දඟකාර ආඩම්බරී 9
09 වන දිගහැරුම
ඉඳුවරගේ කකුල් දෙක හොඳටම හොඳ හින්දා, දැන් තියෙන්නේ ඇස් දෙක සනීප කර ගන්නයි. මාස හයක හතක කාලයක ඉඳන් උත්සාහ කරත්, ඉඳුවරට ඇස් දෙකක් හොයා ගන්න තාම අපිට බැරි වුණා. ඉඳුවරත් දැන් සනීප වෙන්න ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මායි සාදියි ඩොක්ටර් හම්බවෙන්න ආවෙත් ඉඳුවරගේ හදිස්සිය හින්දමයි. කොහෙද තාම ඩොක්ටර් ඇවිල්ලත් නෑනේ. රජයේ උසස් නිලධාරියෝ වුණාට ජීවිතේට වෙලාවට වැඩ කරන ජාතියක් නෙමෙයි. කොහෙද මෙතන ප්‍රයිවෙට් චැනල් කරන තැනක්නේ, නැත්නම් හොඳ වැඩක් කරන්න තිබ්බා.
අපි දෙන්නත් බකන්නිලාගෙන පුටුවක් උඩට වෙලා ඩොක්ටර් එන පාර දිහාම බලන් හිටියා. යකෝ මෙතන තව ටිකක් වෙලා හිටියොත් ඇත්තමයි මට කලන්තේ දානවා. නැත්නම් ලෙඩක් හදාගෙන ගෙදර යන්න වෙනවා. මෙතන ඉන්නේ තනිකරම ඇස්වල කේස් තියෙන කට්ටිය. සමහරුන්ගේ ඇස් ඇත්තෙම නෑ. ඩොක්ටර් කොහොම මේවා බලනවද මන්දා. මට එහෙමනම් කලන්තේ දානවා. මම ලෙඩ්ඩු බලන්න ගියොත් මට බේත් කරන්න වෙනම ඩොක්ටර් කෙනෙක් ගෙනත් තියාගන්න වෙනවා.
ඩොක්ටර් එනකන් ඔහේ බලාගෙන ඉද්දි, මට ඉස්සරහා තිබ්බ දොරෙන් එළියට ආවේ මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච රූපයක් නෙමෙයි. මිනිහා මොකද මෙතන? සාදිවවත් ඇදගෙන මම මිනිහා ඉස්සරහට ගියේ හිතට ඇතිවුණු කුතුහලය නිසාමයි.
"අශේන්...?"
මට පිටුපාලා හිටිය හින්දා මම ළඟට යනකම්ම මිනිහා මාව දැක්කේ නෑ. ඒක හින්දම මිනිහගේ පිටට තට්ටු කරලා මම කතා කළා. මාව දැක්කම මිනිහට උන්හිටි තැන් අමතක වුණාද කොහේද... අතේ තිබ්බ බේත් රිසිට් එක මිනිහා හිමීට පිටිපස්සට කරගත්තා.
සිකියුරිටි කෙනෙක් වුණාට ඉස්සර මිනිහට තිබ්බේ ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරමේ ලස්සනක්. එදා වලියෙන් පස්සෙත් මට මිනිහව දෙපාරක් තුන්පාරක්ම හම්බුණා. ඒත් මෙච්චරටම වැහැරිලා ගිහින් තිබ්බේ නෑ. මූ හොඳට බොනවද කොහේද... මූණත් ඉදිමිලා. හොඳ බඩකුත් තියෙනවා නිකන් ගැබට මාස හතරක් විතර වෙච්ච ගර්භනී මාතාවක් වගේ.
"ක්‍රිෂි මිස්, මිස් මොකද මෙහෙ...?"
"මම ආවේ ඩොක්ටර් වසන්ත හම්බවෙන්න. ඒත් අශේන් මොකද මෙතන කරන්නේ?"
"මේ... මේ... බේත් ටිකක් ගන්න ආවා."
"ඒ මොකටද..?"
"නිකන් උණ ගැනෙන්න වගේ මිස්. ඇඟට ටිකක් අමාරුයි. මේ දවස් ටිකේම වැඩට ගියෙත් නෑ. ලොකු සර් බනිනවද දන්නෙත් නෑ."
"ලොකු සර් මොකට බනින්නද? ලෙඩක් තියෙනවා නම් බේත් අරන් හොඳ කරන් ඉන්න එපායැ. ඒක නෙමෙයි උණට බේත් ගන්න ආවා නම් මොකද මේ වකුගඩු සම්බන්ධ ඩොක්ටර්ගේ කාමරේ ඉඳලා එළියට ආවේ...?"
"නෑ... නෑ... මි..ස්."
"නෑ..නෑ.... කියන්නේ. මම දැක්කනේ අශේන් ඒක ඇතුළේ ඉඳලා එළියට එනවා."
"නෑ මිස්, ඒ ඩොක්ටර් මගේ යාළුවෙක්. ඒකයි. එයා තමයි අපේ තාත්තගේ වකුගඩු නරක් වුණු වෙලාවේ බේත් කළේ."
එහෙමත් සීන් එකක්ද? අශේන් කොහොම කිව්වත් මගේ හිතට පුංචි සැකයක් ඇතුළු වුණා. මොකද අශේන් ඒ ටික කිව්වේ අහක බලාගෙන. කටහඬත් හරිම අමුතුයි. නිකං ජීවිතේම පරාද වෙච්ච මිනිහෙක්ගේ කටහඬක් වගේ. මෙතන එයා කියනවට වඩා දෙයක් තියෙනවා. ඉඳුවරලගේ ප්‍රශ්න ඉවරවුණු ගමන්ම මේ ගැනත් ටිකක් හොයලා බලන්න ඕනා. මොනා වුණත් මිනිහත් අපි යටතේ වැඩ කරන පොරක්නේ.
"මිස් මොනාද කල්පනා කරන්නේ...?"
"නෑ අශේන් මුකුත් නෑ..."
"මිස්ලා මොකටද මෙහෙට ආවේ? මිස්ලා කාට හරි බේත් ගන්නද...?"
"නෑ අශේන් බේත් ගන්න නම් නෙමෙයි. ඒත් ඩොක්ටර් හම්බවෙන්න."
"ඒ කිව්වේ...?"
මම අශේන්ට අපි ආපු කාරණාව මුල ඉඳන් අගටම කිව්වා. ඕකේ ඉතින් ආයේ හංගන්න දෙයක් තියෙනවයැ...
"පව් මිස් ඒ මහත්තයා..." සේරම අහගෙන ඉඳලා අන්තිමට අශේන් කිව්වේ එච්චරයි. ඒත් එක්කම වගේ ඩොක්ටර් වසන්ත ආවා.
"අශේන්, අපේ ඩොක්ටර් ආවා. එහෙනම් අපි කැපෙනවා. හෙට අනිද්දට මම ෂොප් එක පැත්තේ එන්නම්කෝ."
ට්‍රින්... ට්‍රීන්... ට්‍රීන්..
ගෙදර ෆෝන් එක හෝ ගාලා කෑ ගහනවා. වෙනදා නම් බබා අඬන කොටම අපේ නෑනා දුවගෙන එනවා. අද එන පාටක් නෑ. මොනා කරන්නද මමම ගිහින් ගන්නවා. අපේ නෑනට ඉතින් මාව මෙතනින් නැගිට්ටුවේ නැත්නම් කෑවේ නෑ වගේනේ.
"හෙලෝ.... කාටද කතා කරන්න ඕනේ...?"
"හෙලෝ... හෙලෝ... "
මේ මොකාද? කතා කරන එක්කෙනා කෙල්ලෙක් කියලා නම් ෂුවර්. ඒත් මොකා වුණත් හලනවා විතරනේ.
"හෙලෝ... හෙලෝ... නම මොකක්ද ඔයාගේ?"
ඔන්න ඔහේ සින්දුවක කෑල්ලක් කියලම මම ආයේත් කතාවට එන්ටර් වුණා.
"ක්‍රිෂි අක්කේ, මම නෙළුම්... "
"හානේ උඹද... ඇයි යකෝ දැන්ද මාව මතක් වුණේ.. ආ.."
එදා අර කේස් එකෙන් පස්සේ නෙළුම් මට කොහොමත් සතියකට එක පාරක්වත් කතා කළා. ඒත් මේ නම් කතා කරන්නේ මාස තුනකට විතර පස්සේ. මම හිතුවා මේ ක්‍රිෂීව අමතක වෙලා කියලා.
"අනේ නෑ අක්කේ, ගෙදර ෆෝන් එක කපලා තිබ්බා. අද තමා හැදුවේ. මුලින්ම කතා කළේ ඔයාට."
"කපලා කිව්වේ... වයර් එක කපලද... නැත්නම් ලයින් එක බලධාරියා විසින් කපා හරින ලදීද...?"
"දෙවෙනියට කිව්වේ ඒක අක්කේ."
"ඒකත් එහෙමද?... ඉතින් කොහොමද?"
"වරදක් නෑ වෙනදා වගේමයි. ඔයාට...... "
"මාත් ඔහේ ඉන්නවා."
"කොහොමද දැන් ඔයාලගේ මිෂන් එකේ වැඩ කටයුතු..?"
මම අපේ මිෂන් එක ගැන සේරම විස්තර නෙළුමට කිව්වා.
"එතකොට දැන් සේරම හරි, ඇස් දෙකක් තමා නැත්තේ..... "
"ඔව් ඩියර්, ඒකත් අපි කොහොම හරි කරනවා."
"ඔව් ක්‍රිෂි අක්කේ ඔයාලට පුළුවන්. මම දන්නවා ඔයාට බැරි දෙයක් නෑ. බය වෙන්න එපා ඉක්මනට සේරම දේවල් හරියයි. ඉඳුවර අයියවත් ඔයාටම ලැබෙයි අක්කේ."
"එහෙම වෙනවා නම් ලොකු දෙයක් නංගි. මමත් ගොඩක් කැමතියි. ඊට වඩා සතුටක් මට තවත් නෑ නංගි."
"මම දන්නවා අක්කේ ඔයා ඉඳුවර අයියට කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ ඇත්තක් නම් අනිවාර්යයෙන්ම ඉඳුවර අයියව ඔයාට ලැබෙනවා."
"ඉඳුවර මට නොලැබුණත් එයාගේ සතුට ළඟ මාත් සතුටු වෙනවා නංගි. එයා ඉක්මනටම දැන ගනියි භාවනා කියන්නේ ක්‍රිෂිට කියලා. එදාට එයා සමහර විට මාව රිජෙක්ට් කරයි. ඒත් භාවනාවත් ක්‍රිෂිවත් එයාට වෛර කරන්නේ නෑ නංගි."
"මට ඔයාව තේරෙනවා අක්කේ. බය වෙන්න එපා. හැමදේම හොඳට විසඳෙයි. ප්‍රශ්නය ඉඳුවර අයියට ඇස් දෙකක්නේ. ඒකත් ඉක්මනට විසඳෙයි අක්කේ. මට විශ්වාසයි."
"ඉඳුවර අයියට මම ඇස් දෙකක් හොයන්නේ තව මාසයයි නංගි."
"එහෙම අත අරින්න එපා අක්කේ. ඔයාට පුළුවන්."
"මම අත අරින්නේ නෑ නංගි. මම තව මාසෙකින් ලොකු පරිත්‍යාගයක් කරනවා."
"මට අක්කට එපා කියන්න බෑ. ඒත් මම ඒකට කැමති නෑ. ඔයාලගේ ගෙදර අය ඔයාට ඒක කරන්න කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ."
"කවුරු කොහොම කිව්වත් ඒක එහෙම වෙයි නංගි..."
"ඔයාගේ වචන ඉතින් අපිට වෙනස් කරන්න බෑනේ. ඒත් ඔයාට ඕනම උදව්වක් ඕනේ නම් මට කියන්න. මට පුළුවන් ඕන උදව්වක් කරන්නම්."
"මට උදව්වක් ඕන වුණොත් මම නංගිට අනිවාර්යයෙන්ම කතා කරනවා නංගි."
"අක්කේ එහෙනම් මම තියන්නම්. දවසක ඔයා අපේ ගෙදර එන්නකෝ."
"හරි නංගි මේ ප්‍රශ්න ටික විසඳගෙන පුළුවන් ඉක්මකට ඇවිත් යන්න එනවා. එහෙනම් තිබ්බා. බුදු සරණයි."
"බුදු සරණයි අක්කේ."
නෙළුම් එක්ක කතා කරලා ෆෝන් එක තිබ්බා විතරයි ආයේත් රින්ග් වෙන්න පටන් ගත්තා. යකෝ මේක නම් එක වෙලාවකට මාරම වදයක්. මොනා කරන්නද මේවා ගෙදර තියෙන කොට කොහොමත් කටු කන්න වෙනවා.
"හෙලෝ..."
"හෙලෝ දුවේ. මම මහනාම අංකල්."
"ආ.. ඇයි අංකල් හදිසියක්ද...?"
"ඔව් දුවේ, ඔයා දැන්ම අපේ පුතාට බේත් කරන ඩොක්ටර් ඉන්න ප්‍රයිවට් හොස්පිට්ල් එකට එන්න."
"ඒ කිව්වේ අංකල් ඩොක්ටර් වසන්ත වෙනදා ඉන්න තැනටමනේ."
"නෑ... නෑ දුවේ, ඩොක්ටර් වසන්ත වැඩ කරන හොස්පිට්ල් එකට."
"ආ... හරි අංකල් මම එන්නම්."
අංකල් එච්චරයි කිව්වේ, ෆෝන් එක තිබ්බා. ඉතින් කොහොමෙයි දැන් වළඳන්නේ...
එහෙන් මෙහෙන් ඇඳුමකුත් දාගෙන බයික් එකට නැඟලා මම කෙළින්ම ගියේ සාදිලගේ ගෙදරට. මේකිවත් එක්කගෙනම ගියාම ලේසියි. නැත්නම් ඉතින් ආයේ වෙච්ච සිද්ධිය මේකීට රිවයින්ඩ් කරන්න ගියාම පිස්සු පීකුදු වෙනවා.
සාදිලගේ ගෙදරට එන්න කලින් කෝල් එකක් දාලා ආව හින්දා සාදි ලෑස්ති වෙලා ගේට් එක ගාවටම වෙලා හිටියා. මේකිත් එළ කෙල්ල. මගේ වැඩක් කිව්වොත් බෙල්ල ගහලා ගියත් එනවනේ. ඒකිවත් දාගෙන මම රෑං ගාලා හොස්පිට්ල් එක පැත්තට ඉගිල්ලුණා.
අපි හොස්පිට්ල් එක ගාවට යනකොටත් අංකල් ගේට් එක ගාව.
"ඇයි අංකල් මේ හදිස්සිය...?"
"දුවේ අපේ වැඩේ සියයට සියයක් සාර්ථකයි."
"ඒ කිව්වේ අංකල්...?"
"දුවේ මගේ පුතාට ඇස් දෙකක් හම්බවුණා. ඔයාලගේ ඉඳුවරට දැන් ආයෙමත් මේ ලෝකය බලන්න පුළුවන් භාවනා."
"ඔය ඇත්තමද අංකල්.... එහෙනම් කොච්චර දෙයක්ද....? අපේ එකම හීනය එතකොට හැබෑ වුණා. අංකල්ට කවුද ඕක කිව්වේ...?"
"දැන් ඩොක්ටර් වසන්ත මට කෝල් එකක් දීලා මෙතනට එන්න කිව්වා ඔයාවත් එක්කගෙනම. ඉතින් ඔයාට කලින් මම ආවනේ. මම ඒ සුබ ආරංචිය ඔයාට කලින් දැන ගත්තා."
"කවුද අංකල් ඒ වගේ පරිත්‍යාගයක් කරලා තියෙන්නේ...?"
"අවුරුදු විසි අටක විතර තරුණ ළමයෙක් දුවේ. පව්, ඒ ළමයා දැන් ටිකකට ඉස්සෙල්ලා නැතිවෙලා. මගේ පුතාට ඇස් දෙක හම්බුණ බව ඇත්ත. ඒත් ඒ ළමයගේත් ජීවිතයක්නේ දුව. ඒ අම්මලා තාත්තලා කොච්චර දුක් වෙනවා ඇත්ද...?"
"අනේ පව් අංකල්, මොනවා වෙලාද මැරිලා තියෙන්නේ....?"
"ඒ ළමයගේ වකුගඩු දෙකම නරක් වෙලා. ඒක පරම්පරාගත රෝගයක්ලු. ඒ ළමයගේ තාත්තයි, අක්කා කෙනෙකුයි ඔහොම්මම මැරුණලු. පව් දුවේ. ඒ ළමයා හරිම දුප්පත්. වකුගඩු බද්ධ කරන්න පුළුවන් වුණත් ඒක කර ගන්න වත්කමක් තිබිලා නෑ. එයා ඒක දැන ගද්දිත් පරක්කු වැඩිලු දුව."
"පව් අංකල්, අපි අපේ වාසියට හිතන්න හොඳ නෑ. ඒ කෙනා වෙනුවෙන් දැන්වත් අපිට කරන්න පුළුවන් හැමදේම කරමු."
"ඔව් දුවේ..., ආ.... දුව ආපු ගමන්ම ඩොක්ටර් කිව්වා එන්න කියන්න කියලා."
"ඒ මොකටද අංකල්...?"
"අනේ මන්දා මම ඇහුවට කිව්වේ නෑ."
"යමු බලන්න සාදි."
ඩොක්ටර් අංකල් එන්න කිව්වේ ඇයි කියලා බලන්න මම සාදිවයි අංකල්වයි ඇදගෙන ඩොක්ටර් අංකල්ගේ රූම් එක පැත්තට ගියා.
"ආ....... භාවනා.... ඔයා ආවද..... මම මේ ඔයා එනකම්මයි බලන් උන්නේ. කට්ටියම මෙහෙන් ඉඳගන්නකෝ."
ඩොක්ටර් අංකල් අපිට ඉස්සරහා තියෙන පුටු තුන පෙන්නලා එයා එයාගේ පුටුවෙන් ඉඳ ගත්තා.
"ඇයි ඩොක්ට අංකල් මොකක්ද ප්‍රශ්නේ...?"
"මේක අහලා ඔයා කලබල වෙන්න එපා දුව..... ඉඳුවරට ඇස් දෙක ලැබුණා තමා දුව. ඒත්...."
"ඇයි අංකල් එත් කිව්වේ...?"
"දුව.... ඉඳුවරට ජීවිතේ ලැබුණට ඒකෙදී තවත් කෙනෙක් ජීවිතේ පරිත්‍යාග කළා. ඒ එයා ගෙනාපු ආයුෂ දුව. මරණය ආපුවම ඒක කාටවත්ම නවත්වන්න බෑ. මේ කතා කර කර ඉන්න අපි හෙට මැරෙයිද කවුද දන්නේ? ඒ වගේ තමා අපි ළඟට මරණය ඇවිත් නැත්නම් අපිව මේ ලෝකෙන් අතුගාලා දාන්න කාවත් බෑ. ඒකයි ඉඳුවර මාරයා ගාවටම ගිහින් ආපහු ආවේ."
"ඔව් අංකල් ඔය විස්තරේ මම දන්නවා. මොනා වුණත් ඒ කෙනා ලොකු පිනක් කරලා තියෙන්නේ. එයාගේ ජීවිතේ නැති වෙන කොට තව කෙනෙක්ට ජීවත් වෙන්න ශක්තිය දීලයි එයා මැරුණේ. ඒ පිනම ඇති අංකල් එයාගේ ඊළඟ ආත්මේ හොඳ ආත්මයක් වෙන්න."
"භාවනා... මම මේක ඔයාට කොහොමද කියන්නේ කියලා කල්පනා කළේ..."
"මොකක්ද අංකල්...?"
"ඔයා කලබල වෙන්න එපා දුව. ඔයාලගේ යාළුවා වෙනුවෙන් ජීවිතේ දුන්නේ ඔයාගේම තවත් යාළුවෙක් භාවනා."
"මගේ යාළුවෙක්....?"
"ඔව් දුව, එයා අන්තිමට මාව හම්බවුණු වෙලාවේ මේ ලියුම් දෙක දුවට දෙන්න කිව්වා. එයා ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා ගිය කෙනෙක්. එයා එයාගේ ලෙඩේ ගැන දැන ගන්නකොට ඒක හොඳ කරන්න ගොඩක් අමාරුයි. අමාරුවෙන් හරි හොඳ ට්‍රයි එකක් දෙන්න තිබුණත් මිනිහට ඒ ගැන කිසි වුවමනාවක් තිබුණේ නෑ."
අංකල් මගේ අතේ තිබ්බ සුදු පාට කොළ දෙකෙන් "මිස්" කියලා ලියපු, හතරට නමලා තිබ්බ ලියුම දිග ඇරලා මම කියවන්න පටන් ගත්තා.
හිත හොඳ මිස්ට ...
මිස් මම අද මේ ලියුම ලියන්න හිතුවේ මගේ ජීවිතේ කොයි වෙලේද කියලා මටවත් විශ්වාසයක් තිබුණේ නැති නිසා. මිස්ගේ රහස මම රකිනවා මිස්. මේ ලියුම කවුරු කියෙව්වත් කාටවත්ම ප්‍රශ්නයක් නෑ.
එදා කම්පැනි එකේදී මිස් මට ජීවිතේ කියලා දුන්නා. ජීවත් වෙන්න ඕන කොහොමද කියලා හරියටම තේරුම් අරගෙන ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න හිතුවත්, මාව ආයේමත් කඩාගෙන වැටුණා. ජීවිතේට මම වගේ පව් කරපු එකෙක් මේ මුළු ලෝකෙම තවත් නැතුව ඇති. එදා මිස් කිව්වා මතකද මිනිහෙකුට වරදින්න්න පුළුවන් එක පාරයි කියලා? ඒත් මිස් මට ගොඩක් සැරවල් වලදී වැරදුණා. මාව මුලින්ම කඩන් වැටුණේ අවුරුදු 13 දී. ඒ මගේ තාත්තා වකුගඩු නරක් වෙලා නිසා සදහටම අපිව දාලා මේ ලෝකෙන් ගිය දවසේ. ඊට පස්සේ මාවයි අක්කාවයි හදා ගන්න අම්මා නොවිඳිනා දුක් වින්දා. අන්තිමට අක්කා ඉස්කෝලේ ගමන නවත්තලා දාලා ගාමන්ට් එකක වැඩට ගියා. ඒත් ඒ අවුරුදු හතරකට පහකට විතරයි. ඊළඟට ආයේත් මගේ ජීවිතේට වැරදුණා මිස්. ඒ මගේ අක්කත් තාත්තා මැරුණා වගේම අපිව දාලා මේ ලෝකෙන් සඳහටම යන්න ගිය දවසේ. අන්තිමට මට මේ ලෝකේ ඉතිරි වුණේ අම්මා විතරයි. එතකොට මම A/L කරනවා ගණිත අංශයෙන්. A/L ලියන්න මට තිබිබේ තව මාස 06 යි. ඒත් ඒ මාස හයවත් මට උගන්නන්න අම්මට ශක්තියක් තිබුණේ නෑ. ඊට පස්සේ මගේ ඉස්කෝලේ ගමන නතර වුණා මිස්. මට තුන්වෙනි පාරට වැරදුණේ එතන. ඊට පස්සේ තමා මිස්ගේ රත්තරන් අයියා මට ජීවත් වෙන්න පාර කිව්වේ. මිස්ගේ අයියා මාව ගොඩක් විශ්වාස කළා. ඒත් මම ඒ විශ්වාසෙත් කැඩුවා. මිස්ලා නොදන්නවා වුණාට මගේ අතින් මිස්ලගේ අයියට ගොඩක් පාඩු වෙලා තියෙනවා. මිස් එදා මට ජීවිතේ කියලා දෙනකම්ම මම ඒ වැරදි එක දිගට කළා. ඒ සේවකයින්ට, කස්ටමර්ස්ලට බැන්න කෑ ගැහුව එක විතරක් නෙමෙයි, තව ලොකු ලොකු සොරකම් පවා. මම අද ඒ හැමදේටම මිස්ගෙනුත්, මිස්ගේ අයියගෙනුත් සමාව ඉල්ලනවා.
ඒ වගේම එදා අර සිද්ධියෙන් පස්සේ මම මගේ සේරම වැරදි හදා ගත්තා. එදා මම හිත හදා ගත්තා මම හම්බකරලා මගේ අතින් මිස්ලට වෙච්ච හැම වැරැද්දකටම වන්දි ගෙවනවා කියලා. ඒ විදියට හිතලා මට ඉන්න පුළුවන් වුණේ මාස එකහාමාරක් විතර කෙටි කාලයයි. ජීවිතේ මට ආයේත් වැරදුණා. මමත් වකුගඩු රෝගියෙක් කියලා දැන ගන්නකොට ලෙඩේ ගොඩක් උග්‍ර වෙලා ඉවරයි. එදයින් පස්සේ ජීවත් වෙන්න තිබ්බ ආසාව මම මගෙන් ඈත් කළා. තාත්තාට, අක්කාට වගේම මටත් ඉක්මනටම මේ ලෝකෙන් ඈත් වෙන්න වෙනවා කියලා මට තේරුණා. වකුගඩුවක් බද්ධ කරලා ජීවත් වෙන්නවත් මට කාලයක් තිබුණේ නෑ. එහෙම කරත් ඒක 100% ක් සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. දොස්තර මහත්වරු වුණත් කිව්වේ "අපි උත්සාහ කරනවා" කියලා විතරයි. වකුගඩුවක් බද්ධ කරන්න වුණත් මට ආර්ථික මට්ටමක් තිබුණේ නෑ. ඒ හැමදේම හින්දා තමයි මම බීමට ඇබ්බැහි වුණේ. ඒකෙන් වුණේ මට මේ ලෝකේ ඉන්න තියෙන කාලය දවසින් දවස අඩුවෙච්ච එක. මට ඕන වුණේ ඉක්මනට මැරිලා යන්න. එහෙම ඔහේ විසි වෙවී ඉද්දි තමයි මට මිස්ලගේ යාළුවා ගැන අහන්න ලැබුණේ. මම අන්තිමට තීරණය කළා මැරෙන අන්තිම මොහොතේ හරි පිනක් කර ගන්න. මම ඩොක්ටර්ට කිව්වා මම මැරුණම මගේ ඇස් දෙක මිස්ගේ යාළුවට බද්ධ කරන්න කියලා. මිස් වගේ හොඳ කෙනෙක් වෙනුවෙන් මම වගේ කාලකණ්ණියෙක් කරපු එකම හොඳ දේ ඒක කියලා මම දන්නවා. ඒ වගේම මිස්ගේ ජීවිතේ රැඳිලා තියෙන, මිස්ගේ ආදරේ රැඳිලා තියෙන මහත්තයා කවුද කියලත් මම දන්නවා. ඒ කෙනාව මිස්ට ලැබෙන්න ඕනා. ඒ වගේ තත්ත්වෙක ඉන්න කෙනෙක්ට ආදරේ කරන්න තරම් මිස්ගේ හිත කොච්චර ලස්සනද.. ඒකටත් එක්ක මම යාළු වෙලා හිටිය කෙල්ල. මම ලෙඩෙක් කියලා දැන ගත්ත ගමන්ම මාව දාලා ගියා. ඒකත් එක අතකට හොඳයි. මේ ලෝකේ දැන් මට දාලා යන්න බැරි කෙනෙකුට ඉන්නේ අම්මා විතරයි. ඒකයි මම මිස්ට මේ ලියුම ලියන්න හිතුවේ. අනේ මිස් මම වගේ කාලකණ්ණියෙක්ව මේ ලෝකට ගෙනාපු ඒ රත්තරන් අම්මව මිස් බලාගන්න ඕනා.. මම දන්නවා මිස් ඒක කරනවා කියලා. අම්මා මැරිලා යනකම් ජීවත් වෙන්න මහලු මඩමකට බාර දෙන්න. මමත් ගියාම අම්මව අපේ නෑදෑයෝ ඔක්කොම ටික එළියට ඇදලා දායි. අපි ඉන්න ගේ තියෙන්නේ මගේ නමට. ඒක අපේ අම්මව බාර දෙන මහලු මඩමට බාර දෙන්න. ඒක මගේ මේස ලාච්චුවේ දාලා ඇති. මට කියන්න තියෙන්නේ එච්චරයි. මිස් මේ ලිවුමත් එක්ක තියෙන අනික් ලියුම අපේ රත්තරන් සර්ට දෙන්න. මගේ අතින් වෙච්ච හැම වැරැද්දක්ම ඒකේ ලියලා ඇති. ඒ වගේම මම මැරෙන මොහොතෙත් ප්‍රාර්ථනා කරන්නේ මිස්ට මිස්ගේ ආදරේ ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා. අනික මිස්, ඉඳුවර මහත්තයට කියන්න එයා හෙට ඉදන් ලෝකය දකින්නේ හොරෙකුගේ ඇස් දෙකෙන් කියලා හිතන්න එපා කියලා. තමන්ගේ සේරම වැරදි හදාගෙන ජීවිතේට මූණ දෙන්න ට්‍රයි කරපු අහිංසකයෙක්ගේ ඇස් දෙකෙන් කියලා හිතන්න කියලා. එහෙනම් මිස්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.
මිස්ගේ වචනයෙන් කියනවා නම් ජීවිතේම එළකිරි වේවා. ඒ වගේම මේ ලියුම මිස්ලගේ මිෂන් එකට කරදරයක් වෙන එකක් නෑ. ඊළඟ ආත්මේ මිස් මගේම සහෝදරියක් වෙලා ඉපදෙන්න ඕනා.
මම කවදත් මිස්ට ණයගැති අශේන්.
*********
අශේන් අතින් ලියලා තිබුණ ඒ ලියුමේ අකුරින් අකුර කියවනකොට මට එදා ෂොප් එකේදී වෙච්ච හැම දෙයක්ම මතක් වුණා. එදා මම හිතුවා වගේම අශේන්ට වැඩි ආයුෂ නැති වුණා නේද කියලා හිතනකොට මට මහා අසරණකමක් දැනුණා. ඒ වෙලාවේ දැනුණ හැඟීම් වචනයකින් විස්තර කරන්න තරම්වත් මට පුළුවන්කමක් නෑ. ජීවිතේ ගොඩක් ළඟින් ආශ්‍රය නොකළත් අශේන්ගේ මරණේ ළඟ මම ඇත්තටම ගොළු වෙලා ගියා. එදා එහෙනම් අශේන් බෙහෙත් ගන්න ආවේ මේකට. ඇයි අශේන් ඔයා මට මේ ගැන වචනයක්වත් නොකිව්වේ? ඔයා නිකන් හරි මේ ගැන සුදුට කිව්වා නම් එයා ඔයාව නොබලා ඉන්නවද අශේන්.... මේ හැමදේම අපෙන් හංගලා ඔයා කළේ ලොකු වැරැද්දක් අශේන්. දැන් මේ දේ දැනගත්තම අයියා අප්සෙට් යන එක නවත්තන්න සක්කරයටවත් බෑ.
අශේන් වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න මට හොඳටම ඉඩකඩ තිබ්බා. අඩුම තරමේ අශේන්ගේ හිත හදලා අන්තිම මොහොතේවත් අශේන්ගේ ළඟ නංගි කෙනෙක් විදියට ඉන්න තිබ්බා නම් මට මෙච්චරටම දුකක් දැනෙන්නේ නැති වෙන්න තිබ්බා. "ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ" කියන එකේ නියම තේරුම හරියටම තේරුණේ ජීවිතේට ගොඩක් ළඟින් හිටියේ නැති වුණත් අශේන් අපිව දාලා ගිය එකෙන්.
ඒ වගේම අශේන් යන්න කලින් කරලා තිබ්බ පරිත්‍යාගය මට ජීවිතේට අශේන්ව අමතක කරන්න බැරි එක සාධකයක් වුණා. අදින් පස්සේ ඉඳුවරගේ ඇස් දෙක දකින දකින වාරයක් ගාණේම මට අශේන්ව මතක් වෙයි. තමන්ගේ කෙනෙක් නැති වුණා වගේ මාරම තනිකමක් වගේ දෙයක් මගේ ජීවිතේටම එකතු වෙලා වගේ හැඟීමක් මට දැනුණා. මෙච්චර කාලෙකට අම්මා තාත්තා නැති වුණ දුක මට දැනුණේම නෑ. ඒත් මරණයේ දුක දැනෙනකොට අම්මා තාත්තා නැති වුණ දුකත් මගේ ජීවිතේට අලුතින් එකතු වුණා කියලා මට තේරුණා.
"ඩොක්ටර්.... මට අශේන්ව බලන්න ඕනා."
"දුව කලබල වෙන්න එපා."
"අංකල්... මට අශේන්ව බලන්න ඕනා... "
මගේ අතේ තිබිබ ලියුම සාදි අතට දීලා මම මහ හයියෙන් ඩොක්ටර් අංකල්ට කෑ ගැහුවා.
"ඕකේ... ඕකේ, අපි යමු... "
මගේ කෑ ගැහිල්ලට පුදුම වෙලා වගේ බලන් උන්නු ඩොක්ටර් අංකල් අශේන්ගේ මිනිය තියන තැනට මාව එක්කන් ගියා. සුදු පාට රෙද්දකින් ඔලුවේ ඉඳලම වහලා ට්‍රොලියක තියලා තිබිබ අශේන්ගේ මිනිය ළඟට ගිහින්, අංකල් අශේන්ගේ බොඩි එක වහලා තිබ්බ රෙද්ද මූණෙන් අයින් කරන්න කියලා එතන හිටිය සේවකයෙකුට කිව්වා.
එදා මටයි නෙළුම්ටයි බැන්න, අපේ අයියගෙන් ගුටි කාපු අශේන් සදහටම ඇස් පියාගෙන තිබ්බා. අශේන්ගේ ඇස් පියවී තිබුණත් එයාගේ මූණේ පුංචි හිනාවක් ඉතිරි වෙලා තිබ්බා. අශේන්ගේ හිතේ කොච්චර බලාපොරොත්තු තිබ්බද? ඒ හැමදේම අද එක තැන නතර වෙලා. බයවෙන්න එපා අශේන්, මම අද මෙතන ඉඳලා පොරොන්දු වෙනවා මම ඔයා වෙනුවෙන් ඔයාගේ අම්මව හොඳට බලාගන්නවා කියලා.
අශේන්ගේ නිසල ශරීරය දිහා බලන් ඉන්න බැරි හින්දම මම අහක බලාගත්තා. සාදියා ඇවිත් පිටිපස්සෙන් මගේ උරහිසට අත තිබ්බේ "හිත හදා ගනිං බං" කියනවා වගේ. උඩ ඉඳන් පහළටම සුදු රෙද්දකින් වහලා තිබිබ අශේන්ගේ බොඩි එකත් අරගෙන ඩොක්ටර් අංකලුයි සේවකයෝ ටිකයි අපිට පේන්නේ නැති වෙලා යනකම්ම මම ඒ දිහා බලන් උන්නා. සාදියා උනත් උන්නේ මුකුත්ම කතා කර ගන්න බැරුව. සතුටින් යන්න අශේන්. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ආයේ කවදම හරි අපි මේ සංසාරෙදි හම්බවෙයි.
අද අපිව දාලා ගිය අශේන්ගේ ඇස් දෙකෙන් හෙට ඉඳන් ඉඳුවර මේ මුළු ලෝකයම දකීවි...
*******
අශේන්ගේ අම්මට වෙන්න ඕන යුතුකම් හැම දෙයක්ම ඉෂ්ට කරනවා කියලා සුදු මට පොරොන්දු වුණා. එයාට වුණත් ගොඩක් අප්සට්. මොනා වුණත් තමන්ගේ යටතේ වැඩ කරපු කෙනෙක්නේ. අනික මැරෙන මොහොතේ හරි තමන්ගේ අතින් වෙච්ච වැරදි තේරුම් ගත්ත මනුස්සයෙක්. කොහොමත් සුදු අනිත් සේවකයින්ට වැඩිය අශේන්ට ගොඩක් ලං වෙලා හිටියේ. අශේන්ගේ මරණේ කටයුතු සේරම සුදුගේ කරටම අරගෙන කළේ ඒකයි. ඒ මොනවා වුණත් අශේන් ගියේ නම් අපි හැමෝවම අඬවලා.
අද උදේ පාන්දරම ඉඳුවරලගේ ගෙදරට පාත් වුණේ මීපයෙන් වත්තට යන කොට ගෙනියන්න ඕන බඩු ටික ලෑස්ති කර ගන්නයි. අංකල්ටවත් සිරිටවත් ඒ දේවල් ගැන කිසිම දැනීමක් නෑ. මම නැති කම්ම ඉතින් අපේ සාදියට නම් ඒවා එළකිරි වගේ. ඒකිව ඇදගෙන ආවේ ඒකටම තමා.
"භාවනා මේකේ ඉන්නේ ඔයා විතරද...?"
"ඔව් ඉඳුවර, සාදියි රන්දිකයි අංකලුයි ගේ ඇතුළේ.. මම එන්න කියන්නද...?"
"නෑ භාවනා මට ඔයත් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනා."
"කියන්න ඉඳුවර, මම අහගෙන ඉන්නේ..."
"මම හෙට ඉදන් ලෝකය බලන්නේ ඔයාගේ යාළුවෙකුගේ ඇස් දෙකෙන් නේද...?"
"ඉඳුවරට කවුද කිව්වේ...?"
"අපේ තාත්තා කිව්වේ... ඉතින් මට කිව්වම මොකද වෙන්නේ?"
"නෑ ඉඳුවර, මුකුත් වෙන්නෑ. මම නිකමට වගේ ඇහුවේ.."
"භාවනාට අප්සට් ද යාළුවා නැති වුණ එකට....?"
"අප්සට් තමා ඉඳුවර. දුකයි. ඒත් ඒ එයාගේ ඉරණම. අපි කාටවත් මොන දේ කළත් ඒ දේ වළක්වන්න බෑනේ. ඒ එයා ගෙනාපු ආයුෂ. එයා එහෙම නෙමෙයි වෙන දෙයක් වෙලා වුණත් මැරෙන්න තිබ්බා ඉඳුවර."
"ඒක හරි භාවනා. මම කවදාවත් හිතුවේ නෑනේ මට මෙහෙම දෙයක් වෙයි කියලා. වෙන්න තියෙන දේ කාටවත්ම වළක්වන්න බෑ. ඒත් ඔයාගේ යාළුවට මම හැමදාම ණයයි."
"ඒක තමා ඇත්ත ඉඳුවර, අපි යථාර්ථයට මූණ දෙන්න ඕනා. වුණ දේ වුණා. අනේ ඇයි එහෙම වුණේ කියලා ඒ ගැන හිත හිතා ඉන්නේ නැතුව ඉස්සරහට මූණ දෙන්න ශක්තිය හදා ගන්න ඕනා. අශේන් මැරුණ එක අපි හැමෝටම දුකයි. ඒත් අපි කොහොම හරි සිත හදා ගන්නවා. එයා පෙර කරපු පව් වලට වන්දි ගෙවලා ඉවර ඇති. ලෝකය දුවන්නේ දුක උඩ කියලා කතාවක් තියෙනවනේ ඉඳුවර."
"මටත් තියෙනවා භාවනා වන්දියක් ගෙවන්න. ඔයා මට උදව් කරනවා නේද....?"
"කියන්න ඉඳුවර, බෙල්ල ගහලා ගියත් කරනවා. ඔයාට නොකරන උදව් මං ගාව නෑ."
මම ඉඳුවරගේ අතින් අල්ලගෙන කියවගෙන ගියා. "මට ඔයාව කොහොමටවත් අමතක කරන්න ලැබෙන එකක් නෑ ඉඳුවර. ඔයාගේ මේ ලස්සනට වඩා මම ආදරේ කළේ ඔයාගේ හදවතට. ඒ හදවත ගොඩක් අපිරිසිදුයි කියලා දැන ගන්න කොට මම පරක්කු වැඩියි."
ඉස්කෝලේ හිටිය දඟකාරිට ආදරේ කරන්න හම්බුණේ මටම හරියන දඟකාරයෙක්. මුළු පංතියෙන්ම කැපී පෙනුණේ අපි දෙන්නව. ඔයාව අයිති කර ගන්න කොච්චර කෙල්ලෝ ඔයා පස්සෙන් ආවද?... උන් ඔක්කොම එකාට එකෙක් පරාද නෑ. මාරම ලස්සනයි. සමහර විට මම එච්චර ලස්සන නැතුව ඇති. ඒත් සාදියා නම් හැමදාම කිව්වේ උන්ට වඩා සිය ගුණයක් වැඩියෙන් මම ලස්සනයි කියලා. ඔයාට ලංවෙන්න හදන හැමෝම මම ඔයා ළඟින් ඈත් කළා. ඒවට කරපු වැඩ මතක් වෙන කොට දැන් හිනත් යනවා. ඔයා හින්දා කෙල්ලෝ කී දෙනෙක් මාත් එක්ක අවුලද ඉඳුවර. ඔයා මේ දේවල් දන්නවා නම් මම ඔයාට කොච්චර ආදරේද කියලා තේරෙයි.
"මම කියන්නද භාවනා...?"
"කියන්න ඉඳුවර, මම අහගෙන ඉන්නේ"
"මගේ අතින් ගර්ල් කෙනෙක්ට ලොකු වැරැද්දක් වුණා. මට ඒ වැරැද්ද හදා ගන්න ඕනා. මම මේකට රන්දිකගෙනුත් උදව් ඉල්ලුවා. ඒත් රනියා මාත් එක්ක ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ. මම ඇක්සිඩන්ට් වෙලා ගෙදර ඉන්න ටික කාලෙට මම ඒ ගැන ගොඩක් හිතුවා භාවනා. මම දන්නෙම නැතුව එයාට ආදරේ කරන්න පටන් අරගෙන. එයත් එක්ක ගෙවුණු හැම මතකයක්ම දැන් මැරි මැරි උපදින්න තරම්ම මාව රිද්දනවා. එයා කොහේ ඇද්ද? ඇත්තටම එයා සුරංගනාවියක් වගේ ලස්සනයි. එයාගේ හිනාව මට තවමත් මැවී මැවී පේනවා. ඒ අහිංසක කෙල්ලට මම දීපු දුක මතක් වෙන කොට මට හිතෙනවා දෙයියෝ මට මේ දීපු දඬුවම සැර මදි කියලා. මට මේ උදව්ව ඉල්ලන්න ඉන්නේ ඔයා විතරයි භාවනා. අනේ ප්ලීස් මට ඒ ගෑනු ළමයා හොයා ගන්න උදව් කරන්න. ප්ලීස් භාවනා."
ඉඳුවරගේ ඒ කතාව ගාව මාව අන්ත අසරණ වෙලා ගියා. මෙච්චර කැප කිරීම් කරලත් මට ඒ ආදරේ මගේ කර ගන්න පුංචි අවස්ථාවක්වත් නැද්ද දෙයියනේ? මම ආදරේ කරන කෙනා එයාගේ ආදරේ එයා ළඟට ගන්න මගෙන්ම උදව් ඉල්ලන එක තරම් වේදනාවක් මේ ලෝකේ තවත් නම් නැතුව ඇති. "රනියා ඔයාට උදව් කරන්න බැහැ කියන්න ඇත්තේ භාවනා ඉඳුවරට ගොඩක් ආදරේ වග දන්න හින්දා වෙන්න ඇති ඉඳුවර. ඒත් ඒ උදව්ව මේ භාවනාගෙන්ම ඉල්ලුවොත් ඒ කෙල්ලට මොනවා වෙයිද කියලා රනියට නිකන්වත් හිතෙන්න නැතුව ඇති. ඔයා පළවෙනි පාර දැනගෙන මාව බිංදුවටම වැට්ටුවා ඉඳුවර. මේ පාර නොදැන මාව බිංදුවටම වැට්ටුවා. තුන්වෙනි පාරට මාව වට්ටන්න ඔයාට මාව දකින්න පුළුවන් වෙයිද දන්නේ නෑ."
මගේ ශබ්ද කෝෂේ තිබුණ එකම වාක්‍ය "ජීවිතේ කෙනෙකුට වරදින්න පුළුවන් එක පාරයි" කියන එක. ඒක දැන් තමයි හිතෙන්නේ අශේන්ගේ ලියුමේ තිබ්බා වගේම මනුස්සයෙකුට ගොඩක් සැරවල් වරදින්න පුළුවන් කියලා. ඔයා හරි අශේන්. ඔයාට වගේම මටත් වැරදුණා. වෙනසකට තියෙන්නේ ඔයාට වැරදුණේ ජීවිතේ, මට වැරදුණේ ආදරේ එක්කම ජීවිතේ. ඔයා තව කාටවත් නොපෙනෙන්න මේ ලෝකය දාලා ගියා. ඒත් මට ඒ දේ කරන්නවත් ශක්තියක් නෑ. අද මේ වැටෙන හැම කඳුළු බිංදුවකම තියෙන්නේ මගේ හිතේ හැමදාටම ඉඳුවර වෙනුවෙන් හිරකරගෙන හිටිය, හැමදාටමත් තියෙන ආදරේ. ඒ ආදරේ මම මැරුණත් වෙනස් වෙන්නේ නෑ. ඒ ආදරේ හැමදාමත් එහෙම්මයි. ඔයාගේ ක්‍රිෂී මිස්ට හිත් දෙකක් නෑ. මම මේ ගෙවුණු ටික කාලෙට හැමදාම ඇඬුවේ ආදරේ වෙනුවෙන්. හැමතිස්සෙම සිනාවෙන මිනිස්සුන්ට කවදම හරි ගොඩක් අඬන්න වෙනවා. ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කරලත් අන්තිමට මට ඉතුරු වුණේ කඳුළු විතරයි. මේ ක්‍රිෂී දෙවෙනි පාරටත් පැරදුණා. ඉඳුවර, කමක් නෑ. මට හැමදාම උරුම වෙලා තියෙන්නේ දුක විතරක් නම් ඔයාට තියෙන ආදරේ හින්දම මම ඒ දුකත් බාර ගන්නවා. ඔයා ඔයාගේ ජීවිතේට සතුට විතරක් අරගෙන හැම දුකක්ම මගේ ඔළුව උඩින් තිබ්බත් මම හැමදාමත් ඔයාට ආදරෙයි. ඒ ආදරේ හැමදාටම එහෙමමයි.
හැබැයි ඉඳුවර, ඔයා වෙන කෙනෙක්ගේ වෙනවා මට ජීවිතේට බලන් ඉන්න බෑ. ඒක හින්දා මම ඔයාගෙන් සදහටම ඈත් වෙනවා. ඔයාට ඔයාගේ ආදරේ හොයාගෙන දැන් තනියම යන්න පුළුවන් ඉඳුවර. මම ඕනේ නෑ. එදා ඈත් වෙලා ආයේමත් ආවට මේ ක්‍රිෂී මේ සැරේ ආයේමත් එන්නේ නෑ. සමහර විට මේ මම ඔයාව දකින, ඔයා මාත් එක්ක කතා කරන අන්තිම වතාව වෙන්න ඇති.
"භාවනා මොකද ඔයා සද්ද නැත්තේ...? ඔයාටත් බැරිද මට උදව් කරන්න? හරි කමක් නෑ මම තවත් ඔයාලට වද දෙන්නේ මොකටද? ඔයාලා මං වෙනුවෙන් මෙච්චරම දුක් විඳලා තියෙද්දී. මම සනීප වුණු ගමන්ම ඒ කෙල්ලව හොයාගෙන තනියම හරි යනවා. මම කරපු පව් වලට වන්දි ගෙවන්න ඕනා. නැත්නම් ඔයාලා මේ කරපු දේවල් වලින් වැඩකුත් නෑ භාවනා."
ඉඳුවර ඒ ටික කියලා ඉවර වෙද්දිම මගේ අතේ තිබිබ හෑන්ඩ් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. මෙතනින් පැන ගන්නේ කොහොමද කියලා බල බල ඉද්දි දෙයියෝ මේ දීපු චාන්ස් එකට දෙයියන්ට අනේක වාරයක් පිං.
සිරි අංකල්ට කතා කරලා ඉඳුවර ළඟ ඉන්න කියලා මම ෂේප් එකේ එතනින් මාරු වුණා. පොඩි හදිස්සියක් කියලා අනිත් අයටත් කියලා මම ඉඳුවරලගේ ගෙදරින් එළියට ආවේ ආයේ ජීවිතේට මේ මීගමු නගරේ දිහා බලාගෙන නිදා ගන්නේවත් නෑ කියලා හිතාගෙනමයි.
*******
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."

Comments
Post a Comment