දඟකාර ආඩම්බරී 3

 


  

03 වන දිගහැරුම

බයික් එක අතට ගත්ත ගමන් චුට්ටි බයක් දැනුණට දැන්නම් ඉස්සරටත් වැඩිය හොඳට බයික් පදින්න පුළුවන් වගේ. අපේ ගෙදර ඉඳන් සාදිලගෙ ගෙදරට යන්න මට විනාඩි 20 ක්වත් ගියෙ නෑ. ඒ කියන්නෙ මම ෆුල් වේගෙන් ඇවිත් තියෙනවා. පන්සල් හංදියෙන් හරවලා සාදිලගෙ ගේ ගාව නතර කරනකම්ම මම ආවෙ එකම වේගෙන්.

සාදිලගෙ ගෙදර අලිපත ගේට්ටුව ගාව බයික් එක නවත්තලා හෝන් එක තුන් හතර පාරක් ගැහුවත් ගේට්ටුව ඇරියෙ නෑ. මළඟුලයි, ගෙදර කවුරුත් නැද්ද දන්නෑ. එහෙම හිතනකොටම වගේ සෝමෙ අංකල් ඇවිත් ගේට්ටුව ඇරියා. සෝමෙ අංකල් කියන්නෙ සාදිලගෙ ගෙදර වැඩට ඉන්න මෑන්. මොනා වුණත් හරිම හිත හොඳ පොරක්.

"අංකල්, සාදි ගෙදර ඉන්නවද...?"

මෙන්න ඒ පාර ඒ යකා මගෙ මූණ දිහා බලන් ඉන්නවා. කටේ පිට්ටුද මන්දා? කන් ඇහෙනවා අඩුද දන්නෑ. කමක් නෑ ආයෙත් අහලා බලමු.

"අංකල්... සාදි... සාදි... අන්න එයා ගෙදර ඉන්නවද...?"

ඒ පාරද කොහෙද මිනිහට හරියටම ඇහුණෙ. මිනිහා බලනවා ඇති මේ කොහෙන් පාත් වෙච්ච පිටසක්වල ජීවියෙක්ද කියලා. කෝකටත් කියලා මම හෙල්මට් එක ගැලෙව්වා. ඒ පාරනම් මිනිහගෙ මූණට පුංචි හිනාවක් ආවා. ඒ වුණත් මිනිහා ඉන්නෙ තාම පුදුම වෙලා වගේ.

"සාදි බේබිනම් ඉන්නවා. කවුරු ආවා කියලද කියන්නෙ...?"

මම හිතුවා සෝමෙ අංකල් මාව අඳුනගනී කියලා. කොහෙද, මිනිහගෙ මතක ශක්තියනම් බිංදුවයි. වඩේ අයියා තරම්වත් නෑ.

"එයාගෙ යාළුවෙක් ඇවිත් කියන්නකො."

"හා හොඳයි, නෝනා බයික් එක වත්තට දාගන්න..."

මට එහෙම කියලා ගේට්ටුවත් ඇරලා දාලා සෝමෙ අංකල් පණ කඩාගෙන ගෙට දිව්වා.

මේ ගෙදරනම් ඉස්සර වගේමයි. චුට්ටක්වත් වෙනස් වෙලා නෑ. චන්දන අංකලුයි, ශ්‍රියා ආන්ටියි හොඳින් ඉන්නවද දන්නෑ. චන්දන කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම අපේ තාත්තගෙ හොඳම යාළුවලු. එයාලා චූටි කාලෙ ඉඳන්ම හැදිලා තියෙන්නෙ එකට. ශ්‍රියා ආන්ටියි, අපේ අම්මයිත් හොඳම යාළුවො දෙන්නලු. අන්තිමට තාත්තයි, අංකලයි, අපේ අම්මයි, ශ්‍රියා ආන්ටියි හොඳම යාළුවෝ වුණාලු. ඊට පස්සෙ තමයි කට්ටිය සෙට් වෙලා බැඳලා තියෙන්නෙ. තාත්තයි, අම්මයි නැතත් තාමත් අංකල්ලා අපේ ගෙදර එනවා. හරිම හොඳ මිනිස්සු.

චන්දන අංකල් හයිකෝට් ලෝයර් කෙනෙක්. ආන්ටිනම් රස්සාවක් කරන්නෙ නෑ. සාදියට තව අයියලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඩොක්ටර් කෙනෙක්, අනික් එක්කෙනා තාම කැම්පස්. එයා ඉතින් කවදා හරි හොඳ බැංකුවක මැනේජර් කෙනෙක් තමා. සාදියා තමා පිස්සු නටන්නෙ. ඒ මොනවා කළත් ඒකිටනම් ගෙදරින් කිසිම අවුලක් නෑ. මොකද මොන පිස්සුව නැටුවත් එකිත් කැම්පස් ගියානෙ. මේ අහල පහල දන්න කියන හැමෝම මේ පවුලට කියන්නෙ "කැම්පස් ෆැමිලි" කියලා. ඇයි ඉතින් මේ ගෙදර කට්ටියම ලංකාව වටේ තියෙන කැම්පස් ටික බදු අරගෙන වගේනෙ. සාදියටත් මට වගේ තමා, සාදි කියන්නෙ ආදරේට, ඇත්තම නම 'මයුම්'. ඒත් වැඩිය කවුරුත් ඒක දන්නෙ නෑ.

බයික් එක මිදුලෙ නවත්තලා මම හිමින් හිමින් තාප්පෙ අයිනට වෙන්න තිබ්බ කොන්ක්‍රීට් බංකුව ළඟට ආවා. එතන ලස්සනට හදපු පුංචි පොකුණක් තියෙනවා. අපි ඉස්සර ඒකට කියන්නෙ 'ගෙබි පොකුණ' කියලා. පොඩි කාලේ මමයි සාදියි මේකට බැහැලා ගෙම්බො අල්ලලා ශ්‍රියා ඇන්ටිගෙ මැහුම් බඩු පෙට්ටියට දානවා. ඇන්ටි මාරම බයයි ගෙම්බන්ට. ඔය වගේ කරපු එක දවසක ඇන්ටි බයවෙලා වැටිලා අත කැඩුණා. එදයින් පස්සෙ නම් ජීවිතේට ඒ වැඩේ කළේ නෑ. දැන්නම් මේකෙ මාළු ඉන්නවා. ඉස්සර කොච්චර මාළු දැම්මත් ගෙම්බො උන්ව කනවනෙ. උන් මේක ගෙබි රාජධානිය කරගෙන හිටියෙ.

"කවුද මේ මාව හොයාගෙන ආපු ෆ්‍රෙන්ඩ්...?"

සාදිගෙ ස්වීට් වොයිස් එක මගෙ පිටිපස්සෙන් ඇහුණා. ජැකට් එකත් ගලවන ගමන් මම ඒකිගෙ පැත්තට හැරුණෙ ඒකිගෙ මූණ දිහා බලාගෙනමයි. ඒකිගෙ ඇස් ලොකු වෙලා පුදුම දෙයක් දැක්කා වගේ මං දිහා කන්න වගේ බලන් ඉන්නවා. ඒ කියන්නෙ ඒකිනම් මාව එලට් එකට අඳුන ගත්තා.

"ක්‍රි... ක්‍රි... ෂී... උ... ඹ..."

එහෙම කියලා කෑගහගෙනම සාදියා මගෙ බෙල්ල බදාගත්තා. මේකි ඉස්සර හිටපු එකාම තමා, බෙල්ල බදාගන්න පුරුද්ද තාම එහෙමමයි.

"ඔව් මම... ඔන්න මම උඹේ ඉල්ලීම ඉෂ්ට කළා. ලංකාවට ආවෙ ඊයේ. මුලින්ම උඹව බලන්න ආවා. ඒ වගේම මේ බයික් එකෙන් මුලින්ම ආවෙත් මෙහාට."

"අනේ දෙයියනේ, මට හිතාගන්නවත් බෑ. උඹ හුඟක් වෙනස් වෙලා. කෝ ඉස්සර හිටපු ක්‍රිෂි? ඇත්තමයි අඳුනගන්නත් බැරි වුණා. ඉඳගනින් ඉඳගනින්, හිටගෙන මොකද? අවුරුදු දෙකට මේක පිට තැනක් වුණාද?"

එහෙම කියලා ඒකිත් කොන්ක්‍රීට් බංකුවෙන් ඉඳගත්තා.

"කෝ බං ඇන්ටියි අංකලුයි...?"

"අද දෙන්නම ගෙදර. ටවුන් එකට ගිහින් එන්න කියලා ගියා. උඹව දැක්කම ගොඩක් සතුටු වෙයි. ඉතින් ඉතින්, කොහොමද අවුරුදු දෙකේ විස්තර...?"

"අවුලක් නෑ, අවුරුදු දෙකේම හොඳට මියුසික් ඉගෙන ගත්තා."

"ඇත්තමයි ක්‍රිෂී, උඹ ගොඩක් වෙනස් වෙලා. මට හිතාගන්නවත් බෑ. කෝ අර ඉස්සර හිටපු කොල්ලා වගේ කෙල්ල...?"

"වෙනස් වුණේ බාහිරින් විතරයි සාදි. හැසිරීමෙන්, හිත ඇතුළෙන්, ගතිගුණ වලින් හැමදේකින්ම ඉස්සර හිටපු පිස්සු හෝන්තුවම තමා."

"කොහොම වෙනස් වුණත් බයික් එක අතඇරලා නෑ වගේ..."

"ඒක ඉතින් මගෙ පණනෙ සුදු..."

"නන්දා ආන්ටි, අපිට බොන්න මොනා හරි ගේන්න."

අපිට ටිකක් එහාට වෙන්න මිදුල අතුගගා හිටපු නන්දා ආන්ටිට සාදි කිව්වා. එයා තමයි මේ ගෙදර මම දන්න කාලෙ ඉඳන් වැඩට ඉන්නෙ. හරියට ගෙදරම කෙනෙක් වගේ.

"මොකද බං නන්දා දිහා බලාගෙන කල්පනා කරන්නෙ...?"

"නෑ බං, මම වෙනස් වුණාට අනෙක් අය හැමෝම හිටියා වගේමයි. ඒකයි බැලුවේ."

ඒත් එක්කම වගේ ලස්සන රතු පාට කාර් එකක් ගේට්ටුවෙන් ඇතුළට දැම්මා.

"අම්මියි තාත්තියි. දැන් උඹව දැක්කම පුදුම වෙයි. අපි බලමු උඹව අඳුනගනීද කියලා. මටනම් ශුවර් අඳුනගන්නෑ."

බයික් එක දිහාට අමුතු බැල්මක් දාන ගමන් අංකලුයි ඇන්ටියි මේ පැත්තට එනවා. නන්දත් ඒත් එක්කම වගේ කට කපලා හදපු ලෙමන් ජූස් වීදුරු දෙකකුත් චොක්ලට් කේක් කෑලි වගයකුයි අරන් අනික් පැත්තෙන් මතු වුණා.

මම හිටියෙ අංකල්ටයි ඇන්ටිටයි පිටුපාලා. ඒ දෙන්නම ඇවිත් අපි ළඟින්ම ඉඳගත්තා.

"බයික් එක තියෙන හින්දා බැලුවේ. ඒත් මම හිතුවා අයියගෙ යාළුවෙක්ද කියලා. බලපුවාම ගෑනු ළමයෙක්නෙ. කවුද දූ මේ? ඔයාගේ කැම්පස් එකේ යාළුවෙක්ද...?"

චන්දන අංකල් හෝ ගාලා කියවනවා. සාදිගෙ මූණෙන් හිනාව පිටට පනින්න ඔන්න මෙන්න. මේකිනම් දැන් වැඩේ කනවා. මදෑ අංකල්ව රවට්ටන්න හැදුවා.

"නෑ තාත්ති, ඉස්සර ඉස්කෝලෙ යාළුවෙක්. ඔයාට අඳුනන්න බැරිද?"

අංකලුයි ඇන්ටියි මාව අඳුනගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා කියලා මට තේරුණා. පව් අප්පා, එයාලට කොහොමත් බෑ.

"මට හොඳට දැකලා පුරුදුයි. ඒත් ඒ හැටි මතකයක් නෑ..."

ඒ පාර ශ්‍රියා ඇන්ටි මැද්දෙන් පැන්නා. මෙයා ගෙම්බන්ට බය වුණාට එයත් ඒ කුලේම තමයි. පනින්න හොඳට පුළුවන්.

"ඇයි අනේ... ඔය දෙන්නට අඳුනන්නම බැරිද? ඔය දෙන්නගෙ මතක ශක්තියනම් බිංදුවයි. ඇයි තාත්ති... ඉස්සර ඉස්කෝලෙදි හොරෙන් කාලා මාට්ටු වෙලා ඔය දෙන්නව ගෙන්නුවේ. එතකොට කාන්ති මිස් එනකොට කෙහෙල් ලෙල්ලක් විසි කරලා ඒක පෑගිලා මිස්ව වැටිලා ආයෙත් ඔය දෙන්නව ගෙන්නුවේ. මතකද ඉස්කෝලෙ තට්ටු තුනේ බිල්ඩින් එකේ උඩම තට්ටුවේ ඉඳන් ජනේලයෙන් අත හෝදලා ප්‍රින්සිපල්ගේ තට්ටෙට වතුර වැටිලා ඉස්කෝලේ තහනම් කළේ? කොල්ලොත් එක්ක පීරියඩ් කට් කරලා මාට්ටු වුණේ? ඔය ඔක්කොම පිස්සු වැඩ වලට මාත් එක්ක එකටම හිටපු කොල්ලා වගේ යාළුවා මතක නැද්ද? කොටින්ම කියනවා නම් ඔය වැඩ වල මූලිකයා මතක නැද්ද?"

"ඇයි තාත්තෙ, ඔයාට තව මතකද? 4 වසරෙදි කාක්කා ගැන රචනාවක් ලියන්න කියලා අපි දෙන්නම 'කාක්කා කළු පාටයි' කියලා ලියලා තිබ්බේ. ඇයි මංගලා මිස්ට මුරුක්කු වලින් ගහලා අපි දෙන්නවම දවසක්ම දණ ගස්සලා තිබ්බෙ. ගුරු පුටුවේ චුයින්ගම් අලවලා මාරසිංහ සර්ගෙ කලිසමේ ඇලවිලා සර් ගෙදරටම ඇවිල්ලා බැනලා ගියෙ. කොටින්ම කියනවා නම් අම්මිගෙ මැහුම් පෙට්ටියටයි, හෑන්ඩ් බෑග් එකටයි මෙන්න මේ පොකුණෙන් ගෙම්බො අල්ලලා දාපු පිස්සු කෙල්ලව මතක නැද්ද...?"

සාදි එකින් එක මතක් කරලා දෙනකොට අංකල්ගෙයි ඇන්ටිගෙයි ඇස් දෙක උඩ යනවා මම දැක්කා. දැන් නම් නිකන් දෙන්නව කරකවලා අතඇරියා වගේ.

"ක්‍රිෂී... මගෙ දුවේ... මට හරි පුදුමයි. කවදද ලංකාවට ආවේ...?"

"ඊයෙ උදේ අංකල්..."

අංකල් අහන ප්‍රශ්නෙට උත්තර දෙන ගමන්ම මම නැගිටලා ගිහින් අංකල්ගෙයි ඇන්ටිගෙයි කකුල් දෙක අල්ලලා වැන්දා. ඉස්සරත් මම ඔහොම්මමයි. තාත්තයි අම්මයි කියලා මම වඳින්නේ අංකල්ටයි ඇන්ටිටයි.

මම මොන දඟ වැඩ කළත්, ඒ හැම එකකටම සාදිත් මාත් එක්කම දඬුවම් වින්දත්, කවදාවත් එයාලා මාවයි සාදිවයි වෙන් කරන්න හැදුවේ නෑ. අපේ වැඩ අහලා බඩ අල්ලන් හිනා වුණා මිසක්. අපි හින්දා කී වතාවක් මේ දෙන්නා ඉස්කෝලෙට ඇවිත් ඇද්ද? හැම ගුරුවරයෙක්ම කිව්වේ සාදිව මගෙන් ඈත් කරන්න, මම හින්දා ඒකිවත් හදාගන්න බැරි වෙයි කියලා. එවලෙට හා කියලා ගෙදර ආවට ඊට පස්සෙ ඒ ගැන කතා කරන්නෙවත් නෑ. ඉස්සර පන්තියට එන ගුරුවරු ඔක්කොම උගන්වන්න කලින්ම අපි දෙන්නව පන්තියෙන් එළියට දානවා. පන්තියෙ උන් මොනා කළත් මාට්ටු වෙන්නෙ අපි දෙන්නව. මොකක් හරි මගෝඩි වැඩක් ඉස්කෝලෙ වුණොත් ප්‍රින්සිපල් මුලින්ම අහන්නෙ අපි දෙන්නගෙ නම්. ඒ තරම්ම ඉස්කෝලෙ ගුරුවරුන්ට අපි දෙන්නව එපා වෙලා තිබ්බේ.

අපි මොන වැඩේ කළත්, ගුරුවරු මොනවා කිව්වත්, අපි හොඳට ඉගෙන ගන්නවා කියලා අංකල් දැනගෙන හිටියා. A/L ඉවර වෙච්ච ගමන්ම මම රට ගියත් රිසාල්ට් ආවම අපි දෙන්නම කැම්පස් සිලෙක්ට් වෙලා තිබුණා. වෙනසකට තිබුණේ A 3 ක් දාලා සාදි සිලෙක්ට් වෙලා තිබුණෙ ලෝ ෆැකල්ටි. මම A 2 යි B 1 දාලා නිකන්ම නිකන් කැම්පස් සිලෙක්ට් වෙලා තිබ්බා. ඒක සාදියාගේ දිස්ත්‍රික් රෑන්ක් එක 17. මම කැම්පස් සිලෙක්ට් වුණත් ගියේ නෑ. තවදුරටත් ඉගෙන ගන්න මගෙ පුංචි ආසාවක්වත් තිබුණේ නෑ. ඒත් සාදි ඉස්කෝලෙට ගිහින් ප්‍රින්සිපල්ට මගෙ රිසාල්ට් කිව්වම ප්‍රින්සිපල් කිව්වලු, "මම දැනගෙන හිටියා මේ ළමයි කැම්පස් යනවා කියලා. කොහොමත් ඉස්සරත් මේ වගේ හොඳ ළමයි දෙන්නෙක් මේ ඉස්කෝලෙම හිටියෙ නෑ. ඔන්න ඕකයි කියන්නෙ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා කියලා." පස්සෙ දවසක අයියා මට ඕක කිව්වෙ මහ හයියෙන් හිනා වෙවී.

සාදියා නම් දැන් කැම්පස් යනවා. ඒකිත් කවදා හරි අංකල් ගිය අඩි පාරෙම යයි. මම ගෙදරට බෑ කිව්ව නිසා එයාලා මට බල කළේ නෑ. කොහොමත් මම කැමති දේවල් කරන්න මට ඕන තරම් නිදහස තියෙනවා. ඒත් ඉතින් දැන් මේකිටනම් වැඩිය මාත් එක්ක රස්තියාදු ගහන්න වෙන්නෙ නෑ කොළඹ කැම්පස් හින්දා. ගෙදර ඉඳන් ආව ගියාට ඒකිටත් වැඩ ඇතිනෙ.

"මොනාද දූ කල්පනා කරන්නෙ...?"

"නෑ අංකල්, මුකුත් නෑ..."

එතකොට තමයි මම දැක්කෙ නන්දා ආන්ටි බීම ට්‍රේ එක අතේ තියාගෙන මං දිහා කන්න වගේ බලන් ඉන්නවා. මේ ගෑනිට පිස්සුද මන්දා යකෝ, මේක ගෙනාවේ අතේ තියන් ඉන්නයැ, බොන්නනෙ.

"නන්දා ආන්ටි, මටනම් බඩගිනියි. ඕක මෙතනින් තිබ්බනම්..."

එකපාරටම නන්දා ආන්ටි ගැස්සිලා ගියා. එතකොට මේ ගෑනි මෙච්චර වෙලා ඉඳලා තියෙන්නෙ මොන ලෝකෙද? මං කිව්ව දේට ලැජ්ජා හිතිලද කොහෙද, නන්දා ආන්ටි ට්‍රේ එක මේසෙ උඩින් තිබ්බා.

"අපේ නන්දා ක්‍රිෂීව දැකලා බයවෙලාද කොහෙද..."

"ඒකනෙ ශ්‍රියා ආන්ටි. නන්දා ආන්ටි බයවෙන්න මම යකෙක්යැ."

"යකෙක් වගේ තමා ක්‍රිෂී බේබි, මාර විදියට වෙනස් වෙලානෙ. ඉස්සර මට හොරෙන් කුස්සියට ඇවිත් මාව බය කරලා කිරිපිටි බෝතලේ අරන් දිව්ව චූටි කෙල්ලද කියලා හිතෙනවා..."

"හෝව්... හෝව්... හෝව්..."

මම පුටුවෙන් නැගිටලා නන්දා ගාවට යන ගමන් කිව්වා. ගෑනි හොඳටම බයවෙලාද කොහෙද. මං දිහා බලන් හිටියෙ අමුතු සතෙක් දිහා බලන් ඉන්නවා වගේ.

"ඇයි ක්‍රිෂි... බේබි?"

"නන්දා ආන්ටි, ඔයා දන්නවද දැන් මට ඔය 'වෙනස් වෙලා' කියලා කියන කතාව අහලා අහලා එපා වෙලා. මුලින්ම ගෙදර සෙට් එක, ඊළඟට බීච් එකේ වඩේ අයියා, සාදි, ආන්ටි, අංකල්... කී දෙනෙක්ද අප්පා. ආයෙනම් ඔය කතාව කියන්න එපා. ඕක දැන් මගෙ කණ ළඟ රිවයින්ඩ් වෙනවා වගේ."

මම මාර දුක හිතෙන විදියට මූඩ් එකත් හදාගෙන කිව්වා. ඇයි අප්පා, ඇත්තනෙ, බලන බලන හැමෝම කියන්නෙ ඕක. අංකලුයි, ආන්ටියි, සාදියි හෝ ගාලා හිනා වෙනවා. නන්දාටත් චුට්ටි හිනාවක් ගියා. ඒ හිනාව පිටින්ම එයා ගේ ඇතුළට ගියා.

"ඇත්තමයි දුව, ඔයා රූපෙන් වෙනස් වුණාට ඉස්සර හිටපු ක්‍රිෂීම තමා."

"ඔන්න ඔන්න අංකල්, ඔය... බලන් යනකොට නන්දා ආන්ටි හොඳයිනෙ."

"හරි හරි ආයෙ කියන්නෑ..."

අංකල් එහෙම කියන ගමන් නැගිට්ටා. ඒත් එක්කම ශ්‍රියා ආන්ටිත් නැගිට්ටා. මොන මඟුලක්ද මන්දා, අංකල් කරන එකමනෙ ඇන්ටිත් කරන්නෙ. සමහර විට ඒක සාර්ථක පවුල් ජීවිතේක එක ලක්ෂණයක් වෙන්න ඇති.

"ආන්ටි... ගෙම්බෙක් අල්ලලා දෙන්නද?"

"ඊයා දුව, ඔයා තාමත් ඔය කැත පුරුදු අතඇරලා නැද්ද...?"

"ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ ආන්ටි..."

"හා හා... අපි යනවා. හුඟ කාලෙකින් හින්දා යාළුවො දෙන්නට කතා කරන්න දේවලුත් ඇතිනෙ. යන්න කලින් කියලා යන්න. රට යද්දි පැදුරටත් නොකියා ගියා වගේ නොකියා යන්න එපා."

එහෙම කියලා මට පොඩි හින්ට් එකකුත් ඇරලා අංකලුයි ආන්ටියි ගේ පැත්තට ගියා.

****** 

 "මම හිතන්නෙ උඹ ඔය කරන්න යන වැඩේ නොකළොත් තමා හොඳ..."

සුදුම සුදු පාටට පෙරළි පෙරළි ආපු රැල්ලක් අපි දෙන්නගෙ කකුල් වල හැප්පිලා ආපහු යන්න යනකොට සාදි කිව්වෙ අමුතු කතාවක්. මම මෙච්චර වෙලා කිව්ව හැමදේම අහන් ඉඳලා මේකිට කියන්න තිබ්බෙ මෙච්චරද?

"මොකක්ද සාදි ඒ කිව්ව කතාව...?"

"නෑ බං, මම කිව්වේ උඹ ඉඳුවරට ඇත්තටම ආදරේ කළානම් කවදාවත් ඉඳුවරට වෛර කරන්න බෑ. ඔය විදියට පළිගන්න හදන්නත් බෑ."

හොඳම යාළුවා වුණත් ඇත්තටම මට මේ වෙලාවේ යාළුකම පැත්තකට දාලා, මේකිව මරලා හංගන්න හිතෙනවා. ඇයි යකෝ, හිතේ තියෙන හැමදේම කියන්න මේකිවත් බයික් එකේ දාගෙන බීච් එකට ආපු මට ගහන්න ඕනා.

"ඉඳුවර මට කරපු දේ ගැන උඹ මොනාද හිතන්නෙ...?"

"ඉඳුවර කළේ බලු වැඩක් තමයි. ඒත් අපි ඕක අතඇරලා දාමු. වෛරයෙන් වෛරය කවදාවත් සන්සිඳෙන්නෙ නෑ කියලා අපේ ආගමෙත් කියලා තියෙනවනෙ ක්‍රිෂි."

"ඒ කියන්නෙ කවදාවත් වට්ටන්න බැරුව හිටපු ක්‍රිෂීව බිංදුවට වට්ටපු, ආයෙ මේ මීගමු සයිඩ් එකේ මට ඔළුව කෙළින් කරන් ඉන්න නැති කරපු, මගෙ ආදරේ බිංදුවටම දාලා කතා කරපු, කොටින්ම කියනවා නම් මගෙ ආදරේ උපන් ගෙයිම මරලා වළලලා දාපු ඒ චපල කොල්ලට සමාව දෙන්න කියලද උඹ මට කියන්නෙ...?"

"සමාව දෙන්න කියනවා නෙමේ ක්‍රිෂී, කවදාවත් සමාව දෙන්නත් එපා. ඒත් ඔය පළිගන්න හිතේ තියෙන අදහස හිතින් අයින් කරපන්."

එක වෙලාවකට සාදි කියන්නෙ මාරම කතා. ඇයි දෙයියනේ, ලෝ ෆැකල්ටියේ ඉගෙන ගන්නෙ එකී විතරයි. එකිගෙ ඔය තර්ක විතර්ක මට තේරෙන්නෑ.

"මේකයි ක්‍රිෂි, සමහර විට උඹ දන්නෙ නැතුව ඇති. ඇත්තටම ආදරේ කරපු කෙනෙකුට, තමන් ගොඩක් ආදරේ කරපු කෙනාට කවදාවත් වෛර කරන්න බෑ. වෛර කළත් ඒක හරිම තාවකාලිකයි. ආයෙත් අර කෙනා එයා ගාවට ඇවිදින් සමාව ඉල්ලුවොත් අර ගල් කරගෙන හිටපු හිත ටක් ගාලා වෙනස් වෙනවා. ඒ අර ආදරේ තාමත් හිත ඇතුළෙ හැංගිමුත්තං කරන නිසා. ඕක මේ මුළු ලෝක ධර්මෙටම පොදුයි ක්‍රිෂී. ඉඳුවරට කරදරයක් වුණොත් උඹේ ඔය වෛරය නැතිවෙලා ආදරේ එළියට එන්නෙ නැද්ද? බලපන් මම කියන්නේ බොරුද කියලා. ඔය ළඟ තියෙන හාට් එකෙන්ම අහලා බලපන්. උඹ කිව්වට ආදරෙයි වෛරයයි අතර තියෙන්නෙ කෙස්ගහක වෙනසක් කියලා, නෑ ක්‍රිෂී, ආදරෙයි වෛරයයි ගොඩක් ඈතයි. කොටින්ම කියනවා නම් ඒ දෙක හරි කෙළින් ඇන්ද සමාන්තර රේඛා දෙකක් වගේ. කවදාවත් කොහේදිවත් එකතු වෙන්නෑ. අපි අපේ හිතට කොච්චර වෛරය ඇතුළු කරන්න හැදුවත් ආදරේ අපිට ඉස්සර වෙනවා ක්‍රිෂි."

"අනේ මන්දා, මට ඕවා නොතේරේ..."

"ක්‍රිෂි, අපි ආදරේ අමතක කරන්න හැදුවට හිත ඇතුළෙ හැංගිලා තියෙන ආදරේ රබර් බෝලයක් කොච්චර වතුර යටට දැම්මත් උඩ එනවා වගේ උඩ එනවා බං. ඒක නවත්තන්න ලෝකෙ වටේ තියෙන දේවාල බදු අරන් ඉන්න දෙයියන්ටවත් බෑ."

"සමහර විට අපි ආදරේ කරන කෙනා ගොඩාක් නරක කෙනෙක් වෙන්න ඇති. ඒත් අපිට කරන්න දෙයක් නෑ, ඒ දේවල් තේරෙනකොට අපි ගොඩක් දුර ඇවිල්ලා ඉවරයි. අපේ ජීවිතේට කා වැදිච්ච ඒ ආදරේ අපිට කවදාවත්ම අමතක කරන්න බෑ. ඒක තමා බං කියන්නෙ 'ආදරය පරිස්සමින්, කසාදය කල්පනාවෙන්' කියලා. ආදරේ කියන්නෙ විශ්වාසය, දැන හඳුනා ගැනීම, අනුකම්පාව, හඳහන් ගැලපීම විතරක් නෙමේ බං, නියම ආදරය කියන්නෙ පරිත්‍යාගය. උඹ ආදරේ කරන කෙනාගෙ සතුට තියෙන්නෙ වෙන කෙනෙක් ගාවනම්, උඹට පුළුවන් නම් උඹේ ආදරේ හිතේ තද කරගෙන අර දෙන්නව එකතු කරන්න, ඒක තමා නියම ආදරේ."

"අපි කෙනෙකුට කැමති වෙන්න කලින් හොඳට හොයලා බලන්න ඕනා. මොකද කැමති වෙලා ඉවර වුණාට පස්සෙ ඒ කෙනා ගැන හොයලා බැලුවට වැඩක් නෑ. ගොඩක් දුර ඇවිල්ලා ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නෙ වේදනාව විතරයි. මොන සුළි සුළඟක් ආවත් කළු ගල් කඳු හෙලවෙන්නෑ වගේ අපේ හිතට මොන තරම් සතුටක් ආවත් අර වේදනා මැකිලා යන්නෑ. ජීවිත කාලෙම ඒ වේදනාව සැරින් සැරේට අපිට වද දෙනවා. ඒ වේදනාව යටින් ආපහු හැරිලා බලනකොට අපිට කවදාවත් හදාගන්න බැරි විදියට අපේ හදවත කෑලි කෑලි වලට කැඩිලා ගිහිල්ලා. තවත් එකක් තියෙනවා. මම කිව්ව දේවල් ඇත්තට වෙන්නෙ එළකිරි වගේ බොක්කෙන්ම ලව් කළානම් විතරයි. උඹ මගෙ ෆ්‍රෙඩා හින්දයි මම මෙච්චර දේවල් කිව්වේ. තීරණයක් ගන්න එක උඹේ වැඩක්."

ඇත්තටම සාදි කිව්ව දේවල් වල ලොකු ඇත්තක් තිබුණා. ඒත් ඒ කිසිම දෙයක් හරියි කියලා පිළිගන්න මගෙ හිත චුට්ටක්වත් කැමති වුණේ නෑ. ඒ වෙනුවට මගෙ හිතට ආවේ වෙනින් ප්‍රශ්නයක්. ආදරේ ගැන ලොකු ගැරන්ටියක් දෙන්න මේකිට පුළුවන් වුණේ කොහොමද? දන්න හැටියට මේකි කවදාවත් ලව් එකක් ගැන හිතලවත් තිබ්බෙ නෑ. ඒ කියන්නෙ මං නැති අතරෙ මේකිගෙ ලයිෆ් එකේ සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. ඒත් ඒ සතුටු හිතෙන දේවල්ද දුක හිතෙන දේවල්ද කියලා මට හිතාගන්න බැරි වුණා.

"මොකද උඹ එකපාරටම සයිලන්ට් වුණේ...?"

ලස්සනට රැල්ල ගහන මුහුද දිහා බලාගෙන කල්පනා කර කර හිටපු මම, මේ ලෝකෙට ආයෙත් පා වුණේ කණ ළඟින්ම ඇහුණු සාදියගෙ කටහඬින්.

"මොනාද උඹ කල්පනා කරන්නෙ? මොකද ක්‍රිෂී මම කියපු දේවල් ගැන හිතන්නෙ...?"

"උඹ මට කියන්නෙ..., 'ආදරේ පුදපු රත්තරන් සිතින් අද වෛර කරනු බෑනෙ රත්තරන්... ඔබ දුන්නු වේදනාවේ ගින්දරින්... මගෙ ඇස් පිය වෙනතුරු පිච්චෙන්නම්...' කියා කියා හැමදාම මම අඬ අඬා ඉන්න. නැත්නම් හිඟා කන්න කියලද...?"

"මම කියන්නෑ උඹට අඬන්න කියලා. ඒත් වෛර කරන එක පැත්තකට දාපන්. අනික ඉඳුවරට වඩා හොඳ කොල්ලො මේ ලෝකෙ නැතුවයැ. අයියා හොඳ රාජකුමාරයෙකුට උඹව දෙයි."

"උඹ කිව්ව ඒවා සියයට සියයක්ම ඇත්ත. ඒත් ඒ දේවල් පිළිගන්න මම චුට්ටක්වත් කැමති නෑ."

"තොට ඔයිට වැඩියෙ තේරුම් කරලා දෙන්නත් මට තේරෙන්නෑ."

"හරි ඒක පැත්තකින් තියමුකො. සාදි, මට වෙන ප්‍රශ්නයක් තියෙනවා..."

"මොකක්ද...?"

"ආදරේ ගැන ඔච්චරම ගැරන්ටියක් දෙන්න මම දන්න තරමින් උඹට අත්දැකීම් නෑ. ඒත් මම හිතනවා මේ අවුරුදු දෙකට ඒක වෙනස් වෙලා කියලා. මගෙ ජීවිතේ මට හයියෙන් කිඹුහුමක් ගියත් මම උඹට කියනවා. ඇයි සාදියො උඹේ දේවල් මට නොකියන්නෙ? අපි එච්චරටම ඈත් වෙලාද?"

මම අහපු ප්‍රශ්නෙට සාදිට ෆුල් අප්සෙට් ගියා. ඒ කියන්නෙ මොකක් හරි අවුලක් තමා. මගෙ දිහා බලාගෙන හිටපු ඒකිගෙ ඇස් දෙකට පුංචි කඳුළු බිංදු දෙකක් ඇවිත් තියෙනවා මම ඊළඟ තත්පරේදී දැක්කා. ඒකනම් සතුටට ආපු කඳුළක් නෙමේ කියලා මට ඉවෙන් වගේ තේරුණා. මං දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඈත මුහුද දිහා බලාගත්ත සාදියා දිග සුසුමක් පිට කළා. ඒ කියන්නේ කතාව ඒ තරම්ම සීරියස්ද?

"ඔව් ක්‍රිෂි, මේ ටික කාලෙට ජීවිතේ ගොඩක් වෙනස් වුණා. ඒත් ඒක ගැන කියන්න දැන් වෙලාව නෙමේ. වෙලාව ආවම මම ඒක අනිවා කියන්නම්."

"එතකොට ඔය කියන වෙලාව ආවෙ නැත්නම්?"

"නෑ ක්‍රිෂි, ඒ වෙලාව අනිවාර්යයෙන්ම එනවා. උඹ හිතුවා හරි. දැන් මටත් ආදරේ ගැන අත්දැකීම් තියෙනවා. විරහා වේදනාව මටත් හොඳට තේරෙනවා. ඒත් උඹට වගේ පළිගන්න මට බෑ."

ඒ කියන්නෙ මගෙ සැකේ හරියටම හරි. ඒත් ඒක මට දැන්ම දැනගන්න ලැබෙන්නෑ. කමක් නෑ, මේකිට ඕන වෙලාවක කියයිනෙ. ඒකිට ඕනම වෙලාවක මම ඉන්නවා. වචනෙන් කිව්වේ නැතත් මම ඒ ටික හිතේ තියාගත්තා.

"උඹ අකමැතිනම් කියන්න එපා සාදි. සාදිගෙ දුක අහන්න මේ ක්‍රිෂී ඕන වෙලාවක රෙඩි කියලා විතරක් මතක තියාගනින්."

"තෑන්ක්ස් බං, තෑන්ක්ස්..."

පුංචි හිනාවක් මූණට ගන්න ගමන් සාදියා මගෙ අත් දෙකෙන්ම අල්ලන් කිව්වා. ඇත්තටම ඒ හිනාව කොච්චර පිවිතුරුද? ඒ හිනාව මූණෙ තියන් ඉන්න සාදි ගැන මට හිතුණෙ පුදුම තරම් ලෝභකමක්. ඒකි ඒ තරමටම ලස්සන වෙලා. ඒ ලස්සන ඉස්සරත් තිබ්බට ඇත්තටම මම කවදාවත් මෙච්චර දුරට ඒක ගැන හිතලා තිබ්බෙ නෑ.

"ඒ පාර මොනාද උඹ මගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන කල්පනා කරන්නෙ...?"

"උඹ ඉස්සර හිටියටත් වඩා ලස්සන වෙලා. ඒකයි බැලුවේ."

"අනේ මේ... බටර් ගාන්නැතුව ඉස්සෙල්ලා මම අහපු දේට හරි උත්තරයක් දියං. මං මේ අහන්නෙ අන්තිම පාරට."

"මම උඹට කිව්වනෙ බං, දෙයියන් වහන්සේ ඇවිත් කිව්වත් මගෙ තීරණේ වෙනස් වෙන්නෙ නෑ නෑමයි."

"හරි, ඒක උඹේ අන්තිම තීරණේ කරගන්න කලින් මේ ටිකත් අහලා ඔය තීරණේ ස්ථිර කරපං. මෙච්චර වෙලා මම මේක කිව්වෙ නැත්තෙ උඹ අවුල් වෙනවා කියලා දන්න නිසා. ඒ වුණාට මේ ගැන තේරුම් කරන්නනම් මේ ටික කියන්න වෙනවා..."

"උඹ හිතනවා ඇති ක්‍රිෂී අච්චර අසාධාරණයක් උඹට කරපු ඉඳුවරව බේරන්න මට තියෙන අමාරුව මොකක්ද කියලා. හැබැයි අඬන්න බෑ... අවුල් වෙන්න බෑ... මම හැමදේම කියන්නම්..."

සාදියා කියන්න යන්නෙ සෑහෙන වැදගත් කතාවක් කියලා මට තේරුණා. කවදාවත් නැති විදියට මට මහ මූසල හැඟීම් ගොඩක් දැනුණා. ඒ දේවල් හරියට මටවත් තේරුම් ගන්න බෑ. ඒ තරමටම පැටලිලි සහගතයි. පැටලිච්ච නූල් බෝලෙ අග මුල හොයන්න කලින් මම සාදියා දිහාට හැරුණා.

"කියපං ඉතින් තවත් කන්න වගේ මූණ දිහා බලන් ඉන්නෙ නැතුව."

එහෙම සාදියට කෑගහලා මම සුදු පාට වැල්ලෙ ඉඳගත්තා. සාදිත් මට එහා පැත්තෙන් ඉඳගන්නවා දැක්කත් ඒකිව ගණන් නොගෙනම එතන තිබ්බ කෝටුවකින් මම වැල්ලෙ බලිබූත අඳින්න ගත්තා.

"උඹ දැන් කතාව අහන්න රෙඩි වෙලාද ඉන්නෙ?"

"ඔව් කියපන්, මම අහන් ඉන්නෙ..."

"හරි, මේක අහලා උඹේ අන්තිම තීරණේ දියන්කො. මේකයි සීන් එක."

සාදි එක පාරටම මාව අතීතෙට ඇදගෙන ගියා.

"උඹට එදා බූට් එක තියලා ඉඳුවර අපිව දාලා බීච් එකෙන් වික්‍රමසිංහ පැත්තට ගියා. රනියත් ඌත් එක්ක යන්න ගියා. උඹ ලංකාවම දාලා වෙන රටකට ගියා..."

"හරි සාදි, ඕවා මම දන්න කතන්දරනේ. මට වැදගත් දේ විතරක් කියපන්..."

"පොඩ්ඩක් ඉවසපං ක්‍රිෂී. මේක මට මුල ඉඳලා කියන්න දීලා දෙයියන්ගෙ නාමෙට උදැල්ල දාන්නෙ නැතුව පැත්තකට වෙලා ඉඳපන්..."

එහෙම කියලා සාදියා ආයෙත් ට්‍රැක් එකට ආවා.

"ඊට පස්සෙ මාත් වැඩියෙ එළියට ආවේ නෑ. උඹ ගිහින් මාස තුන හතරකට පස්සේ රිසාල්ට් ඇවිත්, කැම්පස් යන්න වුවමනා බඩු ගන්න දවසක් මායි තාත්තයි ෂොපිං ආවා."

මම වැල්ලෙ බලිබූත අඳින ගමන් කතාව අහගෙන හිටියා. සාදි එක පාරටම කතාව නැවැත්තුවා. මම ඒකි දිහාට හැරුණෙ නිකමට වගේ. ඒත් ඒකිගෙ ඇස් නැවතිලා තිබුණේ බීච් එකේ දකුණු පැත්තට වෙන්න රැල්ල පාග පාග හිටපු මිනිස්සු ළඟ. ඒකි බලන් ඉන්නෙ කවුරු දිහාද කියලා මට හරියටම හොයාගන්න බැරි වුණා. ඒකමයි මම ඒකිගෙ කකුලට හයියෙන් පාරක් දුන්නෙ.

"මොකද බං? කතාව එච්චරද? කොහෙද ඔය බලන් ඉන්නෙ?"

"නෑ... නෑ... මේ... මේ අඳුරන කෙනෙක් වගේ, ඒකයි බැලුවේ."

"ඉතින් අඳුරන කෙනෙක්ද?"

"නෑ බං, වෙන කෙනෙක්."

"එහෙනම් ඉතින් කතාව කියපං බූරුවො."

"ඉතින් උඹ ඔය මඟුල් ඇදිල්ල නවත්තලා මම කියන දේ අහගෙන ඉඳහංකො."

"අහගෙන තමා ඉන්නෙ, උඹ කියපං..."

මං දිහා රවලා බලලා අහක බලාගත්තු සාදි, ආයෙත් කතාව පටන් ගත්තා.

"අපි යනකොට පාරෙ තිබ්බෙ මාර බ්ලොක් එකක්."

ඇත්තටම මේකිගෙ කොහේ හරි වයර් ෂෝට් වෙලාද මන්දා. ඉඳුවරගෙයි මගෙයි ප්‍රශ්නෙට මේක අදාළ වෙන්නෙ කොහොමද? මොනා කරන්නද, මේකි කියලා ඉවර වෙනකම් අහන් ඉන්න වෙනවනේ.

"ඒ බ්ලොක් එක මොකද කියලා බලන්න අපේ තාත්ති පුළුවන් තරම් කාර් එක ඉස්සරහට ගත්තා. එතකොටයි අපි දන්නෙ එතන ලොකු එක්සිඩන්ට් එකක් වෙලා කියලා. ඒත් එකෙක්වත් කිට්ටු වෙන්නෙ නෑ. පොලීසියෙන් එනකම් ලං වෙන්න බෑ කියලා හැමෝම බලන් ඉන්නවා. මහ කාලකන්නි ටිකක්. අපේ තාත්තිට මල පැන්නා. දන්නවනෙ, හිත ටක් ගාලා උණු වෙනවනෙ. එතන පණ ඇඳ ඇඳ හිටපු කොල්ලවත් කාර් එකේ දාගෙන මායි තාත්තියි හොස්පිට්ල් ගියා... එතන හිටිය තව කවුද මන්දා කොල්ලෙකුත් අපේ කාර් එකට නැග්ගා..."

සාදියා ඒ ටික කිව්වේ නම් අමුතු විදියට. මොකද ඒකා ගැන කියන කොට මෙයා අමුතු වුණේ? බලමුකො බලමුකො, 'හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට' කියනවනේ. ඒත් මට හිතාගන්න බැරි මේ එක්සිඩන්ට් එකෙයි මගෙ ප්‍රශ්නෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියලා. දෙයියනේ, මේ කියන්න හදන්නෙ ඒ එක්සිඩන්ට් වුණේ ඉඳුවරට කියලද? මගෙ හිත කියපු දෙයින් එකපාරටම මාව හීතල වෙලා ගියා. ඒත් මට මුකුත්ම අහන්න කලින් සාදි ආයෙත් කතාව පටන් ගත්තා.

"ඊට පස්සෙ ඒ ලෙඩාට ඔපරේෂන් තුන හතරක්ම කළා. එක්සිඩන්ට් එකේ බරපතලකම කියන්නෙ ලෙඩාගෙ මොළේ හෙල්ලිලා, ස්නායු ඩැමේජ් වෙලා කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ලේ වලින් වැහිලා තිබ්බ හින්දා එයාගෙ මූණ හරියට පෙණුනෙ නෑ. අපි ලෙඩාව භාර දුන්න නිසා එයාගෙ ෆෝන් එක, පර්ස් එක, ඔරලෝසුව, කරේ තිබ්බ රත්තරන් චේන් එක, කනේ තිබ්බ රත්තරන් කරාබුව... ඔය ඔක්කොම නර්ස් කෙනෙක් මගෙ අතට ගෙනත් දුන්නා. ලෙඩා අපේ කවුරුත් නෙමේ කිව්වම, අයිඩින්ටිය බලලා එයාගෙ ෆෝන් එකේ තියෙන නම්බර් එකකට කෝල් එකක් දීලා හොස්පිට්ල් එකට ගෙන්නන්න කියලා නර්ස් යන්න ගියා. පර්ස් එකේ තිබ්බ අයිඩින්ටිය දැකලා මාව රත් වුණා බං. ඒකෙ හිටියෙ වෙන කවුරුත් නෙමේ ඉඳුවර. 'ඉඳුවර සහස්‍ර ජයවර්ධන' කියන නම දැක්කා විතරයි මට ඉන්න තැනත් අමතක වුණා. ඌ හැප්පිලා තිබ්බෙ කන්ටේනර් එකක. සෑහෙන්න ඩැමේජ් තිබ්බා ක්‍රිෂී."

සාදි කිව්ව හැමදේම මට ඇහුණේ හීනෙන් වගේ. ලෝකෙම මගේ වටේ කැරකෙනවා වගේ දැනෙද්දී මම හයියෙන් සාදිව අල්ලගන්නවා විතරයි මට මතක. ආයෙත් හරියටම සිහිය එනකොට මම හිටියේ පුටුවක් උඩ. මට මොකද වුණේ කියලා හිතනකොට සාදි කිව්ව දේවල් එකින් එක මට මතක් වෙන්න ගත්තා. ජීවිතේට වෙන කෙනෙක් ඉස්සරහා කඳුළු වැටිලා නැති ඇස් දෙකෙන් හෝ ගාලා කඳුළු ගලාගෙන යනකොට මට මහ අසරණකමක් දැනුණා. ඒත් එක්කමයි මට මතක් වුණේ 'ඉඳුවරට මොකද ඊට පස්සෙ වුණේ?' කියලා මම සාදිගෙන් ඇහුවෙ නෑ කියලා. මම හිමින් සීරුවේ ඇස් ඇරලා වටපිට බලද්දි මගෙ ඉස්සරහා ඉඳගෙන සාදි මට පවන් ගහනවත්, ඊට ටිකක් එහායින් වඩේ අයියා හිටගෙන ඉන්නවත් මම දැක්කා. ඇලවෙලා වගේ පුටුවෙ ඉඳගෙන හිටපු මම පුටුවේ කෙළින් වෙලා ඉඳගත්තා.

"ක්‍රිෂි, උඹට අවුලක් නෑ නේද කෙල්ලෙ...?"

"නෑ සාදි, අනේ දැන් කෝ මගේ ඉඳුවර? අනේ සාදි, එයාට කරදරයක් නෑ නේද? මාව බය කරන්නෙ නැතුව මට කියපන් බං... ප්ලීස්..."

ඒ වෙලාවේ වඩේ අයියා එතන ඉන්නවා කියලවත් මට මතක් වුණේ නෑ. මගෙ මුළු ජීවිතේම එක තැන නතර වෙලා වගේ හැඟීමක් විතරයි මට දැනුණෙ. සාදියා ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් ඉඳලා වඩේ අයියා දිහා බැලුවා. ඒ කියන්නෙ වඩේ අයියට යන්න කියන්න වගේ. ඒක වඩේ අයියට තේරුණාද කොහෙද.

"එහෙනම් නෝනා, දැන් ක්‍රිෂි නෝනාටත් හොඳයිනෙ. මම යන්නම්, වෙළඳාමුත් පාඩු වෙනවනේ. ආයෙ උවමනා වුණොත් කතා කරන්නකෝ..."

එහෙම කියලා අපිට පිටුපාලා යන වඩේ අයියා ගැන මට ඇත්තටම ඇති වුණේ ලොකු දුකක්.

"වඩේ අයියෙ..."

මම ආයෙත් මිනිහට කතා කළේ එක පාරයි, අපරාදෙ කියන්න බෑ, මිනිහා ටක් ගාලා මං ගාව.

"ඇයි නෝනෙ...?"

"තෑන්ක්ස් වඩේ අයියා. මට කලන්තෙ දාපු වෙලාවේ ඔයා හිටියෙ නැත්නම් මේකි ලොකු අමාරුවක වැටෙනවා. අනේ ඔයාට පිං වඩේ අයියෙ, ඔයා හරිම හොඳයි. ලොකු උදව්වක් කළේ."

"අනේ ඕක මොකක්ද නෝනා. ඔය වගේ වෙලාවට නැති උදව් කොයි වෙලාවට කරන්නද? අපි මනුස්සයොනෙ නෝනෙ. මම ගිහින් එන්නම්කො..."

අපි දෙන්නට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා මිනිහා ආපහු හැරිලා ගියා.

"ඔය ගියාට ඔය යකා අපිව පේන මානෙමයි ඉන්නෙ."

"ඔව් සාදි, මම දන්නවා... මිනිහට බයයි අපිට කරදරයක් වෙයි කියලා. ඒකෙන් වැඩක් නෑ. මට ඉතුරු සීන් එක කියපං සාදි, මගේ ඉඳුවර කෝ? එයාට මොකද වුණේ...?"

"මම උඹට කිව්ව දේ ඇත්ත නේද...?"

"මොකක්ද?"

හිතේ කෝටියක් දේවල් තිබ්බත් ඒකත් දැනගෙන ඉන්නවා කියලා හිතාගෙන මම ඇහුවා.

"ආදරේ මහ පුදුම දෙයක් ක්‍රිෂි, කොච්චර වෛර කළත් ඒ කෙනාට කරදරයක් කිව්වම ටක් ගාලා හිත පත්තු වෙනවා. ඒක තමා ක්‍රිෂී මම මෙච්චර වෙලා කිව්වෙ, ආදරයයි වෛරයයි ළං කරන්න ට්‍රයි කරන්න එපා කියලා."

සාදියා කිව්ව කතාවේ හිතන්න දේවල් සෑහෙන්න තිබ්බත් මම ඒ ගැන හිතන්න ගියේ නෑ. මට ඕන වුණේ ඉඳුවරට මොකද වුණේ කියලා දැනගන්න විතරයි. මම ආයෙත් සාදිගෙ පැත්තට හැරුණෙ ඇත්තටම තරහෙන්. ඒක ඒකිට තේරිලද කොහෙද, ඒකි ආයෙත් කතාව පටන් ගත්තා.

"හැබැයි ඔන්න, අප්සෙට් අරගෙන කලන්තෙ දාලා ආයෙත් වඩේ අයියට වද දෙන්න එපා. මිනිහා මේ පුටුවත් කොහෙන් ගෙනාවද මන්දා. පව් ඒ යකා."

"හරි හරි... කියහංකො..."

"ඉඳුවර මැරුණෙ නෑ බං, තාම ජීවත් වෙනවා. ඉස්සර හිටපු ගෙදරම අංකලුත් එක්ක."

මොනා නැතත් සාදි කියපු දෙයින් මගේ හිතේ තිබ්බ බර නැත්තටම නැති වෙලා ගියා. ඒත් ආයෙත් ඒකිගෙ කටින් පිට වෙච්ච දෙයින් මගෙ හිතේ නැති වෙච්ච බර දස ගුණයකින් වැඩි වෙලා ආයෙත් හිත ඇතුළෙම තැන්පත් වුණා.

"ඇති යන්තම් බං, දැන් තමා මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ."

මම එහෙම කිව්වම සාදි මං දිහා බලාගෙන හිටියා. ඒ මූණෙ තිබුණෙ සම්පූර්ණ අනුකම්පාවක් කියලා තේරෙද්දි මම ආයෙ බය වුණා.

"ඒත්... ඒ... ක්‍රිෂි, දැන් ඉඳුවරගෙ ඇස් දෙකම පේන්නෙ නෑ. පව් බං, ඌට ඉන්නෙ තාත්තා විතරයි. වටේ හිටපු ගැන් එකම දාලා ගිහින්. රන්දික විතරයි කෝකටත් තෛලෙ කියලා ළඟින් ඉන්න යාළුවා. අර ඉස්සර හිටපු දඟකාර ඉඳුවර දැන් නෑ ක්‍රිෂී."

ඒ කිව්ව දේවල් අදහාගන්න බැරුව වගේ මං සාදියා දිහා බලන් හිටියෙ. ඇත්තමයි, ජීවිතේ පළවෙනි වතාවට මගෙ ඇස් දෙකෙන් මෙච්චර කඳුළු ගොඩක් ගලාගෙන යන්නෙ.

"දැන්වත් ක්‍රිෂි, මං කියන දේ පිළිගන්නවද? මම උගෙන් පළිගන්න එපා කියලා කිව්වේ ඇයි කියලා දැන්වත් තේරෙනවද? ඉඳුවරට දෙන්න ඕන උපරිම දඬුවම දෙයියො දුන්නා ක්‍රිෂි. ඒකයි මම එහෙම කිව්වෙ. දැන් උඹේ අන්තිම තීරණේ මොකක්ද...?"

සාදි අහපු දේට දෙන්න හොඳ උත්තරයක් මං ළඟ තිබුණෙ නෑ. 'කවදාවත් මම ඉඳුවරගෙන් පළිගන්නේ නෑ' කියලනම් මම මගෙ හිතටම දිවුරා ගත්තා.

"උඹ හරි සාදි."

මම කිව්වේ එච්චරයි. ඒත් සාදි ඒ වචන තුනෙන් ගොඩක් දේවල් තේරුම් ගත්තා කියලා ඒ මූණෙ ලියැවිලා තිබ්බා.

"මට ඉඳුවරව බලන්න ඕනා..."

මම ඊළඟට කිව්ව දේ සාදිට අදහාගන්න බැරුව වගේ ඒකී ගැස්සිලා ගියා. ඒ වුණාට ඊළඟ තත්පරේදී එකිගෙ මූණට ලස්සන හිනාවක් ආවා.

"ඔන්න ඕකට තමා නියම ආදරේ කියන්නෙ... හරි, කවදද අපි යන්නෙ...?"

"මේ දැන්මම..."

"දැන්? තොට පිස්සුද බූරුවො? දැන් හොඳටම හවස් වෙලා. බලපන් පහටත් ළඟයි. අපි හෙට උදේ යමු. ඉරිදා නිසා අංකලුත් හෙට ගෙදර ඇති."

"එහෙනම් හෙට ශුවර්නෙ...?"

"මම උඹට ලණු දීලා නෑනෙ ක්‍රිෂී..."

"හරි එහෙනම් දැන් ගෙදර යමන්..."

එහෙම කියලා අපි නැගිටින කොටම, වඩේ අයියා අපේ පිටිපස්සෙ.

"නෝනලා යන්නද ලෑස්තිය?"

"ඔව් වඩේ අයියා... මේ පුටුව."

"ආ... කෝ දෙන්න... මේ අර හට් එකේ තිබුණ පුටුවක්. ඉඳගෙන හිටපු එකාව එලවලා මම අරගෙන ආවේ."

සාදිගෙ අතින් පුටුව ගත්ත වඩේ අයියා කිව්වේ මාර කතාවක්. මිනිහත් අමාරු වැඩ තමා කරන්නෙ.

"එහෙනම් අපි ගියා වඩේ අයියෙ... තෑන්ක්ස් හෙල්ප් එකට."

"හොඳයි නෝනා..."


***********

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි." 

Next Episode

 Next Episode

 

Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1