8 වන දිගහැරුම

නුවරඑළියේ මාරාන්තික සීතල මන්දිරයේ බිත්ති අතරින් රිංගා විත් කාමරය වෙලාගෙන තිබුණි. මේඝ සිටියේ ජනේලය අසල ඇති පැරණි ලී පුටුවේ වාඩි වී, ඈත පෙනෙන මීදුම දෙස බලාගෙනය. ඔහුගේ උකුල මත විසිරී තිබුණේ පසුගිය දින කිහිපය පුරා ඔහු එකතු කළ "අබිරහස් දත්ත" සමුදායයි.

පසෙකින් වූ ඇඳ මත මාධව තද නින්දේය. ඔහුගේ හුස්ම වැටෙන රිද්මය කාමරයේ නිහඬතාවය බිඳින එකම හඬ විය. මාධවගේ අතේ දුරින් ඔහුගේ පිස්තෝලය තිබුණි. එය ඕනෑම මොහොතක මතු විය හැකි අනතුරකට සූදානමින් තබා ඇති බව පෙනුණි.

මේඝ සෙමින් තම අතේ තිබූ ලේඛන පෙළගැස්වීය. පියදාස යනු හුදු සේවකයෙකු නොව, සුලෝචනාගේ මව් පාර්ශවයේ සීයා බවත්, ඔහු වරින් වර අතුරුදහන් වී නැවත මතු වන බවත් මාධව සොයාගෙන තිබූ තොරතුරුවල වඩා වැදගත්ම කාරණය විය. වසර තිහකට පෙර සුලෝචනා අතුරුදහන් වූ අවස්ථාවේ පොලිස් වාර්තා අසම්පූර්ණය. එහි ඇතැම් පිටු ඉරා දමා ඇත. නවතම මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඩී.අයි.ජී. ගේ පුතාගේ මිතුරා මියගොස් ඇත්තේ 'ස්වභාවික හෘදයාබාධයකින්' වුවත්, සිරුරේ අභ්‍යන්තර නහර පුපුරා ගොස් තිබීම මරණය පිටුපස ඇති බිහිසුණු තාක්ෂණික අවියක් ගැන ඉඟි කරයි.

මේඝ කල්පනා කරන්නට විය. "පියදාස කලකදී අතුරුදහන් වෙනවා... ඔහු යන්නේ කොහේටද?" මේඝ තමාටම මුමුණා ගත්තේය. ඔහු සෙමින් මරණ පරීක්ෂණ වාර්තාවේ තිබූ එක් වාක්‍යයක් යටින් ඉරක් ඇන්දේය.

නමුත් ක්ෂණයෙන් මේඝගේ දෑස් මීදුම අතරින් මතුවූ එක් කුඩා ආලෝක බින්දුවක් වෙත නතර විය. වත්තේ ඈත කෙළවරේ, රූස්ස ගස් අතරින් තැනින් තැන මතුවෙමින් පෙනෙන ඒ ටෝච් එළිය මන්දිරයේ පිටුපස දෙසට ඇදී එමින් තිබුණි. මොහොතක් ඒ දෙස බලා සිටි මේඝ ඉතා සෙමින්, කිසිදු හඬක් නොනැගෙන සේ පුටුවෙන් නැගී සිටියේය. මෙතෙක් දැල්වෙමින් තිබූ ඉටිපන්දම නිවා දැමූ මේඝ, ජනේලයට මඳක් මුවා වී තමා සිටින බව පිටතට නොපෙනෙන සේ සෝදිසියෙන් ඒ දෙස බලා සිටියේය.

ඒ එළිය එන්නේ පියදාසගෙන්ද? නැතිනම් මේ අඳුරු රාත්‍රියේ මන්දිරයට හොර රහසේ ඇතුළු වීමට උත්සාහ කරන වෙනත් අයෙකුගෙන්ද? එළිය වැටෙන රිද්මය අනුව එය ඉතා හුරුපුරුදු ලෙස, මඟ සලකුණු දන්නා අයෙකු පියවර තබන ආකාරයක් බව මේඝට වැටහුණි.

"දැන් වෙලාව පාන්දර දෙකයි..." මේඝ තමාටම මුමුණා ගත්තේය. ඔහු සෙමින් අත දිගු කර, පැරණි කන්නාඩි මේසය මත තිබූ විදුලි පන්දම හා ඔහුගේ පිස්තෝලය අතට ගත්තේය. එළිය දැන් මේඝට නොපෙනෙන සීමාවට ඇතුළු වී ඇත. මේඝට අවශ්‍ය වූයේ ඒ අද්භූත රූපය පිටුපසින් රහසින් ලුහුබඳින්නටය. මේඝ මාධවගේ නින්දට බාධාවක් නොවන සේ කාමරයෙන් පිටතට පියවර තැබීය. ලී පඩිපෙළෙන් නැගෙන කුඩා හඬක් පවා අවම වන ලෙස ඔහු ඉතා සන්සුන්ව පහළ මාලයට බැස ආවේය.

නමුත් ඔහු මන්දිරයේ පිටුපස දොර අසලට ළඟා වනවාත් සමඟම, අඳුරේ රැඳී සිටි සෙවනැල්ලක් පණ ලැබුවාක් මෙන් ඔහු ඉදිරියට මතු විය. ඒ පියදාසය.

"මහත්තයා... යන්න එපා," පියදාස ඉතා පහත්, බියපත් හඬකින් මිදුණේය. "ඔය එළිය පස්සේ යන්න එපා. ඒක මරණයට අතවනන එළියක්. අද රෑ මේ මන්දිරයෙන් එළියට යන එක මහත්තයාට හොඳ නැහැ."

මේඝ පියදාසගේ බියපත් දෑස් දෙස මොහොතක් බලා සිටියේය. පියදාසගේ හඬේ තිබූ බැගෑපත් බව මේඝගේ තීරණය වෙනස් කිරීමට සමත් වූයේ නැත. පියදාසගේ වචන නොතකා හළ මේඝ, තම පිස්තෝලය මඳක් තදින් අල්ලාගෙන මන්දිරයේ දොර හැර මීදුම පිරී ඇති අඳුරු වත්ත දෙසට පියවර තැබුවේය. මේඝට දැන් එකක් විශ්වාසය, ඒ එම එළිය පියදාසගේ නොවන බවයි.

මේඝ ඉතා සෙමින්, මීදුමෙන් වැසුණු ගබඩා කාමරය දෙසට ඇදී ගියේය. රාත්‍රියේ ඝන අඳුර නිසා මාවත පවා නොපෙනෙන තරම් වුවත්, ඔහු තම විදුලි පන්දම දල්වන්නට ඉක්මන් වූයේ නැත. පියවරෙන් පියවර ගබඩාව වෙත ළඟා වූ ඔහු එහි ඇතුළත සෝදිසි කර බැලුවේය. නමුත් එහි කිසිවෙකු සිටියේ නැත. මුළු කාමරයම පාළු වී තිබූ අතර, ඉපැරණි මකුළු දැල් පමණක් මේඝගේ මුහුණේ සහ ඇඟේ පැටලෙන්නට විය. මිනිස් වාසයක ලකුණක් තබා, මඳකට පෙර දුටු ආලෝකය පිළිබඳ කිසිදු සාක්ෂියක් එහි ඉතිරිව නොතිබුණි.

ගබඩාව හොඳින් පරීක්ෂා කර බැලූ මේඝ, තම උත්සාහය අපතේ ගිය බව වටහාගෙන බලාපොරොත්තු සුන් වූ මනසින් යුතුව නැවත මන්දිරය දෙසට හැරී ඇවිද එන්නට විය. ඔහු ගබඩාවේ සිට මීටර් කිහිපයක දුරක් පැමිණියේ ඔහු දුටු ආලෝකය ගැන යළිත් කල්පනා කරමිනි.

මේඝ මන්දිරය දෙසට අඩි කිහිපයක් තබනවාත් සමඟම, මීදුම අතරින් කළු ලෝගුවක් පොරවාගත් බියකරු අඳුරු රූපයක් ඔහු ඉදිරියට මතු විය. ඒ රූපයේ මුහුණ පැහැදිලි නොවන සේ වැසී තිබුණි. ඒ රූපය දෙසින් අමුතු, නොතේරෙන මන්තරයක් වැනි ගොරෝසු ශබ්දයක් වාතයට මුසු වෙමින් පැවතියේය. මේඝ වහාම තම පිස්තෝලය ඒ දෙසට එල්ල කර කොකා ගැස්සීමට උත්සාහ කළේය. නමුත් මොහොතකින් ඔහුගේ මුළු සිරුරම ගල් ගැසුණි. අතක් පයක් තබා ඇඟිල්ලක් පවා සෙලවීමට ඔහුට ශක්තියක් නැත. සිරුරේ ස්නායු පද්ධතිය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව ඔහුට වැටහුණි.

එසැණින්, කන් අඩි පැලෙන තරම් ප්‍රබල, අතිධ්වනි ශබ්දයක් අවටින් ඇසෙන්නට විය. එය මොළයේ පටක පවා සසල කරවන තරම් වේදනාකාරී විය. මේඝට දැනුණේ තමන් සිටින පොළොව මඩ වගුරක් වී තමන්ව පතුලක් නැති අගාධයකට ඇද ගන්නා බවයි. පෙනහළු තුළට වාතය ඇතුළු කර ගැනීමට නොහැකිව හුස්ම හිර වෙද්දී, සීතල නුවරඑළියේ මීදුම මැද ඔහු අසාමාන්‍ය ලෙස දහදියෙන් තෙත් විය. මුළු සිරුරම ගිනියම් වී, රුධිර නාල පුපුරා යන තරමට රත් වෙද්දී, මේඝ තමා අබියස සිටින ඒ අඳුරු රූපය දෙස අවසන් වරට බැලුවේ මරණීය වේදනාව දරාගන්නට උත්සාහ කරමිනි.

මේඝගේ දෑස් අන්ධ කරමින් මරණීය වේදනාව උච්චතම අවස්ථාවට ළඟා වෙද්දී, ඈත මීදුම පීරමින් ක්ෂණික සුදු පැහැති ආලෝක ධාරාවක් මතු විය. ඒ සිහින් ආලෝකය අවට අඳුර සිපගන්නවාත් සමඟම, මුළු පරිසරයම දෙවනත් කළ ඒ මරණීය මන්තරයේ ස්වරය බිඳී විසිරී ගියේය. රුධිරය ගිනියම් කළ ශබ්ද තරංග එකවරම නතර විය.

තත්පර කිහිපයකට පසු, පියදාස මීදුම අතරින් මතු වී වේගයෙන් මේඝ අසලට පැමිණියේය. ඔහු මේඝගේ වෙව්ලන උරහිසට අත තබා, යම්කිසි රහස් හඬකින් ඔහුගේ කනට කොඳුරා මොනවාදෝ පැවසීය. ඒ මෘදු ස්පර්ශයත් සමඟම, ගල් ගැසී තිබූ මේඝගේ සිරුරේ මාංශ පේශි එකවරම ලිහිල් වී, පෙනහළු තුළට සීතල වාතය ගලා එන්නට විය.

මේඝ දෑස් විවර කර බලද්දී, තමා ඉදිරියේ සිටි ඒ බිහිසුණු කළු ලෝගුධාරියා පියදාස දෙසත් මේඝ දෙසත් බලා සිටිනු පෙනුණි. නමුත් ඔහුගේ රූපය පැහැදිලි කර ගැනීමට මේඝ අපොහොසත් විය. ඔහු සෙමින් පියවරෙන් පියවර පිටුපසට ගමන් කළේය. කිසිදු ශබ්දයක් නොනගාම ඒ අඳුරු රූපය මීදුමෙන් වැසුණු ඝන වනාන්තරය තුළට රිංගා නොපෙනී ගියේ, මේඝගේ මනස තුළ බිහිසුණු ප්‍රශ්නාර්ථයක් පමණක් ඉතිරි කරමිනි.

"මහත්තයා... මම කිව්වා නේද එන්න එපා කියලා," පියදාසගේ වෙව්ලන හඬ මීදුම අතරින් ඇසුණි. ඔහුගේ දෑස් තවමත් යොමුව තිබුණේ ඒ අඳුරු රූපය අතුරුදහන් වූ දිශාවටය.

මේඝගේ මරණීය කෑගැසීමත් සමඟම, නින්දෙන් අවදි වූ මාධව එළියට දිව ආවේය. ඔහු අත වූ විදුලි පන්දම් එළිය මීදුම පීරමින් එහෙ මෙහෙ සැරිසැරූ නමුත්, ඒ වන විටත් සියල්ල සිදු වී අවසන්ය. මේඝ අපහසුවෙන් හුස්ම ගනිමින්, දහදියෙන් නෑවී බිම වැටී සිටියේය. ඔහුගේ මුහුණේ තිබුණේ මරණය අද්දරටම ගොස් පැමිණි මිනිසෙකුගේ බියකරු පෙනුමකි.

"මේඝ! මොකද වුණේ? කවුද මෙතන හිටියේ?" මාධව බියෙන් කෑගසමින් මේඝ අසල දණින් වැටුණේය.

මේඝ වෙව්ලන දෑතින් තමන්ට මීටර් කිහිපයක් එහායින් නිසලව සිටගෙන සිටින පියදාස දෙසට අත දිගු කළේය. ඒ මාධවට පියදාසව හඳුන්වා දීමටය. ඔහුට සිදු වූ දේ පවසන්නට උත්සාහ කළත්, උගුරෙන් පිට වූයේ ගොරෝසු කෙඳිරියක් පමණි. වචන පටලැවී තිබුණි.

"අර... අර... පිය... පියදාස..." මේඝ අපහසුවෙන් කොඳුරන්නට විය.

මාධව වහාම තම විදුලි පන්දම මේඝ පෙන්වන දිශාවට යොමු කළේය. "මොකක්ද මේඝ? කාටද ඔය අත දිගු කරන්නේ? මෙතන කවුරුත් නැහැනේ බං!"

මාධවගේ වචන ඇසෙද්දී මේඝගේ මුළු සිරුරම සීතල වී ගියේය. ඔහුගේ දෑස් ඉදිරිපිටම පියදාස ඉතා පැහැදිලිව සිටගෙන සිටියි. පියදාස සෙමින් තම දකුණු අතේ දබරැඟිල්ල තොල් මත තබා, කිසිවක් නොපවසන ලෙස මේඝට සංඥා කළේය. පියදාසගේ ඒ බැල්මෙහි තිබුණේ අද්භූත රැකවරණයක් සහ දැඩි අනතුරු ඇඟවීමකි.

මේඝට සියල්ල වැටහුණි. පියදාස තමා අසලම සිටියත්, මාධවට ඔහුව පෙනෙන්නේ නැත. මාධවගේ විදුලි පන්දම් එළිය පියදාසගේ සිරුර හරහා ගොස් ඈත ඇති ගස් මත පතිත වේ. පියදාස යනු මාංශමය මිනිසෙකු නොව, මේඝගේ ඇස්වලට පමණක් දර්ශනය වන අදෘශ්‍යමාන ශක්තියක් බව වටහා ගත් මේඝ, ගල් ගැසී පියදාස දෙස බලා සිටියේය.

******* 

එදා රාත්‍රිය පහන් වන තුරු මේඝ හැසිරුණේ උන්මත්තකයෙකු ලෙසිනි. ඔහු කිසි දිනක පරීක්ෂණයක් අතරතුර මත්පැන් ස්පර්ශ කරන අයෙකු නොවුණත්, එදා රාත්‍රියේ ඔහු මාධව ගෙන විත් තිබූ මත්පැන් බෝතල් පිටින් හිස් කළේය. ඔහුගේ දෑස් රතු වී, වියරු වැටී තිබුණි.

මුළු කාමරයම යුධ පිටියක් මෙනි. ඔහු තමා මෙතෙක් පණ මෙන් ආරක්ෂා කළ, මහන්සියෙන් එකතු කළ පරීක්ෂණ වාර්තා සහ සටහන් කාමරය පුරා විසි කළේය. "තර්කය... ඔක්කොම බොරු!" ඔහු කෑගසමින් වීදුරු බෝතලයක් බිත්තියේ ගසා කුඩු කළේය. වීදුරු කැබලි කාමරය පුරා විසිරී ගියේ ඔහුගේ බිඳී ගිය මානසිකත්වය නිරූපණය කරමිනි.

ඔහු සිටියේ තමා මෙතෙක් විශ්වාස කළ "තාර්කික ලෝකය" සහ අද රාත්‍රියේ අත්විඳි "අද්භූත මායාව" අතර අතරමං වී ය.

"මට පේන දේ මාධවට පේන්නේ නැත්තේ ඇයි? මගේ විද්‍යාවට මේක පැහැදිලි කරන්න බැරි ඇයි?" ඔහු හිස දෙඅත්ලෙන් තද කරගෙන බිම වාඩි විය.

මාධව බියෙන් පසෙකට වී මේඝ දෙස බලා සිටියේය. මේඝ තම ආදරවන්තිය ඔහුව දමා ගිය කාලයේ හැසිරුණු පිස්සුවටත් වඩා දරුණු ලෙස හැසිරෙමින් සිටියහ. ඔහු වැනි ශක්තිමත්, බුද්ධිමත් මිනිසෙකු පරීක්ෂණයක් හේතුවෙන් මෙලෙස බිඳ වැටෙනු ඔහු මින් පෙර කිසිදා දැක තිබුණේ නැත.

මේඝ සිටියේ තර්කයෙන් පැහැදිලි කළ නොහැකි බිහිසුණු යථාර්ථයක් හමුවේ තමාගේම බුද්ධිය දරාගත නොහැකිව වියරු වැටී පරාජය භාරගන්නා අසරණ මිනිසෙකු ලෙසිනි. මීදුම මන්දිරය වෙලාගන්නා සේම, නොවිසඳුණු අභිරහස මේඝගේ මනස මුළුමනින්ම ගිලගෙන තිබුණි.

මාධව සිටියේ දැඩි අන්දමන්ද භාවයකිනි. මේඝගේ මේ හදිසි බිඳ වැටීම හමුවේ ඔහුට කළ හැකි කිසිවක් නොවීය. ඔහු මේඝව වැළැක්වීමට උත්සාහ කළේ නැත, ඒ වෙනුවට මේඝට ඇති තරම් බීමට ඉඩ දී, ඔහු දෙස සෝදිසියෙන් බලා සිටියේය. මුළු රාත්‍රිය පුරාම මාධව නිදි වර්ජිතව, තම පිස්තෝලය අතැතිව මේඝව ආරක්ෂා කළේය. ඔහුට දැනෙනා ලෙස මේ මොහොතේ මේඝට අවශ්‍ය වූයේ උපදෙස් නොව ආරක්ෂාව පමණි.

මේඝ මත්පැන් බෝතලයෙන් බෝතලය හිස් කරමින්, අතරින් පතර වියරු වැටුණු මිනිසෙකු මෙන් හයියෙන් සිනාසෙන්නට විය. ඒ සිනහව තුළ තිබුණේ තමා මෙතෙක් ගොඩනැගූ තර්ක ශාස්ත්‍රය තමා ඉදිරියේම සුනුවිසුනු වී යාම පිළිබඳ උපහාසයකි. අවසානයේ, මත්පැන්වල බලපෑමට නතු වූ මේඝ, සිහිසුන්ව මෙන් ගැඹුරු නින්දකට වැටුණි.

කාමරය තුළ තිබුණේ මාරාන්තික නිහඬතාවයකි. මාධව පුටුවක් ඇදගෙන ඇඳ අසලින් වාඩි වී, කාමරය හා ඒ අවට දෙස දෑස් දල්වාගෙන සිටියේය. නමුත් මාධව නොදැන සිටි තවත් එක් දෙයක් එහි සිදු වෙමින් පැවතුණි.

මේඝ නිදා සිටි ඇඳේ අනෙක් පසින් පියදාස අසුන්ගෙන සිටියේය. ඔහු ඉතා සන්සුන්ව, පියෙකු තම දරුවෙකු දෙස බලන දයාවෙන් මේඝ දෙස බලා සිටියේය. පියදාසගේ සිරුරෙන් වෑහෙන ඒ අද්භූත ආලෝකයක් මුළු ඇඳම වටා ආරක්ෂක වළල්ලක් මෙන් පැතිරී තිබුණි. මාධවට පියදාසව නොපෙනුණත්, ඔහු පියදාස අසලින්ම සිටියත්, ඒ අදෘශ්‍යමාන රැකවරණය පියදාස මේඝ වෙනුවෙන් අඛණ්ඩව ලබා දුන්නේය.

පියදාසගේ දෑස් මේඝ වෙතින් ඉවතට ගියේ නැත. ඔහු මේඝව ආරක්ෂා කළේ මේ මන්දිරයේ සැබෑ සතුරාගෙන් පමණක් නොව, මේඝගේම මනස තුළ ඇති වී තිබෙන ඒ මාරාන්තික කම්පනයෙන්ද ඔහුව මුදා ගැනීමට මෙනි. මුළු රාත්‍රිය පුරාම මාධව සහ පියදාස යන දෙදෙනාම එක් අයෙකු භෞතික ලෝකයෙනුත්, අනෙකා ආත්මීය ලෝකයෙනුත් මේඝව ආරක්ෂා කළහ.

********* 

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."     

Comments

  1. Ethakota piyadasa marila. Ethakota saba hathurath holmanakda. Kathawa godariyak lassanayi. ❤️❤️

    ReplyDelete
  2. Wenama paththakata yanawa meka.lassanai dawasin dawasa කුතුහලය wadi wenawa.👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1