දඟකාර ආඩම්බරී 4

 


 

 

 


4 වන දිගහැරුම

"ක්‍රිෂී... ඔයා ඇතුළෙද...?"

"ඔව් වරෙන් සාදි ඇතුළට, මම මේ එහෙ එන්න ලෑස්ති වුණේ."

"උඹට ඊයේ තිබුණ තදියමේ හැටියට මම හිතුවා පාන්දර හය වේද්දිවත් අපේ ගෙදර ඉඳියි කියලා..."

"මට තිබුණ හදිස්සියට මම එන්නෙ පාන්දර හයට නෙමේ බං, දෙකට තුනට. කොහෙද ගෙදරින් පැන ගන්නත් එපායැ. ඒක නෙමේ, කාත් එක්කද ආවේ...?"

"තාත්ති එක්ක. තාත්ති සුදු සීයා හම්බෙන්න එනවා කිව්වා. ඉතින් මාත් පැනගෙන ආවා."

"ආනේ... චන්දු අංකල් ආවද...? කෝ...?"

"අන්න පහළ භවන්ත අයියයි, සුදු සීයයි එක්ක චැට් එක දාගෙන ඉන්නවා."

"ඕ... මයි.... ගෝඩ්! එතන දෙන්නම ඉන්නවද...?"

"ඒ දෙන්නා විතරක් නෙමේ ක්‍රිෂී.. මුළු ෆැමිලි එකම ඉන්නවා. ශනු හිටන්."

"අනේ දෙයියනේ... අවසරේ ගන්න නම් සෑහෙන ගේමක් දෙන්න වෙයි. කමක් නෑ 'ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි' (Try and try, one day you can fly) කියනවනේ... වරෙන් යන්න."

හෙල්මට් එකත් සාදියා අතට දීලා වෙනදා වගේම ඇහිපිය ගහන වේගෙන් පහළට බැස්සට කට්ටිය ඉන්න තැනට ගියේ ලේනෙක්ට කුරුමානම් අල්ලන පූසෙක් වගේ. කට්ටිය බර සාකච්ඡාවක්. මගේ නමත් තුන් හතර සැරයක් කියනවා ඇහුණත් කියපු දෙයක් පැහැදිලිව ඇහුණේ නෑ. මාව දැක්ක ගමන් ශනුෂි දුවගෙන ඇවිත් අතේ එල්ලුණා.

"ක්‍රිෂී නැන්දි කොහෙද මේ යන්නෙ...?"

අපෝ.... තාම හරියට වචන ගළපගෙන කතා කරන්න බැරි වුණාට මේ පොඩි කෙල්ලත් සංජු අක්කමයි. දැක්ක ගමන් අහන්නේ කොහෙද යන්නේ කියලා. අඩුම තරමේ කෑවද කියලවත් අහනවා නම් දුක නෑ.

"ඇත්තටම ක්‍රිෂී, මේ කොහෙද යන්න යන්නේ...? කුකුළත් අතේ අරගෙනම....."

ඒ පාර සුදු පටන් ගත්තා. ඇත්තටම මෙයාලට අහන්න වෙන මුකුත් ඇත්තෙම නැද්ද...? තව කවුරු හරි තව මොනවා හරි අහන්න කලින් උත්තර දෙන්න ඕනා. නැත්නම් ඉතින් ම‍ට 'සදා සොත්ති භවන්තුතේ' තමයි.

"අයියේ......... ආ…ආ… ලෙඩෙක් බලන්න යනවා...."

"කවුද දැන් ලෙඩා...?"

"ඉස්සර අපිත් එක්ක එක පන්තියේ හිටිය ළමයෙක් සුදු. එයා ඇක්සිඩන්ට් වෙලා... එයාව බලන්න..."

"මෙයාට ලංකාවට ආපු වෙලේ ඉඳන්ම ගමන්... සාදි නංගිගේ වැඩ පාඩු වෙනවා ඇති මෙයා හින්දා….."

"අනේ නෑ භවන්ත අයියා.... එහෙම දෙයක් නෑ..."

"කවුද දැන් යාළුවා... ගෑණු කෙනෙක්ද...? පිරිමි කෙනෙක්ද...?"

"කොල්ලෙක් භවන්ත අයියා. එයා ඇක්සිඩන්ට් වෙලා නම් දැන් අවුරුදු එකහමාරක් විතර. එයාගේ ඇස් දෙකම පේන්නේ නෑ. එයාව බලන්න යන්නේ."

මෙහෙම ගියොත් මම අනාගෙන ඇඟ හැම තැනම ගා ගන්නවා කියලා දැනගෙනද කොහෙද සාදියා උපතේ සිට මරණය දක්වා සියලුම විස්තර සුදුගේ මීටරේට අලුතින් එකතු කළා.

"කවුද සාදි අර අපි හොස්පිට්ල් අරන් ගිය ළමයද...? අර ඉඳුවර ෆැෂන් එකේ අයිතිකාරයාගේ පුතා....."

මෙච්චර වෙලා සද්දේ වහගෙන ඉඳපු චන්දන අංකල් ස්පීකර් එක ඔන් කළා. දැන් ඉතින් ගෙදර කට්ටිය ෂේප්. ඒක මට ඉර පායනවටත් වඩා ශුවර්. ඉස්සර නම් මම යන්නේ කොහෙද, කරන්නේ මොනවාද, කින්ද මන්ද මුකුත්ම කවුරුත් ඇහුවේ නෑ. දැන් තමා කට්ටියටම ලෙඩේ හැදිලා තියෙන්නේ.

"ඔව් තාත්තේ එයා තමයි... ඉඳුවර මටත් වැඩිය ෆිට් එකේ උන්නේ ක්‍රිෂිත් එක්ක..."

ඉඳලා ඉඳලා මේකිත් ඇඳ බාන්නේ වැහි නැති හෙන ගහන කතා. ඇයි යකෝ ෆිට් එකේ උන්නට අන්තිමට අපි නයාට අඳුකොළ වගේනේ දෙයියනේ උන්නේ. මට සාදියා දිහා බැලුණේ ඉබේටම. ඒකි මට ඇහැක් ගහලා හිනා වෙනවා. අම්මෝ... මේකි නම් දේශපාලුවෙකුට නියමයි.

"කවුද අංකල් බිස්නස් ෆීල්ඩ් එකේ මම නොදන්න බිස්නස්කාරයා...?"

"ඔයා දන්නවා සුදු පුතා..... දැන් නම් මිනිහා ටිකක් වැටිලා. වයිෆ් දාලා ගියාට පස්සේ මිනිහගේ මුළු ලෝකයම වුණේ ඔය පුතා... හැබැයි පුතා ටිකක් නහරකාරයා. දන්නේ නැද්ද කොලු වයසනේ... මිනිහා පුතාට හැම සැපක්ම දුන්නා. අන්තිමට කොල්ලා නාස්ති වෙලා යනකම්ම මිනිහා දන්නේ නෑ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කොල්ලගේ ඇස් පේන්න නෑ, ඇවිදින්නත් බෑ මම හිතන්නේ..."

ඒ... ඒ... කියන්නේ ඉඳුවරට ඇවිදින්නත් බැරිද? එතකොට සාදියා මට එහෙම දෙයක් කිව්වේ නෑ. මම දිහා හැරිලා බැලුවේ එහෙම දෙයක් නෑ නේද අහන්න, ඒත් බලනවා දැක්ක ගමන් ඒකි බිම බලා ගත්තා. ඒ කියන්නේ ඒක ඇත්ත. අනේ දෙයියනේ එහෙම කෙනෙක්ගෙන් පළි ගන්න නේද මම ලංකාවට ආවේ...? එහෙටම වේලා උන්නා නම් ඉවරයි. එනකොට මේ වෙච්ච කිසිම දෙයක් මට දැනගන්න ලැබෙන්නේ නෑනේ. මට සමාවෙන්න ඉඳුවර..... අයි ඈම් වේරි සොරි (I am very sorry). මට කියන්න පුළුවන් එච්චරයි.

"එතකොට ඔය ඇක්සිඩන්ට් එකේ කාගේද වැරැද්ද චන්දු පුතා?"

සුදු සීයා ඇහුවේ හොඳ ප්‍රශ්නයක් කියලා මට හිතුණා. ඉඳුවර වැරදි නැත්නම් ඉඳුවරට මේ දේ කරපු උන්ගෙන් එලව එලව පළිගන්නවා කියලා මම මටම දිවුරා ගත්තා. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. ඊළඟට චන්දු අංකල් කිව්ව දේ ඇහුවම ඇති වුණේ ඉඳුවර ගැන ලොකු තරහක්.

"වැඩක් නෑ සුදු මාමේ කතා කරලා... සම්පූර්ණ වැරැද්ද මෙයාලගේ යාළුවගේ. ඒක මේ විහින් කරගත්තු දෙයක්."

"ඒ කිව්වේ චන්දු අංකල්...?" 

මම අහන්න හදපු ප්‍රශ්නය ඇහුවේ සංජු අක්කා.

"මේකනේ දූ... ළමයව බේරගත්තේ අපි නිසා නඩුව කතා කරන්න ආවෙත් මට. සම්පූර්ණ වැරැද්ද මේ කොල්ලගේ. හෙල්මට් නෑ, බීලා, තහනම් බයික් එකක්. අනික ඒ මෝඩයා පාර පුරාම බයික් එක පැදලා තියෙන්නේ. ඇහින් දුටු සාක්ෂි ඉදිරිපත් වුණා. අනික මේ කන්ටේනර් එකක් කියන්නේ එහෙට මෙහෙට කපලා හරවලා බේරෙන්න පුළුවන් වාහනයක්ද? අර මෝඩ කොල්ලව බේරන්න එහෙම කළා නම් අහළ පහළ තියෙන වාහන දෙක තුනකුයි අහිංසක මිනිස්සු හතර පස් දෙනෙකුයි ඉවරයි. කොහෙවත් යන තකතීරු මෝඩයෙක් හින්දා තව ජීවිත කීයක් නාස්ති වෙන්න තිබුණද? අන්තිමට ඒකා බේරෙයි. අනික් මිනිස්සු...? කන්ටේනර්කාරයට කිසිම වැරැද්දක් වැටුණේ නෑ. අන්තිමට හැම පාඩුවම වුණේ අර කොල්ලට... ඒ හැම දේකින්ම බිමට වැටුණේ අර අහිංසක තාත්තා. පව් ඒත් තාත්තා කෙනෙක්නේ."

ඒ කියන්නේ හැම වැරැද්දක්ම ඉඳුවර අතේ... මේ මනුස්සයා විහින්නේ නාස්ති වෙලා තියෙන්නේ.

"ක්‍රිෂී ඔයා උදේ තේ එක බිව්වේ නෑ නේද...?"

"ආ... නෑ සංජු අක්කේ... මට බොන්න බෑ හලෝ... අපි ගිහින් එන්නම්කෝ..."

"එහෙම කියලා කොහොමද... තේ එක බීලා යන්න. ගෑස් නඟියි."

"කමක් නෑ අක්කේ, ඔන්න කට්ටියටම කිව්වා..."

මම බයික් එකට නඟින ගමන් එහෙම කිව්වා. සාදියවත් දාගෙන ගෙදර කට්ටියටම වචනයක්වත් කතා කරන්න නොදී මම බයික් එක ස්ටාර්ට් කරලා පාරට දා ගත්තා. මට උවමනා වුණේ ඉක්මණට ඉඳුවරගේ මූණ බලා ගන්න. ඒක තේරිලාද කොහෙද මම ඉඳුවරලගේ ගේ ගාව බයික් එක නවත්තනකම්ම සාදි මගෙන් මුකුත් ඇහුවේ නෑ. වෙනදා විනාඩි හතළිස් පහක් පැයක් යන ගමන මම අද පැය භාගෙන් ඇවිත් තිබුණා.

වෙනසක් නෑ මේ පැත්තත් තිබ්බා වගේමයි.... දවසක් ඉඳුවරට උණ හැදිලා අපි සෙට් එක බලන්න එද්දිත් මේ ගෙදර මේ වගේමයි. ඇත්තටම ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවා නම්... එලකිරි! ඉස්කෝලේ අනිත් පැත්ත හරවනවා. එදා ඉඳුවරලගේ ගෙදරින් දවල්ටත් කාලා සිංදු කියලා නටලා ඉවර වෙන කොට ඉඳුවරගේ උණ කොහෙන් ගියාද කියලා හොයා ගන්න බැරි වුණා. පහුවදා ඉස්කෝලෙත් ආවා.

"ක්‍රිෂී අපි ඇතුළට යන්නේ නැද්ද...? මේ ගේට් එක බලලා යන්නද ආවේ...?"

"නෑ බං, මට ඉස්කෝලේ ගිය කාලේ මතක් වුණා. ඇත්තටම ඒ කාලේ කොච්චර නම් ජොලිද... අපි තරම් හැපී එකේ උන්නු කවුරුත් නැතුව ඇති."

"ඒ මතක පොත පෙරළද්දි නම් ඇස් වලට කඳුළුත් එනවා ක්‍රිෂී... ආයෙත් ප්‍රින්සිපල්ට හූ කියන්න තියෙනවා නම්, තට්ටෙට අත හෝදන්න තියෙනවා නම්, ගුරු පුටුවේ චුයින්ගම් අලවලා ගුටි කන්න තියෙනවා නම්, සිංදු කිය කියා නටලා අහු වුණාම කන් දෙක අල්ලගෙන පිට්ටනිය වටේ දුවන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද ක්‍රිෂී."

"ඇයි .... අනික් උන්ගේ කෑම අරගෙන හොරෙන් කාලා බත් එක වගේ කඩදාසි කොළවල ගඩොල් භාග ඔතලා බෑග් වලට දාපුවා. විද්‍යාව මිස් උගන්න උගන්න ඉන්න කොට පන්තියේ ජනේලයෙන් හොරෙන් පැනලා ගිය ඒවා... විවාද තරග වලදී සුපිරිම කටවල් තියෙන උන්ව හිනස්සලා අපි දිනපුවා. මතක පොතෙන් කවදාවත් අමතක කරන්න පුළුවන්ද...?"

"ඇත්තට ඉස්සර අපි දෙන්නව කාටවත්ම පේන්න බෑ නේද... ඒ වුණාට ඕනම එකෙක්ට කරදරයක් වුණාම ඉස්සෙල්ලාම අපේ වැඩ පාඩු කරගෙන ක්‍රියාත්මක වෙන්නෙත් අපි. අපි ස්කූල් ලයිෆ් (School life) එක හොඳට එන්ජෝයි කළා බං. අනික් උන්ට අමතක නොවන සිදුවීමක්වත් තියෙනවද දන්නෑ. උන් පොත් අස්සටම රිංගගෙන විදෙව්වා. ඒත් අන්තිමට උන්ට හුලං. අපි කැම්පස් සිලෙක්ට් වුණාම අනික් උන් කිව්වේ අපි කපටියෝ, ගෙදර ගිහින් පාඩම් කරලා කියලා. අපිනේ දන්නෙ පාඩම් කරපු හැටි. අපේ අම්මිව බයිට් කර කර හිටියා මිසක්. මොන පිස්සු නැටුවත් අපි උවමනා වෙලාවට උවමනා දේ කළා. අපේ දිනුම තිබ්බේ අන්න එතන."

එහෙම කියන ගමන්ම සාදියා බැහැලා ගිහින් ගේට් එකේ බෙල් එක තුන් හතර පාරක් එබුවා. යකෝ මේකි ජීවිතේට බෙල් එකක් දැකලා නෑ වගේනේ හැසිරෙන්නේ. මාර පිස්සෙක්. ඇතුළේ ඉන්න මිනිස්සු අපේ පලු අරිනවා ඇති. එක අතකින් පව්, චූටි කාලේ ඉඳන් මගේ හැම වැඩකටම බෙල්ල ගහලා ගියත් මේකි එනවනේ... 

"ඈ බං... සාදි ඇයි උඹ මට නොකිව්වේ ඉඳුවරට ඇවිදින්න්න බෑ කියලා...?"

"ඇයි යකෝ එදා ඉඳුවර හැප්පුණා කිව්වම උඹට කලන්තේ දැම්මා. මම ඇස් දෙක පේන්නේ නෑ කිව්වෙත් මාර බයෙන්. ඊට පස්සේ අඬන්න ගත්තා. ඇවිදින්න බෑ කිව්වා නම් උඹ මුහුදට පනියිනේ. ඒකයි නොකිව්වේ..."

"ඇත්තටම එදා ඒ දේ වෙන්න තිබුණා. මොකද මගේ හිතේ තාමත් එදා වගේම ඉඳුවර මාලිගාව තියෙන හින්දා. පණටත් වැඩිය මම ඉඳුවරට ආදරේ කරන හින්දා...."

"ඈ.... බං ක්‍රිෂී ගෙදර කවුරුත් නැද්ද...?"

"අනේ මන්දා සාදි, සමහර විට තාම නැඟිටලා නැතුව ඇති. අටයිනේ බං වෙලාව. මේ අපිව දැක්කම හොඳවයින් දෙකක් කියලා එලවලා දාවිද දන්නෑ... නින්ද කැඩුවා කියලා..."

"මොනවාද බං, චුට්ටක් බැනුනුත් අහමු. අර කතාවක් කියන්නේ කොච්චර හොඳට වැඩක් කළත් හොඳ සේවකයෙකුට තමන්ගේ බොස්ගෙන් බැනුම් අහන්නේ නැතුව ඉන්න බැහැලු. ඒ හින්දා හිතාමතාම වැඩක් වරද්දනවලු."

අනේ මන්දා, ඇත්තටම මේකි ලෝ ෆැකල්ටියේ උන්නට අමුම අමු පිස්සියෙක්. කවදා හරි නඩුකාරයටත් පිස්සු හදවයි. නැත්නම් මේ වගේ දිරවන්නේ නැති කතා කියයිද...? ඒකි කිව්ව කතාවත් ඇත්ත නම් තමයි. වැඩක් කරනකොට බැනුම් ටිකක් ඇහුවේ නැත්නම් ඉතින් මාසෙකින් කෑවේ නෑ වගේ තමා. ඒත් ඉතින් ඕක කියන්න දාහක් දේවල් කියන්න ඕනයෑ. කෙළින්ම නහය අල්ලගන්න පුළුවන්කම තියෙද්දී මේකි ඔළුව වටේ අත කරකවලා නහය අල්ලගන්න හදනවා.

"ඈ බං මේ ගෙදර කවුරුත් නැද්ද..? නැත්නම් ඔක්කොම බීරිද...?"

සාදියා ආයෙත් බෙල් එක ගහන්න හැදුවා. එතකොටම වගේ ගේට් එක ඇරුණා. ඇරිච්ච ගේට් එකෙන් එබිලා බැලුවේ ඉඳුවරලගේ ගෙදර වැඩට ඉන්න එකා. මට මූව යන්තම් මතකයි. හෙන මුස්පේන්තු මූණක් තියෙන්නේ. එක්කෝ දෙයියෝ හිනාව බෙදන වෙලාවේ මූ ඉඳලා නෑ. එක්කෝ දෙයියෝ මූට හිනාව දීලා නෑ. ඉතින් ඉඳුවරලගේ තාත්තාගේ බිස්නස් පාඩු වෙන එක අහන්න දෙයක්යැ. හැමදාම උදේට මුගේ මූණ බලලනේ ගෙදරින් යන්නේ.

"කාව හම්බවෙන්නද...?"

"මට කවුරුත් හම්බවෙන්න නෑ හලෝ..." කියලා කියන්න කට ඉස්සුවා විතරයි සාදියා මට ඉස්සර වුණා.

 "අපි ආවේ ඉඳුවර හම්බවෙන්න. අපි එයාගේ ඉස්කෝලේ යාළුවෝ."

හෙල්මට් එක ගලවලා අතට ගන්න ගමන් සාදි කියලා දැම්මා. මාත් හෙල්මට් එක ගලවලා බයික් එක උඩින් තිබ්බා. මෑන්ට හෙන පුදුමයි. ඇයි ඉතින් හිතන් ඉන්න ඇත්තේ කෙල්ලන්ගේ වගේ කටහඬවල් තියෙන කොල්ලෝ දෙන්නෙක් කියලානේ.

"ඉඳුවර ගෙදර ඉන්නවද...?"

සාදි ආයෙත් ඇහුවා. එතකොටද කොහෙද මිනිහගේ මීටරේ ආයෙත් වැඩ කරන්න පටන් ගත්තේ. මිනිහා මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහා බලනවා. ශුවර් මේකගේ බෙල්ල උළුක් වෙනවා.

"ඔව්... මම හිතුවේ නෝනලා ආවේ ලොකු මහත්තයා හම්බවෙන්න කියලා. අද ඉරිදනේ, කවුරුත්වත් එනවට ලොකු මහත්තයා කැමති නෑ. අද දවසම ලොකු මහත්තයා පුංචි මහත්තයත් එක්ක ඉන්නේ. පුංචි මහත්තයාගේ යාළුවෙක් කියලා මෙච්චර දවසකට ආවේ රන්දික මහත්තයා විතරනේ. ඉතින් මම හිතුවේ නෑ නෝනලා පුංචි මහත්තයාගේ යාළුවෝ කියලා."

ඔළුවත් කස කසා මිනිහා හෝ ගාලා නිදහසට කරුණු කියනවා. ඇයි යකෝ ඉතින් අපිව මෙතන විනාඩි දහයක් විතර රස්තියාදු කළානේ. නපුරු පෙනුමක් තිබුණට මිනිහා හරි හොඳ පාටයි.

"හරි හරි අංකල්, සමාව බකට් එක පස්සේ ගෙනත් දෙන්නකෝ. දැන්වත් අංකල් මේ ගේට් එක අරිනවද...?" 

මම එහෙම කිව්වම මිනිහට ලස්සන හිනාවක් ගියා. ඒ හිනාව පිටින්ම ගේට් එක ඇරපු මිනිහා අපිවත් එක්කගෙනම ගෙට ආවා. එහෙනම් පොර හිනා වෙන්නත් දන්නවා.

"කවුද සිරිසේන ආවේ...?"

පඩිපෙළ දිගේ පහළට ආවේ ඉඳුවරලගේ තාත්තා. ඒක ඉතින් කවුරුත්ම කියන්න ඕන නෑ. අංකල්ව දැක්කේ පළවෙනි වතාවට වුණාට මට එයාව අඳුනගන්න චුට්ටක්වත් අමාරු වුණේ නෑ. අංකල් ඉඳුවර වගේමයි. තරුණ කාලේ ඉඳුවර වගේම ඉන්න ඇති. පුදුම තරම් ලස්සනයි.

"මහත්තයා... මේ පුංචි මහත්තයාගේ යාළුවෝයි කියන්නේ..."

"ඇත්තද...? ඒත් මෙච්චර කාලෙකට නම් මෙහෙම කවුරුත් මෙහෙ ඇවිත් නෑ."

අංකල් නිකන් වචන දාන්නේ එගේන්ස්ට් එකට වගේ. අඩු තරමින් අපිට ඉඳගන්නවත් කිව්වේ නෑ. මිනිහට තාම අපිව ශුවර් නෑ.. අඩුම තරමින් මෙච්චර උදව් කරපු සාදියවත් අඳුන ගන්න බැරි වුණා. අන්තිමට සාදිට වුණේ ඒකිවම අඳුන්වලා දෙන්න.

"මහානාම අංකල් ඔයාට මතක නැද්ද...? මම සාදි, ඉඳුවර ඇක්සිඩන්ට් වුණු වෙලාවෙ හොස්පිට්ල් අරන් ගියේ.."

"ආනේ.... මේ චන්දන රාජපක්ෂගේ දුවද...? ඉඳගන්න.. ඉඳගන්න දුව, ඇයි මේ හිටගෙන...."

යකෝ අංකලුත් දාන්නේ මාර ටෝක්නේ. ඇයි දෙයියනේ ඉඳගන්න කියන්නේ නැතුව ඉඳගන්නේ මොන රටේද..? මේ මනුස්සයට ලූස්ද කොහෙද... මේ මනුස්සයට ලූස් වුණාට ඉඳගන්න කිව්වට පස්සේ හිටගෙන ඉන්න බෑනේ. සාලේ තිබ්බ ලොකු කළුපාට කුෂන් පුටුවේ මායි සාදියයි ඉඳගත්තා. අංකල් අපිට ඉස්සරහා තිබ්බ පුටුවේ ඉඳගත්තේ සාකච්ඡා මේස ආරම්භ කරන්න ලෑස්ති වෙලා. ඒත් කෝ පෙරුම් පුරාගෙන බලන්න ආපු කෙනා...?

මගේ ඇක්ෂන් වලින් මට ඕනා ඉඳුවරව ඉක්මනට බලන්න කියලා සාදිට තේරිලාද කොහෙද ඉක්මනටම කතාවට එන්ටර් වුණා. ඇයි දෙයියනේ මෙහෙම යාළුවෝ ඉන්නවා නම් මොනවාද කරන්න බැරි. මාස ගානක් උපවාස කරලා ගිනස් පොතට යන්නම්කෝ. ඇයි ඉතින් හොරෙන් කන්න ගෙනත් දෙනවනේ.

"අංකල් කෝ ඉඳුවර, තාම නිදිද….?"

"අනේ මොන නිදිද දුවේ… ඒ ඉස්සර. දැන් උදේ පාන්දරම නැඟිටිනවා. කාමරේ හිටියා. පොඩ්ඩක් ඉන්නකෝ."

අංකල් ඉඳුවරව එක්කන් එන්නද කොහෙද නැඟිටලා ගේ ඇතුළට ගියා. පව් මෑන් දුකෙන් ඉන්නේ...

"මේ සාදි, උඹ මගේ නම ක්‍රිෂී කියලා එහෙම මෙතන කියන්න එපා මචෝ…."

"ඇයි බං ඒ .....?"

ඒකට උත්තරේ දෙන්න හම්බවුණේ නෑ අංකල් එතන්ට ආවා.

"මම සිරීට කිව්වා පුතාව එක්කන් එන්න කියලා. ඉතින් දැන් දූගේ විස්තර කොහොමද...?"

"ඒ හැටි දෙයක් නෑ අංකල්. මේ දවස් වල ස්ට්‍රයික් හින්දා කැම්පස් වහලා. කොහොමත් තව මාසයක්වත් වහලා තියෙයි. එතකන් ගෙදර තමා...."

"පව් අහිංසක දෙමව්පියන්ගේ සල්ලි…."

"ඇයි අංකල් එහෙම කිව්වේ...?"

"සාදි දුවේ... හැම දෙමාපියෙක්ටම අපිට වගේ ඕන ඕන විදියට වියදම් කරන්න සල්ලි නෑ. ඒ දෙමාපියෝ නොවිඳිනා දුක් විඳලා දාඩිය මහන්සියෙන් හම්බ කරලා ළමයින්ට උගන්වනවා. ඊට පස්සේ තව ටිකක් මහන්සි වෙලා හොඳට අන්දලා කැම්පස් එවනවා ලෝකයම දිනපල්ලා කියලා. කැම්පස් ආවාට පස්සේ උන් මොකද කරන්නේ? කොහෙවත් තියෙන ඉල්ලීම් ඉල්ල ඉල්ලා ස්ට්‍රයික් කරනවා… පස්සේ අත පය කඩා ගන්නවා. අන්තිමට ඉගෙනීමත් නෑ, ඉල්ලීමුත් නෑ. හතර පස් දෙනෙකුගේ ජීවිතත් නෑ. අර අහිංසක දෙමාපියන්ට මොකද වෙන්නේ?"

"අංකල් කියන එක නම් සම්පූර්ණ ඇත්ත. ඒත් කැම්පස් එක ඇතුළේ තත්ත්වය ගොඩක් වෙනස්. ඒක බලන්න ඉතින් කැම්පස් යන්නම වෙනවා. පිටින් බලලා අපිට ඕන තරම් තීරණ දෙන්න පුළුවන්. ඒත් ඒවා සත්‍ය වෙන්නේ ගොඩක් අඩුවෙන්."

"දුව කියන්නේ මම කියපු දේවල් ඇත්ත නෙමේ කියලද…?"

"නෑ අංකල් මම එහෙම කියන්නේ නෑ… ඒත් රජයෙන් රජයකට මාරු වෙනකොට කැම්පස් එක ඇතුළේ සෑහෙන්න වෙනසක් වෙනවා. අංකල්, හැම ශිෂ්‍යයෙක්ම කැමතියි නිදහසේ ඉගෙන ගන්න. ඒත් අපිට තියෙන පහසුකම් මදි අංකල්.. අපේ රජයට පුළුවන් අපිට ඊට වැඩිය පහසුකම් දෙන්න. ඒත් ඒ ගැන එයාලට උනන්දුවක් නෑ. අනික මේ තියෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවට අපි කැමති නෑ. අලුත් අංග එකතු කළාට මේ තියෙන අධ්‍යාපන ක්‍රමය මේ විදියටම තියෙන්න ඕනා."

"ඒ වුණාට සාදි දුවේ, අපේ රටේ විතරයි නිදහස් අධ්‍යාපනය නොමිලේ දෙන්නේ. එච්චර කැප කිරීමක් කරලත් ඇයි මේ ස්ට්‍රයික්…..?"

"අංකල් කිව්වා නේද අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ අමාරුවෙන් කැම්පස් එවලා ඒ අම්මලා තාත්තලා හීන මවනවා කියලා...?"

"ඔව්... මම කිව්වා තමයි, ඒක ඇත්තනේ..."

"ඇත්ත අංකල් ඇත්ත.... ඔයා සියයට සියයක්ම හරි. ඒත් චුට්ටක් හිතන්නකෝ. ඒ ළමයි ඉගෙන ගන්නේ පාසල් අධ්‍යාපනයෙන්. රැල්ලට යන ටියුෂන් කලාවට පුදන්න ඒ ළමයින්ට සල්ලි නෑ. සමහර විට ඉගෙන ගන්නේ ෆ්‍රී කාඩ් එකකින් වෙන්නත් පුළුවන්. විෂයන් තුනටම A දාගන්නේත් බොහොම අමාරුවෙන්. ඉංග්‍රීසි වලට ඒක කරන්න අමාරුයි. අනිවාර්යයෙන් ක්ලාස් යන්න ඕනා. අර අහිංසක දෙමව්පියන්ට එච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද අංකල්? යන්තම් විෂයන් තුනට A දාලා කැම්පස් එන්නේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඒත් දැන් තිබෙන වාතාවරණය හැටියට ප්‍රයිවට් කැම්පස් ඇති කරන්න යනවා. ඒ මදිවට තියෙන කැම්පස් ඉංග්‍රීසි මීඩියම් (English Medium) කරන්න යනවා. එතකොට කොහොමද අර ළමයි අනාගතේ හදා ගන්නේ? කැම්පස් යන ගමන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා කොළඹ ආව ළමයට වෙන්නේ එකපාරටම ඉංග්‍රීසි ලෙක්චර්ස් වලට යන්න. ලෝ ෆැකල්ටියේ නම් ගොඩක් ලෙක්චර්ස් ඉංග්‍රීසියෙන් තමා. ඒක අර අහිංසක ළමයින්ට කරන අසාධාරණයක්..... අපි සිංහලයෝ. අපිට කියලා අනන්‍යතාවයක් තියෙනවා. මම කියන්නේ නෑ ඉංග්‍රීසි එපා කියලා. අනිවාර්යයෙන්ම අපිට ඕන දෙයක්. නැත්නම් මේ ගෝලීයකරණය වෙලා තියෙන සමාජයේ අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒත් අංකල්, ඒකට කැම්පස් ඉංග්‍රීසි මීඩියම් කරලා හරියන්නේ නෑ. එතකොට අර ගමෙන් එන ළමයි අසරණයි නේද...? මම වැරදිද අංකල්...?"

"දුව නම් හරියන්නේ ලෝ (Law) වලටම තමා.. තාත්තා වගේම හයිකෝට් ලෝයර් කෙනෙක් වෙයි වගේ."

ඇත්තටම සාදියට තියෙන්නේ පුදුම කටක්. කොහෙන් ගියත් බොරුවක් හරි කියලා ඒකි දිනනවා. ඉස්සර ඉස්කෝලෙදිත් එහෙමයි. කතාවට වැටුණොත් ඒකි කියන දේ වැරදියි කියලා කොච්චර ඇස්පනා පිට ඔප්පු කරලා පෙන්නුවත් ඒක කවදාවත් පිළිගන්නේ නෑ. කොහොම හරි ඒකිගේ මතේ හරියි කියලා ඔප්පු කරනවා. පස්සේ මට විතරක් කියනවා "උන් හරි බං, ඒක මම දන්නවා. ඒත් මම කැමති නෑ මම වැරදියි කියලා කවුරුත් කියනවට. ඒකයි මම බොරු කියලා උන්ව රැවැට්ටුවේ " කියලා. පස්සේ අනික් උන් හරි වැරැද්ද හොයාගෙන ඇවිත් හරි වැරැද්ද කතා කළාම ඒකි කියන එකම දේ, "දැන් නඩුව කතා කරලා ඉවරයි. විත්තිකාරයා දිනලත් ඉවරයි. ආයෙත් නඩුව අහන්න ඕනේ නම් මුල ඉඳලා ෆයිල් කරන්න" කියලා. අනික් උන් මේකිට ඔරොප්පු වෙලා යනකොට අපි හූ කිය කිය හිනාවෙනවා.

මෙකිගේ මේ ගතිගුණ හින්දම ඉස්කෝලේ උන් කිව්වේ 'ජජ්' කියලා. ගුරුවරු වුණත් කිව්වේ හරියට ඉගෙන ගන්නවා නම් තාත්තාගේ අඩි පාරේම යන්න පුළුවන් කියලා. ප්‍රින්සිපල් ගාවට ගිහිල්ලත් අපේ වැරැද්ද කියලා පෙනි පෙනී අපි වැරදි නෑ කියලා ඔප්පු කරනවනේ. නිකං කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ. පටන් ගන්නේ එක තැනකින්, ඉවර වෙන්නේ කොහෙවත් ඉන්න එකෙක්ට වැරැද්ද පටවලා. අන්තිමට ඉතින් ප්‍රශ්න විසඳන්න ගෙන්නන්නෙත් මේකිගේ තාත්තව තමයි. ඒකට ඉස්කෝලේ උන් කියන්නේ 'හොරාගේ අම්මගෙන් පේන අහනවා' කියලා. ඔහොම කරලා කී පාරක් අපේ ඉස්කෝලේ තහනම් කළාද? මතක හැටියට නම් දෙපාරක් විතර... කටින් ගහලා දිනන්න නම් මේකිට හොඳට පුළුවන්. කෝක වෙතත් මෙතන නම් යන කතාවේ හැටියට අංකල් අපිව ගහලා එලවයිද දන්නෑ, අංකල්ගේම ගෙදර ඉඳන් අංකල්ටම අභියෝග කරනවා කියලා.

"කෝ අංකල් තාම මම කිව්ව දේ හරිද වැරදිද කිව්වේ නෑනේ....."

"ම්… ඔයා හරි කියලා මටත් හිතෙනවා දුව."

"ඒකනේ අංකල් කියන්නේ. අපි ඔක්කොම මේ ලෝකේ ඉපදෙන්නේ එකම වගේ. එන කොට මුකුත් අරන් එන්නෙත් නෑ, යනකොට මුකුත් අරන් යන්නෙත් නෑ. මේ ඉන්න ටිකේ අපි ඔක්කොම එකා වගේ ඉන්න ඕනා. නැත්නම් කවදාවත් අපිට සැනසීමක් ලැබෙන්නේ නෑ අංකල්. අපිට මේ ස්ට්‍රයික් එකට කොහෙත්ම සම්බන්ධ වෙන්න ඕනේ නෑ. කැම්පස් ඉංග්‍රීසියෙන් නෙමේ, නොමිලේ උගන්නන්නේ නැතුව සල්ලි ගෙවලා ඉගෙන ගනිල්ලා කිව්වත් අපේ ගෙවල්වල කට්ටිය ඒක කරනවා. ඒත් එතකොට අර අහිංසක ළමයින්ට මොකද වෙන්නේ? එතකොට මේ සමාජය කවදාවත් ඉස්සරහට යන්නේ නෑ. ධනපති පන්තිය, දිළිඳු පන්තිය සූරාගෙන කන එක විතරයි වෙන්නේ. මේ ශ්‍රී ලංකාව දියුණු කරන්න නම් රජය ඔය කරන්න යන දේ හරියන්නේ නෑ. මේ අසරණයින්ව ගොඩගන්න උදව් කරනවා මිසක් තව තවත් වළට ඇදලා දාලා හරියනවද... නෑනේ අංකල්... අනික මහන්සියෙන් ඉගෙනගෙන දුප්පත් එකා රජයේ කැම්පස් වලින් ඉස්සරහට එනකොට රස්තියාදු ගගහා හිටිය ධනපතියගේ එකා ප්‍රයිවට් කැම්පස් වලින්, සල්ලි බලෙන් ඉස්සරහට ඇවිල්ලා. සාධාරණ නෑනේ අංකල්."

අම්මෝ මෙකිට මයික් එක දුන්නම ආපහු ගන්න මාර ගේමක් දෙන්න ඕනනේ. අංකල්ට මයික් එක දෙන්නෙම නෑ. අංකල් කොර වෙලා ගිහින්, නිකන් දේශපාලන මීටිමක කතා කරනවා වගේ. ශුවර් මේකි ඉපදිලා තියෙන්නේ එක්කෝ උසාවිය දිහා බලාගෙන, නැත්නම් පාර්ලිමන්ට් එක දිහා බලාගෙන.

"දුවත් එක්ක කතා කරලා දිනන්න හයි කෝට් ලෝයර් කෙනෙක් වුණාට දූගේ තාත්තිටවත් බැරුව ඇති."

අන්තිමට අංකල් කිව්වේ එච්චරයි. ඒ කියන්නේ අංකල් ඒ කතාවට තිත තිබ්බා. ඒත් එක්කම වගේ ගේට් එකේ බෙල් ගහනවා ඇහුණා. මොන මළ යකෙක්ද දන්නේ නෑ. මොන මහසෝනා වුණත් කමක් නෑ අපේ රියල් ගේමට ඇණයක් වෙන්නේ නැති එකෙක් නම් එච්චරයි.

"ඒ පාර කවුද...? මම කැමති නෑ දුවේ ඉරිදට බිස්නස් වැඩ වලට කවුරුත් එනවට. මුළු සතියෙම බිස්නස් වලට මැරිලා මැරිලා ගෙදර ඉන්නේ අද විතරයි. අනික පුතත් ගෙදරටම හිර වෙලා ඉන්නේ, කවුරුත් නෑ ඇසුරු කරන්න. රන්දික පුතා විතරනේ එන්නේ. ඒත් ඒ ළමයත් හැම වෙලාවෙම නෑනේ. රස්සාව කර ගන්නත් එපායැ. අද දවසම පුතත් එක්ක ඉන්න මම වෙන් කරලා තියෙන්නේ. දූව, බිස්නස් කාරයෝ ඇවිත් ඒ නිදහස කනවට මම කැමති නෑ."

අංකල් එහෙම කියලා ඉවර වෙනවත් එක්කම ආයෙත් බෙල් එක දෙපාරක් විතර ගැහුවා.

"සිරී…. සිරී….. කවුද කියලා බලපන් බෙල් එක කඩන්න හදන මෝඩයා…."

අංකල් එහෙම කියනවත් එක්කම සිරිසේන අංකල් ගේට් එක පැත්තට දිව්වා. දැන් ගිහින් එළියේ ඉන්න එකාට පුස් මූණ දායි. අනේ දෙයියනේ... ලෙඩ්ඩු බලන්න ආවම ලෙඩ්ඩු එළියට එන්නේ නෑ. අපිට කාමර ඇතුළට යන්නත් බෑ… අන්තිමට කිව්වොත් බාල අපරාධ කරන්න හැදුවා කියලා. පෙරුම්පුරාගෙන ඉඳුවර බලන්න ආවා මදෑ… නළුවා කරලියට එන්න සෑහෙන වෙලාවක් යනවද කොහෙද...?

ගේට් එක අරින්න ගිය සිරී අංකල් හිනා වේවී එනවා. මේකා යකෙක්වත් දැකලද.... ආ.... නෑනේ යකෙක් දැක්කා නම් එන්නේ බය වෙලානේ. කවුද දන්නෑ ඇවිත් තියෙන්නේ, මිනිහගේ කෑල්ලද දන්නෑ. මොනවා වුණත් කෑල්ලත් මිනිහා වගේම ඇති. පුතෙක් එහෙම නැද්ද දන්නෑ..

"කවුද සිරී....?"

මගේ හිතේ තිබ්බ ප්‍රශ්නය ඇහුවේ අංකල්.

"රන්දික මහත්තයානේ ලොකු මහත්තයා..."

"ඉතින් වෙනදටත් රන්දික පුතා බෙල් ගගහා ඉන්නවයැ. මොකද අද විතරක්…?"

"වෙනදට එන්නේ බස් එකේනේ මහත්තයා. අද අලුත්ම අලුත් කාර් එකකින් ඇවිල්ලා, ඒක නොවැ මේ කලබලේ!"

"ආ... ඒක මිසක්. කෝ දැන්....?"

"කාර් එක නවත්තලා එයි මහත්තයා, ආ... මේ කියන කොටම එන්නේ."

මළමඟුලයි! රනියා මාව අඳුනගත්තොත් සේරම ඉවරයි. රන්දික එනකොට මම කළේ ටීපෝ එක උඩ තිබුණ පත්තරේ අරන් එහෙට මෙහෙට පෙරළපු එක. එක පාරටම සාදි මගේ අත හිමීට කෙනිත්තුවා. මම ඒකි දිහා බැලුවේ ඇත්තටම මළ පැනලා. රවලා ඒකි දිහා බලපු මට ඒකි ඇහෙන් පත්තරේ පෙන්නුවා. මළ කෙළියයි! යකෝ මම පත්තරේ අල්ලන් ඉඳලා තියෙන්නේ අනික් පැත්තට. කවුරු හරි දැක්කා නම් එහෙම කාටද ආඩම්බර? ආ... ආඩම්බර වෙන්න බෑනේ, ලැජ්ජා වෙනවා මිසක්.

රනියා අංකල් එක්ක හෝ ගාලා කියවනවා. තාම මිනිහට එච්චර අපිව මීටරේට වැටුණේ නෑ. මෑන්ට මොකකට හරි අම්බානෙට තද වෙලා. පව් මොකා වුණත් මෙතන මේ හෝදන එකාගේ නහය නම් දනවා ඇති මාරෙට...

"ආ..... පුතා මට අඳුන්වලා දෙන්න අමතක වුණා. මේ ඉඳුවරගේ ඉස්කෝලේ යාළුවෙක්. ඔයත් අඳුනනවා ඇති...."

එතකොට තමා රනියට හරියටම අපිව මීටරේට වැටුණේ. මෑන් සාදියව නම් අඳුනගත්තා. බිම බලාගෙන උන්නු මිනිහගේ ඇස් දෙක නැවතුණේ මං ගාව. මිනිහා මාව අඳුන ගන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා. අනේ... පව්….

අපි මෙතැනට ඇවිත් සෑහෙන වෙලාවක් වුණත් තාම අංකල්ට මාව එච්චරම මීටරේට වැටුණේ නෑ. කවුද කින්ද මන්ද කියලා දන්නෙත් නෑ. සාදියට මාව අඳුන්වලා දෙන්නත් තේරෙන්නේ නැතුව ඇති. ඇයි ඉතින් මම කිව්වනේ 'ක්‍රිෂී' කියලා කියන්න එපා කියලා...

"සාදි කවුද බං මේ අනිත් යාළුවා? තාම ඔළුවවත් ඉස්සුවේ නෑනේ. මට නම් ශුවර් දැන් මෙයාගේ ඇස් දෙක පත්තරේ ඇතුළට වැටෙනවා. නැත්නම් අකුරු ටික ඇහැ ඇතුළට යනවා..."

අංකල්ට අමතක වෙලා තිබ්බ දේ මතක් කරලා ගත්තේ රනියා. අනේ මන්දා මූට කට පියන් ඉන්න බෑනේ.

"ආනේ.... ඇත්ත නේන්නම් පුතා... මටත් මේ ලස්සන කෙල්ල කවුද කියලා අහන්න බැරි වුණානේ. කොහෙද ආපු ගමන් සාදි දුවත් එක්ක වාදෙකට පැටලුණානේ..."

ඒ පාර අංකලුත් කියවනවා. රනියට දෙන්න හිතෙනවා මොළේ අනික් පැත්ත හැරෙන්න... අංකල් කතාව නවත්තද්දීම වගේ සිරි අංකල් රෝද පුටුවකුත් තල්ලු කරගෙන අපි ඉන්න තැනට ආවා. ඒ රෝද පුටුවේ ඉන්නේ ඉඳුවර කියලා මට තේරුණත්, රනියා මාව අඳුන ගනී කියන බයටම මම බිම බලාගෙනම හිටියා. ජීවිතේ පළවෙනි වතාවට තමා මම මෙහෙම සයිලන්ට් වෙලා උන්නේ. මොනවා කරන්නද, නැත්නම් වැඩේ ඇනෙනවනේ. මේ ගෝතකරුමෙත් මේ වෙලාවෙම ආවනේ....

"ඉතින් ඉඳුවර කොහොමද...?"

සාදියා කතාවට එන්ටර් වුණා. අනේ දෙයියනේ, මෙච්චර පෙරුම් පුරාගෙන ඇවිල්ලත් තාම ඉඳුවරගේ මූණ බලාගන්න මට බැරි වුණානේ. ඔළුව උස්සන්න හැදුවත් රනියගේ ඇස් දෙක තිබ්බේම මගේ ළඟ. කරුමෙට ඌ ඉඳන් හිටියෙත් මගේ ඉස්සරහමනේ. මේකා නම් මහ මැටි වළහෙක්. ඇත්තමයි.

"වරදක් නෑ සාදි. උඹ හරි මාව බලන්න ආපු එක ලොකු දෙයක්. තාත්තා මට කිව්වා උඹයි චන්දු අංකලුයි මාව හොස්පිට්ල් ගෙනිහින් තිබ්බේ කියලා. තෑන්ක්ස්…. ඔයාලා ඒ කැප කිරීම කරපු හින්දා, කරපු පව් වලට වන්දි ගෙවන්න මම තාමත් ඉතුරු වෙලා ඉන්නවා. කරපු පව් ඔක්කොටම මේ ආත්මෙම වන්දි ගෙවලා ඉවර කරන්න ඕනා. එහෙම වුණොත් ඊළඟ ආත්මෙවත් මට සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි."

ඉඳුවරගේ ඒ කතාවත් එක්කම කට්ටියගේම කටවල් වැහුණා. ඇත්තටම කතා නායිකාව වෙච්ච සාදිටත් ඊට එහා මුකුත්ම කතා කර ගන්න බැරි වුණා. මහානාම අංකල්ට වුණත් ඒ කතාව බොක්කටම වදින්න ඇති. ඉඳුවර තව මොනවා හරි මේ ගැන කිව්වොත් මට මාවම පාලනය කර ගන්න බැරුව යනවා. ඒක මට සත් සුදක් සේ ශුවර්.

"මොකද මේ කට්ටියම නිශ්ශබ්ද වුණේ...? අයියෝ මම කිව්ව දේවල් එච්චර හිතන්න එපා. ඒ මම කටට ආවට කිව්වේ. සාදි, උඹ අවුලෙන්ද...?"

"අනේ නෑ ඉඳුවර, එහෙම දෙයක් නෑ...."

ඉඳුවර ආයෙත් කතාව පටන් ගත්තා. සාදිටත් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්න ඇතිනේ. ඒක ඉඳුවරටත් තේරෙන්න ඇති. තවත් නම් මෙහෙම ඉන්න මට බැරියෝ. සාදියෝ ඉක්මනට මොකක් හරි කරපන් යකෝ...

"සාදි උඹ තනියමද බං ආවේ...?"

"නෑ ඉඳුවර මගේ යාළුවෙක් එක්ක..."

"ඉතින් යකෝ යාළුවෙක් එක්ක ආවා නම් යාළුවව අඳුන්වලා දෙන්න ඕනනේ. කෝ ඉතින් උඹ අඳුන්වලා දුන්නේ නෑනේ."

"උඹට විතරක් නෙමේ ඉඳුවර, මෙච්චර වෙලා කතා කර කර උන්නට අපිටවත් මේකි තාම යාළුවව අඳුන්වලා දුන්නේ නෑ.. යාළුවව හංගගෙන ඉන්නවද දන්නෑ."

රනියා ආයෙත් කතාව මැද්දට පැන්නා. මොන මගුලක්ද යකෝ? මූට මගේ නම දැන ගන්න මාර උවමනාවක්නේ තියෙන්නේ...

"ඈ බං රනියා, සාදිගේ යාළුවා ලස්සනද...?"

"ලස්සනද කියලත් අහනවා! සුරංගනාවියක් වගේ. මාර කියුට්. කොහෙද තාම ඔළුව උස්සලා මූණ දිහා බලන්නේ නෑනේ බං… කොණ්ඩේ නම් දිගයි එලකිරි වගේ. හොඳ හැදියාවක් තියෙනවා කියලා නම් පේනවා. සාදිට මෙහෙම යාළුවෝ ඉන්නවද කියන එකයි පුදුමේ..."

රනියා මං ගැන දුන්නේ මාර ගැරන්ට් (Guarantee) එකක්. පව් ඉඳුවර මම ලස්සනද කියලා අහනකොට මට ඇත්තටම දැනුණේ මාර දුකක්. නිකන් මාව කරකවලා අත ඇරියා වගේ. මෙච්චර දුකක් මට ජීවිතේට දැනිලා නෑ.

"ඉතින් සාදි දුවේ... යාළුවගේ නම කියන්නකෝ.."

ඒ පාර නම් සාදිටත් ගැලවීමක් නෑ වගේ. ඒකිත් හිර වෙලා ඇති. දැන්නම් මොනවා හරි කරන්න වෙනවා. අංකලුයි රනියයි බලාගෙන ඉන්නේ සාදි දිහා. ඉඳුවරටත් පේන්නේ නැති වුණාට එයාගේත් බලාපොරොත්තුව ඒකම තමා කියලා මටත් තේරුණා. කරන්න දෙයක් නෑ. මටම තමා බේරෙන්න වෙන්නේ. ළිඳට වැටිච්ච එකා ළිං කටින්ම ගොඩ එන්න එපායැ. අන්තිමට මම මාවම අඳුන්වලා දුන්නා. හැබැයි ඒ මගේ උප්පැන්නේ තියෙන නමින්.

"අංකල් මම භාවනා විහාරි."

මගේ උප්පැන්නේ තියෙන නම කියලා මාව අඳුන්වලා දෙන ගමන් මම අතේ තිබ්බ පත්තරේ ටීපෝ එක උඩට දාලා ඔළුව ඉස්සුවා. මාව මුලින්ම හරියටම දැක්කේ මගේ ඉස්සරහ ඉඳන් හිටිය රනියා. මගේ මූණ දැක්ක ගමන් මාව අඳුනගන්න මිනිහා සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා කියලා මට තේරුණා. නිකන් ලෝකේ පුදුම හතෙන් එකක් දැක්කා වගේනේ හැසිරෙන්නේ. කරන්න දෙයක් නෑ…

එකපාරටම රනියා මොනවාද කියන්න කට හදනවා වගේ මම දැක්කා. මළ මඟුලයි! මූ දැන් මෙතැන වණ කරනවා. ඊට කලින් මම කළේ ඌට කෑ ගහන්න එපා කියලා කාටවත්ම පේන්නේ නැති වෙන්න අතින් කිව්ව එක. මම කිව්ව දේ ඌට තේරුණා. ඌ සයිලන්ට් වුණා. ඒත් එතැනින් එහාට රනියා කතා කළේම නෑ. රනියා ලොකු කල්පනාවකට වැටුණා කියලා නම් පේන්න තිබ්බා. සාදියත් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. ඇත්තනේ, මම පළවෙනි වතාවට මගේ ඇත්තම නමින් කෙනෙක්ට මාව අඳුන්වලා දුන්නේ. අංකල්ට නම් හිනාවක් ගියා. ඊළඟට මම බැලුවේ ඉඳුවර දිහා. ඇත්තටම ඉස්සර තිබුණ ලස්සන කඩවසම්කම එයා ළඟ තිබුණේ නෑ. හිටිවයින් භාගයක්වත් ඉඳුවර ළඟ තිබ්බේ නෑ. හොඳටම කෙට්ටු වෙලා. ඇත්තටම ඉඳුවරව දැක්කම එයා ගැන තිබ්බ හැම තරහක්ම නැතුව ගියා. මම පළිගන්න හිතාගෙන ආවේ මේ තත්ත්වයෙන් ඉන්න කෙනෙක්ගෙන්ද කියලා හිතන කොට මට දැනුණේ මං ගැනම ගොඩක් ලොකු කලකිරීමක්. ඇවිදින්නවත් බැරුව ඇස් පේන්නෙවත් නැතුව ඉඳුවර කොච්චර ලොකු වේදනාවක් විඳිනවා ඇතිද..... ඉඳුවර ඒ විඳිනවාට වඩා වේදනාවක් අද ඉඳන් මේ ක්‍රිෂී විඳියි වගේ.... පළවෙනියෙන්ම ආදරේ 'අ' 'ආ' ඉගෙන ගත්තේ මම මෙයාගෙන්නේ, එහෙම කෙනාද අද මෙහෙම ඉන්නේ කියලා හිතෙනවා.

"මොනවාද භාවනා දුව අපේ පුතා දිහා බලාගෙන කල්පනා කරන්නේ….?"

"ආ... ආ…. මෙ.. මේ..... නෑ අංකල්,........ ඉඳුවරව දැක්කේ ෆස්ට් ටයිම් (First time) නේ. ඒකයි බැලුවේ."

"මට භාවනාගේ කට හඬ හොඳට අහලා පුරුදුයි.... ඒකයි මම කල්පනා කළේ... "

ඉඳුවර කිව්ව දෙයින් මම විතරක් නෙමේ සාදිත් කලබල වුණා. මෙච්චර වෙලා කල්පනාවක ඉඳපු රනියත් ඉඳුවර දිහා බැලුවේ පුදුම වෙලා...

"පුතා කොහොමද භාවනාව අඳුනන්නේ? ඒ ළමයා පුතා දැක්කේ ෆස්ට් ටයිම් කියලා කියන්නේ… නේද භාවනා දුවේ?" "ඔ.. ඔ... ව්... අංකල්."

"ඒත් මට භාවනාගේ කටහඬ ගොඩක් පුරුදුයි. මම හිතන්නේ ඉස්සර මගේ යාළුවෙක්ගේ කටහඬක් තියෙන්න ඇති ඔය වගේ."

"එහෙම වෙන්න ඇති පුතා. ඒක නෙමේ භාවනා, සාදිගේ නෑයෝ වෙන කෙනෙක්ද...?"

"ඔව් අංකල්... අපේ නැන්දා කෙනෙක්ගේ දුවෙක්."

යකෝ ඇත්තමයි! මේකි නම් ගැලපෙන්නේ උසාවියට.. නැත්නම් දේශපාලනයට. මාර බොරුනේ ඇද බාන්නේ. මම ඒකිගේ නැන්දා කෙනෙක්ගේ තියා හත්මුතු පරම්පරාවකවත් ගෑවිලා නෑනේ. ගෑවෙන්න නම් බලාපොරොත්තුවකුත් නෑ. මට අංගොඩ නැත්නම් උසාවියේ කාමරයක් වෙන් කරන්න වෙනවා මේකිගෙන් බේරෙන්න.

"ඇත්තද.... එතකොට භාවනා මොනවාද කරන්නේ..... ඔයත් කැම්පස්ද? හැබැයි පේන හැටියට නම් කට නෑ වගේ..."

"මොන පිස්සුද අංකල්. මේකිගේ කට ඇරියොත් එහෙම මගේ කට කැලේ. දැන් අහිංසකී වගේ උන්නට මේකි තනිකරම කොච්චි කරලක්. ටික දවසක් ආශ්‍රය කළොත් තමා අංකල්ට කටේ රඟ පේන්නේ.."

අංකල් ප්‍රශ්න ඇහුවේ මගෙන් වුණාට උත්තර දුන්නේ සාදි.

"ඇත්තද දුව... ඒ වුණාට නමටම ගැලපෙන රූපේ. අහිංසක පාටයි. හරිම තැන්පත්..."

"අනේ... මේකිගේ තැන්පත්... හරියටම මේකි ගැන දැන අඳුනගත්ත දාට අංකල්ට තේරෙයි."

මේකිව මරලා කාලත් මදිනේ යකෝ. මගේ කාඩ් එක තනිකරම කුඩු කරනවා. අනේ මෙහෙමත් පාපකාරී මිත්‍රයෝ...

"ඉතින් මේ දුව මොකද කරන්නේ...?"

"මම මෙහෙ ඉඳන් මියුසික් ක්ලාස් එකකට යනවා අංකල්..."

"ඇත්තට.... එහෙනම් හොඳට සින්ග් කරන්න පුළුවන් ඇති."

"අනේ මන්දා.... ටිකක් විතර පුළුවන්....."

"එහෙනම් හොඳද කියලා බලන්න භාවනා සින්දුවක් කියන්න. නේද තාත්තී...?"

"මේ මම.., අනේ... බෑ... බෑ ඉඳුවර දැන් නම් බෑ.... මම වෙන දවසක කියන්නම්කෝ.."

"භාවනා ඉතින් ආයෙ අපේ ගෙදර එයිද කවුද දන්නෙ. මම වගේ අන්ධයෙක්ව, අබ්බගාතයෙක්ව බලන්න ඇවිත් භාවනාට මොකටද... ඒකයි මම කිව්වේ දැන්ම කියන්න කියලා."

"අනේ ප්ලීස් ඉඳුවර, තමන් ගැන ඔහොම අවතක්සේරුවෙන් හිතන්න එපා."

"එහෙම හිතන්නේ නැතුව කොහොම හිතන්නද භාවනා? තාත්තිත් නැති කාලෙක මම මේ ලෝකේ කාත් කවුරුවත් නැතුව තනි වෙනවා. රනියට වුණත් හැමදාම මාත් එක්ක ඉන්න බෑනේ. ඌට කියලත් අනාගතයක් තියෙනවනේ. තාත්ති නැති වුණ දවසට මට වෙන්නේ මේ සමාජයට බරක් වෙන තවත් එක මිනිහෙක් වෙන්න. ඒක මගේ ඉරණම වෙන්න ඇති. දෛවයේ ලියැවිලා තියෙනවා නම් ඒක වෙනස් කරන්න අපිට කවදාවත් බැහැ භාවනා… "

ඉඳුවර ඒ දේවල් කියන කොට මම කඳුළු හංගන් හිටියේ පුදුම තරම් අමාරුවකින්. ජීවිතේ කවදාවත්ම සාදි ඉස්සරහදී ඇරෙන්න අඬලා නැති මම, මේ යන තත්ත්වය අනුව පරාද වෙයි වගේ.

"ඉඳුවර, උඹට පිස්සුද...? මේ විකාර නොකියා ඉඳපන්. ජීවිතේ ඔය දේ සිද්ධ වෙච්ච පළවෙනි කෙනා උඹයැ.. "

මගේ තත්ත්වය තේරිලාද කොහොද සාදි ආයෙත් කතාව පටන් ගත්තා. ඒත් කිසිම දෙයක් ගැන බරක් පතලක් නැති මම ඉඳුවර කිව්ව දේවල් දිගේ ටිකක් ගැඹුරින් හිතුවා. අංකල් වුණත් මුකුත්ම කතා කළේ නෑ. ඒ මූණේ තිබ්බ හැඟීම් වලින් තේරුණා අංකලුත් ඉන්නේ ජීවිතේ ගැන ගොඩාක් කලකිරීමෙන් කියලා…

"කෝ මෙච්චර වෙලා කතා කර කර හිටියට තව බොන්න මුකුත් හැදුවයැ. පොඩ්ඩක් ඉන්නකෝ මම සිරීට කියලා එන්නම්."

අංකල් නැඟිටලා කුස්සිය පැත්තට යන්න ඇත්තේ මෙතන යන කතාබහ අහන් ඉන්න බැරුවම වෙන්න ඇති. ඇයි ඉතින් ඉඳුවර තනිකරම කතා කරන්නේ සෘණ පැත්තටනේ. ඇත්ත ඉඳුවර විතරක් නෙමේ, කවුරුත් ඔය තත්ත්වයේ හිටියොත් එහෙම තමා. මම නම් කාටත් හොරෙන් වහ ටිකක් කාලා මැරිලා යනවා. ඉඳුවර මෙහෙමවත් ඉන්න එක ලොකු දෙයක්.

අංකල් ගිහින් ටිකකින් ලෙමන් ජූස් හතරක් අරගෙන ආවට අංකල් පැත්ත පළාතක ආවේ නෑ. එතැන ඉඳන් අපි අතර ඇති වුණේ පුදුම තරම් නිහඬ බවක්. අනිත් කෙනා හුස්ම ගන්න සද්දේ අපිට ඇහෙන තරමටම නිහඬයි. අන්තිමට ලොකු සුසුමක් හෙළපු ඉඳුවරම කතාව පටන් ගත්තා.

"සාදි, උඹ කිව්වා නේද ලෝකේ මෙහෙම වුණ පළවෙනි කෙනා මම නෙමේ කියලා. ඔව් ඒත් උඹ දන්නවද මෙහෙම ඉන්න එක කොච්චර අමාරුද කියලා? විශේෂයෙන්ම මං වගේ කොල්ලෙකුට කොහොමත් ඉන්න අමාරුයි. මෙහෙම ඉන්නකොට මම දස දහස් වතාවක් මැරි මැරී උපදිනවා සාදි. තුවාලේ තියෙන මිනිහා තමා ඒකේ වේදනාව දන්නේ බං. මට මගේ තාත්තා ගැන දුකයි. තාත්තා රජෙක් වගේ ජීවත් වෙච්ච මනුස්සයෙක්. අම්මා මාව දාලා යනකොට මට යන්තම් අවුරුදු අටක් විතර. එදා ඉඳන් තාත්තාගේ මුළු ලෝකයම පිරිලා තිබුණේ මගෙන්... ඒත් මම මේ කරගත්තු දෙයින් තාත්තාගේ හීන ඔක්කොම කැඩිලා බිඳිලා ගියා. මට පේන්නේ නැති වුණාට, තාත්තාගේ හිතේ තියෙන හැඟීම් මූණ දිහා බලලා කියන්න බැරි වුණාට මම දන්නවා මගේ තාත්තා ජීවත් වෙන්නේ මැරිච්ච මළ මිනියක් වගේ. ඒ තාත්තාගේ හීන හැබෑ කරන්න දැන් මේ ඉඳුවරට බෑ බං. මේ ඉඳුවරට බෑ... "

මොන කතාව ආවත් තමන්ගේ පැත්තට වාසිය හරවගන්න සාදිට වුණත් ඉඳුවරගේ කතාව ළඟ වචන තිබ්බේ නෑ. ඒකිට කර ගන්නම දෙයක් නැති තැන ඒකි අත් දෙකෙන්ම ඔළුව බදා ගෙන පුටුවට හේත්තු වුණා. රනියා වුණත් උන්නේ ගොඩක් අසරණ වෙලා. ඉඳුවරගේ කතාව ළඟ අපි හැමෝම ගොළු වෙලා තිබ්බා. හොඳ වෙලාවට අංකල් හිටියේ නැත්තේ. හිටියා නම් ඒ මනුස්සයට පොළොව පලාගෙන යන්න හිතෙයි. මට මෙහෙම දුකයි නම් ජාතක කරලා, කවලා පොවලා ඇහැක් වගේ බලාගෙන ලොකු මහත් කරපු ඒ තාත්තාට මොන තරම් දුක ඇද්ද? කරන්න දෙයක් නෑ, ඉඳුවර මේ කියන දේවල් මට තවත් අහන් ඉන්න බෑ. ඕන කෙහෙල් ගෙඩියක් වෙච්චි දෙන් කියලා මම මයික් එක අතට ගත්තේ ඒකයි. මම එහෙම කරයි කියලා සාදිවත්, රනියාවත් හිතන්න නැතුව ඇති.

"ඉඳුවර .... සමහර විට මට ඔයාට උපදෙස් දෙන්න අයිතියක් නැතුව ඇති. ඒත් ඔයා දැන් ගොඩක් දේවල් කිව්වා. මට බෑ තවත් මේ දේවල් අහන් ඉන්න. ඒකයි මම කතා කරන්න හිතුවේ. මේකයි... ඉඳුවර, ඔයා ඇක්සිඩන්ට් වුණා තමයි. මම සේරම විස්තර දන්නවා. සාදි කිව්වා වගේ ඒක වෙච්ච පළවෙනි කෙනත් අන්තිම කෙනත් ඔයා නෙමේ. හැම දේම වෙන්නේ මිනිස්සුන්ට ඉඳුවර. වරදින්නේ හරියන්නේත් හැම දේම මිනිස්සුන්ට. හරි ගියා කියලා ලොකුකම ඔළුවට ගන්නේ නැතුව, වැරදුණා කියලා ඒක ගැන හිත හිත ඉන්නේ නැතුව අපි ජීවිතයට මුහුණ දෙන්න ඕනා. ලෝකේ දියුණුම සත්ත්වයා මනුස්සයා කියලා කියනවනේ. අපිට මොළයක් ලැබිලා තියෙන්නේ අපිට වරදින වරදින සැරේට කල්පනා කරලා බලලා වැරදි හදා ගන්නයි. ඒ වැරදි හදාගෙන ඉස්සරහට ගියාම තවත් මොළේ පාවිච්චි කරලා තවත් ඉස්සරහට යන්න. එහෙම යන කොට අපිට ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා. ඒ දේවල් ගැන හිත හිතා කාලේ නාස්ති කරලා වැඩක් නෑ. ඒවා අමතක කරලා ඉස්සරහට යන එක තමා හොඳම දේ."

"මට එහෙම ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් කමක් නෑ භාවනා.. මම අන්ධයෙක්, අබ්බගාතයෙක්. මේ සමාජයට බරක් වෙච්ච මිනිහෙක්."

"එහෙම බරක් වෙන්නේ ඔයාට සනීප වුණේ නැත්නම්නේ ඉඳුවර. දොස්තරලා කියලා නෑනේ ඔයාට කවදාවත් සනීප වෙන්නේ නෑ කියලා. උත්සාහය තියෙනවා නම් අපිට අපේ දෛවය වුණත් වෙනස් කරන්න පුළුවන් ඉඳුවර. ඒකට කරන්න පුළුවන් හැම කැප කිරීමක්ම අංකල්, රන්දික, සාදි වගේම මමත් කරනවා. ඔයාව සනීප කරගන්න පුළුවන් නම් අපි මේ ලෝකේ කෙළවරට හරි යනවා ඉඳුවර. ඔයා කිසි දේකට බය වෙන්න එපා. යාළුවෝ කියන්නේ සැපේදී ඉඳලා දුකේදී දාලා යන අයට නෙමේ, හැමදාම ළඟින් ඉන්න අයට. එහෙම බැලුවොත් මේ රන්දික ගොඩක් හොඳ යාළුවෙක්. රන්දික සැපේදී නැතත් දුකේදී හැමදාමත් ඔයත් එක්ක උන්නා. ඉස්සරහටත් ඉඳියි. රන්දික විතරක් නෙමේ, ඔයත් එක්ක අපි හැමෝම ඉන්නවා. ජීවිතේ ගැන සෘණාත්මක වෙන්නේ නැතුව ධනාත්මක වෙන්න ඉඳුවර. ඔයා ධනාත්මකව හිතන්න හිතන්න ඔයාට පුළුවන් ඉස්සර ඉඳපු ඉඳුවරම වෙන්න. ජීවිතේ කියන්නේ විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න ඕන දෙයක් නෙමේ. අපි ඔක්කොම එකතු වෙලා ජීවිතේ විඳිමු. ඒකට අපි ඔයාට ඕන උදව්වක් කරනවා."

මම එකින් එක පැහැදිලි කරලා දෙද්දී ඉඳුවර හැමදේ අහගෙන හිටියා. රනියටත් පුදුමයි, එදා මාව අච්චරටම වට්ටපු ඉඳුවරට මම මෙහෙම කතා කරන කොට.

සාදිට නම් ගාණක් නෑ. ඒකි මගේ හැටි දන්නවනේ. මම මයික් එක අතට ගත්තම කාටවත්ම දෙන්නේ නෑ කියලා ඒකි හොඳට දන්නවා. අනික ඉතින් මම ඒකිගේ යාළුවනේ. මම කියපු දේවල් අහගෙන ඉඳුවර ටිකක් වෙලා කල්පනා කළා. එක දිගටම කියවන් ගිය හින්දා මටත් ටිකක් මහන්සියි වගේ. ඒ හින්දා මාත් සද්දේ වහ ගත්තා. ඇත්තටම ඒ වෙලාවේ ගේ ඇතුළේ චුට්ටි සද්දයක්වත් තිබ්බේ නෑ. ඉදිකටුවක් බිම වැටුණත් ඇහෙන තරම් නිශ්ශබ්ද වෙලා තිබ්බා. අපි තුන් දෙනාගේම ඇස් තිබුණේ ඉඳුවර ළඟ. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳපු ඉඳුවරගේ මූණට ලස්සන හිනාවක් ආවා. ඉඳුවරට ගොඩක් සතුටු හිතුණ වෙලාවට ඉස්සරත් ඔහොම හිනා වෙනවා. ඒ කියන්නේ දැන් ඉඳුවරට සතුටු හිතුණා කියන එකද..? ඉඳුවරගේ මූණ දිහාම බලන් ඉඳපු රනියගේ ඇස් දෙකෙන් පුංචි කඳුළු බිංදු දෙකක් තියෙනවා මම ඊළඟ තත්පරේදී දැක්කා. ඇත්තටම යාළුවෙකුගේ දුකේදී උණු වෙන හිතක් තියෙන මිනිස්සු ඉන්නේ හුඟක් අඩුවෙන්. ඒ අතින් රනියා සුපිරි. අර ලස්සන හිනාව මූණේ තියාගෙනම ඉඳුවර ආයෙත් කතාව පටන් ගත්තා...

“මෙච්චර දවසක් මම ජීවත් වුණේ මැරිච්ච මිනිහෙක් විදියට. ඒත් භාවනා, ඔයාගෙ ඔය වචන ටිකත් එක්ක මට ආයෙමත් ජීවත් වෙන්න ආස හිතෙනවා භාවනා. මගේ අතින් වෙච්ච වැරදි සේරම මුල ඉඳන් හදාගෙන මිනිහෙක් වගේ ඔලුව උස්සන්න හිතෙනවා. ඇත්තටම භාවනා, ඔයා භාවනාවක්ම තමයි. මිනිස්සුන්ගෙ හිත නිවන්න ඔයාට හොඳට පුළුවන්. ඔයා මීට කලින් කවදාවත් දැකලා නැති, කතා කරලා නැති මම වගේ කොල්ලෙක්ට ඔයා ජීවත් වෙන්න පාර කිව්වා. මෙච්චර කාලෙකට ඔයා වගේ කෙල්ලෙක් මට නම් හම්බ වෙලා නෑ. මම දන්නවා... ඔයාලා මාත් එක්ක ඉන්නවා කියලා. දැන් මට ජීවත් වෙන්න බය නෑ. මම අද ඉඳන්, මේ දැන් ඉඳන් ආයෙත් ජීවත් වෙන්න ගන්නවා. හිනාවෙන්න අමතක වෙලා හිටිය මට හිනාවෙන්න කියලා දීපු මේ කෙල්ලගෙ මූණ බලාගන්න ඕන හින්දම මම මගේ ඇස් දෙකට බේත් කරන්න තාත්තිට ඉඩ දෙනවා භාවනා. ඇත්තමයි.”

ඉඳුවර ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම රනියාගෙ මූණට මාර හිනාවක් ආවා. රනියා පැනපු ගමන් ඉඳුවරගෙ බෙල්ල බදාගත්තා. අවංක යාළුවෙක්ගෙ හැසිරීම බලාගන්න ඕනෙ නම් ඒ වෙලාවේ රනියාගෙයි සාදියගෙයි මූණ බලන්න තිබුණේ. ඒ චාන්ස් එක මට නම් ලැබුණා. මොනවා වුණත් ඉඳුවරට එහෙම හරි තේරුම් කරලා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන නම් මට තිබුණෙ එලමකිරි හැපි එකක්.

“ඉඳුවර මට ගොඩක් සතුටුයි. ඔයා ඔය වගේ තීරණේකට ආව එක ගැන...”

“ඒකට තැන්ක්ස් කරන්න ඕනා ඔයාටම තමා භාවනා. මගේ හිතුවක්කාරකම් ඔක්කොම ඔයා බස්සලා දැම්මනෙ පැය භාගෙන්.”

“ඒ ඉඳුවර මම යන්න ඕන බන්. වැඩ ගොඩක් තියෙනවා. හෙට උදේම මම එනවා. එහෙනම් සාදි මම යනවා. භාවනා අපි ගියා... ආයෙ හම්බෙමු.”

“ගියා නම් හෝදගනින් මචං... නැත්නම් ගඳ ගහයි.”

සාදියා කෑ ගහද්දිම රනියා නැගිටලා සාදියටත් එකක් ගහගෙනම යන්න ගියා. ඌ මාර බුවෙක්නේ. එක පාරටම හැඳිච්ච කුලප්පුව මොකක්ද...? සමහර විට කෑල්ල බලන්න යනවා ඇති. පව්නේ, කනු තියන්න හොඳ නෑනේ.

ඉඳුවරගෙ ගෙදරින් මම ආවේ මාර විදියට හිත සැහැල්ලු කරගෙන. අන්තිමට එන්න හදන කොට ඉඳුවරයි, අංකලුයි ඉල්ලපු ඉල්ලීම නම් මට ඉෂ්ට කරන්න වෙනවා. සතියකට එක පාරක්වත් මට ඉඳුවර බලන්න යන්න වෙනවා. කොහොමටත් මටත් ඒ මූණ නොබලා පැය 24 ක්වත් ඉන්න බෑනෙ...

ඉඳුවරයි, අංකලුයි එක්ක කියෝ කියෝ ඉඳලා එහෙන් එනකොට 2ට විතර ඇති. සාදියත් ගෙදරින් දාලා ටවුන් එක පැත්තට බයික් එක හැරෙව්වේ ගෙදර යනකොට ශනූට මොනවා හරි අරගෙන යන්න ඕන හින්දා. ඒත් එක පාරටම පිටිපස්සෙන් වෙඩිල්ල වගේ ආපු කාර් එකක් බයික් එක හරස් කරලා නැවැත්තුවා. ඇත්තටම මූට ලයිසන් දීලා තියෙන්නේ යම රජ්ජුරුවොද කොහෙද... ඇයි යකෝ, මහ පාරේ ඌට ඕන විදියටනෙ යන්නෙ. මේ ක්‍රිෂිටත් ඉතින් මළ පනිනවා. මොනවා වුණත් මූට නම් දෙකක් කියලම යන්න ඕනා. බයික් එක අයිනට කරලා නවත්තන කොට කාර් එකත් පාර අයිනට කරලා නැවැත්තුවා. ඒත් කාර් එකේ හිටිය මෑන්ව දැක්කම මට දෙලෝ රත් වුණා. ඇත්තටම රනියාව මම ඒ වෙලාවේ බලාපොරොත්තු වුණේ නෑ.

“රන්දික උඹ... ඇයි යකෝ, තොට ලයිසන් දුන්නෙ තොගෙ අප්පච්චිද...? නැත්නම් මාමණ්ඩිද?” කාර් එකෙන් බහින රනියාගෙන් මම ඇහුවේ මට ඇත්තටම තද වෙච්ච නිසා.

“ක්‍රිෂී මට උඹව මීට් වෙන්න ඕනා...”

“ඉතින් දැන් මීට් වෙලානෙ ඉන්නෙ. උවමනාව කියපන්.”

“මෙහෙම කතා කරන්න බෑ ක්‍රිෂී. වරෙන් මොනවා හරි බොන්න. මේක වැදගත් කතාවක්.”

“ඒ... මඟුල! හරි හරි යමන්.”

මොනවා වුණත් කතාව වැදගත් කියලා තේරුණ හින්දා මම ම ඉස්සර වුණා.

“ක්‍රිෂී මොනාද බොන්නේ...?”

ජීවිතේ ගොඩක් වැදගත් දේවල් සිද්ධ වුණු වික්‍රමසිංහේ රවුන් ටේබල් එකක තිබ්බ පුටුවක් ඇදලා ඉඳගන්න ගමන් රනියා ඇහුවා. මූ නම් චුට්ටක්වත් වෙනස් වෙලා නෑ. ඉස්සර සාදිත් එක්ක මරා ගන්න එකාමයි.

“වෙන මොනාද බං. දිවුල් ජූස් තමා. තාම ඒ ආසාව නැති වෙලා නෑ.”

“ඉස්සර මායි සාදියි හැමදාම රණ්ඩු වුණේ දිවුල් ජූස් වලට. මතකද සාදියගෙ ජූස් එක මම උදුරගෙන බොනවා. ඒ තරහට දවසක් මගෙ බීම එකට ජාපාල ඇට දාලා මම දවස් ගානක් ටොයිලට් එකේම හිටියේ. ඉස්සර අපි 4 දෙනා සෙට් වෙන්නෙම මෙතනනෙ. අපේ ඒ ෆෙන්ඩ්ෂිප් එක ඉඳුවරයා කාලා දැම්මනෙ ක්‍රිෂී. අන්තිමට බොක්කෙන්ම හිටිය අපි හතරදෙනා දෙපැත්තකට කැඩිලා ගියා. මුළු ටවුන් එකේ ඔක්කොම අපේ වයසෙ උන්ට ඕන වෙලා තිබුණෙත් ඒකමනෙ.”

වේටර්ට ජූස් ගේන්න කියලා, රනියා මං දිහා උඩ ඉඳන් පහළට බැලුවා. මූ මේ හදන්නෙ මම වෙනස් කියලා කියන්නනෙ.

“ක්‍රිෂී උඹ...”

“මේ... මේ... උඹ ඔය හදන්නෙ මම වෙනස් වෙලා කියලා කියන්න නම් ඒ කතාව පැත්තකින් තියලා කෙලින්ම කතාවට බැහැපන්.”

“හරි.. එහෙනම් කතාවට බහින්නම්...”

වේටර්කාරයා ගෙනත් දීපු දිවුල් ජූස් එකට බීම බටේ දාලා කරකව කරකව රනියා කතාවට එන්ටර් වුණා. බලන් ගියාම මූත් මාර පොරක්නෙ.

“මේකයි ක්‍රිෂී, මම උඹ ගැන හොඳට දන්නවා. උඹ ලංකාවෙන් ගියෙ මීගමු බීච් එකේදී ඉඳුවරගෙන් පළිගන්නවා කියලා දිවුරලා කියලත් මම දන්නවා. ඒක උඹට කරන්න පුළුවන් කියලත් මම දන්නවා. මට දැනගන්න තියෙන්නෙ මෙච්චරයි. උඹ ආයෙත් ලංකාවට ආවේ එදා ඒ කිව්ව දේ කරලා යන්නද කියලා මට දැනගන්න ඕනා... ඒ වගේම එහෙම කරන්න හිතාගෙන ආව නම් ඒ දේ කරන්න එපා කියලා උඹෙන් ඉල්ලන්නත් එක්ක. මොකද එක්සිඩන්ට් එකෙන් පස්සෙ ඉඳුවර අච්චර ලස්සනට හිනා වුණේ අද. උඹ ඒ කිව්ව කතා ටික මමත් ඌට කට කැඩෙනකම් කියලා තියෙනවා. ඒත් උඹ ඒක බොක්කට වදින්න කිව්වා. අවුරුදු ගානකට පස්සෙ උගෙ මූණට ආපු හිනාව නැති කරන්න එපා කියලා උඹට වැඳලා හරි ඉල්ලන්නත් එක්ක මම උඹව හම්බවෙන්න ආවේ. ඉඳුවරලගෙ ගෙදරින් මම ආවට මම උඹලව ෆලෝ කරා. එහෙම කරලා හරි උඹව හම්බෙලා මේක දෙකෙන් එකක් බේරගෙන යන්නමයි මම ආවේ.”

යාළුවෙක් වෙනුවෙන් කෙනෙක්ට වදින්න වුණත් ලෑස්ති කොල්ලෙක් මම දැක්කමයි.

“හරි, උඹ අහපු හැම ප්‍රශ්නෙකටම මම උත්තර දෙන්නම්. ඒත් ඊට කලින් මට කියපන් මම ඉඳුවරගෙන් පළිගන්න හිතාගෙනයි ලංකාවෙන් ගියේ කියලා උඹ දන්නෙ කොහොමද...?”

මෙච්චර වෙලා හිතේ පෙරළි පෙරළි තිබ්බ ප්‍රශ්නෙ මම රනියා ඉස්සරහින් තිබ්බා.

යකෝ, මූ හිනා වෙන්නත් දන්නවනෙ! දෙන්න හිතෙනවා දිවුල් ජූස් එකෙන්...

“රන්දික ප්‍රශ්නයක් අහපුවම උත්තර දීපං.”

“හරි... හරි... ක්‍රිෂී... එදා ඉඳුවර උඹට බූට් එක කියලා වික්‍රමසිංහ පැත්තට ගියානෙ. මම ගියෙ නෑ ඉඳුවරට බෑ කියලා ගෙදර යන්න හැදුවේ. ඒත් උඹලා දෙන්නා බීච් එකේ හිටිය හින්දා මම ඒ පැත්තට ආවා. මොකද මම දැනගෙන හිටියා උඹ හොඳටම ඉන්නෙ වැටිලා කියලා. මම එනකොට උඹ සාදිට කිය කියා උන්නෙ ඔය කතාව. මම උඹ ඉන්න තත්ත්වේ තේරුම් අරගත්තා. මට උඹලා කතා වුණ දේවල් ඇහුණා. පස්සෙ මම උඹලත් එක්ක කතා කරන එක පැත්තකට දාලා ගෙදර ගියා. ඊට පස්සෙ ඉඳුවරත් මාත් එක්ක අවුලෙන් බන් උන්නෙ. ඇයි, මම ඌට හම්බුණ ඔට්ටුව භුක්ති විඳින්න ගියෙ නෑනෙ. මගෙන් ඈත් වුණාට පස්සෙ ඉඳුවර අර කාලකණ්ණි සෙට් එකට වැටිලා තවත් නරක් වුණා. මමත් ඈත් වෙලා වෙන්නෙ මොනාද කියලා බලාගෙන උන්නෙ. අන්තිමට වුණේ ඉඳුවරගෙ මුළු ජීවිතේම අඳුරු වුණ එක. පස්සෙ උගෙ වටේ හිටිය උන් ඔක්කොම ඈත් වුණා. මොනා වුණත් පුංචි කාලෙ ඉඳන් එකට හිටිය යාළුවනෙ. උගේ දුකේදී උගේ ළඟ නැත්නම් මම යාළුවෙක්යැ? ඒකයි මම ආයෙත් ඉඳුවර ළඟට ආවේ. අපි ඕලෙවල් වලින් පස්සෙ පංති දෙකකට කැඩුණත් අපේ ෆෙන්ඩ්ෂිප් එකට අවුලක් වෙලා තිබුණෙ නෑනේ. අරූට ආර්ට් එකේ සෙට් වෙච්ච උන් හරි නෑ. කොමස් එකේ මාත් එක්කම හිටියනම් ඉඳුවර ඔච්චරටම නරක් වෙන්නෑ.”

එකත් එහෙමද... මොනා වුණත් මූ නම් බොක්කෙන්ම ආශ්‍රය කරන්න පුළුවන් යාළුවෙක්. ඇත්තටම එලකිරි!

“හරි හරි, දැන් උඹ ඇහුව ප්‍රශ්නෙට මම උත්තර දුන්නනෙ ක්‍රිෂී. දැන් මම අහපු ප්‍රශ්නෙට උඹ උත්තර දියං.”

“උඹ කිව්වනෙ රනියෝ මම ගැන හොඳටම දන්නවා කියලා. ඒත් උඹ දන්නෙ ටිකයි.”

“ඒ කිව්වේ ක්‍රිෂී?”

“ඒ කිව්වෙ ඉංග්‍රීසි හෝඩියෙ පළවෙනි අකුරනෙ බන්...”

“විකාර නෙමේ යකෝ! මම අහපු දේට උත්තර දීපන්.”

“ඇත්ත රන්දික, මම ලංකාවට ආවෙ පළිගන්න තමයි.”

“ඒ කියන්නේ උඹ දැන් ගේම් එක පටන් ගත්තා.”

“උඹ මේ ක්‍රිෂී ගැන දන්නෑ රන්දික. මම වැටිලා ඉන්න මිනිස්සුන්ව තවත් වට්ටන ජාතියෙ කෙල්ලෙක් නෙමේ බං. මාත් වැටිලා හරි උන්වත් අරන් නැගිටින ජාතියෙ කෙල්ලෙක්. උඹට ඉඳුවර ගැන බයනම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඉඳුවර ගැන බය වෙන්න එපා. මේ ක්‍රිෂී අද ඉඳුවර ඉස්සරහා කිව්වා වගේම ඉඳුවරව ගොඩ දානවා. මූණට ආපු ඒ හිනාව කොහොම හරි හැමදාම රැක ගන්නවා. මම යනවා.”

දිවුල් ජූස් එකේ අන්තිම අඩියට යනකම්ම එක දිගට බීලා රනියා බලන් ඉද්දිම අඩියට දෙකට වික්‍රමසිංහෙන් එළියට ආවා.

******* 

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."   


Next Episode


Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1