දඟකාර ආඩම්බරී 6

 

06 වන දිගහැරුම

ට්‍රීං... ට්‍රීං... ට්‍රීං....

ගෙදර ගේට් එකේ බෙල් එක හෝ ගාලා කවුද ඔබනවා. මොනවා වුණත් ජීවිතේට බෙල් එකක් දැකලා නැති එකෙක්. සාදියගේ සහෝදරයෙක්ද දන්නේ නෑ. එක්කෝ එකී ඉපදුණ නැකතෙම ඉපදුණ එකෙක්.

"යසෝමා නැන්දේ... අන්න කවුද බෙල් එක නාද කරනවෝ... ගිහින් බලන්නකෝ... මම ලොකු වැඩක්."

වැරැන්ඩා එකේ තිබ්බ පුටුවක කකුල් දෙකත් උඩ තියාගෙන ඉඳගෙන හිටිය මම ගේ ඇතුළට ඔළුව දාලා කෑගැහුවා. යසෝමා නැන්දට බලන්න කිව්වට, මුණත් තහඩුව වැල ගෙඩිය වගේ කරගෙන ආවේ සංජු අක්කා.

"මොකද වෙන්නෙ? ටිකක් ගිහින් ආවේ කවුද කියලා බැලුව නම්.... කකුල් දෙක ගෙවෙනවද...?"

"අපෝ... නෑ... නෑනෝ... කකුල් දෙක කැඩෙනවා."

"අනේ... අනේ... මේ... මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉඳපං ක්‍රිෂී..."

මට පල් ටෝකක් දාලා සංජු අක්කා ගස්සගෙනම ගේට් එක පැත්තට ගියා... පව් අනේ... මං වගේ නෑනා කෙනෙක් ලැබුණම ඔහොම කටු කන්න වෙනවා. ඕවා එච්චර දේවල් නෙමේනේ.

හායි ගාලා ඇරපු ගේට් එකෙන් ඇතුළට දැම්මේ ලස්සන රතු පාට කාර් එකක්. මේ කාර් එක කොහේදී හරි දැකලා තියෙනවා කියලා හිතුණත්, කාර් එකේ ආපු කෙනා බහිනකම්ම කොහේදිද දැක්කේ කියලා මතක් වුණේ නෑ. කාර් එකෙන් බැහැලා අක්කා පිටිපස්සේ එන එකා දැක්කම ඇත්තටම මට පුදුම හිතුණා. යකෝ මම කවදාවත් හිතුවේ නෑ මූ අපේ ගෙදර එයි කියලා.

"අපේ කවුරුවත් නෙමේ.... මෙයාගෙම කෙනෙක්. ඒත් ගේට් එක අරින්න යන්න බෑ.."

"කවුද නෑනෝ දන්නේ? රන්දික කියලා..."

"ආ.... යාළුවගේ නම රන්දිකද? එහෙනම් දෙන්නා කතා කර කර ඉන්නකෝ. මම බොන්න මොනවා හරි අරන් එන්නම්."

මහ අමුතු හිනාවක් දාගෙනම අක්කා ඇතුළට ගියා. යකෝ එයත් මාර ඩයල් එකක්නේ.

"අක්කා එන්න ඕනේ නෑ, යසෝමා නැන්දා අතේ එවන්න... ඒ ඇති."

"මොකද අක්කගේ හිනාව ඇල්ලුවේ නෑ නේද...?"

අක්කා ගිය දිහාම බලන් හිටිය හින්දද කොහෙද රනියා එතනින්ම කතාව පටන් ගත්තා.

"ඔව් බං මහ චා... හිනාවක් දැම්මේ..."

"ඔව්වා ඔහොම තමයි ක්‍රිෂී... නැට්ට පිටින් අලි මැරෙන්නේ. ඕවා ගැන හිතන්න එපා. උඹ මට ඉඳගන්න කියන්නේ නෑනේ. ඔන්න මමම ඉඳගත්තා."

රනියා ගෙයින් වම් පැත්තට වෙන්න තියලා තිබ්බ සිමෙන්ති පුටුවේ ඉඳගත්තේ මාව කපලම දාන ගමන්.

"ඇයි බං එළියේ? වරෙන් ගෙට....."

"මොන ගෙවල්ද බං? උඹත් ඔන්න ඔහේ ඉඳගනින්."

යකෝ මූ මාර මනුස්සයෙක්නේ. අපේ ගෙදරට ඇවිදින් මට ඉඳගන්නලු. ඕවට තමයි කියන්නේ 'අනේ කාලේ, වනේ වාසේ' කියලා. මොනවා කරන්නද? මාත් ගිහිල්ලා උගේ ඉස්සරහින් ඉඳගත්තා.

"ඉතින් උඹ මොකද මේ පැත්තට මන්ගැච්චුවේ...?"

රනියගේ පැත්තට ඇස් දෙකම දාගෙන මම කතාවට එන්ටර් වුණා.

"ආ.... අපිට මෙහෙ එන්න උවමනාවක්ම තියෙන්නම ඕනද...?"

"නැතුව ඉතින් මෙච්චර කාලෙකට මේ පැත්ත පළාතක පස් පාගපු නැති එකා අද ඒවියැ. ඒකයි එහෙම ඇහුවේ..."

"ඔව් බං උවමනාවකට වගේ තමා... මෙච්චර කාලෙකට පස් පෑගුවේ නැති නිසා, ඉස්සරහට නිතරම පස් පාගන්නම්කෝ. මම ආවේ මහානාම අංකල්ගේ පණිවිඩේකට."

"ඇයි මොකද...? ඉඳුවරට මොකක් හරි ප්‍රශ්නයක්ද...?"

ඇත්තටම... මම ඒ වෙලාවේ කලබල වුණා වැඩියි කියලා මට තේරුණේ රනියා කන්න වගේ මං දිහා බලාගෙන ඉන්නකොට. මොනවා කරන්නද? මාත් කන්නේ ඉල්ලගෙනනේ. අනික ඉතින් මගේ හිත මට කන්ට්‍රෝල් නැති කොට මොනවා කරන්නද?

"නෑ බං අනිද්දට ඉඳුවරගේ ඩොක්ටර් හම්බෙන්න යන්න තියෙනවා කිව්වා. මටත් එදාට කොහොමටවත්ම නිවාඩු දාගන්න බෑ. ඉතින් මම ආවේ උඹට යන්න පුළුවන්ද කියලා අහන්න."

මේකට තමා 'දෙන දෙයියෝ උඩ පැන පැන ගෙට ගෙනැල්ලම දෙනවා' කියන්නේ. රනියා නම් දෙයියෙක් නෙමේ, තනිකරම මළපෙරේතයෙක්, කුම්භාණ්ඩයෙක්.

"මොකද ක්‍රිෂී... කල්පනා කරන්නේ? උඹට මොනවා හරි වැඩක් තියෙනවද? අවුලක් නෑ. එහෙනම් මම අංකල්ට කියන්නම් වැඩට ඉන්න කෙනෙක්වත් එක්කන් යන්න කියලා."

"නෑ රනියෝ, මම එන්නම්. උඹ අංකල්ට කියපන්කෝ, අනිද්දා උදේට මම එහෙ ඇති."

"රන්දික මල්ලී, මොනවාද අපේ පිස්සි කියන්නේ..."

අපේ අක්කත් ඉස්සර O.P.D.S එකේද කොහෙද වැඩ කරලා තියෙන්නේ. ඇයි දෙයියනේ ළඟට එනකම්ම දැක්කේ නෑනේ. මොකක් හරි ඕපයක් හොයන්න තමා එන්න ඇත්තේ.

"රන්දික ඔයා දන්නවද? පිස්සන්ගේ පුරුද්ද හොඳට ඉන්න අනික් මිනිස්සුන්ටත් පිස්සු කියන එකනේ."

"රන්දික මල්ලි ඒ පිස්සන්ගේ පුරුද්දනේ. පිස්සියන්ගේ පුරුද්ද තමා හැමතිස්සෙම දොඩවන එක."

ගෙනාපු බීම වීදුරු දෙක රවුම්ම රවුම් මේසෙ උඩින් තියන ගමන් සංජු අක්කා මගේ කාඩ් එක කුඩු පට්ටම් කරලා දැම්මා. එයත් මට දෙවෙනි නෑ. ඕවට තමා කියන්නේ 'ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපනවා' කියලා. මාත් කන්නේ ඉල්ලන්නේ.

"මල්ලි මොනවාද කරන්නේ...?"

"මේ... මේ... ඉඳගෙන ඉන්නේ, ඇස් පේන්නේ නැද්ද....? ගන්නවකෝ කණ්ණාඩි දෙකක්. මහත්තයා කණ්ණාඩි නේද හදන්නේ...?"

අක්කා රනියගෙන් අහපු ප්‍රශ්නයට උත්තරේ දුන්නේ මම...

"මේ... චූටි නෑනෝ, පැන පැන දෙන්නේ ගෙම්බෝ කියලා දන්නවනේ. අනික මේ... අනුන්ව මඩවන්න ගිහින් ඔයා මඩ නාන්න එපා. දන්නවනේ මඩවන සතාගේ නම, ......මී හරකා."

අපෙ අප්පෝ... අද නම් මම බදාගෙනම පරිප්පු කනවා. අද දවස මට අපලයි. තවත් චාටර් වෙන්න කලින් ශබ්ද පූජාව වහ ගන්න වෙනවා. අද උදේ නැගිටපු නැකතේ මොකක් හරි අබ්ලික් එකක් තියෙනවා වගේ...

"මල්ලි අපේ ක්‍රිෂීව දන්නේ සෑහෙන කල් ඉඳන් වෙන්න ඇතිනේ."

"ඔව් අක්කේ, අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම යාළුවෝ."

"ආ... එහෙනම් දන්නවා ඇතිනේ. මෙයාව චුට්ටක් අප්සෙට්. ඔළුව පොඩි කාලේ හයියෙන් ඇඳේ වැදිලා, ටිකක් විතර කියවනවා ගණන් ගන්න එපා."

අනේ දෙයියනේ අද ක්‍රිෂීට දවසම වර්චස් වගේ. රනියත් හෝ ගාලා හිනාවෙනවා. නෑනෝ... අද ඔයාගේ ඩේ එක වෙන්න ඇති. 'කොකාට වාරයක් එනවා නම් අනිවා තිත්තයටත් වාරයක් එනවා' කියනවනේ නේද...? අපි බලාගමු. තිත්තයෙක් නෙමේ කකුළුවෙක් හරි වෙලා මම ඔයාට රිටර්න් එක දෙනවා. නැත්නම් මම ක්‍රිෂී නෙමේ. 'ඉවසීමෙන් සැනසීම ලැබේ' කියනවනේ.

"ඒක නෙමේ, මල්ලි කොහෙද වැඩ කරන්නේ...?"

"බෑන්ක් එකක අක්කා. ළඟදී එග්සම් එකක් තියෙනවා. ඒක හින්දා මේ දවස් වල ටිකක් විතර බිසී..."

"ඔව්... ඔව් ඒවා කර ගන්න ඕනා, රස්තියාදු ගහලා හරියන්නේ නෑ. දැන් අපේ එක්කෙනත් ඔය හිටියා ඇති. අයියත් කිව්වා හොඳ තැනක් බලලා කසාදයක් කරලා දෙන්න ඕන කියලා."

අනේ දෙයියනේ මෙහෙමත් අපරාදයක්. මෙහෙම ගියොත් මාව අන්ත අසරණ වෙලා යනවා. අඩුම තරමේ අනාථ මඩමකටවත් යන්න මම ඉතුරු වෙන එකක් නෑ. ඒකයි මගේ අභිවෘද්ධිය සඳහා මම ආයෙත් ස්පීකර් එක ඔන් කළේ.

"මේ... සංජු අක්කේ, සුදුට කියන්න මට කසාද හෙව්වේ නැති වුණාට කමක් නෑ කියලා."

"එහෙම කොහොමද...?"

"එහෙම කොහොම හරි, පේන්නේ නැද්ද දැන් ඔයාම කසාද බැඳලා විඳින දුකක්? රෙදි හෝදන්න, උයන්න, ළමයි බලාගන්න... ඔයා දන්නවනේ මට ඕවා අල්ලන්නේ නැති තියරි කියලා."

"ඒවා හරියන්නේ නෑ..."

"මම සුදු එක්ක බලා ගන්නම්කෝ නෑනෝ. එයා මට ආදරෙයි. ඒ හින්දා මම අකමැති දේවල් කරන්නේ නෑ."

"ඇත්තට? එහෙනම් අපි බලමු අද...."

"හරි, එහෙනම් වටලප්පමක් ඔට්ටුයි. මම දිනුවොත් නෑනා වටලප්පන් හදලා දෙන්න ඕනා. ඔයා දිනුවොත් ඒත් මට වටලප්පමක් හදලා දෙන්න ඕනා."

"එහෙම බෑ. ඔට්ටුවක් නම් සාධාරණ වෙන්න ඕනා."

"සාධාරණයි තමා. මොකද මට ශුවර් මට වටලප්පන් හදන්න වෙන්නේ නෑ. අනිවා මම දිනනවනේ."

"එහෙමද? හරි බලමු. කොහොමත් ක්‍රිෂී හැදුවොත් කලින්ම ටොයිලට් එක හෝදලා තියන්න වෙනවනේ."

මහා චාටර් කතාවක් කියලා, මගේ කණෙන් ඇදලා නෑනා ගේ පැත්තට දිව්වා. ඔහොම කිව්වට නෑනා මට මාර ආදරෙයි. මාව දැන්මම කාටවත්ම දෙන්න කොහොමත් මෙයාලා කැමති නෑ. ඒක ඉතින් මට නැගෙනහිරින් ඉර පායනවටත් වඩා ශුවර්.

******* 

"ඒත් මම හිතුවා භාවනා දූ එන එකක් නෑ කියලා."

ගේට් එකෙන් බයික් එක ඉඳුවරලගේ වත්තට දාද්දිම දොරකඩ හිටිය මහානාම අංකල් කෑ ගැහුවා.

"පිස්සුද අංකල්? මම පොරොන්දුවක් වුණා නම් ඉතින් ඒක පොරොන්දුවක්ම තමා."

බයික් එකෙන් බැහැලා අංකල් ගාවට ගියේ, මම එහෙම කියාගෙනමයි. අංකල්ට ලාවට හිනාවක් ගියා. පව් මේ මනුස්සයා මෙච්චර දුක් විඳින්නේ ඉඳුවරගේ පිස්සු වැඩ හින්දනේ.

"දුව පරක්කු වුණේ...?"

"දන්නේ නැද්ද අංකල් ගෙදරින් පැන ගන්න සෑහෙන්න අමාරුයි. නැන්දගේ ප්‍රශ්න පත්තරේට උත්තර දීලා එන්න එපායැ."

බොරුවක් වුණත් ඇත්තක් වගේ කියන්න මට පුංචි කාලේ ඉඳන්ම තිබුණේ මාර හැකියාවක්. සාදිය නම් කිව්වේ මම පෙර ආත්මේ දේශපාලුවෙක් කියලා. ඒ කොහොම වුණත් ඒ හැකියාව මම ප්‍රයෝජනයට ගත්තේ උවමනාම වුණොත් විතරයි. අංකල්ට වුණත් බොරුවක් දැම්මේ හොඳට හිතලා බලලා. එක අතකින් ඉතින් ඒක බොරුවක්ම නෙමේනේ. වෙනස් වෙන්නේ 'නැන්දා' කියන එක විතරනේ. හැමදාම මට උදැල්ල දාන්නේ සුදු ආච්චිනේ. මේ දවස් වල ආච්චියි සීයයි දඹදිව ගිහිල්ලා, දැන් උදැල්ල දාන්නේ නෑනනේ.

"දුව, ඇයි මිදුලේ.... එන්න ඇතුළට."

"අංකල් කෝ ඉඳුවර? තාම ලෑස්ති නැද්ද..?"

"ලෑස්තියි දුවේ. අද උදේ පාන්දරම ලෑස්ති වෙලා. වෙනදට ඩොක්ටර් ළඟට අරන් යන්න ඕනේ බලෙන්. දැන් අපිට කලින් එයා නැඟිටලා කෑ ගහනවා."

"ඒක හොඳයිනේ අංකල්. එහෙම නම් කොච්චර දෙයක්ද...?"

"ඒක නම් ඇත්ත දුවේ. ඒකට දුවට තමා ස්තූති කරන්න ඕනා."

"ඕවා නම් මොනවාද අංකල්. අපි හැමෝම මනුස්සයෝනේ. නමයට නේද ඩොක්ටර් හම්බවෙන්න යන්න තියෙන්නේ? දැන්මම යමු. නැත්නම් ලේට් වෙයි."

"හරි දුවේ, ඉන්න මම පුතාව එක්කන් එන්නම්."

"දුවත් එක්ක කොහේ හරි යනකොට නම් ඇත්තමයි ඇඟේ ලේ පිරිසිදු වෙනවා."

"එහෙම තමා අංකල්, මේ ඉන්න ටිකේ ෆුල් ජොලියේ ඉන්න ඕනේනේ."

"බලාගෙන යනකොට සාදි දුව කිව්ව කතාව ඇත්ත."

"ඒ මොකක්ද අංකල්...? ශුවර් මගේ කාඩ් කුඩු කරලා ඇති."

"භාවනාගේ රූපේ අහිංසක වුණාට කට කොච්චි මිරිස් කියලා."

"මේ සමාජේ ජීවත් වෙනකොට කට නැතුව බෑ අංකල්. අපි සද්දේ වහගෙන හිටියොත් අපේ ඔළුවට උඩින් වතුර ගලනකම් අපි දන්නේ නෑ. අන්තිමට ඉතින් ගංවතුර සහනාධාර දීලවත් ගොඩගන්න බැරි තරම් ගිලෙනවා."

"ඒකනම් ඇත්ත දුවේ."

කාර් එක හොස්පිට්ල් එක ගාවට එනකම්ම අංකල් හෝ ගාලා කියවනවා. මෑන්ස්ට මාර හැපි. ඇත්තනේ ඉතින් ඉඳුවර ඔපරේෂන් එකකට කැමති වුණානේ. ඉඳුවරත් අපි කියන ඒවට හොඳට හිනාවේවි යනවා. "ඔයාගේ ඔය මූණට ආපු ලස්සන හිනාව කවදාවත්ම නැති වෙලා යන්න මම ඉඩ තියන්නේ නෑ ඉඳුවර, මම ඒ හිනාව හැමදාටම ආරක්ෂා කර ගන්නවා." මගේ හිතින් මටම දිවුරා ගත්තා. ඩොක්ටර් ගාවට එනකොට හරියටම 9 යි. සිරි අංකල්ගේ ඩ්‍රයිවින් නම් නියමයි. අංකල් ඩොක්ටර්ගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් හින්දා අවුලක් නැතුවම අපිව ඇතුළට දැම්මා.

"හෙලෝ මහානාම, වරෙන් වරෙන් මම මේ බලාගෙන හිටියේ."

මොනවා නැතත් ඩොක්ටර් එලකිරි පොරක් වගේ. බලපල්ලකෝ බොක්කෙන්මනේ කතා කරන්නේ. ඒ වුණාට ඔහොම කතා කරලා යටින් ගිනිදෙන උනුත් ඉන්නවා.

"ඉතින් දැන් කොහොමද පුතන්ඩියගේ තත්ත්වය?"

"පුතා ඔපරේෂන් එකට කැමතිලූ වසන්ත."

"ඇත්තට...? කොච්චර එකක්ද....? එහෙනම් ඉතින් දැන් තියෙන්නේ අපේ වැඩ ටික. ඒත් කැමති නෑ කිය කියා උන්න කෙනා එකපාරටම කැමති වුණේ?"

"ඒක කළේ මෙන්න මේ කෙළි පොඩ්ඩ. ඇත්තටම මේ කෙල්ල මිනිස්සුන්ගේ හිත නිවන්න හොඳට දන්නවා."

"ආ.. මට අහන්න බැරි වුණානේ, කවුද මේ අහිංසක කෙල්ල කියලා? මිනිස්සුන්ගේ හිත නිවන්න දන්නවා නම් මෙය අනිවාර්යයෙන්ම මියුසික් කරලා ඇති. ඇත්තටම කවුද මේ... නෑදෑ වෙන කෙනෙක්ද?"

"මේ කෙල්ල මියුසික් තමා ඉගෙන ගන්නේ. හැබැයි අහිංසක නම් නෑ. තනිකරම කාල බෝම්බයක්. පුතාගේ යාළුවෙකුගේ යාළුවෙක්. ඒ වුණාට මේ දවස් ටිකට අපිට ගොඩක් ලං වුණා. අඳුනගනින් මේ භාවනා."

"ආ එහෙමද.. කොහොමත් භාවනාවෙන් හිත නිවෙනවනේ බන්.. හරි.. අපි දැන් කතාවට බහිමුකෝ. මෙහෙමයි අපිට ඉඳුවර පුතාට ඇස් දෙකක් බද්ධ කරන්න වෙනවා. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනා. මොකද මේ කාලේ පරිත්‍යාගශීලීන් හරි අඩුයි."

"ඩොක්ටර් අංකල්, අපිට බැරිද අක්ෂි සංගමයට බැඳිලා ඉඳුවරට ඇස් දෙකක් හොයා ගන්න?"

"පුළුවන් දුව. ඒත් ඒවට ක්‍රම සහ විධි තියෙනවනේ. ඉඳුවරගේ කවුරුම හරි ඉස්සර ඉඳන්ම අක්ෂි සංගමයට බැඳිලා හිටියා නම් එයාලා ටක් ගාලා අපිට ඇස් දෙකක් දෙනවා. වැඩේ කියන්නේ අපේ කවුරුත්ම නැති නිසා අපිට ටිකක් කරදරයි."

"ඉතින් අංකල් අපි දැන් බැඳෙමුකෝ. ඉඳුවර වෙනුවෙන් අපි ඔක්කොම හරි බැඳෙමු."

"එහෙම බෑනේ දුව. ඒ මිනිස්සු දන්නවනේ අපි දැන් බැඳෙන්නේ අපිට ඇස් දෙකක් ඕනේ නිසා කියලා. ඒක නිසා අපිට සෑහෙන කල් ලිස්ට් එකේ ඉන්න වෙනවා. ඒකයි මම කිව්වේ කලින් ඉඳලම බැඳිලා හිටියා නම් ලේසියි කියලා."

"හරි, එහෙනම් කවුරුම හරි ඉඳුවරට ඇස් දෙකක් දුන්නොත් හරිනේ."

"ඔව් දුව, එතකොට වැඩේ හරි."

"හරි ඉතින් එහෙනම් අපි ඒකට ට්‍රයි කරමු නේද වසන්ත?"

"ඔව් මහානාම, අපි කොහොම හරි අපේ කොල්ලව ගොඩ දාමුකෝ. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් ඔය පරිත්‍යාග කරන්නේ නෑ මහානාම. එක්කෝ අඩු වයසින් මැරුණු කෙනෙක්ගේ, නැත්නම් වයසට ගිහින් මැරුණත් ඇස් දෙකට කිසිම ලෙඩක් හැදිලා නැති කෙනෙක්ගේ වෙන්න ඕනා. කොහොමත් අපිට තව කල් තියෙනවා. ඒ කියන්නේ ඇස් ඔපරේෂන් එකට කලින් ඉඳුවර පුතාගේ කකුල් දෙක හොඳ කරන් ඉන්න එපාය. උඹ ඩොක්ටර් අල්විස්ට කතා කළේ නැද්ද..?"

"කතා කළා බං. අල්විස් කිව්වෙත් උඹ කිව්වා වගේම ඇහැට කලින් කකුල කියලා තමා. ඒකට කරන්න තියෙන්නේ ගොඩක්ම ට්‍රීට්මන්ට්. පුතාව දවසට පැයක්වත් ඇවිද්දවන්න කියලා තමා කිව්වේ."

"ඉතින් දැන්වත් පටන් ගනින්. දැන් දඩබ්බරයා හිතුවක්කාරකම් වලින් ඈත් වෙලා නිහඬව ඉන්නේ."

ඩොක්ටර් අංකල් ඒ ටික කිව්වේ නම් ඉඳුවර දිහාට ලස්සන හිනාවක් දාලා අතේ තියෙන පෑනෙන් ඉඳුවරගේ අතටත් පාරක් ගහන ගමන්.

"පටන් ගන්නනම් ඕනා තමා බන්.. ඒත් උඹ දන්නවනේ මට.."

"මේ.. මේ... මේ... උඹ ඔය කියන්න හදන්නේ බිස්නස් හින්දා වෙලාව නෑ කියල නම් කරුණාකරලා කට වහගනින්. උඹට බිස්නස් වලට වඩා වටින්න ඕනේ මේ ලස්සන කොල්ලව. බලහංකෝ ලස්සන, ඉස්සර කෙල්ලෝ කී දෙනෙක් හිටියද දන්නේ නෑ."

"ඒක හරි බන්... උඹ දන්නවනේ ඒ හැමදේම කරන්නත් මට සල්ලි තියෙන්න ඕනේ කියලා."

"ඒකත් ඇත්ත තමයි. ඒත් ඒ එක්කම මේකත් වෙන්න ඕනා."

"ඔව් වසන්ත මම කොහොම හරි ඒකටත් ටයිම් එක හදා ගන්නවා ඉක්මනටම."

"අන්න හරි. ඒක හොඳයි, හැමදේම ගානට හැන්ඩ්ල් කරපන් මහානාම."

"මහානාම අංකල් කලබල වෙන්න ඕනේ නෑ. ඉඳුවරට ට්‍රීට්මන්ට් කරන එක මම බාරගන්නම්."

"ඒත් දූ... ඔයාට වෙලාව තියෙනවද? අනික අපි හින්දා මෙච්චර ලොකු කරදරයක්."

"මට වෙලාව තියෙනවා අංකල්. උදේට මියුසික් ක්ලාස් ගිහින් ආවට පස්සේ මට මොන වැඩක්වත් නෑ. සාදිත් ගෙදර එන්න හය හත වෙනවා ඉතින් මම ගෙදර නිකන්මයි. මට පුළුවන් ඒ වැඩේ බාර ගන්න. අනික මොන කරදරයක්ද? අපි මනුස්සයෝනේ. තව කෙනෙක්ට උදවු කරන එක කරදරයක් වෙන්නේ කොහොමද..? ජීවත් වෙන ටික කාලෙටනේ මේ සේරම නාඩගම්. ඉතින් තවත් මොනවාද...? අනික මේ වෙලාවේ නැති උදවුව වෙන වෙලාවක දීලා මොකටද? අර කතාවටත් තියෙන්නේ 'යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද' කියලා. ඉතින් තවත් මොනවාද..? මම වැඩේ බාර ගත්තා. අංකල් ඒක ගැන ආයේ කිසිම සැකයකුත් පළුද්දකුත් තියා ගන්න එපා හරි."

"භාවනා... ඇත්තටම ඔයා හොඳම හොඳ යාළුවෙක් භාවනා. ඔයා මට ජීවත් වෙන්න පාර කිව්වා වගේම ඒකට උදවුත් කරනවා. මම මේ ණය ඔයාට කවදා ගෙවලා ඉවර කරන්නද භාවනා?"

"ණය පස්සේ පොළියක් එක්කම ගමු ඉඳුවර. ඒකට ඉතින් ඔය හොඳ හෝටලයකින් අයිස් ක්‍රීම් දාපු දිවුල් ජූස් එකක් අරන් දුන්නත් ඇති."

මගේ කතාවට ඉඳුවර ඇරෙන්න අනික් හැමෝම හිනා වුණා. මල මඟුලයි, ශුවර් ක්‍රිෂීව මතක් වෙන්න ඇති. මටත් කටපියන් ඉන්න බෑනේ. ඉඳුවර බර කල්පනාවකට වැටුණා. අනේ මේ ලෝකවාසී සියලුම දෙවි දේවතාවුනි, මා බේරා ගනු මැනවි..

"දුව දිවුල් ජූස් බොන්න මාර ආසයි වගේ නේද?"

"ආයෙත් අහලා අංකල්, දිවුල් ජූස් තියෙනවා නම් මට අම්මා අප්පා ඕනේත් නෑ."

"ඉඳුවර පුතාට නම් ලැබිලා තියෙන්නේ කල්‍යාණ මිත්‍රයෝමයි. ඒ අතින් ඔයා හරිම ලකී."

"ඔව් අංකල්, ඉස්සර මට ඔය වගේම කල්‍යාණ මිත්‍රයෝ හිටියා. මිතුරියොත් හිටියා. ඒ සෙට් එකෙන් එක ගර්ල් කෙනෙක්ට ගොඩක් දුරට භාවනාගේ ගති ගුණ සමානයි. එක වෙලාවකට මට හිතෙනවා මේ ඒ ක්‍රිෂී මයි කියලා."

"හරි පුතා, ඒ ළමයගේ හැඩරුව කියන්න බලන්න."

"නෑ අංකල් මම දන්නවා. භාවනාගේ කොණ්ඩේ ගොඩක් දිගයි. ඒත් ක්‍රිෂීගේ කොණ්ඩේ කරට කපලා හිටියේ. අනික ආයේ කවදාවත්ම එයා මං ඉස්සරහට එන්නේ නෑ. ඒක මට විශ්වාසයි. ඒ යාළුවා මට නැතිවුණේ මීට අවුරුදු දෙකකට දෙකහමාරකට විතර කලින් මීගමු බීච් එකේදි. ඒක හින්දා මට භාවනාව ශුවර්."

"ඒ යාළුවා නැතිවුණේ මොනවා වෙලාද පුතා?"

"එයා අපි හැමෝවම දාලා රට ගියා අංකල්. සමහර විට ඒ ආයේ නොඑන්නම වෙන්න පුළුවන්. එයා ආවත් මට වෛර කරනවා මිසක්, මට උදව් කරන්නේ නැහැ. ඒක මට ඉර හඳ පායනවටත් වඩා ශුවර්."

ඔයා ඔය හිතන දේවල් වෙනස් වුණෙත් මීගමු බීච් එකේදි තමා ඉඳුවර. කවදා හරි ඇත්ත දැනගත්තදාට ඔයා ගොඩක් පුදුම වෙයි. ඔයා ඔය හිතන් ඉන්න ක්‍රිෂී ඔයා ඉස්සරහා හිටන් ඉන්නවා දැක්කම සමහර විට ඔයාට අදහා ගන්න බැරි වෙයි. ඒත් ඔයාට තිබුණ ආදරේ මාව ආයෙත් ඔයා ගාවට ගෙනාවා කියලා දැනගත්තම ඔයා ගොඩක් හයියෙන් මට හිනා වෙයි. මම මේ හැමදේම කරන්නේ ඔයාව මගේ කරගන්න නෙමේ ඉඳුවර. ඔයාව සනීප කරන්න. ඔයා සනීප වෙලා ඉස්සර වගේම මේ ටවුන් එකේ ඉගිල්ලෙනවා දකින්න. ඒ දවස උදාවෙද්දී මගේ ජීවිතේ මට නැති වුණත් මම ඒක ගැන හිතන්නේ නෑ ඉඳුවර. ඔයාට ඇස් දෙකක් හොයාගන්න බැරි වුණොත් කරන දේ මම තීරණේ කරලා ඉවරයි. ඒ හැමදේම හොඳට විසඳෙයි.

"අංකල්, දැන් හිත රිදෙන දේවල් කතාකරලා වැඩක් නැනේ. ඉඳුවරට හොඳ වුණාම අපි ඔය ඔක්කොම යාළුවන්ව හොයා ගමු. ඒකට මේ භාවනා ඉන්නවනේ."

"එහෙනම් අපි ගිහින් එන්නම් වසන්ත. අපි අර විදියට වැඩේ කරමු. ඔයා හොයලා බලන්නකෝ."

********* 

"ඒ පූසා අපිට ඇතුළට යන්න දෙයිද දන් නෑ නේද සාදිසෝ?"

"එහෙම වුණොත් අපි ලොකු තාත්තට කෝල් එකක් දෙමු බන්. එතකොට පූසා කැලේ, අපි ඇතුළේ. මේ ලොකු තාත්තා ඉස්සර හිටියා වගේමද දන් නෑ නේද..?"

"ඒක ඉතින් ගිහින්ම තමා බලන්න ඕනා."

අපි ඉස්කෝලෙට ආපු දවසේ ඉඳන්ම සිකුරුටිට නම දාලා තිබුණේ 'පූසා' කියලා. උගේ මුණේ පූසෙක් සූරපු කැලලක් තියෙනවා. අපි දන්න දවසේ ඉඳලම ඌට පූසෝ පෙන්වන්න බෑ. පූසා කිව්වම මාර විදියට මල පනිනවා.

ලොකු තාත්තා කියන්නේ අපේ ප්‍රින්සිපල්ට. ළමයි එහෙම කියන්නේ ඇත්තටම ප්‍රින්සිපල් හැමෝටම තාත්තා කෙනෙක් වගේ හින්දා වෙන්න ඇති. අපේ පිස්සු වැඩ වලට අපිට කොච්චර දඬුවම් දුන්නත්, අපේ කරදර වලදී ගොඩක්ම කලබල වෙන්නේ ප්‍රින්සිපල්. හැම ළමයෙක්ටම තාත්තා කෙනෙක් වෙන හින්දම හැම කෙනෙක්ම පුදුම විදියට ප්‍රින්සිපල්ට ආදරේ කරනවා. අපි ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ ප්‍රින්සිපල්ට විසඳන්න නඩු නම් නැතුව යන්න ඇති.

"ක්‍රිෂී ගේට් එක වහලා. පූසා නම් එළියේ ඉන්නවා."

"අහලා බලපන් සාදි."

"හායි අංකල්... අපිව මතකද?"

"අප්පේ සාදි ළමයෝ... ඉතින්.. ඉතින්.. කවුද මේ? යාළුවෙක්ද....?"

"අයියෝ අංකල්, ඔයාට මතක හිටින්න ඕන කෙනාව අමතක වෙලානේ."

"ඒ කිව්වේ...?"

"ඇයි අංකල්..., ඉස්සර අංකල්ට 'පූසා' කියලා දුවපු ක්‍රිෂීව අමතක වුණා කියන්නේ ඉතින්, අපිව අමතක වෙන එක අහන්නත් දෙයක්ද?"

"හානේ.. ඇත්තටම අඳුන ගන්න බැරි වුණා. පුදුම විදියට වෙනස් වෙලානේ. කවදද ලංකාවට ආවේ? ලොකු සර් පුදුම විදියට දුක් වුණා ක්‍රිෂී දුව කැම්පස් නොගිය එකට. අපරාදෙනේ."

"අද සර් ඉන්නවද අංකල්..?"

"ඉන්නවා, ඉන්නවා ගිහින් හම්බවෙන්න. ක්‍රිෂී දුවේ ආයෙනම් මට පූසා කියන්න එපා."

"හරි හරි අංකල්. අනික් දවසේ මම පූසෙක් ගෙනල්ලම දෙන්නම්කෝ. එතකොට අපි නොකිව්වට අංකල්ට අපිව හැමදාම මතක තියෙයි."

ඉස්කෝලේ ගේට් එකෙන් ඇතුළු වුණහම දැනුණේ පුදුම තරම් සැහැල්ලුවක්. ඇත්තටම ආයෙත් 1 වසරේ ඉඳන් ඉස්කෝලේ යන්න තියෙනවා නම්. ගේට් එකෙන් ඇතුළු වෙන තැන ඔෆිස් එකට යන පාර දිගටම හිටවලා තිබුණේ කහපාට අරලියා ගස්. ඒ ගස්වල නම් 365 දවසේම මල්. ඉගෙනගන්න ළමයින්ට හරිම නිස්කලංක පරිසරයක්.

බලන බලන හැම තැනම මල්, පොකුණු, වතුර මල්. මාරම ගති. ආයෙ හෝදන්න දෙයක් නැහැ පාක් එකක් වගේ. හැමෝම කියන විදියට මීගමුවෙම තියෙන ලස්සනම ඉස්කෝලේ අපේ ඉස්කෝලේ. ඒකට ඉතින් ප්‍රින්සිපල්ට තමා මල් තියලා වඳින්න ඕනා.

'කාර්යාලය' කියලා ගහලා තිබ්බ ඒසී රූම් එකේ දොරත් තල්ලු කරගෙන මායි සාදියයි ඇතුළට ඔළුව දැම්මා. එලමකිරි, සර් නම් හිටියා වගේමයි. එදා හිතන්නේ නැතුව ඉඳුල් අත හෝදපු තට්ටේ එලෙට් එකටම දිලිසෙනවා. සර් පොතක් දිහා බලාගෙන බර කල්පනාවක. අපිව නොදකින්න තරම්ම මොකක්ද අප්පේ මෙයාලට තියෙන කල්පනාව? ශුවර් වයිෆ් ගෙදර බඩු ලිස්ට් එක දීලා පොකට් එක හිඳෙන්න වැඩේ සෙට් කරලා ඇති.

"එක්ස්කියුස් මී සර්. මේ අයි කමින්..?"

"කම්."

අප්පේ මේ කොළයට ඇස් දෙක ඇලවිලාද මන්දා, තාම ඔළුව උස්සලා මුණ දිහා බැලුවේ නෑ. 'කම්' කිව්වෙත් නිකන් 'දුවපන්' කියන්න බැරි කමට වගේ.

"කවුද කිව්වේ මේ පෙත්සම ගහන්න කියලා..?"

"ආ.. මොකක්..?"

අද සර් ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලද මන්දා? එක්කෝ වයිෆ් තට්ටේ පැළුවද පේන්න නම් තට්ටේ ආබාධයක් නෑ. මොළේ හෙල්ලිලාද දන්නේ නෑනේ.

"මොන පෙත්සමද සර්...?"

"මොන පෙත්සමද කියන්නේ? තමුසෙලා කවින්ද සර්ට විරුද්ධව ගහපු පෙත්සම්."

එහෙම කියලා මිනිහා ඔළුව උස්සලා අපි දිහා බැලුවා. නිකන් යම රජ්ජුරුවෝ දැක්කා වගේ අපි දිහා බලන් ඉන්නේ. පව් අප්පා ඉස්සර අපි ඉද්දී නම් මෙහෙම අවුලක් තිබ්බේ නෑ. දැන් වයසයිනේ ඉතින්.

"සාදි.. ක්‍රිෂී.. ඔයාලද දරුවනේ... මම හිතුවේ ඉස්කෝලේ ළමයි කියලා. ක්‍රිෂී කවද්ද ලංකාවට ආවේ..? මට එක පාරට අඳුනගන්න බැරි වුණා. කොණ්ඩෙට මොකද වුණේ..."

"දැන් මාසයක් විතර සර්. මොකක්ද අර පෙත්සම් කතාවක් කිව්වේ?"

"ඉස්කෝලේ O/L ක්ලාස් වල ළමයි විනය භාර සර්ට විරුද්ධව පෙත්සමක් ගහලා. මට හිතා ගන්න බෑ.. මෙතන මොකක් හරි යටින් බලපෑමක් තියෙනවා. මම මේ හිටියේ මේකට මූලික වෙච්ච ළමයි හතර දෙනා එනකම්."

මෙච්චර වෙලා සර් බල බලා උන්නු සුදු පාට කොළය මගේ අතේ තියන ගමන් සර් විස්තරේ දිග ඇරියා. පෙත්සමේ තනිකරම ලියලා තිබුණේ විනයභාර ගුරුතුමාගේ විනය විරෝධී වැඩ ගැන. බලන් යනකොට දැන් ඉන්න ළමයි අපිට වඩා දියුණුයිනේ. අපි එහෙමනම් කරන්නේ මොකක් හරි අංචියක් ඇදලා අතක් පයක් කඩන එක. ඒවට මේ ඉස්කෝලේ මූලික වෙච්ච එකම කෙනා ඉඳුවරනේ.

"සර්.. මේකේ ලියලා තියෙන විදියට විනයභාර සර් විනය විරෝධී වැඩ කරනවා නම් ළමයි සාධාරණයි. ඒ දේවල් සර්ට දැනුම් දෙන එක විතරයිනේ මේ ළමයින්ට කරන්න තියෙන්නේ. අපි වගේ මේ ළමයි දරුණු නෑ."

"ඒක මාත් පිළිගන්නවා සාදි. ඒත් දුවේ, කවින්ද එහෙම නෑ. එයා ගොඩක් හොඳ නීතියට වැඩ කරන ගුරුවරයෙක්. ඒකමයි මම මේ තනතුර එයාට දුන්නෙත්."

"එහෙනම් ඉතින් මේක යට වෙනම ගේමක් ඇති."

"ඔව් කොහොමත් මේකේ ගුරුවරු කවින්ද එක්ක තරහයි. අඩු වයසින් මෙහෙම තනතුරක් ගන්න අමාරුයිනේ."

"මම හිතුවේ අපි අවුට් වුණාට පස්සේ සර්ට විසඳන්න ප්‍රශ්න නැතුව ඇති කියලා."

"අනේ... ඒ කාලේ හොඳයි. දැන් ඉන්නේ දඟ වැඩ කරන ළමයි නෙමේ, බලු වැඩ කරන ළමයි. ඔය දෙන්නා නැති පාඩුවක් හොඳටම දැනෙනවා. ඔයාලා ඉද්දී ගොඩක් ළමයි වැරදි වලට බය වුණා. මොකද හැමදාම ඔය දෙන්නා ගුටි කනකොට ළමයි වැරදි කරන්න බයයි. දැන් එකට එකක්..."

"ඉස්කෝලේ චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ සර්.. තිබුණා වගේමයි."

"මම ඉන්නකම්ම මෙහෙම තියෙයි. ඊට පස්සේ සමහර විට මීට වඩා හොඳ වෙයි, නැත්නම් නරක වෙයි. ඒවා ඉතින් කියන්න බෑනේ. දැන් මොකද දෙන්නට මේ පැත්ත මතක් වුණේ..?"

"සර්ව බලලා යන්න ආවේ. තව වැඩකටත් එක්ක. ඒත් මේ වෙලාවේ සර් බිසීනේ."

"එහෙම නෑ. මේ ළමයි ආපු එකම මදෑ. සාදි මොකද ආපු වෙලාවේ ඉඳන්ම මේසේ හැමතැනම බලන්නේ?"

"නෑ.. නෑ... සර් ...මුකුත් නෑ."

"ඇයි ආයෙත් මගේ කේක් කෑලි දෙක උස්සන්නද..?"

"අනේ නෑ සර්, නිකන් බැලුවේ...."

මාත් මේසේ ආපු වෙලාවේ ඉඳලම වෙනසක් දැක්කත් ඒත් මොකක්ද කියලා හොයා ගන්න බැරි වුණා. ඉස්සර මේ වෙලාවට අපිව මේ ඔෆිස් එකට ගෙනාවම සර්ගේ ටී එකට කලින් කන්න ගේන කේක් කෑලි දෙක උස්සනවනේ. අද ඒක නෑ.

"ඇත්තටම සර්... කෝ කේක් කෑලි දෙක? තේ එක විතරනේ තියෙන්නේ."

"ඉස්සර සෙල්ලම් දැන් නටන්න බෑ දරුවෝ. හැමදාම එක වගේ ඉන්න බෑනේ. දැන් මට ඩයබිටික් තියෙනවා. ටී එකත් සීනි නැතුව."

"අයියෝ සර්.. අපි හිටියා නම් සර්ට ඔහොම වෙන්නේ නෑ. ඇයි ඉතින් හැමදාම කේක් කෑලි දෙක උස්සනවනේ. එතකොට සර් බේරිලා."

"ඒක හැබෑව, ඒක හැබෑව."

අපේ සර් හිනාවෙන කොට මාර ගති, හරිම ලස්සනයි. කරුණාවන්ත පාටයි. ඒ වුණාට තද වුණාම නිකන් මළසෝනා වගේ.

"හා.. හා... කතා ඇති. මොකක්ද වැඩේ..?"

"මේකයි සර්, මම රට ගිය අවුරුදු දෙකේ මියුසික් ඉස්කූල් එකක ඉගෙන ගත්තා. දෙයියන්ගේ පිහිටෙන් විශාරද විභාගය හොඳට පාස්. මම කැමති නෑ සමහර විශාරදලා වගේ මිනිස්සුන්ට හිසේ රදයක් වෙන සිංදු ගහන්න. මේ ඉගෙන ගත්ත දෙයින් කාට හරි වැඩක් කරන්නයි ආසා."

"ඉතින් මොකක්ද මගෙන් කෙරෙන්න ඕනේ?"

"මම කැමතියි මේ ඉස්කෝලේ සංගීතය ඉගෙන ගන්න ළමයින්ට සංගීතය උගන්වන්න. මට කිසිම ගෙවීමක් එපා. දන්නා දේ ගුරු මුෂ්ටියක් නැතුවම උගන්වන්නම්."

"ක්‍රිෂී දුවගේ අදහස නම් ගොඩක් හොඳයි. ඇත්තටම මේ වගේ කාලෙක ඔයා වගේ ළමයි හොයා ගන්න දැල් දැම්මත් බෑ. ඒත් එක පරහක් තියෙනවා."

"මොකක්ද සර්..?"

"මේක විනය අතින් ගොඩක් ඉහළ පාසලක්. මම මේ කියන්නේ ක්‍රිෂීගේ විනය පිරිහිලා කියලා නෙමේ... ඒත් ගුරුවරියක් කියන්නේ ආදර්ශවත් කෙනෙක්. ඔයාගේ ඔය ආශාව ඉෂ්ඨ කර ගන්න නම්, ඔයාගේ ඇඳුම් විලාසිතාව වෙනස් කරන්න වෙනවා."

"අනේ…. සර්, එහෙම කරන්නේ නැතුව බැරිද?"

"බෑනේ ක්‍රිෂී.. මේක පාසලක්...."

"එහෙනම් ඉතින් ඒ වැඩෙත් ඉවරයි."

"එහෙම හිතන්න එපා.. ඔයාට වෙනස් වෙන්න පුළුවන් නම් ඔයාව මේ ඉස්කෝලෙට අපි සතුටින් භාර ගන්නවා."

"සොරි සර්.. මේක තමා මගේ ලයිෆ් එකේ සැහැල්ලුව."

"ඔයාගේ කැමැත්තක් ක්‍රිෂී."

"එහෙනම් සර්, සර්ට වැඩත් ඇතිනේ. අපි ගිහින් එන්නම්."

"ක්‍රිෂී, මාත් එක්ක හිත නොහොඳින්ද යන්නේ දුවේ..?"

"අනේ නෑ සර්.. අපේ ඇස් දෙක පාදපු සර් එක්ක හිත නරක් කරගන්න තරම් මම මෝඩයෙක් නෙමේනේ සර්."

"ක්‍රිෂී, ඔයා ඉස්කෝලේ ඉගැන්නුවේ නැති වුණාට ඔයාට පහසු තැනක ක්ලාස් එකක් පටන් ගන්න. අපේ ඉස්කෝලේ ඉන්න ඉගෙන ගන්න ආසා දුප්පත් ළමයි ටික මම කතා කරලා දෙන්නම්."

"ඔය ඇත්තමද සර්....?"

"ඔව් ක්‍රිෂී දුව. අපි එහෙම කරමු."

"තැන්කිව් වෙරි මච් සර්. මම දිනයක් දාගෙන සර්ව ඇවිත් හම්බ වෙන්නම්. අපි ගිහින් එන්නම් සර්."

සර්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා මායි සාදියයි ඉස්කෝලෙන් එළියට ආවේ පුදුම තරම් හැපි එකේ. මගේ හිතේ කොනක හැංගිලා තිබුණ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ඨ වුණා කියන එකේ සතුට මට හොඳටම දැනුණා.

******* 

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."  

Next Episode

   



Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1