23 වන දිගහැරීම. අවසන් කොටස
23 වන දිගහැරුම
කාමරයට පිටතින් මාධවගේ වේගවත් පියවර ශබ්දය බිත්තිවල වැදී දෝංකාර දුන්නේය. "මේඝ! මේඝ!" ඔහු බියෙන් හා නොසන්සුන්තාවයෙන් මුසු වූ හඬින් මොරගෑවේය. නිලධාරීන් කණ්ඩායමක් ද සමඟ මාධව කාමරයට කඩා වැදුණේ සියල්ල අතපසු වී ඇතැයි යන බියෙනි. එහෙත්, ඔවුන් ඉදිරියේ දිගහැරුණේ කිසිවෙකුටත් සිතාගත නොහැකි දර්ශනයකි. මන්දිරයේ බිත්තිවල පැලීම් මතින් මකුළු දැල් එල්ලෙමින් තිබුණි. ගෘහ භාණ්ඩ උඩුයටිකුරු වී විසිරී තිබුණද, මීට මොහොතකට පෙර මුළු මන්දිරයම වෙලාගෙන තිබූ ඒ අඳුරු, භයානක අද්භූත වායුගෝලය මීදුමක් මෙන් අතුරුදහන් වී තිබුණි.
කාමරයේ මැද මේඝ ඉතා සන්සුන්ව, ස්ථාවරව සිටගෙන සිටියේය. ඔහුගේ දෙනෙත්වල කිසිදු චකිතයක් නොවීය. ඔහු අසල බිම වැටී, පපුව දැඩි ලෙස ගැහෙමින් හුස්ම ගැනීමට පවා මහත් අපහසුවෙන් මෙන් මරණාසන්නව සිටියේ, මීට සුළු මොහොතකට පෙර අද්භූත බලයෙන් වියරු වැටී සිටි කළු ලෝගුකාරයාය. අදෘශ්‍යමාන බලවේගවලින් පරිපූර්ණව සිටි ඔහු, දැන් කිසිදු බලයක් ඉතිරි නොවූ, අසරණ සාමාන්‍ය මිනිසෙකු බවට පත්ව සිටියේය.
මාධවගේ දෑස් විස්මයෙන් පුළුල් විය. ඔහු වහාම බිම වැටී සිටි කළු ලෝගුකාරයා වෙත දිව ගියේය. "අවසානයේ... ඔහු තමයි මේ! අවුරුදු ගණනාවක් තිස්සේ අපේ නින්ද කැඩූ, අපි දඩයම් කළ ඒ මහා අපරාධකාරයා!" මාධවගේ සංඥාවෙන් නිලධාරීන් වහාම ඉදිරියට පැමිණ, කළු ලෝගුකාරයාගේ දෑත් මතට මාංචු දැමූහ. ඔහු කිසිදු ප්රතිවිරෝධයක් දැක්වූයේ නැත; ඔහු සිටියේ තමන් සතු සියල්ල අහිමි වූ, රූකඩයක් මෙන් හිස් බැල්මකිනි.
"මේඝ, උඹ කොහොමද මේක කළේ?" මාධව හති දමමින් ඇසීය. මේඝ කිසිවක් නොකියා, බිම තිබූ මැණික තම සාක්කුවට දමා ගත්තේය. ඔහු මාධව දෙස බලා හෙමින් සිනාසුණේය. ඒ සිනහවේ තිබුණේ මහා බරක් සැහැල්ලු වූවෙකුගේ සන්සුන් බවකි. "දැන් ඔක්කොම ඉවරයි මාධව. මේ මන්දිරයේ රහස් ආයේ කවදාවත් කාටවත් වදයක් වෙන්නේ නැහැ."
නිලධාරීන් කළු ලෝගුකාරයාව බිමෙන් ඔසවා ගනිද්දී, ඔහුගේ හිසට වැටී තිබූ බර ලෝගුව සහ මුහුණ වසා තිබූ කළු වැස්ම ලිස්සා වැටුණි. මහ වැස්සේ අකුණු සැර වැදෙන ආලෝකය ජනේලයෙන් කාමරය තුළට විහිදී, ඒ මුහුණ මත පතිත විය. මාධවගේ හදවතේ ගැස්ම නතර වූවාක් මෙන් විය. ඒ කළු ලෝගුකාරයා වෙන කවුරුත් නොව, වෛද්‍ය සුජීවය!
"සුජීව...?" මාධවගේ මුවින් පිටවුණේ හීනි ස්වරයකි. සුජීවගේ මුහුණේ තිබූ ඒ උඩඟු සිනහව තවමත් මැකී ගොස් තිබුණේ නැත. ඔහුගේ දෑස්වල තිබුණේ වෛරය සහ ඊර්ෂ්‍යාවෙන් පිරුණු සැලැස්මක අවසානයයි. මාධව ඔහුව ඇදගෙන ඉදිරියට යද්දී, මේඝ ඔහුට දෑතින් සංඥා කර නතර කළේය. ක්ෂණිකව සුජීවගේ කමිසයේ කොලරයෙන් අල්ලාගත් මේඝ, හිසකෙස්වලින් තදින් පිටුපසට ඇද ගත්තේය. වේදනාකාරී ලෙස කන් පෙත්ත අසලින් සම ඇදගත් විට, ඉරි තැලෙන ශබ්දයක් සමඟින් රබර් වැනි වෙස්මුහුණ ගැලවී මේඝගේ අතටම පැමිණියේය.
වෙස්මුහුණට යටින් මතු වූයේ සුජීවගේ මුහුණ නොවේ! රිදී පැහැ ගැන්වුණු ගනකම් උඩු රැවුලක් සහ වසර ගණනාවක වෛරයෙන් දැවෙන ඇස් දෙකක් සහිත, කලෙක පටන් කළු ලෝගුව පසුපස සැඟවී සිටි ඒ මහා සතුරා වික්‍රමසිංහ මුදලිගේය!
"මුදලිගේ..?" මාධවගේ මුවින් පිටවුණේ තැතිගැන්ම මුසු වූ හඬකි. මුදලිගේ වේදනාවෙන් දත් මිටි කාගෙන, වෛරයෙන් පිරුණු දෑසින් මේඝ දෙස බැලුවේය. "ඔව්... මමයි!" ඔහු ගොරවමින් පැවසීය. "මම සුජීවගේ වෙස් ගත්තේ උඹේ ඇස්වලට වැලි ගහන්න විතරක් නෙමෙයි, මුළු මහත් නගරයම මගේ අණට නතු කර ගන්නයි. සුජීවව මරලා දාලා, ඔහුගේ රූපය මවාගෙන මම සෙවනැල්ලේ සැඟවුණා. ඒ විතරක් නෙමෙයි, මේ මන්දිරයේ උරුමය විතරක් නෙමෙයි, පරම්පරා දෙකක බලයයි ශක්තියයි මට ඕන වුණේ. මේ තරම් මිනිස්සු සංහාරයක් කළේ ඒ මැණිකේ අයිතිය ලබාගන්නයි. ඒත් අන්තිමේදී... උඹේ ලේ උරුමයේ ශක්තිය මාව පරාද කළා..."
මේඝ එම වෙස්මුහුණ බිම හෙළුවේය. "දැන් උඹේ සෙල්ලම ඉවරයි මුදලිගේ. නීතියට පැනලා යන්න උඹට දැන් ඉඩක් නැහැ."
මන්දිරයෙන් මුදලිගේ රැගෙන යද්දී, මාධව මේඝ දෙසට හැරී සැකයෙන් හා ගෞරවයෙන් මෙසේ ඇසීය. "මේඝ... මුදලිගේ තමයි මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්නේ කියලා උඹ කලින්ම දැනගෙන හිටියද? සුජීවගේ වෙස්මුහුණ දාගෙන ඉන්නේ වෙනත් මිනිහෙක් කියලා උඹ කොහොමද දැනගත්තේ?"
මේඝ සන්සුන්ව තම කබායේ අභ්‍යන්තර සාක්කුවෙන් ලියුම් කවරයක් පිටතට ගත්තේය. "මම අනුමාන කළේ නැහැ මාධව," ඔහු වාර්තාව මාධවගේ අතට දුන්නේය. "එදා මම උඹට දුන්නු කළු ලෝගුකාරයාගේ කෙස් ගස්වල DNA සහ අපේ රසායනාගාරයේ තිබුණු සුජීවගේ DNA අතර කිසිදු ගැලපීමක් තිබුණේ නැහැ. ඒත් ඒ කෙස් ගස් අතර මගේ කෙස් ගස් කිහිපයකුත් තිබුණා. මගේ DNA, සුජීවගේ DNA එක්ක සියයට සියයක් ගැළපුණා. ඒ කියන්නේ, සුජීව තමයි මගේ සැබෑ පියා. ඒ කියන්නෙ කළු ලෝගුව පැළඳගෙන ඉන්නේ වෙන කෙනෙක් බව මට වැටහුණා. ඒ වෙස්මුහුණ මගේ තාත්තාගේ නම විනාශ කරන්න මුදලිගේ පාවිච්චි කරපු ප්‍රයෝගයක්."
මාධව මවිතයෙන් බලා සිටියේය. "මේඝ... උඹ නිකම්ම උරුමක්කාරයෙක් විතරක් නෙමෙයි, උඹ දක්ෂ විමර්ශකයෙක්! මුළු නීතියම අසරණ වෙලා හිටිය මේ ව්‍යාපෘතිය උඹ විසඳුවේ තනියම."
"මම මෙතන්ට ආවේ උරුමය රැකගන්න නෙමේ මාධව. මාව මෙතන්ට ගෙනත් තිබුණේ උරුමය විසඳන්නයි." මේඝ පැවසීය.
"එතකොට කුමාර වීරසිංහ ගැන මොකද කියන්නේ? ඔහු අපේ අංශයේ හිටිය දක්ෂම නිලධාරියා. ඔහු අතුරුදන් වුණේ මේ මන්දිරයේ රහස් සොයන්න ගිහින්. උඹ ඒ ගැන හොයා ගත්තෙ නැහැ නේද?" මාධව ඇසීය.
මේඝ සෙමෙන් තමාගේ සාක්කුවෙන් කුමාර වීරසිංහගේ නිල හැඳුනුම්පත සහ වික්‍රමසිංහ මුදලිගේගේ ඡායාරූපය ගත්තේය. "කුමාර වීරසිංහ අතුරුදන් වුණේ නැහැ මාධව. අපේම දෙපාර්තමේන්තුවේ හිටපු කුමාර වීරසිංහ සහ වික්‍රමසිංහ මුදලිගේ කියන්නේ දෙන්නෙක් නෙමෙයි, එකම කෙනෙක්!" මේඝගේ හඬේ තිබුණේ ගැඹුරු වේදනාවකි. "මෙච්චර කාලයක් හැමෝම රවට්ටලා හැංගි හැංගි හිටිය අපරාධකාරයා කුමාර වීරසිංහ කියන CID නිලධාරියා තමයි. ඔහුම තමයි වික්‍රමසිංහ මුදලිගේ කියන්නෙත්."
මාධවගේ දෑත් වෙව්ලන්නට විය. මේඝ තම පිස්තෝලය බිම තැබීය. "අද මේ නිලධාරියාගේ වෙස් මූණ ගැලවෙද්දී, නීතියට වඩා ලොකු සත්‍යයක් එළි වුණා. මගේ තාත්තා සුජීව මේ දේට කිසිසේත්ම සම්බන්ධ නැහැ. සැබෑ මිනීමරුවා මේ කුමාර වීරසිංහයි. මැණිකේ උරුමය නිසා මගේ අම්මටයි තාත්තාටයි මැරිලත් නිදහසක් ලැබුණේ නැහැ."
පැය ගණනාවක් තිස්සේ මන්දිරයේ පැවති අඳුරු සෙවනැලි පහව ගොස් තිබුණි. එහෙත් මේඝගේ සිතේ තිබූ බර සැහැල්ලු වී නොතිබුණි. "මාධව, නීතියට අනුව වීරසිංහට දඬුවම් කරන්න කලින් මට එක දෙයක් දැනගන්න ඕනේ. වීරසිංහ මගේ තාත්තාගේ හොඳම යාළුවා විදිහට ඉඳලා, ඔහුගේ පරමාර්ථ වෙනුවෙන් තාත්තව මරලා දැම්මා. මට දැනගන්න ඕනේ මූ තාත්තාට කරපු දේ! උඹ ඒක මට මූගේ කටින්ම එළියට අරන් දෙන්න ඕනේ."
*********
නුවරඑළිය පොලිස් මූලස්ථානයේ ඒ අඳුරු කාමරය තුළ වාතය පවා ගන වී තිබුණි. එකම බල්බයකින් නිකුත් වන අඩ අඳුරු ආලෝකය මැද, කුමාර වීරසිංහ වාඩි වී සිටියේය. ඔහුගේ බිඳුණු දත් අතරින් රුධිරය වෑස්සෙමින් තිබුණත්, ඔහු අනුකම්පා විරහිතව සිනාසුණේය. ඒ සිනහව තුළ තිබුණේ මනුෂ්‍යත්වයේ සලකුණක්වත් නැති, යක්ෂාවේශ වූවෙකුගේ උමතු බවකි. ඔහු තම හිස ඔසවා මාධව දෙස බලා හෙමින් හඬ අවදි කළේය. ඒ මොහොතේ එම කාමරයේ රැඳී සිටියේ මාධව, මේඝ සහ කුමාර වීරසිංහ පමණි. නිහඬතාවය කෙතරම් තීව්ර ද යත්, ඔවුන්ගේ හුස්ම හෙළන හඬ පවා බිත්තිවල වැදී දෝංකාර දුනි.
"සුජීව... සුජීව විතරයි මේ රහස් දැනගෙන හිටියේ." කුමාරගේ හඬ වෙව්ලන්නට විය. ඒ පාපොච්චාරණයත් සමඟ අබිරහසේ ගැඹුරුම පතුලේ තිබූ සැබෑ කුරිරුකම නිරුවතින් එළියට පැමිණියේය.
වීරසිංහ මොහොතක් නිහඬව සිටියේය. පසුව, පරාජිත සිනහවක් මුවඟ රඳවා ගනිමින් ඔහු කතාව ඇරඹීය. "සුජීවයි මමයි කියන්නේ කුඩා කල පටන්ම ඉතා සමීප මිතුරන්. අපි හැදුණේ වැඩුනේ එකට, ඉගෙන ගත්තේ එකම පාසලේ. කාලයත් සමඟ ඔහු වෛද්‍යවරයෙක් වුණා, මම CID එකට බැඳුණා. හැරිසන් පරම්පරාවට මැණිකේ එක් කොටසක උරුමය ලැබෙන විට, අනෙක් කොටස භාර වුණේ සුජීවගේ පරම්පරාවටයි. අපි දෙන්නා පොඩි කාලේ ඉඳන්ම ඒ පුරාවෘත්තවල තිබුණ අද්භූත කතා ගැන පරීක්ෂණ කළා. අපි මුලින් හිතුවේ ඒවා නිකම්ම නිකම් ජනප්‍රවාද, අතිශයෝක්තියෙන් පිරුණු බොරු කතා කියලා." ඔහුගේ දෑස් අතීතය සිහිපත් කරමින් තියුණු විය.
"ඒත් එක පාරක්, මම නිදන් මංකොල්ලයක් ගැන පරීක්ෂණයක් පවත්වමින් ඉද්දී, අහම්බෙන් ඒ රහස් ඉතිහාසය ගැන ලියැවුණු පුස්කොළ පොත් කිහිපයක් මට හමු වුණා. ඒ සත්‍යය දැනගත්තම මගේ මුළු ලෝකයම වෙනස් වුණා. ඒ කතා බොරුවක් නෙවෙයි; ඒක මහා බලයක්! පස්සේ මට ඕන වුණේ කොහොම හරි ඒ මැණිකේ පූර්ණ අයිතිය ගන්න. සුජීවගේ නංගිව විවාහ කරගන්න මම හිතුවේ ඇය කෙරෙහි තිබුණු ආදරයකට නෙවෙයි... ඒ මැණිකේ උරුමය මගේ පාලනයට නතු කරගන්න විතරමයි."
කුමාරගේ මුවගට නැඟුණේ තවත් අමානුෂික සහ කපටි සිනහවකි. ඔහු මඳක් ඉදිරියට නැඹුරු වී සිය යක්ෂ සැලැස්ම හෙළි කළේය. "නුවරඑළියේ පැරණි මන්දිරයක මැණිකේ තවත් කොටසක් සැඟවී ඇති බව මම සොයාගත්තා. මම සුජීවවත් සමග ඒ මන්දිරයට ගියේ වෛද්‍ය සමාජ සේවාවක් මුවාවෙන්. ඒ ගැන කිසිවක් නොදැන සිටි සුජීව, වෛද්‍යවරයෙක් නිසාම මා යෝජනා කළ ගමනට කැමැත්තෙන් එකතු වුණා. නමුත්, මම නොදන්නා දෙයක් එතැන තිබුණා. සුජීව ඒ වන විටත් මැණිකේ ඔවුන්ගේ පරම්පරාවට උරුම වූ කොටස සොයාගෙන අවසන්. එම මන්දිරයේදී තමයි සුජීව සහ සුලෝචනා අතරේ දැඩි පෙම් සබඳතාවක් ගොඩනැඟුණේ. මම තමයි ඔවුන් දෙදෙනාව එකතු කළේ, ඔවුන්ව ආදරයෙන් බැඳෙන්න උදව් කළේ. ඒත් ඒ ආදරයට පිටුපසින් තිබුණේ මගේ බලාපොරොත්තුවක්. මට අවශ්‍ය වුණේ පරම්පරා දෙකේම ශක්තිය එකතු වෙලා බිහිවෙන දරුවෙක්. මන්ද, එකී ලේ උරුමය හිමි දරුවාට පමණයි ඒ මහා බලගතු මැණික පාලනය කිරීමේ හැකියාව තිබුණේ. සුජීව සහ සුලෝචනාගේ සම්බන්ධය දුරදිග ගියා. සුලෝචනා මව් පදවිය ලබන්නට සිටින බව අප දැනගත්තේ ඒ දිනවලයි. ඒ රහස දැනගෙන සිටියේ අපි තුන්දෙනා පමණයි. ඒ නිසයි, දරුවා බිහිවීමට පෙර ඉක්මනින්ම විවාහය පවත්වා ගැනීමට සුජීව දැඩි උනන්දුවකින් කටයුතු කළේ."
කුමාර තවත් හුස්මක් ගත්තේය. ඔහුගේ දෑස්වල දැවුණේ මානව දයාව මුළුමනින්ම දැවී ගිය උමතු ගින්නකි. කුමාරගේ මුවග රැඳී තිබූ ඒ අමානුෂික සිනහව මැදින් ඔහු තවදුරටත් කතා කළේය. "ඒ අතරේ මම මගේ නියම සැලැස්ම ක්‍රියාත්මක කළා. මම කිසිම පැකිලීමකින් තොරව සුජීවට වෙඩි තියලා මරලා දැම්මා. කිසිවෙකුටත් සැකයක් නොහිතෙන පරිදි, මම සුජීවගේ ඇඳුම් වෙනත් මළ සිරුරකට අන්දලා, මෝටර් රථයට ගිනි තබා ප්‍රපාතයකට තල්ලු කළා. ඒ වාහනය ගින්නෙන් දැවී අළු වී යද්දී ලෝකයා හිතුවේ සුජීව ඒ තුළ පිළිස්සී මියගිය බවයි. සැබෑ සුජීවගේ සිරුර මම වත්තේ කෙළවරක රහසිගතව වළ දැම්මා. එම අනතුර සම්බන්ධ පරීක්ෂණ සියල්ල මෙහෙයවූයේත් මම නිසා, සාක්ෂි සියල්ල මම ඉතා සූක්ෂමව විනාශ කර දැම්මා."
මේඝගේ ශරීරය කෝපයෙන් වෙව්ලන්නට විය. ඔහුගේ ලේ රත් වී, දෑත් අත් මිටි මොලවා තදින් මිරිකුණි. තම පියාගේ උණුසුම අහිමි කළ, තම පවුලේ සතුට අළු කළ ඒ පාපතරයා, වෙන කවුරුත් නොව තම පියාගේම විශ්වාසවන්ත අතීත මිතුරා බව දැනගත් විට මේඝට වචන අහිමි විය. ඔහුගේ හදවතේ තැන්පත්ව තිබූ වේදනාව, මහා ගිනි ජාලාවක් ලෙස කෝපයෙන් පුපුරා යන්නට විය. එහෙත්, කුමාර වීරසිංහ ඒ කිසිවක් නොදන්නා සේ, උමතුවෙන් මෙන් තම අපරාධවල ඉතිරි කොටස ද දිගටම කියාගෙන ගියේය. ඔහු කිසිදු පසුතැවිල්ලකින් තොරව සිය කුරිරු ඉතිහාසය දිගින් දිගටම වමාරා දැමීය.
"මම සුලෝචනාටත් බොරුවක් කිව්වා. සුජීව මියගිය බවත්, දරුවාට පියෙක් අවශ්‍ය නිසා මාව විවාහ කර ගන්නා ලෙසත් මම ඇයට බල කළා. ඇය ඊට දැඩි ලෙස විරුද්ධ වුණා. අන්තිමේදී, මම ඇයව පැහැරගෙන මන්දිරයේ තිබූ රහස් උමග හරහා රැගෙන ගොස් සඟවා තැබුවා. වසරකට වැඩි කාලයක් ඇයව මම කොටු කරගෙන හිටියා. ඇය දරුවාට උපත දුන්නේ ඒ හුදකලාවේමයි. මේඝ, උඹ මේ ලෝකයට එළිය දැක්කේ මගේ මැදිහත් වීම නිසයි! නමුත්, දරුවා ලැබුණු පසු සුලෝචනා කෙසේ හෝ මගෙන් පැන ගියා. මම ඇයව හෙව්වත් හම්බවුනේ නෑ. මම ඇය ඉන්නෙ මන්දිරේ කියලා දැනගත්තෙ පියදාස මාව හොයාගෙන ආවම. මම ඇයව සොයාගෙන මන්දිරයට එන විට දරුවා එහි සිටියේ නැහැ, සිටියේ සුලෝචනා පමණයි. අපි දෙන්නා අතර බහින් බස්වීමක් ඇති වුණා. මම කෝපයෙන් ඇගේ හිසට පහරක් ගැසුවා... ඇය පණ නැතිව බිම ඇද වැටුණා."
ඔහුගේ හඬ තව තවත් ගොරෝසු විය. "මම ඇගේ දේහය එතැන දමා පියදාස සොයා පිටත් වුණා. ඒ වන විටත් පියදාස දරුවව පිට කරලා. මන් උගෙන් කොච්චර ඇහුවත් මට දරුවා ගැන කිව්වෙ නෑ. මන් කලු ලෝගුව ඇදගෙන හිටිය නිසා ඔහු මාව අදුන ගත්තෙත් නෑ. මට කේන්ති ගිහින් මම ඔහුට ගහලා මැරුවා. නමුත්, මම ආපසු එන විට සුලෝචනාගේ මිනිය එතැන තිබුණේ නැහැ! මම ලේ පැල්ලම් ඔස්සේ ඇයව සොයාගෙන ගියා. ඒ ලේ පැල්ලම් උමග ඇතුළටම ගොස් එක් ස්ථානයක හදිසියේම නැවතුණා. මට ඒ මිනිය කවදාවත් හම්බ වුණේ නැහැ... ඒත් එයා මැරුණා කියලා මම දන්නවා. ඇගේ ආත්මය අදටත් මගේ පස්සෙන් පන්නනවා!"
කාමරයේ සිටි සියල්ලෝම වික්ෂිප්තව, ගල් ගැසී බලා සිටියහ. මේඝගේ මුළු සිරුරම කෝපයෙන් දාහයට පත් විය. තමාගේ මව්පියන්ගේ ඉරණම තීරණය කළේ තමාගේ පියාගේම හොඳම මිතුරා බවත්, තම මවට මෙතරම් අමානුෂික වධ දුන්නේ මොහු බවත් දැනගත් විට මේඝගේ මුළු ලෝකයම කඩා වැටිණි.
ඔහු අකුණක් සේ වේගයෙන් ඉදිරියට පැන කුමාර වීරසිංහගේ කරපටියෙන් අල්ලා ගත්තේය. ඔහුගේ දෑත් වෙව්ලමින් තිබුණේ මහා කෝපයකිනි. "උඹ... මගේ තාත්තාව මරලා, මගේ අම්මාව උමගක හිර කරලා... උඹ නිකම්ම නිකම් මිනීමරුවෙක් නෙමෙයි, උඹ මේ මනුෂ්‍ය වේශයෙන් ඉන්න අංගසම්පූර්ණ යක්ෂයෙක්!"
මේඝ අතේ තිබූ පිස්තෝලය මිට මොළවා තදින් මිරිකා ගත්තේය. ඔහුගේ දෑස්වලින් කඳුළු ගලා හැලෙමින් තිබුණත්, ඔහුගේ අත අඟලක්වත් නොසෙල්වී කුමාරගේ නළල ඉලක්ක කරගෙන තිබුණි. ඒ මරණීය බිය ඉදිරියේ පවා කුමාර වීරසිංහ අමානුෂික ලෙස සිනාසුණේය. එහෙත්, මේඝ අවසන් තීරණය ගැනීමට සැරසෙද්දී මාධව වහාම ඉදිරියට පැන ඔහුව නතර කළේය.
"එපා මේඝ! උඹ මූව මැරුවොත්, උඹත් මූ වගේම මිනීමරුවෙක් වෙනවා. මූට ඕනේ උඹත් වැරදි පාරට වැටෙනවා බලන්නයි. උඹේ තාත්තා සහ අම්මා වෙනුවෙන් උඹ කළ යුතු එකම දේ, නීතිය මගින් මූට සාධාරණ දඬුවම් ලබා දීම විතරයි. අපි මූව නීතියේ රැහැනට හසු කරලා, සදාකාලයටම කූඩුවේ දාමු. ඒක තමයි මේ වගේ යක්ෂයෙකුට ලැබිය යුතු හොඳම දඬුවම!"
මාධවගේ එම වචන මේඝගේ උණුසුම්ව තිබූ ලේ නහර සිසිල් කළේය. ගැඹුරු හුස්මක් ගත් ඔහු, පිස්තෝලය බිම දැම්මේය. කාමරයේ පැවති නිහඬතාවය මහා බරක් මෙන් දැනුණි. සත්‍යය හෙළි වී තිබුණි; නමුත් ඒ සත්‍යයේ බර මේඝට දරාගත නොහැකි තරම් ප්‍රබල විය. සියල්ල හෙළිදරව් වී හමාරය. කුමාර වීරසිංහ හෙවත් වික්‍රමසිංහ මුදලිගේ හිස නමාගෙන සිටියේය. ඔහුගේ ඒ උමතු රංගනය අවසන් වී තිබුණි. නමුත් ඔහු බිම බලාගෙනම මෙසේ කීහ. "ඒ විතරක් නෙමෙයි. මැනිකෙ එක කොටසක් මන් සුජීවගෙන් ගත්තට ඒක පාලනෙ කරන්න මම දැනගෙන හිටියෙ නෑ. ඒ නිසා මම සුජීවගෙ ආත්මෙ හිරකරගෙන වැඩ ගත්තා. එදා මගෙ නලලට මැනික තියලා මතුරනකොට මගෙ ඇගෙන් ඇදිලා මැනික ඇතුලෙ හිර උනේ සුජීවගෙ ආත්මෙ."
එහෙත්, කුමාර වීරසිංහගේ මුවින් පිටවූ අවසාන පාපොච්චාරණය මේඝගේ ලේ නහර කැටි කරවන්නට සමත් විය. තමාගේ සාක්කුවේ තිබූ ඒ මැණික දෙස බැලූ මේඝ ගල් ගැසී ගියේය. ඒ තුළ සිරවී ඇත්තේ තම පියාගේ ආත්මය බව ඔහුට වැටහිණි.
"සුජීව... මගේ තාත්තා?" මේඝගේ හඬ බිඳී ගියේය. "උඹ මගේ තාත්තාව මරලා විතරක් මදිවට, උඹ එයාගේ ආත්මයත් මැණිකේ වහලෙක් කරගත්තා නේද?"
කුමාර වීරසිංහ අමානුෂික ලෙස සිනාසෙමින් බිම වැටී සිටියේය. "ඔව්... අවුරුදු ගණනාවක් තිස්සේ මම එයාව මගේ ඇඟේම කොටසක් වගේ සිරකරගෙන හිටියා. මැණිකේ බලය මට පාලනය කරන්න පුළුවන් වුණේ ඒ නිසා. මගෙන් ගිලිහුනු ගමන් උඹේ තාත්තාගේ ආත්මය අනිවාර්යයෙන්ම මැණිකට ඇදෙනවා කියලා මම දැනගෙන හිටියා..."
*******
මන්දිරයේ පසුපස ගෙවත්තට වැටී තිබුණේ මළගිය දේශයක නිශ්ශබ්දතාවකි. අබලන් වූ ගස් වැල් අතරින් හමා ආ සුළඟ හුදෙක් වායු ධාරාවක්ම නොවීය; එය වසර ගණනාවක් තිස්සේ මේ මිහිපිට සැඟවී තිබූ අඳුරු රහසක විලාපය මෙනි. මාධව සහ මේඝ උදැල්ලත් සවලත් අතැතිව නිහඬවම ඒ පස් තට්ටු හාරන්නට පටන් ගත්හ. සවස් යාමයේ රත් පැහැ හිරු එළිය කෙමෙන් මැකී ගොස්, ලෝකය අඳුරේ ගිලෙමින් තිබුණි.
සවලක් පසට වැදෙන ශබ්දය මන්දිරයේ බිත්තිවල ගැටී භයංකර දෝංකාරයක් නැංවීය. කාලයේ වැලි තලාවෙන් යටපත් වූ අතීතය මතුපිටට ගෙන ඒම පහසු නොවීය. මිනිත්තු කිහිපයකට පසු, යකඩ සවලක් යම් දැඩි වස්තුවක වදින ලෝහමය ශබ්දයක් ඇසුණි. මේඝගේ දෑත් වෙව්ලන්නට විය. හදවතේ ගැස්ම ඔහුටම ඇසෙන්නට තරම් එය තීව්ර විය. ඔහු දණින් වැටී පස් අතින් ඉවත් කළේය. වලාකුළු අතරින් මඳක් මතු වූ සඳ එළිය පස් අතරින් යම් අස්ථි කොටස් කිහිපයක් දර්ශනය කරවීය. ඒ, තමාගේම මිතුරාගේ කුරිරුකම නිසා අවුරුදු ගණනාවකට පෙර මේ මිහිපිට සැඟවී ගිය, මේඝගේ පියා වූ වෛද්‍ය සුජීවගේ අවශේෂයන්ය.
මේඝ දෑස් පියා ගත්තේය. ඔහු ඒ අස්ථි කොටස් මත තම දෑත් තැබීය. එකෙනෙහිම ඔහුට දැනුණේ මහත් ශීතලක් නොව, තමා නොදන්නා පීතෘ ස්නේහයක උණුසුමකි. "තාත්තේ..." මේඝගේ හඬ ගිලී ගියේය. ඔහු ඒ අස්ථි කොටස් ඉතාම පරිස්සමෙන්, හරියටම ජීවමාන පුද්ගලයෙකු ඔසවන සේ අතට ගත්තේය. ඔහු ඒවා තම පපුවට තද කර ගත්තේය.
මේඝ දෑස්වලින් කඳුළු ගලා හැලෙද්දී, මාධව පියවර කිහිපයක් ඉදිරියට පැමිණියේය. ඔහු තම අත් දෙකෙන් පස් සහ දූවිලි තැවරුණු මේඝගේ උරහිස මත මෘදුව අත තැබුවේය. ඒ අතේ තිබුණේ සහෝදරයෙකුගේ සෙනෙහස සහ නිලධාරියෙකුගේ ගෞරවයයි.
"මේඝ, උඹ තනියම නෙවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ මේ මන්දිරයේ තිබුණ අඳුර අද ඉවරයි. උඹේ තාත්තාගේ ආත්මය අද අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා. උඹ කරපු මේ කැපවීම, මේ සටන... ඒක මේ ලෝකේ කිසිම කෙනෙක් නොදන්න වීරකමක්." මාධවගේ හඬෙහි වූයේ අතිශය සංවේදී බවකි.
මේඝ හිස ඔසවා මාධව දෙස බැලුවේය. ඔහුගේ දෑස්වල තිබුණේ අපරිමිත වේදනාවක් සහ ඒ සමඟම පැමිණි සහනයකි. "මාධව, මට තාත්තාව අහිමි වුණා. ඒත් අද මට ඔහු ලැබුණා. මේ අස්ථි ටික මගේ තාත්තාගේ අවසාන මතකයයි."
"අපි මේ ටික ගෞරවයෙන් අරන් යමු," මාධව මෘදුව පවසා ඒ අස්ථි කොටස් සුදු රෙද්දක ඔතන්නට මේඝට උදව් විය. ඔවුන් ඒ සියලු අස්ථි කොටස් ඉතා ගෞරවයෙන් පිරිසිදු සුදු රෙද්දක ඔතා ගත්හ. අද රාත්‍රියේ සුජීවගේ ආත්මයට සැබෑ විමුක්තිය ලැබෙනු ඇත. මන්දිරයේ අඳුරේ වසර ගණනාවක් තිස්සේ මළානිකව තිබූ ඒ ජීවිතය, දැන් සිය පුත්‍රයාගේ ආදරණීය දෑතින් යළිත් ආලෝකයට පැමිණ තිබේ.
"අපි යමු," මේඝ කිසිදු ආවේගයකින් තොරව පැවසීය. මාධව තවමත් මේඝගේ උරහිස මත අත තබාගෙනම ඔහුව දිරිගන්වමින් ඉදිරියට ගමන් කළේය. මේඝ සෙමෙන් ඒ අස්ථි කොටස් සහිත මිටිය තම පපුවට තද කරගෙන, හිරු බැස ගිය අඳුරු අහස දෙස බලා පියවර මැන්නේය. මන්දිරයේ ඒ ශාපලත් අඳුර පිටුපසින් තබා, ඔහු තම පියාගේ ආත්මය නිදහස් කිරීමට නික්ම ගියේය. මාධවගේ උණුසුම් අතෙහි සහය මේඝට මහත් ශක්තියක් විය; අඳුරු අතීතය අවසන් වී අලුත් උදෑසනක් උදාවන බවට ඒ ස්පර්ශය සාක්ෂි දැරීය.
"සීතල මන්දිරයේ අබිරහස විසඳෙයි!" පසුදින උදෑසන පුවත්පත්වල ප්‍රධාන සිරස්තල ලෙස එම පුවත රට පුරා සැරිසැරුවේ අකුණු සැරක් මෙනි. වසර තිහක් තිස්සේ සාහසික අපරාධ රැසක් සිදුකර, නීතියේ ඇස් වසාගෙන සිටි කුමාර වීරසිංහ හෙවත් වික්‍රමසිංහ මුදලිගේ නමැති මිනීමරුවාගේ සැබෑ ස්වරූපය හෙළි වීමත් සමඟ මුළු රටම දැඩි කම්පනයකට පත් විය. පන්සිය ගණනක් නොව, දහස් ගණනක් ජනතාව ඒ අඳුරු ඉතිහාසය දරා සිටි මන්දිරය දෙසට ඇදී ආහ. ඔවුන්ට අවශ්‍ය වූයේ වසර ගණනාවක් තිස්සේ ජන හදවත් බියපත් කළ, අද්භූත සිදුවීම්වලින් පිරුණු ඒ මන්දිරය එකම වරක් හෝ නෙතින් දැක බලා ගැනීමටය. පියදාසගේ ඒ අසරණ කැපකිරීම, සුජීව සහ සුලෝචනාගේ අභාග්‍යසම්පන්න ආදර කතාව සහ අවසානයේ මේඝ විසින් අද්භූත බලවේග පවා පරාජය කරමින් සිදුකළ ඒ මහා සටන ගැන කතා පුවත් මුළු රට පුරාම දසත පැතිර ගියේය.
කෙසේ වෙතත්, මන්දිරයේ දැවැන්ත දොරටු තවදුරටත් අගුලු දමා තිබුණි. පොලිස් නිලධාරීන් මන්දිරය වටා දැඩි ආරක්ෂක වළල්ලක් යොදා තිබුණේ, එහි ඉතිරිව ඇති අවසන් සාක්ෂි ආරක්ෂා කිරීමට සහ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීමටයි. පෙර පැවති අද්භූත සීතල සහ හදවත මිරිකන අඳුරු බව දැන් සම්පූර්ණයෙන්ම අතුරුදන් වී තිබිණි. උදෑසන හිරු රැස් මන්දිරයේ ජනේලවල වීදුරු මත වැදී, ඒවා දියමන්තියක් මෙන් දිලිසෙන්නට විය. මන්දිරයේ වත්තේ තිබූ අඳුරු ස්වභාවයක් ගත් පරණ ගස්වල පවා දැන් පක්ෂීන්ගේ මධුර කූජන ඇසෙයි. මන්දිරය දැන් තවදුරටත් අද්භූත ස්ථානයක් නොව, අතීතයේ දරුණු සිදුවීම් සිදුවූ ඓතිහාසික, ශෝකී ස්මාරකයක් බවට පත්ව තිබුණි.
මේඝ මන්දිරයේ ඉහළ මහලේ තිබූ විශාල ජනේලයක අද්දර සිට මේ සියල්ල දෙස නිශ්ශබ්දව බලා සිටියේය. පිටත රැස්ව සිටින මිනිසුන්ගේ නොනිවෙන කුතුහලය, ඝෝෂාව සහ කැමරා ශබ්ද ඔහුට ඇසෙයි. නමුත් ඔහුගේ සිත තුළ තිබුණේ මහා සාගරයක් වැනි ශාන්තියකි. ඔහු අතේ තිබූ පියාගේ අස්ථි කොටස් ඔතා තිබූ සුදු රෙදි මිටිය පපුවට තද කරගෙන, ඔහු නෙත් පියා ගත්තේය.
"අම්මේ... තාත්තේ... දැන් ඔයාලට නිදහසේ සැතපෙන්න පුළුවන්," ඔහු හෙමින් මුමුණා ගත්තේය. තමා උරුම කරගත් මේ මන්දිරය, තමාගේ ලේ උරුමය, පියාගේ ආත්මය සහ මවගේ අහිංසක මතකයන් සියල්ල ඔහු දැන් තමාගේම හදවතේ සිර කරගෙන සිටී. පිටත සිටින මිනිසුන්ට මෙය හුදෙක් පුවත්පතක පුවතක් පමණක් විය හැකි නමුත්, මේඝට මෙය තම පවුලේ අහිමි වූ ගෞරවය යළි ලැබුණු මොහොතකි. මන්දිරයේ බිත්තිවල තිබූ ශාපය දුරුවී ගොස් ඇත. හිරු එළිය මන්දිරය පුරා පැතිරෙද්දී, මේඝ මඳ සිනහවකින් යුතුව ජනේලයෙන් ඉවතට හැරුණේය. අඳුරු අතීතය වසා දමා, අලුත් ජීවිතයකට පියවර තැබීමට කාලය පැමිණ ඇත.
*******
අඳුරු සිදුවීම් සියල්ල නිමාවී දින කිහිපයකට පසු, මේඝ සිය පවුලේ අයගේ මතකය වෙනුවෙන් ගෞරවනීය අවසානයක් සූදානම් කළේය. මන්දිරයේ පසුපස වත්තට වැටී තිබුණේ අස්ථි පවා සිසිල් කරවන දැඩි සීතලකි. අහසින් වැටෙන මීදුම් පටල, හිම කැට මෙන් දැනෙන සීතල සුළඟ සමඟ මුසුවී වත්ත පුරා අඳුරු වාතාවරණයක් මවා තිබුණි. ඒ දැඩි සීතල මැද, පියදාස, සුලෝචනා සහ සුජීව වෙනුවෙන් ඉදිකළ සොහොන් කොත් තුන වටා පරිසරයම නිහඬව ශෝක වන බවක් දැනුණි. ආගමික වතාවත්වලින් පසු, වසර ගණනාවක් තිස්සේ සැඟවී තිබූ ඔවුන්ගේ අස්ථි අවශේෂයන් ඉතා ගෞරවයෙන් තැන්පත් කෙරිණි.
එදින රාත්‍රියේ, පූර්ණ සඳ උදා වී තිබුණද, පරිසරයේ පවතින දැඩි සීතල තවත් තීව්ර විය. අහසේ තරු පවා මිදී ගිය දියමන්ති මෙන් දිලිසුණි. මේඝ සහ මාධව සෙමෙන් සොහොන් කොත් වෙත පියවර මැන්නේ, සීතලෙන් දෑත් වෙව්ලමිනි. මාධව පසෙකට වී සිටියදී, මේඝ තම කබායේ සාක්කුවෙන් මැණික පිටතට ගත්තේය. එහි තිබූ තීව්ර රතු පැහැය, වටපිටාවේ පවතින දැඩි ශීතල දරාගෙන යම් අභිරහස් දිලිසීමක් පළ කළේය.
මේඝ සුලෝචනාගේ සොහොන් කොත මත මැණික තබා, දණ නමා ගත්තේය. වටපිටාවේ පවතින දැඩි ශීතල පවා ඔහුට නොදැනෙන්නට විය. ඔහු තම දෑත් එකතු කර, කම්මුල් දිගේ කඳුළු වැගිරෙද්දී, හඬ අවදි කළේය. ඔහුගේ දෑස්වලින් කඳුළු ගලා හැලුණත්, ඔහුගේ කටහඬේ තිබුණේ අතීතයේ කඳුළු මතින් ගොඩනැගුණු අභිමානයකි.
"අම්මේ... තාත්තේ... සීයේ... මට ඇහෙනවා. මේ මළගිය දේශයේ නිශ්ශබ්දතාවය ඇතුළේ ඔයාලා හැමෝම මම එනකම් බලාගෙන හිටියා කියලා මට දැනෙනවා. තාත්තේ... ඔයාගේ ජීවිතය මේ අඳුරු බලවේග වෙනුවෙන් බිලි දුන්නේ, මගේ අනාගතය වෙනුවෙන් කියලා මම දන්නවා. අද මම ඒ අනාගතය අරගෙන ඇවිත් තියෙනවා. මම ඔයාගේ උරුමය බේරගත්තා. අම්මේ... ඔයා විඳපු වධ වේදනා, ඒ අඳුරු උමග ඇතුළේ ඔබ මාව රැකගන්න දරපු ඒ මහා වෙහෙස... මම ඒ හැම දෙයක්ම අද මේ මහපොළොවට මුසු කරනවා. ඔයා මාව මේ ලෝකෙට බිහිකළේ ලේ කඳුළු මැද්දේ, ඒත් අද මම ඔයාව නිදහස් කරන්නේ මල් සුවඳක් වගේ ඒ ආදරේ විඳගන්නයි. සීයේ... පියදාස... ඔබ ගත් ඒ අභීත තීරණය නිසා තමයි අද මේ පවුලේ නම යළිත් ආලෝකයට ආවේ. ඔයාලා තුන් දෙනාම මේ අඳුරු මැණිකේ හිරවෙලා හිටියේ වසර තිහක්... ඒක ආත්මයකට දරාගන්න පුළුවන් වධයක් නෙමෙයි. ඒත් අදින් පස්සේ මේ ශාපය අවසන්."
මේඝගේ කඳුළු බිඳු මැණික මත පතිත වී අයිස් මත දියවන පිනි බිඳු මෙන් දීප්තිමත් විය. "මම ඔයාලට ආදරෙයි. ඔයාලගෙ ආදරේ තමයි මාව මේ සාපය මැද්දේ පවා ජීවත් කළේ. දැන් ඔයාලා නිදහස්. දැන් කිසිම බාධාවක්, කිසිම අඳුරක් ඔයාලාව මගෙන් හෝ මේ ලෝකයෙන් වෙන් කරන්නේ නැහැ. ඔයාලා යන්න... මේ මන්දිරයේ අඳුර තවදුරටත් ඔයාලගේ නෙමෙයි. අහස උරුම කරගන්න... ඔයාලා යන්න ඕනේ තැනට යන්න. මම මේ ලෝකයේ තනියම හිටියත්, ඔයාලා මගේ රුධිරයේ, මගේ හුස්මේ හැමදාමත් ජීවත් වෙනවා. අදින් පස්සේ අපි අතර තියෙන්නේ දුකක් නෙමෙයි, සදාකාලික සාමය විතරයි."
ඔහු නැගී සිටි විට, දශක තුනක් තිස්සේ මන්දිරයේ පැවති අඳුරු බර සැහැල්ලු වී යන බවක් දැනුණි. ඒ වචන ටික, මළගිය උදවියට පමණක් නොව, මේඝගේ හදවතේ දශක ගණනාවක් තිස්සේ සිරවී තිබූ මහා බරකට ද ලබා දුන් විමුක්තියක් විය.
මේඝ තම කබායේ සාක්කුවෙන් කුඩා පිහියක් ගෙන දකුණු අතේ මහපට ඇඟිල්ලේ සියුම් කැපුමක් ඇති කළේය. රතු පැහැති රුධිර බිංදු කිහිපයක් මැණික මත පතිත විය. ඒ රුධිරයේ උණුසුම, වටපිටාවේ පවතින අතිශය ශීතල පරිසරය සමඟ ගැටෙමින් මහා ශක්තියක් මුදා හැරියේය. ක්ෂණයකින්, මැණිකෙන් මීට පෙර කිසිදා නොදුටු තීව්ර, රන්වන් පැහැති ආලෝක ධාරාවක් අහස දෙසට විහිදී ගියේය. මැණිකේ අභ්‍යන්තරයේ සිරවී තිබූ ආත්මයන්, ආලෝකයේ රේඛා ලෙස එකින් එක නිදහස් වී එළියට පැමිණියහ.
පරිසරයේ පවතින දැඩි ශීතල පවා මැඬපවත්වමින්, මැණිකෙන් විහිදුණු ඒ රන්වන් ආලෝක ධාරාව අහස සිඹගන්නා තරම් උස් විය. ඒ ආලෝකයේ දියමන්තියක් වන් දීප්තිය මැදින්, නොපැහැදිලි රූපරාමුවක් මෙන් පියදාස, සුලෝචනා සහ සුජීවගේ ආත්මයන් මතු විය.
මේඝ දෑස් දල්වා බලා සිටියේය. වසර තිහක් තිස්සේ මනසේ සිතුවම් කළ ඒ මුහුණු, දැන් ඔහුගේ ඇස් ඉදිරිපිට ජීවමාන ආලෝකයක් ලෙස පැවතීම ඔහුගේ හදවත පසාරු කරගෙන ගියේය. සුලෝචනාගේ දෑස්වල තිබුණේ දිය පහරක් වැනි කරුණාවකි; ඇය සෙමෙන් ඉදිරියට විත් තම දෑත් මේඝගේ මුහුණට ළං කළාය. ඇය ස්පර්ශ කළේ ඔහුගේ සම නොව, ඔහුගේ ආත්මයයි. ඒ ස්පර්ශය තුළින් ඔහුට දැනුණේ මවකගේ සියලු විරහ වේදනා නිමාවූ පරම සතුටයි.
සුජීව දෙස බලද්දී, ඔහු තම පුතු තුළින් තමාගේම අභීතකම දැක සිනාසුණේය. ඔහු කිසිවක් නොපැවසුවද, ඔහුගේ දෑස් තුළින් "මගේ පුතා, මගේ රුධිරය, මම ඔබ ගැන ආඩම්බර වෙමි" යන උත්තරීතර හැඟීම මේඝගේ හදවතේ තැන්පත් විය. පියදාස තම දෑත් එකතු කර, ඒ උරුමක්කාරයාට දෙන ආශිර්වාදය තුළින් වසර තිහක සාපය මුළුමනින්ම උගුල්ලා දැමීය. සුලෝචනා සිය මෘදු දෑත් මේඝගේ හිස මත තැබුවාය. ඒ මොහොතේ, මන්දිරයේ වත්ත පුරා තිබූ දැඩි ශීතල මුළුමනින්ම අතුරුදන් වී, අතිශය මධුර වූ, මල් සුවඳින් පිරුණු උණුසුමක් ගලා ආවේය.
"පුතේ..." මවගේ හඬ අහසින් හමන මඳ සුළඟක් මෙන් මේඝගේ කනට ඇසුණි. "අපි ඔයාව දාලා යන්නේ නැහැ. අපි හැමදාම ඔයාගේ හුස්ම තුළ, ඔයාගේ හද ගැස්ම තුළ ජීවත් වෙනවා. අඳුර අවසන්... දැන් ඔයාට අලුත් අහසක් උරුමයි."
ඔවුන් තිදෙනා රන්වන් ආලෝකයේ බිඳී යමින් සෙමෙන් වාතයට මුසුවිය. ඔවුන් මේඝ දෙසට හැරී අවසාන වතාවටත් සිනාසුණහ. ඒ සිනහවේ තිබුණේ මිහිපිට සැරිසැරූ සියලු අඳුරු මතකයන් පිරිසිදු කර ගත් පරම පවිත්රතාවයකි. අහස උසට නැඟුණු ඒ ආලෝකය තරු පිරුණු අහසට දිය වෙද්දී, මන්දිරයේ වත්ත පුරා අද්භූත ආලෝක බිඳු විසිරී ගියේය. මාධව අසල සිට බලා සිටියේය. ඔහුට ඒ ආත්මයන් නොපෙනුනද, මේඝගේ මුහුණේ ඇති වූ ඒ අමුතුම ආකාරයේ සන්සුන් සහ දිව්‍යමය සිනහව ඔහුට දැකගත හැකි විය. මේඝ තමා ඉදිරියේ ඇති ශුන්‍ය අවකාශය දෙස බලා සිටියේ, තම පවුලේ උරුමය සදහටම අහසේ තරු අතර තැන්පත් කළ බව දනිමිනි.
සොහොන් කොත් අසල තිබූ ඒ මහා නිශ්ශබ්දතාවය බිඳමින් මේඝ මැණික පොළොව මත තැබීය. ඔහුගේ දෑත් වෙව්ලමින් තිබුණද, ඒ දෑසෙහි වූයේ දැඩි අධිෂ්ඨානයකි. ඔහුගේ දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් තවමත් රුධිරය ගලා එමින් තිබුනි. ඒ රුධිරය මැණික මත පතිත වෙද්දී, ඔහු සිය හඬ අවදි කර මනුෂ්‍ය කනකට නුහුරු ඒ භයානක මන්ත්‍රය මතුරන්නට විය.
මේඝගේ කටහඬ වතුයාය පුරා දෝංකාර දුනි. අසල සිටි මාධව විස්මයෙන් සහ තැතිගැන්මෙන් ගල් ගැසී බලා සිටියේය. මන්ත්‍රයේ බලය තීව්ර වෙද්දී මැණිකෙන් මහා ආලෝකයක් පිටවන්නට විය. එය අවට තිබූ අඳුර පවා පරදා හිරු එළියටත් වඩා දීප්තිමත් විය. මැණික දරුණු ලෙස කම්පනය වන්නට පටන් ගත්තේය. ඉන් පිටවූ ප්‍රබල ශක්ති තරංගවලට මාධව තත්පරයකින් පිටුපසට විසි වී ගියේය. ඒ සමඟම මුළු පරිසරයම එකවරම වෙනස් විය; අහස කළුවී මහා වැස්සක් ඇද හැලෙන්නට විය.
මැණික වටා ඇති වූ ඒ මහා කම්පනය නිසා එය කුඩා කැබලි දහස් ගණනකට කැඩී ගියේය. ඒ කැබලි පොළොව තුළට කිඳා බසිමින් දියවී ගියාක් මෙන් පස් සමඟ මිශ්‍ර විය. මැණිකේ තිබූ අද්භූත ශක්තිය සදහටම අතුරුදන් විය.
වර්ෂාව මැදින් නැගී සිටි මාධව, මඩේ දණ ඔබාගෙන සිටි මේඝ දෙසට දිව ගියේය. "මේඝ! උඹ මේ මොකද කළේ? මේක උබේ පරම්පරාවෙන් උබට උරුම වුණු දේපලක් නේ! ඇයි උඹ මේක විනාශ කර දැම්මේ?"
මේඝ වැස්සේ තෙමෙමින්, තම දෑතින්ම පොළොවේ පස් අතගාමින් සන්සුන්ව මාධව දෙස බැලුවේය. ඔහුගේ දෑසෙහි තිබූ වේදනාව දැන් පහව ගොස් තිබුණි.
"මාධව, මේ මැණික මම අද විනාශ නොකළොත්, තවත් කාලෙකට මේක මහා සාපයක් වෙලා මනුෂ්‍ය වර්ගයා විනාශ කරනවා. මිනිස්සුන්ගෙ හිතේ පවතින ක්‍රෝධය, වෛරය, ඊර්ෂාව, බය වැනි අශුභ ශක්තීන්ගෙන් මේක තව තවත් බලවත් වෙනවා. ආයෙත් කාලයක් යනකන් මේක පාලනය කරන්නවත්, විනාශ කරන්නවත් මේ පෘථිවියේ කෙනෙක් බිහි වෙන්නේ නැහැ. මේක තමයි මට ලැබුණ අවසාන හා එකම අවස්ථාව. සොබාදහමේ නීතියට පිටින් යන කිසිම දෙයක් මේ මිහිපිට පවතින්න හොඳ නැහැ මාධව... ඒ හැම දෙයක්ම අයිති වෙන්න ඕනේ අයිති විය යුතු තැනටමයි."
"උඹ හරි මේඝ. දැන් ඔක්කොම ඉවරයි..." මාධව මෘදුව පැවසීය. මේඝ තම දෑස් පිසදා ගත්තේය. වසර තිහක සාපය සහ වේදනාව අහසට දිය වී ගොස් තිබුණි. අහසේ තරු තවදුරටත් අඳුරු නොවීය. ඒවා ඔහුගේ පවුලේ අයගේ ආශිර්වාදයේ එළිය මෙන් දිලිසෙමින් තිබිණි.
එම වචන සමඟ මේඝ නැගී සිටියේය. වර්ෂාව අතරින් ඔවුන් දෙදෙනා මන්දිරය දෙසට ඇවිද යද්දී, පොළොව යට පස් අතරේ මැණිකේ අවසන් ශේෂයන්ද පස් බවටම පත්වී හමාර විය. සාපය සදහටම නිමාවී තිබුණි.
******
මන්දිරයේ පැරණි පඩිපෙළ මතින් ඇසෙන හුරුපුරුදු අඩි ශබ්දය මේඝගේ නින්ද බිඳ දැමුවේය. එය මාධවගේ වේගවත් සහ තීරණාත්මක පියවර ශබ්දය බව මේඝ හොඳින්ම දැන සිටියේය. සුලෝචනාගේ කාමරයේ දොර විවර කරමින් මාධව ඇතුළු වූයේ කලබලයෙනි.
"නැගිටපන් යකෝ! දැන් වෙලාව 11ත් පහු වෙලා!" මාධව හඬගෑවේය. ඔහු අතේ තිබූ පුවත්පතක ප්‍රධාන සිරස්තලය වූයේ 'සීතල මන්දිරයේ අබිරහස විසඳූ වීරයා - මේඝ' යන්නයි.
මේඝ ඇස් අඩවන් කරගෙන නැගිට්ටේය. ඔහුට තවමත් දැනෙන්නේ පියාගේ සහ මවගේ සුවඳ දැනෙමින් තිබුණි.
"අද උඹේ අලුත් ජීවිතේ පළමු දවස. දෙපාර්තමේන්තුවෙන් උඹව පිළිගන්න බලන් ඉන්නවා. අද ඉඳන් උඹ සී.අයි.ඩී (CID) එකේ ලොක්කා! මේ පරණ දේවල් ඔක්කොම ඉවරයි, දැන් හිත යොමු කරපන් උඹේ අලුත් වගකීමට. හරිහමන් විදියට ලෑස්ති වෙයන්කො, බලාගෙන ඉන්නවා මම පහළ!"
මාධව කාමරයෙන් පිටතට ගියේ මේඝට ඉක්මනින් සූදානම් වීමට ඉඩ තබමිනි.
මේඝ කණ්ණාඩිය ඉදිරියට ගියේය. තමාගේ මුහුණේ තිබූ ඒ අඳුරු සෙවනැලි මැකී ගොස් දැන් ඇත්තේ අලුත් අධිෂ්ඨානයකි. වසර ගණනාවකට පසු නිලඇදුමෙන් ඔහුව දුටු විට ඔහුගේ හිතට නිහතමානී අභිමානයක් ඇතිවිය. ඔහු තම කබාය පැළඳ ගත්තේය. මන්දිරයේ බිත්තිවල තිබූ ශාපය දුරුවී ගොස් ඇත. වසර තිහක අඳුර නිමා කර, අලුත් හිරු එළියක් සමඟ මේඝ දැන් නීතියේ සහ සාධාරණයේ මුරදේවතාවා ලෙස සී.අයි.ඩී එකට පා තබන්නට සූදානම්ය.
ඔහු සුලෝචනාගේ කාමරයෙන් පිටතට පැමිණ, මන්දිරයේ පහත මාලය දෙස බලා සිනාසුණේය. සියල්ල අවසන්ය. සියල්ල අලුත්ය. මේඝ පඩිපෙළ බැස එද්දී, දොරටුව අසල පෙළ ගැසී සිටි ආරක්ෂක නිලධාරීන් ඔහුට ගෞරවාන්විතව ආචාර කළහ. ඔවුන්ගේ දෑස්වල තිබුණේ මහත් ගෞරවයකි. මන්දිරය දෙස බැලූ විට, එය හුදෙක් ගොඩනැගිල්ලක් නොව, හැරිසන් පරම්පරාවේ ගෞරවය නැවත තහවුරු කළ අභිමානවත් ස්මාරකයක් ලෙස නැගී සිටියේය. පෙර විනාශ වී තිබූ ස්ථාන අද අලුතින් අලංකාර වී ඇත. සීතල මන්දිරය අභිමානවත් ලෙස නැවත නැගී සිට අවසන්ය.
ප්‍රධාන දොරටුව අසල නවීනතම සුඛෝපභෝගී රථ පෙළක් ඔහු එනතුරු බලා සිටියේය. මේඝ රථයට නැගුණේ තමා ලැබූ උසස්වීම බාර ගැනීමට සී.අයි.ඩී (CID) මූලස්ථානය බලා යාමටය. රථ පෙළ මන්දිරයේ විශාල ගේට්ටුවෙන් පිටතට දාවනය වෙද්දී, ඔහු තම වත්තේ එක් කොටසක ඉදි කළ ප්‍රජා රෝහල දෙස බැලුවේය. එය හුදෙක් ගොඩනැගිල්ලක් නොව, තම මවගේ සහ පියාගේ උතුම් ප්‍රාර්ථනාවන්ගේ ප්‍රතිමූර්තියයි. රෝහල් දොරටුව අසල මිනිසුන් පිරි සිටිනුත්, ඔවුන්ට මනුෂ්‍යත්වයේ සේවය ලැබෙනුත් දැකීමෙන් මේඝගේ හදවත සතුටින් පිරී ගියේය. දශක ගණනාවක් තිස්සේ අඳුරු සෙවනැලි යටතේ අකර්මන්‍යව තිබූ හැරිසන් වතු යාය, අද දහවල් හිරු එළියෙන් බබළයි. මිනිසුන් කිසිදු බියක් සැකක් නොමැතිව, සිනහමුසු මුහුණින් වතු යායේ ඇවිද යනු දැකීම ඔහු ලැබූ ලොකුම ජයග්‍රහණය විය.
රථය අධිවේගී මාර්ගයට පිවිසෙද්දී, මේඝ ජනේලයෙන් පිටත අහස දෙස බැලුවේය. අද අහස නිල් පැහැයෙන් බබළයි. ඔහු තමාගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ තිබූ කුඩා කැළල දෙස බැලුවේය. එය ඔහුට සිහිපත් කරන්නේ මැණිකේ ශාපය නොව, ඔහු තම පවුල වෙනුවෙන් කළ කැපකිරීම සහ ලබාගත් නිදහසයි. සී.අයි.ඩී මූලස්ථානයට ළඟා වෙද්දී මේඝගේ මුහුණේ තිබුණේ නීතියේ සහ යුක්තියේ සැබෑ නියෝජිතයෙකුගේ අභිමානයයි. හැරිසන් පරම්පරාවේ ඉතිහාසය දැන් අඳුරෙන් මිදී ආලෝකයෙන් ලියැවෙමින් පවතී. අතීතයේ කඳුළු, වේදනාව සහ ශාපය අවසන් වී, දැන් උදාවී ඇත්තේ සාමය සහ සෞභාග්‍යය පිරි නව යුගයකි
නිමි.
*****
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


This comment has been removed by the author.
ReplyDeleteKathawa marama lassanayi
ReplyDeleteHithuwe nathi asawasanayak. Mula idanuth kathawa lassanayi. Awasane ita wada lassanayi. ❤️ Supiri. Hithuwa de neme une. Hitha ganna bari deyak une. Hithuwewath na wikkamsinha kalu logukaraya kiyalawath. Godariyak lassanayi ❤️❤️❤️
thank you nangiyoo 😀😀😀
DeleteLassana awasanayak ekka hitapu nathi tharam kuthuhalaya pirunu sampuurna yatharthawadi kathawak.heena loka wala,surangana katha walata wada thrasaya abhirahas supiri nirmanayak.eelaga nirmanen ikmanata hamuwemu.♥️♥️👍👍👍👍
ReplyDeletethank you 🤭🤭🤭🤭
Delete