7 වන දිගහැරුම 

මාධව මන්දිරයෙන් පිටව ගිය පසු, මුළු මන්දිරයම වෙලාගත් මරණීය නිහඬතාවය මේඝට දැනෙන්නට විය. ඔහු මන්දිරයේ සෙමෙන් ඇවිදිමින් තම තර්කානුකූල මනස අවදි කරගනිමින් සිටියේය. මේඝට අවශ්‍ය වූයේ මන්දිරය තමාට පවසන දේට සවන් දීමටයි.

ඔහු සාලයේ සිට පියගැටපෙළ දෙසට සෙමින් පිය නැගුවේය. එහි බිත්තිවල එල්ලා තිබූ පැරණි සිතුවම් සහ ඡායාරූප දූවිල්ලෙන් වැසී තිබුණි. ඔහු එක් ඡායාරූපයක් අසල නතර විය. එහි සිටියේ හැරිසන් මහතා විය යුතු යැයි මේඝට සිතුණි. ඡායාරූප සියල්ලම නිරීක්ෂණය කළද බොහෝ ඡායාරූප බිඳී ගොස් තිබුණි. සමහර ඒවායේ සිටින්නේ කවුදැයි හඳුනා ගැනීමට කිසිසේත්ම නොහැකි විය. මේඝ නැවතත් පහළ මාලයට පැමිණ, මුළුතැන්ගෙය සහ බිම් මහලට යන දොර දෙසට අවධානය යොමු කළේය. බිම් මහලට යන දොර තදින් අගුළු දමා තිබුණි. ඒ සතියකට පෙර සිදු වූ මිනීමැරුම වාර්තා වූ ස්ථානයයි. පොලිසිය විසින් යොදන ලද කහ පැහැති "Crime Scene" පටි තවමත් දූවිල්ලෙන් වැසුණු බිත්ති අතර එල්ලෙමින් තිබුණි. ඒ ප්‍රදේශය මන්දිරයේ අනෙක් කොටස්වලට වඩා සීතල මෙන්ම තද අඳුරකින් වෙළී තිබුණි. මන්දිරයේ ජනේල පවා ඒ දෙසට විවෘත නොවීය. දහවල් කාලයේදී පවා එතැන පැවතියේ රාත්‍රියක මළානික බවකි. මේඝ සිය සාක්කුවේ තිබූ ප්‍රබල විදුලි පන්දම දල්වා ගත්තේය.

අවට පිරික්සන අතරතුරම ඔහු සිය මතකයේ තිබූ පරීක්ෂණ වාර්තා පිළිබඳව මෙනෙහි කරන්නට  විය. මාධව පැවසූ පරිදි මෙතැන ලේ පැල්ලම් තිබුණේ නැත. කිසිදු ඇඟිලි සලකුණක් හෝ අඩි සලකුණක් තිබුණේ නැත. පොලිසිය මුළු ප්‍රදේශයම සෝදිසි කළත් ඔවුන්ට හමු වූයේ නිසල මළ සිරුරක් සහ සිහිය විකල් වූ ඩී.අයි.ජී ගේ පුත්‍රයා පමණි.

"සත්තු ගැන පරීක්ෂණයකට ආපු කැම්පස් ළමයි දෙන්නෙක්..." මේඝ මිමුණුවේය.

නිය සලකුණු නැත, ලේ නැත, පොරබැදීමක් නැත. ඒ කියන්නේ ඒ මරණය සිදුව ඇත්තේ භෞතික ගැටුමකින් නොවන බව ඔහුට සිතුණි. මේඝ සිය විදුලි පන්දම් එළිය මඳක් අඩු කර ඒ මරණීය ඉසව්ව පරීක්ෂා කරන්නට විය. මුළු ප්‍රදේශයම වෙලාගෙන තිබුණේ සොහොන් ගැබක වැනි නිශ්ශබ්දතාවයකි. මේඝ තම සාක්කුවෙන් කුඩා සටහන් පොත සහ පෑන අතට ගත්තේය.

මේඝ සෙමෙන් දණගසා, මිනිය තිබූ ස්ථානය වටා පොලිසිය විසින් ඇඳ ඇති සුදු පැහැති සලකුණ පරීක්ෂා කළේය. ඔහු සටහන් පොතේ මෘත ශරීරයේ හැඩය සටහන් කරගත්තේය. ශරීරය වැටී තිබුණේ කිසිදු ගැටුමක් සිදු නොවූ පරිදි ඉතාම සන්සුන්වය. මේඝ තම ඇඟිලි තුඩින් බිම තිබූ දූවිලි තට්ටුව පරීක්ෂා කළේය. "මෙහි දූවිලි තට්ටුව ඒකාකාරී නැහැ," ඔහු තමාටම මුමුණා ගත්තේය. මිනිය තිබූ තැනට නුදුරින් දූවිලි තට්ටුව මඳක් ඉවත් වී ඇත්තේ යම් කිසිවෙකු හෝ යමක් ඉතා සෙමින් එතැනින් ගමන් කළාක් මෙනි. නමුත් ඒ අඩි සලකුණක් නොවේ. එය හරියට මීදුමක් පොළොව ස්පර්ශ කළාක් වැනි සලකුණකි. ඔහු බිත්තියේ ඇති පෞරාණික ලී පුවරු දෙසට විදුලි පන්දම යොමු කළේය. කිසිදු ඇඟිලි සලකුණක් නැති බව පොලිස් වාර්තාවල සටහන්ව තිබූ බව ඔහුට මතකය. සතියකට පෙර මෙතැන පොලිසිය පිරී සිටියද, දැන් ඒ සියල්ලත් මැකී ගොස්ය.

මේඝ මිනිය අසලම අනෙක් පස තිබූ සීමාව දෙස බැලුවේය. "මෙතනයි තමයි ඩී.අයි.ජී. ගේ පුතා වැටිලා හිටියේ," මේඝ සටහන් පොතේ ලකුණු කළේය.

ඩී.අයි.ජී. ගේ පුතා සිහිය ලබන විට ඔහු උන්මත්තකයෙකු මෙන් හැසිරෙන්නට වූ බව වාර්තාවල තිබුණි. සත්තු ගැන පර්යේෂණයකට ආ තරුණයෙකුට තමන්ගේ සමීපතම මිතුරා කිසිදු ලේ පැල්ලමක්, තුවාලයක් නැතිව මියයනු දැකීම දරාගත නොහැකි වූවාද? නැතිනම් ඔහු බොරු උන්මන්තකයෙක් වූවාද? යන්න මේඝගේ සිතට ගැටලුවක් විය.

මේඝ පසුපසින් කිසිවෙකු සිටින බව දැනී එකවරම පිටුපස හැරී බැලුවේය. ඒ පියදාසය. ඔහු සිටියේ නිශ්චලවය. ඔහු මේඝ දෙස බලා සිටින්නේ මෘගයෙකු දෙස බලන දඩයක්කාරයෙකු මෙන් නොව, තමාට සමීපතම යමෙකු අනතුරේ වැටී සිටිනවා දකින බියපත් මිනිසෙකු මෙනි. නමුත් මේඝ ඔහු පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළේය. මේඝ තම සටහන් පොත සහ පෑන සාක්කුවට දමනවාත් සමඟම ඔහුගේ මනසට තීරණාත්මක ප්‍රශ්නයක් ඇතුළු විය. පියදාස තවමත් මේඝගේ පිටුපසින්ම සිටී. ඔහු කිසිවක් පවසන්නේ නැතත්, මේඝගේ සෑම චලනයක් දෙසම දෑස් ඉවතට නොගෙන බලා සිටියි.

"ඇයි මරණ පරීක්ෂණ වාර්තාව (Post- mortem Report) තාම ලැබුණේ නැත්තේ?" මේඝගේ මනස මුමුණන්නට විය. සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ සම්බන්ධතා ඇති, විශේෂයෙන්ම ඩී.අයි.ජී. (DIG) මහත්තයාගේ පුතා සම්බන්ධ සිදුවීමකදී වාර්තා ඉතා ඉක්මනින් නිකුත් විය යුතුය. නමුත් සතියක් ගත වී ඇතත්, මරණයට හේතුව කුමක්දැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ වී නැත. මේ ප්‍රමාදය අහම්බයක් විය නොහැකි බව මේඝගේ තියුණු බුද්ධියට වැටහුණි.

මේඝ නැවතත් පොළොව දෙස බැලුවේය. ලේ පැල්ලමක් නැති, තුවාලයක් නැති මරණයකදී වාර්තාව ප්‍රමාද වීමට හේතු කිහිපයක් තිබිය හැකිය. ශරීරයේ ඉන්ද්‍රියයන්ට හානි නොවන, නමුත් ක්ෂණිකව මරණය ගෙන දෙන යම්කිසි දුර්ලභ රසායනිකයක් හෝ ශාක සාරයක් ශරීරගත වී තිබීම. මරණ පරීක්ෂකවරයා පවා තැතිගන්නා සුළු, වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි යමක් සිරුර තුළ තිබීම. සත්‍යය යටපත් කිරීමට ඉහළින් එන නියෝගයක් නිසා සිතාමතා සිදු කරන ප්‍රමාදයක්.

මේඝ මොහොතකට සියලු චලනයන් නතර කළේය. ඔහු නිහඬව, දෑස් පියාගෙන හිස සෙමින් දෙපසට සලමින් යම් ගැඹුරු තර්කයක නිරත විය. ඔහුගේ මනස හරියට වේගයෙන් කැරකෙන පරිගණකයක් මෙනි. මෙතෙක් හමු වූ විසිරුණු සාක්ෂි එකිනෙක යා කරමින් ඔහු මහා චිත්‍රයක් මවන්නට උත්සාහ ගත්තේය. මේඝගේ අවධානය තිබුණේ කරුණු හතරක් ගැනය. "ඇඟිලි සලකුණු නැති වීම" "ලේ රහිත පොළොව" ඩී.අයි.ජී. ගේ පුතාගේ "උමතු භාවය" සහ "මරණ පරීක්ෂණ වාර්තාව."

"වාර්තාව ප්‍රමාද වෙන්නේ ඒකේ ලියන්න දෙයක් දොස්තරලාට හම්බවෙලා නැති නිසා නෙවෙයි... ඒ වාර්තාවේ ලියලා තියෙන දේ ලෝකයට කියන්න බැරි නිසා විය හැකියි."

වාර්තාවල තිබුණේ මියගිය තරුණයා බිම වැටී සිටි බවත්, මිනිය නිල් වී තිබුණේ නැති බවත්ය. ඒ කියන්නේ හුස්ම හිරවීමක් නෙවෙයි. නමුත් මේඝ නිරීක්ෂණය කළේ වෙනත් දෙයකි. පොලිසිය දැක්කේ මිනිය බිම වැටී තිබුණු බවකි. නමුත්... මේඝ විදුලි පන්දම බිත්තිය දිගේ ඉහළට යොමු කළේය. මිනිය තිබුණු තැනට උඩින් සිවිලිමෙහි දූවිලි ඒකාකාරී නොවීය. දූවිළි වැකුණු පැරණි මකුලුදැල් වල රටා වෙනස් වී තිබුණි. ඒ කියන්නේ මෙයා බිම වැටෙන්න කලින්, සිවිලිමේ සිරස් අතට යම් වෙලාවක් රැඳී සිටලා තියෙනවා විය හැකියි. සිරුරේ දෑත් සහ දෙපා තිබූ ආකාරය අනුව, ඔහු බිම වැටී ඇත්තේ සිරස් අතට නොව, ඉහළ සිට පහළට වැටුණු ආකාරයටය. මොහු බිම වැටුණේ නැහැ, මොහුව ඉහළ ඉඳන් අතහැරලා තියෙනවා. මේඝ ඉහළ බැලුවේය. මේඝ සොයාගත් දක්ෂම කරුණ වූයේ මෙයයි. මිනිය තිබූ තැන වටා දූවිලි තට්ටුව ඉවත් වී තිබුණේ යම් දෙයක් බිම පතිත වන විට එම ස්ථානය වටා ඇති දූවිලි ඉහළට ඇදී ගොස් ඇති නිසාවෙනි.

මේඝ ඩී.අයි.ජී. ගේ පුතා වැටී සිටි ස්ථානය සහ මිනිය තිබූ ස්ථානය අතර දුර මැන බැලුවේය. දෙදෙනා වැටී සිටියේ මීටර් දෙකක් පමණ දුරින්. නමුත් එක් අයෙක් මියගොස්, අනෙක් කෙනාගේ සිහි විකල් වී ඇත. ඩී.අයි.ජී. ගේ පුතා දුටුවේ තමන්ගේ මිතුරාගේ ශරීරයෙන් යමක් වාෂ්ප වී ඉහළට ඇදී යන ආකාරය වැනි මිනිස් මනසට දරාගත නොහැකි අස්වාභාවික දසුනක්ද? නැතිනම් ඔහුගේ මිතුරාව කවුරුන් හෝ සූක්ෂ්මව මරා දමන දසුනක්ද? එහෙමත් නැතිනම් ස්වභාවධර්මයේ නීතිවලට පවා පටහැනි යම් දරුණු යථාර්ථයක්ද? මේ කුමකින් ඔහුගේ ස්නායු පද්ධතිය අකර්මන්‍ය කර තිබේද යන සැකයද මේඝට ඇති විය.

මේඝ මිනිය තිබූ තැනට ආසන්නයේ ඇති පැරණි වීදුරු අල්මාරියක් දෙසට ළං විය. එහි වීදුරු පළු කිසිවක් අලුතින් බිඳී නැත. නමුත් එහි ඇතුළත තිබූ කුඩා පැරණි පිඟන් මැටි බඳුන් කිහිපයක් කුඩු වී ගොස් තිබුණි. එය අලුතින් සිදුවූ දෙයක් බව ඔහුට වැටහුණි. ඔහුගේ මුහුණේ දැන් තිබුණේ ජයග්‍රාහී සිනහවක් නොව, බිහිසුණු තර්කයක නිගමනයකි. පියදාස තවමත් නිහඬව මේඝ දෙස බලා සිටියේය. මේඝ සිය සටහන් පොත සාක්කුවෙන් ඉවතට ගෙන එහි මැද රේඛාවක් ඇඳ, දෙපස කරුණු පෙළගැස්වීය.

මේඝ සෙමෙන් ඇවිද විත් වැරැන්ඩාවේ ගල් පඩිය මත වාඩි විය. නුවරඑළියේ මාරාන්තික සීතල මීදුම මන්දිරයේ මිදුල පුරා රූස්ස සෙවනැලි මවමින් ගලා යයි. ඔහු සිය සටහන් පොත උකුල මත තබාගෙන, තමා මඳකට පෙර මන්දිරයේ අඳුරු කොනකදී නිරීක්ෂණය කළ "සූක්ෂම සාධක" මනසින් යළිත් පෙළගැස්වීය.

ඈතින් මාධවගේ යතුරුපැදියේ හඩ මීදුම පීරමින් මතු විය. එන්ජිමේ හඬ වෙනදාට වඩා වේගවත්ය. මාධව මන්දිරය ඉදිරිපිට යතුරුපැදිය නතර කර, හෙල්මටය පවා ගලවන්නේ නැතිව කලබලයෙන් දිව අවුත් මේඝ අසලින්ම වාඩි විය. ඔහුගේ හුස්ම ගැනීම පවා වේගවත්ය.

"මේඝ... උඹට හිතාගන්න බැරි දෙයක් මම හොයාගත්තා," මාධව ගැහෙන හඬින් පැවසීය.

මේඝ සෙමෙන් හිස හරවා මාධව දෙස බැලුවේය. "මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රමාද ඇයි කියලා උඹට දැනගන්න ලැබුණද මාධව?" මාධව කියූ දෙයට අවධානය නොගත් මේඝ ඇසුවේය.

"ඒක බොහෝ දුරට හෙට උදේ ලැබෙයි." මේඝ දෙස අමුතු බැල්මක් හෙළමින් මාධව පැවසුවේය. "ඔක්කොටම ඉස්සෙල්ලා මම කියන එක අහලා හිටපන්."

මාධව හතිලමින් කියන ඒ සෑම වචනයක්ම මේඝගේ මනස තුළ ගැඹුරු සටහන් ලෙස තැන්පත් විය. මේඝ කිසිවක් නොකියා, වැරැන්ඩාවේ පඩිය මත හිඳගෙන ඈත මීදුම දෙස බලා සිටියේය. නමුත් ඔහුගේ ඇතුළාන්තය මහා කුණාටුවකට පෙර පවතින නිහඬතාවයකින් පිරී තිබුණි. මාධව සොයාගත් තොරතුරු අතරින් කරුණු කිහිපයක් මේඝගේ "තාර්කික ලෝකය" සසල කරවන්නට සමත් විය.

"පියදාස කියන්නේ සුලෝචනා නෝනාගේ සීයා...!" මාධව ඒ හෙළිදරව්ව කරද්දී මේඝගේ ඇහිබැමි මඳක් ඉහළ ගියේය. නමුත් පියදාස එය මේඝට හෙලි නොකලේ ඇයි ?.

මේඝට අනුව, පියදාස මෙතෙක් කල් පෙනී සිටියේ හුදු විශ්වාසවන්ත සේවකයෙකු ලෙසය. නමුත් ඔහු ලේ ඥාතියෙකු නම්, මේ මන්දිරය තුළ ඔහු රැඳී සිටින්නේ රැකියාවකට වඩා එහා ගිය "උරුමයක්" ආරක්ෂා කිරීමටය. පියදාස තවමත් මන්දිරයට වී රහස් රකින්නේ ඇයිද යන්නට දැන් පැහැදිලි චිත්‍රයක් මැවෙන්නට පටන් ගෙන ඇත. මාධව විස්තර කළ පරිදි, පියදාස කලකදී පැමිණීමත් තවත් කලකදී පෙනෙන්නට නොසිටීමත් මහත් ගැටලුවකි. ඔහු කලකදී අතුරුදහන් වන්නේ කොහේටද?

"මාධව, උඹ ගෙනාපු තොරතුරුයි, මම ඇතුළේ දැකපු දේයි ගැලපුවම මට එක දෙයක් තේරෙනවා. පියදාස මෙතන කරන්නේ ආරක්ෂා කරන එක විතරක්ම නෙවෙයි. ඔහු මේ වෙච්ච හැම දේකටම එක්කෝ සාධාරණය හොයනවා. නැත්නම්..."

"නැත්නම් මොකක්ද?"

"මේක පිටිපස්සේ ඉන්න මහ මොළකාරයාව ආරක්ෂා කරනවා."

මාධව මේඝ දෙස බලාගෙන හිටියේ බැරෑරුම් බවකිනි.

"මට ඉක්මනට මේකේ මරණ පරීක්ෂණ වාර්තාව ඕනේ."

"ගොඩක් වෙලාවට හෙට ලැබෙයි."

"හෙට මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙද්දී, අනිවාර්යයෙන් ඒකේ ලියලා තියෙන්නේ 'ස්වභාවික මරණයක්' කියලා. මොකද දන්නවාද? මේක යට තව බලවත් කෙනෙක් ඉන්නවා කියලා මට දැන් වැටහෙනවා. ඒ පියදාස නෙවෙයි. පියදාස අතකොළුවක් වෙන්න පුළුවන්." මේඝ නැගී සිටියේය. "හැබැයි මේක ඇත්තටම මිනීමැරුමක් මිසක් ස්භාවික මරණයක් නෙමේ කියලා මට දැනට හම්බවුණ සාක්ෂිවලින් මට ඔප්පු කරන්න පුළුවන්."

******

නුවරඑළියේ අලුයම මීදුම, සීතල මන්දිරයේ ගල් බිත්ති සිපගනිමින් ගලා යයි. මේඝ පැරණි මේසය අසල වූ පුටුවක හිඳගෙන සිටියදී, මාධව කලබලයෙන් රැගෙන ආ ඒ 'රහස් ලේඛනය' ඔහුගේ අතට පත් විය. ඒ, සතියක් පුරා ප්‍රමාද වූ, ප්‍රදේශයේ ප්‍රධාන මරණ පරීක්ෂකවරයා විසින් නිකුත් කරන ලද නිල වාර්තාවයි.

මේඝ සෙමින් එම ලියවිල්ල දිගහැරියේය. මාධව ඔහුට මඳක් පසෙකින් හිඳගෙන, තවමත් තමා සොයාගත් පියදාසගේ පවුල් රහස ගැන කල්පනා කරමින් සිටී.

වාර්තාවේ මුලින්ම සඳහන්ව තිබුණේ මරණයට හේතුව 'ස්වභාවික හේතූන් මත සිදු වූ හෘදයාබාධයක්' (Natural Cardiac Arrest) ලෙස වුවද, එහි අභ්‍යන්තර නිරීක්ෂණ කොටස මේඝගේ නෙත ගැටුණු සැණින් ඔහුගේ දෑස් තියුණු විය.

මියගිය තරුණයාගේ සිරුරේ බාහිරින් කිසිදු තුවාලයක් හෝ සීරීමක් නොතිබුණද, අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයා මවිතයට පත් කරවන සාක්ෂි හමු වී ඇත. ශරීරය පුරා ඇති සියලුම සියුම් රුධිර නාල සහ ප්‍රධාන ස්නායු අන්තයන් එකවර පුපුරා ගොස් ඇත. මෙය සාමාන්‍ය මරණයකදී සිදු නොවන්නකි. මරණය සිදුව ඇත්තේ අතිශය ප්‍රබල මනෝවිද්‍යාත්මක කම්පනයක් හේතුවෙනි. සරලව පවසතොත්, මියයන මොහොතේ එම තරුණයාගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය මිනිස් සිරුරකට දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇත.

"වෛද්‍යවරයා කියන්නේ මේක 'ස්වභාවික මරණයක්' කියලා. මොකද පිටතින් පහරදීමක් නැති නිසා. ඒත් සාමාන්‍ය බියකට නහර මේ තරම් දරුණු විදිහට පුපුරන්නේ නැහැ. මෙය හිතාමතා නිර්මාණය කරපු 'මරණීය කම්පනයක්'. එක්කෝ ඔහු දුටු දේ මරණයටත් වඩා බිහිසුණුයි, නැත්නම් මේ මන්දිරයේ බිත්ති අතරින් ඔහුට එල්ල වුණේ අපිට නොපෙනෙන පීඩන අවියක්."

මේඝ වාර්තාව පසෙක තබා ඈත මීදුම දෙස බැලුවේය. ඔහුගේ මනස දැන් මේ කරුණු එකිනෙක යා කරමින් තිබේ.

"මාධව... මේ වාර්තාවේ ලියලා තියෙන්නේ 'බය වෙලා මැරුණා' කියලා වුණාට, ඇත්ත ඊට වඩා ගොඩක් ගැඹුරුයි," මේඝ සන්සුන්ව පැවසීය.

"මොකක්ද බං ඒකේ තියෙන අමුත්ත? මිනිහෙක් බය වුණාම හදවත නතර වෙන්න පුළුවන්නේ," මාධව ප්‍රශ්න කළේය.

"පුළුවන්. ඒත් මුළු සිරුරේම නහර මේ විදියට පිපිරෙන්න නම්, ඒ බය මරණයටත් වඩා දරුණු වෙන්න ඕනේ. මම ඊයේ බිම් මහලේදී දැක්කා කුඩු වෙලා ගිය පිඟන් මැටි බඳුන්. ඒ බඳුන් කුඩු වුණෙත්, මේ තරුණයාගේ නහර පුපුරා ගියෙත් එකම හේතුවක් නිසා වෙන්න ඕනේ. ඒ තමයි 'අතිධ්වනි කම්පනයක්'.

"පියදාස ගිය සතියේ සිදු වුණු මරණය ගැන හැමදේම දන්නවා මාධව. ඔහු අපිව මේ පරීක්ෂණයේ පටලවන්නේ, අපිට මේක විසඳන්න ඉඩ දෙන්න නෙවෙයි... ඔහුට ඕනේ මේ මන්දිරය ඇතුළේ අවුරුදු ගණනාවක් තිස්සේ හිරවෙලා තියෙන 'සැබෑ මිනීමරුවාව' අපි ලවා එළියට ගන්න වෙන්න ඇති. ඔහු හදන්නේ ඔහුගේ ලේවලට සාධාරණයක් කරන්න."

************* 

  "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    

Next Episode 


Comments

  1. Ituru tika ikmanata danna.👍👍

    ReplyDelete
  2. Aththatama minimaruwa kauda dan na. Ethakota holamnak nadda. Ikmanin ilaga kotasath genna. Thama chuttakwath hitha ganna bane🤔

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1