දඟකාර ආඩම්බරී 8

 



08 වන දිගහැරුම

"ගුඩ් මෝනින් එව්රි බොඩි..."

ගෙදර සේරටම සුබ පතාගෙනම මම කුස්සියට ඔළුව දැම්මා. ආ... හිත පිනායන දර්ශනයක්, අද සුදු ගෙදර. මම ගෙදර සෙට් එකටම පේන්න කුස්සියේ ජනේලෙන් ඔළුව එළියට දාලා අහස දිහා බැලුවා.

"මොකද ක්‍රිෂී අහස දිහා බලන්නේ? ජෙට් එකක්වත් යනවද?"

"පිස්සුද නෑනෝ."

"එහෙනම්..?"

"වහින්න එනවද කියලා බැලුවේ."

"ඇයි අදත් රස්තියාදුවේ යන්නද?"

ඒ පාර අයියා පල් ටෝක් එකක් දැම්මා.

"පිස්සුද සුදු, අද ඔයා ගෙදරනේ. ඒකයි වහින්න එනවද කියලා බැලුවේ."

නෑනණ්ඩිට නම් හිනා. අද ඉතින් සංජු අක්කව අල්ලනවා බොරු. අද අයියගේ පස්සෙන්මයි. ඕවා ඔහොම තමයි. තාම තරුණ ජෝඩුවනේ.

"නංගි… මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනා. ඒකයි මම අද ගෙදර හිටියෙත්."

"ආ... මම හිතුවා පෝය හින්දා පන්සල් යන්න කියලා. කොහේද... මේ ඔයා හම්බ කරලම විතරක් හරියන්නේ නෑ. ඊළඟ ආත්මයට පිනක් දහමක්වත් කරගන්න දැන්ම ඉඳන් ට්‍රයි එක දෙනවා හලෝ. නැත්නම් ඊළඟ ආත්මෙත් මේ බර කරත්තය ඔයා පස්සෙන් එයි."

"පණ්ඩිත කතා නෙමේ. මෙතනින් ඉඳගන්නවා.."

"හරි හරි ඉතින්. කියනවා නම් ඉඳගන්නම්කෝ. ඕකට ඉතින් කෑගහන්න ඕනයැ."

මම හෙන අහිංසක පාට මූණක් දාගෙන සුදු ඉස්සරහා තිබ්බ පුටුවෙන් ඉඳගත්තා.

"නංගි මම ඔයාට කලින්ම කියලා ඉන්නම්. ප්ලීස් මෙතන විහිළු කරන්න එපා. මේක ටිකක් සීරියස් කතාවක්."

"හරි හරි සුදු ඔයා කියන්න. මම කන දාගෙන ඉන්නේ."

"මේකයි ක්‍රිෂී.. මම ඔයාගේ හැටි දන්නවා. ඔයා ඕන කෙනෙක්ට උදව් කරන කෙනෙක්. ඒ හැමදේම හරි, දැන් ඉතින් අනිත් අය ගැන හිතන ගමන් ඔයා ගැනත් හිතන්න."

"ඒ කියන්නේ මගේ ශරීර සෞඛ්‍ය ගැනද..? අවුලක් නෑ සුදු… එලකිරි වගේ මට කිසිම ලෙඩක් නෑ.."

"පිස්සුද නංගි. මෙතන විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා කියලා මම මුලින්ම කිව්වා."

"හරි හරි ඉතින්…. ඔයා මට තේරෙන සිංහලෙන් කියන්නකෝ. ඔයා දන්නවනේ මට අණ්ඩර දෙමළ තේරෙන්නේ නෑ."

"සංජු ඔයාම මෙයාට තේරුම් කරලා දෙන්න. මෙයා මගේ තරහා අවුස්සනවා."

"මේකයි ක්‍රිෂී.."

සංජු අක්කත් මගේ ළඟ තියෙන පුටුවේ ඉඳගන්න ගමන් කතාවට එන්ටර් වුණා.

"දැන් ඔයා ඔහොම හිටියා ඇති. පිළිවෙළක් වෙන්න ඕනා. ඔයාව හැමදාම අපි ගාව තියාගන්න කැමතියි. ඒත් අපිට ඒක කරන්න බෑනේ ක්‍රිෂී. බලන්න දැන් ඔයාට අවුරුදු 25 ක්. ගෑණු ළමයෙක් මේ වයස වෙද්දි කසාද බඳින්න ඕනා. ගෙදර හැමෝම තීරණය කළා ඔයා කැමති කෙනෙක්ට ඔයාව බන්දලා දෙන්න."

සංජු අක්කා කිව්ව හැමදේම අහන් ඉඳලා අන්තිමට මම සුදුගෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයයි.

"ඔයාට මාව බරක්ද සුදු..."

මම අහපු ඒ ප්‍රශ්නයට සුදු ෆුල් අප්සෙට් ගියා. ඒත් එයා ඊළඟට වෙනම තැනකින් කතාව පටන් ගත්තා.

"මමත් කැමති නෑ ක්‍රිෂී ඔයාව මේ ගෙදරින් අරින්න. ඔයා දන්නවද ඔයා රට හිටිය අවුරුදු දෙකට මේ ගෙදර පාළු සොහොන් පිට්ටනියක් වගේ. ඒත් හැමදාම ගෑනු ළමයෙක්ව ගෙදර තියාගන්න අපිට බෑ. අනික දැන් ඔයා තෝරගත්ත පිරිමි ළමයෙකුත් ඉන්නවනේ."

අයියගෙන් පිට වෙච්ච ඒ වචන ටික ගාව නම් මාව කරකවලා අතඇරියා වගේ වුණා. ඇත්තටම අයියට පිස්සුද, නැත්නම් අද නැඟිටලා තියෙන්නේ ඇඳේ අනිත් පැත්තෙන්ද? එහෙමත් නැත්නම් ඔළුව හයියෙන් කොහේ හරි වැදිලාද...?

"ඔයාට පිස්සුද සුදු..?"

"මේ… මේ… නෑනෝ.. ඔයා අපිට බොරුව දාන්න එන්න එපා. අපිත් ලව් කරන කාලේ ඔහොම තමයි. ඔයා අපිට හොරෙන් රස්තියාදු ගැහුවට අපි ඔයා යන එන තැන් ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්නේ."

මළමඟුලයි. එතකොට මෙයාලා මේ කියන්නේ ඉඳුවර ගැනද….?

"හරි දැන් ඔයාලා තෙපරබාන්නේ කා ගැනද..?"

"කවුරුත් ගැන නෙමේ නෑනෝ, අපේ එකම මස්සිනා මහත්තයා රන්දික සංදීප් බාලසූරිය ගැන."

"අපේ අප්පෝ... මේ දෙන්නට නම් හොඳටම ලූස් ඇත්තමයි. රනියා මට ගැලපෙන බුවෙක්ද? කොහේද අපේ නෑනටත් නට් ලූස්නේ."

"නෑ ක්‍රිෂී, ඔයා මුකුත්ම කියන්න ඕනේ නෑ. මොකද ඔයා තෝරගෙන තියෙන්නේ ඔයාට ගැලපෙනම කෙනා. අපි කවුරුත්ම රන්දික මල්ලිට අකමැති නෑ."

"ඒත් අයියේ ඔයාලට..."

"අපිට කිසිම අවුලක් නෑ නංගි. මම රන්දික ගැන හොයලා බැලුවා. කිසිම වැරැද්දක් නැති කොල්ලෙක්. අපි දන්නවා රන්දිකලාගේ තාත්තා ටිකක් නීතිකාරයා. ඒත් ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ. ආර්ථික මට්ටමෙන් බැලුවත් අපි රන්දිකලාට වඩා ඉහළින් ඉන්නවා."

ෂිට්, අද සුදු සියයි, ආච්චියිත් නෑනේ. ඔයාලා මට මේ කරන අසාධාරණයෙන් බේරගන්න. මම දන්නවා මේක තනිකරම කුමන්ත්‍රණයක්. අද ආච්චියි සීයයි සිල් ගන්න යනවා කියලා දන්නවනේ.

"අපිට වඩා මේ ගැන සැළකිලිමත් වෙන්නේ ඒ දෙන්නා නෑනෝ."

"එතකොට ඒ දෙන්නත් මගේ පැත්තට නැද්ද…?"

"නෑ අනේ... එයාලත් අපේ පැත්තේ නෑනෝ..."

"නංගි ඔයා මස්සිනාට කියන්න මම ළඟදීම එයාලගේ තාත්තත් එක්ක මේ ගැන කතා කරන්නම් කියලා..."

"අයියෝ... ඔයාලට මැන්ටල්, අපි අතරේ එහෙම සම්බන්ධයක් නෑ සුදු. ඔයාලට කවුද ඔය අලිපත බොරුව කිව්ව මෝඩ තකතීරුවා..."

"කවුරුත් කිව්වේ නෑ, මගේ ඇස් දෙකෙන්ම දැකපු දේවල්."

"ඔයාලට නම් හොඳටම පිස්සු, අංගොඩ බස් එකට දාන්නද?"

"හරි ඔයාලා අතර එහෙම සම්බන්ධයක් නැත්නම්, හැම සතියකටම දවස් හතරක් ඇයි ඔයාලා බීච් එකට යන්නේ? එතකොට ගොඩක් වෙලාවට වික්‍රමසිංහෙන් ලන්ච් එක ගන්නේ? එතකොට ඔයා නොගියම රන්දික ඔයාව හොයාගෙන මේ ගෙදරට එන්නේ? අර ඔයාලගේ යාළුවා ඉඳුවරව දෙන්නා එක්ක ඩොක්ටර් ගාවට එක්කන් යන්නේ?"

"ඔය කිව්ව හැමදේම දැන් මාස හයක විතර වේලේ ඉඳන් එකදිගට සිද්ධ වෙන දේවල් නෑනෝ."

මෙවට තමා කියන්නේ ඉල්ලගෙන බදාගෙනම පරිප්පු කනවා කියලා. රනියා මේක දන්නවා නම් එහෙම පොළොව පලාගෙන යනවා. ඕකා අනිවා සසුන් ගතවෙනවා. තවත් මෙතන ස්පීකරේ ඕෆ් කරගෙන ඉන්නවා කියන්නේ මෙයාලා දැන්ම තීන්දුව දීලා, මෙතනම මාව බන්දලා දෙනවා. ඒකමයි මම මගේ අභිවෘද්ධිය උදෙසා වහගෙන හිටිය කට ඇරලම දැම්මේ.

"සුදු, සංජලී අක්කේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා මාව විශ්වාස කරනවා නම් කරන්න. නැත්නම් නිකං ඉන්න. මායි රන්දිකයි අතරේ ඔයාලා ඔය හිතන දේවල් කිසිම දෙයක් නෑ. අපි හොඳ යාළුවෝ විතරයි. ඔයාලා ඔය කිව්ව හැම දෙයක්ම ඇත්ත. අපි නිතරම මීට් වෙනවා තමයි. හැබැයි ඒ අපි දෙන්නගෙම යාළුවා හින්දා. මම ලංකාවට ආව දවසේ ඉඳලම අපි ට්‍රයි කරන්නේ අපේ යාළුවාව සනීප කරගන්න. දැන් අපේ මිෂන් එක සෑහෙන්න දුරට ඉවරයි. ඉඳුවරට සනීප වුණාට පස්සේ සමහර විට අපේ මේ තියෙන ෆ්‍රෙන්ඩ්ශිප් එකත් අඩු වෙයි. අයියේ උඩින් පේන දේවල් වලින් හැමදේම තීරණය කරන්න එපා. ඒකෙන් පාඩු වෙන්නේ අපිටමයි. ඕනම දෙයක් දිහා ටිකක් මානුෂිකව බලන්න."

"හරි අපි ඔයාව විශ්වාස කරනවා. ඔයාගේ එහෙම සම්බන්ධයක් නැත්නම් අපිම ඔයාට හොඳ කෙනෙක් හොයන්නම්."

"සුදු ප්ලීස් ඔයාලට මාව බරක් නම් කියන්න. මම මං ගැන බලාගන්නම්. ඔයාලා දන්නවනේ මම කැමති නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න. අමතර බර මගේ ඔළුවට දාලා මාව අවුල් කරන්න එපා."

"ඒත් ක්‍රිෂී, හැමදාම අපිට ඔයාව ගෙදර තියාගන්න බෑ. ඒක මහ අපරාධයක්."

"ඒ ඔයාලා හැමදාම මාව තියාගත්තොත්නේ. හැමදාම නෙමේ, තව අවුරුදු දෙක තුනකට මාව තියාගන්න. දැන්ම බඳින්න කියලා මට බල කළොත් ආයේ මෙහෙ නොඑන්නම මම යනවා. මට කසාදයක් ඕන වුණ දවසට මම ඔයාලට කියන්නම්. එදාට හොයලා දෙන්න. එච්චරයි."

කටට ආව හැමදේම එක හුස්මට කියලා දාලා මම දුවගෙන කාමරයට ඇවිත් දොරට ලොක් එකත් දාගත්තා. ඇත්තටම මේ ගෙදර මිනිස්සුන්ට නම් ලූස්. අදම හාඩ්වෙයාර් එකකට ගිහිල්ලා හොඳට තද වෙන නට් ටිකක් ගෙනල්ලා කට්ටියගෙම ඔළුවල හයි කරන්න ඕන. නැත්නම් සර්කිට් ෂෝර්ට් වෙන්නේ මගේ. හිතේ දුක යන්නත් එක්ක රෙද්දක් ඔළුවේ ඉඳන් පොරෝගෙන මම ඇඳට පැන්නා. දැන්නම් මොන මළයකා ආවත් නැඟිටින්නේ නෑ.

********* 

 "ක්‍රිෂී…. ක්‍රිෂී... මේ දොර අරින්නකෝ නංගි. මොනවද අනේ දොරක් ලොක් කරගෙන, දැන් කොච්චර වෙලාද?"

ලස්සනම ලස්සන හීනයක් දැක දැක ඉද්දි මාව උඩ ගිහින් ඇහැරුණේ කවුද මන්දා හයියෙන් දොරට තඩිබානවා ඇහිලා. අපරාදේ දිවුල් ජූස් එකට චොක්ලට් අයිස්ක්‍රීමුත් දාලා තිබ්බේ…. ෂික් විතරක්. හොඳ වෙලාවට මේ දොර කොස් ලී වලින් හදලා තිබ්බේ. නැත්නම් දොරේ කෑලි හොයන්න මොරටුවට ගියත් බැරි වෙනවා..

"ක්‍රිෂී ඔයා මොකද කරන්නේ නංගි….?"

ෂික් මේ නෑනා නම් මහම මහ ඇණයක්. ඇයි දෙයියනේ නිදහසේ නිදාගන්නවත් නෑනේ. කරන්නම දෙයක් නැති තැන මම නැඟිටලා ගිහින් දොර ඇරියා.

අපෝ… මේ මොකද මේ… මේ පිස්සු නෑනා හොඳටම අඬලා… පිස්සු නැත්නම් ෂෝක්.. අයියා ආයෙත් වැඩට ගියාද දන්නෑ. නැත්නම් මෙයා වෙන මොනවට අඬන්නද.

"මොකද මේ අඬලා? වටලප්පමවත් අබ්ලික් වුණාද..?"

මම ආයෙත් ඇවිත් ඇඳට පැන්නා නෑනාට ඔට්ටුවත් මතක් කරගෙනමයි. අක්කත් මාත් එක්කම ඇවිත් ඇඳෙන් ඉඳගන්නවා මට තේරුණා. කෝ සද්දයක් බද්දයක් නෑනේ. ඒ පාර මෙයා රහත් වෙලාද? අනේ දෙයියනේ එතකොට මේ ශනු පැටියයි අපේ බ්‍රදරැයි අනාථයිනේ. මෙයා තවුස්දම් පුරන තැනටත් ගිහින් සුදු කට ඇරගෙන බලාගෙන ඉඳියි. කෝකටත් කියලා මම ආයෙත් ඔළුව උස්සලා බැලුවා. යකඩෝ හෝ ගාලා අඬනවා. නිකන් හෝ ගාන මුහුදේ රැල්ල ගහනවා වගේ.

"ඒ.... මොකෝ මේ හොටු පෙර පෙර අඬන්නේ...?"

"ක්‍රිෂී, ඔයා අපිත් එක්ක තරහෙන් නේද ඉන්නේ....?"

"මොන පිස්සුද නෑනෝ. මම මොකට තරහ වෙන්නද…? ඔන්න ඉස්සර නම් අයියව බෙදාගන්න බැරුව රණ්ඩු වුණා."

"ඒත් ඔයා ඉස්සෙල්ලා අපිට කෑගහලා ආවා ආවමයි, එළියටවත් බැස්සේ නෑ. බලන්න දැන් දවල්ට කන වේලාවත් පහුවෙලා."

එතකොට තමා මම කාමරේ ගහලා තිබ්බ ලොකු බිත්ති ඔරලෝසුවේ වෙලාව බැලුවේ. යකෝ 3.25 යි. දෙයියනේ මම පැය කීයක් නිදියලද.

"හරි හරි දැන් ඔයා අපිත් එක්ක තරහ නෑනේ. දැන් යමු දවල්ට කන්න."

"මම මම කල්පනා කළේ මම නිදි පෙත්තක්වත් බිව්වද කියලා."

"හරි ඉතින් දැන්වත් යමං බන් කන්න..."

"දවල්ට කන්න? මම උදේට කෑවේ නෑනේ සංජු අක්කේ. ඉස්සෙල්ලා උදේ වේල, ඊළඟට දවල් වේල."

"යමං යකෝ…."

"කෝ සුදූ…?"

"එයත් ඔයා වගේ තමයි. ඔයා තරහ වෙලා ආවාට පස්සේ තාම කාලා නෑ. මාත් එක්කවත් වචනයක් කතා කළේ නෑ. කාමරයට වෙලා ඔහේ සිවිලිම දිහා බලන් ඉන්නවා. මම කන්න කතා කරලා හොඳටම බැනුනුත් අහලා ඉන්නේ. ඔයා දන්නවනේ ක්‍රිෂී, අයියා මට කවදාවත් බැනලා නෑ. ඉතින් මට ඇඬුණත් එක්ක."

"එතකොට ඔයා ඇඬුවේ ඒකද…?"

"ඔව් ක්‍රිෂී, මට දුක හිතුණා. බැරිම තැන තමයි ඔයාගේ කාමරයට ආවේ."

"ඒකත් එහෙමද? ඇයි දැන් සුදුට තද වෙලා තියෙන්නේ..?"

"තරහ ගිහින් නෙමේ නංගි. එයා දුකෙන් ඉන්නේ. එහෙම ඉද්දි මම ගිහින් කන්න කතා කරහම තවත් තරහ යන්න ඇති. ඒකයි මට බැන්නේ."

"මොනවා කියලද…?"

"නංගි නැතුව මම කන්නේ නෑ කියලා දැන දැනත් කන්න කතා කරන්න තමුසෙට පිස්සුද කියලා ඇහුවා."

"ආ.... ඒ කියන්නේ දැන් මෙයා කාලත් නෑ කියන එක. අයියට උණ හැදුණත් බත් ඇටයක් උගුරෙන් පහළට යන්නේ නැති මෙයා, අයියා තරහට නොකා හිටියම කයිද... එතකොට මේ හැමෝම උදේ ඉඳන් බඩගින්නේ."

"කෝ ශනූ...?"

"ශනුත් හොඳටම නිදි. ඒ ළමයත් උදේ ඉඳන්ම මුකුත්ම කාලා නෑ."

"දෙයියනේ… මම ලිඳට පැන්නොත් මෙයාලත් පෝලිමේ ලිඳට පනීනේ."

"හරි හරි යමු... මේ නඩුව විසඳලා දාලා, බඩකට පිරෙන්න කන්න."

එහෙම කියලා මම නෑනවත් ඇදගෙන එයාලගේ කාමරයට ගියා. අයියා ඇඳේ ඇලවෙලා සිවිලිම දිහා බලාගෙන බර කල්පනාවක. මෙහෙම ගියොත් නම් මෙයා රහත් වෙනවා. එතකොට සාසනයට යන කලදසාව ගැන මට දුකයි.

"සුදු.. මොනවාද මේ කල්පනා කරන්නේ?". කෑගහගෙනම මම ගිහින් ඇඳට පැන්නා. පැන්න පාරට දඩෝං ගාලා ඇඳේ පොලු දෙක තුනක් බිම. සුදු පුදුම වෙලා වගේ මං දිහා බලන් ඉන්නවා. ඇත්තටම මෙයාගේ ඔළුව කොහේ හරි වැදිලා තියෙනවා.

"නංගි තමුසෙ අපිත් එක්ක තරහ නැද්ද..?"

"පිස්සුද හලෝ... මට පුළුවන්ද ඔයාලත් එක්ක තරහ වෙලා ඉන්න. එහෙනම් ඉතින් ඉබ්බන්ටත් පිහාටු එයි."

"එහෙනම් පහළට ආවේ නැත්තේ? මොනවා නැතත් වෙනදාට වෙලාවට කන්න එන කෙනා ඇයි අද විතරක් ආවේ නැත්තේ? නිකං බොරු නොකියා යනවා හලෝ. තමුසේ තරහ වෙලා තමයි ආවේ නැත්තේ."

මෙයත් හරියට පොඩි එකෙක් වගේනේ. මොන්ටිසෝරි යන ශනු මීට වඩා හොඳයිනේ බලන් යනකොට...

"පිස්සුද සුදු.. කාමරයට වැදිලා ඇඳට වැටුණට පස්සේ මට හොඳටම නින්ද ගියා. ඇහැරුණේ මෙන්න මෙයා මහසෝනා දොරට ගහනවා වගේ දොරට තඩිබානවා ඇහිලා..."

"ඔය ඇත්තමද නංගි..."

"බොරු කියන්නේ මොන ඉටිගෙඩියකටද... මෙන්න මෙහෙ එනවා සුදු කන්න යන්න. කෑම ටික අපි නැතුව මාර දුකෙන් ඇත්තේ."

එහෙම කියලා මම යන්න හැදුවේ. ඒත් එකපාරටම අයියා මගේ අතින් අල්ලගත්තා.

"නංගි සොරි, ආයේ අපි ඔයාට කරදර කරන්නේ නෑ. ඔයා කැමති දවසක ඔයාට කැමති කෙනෙක් කසාද බඳින්න."

"ඔන්න ඔහොම එනවා නම් මොනවාද සුදු කරන්න බැරි. දෙමුකෝ බොක්ක ගලවලා අතේ අරන් යන්න.. බය වෙන්න එපා සුදු, මම කවදාවත් ඔයාලා අකමැති, පවුලට නොගැලපෙන දෙයක් කරගන්නේ නෑ."

"පවුලට නෙමේ නංගි, ඔයාට නොගැලපෙන දෙයක් කරගන්න එපා. ජීවත් වෙනවා කියන්නේ සල්ලි නෙමේ නංගි. මට ඕන නම් පුළුවන් මගේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න යාළුවන්ව ඔයාව බන්දලා දෙන්න. හතර පස් දෙනෙක්ම ඔයා ගැන අහලත් තියෙනවා. ඒත් මම කැමති නෑ සල්ලි ගස් වලට ඔයාව බන්දලා දීලා ඔයාගේ ජීවිතය අවුල් කරන්න. උන් කරන ගොඩක් දේවල් මම දන්නවා නංගි. අපි හිතුවේ ඔයාගේ රන්දික මල්ලිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. අපි හැදුවේ ඔයාගේ සතුට තියෙන්නේ එතන නම් ඒ දේ කරලා දෙන්න."

"ඔයා කසාද බඳින්න ඕන අපිට කැමති කෙනෙක් නෙමේ, ඔයාට ගැලපෙන කෙනෙක්. ඒ කෙනා පාරේ ඉන්න හිඟන්නෙක් වුණත් කමක් නෑ. හැබැයි උගත්, මනුස්සකම් දන්න, ගුණවත්, අපිත් එක්ක හොඳින් ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනා. සල්ලි හම්බකරන්න පුළුවන්. ඒත් කවදාවත් උගත්කමවත් මනුස්සකමවත් සල්ලිවලට ගන්න බෑ ක්‍රිෂී."

"ඔව් නෑනෝ.. අපිට සල්ලි වැඩක් නෑ. ඔයා සතුටින් නම්, ඒ කෙනාට අපිව තේරුම් අරන් අපිත් එක්ක සහෝදරයෝ වගේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ඇති. වැඩි දෙයක් ඕන නෑ. දැන් බලන්නකෝ ඔයාගේම අයියා මාව තෝරගද්දි සල්ලි බැලුවද? තාත්තෙක් කියලා ඉන්නේ උප්පැන්නට විතරයි. මම මගේ තාත්තව දැකලා තියෙන්නේ ෆොටෝ එකකින් විතරයි. අම්මව රවට්ටලා තෑග්ග විදියට මාව දීලා එයා අතුරුදහන් වෙලා. අම්මා මට ගොඩක් දුක් මහන්සි වෙලා ඉගැන්නුවා. මම දවස් කීයක් නම් බඩගින්නේ ඉස්කෝලේ ගිහින් කලන්තේ දාලා වැටිලා තියෙනවද... අන්තිමට ඔයාගේ අයියා එයාගේ කෑම එක මට දීලා එයා කඩෙන් කනවා. අයියට මාව තෝරගද්දී මගේ ආර්ථික මට්ටම ප්‍රශ්නයක් වුණේ නැහැ. සුදු සීයයි, ආච්චියිත් කවදාවත් ඒ දේවල් බැලුවේ නෑ. ජීවිතය සතුටින් ගෙවන්න පුළුවන්, පුතාට ගැලපෙන කෙල්ලෙක්ද කියලා විතරයි බැලුවේ. ඔයාටත් එහෙම තමා නංගි. ඒකේ වෙනසක් නෑ. ඒත් මේ සමාජයේ හැමෝම ඔයාගේ අයියා වගේ නෙමේ. රැවටිලිකාරයෝ ගොඩයි. ඒක නිසා පරිස්සමෙන්."

මට දිග දේශනාවක් දීපු අක්කත් ඇවිල්ලා අයියගේ එහා පැත්තෙන් ඉඳගත්තා. ඇත්තටම මේ වගේ සහෝදරයෝ දෙන්නෙක් ලබන්න මම පෙර ආත්මයක ලොකු පිනක් කරලා තියෙනවා.

"හරි එහෙම කෙනෙක් හම්බුණ ගමන් මම ඔයාලට කියන්නම්.."

"මේ... අයියට කියන්න කලින් මට කියන්න නෑනෝ..."

"ඇයි වටලප්පන් හදන්නද...?"

"හදලා දෙන්නම්කෝ එකට දහයක්."

"අයියේ….?"

"ඇයි ක්‍රිෂී.....?"

"මේ.. ඔයා අක්කව තෝරගද්දි ඇත්තටම චුට්ටක්වත් මූණ දිහා බැලුවේ නැද්ද...?"

"ඇයි ක්‍රිෂී ඒ…?"

"ඇයි කියන්නේ? බලන්නකෝ මූණ නිකන් හඳක් වගේනේ.. හැමතැනම වලවල් ගොඩැලි, ආවාට, පොල් හිටෙව්වැකි."

මම එහෙම කියනකොට අක්කා බුම්මගෙන අහක බලාගත්තා. අයියා හයියෙන් හිනා වුණා. මම විහිළු කළාට ඇත්තටම අක්කා මාර ගති. එයාගේ ෆිගර් එක තියෙන කෙල්ලෙක් තාම මම දැකලා නෑ. අයියා හිනා වෙච්ච සද්දයට ඇහැරුණු ශනු දුවගෙන ඇවිත් අයියට තුරුළු වුණේ බඩගිනියි කියාගෙනමයි. මේ වගේ ඉන්නවට තමයි කියන්නේ පුංචි පවුල රත්තරන් කියලා.

*********

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි." 

Next Episode

    



Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1