දඟකාර ආඩම්බරී 5
05 වන දිගහැරුම
බෙංගාල බොක්කට බූට් එක වැදිලද කොහෙද මේ දවස් ටිකේම වහිනවා. විහිළුවටවත් එළියට බහින්න හිතෙන්නෙ නෑ. දවස් ගෙවිලා යන්නෙ මාර ඉක්මණට නිකං කවුරු හරි ගහන්න එලවනවා වගේ. කකුල් කඩාගෙන දුවනවා. ලංකාවට ඇවිත් මාසෙකුත් ගියා. ප්ලෑන් කරගෙන ආපු වැඩ ඔක්කොම අබ්ලික් වුණානෙ. එදා ඉඳුවරලගෙ ගෙදර ගියාට පස්සෙ දවස් තුන හතරක්ම සාදිත් එක්ක එහෙ ගියා. ඒත් දැන් ඉතින් නම් යන්න වෙන්නෙ තනියම. අරකිට කැම්පස් පටන් ගත්තනෙ.
අංකල් කියන විදියට නම් දැන් ඉඳුවර ගොඩක් වෙනස් වෙලා. හිතුවක්කාරකම්, දඩබ්බරකම් අඩු වෙලාලු. කලින් වගේ තරහා යන්නෙත් නෑලු. හිනා වේවි ඉන්නවලු. ගෙදර වැඩට ඉන්න මිනිස්සුත් එක්ක හිටන් ෆිට්ලු. දැන් අර ඉස්සර හිටිය ඉඳුවරම ආයෙත් ඉන්න එක නම් හිත කුල් වෙන ආරංචියක්. පට්ට පල් සීතලේ ඉන්න කොට කුල්ම කුල් දිවුල් ජූස් එකක් බිවුවා වගේ.
මේ හෙන වැස්සෙ කොහොමටවත් මම එළියට යන්න හිතුවේ නෑ. රෙද්දක් පොරවන් නිදා ගන්නවා මිසක්. කොහෙද ඉතින් සංජු අක්කගෙ මළ වදේනෙ. ටකරමට පොල්ලකින් ඇඳබානවා වගේ කන ළඟටම වෙලා කුනුකුනු ගානවා. ශනුගෙ මොන්ටිසෝරියේ උත්සවේට ගන්න ඕන බඩු ඔක්කොම අරගෙන, මේ හොල්මන වළලු අරගෙන නෑ. මට මළ කරදරේ. මොනා කරන්නද... එක නෑනනෙ ඉන්නෙ. ඒක හින්දා හිත හදාගෙන හෙණ වැස්සෙම එළියට බැස්සා.
ටවුන් එකේ රේල් ගේට් එක ගාවින් වමට දාලා එතන තිබ්බ එලකිරි ෂොප් එකක් ගාව මම බයික් එක නැවැත්තුවා. අක්කා නම් කිව්වෙ ගත්ත තැනටම ගිහින් ගන්න කියලා. ඊට වඩා මෙතන හොඳයි වගේ...
ඇතුළට ගිහින් ඇඳුමට ගැලපෙන ලස්සන වළලු සෙට් දෙකකුයි, අපේ නෑනටත් ප්ලාස්ටික් කෑලි දෙක තුනකුයි ගත්ත මම ෂොප් එකෙන් එළියට බැස්සා. අපේ නෑනත් මාර ආසයි ප්ලාස්ටික් කෑලි එල්ලන් ඉන්න. මට නම් නිකං එතකොට කැරොල් කරත්තයක් වගේ. මොන මඟුලකට මේවා එල්ලගෙන ඉන්නවද මන්දා. මේ කුණු පංචස්කන්ධය සරසලා මොනවා බලාපොරොත්තු වෙනවද මන්දා...
හෝ ගාලා වහින හින්දා ලවර් එක අයිනට සෑහෙන්න සෙනඟ එකතු වෙලා. මේ වැස්ස පායනකම් නම් මෙතනින් හෙල්ලෙනවා බොරු. ෂික් මෙතන ඉන්න බෑ. එක එකා ඇවිත් ඇඟේ හැප්පෙනවා. හැප්පුණාම සොරි කියපං. ඒ මොන මඟුලක්වත් නෑ. අනේ මන්දා සිරි ලංකාවටත් මොනා වෙන්න යනවද කියලා. හෙමින් හෙමින් මාත් ෂොප් එකේ එහා කෙළවරටම ගියා. මෙතනින් අනික් පැත්තට පැන ගත්ත නම් අපේ ෂොප් එකට රිංග ගන්න පුළුවන්. හුඟ දවසකින් ගියෙත් නෑනේ. මම එහා පැත්තට පනින්න හැදුවේ. එත් කවුදෝ මන්දා කෙල්ලෙක් මට එහා පැත්තෙ ඉඳන් හෝ ගාලා අඬනවා. මොනා නැතත් ලොකු සීන් එකක් වගේ. වැඩේ කියන්නෙ මේ වගේ පිස්සු යක්කු හින්දා ගෑණු ජාතිය කවුරුත් ගණන් ගන්නෙ නැති එක. ඇයි ඉතින් කොයි වෙලේ බැලුවත් හෝ ගාලා රැල්ල ගහනවා වගේ අඬා ගත්ත ගමන්. සාමාන්‍යයෙන් කෙල්ලො අඬන්නෙ කොල්ලො බූට් එක තිබ්බම, හැබැයි මේකිගෙ මූණෙ නම් එහෙම දෙයක් පේන්නෙ නෑ. මොනා වුණත් අපේ වයසෙම වගේ කෙල්ලෙන්නෙ. ඒක නිසා මම චුට්ටක් ලංවෙලා වචනයක් දාලා බැලුවා.
“ඒ... නංගි මොකද තනියම? කෝ තාම එනවා කියපු කෙනා ආවේ නැද්ද...? අවුලක් ගන්න එපා නංගි.... එයා නැතුවට මෙතන අපි හතරක්ම ඉන්නෙ. එන්න අපි සීතල යන්නත් එක්ක කෝපි එකක් බොන්න යමු. හොඳ ආතල් එකක් ගත්තැකි සීතලත් නැති වෙයිනෙ නේද...?”
මම එතන්ට යන කොට එහා පැත්තෙ හිටිය කොල්ලො කට්ටිය හෝ ගාලා කෙල්ලව බයිට් කරනවා. ආ... එතකොට මේකද මේ මෙයා අඬන්න හේතුව.... අයියෝ ඕවා නම් මොනාද නංගි... කට තියෙන්නෙ ඕවට තමා.
“උඹලට සීතලට කෝපි බොන්නනෙ ඕනා. උඹලා ඒකට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්. සීතල යන්න කෝපි බොන්න එපා. හොඳට නටන උණු වතුර එකකට බැහැපන්......”
අරුන් කන්න වගේ මං දිහා බලාගෙන ඉන්නකොට උන්ව සත පහකටවත් ගණන් ගන්නෙ නැතුව මම අර කෙල්ල ළඟට සම්ප්‍රාප්ත වුණා. අර කොල්ලො ටික ෆුල් අප්සෙට්. උන් මේ පැත්තෙ ඉස්සර ඉඳලම රස්තියාදු විකුණපු උන් ටිකක්. ඉඳකින් විතරක් මුන් තාම රස්සාවක් කරන්නෙ නැද්ද? මුන්ට තමා කියන්නෙ කාලකණ්ණි කියලා. උන් ටිකක් වෙලා මං දිහා බලන් හිටියා. මාව අඳුනගන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා. අන්තිමට උනුත් මාව අඳුනගත්තා. අම්මේ... අර ගොන් කෙල්ලත් ඇඬිල්ල නවත්ත ගත්තා. ඇති යන්තම් මට ඔය ඕන දේටයි එපා දේටයි හැම මඟුලටම අඬන උන්ව පෙන්නන්න බෑ.
“මේ නංගි... ඔයා කලින් කියන්න එපාය.... ඔයා ඉන්නෙ භවන්ත අයියගෙ නංගි එනකං කියලා. කවුද දන්නෙ? ආ... සොරි නංගි. ක්‍රිෂී නංගි උඹ කවද්ද බං ආවේ....?”
“දැන් මාසයක් විතර කළු අයියා...”
“ඒකත් එහෙමද......... ඕකේ... ඕකේ, එහෙනම් අපි කැපුණා...”
“මේ කළු අයියේ මේ... උඹලගේ සෙට් එකට කියපන් බං ටිකක් මනුස්සයො විදියට හැදෙන්න කියලා. ඇයි යකෝ දැන් මේ ඒරියා එකේ කෙල්ලෙක්ට නිදහසේ ගමනක් යන්නවත් නෑනෙ...”
මම එහෙම ටෝක් එකක් දැම්මට උන් මුකුත්ම කිව්වේ නෑ. කරබාගෙනම යන්න ගියා. වෙන කෙල්ලෙක් කිව්ව නම් එහෙම මෙතන මුන් යකා නටනවා. අපේ බ්‍රදර්ට තියෙන බයටමද කොහෙද මට මුකුත් කියන්නෙ නෑ. අපේ සුදුත් දැන් උපාසකයා වගේ වුණාට ඉස්සර මේ පැත්තම රන් කළා. කොල්ලො තාම අපේ අයියට කියන්නේ භාවා කියලා. මේ ඒරියා එකේ උන් මාර බයක් තියෙන්නෙ භාවා කිව්වාම. ඇත්තට ඉතින් අයියව දැක්කත් ඇතිනෙ, ඕන කෙනෙක් බය වෙන එක සාධාරණයි. ඇයි අලිපත සයිස්නෙ. ඒ වගේම මාර හැන්ඩියා. සංජු අක්කා හම්බවුණාට පස්සෙ තමයි මිනිහා සයිලන්ට් වුණේ. ඒක තමා කියන්නෙ ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියලා.
“තෑන්ක්ස් මිස්.. ඔයා මාව බේර ගත්තා...”
“මේ.... මේ ඔය මිස් බිස් කෑලි දාන්න එපා හරිද... මම ක්‍රිෂී, ඔයා...?”
“මම නෙළුම්”
“ඕකේ නෙළුම්, හරි දැන් මොකද මහ මුහුදෙ රැල්ල ගහනවා වගේ හෝ ගාලා ඇඬුවේ...? අරුන් අනම් මනං කිව්ව හින්දද...? අයියෝ... ඔය වෙලාවට ප්‍රයෝජන ගන්න තමයි මෙන්න මේ කට අපිට ලැබිලා තියෙන්නෙ...”
“නෑ අක්කා.... මම ලොකු ප්‍රශ්නෙක පැටලිලා ඉන්නෙ...”
“ඒ කියන්නෙ නංගි ඇඬුවේ ඒ... ප්‍රශ්නෙ නිසාද....”
“ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට අරුං මට අනම් මනං කිව්වා. ඔයා මෙතන්ට එන්න කලින් අහගෙන ඉන්න බැරි තරම් ජරා කතා කිව්වා. අවුල් වෙලා තිබ්බ මගෙ හිතට උන්ගෙ ඒ ජරා කතා අහන් ඉන්න බැරි වුණා අක්කෙ...”
“හරි හරි දැන් මොකක්ද ප්‍රශ්නෙ? මට කියන්න පුළුවන්නම් විතරක් කියන්න. හෙල්ප් එකක් දෙන්න පුළුවන්නම් දෙන්නම්.”
“මම මෙහෙ ආවෙ ජොබ් එකක ඉන්ටවීව් එකකට අක්කෙ, ඉන්ටවීව් එකට එන්න කිව්වේ උදේ නවයට. ඉතින් ගෙදරින් ආවේ උදේ පහට විතර.”
“ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නෙ...?”
“මම බස් එකේ එද්දි මගෙ පොකට් එකට ගහලා. ඉතින් දැන් මට ගෙදර යන්නවත් සල්ලි නෑ, ඒ කලබලේ හින්දා ඉන්ටවීව් එකට යනකොට හොඳටම පරක්කු වෙලා. ඒකෙ හිටිය සිකියුරිටි මට හොඳටම බැනලා එලව ගත්තා. අක්කට කියන්න ඌ නිකං ඒකේ අයිතිකාරයා වගේ...”
“ඔයාට වෙලා තියෙන්නෙ නම් සීරියස් කේස් එකක් තමයි. ඒ වුණාට හැම තිස්සෙම කඳුළු පෙරාගෙන අඬන්න පුරුදු වෙන්න එපා. හරි.. ඔයා කොහෙද...?”
“ගම්පහ.., ගම්පහ කිව්වට එයිනුත් ටිකක් එහාට වෙන්න කිරිඳිවිට පැත්තෙ.”
“ටිකක් දුරයි නේද...? හරි එනකොට අර ඔයාට පාට් එක දාපු සිකුරුලියා අංකල් ඉන්නෙ මොකේද...?”
“මායාදුන්න ඔප්ටීෂියන්ස් එකේ. අර පාරෙන් එහා පැත්තෙ තියෙන ෂොප් එක.”
නෙළුම් අත දික් කරලා පාරෙන් එහා පැත්තෙ තියෙන අපේ ෂොප් එක පෙන්නුවා. එතකොට මෙයා මේකටද ඉන්ටවීව් ආවෙ?
“ඇයි ඉතින් මෙහෙ ඉන්ටවීව් ආවේ... ලංකාවේ හැමතැනම ඒකෙ බ්‍රාන්ච් තියෙනවනෙ. ගම්පහත් ඒකෙ බ්‍රාන්ච් එකක් තියෙනවා නේද....?”
“ඒත් ඉන්ටවීව් තියෙන්නේ මේකෙලූ”
“ඒකත් එහෙමද, එහෙනම් එන්නකො මාත් එක්ක...”
වැස්ස පායලා ටිකක් විතර අව්වත් පායලා තිබ්බා. කෙල්ලටත් හෙන පුදුමයි. ඇයි ඉතින් මම වැඩ්ඩා වගේ ඉස්සර වුණානෙ. කෙල්ලට කරන්න දෙයක් නැති නිසා මගෙ පස්සෙන්ම ආවා. වැටෙන්න යන එකා තුත්තිරි ගහෙත් එල්ලෙනවා කියන්නෙ ඕවට තමා.
ෂොප් එකේ ‘ඕපන්’ කියලා දාලා තිබ්බා. දොරත් තල්ලු කරගෙන මම ඇතුළට ගියා. නෙළුම් නංගියත් බය වෙච්ච හා පැටියෙක් වගේ වටපිට බල බල මගෙ පස්සෙන්ම ආවා. ඒකි බලනවා ඇති මම මොකද මේ කරන්න යන්නෙ කියලා. ඇයි ඉතින් මම ඒකිට කිව්වෙ නෑනෙ මේ ෂොප් එක අපේ කියලා.
ෂොප් එකේ අයියගෙ රූම් එක තිබ්බෙ උඩම තට්ටුවෙ. මිනිහා කොහොමත් උඩ ඉන්න ආසයි. ලිෆ්ට් එක එනකන් ඉන්න බෑයි කියලා හිතුණ නිසා තට්ටු තුනම පඩිපෙළේ නගිනවා කියලා හිතාගෙන ඒ පැත්තට මංගැච්චුවා. කොහෙද මන්ද හිටිය අවුරුදු විසිහයක විතර සිකුරුලියා කෙනෙක් අපි පස්සෙ දුවගෙන එනවා. මොකාද මේ යකා කියලා බලන්න උඩට යන එක නවත්තලා මම එතනම නැවතුණා.
“තමුසෙලා දෙන්නා කොහෙද යන්නෙ...?”
“උඩට, ඇයි මොකක් හරි අවුලක් ද...? නැත්නම් තමුසෙ එක්කන් යන්නද...?”
මිනිහා අපිට දාපු වචනෙම දාලා මාත් ඌත් එක්ක එකට එක කිව්වා.
“උඩට කියලා පේනවා...”
“පේනව නම් ඇයි අහන්නෙ...?”
සිකුරුලියාට මාව කන්න තරම් කේන්ති ඇති. ඇයි අනික් මිනිස්සු වගේ දෙකට තුනට නැමිලා ඌට බයේ හැරිලා යන්නෙ නැතුව මම එකට එක කිව්වනෙ.
“තමුසෙලට මෙතනින් එහාට යන්න කිසිම අයිතියක් නෑ. ඒකට විශේෂ අවසරයක් ඕනා...”
“හරි දැන් කාගෙන්ද ඔය අවසරේ ගන්න ඕනා...?”
“ලොකු සර්ගෙන්... දැන් කොහොමටත් ඇතුළට ගන්නෙ නෑ. සිකුරාදාට විතරයි මහත්තයව හම්බවෙන්න පුළුවන්.”
“ඇයි සිකුරාදා සිකුරගෙ දවස නිසාද...? අනේ යනවා හලෝ යන්න...”
“අනේ අක්කෙ අපි යමු. මම ඔයාට කිව්වේ මෙතන ඉන්නෙ කිසිම හිතක් පපුවක් නැති මිනිස්සු, බොරුවට මම හින්දා ඔයා මෙයාලත් එක්ක රණ්ඩු කරන්න එපා.”
නෙළුම් හොඳටම බය වෙලා. අයියා මේ වගේ උන් සේවකයෝ කරගෙන තියෙන්නේ මොකද මන්දා. මූ වගේ තව දෙන්නෙක් හිටියොත් ළඟදිම අයියට වෙන්නෙ බස්ටෑන්ඩ් එකට වෙලා හිඟා කන්න.
“ආ... මේ අර ඉස්සර වෙලා එලවලා දැම්ම කෙල්ල නේද..? චණ්ඩියෙකුත් අරන් ඇවිත් ඉන්නෙ. මේ හලෝ... මෙයා නෙමේ.., මේ ඔෆිස් එකේ ලොක්කව එක්කන් ආවත් මම බය නෑ හරිද...?”
ඒ පාර සිකුරුලියා නෙළුමට බනිනවා. මූව නම් මරලා කෑවත් මදි. ඇයි යකෝ... මූ අපේ බ්‍රදර්ට බයත් නෑලුනෙ.
“අක්කෙ අපි යමු . මට ජොබ් එක ඕන නෑ.”
“නෙළුම් චුට්ටක් ඉන්නකො. මම අද මෙතනින් යන්නෙ ඔයාට ජොබ් එක අරන් දීලම තමා. මම මෙයාලත් එක්ක කතා කරලා ඉවර වෙනකන් ඔයා ඔයාගෙ ස්පීකර් එක ඕෆ් කර ගන්න හරිද...?”
ඔෆිස් එකේ වැඩ කරන සෙට් එකයි, කන්නාඩි හදා ගන්න ආව අයයි ඔක්කොම කට ඇරන් බලන් ඉන්නවා. නිකං අලියෙක් කකුල් දෙකෙන් ඇවිල්ලා වගේ.
“එතකොට තමුසෙද නෙළුම්ට බැනලා එලව ගන්තෙ…?”
“ඔව් ඇයි, තමුසෙ මට මොනවා කරන්නද…?”
“අපෝ මේ.. මම ඔය ගැරඩි මරලා පව් පුරෝ ගන්නෙ නෑ. මරනව නම් මරන්නෙ උග්‍ර විස සර්පයෙක්. එතකොට පව් පිරුණත් දුකක් නෑ. මොකද ඌ හිටියනම් තව කී දෙනෙක්ගෙ ජීවිත නැතුව යන්න ඉඩ තියෙනවද...?”
මුළු ඔෆිස් එකේම මිනිස්සු හිනා වෙනවා. මූට පලාගෙන දුවන්න හිතෙන්න ඇති. පව් අප්පා...
“ආ... එහෙමද...? එහෙනම් බලාගන්නවා මගෙ වැඩ...”
“ලක්සිරි, රංජිත් මුන් දෙන්නට එළියට ඇඳලා දානවා.”
මෙච්චර වෙලා පැත්තක ඉඳන් මෙතන වෙන්නේ මොකක්ද කියලා බලන් හිටිය තවත් සිකුරුලියාලා දෙන්නෙක්ට කෑගැහුවා.
“ඒත් අශේන් සර් එහෙම හොඳ නෑ නේද...?”
“හොඳ නරක මට වැඩක් නෑ, කිව්ව දේ කරනවා අයිසෙ. මට උපදෙස් දෙන්න එන්නෙ නැතුව.”
අර අහිංසක සිකුරුලියාට ආයෙත් අරූ කෑ ගැහුවා. කියන්නෙ මුගෙ නම අශේන්. අශේන් හැබැයි උඹට වැඩි ආයුෂ නෑ පුතෝ. ඔය කෑගැහිල්ලට තොගෙ බොක්ක පුපුරනවා. ඒක නම් මට එලමකිරි වගේ ශුවර්.
“අශේන් තමුසෙට මොකක්ද මෙතන තියෙන අයිතිය මාව එළියට දාන්න? මොකද තමුසෙ බොසාගෙ මස්සිනා වෙන්නද ඉන්නෙ?”
ඒ පාර ඌ හෙන හයියෙන් හිනා වෙන්න ගත්තා. යකෝ මූ බලපංකො නිකං අපේ අයියටත් ඉහළින් වගේනෙ හැසිරෙන්නෙ.
“මාව මස්සිනා කරගන්න වුණත් බොස් අකමැති වෙන්නෙ නෑ ඕයි. බොස්ට ඒ තරම්ම මාව විශ්වාසයි.”
“ඇත්තට.... තමුසෙ බොස්ගෙ නංගිව දැකලා තියෙනවද..?”
“නෑ... ඒත් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තමුසෙට ඒවායින් වැඩක් නෑනෙ. බහිනවා මෙතනින් එළියට.....”
යකෝ එතකොට මූ කියන විදියට අපේ අයියා මාව මූට දෙන්න කැමතියි. අනේ... මූවනම් මට ගැළපෙන්නෙ නෑ සුදූ.. මම මූව බැන්දොත් අපේ නෑනගෙ වලං වල ගැට්ට හැමදාම මුගෙ කරේ තියෙයි. හොඳ වෙලාවට උඹ ඕක කියන තැන අයියා හිටියෙ නැත්තෙ. එහෙනම් මට ප්ලාස්ටික් සැත්කමක් කරලවත් ආපහු ඔය මූණ හදාගන්න බැරි වෙනවා.
“අශේන්….”
එක පාරටම පිටිපස්සෙන් ආපු සද්දෙට මාවත් ගැස්සිලා ගියා. සද්දෙ කොච්චර දරුණුද කියනව නම් මෙච්චර වෙලා පුටුවල ඉඳගෙනම ෆිල්ම් එක බලපු කස්ටර්මස්ලයි, සේල්ස්මන්ලයි සේරම නැගිට්ටා. ඒ විතරක් නෙමේ මෙච්චර වෙලා වැඩකාරයා වගේ කියවපු සිකුරුලියත් ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. මම උඩට යන්න හදපු පඩි පෙළ ගාව හිටගෙන හිටියෙ අයියා... ඒ මූණ පළවෙනි වතාවටයි ඒ වගේ දරුණු විදියට දැක්කෙ. ගෙදර නිතරම හිනා වෙලා ඉන්නේ අයියද කියලා හිතෙනවා. එක වගේ දෙන්නෙක් නෑනෙ. අයියම තමා.
පඩිපෙළ බැහැලා සිකුරුලියා ළඟට ආපු අයියා ඌ දිහා බලන් උන්නෙ නිකං වියරු වැටිච්ච සිංහයෙක් ගොදුරක් දිහා බලන් ඉන්නවා වගේ.
“නෑ.... නෑ…. ස… ස.. ර්… මේ … දෙ.... දෙ... න්නා අවසරයක් නැතුව උඩට යන්න හැදුවා. ඒකයි.”
සිකුරුලියාට කියන්න හම්බුණේ එච්චරයි. අයියගෙ දකුණු අත උගෙ කම්මුලේ චටාස් ගාලා වැදුණා. වැදිච්ච පාරේ සැරකම කියන්නෙ සිකුරුලියා උගෙ කම්මුල අල්ල ගත්තා උගේ ඇස් දෙකේ කඳුළුත් එක්ක. පව් අප්පා තව ටිකක් වෙලා ගියොත් මුට නවතින්න වෙන්නෙ කැඩුම් බිඳුම් වෙද නෝනගෙ ගෙදර. ඒ ගෑනිට දුවෙක් හිටියොත් උඹේ වෙලාව.
“උඹ දන්නවද යකෝ, උඹ දන්නවද... තෝ කවදාවත් දැකලා නැති මගෙ නංගි කවුද කියලා? මේ ඉන්නෙ මගෙ නංගි යකෝ. තෝ කියපු හැමදේම මම අහගෙන හිටියෙ. තෝ වගේ බල්ලකුට මම මගෙ නංගිව දෙනවද යකෝ? කියපං කියපං.... තොට දෙනවට වඩා හොඳා පාරෙ යන හිඟන්නෙකුට දෙනවා. අඩුම තරමෙ උන් කතා කරන්නවත් දන්නවා.”
සිකුරුලියාගේ නිල් පාට ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා හොල්ලන ගමන් අයියා හෝ ගාලා කෑගහනවා. සිකුරුලියා හොඳටම බය වෙලා. නිකං හුඹහෙන් ඇඳලා ගත්ත තලගොයෙක් වගේ. දැන් ඉතින් ඌට ෂුවර්නෙ උගෙ ජොබ් එක ඉවරයි කියලා. ඌ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති අයියා මෙතන්ට එයි කියලා. අනික මම බොසාගෙ නංගි කියලා කොටින්ම හිතන්න නැතුව ඇති.
කොලර් එකෙන් අල්ලගෙන හොල්ලන ගමන් අයියා දෙපාරක් තුන්පාරක් උගෙ කම්මුල අත ගෑවා. තව වෙලා ගියොත් අයියා මූව මරනවා. ඒකයි මම මැද්දට පැන්නෙ.
“සුදු... ඇති ඔය, ගහන්න එපා. ඔයා හදන්නෙ මූව මරලා හිරේ යන්නද...?”
“නෑ ක්‍රිෂි... මූ ඔයාට බැන්නා. මට මූව මරන්න හිතෙනවා. අඩුම තරමින් මමවත් තාම ඔයාට බැනලා නෑ. මූට කොහෙන්ද එච්චර අයිතියක්? මම මූව ගොඩක් විශ්වාස කළා. ඒකයි මූව ආරක්‍ෂක අංශයේ ලොක්කා කරලා පඩි වැඩි කළේ. මේ මට සළකපු හැටි. තෝ බැහැපං දොට්ට. බැහැපං යකෝ බල්ලා.. තෝ හරියට මේ භවන්ත ගැන දන්නෙ නෑ යකෝ.”
එහෙම කෑගැහන ගමන් අයියා තව දෙක තුනක් ඌට ඇන්නා. කරන්න දෙයක් නෑ අශේන්. උඹ මෙතන හොරකම් කළානම්, උඹට සමාවක් ලැබෙන්න තිබ්බා. ඒත් උඹ බැන්නෙ භවන්තගෙ නංගිට. කොටින්ම කියනව නම් චූටි කාලෙ මට තුවාලයක් වුණත් අඬන භවන්තගෙ නංගිට, වස්තුවට, තවත් කියනව නම් පණට. තවත් මෙහෙම ගියොත් මෙතන මළගමක් වෙනවා. ඒකයි මම සුදුගෙ ඇඟේ එල්ලුණේ. මොනා වුණත් අරුත් මනුස්සයෙක්නෙ.
“සුදු අපි යමු උඩට. මිනිස්සු අතින් වැරදි වෙනවා. හොඳම දේ තමයි ඒ වැරදි හදා ගන්න එක චාන්ස් එකක් දෙන එක. අශේන් කළේ උගෙ ඩියුටිය. ඒත් ඒක කරපු විදිය තමයි නරක. ඇත්තටම අවසරයක් නැතුව මෙතනින් උඩට යන්න කාටවත් බෑනෙ.”
“ඒත් ක්‍රිෂී ඔයා මගෙ නංගි. මූට අයිතියක් නෑ ඔයාට ඔහොම කතා කරන්න.”
“ඒක හරි සුදු,,. ඒත් අශේන් දන්නෙ නෑනෙ මම ඔයාගෙ නංගි කියන්න.”
“ඒක හැමෝම දැනගන්න ඕනා. මේ භවන්තගෙ නංගිව හැමෝම අඳුනන්න ඕනා...”
“හරි හරි සුදු දැන් කූල් වෙන්නකො. අපි යමු උඩට ගිහින් කථා කරමු. මම ආවේ ලොකු උවමනාවකට.”
“හරි... අශේන් නංගි කියන හින්දා මම තොට තව එක චාන්ස් එකක් දෙනවා. අද ඉදන්වත් මෙතන හරියට වැඩ කරගෙන යමං තේරුණාද...?”
“හොඳයි සර්...”
අපි දිහා බලන්නෙවත් නැතුව මිනිහා ආපහු හැරුණා. පව් කම්මුලත් ඉදිමිලා...
“අශේන්...”
මම ආයෙත් ඌට කතා කළේ ඇත්තටම දුක හිතුණ හින්දා. මුළු ඔෆිස් එකම සයිලන්ට් වෙලා. හැමෝම බලන් හිටියෙ මම මොනාද කියන්න යන්නෙ කියලා. අශේන් ආයෙත් මගෙ පැත්තට හැරුණා. ඒත් මිනිහට ඔලුව උස්සලා මගෙ දිහා බලන්නවත් හිතේ හයියක් තිබුණෙ නෑ. ඒකයි මිනිහා බිම බලාගෙනම හිටියෙ.
“ඇයි මිස්...?”
“අශේන් කෙනෙක්ට වරදින්න පුළුවන් එක පාරයි. ඊළඟට ඒ කෙනා අනිවාර්යයෙන්ම ඒ වැරැද්ද හදා ගන්න ඕනා. ඒ වගේම කෙනෙක්ට සමාව දෙන්න පුළුවනුත් එක පාරයි. ඒ සමාව වැරදි විදියට තේරුම් අරන් නැවත නැවත වැරදි කරන කෙනා ලොකුම ලොකු මෝඩ තකතිරුවෙක්. අද ඔයා ගුටි කෑවේ, බොස්ගෙ නංගිට කෑ ගැහුව නිසා. ඒක නිලය, බලය, ලොකුකම හින්දා ඇති වුණ රණ්ඩුවක් නෙමේ. ඒක වුණේ තනිකරම සහෝදරකම හින්දා. ඔයා දන්නවද අශේන්.... අඩුම තරමෙ මාව මටවත් අයිති නෑ.... මගෙ අයිතිය තනිකරම තියෙන්නෙ ඔයාගෙ බොස්ට, මගෙ අයියට.”
“මගෙත් වැරැද්ද, අවසරයක් නැතුව ඇතුළු වෙන්න ගිය එක. ඔයා කළේ ඔයාගේ ඩියුටිය. ඒක කරපු විදිහයි වැරදි. ඔයාලට පඩි දෙන්න නම් අපිට මුදල් එන්න ඕනා. එතකොටයි ඔයාලට රස්සාවල් හම්බවෙන්නෙ. එහෙම වුණේ නැත්නම් ඔයාලට රස්සාවල් නෑ. මේ දේවල් අපි අසාධාරණෙන් හම්බකරපු දේවල් නෙමේ. අපේ සීයයි, තාත්තයිත් මේ බිස්නස් එක කළා. අපි අද මේ තත්ත්වෙ ඉන්නෙ එයාලගෙ දාඩිය මහන්සිය නිසා. මගෙ අයියා ඔයාව මේ තත්වෙට ගත්තෙ ඔයාව විශ්වාස කරලා. ඒකෙන් ඔලුව ඉදිමෝගෙන ඔයා අනික් අය පාලනය කරන එක හරි නෑ නේද...?”
“මිනිස්සු මෙතන්ට එන්නෙ අපෙන් හොඳ සේවාවක් බලාපොරොත්තුවෙන්. දැන් බලන්න, මමයි නෙළුම් නංගියි කස්ටමර්ස්ලා දෙන්නෙක් වුණානම් ඔයා මේ හැසිරුණ විදියට අපි ආයෙ මෙතන්ට එයිද…? නෑනෙ.. අපි පුළුවන් තරම් කස්ටමර්ස්ලට සුහදව ඉන්න ඕනෙ. ඒගොල්ලෝ අතින් වැරැද්දක් වුණාම ඒගොල්ලව සුහඳව නිවැරදි තැනට යොමු කරන්න ඕන. ඔයාගෙ අතින් මට විතරක් නෙමේ වෙන කාට හරි මේ වැරැද්ද වුණත් අයියගෙ හැසිරීම මෙහෙම තමයි. ඒත් වෙනසක් තියෙනවා. ඔයා මට බැන්න හින්දා ඔයාට අයියා දෙන දඬුවම ටිකක් සැර වැඩි වෙනවා. ඒක මම හොඳට දන්නවා. ඒත් මම එහෙම වෙන්න ඉඩ තියන් නෑ."
"මම මගෙ වැරැද්ද පිළිගන්නවා. තමන් අතින් වැරැද්දක් වුණහම ඒ වැරැද්ද පිළිගන්න කෙනා, ආයෙත් ඒ වැරැද්ද නොකරන කෙනාට මම සළකන්නෙ එළකිරි පොරක් විදියට. මම හිතනවා අශේනුත් ඒ වැරැද්ද පිළිගනියයි කියලා. උදේ නෙළුම්ට වේලාවට ඉන්ටවීව් එකට එන්න බැරි වුණේ එයාට ලොකු කරදරයක් වුණ හින්දා. ඔයාටත් නංගිලා හරි අක්කලා හරි ඉන්නව නම් හිතලා බලන්න එයාලටත් කෙනෙක් ඔයා උදේ නෙළුම්ට බැන්නා වගේ ලොකු සෙනඟක් ඉස්සරහා බැන්නොත් මොන තරම් ලැජ්ජා හිතෙයිද…? මම හිතනවා අශේන් වැරදි හදාගෙන අපිත් එක්කම දිගටම වැඩ කරයි කියලා. මේ වෙච්ච දේ ජීවිතේට හොඳ පාඩමක් කරගන්න. ඒක ඔයාට මැරෙනකම්ම ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මෙතන මෙහෙම දෙයක් වුණේ නෑ කියලා හිතා ගන්න. කවුරුමහරි කෙනෙක් මේ ගැන ඔයාගෙන් අහලා විහිළුවක් කරලා හරි ඔයාව චා කරන්න හැදුවොත්, ඒ කෙනා තව දුරටත් මේ ඔෆිස් එකේ ඉන්න ඕනෙ නෑ... මම ඒ ටික කිව්වෙ මෙතන වැඩ කරන අනිත් අයටත් එක්ක.”
මම ඒ ටික කිව්වෙ සද්දෙට. නැත්නම් මේ ඔෆිස් එකේ උන් මේකගෙ ඔළුවේ කෙස් ටිකත් ගලවයි.
“මම කිව්ව දේවල් පිළිගන්න නොපිළිගන්න එක අශේන්ගෙ වැඩක්. ආ... ඒ වගේම මෙතන ඔයාට අසාධාරණයක් වුණා කියලා ඔයාට හිතෙනවා නම් ඒකට ක්‍රියාමාර්ගයක් ගන්නත් ඔයාට පුළුවන්. ඔයා එහෙම කරනවනම් අපි නීතිය ඉස්සරහට එන්න සූදානම්. එහෙම අදහසක් තියෙනවනම් ඉහළ නිලධාරීන්ට දැනුම් දීලා මාස තුනක පඩි අරගෙන මෙතනින් අදම අයින් වෙන්න.”
අශේනයට බර ටෝක් ටිකක් දාලා මම නෙළුම්වයි අයියවයි ඇඳගෙන උඩට ගියා. අපි එතනින් එනකොට මුළු ඔෆිස් එකේම කට්ටිය එතන්ට වෙලා අපි දිහා බලන් ඉන්නවා දැක්කත් මට ඒක ගාණක් වුණේ නෑ.
අයියා උඩට ආව ගමන්ම කළේ පහළට කෝල් එකක් දාලා කට්ටිය රිලෑක්ස් කරපු එක. ෆෝන් එක තියලා අයියා අත් දෙකෙන්ම කොණ්ඩේ පස්සට කරන ගමන් පුටුවට හේත්තු වුණා. අයියා එහෙම කරන්නෙ හිත කලබල වුණහම කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒකයි මම අයියා කතා කරනකම්ම මුකුත් කතා කළේ නැත්තෙ.
ඒ පාර නෙළුම් කන්න වගේ මං දිහා බලාගෙන ඉන්නවා. ඒකිට හෙන පුදුම ඇති. මෙහෙම ගේමක් යයි කියලා ඒකි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. ඒකි කට වහන් ඉන්නෙ මෙතන අයියා ඉන්න හින්දා. හොඳ වෙලාවට අයියා හිටියෙ.
අයියා කූල් වෙනකන් කියලා මම ඔෆිස් රූම් එක වටේ රවුමක් දැම්මා. රූම් එකේ වම් පැත්තෙ බිත්තියෙ තාත්තගෙයි අම්මගෙයි වෙඩින් ෆොටෝ එක එල්ලලා සුදු පාට මල් මාලයක් දාලා තිබ්බා. අනික් පැත්තෙ බිත්තියෙ මගෙ ෆොටෝ එකකුයි සංජු අක්කගෙ ෆොටෝ එකකුයි එල්ලලා තිබ්බා. යකෝ අයියත් මාර ඩයල් එකක්නෙ. ගෙදරවත් නෑ මෙච්චර ලස්සන ෆොටෝ එකක්.
“නංගි මොකක්ද ලොකු උවමනාවක් කිව්වෙ....?”
පුටුවේ හරි බරි ගැහිලා ඉඳගන්න ගමන් අයියා කතාව පටන් ගත්තා. මාත් ඉස්සරහා තිබුණ පුටුවෙන් ඉඳගෙන නෙළුම්ගෙ කතාව මුල ඉඳන් අගටම කිව්වා.
“හරි දැන් නංගිට ඕන මෙයාට ජොබ් එක දෙන එකද….?”
“ඔව්... ඒත් මෙයාගෙ ටැලන්ට් බලලා... ඒ කියන්නෙ ඔයා හොයන ටැලන්ට් තියෙන කෙනෙක් නම් විතරක් ජොබ් එක දෙන්න. දීලා ගම්පහ බ්‍රාන්ච් එකට දාන්න.”
“එතකොට ඔයා මට කියන්නෙ මෙයාව ඉන්ටවීව් කරන්න කියලද...”
“ඔව් මම එතකන් එළියෙන් ඉන්නම්...”
අයියට වැඩේ කරන්න දීලා මම රූම් එකෙන් එළියට ඇවිත් එතන තිබ්බ තඩි සෙටි එකේ ඉඳ ගත්තා. එතන ඉන්නකොට මට අද දවසෙ වෙච්ච දේවල් එකින් එක මතක් වුණා. පව් මිනිහට රිදෙනවද දන්නෙ නෑ. මේ යකා නිකං බොක්සිං ගහනවා වගේනෙ දුන්නෙ.
“මිස් අපි යමු නේද...?”
යන්තම් නින්ද යාගෙන ආවා විතරයි මට නෙළුම්ගෙ ස්වීට් වොයිස් එක ඇහුණා.
“මේ... මේ මම කිව්වා, මිස් කෑලි බෑ හරිද...?”
“සොරි සොරි අක්කෙ... මට කියවුණා.”
“මනුස්සයෙකුට වරදින්න පුළුවන් එක පාරයි හරිද? දැන් මොකද වුණේ…?”
“ඉන්ටවීව් කළා අක්කෙ. හෙට ඉඳන් ගම්පහ බ්‍රාන්ච් එකේ වැඩට එන්න කියලා පත්වීමේ ලියුම දුන්නා.”
“මගේ සුබ පැතුම්...!”
“තෑන්ක්ස් අක්කෙ... මේ හැමදේම ඔයා නිසා. මට ඔයාට ස්තූති කරන්න වචන නෑ.”
“හරි... හරි... පොඩ්ඩක් ඔහොම ඉන්න මම බ්‍රදර්ට කියලා එන්නම්.”
නෙළුම්ව එතන තියලා මම ආයෙත් අයියගෙ රූම් එකට ගියා.
“මේ සුදු, ඔයා නෙළුම්ට ජොබ් එක දුන්නෙ මම කිව්ව හින්දද, නැත්නම් එයා ඒකට ගැළපෙන හින්දද...?”
“නෑ ක්‍රිෂී, ඉන්ටවීව් කරලත් මට ඒ ජොබ් එකට හරියන කෙනෙක් හොයා ගන්න බැරුව මම අවුලෙනුත් එක්ක උන්නෙ. මේ ළමයා නම් සුපිරි. ඔයා මට ලොකු උදව්වක් කළේ...”
“එහෙනම් අවුලක් නෑ... මං ගියා.”
නෙළුම්ට බස් එකේ යන්න සල්ලිත් දීලා, ඒකිව ගම්පහ බස් එකට දාලා මම ගෙදර එනකොට එකට දෙකට විතර ඇති. වෙච්ච සිද්ධිය මුකුත්ම කාටවත්ම නොකියා මම ඇඳ බදා ගත්තා. ආයෙත් මට ඇහැරුණේ කාගෙද මන්දා කුනු කුනු සද්දයක් හින්දා. කෝකටත් කියලා මාත් කණ දාලා බැලුවා. සමහර විට මට අතිශය වැදගත් දෙයක් වෙන්න පුළුවන්. කටහඬේ හැටියට නම් අපේ අයියයි නෑනයි.
“මට නම් හිතා ගන්න බෑ සංජු. මේ තරම් පිස්සු නටන කෙල්ල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියලා. ඔයා එතන හිටිය නම් බය වෙනවා.”
“නංගි හරිම අමුතු ගති ගුණ තියෙන කෙනෙක් භවන්ත. එයාව තේරුම් ගන්න ගොඩක් අමාරුයි.”
“නංගි මේ ගැන මුකුත්ම ඔයාලට කිව්වෙ නැද්ද...?”
“මොන! ඇවිල්ලා විකාර කියෝ කියෝ ඉඳලා දවල්ටත් කාලා, වටලප්පන් දිසියකටම වැඩේ දීලා ඇඳට වැටුණා.”
“මාර කෙල්ලෙක් තමා.”
“ඒකනෙ මම කිව්වේ එයාව තේරුම් ගන්න අමාරුයි කියලා. එයා කැමති නෑ එයා වැඩකාරයා කියලා කාටවත් පෙන්වන්න. සැහැල්ලුවෙන් ඉන්නයි ආස.”
තව වෙන මොනාද කියනවා ඇහුණත් ඒවා හරියටම පැහැදිලිව ඇහුණෙ නෑ. දෙන්නා කතා කර කරම පහළට ගියා මම හිතන්නෙ. යකෝ එතකොට අපේ ගෙදර මම ගැන හරියටම දන්නෙ සංජු අක්කනෙ. ඒකනෙ කියන්නෙ එයා එලකිරි නෑනා කෙනෙක් කියලා.
******
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."

.jpeg)
Comments
Post a Comment