20 වන දිගහැරුම

මුළු පරිගණක තිරය පුරාම ඒ අවසාන ඡායාරූපය විශාල වී දිස් විය. එය මන්දිරයේ උඩුමහලේ අඳුරු කාමරය ඇතුළත ගත් එකකි. කැමරාවේ ප්‍රබල ෆ්ලෑෂ් එළිය වැදීම නිසාත්, කළු ලෝගුවේ තිබූ හිස් ආවරණය නිසාත්, පොරබැදීමත් සමඟ ඇති වූ සෙලවීම නිසාත් ඒ මිනිසාගේ මුහුණ සම්පූර්ණයෙන්ම පැහැදිලිව පෙනුණේ නැත. මුහුණේ වැඩි කොටසක් අඳුරෙන් සහ සෙවණැලිවලින් වැසී තිබුණි.

මාධව තිරයට තවත් කිට්ටු විය. "අයියෝ... මේඝ, මුහුණ පැහැදිලි මදි නේ. මේකෙන් මිනිහව 100%ක්ම අඳුරගන්න අමාරුයි."

නමුත් මේඝ කිසිවක් නොකියා, දෑස් අඩවන් කරගෙන ඒ ඡායාරූපයේ එක් නිශ්චිත කොටසක් දෙසම බලා සිටියේය. ඔහු පින්තූරයේ මිනිසාගේ මුහුණ දෙස බලා සිට, පසුව ඔහුගේ ශරීරයේ හැඩය සහ උස මහත දෙස හොඳින් නිරීක්ෂණය කළේය.

"මාධව... මේ මුහුණේ පේන හැඩය සහ මේ රුව... ඔයාට කාට හරි සමානයි වගේ හිතෙන්නේ නැද්ද?" මේඝ පහත් හඬින් ඇසීය.

මාධව නැවතත් පින්තූරය දෙස බලා, මදක් කල්පනා කර එකපාරටම තිගැස්සුණේය. "දෙවියනේ... මේ... මේ අර අභිරහස් විදිහට අතුරුදන් වුණු ඩොක්ටර් සුජීවට සමානයි නේද?"

"ඔව්... මටත් හිතුණේ ඒකමයි," මේඝ පැවසීය. "නමුත් අපිට නිකන්ම 'සමානයි' කියලා මේක උසාවියක ඔප්පු කරන්න බෑ. හැබැයි මාධව... මිනීමරුවා අපිට මේ පින්තූරේ ඇතුළේ ඊට වඩා ලොකු සාක්ෂියක් ඉතුරු කරලා තියෙනවා." මේඝ ලැප්ටොප් එකේ ටච් පෑඩ් එක භාවිත කරමින්, කළු ලෝගුව අස්සෙන් මඳක් එළියට විත් තිබූ ඒ මිනිසාගේ වම් අත දෙසට පින්තූරය 'සූම්' කරන්නට විය.

පින්තූරය විශාල වෙද්දී, ඒ මිනිසා පැළඳ සිටි රන්වන් පැහැති අත් ඔරලෝසුව තිරය මත ඉතාමත් පැහැදිලිව දර්ශනය විය. එහි අමුතුම හැඩයකින් යුත් අද්විතීය කැටයමක් තිබුණි.

"ඔරලෝසුව!" මාධව කෑගැසුවේය.

"ඔව්. මේක සාමාන්‍ය ඔරලෝසුවක් නෙවෙයි මාධව," මේඝගේ දෑස් දිලිසෙන්නට විය. "මේක ලෝකයේම ඉතාමත් සීමිත ප්‍රමාණයක් විතරක් නිපදවපු, අධික මිල අධික 'Limited Edition' ඔරලෝසුවක්. මේ වගේ ඔරලෝසුවක් ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක් විතරයි. මේ ඔරලෝසුව කාගේද කියලා සෙව්වොත්... මේ කළු ලෝගුව අස්සේ ඉන්න සැබෑ මිනීමරුවා කවුද කියලා අපිට නූලටම හොයාගන්න පුළුවන්!"

"හරි, ඒ වැඩේ මම කරන්නම්..." මාධව දැඩි විශ්වාසයකින් යුතුව පැවසීය.

ඔහු වහාම පරිගණකයේ තිබූ ප්‍රධාන ඡායාරූපයෙන් අර සීමිත සංස්කරණයේ රන්වන් අත් ඔරලෝසුව තිබූ කොටස පමණක් ඉතාමත් පැහැදිලිව වෙන් කර ගත්තේය. ඉන්පසු ඔහු තම විද්‍යුත් තැපෑල විවෘත කර, එම රූප කොටස අමුණා තම සමීපතම මිතුරෙකු වෙත යොමු කළේය. මාධවගේ මෙම මිතුරා මෙරටට වටිනා සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කරන ආයතනයක උසස් නිලධාරියෙකු වූ බැවින්, මෙවැනි දුර්ලභ තොරතුරු සොයාගැනීමට ඔහුට තිබූ හැකියාව ඉතා ඉහළ විය.

විද්‍යුත් තැපෑල හරහා මාධව තම මිතුරාගෙන් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ඉතාමත් හදිසි වාර්තාවක් ඉල්ලා සිටියේය. එනම් ලෝකය පුරා මෙම සුවිශේෂී ඔරලෝසු මාදිලියෙන් නිපදවා ඇති මුළු සංඛ්‍යාව කොපමණද? ඉන් මේ වන විට ලෝකය පුරා අලෙවි වී ඇත්තේ කොපමණ ප්‍රමාණයක්ද? වඩාත්ම වැදගත් කරුණ ලෙස, මෙම සීමිත සංස්කරණයේ ඔරලෝසු වලින් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තේ කීයක්ද? සහ ඒවා මිලදී ගත් පුද්ගලයන් කවුද?

පණිවිඩය යවා අවසන් කළ මාධව ලැප්ටොප් තිරයෙන් දෑස් ඉවතට ගෙන මේඝ දෙස බැලීය. "වැඩේ හරි මේඝ. මම මගේ යාළුවාට මේල් එක දැම්මා. ඌ මේ වගේ සුඛෝපභෝගී බඩු ගැන හැම විස්තරයක්ම නූලටම දන්නවා. ලංකාවට මේ වගේ ඒවා ආවේ කීයක්ද, ඒ හැම එකක්ම ගත්තේ කවුද කියලා හොයාගන්න එක ඌට මහලොකු දෙයක් නෙවෙයි."

"නියමයි මාධව," මේඝ පුටුවට බර වෙමින් පැවසීය. "දැන් අපිට තියෙන්නේ ඌගෙන් පිළිතුරක් එනකම් බලාගෙන ඉන්න එක විතරයි. ඒ උත්තරය ආපු ගමන්... ඩොක්ටර් සුජීවට සමාන මේ කළු ලෝගුකාරයා කවුද කියලා අපිට හරියටම තහවුරු කරගන්න පුළුවන්."

දෙදෙනාම නොඉවසිල්ලෙන් යුතුව, මිනීමරුවා කොටු කරගත හැකි ඒ තීරණාත්මක තොරතුරු ඇතුළත් විද්‍යුත් තැපෑල ලැබෙන තෙක් බලා සිටින්නට වූහ.

"මාධව, මට තව දෙයක් කරන්න ඕනේ. ඔයා දන්න මොන තාක්ෂණයක් දාලා හරි මේ පින්තූරෙ තව ටිකක් පැහැදිලි කරගන්න බලන්න."

"හරි මේඝ," මාධව මවුස් එක වේගයෙන් හසුරවමින් පැවසීය. "දැන් තියෙන AI තාක්ෂණයෙන් පුළුවන් කැමරාව සෙලවීම නිසා ඇතිවුණු බොඳවීම් ගණිතමය ක්‍රමවේදයකට ආපස්සට හරවලා, පික්සල් එකින් එක නැවත සකස් කරන්න. අපි බලමු මේකෙන් ඩොක්ටර් සුජීවගේ මූණ තව දුරටත් තහවුරු කරගන්න පුළුවන්ද කියලා."

මාධව පින්තූරය මෘදුකාංගයට ඇතුළත් කර, එහි 'Deblur' සහ 'Enhance' බොත්තම් ක්‍රියාත්මක කළේය. ලැප්ටොප් තිරය මත කුඩා ප්‍රගති දර්ශකයක් වැටුණු අතර, පරිගණකය මහා වේගයෙන් දත්ත විශ්ලේෂණය කරන්නට විය.

මිනිත්තු කිහිපයක් ගත විය. තිරය මත තිබූ බොඳ වුණු, අඳුරු ඡායාරූපය ටිකෙන් ටික වෙනස් වන්නට විය. සෙවණැලි අස්සෙන් මුහුණේ හැඩය මතු වන්නට වූ අතර, නළලේ සහ ඇස් වටා තිබූ රැලි වැටීම් වඩාත් තියුණු විය. අවසානයේ, AI පද්ධතිය විසින් සකස් කරන ලද නවතම රූපය තිරය මත දිස් විය.

එය දෙස බැලූ මේඝ සහ මාධවගේ ඇඟ කිලිපොලා ගියේය. ඡායාරූපය 100% ක්ම පැහැදිලි නැතත්, දැන් එහි සිටින මිනිසාගේ මුහුණේ ව්‍යුහය ඉතාමත් පැහැදිලිය. ඒ වෙන කවුරුත් නොව, මීට අවුරුදු කිහිපයකට පෙර අභිරහස් ලෙස අතුරුදන් වූ බව කී ඩොක්ටර් සුජීවමය! ඔහුගේ වම් ඇසට ඉහළින් ඇති කුඩා කැළල පවා දැන් යාන්තමට හඳුනාගත හැකිය.

"දෙවියනේ... ඒ කියන්නේ ඩොක්ටර් සුජීව අතුරුදන් වෙලා නෑ. එයා ජීවතුන් අතර ඉන්නවා! ඒ විතරක් නෙවෙයි... මේ හැම විනාශයකටම වගකියන්න ඕනේ ඒ මනුස්සයා!" මාධව කෑගැසුවේ අදහාගත නොහැකිවය.

"නිශ්ශබ්ද වෙන්න මාධව!" මේඝ තිරයට තවත් කිට්ටු විය. "හැබැයි ඩොක්ටර් සුජීව කියන්නේ සමාජයේ ඉහළම තලයක හිටපු ප්‍රභූවරයෙක් වුණාට, එයාට මේ වගේ මිල අධික ලිමිටඩ් එඩිෂන් ඔරලෝසුවක් ගන්න තරම් සල්ලියක් තිබුණේ කොහොමද? අපිට එකපාරට නිගමනයකට එන්න බෑ."

එකපාරටම මාධවගේ ලැප්ටොප් එකෙන් 'ටින්' ගා හඬක් පිට විය. තිරයේ ඉහළින් නව විද්‍යුත් තැපෑලක් ආ බවට පණිවිඩයක් දිස් විය.

"මේඝ! අර ඔරලෝසුවේ විස්තර ටික මගේ යාළුවා එවලා!" මාධව කලබලයෙන් ඒ මේල් එක ක්ලික් කළේය.

ඔවුන් දෙදෙනාම හුස්ම අල්ලාගෙන ඒ වාර්තාව කියවන්නට වූහ:

"මචං මාධව, උඹ එවපු ෆොටෝ එකේ තියෙන්නේ ලෝකයේ සුප්‍රකට ඔරලෝසු සමාගමක් විසින් ඉතාමත් සීමිත පාරිභෝගිකයන් පිරිසක් වෙනුවෙන් විතරක් නිෂ්පාදනය කරපු 'Royal Chronograph' වර්ගයේ රන් ඔරලෝසුවක්. මේ වගේ ඒවා මුළු ලෝකෙටම හැදුවේ කෑලි 50 ක් විතරයි. දැනට ලෝකය පුරාම අලෙවි වෙලා තියෙන්නේ කෑලි 42 යි."

"වඩාත්ම වැදගත් දේ තමයි... මේ වගේ එකම එක ඔරලෝසුවක් විතරයි ලංකාවට ආනයනය කරලා තියෙන්නේ. ඒක රේගු වාර්තාවලට අනුව මිලදී ගෙන තියෙන්නේ මීට අවුරුදු පහකට කලින්... ලංකාවේ ඉන්න ප්‍රධානම පෙළේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් වෙන 'වික්‍රමසිංහ මුදලිගේ' මහත්තයා."

ඊළඟට තිබූ ඒ නම කියවද්දී මාධවගේ අතින් මවුස් එක ගිලිහී බිම වැටුණි. මේඝගේ මුහුණ මුළුමනින්ම දැඩි විය.

"වික්‍රමසිංහ මුදලිගේ..." මාධව කෙළ උගුරක් ගිලිමින් මේඝ දෙස බැලීය. "මේඝ! ඒ කියන්නේ අර ලංකාවේ තියෙන වටිනාම මැණික් කෞතුකාගාර අයිති, ජාත්‍යන්තර මට්ටමේ මැණික් ව්‍යාපාරිකයා? හැබැයි... ඡායාරූපයෙන් පෙනෙන්නේ ඩොක්ටර් සුජීවගේ මූණනේ! එතකොට මේ ඔරලෝසුව වික්‍රමසිංහ මුදලිගේගේ නම්..."

"ඒ කියන්නේ මේ දෙන්නා අතරේ ලොකු සම්බන්ධයක් තියෙනවා මාධව," මේඝ නැවතත් ලැප්ටොප් තිරයේ තිබූ ඩොක්ටර් සුජීවගේ රූපය දෙසට හැරුණේය. "ඩොක්ටර් සුජීව අතුරුදන් වුණා නෙවෙයි, මේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයා විසින් එයාව රහසින් හංගගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ඩොක්ටර් සුජීව කියන්නේ වික්‍රමසිංහ මුදලිගේගේ මේ අද්භූත වැඩ පිටුපස ඉන්න ප්‍රධානම මොළකාරයා වෙන්න පුළුවන්."

මේඝ මේසය මත තිබූ රතු මැණික අතට ගත්තේය. "දැන් හැමදේම පැහැදිලියි. මේ මැණිකෙ තියෙන විශ්වීය ශක්තිය ගැන මුදලිගේ හැමදේම දන්නවා. ඒ ශක්තිය තමන්ගේ පාලනයට ගන්න තමයි ඌ ඩොක්ටර් සුජීව ලවා අර අතිධ්වනික තරංග නිකුත් කරන පූජාවන් කරවන්නේ. මුදලිගේ මේ ඔරලෝසුව තෑග්ගක් විදිහට සුජීවට දුන්නා වෙන්නත් පුළුවන්."

මාධව ගැඹුරු හුස්මක් ගත්තේය. "එතකොට මේඝ... දැන් අපේ ඊළඟ පියවර මොකක්ද? අපි කෙළින්ම ගිහින් වික්‍රමසිංහ මුදලිගේව අත්අඩංගුවට ගමුද?" මාධව වහාම තමන්ගේ පිස්තෝලය දෙස බලමින් ඇසුවේ කලබලයෙනි.

මේඝ මාධව දෙස බලා අවඥාවෙන් මෙන් හිනා වුණේය.

"අත්අඩංගුවට ගන්න? උඹට පිස්සුද මාධව... මේක එහෙම සරල දෙයක් නෙවෙයි බං!" මේඝ පුටුවෙන් නැගිට මාධව ඉදිරියට ආවේය. "ඌට ධන බලය විතරක් නෙවෙයි, මට තේරෙන විදියට මාරාන්තික ගුප්ත බලයක ආරක්‍ෂාවකුත් තියෙනවා. ඌ වටා ඉන්න පිරිස සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ. උඹයි මමයි නිකන්ම තුවක්කුත් අරන් ඌව අල්ලන්න ගියොත්, අපිට මන්දිරෙන් එළියට අඩියක්වත් තියන්න හම්බවෙන්නේ නැහැ."

මාධව මදක් පසුබට විය. "එහෙනම් අපි මොකද කරන්නේ මේඝ?"

"අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම මේ මැණිකේ සැබෑ උරුමක්කාරයා කවුද කියලා හොයාගන්න එක," මේඝ මේසය මත තිබූ රතු මැණික් කැට දෙක දෙසට අත දිගු කළේය. "උරුමක්කාරයා ලවා මේ මැණික සම්පූර්ණ කරන්න ඕනේ. මට 100% ක්ම හිතෙනවා, එහෙම වුණොත් විතරයි කළු ලෝගුකාරයව අඩපණ කරන්න පුළුවන් වෙන්නේ කියලා. උගේ ඒ ගුප්ත බලය සම්පූර්ණයෙන්ම නැති නොකර... අපිට කවදාවත් ඌව මෙල්ල කරන්නත් බෑ, අනික වික්‍රමසිංහ මුදලිගේ අත්අඩංගුවට ගන්නත් බෑ." මේඝ මාධවගේ උරහිසට තට්ටුවක් දැමීය. "අනික, උගේ පිටිපස්සේ ඉන්න උන් කවුද කියලා දැනගන්න නම් අපි ඌව පණපිටින් අල්ලන්න ඕනේ. උගේ ගුප්ත බලය බිඳලා, ඌව පණපිටින් අල්ලගත්තට පස්සේ... මම ඌව උඹට බාර දෙන්නම්!"

මේඝගේ මුවට නැඟුණේ අද්භූත සිනහවකි. "උඹ කොහොමත් අතේ පයේ හිරි ඇරගන්න මාර අමාරුවෙනේ ඉන්නේ... මට උඹ ඉතිරි ටික ඌට කියලා වමාරවලා දීපන්! එතකන් මෙතනට ඕනේ උඹේ කලබලේ නෙමෙයි මාධව... මගේ මොළේ!"

මාධව පරාජිත හැඟීමෙන්, නමුත් මේඝගේ සැලසුමේ ඇති බුද්ධිමත් බව වටහාගෙන සිනාසුණේය. "හරි මචං... උඹේ මොළේ තමයි. මම කලබල වෙන්නේ නැහැ. එතකොට අපි කොහොමද මේ මැණිකේ උරුමක්කාරයා කවුද කියලා හොයන්නේ? අපිට තියෙන ඉඟිය මොකක්ද?"

මේඝ මේසය මත තිබූ ලැප්ටොප් තිරය දෙස බලා ගැඹුරු කල්පනාවකට වැටුණේය.

"උඹ කියන කතාව හරි මාධව. අපි දැන් ඉන්නේ මේ අභිරහසේ අවසාන හරියට ඇවිල්ලා. මම ඌව මෙල්ල කරලා උඹේ අතට දුන්නත්, අපිට ඌව නීතියෙන් ජීවිතාන්තය දක්වාම හිරගෙට යවන්න පුළුවන් වෙන්න ඕනේ. වික්‍රමසිංහ මුදලිගේ යටතෙ ඉන්න මිනිහෙක්ට නීතියේ තියෙන හිඩැස්වලින් රිංගලා යන්න එක විනාඩියක් ඇති. ඒ නිසා අපිට දැන්ම ඉඳන් 'නීතිමය සාක්ෂි' ටිකත් හදාගන්න වෙනවා."

මාධව පෑනක් සහ කොළයක් අතට ගත්තේය. "ඔව් මේඝ, ඒක තමා මගේ රස්සාවේ හැටියට මටත් කරන්න ඕනේ. කියපන්, අපි කොහොමද ඒ සාක්ෂි ටික මතු කරගන්නේ?"

"පළවෙනි දේ..." මේඝ ඇඟිල්ලක් දිගු කළේය. "ඔය ලැප් එකේ තියෙන කැමරාවේ දත්ත සහ AI එකෙන් Clear කරපු පින්තූරේ... ඒක 'Cyber Forensic' වාර්තාවක් විදිහට උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමට හදන්න ඕනේ. උඹේ අර යාළුවා ලවා, මුදලිගේ ඒ ඔරලෝසුව ගත්ත බව තහවුරු කරන නිල රේගු වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ටිකක් රහසින් ගෙන්නගනින්."

"ඒක මට කරන්න පුළුවන්," මාධව සටහන් කරගත්තේය. "ඊළඟ එක?"

"ඊළඟ එක තමයි කවිශ්ක," මේඝ පැවසීය. "කවිශ්කට දැන් සිහිය ඇවිත් කියලා කාටවත් නොදැනෙන්න, ඩී.අයි.ජී. මහත්තයා ලවා විශ්වාසවන්තම මහේස්ත්‍රාත්වරයෙක්ව රහසින් හොස්පිට්ල් එකට කැඳවලා හෝ වෙනත් ක්‍රමයකින්, කවිශ්කගේ කටඋත්තරය නීත්‍යානුකූලව සටහන් කරගන්න ඕනේ. එතකොට ඒක ප්‍රධාන ඇසින් දුටු සාක්ෂියක් වෙනවා."

"නියමයි මේඝ! එතකොට ඩොක්ටර් සුජීව?" මාධව ඇසුවේය.

"අන්න ඒක තමා වැදගත්ම දේ," මේඝගේ දෑස් පටු විය. "අපි අර රහස් උමඟ ඇතුළේ ඩොක්ටර් සුජීව පාවිච්චි කරපු, මන්ත්‍ර මතුරන්න ගත්ත බඩු මොනවා හරි තියෙනවාද කියලා ආයෙත් බලන්න ඕනේ. උගේ ඇඟිලි සලකුණක් හෝ ඩී.එන්.ඒ. (DNA) සාක්ෂියක් ඒ උමඟ ඇතුළෙන් මතු කරගත්තොත්... අතුරුදන් වුණා කියපු දොස්තර මේ මන්දිරේ රහසිගතව හිටියා සහ මුදලිගේ ඒ හැමදේම දැනගෙන හිටියා කියන එක උසාවියේදී 100% ක්ම ඔප්පු කරන්න පුළුවන්!"

මාධව උද්‍යෝගයෙන් නැගිට්ටේය. "දැන් වැඩේ නූලටම කැපෙනවා මචං. උඹ මැණිකේ උරුමක්කාරයා පස්සේ පන්නනකොට, මම මේ නීතිමය දැල එලන්නම්. ඌට මේ පාර බේරිලා යන්න නීතියෙන්වත්, ගුප්ත බලයෙන්වත් කිසිම ඉඩක් තියන්නේ නැහැ!"

මේඝ පුටුවෙන් නැගිට, තමන් රැගෙන ආ බෑගය වෙත ගියේය. එහි ඇතුළත තිබූ රහස් සාක්කුවකින් ඔහු කුඩා, විනිවිද පෙනෙන පොලිතින් කවරයක් එළියට ගත්තේය. එහි ඇතුළත ඉතාමත් කුඩා කෙස් ගසක් සුරක්ෂිතව තබා තිබුණි.

"මෙන්න මාධව... මේක තමා අපිට තියෙන වටිනාම නීතිමය සාක්ෂිය!" මේඝ ඒ කවරය මාධවගේ අතට දුන්නේය.

මාධව පුදුමයෙන් ඒ දෙස බැලීය. "මොකක්ද මේ මේඝ?"

"එදා මන්දිරේ ඇතුළේදී කළු ලෝගුකාරයා මට පහර දීලා පොරබැදපු වෙලාවේ, උගේ ඔළුවෙන් ගැලවිලා මගේ කබායේ රැඳිලා තිබුණු කෙස් ගසක් මේක. මම මේක පරෙස්සමෙන් අරන් තියාගත්තා." මේඝ පැවසීය.

මාධවගේ දෑස් දිලිසෙන්නට විය. "නියමයි මේඝ! උඹ නම් මාරම ඩිටෙක්ටිව් කෙනෙක් බං. දැන් මට වැඩේ තේරුණා. ඩොක්ටර් සුජීව මීට අවුරුදු 30 කට කලින් රිය අනතුරකින් මැරුණාම, එදා කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී රජයේ විශ්ලේෂක දෙපාර්තමේන්තුව විසින් ඌගේ DNA සාම්පලයක් අනිවාර්යයෙන්ම ගබඩා කරලා තියෙන්න ඕනේ."

"ඒත් මිනියෙ DNA අඳුන ගන්න බැරි තරමට පිලිස්සිලා කිව්වා, උබට මතකද?"

"ඔව්, ඒත් මට මතක හැටියට ඒ වෙලාවෙ පරීක්ෂණ කරන්න පොලිසිය සුජීවගෙ DNA හොයාගෙන තිබුනා කියලා වාර්තාවක තිබ්බා."

"හරියටම හරි," මේඝ හිස වැනුවේය. "උඹ දැන්ම මේ කෙස් ගස රහසිගතව Forensic Lab එකට යවපන්. ඊටපස්සේ ඒකෙන් ගන්න DNA එක, එදා රිය අනතුර වෙලාවේ රජය හොයාගත්ත සැබෑ සුජීවගේ DNA එක්ක ගළපලා බලන්න කියපන්."

"එතකොට...?" මාධව නොඉවසිල්ලෙන් ඇසීය.

"එතකොට අපිට බලාගන්න පුළුවන් මේ දෙක ගැලපෙනවද කියලා!" මේඝ දැඩි හඬින් පැවසීය. "ඒකෙන් නීතිමය වශයෙන්ම 100% ක් ඔප්පු වෙනවා, දැන් මන්දිරේ උමඟ ඇතුළේ කළු ලෝගුව දාගෙන සැරිසරන්නෙ සුජීවද, වෙන කෙනෙක්ද කියලා. අපිට ඒකෙන් කලු ලෝගුව සුජීවමද කියලා තහවුරු කරගන්න පුළුවන්."

මාධව ඒ කවරය තදින් අල්ලා ගත්තේය. "නියමයි මචං! මම මේක දැන්ම අපේ Forensic Lab එකේ ඉන්න විශ්වාසවන්තම නිලධාරියාට පුද්ගලිකවම බාර දෙනවා. මම මේ කෙස් ගස දැන්ම ලැබ් එකට යවන්නම්," මාධව කවරය සාක්කුවට දමාගනිමින් පැවසීය. "හැබැයි රජයේ විශ්ලේෂක දෙපාර්තමේන්තුවෙන් අවුරුදු 30 ක් පරණ වාර්තා එක්ක මේක සසඳලා නිල DNA වාර්තාවක් දෙන්න කොහොමත් දින දෙක, තුනක් හතරක් යනවා."

"ඒක ගොඩක් හොඳයි මාධව," මේඝ පුටුවට බර වෙමින් ගැඹුරු හුස්මක් ගත්තේය. "වාර්තාව එන්න ඒ ලැබෙන ප්‍රමාදය අපිට ලොකු වාසියක්. මොකද, ඒ රිපෝට් එක එන්න කලින්... අපි මේ මැණිකේ සැබෑ උරුමක්කාරයා කවුද කියලා හොයාගෙන ඉන්න ඕනේ. DNA සාක්ෂිය හරි ගියොත් කලු ලෝගුකාරයව නීතියට කොටු කරනකොට, උරුමක්කාරයා ලවා මැණික සම්පූර්ණ කරලා උගේ ගුප්ත බලය අපි බිඳලා ඉවර වෙන්න ඕනේ."

මාධව මේසය මත තිබූ පැරණි ලේඛන සහ මන්දිරයෙන් හමු වූ පොත්පත් ටික පෙරළන්නට විය. "හරි මේඝ, එහෙනම් අපි දැන්ම ඒ මෙහෙයුම පටන් ගමු. අපි කොහෙන්ද මේ උරුමක්කාරයව හොයන්න පටන් ගන්නේ?"

මේඝ තම සැලසුම ක්‍රියාවට නැංවීම සඳහා මාධව දෙසට හැරුණේය. "මාධව, දැන් අපිට මේ හැමදේකම මුල හොයාගන්න නම්, මේ චරිත තුනේම මුළු ඉතිහාසයම හාරලා අවුස්සන්න වෙනවා. උඹේ බලතල පාවිච්චි කරලා මට මේ කියන තොරතුරු ටික අද රෑම හොයලා දීපන්."

මාධව වහාම තම දිනපොත සහ පෑන අතට ගෙන මේඝ කියන කරුණු එකින් එක සටහන් කරගන්නට විය:

ඩොක්ටර් සුජීව,ඔහු මේ ප්‍රදේශයට පැමිණීමට පෙර සේවය කළේ කොළඹ ජාතික රෝහලේ ද, නැතහොත් වෙනත් පළාත්බද ප්‍රධාන රෝහලක ද යන්න සහ ඔහු විශේෂඥයකු ලෙස කටයුතු කළේ කුමන ක්ෂේත්‍රයෙන් ද යන වග. ඔහුගේ දෙමාපියන් කවුද? ඔවුන් පරම්පරාගත ධනවත් හෝ වංශවත් පවුලක අය ද? ඔහුගේ නිශ්චිත පරම්පරාව සහ කුල පසුබිම. ඔහුගේ වෛද්‍ය වාර්තාවල සඳහන් නිල රුධිර ගණය කුමක්ද?

වීරසිංහ හෙවත් 'වීරේ', ඩොක්ටර් සුජීවගේ සමීපතම මිතුරෙකු වූ වීරේගේ පවුල් පසුබිම, ඔහුගේ දෙමාපියන් සහ ඔහුගේ පරම්පරාව කුමක්ද? ඔහු මැණික් ගැවසෙන ප්‍රදේශයක ජීවත් වූවෙක්ද? ඔහුගේ රුධිර ගණය ඇතුළු සියලු පුද්ගලික තොරතුරු. දැනට අපි දන්නේ ඔහු සී.අයි.ඩී. (CID) නිලධාරියෙක් කියලා විතරයි.

කෝටිපති මැණික් ව්‍යාපාරික 'වික්‍රමසිංහ මුදලිගේ', මේ කියන මහා කෝටිපති ව්‍යාපාරිකයාගේ සැබෑ අනන්‍යතාවය කුමක්ද? ඔහු ක්ෂේත්‍රයට පැමිණියේ කෙසේද? ඔහුගේ පරම්පරාව සහ පවුල් පසුබිම පිළිබඳ සියලුම රහස් වාර්තා.

"හරි මේඝ, මම මේ කරුණු ටික අපේ පොලිස් බුද්ධි අංශයේ සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉන්න මගේ සම්බන්ධතා පාවිච්චි කරලා අද රෑම හොයන්නම්," මාධව සටහන් පොත වසමින් පැවසීය. "හැබැයි මට එක දෙයක් හිතාගන්න බෑ. වීරේ ගැනයි, වික්‍රමසිංහ මුදලිගේ ගැනයි දෙන්නම ගැනම වෙන වෙනම විස්තර හොයන්නේ ඇයි? උඹට සැකයිද මුදලිගේ පිටිපස්සේ වීරෙත් ඉන්නවා කියලා?"

මේඝ ජනේලයෙන් පිටත පෙනෙන ඝන අඳුර දෙස බලා සිටියේය. "කතාවේ හැටියට වීරේ කියන්නේ සුජීවගේ යාළුවා. මුදලිගේ කියන්නේ ඔරලෝසුවේ අයිතිකාරයා. හැබැයි මට හිතෙනවා මාධව... මේ හැමෝම එකම දැලක පුරුක් කියලා. උඹ මේ විස්තර ටික ගෙනත් දීපන්. එතකොට මට පුළුවන් මේ පරම්පරා ලේඛන එකිනෙකට ගළපලා, සැබෑ මිනීමරුවා කවුද කියලා උපකල්පනය කරගන්න!"

******* 

මාධව පරිගණක තිරයෙන් දෑස් ඉවතට ගෙන, තමන් සොයාගත් බුද්ධි අංශ රහසිගත වාර්තා දෙස බලමින් ගැඹුරු හුස්මක් ගත්තේය. 

"මේඝ... මම උඹ කියපු හැම විස්තරයක්ම නූලටම හොයාගත්තා. මේක පුදුම සහගත පවුල් පසුබිමක් බං. ඩොක්ටර් සුජීව කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි." මාධව ලේඛන කිහිපයක් මේසය මත දිග හරිමින් පවසන්නට විය.

"කියපන් මාධව, මොනවාද තොරතුරු?" මේඝ නොඉවසිල්ලෙන් ඇසීය.

"ඩොක්ටර් සුජීව කියන්නේ අතීත උඩරට රාජධානියට සෘජු සබඳතා තිබුණු, ඉතාමත් ධනවත්, වංශවත් උඩරට රදල පරම්පරාවක දරුවෙක්," මාධව පැහැදිලි කළේය. "ඔහුගේ දෙමාපියන් අතිශය අහංකාර, පරම්පරාගත නම්බුව හිස් මුදුනින්ම පිළිගත්තු අය. ඔවුන්ට හිටියේ දරුවෝ දෙන්නයි. දෙන්නම නිවුන් දරුවෝ. එක්කෙනෙක් සුජීව, අනෙක් කෙනා ඔහුගේ නිවුන් සහෝදරිය 'සුජීවා'."

"සුජීවා...?" මේඝගේ දෑස් පටු විය.

"ඔව්, සුජීව ලංකාවේ ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙන මට්ටමටම දක්ෂ වෙද්දී, සුජීවා ඉගෙන ගත්තේ පිටරටක. ඇය විදේශ විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි ඊටත් වඩා ලොකු රහසක් තියෙනවා..." මාධව ඊළඟ ලේඛනය අතට ගත්තේය. "ඇය විවාහ වෙන්න තීරණය කරලා තිබුණේ සුජීවගේම සමීපතම මිතුරෙක් වෙච්ච 'වීරසිංහ' එක්ක!"

මේඝ තිගැස්සුණේය. "ඒ කියන්නේ වීරේ එක්ක?"

"ඔව්! ඒ වෙනකොට වීරසිංහ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මේඝ. ඔහු දක්ෂ CID නිලධාරියෙක්! ඒ වගේම වීරසිංහගේ පවුලේ හිටියේ ඔහු විතරයි. දෙමාපියන් නැති, වෙන කිසිම සහෝදරයෙක් හෝ ඥාතියෙක් නැති, තනිකඩ මිනිහෙක්." මාධව වාර්තාවේ ඊළඟ පිටුව පෙරළුවේය.

මේඝ මේසය මත තිබූ රතු මැණික දෙස බැලීය. ඔහුගේ මොළය වේගයෙන් වැඩ කරන්නට විය. උඩරට රාජධානියට සම්බන්ධ පරම්පරාව... නිවුන් සහෝදරිය සුජීවා... සහ වීරේ...

"මේ ලේඛනවල හැටියට වීරසිංහ හෙවත් වීරේ කියන්නේ නරක මිනිසෙක් නෙවෙයි බං. ඔහු ඉතාමත් උගත්, අතිශය බුද්ධිමත් වගේම හැමෝම ගරු කරපු ශ්‍රේෂ්ඨ CID නිලධාරියෙක්." මාධව තොරතුරු තවදුරටත් කියවන්නට විය. "වීරසිංහ කියන්නේ තනියම ජීවත් වුණු, තමන්ගේ රාජකාරිය අකුරටම කරපු කෙනෙක්. ඩොක්ටර් සුජීවගේ දෙමාපියන් අහංකාර රදලවරු වුණත්, වීරේගේ තියෙන උගත්කම සහ බුද්ධිමත්කම නිසා ඔවුන් පවා මේ විවාහයට කැමැත්තක් දක්වලා තියෙනවා."

"හැබැයි මේ වික්‍රමසිංහ මුදලිගේ කියන මනුස්සයාගේ පරණ වාර්තාවල තියෙන්නේ බොහොම පොඩි විස්තරයක්. ඌ හැදිලා තියෙන්නේ අන්ත දුප්පත් පවුලක. මුලින්ම මිනිහා ජීවත් වෙන්න කරලා තියෙන්නේ මැණික් පතල්වල කුලී වැඩ. ඔහොම වැඩ කරගෙන යනකොට තමයි ඌට අහම්බෙන් වගේ අතිශය වටිනා මැණිකක් හම්බවෙලා තියෙන්නේ. අන්න ඒ මැණික විකුණලා තමයි ඌ එක රැයින් මහා කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් වෙලා තියෙන්නේ!" මාධව පුටුවට බර වී හඬ නඟා සිනාසුණේය. "නීත්‍යානුකූලව බැලුවොත් නම් ඌ කසාද බැඳලත් නැහැ, දරුවොත් නැහැ. හැබැයි ඉතින් කටකතාවක් තියෙනවා ඌට පිටරටක රහස් පවුලක් ඉන්නවා කියලා. ඒකත් ඉතින් පුදුමයක් නෙවෙයිනේ බං, ඕකාට ලංකාවෙත් හොර පවුල් දෙක තුනක්ම ඉන්නවා කියලා අපේ පොලිස් පොත්වල තොරතුරු තියෙනවා!"

මේඝ මේසය මත තිබූ රතු මැණික් කැට දෙක දෙස බලා තදින් කල්පනා කරන්නට විය. ඔහුගේ මොළය මේ අලුත් තොරතුරුත් සමඟ වෙනස්ම මානයකට වැඩ කරන්නට විය.

"පොඩ්ඩක් ඉන්න මාධව..." මේඝගේ හඬ බැරෑරුම් විය. "අන්ත දුප්පත් පතල් කම්කරුවෙක්... එකපාරටම හම්බවුණු මැණිකකින් කෝටිපතියෙක් වෙනවා. ඌ නීතියෙන් කසාද බැඳලා නැහැ. හැබැයි වීරේ කියන්නේ ඉතාමත් උගත්, බුද්ධිමත්, සී.අයි.ඩී. (CID) නිලධාරියෙක්. ඩොක්ටර් සුජීවගේ නිවුන් සහෝදරිය සුජීවා විවාහ වෙන්න හිටියේ ඒ වීරේ එක්ක... අනේ මන්දා බං... මේක මහ පිස්සුවක්. මගේ ඔළුවත් දැන් විකාර වෙලා තියෙන්නේ. ඔන්න ඔය මගේ බෑග් එකේ ඇති සිගරට් පැකට් එක, ඒක ගනින්!" මේඝ ඇඳ අසල තිබූ තමන්ගේ සම් බෑගය දෙසට අත දිගු කළේය.

"යකෝ... උඹ මේ අභිරහස විසඳලා ඉවර වෙනකොට ටුබැකෝ කම්පැනියම බීලා තියෙයි! බලපන්... මෙතන හැමතැනම සිගරට් කොට!" මාධව සාලයේ බිම වැටී තිබූ සිගරට් කොට දෙස බලමින් බැන වැදුණේය. මාධව අකමැත්තෙන් වුවද මේඝගේ බෑගය ළඟට ගෙන, එහි සිපර් එක ඇරියේය. ඔහු එහි ඇතුළත තිබූ රිදී පැහැති සිගරට් පැකට්ටුව අතට ගෙන එය මේඝ වෙත විසි කළේය. නමුත් ඒ සිගරට් පැකට්ටුව තිබූ සාක්කුවේම තිබුණු තවත් කුඩා, පරණ වෙල්වට් බොක්ස් එකක් මාධවගේ ඇඟිලිවලට අසු විය.

"මේඝ... මේ මොකක්ද මේ බොක්ස් එක?" මාධව කුතුහලයෙන් යුතුව ඒ කුඩා පෙට්ටිය එළියට ගත්තේය. මාධව ඒ කුඩා වෙල්වට් බොක්ස් එක විවෘත කළේය. එහි ඇතුළත තිබුණේ වසර ගණනාවක් පැරණි, ඉතාමත් සාමාන්‍ය පෙනුමක් ඇති සිහින් මාලයකි. බැලූ බැල්මට එහි කිසිදු වටිනාකමක් හෝ විශේෂත්වයක් පෙනෙන්නට තිබුණේ නැත. එහි තිබුණේ කුඩා පෙන්ඩන්ට් එකක් පමණි.

"මේක මාලයක්නේ බං! මේක මාර පරණ පාටයි. ලොකු වටිනාකමක් පෙනෙන්න නැහැ. මේක උඹේ බෑග් එකේ මේ පොකට් එක ඇතුළේ තිබුණේ කොහොමද?" මාධව ඒ මාලය අතට ගෙන, කුඩා පෙන්ඩන්ට් එක දෙස බලමින් පුදුමයෙන් ඇසීය.

මේඝ මාධව දෙස බැලුවේ නැත. ඔහු සිගරට් පැකට්ටුවෙන් එකක් අතට ගෙන, ගිනිකූරක් ගසා එය පත්තු කරගත්තේය. ඉන්පසු දුම් වළල්ලක් ඉහළට මුදාහරිමින්, මාධව අත තිබූ ඒ පරණ වෙල්වට් බොක්ස් එක සහ පුංචි මාලය දෙස බලා දැඩි නිශ්ශබ්දතාවයක ගිලුනේය. මේඝ මන්දිරයේ ජනේලයෙන් පිටත පෙනෙන කළු අඳුර දෙස බලා, පපුවේ හිරවී තිබූ මහා බරක් නිදහස් කරන්නාක් මෙන් දිගු සුසුමක් හෙළුවේය.

"ඕක මට දුන්නේ මගේ අම්මා මාධව..." ඔහුගේ හඬේ තිබුණේ මහා බරකි.

මාධව පුදුමයෙන් මේඝ දෙස බැලීය. "අම්මා? උඹ මට කවදාවත් උඹේ පවුලක් ගැන කියලා නැහැනේ මචං."

"කියන්න තරම් සතුටුදායක අතීතයක් මට තිබුණේ නැහැ බං," මේඝ තිත්ත සිනහවක් පෑවේය. "මට මතක ඇති කාලෙක ඉඳලා මම දැක්කේ මගේ අම්මා විඳවපු හැටි විතරයි. තාත්තා කෙනෙක් ගැන මට කිසිම මතකයක් නැහැ. මට මතක හැමදාම ගෙවල්වල වැඩකාරකම් කර කර, අම්මා මාව ඉස්කෝලේ යවන්න දඟලපු හැටි විතරයි. මම ඒ හැම දේම දැක්කා. ඒකයි මම පණ දාගෙන ඉගෙන ගෙන මේ වගේ තැනකට ආවේ. මම ඒ තරම් දුකක් වින්දා බං... මම ආයේ කවදාවත් ඒ වගේ අසරණ වෙන්න කැමති නැහැ."

මේඝ සිගරට් කොටය අළු බඳුනට තට්ටු කර, නැවතත් මාධව අත තිබූ පුංචි මාලය දෙසට නෙත් යොමු කළේය. මේඝගේ කටහඬේ තිබුණේ වේදනාව සහ තරහක මිශ්‍රණයකි.

"අම්මා මැරුණේ වයසටම නෙමෙයි බං. ඒ මනුස්සයා විඳපු දුක්, කායිකවයි මානසිකවයි විඳපු පීඩනය නිසාම ඇතුළතින්ම දිරාපත් වෙලා ගියා... අම්මා මැරුණට පස්සේ මට ඒ ගමේ ඉන්න එක දරාගන්න බැරි වුණා. මිනිස්සුන්ගේ කතා, අම්මා විඳපු දුක අස්සේම මාව හදපු විදිහ... මම හැමදේම අතෑරලා දාලා කොළඹට ආවා. මගේ එකම බලාපොරොත්තුව වුණේ පොලිසියට බැඳෙන්න. එදා මම එනකොට මගේ බෑග් එකේ තිබුණේ අම්මගේ කරේ තිබුණ ඔය මාලෙයි, අම්මගේ පරණ පින්තූරෙයි විතරයි."

"උඹේ අම්මා මතක් වෙන්න තියෙන එකම දේ මේකනම් ඇයි බං උඹ මේක කරේ දාගන්නෙ නැත්තේ?"

මේඝ ඒ පුංචි මාලය දිහා බලාගෙන හිනාවක් පෑවේය. "මම ඉස්සර ඕක කරේ දාගෙන තමයි බං හිටියේ, ඒත් අනුශ්කි ඒකට කැමති උනේ නෑ. ඒ නිසා තමයි මම මගේ අම්මගෙන් මට ඉතුරු වුණු එකම දේ ගලවලා ඔය බෑග් එකට දැම්මේ."

"අතෑරලා දාපන් බං ඕකීව! මට ඕකිව පෙන්වන්න බෑ. උඹේ ජීවිතේ විනාශ කළා. දැන් ඒකි නෑ නේ. ඒ නිසා මේක දාගනින් කරට. උඹට තනිකමක් දැනෙන එකක් නෑ. හැම වෙලේම අම්මා ළඟ ඉන්නවා වගේ දැනෙයි," මාධව මාලය මේඝගේ අතටම දුන්නේය.

මේඝ මාධවගේ දෑතින් ඒ පුංචි මාලය ගෙන, එහි තිබූ පෙන්ඩන්ට් එක දෙස මොහොතක් දෑස් දල්වා බලා සිටියේය. වසර ගණනාවක් තිස්සේ ඔහු එය බෑගයේ රහස් සාක්කුවක සඟවා තබාගෙන සිටියේ තමන්ගේ අතීතය පිළිබඳ එකම සිහිවටනය ලෙසිනි. අනුශ්කිගේ අකමැත්ත නිසා එය ගලවා දැමුවද, අද ඒ මාලය අතේ තබා ගන්නා විට මේඝට දැනුණේ යම් අමුතුම කම්පනයකි.

ඔහු මාලය කරේ පැළඳ ගැනීමට එය දෙපසින් අල්ලා දිගු කළේය. නමුත්, මාලය ඔහුගේ කර දෙසට ලං වෙද්දීම සාලයේ වූ වාතාවරණය ක්ෂණයකින් වෙනස් විය. මේසය මත තිබූ රතු මැණික් කැට දෙක කිසිවෙකුගේ හෝ ස්පර්ශයකින් තොරව හදිසියේම යම් අද්භූත කම්පනයකින් සලිත වන්නට විය. ඒවා මතුපිටින් සුළු වශයෙන් 'වයිබ්‍රේට්' වන බව මාධව සහ මේඝ දෙදෙනාටම හොඳින්ම පෙනුණි.

"මේඝ... බලන්න! මැණික!" මාධව තිගැස්සී කෑගැසුවේය.

මේඝ මාලය කරේ දා ගැනීම නතර කර, තත්පරයක් ගල් ගැසී මැණික් දෙස බලා සිටියේය. ඔහුගේ දෑස් පුදුමයෙන් විසල් විය. "මාධව, මේක... මේක වෙන්න බැරි දෙයක්නේ!"

මේඝ තමා අත තිබූ ඒ පරණ මාලය, මේසය මත තිබූ රතු මැණික් කැට දෙක දෙසට සෙමින් ලං කළේය. මාලය මැණික්වලට ළං වත්ම, මැණික් කැටවල සිදුවූ කම්පනය තවත් තීව්‍ර විය. ඒ සමඟම මැණික්වලින් මෘදු, රතු පැහැති ආලෝකයක් යාන්තමින් විහිදෙන්නට පටන් ගත්තේය.

"මේ බලන්න මාධව... මම මේක ළං කරනකොටම මැණිකේ ශක්තිය අවදි වෙනවා!" මේඝගේ හඬ වෙව්ලන්නට විය.

ඔහු මාලය නැවතත් ඈත් කළේය. ඒ සමඟම මැණික්වල වූ කම්පනය නතර විය. කුතුහලය ඉහවහා ගිය මේඝ, දෙවන වරටත් එම මාලය මැණික් කැට වෙත ලං කළේය. මෙවර මැණික් කැට දෙක පෙරටත් වඩා වේගයෙන් කම්පනය වන්නට වූ අතර, සාලය පුරාම යම්කිසි අද්භූත බලයක් පැතිරී යන බවක් දෙදෙනාටම දැනුණි.

"මේඝ... මේ මාලෙයි, මේ මැණිකයි අතරේ තියෙන්නේ සාමාන්‍ය සම්බන්ධයක් නෙවෙයි බං," මාධව මවිතයෙන් යුතුව පැවසීය. "උඹේ අම්මා දීපු මේ මාලෙට මේ මැණික්වල තියෙන විශ්වීය ශක්තිය පාලනය කරන්න පුළුවන් කිව්වොත් මම පුදුම වෙන්නේ නැහැ. උඹේ අම්මා මේ ගැන මොකුත් කියලාම නැද්ද?"

මේඝ කිසිවක් නොකියා, දෑස් අඩවන් කරගෙන තමන් අත තිබූ මාලය සහ මේසය මත රිද්මයානුකූලව සෙලවෙන මැණික් කැට දෙස බලා සිටියේය. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුණි. මේඝ තමන් අත තිබූ ඒ පරණ පෙන්ඩන්ට් එක දෙස ඉතා හොඳින් නිරීක්ෂණය කළේය. එය හුදෙක් සාමාන්‍ය මාලයක් පමණක් නොව, කවදාවත් අවසන් නොවන ප්‍රහේලිකාවක අතුරුදහන් වූ අවසාන පුරුක බව ඔහුට වැටහුණි. "මාධව... මේක මැණිකේ ඉතුරු අතුරුදහන් වූ කොටස වගේ.," මේඝගේ හඬෙහි වූයේ අද්භූත ගුප්ත බවකි.

ඔහු තම දෑඟිලිවලින් ඉතා සියුම් ලෙස පෙන්ඩන්ට් එකේ දාර දිගේ පිරිමැද්දේය. ඒ පරණ මාලයේ පෙන්ඩන්ට් එකේ ඉතා කුඩා, දෑසට නොපෙනෙන තරම් වූ රහස් සන්ධියක් තිබුණි. මේඝගේ ඇඟිලිවලට එය යම් තැනකින් තද වන බව දැනුණි. ඔහු ඉතා පරෙස්සමින් එය දෙපසට කළේය.

"ටක්" යන ශබ්දයත් සමඟ පෙන්ඩන්ට් එක දෙකට විවෘත විය. මාධව සහ මේඝ දෙදෙනාගේම දෑස් පුළුල් විය. ඒ ඇතුළත, ඉතාමත් ලස්සන සහ අද්භූත ආලෝකයකින් බබළන කුඩා මැණික් කැබැල්ලක් ඔබ්බවා තිබුණි. එය මේසය මත තිබූ රතු මැණික් කැටවල වර්ණයටම සමාන විය.

මේඝ ඉතා සෙමින්, වෙව්ලන දෑතින් ඒ කුඩා මැණික් කොටස පෙන්ඩන්ට් එකෙන් ගලවා ගත්තේය. ඒ සමඟම, මේසය මත තිබූ රතු මැණික් කැට දෙක තවත් ශක්තිමත්ව 'වයිබ්‍රේට්' වන්නට පටන් ගත්තේය. ඒවායින් පිට වූ ආලෝකය කාමරය පුරා විසිරී ගියේය. මේඝ තමා අත තිබූ ඒ කුඩා මැණික් කැබැල්ල, මේසය මත තිබූ ප්‍රධාන මැණික දෙසට සෙමින් ළං කළේය.

චුම්බකයක් යකඩයකට ඇදගන්නාක් මෙන්, ඒ කුඩා මැණික් කැබැල්ල ක්ෂණයකින් මේසය මත තිබූ රතු මැණික වෙත ඇදී ගියේය. එය හරියටම කැඩී ගිය කොටසක් නැවත තමන්ගේම තැනට එකතු වන්නාක් මෙනි. මිනිත්තු කිහිපයකට පෙර අඩුවක්ව තිබූ, පළුදු වී තිබූ ඒ මැණික් කැටය, දැන් කිසිදු පැල්ලමක් හෝ ඉරිතැලීමක් නොමැතිව පූර්ණත්වයට පත් විය. මැණික සම්පූර්ණ වූවා පමණි.

සාලය පුරාම මහා බලයක් එකතු වන්නාක් මෙන් රතු පැහැති දීප්තියක් පැතිර ගියේය. රතු මැණික දැන් සම්පූර්ණයෙන්ම පූර්ණ වී, ඉහළින් තිබූ ලාම්පු එළිය පවා පරයා නැඟෙන අද්භූත ආලෝකයක් විහිදුවන්නට විය.

"සම්පූර්ණයි... මේඝ, අන්න මැණික සම්පූර්ණ වුණා!" මාධව මවිතයෙන් අදහාගත නොහැකිව පැවසීය.

මේඝ ඒ පූර්ණ වූ මැණික දෙස බලා සිටියේය. ඒ මැණික දැන් මන්දිරයේ සඟවා තිබූ සියලුම ගුප්ත බලයන් පාලනය කළ හැකි සැබෑ උරුමය බව ඔහුට වැටහුණි. මේසය මත තිබූ කොටස් තුන එකිනෙකට සම්බන්ධ වී දැන් එය එකම පාෂාණයක් බවට පත්ව තිබුණි. ඒ දර්ශනයෙන් මේඝ සහ මාධව සිටියේ දැඩි වික්ෂිප්ත භාවයකිනි.

එකපාරටම කාමරයේ උෂ්ණත්වය පහත වැටෙන්නට විය. සුලෝචනාගේ රූපය කාමරයේ බිත්ති අතරින් අද්භූත දීප්තියක් මැදින් මතු විය. ඇය මේඝ දෙස බැලුවේ මහා බරක් හිතේ දරාගත්තාක් මෙනි. කාමරයේ පැවති නිශ්ශබ්දතාව බිඳිමින් ඇයගේ හඬ සෙමින් දෝංකාර දුන්නාය.

"ඔබ උරුමක්කාරයාව සොයා ගත්තා... එහෙත් කළු ලෝගුධාරියා තවමත් උරුමක්කාරයා කවුදැයි දන්නෙ නෑ. නමුත් මැණික සම්පූර්ණ වූ බව ඔහුට දැන් දැනිලා ඉවරයි. මොකද, පසුගිය වසර තිහක් පුරාම එම මැණිකේ එක් කොටසක වහලෙක් වෙලයි ඔහු හිටියෙ. ඔහු දැන් පැමිණෙන්නේ වියරු වැටුණු කොටියෙකු වගේ. ඔහු දකින්නේ තමන්ගේ දඩයම පමණයි. ඔබ දෙදෙනා ඉතා පරිස්සම් වන්න!"

මේඝට තමන්ගේ කන් අදහාගත නොහැකි විය. හදවත වේගයෙන් ගැහෙද්දී ඔහු මඳක් ඉදිරියට නැඹුරු විය. "සුලෝචනා... මා සොයාගත්තේ කවුරුන් ද? මට කියන්න, ඒ කවුද?" මේඝගේ හඬෙහි වූයේ දැඩි ආයාචනයකි.

සුලෝචනාගේ රූපය මැකී යන්නට මත්තෙන් ඇය මද සිනහවක් පෑවාය. "ඔබේ බුද්ධියට ඉඩ දී කල්පනා කරන්න. කෙසේ හෝ මේ මැණික කළු ලෝගුධාරියා අතට පත්වීම වැළැක්වීම ඔබේ වගකීම බව මතක තබා ගන්න. දැන් ඔබ දෙදෙනා සිටින්නේ උලක් මතයි. එක් අඟලක් හෙලවුණොත්... ඔබ දෙදෙනාම විනාශ වනු ඇත!"

ක්ෂණයකින් ඇය බිත්ති අතර අතුරුදන් වූවාය. කාමරයේ තිබූ රතු ආලෝකය ද නිවී ගියේය. දැන් කාමරය මහා අඳුරකටත්, නිහඬතාවයකටත් ගොදුරු වී ඇත.

මේඝ සහ මාධව එකිනෙකාගේ දෑස් දෙස බලා සිටියේ හුස්ම පවා අමතක කරමිනි. උරුමක්කාරයා කවුද?

"මේඝ... අපි දැන් මොකක්ද කරන්නෙ?" මාධව හෙමින් කොඳුළේය.

මේඝ කිසිවක් නොපවසා, සම්පූර්ණ වූ ඒ අද්භූත මැණික තමන්ගේ අතේ තදින් සිර කර ගත්තේය. ඔහුගේ දෑස් තුළ අලුත් අධිෂ්ඨානයක් පැවතිණි. "අපි සිටින්නේ උලක් මත නම්, අප ජයගත යුත්තේ හෙලවෙන්නේ නැතුවමයි."

"මොකක්ද බන් ඒ සුලෝචනා කිව්වේ? අපි කවුරුවත් සොයාගත්තේ නෑනේ!" මාධව බිම බලාගෙන වියරු ස්වරයෙන් ඇසුවේය. "අපිට මැණිකේ කොටස් තුන හමු වුණා පමණයි."

මේඝ පිළිතුරු දුන්නේ නැත. ඔහු පුටුවට බර දී දෑස් පියා ගත්තේය. සුලෝචනාගේ වචන ඒ අයුරින්ම ඔහුගේ මතකයේ දෝංකාර දුන්නේය: 'ඔබේ බුද්ධියට ඉඩ දී කල්පනා කරන්න.'

මේඝ මනසින් අතීතයට ගියේය. ඔහුගේ මව... ඒ අහිංසක, බියෙන් ජීවත් වූ, දවස පුරාම වෙහෙස මහන්සි වී වැඩ කර තමන්ට උගන්වපු ඒ මව. ඔහුට එකවරම සිතක් පහළ විය. "මගේ අම්මා කොහෙන්ද මෙවැනි වටිනාකමක් ඇති මැණිකක් රැගෙන ආවේ? ඇය කෙසේ නම් මෙය ආරක්ෂා කළාද?"

"මාධව..." මේඝ හෙමින් හඬක් නැගුවේය. "සුලෝචනා ඇයි මෙය මගේ වගකීමක් යැයි පැවසුවේ? සමහරවිට... මගේ අම්මාම උරුමක්කාරයා වන්නට පුලුවන්ද? ඇයයි මේ මාලය ජීවිතයටත් වඩා ආරක්ෂා කළේ."

එහෙත් ඒ අදහස ඔහුට පරස්පර විය. "නැහැ, එසේ විය නොහැකියි. සුලෝචනා පැවසුවේ 'ඔබ උරුමක්කාරයාව සොයාගත්තා' කියායි. මේඝ තම බෑගයේ තිබූ තමන්ගේ මවගේ ඡායාරූපය දෙස නැවතත් බැලුවේය. "වෙන්න බැහැ... ඒ දරුවා තවමත් ජීවත් වන්නේ නම්, උපරිම වයස අවුරුදු තිස් පහකට වඩා වැඩි විය නොහැකියි. මගේ මවගේ වයස සමඟ සසඳා බලන විට... ඒ දරුවා මගේ මව විය නොහැකියි. එහෙනම් ඒ මගේ මව අදුනන කෙනෙක්ද? සමහරවිට... ඒ දරුවා ම...ම..මමද..?"

ඔහුගේ මනසට පැමිණි සිතුවිල්ලත් සමග ඔහු බොහෝ විපක්ශිත විය. මේඝ තමන්ගේ අතේ තිබූ මැණික දෙස බලද්දී, එකවරම රතු ආලෝකය තව තවත් තීව්‍ර වන බව ඔහුට දැනුණී.

"මේඝ, උඹටත් සිතෙන්නේ මම සිතන දේමද?"

"මා..මාධව... 

උරුමක්කාරයා උබ කියලයි මට හිතෙන්නෙ. සුලෝචනා කිව්ව විදියට උබ හොයා ගත්තෙ උබවමයි."

මේඝගේ දෑස්වලින් දැවෙන බැල්මක් මාධව දෙසට එල්ල විය. ඔහුගේ කටහඬ ඉතා පහත් වූවත්, එහි අමුතු බරක් තිබිණි. මාධවගේ ඒ වචන කිහිපය මේඝගේ පපුවට පතිත වූයේ මහා ගල් පර්වතයක් මෙනි.

"උඹ කියන්නේ... පියදාස එදා ඒ උමඟේ රහස් දොරටුවෙන් එළියට රැගෙන ගියේ මාව කියලද?" මේඝගේ හඬ වෙව්ලන්නට විය. ඒ කියන්නෙ එදා පියදාස රැගෙන ගියේ මාවනම්, ඔහු මාව සඟවා තැබුවේ අම්මා ළඟ නම්... මගේ අම්මා..." 

"ඔව් ඒක එහෙමනම් ඒ සුලෝචනා."

මේඝ අකුණු සැරක් මෙන් නැගිට්ටේය. මේඝගේ දෑස්වලින් පිට වූයේ වියරු බැල්මකි. ඔහුට දැන් සියල්ල එකිනෙක සම්බන්ධ වන්නට පටන් ගත්තේය. මවගේ මරණය, තමන්ගේ උපත පිළිබඳ ඇති අවිනිශ්චිත බව සහ මේ මැණික තමන්ගේ අතටම පත් වීම... මේ සියල්ල හුදෙක් අහඹු සිදුවීමක් නොවේ. "උඹ හරි මාධව. සුලෝචනා පැවසුවේ 'උරුමක්කාරයාව සොයා ගත්තා' කියායි. ඇය එය මගේ හිතට කාවැද්දුවා. මම සොයාගත්තේ උරුමක්කාරයාව නොවේ, මම සොයාගත්තේ මාවමයි!"

මේඝගේ මුළු ශරීරයම එකවරම සීතල විය. ඔහු දෑත් දෙකම පපුව මත තද කරගෙන හුස්ම ගැනීමට දැඩි වෙහෙසක් දැරීය. මේඝගේ හඬෙහි වූයේ භීතිය සහ කෝපය මුසු වූ ස්වරයකි. "පියදාස එදා මාව රැගෙන ගියේ මේ රහස බේරාගැනීමට නම්, මේ කළු ලෝගුකාරයා පැමිණ සිටින්නේ මාව මරා දැමීමටමයි. එදා ඌ එච්චර උත්සහා කරලත් මැනිකෙ තරංග වලට මාව මැරුනෙ නැත්තෙ ඒකයි. ඒ කියන්නෙ එදා සුලෝචනා කිව්ව විදියට කලු ලෝගුවා මාව හොයා ගන්න කලින් මන් ඌව හොයා ගන්නවා කියන එක හරි."

"උබ හරි. ඒත් එක තැනක වැරදි."

"ඒ කොතනද.."

"මෙච්චර කල් ඒ සුලෝචනා උනාට. මට හිතෙන විදියට ඒ දැන් උබේ අම්මා."

මේඝගේ දෑස්වලින් කඳුළු බිදු වැගිරෙන්නට විය. ඔහුට දැන් වැටහේ, ඔහුව මෙලොවට බිහිකල මව මියගියේ තමන්ගේ එකම දරුවා බේරාගැනීමට තමන්ගේ ජීවිතය පමණක් නොව, තමන්ගේ ආත්මය පවා මේ මැණිකට කොටස් කර ලබා දෙමිනි. "සුලෝචනා කියන්නේ මගේ මව නම්... මම අම්මගේ ආත්මය සමඟද මේ කතා කළේ?"

"පියදාස."මේග මහත් හඩින් කෑ ගැසූහ.

ඔව් මාධව, පියදාස පමණයි මේ සියල්ල දන්නේ! මගේ මව කවුද, මම කවුද කියා දන්නේ ඔහු පමණයි. මේ සුලෝචනා කියන්නේ ඇත්තටම මගේ අම්මනම්? මාව හදාගත්ත අම්මා කවුද? ඇය මා වෙනුවෙන් අපමන දුක් වින්දා?"

පියදාස... 

මේඝගේ හඬ තව තවත් තීව්‍ර විය.

****** 

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."      

Next Episode 


Comments

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1