දඟකාර ආඩම්බරී 2


02 වන දිගහැරුම

"නෝනා... වඩේ එකක් කමුද...?"

මෙච්චර වෙලා කල්පනා ලෝකේ පාවෙවී ඉඳපු මාව මේ ලෝකෙට ගෙනාපු දේවදූතයා මොකාද කියලා බලන්න පිටිපස්ස හැරුණම මට පුදුම හිතුණා. දැනට අවුරුදු දෙකකට උඩදී හිටිය වඩේ අයියා චුට්ටක්වත් වෙනස් වෙලා නෑ කියලා මට තේරුණේ පිටිපස්ස හැරුණ ගමන්මයි. ඒ වුණාට හැමදාම එයාගෙන් වඩේ කාපු ක්‍රිෂීව එයා පොඩ්ඩක්වත් අඳුනගෙන නෑ වගේ. ඉස්සර මායි සාදියයි මේ යකාව කොච්චර බයිට් කරලා තියෙනවද...? මාව අඳුන්වලා දෙනවද නැද්ද කියන එක නම් පොඩි අවුලක් තියෙනවා. මොකද ඉස්සර තරහවල් මේ යකා දැන් පිට කරයිද කවුද දන්නේ..?

"නෝනෝ... මොනාද අප්පා දෙයියනේ මගේ මූණ දිහා බලාගෙන කල්පනා කොරන්නේ...?"

"නෑ…. නෑ…. අංකල් මට වඩේ දහයක් දෙන්නකෝ."

අංකල් වඩේ උරේට දාන ගමනුත් දෙපාරක් තුන්පාරක් මං දිහා බලනවා මම ඇහේ කොනට දැක්කා. මිනිහා මාව අඳුන ගත්තද මන්දා. කෝකටත් මිනිහගේ මතක ශක්තිය චෙක් කරලා බැලුවොත් හොඳයි කියලා මට හිතුණේ මිනිහගේ ඇක්ෂන් හින්දමයි. මතකය නැත්නම් අහල පහල තියෙන ෆාමසියකින් අරගෙන මතක පෙත්තක්වත් ගිල්ලවන්න බැරියෑ.

"අංකල් මොකද මං දිහා අමුතු විදියට බලන්නේ...?" "නෑ නෝනා, මට නෝනව හොඳට දැකලා පුරුදුයි."

 "කොහේදී වගේද අංකල්ට මතක...?" 

"නෑ.. නෑ. ඒක කොහොමටවත් වෙන්න බෑ."

වඩේ අයියා හිමීට එයාටම කියා ගත්තත් ඒ කිව්ව දේ මට හොඳට ඇහුණා.

"මොනවද අංකල් කොහෙත්ම වෙන්න බැරි..?"

ට්‍රවුසර් එකේ සාක්කු දෙකට අත් දෙක ඔබා ගන්න ගමන් මම ඇහුවේ මිනිහගේ මූණ දිහාම බලාගෙන.

"නෑ…. නෑ….. නෝනා, මුකුත් නෑ." 

"නැතිවෙන්න බෑනේ අංකල්. දැන් අංකල් කිව්වේ." 

"නෑ නෝනෝ මේකයි. ඉස්සර නෝනා වගේම ගෑනු ළමයෙක් මේ බීච් සයිඩ් එකේ උන්නා. ඉස්සර ඒ කෙල්ලත් නිතරම වගේ ආවේ මේ බීච් එකට. ඒත් ඒ කෙලී නෝනට වඩා ගොඩක් වෙනස්. එන්නේ බයික් එකක. ඇත්තටම කියනවා නම් ඒ කෙලීගේ රූපේ විතරයි ගෑණු. ගතිගුණ, වැඩ කිඩ, සේරම කොල්ලෙක් වගේ. කොන්ඩෙත් කොටටම කපලා. නියම කොල්ලා. නම ක්‍රිෂී, මට හොඳට මතකයි. මේ හැමතැනම රස්තියාදු ගැහුවා ඒ කෙල්ල. ඒ වුණාට නෝනට කියන්න හිත හෝස් ගාලා පත්තු වෙනවා. හරිම හොඳයි. ඕන කෙනෙකුට උදව් කරනවා. ආයෙ නෑයි බෑයි කියලා නෑ. කවුද මන්දා යාළුවෙක් හිටියා සාදිද සූදිද මන්දා... මට හරියට නම මතක නෑ. ඒ දෙන්නා මේ ඒරියා එකේ මාර ප්‍රසිද්ධයි. හැබැයි නරකට නෙමෙයි නෝනේ, හිත හොඳ රස්තියාදුකාරියෝ විදියට. මං නෝනව දැකපු ගමන් ඒ ළමයව මතක් වුණා... ඒකයි."

"ඉතින් දැන් කෝ ඒ ළමයා...?"

"අනේ මන්දා, හිටපු ගමන් අතුරුදහන් වුණා. යාළුවවත් දැක්කේ නෑ. වෙනදට මේ පැත්තේ නිතරම එනවනේ." 

"අංකල් ඒ දෙන්නා එක්ක ගොඩක් ෆිට් වගේ."

 "මේ මොනවා කියනවද නෝනා, මාව දැක්කම මොකක් හරි කොලොප්පමක් කරනවා අවුස්සන්න. මාත් බොරුවට ඇවිස්සිලා කෑ ගහනවා. ඉතින් දෙන්නම බඩ අල්ලාගෙන හිනා වෙනවා. හරි හොඳ කෙලී නෝනා. මට දුක ඒ කෙල්ලට මොනාද වුණේ කියලා මේ බීච් එකේ කවුරුත්ම හරියට දන්නේ නැති එකනේ."

"ඒ කිව්වේ අංකල්...?"

"සමහරු කියනවා රට ගියාලු. තවත් උන් කියනවා මෙහෙන් වෙන පළාතකට ගියා කියලා."

"ඉතින් අංකල් ඒ කෙල්ලගේ යාළුවෙක්ගෙන් අහලා බැලුවේ නැද්ද...?"

"මොකෝ නැත්තේ ඇහුවා. ඒ කෙල්ල වැඩිපුර ආශ්‍රය කළේ කොල්ලොනේ, මම උන්ගෙන් ඇහුවා."

"ඉතින් උන් මොකද කිව්වේ...?"

"උන් මහ පිස්සු යක්කු නෝනේ. උන් කියනවා ක්‍රිෂී කෙල්ල කොල්ලෙක්ගේ කේස් එකකටලු මෙහෙ දාලා රට ගියේ. රට ගියා කිව්වේ උන් තමයි. බොරු නෝනා, ඒ කෙල්ලට පිස්සු නෑ මම දන්නවනේ, අනික් කෙල්ලන්ට වගේ ඒ කෙල්ලට ලව්කේමියාව නෑ. ඒකිට ඕන වුණේ නිදහසේ ජීවත් වෙන්න. දැන් හැමෝම කියන්නේ ඒ කතාව තමා. දැන් ගොඩක් මිනිස්සුන්ට නම් ඕවා මතකත් නෑ. මට නම් හොඳට මතකයි, ජීවිතේට අමතක වෙන්නෙත් නෑ."

"ඇයි අංකල් ඒ….?"

"නෝනෝ... ජීවිතේට ගොඩක් ලං වෙච්ච අවංක මිනිස්සුන්ව අමතක කරන්න ගොඩක් අමාරුයි නෝනෝ."

"ඒ කිව්වේ ක්‍රිෂී අංකල්ටත් උදව් කරලා තියෙනවා...?"

"අනේ නෑ නෝනා, ඒත් උදව්වක් ඉල්ලුවා නම් ඇත්තටම බොක්කෙන්ම කරන ජාතියේ ළමයෙක්."

"අංකල් එයාට හරි ආදරෙයි වගේ.."

"අනේ ඔව්. අවුරුදු 20ක් මේ බීච් එකේ වඩේ වික්කා. අවුරුදු ගාණකටම මනුස්සයෙක් කියලා හම්බුණේ ඒ කෙලී විතරයි. තමන්ගේ තත්ත්වේ කිය කියා අපි වගේ පොඩි මිනිස්සුන්ට තලලා පෙළලා දාන සමාජෙක ඒ කෙලී හැමෝටම සැලකුවේ එක වගේ."

එහෙනම් එදා මේ බීච් එකේදී ඉඳුවර මාව රිජෙක්ට් කළාට මාව පිළිගන්න මිනිස්සුත් මේ ලංකාවේ ඉඳලා තියෙනවා. හිතුවා වගේම ඉඳුවර එදා සීන් එක ටවුන් එක වටේට පතුරෝලා වගේ. කමක් නෑ ඉඳුවර අපි බලාගමු. 'ගහට ගහක් මොරටුවෙදි හම්බවෙනවා' කියලා ඔයා අහලා ඇතිනේ. ඒ වගේම අපිත් ඉක්මනට හම්බවෙමු. මේ ආඩම්බරී රූපෙන් වෙනස් වුණාට හිතින් හිටපු කෙනාම තමා. ඔයාට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා ඉඳුවර, පරිස්සම් වෙන්න වෙනවා.

"මොනාද නෝනේ ආයෙත් කල්පනා කොරන්නේ...?"

වඩේ අයියාට තාමත් මෙතන කියලා මතක් වුණේ මිනිහගේ කටහඬ කණ ගාවින්ම ඇහෙද්දී. මම මිනිහට සල්ලි දුන්නෙත් නෑනේ. මිනිහා හිතනවා ඇති අනිවා මම මුල්ලේරියාවෙන් පැනපු එකක් කියලා. මම සාක්කුවෙන් ගත්ත රු. 50ක් මිනිහගේ අතට දුන්නා.

"අංකල්, ඔය ක්‍රිෂී කියන ගෑනු ළමයට ඉස්සර කිව්වේ ආඩම්බරී කියලද?"

"ඔව් නෝනේ ඔව්…. ඒ කෙලීට කොල්ලෝ කිව්වේ එහෙම තමා. නෝනා ඒ කෙලීව දන්නවද ?"

වඩේ අයියගේ ප්‍රශ්නය මඟ ඇරලා මම තව ප්‍රශ්නයක් අහන්න හැදුවේ. ඒත් වඩේ අයියා මට ඉස්සර වුණා.

"නෝනා ඒ කෙලීගේ නෑයෝ වෙන කෙනෙක්ද…? මට හිතුණා දැකපු ගමන්ම."

"නෑ, වඩේ අයියා, මම ඒ ක්‍රිෂීම තමා. මම හිටියේ ඉන්දියාවේ, නැන්දත් එක්ක මම එහෙ ගියානේ. අද උදේ තමයි ලංකාවට ගොඩ බැස්සේ."

වඩේ අයියගේ මූණේ තිබ්බ සතුට අවංකවමයි කියලා මට හිතුණා. මොකද මිනිහා හිනා වෙන්නේ හරිම අඩුවෙන්. අවුරුදු 60ක් විතර වයස වුණත්, අද ඊයෙ ඉපදිච්ච පොඩි එකෙක් ඇරෙන්න හැමෝම මිනිහට කතා කළේ "වඩේ අයියා" කියලා. ඒ නේම් එක හින්දා මිනිහා මේ බීච් එකේ සෑහෙන්න ප්‍රසිද්ධයි.

අර හිනාවෙන්ම මං දිහා බලන් ඉඳපු වඩේ අයියා එක පාරටම වෙනස් වුණා. මූණේ තිබ්බ හිනාවත් එක පාරටම අතුරුදහන් වුණා.

"ඇයි වඩේ අයියා...?"

"මට නෝනව විශ්වාස නෑ. අපේ ක්‍රිෂී කෙලී ඔහොම නෑ, කොණ්ඩේ කොටට කපලා උන්නේ. එන්නෙත් බයික් එකක. ඇඳුනුත් ඔය වගේ නෙමේ. නෝනගේ කොණ්ඩේ දිගයිනේ දණහිසෙනුත් පහළට."

මගේ උඩ ඉඳන් පහළට බලන ගමන් වඩේ අයියා කියවනවා. ඇත්තනේ ඉතින්, අඩුම තරමේ මගේ ගෙදර මිනිස්සුන්ටවත් මාව අඳුනගන්න පුළුවන් වුණායෑ. මේ අවුරුදු දෙකට නැන්දා මාව ඒ තරමටම වෙනස් කළානේ.

"දැන් නම් ආවේ බයික් එකේ නෙමේ තමා, ඒත් හෙට අනිද්දම මම සුපුරුදු විදියටම මේ පැත්තට බහිනවා වඩේ අයියේ. දැන් මම යන්න ඕනා, ගෙදර මිනිස්සු මාව හොයනවා ඇති, හවස් වුණානේ. මම ගිහින් එන්නම්, හැබැයි ඒ පරණ ක්‍රිෂී විදියටමයි."

එහෙම වඩේ අයියට කියලා දාලා මම බීච් එකෙන් ආවේ හෙට උදේම සාදිලගේ ගෙදර යන්න හිතාගෙනමයි.

******** 

 සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින්

  ළඟින් සිටින්නම් සැනෙකින් ...

 පහත් වැටක් සේ ඔබ ළඟ ඉඳිමින්

  එළිය කරන්නම් සතුටින්....

  ඔබ එක්වෙනවාදෝ…... 

ඔබ ලංවෙනවාදෝ......  

ඔබ මා සතු වේදෝ..... 

ඔබ මට හිමි වේදෝ......

උදේ පාන්දර රේඩියෝ එකේ ගිය සෙන්ටිග්‍රේඩ්ලගේ සිංදුවක් කිය කියා මම පඩිපෙළ බැස්සේ පුදුම තරම් සැහැල්ලුවකින්. අවුරුදු දෙකකට පස්සේ පරණ පුරුදු ජීවිතේට එන්න ලැබුණ එක කොච්චර දෙයක්ද? නැත්නම් ඉතින් තාමත් නැන්දත් එක්ක වයලින් ගහනවා. මොනා වුණත් ඒ අවුරුදු දෙකට මම හොඳට මියුසික් ඉගෙන ගත්තා. "සංගීතෙත් එක්ක ජීවත් වෙනකොට ජීවිතේ ගොඩක් ප්‍රශ්න අපෙන් ඈත් වෙලා හිත මාර විදියට සැහැල්ලු වෙනවා" කියලා අපේ නැන්දා කිව්ව කතාවට නම් එයාගේ කටේ සීනි අහුරක් දාන්න වටිනවා.

කොච්චර කාලයක් පිටරටක ඉඳලා ආවත් ඇත්තමයි මේ ගෙදර නම් චුට්ටක් වෙනස් වෙන්නේ නෑ. මම මෙහෙන් චුත වෙනකොට තිබ්බ විදියමයි. වෙනසකට තියෙන්නේ අයියගෙ එකම දුව ශනුෂි මොන්ටිසෝරි යන එක විතරයි. මම යද්දී යන්තම් කතා කරන්න පටන් ගත්තා විතරනේ.

පරණ පුරුද්දට මම ගිහින් කුස්සියට එබුණා. මොකද මම දැනගෙන උන්නා මේ ගෙදර මිනිස්සු දවස පටන් ගන්නේ කුස්සියෙන් කියලා. නෑනණ්ඩි නම් නිදා ගන්නෙත් කුස්සිය දිහා බලාගෙනද කොහෙද. එයා අපේ අයියගෙන් පස්සේ ආදරේ කරන්නේ කුස්සියටනේ. ගෙදර කට්ටිය මේසේ වටේට ඉඳගෙන තේ බොනවා. මාර වැඩේ, එනකොට මට තේ නැද්ද? මේක මහ අසාධාරණ ලෝකයක්නේ, ෂිහ්.

"මිසිස් සංජු කෝ මගේ ටී එක...?"

සින්ක් එක පැත්තට හැරිලා මොනාද මන්දා හෝද හෝද උන්නු නෑනණ්ඩිගෙන් අහන ගමන් මම මේසේ පුටුවක් ඇදලා ඉඳගත්තා.

ගෙදර හැමෝම මං දිහා කන්න වගේ බලන් ඉන්නවා නිකං මෝහිණීගේ නංගි රෝහිණී කරලියට ඇවිත් වගේ. මේ මේ මොකද... මගේ ඇඳුමෙවත් වෙනසක් තියෙනවද..? නැත්නම් මටත් නොකියා මගේ මූණේ අනවසරයෙන් පෙරහැරක්වත් යනවද..?

"මොකද මේ මූණේ පෙරහැරක් යනවද...?"

මම ඇහුවේ සුදු සීයා දිහා බලන ගමන්. මං දිහා බලන් හිටිය සංජු අක්කා එක පාරටම බඩ අල්ලාගෙන හිනා වෙන්න පටන් ගත්තා. මෙන්න ඒ පාර ගෙදර සෙට් එකම හිනා වෙනවා. මේ මිනිස්සුන්ට උදේ පාන්දරම අමුතු දෙයක් පෑගිලාද නැත්නම් අමු කැවිලද...?

"මොකද මේ නිකන් ජෝකර් කෙනෙක් දැක්කා වගේ හක හක ගාන්නේ ...?"

"හිනා යන්නේ නැද්ද ක්‍රිෂී, කවදාවත්ම මම හිතුවේ නෑ ඔයා මේ වගේ හැදෙයි කියලා. මොනා වුණත් රන්දි නැන්දට මල් තියලා වඳින්න ඕනා." 

 "මොකක්ද බොලේ ඒ හරුපේ තේරුම..?" 

මම සංජු අක්කගෙන් ඇහුවේ ඇත්තටම මට මෙලෝ හරසරක් තේරුණේ නැති නිසා. ඒත් ඒකට උත්තර දුන්නේ සුදු ආච්චි.

"ඇයි මගේ කෙල්ලේ, වෙනදට උඹව නැගිට්ටවන්න අඩබෙර ගහන්න එපායැ. එහෙම කරලත් එකොළහ දොළහ වෙනකන් පස්ස උඩ දාගෙන නිදියනවා. අද හය වෙනකොට නැගිටලා. ඒකයි අපිට හිනා ගියේ.."

"අයියෝ…. සුදු ආච්චි ඕකටද මේ කැකිරි පලන්නේ. හැමදාම එකම විදියට ඉන්න හොඳ නෑනේ. මේ වෙනස් වෙන ලෝකේ නොවෙනස් වන එකම දේ වෙනස් වීම කියලා මාත් වෙනස් වුණා."

"ආ….. දැන් ඔය කොහේද ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ….? මොකද ඉලිප්සාකාර පෘථිවිය සමචතුරස්‍රාකාර වෙලාද…..?"

සංජු අක්කා මගෙන් මහ නෝන්ඩි කතාවක් ඇහුවා. දැන් දීපන්කෝ උත්තර. ඕවට තමා කියන්නේ පාන් නැතුව ඉල්ලන් පරිප්පු කනවා කියලා. අයියෝ සංජු, ඔයාගේ ඔය ලුණු ගොරක මදි මේ ක්‍රිෂී තම්බන්න.

"නෑ අක්කේ මට ආරංචියක් ආවා ලෝක ගෝලේ දැන් අපේ අක්කගේ මූණ වගේ වෙලාලු. මට දුක එතකොට පෘථිවිය වටේට වලවල් ගොඩා... ..යි. ඒකයි..." 

"ඇත්තට, එහෙනම් අපි ලෝක ගෝලෙටත් මේකප් පාරක් දාමු."

එහෙම කියන ගමන් අක්කා මගේ කණ මිරිකුවා. මොනා වුණත් අපේ බ්‍රදර්ට නම් ලැබිලා තියෙන්නේ එළමකිරි වයිෆ් කෙනෙක්. ආදරේට හැමෝම සංජු කිව්වට එයාගේ නම සංජලී. ඒ දෙන්නා කසාද බැන්දේ අවුරුදු හතක ලව් එකකින්. එදා ඉඳන් දෙන්නා මාර ජොලියේ ඉන්නේ. අම්මයි තාත්තයි නැති මට ඒ දෙන්නා චූටි අඩුවක්වත් කළේ නෑ, "ඔබේ සැප මගේ සතුටයි" කියලා මාව මාර විදියට ආදරෙන් බලා ගන්නවා.

අපේ අම්මයි තාත්තයි මැරිලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකකින්. මාව හම්බවෙන්න ඉස්පිරිතාලේ යනකොට තමයි ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. ඒකෙන් ඒ දෙන්නම මැරිලා, මම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අන්තිමට බිස්නස් වලින් නිදහස් වෙන්න හිතාගෙන තාත්තට බාර දීපු ඔක්කොම බිස්නස් ආයෙත් සීයගෙම කරපිටට වැටුණාලු. පුංචි කාලේ ඉඳන්ම සුදු සීයයි ආච්චියි තමයි මාවයි අයියවයි බලාගෙන තියෙන්නේ. අයියා මට වැඩිය අවුරුදු හතක් වැඩිමල්. දැන් ඉතින් සීයා නිදහස්. හැමදේම බලාගන්නේ අයියා.

"මොනාද ක්‍රිෂී නැන්දි කල්පනා කරන්නේ...?" 

 මට ශනුෂිගේ කටහඬ කණ ළඟින්ම වගේ ඇහුණා.

"නෑ ශනු මම... මේ... කල්පනා කරන්නේ ලෝක විනාසෙවත් හෙට අනිද්දට වෙයිද කියලා."

"ආ….. මේ තේ එක බීලා ඉන්නකෝ. වක්කඩේ අරින්න කලින්."

සංජු අක්කා කට කපලා හදපු ටී එකක් මගේ අතට දීලා චාටර් හිනාවක් දැම්මා. මෙයාව චුට්ටක් ඇවිස්සුවා නම් උදේ පාන්දරම මාර ආතල් එකක් ගන්න තිබ්බා අප්පා…

"නෑනණ්ඩි, ඔයා දන්නවද මාර වැඩක්නේ වෙලා තියෙන්නේ..."

මම හෙන සිරා මූඩ් එකක් ගන්න ගමන් අක්කට වචනේ දැම්මා. අක්කගේ හිතේ ඇත්තමයි කියලා. එයත් ළඟ තිබ්බ පුටුවක් ඇදලා අරගෙන කතාව අහන්න හරිබරි ගැහුණා. කට්ටියම නිකන් කරකවලා අත ඇරලා වගේ. ශනුගේ ඇහේ බබා දැන් බිම වැටෙයි වගේ. කට්ටියම බලන් ඉන්නේ මම ලෝක විනාසය ගැන කියනකන් වෙන්න ඇති. ශනු සුරංගනා කතාවක් අහන්න වගේ මං දිහාම බලන් ඉන්නවා. මමත් හෙන සිරා කතාවක් කියන්න යනවා වගේ මූඩ් එකත් හදාගෙන කතාවට එන්ටර් වුණා. කතාව අහන්න එතන හිටියේ නැත්තේ අයියා විතරයි.

"අක්කට කියන්න අක්කේ, මේ වගේ කතාවක් මම ජීවිතේට අහලා නෑ හලෝ..."

"ඉතින් කියන්නකෝ ක්‍රිෂී අගේ කරන්නේ නැතුව."

"පොඩ්ඩක් ඉන්නකෝ නෑනේ, උදැල්ල දාන්නේ නැතුව. ආච්චිට කියන්න ආච්චි පුදුම වැඩක්…"

"මොකක්ද දුවේ වෙලා තියෙන්නේ…?" 

"සුදු ආච්චියෝ කොළඹ පැත්තේ…."

"ඇයි දුවේ කොළඹ පැත්තේ බෝම්බයක්වත් පුපුරලද? අනේ දෙයියනේ මොන අපරාධයක්ද ... කී දෙනෙකුගේ ජීවිතද. ඕවා කරන උන්ට නම් හෙන ගහන්න ඕනා. කී දෙනෙක් මැරිලද දුවේ..?"

ඒ පාර ආච්චි කොහේවත් ඉන්න උන්ට හෙන ඉල්ලනවා. ආච්චිත් කොහේද යන්න මල්ලේ පොල් තමා.

"පිස්සුද ආච්චියෝ, මොන බෝම්බයක්ද..? අනික දැන් යුද්ධෙත් ඉවරයිනේ."

"එහෙනම් මොකද ළමයෝ වෙලා තියෙන්නේ..?"

"මොනාද දන්නවද අක්කේ, උදේ නිවුස් වලට කිව්වා කොළඹට හොඳටම වහිනවලු. මම මේ කල්පනා කළේ මෙහාටත් වැස්සොත් එළියට බහින්නේ කොහොමද කියලා.."

ගෙදර කට්ටියගෙම මූණු හතරැස් වුණේ බලාගෙන ඉද්දිමයි. කට්ටිය හිතන්න ඇති හෙන සීරියස් කතාවක් කියලා. පව් අනේ සංජු අක්කගේ මූණ නිකන් හෙණ ගහපු වැල ගෙඩියක් වගේ.

"අනේ මෙයාගේ විකාර, මේවා අහ අහා උන්නොත් ගෙදර වැඩ පාඩු වෙනවා. පිස්සු නැත්නම් ෂෝක්. අපිත් මෙයාගේ බොරු වලට අහු වෙනවනේ. ආයෙ නම් මාව අල්ලන්න හිතන්න එපා ක්‍රිෂී..."

සංජු අක්කාට මල පැනලා. පව් අනේ මූණ දැක්කම තේ එක බොන්න හිතෙන්නෙත් නෑ, ශෝකේ බේරෙනවා. ඉක්මනට තේ එක බීලා කෝප්පේ හෝදන ගමන් මම ආයෙත් සංජු අක්කගේ පැත්තට හැරුණා.

"සංජු අක්කේ අද ඔයා ටවුන් එක පැත්තේ එහෙම යනවද…?"

"යන්න තමා හිතන් ඉන්නේ, ඇයි නංගිට මොනා හරි ගෙන්න ගන්න තියෙනවද ?"

"ආ… ඔව් අක්කේ... ටවුන් ගියාම මතක් කරලා සීනි අරන් එන්න. අනිත් දවසෙවත් තේ එකට හරියට සීනි ටිකක් දාලා හොඳට බොන්න."

"අනේ ක්‍රිෂී… ඇත්තමයි, දුවනවා යන්න මෙතනින් මාව තරහා අවුස්සන්නේ නැතුව. තමුසෙට ඕනේ නම් සීනි කඩෙන් අරන් එනවා. අනිත් දවසේ මම තේ හදන්නේ නෑ, හදාගෙන බොන එකයි ඇත්තේ."

"අනේ… නෑනෝ…"

"දුවන්නයි කිව්වේ…."

"හරි හරි නෑනෝ ෂේප් ආ… මෙන්න මං ගියා…"

සීයයි, ආච්චියි, ශනුයි බඩ අල්ලාගෙන හිනා වෙද්දීම, අක්කගේ පිටටත් එකක් ගහලා මම සාලේ පැත්තට දුවගෙන ආවා.

******** 

"ඇයි සුදූ කතා කළේ…. මම පොඩි නින්දක් දාගෙන හිටියේ."

රවුම්ම රවුම් සිමෙන්ති බංකුව වටේට තියලා තිබ්බ පුටු ටික වටේට ගෙදර කට්ටිය සෙට් වෙලා. මාත් ඉතින් ගිහිල්ලා පුටුවකට බර වුණා.

"දැන් මොනවද ක්‍රිෂී කරන්න බලාපොරොත්තු වෙන්නේ…. බිස්නස් වලට ජොයින් වෙනවද….?"

"අපෝ…. අපෝ…. මේ මේ.. මගේ සුදු අයියේ… මම ඕවට නෑ…"

"එහෙම කොහොමද ක්‍රිෂී, ඔයත් මේවට ජොයින් වෙන්න ඕනා."

"අන්න අන්න නෑනගේ පැහැදිලි ඊර්ෂ්‍යාව. මම නිදහසේ රස්තියාදු පාරක් ගහලා ඉන්නවට මෙයා හැමදාම බර බරේ දානවා. ඇයි ඉතින් එයාට එහෙම බෑනේ... බර කරත්තෙක එල්ලිලා බැහැගන්න බැරුව."

"මොකක්ද ක්‍රිෂී බර කරත්තෙ…?"

"කවුද ඉතින් මගේ බ්‍රදර් තමා."

"පේනවද භවන්ත? ඔයාගේ නංගිමයි කියන්නේ."

"හරි… හරි දැන් ඔය කතාව නවත්තන්න. බිස්නස් වලට ජොයින් වෙන්න කැමති නැත්නම් නංගි මොනා කරන්නද හිතන් ඉන්නේ ...?"

"මොනා කරන්නද.. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සුපුරුදු ජීවිතේට බහිනවා."

"ඒ කියන්නේ නංගි කැමති ඉස්සර ජීවිතේ පටන් ගන්නද…..?"

"ආයෙත් අහලා... ඔය තේරුණේ නෑණට අර මොකාටද වගේ…"

"මොකාට වගේද...?"

"අයියෝ සුදු... ඇයි ඔයා මෙයාව බැන්දේ? බලන්න වැස්සකටවත් ඉස්කෝලෙට පය ගහලා නැද්ද කොහෙද…? නෑනෝ ගොනාට වගේ නෑනෝ. ගොනාට වගේ….."

"භවන්ත, නංගි දැන් ඉස්සර වගේ නෙමේ ගොඩක් නරක් වෙලා."

"අයියෝ සංජු, කවද්ද මේ පිස්සි හොඳට හිටියේ? චූටි කාලේ ඉඳන් ඔහොමයි. දැන් නරක් වෙන්න ඉස්සර හොඳයෑ….."

"අන්න… අන්න ඉතින්, සුදු ඔහොම කියන්න එපා, මම හිත වාවන්නේ නෑ…"

"අනේ මෙයාගේ හිත ගැන අපි නොදන්නවයෑ. කවද්ද මෙයාගේ හිත රිදිලා එක පාරක් අඬලා තියෙන්නේ….?"

අක්කා විහිළුවෙන් කිව්වට ඒ කතාව නම් බොක්කටම වැදුණා. ඔයා වැරදියි නෑනෝ, ඔයාලගේ පිස්සි ගොඩක් හිතින් දුක් විඳින කෙනෙක්. ගිය අවුරුදු දෙකේ හැමෝටම හොරෙන් මේ ඇස් දෙකෙන් වැටිච්ච කඳුළු ඔයාලා දන්නවා නම් ඉඳුවරගේ කෑලිවත් ඉතුරු කරන්නේ නෑ. මේ හිනා වෙලා කෑ ගගහා ඉන්න ක්‍රිෂී කියන්නේ කවුද කියලා ඔයාලා තාම දන්නේ නෑ නෑනෝ... ලස්සන අනාගතයක් ගැන හීන මව මවා අඳුරට වෙලා ජීවත් වෙන්න මට දැන් පුරුදු වෙලා. ඔයාලගේ ක්‍රිෂීට ඔහොම කියන්න එපා. එයා පුංචි දුකක්වත් දරා ගන්න බැරි, ඕනෑම දෙයක් ගැන ඕනාවට වඩා හිතන කෙනෙක්.

"ක්‍රිෂී, මොකද ශබ්ද පූජාව නැවතුණේ? ඝණ්ඨාරේ ලණුව කැඩිලද?"

නෑනණ්ඩි ආයෙත් කතාව පටන් ගත්තා. මේ කතාව මෙහෙම ඇදිලා ගියොත් ක්‍රිෂීට ඇපත් නැතිව යනවා කියලා ගානට තේරුණා. ඒක හින්දා මම කතාව වෙන පැත්තකට හැරෙව්වා.

"ඒක නෙමේ සුදු, කාගේද අර ගේ ඉස්සරහා නවත්තලා තියෙන කිරිකිරි ටොයියා බයික් එක? මාත් ආසා ඔය ජාතියේ බයික් එකකට." ගේ ඉස්සරහා අලුත්ම බයික් එකක් නවත්තලා තියෙනවා මම දැක්කේ උදේ පාන්දරමයි. ඒක ඉතින් මට මාර ප්‍රශ්නයක් වෙලා තිබ්බේ.

"නංගි කැමතිද ඒකට?"

"ආයෙත් අහලා…"

"ආ එහෙනම්..."

සුදු අතේ තිබ්බ යතුරක් මට දික් කළා. ඒ කියන්නේ මේක මටද...?

"සුදූ... මේ... මේ…"

"මම මේ බයික් එක නංගිට ගත්තේ. මම කැමතියි ඉස්සර හිටිය නංගිව ආයෙමත් දකින්න. මල්ලියෙක් නැති නිසා ඉස්සර ඉඳන්ම මම මල්ලිවයි නංගිවයි දෙන්නම දැක්කේ ඔයාගෙන්. ඒ හින්දා දැනුත් එහෙමම වෙන්න ඕනා. ආ… මේක අරගෙන බයික් එකේ රවුමක් දාලා බලන්න."

සුදු ආයෙත් මට යතුර දික් කළා. ඇත්තටම මෙහෙම අයියා කෙනෙක් මේ ලෝකේ තවත් නම් නෑ. ඉන්නත් එපා. එහෙම ඉන්න පුළුවන් නම් ඒ මගේ බ්‍රදර්ට විතරයි. අයියගේ අතේ තිබ්බ යතුර අරගෙන බයික් එක පැත්තට යන්න හදලත්, මම ආයෙමත් අයියා ළඟට ගියා.

"සුදු…. මේ ආත්මේ විතරක් නෙමේ, උපදින හැම ආත්මෙකම ඔයා මගේම අයියා. ඒක මේ ඉර හඳ තියෙනකම්ම එළමකිරි වගේ ස්ථිරයි.."

"භවන්ත, ඔයා තමයි මෙයාව නරක් කරන්නේ. බලන්නකෝ, දැන් දඬු මොණරේ නැඟලා රස්තියාදු ගහන්නේ නැද්ද කියලා."

"අපෝ.. ටකරමකට ගල් ගහනවා වගේ... සුදු ඇත්තටම මේ කටර් එක කොහෙන්ද හොයා ගත්තේ...? කමක් නෑ.. කමක් නෑ… ඊළඟ හැම ආත්මෙකම ඔයා මගේ අයියා වෙනකොට මේ මලකඩ ඇණෙත් නෑනා විදියට එක්කගෙන එන්න. මොනා වුණත් මට වලි අල්ලන්නත් කෙනෙක් ඕනනේ…."

"අනේ භවන්ත බලන්නකෝ... මෙයා මට මලකඩ ඇණේලූ…"

"නෑනෝ ඔයා දන්නවද.. ඔයා ගිය ආත්මේ කවුද කියලා….."

"කවුද…..?"

"ගෙවිලියක්, තනිකරම උදලු එක්ක වැඩ කරපු කෙනෙක්. ඒකනේ උදැල්ලම දාන්නේ...,"

"අනේ භවන්ත…."

මොන්ටිසෝරි යන පුංචි එකෙක් වගේ අක්කා අයියට නඩු කියනවා. අනේ පව් අයියා හිනා වෙනවා විතරයි, වචනයක්වත් කටින් එළියට එන්නේ නෑ….

"මේ... මේ.. අයියට නඩු කියලා වැඩක් නෑ... නඩු කියන්න ඕනේ නම් චන්දු අංකල් හම්බවෙන්න.. එවරෙඩි වගේ විසඳලා දෙයි."

"අනේ යනවා යන්න... මාත් එක්ක කතා කරන්න එපා."

"හරි හරි දැන් දෙන්නම නවත්තන්න. ක්‍රිෂී ගිහින් බයික් එකේ රවුමක් දාලා හොඳද කියලා බලන්න."

"හරි හරි... සොඳුරු ස්වාමිපුත්‍රයාගේ නපුරු බිරින්දෑව, එහෙනම් මං ගියා….."

"කොහේද යන්නේ...?"

"මම සාදිලගේ පැත්තේ රවුමක් දාලා එන්නම් අයියා.."

"හ්ම්... හ්ම්.."

******** 

සුදු පාට පොකට් ට්‍රවුසර් එක ඇඳලා, දණහිසෙන් පහළට තියෙන කොණ්ඩේ තනි කරලට ගොතලා දැම්මහම ඉස්සරටත් වැඩිය අමුතු ලුක් එකක් තියෙනවා කියලා කණ්නාඩිය ඉස්සරහට ගියාම මට තේරුණා. ඉස්සර කරට කපලා තිබ්බ කොණ්ඩේ අවුරුදු දෙකට මෙච්චර වැවුණා කියන එක නම් ලෝක පුදුමයක්. ඉන්දියාවේ ආයුර්වේද බේත් වල බලේ තමා. මේ විදියටම ඉස්සරත් මම කොල්ලෙක් වගේ ඇන්දා තමා. ඒත් මෙච්චර ගතියක් නම් මට පෙනුණේ නෑ. මොනා වුණත් ඉස්සර හිටිය ක්‍රිෂී දැන් අලුත් වෙලා කියලා නම් බලන ඕනෑම කෙනෙකුට පටස් ගාලා කිව්වැකි.

වැඩේ කියන්නේ කාටවත්ම මාව අඳුනගන්න බැරි එකනේ. සාදියා අඳුන ගනීද දන්නේ නෑ. ඉස්සර ඉතින් කොයි වෙලේ බැලුවත් මගේ පස්සෙන්මයි. මේ අවුරුදු දෙක කොහොම හිටියද මන්දා. අපේ ගෙදර මිනිස්සුන්ට වගේ මම නැතුවත් "ක්‍රීෂි" කියලා කියවුණාද දන්නේ නෑ.

මගේ උප්පැන්නේ තියෙන නම නම් මේ කට්ටියටම මතක නැතුව ඇති. මම ඉපදුණ ගමන්ම මුලින්ම වඩාගෙන තියෙන්නේ සීයා. එයා මගේ මූණ දිහා බලලා මුලින්ම කිව්වේ "හරි හුරතල් වාසනාවන්ත මූණක් තියෙන චූටි කෙලි පැටියෙක්" කියලලු. ඊළඟට කිව්වේ "මේ කෙලි පැටියට තියෙන්නේ මගේ ලේලී පොඩ්ඩගේ මූණමයි. මගේ කොල්ලයි කෙල්ලයි මට කලින් ඇස් දෙක පියා ගත්තට මට පුංචි කෙලි පැටියෙක්ව තෑගි දීලා ගිහින්. ඒ චූටි කෙල්ලට මම මගේ එකම ලේලිගේ හුරතල් නම තියනවා, මගේ ලේලිට වගේම අද ඉඳන් මේ කෙල්ලට හැමෝම ආදරේට කියන්න ඕනා ක්‍රිෂී කියලා. ඒක කවදාවත් වෙනස් වෙන්න බෑ." භවන්ත පුතාට මගේ පුතාට කිව්වා වගේම "සුදු" කියන හින්දා, එයාලා නැති වුණත් එයාලගේ ළමයි තුළින් එයාලා හැමදාම ජීවත් වේවි කියලලු. තමන්ගේ එකම පුතාවයි, එකම ලේලිවයි මරාගෙන මේ ලෝකෙට ආපු කාලකන්නි කෙල්ලව ඉපදුණ ගමන් කොහේ හරි දාලා යන්නේ නැතුව ආදරෙන් බලාගන්න තරම්, අතට ගත්ත ගමන් "වාසනාවන්ත හුරතලියක්" කියන්න තරම් සීයා කොච්චර හොඳ කෙනෙක්ද...? තමන්ගේ නැති වුණ පුතාගෙයි, ලේලිගෙයි අනාගතය මගෙයි සුදුගෙයි මූණෙන් දකින්න තරම් සීයා කොච්චර නිහතමානීද? සීයා එදා ඒ දාපු නම හින්දා මම හැමදාටම ක්‍රිෂී වෙලා. උප්පැන්නේ තියෙන්නේ වෙන නමක් වුණත් ඒ නම හැමෝටම අමතක වෙලා. අඩුම තරමේ ගුරුවරයෙක්වත් මගේ උප්පැන්නේ තියෙන නමින් එක පාරක්වත් කතා කරලා නෑ.

"මොකද, මොකද... මේ කණ්නාඩිය ඉස්සරහට වෙලා පිළිකුල් භාවනාව කරනවද...? කොච්චර බැලුවත් ඔච්චර තමා ක්‍රිෂී... උපන් කැත අරින්න බෑ…"

දොර රෙද්ද චුට්ටක් ඈත් කරලා කාමරේට එබීගෙන හිටිය සංජු අක්කා මහා නෝන්ඩි හිනාවක් දාන ගමන් කිව්වා.

"ඔව්.. ඔව්... ඉතින් අපි කැතයිනේ. අපේ අයියා ඒක තමා රූප සුන්දරියක් අරන් ආවේ. අපේ අයියට නම් ලස්සන ඇති, මට නම් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ…."

මාත් හෙන නපුරු පාට මූණක් ගන්න ගමන් කියලා දැම්මා. ඒ පාර සංජු අක්කා දොර රෙද්ද අත ඇරලා මං ළඟට ඇවිත් අත් දෙකෙන්ම අල්ලා ගත්තා. ඇත්තටම මෙයාට නම් මැන්ටල්. මොනා කරන්න හදනවද මන්දා…

"මම විහිළුවක් පිස්සියෝ කළේ. ඔහොම ඉන්නකොට ඔයා සුරංගනාවියක් වගේ. ඔයිටත් වඩා ලස්සන වේවි කෙල්ලෙක් වගේ ඇන්දා නම්. අනේ මගේ නෑනා පොඩ්ඩට ඇස්වහක් නම් වදින්න එපා. බලන්න එපායැ කෙල්ලගේ ඇඟේ හැඩ. මරු... මරු... ආ... අයිශ්වර්යා පරාදයි. ඇඟත් කහම කහ පාටයි. නැන්දා එහේදී කහ පොවලද කොහෙද, දැන්නම් මේකිව එළියට යවන්නත් බයයි. කවුරුහරි අරගෙන ගියොත් එහෙම භවන්ත මැරෙයි. ඔය දඬු මොණරේ නැඟලා ගියාට දැන්නම් කොල්ලන්ගෙන් බේරිලි බොරු ආ…"

"අනේ යනවා නෑනෝ යන්න. මෙතන බටර් නාවන්නේ නැතුව…"

"හා... හා... අපි නෑවුවොත් බටර්, ඔහොම යනකොට විශේෂ කෙනෙක් චීස්ම නාවයි. එතකොටවත් පිළිගන්නකෝ."

"අනේ මේ....."

"විහිළු නෙමේ කෙල්ලේ මම ඇත්තමයි කිව්වේ, උඹ මාර විදියට ලස්සන වෙලා... මට ඊර්ෂ්‍යාවත් එක්ක."

මම විහිළුවකට ගත්තට අක්කා කිව්ව හැම දෙයක්ම ඇත්ත කියලා මටත් තේරිලා තිබ්බා. මොනා වුණත් අක්කා ඒ ටික කිව්වේ නම් බොක්කෙන්මයි.

"ඒක නෙමේ ක්‍රිෂී, සෙට් වුණේ නැද්ද එහේදී හින්දි කොල්ලෙක් එහෙම...?"

"ඔයා දන්නවනේ ඩියර්... මම ඕවට නෑනේ..."

"ආ.. හැමදාම ඔහොම ඉන්නද කල්පනාව? දැන් අවු 22ක්."

"22ත් වයසක්ද අක්කා…"

එහෙම නෑනට කියලා මම කළු පාට ජැකට් එක අරගෙන ඇඳ ගත්තා. ඇඳ උඩ තිබ්බ සන්ග්ලාස් එකත් ජැකට් එකේ ගහගන්න ගමන් ෆුල් ෆේස් හෙල්මට් එකත් අරගෙන අක්කට කිස් එකකුත් දීලා පඩිපෙළ බැස්සේ ඇහිපිල්ලමක් ගහන වේගෙන්….

අයියා අලුතෙන් අරන් දුන්නු පල්සර් බයික් එක වැරැන්ඩාව යට නවත්තලා තිබ්බේ මාව පිළිගන්න වගේ.

දැන් ඉතින් ගේම තියෙන්නේ හෙල්මට් දාන එක තමා. කොණ්ඩේ දික් වුණාමත් මාරම වදේ, එක අතකින් බලනකොට. කොණ්ඩේ උඩට කරලා හෙල්මට් එකත් දාගෙන වැඩ්ඩා වගේ බයික් එකට නැග්ගට, අවුරුදු ගාණකට පස්සේ හින්දද කොහෙද පළවෙනි වතාවට පුංචි බයක් හිතුණා.

"ක්‍රිෂී දුවේ, මේ උදේම කොහේ යන්නද….?"

"වෙන කොහේද ආච්චියේ, බයික් එක ටිකක් චෙක් කරලා බලන්නත් එක්ක අතිජාත මිත්‍රයා හොයලා මිසක්."

බයික් එක ස්ටාර්ට් කරද්දීම කොහේ ඉදලා ඇවිත් උදැල්ලක් දැම්ම සුදු ආච්චිට මම කිව්වා.

"පරිස්සමින් ගිහින් එන්න, මගේ දුවට බුදු සරණයි!"

ආච්චිගේ ආශිර්වාදෙත් අරන් මම ගෙදරින් පිට වුණේ මෙවර කූඩු කරලා තිබ්බ කිරිල්ලියකට නිදහස ලැබුණා වගේ….

******** 

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    

Next Episode

 



 

Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1