සීතල මන්දිරය/ 3 වන කොටස[අභිරහස් කතා/නවකතා]
3 දිගහැරුම
රාත්‍රියේ ඇසුණු අද්භූත හඬවල් සහ මන්දිරයේ ගුප්ත බව මැද වුවත්, අධික ගමන් වෙහෙස නිසාම මේඝට තද නින්දක් ගියේය. ඔහු අවදි වන විට ජනේලයෙන් ගලා ආ මුදු හිරු එළිය කාමරය පුරා විසිරී තිබුණි. ගතට දැනෙන අධික සීතල කබායට පවා ඔරොත්තු නොදෙන තරම් බව ඔහුට හැඟුණි. මේඝ ජනෙල් කවුළුව සම්පූර්ණයෙන්ම විවර කළේ නුවරඑළියේ පවතින උදෑසන පරිසරයේ සුන්දරත්වය විඳගැනීමේ අරමුණිනි.
මීදුම කෙමෙන් කෙමෙන් තුනී වී ගස් අතරින් රිංගා යන විට, මන්දිරයේ වත්ත කෙළවර ඇති පයින් ගස් ඉහළින් පිනි බිංදු වැටෙන හඬ පවා ඇසෙන තරමට අවට නිස්කලංක විය. මන්දිරය පාළු වුවත්, එහි දැන් තිබුණේ බියට වඩා සන්සුන් බවකි. පක්ෂීන්ගේ නාදයත්, ඈතින් ඇසෙන දිය ඇල්ලක හඬත් ඒ නිහඬ බවට මිහිරක් එක් කළේය. මේසය මත තිබූ ජෝගුවේ ඇති සීතල වතුර ටිකකින් මුහුණ සෝදාගත් මේඝට, කාමරය තුළ තිබූ දූවිලි සහ පරණ කඩදාසි සුවඳ අතරින් තවමත් සුලෝචනාගේ මතකය දැනෙන්නට විය. පියදාස පෙනෙන්නට නොසිටියේය. කාමරයෙන් එළියට යාමට අවැසි වුවත්, තවමත් පරිසරයේ පවතින අධික සීතල මේඝගේ ගමන වළකාලීය. නැවතත් ඇඳ මත වැතිරුණු මේඝට යළිත් නින්ද ළඟා විය.
පැයකට පමණ පසු මිදුලේ වාහනයක් නතර කරන හඬින් අවදි වූ මේඝ, ජනේලයෙන් පිටත බැලුවේ ප්‍රශ්නාර්ථයක් මුව රඳවාගෙනය. ඒ මාධවය. ඔහුගේ යතුරුපැදිය මන්දිරය ඉදිරිපස නවතා තිබුණි. මේඝ තරප්පු පෙළ බැස මන්දිරයේ දොර ළඟට පැමිණියේ තම මිතුරා පිළිගැනීමටය.
මාධව මේඝ වෙනුවෙන් උදෑසන ආහාරය සහ තවත් අවශ්‍ය දෑ රැගෙන පැමිණ තිබුණි. ඒ අතර තිබූ මත්පැන් බෝතලය දුටු මේඝට සිනහවක් නැඟුණි. මේඝ පසුපසින්ම තරප්පු පෙළ නඟිමින් පැමිණි මාධවට මෙම මන්දිරය පෙනුණේ 'හොල්මන් මන්දිරයක්' ලෙසය. කාමරයට ඇතුළු වූ මාධව වටපිට බැලුවේ අප්‍රසාදයෙනි. ඔහු ජනෙල් රෙදි මඳක් ඈත් කර මේසය මත තිබූ දූවිලි තට්ටුව අතින් පිස දැමීමට උත්සාහ කළේය.
“මේඝ, උඹට මෙහේ ඉන්න පුළුවන්ද. බලපං? මේ කාමරේ හැටි... මම මේක පොඩ්ඩක් අස්පස් කරලා දෙන්නම්.” මාධව එසේ පවසමින් පරණ ලේන්සුවක් අතට ගත්තේය.
“එපා මාධව!” මේඝගේ හඬ තද විය. “ඕක තිබුණ විදිහටම තිබුණාවේ. කිසිම දෙයක් අල්ලන්න එපා.”
මාධව මවිත වී ඔහු දෙස බැලුවේය. “ඇයි බං? මේ දූවිලි අස්සේ ඉඳලා උඹට ලෙඩ හැදෙයි.”
මේඝ ජනේලය දෙස බලාගෙනම මඳ සිනහවක් පෑවේය. “මට මේ කාමරේ විතරක් නෙවෙයි, මේ මන්දිරේ තියෙන හැම දූවිලි බිංදුවක්ම වටිනවා. වසර තිහක් තිස්සේ මෙතන රැඳිලා තියෙන ඒ දූවිලි පවා මේ අභිරහසට සාක්ෂි දෙනවා. යම්කිසි දෙයක් අස් කළොත් ඒකෙන් අතුරුදහන් වෙන්නේ මට ඕන කරන සාක්ෂියක් වෙන්න පුළුවන්. දූවිලි කියන්නේ කාලය සටහන් කරපු එක ක්‍රමයක්. මේ අපරාධ ගැන හොයාගන්නකන් මේ හැමදේම මේ විදියටම තිබුණාවේ. අනික දවස් දෙකකට කලින් මෙතන වෙච්ච මිනීමැරුම සම්බන්ධයෙන් කිසිම සාක්ෂියක් අනෙක් අයට නොලැබුණාට, අපි පරීක්ෂණ කරනකොට අපිට සාක්ෂි ලැබෙන්න පුළුවන්. ඒ නිසා වෙනදා වගේම මාත් එක්ක වැඩ කරනකොට කල්පනාවෙන් වැඩ කරපන්.”
මාධව සුසුමක් හෙළා ඔහුගේ බෑගයේ තිබූ ලිපිගොනුව මේසය මත තැබුවේය. “අරක්කු වලින් තැම්බිලා හිටියට උඹ තාමත් පරණ රහස් පරීක්ෂකයම තමයි. හරි, මම ඕවා අල්ලන්නේ නැහැ. මේ තියෙන්නේ මේ වලව්වේ මෙච්චර කාලෙකට සිද්ධ වෙච්ච හැම අභිරහසක් ගැනම ලියකියවිලි. ගිය සතියේ සිද්ධ වෙච්ච මිනීමැරුමයි, ඩී.අයි.ජී.ගේ පුතාට පිස්සු හැදිච්ච එකයි සම්බන්ධවත් සියලුම වාර්තා මෙතන තියෙනවා.”
දෙදෙනාම මන්දිරයෙන් පිටතට ආවේ ආහාර ගැනීමට පෙර මුව සෝදා ගැනීමට ජලය ඇති ස්ථානයක් සොයමිනි. ඊයේ රාත්‍රියෙන් පසු පියදාසව හමුවූයේම නැත. “මේ මිනිහා කොහේ ගිහින්ද මන්දා...” මේඝ තමාටම කියාගත්තේය. මන්දිරයෙන් තරමක් දුරට වන්නට ගලෙන් බඳින ලද නාන ළිඳක් සොයා ගැනීමට ඔවුන්ට හැකි විය. එයින් පිරිසිදු සීතල වතුර එපිටට ගලා ගියේය. එහි අවට අලුතෙන් පිරිසිදු කර ඇති බවක් පෙනෙන්නට තිබුණි. ළිං මිදුලේ අලුත් වතුර බේසම් දෙකක් තබා තිබූ අතර, එම වතුරෙන් දුම් පිටවෙමින් තිබුණි. මුව සෝදා ගැනීමට අවශ්‍ය සියලු දේ ඒ අසල තිබූ ගල් බැම්ම මත තබා තිබුණි.
“ඒ බං, මෙහේ උඹ එනකොට තව කවුරු හරි හිටියද?”
“හ්ම්... ඔව්. වත්තේ මුරකාරයෙක් ඉන්නවා පියදාස කියලා.”
“ඒ කවුද බං? මම එහෙම එකෙක් දැක්කේ නෑනේ. අනික මේ වෙනකන් කියවපු කිසිම පරීක්ෂණ වාර්තාවක එහෙම මුරකාරයෙක් ඉන්නවා කියලා තිබ්බේ නෑනේ.”
“උඹ තියා ඊයේ රෑ දැක්කට පස්සේ මම දැක්කෙත් නැහැ.”
“අඩේ, ඒකනම් හොයලා බලන්න ඕන කේස් එකක්. කවුද දන්නෑ මුරකාරයා... පරීක්ෂණ වාර්තා කිසිම එකක එහෙම එකක් තිබුණේ නෑනේ බං. මට මිස් වෙන්න විදිහක් නම් නැහැ.”
“අනේ මන්දා, ඊයේ රෑ මම ආපු වෙලාවේ ඉඳන් ඒ මනුස්සයා තමයි මට පාර පෙන්නුවේ. මටත් හිතාගන්න බැහැ. අද උදේ ඉඳලා පේන්නේ නැහැ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. උඹ කලබල නොවී හිටපං.”
“එහෙනම් හොල්මනක්ද දන්නේ නැහැ!”
“අනේ මන්දා බං. මනුස්සයා නිකන් මැරිලත් නැති, ජීවත් වෙන්නෙත් නැති කෙනෙක් වගේ.”
“මටත් හැමවෙලේම ඉන්න බැරි එකේ, හොල්මනක් හරි උඹ එක්ක ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් මෙතන වෙලා තියෙන දේවල්වල හැටියට මටනම් ඒ මුරකාරයා ගැන ප්‍රශ්නයක් තියෙනවා.”
“ඔව්, ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එකක් හොඳට මතක තියාගනින්. මේ වෙනකන් කරපු කිසිම පරීක්ෂණ වාර්තාවක් පස්සේ අපි යන්නේ නැහැ. අපි කරන්නේ වෙනම පරීක්ෂණයක්.”
“හ්ම්ම්ම්... හරි සර්... මම එකඟයි.”
මේඝ කිසිවක් පැවසුවේ නැත. නිහඬවම තම මුව සෝදාගත් මේඝ, මාධව එනතුරු අවට පරිසරය නැරඹුවේය. මන්දිරයේ ඉහළ මාලයේ ඇති එක් කාමරයක ජනේලයෙන් පියදාස ඔවුන් දෙස බලා සිටිනු මේඝ දුටුවේය. මාධව කියූ ලෙස මේඝගේ හිතටද යම් සැකකටයුතු යමක් සිදුවන බව දැනුණත්, එය නොපෙන්වා තම හැඟීම් සිරකර ගන්නට තරම් මේඝ දක්ෂයෙක් විය. අනෙක් අතට, ඩී.අයි.ජී. පැවසූ සියල්ලම හෝ මේ වාර්තාවල තිබෙන සියල්ලම සත්‍ය යැයි පිළිගන්නට මේඝ අකමැති විය. 'ඩී.අයි.ජී.ගේ පුතා එක්ක ආපු කෙනා මැරෙන්නත්, පුතාට පිස්සු හැදෙන්නත් මන්දිරය හේතුවක් වුණාද? මිනීමැරුම නිසා පුතාට පිස්සු හැදෙව්වාද? අලුත සිදුවුණු මිනීමැරුමේ සාක්ෂි හංගලාද? ඇත්තටම මේ පරණ කතා ඇදලා අරගෙන මේ කේස් එකත් ඒක වගේම යටගහන්න හදනවද?' යන සැකය මේඝට තිබුණි. එම නිසා පියදාස යනු මෙහිදී ප්‍රබල සාක්ෂියක් විය හැකි බව මේඝට වැටහිණි.
දෙදෙනා මන්දිරයේ වත්ත දෙසට ඇවිද ගියේ තරමක් හිරු එළිය පතිත වීමෙන් පසුවය. උදෑසන හිරු එළියට මන්දිරය දිස්වූයේ මීදුම අතරින් මතු වූ පෞරාණික මාලිගාවක් මෙනි. වත්තේ තැනින් තැන වැවී තිබූ වල්පැළෑටි සහ නන්නාඳුනන මල් පඳුරු අතරින් ඔවුන් දෙදෙනා නිහඬවම ඇවිද ගියහ.
“කෝ බං උඹේ මුරකාරයා? උදේ ආපු වෙලාවේ ඉඳලම මම එහෙම එකෙක් දැක්කේ නෑනේ.”
“ඔහු මේ පරිසරයටම දිය වෙලා ගිය කෙනෙක් වගේ.” මේඝ පැවසුවේ ඈතින් පෙනෙන මීදුම දෙස බලමිනි. “සමහරවිට ඔහු අපිව නිරීක්ෂණය කරනවා ඇති.”
මාධව රැගෙන ආ කෑම පාර්සල් දෙක දිගහැර ඔවුන් දෙදෙනා මන්දිරය ඉදිරිපස තිබූ ගල් බංකුව මත වාඩි වී උදෑසන ආහාරය ගත්හ. මන්දිරයේ පාළු බව මැද වුවත්, ඒ මොහොතේ ඔවුන් අතර තිබුණේ කලකට පසු දැනුණු මිත්‍රත්වයේ සහයෝගයයි. ආහාර ගැනීමෙන් පසු මිතුරන් දෙදෙනා සෙමෙන් මන්දිරය වටා ඇවිද ගියහ. මන්දිරයේ පවතින බිහිසුණු බව මොහොතකට අමතක කරවන තරම් මනරම් පරිසරයකින් එය වටවී තිබුණි. නුවරඑළියේ ඒ මාරාන්තික සීතලත් සමඟ මුසුව ආ නැවුම් මල් සුවඳ ඔවුන්ගේ පෙනහළු පතුලටම දැනෙන්නට විය.
මන්දිරය වටා ඇති වත්ත දැන් ගන මීදුමෙන් මිදී තේජවන්ත ලෙස දිස් විය. පිනි බිඳුවලින් බර වූ තණ බිම මත හිරු රැස් වැටෙන විට ඒවා දියමන්ති කැට මෙන් දිලිසෙන්නට විය. සීතලට ඔරොත්තු දෙන මල්ගෝවා සහ විවිධ වර්ණයෙන් යුතු ඩේලියා මල් පඳුරු මීදුම අතරින් තැනින් තැන මතුව පෙනුණේ සොබාදහම විසින් ඇඳි සිතුවමක් ලෙසය.
පරිසරය පුරා පැතිරී තිබුණේ කුරුල්ලන්ගේ මිහිරි නාදයයි. නිල් පැහැති දිලිසෙන පිහාටු ඇති නන්නාඳුනන කුරුල්ලෙකු පයින් ගස් අතර සැඟවී ඉතා සියුම් තනුවක් වයයි. තද කහ පැහැති හිස රතු පැහැයෙන් දිලිසෙන පක්ෂීන් කිහිප දෙනෙකු මන්දිරයේ වැරැන්ඩාව අසල ඇති මල් පඳුරේ වසාගෙන උදෑසන මල් පැණි සොයමින් සිටියහ. වත්තේ කෙළවර ඇති පැරණි පයින් වනාන්තරයෙන් මතු වූ ගෝනෙකුගේ හඬ ඈතින් ඇසුණි. මීදුම අතරින් විශාල ගෝනෙකු මේඝ සහ මාධව දෙස බලා සිටියේ ඌ මේ මන්දිරයේ සැබෑ අයිතිකරුවෙකු මෙන් අභිමානයෙන් යුතුවය.
රාත්රියේදී මේ මන්දිරය අද්භූත වුවත්, දහවල් කාලයේදී එය වන සතුන්ගේ සහ කුරුල්ලන්ගේ නිවහනකි. මේ සුන්දරත්වය සහ ශාන්ත බව දෙස බලන විට මේඝගේ තුවාල වූ සිතට මහත් සැනසීමක් එක් විය. තමා මෙතෙක් කාලයක් හදවතේ සිරකරගෙන සිටි වේදනාකාරී මතකයන් සහ අතීත ආදරයේ බර මොහොතකට දිය වී යන්නාක් මෙන් ඔහුට දැනුණි.
මන්දිරය වටා සෙමින් ඇවිද ගිය ඔවුන් දෙදෙනා මන්දිරයේ ගේට්ටුව අසලට පැමිණියේ මේඝගේ ජීප් රථයට කුමක් සිදුවී ඇත්දැයි බැලීමටය. සීතල සුළඟ මේඝගේ කබාය පසාරු කරගෙන යද්දී ඔහු මාධව දෙසට හැරුණේය.
“මාධව, උඹ බයික් එක මෙහෙ තියලා ජීප් එකේ පලයන්. ආපහු එනකොටත් ජීප් එකේ එන්න එපා, බයික් එකක වරෙන්.” මේඝ පීලි පැන තිබූ ගේට්ටුවේ යකඩ පට්ටමක් දෙස බලමින් කීවේය.
මාධව මඳක් පුදුම වී මේඝ දෙස බැලුවේය. “ඇයි බං? මට බයික් එකේ යන එක ලේසියිනේ.”
“නැහැ මාධව, අපි මේ පරීක්ෂණය කරන්න ඕනේ ඉතාමත් රහසිගතව. මේකේ අපි ඉන්නවා කියලා අවට මිනිස්සුන්ට වැඩිය දැනගන්න තියන්න හොඳ නැහැ. මෙතන වාහන තියෙනකොට මිනිස්සුන්ට සැක හිතෙනවා. ඒ විතරක් නෙවෙයි, කලින් පරීක්ෂණ කරන්න ආපු නිලධාරීන්ට වෙච්ච දේවල් එක්ක බලනකොට, මේ පරීක්ෂණයට බාධා කරන්න බලන් ඉන්න ඇස් මේ අවට තියෙන්න පුළුවන්. අනෙක් එක තමයි, ගිය සතියේ සිද්ධ වෙච්ච මිනීමැරුමත් එක්ක මේ අවට තාමත් මිනීමරුවා කැරකෙනවා වෙන්නත් පුළුවන්. පියදාස ගැන වුණත් අපිට එහෙම හිතෙන්න පුළුවන්.” මේඝ ඈතින් පෙනෙන පයින් වනාන්තරය දෙස බලමින් පැහැදිලි කළේය.
මාධව සුසුමක් හෙළා ඔළුව වැනුවේය. “උඹ හරි මේඝ. පියදාස වුණත් මම මෙහේ ඉන්නවට කැමති නැති නිසා වෙන්නැති පේන්න නොඑන්නේ. මම ජීප් එකේ යන්නම්. හැබැයි මම හෙට උදේට ආපහු එනවා අපිට ඕන කරන බඩුමුට්ටු අරගෙන. එතකන් උඹ පරිස්සමෙන් ඉඳපන්. මට හිතෙනවා මම උඹව දැම්මේ මර උගුලක කියලා. උඹව ඒ ටිකටවත් තනියම තියන්න බයයි මට.”
“උඹ දන්නවනේ මම මැරෙන්න බය ඇති එකෙක් නෙමෙයි කියලා. ඔය වගේ මර උගුල්වල නෙමෙයි බං මම හිටියේ. ඒ ගැන දැන දැනත් ඔහොම කියන්න එපා. අනික මම කොහොමටත් දැන් මැරුණු මිනිහෙක්. මොන දේ වුණත් උඹ ආපහු එනකොට එන්න ඕනේ සාමාන්‍ය කෙනෙක් විදියට. යුනිෆෝම් එක නැතුව එනවා නම් වඩා හොඳයි. මට ඕනේ මේ මන්දිරය ඇතුළේ මොකද වෙන්නේ කියලා කාටවත් නොදැනී හොයන්න.” මේඝ එය තීරණාත්මක ලෙස පැවසුවේය.
උදෑසන කාලය පුරාම වත්තේ ඇවිදිමින් සිටි මාධව, පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය නිවාඩු සහතික කර ගැනීම සඳහා නුවරඑළිය පොලිස් ස්ථානයට යාමට පිටව ගියේය. මාධව ගිය පසු මන්දිරය නැවතත් නිහඬතාවයේ ගිලුණි. මාධවගේ රථය පිටව යන ශබ්දය නොඇසී යන විටම මන්දිරයේ ප්‍රධාන දොර සෙමෙන් විවෘත විය. පියදාස මේඝ දෙසට සෙමෙන් ඇවිද ආවේය.
“මාධව මහත්තයා ගියා නේද?” පියදාසගේ හඬේ තිබුණේ අමුතුම ගුප්ත බවකි.
මේඝ ඔහු දෙස තියුණු බැල්මක් හෙළුවේය. “ඔව් පියදාස. ඇයි ඔබ ඔහු ඉන්න වෙලාවේ පෙනෙන්නට හිටියේ නැත්තේ?”
පියදාස මලානිකව සිනාසුණේය. ඔහුගේ දෑස ඈතින් පෙනෙන කඳු පන්තිය වෙත යොමුව තිබුණි. “පොලිසියේ මහත්වරු පරණ දේවල් හාරන්න කැමතියි මහත්තයා. ඒත් මේ මන්දිරය කැමති නැහැ සුදුසු නැති කෙනෙක් පරණ තුවාල ආයෙත් පාරනවාට. ඒකෙන් වෙන්නේ මහා විනාශයක්. මාධව මහත්තයා මේකට අයිති කෙනෙක් නෙවෙයි. ඒත් ඔබ...” පියදාස මොහොතක් නතර විය. “ඔබ මේකට කොහොමහරි සම්බන්ධයි කියලා මට හිතෙනවා.”
“මම සම්බන්ධ වෙන්නේ මේ අභිරහස විසඳන්න විතරයි පියදාස.” මේඝ දැඩි හඬින් කීවේය.
“විසඳන්න දෙයක් නැහැ මහත්තයා. තියෙන්නේ පිළිගන්න විතරයි. ඔය මහත්තයලාගේ කඩදාසිවල තියෙන අකුරුවලට වඩා මේ බිත්තිවලින් ඇහෙන කෙඳිරිලි හඬවල්වල ඇත්ත තියෙනවා. මාධව මහත්තයාට ඒක ඇහෙන්නේ නැහැ. ඒකයි මම ඔහුට මුහුණ නොදුන්නේ.”
“මුහුණ නොදුන්න එක නෙවෙයි මට තියෙන ප්රශ්නය. මාධව කියන විදිහට මේ මන්දිරේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච මිනීමැරුම්, අපරාධ ගැන තියෙන කිසිම සටහනක සහ වාර්තාවක මේ වත්තේ මුරකාරයෙක් හිටියා කියලා ලියවිලා නැහැ. එතකොට ඔබ කොහෙන්ද මෙතනට ආවේ?”
පියදාස යළිත් මලානික සිනහවක් පෑවේය. “මම කොහේවත් ගිහින් හිටියේ නැහැ මහත්තයා. මම හිටියේ මෙතනම තමයි. හැබැයි මහත්තයලාගේ පරීක්ෂණ කරන කිසිම කෙනෙක්ට මාව හොයාගන්න බැරි වුණා. මට කියන්න තියෙන්නේ ඔය සිද්ධ වෙච්ච කිසිම දේකට මම සම්බන්ධ නැහැ කියලා විතරයි. මහත්තයාට පුළුවන්නම් මේකේ තියෙන සේරම ඇත්ත හොයාගන්න, මම බලාපොරොත්තු වෙන්නෙත් ඒක තමයි. මේ හැමදේකින්ම මට නිදහස් වෙන්න ඕනේ. මට කරන්න පුළුවන් උපරිම විදියට මහත්තයාට උදවු කරන එකයි, මහත්තයාව ආරක්ෂා කරන එකයි මම කරනවා. හැබැයි මහත්තයාව විතරයි...”
එසේ පවසා ඔහු මේඝ අසලින් සෙමෙන් ඇවිද ගියේය. පියදාස හුදෙක් සේවකයකු පමණක් නොව, මන්දිරයේ රහස් ආරක්ෂා කරන ජීවමාන පවුරක් බව මේඝට වැටහිණි.
*********


🥰🥰🥰
ReplyDelete❤️❤️❤️
Delete