සීතල මන්දිරය 5 කොටස [අභිරහස් කතා/නවකතා]
දොරකඩ සිටි පියදාස මේඝ අසලට තවත් පියවරක් තැබුවේය. ඔහුගේ දෑස් මාධව වෙත යොමුවී තිබුණි. පියදාසගේ මුහුණේ තිබුණේ කිසිවක් කියවා ගත නොහැකි නිසල පෙනුමකි. ඔහු දෑත් පිටුපසට කරගෙන මාධව දෙස බලා සිටියේය.
"ඔහුට දැන් බයක් නැහැ මහත්තයා. ඒ නූල ඔහු වටේට පවුරක් වගේ රැකවරණය දෙනවා."
මේඝ සෙමෙන් ඇඳෙන් බිමට පය තැබුවේය. ඔහුගේ මනසට ඊයේ රාත්‍රියේ මාධව විඳි ඒ මරණීය වේදනාව සහ අද්භූත අත්දැකීම් යළිත් මතක් විය.
"පියදාස, ඔබ කිව්වා මෙහෙ පෙනෙන්නේ නැති තැන් තියෙනවා කියලා. ඒත් ඇයි ඔබ ඒවා මට කෙලින්ම පෙන්වන්නේ නැත්තේ? ඇයි ඔබ අපිව මේ විදියට පරීක්ෂාවට ලක් කරන්නේ?"
"මහත්තයාට දැන් හිතෙනවද මම ඊයේ කියපු දේවල් ඇත්ත කියලා?" පියදාසගේ හඬේ තිබුණේ සියුම් උපහාසයක් මුසු වූ බැරෑරුම් බවකි.
මේඝ මොහොතක් නිහඬව සිටියේය. තාර්කික රහස් පරීක්ෂකයකු ලෙස මේ සියල්ල ඇත්ත යැයි එකවරම පිළිගැනීමට ඔහුගේ මනස අදිමදි කළේය. පියදාස කෙරෙහි විශාල සැකයක් මේඝගේ සිතේ පැලපදියම් වෙමින් තිබුණි. ඊයේ රාත්‍රියේ බිහිසුණු මොහොතේ පියදාස පෙනෙන්නට නොසිටීමත්, අද උදෑසනම ඔහු මෙලෙස මතුවීමත්, ඊටත් වඩා ඔහු නොසිටියේ නම් ඊයේ රෑ සිදුවූ සියල්ල ඔහු දන්නේ කෙසේදැයි යන්න මේඝට මහත් ගැටලුවක් ඇති කළේය. පියදාස යනු මේ සියල්ල මෙහෙයවන සෙවනැල්ලක්ද?
"මම දන්නේ නැහැ පියදාස මාධවට වුණේ මොකක්ද කියලා. මට තාම හිතාගන්න බැහැ." මේඝ පියදාසගේ දෑස් දෙස කෙලින් බලමින් සන්සුන්ව පැවසුවේය. "ඒත් මට එක දෙයක් දැනගන්න ඕනේ. ඇයි මාධවට විතරක් මෙච්චර බය හිතෙන්නේ? ඇයි මේ බිත්ති ඔහුට විතරක් මෙහෙම වද දෙන්නේ? මට කිසිම අමුත්තක් දැනෙන්නේ නැත්තේ ඇයි?"
පියදාස මඳ සිනහවක් පෑවේය. ඒ සිනහව මීදුම අතරින් පෙනෙන මළ හිරු එළියක් මෙන් මලානික විය.
"ඒක හරිම සරලයි මහත්තයා." පියදාස සෙමෙන් ජනේලය දෙසට හැරුණේය. "මේ මන්දිරය කියන්නේ කන්නාඩියක් වගේ තැනක්. ඒකෙන් පේන්නේ තමන්ගේ හිත ඇතුළේ තියෙන දේ විතරයි. මාධව මහත්තයා ආවේ නීතිය අතේ තියාගෙන වැරදිකාරයෝ හොයන්න. ඔහුගේ හිතේ සැකයත් එක්කම ලොකු බයක් තියෙනවා. ඔහු ආයුධ ළඟ තියාගෙන ජීවත් වෙන්නේ ඒකයි. මේ බිත්ති පෝෂණය වෙන්නේ අන්න ඒ බයෙන්."
පියදාස නැවතත් මේඝ දෙසට හැරුණේය. "හැබැයි මහත්තයා ආවේ වැරදිකාරයෝ හොයන්න නෙමෙයි, සිද්ධ වුණේ මොකක්ද කියලා හොයන්න. මහත්තයාගේ හිතේ තියෙන්නේ බයක් නෙමෙයි, ලොකු හිස් බවක්. මහත්තයා සුලෝචනා නෝනාට මොකද වුණේ කියලා හොයනවා මිස මිනීමරුවෝ හෙව්වේ නැහැ. මහත්තයාගේ ආයුධය තර්කය මිසක් තුවක්කුව නෙවෙයි. බිත්තිවලට මහත්තයාගෙන් උරාගන්න පුළුවන් වේදනාවයි හිස් බවයි විතරයි. මේ මන්දිරය ඒ හිස් බවට, හුදෙකලාවට කැමතියි."
මේඝ පියදාසගේ වචන පරීක්ෂාකාරීව අසා සිටියේය. පියදාස පවසන දේ සත්‍යයක් වුවත්, ඔහු මාධවව යම් මායාවකට හසු කිරීමට උත්සාහ කරන්නේද යන සැකය මේඝගේ සිතින් මැකී ගියේ නැත.
"මම දැනගෙන හිටියා මාධව මහත්තයා බිඳෙනවා කියලා. මම ඊයේම මේ නූල මහත්තයට දුන්නේ ඒකයි. ඕක නොතිබුණා නම් මාධව මහත්තයට වෙන්නෙත් මෙතන ආපු අනෙක් නිලධාරීන්ට සිද්ධ වුණ දේම තමයි."
"මොකක්ද මෙතනට ආපු අනිත් නිලධාරීන්ට වෙච්ච දේ? පියදාස දන්නවද?"
"ඔව්, මම මේ මන්දිරයටම දිය වෙච්ච මනුස්සයෙක් මහත්තයා. අවුරුදු තිහකට වඩා කාලයක් තිස්සේ මේ අබිරහස විසඳන්න විවිධ මිනිස්සු මෙතනට ආවා. හැබැයි කිසිම කෙනෙක් ආපසු හොඳින් නම් ගියේ නැහැ."
"මේ අභිරහසේ ස්වභාවය මට තවම හිතාගන්න බැහැ. ඒත් මම සම්බන්ධ වුණ හැම පරීක්ෂණයකටම වඩා මේක වෙනස් කියලා විතරක් මට හිතෙනවා. පියදාස, මට කියන්න මීට කලින් මේ අභිරහස පස්සේ පන්නපු නිලධාරීන්ට මොකද වුණේ? ඇයි ඔවුන්ට මේක විසඳගන්න බැරි වුණේ?"
පියදාස සෙමෙන් මේඝ දෙසට හැරුණේය. ඔහුගේ මලානික දෑස්වල පෙනුණේ දශක තුනක සාක්ෂිකරුවකුගේ අත්දැකීම් සමුදායකි.
"මහත්තයා, ගොඩක් අය ආවා. හැබැයි මේ මන්දිරය හැමෝටම තමන්ගේ ඇතුළත රහස් පෙන්නුවේ නැහැ." පියදාස බිඳුණු හඬින් පවසන්නට විය. "සමහර නිලධාරීන් මන්දිරයේ අඳුරට බිය වුණා. ඔවුන් දකින දේවල් දරාගන්න බැරුව සමහරුන්ට පිස්සු හැදුණා. තවත් සමහරුන්ට බය වැඩිවෙලා මේ මන්දිරය ඇතුළෙදිම පපුවේ අමාරුව හැදිලා මැරිලා වැටුණා. මන්දිරය ඔවුන්ගේම බය ඔවුන්ට විරුද්ධව පාවිච්චි කළා. තවත් පිරිසක් ආවේ රහස හොයන්න. හැබැයි මන්දිරයට ඇතුළු වෙලා ටික දවසක් යනකොට ඔවුන්ගේ හිතේ තිබුණේ රහස නෙවෙයි, මෙතන තියෙන වටිනා දේවල් ගැන ලෝභකමක්. ඒ නිසාම මේ මන්දිරය ඔවුන්ව ප්‍රතික්ෂේප කළා. ඔවුන්ව ඈත් කළා. ඇත්ත හොයන්න ආපු සමහරු හිටියා, හැබැයි ඒ ඇත්ත දකින්න තරම් සුදුසුකමක් ඔවුන්ට තිබුණේ නැහැ. අනික සමහර වෙලාවට වෙනත් හේතු මත ඔවුන්ට යන්න වුණා. මේ හැමදේම දිහා බලාගෙන මම තවමත් මෙතන ඉන්නවා."
පියදාස සෙමෙන් ඉදිරියට ඇවිත් මේඝ අසල නතර විය. "අද මාධව මහත්තයා වුණත් ඔය අනතුරෙන් බේරුණේ ඔබ නිසා. නැත්නම් මන්දිරය ඔහුටත් දරාගන්න බැරි දෙයක් කරන්න තිබුණා."
මේඝගේ සැකය පියදාස කෙරෙහි පැවතුණත්, ඔහු එය නොපෙන්වා පියදාසගෙන් දිගටම ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය. "ඇයි ඉතින් පියදාස එම නිලධාරීන්ට උදව් නොකළේ? මට ඒ දේ පැහැදිලි නැහැ පියදාස."
පියදාස මේඝගේ පැනයට බිය වූයේ නැත. ඔහු සෙමෙන් දොර දෙසට ඇවිද යමින් මෙසේ කීය. "මහත්තයා, මට ඒකට අයිතියක් හෝ අවසරයක් තිබුණේ නැහැ. ඔබ මේ අභිරහස හරිම තැනකින් අල්ලගත්ත දවසට ඔබට ඒකට හේතුව වැටහේවි. ඒකට මහ ලොකු දුරක් නැහැ කියලා මට තේරෙනවා." එසේ කියමින් පියදාස පිටව ගියේය.
'ඔබ අභිරහස හරිම තැනකින් අල්ලගත්ත දවසට' එම වචන මේඝගේ මනසේ දෝංකාර දෙන්නට විය. "ඒ කියන්නේ මම තාම හරිම තැනින් අල්ලගෙන නැහැ කියන එකද?" මේඝගේ මනස අධික කුතුහලයකින් වැසී ගියේය. මේඝ සෙමෙන් මාධවගේ උරහිසට අත තැබුවේය. "මාධව, ඇහැරියන්. අපිට දැන් වැඩ පටන් ගන්න වෙලාව හරි."
*******
මාධව අවදි වූයේ මරණීය බයෙන් ගැහෙමින් සිටි මිනිසෙකු ලෙස නොව, ඉතා සුවදායක නින්දක පසුවී ප්‍රබෝධමත් වූ අයෙකු ලෙසිනි. ඔහු සිය දකුණු අතේ බැඳි රතු නූල දෙස මොහොතක් බලා සිටියේ පුදුමයෙනි. ඊයේ රාත්‍රියේ තමාගේ හිසට තුවක්කුව තබාගන්නට තරම් පෙළඹවූ ඒ දරුණු පීඩනය දැන් මුළුමනින්ම මැකී ගොස් තිබුණි.
මේඝ නිහඬවම මේ දෙස බලා සිටියේය. පියදාස ගැන ඔහු තුළ තිබූ සැකයත්, මේ සිදුවන දේවල ඇති අද්භූත ස්වභාවයත් අතර ඔහුගේ මනස දෝලනය විය. පියදාස කියූ සියලු දේ සත්‍ය යැයි විශ්වාස කිරීමට තරම් ඔහු අන්ධ භක්තිකයෙකු නොවීය. පියදාස නිකම්ම අපිව බය කිරීමට රංගනයක යෙදුණේ නම්, මේ නූල බැඳි සැණින් මාධවගේ මානසික තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත්වන්නට විදිහක් නැතැයි මේඝ තමාටම තර්ක කරගත්තේය.
දෙදෙනාම ඇඳෙන් බැස පහළ මාලයට පැමිණියහ. මන්දිරයේ සාලය පසුකර පිටුපස දොරින් එළියට යන විට, සුපුරුදු පරිදි නාන ළිඳ අසල දුම් දමන උණු වතුර බේසම් දෙකක් සූදානම් කර තිබුණි.
"මේවා හරිම අමුතුයි මේඝ." මාධව මුහුණ සෝදන අතරතුර මිමුණුවේය. "අපි එනවා දකින්නෙවත් නැතුව පියදාස කොහොමද හරියටම මේ වෙලාවට මේවා ලෑස්ති කරන්නේ?"
පියදාස හා ඔහු අතර ඇති වූ කිසිම කතාබහක් මාධවට නොකියා සිටීමට මේඝ පරිස්සම් විය. මාධවගේ දැනට පවතින මානසික තත්ත්වය බිඳ දැමීමට ඔහුට අවශ්‍ය නොවීය. යම් හෙයකින් පියදාස කියන ලද කතා සත්‍ය වුවහොත් එය මාධවගේ ජීවිතයට බලපෑ හැකි බව ඔහුට සිතුණි.
මුහුණ කට සෝදාගෙන ඔවුන් නැවත ගෙට ඇතුළු වන විට, සාලයේ තිබූ විශාල පැරණි මේසය මත දුම් දමන රොටී, ලුණු මිරිස් සහ උණුසුම් තේ කෝප්ප දෙකක් තබා තිබුණි. නමුත් පියදාස පෙනෙන්නට නොසිටියේය.
මාධව තේ කෝප්පය අතට ගෙන වටපිට බැලුවේ දැඩි කුතුහලයකිනි. "මේඝ, මට මේක ලොකු ප්‍රශ්නයක්. මේ මිනිහා මේ හැමදේම කරනවා. හැබැයි ඔහු මගේ ඉස්සරහට එන්නේ නැත්තේ ඇයි? උඹත් එක්ක විතරක් කතා කරන්නේ ඇයි? මේ හැංගිමුත්තන් සෙල්ලම කරන්නේ මොකක් හරි නරක චේතනාවකින් කියලා හිතෙන්නේ නැද්ද?" මාධව මේඝ දෙස බලා කෙලින්ම ප්‍රශ්න කරන්නට විය. "උඹ දැක්කනේ ඊයේ මට වෙච්ච දේ. මට මාව කිසිම විදිහකින් පාලනය කරගන්න බැරි වුණා. තව පොඩ්ඩෙන් මගේම ඔළුව කුඩු කරගන්නවා. එච්චර දෙයක් වෙලත් මේ මිනිහා හිටියේ නැහැ. උදේට කෑමයි වතුරයි ලෑස්ති කරන මනුස්සයාට රෑ මගේ විලාපය ඇහුණේ නැද්ද? ඇයි ඔහු මගේ මූණට එන්නේ නැත්තේ? මට නම් මිනිහව සැකයි."
"අපිට කිසිම වෙලාවක ඉක්මන් නිගමනයකට එන්න බැහැ මාධව. අපි මේක ගැඹුරින් හදාරන්න ඕනේ. පියදාස කියන්නේ මේ නාට්‍ය ඇතුළේ ඉන්න එක චරිතයක්. තව ඉස්සරහට තව මොන වගේ චරිත එකතු වෙයිද කියන්න අපි දන්නේ නැහැ."
"උඹ කියන එක හරි. ඒත් ඕනෑම අපරාධකාරයෙක් කැමතියි තමන්ගේ වරද වහගන්න 'හොල්මන්' කියන ලේබලය පාවිච්චි කරන්න. අපිට මේ වෙනකන් කරපු එක පරීක්ෂණයකදිවත් හොල්මන් හම්බවෙලා තියෙනවද? මම මළමිණි ගොඩේ නිදියපු එකෙක්. ඇත්තම කිව්වොත් පරීක්ෂණවලදී මම වෙස් වලාගෙන හිටියේ නැති තැනක් නැහැ. කුඩුකාරයෝ, මැරයෝ, හිඟන්නෝ, සල්ලාලයෝ, හාමුදුරුවරු... ඇත්තම කියනවා නම් මම රඟපාලා නැත්තේ හොල්මනකට විතරයි. මේ පාර ඒකත් කරන්න වෙයි වගේ. පියදාස මේ හැමදේම කරනවා වෙන්න බැරිද? ඊයේ රෑ මට වෙච්ච දේ වුණත් මොකක් හරි මත්ද්‍රව්‍යයක් හෝ මනෝවිද්‍යාත්මක බලපෑමක් පාවිච්චි කරලා කරපු දෙයක් වෙන්න පුළුවන් නේද?"
මේඝ ජනේලයෙන් පිටත බලා සුසුමක් හෙළුවේය. "මට පියදාස ගැන සැකයකට වඩා තියෙන්නේ ඔහුගේ අරමුණු දැනගන්න උවමනාවක් මාධව." මාධවගේ තර්කය ඉදිරියේ මේඝ එකවරම පියදාසව සාධාරණීකරණය කරන්නට ගියේ නැත. ඔහුට අවශ්‍ය වූයේ පියදාසගේ හොඳ නරක තීරණය කිරීමට පෙර මේ සිදුවීම් මාලාව පිටුපස ඇති තර්කනය තේරුම් ගැනීමටයි. මේඝ සිය තේ කෝප්පය මේසය මත තබා ඉතාමත් සන්සුන්ව මාධව දෙස බැලුවේය.
"මම පියදාසව විශ්වාස කරනවා නොවෙයි. මම බලන්නේ මේ සිද්ධිය තුළ තියෙන දත්ත දිහාව විතරයි. අපි මේක දෙපැත්තකින් බලන්න ඕනේ." මේඝ මේසය මත තිබූ හැන්දක් ගෙන ඉරක් ඇන්දේය.
"උඹ කියන දේ හරි. මේක සැලසුම් සහගත ක්‍රියාවක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පියදාස මේ මන්දිරයේ හැම අස්සක් මුල්ලක්ම දන්නවා. ඔහුට පුළුවන් අපේ කෑමට යම් රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කරන්න. සිද්ධිය එහෙම එකක් නම්, ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ඖෂධ ඕනෑ තරම් තියෙනවා. ඔහු මේ හොල්මන් කතාව ගොතන්නේ අපේ අවධානය වෙනතකට යොමු කරලා සැබෑ සාක්ෂි විනාශ කරන්න වෙන්න පුළුවන්. අනෙක් පැත්ත තවම මටත් පැහැදිලි නැහැ. මගේ තර්කයට අහුවෙන්නේ නැති තැන් දෙකක් තියෙනවා. එකක්, අර රතු නූල. උඹ වෙනස් වුණේ මත්ද්‍රව්‍යයක් හින්දා නම්, ප්‍රති-ඖෂධයක් භාවිතා නොකරම අර නූල බැඳපු ගමන් උඹේ කායික ලක්ෂණ යථා තත්ත්වයට පත්වුණේ කොහොමද? දෙවැනි එක, පියදාස මෙයට සම්බන්ධයි නම් ඇයි ඔහු අපිව බය කරලා පන්නගන්න උත්සාහ නොකර අපිට මේ විදිහට සත්කාර කරන්නේ? අපරාධකරුවන් සාමාන්‍යයෙන් පරීක්ෂණයක් මඟහරිනවා, නැත්නම් ඉවත් කරනවා. ඒත් පියදාස කරන්නේ අපිව මේ කතාව ඇතුළට තව තවත් ඇදලා ගන්න එක."
"මම පියදාසව සැක කරනවා මාධව," මේඝ නැවතත් අවධාරණය කළේය. "හැබැයි මම සැක කරන්නේ ඔහු අපරාධකරුවෙක් කියන එකට වඩා, ඔහු මේ අපරාධයේ සාක්ෂිකරුවෙක් වෙලා ඒක හංගගෙන ඉන්නවා කියන එක. ඔහු අපිට හැමදේම දෙන්නේ නැහැ; ඔහු දෙන්නේ අවශ්‍ය තොරතුරු විතරයි. ඔහු මේ මන්දිරයේ අභිරහස පාවිච්චි කරලා අපිව මෙහෙයවනවා කියලයි මට දැනෙන්නේ."
මේඝගේ මනස දැන් ක්‍රියා කරන්නේ ඉතාමත් ශූක්ෂම මට්ටමකිනි. සාකච්ඡාව අතරතුර ඔහුට එක්තරා සුවිශේෂී තර්කයක් මතුවිය. ඕනෑම අබිරහසක් විසඳීමට නම් එහි මතුව පෙනෙන චරිතයන්ගේ පසුබිම පැහැදිලි විය යුතුය. මෙහිදී පියදාස යනු කවුද යන්න හඳුනා ගැනීම අභිරහස ලිහීමේ මුල් යතුර විය හැකි බව ඔහු වටහා ගත්තේය.
මාධව තවමත් සිටින්නේ ඔහුගේ මතයේමය. පියදාස යනු මේ අභිරහසේ කොටස්කරුවෙකු බව ඔහුගේ සිත තරයේම පවසයි. "පියදාස මේ කෑම වලට වහ දැම්මොත් අපි දෙන්නා මෙතනම ඉවරයි. උඹට තේරෙන්නේ නැද්ද ඔහු අපිව පාලනය කරනවා කියලා?"
"අපි මේ හැමදේටම කලින් පියදාස කවුද කියලා හොයන්න ඕනේ." මේඝ ස්ථිර හඬින් පැවසුවේය.
"හරි, අපි ඉස්සෙල්ලාම ඌ ගැන හොයමු. හැබැයි පියදාස කවුද කියලා හරියටම දැනගන්නකම් මම මේ කෑම නම් කන්නේ නැහැ. මම මගේ බෑග් එකේ තියෙන බිස්කට් කාලා අර ළිඳෙන් වතුර බීලා ජීවත්වෙනවා."
මේඝ මඳ සිනහවක් පෑවේය. "ඒක උඹේ කැමැත්ත. හැබැයි පියදාසට අපිව මරන්න ඕනේ නම් ඔහුට ඒක කරන්න තිබුණු අවස්ථා ඕනෑ තරම්. ඔහුට ඕනේ ඊට වඩා ලොකු දෙයක්. අපි අන්න ඒක මොකක්ද කියලා හොයාගන්න ඕනේ."
**********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Superb 💥
ReplyDelete❤️❤️❤️
Delete