22 වන පරිච්ඡේදය

දැවමය දොරවල් එකිනෙක ගැටෙමින් මහා ශබ්දයකින් වැසී ගියේය. ඒ සමඟම මන්දිරයේ අඳුරු කොරිඩෝව නිහඬ විය. මේඝ තනිවම ඒ මහා අන්ධකාරයට බිලි විය. මන්දිරයේ වාතය පවා රහස්වලින් බර වී තිබුණි. පිටත ඇද හැලෙන මහ වැස්සේ ශබ්දය, මන්දිරයේ අභ්‍යන්තරයේ වූ මළගමක වැනි බිහිසුණු නිශ්ශබ්දතාවය හමුවේ ක්‍රමයෙන් දුරස් වී ගියේය.

මේඝ තම පිස්තෝලයේ මිට තදින් අල්ලාගෙන, මන්දිරයේ උඩුමහලේ කොරිඩෝව දෙසට පියවර තැබීය. සෑම පියවරක්ම බිම වැදෙද්දී නැගෙන හඬ, තමන්ගේම හද ගැස්ම තරමටම ඔහුට තීව්‍ර ලෙස ඇසුණි. ඔහු කෙළින්ම ගියේ සුලෝචනාගේ කාමරයටය. වසර ගණනාවක් තිස්සේ දූවිලි සහ අඳුරේ සැඟවී තිබූ තම මවගේ කාමරය, තවමත් ඇයගේ සුවඳින් සහ යම් අද්භූත කම්පනයකින් වෙලී තිබිණි.

කාමරයේ මැද වූ ඇඳ අසලට ලගා වූ මේඝ සිය මුළු ශක්තියම යොදා ඇඳ තල්ලු කළේය. උමඟේ රහස් දොරටුව ක්‍රියාත්මක වීමට නම්, ඒ ඇඳ නිශ්චිත කෝණයක, නියමිත ස්ථානයේම තිබිය යුතුය. එය බිම පිරිමැදෙන මහා හඬක් නිකුත් කරමින්, කාමරයේ බිම ඇද තිබූ සලකුණු හා සමපාත වන සේ නිවැරදි ස්ථානයට තල්ලු විය.

දැන් කාලය පැමිණ ඇත. මේඝ තම සාක්කුවෙන් රතු පාෂාණය ගත්තේය. අඳුරු කාමරයේ තිබී හමුවූ මන්ත්‍ර පොත්වල තිබූ රහස් මන්ත්‍ර ඔහු මීට පෙර හොඳින් අධ්‍යයනය කර තිබුණි. උරුමක්කාරයාට පමණක් කළ හැකි ඒ පූජා විධිය සඳහා ඔහු මැණික ඇඳට යාබදව පොළොව මත තැබීය. ඔහු තම පිස්තෝලය ඉනෙහි රඳවා, සාක්කුවෙන් කුඩා පිහියක් ගත්තේය. තම අතේ ඇඟිල්ලක් තදින් කපාගත් ඔහු, වේදනාව නොතකා ගලා ගිය රුධිරය මැණික වටා රවුමට වක් කළේය. ඒ සමඟම මැණිකෙන් පිටවුණු රතු ආලෝකය කාමරය පුරා මහා ශක්තියක් මුදා හැරියේය. මේඝ දෑස් පියාගෙන, පරම්පරා ගණනාවක් තිස්සේ පුස්කොල පොත් තුල සැඟවී තිබූ ඒ අද්භූත මන්ත්‍රය මතුරන්නට විය.

ඔහුගේ කටහඬ කාමරයේ දෝංකාර දුන්නේ මහා බලයකින්. කාමරයේ වාතය උණුසුම් වන්නට විය. හදිසියේම රතු ආලෝකයේ තීව්‍රතාවය ඉහළ ගොස්, කාමරයේ මැද අංශුමය රූපයක් මෙන් සුලෝචනාගේ රූපය මතුවන්නට විය. ඇයගේ දෑස්වල තිබුණේ අතීතයේ වේදනාව නොව, පුතෙකුගේ කැපවීම දුටු මහා සැනසීමකි. ඒ අසලම, අඳුරු සෙවනැල්ලක් මෙන් පියදාසගේ ආත්මය ද බලා සිටියේය.

මේඝ තම ලේ තැවරුණු අත තවමත් මැණික මත තබාගෙන සිටියේය. පූජාවේ ඊළඟ අදියර වූයේ මැණිකෙන් පිටවන ශක්තිය තම සිරුර හරහා ගලා යාමට ඉඩ හැරීමයි. ඒ පාලම සකස් කළ හැක්කේ ලේ උරුමක්කාරයාට පමණි. මේඝගේ සිරුර දැඩි වෙව්ලීමකට ලක් විය. මැණිකේ තිබූ සියලුම ශක්තීන්, අතීතයේ තිබූ බන්ධන සියල්ල බිඳ දමමින් මේඝගේ හදවත හරහා සුලෝචනාගේ ආත්මය තුලට ගලා යන්නට විය.

සුලෝචනාගේ රූපය තව තවත් පැහැදිලි විය. ඇයගේ දෙතොල් සෙලවුණත් වචන ඇසුණේ නැත. නමුත් ඇයගේ දෑස් මේඝට යමක් පවසන බව ඔහුට වැටහිණි. "මේඝ... පරෙස්සම් වන්න. අඳුර ඔබේ සිරුරට ඇතුළු වීමට ඉඩ නොදෙන්න." පියදාසගේ ආත්මය හදිසියේම මේඝගේ කණට මුමුණනු ඇසුණි. මේඝ දෑස් විවර කළේය. මේඝ තම ලේ තැවරුණු අත මැණික මත තබාගෙන තවදුරටත් මන්ත්‍රය මතුරද්දී, කාමරය තුළ ඇති වූයේ සාමාන්‍ය කම්පනයක් නොවේ; එය විශ්වයේ නීති පවා වෙනස් කළ හැකි මහා බලවත් ද්වනි කම්පනයකි. මැණිකෙන් පිටවූ ඒ අද්භූත තරංග සුලෝචනාගේ රූපය තව තවත් විචිත්‍රවත් කරමින්, ඇයව සැබෑ ජීවමාන ස්ත්‍රියකගේ ස්වරූපයට පත් කරන්නට විය. දැන් මැණිකේ සම්පූර්ණ බලය හිමිව ඇත්තේ සුලෝචනාටය. ඒ කම්පනය මන්දිරයේ බිත්ති පවා පළුදු කරමින් පිටතට විහිදෙන්නට විය. මේඝ දන්නා පරිදි, මෙය පියදාසගේ බිල්ලෙන් පටන්ගෙන මේ දක්වා ඇදී ආ කළු ලෝගුකාරයාගේ අවසානයේ ආරම්භයයි. "එන්න... ඔබට එන්නම වෙනවා," මේඝ සිතින් මුමුණා ගත්තේය.

පියදාසගේ සිරුර සොයා ගැනීම මේඝ ඔහුට එරෙහිව එල්ල කළ ප්‍රබලම ප්‍රහාරය බව කළු ලෝගුකාරයා දැන සිටියේය. ඔහු මන්දිරයේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි රහස් අඩවියේ රැඳී සිටියේ, මන්දිරයේ සිදුවන සෑම චලනයක්ම ගැනම දැඩි අවධානයකිනි. එහෙත් එකවරම සුලෝචනාගේ කාමරයෙන් නිකුත් වූ මැණිකේ ද්වනි කම්පනය මන්දිරයේ සීමා මායිම් අතික්‍රමණය කරමින් ඔහුගේ ආත්මයම දෙදරවන්නට විය.

කළු ලෝගුකාරයාට වේදනාව දරාගත නොහැකි විය. මැණිකෙන් නිකුත් වන ඒ ද්වනි කම්පනය ඔහුට දැනෙන්නේ තමාගේම ආත්මය ගිනි තබනවාක් මෙනි. මේඝ මේ මන්ත්‍රය මතුරමින් සිටින තාක් කල්, තමාගේ බලය ක්‍රමයෙන් ක්ෂය වී යන බව ඔහු දැන සිටියේය. මෙම බලගතු කම්පනය මැඩපවත්වා, මැණිකේ පූර්ණ බලය සුලෝචනාගෙන් උදුරා ගැනීමට නම්, ඔහුට අනිවාර්යයෙන්ම මේ මොහොතේම මන්දිරයට යා යුතුමයි. මැණිකේ කම්පනය මන්දිරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දෝංකාර දෙද්දී, මන්දිරයේ දොරවල් බිත්ති තදින් වෙව්ලන්නට විය.

සැතපුම් ගණනාවක් ඈතින්, කළු ලෝගුකාරයා කෑගසමින් තමා සැඟව සිටි තැනින් එළියට පැන්නේය. ඔහු මන්දිරය දෙසට ඇදී ආවේ අඳුරු සුළඟක් මෙනි. ඔහුට දැනෙන මේ වේදනාව නවතා ගැනීමට නම් මන්දිරයේ සිටින මේඝගේ මැතිරීම ඔහු නැවැත්විය යුතුය. මේඝ, තම මවගේ රුධිර උරුමය ආරක්ෂා කරමින්, සිය සතුරා මන්දිරයේ සීමාවටම ගෙන්වා ගැනීමට තැත් කරමින් සිටියේය. කම්පනය තව තවත් තීව්‍ර විය. දැන් මන්දිරයේ පොළොව පවා දෙදරන්නට පටන් ගෙන ඇත. කළු ලෝගුකාරයාගේ පැමිණීම මන්දිරයේ වටපිටාවේ තිබූ ගස් වැල් පවා බියෙන් මෙන් කම්පා කරවීය. සටන ආරම්භ වීමට තව ඇත්තේ මොහොතක් පමණි.

"මේඝ... උඹ මගේ සීමාව ඉක්මවා ගියා!" කළු ලෝගුකාරයාගේ මුවෙන් පිටවූයේ අමනුෂ්‍ය කෑගැසීමකි. ඔහු තුළ පැවති සියලුම අඳුරු ශක්තීන් වියරු වැටී තිබුණි. පිස්සු වැටුණු මෘගයෙකු මෙන් ඔහු මන්දිරය දෙසට දිව ආවේය. ඔහු තෝරාගත්තේ ඔහුට ඉතාම හුරුපුරුදු, අඳුරු සෙවනැලි පිරි කැලෑ පාරයි. මේඝ කාමරයේ ජනේලයෙන් පිටත බැලුවේය. විදුලි කෙටීමක ආලෝකයෙන් ඔහු දුටුවේ කැලෑ පාරේ වේගයෙන් ඇදී එන ඒ කළු රූපයයි. ඔහු කළු ලෝගුකාරයාගේ පැමිණෙන මාර්ගය මේඝ අනුමාන කර තිබුණි. "උමඟ... ඔහු එන්නේ උමඟ හරහායි." මොහොතකින් ඔහු සූදානම් කර තිබූ අගුල ක්‍රියාත්මක විය. ඇඳ තිබූ ස්ථානය උමඟේ යාන්ත්‍රණය සමඟ හරියටම පෑහී තිබුණි. හදිසියේම, මන්දිරයේ පදනම දෙදරවමින් උමඟ තුළින් යම් චලනයක් ඇති විය. කළු ලෝගුකාරයා මන්දිරයේ යටි බිම් මහලට ඇතුළු වී උමඟ හරහා පැමිණෙමින් සිටියේය.

ඔහු උමඟේ ලීවරය තදින් පහළට අදින හඬ මේඝට ඇසුණි. මහා දැවමය ඇඳ එක පාරටම පහළට ගිලී ගියේය. සුළු මොහොතක නිශ්ශබ්දතාවයකට පසු, යළිත් ඇඳ උඩට මතු වන්නට විය. ඇඳ උඩට මතු වන විට, එහි උඩ සිටගෙන සිටියේ කළු ලෝගුකාරයාය. ඔහුගේ රතු පැහැ ගැන්වුණු දෑස්, අන්ධකාරය මැද ගිනි පුපුරු මෙන් දැල්වෙමින් තිබුණි. ඔහු ඇඳ මත සිටගෙන සිටියේ යමෙක් නිරයට ප්‍රවේශ වන්නාක් මෙනි.

කළු ලෝගුකාරයා ඇඳෙන් බිමට පැන කාමරය දෙස බැලුවේය. ඔහුගේ ලෝගුව තෙත බරිත වී තිබුණේ වැස්සේ දියෙන් නොව, ඔහුගේ ආත්මය දවාලන මැණිකේ කම්පනය නිසා ඇති වූ අධික උණුසුමෙන් විය හැකිය. "මේඝ! පියදාසගේ ඇටකටු හමුවීම උඹට ජයග්‍රහණයක් වෙයි කියලා හිතුවද?" ඔහු ගොරවන්නට විය.

නමුත් මේඝ භීතියට පත් නොවීය. කළු ලෝගුකාරයා උමඟෙන් මතුවූයේ හුදෙක් සටනකට පමණක් නොවේ; එය ඔහුගේ අවසන් උත්සාහය විය. සටන ආරම්භ විය. කළු ලෝගුකාරයා තම අත්වලින් කළු දුමාරයක් මුදා හරිමින් මේඝ දෙසට පැන ආවේය. කාමරය තුළ තිබූ සියලුම දේ කම්පනයට පත් විය. සුලෝචනාගේ ආත්මය මැණිකේ රතු එළිය සමඟ එක්වී, කාමරය වටා මහා ආරක්ෂිත බලකොටුවක් ගොඩනැඟුවාය. කාමරයේ වායුගෝලය භීතියෙන් සහ බලයෙන් ඇවිලී ගියේය. කළු ලෝගුකාරයා මේඝ දෙස බැලුවේ වෛරය පිරි දෑසිනි. ඔහු තවමත් සිතා සිටින්නේ මේඝ යනු හුදෙක් අබිරහසක් සොයාගෙන පැමිණි නාඳුනන මිනිසෙකු බව මිස, මැණිකේ නියම අයිතිකරු බව නොවේ.

"මැණිකේ බලය සම්පූර්ණයි... ඒත් ඒක උඹ වගේ අසරණයෙකුට දරන්න බැහැ!" කළු ලෝගුකාරයා ගොරවමින් මැණික උදුරා ගැනීමට ඉදිරියට පැන්නේය. එහෙත් මේඝ නොසෙල්වී සිටියේය. සුලෝචනා සතු සියලු ගුප්ත ශක්තීන්, සියලු පරම්පරාගත රහස්, සියලු කැපකිරීම් මැණික වෙත ගලා ගියේය. මැණික දැන් රතු පැහැයෙන් නොව, දරාගත නොහැකි සුදු-රතු මිශ්‍ර දීප්තියකින් දැවෙමින් තිබුණි. කළු ලෝගුකාරයා වියරු වැටී මන්ත්‍ර මතුරන්නට විය. ඔහු මන්දිරයේ අත්තිවාරමම දෙදරවන තරම් බලවත් අඳුරු ශක්තියක් මුදා හැරියේය. කාමරයේ තිබූ දේවල් සුළි කුණාටුවකට හසුවූ පත්‍ර මෙන් කැරකෙන්නට විය. කළු ලෝගුකාරයාගේ අතින් පිටවූ අඳුරු දුමාරය මැණිකේ ආලෝකයට වැදී පිපිරීම් ඇති කළේය. මෙය හුදෙක් භෞතික සටනක් නොව, ආත්මයන් අතර වූ මහා ගැටුමකි.

"සුලෝචනා! උඹ මැරිලත් මාව නවත්වන්න හදනවා නේද?" කළු ලෝගුකාරයා කෑ ගැසුවේය. කාමරය පුරා සුදු ආලෝකයේ මහා විස්කෝටනයක් සිදුවිය. කළු ලෝගුකාරයාගේ සිරුර මතට ඒ ආලෝකය පතිත වෙද්දී, ඔහු බියෙන් කෑගැසුවේය. මැණිකේ බලය ඔහු සතු අඳුරු ආත්මය දවාලන්නට පටන් ගත්තේය. මේඝ දැන් මැණිකේ සම්පූර්ණ බලයම සක්‍රීය කර අවසානය. "මගේ මවගේ උරුමයත්, පියදාසගේ බිල්ලත් වෙනුවෙන්... මම මේ සටන දිනනවා!" ඔහු තදින් අධිෂ්ඨාන කර ගත්තේය. කළු ලෝගුකාරයාගේ සිරුර ආලෝකයේ බලයට හසුවී ක්‍රමයෙන් අඳුරේ දියවී යන්නට විය. ඔහු බිම වැටී හුස්ම හිරවෙමින් අරගල කළේය.

"සුලෝචනා... උඹ හිතුවද මේ ද්වනි කම්පනයෙන්, මේ මැණිකේ ආලෝකයෙන් මගේ ගුප්ත බලය බිඳින්න පුළුවන් කියලා?" කළු ලෝගුකාරයාගේ හඬ කාමරයේ බිත්ති පවා සලිත කළේය. ඔහු මැණිකේ බලයට අසු වී, සිරුර දැවෙමින් තිබියදීත්, උමතු ලෙස සිනාසෙන්නට විය. "මේ මැණික තුනට කඩලා කොටස් දෙකක් පරම්පරා දෙකකට භාර දීලා අනෙක් කොටස හැංගුවේ ඇයි දන්නවද? මේඝ කිසිදා නොදත් කතාවක සුල මුල කළු ලෝගුකාරයා එලි කරමින් සිටියේය. ඒ කොටස් එකතු වෙන්නෙත්, ඒ දෙකේ බලය සක්‍රීය වෙන්නෙත් අර පරම්පරා දෙකේම ලේ මිශ්‍ර වුණු උරුමක්කාරයෙක්ගෙන් විතරයි. වෙන කිසිම කෙනෙකුට ඒ බලය ලබා ගන්න බෑ. මේ මැණික පාලනය කරන්නත් එය විනාශ කරන්නත් පුළුවන් ඒ උරුමක්කාරයටම විතරයි. මේ මැණික නිර්මාණය කරනකොටම ඒකේ අවසාන කරන්න පුළුවන් එකම ක්‍රමය විදියට පෙන්වලා දීලා තිබුණේ ඒක. සුලෝචනා, මම උඹේ බඩෙන් ඒ උරුමක්කාරයා එළියට ගත්තා. ඌව හැදුවා වගේම ඒ උරුමක්කාරයා මම මරලා ඉවරයි! උඹේ කිරි උගුරේ තියෙද්දිම, මම ඒ දරුවාව මේ ලෝකෙන් තුරන් කළා."

ඔහුගේ වචන කඩුවක් මෙන් මේඝගේ හදවත පසාරු කරගෙන ගියේය. කළු ලෝගුකාරයා මේඝ දෙස බලා අවඥාවෙන් සිනාසුණේය. "උඹ මේ මැණික සම්පූර්ණ කළාට, උඹට මේකේ පූර්ණ බලය ගන්න බෑ. උඹට කවදාවත් මගේ අඳුරු බලය බිඳින්න බෑ, මොකද මේ ලෝකේ දැන් ඒ ලේ උරුමක්කාරයා ජීවතුන් අතර නැහැ!"

මේඝ ගල් ගැසී සිටියේය. මේඝගේ හදවත තුළ මහා කුණාටුවක් ඇවිළී ගියේය. ඔහු මෙතෙක් කල් සිතා සිටියේ තමා යනු මේ අද්භූත උරුමයේ එකම හිමිකරු බවයි. එහෙත් කළු ලෝගුකාරයාගේ ඒ වචන ටික, ඔහුගේ මුළු ජීවිතයම ප්‍රශ්නාර්ථයක් කර දැමීය. සුලෝචනා මේඝ දෙස බැලුවේ ආදරයෙනි. ඇය දන්නවා, තමා මියගියත්, තමාගේ දරුවා ජීවත්ව සිටින බව. නමුත් කළු ලෝගුකාරයාගේ ඒ විශ්වාසය, ඔහුගේ අන්ධ භක්තියම ඔහුට විනාශය ළඟා කර දෙන බව ඔහු දැන සිටියේ නැත.

"පරම්පරා දෙකේම ලේ... මම නෙමේ නම්, එහෙනම් කවුද?" මේඝගේ හිස විකාර වී ගියේය. ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. කළු ලෝගුකාරයාගේ අවඥාසහගත සිනහව ඔහුගේ කන පසාරු කරගෙන ඇසුණි. මේඝ වේගයෙන් තම පිස්තෝලය ගෙන, පණ බේරාගැනීමට දඟලන කළු ලෝගුකාරයාගේ හිසටම එල්ල කළේය. "කතා කරපන්!" මේඝ කෑගැසුවේ මහා වෛරයකිනි. "උඹ මොකක්ද කළේ? උරුමක්කාරයා කවුද? ඇත්ත කියපන්!" මේඝගේ මුහුණේ ඇති කෝපය තවත් බිහිසුණු කළේය. කළු ලෝගුකාරයා බිම වැටී සිටියද, ඔහු තවමත් නතර නොවී උමතු ලෙස සිනාසුණේය. ඔහු පිස්තෝලයේ මුවහත දෙස බැලුවේ මරණයට බිය වීමකින් නොව, මේඝගේ නොදැනුවත්කම ගැන අනුකම්පාවෙනි.

"උඹ තාමත් හිතන්නේ උඹ මේ ලෝකේ එකම බලාපොරොත්තුව කියලාද, මේඝ?" කළු ලෝගුකාරයා රුධිරය පිටවන කටින් සිනාසුණේය. "පියදාස..." කළු ලෝගුකාරයා කෙළ ගසමින් පියදාස දෙසට හැරුණේය. "මූ කොච්චර වීරයෙක් වෙන්න හැදුවත්, මැරෙන මොහොතෙදිත් මූ හිටියේ මගේ අඩියට අහුවෙලා. මූ මට කිසිම රහසක් කිව්වේ නැහැ. ඒත් මූ ඇදගෙන හිටිය කමිස සාක්කුවේ තිබිලා මට හම්බ වුණා පොඩි කෝච්චි ටිකට් එකක්. බදුල්ලේ ඉඳන් ආපු... ඒ ටිකට් එක තමයි මාව ඒ දරුවා හංගපු ගෙදරට එක්ක ගියේ."

"මම ඒ ගෙදරට කඩා වැදුණා. මම ඒ දරුවා දැක්කා. ඒ රූපෙමයි... ඒ ඇස්, ඒ මූණ. මම මගේ පිහියෙන් ඒ දරුවාගේ පපුව පසාරු කළා. ඌ මගේ අතේම මැරිලා ගියා. ඉතින්, උඹ කවුද මේඝ? දැන් උඹට ඉතුරු වෙලා තියෙන්නෙ මගේ අඳුරු බලයට යටත් වෙලා මේ මැණික මට දෙන එක විතරයි! උඹ හිතුවද මේඝ, උඹ මේ මැණිකේ උරුමක්කාරයා කියලා?" කළු ලෝගුකාරයා නැගිට සිටියේ යකෙක් මෙනි. ඔහුගේ ලෝගුව දැන් ඉරී ගොස් ඇතත්, ඔහුගේ ඇස්වල තිබූ ගුප්ත බලය තවමත් නොනැසී පැවතුණි. "උඹ මේක හොයා ගත්තා නෙමෙයි, මම උඹ ලවා මේක හොයා ගත්තා!"

කළු ලෝගුකාරයා දෑත් අහසට ඔසවා යම් අද්භූත මන්ත්‍රයක් මතුරන්නට පටන් ගත්තේය. ක්ෂණයකින්, කාමරයේ බිත්තිවලින් කළු සෙවනැලි දහස් ගණනක් බිත්ති අතරින් මතු වී මේඝව වට කර ගත්තේය. මැණිකේ බලය මේඝගෙන් ගිලිහී, කළු ලෝගුකාරයා දෙසට ඇදී යන්නට විය. මේඝගේ ශරීරය දුර්වල වී දණින් වැටුණි. "දැන් බලපන් මේඝ, උඹේ ආදරණීය අම්මා සුලෝචනාගේ ආත්මයත්, පියදාසගේ ශක්තියත් මගේ අණට යටත් වෙන හැටි!" මේඝට තමාගේම ජීවිතය ගැන පිළිකුලක් ඇති විය. ඔහු මෙතෙක් කළ සියලුම කැපකිරීම්, ඔහු කියවූ මන්ත්‍ර පොත්, ඔහු බලාපොරොත්තු වූ විමුක්තිය මේ සියල්ල කළු ලෝගුකාරයාගේ සැලැස්මක කොටසක් වී තිබුණි.

කලු ලෝගුකාරයා එසේ පවසන විට පියදාස හා සුලෝචනා එක වරම මහ හඬින් සිනාසෙන්නට විය. "ඔබට වැරදුණේ ඒ තැනදීයි! උඹ මරලා දැම්මා කියලා හිතපු ඒ දරුවා... ඒ ලේ උරුමය... තාමත් මේ ලෝකේ ජීවතුන් අතර ඉන්නවා, පරම්පරා දෙකේම ශක්තිය එකතු කරගෙන!"

"අපි අද දවස එනකන් හුඟක් කාලයක් බලාගෙන හිටියා. මම පියදාස අතට දරුවා දුන්නේ මගේ අවසානය ගැන දැනගෙන. මම දන්නවා හැරිසන් පරම්පරාවට හිමි වුණු මැණිකේ උරුමක්කාරයා විදියට මම මියගියත් මේ මැණිකට බැඳෙනවා කියලා. ඒ වෙනකොටත් මම මැණිකේ කුඩා කොටස හොයාගෙන තිබුණේ. මට ඕන වුණා මගේ දරුවව රකින්න. මම මැණිකට බැඳුණට පස්සේ මට බෑ මැණිකේ සීමාවෙන් එළියට යන්න. ඒ නිසා තමයි මම උපක්‍රමයක් යෙදුවේ. මැණිකේ කුඩා කොටස මම දරුවගෙ බෙල්ලෙ බැන්දා. එදා ඉඳන් ඒ කුඩා කොටසේ උරුමය ලැබුණේ මගේ දරුවට. මම පියදාසට වරදක් කළා. මම පියදාසට දරුවව දෙනකොට මම දැනගෙන හිටියා දරුවගෙ බෙල්ලෙ තියන මැණිකේ පුංචි කොටසෙ උරුමයට පියදාස බැඳෙන බව. ඔහු මියගියත් ඔහුට දරුවව රකින්න වෙනවා. ඒ කුඩා කොටස සමග ඔහු බැඳෙන නිසා ඒ සීමාවෙන් ඔහුට දුරකට යන්න බෑ. උඹ පියදාසව මැරුව නිසා තමයි උඹට වැරදුණේ. උඹ පියදාසව මරලා දරුවා හොයාගෙන යන්න කලින් උඹේ අරමුණ පියදාසට වැටහුණා. පියදාසගෙ වගකීම උරුමක්කාරයා රකින එක. බහිරවයෙක් නිදානයක් රකිනවා වගේ. උඹ එතන්ට යන්න කලින් පියදාස උරුමක්කාරයව එතනින් පිට කළා. උඹ මැරුවේ පියදාස එතන තිබ්බ පිල්ලියක්. මැණිකේ උරුමක්කාරයා වෙච්ච මේඝව පියදාස දුප්පත් ගෙදරක දොර ලඟින් තිබ්බා. මේඝව හැදුව අම්මා තමයි ඒ ගෙදර හිටියෙ."

පියදාසගේ සහ සුලෝචනාගේ සිනහව මන්දිරය පුරා දෝංකාර දුන්නේ කළු ලෝගුකාරයාට සියල්ල වරදින්නට පටන් ගත් බවට අනතුරු අඟවමිනි. කළු ලෝගුකාරයාගේ මුහුණේ තිබූ ජයග්‍රහී බව බියක් බවට පත් විය. සුලෝචනා මැණිකේ ආලෝකය මැදින් පියදාස අසලට පැමිණියාය. ඇය කළු ලෝගුකාරයා දෙසට සිනහවකින් බැලුවාය. "මම පියදාසට කළේ ලොකු වරදක් කියලා මම දන්නවා. ඒත් ඒක තමයි මේ මැණිකේ ආරක්ෂාවට තිබුණ එකම ක්‍රමය. ඒ ශක්තියෙන් මගේ දරුවා ආරක්ෂා කරන්න මට ඕන වුනේ දවසක මේ හැමදේම ඉවරකරන්නෙ ඒ දරුවා කියලා මම දැනගෙන හිටිය නිසා."

  කළු ලෝගුකාරයා තැතිගෙන පසුපසට පියවර තැබීය. "නෑ... ඒක බොරු! මම ඒ දරුවාව මරලා දැම්මා! මම දැක්කා ඌ මැරෙන හැටි!"

මේඝ මේ සියල්ල අසා සිටියේ ගල් ගැසී ය. ඔහුට දැන් තම අතීතය, තම අම්මා, සහ පියදාසගේ ඒ සියලු කැපකිරීම් තේරුම් ගත හැකි විය. ඔහු හුදෙක් අහඹු උරුමක්කාරයෙක් නොව, පරම්පරා දෙකක ලේ උරුමයෙන් සහ මහා ආරක්ෂාවක් මැදින් පැමිණි ශූරයෙකි.

"දැන් උඹේ අඳුරු බලයට මාව පාලනය කරන්න බැහැ," මේඝගේ හඬ දැන් අද්භූත බලයකින් පිරී තිබුණි. මේඝගේ ශරීරයෙන් පිටවූ ආලෝකය කෙතරම් තීව්‍රද යත්, කළු ලෝගුකාරයාගේ ලෝගුව පමණක් නොව ඔහුගේ සිරුර පවා පසු පසට විසි වෙන්නට විය. ඔහු අත්පත් කරගත් මැණිකේ පාලනය ඔහුගෙන් ගිලිහී ගොස්, මේඝගේ අතටම ඇදී ආවේය. මේඝ තම ලේ තැවරුණු අතින් මැණික තදින් අල්ලා ගත්තේය. මැණිකෙන් පිටවන ආලෝකය දැන් මන්දිරයේ වහලය පවා සිදුරු කරමින් අහස දෙසට විහිදී ගියේය. ඒ සමඟම, කාමරයේ අවකාශය දෙදරවමින් සුලෝචනා සහ පියදාසගේ හඬින් අද්භූත මන්ත්‍රයක් දෝංකාර දුනි. එය මනුෂ්‍ය කනකට ඇසෙන වචන පෙළක් නොව, ආත්මයන්ගේ බැඳීමක් බිඳ දමන විශ්වීය ස්වරයකි. මේඝ සිය මුළු ශක්තියම එකතු කර මැණික කළු ලෝගුකාරයාගේ නළල මත තැබුවේය.

ක්ෂණයකින්, කළු ලෝගුකාරයාගේ දෑස්වලින් මහා බියකරු කෑගැසීමක් පිටවිය. ඔහුගේ සිරුර තුළ සැඟවී තිබූ, වසර ගණනාවක් තිස්සේ මන්දිරයේ අඳුර පෝෂණය කළ අර අමුතු ගුප්ත ආත්මය, ධූමයක් මෙන් මැණික දෙසට ඇදී එන්නට විය. එය අඳුරු කළු පැහැති සෙවනැල්ලක් මෙන් මැණික තුළට උරා ගනු ලැබීය. කළු ලෝගුකාරයාගේ සිරුරේ තිබූ සියලුම අද්භූත බලය මැණිකට උරා ගැනීමත් සමඟ, ඔහු මහා ශබ්දයක් කරමින් බිම ඇද වැටුණේය. ඔහු දැන් අද්භූත බලයක් නැති, පරාජිත, නිරායුධ මනුෂ්‍යයෙකි. ඔහුගේ දෑස්වල තිබූ ඒ ගින්න නිවී ගොස්, ඔහු අසරණව මරණය දෙස බලා සිටියේය. ඒ සමඟම, සුලෝචනාගේ සහ පියදාසගේ ආත්මයන් ද එකම රතු ආලෝක ධාරාවක් ලෙස මැණික දෙසට ඇදී ගියේය. මැණික නිශ්චල විය. දැන් එය සාමාන්‍ය ගල් කැටයක් මෙන් නිහඬව බිම තැන්පත් විය. මන්දිරයේ තිබූ අද්භූත කම්පනය නැවතුණි. එළියෙන් ඇසෙන මහ වැස්සේ ශබ්දය දැන් මන්දිරයේ අඳුර දෝංකාර නොදේ. එය සැබෑම වැස්සක් මෙන් ඇසේ. මේඝ සිය පිස්තෝලය අහස දෙසට එල්ල කර වෙඩි තැබුවේය. ඒ වෙඩි හඬ මන්දිරයේ අඳුරු බිත්තිවල ගැටී දෝංකාර දෙමින් පිටව ගියහ.එය මන්දිරයෙන් පිටත රැකවල් ලා සිටි මාධව සහ අනෙක් නිලධාරීන්ට කැඳවීමේ සංඥාවක් විය.

******
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."      
 

Comments

  1. Dan awasaneta lagayi neda. Kathawa godariyak lassanayi

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1