන්ගේ මෑණියන් පිළිබඳව මතක් නොකළහොත් එය මා අතින් සිදුවන ලොකු වැරැද්දක් බව මම සලකමි. මහනාම ඔවුන්ගේ නිවසේ රැඳීමට ඇයට ආරාධනා කළද, තම පුතාගේ මතක සටහනක් වන ඉඳුවරගේ ඇස් දෙක දැකීමට ඇය අකැමැති විය. දුක යනු මතකයන්ගෙන් අලුත් වන දෙයකි. එම නිසා ඇය අශේන් ලියා තිබූ ලෙසම ඔහුගේ අන්තිම කැමැත්ත ඇය විසින්ම ක්‍රියාත්මක කරයි. එයට සියලුම උදව් මහනාම සිදු කරන අතරම, ක්‍රිෂීද නිතරම ඇය බැලීමට යයි. ඉඳුවර නොයන්නේ ඔහුව දකින හැම විටකම ඇයගේ දෙනෙතට කඳුළු නැඟෙන නිසාවෙනි.
මෙසේ සියලුම දේ හොඳින් විසඳෙන විට, ජීවිතය එපා වී ආදරයක් වෙනුවෙන් බලා සිටින අහිංසකයෙකු පිළිබඳවද ප්‍රකාශ කළ යුතුමය. විරාජ් විමංස ඇතුගල නම් තරුණයා ක්‍රිෂී හෙවත් භාවනා නම් දඟකාරිය අහිමි වීමේ දුකින් තවමත් තැවෙයි. “මේ ආත්මයේ ඉඳුවර සතු වූ ඇය යළි ඉපදෙන හැම ආත්මයකම මගේම වේවා!” යන්න ඔහුගේ එකම පැතුමයි. බොහෝ විට මොහුගේ මුළු ජීවිතයම මෙසේ ගෙවී යාමටද ඉඩ තිබේ. මෙය ඔහුගේ ඉරණම විය හැක. නමුත් කොහේ හෝ සැඟවී ඉඳ ඔහුගේ ඉරණම්කාරිය පැමිණියහොත්, ඔහුගේ ජීවිතයද ඔහු දුන් පුංචි මුදුව අතැඟිල්ලේ පළඳවාගෙන පතිකුලයට පිවිසි ක්‍රිෂීගේ ජීවිතය මෙන් ඒකාලෝක වනු ඇත. අප සැමගේ ප්‍රාර්ථනාවද එයම විය යුතුය.
******
අත්තටු ආ දිනයේ සිට
ජිවිතය සොයා ගිය කිරිල්ලියකගෙ
අත්තටු කැඩුණු විට
පිවිතය එක තැන නතර විය.
නතර වු ජිවිතය
යළින් ගොඩනඟන්නට
කැඩුණු අත්තටු පිරිමදින
ආඩම්බර කිරිල්ලියයි ඇය...
අතරමඟ නැවතුනු ජීවිතය
සොයාගෙන යළින් පියඹන්න
අත්තටු ලැබුණි ඇය හට
ඒ කාගේ මායාවක්ද...?
යලිත් අත්තටු ගසමින්
ජීවිතය සොයා පියැඹුව ඇය
තම කැදැල්ල තනන්නට
තෝරා ගත් ඒ කුරුල්ලා
සංසාරය පුරාවටම
ආත්මයෙන් ආත්මයටම
ඇයගේ......තනි මැකු
ප්‍රේමවන්‍තයාම විය.
ඇය නමින්.
-භාවනා විහාරී මායාදුන්න-
බරක් පතළක් නොමැති ලොව තුළ
දිය ඇල්ළක් ලෙසින් ඇරඹි
ඔහුගේ ඒ ජීවිතයට
සෙල්ලම් බෝනික්කියක් පමණි ඔබ.
ආදරයේ අර්ථයට
නිඟා කළ ඔහු හට
ලැබුණු ඒ දඬුවට
වෙනස් කරවිය ඔහුගෙ ලෝකය
ආදරය යනු මෙයයැයි
හරිහැටි තේරුම් ගන්නට
එදින හැකිවිය ඔහු හට
පෙමිවතූන් තුළ වඩා සැමටම
නැති වූ ආදරය සොයාගෙන දිවගිය
සඳුට හමු වූ හිරුම වේ ඔබ....
ඉඳුවර සහස්‍ර ජයවර්ධන.
සඳුට පෙමි බැඳ
හිමි නොවන හැමවිට
හඬා වැළපුණ
නිසළ සයුරයි ඔබ.
සියලු දුක් දරාගෙන
සැමගෙ දුක් අසාගෙන
කඳුළු ලඟ හිනැහුණු ඔබ
නිදසුනකි ළොවේ සැමටම
එදා අහිමි වුණු
ඔබේ පෙම ගැන සිහින දකිමින
හිරුට හොරැහින් සඳුට පෙම් බැඳි
නිසළ සයුරයි නේද ඔබ අද..
විරාජ් විමංස ඇතුගළ.
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."

.jpeg)
Comments
Post a Comment