14 වන දිගහැරුම 

පසුදා උදෑසනම මේඝ සහ මාධව ගබඩා කාමරය දෙසට ගියහ. කළු ලෝගුධාරියා පැමිණි මාර්ගය සහ ඔහු උමඟ විවෘත කිරීමට තැත් කළ ස්ථානය ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස, සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කළහ. බිත්ති අතගාමින්, පොළොව දෙස බලමින් පැය කිහිපයක් තිස්සේ ඔවුන් සලකුණක් සෙවූහ.

මුලින්ම හැමදේම සාමාන්‍ය පරිදි දිස් වුවද, ගබඩාවේ කෙළවරක වූ අඳුරු මුල්ලක් දෙසට මේඝ තමා අත තිබූ විදුලි පන්දම් එළිය යොමු කළේය. එහිදී ඔහුගේ දෑස් තියුණු විය.

"මාධව... පොඩ්ඩක් මෙහාට වරෙන්!" මේඝ බරැති හඬින් කීවේය.

 ගබඩා කාමරයේ ඝන දූවිලි තට්ටුව මත ඉතා පැහැදිලි අඩි සලකුණු කිහිපයක් වැටී තිබුණි. කළු ලෝගුධාරියා උමං දොර අසලට පැමිණි සහ ආපසු හැරී ගිය මාර්ගය ඒ ඔස්සේ මනාව සලකුණු වී තිබුණි. මේඝ වහාම දණහිස් නමා, විදුලි පන්දම් එළිය ඇලයට අල්ලමින් ඒ සපත්තුවේ අඩියේ තිබූ සලකුණු ඉතා සමීපව නිරීක්ෂණය කරන්නට විය.

"මේක ලංකාවේ පාවිච්චි කරන සාමාන්‍ය බූට් සපත්තුවක් නෙවෙයි මාධව," මේඝ සපත්තුවේ විලුඹ කොටසේ තිබූ සලකුණක් පෙන්වමින් කීවේය. "මේකේ තියෙන්නේ ලංකාවේ දකින්න ලැබෙන රටාවක් නෙවෙයි. මේක පිටරටින් ආනයනය කරපු, විශේෂයෙන්ම කඳු නැගීමට සහ කර්කශ පරිසරයන්හි ඇවිදීමට පාවිච්චි කරන ' වර්ගයක අඩි සලකුණක්. මේ සපත්තුවේ තියෙන සන්නාමය ලංකාවේ සාමාන්‍ය කඩයකින් ගන්න ලැබෙන්නේ නැහැ. එක්කෝ මූ මේක පිටරටකින් ගෙන්නගත්ත එකක්, නැත්නම් ඌ පිටරටක ඉඳන් ආපු කෙනෙක්.වඩාත්ම පුදුමයට කරුණ වූයේ, ඒ අඩි සලකුණුවල ප්‍රමාණය සහ හැඩය අනුව, පැමිණි පුද්ගලයා ඉතා ශක්තිමත්, උස මහත මනුෂ්‍යයෙකු බව පැහැදිලි වීමයි.

"මූ සූක්ෂ්ම වුණාට, මේ දූවිල්ල මඟහරින්න ඌට බැරි වෙලා තියෙනවා මේඝ," මාධව සාලය මැද දෑත් කටේ තබාගෙන කල්පනා කරමින් කීවේය. "හැබැයි මේ අඩි සලකුණු හැරුණාම වෙන කිසිම සාක්ෂියක් මූ ඉතුරු කරලා නැහැ. අපිට තවදුරටත් මේ වත්ත වටේම සහ මන්දිරයේ හැම කොනක්ම කැමරාවලින් ආවරණය කරන්න වෙනවා. මූ ඊළඟට මොන පැත්තෙන් එයිද දන්නෑ."

මාධව කැමරා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් කරද්දී, මේඝ ජනේලයෙන් පිටත පාළු වත්ත දෙස බලා සිටියේය. නුවරඑළියේ සුදෝසුදු මීදුම දවල් කාලයේදී පවා වත්ත පුරා හොල්මන් කරන්නාක් මෙන් පාවී යයි. මීදුම අතරින් යාන්තමින් පෙනෙන මහා වෘක්ෂයන්ගේ අතුපතර දෙස බලද්දී මේඝගේ මනස අගාධයකට ඇද වැටෙන්නාක් මෙන් දැනුණි.

‘ඇත්තටම... ඔහු මොනවාද මේ මන්දිරය ඇතුළෙන් හොයන්නේ?’ මේඝ තනිවම හිතන්නට විය.

ඔහුට මේ මන්දිරය ඇතුළේ තමාගේ ජීවිතයටත් වඩා වටිනා යමක් තිබිය යුතුය. ඒ කුමක්ද? නිධානයක්ද? පියදාස එදා කී බහිරව කතාව මේඝගේ මතකයට ආවේය. නිධානයක් රැකීමට මනුෂ්‍ය බිලි ගන්නා බහිරවයන් ගැන, පරම්පරාගත ශාපයන් ගැන පියදාස කීවේය. එක් අතකින් එය නිධානයක් විය හැකිය. නමුත්, මිනීමරුවෙකු තමාගේ මුළු ජීවිතයම පරදුවට තබා, මෙතරම් අපරාධ වැලක් කරමින් සොයන්නේ හුදු රන්, රිදී, මුතු, මැණික් විතරක්මද?

ඊළඟ මොහොතේ මේඝගේ හදවත භීතියෙන් ගැහෙන්නට විය.

‘නැහැ... ඒක නිධානයක් විතරක් වෙන්න බැහැ. පියදාස වගේ අද්භූත බලවේගයක් වුණු කෙනෙක්ව වුණත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන් තරමේ... මුළු මන්දිරයම ලේවලින් නාවන්න පුළුවන් තරමේ ඒ භයානක දේ... මොකක්ද? පියදාස කිව්වේ ඔහුගේ ආත්මය මේ මන්දිරයට බැඳ තබාගෙන ඉන්න යම් 'වස්තුවක්' ගැන. ඒ වස්තුව සතුරට අහුවුණොත් පියදාසත් සදහටම නැති වෙනවා. ඒ කියන්නේ සතුරා සොයන්නේ මේ මන්දිරයේ පැවැත්මම තීරණය කරන ඒ රහසිගත වස්තුවද?’

උත්තරයක් නැති ඒ ප්‍රශ්නය මුළු සාලය පුරාම මහා මළගමක හිස්බවක් ඉතිරි කරමින් පැතිර ගියේය.

"මේඝ... උඹ මොකද ජනේලයෙන් පිටත බලාගෙන ඔච්චර කල්පනා කරන්නේ? මම කියපු දේ ඇහුණේ නැද්ද?" මාධව මේඝගේ උරහිසට අතක් තබමින් ඇසුවේය.

මේඝ ගැස්සී පියවි සිහියට ආවේය. ඔහු තමා තුළ තිබූ නොසන්සුන්කම වසන් කරගනිමින් වහාම මුහුණ සාමාන්‍ය තත්ත්වයට පත් කරගත්තේය. "නැහැ මාධව, මම මේ බැලුවේ උඹ කියපු එක හරි. අපිට තාක්ෂණයෙන් විතරක් නෙවෙයි, හැම පැත්තකින්ම සීරුවෙන් ඉන්න වෙනවා. මට හිතෙන්නේ මූ ඊළඟ පාර එන්නේ මීට වඩා ලොකු සූදානමකින්."

"ඔව්, ඒක ඇත්ත. හැබැයි මට එක දෙයක් තේරෙන්නේ නැහැ," මාධව මේසය මත තිබූ කළු ෆයිල් කවරය දෙසට හැරුණේය. "මේ ෆයිල් එකේ තියෙන විදයට ඩොක්ටර් සුජීව සහ වීරසිංහ කියන්නේ බොහොම ගුණවත් මිනිස්සු. ඔවුන් දෙන්නා මේ මන්දිරයට සම්බන්ධ වුණේ කොහොමද? ඔවුන්ගෙත් සුලෝචනාගෙත් අතුරුදහන් වීම පිටුපස ඉන්න මේ කළු ලෝගුධාරියා ඇත්තටම කවුද? මට හිතෙනවා මේඝ, අපි තවදුරටත් මේ මන්දිරය ඇතුළට විතරක් කොටු වෙලා ඉඳලා හරියන්නේ නැහැ. 

මාධවගේ කතාවේ සත්‍යතාවක් ඇති බව මේඝට වැටහිණි. මන්දිරයේ අඳුරු බිත්ති හතර තුළ සැඟවුණු රහසක් තිබෙනවා සේම, එය මෙතෙක් කල් වසාගෙන සිටින මිනිස්සු සිටින්නේ පිටත සමාජයේය.

"උඹ කියන දේ හරි මාධව. හැබැයි අපි ඒක හොයන්න ඕනෙ හරිම රහසිගතව. අපි ඒ ගැන හොයනවා කියලා දැනුනොත්, ඒක සතුරාට ලොකු අවස්ථාවක් වෙන්න පුළුවන්. 

"එහෙනම් මම ඒ වැඩේ බාරගන්නම්."මාධව දැඩි අධිෂ්ඨානයෙන් කීවේය.

********

 එදින රාත්‍රිය උදා වූයේ වෙනදාටත් වඩා බියකරු පෙනුමකිනි. මන්දිරය වටා ඇති ගස් සුළඟට හසුවී එකිනෙක ගැටෙද්දී නැඟුණු ශබ්දය, කාට හෝ කෙඳිරිගාන්නාක් මෙන් ඇසුණි. රාත්‍රියේ ඝන අඳුර මන්දිරය වෙළාගෙන තිබුණි. මාධව දැඩි නින්දක පසුවන අතරතුර, මේඝ සාලයේ කෙළවරක වූ ජනේලය අසලට පැමිණියේය. වීදුරුවෙන් එපිට, සෙවනැලි අතරින් මතු වූ පියදාසගේ අඳුරු රුව දෙස මේඝ බලා සිටියේය. හිත වද දෙන ප්‍රශ්න වැලකට උත්තර සෙවීමේ දැඩි අවශ්‍යතාවයෙන් පෙළුණු මේඝ, හඬ අවදි කළේය.

"පියදාස..." මේඝ ඉතා සෙමින් මුමුණුවේය. "මේ මන්දිරය ඇතුළේ වෙච්ච දේවල් ගැන... ඇයි ඔයාට මීට වඩා දෙයක් මට කියන්න බැරි? ඔයා තව මොනවා හරි හංගනවාද? නැත්නම් ඇත්තටම ඔයාට එතනින් එහාට මුකුත්ම මතක නැද්ද?"

පියදාසගේ නිසල දෑස් මේඝ දෙසට යොමු විය. ඔහුගේ මුහුණේ තිබුණේ හැඟීම්වලින් තොර, අද්භූත සහ ශූන්‍ය ස්වභාවයකි. ඔහු දිගු සුසුමක් හෙළුවේය. ඒ සමඟ අවට වාතය ක්ෂණිකව සිසිල් වී යන බව මේඝට දැනුණි.

"මහත්තයා... මම දැන් පණ තියෙන මනුස්සයෙක් නෙවෙයි," පියදාස බිඳුණු, ඝන හඬකින් කියන්නට විය.

"මනුස්සයෙක් ජීවත් වෙලා ඉද්දී එයාගේ මතකය, සිතිවිලි ඔක්කොම රැඳෙන්නේ ලේ මස්වලින් හැදුණු මොළය ඇතුළේ. හැබැයි මරණෙත් එක්ක ඒ මොළය දිරලා පස් වෙලා යනවා. මිනිහෙක් මැරුණාම ඉතුරු වෙන්නේ ඇඟ ඇතුළේ තිබුණු ජීව ශක්තිය විතරයි. සොබාදහමට අනුව ශක්තියක් කවදාවත් විනාශ වෙලා යන්නේ නැහැ මහත්තයා, ඒක වෙනස් වෙනවා විතරයි."

"මම මැරෙන මොහොතේ මගේ හිතේ තිබුණු ඒ තදබල 'අරමුණ' නිසා, මගේ ඇඟෙන් පිටවුණු ඒ මුළු ශක්තියම මේ මන්දිරයේ බිත්තිවලට, පරිසරයට තදින්ම ඇලිලා නතර වුණා. සොබාදහමේ සාමාන්‍ය නීති පවා වෙනස් කරලා මාව තවමත් මේ පොළොවේ ගැටගහලා තියාගෙන ඉන්නේ මගේ හිතේ තිබුණු ඒ ප්‍රබල අරමුණේ බලවේගය විතරයි."

"මගේ මුළු ජීවිත කතාවම දැන් මට මතක නැහැ මහත්තයා. ඒ හැමදේම මැකිලා ගිහින්. මට මතක තියෙන්නේ මගේ මේ පැවැත්මට, ඒ කියන්නේ මගේ ඒ අවසාන අරමුණට අදාළ වෙච්ච, මගේ හිතට තදින්ම වැදුණු විශේෂ කරුණු කිහිපයක් විතරයි. ඒ අරමුණ ඉටු වෙනකන් මට මේ පරිසරයෙන් මිදිලා යන්න බැහැ..."

පියදාස කියා නිම කරද්දී, ඔහුගේ රුව අඳුරේ දියවී ගියේය. සොබාදහමේ නියමයන්ට වැට බැඳිය නොහැකි බවත්, පියදාසගෙන් මීට වඩා හෝඩුවාවක් සොයාගත නොහැකි බවත් වටහාගත් මේඝගේ පපුව මහා බියකින් සහ අසරණකමකින් රිදුම් දෙන්නට විය. මින් ඉදිරියට මේ මන්දිරයේ අභිරහස සොයා මේඝ යා යුතු වන්නේ තනිවමය.

ජනේල පියනට නළල තබාගත් මේඝ, සොබාදහමේ මහා නියමයන් ගැන සිතන්නට විය. මිනිසා පමණක් තණ්හාව, ක්‍රෝධය සහ බලය වෙනුවෙන් සොබාදහමේ සීමාවන් උඩුයටිකුරු කිරීමට තැත් කරයි. සොබාදහම මනුෂ්‍යයාට දඬුවම් දෙන්නේ එබැවිනි. මනුෂ්‍යයා තමන්ට රිසි සේ මිනී මරමින්, රහස් සඟවමින් සොබාදහමට උඩින් යන්නට හැදුවද, දවසක ඒ හැමදේම අවසන් වන්නේ සොබාදහමට වුවමනා විදිහටමය.

මේඝ මන්දිරයේ ජනේලයෙන් පෙනෙන, කළු අඳුරේ ගිලී ඇති වනාන්තරය දෙස බලාගෙනම මිමිණුවේය. ඔහුගේ හඬ සාලයේ තිබූ හිස්බව අස්සේ හැපී දෝංකාර දුන්නේය. "සමහර විට... මගේ ජීවිතයේ අවසානය, නැත්නම් අලුත්ම ආරම්භය ලියවිලා ඇත්තේ මෙතැන වෙන්න ඇති."

ඒ කිසිවක් හමුවේ පසුබට වන්නට මේඝට වුවමනා වූයේ නැත. ඔහුගේ පපුවේ තිබූ බිය සෙමෙන් දියවී, ඒ වෙනුවට මහා ස්ථාවරත්වයක් හිතට ඇතුළු වෙමින් තිබුණි. “මොන දේ වුණත්... මම ඉස්සරහට යනවා,” ඔහු තමාටම කියාගත්තේය. “කවුරු සොබාදහමේ නියමයන්ට පිටුපෑවත්, මම ඒ නීතියට අනුගත වෙනවා. මනුෂ්‍යයන්ගේ තණ්හාව, ක්‍රෝධය, නපුර නිසා මේ මන්දිරය ඇතුළේ උඩුයටිකුරු වෙලා, විකෘති වෙලා තියෙන හැම ශක්තියක්ම... මම ආපහු සොබාදහමට ඕන විදිහටම නිවැරදි කරනවා.”

එම දැඩි අධිෂ්ඨානයත් සමඟ, ඔහුගේ මනසේ සංවෘතව තිබූ රහස් දොරටුවක් එකවරම විවෘත වන්නට විය. ඔහුගේ මතකය අතීතයේ ඈත දියවර දිගේ වේගයෙන් පසුපසට ඇදී ගියේය. තමා කුඩා කල සිටම විඳි මහා දුක්ගැහැට, අනුන්ගෙන් ලත් නින්දා අපහාස සහ කටුක අත්දැකීම් පෙළගැසෙද්දී, ඒ හැම කඳුළක්ම, හැම රිදුමක්ම තමන්ව තව තවත් තියුණු කළා මිස දුර්වල කළේ නැත.

"ඒ කියන්නේ... මම පොඩි කාලේ ඉඳලා ඒ තරම් කට්ටක් කන්න ඇත්තේ, මේ වගේ මහා අභියෝගයක් මගේ ඉස්සරහ තියෙන නිසා..." මේඝ මඳ සිනහවක් සමඟම දෑස් පියාගත්තේය. ඔහුගේ ඇසින් කඳුළු බින්දුවක් කම්මුල දිගේ රූටා වැටුණි. "ඒ හැමදේම මේකට පෙරහුරුවක්. සොබාදහම මාව මේ සටනට ලෑස්ති කරන්න, මාව පුරුදු කරන්නයි මට ඒ හැම දුකක්ම දුන්නේ."

පපුවේ තිබූ හිස්බව කෙමෙන් දියවී, ඒ වෙනුවට මහා ආත්ම විශ්වාසයක් සහ ශක්තියක් මුළු සිරුර පුරාම ගලායනු මේඝට දැනුණි. ඔහු දැන් හුදෙක් අතීතය සොයන පරීක්ෂකයෙක් නොවේ, ඔහු සොබාදහම විසින්ම එවූ තීන්දුවක් බව ඔහුට හැගුණි.

මිනිසා තමන්ට ඇති නිදහස, බලය සහ තණ්හාව නිසා නපුර නිර්මාණය කරන සෑම අවස්ථාවකම, සොබාදහම නිහඬව බලා සිටින්නේ නැත. මිනිසුන් තමන්ගේ වාසියට, තමන්ගේ ක්‍රෝධයට මිනී මරද්දී, ශාපයන් එකතු කරද්දී... ඒ හැම නපුරක්ම සමනය කරන්න, ඒ හැම විකෘතියක්ම ආපහු නිවැරදි කරන්න ඕන කරන බලවේගය, ශක්තිය සහ මිනිසාව සොබාදහම විසින් රහසින්ම ගොඩනඟනවා. ඒ නපුර කොතරම් බලවත් වුණත්, ඒක විනාශ කරන්න අවශ්‍ය කරන බීජය සොබාදහම විසින් ඒ එක්කම රෝපණය කරනවා.

තමන් සොබාදහමේ ඒ මහා සැලසුමේ එක කොටසක් බව වටහා ගත් සැණින්, මේඝගේ හිතේ තිබූ සියලුම බිය සහ චකිතය මුළුමනින්ම තුරන් වී ගියේය. දැන් ඔහු අඳුරට බිය නැත. මන්ද, ඔහු පැමිණියේ ඒ අඳුර නැති කර, විශ්වයේ රිද්මය නැවත ස්ථාපිත කිරීමටය.

"මිනිස්සු පිළිනොගන්නා, කවදාවත් වටහාගන්න උත්සාහ නොකරන එකම සත්‍යයත් ඒකම තමයි..." මේඝගේ මුවඟට නැඟුණේ මලානික, නමුත් අතිශය තියුණු සිනහවකි. "ඕනෑම ක්‍රියාවකට, ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒකෙන් පිට කිසිම දෙයක්, කිසිම බලවේගයකට මේ පොළොව මත සිද්ධ කරන්න බැහැ."

මේඝ දෑස් හැර මන්දිරයේ අඳුර දෙස කෙලින්ම බැලීය. සොබාදහම තමන්ගේ ණය පියවා ගන්නා නිමේෂය වැඩි ඈතක නොවන බව මේඝට විශ්වාසය. සියල්ල සිදුවන්නේ නියමිත නියාවටම පමණි. තමා වෙතට ඇදී එන ඒ මහා ප්‍රතික්‍රියාවේ අවසාන පරිච්ඡේදය ලියන්නට මේඝ සිතින් සර්වප්‍රකාරයෙන්ම සූදානම් විය.

********

 පසුදා දහවල උදාවෙද්දී, මේඝ බලාපොරොත්තු වූ තීරණාත්මක රජයේ රස පරීක්ෂක වාර්තාව ඔහුගේ අතට පත් විය. ලැප්ටොප් තිරයෙන් දෑස් ඉවතට ගත් මාධව ද වහා මේඝ අසලට පැමිණියේය. ලිපිගොනුව දිගහැර පිටු එකින් එක පෙරළද්දී, එහි සටහන්ව තිබූ රසායනාගාර විශ්ලේෂණයන් දැක මේඝගේ දෑස් තියුණු විය. සොබාදහමේ නියමයන්ට අනුව, කාලය විසින් වළලා දැමූ සත්‍යය දැන් භෞතික සහ විද්‍යාත්මක සාක්ෂි හරහා එළියට පැමිණෙමින් තිබුණි.

"මාධව... මේක බලන්න," මේඝ වාර්තාවේ රතු ඉරකින් ලකුණු කර තිබූ 'නඩු භාණ්ඩ A' කොටස පෙන්වීය.

"ඒ පෑන... අපි කලින් සැක කරපු විදිහටම 1993 අවුරුද්දේ නිෂ්පාදනය කරපු නිල් පැහැති 'Ballpoint' පෑනක්. රස පරීක්ෂක වාර්තාවේ පැහැදිලිවම තියෙනවා ඒක ආරක්ෂක අංශයට අදාළ එකක් කියලා. ඒ කියන්නේ මේ මන්දිරයේ මුල්ම විනාශය සිද්ධ වුණු ඒ අතීත කාල වකවානුවේදී සිද්ධ වෙච්ච සිදුවීමකට මේ පෑන සෘජුවම සම්බන්ධයි."

මාධව හිස සැලුවේය, නමුත් ඔහුගේ අවධානය යොමු වූයේ ඊළඟ කරුණ වෙතය. "එතකොට මේඝ... ඔයා එදා අර අමාරුවෙන් හොයාගත්ත බොත්තම?"

"ඒක තමා අපිට ලැබුණු ලොකුම හෝඩුවාව..." මේඝ ගැඹුරු හුස්මක් ගත්තේය. "මගේ සැකය හරි. ඒ බොත්තම සාමාන්‍ය මිනිහෙක්ගේ ඇඳුමක එකක් නෙවෙයි. ක්ෂුද්‍ර දේහ පරීක්ෂාවෙන් තහවුරු වෙලා තියෙනවා එය බලහත්කාරයෙන් ඇද කඩා දමා ඇති බව. ඒ වගේම ඒක 1993 වර්ෂයේ අපරාධ පරීක්ෂණ අංශයේ (CID) නිල ඇඳුමකට පාවිච්චි කරපු විශේෂ බොත්තමක්. ඒ කියන්නේ එදා මේ මන්දිරය ඇතුළේ සිද්ධ වුණු අපරාධය පරීක්ෂණ කරන්න ආපු, නැත්නම් ඒකට සම්බන්ධ වුණු රාජකාරි මට්ටමේ කෙනෙක්ගේ ඇඳුමකින් ගැලවිලා වැටුණු එකක්."

"දෙවියනේ..." මාධවගේ මුහුණ සුදුමැලි විය. "එතකොට..."

"පොඩ්ඩක් ඉන්න, තව පුදුම හිතෙන දෙයක් තියෙනවා," මේඝ වාර්තාවේ 'නඩු භාණ්ඩ C' අඩංගු අවසාන පිටුව පෙරළුවේය. "අපි එදා හොයාගත්ත අර කළු ලෝගුවේ රෙදි කෑල්ල... ඒක පරණ එකක් නෙවෙයි. ඒක පොලියෙස්ටර් සහ කපු මිශ්‍ර නූල්වලින් නිමවූ, 2023 අවුරුද්දේ නිෂ්පාදනය කරපු, ඉන්දියාවෙන් ආනයනය කරපු රෙදි වර්ගයක්."

ලිපිගොනුව මේසය මත තැබූ මේඝ නැවතත් ජනේලයෙන් පිටත පාළු වත්ත දෙසට දෑස් යොමු කළේය. ඔහුගේ මනස වේගයෙන් ක්‍රියාත්මක වන්නට විය. මේඝගේ ඔළුව දැන් යකාගේ කම්මලක් වැනි විය. එක පිට එක ප්‍රශ්න, සැකයන් වැහි වැසී ඇත.

"ඒ කියන්නේ... මේ කළු ලෝගුකාරයා තාමත් සාමාන්‍ය සමාජයේ හැසිරෙන, ජීවත් වෙන චරිතයක්!" මේඝ තමන්ටම කියාගත්තේ දෑත් මිටි මොළවමිනි.

නමුත් මේඝ ඒ සැකය කිසිවෙකු දෙසට කෙලින්ම එල්ල කිරීමට ඉක්මන් වූයේ නැත. ඔහු සියලුම ලේඛන මේසය මත දිගහැරගෙන ගැඹුරු කල්පනාවක නිරත විය. මන්ද, සැබෑ මිනීමරුවා කවුරුන් වුවද, ඔහු තමන්ගේ අනන්‍යතාවය සඟවන්නට වෙනත් අයෙකුගේ නිල ඇඳුමක් හෝ උපකරණයක් හිතාමතාම භාවිත කළා වන්නටද පුළුවන.නැතිනම් සැකකරු සමග වූ පොරබැදීමකදී ආරක්ශක අංශයේ අයෙකුගෙන් ගිලිහුනා වෙන්නත් පුලුවන්. විශේෂයෙන් පෑන විමලවංශගෙ කියලා මාධවගෙ යාලුවා ස්ථීර කලා. මේ සියල්ල එකිනෙකට යා කරන්නේ කෙසේද? වැරදි හෝඩුවාවක් ඔස්සේ ගොස් සත්‍යය මඟහැර ගැනීමට මේඝට වුවමනා වූයේ නැත. සැකය තවමත් විවෘතය. කවුරුන් වුවත්, ඒ කළු ලෝගුධාරියා තවමත් තමන් අතරම, සාමාන්‍ය මිනිසෙකු ලෙස සමාජයේ සැරිසරන බව පමණක් ස්ථිරය.

********* 

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."      

Next Episode 

Comments

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1