සීතල මන්දිරය 4 කොටස[අභිරහස් කතා/නවකතා]
මේඝ මන්දිරයේ වැලැන්ඩාවේ ඇති පැරණි ලී පුටුවේ වාඩි වී ඈත කඳු යාය දෙස බලා සිටියේය. තද හිරු රැස් පතිත වුවත්, පරිසරයේ පවතින සීතල සම්පූර්ණයෙන්ම වියැකී නොතිබිණි. වසර ගණනාවක් තිස්සේ ඔහුගේ හදවත පෑරූ ඒ පැරණි ආදර කතාවේ ශේෂයන්, මේ නිහඬ පරිසරය තුළ කෙමෙන් කෙමෙන් මැකී යන්නට විය. තමා මෙතෙක් කල් පෙළුණු මානසික පීඩනය, මෙම වනාන්තරයේ නිහඬතාවය ඉදිරියේ ඉතා කුඩා දෙයක් බව ඔහුට හැඟුණි.
"සමහර විට සොබාදහමට පුළුවන් මිනිස්සුන්ට අමතක කරන්න බැරි දේවල් පවා හිතෙන් මකලා දාන්න," ඔහු තමාටම මුමුණා ගත්තේය.
පළමු වතාවට ඔහු 'රහස් පරීක්ෂක මේඝ අභිමන්යු' යන භූමිකාවෙන් මිදී, නිකම්ම 'මේඝ' ලෙස හුස්ම ගැනීමට අවකාශය ලැබී තිබුණි. ඒ පැරණි ආදරය නිසා ඇති වූ හිස්තැන දැන් මේ මල් සුවඳින් සහ කුරුලු නාදයෙන් පිරී යමින් පැවතුණි. ඔහුගේ මනස දැන් වඩාත් පැහැදිලිය. හදවතේ තිබූ පෞද්ගලික වේදනාවන් මඳකට අමතක වීමත් සමඟ, සුලෝචනාගේ අභිරහස දෙස වඩාත් විවෘත මනසකින් බැලීමට ඔහුට ශක්තියක් ලැබී තිබුණි.
සොබාදහමේ ඒ සුවපත් දෝලනය මැද මොහොතක් නිහඬව සිටි මේඝ, හදිසියේම සිය උරහිස් දෙක මඳක් පසුපසට කර හුස්මක් ගත්තේය. ඔහුගේ දෑස්වල තිබූ මලානික බව කෙමෙන් වියැකී ගොස්, ඒ වෙනුවට තියුණු, විනිවිද දකින බැල්මක් මතු විය. සැබැවින්ම නිහඬව සිටියේ ඔහුගේ පෞද්ගලික වේදනාවන් පමණි. ඒ නිහඬතාවය අස්සෙන් පැරණි රහස් පරීක්ෂකයා නැවතත් හිස ඔසවමින් සිටියේය.
උදෑසන මාධව පිටව ගිය පසු පැමිණි පියදාස නැවත පැමිණියේ මේඝට දිවා ආහාරය රැගෙනය. නමුත් මේඝ නිරීක්ෂණය කළ එක් විශේෂ දෙයක් විය; මන්දිරයේ මුළුතැන්ගෙයින් දුමක් හෝ කෑම පිසින සුවඳක් වහනය වූයේ නැත. පියදාස කෑම ගෙනැවිත් තිබුණේ පිටතින් ඇසුරුම් කරන ලද පාර්සල් ලෙසිනි. වඩාත්ම අමුතු දේ නම්, පියදාස කෑම කනවා හෝ වතුර උගුරක් බොනවා පවා මේඝ මෙතෙක් දැක නොතිබීමයි. ඔහු හරියට ආහාර අවශ්‍ය නොවන, මතකයන්ගෙන් පමණක් ජීවත් වන මිනිසෙකු බඳුය.
පියදාස ආහාර පාර්සලය මේසය මත තබා, තම ඉනේ තිබූ රතු පැහැති නූල් කැබැල්ලක් මේඝ වෙත දිගු කළේය.
"මේක මාධව මහත්තයාගේ අතේ බඳින්න මේඝ මහත්තයා. ඔහු ආයෙත් මෙහෙ එනවා නම් මේක ඕන වෙයි," පියදාස බැරෑරුම් හඬින් කීවේය.
මේඝ නූල දෙස බැලුවේ සැකයෙනි. කෙසේ වෙතත් ඔහු එවැනි ගුප්ත දේ විශ්වාස කිරීමට කිසි විටකත් සූදානම් වූයේ නැත. "අපට ඕවා අවශ්‍ය නැහැ පියදාස. මම විශ්වාස කරන්නේ මගේ ඇස් දෙකට පේන දේ විතරයි."
පියදාසගේ මුවගට මලානික සිනහවක් ආවේය. "මාධව මහත්තයා කියන්නේ කලබලකාරී මෝඩයෙක්. ඔහු හිතන්නේ මේ මන්දිරයේ තියෙන රහස් ඔහුගේ තුවක්කුවෙන් යටපත් කරන්න පුළුවන් කියලා. ඒ වගේ අයට මේ මන්දිරයේ පරිසරය හරිම දරුණු වැඩියි."
මේඝ පුටුවට බර වී පියදාස දෙස තියුණු බැල්මක් හෙළුවේය. "පියදාස මාධවට හරි අකමැතියි වගේ. ඇයි, නීතියට බය වෙන්න මොකක් හරි වරදක්වත් කරලා තියෙනවාද?"
"නීතිය...?" පියදාස හඬ අවදි කළේය. "නීතිය කියන්නේ මිනිස්සු හදාගත්ත සීමාවක් විතරයි මහත්තයා. හැබැයි නීතියට වඩා ගැඹුරු, තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ පවතිනවා. මම හැංගෙනවාද නැද්ද කියලා මහත්තයාට මේ අභිරහස විසඳුවාට පස්සේ දැනගන්න ලැබෙයි."
පියදාස එසේ පවසා කිසිදු හඬක් නොනඟා කුස්සිය දෙසට ඇදී ගියේය. නමුත් ඔහු ගෙනා රතු නූල මේසය මත තබා ගොස් තිබුණි. එය දෙස හොඳින් බැලූ මේඝ, එය තමාගේ කබායේ සාක්කුවට දමා ගත්තේ පරීක්ෂණවලට අවශ්‍ය පියදාසගේ ඇඟිලි සලකුණු එහි සටහන්ව පැවතිය හැකි බැවිනි.
පියදාස ගිය පසු දිවා ආහාරය ගත් මේඝ, මාධව ගෙනා ලිපිගොනු සියල්ලම සාලයේ තිබූ විශාල කළු ලී මේසය මත දිගහැර ගත්තේය. ඒවා වසර තිහක් පමණ පැරණි, කහ පැහැ ගැන්වුණු පරීක්ෂණ වාර්තාය. එහි තිබූ එක් ලියවිල්ලක් වෙත මේඝගේ නෙත් තදින් යොමු විය.
"සුලෝචනාගේ මරණය පොලිස් ඉතිහාසයේ කළු පැල්ලමක් තබමින් නිවී ගියේය."
නුවරඑළියේ මීදුමෙන් වැසුණු කඳුකර නිම්නයක පිහිටි පෞරාණික සීතල මන්දිරයේ විසූ සුලෝචනා නම් 27 හැවිරිදි තරුණියගේ අභිරහස් අතුරුදන් වීම, ශ්‍රී ලංකා පොලිස් විමර්ශන ඉතිහාසයේ මෙතෙක් හමු වූ වඩාත්ම වියවුල් සහගත අභියෝගය ලෙස නම් කිරීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවා පෙළඹී තිබේ.
විමර්ශන අංශ පවසන පරිදි, සිද්ධිය වූ රාත්‍රියේ ඇය සිය නිදන කාමරයට ගොස් ඇත්තේ රාත්‍රී දහයයි තිහට පමණය. පසුදා දොර කඩා පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ දොර ඇතුළතින් අගුළු දමා තිබූ බවයි. ජනේල පවා නොවෙනස්ව තිබියදී කාමරය තුළ සිටි තරුණිය වාෂ්ප වූවාක් මෙන් අතුරුදන් වී ඇත. කාමරයේ තිබූ ඇගේ පෞද්ගලික දෑ පවා තිබූ තැන්වලම තිබූ අතර, කිසිදු බලහත්කාරී ක්‍රියාවක් හෝ පොරබැදීමක සලකුණක් පොලිසියට සොයාගත නොහැකි විය.
පොලිස් සුනඛයන් මඟින් පරීක්ෂණ පැවැත්වුවද එයින් ද පලක් වී නැත. එම මන්දිරයට සැතපුම් භාගයක් පමණ දුරින් පදිංචිව සිටි වතු කම්කරුවන් පවසන්නේ, එදින මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී මන්දිරය දෙසින් කන් බිහිරි කරවන විලාපයක් ඇසුණු බවයි. "ඒක ගැහැනියකගේ විලාපයක් නොවෙයි, හරියට යක්ෂයෙක් හඬනවා වගේ," යැයි ප්‍රදේශවාසීහු පවසති. එහෙත් මිනිත්තු කිහිපයකින් පසු මුළු මන්දිරයම මරණීය නිශ්ශබ්දතාවයක ගිලී ගොස් තිබේ.
මෙම නඩුව මෙහෙයවූ එවකට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ, සාම්ප්‍රදායික විමර්ශන ක්‍රමවලින් ඔබ්බට ගිය යම් දෙයක් මෙහි තිබිය හැකි බවයි. DNA හෝ ඇඟිලි සලකුණු කිසිවක් හමු නොවීමත්, මළසිරුර පවා හමු නොවීමත් නිසා මෙම විමර්ශනය අසාර්ථක මෙහෙයුමක් ලෙස පොලිස් පොතේ ලියැවී හමාරය. අදටත් මධ්‍යම පළාතේ පොලිස් නිලධාරීන් අතර මෙම මන්දිරය හැඳින්වෙන්නේ 'සාක්ෂි මරා දැමූ නිවස' ලෙසිනි.
පුවත්පත් වාර්තාව කියවූ මේඝ පුවත්පත පසෙක තැබුවේය. ජනේලයෙන් මන්දිරය තුළට වැටෙන මළානික ආලෝකය දෙස බලාගෙන මේඝ දැඩි කල්පනාවක ගිලී සිටියේය. පුවත්පත් වාර්තාවේ තිබූ "පොලිස් ඉතිහාසයේ කළු පැල්ලම" යන වාක්‍යය ඔහුගේ මනස තුළ දෝංකාර දෙමින් තිබුණි.
"මම ඉපදෙන්නටත් පෙර සිදුවූ අභිරහසක්," ඔහු තමාටම මුමුණා ගත්තේය. සාලයේ තිබූ පැරණි කැඩුනු ජනේලයක ටොක් ටොක් හඬ හැරුණු විට මුළු මන්දිරයම සොහොන් පිටියක් මෙන් නිශ්ශබ්ද විය.
මේඝගේ රහස් පරීක්ෂක මනස ප්‍රශ්න වැලක් මතු කළේය. "පොලිස් නිලධාරීන් කණ්ඩායම් පිටින් මෙහි පරීක්ෂණ කරද්දීත්, ඇයි ඔවුන්ට එකම එක ස්ථිර හෝඩුවාවක්වත් හමු නොවුණේ?"
දැඩි කල්පනාවක සිටි මේඝගේ ගෙල පිටුපසින් සියුම් සීතලක් ගලා ගියේය. කවුරුන් හෝ තමා දෙස බලා සිටින බව දැනුණු මේඝ හෙමින් ආපසු හැරුණි. ඔහු පිටුපසින් අඩි කිහිපයකට ඈතින් පියදාස සිටගෙන සිටියේය. මේඝ තිගැස්සී ගියේය. පියදාස පැමිණි බවක් ඔහුට මොහොතකටවත් දැනුණේ නැත. මේ දිරාපත් වූ ලී ගෙබිම මත පියවරක් තැබුවද මහා ශබ්දයක් ඇසෙන නමුත්, පියදාස හරියටම හුළඟක් මෙන් නිහඬව පැමිණ තිබුණි.
"මහත්තයා... පරණ පත්තර කියවලා අතීතය හොයන්න බැහැ," පියදාසගේ ගොරෝසු හඬ මන්දිරයේ නිහඬ බව බිඳ දැමීය.
මේඝ පපුව මත අතක් තබා හුස්ම පාලනය කරගත්තේය. "පියදාස, ඔබ කොයි වෙලේද ආවේ? මට සද්දයක්වත් ඇහුණේ නැහැ."
පියදාස කිසිවක් නොකියා මඳ සිනහවක් පෑවේය. ඔහුගේ දෑස්වල තිබුණේ අමුතුම නිසල බවකි. "මම හැමදාම මේ සෙවනැලි අස්සේ ඉන්නවා මහත්තයා. මම එනවා, යනවා... මහත්තයාට නොදැනෙන්න ඇති."
මේඝට පියදාසගේ හැසිරීම ප්‍රහේලිකාවක් විය. වයසක මනුස්සයෙකුට මෙතරම් නිහඬව සහ වේගයෙන් එහා මෙහා විය හැක්කේ කෙසේද? නමුත් පියදාස තවමත් මනුෂ්‍යයෙකු බව මේඝ විශ්වාස කළේය. ඔහුගේ මනසට ආවේ පියදාස මේ මන්දිරයේ රහස් දොරවල් හෝ රහස් මංමාවත් ගැන හොඳින් දන්නා නිසා මෙලෙස හදිසියේ මතු වනවා විය හැකි බවය.
"ඔය පත්තරවල තියෙන්නේ පොලිසියට පෙනුණ දේ විතරයි. හැබැයි ඔවුන්ට නොපෙනුණු දේවල් මේ ගේ ඇතුළේ ඕනෑ තරම් ඉතිරි වුණා."
පියදාසගේ හදිසි ආගමනය මේඝගේ මනස මඳක් තිගැස්සුවද, පියදාස සතුව ඇති අතීත තොරතුරු පිළිබඳ තිබූ කුතුහලය ඒ බිය අභිබවා ගියේය. මේඝ මේසය මත තිබූ පරණ පත්තර කැබැල්ල පසෙකට කර පියදාස දෙසට හැරුණේය.
"පියදාස, මට කියන්න මේ මන්දිරයේ ඉතිහාසය ගැන ඔබ දන්න දේවල්. මේකේ මුල්ම අයිතිකාරයෝ කවුද? ඇයි මේ බිත්ති මෙච්චර අද්භූත?" මේඝ විමසුවේ පියදාසගේ දෑස් දෙස කෙලින් බලමිනි.
පියදාස තරමක වේලාවක් නිහඬව කල්පනාවක ගිලුණේය. අතීත ආවර්ජනයෙන් ඔහුට ඇති වූ හැඟීම් ඔහුගේ මුහුණේ ඉරියව්වලින් අවබෝධ කර ගැනීමට මේඝ අපොහොසත් විය.
"මහත්තයා, මේ මන්දිරය හැදුවේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලේ. මේකේ ඉතිහාසය බොහොම පැරණි එකක්. මේකේ මුල් අයිතිකාරයන් ගැන ඉතිහාස පොත්වල පවා කරුණු පවතිනවා. ඒත් මම දන්න ඉතිහාසයේ මේකේ අයිතිකාරයා වුණේ 'හැරිසන්' කියලා ඉංග්‍රීසි ජාතික මහත්තයෙක්. ඔහු මේ පළාතේ විශාල තේ වතු හිමියෙක්," පියදාස කතාව ආරම්භ කළේය.
"පියදාස, මට ඇත්ත කියන්න. මේ මන්දිරයේ අයිතිකාරයා වුණු හැරිසන් මහත්තයාට මොනවද වුණේ? සුලෝචනාට මේ මන්දිරය අයිති වුණේ කොහොමද?"
"මහත්තයෝ... මේ මන්දිරයේ බිත්ති සුදු වුණාට, මේවාට යට වෙලා තියෙන්නේ අඳුරු කතාවක්. හැරිසන් මහත්තයා හිතක් පපුවක් තිබුණු මිනිහෙක් නොවෙයි," පියදාස අතීතය ආවර්ජනය කරමින් පැවසීය.
මන්දිරයේ නිහඬතාවය බිඳී ගියේ ඈතින් ඇසුණු, පයින් අතු සුළඟට පොරබදින ශෝකී ස්වරයෙන් පමණි. පියදාසගේ හඬේ තිබුණේ මීදුමෙන් වැසුණු අතීතයක තෙතමනයයි. මේඝ සියල්ල අසා සිටියේ හුස්ම පවා අමතක වූවාක් මෙනි.
"ඒක හරි අමුතු දෛවයක්. හැරිසන් මහත්තයා හරිම දරුණු වතු පාලකයෙක්. ඒ වගේම හරිම අසමත්ජාතියෙක්. ඒ වෙනකොට මේ වත්තේ කොනක මුරගෙයක් තිබුණා. ඒකේ ජීවත් වුණේ වත්තේ මුරකාරයාගේ පවුල. මුරකාරයාට ලස්සන දුවෙක් හිටියා. ඒකිගේ නම මල්කාන්ති. ඒකි පුදුම තරම් ලස්සනයි. හැරිසන් හැම වෙලේම හිටියේ ඒකි ගැන පුදුම ආසාවකින්. හැරිසන්ට ඕන වුණේම ඒ කෙල්ලව උගේ අඹුව කරගන්න. ඒත් ඒ වෙනකොටත් හැරිසන් බැඳලා, එංගලන්තේ දරු පවුලක් තියෙනවා. මුරකාරයා බොහොම අමාරුවෙන් තමන්ගේ දූ සිඟිත්ත ආරක්ෂා කරගෙන ජීවත් වුණේ."
"ඒත් ඒක වැඩි කාලයක් කරන්න බැරි වුණා. හැරිසන් මුරකාරයාගේ දුවට මේ මන්දිරයේ දොරවල් ඇරියේ ආදරේ නිසා නෙමේ. හැරිසන් මහත්තයාගේ එක රැයක කාමයට වන්දි ගෙවන්න. හැරිසන් මහත්තයා මුරකාරයාගේ දුවව දූෂණය කළා. එක දවසක් නෙමෙයි, දින ගණනාවක්. මුරකාරයාට කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ පව්කාරකමේ මලක් විදිහට තමයි සුලෝචනා නෝනා මේ ලෝකෙට ඉපදුණේ. ඇය මේ මන්දිරයේ හැදුණේ කාටවත් අයිති නැති සෙවනැල්ලක් වගේ."
පියදාසගේ හඬ මඳක් වෙව්ලන්නට විය.
"හැරිසන් මහත්තයා ඇයට හැම සැප සම්පතක්ම දුන්නා. සේද රෙදි, ඉංග්‍රීසි පොත්, හොඳම කෑම බීම, හොඳ අධ්‍යාපනයක්. හැබැයි ඒ හැමදේම ඇතුළේ තිබුණේ මහත්තයාගේ හිතේ තිබුණු පසුතැවීම විතරයි. ඔහු තමන්ගේ නීත්‍යානුකූල දරු පවුලටත් හොරෙන් මේ මන්දිරයයි වත්තයි ඇගේ නමට ලියලා දුන්නේ, තමන්ගේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න."
"සුලෝචනා නෝනා මේ ලෝකෙට ඉපදෙනකොටත් මල්කාන්තිගේ ඔළුව හොඳ නැති පිස්සියෙක්. සුලෝචනා නෝනා ඉපදිලා ටික කාලයකින් මල්කාන්ති ඒ පිස්සුවෙන්ම මැරිලා ගියා. සුලෝචනා නෝනා අනියම් දරුවෙක් වුණත්, මන්දිරය ඇතුළේ හැදුණේ වැඩුණේ කුමාරිකාවක් වගේ."
"ඒත් සුලෝචනා නෝනාට අවුරුදු 18ක් විතර වෙනකොට හැරිසන් මහත්තයාට මේ රට අතෑරලා ආපහු එංගලන්තෙට යන්න වුණා. ඒ ආපහු නොඑන්නම. එංගලන්තෙට ගිහින් මාස දෙක තුනකින් හැරිසන් මහත්තයා මැරුණා කියලා සුලෝචනා නෝනාට විදුලි පණිවිඩයක් ඇවිත් තිබුණා."
පියදාස සුසුමක් හෙළුවේය. "ඊට පස්සේ ඇය කාමරේ ජනේලය ළඟට වෙලා අවුරුදු ගණනාවක් බලන් හිටියා. වත්තේ වැඩ කරන කම්කරුවන් ඇයව දැක්කේ මන්දිරයේ කුමාරිකාවක් වගේ. හැබැයි ඒ කුමාරිකාව ඇතුළතින් මියගිහින් හිටියේ."
මේඝට දැනුණේ තමන්ගේ පපුව ඇතුළේ මොකක් හෝ බරක් හිරවී ඇති බවකි. ඒ අභිරහස් රාත්‍රියේ ඇය අතුරුදහන් වූයේ මනුෂ්‍යයෙකු නිසා නොව, දරාගත නොහැකි වූ හුදෙකලාව නිසාමදෝයි ඔහුට සිතුණි.
"මහත්තයෝ, හැරිසන් මහත්තයා ඉන්න කාලේ මේ මන්දිරය කියන්නේ හිරගෙයක් වගේ තැනක්," පියදාසගේ හඬේ මෙවර තිබුණේ ගෞරවනීය ස්වරයකි. "ඒ කාලේ කම්කරුවන්ට මේ මිදුලට පය තියන්න තහනම්. හැරිසන් මහත්තයා මේ සොබාදහමට හුඟක් හානි කළා. ඔහුට ඕන වුණේ මේ බිමෙන් සල්ලි හම්බ කරන්න විතරයි. හැබැයි සුලෝචනා නෝනා මේ හැමදේම වෙනස් කළා."
"නෝනාට මන්දිරයේ අයිතිය ලැබුණාට පස්සේ මේ ගල් බිත්තිවලටත් පණ ආවා වගේ මට දැනුණා. ඇය හරිම ලස්සනයි මහත්තයා. හරියට මේ කඳුකරයේ පිපුණු සුදු රෝස මලක් වගේ. ඒ ලස්සනට වඩා ඇගේ හිතේ තිබුණේ පුදුම කරුණාවන්තකමක්. ඇය කිසිම දවසක ගහක අත්තක්වත් කපන්න ඉඩ දුන්නේ නැහැ. 'මේ හැම ගහකටම පණක් තියෙනවා පියදාස, අපි ඒවා එක්ක ආදරෙන් ඉන්න ඕනේ' කියලා ඇය හැමදාම කියනවා."
"හැරිසන් මහත්තයාගේ කාලේ බය වෙලා හිටපු කම්කරුවෝ, නෝනා ඉන්න කාලේ සතුටින් වත්තට ආවා. ඇය ඔවුන්ගේ දරුවන්ට ඉගැන්නුවා. ලෙඩක් වුණාම හොයලා බැලුවා. ඇයගේ ජීවිතේ හුදෙකලාව තිබුණත් ඇය කවදාවත් තනි වුණේ නැහැ. වත්තේ හිටපු සත්තු පවා ඇයව හඳුනනවා. මන්දිරයේ වත්ත පුරාම අමුතුම පණක් තිබුණා. ගස් වැල්වල පවා වෙනදා නොදැකපු ලස්සනක් මතු වෙන්න ගත්තා."
මේඝට පියදාසගේ කතාවෙන් මැවුණේ අසමාන්‍ය චිත්රයකි. සුලෝචනා යනු හුදු උරුමක්කාරියක් නොව, මේ පරිසරය සමඟ ආත්මීයව බැඳුණු තැනැත්තියක් බව ඔහුට වැටහිණි.
පියදාසගේ හඬ මීදුම අතරින් ඇසුණු ශෝකී ගීතිකාවක් මෙන් මේඝගේ සවන් අසල නතර විය. සුලෝචනාගේ මනුෂ්‍යත්වයෙන් පිරි ජීවිතයත්, ඇයට උරුම වූ අභිරහස් අවසානයත් අසා සිටි මේඝගේ දෑස් තෙත් වී තිබුණි.
හදිසියේ මන්දිරයේ නිහඬතාවය පලායමින්, මිදුලේ යතුරුපැදියක් නතර කරන හඬ ඇසුණි. මේඝ තිගැස්සී ගියේය. "කවුද මේ වෙලාවේ...?" මේඝ තමාටම මුමුණා ගත්තේය. ඔහුගේ සිතට බියක් මෙන්ම කුතුහලයක්ද දැනුණේ, මාධව එනවා යැයි පැවසුවේ හෙට උදෑසන බැවිනි. නුවරඑළියේ මේ හුදෙකලා කඳු මුදුනට මේ මොහොතේ කවුරුන් පැමිණිය හැකිද? මේඝ සිටි තැනින් නැගිට ජනේලය දෙසට පිය නැගුවේය.
"පියදාස, ඔබ දන්නවාද මේ කවුද කියලා?" මේඝ පසුපස හැරී ඇසුවේය. එහෙත් ඔහුට ලැබුණේ නිහඬතාවයක් පමණි. මේඝ මුළුමනින්ම පිටුපස හැරී බැලුවේය. තත්පර කිහිපයකට පෙර තමා අසලම සිටි පියදාස එතැන නැත. ඔහු සිටි තැන ඉතිරිව තිබුණේ හිස් අවකාශයක් පමණි. ඔහු කොයි දෙසට ගියාද? අවම වශයෙන් පියවර හඬක්වත් මේඝට ඇසුණේ නැත.
"පියදාස...!" මේඝ හඬගෑවත් පිළිතුරක් ලැබුණේ නැත.
එවිටම මන්දිරයේ බරැති ප්‍රධාන දොර විවෘත වන හඬ ඇසුණි. සන්ධ්‍යාවේ ආරම්භ වෙමින් පවතින සීතල සුළඟත් සමඟ, කළු පැහැති ජැකට්ටුවකින් සැරසුණු මාධව දොරකඩින් මතු විය.
"මොකද බං, උඹ හොල්මනක් දැක්කා වගේ...?" මාධව හෙල්මට් එක ගලවා මේසය මත තබමින් ඇසුවේය. "උඹ හිතුවේ නැහැ නේද මම අදම එයි කියලා?"
මේඝ හුස්මක් ගෙන සන්සුන් වීමට උත්සාහ කළේය. "උඹ හෙට උදේ නේද එනවා කිව්වේ?"
මාධව සිනාසෙමින් තම ජංගම දුරකතනය මේඝට පෙන්වීය. "තාක්ෂණය මෙච්චර දියුණු වෙලා තියෙන කාලේ අපි මොකටද බං කරදර වෙන්නේ? ලොක්කට එක කෝල් එකයි, මාසයක රාජකාරී නිවාඩු! නුවරඑළියේ පොලිසියේ යාළුවෙක් ඉන්නවා, ඌට කියලා උවමනා බඩු ටික ලෑස්ති කරගත්තා. හෙට වෙනකන් ඉන්නේ නැතුව දැම්මම ආවා. මම මෙහෙන් ගියාට උඹව මෙතන තනියෙන් තියන එක හිතට මහා බරක් බං. වැස්සයි, මීදුමයි, හුළඟයි එක්ක බයික් එකේ එනකොට නම් එපා වුණා. ඒත් මේ අභිරහස මට නිදාගන්න දෙන්නෙම නෑ බං."
මාධව පිටේ පටවාගෙන ආ බෑගයත්, අතේ ඔසවාගෙන ආ බෑගයත් මාරුවෙන් මාරුවට මේසය මත තැබුවේ අමාරුවෙනි. ඒ බර ඇති බෑග්වලින් ඇසුණු ලෝහමය හඬ මේඝගේ සවන් අසල දෝංකාර දුන්නේය. මාධව එකින් එක බඩු එළියට ගෙන මේසය මත තබන්නට විය. මේඝ නිහඬව ඒ දෙස බලා සිටියේ, තමා මොහොතකට පෙර පියදාස සමඟ සිටි ඒ අද්භූත, හැඟීම්බර ලෝකයෙන් මාධවගේ තාක්ෂණික ලෝකයට බලහත්කාරයෙන් ඇද දමන්නාක් මෙනි.
මාධව සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටියත්, ඔහුගේ දෑස්වල තිබුණේ රාජකාරියට එහා ගිය බැරෑරුම් බවකි. මාධව විසින් මේසය මත තබන බඩු දුටුවිට මේඝට සිතුණේ මාධව සූදානම් වන්නේ යුද්ධයකට බවය. නවීන මාදිලියේ ලැප්ටොප් පරිගණකයක්, අතිශය බලසම්පන්න විදුලි පන්දම් කිහිපයක්, පිස්තෝල දෙකක්, අමතර උණ්ඩ, මාංචු යුගලක්, නයිලෝන් කඹ කිහිපයක්, අරක්කු බෝතල් දෙකක් සහ සිගරට් පැකට් කිහිපයක්, කෙටි කෑම වර්ග එතැන තිබුණි.
"උඹට හිතෙන දේවල්..." මේඝ පිස්තෝලයක් අතට ගනිමින් පැවසීය. වසර දෙකක රාජකාරී තහනමක සිටි මේඝ පිස්තෝලයක් අතට ගත්තේ සෑහෙන කාලයකට පසුවය. බොහෝ කලකින් භාවිත නොකළත්, ඒ ලෝහමය බඳෙහි සීතල තම අත්ලට දැනෙන විට මේඝගේ සිතට අමුතු ගැම්මක් දැනෙන්නට විය. ඔහු එය ඉතා දක්ෂ ලෙස හසුරුවමින්, එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලුවේ වසර ගණනාවක අත්දැකීම් ඇති සැබෑ වෘත්තිකයෙකු ලෙසිනි.
ඒ මොහොතේ මේඝගේ දෑස්වල තිබූ මලානික බව මැකී ගොස්, ඒ වෙනුවට තියුණු සහ ස්ථිරසාර බැල්මක් මතු විය. තමා ඉදිරියේ ඇති ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බව ඔහුට දැනුණි. ඒ ගැම්ම මේඝගේ මුළු සිරුර පුරාම විහිදී ගිය අතර, මාධව පවා මොහොතකට නතර වී තම මිතුරාගේ ඒ වෙනස් වීම දෙස බලා සිටියේ මවිතයෙනි. මේඝ යනු හුදෙක් බුද්ධිමතෙකු පමණක් නොව, අවශ්‍ය මොහොතකදී මාරාන්තික විය හැකි දක්ෂ නිලධාරියෙකු බව මාධවට නැවතත් සිහිපත් විය.
"උඹේ ඒ පැරණි ගැම්ම අද ආයෙත් පේනවා මේඝ," මාධව මඳ සිනහවකින් යුතුව පැවසීය. මේඝ ගිනි අවිය නැවතත් මේසය මත තැබුවේද මඳ සිනහවක් පාමිනි.
"අපි දන්නේ නැහැ මේඝ, මේ මන්දිරය ඇතුළේ ඉන්නේ මනුෂ්‍යයෝද නැත්නම් වෙන බලවේගද කියලා. මට ඔය මුරකාරයා කියන පියදාසව කොහොමත් සැකයි. කෝකටත් මම සූදානමින් ඉන්නේ ඒකයි," මාධව බැරෑරුම් ලෙස පැවසීය.
මාධවගේ සූදානම දුටු මේඝට එය අලුත් අත්දැකීමක් නොවීය. පෙර කරන ලද සෑම පරීක්ෂණයකදීම තම සහායට සිටි මාධව, සෑම විටම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළේය. මේඝට ඒ පිළිබඳව කිසිදු ලෙසකින් සොයා බැලීමට අවශ්‍ය වූයේ නැත. මේඝ සෑම විටම සිදු කළේ තම බුද්ධිය මෙහෙයවමින් පරීක්ෂණ පැවැත්වීම පමණකි; මාධව මේඝගේ ආරක්ෂාව සැලසීමට බැඳී ක්‍රියා කළේය. නමුත් මෙතැනදී මේඝගේ මුවගට සිනහ නැඟෙන එක දෙයක් තිබුණි.
"මොකද උඹ නක්කලෙට හිනා වෙන්නේ?" මාධව ඇසුවේ මේඝගේ සිනහව දුටු හෙයිනි.
"මාධව... මේ මන්දිරයේ විදුලිය නැහැ. උඹේ ඔය ලැප් එක චාර්ජ් කරන්නේ කොහොමද?" මේඝ ඇසුවේ අඳුරු සාලයේ කොනක එල්ලී තිබූ දූවිල්ලෙන් වැසුණු පැරණි විදුලි පහනක් පෙන්වමිනි.
මාධව සිනාසුණේය. "උඹ හිතුවද මම ඒ තරම් මෝඩයෙක් කියලා? යකෝ, මම හිටපු විශිෂ්ටතම රහස් පරීක්ෂකයාට ඉන්න එකම ගෝලයා!" එසේ කියමින් ඔහු ගෙනා අනෙක් බෑගය විවෘත කළේය. "මම මේ බර උස්සගෙන මෙච්චර දුරක් ආවේ නිකම්ම නෙවෙයි මේඝ. මේවා 'හයි කැපෑසිටි පවර් ස්ටේෂන්' (High-capacity power stations). මම දන්නවා මෙහෙ කරන්ට් එක නැහැ කියලා. මේ එකකින් ලැප් එකයි, ෆෝන් එකයි, අපේ රීචාර්ජබල් ටෝච් ටිකයි දවස් දෙක තුනකට චාර්ජ් කරගන්න පුළුවන්. ඒ මදි වුණොත්, මේ තියෙන්නේ සෝලා පැනල්ස් (Solar panels). හෙට දවල්ට මේවා වත්තෙන් තිබ්බම ආයෙත් මේවා චාර්ජ් වෙනවා. එහෙමත් බැරි වුණොත්, ඕනෑම වෙලාවක නුවරඑළිය පොලිසිය බලාගෙන ඉන්නවා අපිට උදව් කරන්න. මම ඒ හැමදේම ලෑස්ති කරලයි ආවේ."
මාධව ඉතා දක්ෂ ලෙස සියල්ල කළමනාකරණය කර තිබුණි. මේඝ සහ මාධව අතර තිබුණේ වචනවලට හසු නොවන ආකාරයේ පුදුමාකාර ගනුදෙනුවකි. එය හරියට එකම යන්ත්‍රයක ක්‍රියාත්මක වන රෝද දෙකක් වැනිය. මේඝ යනු එම යන්ත්‍රයේ මූලය වන අතර, මාධව යනු එහි ක්‍රියාකාරී ශක්තිය විය.
මේඝගේ පසුබෑමට පෙර, මාධව සහ මේඝ සිදු කරන ලද සියලුම අපරාධ සම්බන්ධ පරීක්ෂණ ඉතාමත් සාර්ථකව නිම කර තිබුණි. එයට ප්‍රධාන හේතුව වී තිබුණේ ඔවුන් දෙදෙනා අතර තිබූ අන්‍යෝන්‍ය අවබෝධයයි. පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සියල්ලෝම එය දැන සිටියහ.
මේඝ පරීක්ෂණයක රහස්‍ය ගැටලු විසඳීමට මොළය වෙහෙසෙන සෑම මොහොතකම, මාධව ඔහුට අවශ්‍ය පසුබිම සකස් කළේ කිසිවක් නොපවසාමය. මේඝ යම් තැනක නැවතී බිත්තියක් දෙස විමසිල්ලෙන් බලා සිටින විට, මාධව දැන් මෙතැනට අවශ්‍ය වන්නේ විදුලි පන්දමද නැතහොත් මැග්නිෆයිං කාචයද යන්න හොඳින් දනී. මේඝ සිතියමක් ඇඳීමට අත තබන විට, මාධව ඔහුට අවශ්‍ය උපකරණ ගෙනවිත් තබා තිබුණි. මේඝ ගැඹුරු කල්පනාවක නිමග්න වී සිටින විට ඔහු වටා ඇති පරිසරය ගැන ඔහුට අමතක වෙයි. ඒත් මාධව සෑම විටම අවදිව සිටියේය; ඔහු සිය පිස්තෝලය සූදානමින් තබාගෙන මේඝගේ පිටුපසින් සෙවනැල්ලක් මෙන් ගමන් කළේය. මේඝට කරන්නට අවශ්‍ය දේ මාධවට පවසන්නට වුවමනා වූයේ නැත. මේඝ හැරෙන විටම ඔහුට අවශ්‍ය දේ මාධවගේ අතේ සූදානම්ව තිබුණි.
මේඝ සහ මාධව සාලයේ මේසය මත තිබූ කෙටි කෑමවලින් රාත්‍රී ආහාරය සපුරා ගත්හ. ගමන් මහන්සිය සහ සීතල නිසා මාධව සිටියේ දැඩි විඩාවකිනි. සුපුරුදු පරිදි පරීක්ෂණයකදී ඔවුන් අනුගමනය කරන ආරක්ෂක පියවර මෙවරත් ක්‍රියාත්මක විය; ඔවුන් කිසිම දිනක එකම තැනක නින්දට නොයති. එය ඔවුන්ගේ අවධානය සහ ආරක්ෂාව උදෙසා ගන්නා එක් පියවරකි.
මාධව පැමිණි පසු මන්දිරයේ වාතාවරණය මුළුමනින්ම වෙනස් විය. මාධව ගෙන ආ උපකරණවල ශබ්දයත්, ඔහුගේ වේගවත් හැසිරීමත් නිසා මඳ වේලාවකට අද්භූත බව මැකී ගියද, රාත්‍රිය ගැඹුරු වෙත්ම මන්දිරය සිය සැබෑ ස්වරූපය පෙන්වන්නට විය.
මධ්‍යම රාත්‍රිය පසු වෙද්දී, ඉහළ මාලයේ සිට කවුරුන් හෝ බරැති පියවර තබමින් පහළට එන හඬක් ඇසෙන්නට විය. මාධව ගැස්සී ඇහැරුණේය. ඉණ මත තිබූ පිස්තෝලය අතට ගත් මාධව, විදුලි පන්දම දල්වා බැලුවද එහි කිසිවෙකු නොවීය. නමුත් මාධවට දැනුණේ කවුරුන් හෝ ඔහුගේ කන අසලම සිට හුස්ම හෙළන බවයි. ඔහු එකවරම පිස්තෝලය දිගු කරමින් පිටුපසට හැරුණේය. නමුත් එහිද කිසිවෙකු නොසිටියේය. ඔහු බියෙන් තැතිගෙන වෙව්ලන්නට විය. "මේඝ... මේඝ...!" ඔහු කෑගැසුවේය.
මේඝ සන්සුන්ව දෑස් පියාගෙන සිටියද ඔහු සිටියේ අවදියෙනි. එකවරම පහළ මාලයෙන් ඇසුණු මහා බිහිසුණු විලාපයකින් මේඝ තිගැස්සී ගියේය. ඒ මාධවගේ හඬයි!
"එපා... මට එන්න කියන්න එපා! මට බෑ... මාව අතහරින්න!"
මේඝ වහාම සිය පිස්තෝලය අතට ගෙන පහළට දිව ගියේය. සාලයට යද්දී ඔහු දුටු දසුනෙන් ඔහුගේ ලේ පවා සීතල විය. මාධව සෝපාව ළඟ බිම දණගසාගෙන සිටි අතර, ඔහු තමාගේම පිස්තෝලය සිය නිකටට තබාගෙන සිටියේය. මාධවගේ දෑස් සම්පූර්ණයෙන්ම සුදු පැහැ වී තිබූ අතර, මුහුණ මළකඳක් මෙන් සුදුමැලි වී තිබුණි.
"මාධව! මොකක්ද උඹ ඔය කරන පිස්සුව? තුවක්කුව පහළට දාපන්!" මේඝ කෑගසමින් මාධව වෙත පැන ඔහුගේ දෑත් තදින් අල්ලා ගත්තේය. මාධවට අසාමාන්‍ය ශක්තියක් ලැබී තිබුණි. ඔහු මේඝ සමඟ පොරබදන්නට විය.
"මට යන්න දෙන්න මේඝ... ඇය මට එන්න කියනවා. මට ඇය අඬන ශබ්දය දරාගන්න බෑ!" මාධව සිය පිස්තෝලයේ කොකා ගැස්සවීමට උත්සාහ කළේය.
මේඝ මහා වෙහෙසක් දරා මාධවගේ අතින් පිස්තෝලය උදුරා පසෙකට විසි කළේය. එහෙත් මාධව තවමත් සිටියේ සිහි විකල් වූවෙකු මෙන්, ඔහු තමාගේ ගෙල සූරා ගන්නට විය. මේඝට කුමක් කළ යුතු දැයි සිතාගත නොහැකි විය. මාධව වැනි ශක්තිමත් පුද්ගලයකු මෙලෙස බිඳ වැටීම ඔහුට දරාගත නොහැකිය. ඔහුගේ මනස පැටලුණු නූල් බෝලයක් මෙන් ඔහුට දැනුණි.
මේඝට එකවරම පියදාස මතක් විය. "මහත්තයා මේක මාධව මහත්තයාගේ අතේ බඳින්න. ඔහුට මේ මන්දිරය බොහෝ දරුණු විය හැකියි." මේඝ තම කබා සාක්කුවට අත දමා බැලුවේ, පියදාස ලබා දුන් නූල තවමත් සුරක්ෂිතව තිබේද යන්නයි. එය තිබුණි. "ඕනෑම දෙයක් වේවා!" යැයි සිතූ මේඝ, සිය සාක්කුවේ තිබූ ඒ නූල ගෙන, වේගයෙන් වෙව්ලමින් සිටි මාධවගේ දකුණු අතේ මැණික් කටුව වටා තදින් ගැටගැසුවේය.
ගත වූයේ තත්පර කිහිපයකි. හරියට විදුලි සැරයක් වැදුණාක් මෙන් මාධවගේ සිරුර එකවරම ගැසී නිසල විය. ඔහු දිගු සුසුමක් හෙළා, මේඝගේ දෑත මතටම සිහිසුන්ව ඇද වැටුණි. ඔහුගේ මුහුණේ තිබූ අඳුරු බියකරු පෙනුම කෙමෙන් මැකී ගොස්, සන්සුන් බවක් මතු විය.
මේඝට සැනසුම් සුසුම් හෙළුණි. මේ සා විශාල කලබලයක් සිදුවුවද, පියදාස පෙනෙන්නට සිටියේ නැත. ඔහු කොහේ සිටිනවාද කියා සෙවීමට මේඝට වුවමනා වුවද, මාධව තනිකර යාමට නොහැකි විය.
"පියදාස... ඇත්තටම උඹ කවුද?" මේඝ තමාටම මුමුණා ගත්තේය. මීදුම අතරින් පියදාසගේ ලන්තෑරුම් එළිය කොහේ හෝ දිස්වේ දැයි ඔහු අඳුර දෙස බලා සිටියේය. එහෙත් මන්දිරය පුරා පැතිර තිබුණේ මරණීය නිශ්ශබ්දතාවයක් පමණි.
***********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


👍👍👍👍♥️♥️♥️
ReplyDelete❤️❤️❤️💐
DeleteWoow💥
ReplyDelete❤️❤️❤️
DeleteSuperb 👍👍
ReplyDelete❤️❤️❤️
ReplyDelete