දඟකාර ආඩම්බරී 7

 


07 වන දිගහැරුම

ඊයේ හවස සාදි හම්බුණ වේලාවෙත් ඒක හරිම වෙනස්. අද කැම්පස් ගිහිල්ලත් නෑ. වෙනදා යන හැම මගුලකම මාව එක්කන් යන එකී, අද මටත් නොකියම ගෙදරින් චුත වෙලා. මේක නම් හොඳට හොයලා බලන්න ඕන කාරණාවක්. මට නොකීවට මේකිගේ හිතේ මොකක් හරි අවුලක් තියෙනවා. අර ලව් සීන් එකද දන්නේ නෑ.

කරන්න දෙයක් නැති හින්දා ටවුන් එක පැත්තට බයික් එක හැරෙවුවේ ෂොප් එකට යන්න හිතාගෙන. එදා ගිහින් බාල්දිය පෙරළුවට පස්සේ දෙපාරක් තුන් පාරක්ම ගියත් අශේන්ව ඇහැටවත් දැක්කේ නෑනේ. අශේනයා අයින් වුණාද දන්නෙත් නෑ. කොහේද ඉතින් අපේ සුදුටත් ගෙදර ඉන්න වෙලාවක් නෑනේ... ඒක හින්දා මුකුත් දැනගන්න විදිහක් නෑ.

රේල් ගේට් එකෙන් දකුණට දාලා ෂොප් එක ඉස්සරහින් බයික් එක නැවැත්තුවට පාර එහා පැත්තේ වෙන සීන් එක දැකලා මාව කූල් වෙලා ගියා. යකෝ එතකොට මාවත් මඟ ඇරලා මේකි ගෙදරින් පැන්නේ මේකටද...?

පාර එහා පැත්තට වෙලා සාදි කාටදෝ කොල්ලෙක්ට හෝ ගාලා බනිනවා. මුන්ට තේරෙන්නේ නැද්ද මන්දා මේක මහ පාර කියලා. ඇයි දෙයියනේ පාරේ යන මිනිස්සු ෆිල්ම් එකක ෂූටින් බලනවා වගේනේ මුන් දෙන්නා දිහා බලන් ඉන්නේ. මාත් අනිත් මිනිස්සු වගේම බයික් එකට හේත්තුවක් දාගෙන ෆිල්ම් එක බලන්න පටන් ගත්තා. ටිකට් නැතුව තිරගත වෙන එක බැලුවම මොකද වෙන්නේ?

කොල්ලා හිටියේ මට පිටුපාලා නිසා ඔහුගේ මූණ හරියට පෙනුණේ නැතත්, පේන ටිකෙන් කිව හැකි කොල්ලා නම් මාර හැන්ඩියා. අමුතු වැදගත් පාටකුත් පේනවා. හැබැයි ඇඳුමේ පැළඳුමේ හැටියට නම් මෑන් එච්චර තියෙන තැනක කෙනෙක් නෙවෙයි. හැබැයි කපටියෙක් කියලා පේන්නෙත් නෑ.

අපරාදේ කියන්න බෑ කොල්ලා මොකක් හරි ලොකු දෙයක් සාදියට තේරුම් කරලා දෙන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා. කොහේද ඉතින් මේකි අරූට හෝ ගාලා බනිනවනේ. අයියෝ... අර ගොන් කොල්ලා ඔච්චරටම දන්නේ නැද්ද, ඒකි ලෝ ෆැකල්ටියේ කියලා? යකෝ බූරුවෝ, එකී විශ්වාස කරන්නේ පෙනෙන දේයි ඇහෙන දේයි විතරයි. සාක්කි වලට අනුව නඩුව විසඳෙන්නේ ඔන්න ඔහොමයි. මේකා ඕක දන්නේ නැති බූරුවෙක් වුණ එකනේ වැඩේ.

ඌට බැනලා බැනලා අන්තිමට සාදියා ඈත පේන බස් ස්ටෑන්ඩ් එකට අත දික් කළා. ඒ කියන්නේ ඌට යන්න කියලා. ඒ යකා ආයෙත් මොනවාද කියන්න හැදුවත් සාදියා ඒකට ඉඩ දුන්නේ නෑ. ඕකයි කියන්නේ 'නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ' කියලා. අර අහිංසක පාට කොල්ලා කරබාගෙන ස්ටෑන්ඩ් එක පැත්තට යන්න ගියා. ලේන්සුවෙන් කඳුළු පිහදාගෙන ඒ පාර තමයි අරකි නිකමට වගේ මං ඉන්න පැත්ත බැලුවේ. මාව දැක්ක ගමන් සාදියා ගැස්සිලා ගියා. මං දිහා බලාගෙනම සාදියා කූල් වෙන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා කියලා පාරෙන් මේ පැත්තේ හිටියත් මට හොඳට තේරුණා. ලස්සන රෝස පාට මූණ තනිකරම කළු වෙලා ගිහින්, නිකන් හෙන වැස්සක් කඩන් වැටෙන්න ලං වෙලා තියෙන වෙලාවට අහස වගේ. ටිකක් වෙලා පාරෙන් එහා පැත්තට වෙලාම මං දිහා බලන් හිටිය සාදියා පාර පැනලා මං ගාවට ආවා. මාත් වචනයක්වත් කතා කළේ නෑ. එකීම කතාව පටන් ගන්නකම් ඒකිගේ ඇස් දෙක දිහාම බලාගෙන සද්ද නැතුව හිටියා.

"ක්‍රිෂී... මෙ.. මේ අඳුනන අ..යි..යා.. කෙනෙක් හම්බවුණා. ටිකක් කතා කර කර උන්නා බං."

"ඇත්තට.. මම හිතුවා උඹ මටත් නොකියා ෆිල්ම් එකක රඟපාන්න බාර අරගෙන අද ෂූටිං කියලා, ඒකයි මම මෙතැනට වෙලා බලන් හිටියේ... අහල පහල හිටිය අනිත් මිනිස්සු වගේම."

"ක්‍රිෂී... මෙ.. මේ...."

"අනේ සාදි මේ.. මට බොරුව දාන්නේ නැතුව නැඟපන් බයික් එකට. මම සේරම බලාගෙන උන්නේ. ලැජ්ජ නැද්ද බං අනාගතේ රටේ ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න උඹ, මේ වගේ පාරවල් ගාණේ බැන ගන්න?"

"මට ඒක ගැන හිතුණේ නෑ බං..."

"හිතුණේ නැත්නම් නැඟපන් බයික් එකට...."

"කො.. කො... කොහේ යන්නද ක්‍රිෂී....?"

"කොහේ යන්නද..? අර දවසක් උඹ මට කිවුවේ 'ඒක දිග කතාවක් බං, මම වෙලාව ආපුවාම උඹට අනිවාර්යයෙන්ම කියනවා' කියලා. අන්න ඒ කතාව අහන්න දැන් අන්න ඒකට නියම වෙලාව ඇවිත්.."

"ඒත්…. ක්‍රි..ෂී…."

"මේ මගෙන් මෙතැන මුකුත් අහගන්නේ නැතුව නැඟපන්....."

ඒ පාර නම් සද්දයක් බද්දයක් නැතුවම සාදි බයික් එකට නැග්ගා. ඒකිවත් බයික් එකට දාගෙන මම ආවේ බීච් එකට. නිදහසේ කතා කරන්න තියෙන එකම ප්ලේස් එක බීච් එක. මොකද කවුරුත් අහන් ඉන්නවා කියලයැ. එත් එදා රනියා නම් අහගෙන හිටියා.

"දැන් ඉතින් කතාව කියපන්."

වඩේ අයියගෙන් වඩේ ටිකකුත් අරගෙන සාදි ගාවින්ම ඉඳගන්න ගමන් මම කිව්වේ, කතාව අහන්න තිබ්බ හදිස්සිය හින්දමයි.

"උඹ දැන් සීන් එක ගොඩක් දැක්කනේ ක්‍රිෂී. කොහොමත් දැන් මේක උඹට නොකියා බෑ."

"ඒක තමා කිව්වේ, කියපන් කියලා."

"හරි හරි මම කියන්නම්. ඒ උඹ දැක්ක කෙනාගේ නම මදුෂිත්. එයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. එයාව මට හම්බවුණේ දැනට අවුරුදු දෙකහමාරකට විතර කලින් ඉඳුවරගේ එක්සිඩන්ට් එක දවසෙ. උඹට මතකද එදා මම කිව්වා අපි ඉඳුවරව කාර් එකට දාගත්තම තව කොල්ලෙක් කාර් එකට නැග්ගා කියලා? ඒ එදා නැග්ග කෙනා තමා ක්‍රිෂී, මදුෂිත්."

ඒ කියන්නේ එදා මගේ සැකේ හරි. එදා මේකි ඒ ටික කියනකොට මූණ ගොඩක් වෙනස් වුණා. එහෙනම් ඒකයි සීන් එක.

"ඉතින් ඉතින් කියපන්, මම අහගෙන ඉන්නේ."

සාදිට වඩේ උරේ දික් කරන ගමන් මම කිව්වා. එත් ඒකි වඩේ එපා කිව්වා. අනේ තොට එපා නම් නිකන් ඉඳපන්, මට ඒකත් වැඩි නෑ. ලේන්සුවෙන් කඳුළු පිහදාලා ටිකක් දිග හුස්මක් පහළට දාපු සාදි ආයෙත් කතාවට එන්ටර් වුණා.

"එදා ඒ හම්බවුණාට පස්සේ අපි හොඳම යාළුවෝ වුණා. ඒ යාළුකම ටික දවසකින් ආදරේකට පෙරළුණා බං."

"හරි ඉතින් දැන් මොකද දෙන්නා මරා ගන්නේ? ඒත් ආදරේටද…?"

සාදියත් ආදරයක් ගැන හිතුවා කිව්වාම මට සතුටු හිතුණත්, පේන හැටියට දැන් වැඩේ අබ්ලික් කියලා මට ඊළඟ තත්පරේදී හිතුණා. ඒකයි මම ඒ සතුට වහගෙන අරෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ.

"නෑ බං... උඹ එන්න මාසෙකට එකහමාරකට විතර කලින් අපේ ලව් එක නැවතුණා."

"හරි ඉතින් ලව් එකක් නිකම්ම නවතින්නේ නෑනේ බං. ඒකට ඉතින් හේතුවක් ඇතිනේ. මොකක්ද ඒ හේතුව?"

"මම හිතුවේ මදුෂිත් හොඳ කොල්ලෙක් කියලා."

"ඔව්, පෙනුමෙන් නරකක් නෑ, අහිංසක පාටයි."

"පෙනුමෙන් මිනිස්සුව මනින්න බෑ ක්‍රිෂී... මදුෂිත් මහ කපටියෙක්."

"ඒ කිවුවේ...?"

"මදුට තව කෙල්ලෝ ඉන්නවා බං..."

"මොකක්..?"

මට කකා හිටිය වඩේ කෑල්ලත් හිරවුණා. එතකොට ඒකද මෙයාලගේ ලව් එක බ්‍රේක් වෙන්න හේතුව?

"ඔව් ක්‍රිෂී, දවසක් මම කැම්පස් ඇරිලා ගෙදර එද්දී ඒක ඇස් දෙකෙන්ම දැක්කා."

"මොනවාද..?"

"මදුෂිත් ලස්සන ගෑණු ළමයෙක් එක්ක යනවා."

"ඉතින් බං, ඔහුගේ නංගි කෙනෙක්ද කවුද දන්නේ?"

"නෑ ක්‍රිෂී, එයාට ඉන්නේ අම්මා විතරයි. වෙන කවුරුවත්ම නෑ. අම්මා ගොඩක් අමාරුවෙන් උගන්වලා තමයි එයාව කැම්පස් එවලා තියෙන්නේ."

"හරි ඉතින් නෑදෑ වෙන කවුරු හරිද කවුද දන්නේ?"

"මටත් එහෙම හිතුණා බං. ඒත් එදා උඹත් එක්ක බීච් ආපු වෙලාවෙත් මම ඒ දෙන්නව දැක්කා බං. උඹට මතකද මම උඹට කතාව කිය කියා ඉඳලා එකපාරටම නැවැත්තුවා? උඹ මට හයියෙන් පාරක් දීලා ඇහුවේ කොහේද බලන් ඉන්නේ කියලා. මම කිව්වේ අඳුරන කෙනෙක් වගේ කෙනෙක් දැක්කා ඒකයි බැලුවේ කියලා. ඒ දැක්කේ ඒ දෙන්නව. එදා මදුෂිත් හිටියේ අර කෙල්ලගේ අතිනුත් අල්ලගෙන."

"ඒකත් එහෙමද…? ඉතින් අද මොකද මදු ආවේ..?"

"මදු තාමත් මගේ පස්සෙන් එනවා. එයා කියනවා මට වැරදීමක් වෙලාලු. එයා කියන දේවල් ටිකක් අහලා ඉන්නලු. මට මගේ ඇස් දෙක විශ්වාසයි ක්‍රිෂී. මම ඒ දැකපු හැමදේම ඇත්ත. මට ඒක සියයට දෙසීයක්ම ශුවර්."

"ඉතින් උඹ ටිකක් මදුෂිත් කියන ඒවත් අහලා බලපන්කෝ."

"මට ආයෙ මුකුත්ම අහන්න ඕන නෑ ක්‍රිෂී, මගේ ඇස් දෙකෙන් දැක්කට පස්සේ."

"සමහර වෙලාවට අපේ ඇසුත් අපිට බොරු කරනවා සාදි. අපි දකින දේවලුත් බොරු වෙන වෙලාවල් තියෙනවා. අපිට ඇහෙන දේවලුත් බොරු වෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා තීරණ ගන්න කොට ටිකක් පරිස්සම් වෙන්න ඕනා බං. ඒ වගේම අනික් අයගේ කතාවටත් ටිකක් කන් දෙන්න පුරුදු වෙන්න ඕනා. සාදි, ජීවිතේ නඩුවක් විදියට හිතන්න පුරුදු වෙන්න එපා. එතකොට ඔක්කොම අබ්ලික්. රාජකාරිය දේවකාරිය විදියට සලකපන්, ඒත් ඒවා ජීවිතේට බද්ධ කරගන්න එපා. පුළුවන් තරම් ජීවිතේදී සැහැල්ලු වෙන්න බලපන්.

මට පේන විදියට උඹ ඒ කොල්ලට චූටි අවස්ථාවක්වත් දීලා නෑ. මේ ප්‍රශ්න දිහා උඹ තනිකරම බලලා තියෙන්නේ ලෝ තියරි පැත්තෙන්. මම කියන්නේ නෑ අර කොල්ලා හරියි කියලා. ඒත් උඹට ඒ ගැන තව ටිකක් හිතලා, හොයලා බලලයි තීරණයක් ගන්න තිබ්බේ. අනික උඹලගේ ඔය ලෝ පැත්තෙන් ගත්තත් මිනීමරුවෙකුට වුණත් අවසන් තීන්දුව දෙන්න ඉස්සෙල්ලා අන්තිම වතාවට කියන්න තියෙන දේවල් කියන්න චාන්ස් එකක් දෙනවනේ. කොහේද උඹ එහෙම චාන්ස් එකක්වත් දීලා නෑනේ සාදියෝ.."

"මන්දා බං, මගේ හිත කිව්ව තීරණේ මම ගත්තා. ඊට වැඩිය දෙයක් මම දන්නේ නෑ."

"ප්‍රශ්නයක් දිහා එක පැත්තකින් බලන්න පුරුදු වෙන්න එපා සාදි. හැම පැත්තකින්ම බලපන්. එදා උඹ මට කිව්වා වගේම මමත් කියන්නේ උඹේ අන්තිම තීරණේ ගන්න කලින් ටිකක් හිතපන්.."

 ඩොක්ටර් අංකල් කිව්ව විදියටම මාස තුනක් විතර ට්‍රීට්මන්ට් කළාට පස්සේ, දැන් ඉඳුවරට සෑහෙන්න හොඳයි. දැන් අපි කාගෙවත්ම හෙල්ප් එකක් නැතුව සෑහෙන හොඳට ඇවිදිනවා. ඩොක්ටර් කියන කතාවත් බලන් යනකොට ඇත්ත. ලෙඩෙකුට වෙදකම වගේම හෙදකමත් එලකිරි වගේ තියෙන්න ඕනා. නැත්නම් ඉතින් කොච්චර බේත් වැටුණත් වැඩක් නෑ.

ප්‍රින්සිපල් කිව්ව විදියට මම ක්ලාස් පටන් ගන්න සේරම වැඩ ලෑස්ති කර ගත්තත්, ඉඳුවරගේ ඔපරේෂන් එක ඉවර වෙනකම් පටන් ගන්නේ නැතුව ඉන්න මම තීරණේ කළා. මේ ටික දවසත් ඉඳුවර වෙනුවෙන්ම කැප වෙලා, පස්සේ මගේ ජීවිතේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්න එක හොඳයි කියලා මට හිතුණා.

සුදුම සුදු වැල්ලේ ඉඳගෙන ඉඳුවර සෑහෙන බර කල්පනාවක. මෙතැනට ආවේ උදේ 11 ට විතර. දැන් 4 ටත් ළඟයි. අද යන්න කල්පනාවක් නැද්ද දන්නේ නෑ. කෝකටත් කියලා මාත් ගිහින් ඉඳුවර ළඟින්ම ඉඳගත්තා.

"භාවනා ඔයාද..?"

"ඔව්, ඉඳුවර බර කල්පනාවක වගේ. මොනවාද මේ බරටම කල්පනා කරන්නේ..?"

"මම කල්පනා කළේ මේ බීච් එක ගැන භාවනා."

"ඇයි ඉඳුවර,,, මේ බීච් එක ගැන මොනවාද දෙයියනේ ඔයා කල්පනා කරන්න තියෙන්නේ? වැල්ලේ බිත්තර දාන කැස්බෑවෝ නම් ඔන්න බීච් එක ගැන කල්පනා කරන්න තියෙනවා.."

"නෑ භාවනා... මේ බීච් එක කී දෙනෙක්ගේ රහස, කඳුළ, වේදනාව, සතුට හංගගෙන ඉන්නවාද..., ගොඩක් මිනිස්සු තමන්ගේ දුක කියන්න, සතුට බෙදා ගන්න එන්නේ මෙතැනට. ඒ හැම රහසක්ම, දුකක්ම අහන මුහුද ඒ දේවල් කාටවත්ම කියන්නේ නෑ. ගොඩක් වෙලාවට මිනිස්සු හිත සනස ගන්නවා මුහුද දිහා බලාගෙන ඉඳලා.. ඒත් ඒ හැම දෙයක්ම අහන දකින මුහුදේ දුක අහන්න කවුරුත්ම නෑ. එයාට කාටවත් කියාගන්නත් බෑ. හැමදේම දරාගෙන හැමදාම ගල් වල හැප්පි හැප්පි එයා තනියම ජීවත් වෙනවා. මේ මුහුද වගේ මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙනවා ඇති භාවනා."

"ඔයා හරි ඉඳුවර. සමහර මිනිස්සු තමන්ගේ ජීවිතේ විශේෂ හැම දෙයක්ම බෙදා ගන්න එන්නේ මෙතැනට. ඒක දුක සතුට කියලා වෙන් කරන්න බෑ... ඒත් මට එක දෙයක් දැනගන්න ඕනා.."

"මොකක්ද භාවනා.. ඕන දෙයක් අහන්න..."

"ඔයා කිව්ව දේවල් ගොඩාක් බැරෑරුම්. ඔයා කියන විදියට මුහුද වගේ හැමදේම දරාගෙන ඉන්න මිනිස්සු කවුද...? ඔයා කියන්නේ ඔයත් ඒ වගේ කෙනෙක් කියලද..?"

"අනේ නෑ භාවනා, මට දුක කියන්න ඔයා ඉන්නවා, රනියා ඉන්නවා. ඒත් කවුරුවත්ම නැතුව නොදන්න රටක තනි වෙලා ඉන්න කෙනෙක්ට එහෙම නෑනේ."

"කවුද ඉතින් ඒ..? ගොඩක් හොඳ යාළුවෙක්ද..?"

"යාළුවගේ නම මට කියන්න බැරිද?"

"අනේ එහෙම දෙයක් නෑ. මම ඔයාට පස්සේ කියන්නම්කෝ. ඉතින් ඔය කියන යාළුවා එයාගේ දුක එහේදී හම්බවුණු යාළුවෙක්ට කියයි."

"එයා එහෙම කෙනෙක් නෙවෙයි භාවනා. එයා එයාගේ දේවල් කියන්නේ එයාගේ හිතට අල්ලන අයට විතරයි. මම දන්නවා කවමදාවත් එයාට එහෙම අය එහේදී හම්බවෙන්නේ නෑ. ඒක නිසා එයා එයාගේ දුක් හැමදේම දරාගෙන ඇති. මොකද එහේදී දන්න යාළුවෝ හිටියේ හරිම අඩුවෙන්."

"ඉතින් ඔයා හිතුවට එයා විඳවනවා කියලා එහෙම නැද්ද කවුද දන්නේ?"

"ඒක එහෙම තමා භාවනා. එයා ලංකාවෙන් ගියේ මෙලෝ මනුස්සයෙක් ඉවසන්නේ නැති දුක් ගොඩක් හිතේ තියාගෙන. එයා එයාගේ දේවල් කිව්වේ මටයි, රනියටයි, සාදිටයි විතරයි."

'මළ කෙළියයි, මේ කියන්නේ මං ගැන නේද? මේ කතාව ඇදිලා ගියොත් මට ඇපත් නෑ.'

"ඉඳුවර ඉස්සර මේ බීච් එකට එනවාද..?"

"ඔව්.. ඉස්සර අපි කොල්ලෝ සෙට් එකේම ලයිෆ් එක ගෙවුණෙත් මේ බීච් එකේම තමා. උදේ ඉඳන් රෑ වෙනකම් මෙතැන. මොකක් හරි පිස්සුවක් නටනවා."

"ඉතින් ඔයාට තව ටික දවසකින් ආයෙ ඒ ජීවිතේට එන්න පුළුවන්නේ ඉඳුවර."

"පුළුවන් බව නම් ඇත්ත, ඒත් මම ආයෙ ඒ සැහැල්ලු ජීවිතේට එන්න කැමති නෑ..."

"ඒ කිවුවේ...?"

"මේ ටික කාලෙට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා භාවනා. දැන් ඉතින්වත් වගකීමෙන් ජීවත් වෙන්න ඕනා. නැත්නම් ඔයාලා මෙච්චර මහන්සි වෙන එකෙන් වැඩක් නෑ. අපේ තාත්තා පව් භාවනා, එයා මං ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නේ."

"ඒක නම් එහෙම තමයි. ඔයාගේ ඔය තීරණය අහපුවාම අංකල් ගොඩක් සතුටු වෙයි. ඒත් ඉඳුවර, වගකීමෙන් ජීවත් වෙනවා කියන්නේ ජීවිතේ සැහැල්ලුව නැති කර ගන්න එක නෙවෙයි. ඉස්සර හිටපු ඉඳුවර නොවී ටිකක් හිනා වෙලා ජොලියේ ඉන්න එක. එතකොට ජීවිතේ ප්‍රශ්න වුණත් අඩු වෙනවා. අපිට ප්‍රශ්න තියෙනවා කියලා තේරෙන්නේවත් නැහැ."

"මේ ඇයි?"

"ඇත්තටම කොහෙන්ද ඕවා ඉගෙන ගන්නේ? මට නම් හිතා ගන්න බෑ, හැමතිස්සෙම හිනාවෙලා ඉන්න ඔයාමද මෙහෙම වෙලාවකට ජීවිතේ ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් විදියට කතා කරන්නේ කියලා."

"අනේ මන්දා ඉඳුවර, ඒක නම් මමවත් දන්නේ නෑ. ඒක නෙවෙයි භාවනා, මම ඔයාගෙන් අහන්නමයි හිටියේ, ඔයා කවදාවත්ම ආදරේ කරලා නැද්ද..?"

"ඉඳුවරට මොකද එක පාරටම ඒ වගේ කතාවක් අහන්න හිතුණේ...?"

"ඔයා මෙච්චර කාලෙකට එහෙම දෙයක් ගැන කතා කරලා නැති නිසා."

"ඒකත් එහෙමද?"

"ඔව්, එහෙම තමයි. දැන් ඉතින් අහපු දේට උත්තර දෙන්නකෝ."

"ආදරේ කරලා තියෙනවා ඉඳුවර."

ආයෙ දෙපාරක් හිතන්නේ නැතුවම මම කියලා දැම්මා. ආයෙ ඉතින් ඕකේ හංගන්න දෙයක් තියෙනවයැ.

"තියෙනවා කිව්වේ දැන් එහෙම දෙයක් නැද්ද..?"

"ඔව් ඉඳුවර, දැන් එහෙම දෙයක් නෑ. එහෙම වුණාට මගේ හිතේ තාමත් තියෙනවා."

"කවුද ඒ යාළුවෙක්ද?"

"ඔව්, ගොඩක් ළඟින් හිටපු, ගොඩක් විශ්වාස කරපු, ජීවිතේ හැම ප්‍රශ්නයක්ම කතා කරලා විසඳගත්ත මගේ හොඳම යාළුවා."

"ඉතින් ඔය තරම් ළඟින් හිටියා නම් ඇයි ඔයාලා ඈත් වුණේ...?"

"එයාව ආදරේ කළේ මම විතරයි. එයා මට ආදරේ කළේ බොරුවට. එතැන වුණේ තනිකරම රැවටීමක්. ඒත් මම තාමත් එයාට මගේ පණටත් වඩා ආදරෙයි."

ටිකක් වෙලා කල්පනා කර කර හිටිය ඉඳුවරගේ ඇස් දෙක ළඟට කඳුළු බිංදු දෙකක් ඇවිත් තියෙනවා මම දැක්කා. ඒත් ඒ මොකටද...?

"ඉඳුවර ඇයි සයිලන්ට් වුණේ...?"

"මට මගේ අතීතය මතක් වුණා භාවනා..."

"ඔයාගේ අතීතය මට කියන්නේ නැද්ද ඉඳුවර?"

"කියනවා භාවනා කියනවා.. ඒත් ඒ අද නෙවෙයි... මගේ ඇස් දෙක ආයෙත් පේන්න පටන් ගත්ත පළවෙනි දවසෙම, එදාම මම මුලින්ම බලන්නේ ඔයාව. එතකොට මගේ ලයිෆ් එකම හොඳ වෙයි."

"කොච්චර දෙයක්ද ඉඳුවර, මම ඔයාගේ ඉස්සරහින්ම හිටගෙන ඉන්නම්කෝ."

"තෑන්ක්ස් භාවනා, එදාට මම ආයෙ උපදිනවා. මේ කළා වගේම මම එදාටත් ඔයාගෙන් උදව්වක් ඉල්ලනවා. තරහා නැතුව ඔයා මට ඒකත් කරලා දෙනවා නේද?"

"මේ මොනවා අහනවාද ඉඳුවර? එලකිරි වගේ කරලා දෙනවා."

"තෑන්ක්ස්, මම පොරොන්දු වෙනවා මට හොඳ වුණ ගමන්ම ඔයාගේ ආදරේ හොයාගෙන ගිහින් ඔයාට එයාව ගෙනත් දෙන්න භාවනා. ඒක කාටවත්ම නවත්වන්න බෑ. ඔයා වගේ ලස්සන හිතක් තියෙන කෙල්ලෙක්ට ඒ වගේ දෙයක් වෙන්න බෑ, ආදරයක් නැතුව යන්න බෑ. ඒ වගේ ආදරයක් නැති වෙන්න මම ඉඩතියන්නෙත් නෑ. ඒ ආදරේ ඔයාට ලැබෙන්නම ඕනේ."

ඉඳුවර ඒ කියපු දෙයින් නම් මාව ගොළු වෙලාම ගියා. 'ඇත්තටම ඉඳුවර, ඔයා ඔය කියන විදියටම ඒ ආදරේ මට ලැබෙනවා නම්... ඒ ආදරය මට නොලැබුණත් ඔයා සතුටින් නම් මට ඒ ඇති ඉඳුවර මැරෙනකම් ජොලියෙන් ඉන්න.'

"ඒ පාර මොකද ඔයා සයිලන්ට් වුණේ...?"

"නෑ ඉඳුවර මුකුත් නෑ."

"ඔයා කල්පනා කරන්නේ මම ඒක කරන්නේ කොහොමද කියලද? ඔයා මම වෙනුවෙන් මෙච්චර දේවල් කරද්දී මම ඒකවත් කර ගන්න බැරි වුණොත් මම පිරිමියෙක්ද භාවනා? ඔයා වෙනුවෙන් ඒ කොල්ලගේ කකුල් දෙක ගාව දණ ගහලා වුණත් මට පුළුවන්.."

"එච්චර දෙයක් කරන්න ඕන නෑ ඉඳුවර. අපි ඒවා පස්සේ බලමු. ඉස්සෙල්ලා ඔයා සනීප වෙලා ඉන්න ඕනේනේ."

"බය වෙන්න එපා භාවනා, මම ඔයාගේ මේ ඔළුවේ අත තියලා මේ බීච් එකේදී පොරොන්දු වෙනවා. මම අනිවාර්යයෙන්ම ඔයාගේ ආදරේ ඔයාට ලබාදෙනවා. ඒක මොන මළ යකාටවත් නවත්වන්න බෑ."

එහෙම කියලා මගේ ඔළුවේ අත තියලා ඉඳුවර දිවුරුවා. ඉඳුවර දන්නවා නම් මම ඒ බලාපොරොත්තු වෙන ආදරේ තියෙන්නේ ඔහු ගාව කියලා, කවදාවත්ම එහෙම පොරොන්දුවක් වෙන එකක් නෑ.

"තෑන්ක්ස් ඉඳුවර, තෑන්ක්ස්. එහෙනම් ඔයා මට ඒ දේ කරලා දෙයි කියලා මම විශ්වාසය තියාගෙන ඉන්නම්කෝ."

******* 

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    

Next Episode

 





Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1