සීතල මන්දිරය 6 කොටස


 


6 වන දිගහැරුම

මාධව මන්දිරයේ බරැති දොර විවෘත කරගෙන මීදුමෙන් වැසුණු මිදුලට බැස ගත්තේය. ඔහු ඇඳ සිටියේ සාමාන්‍ය ගමන් ඇඳුමක් වූ අතර, කරේ එල්ලා ගත් කැමරාව සහ අතේ තිබූ සිතියම හා සටහන් පොත හේතුවෙන් ඔහු පෙනුණේ ප්‍රදේශයේ ඉතිහාසය ගවේෂණය කිරීමට පැමිණි විද්වතෙකු මෙනි. 

මේඝ සහ මාධව කලින්ම තීරණය කළ පරිදි, මෙම පරීක්ෂණය ඉතා රහසිගතව සිදුකිරීමත්, මිනිසුන්ට මේ පිළිබඳව දැනගැනීමට නොතැබීමත් ඔවුන්ගේ අරමුණ විය. එම නිසා ගවේෂක වෙස් වලා ගැනීම ඉතා වැදගත් විය. නුවරඑළියේ සීතල සුළඟ මීදුම සමඟ මුසුවී කඳු බෑවුම් දිගේ පහළට ගලා එයි. මාධව තම යතුරුපැදිය නගරය දෙසට ධාවනය කළේ මන්දිරයේ අභිරහසට පිටතින් ඇති සම්බන්ධය සොයා බැලීමේ අරමුණිනි. පාර දෙපස ඇති පයින් ගස් සහ යුකැලිප්ටස් වනාන්තර මීදුමෙන් වැසී තිබුණු අතර, තැනින් තැන පෙනෙන තේ වතු යායන් කොළ පැහැති පලසක් එළා ඇතිවාක් මෙනි. 

පරිසරයේ තිබූ අමුතුම නිහඬතාවය කෙමෙන් මැකී ගොස් කුරුල්ලන්ගේ නාදය සහ ඈතින් ඇසෙන මිනිස් කටහඬවල් ඇසෙන්නට විය. තේ දළු නෙළමින් සිටි කාන්තාවන් කිහිප දෙනෙකු දුටු මාධව, ඔවුන් අසලට ගොස් යතුරුපැදිය නතර කර සුහදව කතා කරන්නට උත්සාහ කළේය. 

"අම්මේ, මම මේ පැත්තේ පරණ ගොඩනැගිලි ගැන ගවේෂණයකට ආව කෙනෙක්. මට අර පෙනෙන ලස්සන මන්දිරය ගැන ගවේෂණය කරන්න ඕනේ. ඒකෙ අයිතිකාරයෙක් ඉන්න තැනක් දන්නවා නම් කියනවාද?" 

"මන්දිරේ...?" එක් කාන්තාවක් දළු නෙළීම නතර කර බියෙන් මෙන් මාධව දෙස බැලූවාය. "මහත්තයා ඕකට නම් යන්න එපා. ඕක සාප වෙච්ච තැනක්!" 

"මොකක්? මට නම් එහෙම පේන්නේ නැහැ. ඒක හරිම පෞරාණික වාස්තු විද්‍යාත්මක වටිනාකමක් තියෙන ගොඩනැගිල්ලක් කියලයි මට නම් පෙනෙන්නේ." මාධව තවත් විස්තර දැන ගැනීමට එසේ පැවසීය. 

"මහත්තයා, ඔය මන්දිරයේ දොරවල් ඇරෙන්නේ මිනිස්සු බිලිගන්න ඕනෑ වුණාම විතරයි. අපේ අම්මලා කියලා තියෙන විදිහට නම්, සුලෝචනා නෝනා අතුරුදහන් වුණාට පස්සේ ඕකට ගිය කිසිම කෙනෙක් ආපසු ආවේ නැහැ. මහත්තයාගේ පණට ආදරයක් තියෙනවා නම් ඔය පැත්තට යන්න එපා. ඕකේ ගිය සතියේ එක මනුස්සයෙක් මැරිලා හිටියා. තවත් මනුස්සයෙක්ට පිස්සු හැදිලා හිටියා කියලා තමයි ආරංචිය." 

තේ දළු නෙළමින් සිටි කාන්තාවන්ට සමුදී, නගර සීමාවට මඳක් මෙපිටින් ඇති කුඩා හන්දියක තිබූ පැරණි සිල්ලර කඩයක් අසල මාධව තම යතුරුපැදිය නතර කළේය. ලීයෙන් තනන ලද එම කඩය ඉතා පැරණි පෙනුමක් ගත් අතර, එහි වහලයට උඩින් දුම් පීල්ලෙන් දුම් පිටවෙමින් තිබුණි. කඩය ඉදිරිපස ඇති කුඩා බංකුව මත වයස්ගත පුද්ගලයන් කිහිප දෙනෙකු උණුසුම් තේ කෝප්ප රස විඳිමින් කතාබහක නිරතව සිටියහ. 

මාධව ඔවුන් අසලට ගොස් සුහදව සිනාසුණේය. "කොහොමද ලොකු උන්නැහේලා... හොඳටම සීතලයි නේද අද?" 

"ඔව් මහත්තයෝ, අද වෙනදට වඩා මීදුම වැඩියි," එක් වයසක පුද්ගලයෙක් තම සරම මඳක් තද කරගනිමින් පැවසීය. 

මාධව ද තේ කෝප්පයක් ඇණවුම් කර ඔවුන් අසලින් වාඩි විය. එතැන බංකුවේ වාඩි වී සිටි පිරිමි දෙතුන් දෙනාගේ සැකමුසු බැල්ම මාධව වෙත යොමු වුවත්, මාධවගේ සූක්ෂ්ම කපටි මොළය ඔවුන්ගේ සැකය දුරු කිරීමට අවශ්‍ය සාධක ඉදිරිපත් කරන්නට විය. 

"මේ මහත්තයා මේ පළාතේ කෙනෙක් නෙවෙයි වගේ."

"අනේ නැහැ අංකල්, මම ආවේ කොළඹ ඉඳලා. මම මේ පැත්තේ තියෙන පැරණි ගොඩනැගිලිවල වාස්තු විද්‍යාව පිළිබඳ පරීක්ෂණ ග්‍රන්ථයක් ලියනවා. එක එක රජවරුන්ගේ කාලවල වාස්තු ශිල්පය මොන වගේද, විවිධ ආක්‍රමණවලින් පස්සේ ඒවට වුණු බලපෑම සහ ඒවයේ වෙනස්කම් වගේ දේවල් ගැන හොයනවා." 

"ඒකත් එහෙමද? ඔය යටගියාව ගැන හොයලා මොකටද මහත්තයෝ?"

මාධව මඳ සිනහවක් පෑවේය. "ඒ දේවල් අපේ අභිමානය අංකල්. අපිට වඩා ඒවා ඉදිරි පරපුරට ඕන වෙන්න පුළුවන්. මම මේ අර උඩට වෙන්න තියෙන මන්දිරය පරීක්ෂා කරන්න යන්න හිතාගෙන ආවේ.ඒත් යන්න කලින් තේ එකක් බොන්න හිතුණා." 

"මහත්තයෝ... මහත්තයට ජීවත් වෙන්න අවස්ථාවක් තියෙන හින්දා තමයි මහත්තයට තේ එකක් බොන්න හිතිලා තියෙන්නේ. මහත්තයාගේ පණට ආදරයක් තියෙනවා නම් ඒ පැත්තට යන්න එපා." 

"ඒ මොකද? ඒක මගේ පරීක්ෂණයට නියම තැනක්."

"මහත්තයා ඔතනට ගියාට පරීක්ෂණ නම් කරන්න වෙන්නේ නැහැ. පිස්සු වැටිලා පාරක් පාරක් ගානේ දුවන්න වෙයි. ඔය මන්දිරය පිහිටලා තියෙන කන්දේ ඉහළ කොටසට මිනිස්සු කිසිසේත්ම යන්නේ නැහැ. ඒක හරියට ගමෙන් වෙන් වෙච්ච අකර්මණ්‍ය කලාපයක් වගේ." 

"ඒ කියන්නේ මාමේ... මට නම් මේ මොකුත් තේරෙන්නේ නැහැ."

"ඒ කාලේ මම හොඳ තරුණ කොල්ලා. මට අද වගේ මතකයි ඔය මන්දිරේ තිබුණු උජාරුව. මම ඕකට මුලින්ම ගියේ සුජීව දොස්තර මහත්තයගෙන් බෙහෙත් ගන්න." 

"ආ, ඒ කියන්නේ ඒක අයිති ඩොක්ටර් කෙනෙක්ටද?"

"අපෝ නැහැ මහත්තයෝ, ඕක අයිති සුලෝචනා නෝනට. නෝනා බඳින්න හිටියේ සුජීව මහත්තයාව." 

කතා කරමින් සිටි තවත් වයසක මිනිසකු එකවර සුසුමක් හෙළුවේය.

 "හරිම කරුණාවන්ත මිනිස්සු. ඉස්සර ඔය මන්දිරයට ගිය කිසිම කෙනෙක් බඩගින්නේ, හිස් අතින් ආවා කියලා අපිට දැනගන්න ලැබිලා නැහැ. ඔය මන්දිරේ පැත්තට වෙන්න පොඩි ගෙයක් තිබුණා, සුජීව මහත්තයා ඒකේ තමයි බෙහෙත් දුන්නේ. ඒ කාලේ සුලෝචනා නෝනා ඉටි රූපයක් වගේ." 

"ඉතින් අංකල්, ඔච්චර හොඳ තැනකට ඇයි අංකල්ලා මට යන්න එපා කියන්නේ?"

"මහත්තයෝ, ඉස්සර මන්දිරය අයිති මිනිස්සුන්ට වුණාට දැන් ඒක අයිති මිනිස්සුන්ට නෙමෙයි. එතනට යන හැමෝටම මොකක් හරි විපතක් වෙනවා. ගිය සතියේ ඔතන මිනී මැරුමකුත් වුණා. ඒ මැරුණු ළමයා එක්ක ආපු අනික් ළමයට පිස්සු හැදුණා කියලයි ආරංචිය. පොලිසිය වුණත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. ගමේ මිනිස්සු නම් කියන්නේ ඒක මන්දිරයෙන් ගත්ත බිල්ලක් කියලා. මහත්තයාගේ පොත ලියන්න වෙන මන්දිරයක් හොයාගන්න, ඕකට නම් යන්න එපා." 

"ඒ කියන්නේ ඕකේ හොල්මන් තියෙනවා? එතකොට කවුද ඒ හොල්මන? සුජීව කියන දොස්තර මහත්තයද?" 

මාධව කිසිත් නොදන්නා අයකු මෙන් ඇසුවේ ගණනකට නැතිවය. නමුත් ඒ කතාවෙන් මුළු කඩපිළම නිහඬ විය. තේ කෝප්ප තොලගෑම නතර කළ මිනිසුන් ඈතින් පෙනෙන මන්දිරය දෙස බැලුවේ බියමුසු බැතියකිනි. 

"ඇයි අංකල් එකපාරට නිහඬ වුණේ? මම මොකක් හරි වැරදි ප්‍රශ්නයක් ඇහුවද?" මාධව නැවතත් ඇසුවේ ඔවුන්ගේ මුහුණුවල ඉරියව් නිරීක්ෂණය කරමිනි. 

කඩේ අයිතිකරුවා ඇතුළේ සිට එළියට පැමිණියේය. ඔහු තම අතේ තිබූ රෙදි කැබැල්ලකින් මේසය පිසදමමින් හීන් හඬින් කතා කළේය. 

"මහත්තයෝ, සුජීව මහත්තයා කියන්නේ දේව රූපයක් වගේ මනුස්සයෙක්. එතුමා මැරුණා කියලා අදටත් ආරංචියක් නැහැ. එතුමා අතුරුදහන් වුණා කියලා තමයි ආරංචි වුණේ. හරියටම කසාදෙට සතියකට විතර කලින් සුජීව මහත්තයා අතුරුදහන් වුණාට පස්සේ සුලෝචනා නෝනා පිස්සියෙක් වගේ වුණා කියනවා. නෝනා අසනීපෙන් හිටියා කියලත් මිනිස්සු කියනවා. අනික ඔය සුලෝචනා නෝනා අමනුෂ්‍යයින් එක්ක සම්බන්ධයි කියලත් ඒ කාලේ කටකතා තිබුණා. අපේ හෙළ වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය ගැන එහෙම තිබුණු පොත් අපේ මිනිස්සුන්ගෙන් හොරකම් කරලා, ඒ කාලේ සුද්දෝ ඕකේ නිදන් කරලා තිබුණා කියලා කියනවා. ඕවා සුලෝචනා නෝනට හම්බවෙලා තිබුණා කියලත් කියනවා. අනේ මන්දා ඉතින්, ඕවයේ ඇත්ත නැත්ත කොහොම වුණත්, සුජීව මහත්තයා අතුරුදහන් වෙලා මාසෙකට දෙකකට පස්සේ තමයි සුලෝචනා නෝනා අතුරුදහන් වුණේ. ඒ දෙන්නම මැරුණා කියලා සාක්ෂියක් නැහැ ඒත් අදටත් ජීවත් වෙනවා කියලා සාක්ෂියකුත් නැහැ. ඔය හැමදේම වුණාට පස්සේ ඕක බලා හදාගෙන හිටියේ පියදාස අයියා. මිනිහත් කාලයත් එක්කම අතුරුදහන් වුණා. සමහර මිනිස්සු කියනවා කැලේ හැංගි හැංගි ඉන්නවා කියලා, සමහරු දැකලත් තියෙනවලු. ඒත් කතාවක් බහක් නැහැල්ලු. කාලෙකට මතුවෙනවා, කාලෙකට අතුරුදහන් වෙනවා. ඒ ගැන නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි මනුස්සයාගේ මොළය හොඳ නැති වෙලා තමයි හිටියා කියන්නේ, සුලෝචනා නෝනගේ අතුරුදහන් වීමෙන් පස්සේ." 

"මාර කතාවක්නේ අංකල්. ඇඟේ හිරිගඩුත් පිපෙනවා අහනකොටත්. එතකොට දැන් ඔය හොල්මන් කරනවා කියන්නේ ඔය අතුරුදහන් වුණු අයද?" 

"ඔව්, එහෙම කියනවා. අප්පේ... අපරාදේ කියන්න බැහැ, ඔය දෙන්නා හිටියා නම් දැන් මේ ගමටම කිරි ඉතිරිලා. අනේ මන්දා ඉතින්, මන්දිරයට මොන කරුමයක් පළදුන්නාද කියලා." 

"පියදාසට පිස්සු නොහැදී තියෙයිද මහත්තයෝ? තමන්ගේ එකම දුවයි එකම මිනිබිරියයි දෙන්නටම වෙච්ච දේ මතක් වෙනකොට මොන මනුස්සයාටද උහුලන්න පුළුවන්?" 

මාධවට බොමින් සිටි තේ උගුර ඉස්පෝප්පුවේ ගියේය. ඔහුගේ පෙනහළු හිරවී යන්නාක් මෙන් දැනුණි. 

"මොකක්? මොකක්ද කිව්වේ?" මාධව අමාරුවෙන් වචන ගලපා ගත්තේය. 

"ඔව් මහත්තයා, ඕකේ අයිතිකාරයා වෙච්ච හැරිසන් පියදාසගේ දුවට කරදර කළා. ඒ මල්කාන්ති.එතකොට ඒකිට අවුරුදු 17 විතර ඇතිමගෙ හිතේ. සුලෝචනා නෝනා ඉපදිලා අවුරුදු තුන හතරකින් මල්කාන්ති මලා ඒ පිස්සුවෙන්ම. සුද්දා  වතු යායමයි මන්දිරයයි සුලෝචනා නෝනට ලිව්වා. ඒ පියදාසට හිටිය එකම ලේ ඥාතියා." 

මාධවට දැනුණේ තමා ඉදිරියේ විදුලියක් කොටන්නාක් ලෙසය. මෙතෙක් තමා කියවූ කිසිම පරීක්ෂණ වාර්තාවක පියදාස යන්නෙක් ගැන සඳහන්ව නොතිබුණි. සුලෝචනාට මන්දිරය අයිති වූයේ සුද්දෙක්ගෙන් බව තිබුණත්, අතිශය වැදගත් කරුණක් වූ මෙම ඥාතීත්වය පරීක්ෂණ වාර්තාවලින් අතුරුදහන් වූ ආකාරය මාධවට සිතාගත නොහැකි විය. 

"ඒ කියන්නේ ගමේ මිනිස්සු නොදන්නවාට පියදාස තාමත් ජීවත් වෙනවා. මන්දිරය රකින්නත් මේක හොයන්නත් පියදාස උනන්දු වෙන්නේ ඒකයි." පියදාස, මල්කාන්ති, සුලෝචනා මේ නම් පෙළ මාධවගේ මනස තුළ කැරකෙන්නට විය. මේ සියල්ල එකම පවුලක ලේ උරුමයකි. 

******

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."      

Next Episode  



Comments

  1. Harima lassanayi kathawa. Dosthara mahaththayage sambandayak thiyenawada dan na neda. Ikmanin enna aye❤️❤️

    ReplyDelete
  2. Dawasin dawasa කුතුහලය wadi wenawa.niyamai ikmanata ituru tika danna.👍♥️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1