සිහින මන්දාකිණී 2/11
ලංකාවේ ජනප්‍රියම යොවුන් පත්තර හතරකින් කරපු ඒ ආටිකල් (Article) එක මගේ ජීවිතේට අලුත් අත්දැකීමක් වුණා. මේ තරම් අඩු කාලෙකින් හැමදෙනාගේම ආදරේ දිනාගත්ත ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මලී අක්කා නොහිටින්න මට මේ වගේ තැනකට කවදාවත්ම එන්න ලැබෙන්නේ නැහැ. එහෙම නම් Dream TV මට හීනයක්ම තමයි.
ටවුන් එකට ගිය හේමා නැන්දා පත්තර වගයක් අරගෙන එනවා දැක්කම මට හිතුණා අද පත්තරේ අපේ ආටිකල් එක පළවෙලා ඇති කියලා. හේමා නැන්දගේ මූණේ තිබුණු හිනාව දැක්කම මටත් හිනා ගියේ ඉබේටමයි.
"මන්දාකිණි නෝනා... මල් හතයි නෝනා! නෝනට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා."
පත්තර හතරක්ම මගේ අතින් තියලා හේමා නැන්දා ගෙට ගියා. උඩම තිබුණු පත්තරේ කවර් පේජ් (Cover page) එක දැක්කම මාව සීතල වෙලා ගියා. මේ පින්තූරය කොයි වෙලාවේ ගත්තු එකක්ද? දෙවියනේ, මුහුණේ කිසිම මේකප් (Makeup) එකක් නැතුව හිටපු වෙලාවේ කොහොම මේ පින්තූරය ගත්තාද මන්දා. අනික මේ වෙලාවේ අම්මත් මගේ ළඟ හිටියානේ.
ඇහැළ ගස යට හිටගෙන, ඇහැළ මල් පොකුරක් අතේ තියාගෙන, දණහිස ගාවට කොට කහ පාට ගවුම ඇඳලා, යන්තම් හිනාවක් මූණේ තියාගෙන ඈත බලාගෙන ඉන්නේ මමද කියලා මටම හිතුණා.
අනිත් පත්තරේ කවර් පේජ් එක දැක්කම මගේ පපුව ගැහෙන්න ගත්තේ පුදුමාකාර ලෝභකමකින්. සුදුම සුදු කිට් (Kit) එකක් ඇඳගෙන, හෙල්මට් එකක් අතේ අරගෙන බයික් එක ළඟ ඉඳන් ඇවිදගෙන එන නපුරාගේ තිබුණේ දඟකාර කෙළිලොල් ගතියක්. ඕනෑම කෙල්ලෙක්ගේ හිත සසල වෙන ඒ ලස්සන මූණ, ඒ ගාම්භීරකම, පෞරුෂය ළඟ මම හුඟක් අසරණ වෙන හැටි මට මතක් වුණා. පුංචි අහංකාර හිනාවක් මූණේ තියාගෙන අකීකරු කොණ්ඩය අතින් පස්සට කරන නපුරාව හුඟක් කලාත්මක විදිහට අරගෙන තිබුණා.
අනිත් පත්තරේ හිටියේ මමයි අම්මයි. අපි දෙන්නා හුඟක් දුරට එකම වගේ. අපේ අම්මා තරුණ කාලේ හුඟක් ලස්සනට ඉන්න ඇති. අගහිඟකම් හින්දා දුක් වින්දේ නැත්නම් තවමත් අපේ අම්මා රැජිනක් වගේ ලස්සනයි. දුවෙක් විදිහට මට අම්මා ගැන ඇති වුණේ ලොකු ආඩම්බරයක්.
අනිත් පත්තරේ තිබුණු කවර් පේජ් එක මම කිසිම දවසක බලාපොරොත්තු වුණු එකක් නෙමෙයි. ඇහැළ ගස් යට පුංචි අහිංසක හිනාවක් මූණේ පුරෝගෙන ඇහැළ මල් පොකුරක් නපුරාට දෙන, මේ ෆොටෝ (Photo) එක ගත්තේ කොයි වෙලාවේද? මම මේ මල් ටික දුන්නේ අපේ අම්මාගේ අතටනේ. ඒ කියන්නේ මේක එඩිට් (Edit) කරලා හදලා තියෙන්නේ. නපුරාගේ මූණේ තිබුණේ හරිම ආදරණීය හිනාවක්. ඇත්තමයි ඒ ෆොටෝ එක හරිම ආදරණීයයි. ඒත් මේ වගේ දෙයක් කරන්න කලින් මගෙන් අහන්න තිබුණානේ. මේක දකින හැම කෙනෙක්ම හිතයි අපි කපල් (Couple) එකක් කියලා. අනික මම මොනවාද අම්මට කියන්නේ? අමිත අයියා, එයාලගේ ගෙදර අය මං ගැන මොනවා හිතයිද? ඇත්තටම මගේ ඔළුව හුඟක් අවුල් වෙන්න ගත්තා. මම දැන් කරන්න ඕනේ මොනවාද කියලා ඒ වෙලාවේ මට තේරුණේ නැහැ.
මම පත්තරේ ඇතුළු පිටු පෙරළුවේ හුඟක් කලබලෙන්. ඒ පත්තරේ දාලා තිබුණ ආටිකල් එක කියවනකොට මට ඇති වුණේ ලොකු කේන්තියක්. හයිලයිට් (Highlight) කරලා වෙනම ලියලා තිබුණු වචන දිගේ ඇස් දෙක දුවනකොට මට හිතට ආපු කේන්තිය පාලනය කරගන්න හුඟක් අමාරු වුණා.
"ඇය යෞවනයේ සිහින කුමරිය අහස්‍යා මන්දාකිණි. ඔහු නළුවෙකු නොවුණත් ඊටත් වඩා කඩවසම් නිවේදකයෙක් - සිහින සත්සර. ඔවුන්ගේ ආදර කතාව ඇත්තක්ද...?"
අපෙන් අහපු අනිත් විස්තර හැමදේම මුලින්ම පළවෙලා තිබුණා. අපිට වෙච්ච පහරදීම ගැන, මට අසනීප වුණු විදිහ, තරිඳු අයියලාට වුණු දේවල්, නඩුවේ විස්තර, ඒ හැමදේකටම පස්සේ දාලා තිබුණේ අපේ පෞද්ගලික විස්තර. ඒ හැම ප්‍රශ්නයකටම නපුරා දීලා තිබුණු උත්තර දැක්කම ඕනෑම කෙනෙකුට සැක හිතෙනවා අපි අතර සම්බන්ධයක් තියෙනවා කියලා.
"මන්දාකිණි, ඔයා ආදරේ ගැන හිතන්නේ කොහොමද?" "ආදරය කියන්නේ උතුම් දෙයක්."
"ඒ කියන්නේ... ඒ උතුම් ආදරේ දැන් ඔයා විඳිනවා කියන එකද?" "ම්... ඔව් මම හිතන්නේ. මොකද මම ළඟදීම විවාහ වෙන්න ඉන්න කෙනෙක්."
මට මතක විදිහට මම එදා ආදරේ ගැන කිව්වේ එච්චරමයි. ඒ ටික ඒ විදිහටම පළ කරලා තිබුණා. ඒත් නපුරා...
"සිහින... ඇත්තක්ද ඔබේ අම්මයි, ඒ කියන්නේ Dream TV අධිපතිනිය කාන්ති සූරියබණ්ඩාර මහත්මියත්, මන්දාකිණි රත්නායකගේ මවත් හොඳම යහළුවන් කියන්නේ?"
"ඇත්තෙන්ම ඔව්... හුඟක් හොඳ යාළුවෝ."
"ඒ කියන්නේ මන්දාකිණි ඔයාගේජීවිතයට ආගන්තුකයෙක් නෙමෙයි?"
"කොහොමත් ආගන්තුකයෙක් වෙන්න බැහැනේ. මන්දාකිණි විතරක් නෙමෙයි, අපේ චැනල් එකේ කිසිම කෙනෙක්ට මම ආගන්තුකයෙක් විදිහට සලකන්නේ නැහැ. කොහොමත් අපේ ආයතනය ඇතුළේ පෞද්ගලික දැනහැඳුනුම්කම්වලට තැනක් නැහැ. දක්ෂතාවයට තමයි තැන තියෙන්නේ."
"එතකොට මම ඔබෙන් ආදරේ සම්බන්ධව ඇහුවොත්... ඔබට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද?"
"ආදරේ සුන්දරයි... බාධක කම්කටොළු වැඩි තරමට."
"ඒ කියන්නේ ඔබේ ආදරේට බාධක වැඩියි කියන එකද?"
"එහෙමමත් නැහැ... ටික ටික තියෙනවා."
"එතකොට ඔබේ හිටපු පෙම්වතිය, එහෙමත් නැත්නම් ඔබ විවාහ වෙන්න යෝජනා වෙලා තිබුණු රශ්මි මෙනවිය ගැන ඔබට මොනවාද කියන්න තියෙන්නේ?"
"ඇත්තටම හුඟක් දෙනෙක් ඒ සම්බන්ධව දැනටමත් දන්නවා. මම ඒ ගැන තවත් කතා කරන්න කැමති නැහැ."
"එහෙමනම් දැන් පෙම්වතිය ගැන පැවසුවොත්?"
"කවුද කියන්නේ මට දැන් පෙම්වතියක් ඉන්නවා කියලා?"
"ඔබ දැන් නොකිව්වත් හැමෝම මේ සම්බන්ධව දන්නවා නේද? අනික ඔබේ හිනාවෙන්ම කියන්න පුළුවන් ඒක ඇත්තක් කියලා."
"අනේ මන්දා ඉතින්... ඔයාලා කියනවා අපි අහනවා."
"ඇත්තද ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා කියන්නේ මන්දාකිණිව විවාහ කරගන්නවා කියලා? ඒ කියන්නේ දැන් ඔබේ පෙම්වතිය ඇයද?"
"අම්මෝ... ඔයාලට හොරෙන් කිසි දෙයක් කියන්න බැහැනේ."
"ඒක ඇත්තක් නේද?"
"ම්... ඔව්, මම එහෙම ප්‍රකාශයක් කළා. මම ඒක පිළිගන්නවා."
"ඒ කියන්නේ, මේ හැම කටකතාවක්ම ඇත්ත?"
"සමහර දේවල් ඇත්ත. හැබැයි එහෙම කියලා හැමදේම ඇත්ත කියලා නම් කියන්න බැහැ."
"ඔයාලගේ ආදර කතාව ඇත්තක් නම් ඔයාලට දෙමව්පියන්ගේ ආශිර්වාදය කොහොමත් ලැබෙයි නේද?"
"ඒක නම් ඉතින් අහන්න වෙන්නේ අම්මලාගෙන් තමයි. කොහොමටත් මගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ අම්මි."
*********
"හෙ... හෙලෝ..."
"හෙලෝ, කවුද මේ?"
"හෙ... හෙ... හෙලෝ..."
"ඔව් කියන්න, කවුද මේ? මට ඇහෙනවා කතා කරන්න."
කොච්චර චණ්ඩියා වගේ කෝල් (Call) කරලා නපුරාට බණිනවා කියලා හිතුවත්, ඒ කටහඬ ඇහෙනකොට මාව බය වෙලා ගොළු වෙලා ගියා.
"හෙලෝ, කාටද කතා කරන්න ඕනා?"
"හෙ... හෙලෝ..."
"ඔය කතා කරන කෙනා කවුරු වුණත්, කතා කරන්න කටක් නැද්ද? මම ඉන්නේ වැදගත් මීටින් (Meeting) එකක. මට මෙතැන විකාර කර කර ඉන්න වෙලාවක් නැහැ."
ඒ වෙලාවේ නම් නපුරාට ටිකක් තරහා ගියා කියලා මට තේරුණා. අම්මෝ, මෙච්චර නපුරු වෙන්නේ අර ලස්සන කොල්ලමද කියලා මට හිතුණා.
"හෙ... හෙ... හෙලෝ... සිහින සර් නේද?"
"මන්දාකිණි? මේ ඔයාද?"
නපුරාගේ කටහඬේ තිබුණේ ලොකු පුදුමයක්. ඒ වගේම එයා හුඟක් කලබල වුණා කියලා ෆෝන් (Phone) එකෙන් වුණත් මට තේරුණා.
"සර්..."
"මන්දාකිණි, ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? මේ ගෙදර ෆෝන් නම්බර් එකත් නෙමෙයි, හෑන්ඩ් ෆෝන් එකක් නෙමෙයි. ඔයා කොහොද ඉන්නේ? කාත් එක්කද ඉන්නේ?"
"ම... ම... මම ටවුන් එකට ආවා සර්."
"කාත් එක්කද?"
"ත... තනියම."
"මන්දාකිණි... තමුසෙට පිස්සුද?"
නපුරාගේ කටේ සද්දෙට මාව ගැස්සිලා ගියා. ඒ තරම් කේන්තියක්!
"කරුණාකරලා මට කියනවා දැන් තමුසෙ කොහොද ඉන්නේ?"
"ස... ස.. සර්..."
"මගේ යකා අවුස්සන්න එපා මන්දාකිණි!"
"සි... සිංහ බුක්ෂොප් (Bookshop) එක ඉස්සරහා තියෙන කමියුනිකේෂන් (Communication) එකේ."
"හරි... දැන් පුළුවන් ඉක්මනට යනවා බුක්ෂොප් එක ඇතුළට. මම එනකන් එක අඩියක්වත් එළියට තියන්න එපා. මම ඇවිත් තමුසෙ ගැන බලාගන්නම්!"
"ස.. සර්..."
මම වෙන කිසිම දෙයක් කියන්න කලින් නපුරා ෆෝන් එක කට් (Cut) කළා. දැන් ඉතින් ආවාම මම ඉවරයි. අපරාදේ කලබල වෙලා මම කළේ මෝඩ වැඩක්. දැන් ඉතින් මොනවා කරන්නද? ඇස් දෙකෙන් ආපු කඳුළු ලේන්සුවට තද කරගෙන මම බුක්ෂොප් එක ඇතුළට ආවා.
ලස්සනට පිළිවෙළකට තියලා තිබුණු පොත් රාක්ක මැද්දේ ඉන්නකොට හිතට දැනුණේ ලොකු සැහැල්ලුවක්. ලස්සනයි කියලා හිතුණ නවකතා පොත් ටිකක් එහෙට මෙහෙට පෙරළ පෙරළ තැනින් තැන කියෙව්වේ කාලය ගෙවා ගන්න ඕන නිසා. අපරාදේ සල්ලි අරන් ආවා නම් අරගෙන යන්න තිබුණා.
බුක්ෂොප් එකේ හිටපු කස්ටමර්ස්ලා (Customers) වගේම වැඩ කරන අයත් මගේ දිහා අවධානයෙන් බලනවා දැක්කම මට ලොකු අපහසුවක් දැනුණා. මෙතැන ඉන්න හුඟදෙනෙක් අද පත්තරේ කියවලා ඇති කියලා හිතෙනකොට මට දැනුණේ ලොකු ලැජ්ජාවක්. නපුරා ඉක්මනින් එනවා නම් හොඳයි. ගෙවිලා ගිය විනාඩි දහයක් විතර වුණාට මට ඒක දැනුණේ කල්ප ගානක් වගේ.
"මන්දාකිණි..."
සද්දෙට නොවුණත් හුඟාක් තදින් නපුරාගේ කටහඬ මගේ ළඟ ඇහෙනකොට මට ඇතිවුණේ ලොකු බයක්. මගේ පිටිපස්සේ හිටපු නපුරා දිහා ඔළුව උස්සලා බලන්න පුළුවන්කමක් මට තිබුණේ නැහැ.
"තමුසෙට කවුද කිව්වේ තනියම ගෙදරින් එළියට බහින්න කියලා?"
"ස... සර්."
"තමුසෙ මේ කරපු වැඩේ බරපතළකම තමුසෙට තේරෙන්නේ නැද්ද? තමුන්ගේ ජීවිතේ නැති කරලා දාන්න කී දෙනෙක් බලන් ඉන්නවාද? ඒක තමුසෙ දන්නවා නේද? අනික හදිසියේවත් අසනීප වුණා නම් එහෙම තමුසෙ මොකද කරන්නේ?"
"අ.. අනේ සර්... මම එච්චර දුර හිතුවේ නැහැ."
"එනවා යන්න! තවත් මගේ යකා අවුස්සන්නේ නැතුව."
මගේ අතේ තිබුණු පොත් දෙක ඇදලා අරගෙන මාවත් ඇදගෙන නපුරා කැෂියර් (Cashier) එක ගාවට ආවා. කැෂියර් එකේ හිටපු ගර්ල් (Girl) අපි දිහා බැලුවේ කන්න වගේ. වටපිටාවේ හිටපු හැමෝගෙම අවධානය තිබුණෙත් අපි දෙන්නගේ පැත්තට කියලා මට තේරුණේ ඒ වෙලාවේ.
"සර්ලා අද පත්තරේ ඉන්නවා නේද?"
"ආ... ඔව්. ඔයාලා පත්තරේ බැලුවද? අපිට මේ පොත් දෙක දෙන්න. පොඩ්ඩක් පරක්කු වෙලා තියෙන්නේ."
"ඔව් සර්... අපි හැමෝම අද පත්තරේ කියෙව්වා. ඔයාලා දෙන්නම හරිම ලස්සනයි."
"තෑන්ක්යූ (Thank you)."
"පත්තරේට කියලා තිබුණේ ඔයාලා අතර සම්බන්ධයක් නැහැ කියලා වුණාට, නැත්තෙමත් නැහැ නේද මිස්?"
ඒ ගර්ල් මගෙන් අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නේ කොහොමද කියලා මට තේරුණේ නැහැ. මම නපුරා දිහා බැලුවේ රවලා. නපුරා යන්තමට හිනා වුණා මිසක් මට මුකුත් කිව්වේ නැහැ. එයා ඒ වෙනුවට ඒ ගර්ල්ට උත්තර දුන්නා.
"අපිට ඇස් දෙකට පේන දේවලුයි, අපේ කන් දෙකට ඇහෙන දේවලුයි ගොඩක් වෙලාවට බොරු වෙනවා. අපිට පරක්කු වෙනවා, බිල් එක දෙනවාද?"
ඒ ගර්ල්ගේ මූණ හතරැස් වුණේ බලාගෙන ඉද්දී. ටිකක් වෙලා අපි දිහා බලන් හිටපු ඒ ගර්ල් බිල් එක දාලා නපුරාගෙන් සල්ලි ගත්තා. කවරෙකට පොත් ටික දාලා නපුරාට දෙන ගමන් කෙල්ල හින්ට් එකට (Hint) හිනා වුණා.
"සර් ඇස් දෙකට දකින දේවලුයි, කන් දෙකට ඇහෙන දේවලුයි විතරක් නෙමෙයි, ලිඛිතව සඳහන් කරලා ප්‍රසිද්ධියට පත් කරලා තියෙන දේවලුත් බොරු වෙන අවස්ථාවල් ඕනෑ තරම් එනවා. අද සර්ලා පත්තරේට කියලා තියෙන දේවල් වුණත් සමහර විට දවසක වෙනස් වෙන්න පුළුවන්."
"ඔයා හරියටම හරි."
ඒ ගර්ල්ගේ මුහුණ දිහා ටිකක් වෙලා බලන් හිටපු නපුරා ලස්සනට හිනා වෙලා කෙල්ලට එහෙම කිව්වා. ඊට පස්සේ මාවත් ඇදගෙන බුක්ෂොප් එකෙන් එළියට ආවේ අඩියට දෙකට.
********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."
Next Episode


Comments
Post a Comment