දඟකාර ආඩම්බරී 1

"ක්රිෂී, තමුසෙ දන්නවද? මම කවදාවත් තමුසෙට ආදරේ කළෙත් නෑ... කරන්නෙත් නෑ..."
"ඉඳුවර, ඔයා... ඔයා... මොනවද මේ කියන්නෙ ඉඳුවර? මට හිතාගන්නවත් බෑ. දෙයියනේ, ඔයා මට ආදරේ කළත් නැත්නම්, කරන්නෙත් නැත්නම් ඇයි ඔයා මෙච්චර මගෙ පස්සෙන් ආවේ? ඇයි මට ආදරේ කරනවා, මට ඔයා නැති ලෝකයක් නෑ ක්රිෂී කිය කියා දහඅතේ දිවුරුවේ? ඇයි ඉඳුවර? ඒ ඇයි?"
"ක්රිෂී, ඉස්සෙල්ලා තමුසෙගෙ තත්ත්වෙ තේරුම් ගන්නවා. තමුසෙ කෙල්ලෙක්ද, කොල්ලෙක්ද කියලා හොඳට හිතලා බලනවා."
"එතකොට ඔයා මට ආදරේ කළේ බොරුවටද ඉඳුවර?"
"අන්න දැන් තමයි ක්රිෂී ඔයා නියම පොයින්ට් එකට ආවේ. මෙන්න මෙහෙමයි ඩාලිං සිද්ධිය වුණේ."
මං දිහා මහා චාටර් විදිහට බලලා අමුතු හිනාවක් දාන ගමන් ඉඳුවර කිව්වේ මහ අමුතු විදිහටය.
"ක්රිෂී අපි යමු, මම දන්නවනෙ උඹේ හැටි."
මගෙ අතින් අදින ගමන් සාදි කෑගහනවා. ඒකී නම් ඉඳුවරව සත පහකටවත් ගණන් ගන්නේ නැත.
"නෑ සාදි, පොඩ්ඩක් හිටපන්. මේ සිද්ධිය අපි මෙතනින්ම ඉවර කරගෙන යමු. ඉඳුවර ඔයා කියන්න."
"ඔයා දන්නවනෙ ක්රිෂී, ඔයාට තියෙන ඔය ලස්සන හින්දා ඔයාට කොල්ලෝ කී දෙනෙක් නම් පැණි පෙරුවද? ඒත් ඔයා උන් එකෙක්ටවත් අල්ලන්න පුළුවන් වෙච්ච කෙල්ලෙක් නෙමෙයි. මේ මීගමු කලාපෙම ඔයා ප්රසිද්ධ වුණේ 'ආඩම්බරී' කියලා. හැම කොල්ලම කතා කළේ ඔයාව කිසිම දවසක අල්ලන්න බැරි කෙල්ලෙක් විදිහට. ඔයා දන්නවනෙ මම ඔය 'බෑ' කියන දේවල් කරන්න ගොඩක් ආසයි කියලා."
"ඉඳුවර, උඹ ඕක නවත්තනවද නැද්ද? උඹ හදන්නෙ මේ වැටිලා ඉන්න කෙල්ලව තවත් වට්ටලා දාන්නද? එකක් මතක තියාගනින්, මේ කරපු අපරාදෙට තොට වැහි නැති හෙන ගහනවා. යමන් ක්රිෂී යන්න, මේ පොලොස් කොට්ටෝරුවා එක්ක තවත් මොනවා කතා කරන්නද? මුන් වගේ උන් පොල්පිත්තෙන් කපාගත්තැකි."
මම දැන් ඉන්නෙ බිංදුවටම වැටිලා කියලා සාදි හොඳටම තේරුම් අරන් තිබ්බා. ඒකී විතරයි දන්නෙ මම ඉඳුවරට කොච්චර ආදරය කරනවද කියලා. ඒ ආදරේ හින්දා මම දුක් විඳපු තරම දන්නෙත් ඒකිම තමයි. මේ වැදිච්ච පාරෙන් ආයේ මට ගොඩ එන්න අමාරුයි කියලත් ඒකිට ගානට තේරිලා තිබුණා. ඉඳුවර කියපු ඒවා එක්ක බලනකොට කතාවේ ඉතුරු ටික මට තේරුණත්, මට තිබ්බේ ඒක ඉඳුවරගෙන්ම දැනගන්න ඕන කමක්. සාදියා මේ කියවන එකෙන් මට ඒ අවස්ථාව නැතිවෙයි කියලා මාරම බයක් මගෙ හිතට ආවේ.
"සාදි... උඹ මගේ හොඳ යාළුවෙක් නම් කට පියන් ඉඳපන්. නැත්නම් මම උඹ ගැනත් හිතාගන්නම්."
සාදිගෙ මූණ හතරැස් වෙනවා දැක්කත්, මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුණේ නැත. "සොරිම තමා සාදි."
"ඉඳුවර ඔයා කියන්න."
"මේ සාදි..."
"නෑ, ආයෙ සාදි ඔයාට උදැල්ල දාන්නෙ නෑ. එහෙම වුණොත් මම ඒක ගැන බලාගන්නම්. ඔයා කතාවෙ ඉතුරු ටික කියන්න."
"එහෙනම් මම නවත්තපු තැනින් පටන් ගන්නම් නේද, ඩාලිං?"
එහෙම කියන ගමන් ඉඳුවර ආයෙත් අර ඉස්සෙල්ලා දැම්ම හිනාවම මූණ මැද්දට ගන්නවා මම දැක්කත්, මම කළේ සුදුම සුදු පාටට රැල්ල ගහන මුහුද දිහා බලාගෙන "හා" කියලා කියපු එක විතරයි.
"ඉතින් දවසක් අපේ කොල්ලෝ සෙට් එක ඔට්ටුවක් දැම්මා. ඒ තමයි ඔයාගෙන් කැමැත්ත ගන්න කොල්ලට අනිවාර්යයෙන්ම 'වික්රමසිංහ හෝටෙල්' එකෙන් බඩ කට පිරෙන්න කන්න අරන් දෙනවා කියලා. ඒත් එකෙක්වත් ඒකට ඉදිරිපත් වුණේ නෑ. මම කිව්වනේ මම බෑ කියන දේවල් කරන්න මාර ආසයි, ඔයත් ඒක දන්නවනෙ ක්රිෂී. ඉතින් මම පැනපු ගමන් ඒ බෙට් එක බාරගත්තා. ගත්තා වගේම මම ඒක කළා. දැන් ඉතින් අපේ උන් මට වික්රමසිංහෙන් අම්බානකට කන්න අරන් දෙයි."
"ඔයා කියලා ඉවරද ඉඳුවර?"
කොච්චර වැටිලා හිටියත් මමත් කියන්න තියෙන දේ කියන ජාතියේ කෙල්ලෙක්. ඒ වගේම මට ඉඳුවරගෙන් දැනගන්න දේවල් ටිකකුත් තිබුණා. ඒකයි මම ඉඳුවර කියලා ඉවර වුණ ගමන් ඒ වගේ ප්රශ්නයක් දැම්මේ.
"ඇත්තටම ඔව් ක්රිෂී."
"එහෙනම් මම ඔයාගෙන් පුංචිම පුංචි ප්රශ්නයක් අහන්නද?"
"අහන්න ක්රිෂී, අහන්න පැටියෝ."
ඇත්තටම මම මෙච්චරකල් පණ ඇරලා ආදරේ කළේ මේ වගේ මැටි කොකෙක්ටද කියලා හිතෙනකොට මට මං ගැනම කලකිරීමක් ඇති වුණා.
"ඇත්තටම ඔයාගෙ හිතේ මං ගැන පුංචි ආදරයක්වත් තිබුණෙ නැද්ද?"
මම අහපු ප්රශ්නයට සාදි අප්සෙට් යනවත්, ඉඳුවරගේ මූණට ආයෙත් චාටර් හිනාවක් එනවත් මම මාරුවෙන් මාරුවට දැක්කා.
"ඒකනේ කෙල්ලෙ මම මෙච්චර වෙලා කිව්වේ, ඔයාට ඒක..."
"ඒකට හේතුව?"
ඉඳුවරට වෙන මුකුත් කියන්න දෙන්නෙ නැතුව මම ආයෙත් ප්රශ්නයක් ඇහුවා. මම ඒක අහපු විදිහට ඉඳුවර අවුල් වෙනවා මම ඊළඟ තප්පරේදී දැක්කා.
"ක්රිෂී ඔයා..."
"ඉඳුවර, මම අහපු එකට උත්තර දෙන්න. මට වෙන අනං මනං එපා."
මම ආයෙත් කියපු දෙයින් ඉඳුවර තව තවත් අවුල් වුණත් ආයෙත් එයා ට්රැක් එකට ආවා.
"මේකයි ක්රිෂී, මගේ හිතේ ඉන්න කෙල්ල ඔයා නෙමෙයි. මගෙ හිතේ ඉන්නෙ සුරංගනාවියක් වගේ කෙල්ලෙක්. ඒ කියන්නෙ ගෑනියෙකුට තියෙන්න ඕන හැම දෙයක්ම තියෙන කෙනෙක්. කොටින්ම කියනවා නම් පංචකල්යාණියක්, නැතුව තවත් පිරිමියෙක් නෙමෙයි. බලන් ගියහම ඕවා ඔයාට කියන මටත් පිස්සුද මන්දා... මොකද ඕවා ඔයාට තේරෙයිද කවුද දන්නෙ? හැබැයි මම ඔයාට එකක් කියන්නම්, ඔයාට කොල්ලෙක්ට වඩා ලව් කරන්න ගැලපෙන්නෙ කෙල්ලෙක්. මම හරි නේද සාදි?"
සාදි බුම්මගෙන අහක බලාගත්තා. ඒකි හිතනවා ඇති, මූ පංචකල්යාණියෝ ගැන කියෙව්වට ඒ ලක්ෂණ ටිකවත් දන්නවද දන්නෙ නෑ කියලා. මේ ප්රශ්නය ඇති වුණේ මට නෙමෙයි නම් මටත් එහෙම හිතන්න තිබුණා සාදි. මොනවා කරන්නද? කතා කරන්න එපා කියපු නිසා ඒකි මාත් එක්ක ඔරොප්පු මූඩ් වගේ. හැබැයි ඉඳුවර කියපු දෙයින් මගේ තිබුණ අන්තිම ධෛර්යයත් කෑලි කෑලිවලට කැඩිලා ගියා කියලා නම් මට එළකිරි වගේ කිව්වැකි.
"මම හිතන්නෙ ක්රිෂීට මගෙන් දැනගන්න තියෙන දේවල් ඉවරයි වගේ. එහෙනම් මම කැපෙනවා වික්රමසිංහ පැත්තට. කොල්ලෝ මම එනකම් සැදී පැහැදී බලාගෙන ඇති."
එහෙම කියලා ඉඳුවර යන්න හැරුණා. ඒත් එයාට කොහොමද එහෙම යන්න දෙන්නේ? තව කොච්චර දේවල් දැනගන්න තියෙනවද?
"නෑ ඉඳුවර, මට තව දැනගන්න දෙයක් තියෙනවා. තව පුංචිම පුංචි ප්රශ්න වගයක්."
යන්න ගිය ඉඳුවර ආපහු හැරිලා අපි ඉන්න තැනට ආවේ, එයත් එක්ක ආපු, මෙච්චර වෙලා මෙතන වෙන්නෙ මොනවද කියලා ඈතට වෙලා බලාගෙන හිටපු රන්දිකටත් එන්න කියලා අතින් කියන ගමන්.
"මොනවද ක්රිෂී තව දැනගන්න තියෙන්නෙ? මම රනියටත් එන්න කිව්වේ ඌත් මෙතන වෙන දේවල් දැනගන්න ඕනා. නැත්නම් කොල්ලෝ සෙට් එක කියයි මම උන්ට බොරුව දානවා කියලා. ඔයාට අවුලක් නෑනේ නේද?"
"නෑ, එහෙම අවුලක් නෑ."
කොච්චර හිත ඇතුළෙන් ඇඬුවත් ඉඳුවර ඉස්සරහා එක කඳුළු බිංදුවක්වත් වැටෙන්න මම පුංචි ඉඩක් තිබ්බේ නැත.
"කියන්න තියෙන මඟුලක් ඉක්මනට කියන්න, අහන්න තියෙන දෙයක් ඉක්මනට අහන්න. මොකද මට තවත් මෙතන ලේට් වෙන්න බෑ. ඒකෙන් වෙන්නෙ මගෙ ඔට්ටුව මට ලැබෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන එක."
මෙච්චර වෙලා ඈතට වෙලා හිටපු රන්දිකත් දැන් මෙතන. ඒ කියන්නෙ හෙට උදේ වෙනකොට මේ ආරංචිය මේ මීගමු කලාපෙම පැතිරිලා තියෙයි. අදින් පස්සෙ මේ අහිංසක කිරිල්ලිට කවදාවත් නිදහසේ මේ ඒරියා එකේ ඉගිල්ලෙන්න බැරි වෙයි. තටු කපලා දාපු පුංචි ගිරවියෙක් වගේ කූඩුව ඇතුළටම වෙලා ඉන්න වෙයි. කරන්න දෙයක් නෑ. මුළු හදින්ම පෙම් කළ වරදටනේ මෙහෙම වුණේ. ඕක තමයි කියන්නෙ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනම නෑ කියලා.
"එක්ස්කියුස් මී... ප්ලීස් ඉක්මනට."
ආයෙත් ඉඳුවරගෙ කටහඬ ඇහුණා විතරයි මම මේ ලෝකෙට ආවා. හිතේ තියෙන අන්තිම පිට් එක දාලා හරි මම මේ ටික අහනවා කියලා හිතාගත්තා.
"ඉඳුවර, ඔයා මට මේක කියන්න අදම තෝරාගත්තේ ඇයි?"
"අයියෝ... ඕකද ඔයාගෙ මහ ලොකු ප්රශ්නය? මේකනේ බබා, ඔයා මට කැමති වුණේ දැනට මාස තුනකට කලින් නේද? මට හිතුණා දැන් මේක ඇදගෙන ආව දුර ඇති කියලා. අපි සති දෙකකින් විතර මීට් වුණෙත් අදනේ. ඒ කියන්නෙ අපේ එක්සෑම් ඉවර වුණ දවසෙ. ඉතින් මම හිතුවා මේක අදම ඉවර කරලා දාන්න ඕනා කියලා. අනික ඉතින් මේක ඔට්ටුවක්නේ. මට ඔට්ටුව ලැබෙන්න නම් මම ඔයාව අතහරින්නත් ඕනා. ඒකයි මම අද දවසේ මෙතනම තෝරාගත්තෙ."
"ඇයි ඒ මෙතනම තෝරාගත්තේ?"
"අපි දෙන්නා එකතු වුණෙත් මෙතන, වෙන් වෙන්න ඕනෙත් මෙතන කියලා මට හිතුණා. අනික මේ වගේ තැනකනේ ඩියර් මේ වගේ ලස්සන වැඩක් කරන්න හොඳම තැන."
ඒ කියපු කතාවට නම් මගෙ රතු කට්ට පැන්නා කියලා මට තේරුණා. මෙච්චරටම ලොකු බොරුවක්, මෙච්චර ලොකු වංචාවක් මං ඉස්සරහා දිගහැරෙද්දීත් මම ඉවසන් හිටියේ මම ඉඳුවරට ගොඩක් ආදරේ කරන නිසා. ඒත් ආදරයයි වෛරයයි අතර වෙනස මට හරියටම දැනුණේ ඒ වෙලාවේ.
"ඇති ඉඳුවර, හොඳටම ඇති. මම ගොඩක් ඉවසුවා."
මගෙ කටහඬේ තිබ්බ සද්දෙට ඉඳුවර විතරක් නෙමෙයි, රන්දික, සාදි, අහල පහල හිටපු මිනිස්සු ඔක්කොම ගැස්සුණා කියලා මට තේරුණේ හැමෝම මං දිහා අමුතු සතෙක් දැක්කා වගේ බලන් ඉන්නකොට. ඒත් ඒ වෙලාවේ ලැජ්ජාව කියන එක මගෙ ළඟකින්වත් ගිහින් තිබ්බේ නැත. ළඟට ආවත් මම ඒකට පයින් ගහලා එළවන තරම් කේන්තියක් මට තිබුණේ. එතැන ඉදලා මගෙ හිතේ තිබ්බ හැම දෙයක්ම මම ඉඳුවර ඉස්සරහා එකින් එක දිගහැරියා.
"ඉඳුවර, මෙච්චර කාලෙකට මේ ක්රිෂී පැරදිලා නෑ. හැමදාම දිනුවේ මම. ඒත් එක තැනක මට වැරදුණා. ඒ ආදරේ ළඟ. කවදාවත් වට්ටන්න බැරුව හිටපු මේ ක්රිෂීව ඔයා බිංදුවටම වැට්ටුවා. හරි, ඒ ඔයාගෙ දිනුම කියලා හිතාගන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න, අසමත්වීම කියන්නෙ අවසානය නෙමෙයි. එක දේකින් අසමත්වෙන කෙනා ආයෙත් එතැනට එන්නෙ තමන්ට ඕන හැමදේම සූදානම් කරගෙන. තමන්ට වැරදුණ තැන් සේරම හදාගෙන. ආයෙත් වැරදෙන්න එයාලා පුංචි ඉඩක්වත් තියාගන්නෙ නෑ. අන්න ඒ නිසා ඔයා ටිකක් පරිස්සමෙන්. කොකාට වාරයක් තියෙනවා නම් තිත්තයාටත් අනිවාර්යයෙන්ම වාරයක් එනවා කියලා කියන්නෙ කට කහනවාට නෙමෙයි ඉඳුවර. ඒ වගේම කෙල්ලෙක්ට ආදරේ වෙනුවෙන් මැරෙන්න පුළුවන් වගේම තව කෙනෙක් මරණ එකත් අමාරු වැඩක් නෙමෙයි ඩියර්."
"උඹ ඔය කියන්නෙ මාව මරනවා කියලද යකෝ? අනේ උඹට පුළුවන්ද බැල්ලියේ මට පුංචි සීරීමක්වත් කරන්න? උඹ ඔය මට දාන්නෙ අයියගෙ සල්ලි බලේ වෙන්න ඇති. අයියා නෙමෙයි ජනාධිපති ආවත් මම බය නෑ ක්රිෂී. මොකද මටත් උඹට සමානම බලයක් තියෙනවා කියලා මතක තියාගනින්. මගෙ තාත්තා කවදාවත් මගෙ ඇඟට අත තිබ්බ එකෙක්ට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නෑ ක්රිෂී. මට අත තිබ්බ එකෙක් මේ වෙනකන් යහතින් ඉඳලත් නෑ."
"නෑ ඉඳුවර නෑ. මම ඔයාව මරන්නෙ නෑ. ඒත් මැරි මැරි උපදින්න වැඩ කරනවා. මේ ක්රිෂීට කරන්න බැරි දෙයක් මේ පෘථිවියේ නෑ ඉඳුවර. ඒ වගේම මතක තියාගන්න, ඔයා මේ දේවල්වලට ඔයාගෙ තාත්තාව ගාවගත්තට මම මගෙ රත්තරන් අයියව ගාවගන්නෙ නෑ කියලා."
ඉඳුවර මහ හයියෙන් හිනා වුණේ, "උඹට මොනවාද යකෝ කරන්න පුළුවන්" කියනවා වගේ. ඒත් මට හුඟාක් දේවල් කරන්න පුළුවන් කියලා එදා ඉඳුවර දැනගෙන ඉන්න නැතුව ඇති.
"එහෙනම් අපි කැපෙනවා ක්රිෂී. ආයෙත් අපි හම්බවෙයිනේ නේද ඩාලිං?"
"ඔව් ඉඳුවර, හැබැයි ඒ කවදාද කියන්න මම දන්නෙ නෑ. ඒත් කවදාම හරි අනිවාර්යයෙන්ම හම්බවෙනවා."
"මට උඹත් එක්ක කතා කරන්න දෙයක් නෑ. මම ගියා. රනියෝ, යමන්."
"මමත් යනවා ක්රිෂී."
"ඕකේ රන්දික, ඔයත් එක්ක මගෙ අවුලක් නෑ."
"මම දන්නවා ක්රිෂී උඹ ගැන. මම යනවා."
ඇත්තටම රනියාගේ මූණේ ලොකු අප්සෙට් එකක් තියෙනවා මම දැක්කා. සමහර විට ඉඳුවර කරපු දේට ඌටත් අවුල් ඇති. මොනවා කරන්නද බං, ලබා උපන් හැටියටනේ බඹා වැනෙන්නෙ. බය වෙලා වගේ සාදියා තාමත් මං දිහා බලන් ඉන්නවා. ඇත්තටම පව්, මම ඒකිටත් බැන්නනේ.
"සොරි සාදි..."
"ඇයි උඹ මට සොරි කියන්නෙ? ඒකෙන් වැඩක් නෑ. දැන් යමන් ගෙදර."
"නෑ සාදි, ඉඳුවර ඉස්සරහා මම උඹටත් අනං මනං කිව්වා. මට එවෙලේ මොනවා කියනවාද කියලවත් සිහියක් තිබුණෙ නැහැ."
"අනං මනං බැරි නම් නමිනං බං. දන්නවනෙ මම ඕවා ගණන් ගන්නෙ නෑ. මේ කනෙන් ඇහුවා, මේ කනෙන් චුත කළා. ඒත් මට උඹෙන් දැනගන්න දෙයක් තියෙනවා."
"මොකක්ද?"
මම ඒක ඇහුවේ නිකන් නොඅහා බැරිකමට වගේ. ඕනෑවට එපාවට. සාදියට ඒක එළකිරියට තේරුණා. ඒකයි ඒකි මං දිහා අමුතු විදිහට බලන් ඉඳලා කතාව පටන් ගත්තේ.
"මෙච්චර දෙයක් වෙලත්, මෙච්චර රැවටීමක් වෙලත් උඹ දරාගෙන ඉන්නේ කොහොමද? වෙනදට අසාධාරණය පෙන්වන්න බැරි ක්රිෂී, අද මෙතන මෙච්චර අසාධාරණයක් වෙලත් බලාගෙන හිටියේ ඇයි? අර වල්සතා උඹේ ආදරේ දෙකේ කාසියට දාලා කතා කරද්දී, මෙච්චර කාලෙකට කාටවත්ම ඔළුව නමපු නැති ක්රිෂී ඇයි ඌට ඔළුව පාත් කළේ? මට උත්තර දීපන්. ඇයි, ඇයි ඒ?"
"ඔය හැම එකකටම එක උත්තරයයි සාදි තියෙන්නේ. මම ඉඳුවරට මගෙ පණටත් වඩා ආදරෙයි. ඒ වගේම ආදරයයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් කියලා උඹ අහලා ඇතිනේ."
"ඒ කියන්නෙ උඹ දැන් ඉඳුවරට වෛර කරනවා?"
"ඔව්... ඇත්තෙන්ම ඔව්. මේ මොහොතේ ඉඳන් මම ඉඳුවරට ඇත්තෙන්ම වෛර කරනවා. මෙච්චර කාලෙකට හතුරෙක් හිටියෙ නැති මට අද ඉඳන් හතුරු වෙන්නෙ ඉඳුවර. මම අද මේ මීගමු බීච් එකේදී දිවුරනවා, තව අවුරුදු 10 ක් ගිහිල්ලා හරි මේකෙ රිටන් එක ඉඳුවරට මම දෙනවා. මේ ක්රිෂී පළිගන්න ගියහම කොච්චර දරුණුද කියලා තාම කවුරුත් දන්නෙ නෑ. කවදා හරි මම ඒක මේ මුළු ලෝකෙටම පෙන්වනවා සාදි."
"මට උඹ ගැන බයයි ක්රිෂී..."
"බය වෙන්න එපා සාදි. මම මේ හැමදේකින්ම ටික දවසකට ඈත් වෙනවා. සමහර විට මේ අපි හම්බවෙන අන්තිම පාර වෙන්න පුළුවන්."
"උඹට පිස්සුද? දිරවන්නෙ නැති කතා නොකියා ඉඳපන්. හරි මඟුලක්නෙ, උඹ හදන්නෙ අර ගොබ්බයාට බයේ පැනලා යන්නද?"
"නෑ සාදි, ඇත්තටම මම නැන්දත් එක්ක රට යනවා බං. ආයෙ කවදා එයිද දන්නෙ නෑ. හැබැයි කවදාම හරි එනවා."
"ක්රිෂී, උඹ ඔය විහිළු නේද කරන්නේ? මෝඩ තීරණ ගන්න එපා. ඒකා හින්දා මොකටද ගම රට අතහැරලා යන්නෙ? අනික එහෙම කළා කියලා මොනවද ලැබෙන්නෙ?"
"නෑ සාදි සීරියස්, උඹ ඉස්සරහා කොච්චර කියෙව්වත් මම දැන් බිංදුවටම වැටිලා තියෙන්නෙ. මට හිටපු තත්ත්වයට පත්වෙන්න ටිකක් කල් යයි. මේ ඇස්වලින් කඳුළු වැටෙන්නෙ නැති වුණාට හදවත හොඳටම අඬනවා සාදි. ටික දවසකට ඈත් වුණත් මම ආයෙ මේ ලංකාවට පය ගහන්නෙ මට වැරදිච්ච හැම තැනම හදාගෙන. මේ අසමත්වීමෙන් මම ලොකු දෙයක් ඉගෙන ගත්තා. ඒ දේවල්වලින් මම මගේ අනාගතයම හදාගන්නවා. සමහර විට ඒ අවුරුද්දකින් දෙකකින් වෙන්නත් පුළුවන්."
"හරි, දැන් උඹ ඔය මොන රටටද මංගච්චන්නෙ? එහෙ ගිහින් මොන මඟුලක්ද කරන්නේ?"
"ඉන්දියාවට සාදි. රන්දි නැන්දට එහෙ සිටිසන් තියෙනවා. එයා එහෙ මියුසික් ස්කූල් එකක උගන්වනවා බං. කරන්නෙ මොනවාද කියලා නම් මගෙ තීරණයක් නෑ. නැන්දා කියන ඕනම දෙයක්. එයා මට නරකක් කරන්නෙ නෑනෙ. මට ගොඩක් දවස් ඉඳන් එන්න කිය කියා හිටියේ. මම බෑ කිව්වා. ඒත් මම අද 'හා' කියනවා."
"උඹේ කැමැත්තක් ක්රිෂී. කොහොම වුණත්, කොහේ ගියත්, ක්රිෂීට හරියනවා කියලා මේ පැත්තෙ ඕනම කෙනෙක් දන්නවා. ඔය අවංකකම කොහේ ගියත් ළඟින්ම තියාගනින්. හැබැයි මම එක ඉල්ලීමක් කරන්නද?"
"මොකක්ද සාදියෝ? ඕන දෙයක් ඉල්ලපන්."
"මෙච්චරයි ක්රිෂී. වැඩි දෙයක් නෑ. උඹ ඔය යන්න හදන ගමන මම වළක්වන්නෙ නැහැ. උඹ ගියාම මම තනි වුණත්, මට හොඳ යාළුවෙක් නැති වුණත්, ඔය යන ගමනෙන් උඹට සෙතක් වෙනවා නම් මම හැමදාම සුබ පතනවා ක්රිෂී. ඉල්ලීම මේකයි, ආයෙ කවදාම හරි මේ ලංකාවට පය ගහපු දවසට මුලින්ම මාව බලන්න වරෙන්. එතකන් අපි නටපු පිස්සු, බයික් එකේ නැඟලා කොල්ලෝ දෙන්නෙක් වගේ හතර වටේ රවුම් ගහපුවා, හැමදේම මතක් කර කර සතුටු වෙන්නම්. උඹ සතුටින් ගිහින් වරෙන් ක්රිෂී."
"මම අනිවා උඹේ ඉල්ලීම ඉෂ්ට කරනවා මචෝ. උඹ වගේ හොඳ යාළුවෙක් මගෙ ජීවිතේ ළඟින් ඉන්න එකත් ලොකු දෙයක්. තෑන්ක්ස් බන්, තෑන්ක්ස්!"
"ඕකේ... දැන් යමන් ගෙදර. හොඳටම හවස් වුණා. ගෙදර මිනිස්සු බලනවා ඇති අපිවත් A/L අන්තිම පේපර් එකත් එක්කම අරන් ගිහින්ද කියලා. ගෙදර ගිහින් අඬන්නෙ නැතුව ගමනට සෙට් වෙයන්."
"පිස්සුද සාදි, මම අඬන්නෙ නෑ. බොරුකාරයෙක්ගෙ චපල ආදරයක් වෙනුවෙන් මේ ඇස්වලින් කඳුළු වැටෙන්නෙ නෑ. මේ ක්රිෂී එච්චරටම දුර්වල නෑ සාදි."
මගෙ කතාවට සාදියා මාව බදාගත්තා. ඇත්තටම මේ වගේ යාළුවෙක් මේ ලෝකෙ වෙන කාටවත්ම නැත.
"මට උඹ ගැන ආඩම්බරයි ක්රිෂී... ඇත්තමයි."
බයික් එකේ පිටිපස්සට නඟින ගමන් සාදියා කිව්වේ බොක්කෙන්මයි කියලා මට හොඳටම තේරුණා. ඒ ඇස්වල ඕනාවටත් වඩා අවංකකම තියෙනවා කියලා මට පළවෙනි වතාවට හිතුණා. ඒ අවංකකම දිලිසෙන ඇස් දෙකේ කඳුළු බිංදු එකතු වෙලා තියෙනකොට තවත් ලස්සනයි. "මට හොරෙන් උඹ කඳුළු පිස්සට මම දැක්කා මචෝ."
ඔච්චර අවංක වෙන්න එපා බං. එහෙම වුණාම අපිවත් යට කරගෙන ගඟ ගලනකම් අපි දන්නෙත් නෑ.
************
👍
ReplyDelete