සිහින මන්දාකිණී 2/12



  12 වන දිගහැරුම

එදා වගේම නපුරාගේ කාර් එක හරවන්නේ එයාගේ හුරුපුරුදු රෙස්ටුරන්ට් (Restaurant) එකට කියලා මට තේරුණා. කාර් එකට නැග්ග වෙලාවේ ඉඳලා මේ වෙනකම් මමවත් නපුරාවත් එක වචනයක්වත් කතා කළේ නැහැ. එයා හිතට ආපු ලොකු කේන්තියක් පාලනය කරගන්න ලොකු උත්සාහයක යෙදෙනවා කියලා මට තේරුණා.

පුරුදු විදිහටම රෙස්ටුරන්ට් එකේ කාර් එක පාක් (Park) කරපු නපුරා, ලොකු හුස්මක් පිට කරමින් මගේ දිහාට හැරුණා.

"මන්දාකිණි..." 

"සර්..."

"ඔයා මේ කරපු දේ හුඟක් බරපතළයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, ඒක වෙලා ඉවරයිනේ. ඉස්සෙල්ලම මට කියන්න ඔයා ගෙදරින් එනකොට කවුද ගෙදර හිටියේ කියලා?"

 "හේමා නැන්දා විතරයි සර්."

"සිකියුරිටි (Security) අංකල්?"

 "එයා කෑම කන්න ගිහින් හිටියේ."

"විශා ආන්ටි කොහොද?"

 "අම්මා උදේ අමිත අයියලාගේ ගෙදර ගියා. එනකොට හවස් වෙයි."

 "හ්ම්... වෙලාවට!"

නපුරා කිව්වේ එච්චරයි. එතකොටම නපුරාගේ ෆෝන් එක රින්ග් (Ring) වෙන්න ගත්තා. 

"මේ පේනවාද?"

නපුරා ෆෝන් එකේ ස්ක්‍රීන් (Screen) එක මට පෙන්නුවේ කේන්තියෙන්. ඒකේ වැටිලා තිබුණේ ගෙදර නම්බර් එක. හේමා නැන්දා කලබල වෙලා ඇති කියලා මගේ හිත මුමුණන්න පටන් ගත්තා.

 "හේමා හොඳටම බය වෙලා ඇති දැන්..

. සොරි සර්."

"සොරි කිව්වාම හැමදේම හරි යනවා කියලද හිතන් ඉන්නේ?" කේන්තියෙන් එහෙම කියපු නපුරා ෆෝන් එක ආන්සර් (Answer) කළා.

"හෙලෝ... හේමා, බය වෙන්න එපා. මන්දාකිණි නෝනා දැන් ඉන්නේ මාත් එක්ක. ඔව්... ඔව්, පත්තරේ තිබුණු දේවල්වලට කලබල වෙලා මාව හම්බවෙන්න ඇවිත්. ආන්ටිට (Aunty) කියන්න මලීෂා මිස් ඇවිත් චැනල් එකේ වැඩකට එක්කන් ගියා කියලා. මම මලීෂාට කියන්නම්. ඕකේ... බය වෙන්න එපා, මම ඒ ප්‍රශ්නය විසඳන්නම්. හේමා, මම කිව්ව විදිහට කරන්න."

ඊට පස්සේ නපුරා මලී අක්කාට කෝල් එකක් අරගෙන සේරම විස්තර කිව්වා. දැන් ඉතින් මට කනක් ඇහිලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. මගේ මෝඩකම නිසා මලී අක්කාගෙනුත් බණ අහන්න වෙයි. හවස ප්‍රෝග්‍රෑම් (Program) එකට වෙන කෙනෙක්ව දාලා මාව එක්කගෙන ගෙදර යන්න එන්න කියලා මලී අක්කාට කියපු නපුරා ෆෝන් එක කට් කළා.

"හ්ම්... දැන් සේරම හරි. ඔයාට ඉතින් මා වගේ බෝයි ෆ්‍රෙන්ඩ් (Boyfriend) කෙනෙක් ඉන්න හින්දා හොඳයි මන්දාකිණි." 

"මොකක්ද සර්?"

 "ඇයි, මම ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙමෙයිද?" 

"නැහැ!"

"එහෙනම් ඉතින් එදා මට තුරුල් වෙලා හිටියේ මොකටද? ඔයා මාව නොමඟ යවන්න එපා."

 "අනේ මන්දා සර් මොනවා කියනවාද තේරෙන්නේ නැහැ." 

"හා... ඔයාට කරන්න හොඳයි, මම කිව්වාම තමයි වැරදි. මම නම් ඔන්න ඔයාව කිස් (Kiss) කළා කියලා පිළිගන්නවා."

"අනේ සර්, ඒක අමතක කරන්න. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි."

 "අම්මෝ මන්දාකිණි, මම නම් හිතුවේ නැහැ ඔයා ඔහොම කෙනෙක් කියලා. ඒ වගේ දෙයක් කොච්චර ඉක්මනට අමතක කරන්න ඔයාට පුළුවන්ද?"

 "අනේ සර්, මම එහෙම නරක කෙනෙක් නෙමෙයි." 

"කවුද කිව්වේ ඔයා නරක කෙනෙක් කියලා? මම නම් කිව්වේ නැහැ. ඔයා මොනවා හිතනවාද මන්දා!"

මම එතනින් එහාට මුකුත්ම කියන්න ගියේ නැහැ. මම මොනවා කිව්වත් නපුරා මාව අවුස්සන්න පටන් ගත්තා. හිතට ආපු කේන්තියෙන්ම මම අහක බලාගත්තා. නපුරා කළේ හිනා වුණු එක විතරයි. මෙයාට දැන් මාව විහිළුවක් වෙලා.

"ඔයා දැන් ඔය රතු වෙලා තියෙන්නේ කේන්තියටද ලැජ්ජාවටද කියලා නම් මට හිතාගන්න බැහැ මන්දාකිණි."

 "කේන්තියට!"

 "මට නම් හිතෙන්නේ ලැජ්ජාවට කියලා."

 "සර් ඕන විදිහකට හිතාගන්න!"

නපුරාට එහෙම කියලා මම කාර් එකෙන් බැහැලා රෙස්ටුරන්ට් එක පැත්තට ඇවිදගෙන ආවා. නපුරාත් මගේ පිටිපස්සෙන් එනවා දැනුණත් මම හැරිලා බැලුවේ නැහැ. එදා අපි වාඩි වුණු තැනටම මම ආවා. මගෙ පිටිපස්සෙන් ආපු සිහින සර් හිනා වෙවීම් එතන තිබ්බ ටේබල් එකේ පුටුවකින් වාඩිවුනා

"ඉතින් කොහොමද තිළිණ?" 

එතනට ආපු තිළිණ මාත් එක්ක කතා කළේ හුඟක් සුහද විදිහට. 

"හොඳින් ඉන්නවා මිස්. මිස්ට කොහොමද දැන්? අසනීප හොඳයිද?"

 "දැන් නම් තරමක් දුරට හොඳයි තිළිණ."

"මුලින්ම මිස්ව දැක්කාම මම හිතුවේ මිස් තනියම ඇවිත් කියලා. පස්සේ තමයි සිහින සර්ව දැක්කේ."

 "ඔන්න තිළිණ, මම නම් අද එන්න නෙමෙයි හිටියේ. මන්දාකිණි තමයි ගාල කඩාගත්ත හරක් පැටියෙක් වගේ දුවගෙන ආවේ." 

"බොරු කියන්න එපා සිහින සර්!"

"ආ... මම මොකටද බොරු කියන්නේ? ඔයා නෙමෙයිද මුලින්ම කාර් එකෙන් බැහැලා ආවේ? මම කිව්වේ නැහැනේ මෙතෙන්ට යමු කියලා." 

"එහෙනම් සර් මොකටද මෙතැන කාර් එක නැවැත්තුවේ?" 

"මම අද දවල්ට කෑම ගෙනාවේ නැහැ. මම මේ තිළිණට කියලා කෑම එකක් ගන්න මෙතැන නැවැත්තුවේ. නැතුව මේ ඔයාව එක්කන් එන්න හිතුවේ නැහැ."

 "අනේ සර්, ඔහොම බොරු කියන්න එපා."

මම නපුරාට එතනින් එහාට මුකුත් කිව්වේ නැහැ. එයා මාව විහිළුවකට අරගෙන නිසා මගේ හිතට ලොකු දුකක් වගේම කේන්තියක් දැනුණා. මම ඈත පේන මුහුද දිහා බලාගත්තේ ඇස් දෙකට ආපු කඳුළු හංගන්නයි.

"සිහින සර් විහිළු කරන්නත් දන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. හරි, එහෙනම් කියන්න ලන්ච් (Lunch) එක රෙඩි (Ready) කරනකන් මොනවාද බොන්න ගේන්නේ කියලා?" 

තිළිණ ඇහුවා.

 "ඔව්, ආපු එකේ කාලාම යමු.

 මන්දාකිණි, ඔයා මොනවාද බොන්නේ?"

 "මට මොකුත් එපා."

"තරහා ගත්තාට කමක් නැහැ, කෑම එකත් එක්ක තරහා වෙන්න එපා මන්දාකිණි."

 "මම එක පාරක් එපා කිව්වනේ!"

 "අම්මෝ... අද නම් මට ගුටිත් කන්න වෙයි වගේ. තිළිණ, ඔයාට බැරිද මේ පැත්ත අයිසොලේට් (Isolate) කරන්න?" "ඒ මොකද සිහින සර්?" "නැත්නම් මෙහෙම මම ගුටි කන එක වෙන කෙනෙක් දැක්කොත් ඒකත් පත්තරේ යයි!"

"හරි හරි සර්, මම මේ පැත්තට කවුරුත් එවන්නේ නැතුව ඉන්නම්කෝ." 

"අන්න එහෙම හොඳයි. එහෙනම් අපිට ෆෘට් ජූස් (Fruit juice) දෙකක් දෙන්න. තව පැය එකහමාරකින් විතර ලන්ච් එක රෙඩි කරන්න."

 "පැය එකහමාරක් මට මෙතැන ඉන්න බැහැ සර්. අනික මට කන්න ඕනෙත් නැහැ."

"ඔයාට කන්න ඕනේ නැති වුණාට මට බඩගිනියි මන්දාකිණි. පහුගිය කාලේ මම දවස් ගණන් හරියට කෑමක් බීමක් නැතුව ඉස්පිරිතාල ගානේ හිටියා. දැන් ඒවටත් එක්ක කන්න ඕනේ."

 "ඉතින් සර් මොකටද මං හින්දා ඔය තරම් දුක් වින්දේ?" 

"කවුද කිව්වේ ඔයා හින්දා කියලා? මම දුක් වින්දේ මගේ චැනල් (Channel) එක හින්දා." 

"ඔව් ඉතින්... කොහොමත් එහෙම තමයි. මම ඒක දන්නවා."

"හරි, දැන් මොනවාද ඔයා දන්නේ?"

 "සර් මේ හැමදේම කරන්නේ චැනල් එක හින්දානේ, මං හින්දා නෙමෙයිනේ."

 "දැන් එතකොට ඔයා බලාපොරොත්තු වෙනවාද මම ඔයා හින්දා මේ දේවල් කරයි කියලා?" 

"එහෙම බලාපොරොත්තු වුණා කියලා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා මම දන්නවා."

"මන්දාකිණි..."

 හිතන්නෙම නැතුව මගේ කටින් පිටවුණු ඒ වචන වැඩිය හොඳ නැහැ කියලා මට තේරුණේ පස්සේ. මම ලැජ්ජාවෙන්ම ලේන්සුවෙන් කට වහගෙන ඈත මුහුද දිහා බලාගත්තා. 

"දැක්කා නේද මන්දාකිණි, ඔයා කොයිතරම් හංගන්න හැදුවත් ඔයාගේ හදවත කතා කරපු හැටි?"

 "එහෙම..."

"තවත් බොරු කියන්න හදන්න එපා. ඔයා මට ආදරේ කරනවා කියන එක දැන්වත් පිළිගන්න. ඔයාගේ හදවතට කන් දෙන්න. අනිත් හැම ප්‍රශ්නයක්ම මම බලාගන්නම්." 

නපුරා මගේ මූණ දිහා බලාගෙන හිටියේ හරිම ආදරෙන්. ඒත් ඒ ආදරය විඳගන්න මට බයක් දැනුණා.

"සර්ගේ මීටින් (Meeting) එක?"

 "මන්දාකිණි එහෙනම් මගේ වැඩ ගැනත් හිතනවා නේද?" 

"මම දැනගෙන හිටියේ නැහැ සර්ට මීටින් එකක් තියෙනවා කියලා. එහෙම දැනගෙන හිටියා නම් මම කරදර කරන්නේ නැහැ." 

"එහෙනම් වෙලාවට දැනගෙන හිටියේ නැත්තේ... එහෙම වුණා නම් මට ඔයාව දකින්න චාන්ස් (Chance) එකක් හම්බ වෙන්නේ නැහැනේ."

"සොරි සර් මං නිසා වැඩ පාඩු වුණාට."

 "මම වෙන කෙනෙක් වෙනුවෙන් නම් මගේ කිසිම වැඩක් පාඩු කරගන්නේ නැහැ. ඒත් ඔයා වෙනුවෙන් මට මේ ලෝකේ කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඔයා ඒ ගැන වද වෙන්න එපා."

"සර්... අද පත්තරේ..." 

මම මාතෘකාව වෙනස් කළා. 

"මම හිතුවා වගේම ඔයා මේ කලබල වෙලා තියෙන්නේ කලබල වෙන්න ඕනේ දෙයකට නෙමෙයි මන්දාකිණි." 

"සර්ට ඒක ප්‍රශ්නයක් නොවුණට මට ඒක ලොකු ප්‍රශ්නයක් සර්. මම කසාද බඳින්න ඉන්න කෙනෙක්. එහෙම තියෙද්දී පත්තරේ ඒ වගේ දේවල් පළවුණාම මම කොහොමද අම්මට මූණ දෙන්නේ? මිනිස්සු මගේ මූණට කෙළ ගහලා යයි."

"හරි, මම ඔයා කියන දේ පිළිගන්නවා. ඒත් පත්තරේ කොතැනකවත් කියලා තියෙනවාද මම ඔයා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා? අනික ඉතින් ඔයා ඒකට කැමති නැද්ද? මේ ප්‍රශ්න නොතිබුණා නම් මම ඇත්තටම කියනවා මම තමයි ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා හැමෝටම." 

"සර්ට පිස්සුද?" 

"ඇයි, මොකක්ද ඒකේ තියෙන වැරැද්ද?"

"කොච්චර සැහැල්ලුවෙන් මේ ගැන හිතන්න එපා සර්." 

"මම සැහැල්ලුවෙන් හිතන්නේ නැහැ මන්දාකිණි. මම මේ ගැන හිතන්නේ මොළය පාවිච්චි කරලා. ඔයා වගේ කලබල වෙලා නෙමෙයි. අපි කියන හැමදේකටම වගකීමක් තියෙන්න ඕනේ. නැත්නම් මේක නඩුවේදී අපිට පාඩු වෙන්න පුළුවන්."

"අපේ පෞද්ගලික ජීවිතයයි නඩුවයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?"

 "අයියෝ... ඔය මොළය ඇතුළේ තියෙන්නේ මැටිද? නීතියට පෞද්ගලික, පොදු කියලා දෙයක් නැහැ. හැමදේකටම ඕනේ සාක්ෂි. ඇයි ඔයා පත්තරේ කියෙව්වේ නැද්ද? උන් මගෙන් අහන්නේ මන්දාකිණිව කසාද බඳිනවා කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළාද කියලා. ඉතින් මම කොහොමද නැහැ කියන්නේ? එදා ඉස්පිරිතාලේ දෙනෝ දාහක් ඉස්සරහ මම එහෙම කිව්වනේ."

"ඉතින් සර්ට තිබුණානේ ඒක කේන්තියටයි කලබලයටයි කියපු දෙයක් කියලා කියන්න."

 "එහෙම කියන්නේ කොහොමද? ඒක හදවතින්ම කියපු දෙයක්නේ. ඇත්තමයි මන්දාකිණි, මම හිතාගෙන හිටියේ ඔයා කිව්ව විදිහට කියන්න තමයි. ඒත් මගේ දිව නැමුණේ නැහැ ඔයා මගේ නෙමෙයි කියලා කියන්න. අනික ඔයා අයිති සිහිනට කියලා මිනිස්සු හිතාගෙන ඉන්නකොට ඔයාට අත තියන්න කලින් ඕනෑම කෙනෙක් දෙපාරක් හිතනවා."

"අන්තිමට සර් කියපු දෙයින් මට තමයි ප්‍රශ්නවලට මූණ දෙන්න වෙන්නේ.

 විශාකා ආන්ටිටද ?, අමිතද?" 

දෙකම.

"අමිතයාගේ ප්‍රශ්නය මම ළඟදීම විසඳන්නම්කෝ. ඌට දෙකක් ඇන්නාම තමයි මගේ හිත සන්සුන් වෙන්නේ."

 "අනේ සර්, මං නිසා ප්‍රශ්න ඇති කරගන්න එපා."

තිළිණ ජූස් දෙක අරගෙන ආපු නිසා අපේ කතාව ටිකකට නතර වුණා.

 "මන්දාකිණි..." 

"ඇයි සර්?" 

"මම ඔයාට ආදරෙයි." නපුරා ඒක කිව්වේ හරියට පොඩි ළමයෙක් වගේ.

 "සර්, මේක එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි."

 "කවුද සෙල්ලම් කළේ? මම කිව්වේ ඇත්ත."

"සර් තේරුම් ගන්නකෝ... අපි දෙන්නා හරියට අහසයි පොළොවයි වගේ."

 "කමක් නැහැ, අහසයි පොළොවයි එකතු වෙන්නේ නැත්නම් මම උල්කාපාතයක් වෙලා හරි පොළොවට එනවා." 

"අනේ මන්දා සර්ත් හරියට පොඩි ළමයෙක් වගේ. කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ."

 "ඉතින් මම මගේ හැඟීම් කෙළින් කියනවා. ඔයා ඔයාගේ හැඟීම් හිත ඇතුළේ හංගගන්නවා."

ජූස් එක බීලා ඉවර වුණාම නපුරා මගේ අතින් අල්ලගත්තා. "දැන් එන්න යමු. රැල්ල පෑගුවාම ඔය හිත නිදහස් වෙයි. ඔයා කොහොමත් මුහුදට ආසයිනේ."

 "අනේ සර් මට අද නම් බැහැ."

 "ඇයි ඒ?" 

"මගේ හිතට හරි නැහැ."

 "මෙහෙ එනවා යන්න මගෙන් ගුටි නොකා!"

නපුරා මාවත් ඇදගෙන මුහුදු වෙරළට ආවා. රැල්ල පාගද්දී මගේ හිතටත් ලොකු සැහැල්ලුවක් දැනුණා.

 "මන්දාකිණි, මම දෙයක් අහන්නම් මට ඇත්තම කියනවාද?"

 "මොකක්ද?" 

"හැබැයි ඇත්තම කියන්න ඕනේ. මගේ ඔළුවට අත තියලා දිවුරන්නත් ඕනේ. මට ඇත්ත කියන්න... ඔයාගේ හිතේ මං ගැන පුංචි හැඟීමක්වත් නැද්ද? ඔයා මගෙන් ඈත් වෙන්න හදන්නේ බාහිරින් එන බලපෑම් හින්දා නේද?"

"අනේ සර්..."

 "බය නැතුව ඇත්ත කියන්න. කෝ අත දෙන්න." නපුරා මගේ අත අරගෙන එයාගේ ඔළුවෙන් තියාගත්තා. "දැන් දිවුරලා කියන්න." 

"අනේ මට බැහැ සර්."

"අද නම් ඔයාට ගැලවිලා යන්න බැහැ කෙල්ලේ. උත්තරයක් ඕනෑමයි. මං ගැන හැඟීමක් තියෙනවාද නැද්ද?" 

මම ඇස් දෙක පියාගත්තේ එයාගේ ඇස් දිහා බලන්න බැරිකමට. 

"හැඟීමක් තියෙන බව ඇත්ත... ඒත් ඒක ආදරයකට පෙරළන්න පුළුවන් ශක්තියක් මට නැහැ සර්. මගේ පවුල් පසුබිමත් එක්ක මම හුඟක් අසරණ වෙනවා. පින් සිද්ධ වෙයි මට බලපෑම් කරන්න එපා."

"මං ඔයාට බලපෑම් කරන්නේ නැහැ මන්දාකිණි. හැබැයි මම ඔයාව අනිවාර්යයෙන්ම මගේ කරගන්නවා. ඒක මම ඔයාට දෙන පොරොන්දුව." නපුරා මගේ මූණ එයාගේ දෝතින් අල්ලගත්තා. මම එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා මාව ශක්තිමත් දෑතින් වැළඳගත්තා. එදා වගේම අදත් මම ඒ පපුවට තුරුලු වුණේ පුංචි ළමයෙක් වගේ.

******** 

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."   


Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1