දඟකාර ආඩම්බරී 10

 


 

 

 

 

 

10 වන දිගහැරුම

හිරු මැකී යයි නීල අහසේ... සේද මීදුම් මායිමේ... නිමා වී යයි මේ වසන්තේ... යළිත් නොම එයි කිසි දිනේ... ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා... තරම් රිදුම් දෙයි ආදරේ... නෙතු සලා හමුවෙලා... සුසුමකින් වෙන් වුණා...

ලංකාවේ විඳවන පෙම්වතුන්ගේ බොක්කේ පතුලටම වදින්න ලියලා තියෙන අමල් පෙරේරාගේ ඒ සින්දුව නිකම් මටම ලියපු එකක් වගේ. ඒ සින්දුවේ පද ටික පපුවේ මැද්දටම කිඳා බැස්සම ඇස් දෙකෙන් කඳුළු එන එක නවත්වගන්න මට සෑහෙන ට්‍රයි එකක් දෙන්න වුණා. කවුරු හරි ඇවිත් රේඩියෝ එක ඕෆ් කරනවා නම් හොඳයි කියලා හිතුණත් කවුරුත්ම ආවේ නෑ. අන්තිමට ඉඳගෙන හිටිය පුටුවෙන් නැඟිටලා පාර පැත්තට ආවේ ඒ සින්දුව මගේ කන් දෙකට ඇහෙන එක නවත්වගන්න.

එදා බයික් එක ෂොප් එක ඉස්සරහින් දාලා ආවා ආවාමයි, අඩුම තරමේ ගෙදර සෙට් එක ගැනවත් හොයලා බලන්න ක්‍රමයක් තිබ්බේ නෑ. ගෙදර අතහැරලා ආවේ අපරාදේ කියලා වෙලාවකට හිතුණත්, එහේ හිටියා නම් ඉඳුවරට මූණ දෙන්න මට කොහොමත් බැරිව යනවා. මම නැතුව ගෙදර සෙට් එකට පිස්සු හැදිලා ඇති. ඇයි ඉතින් මම කෑවේ නැත්නම් බත් ඇටයක් උගුරෙන් පහළට යන්නේ නැති කට්ටියනේ.

එක අතකට ඉඳුවර හින්දා මම මගේ පවුලටම දුක් දුන්නා කියලත් හිතෙනවා. තවත් අතකින් මම එහේ හිටියා නම් මට පිස්සු හැදෙනවා. එහෙම වුණා නම් ගෙදර මිනිස්සුන්ට මීට වඩා දුකක්. තව මාසයක් දෙකක් යන කොට හැමෝටම මාව අමතක වෙලා යයි. එතකොට සේරම හරි යයි. කොහොමත් සුදු වුණත් මාව එයාගෙන් ඈත් කරන්න ඕනේ. නැත්නම් මටත් අශේන්ට වෙච්ච දේ වුණොත් අපේ ගෙදර මිනිස්සුන්ට පිස්සු හැදෙයි.

මීගමුවේ හද්දා නගරයට වැඩිය මේ පැත්ත නම් ඇත්තටම නිස්කලංකයි. ගේ ඉස්සරහට වෙන්න තිබ්බේ පොඩි ගුරු පාරක්. ඒ පාරට එහා පැත්තේ ඔයක් තියෙනවා. ගේ වටේටම තියෙන්නේ වෙල්යායක්. මේ හරියේ තියෙන්නේ ගෙවල් දෙක තුනයි. ඒත් නෙළුම්ලාගේම නෑදෑයන්ගේ ගෙවල්. ගේ ඉස්සරහ පාරට ගිහින් හිටගත්තම ඈත පන්සල පේනවා. පන්සල් වත්ත නම් එළකිරි. ආයේ හෝදන්න දෙයක් නෑ. එතැනට ගියාම හිතට අමුතු ගතියක් දැනෙනවා. අපේ නෑනාවයි, සුදුවයි මෙහෙ ගෙනාවොත් ගෙනියන්න සෑහෙන ට්‍රයි එකක් දෙන්න වෙනවා. සීයයි ආච්චියි ඊට එහා. දැන් මෙහෙට ඇවිත් මාසෙකටත් ළඟයි. අයියට මාව හොයලා හොයලා එපා වෙලා ඇති. සාදිට නම් පිස්සු වගේ ඇති. ඉඳුවරලාගේ ඔපරේෂන් එක කොහොමද දන්නේ නෑ. එක වෙලාවකට සාදිට කෝල් එකක් දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා. එදා ඕෆ් කරපු හෑන්ඩ් ෆෝන් එක තාම එහෙම්මමයි. ඒ මඟුල තියෙනවද දන්නෙත් නෑ.

නෙළුම් නම් කියන්නේ ඕන තරම් කල් මෙහෙ ඉන්න කියලා. ඒත් ඉතින් ඒ මිනිස්සුන්ට හැමදාම වද දෙන්න පුළුවන්යැ. හිඟන්නගේ පාත්තරේට හෙනහුරා කඩාන් වැටුණා වගේ වැඩක්නේ ඒ මිනිස්සුන්ටත් වුණේ. නෙළුම්ලාගේ අම්මයි, අප්පච්චියි නම් එළමකිරි. නංගිත් බොක්ක. නෙළුම්ට රස්සාව හම්බවුණාට පස්සේ තමයි මේ පවුල ඔළුව උස්සලා තියෙන්නේ.

"ආ.. ක්‍රිෂී, බර කල්පනාවක වගේ."

පිටිපස්සෙන් ඇහුණේ ටිකක් නුපුරුදු කටහඬක් හින්දා මාව ගැස්සිලා ගියා. මේ පැත්තේ කවුද මගේ නම කියලා කතා කරන්න ඉන්නේ? පිටිපස්ස හැරුණම හිටිය කෙනාගේ කටහඬ මට නුපුරුදු වුණාට ඒ රූපය නම් මට ඕන තරම් හුරුයි.

"ආ... භානුක, කවද්ද ආවේ?"

"අද උදේ ක්‍රිෂී.. ආපු වෙලාවේ ඉඳන් නිදා ගත්තා. කොළඹ කොච්චර නිදා ගත්තත් ගමේ තරම් ගතියක් නෑ."

ඒ කිව්ව කතාවට නම් භානුකගේ කටේ සීනි බෝල අහුරක් දාන්න වටිනවා.

"තියෙනවා නම් දානවකෝ හලෝ."

"නෑනේ භානුක. ඕනේ නම් වැලි අහුරක් දාන්නද....?"

"වැලි නම් ඉතින් ඔයා දාන්න ඕනෙද, මමම දාගන්නම්කෝ. ඒක නෙමේ ක්‍රිෂී මොනවද මෙතැනට වෙලා කල්පනා කරන්නේ?"

"ඇයි භානුක දන්නේ නැද්ද...?"

"මොනවද...?"

"අනේ... අනේ... අද රටේ ලෝකේ වෙන දේවල් දන්නේ නැත්නම් කොහොමද දොස්තර මහත්තයෝ අනාගතේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ...?"

"රටේ ලෝකේ වෙන දේවල් ලෙඩ වලට සම්බන්ධ නෑනේ ක්‍රිෂී..."

"ඇයි නැත්තේ...?"

"හරි එහෙනම් කියන්න කොහොමද සම්බන්ධ වෙන්නේ?"

"ඇයි දෙයියනේ ඕන පොඩි එකෙක් දන්නවනේ..."

"මොනවද...?"

"දේශපාලුවන්ගේ බොරු පොරොන්දු හින්දා කී දෙනෙක් මිනිස්සුන්ට හාට් ඇටෑක් හැදෙනවද? සීනි මිල අඩු වුණාම කී දෙනෙක් මිනිස්සු දියවැඩියාකාරයෝ වෙනවද? ඔය වගේ රටේ ලෝකේ වෙන දේවල් කොච්චර ලෙඩ වලට මුලද...?"

"ක්‍රිෂීට විකාර..."

"හරි... හරි... අපිට විකාර..."

"දැන් මොනවද ඔයා මට කලින් කියන්න ගියේ?"

"ආ... භානුක දන්නේ නැද්ද, ලංකාවේ කොණේම ඉඳන් අහස කඩන් වැටෙන්න අරගෙනලු. මම මේ කල්පනා කර කර උන්නෙ මේ පැත්තත් කඩන් වැටෙන්න ගත්තොත් අහසට මුක්කුවක්වත් ගහනවද කියලා."

"අයියෝ... ක්‍රිෂී... ඔයාට නම් පිස්සු, නැත්නම් ෂෝක්."

"ඕක මේ හැමෝම කියන දෙයක්නේ."

භානුක මගේ මූණ දිහාම බලන් ඉන්නවා මම හොරෙන් දැක්කා. ඉස්සර ඉඳන්ම අපේ උන් කිව්වේ මට පිටිපස්සට ඇස් තියෙනවා කියලා. ඇයි ඉතින් මම හොරෙන් බැලුවට ඒක කාටවත් පේන්නේ නෑ. ඒත් වෙන කෙනෙක් මං දිහා හොරෙන් බැලුවොත් මට ඒක පේනවා. භානුකගේ මූණේ නම් තිබුණේ තනිකරම අනුකම්පාවක්. ඒත් ඒ මොකටද.....?

"භානුක, මොකද ඔහොම මගේ දිහා හොරෙන් බලන්නේ.....?"

මම පොල්ලෙන් ගැහුවා වගේ අහපු ප්‍රශ්නයට භානුක අප්සට් යයි කියලා හිතුවත් ඒක එහෙම වුණේ නෑ. ඒ මූණට ලස්සන හිනාවක් ආවා.

"ක්‍රිෂී, ඔයා මෙහෙ ඇවිත් ඉන්න හේතු ඔක්කොම නෙළුම් මට කිව්වා. හැබැයි ඒ ඔයා එන්න කලින්. ඔයාගේ ජීවිතේ නෙළුම් නංගි දන්න හැමදේම මමත් දන්නවා. මම නෙළුම්ට ඉන්න එකම යාළුවා. ඒ වගේම සහෝදරයා. මම ඇරුණම නෙළුම් ආශ්‍රය කළේ ඔයාව. මම දන්නවා ඔයා ගොඩක් වේදනාවෙන්, දුකෙන් ඉන්න කෙනෙක් කියලා. හැබැයි ඒ දුක හංගගෙන හිනා වෙලා ඉන්න ඔයා නියමෙට දන්නවා. ඒ අතින් ඔයා සුපිරි. අඩුම තරමේ මටවත් බෑ දුකක් තියෙනවා නම් හිනා වෙලා ඉන්න. මට ඔයා ගැන පුදුම හිතුණා. ඒකයි මම ඔයා දිහා පුදුමෙන් වගේ බලන් උන්නේ."

"ඒකත් එහෙමද? නෙළුම්ටත් කට පියන් ඉන්න බෑනේ."

"ඒක නෙළුම්ගේ වරද නෙමේ ක්‍රිෂී. ඒ එයාගේ පුරුද්ද. මට කිව්වට එයා වෙන කාටවත් කියන්නේ නෑ. අපි දෙන්නා එක කුසේ උපන් අයියයි නංගියි නොවුණට ඊට වඩා සහෝදරකමක් තියෙනවා. එයාට රහසක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් මමත් දන්නවා."

"ඔයාලා දෙන්නා මායි අපේ අයියයි වගේ."

"ඉතින් ඒ තරමටම ළඟින් හිටිය අයියව දාලා ඔයාට මෙහෙට වෙලා ඉන්න පුළුවන්ද...?"

"බෑ නම් තමයි. ඒත් කරන්න වෙලා තියෙනවා භානුක."

"ඔයා කොච්චර චණ්ඩියෙක් වගේ කියෙව්වත් ඔයත් ඉන්නේ ප්‍රශ්නෙන් පැනලා ගිහින් ක්‍රිෂී."

"මන්දා භානුක. මට කවදාවත්ම බෑ ඉඳුවර වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා බලන්න. ඒකයි. එයා මාව කවුද කියලා දැන ගන්න කලින් මම එහෙන් ආවේ."

"ඔයා එයාගෙන් විතරක් නෙමේ. ඔයාට පණ වගේ ආදරය කරන පවුලේ අයගෙනුත් පැනලා ඇවිත් ඉන්නේ ක්‍රිෂී."

"මම මෙහෙට ඇවිත් ටිකක් හරි සැනසිල්ලේ ඉන්නවා. ඒත් එහේ හිටියා නම් හැමදාම දුක තමා."

"ඔයාගේ සැනසිල්ල හොයාගෙන ඔයා මෙහෙ ආවාට, ඔයාට සැනසිල්ල ලැබිලද කියලා හොඳට හිතලා බලන්න. ඔයා සැනසිල්ල සොයාගෙන ඇවිත් තියෙන්නේ ගොඩක් අයගේ සැනසිල්ල නැති කරලා."

"ඒක මම පිළිගන්නවා. ඒත් මම ආයේ එහේට යන්නේ නෑ නෑමයි."

"ඒක ඔයාගේ තීරණයක්. අපි ඔයාට බල කරන්නේ නෑ. අනික අපේ මාමටයි නැන්දටයි ඔයා බරකුත් නෙමේ. ඒත් මම කියන්නේ අපි ආදරේ කරන කෙනාට නෙමේ, අපිට ආදරය කරන කෙනාට ළං වෙන්න බලන්න. එතකොට ආදරේ හින්දා වේදනා විඳින්න වෙන්නේ ගොඩක් කලාතුරකින්."

කතාව ගොඩක් රෝන් යනවා කියලා හිතන හින්දා මම සද්දේ වහ ගත්තා. ඕවට උත්තර දෙන්න ගියොත් තව හොඳ උපදෙස් ටිකක් හම්බවෙයි.

භානුක ඇඳගෙන හිටියේ අත් කොට ටී ෂර්ට් එකකුයි ආමි කලර් ත්‍රික්වාටර් එකකුයි. ෂර්ට් එකේ අත් කොට හින්දා එයාගේ අත් දෙක පැහැදිලිව පේනවා. භානුකගේ දකුණු අතේ වැලමිටට චුට්ටක් පහළින් ටිකක් ලොකු කළු ලපයක් තියෙනවා මම දැක්කා. ඒ ජාතියම කළු ලපයක් මගේ දකුණු අතේත් එතැනම තියෙන හින්දා මට ගොඩක් පුදුමයි. මම භානුකගේ අත දිහා බලන් ඉන්නවා දැක්ක හින්දද කොහේද, එයත් එයාගේ අත දිහා හොඳට බැලුවා.

"ඇයි ක්‍රිෂී....?"

"නෑ දොස්තර මහත්තයෝ, කැලැල දිහා බැලුවේ..."

"ආ... ඒක මම ඉපදුණ දවසේ ඉඳන් තියෙන එකක් ක්‍රිෂී."

"ඒකත් එහෙමද..... ඔය වගේම එකක් මගේත් ඔය අතේම ඉපදුණ දවසේ ඉඳන්ම තියෙනවනේ."

මගේ අත දික් කරලා භානුකට පෙන්වන ගමන් මම කියාගෙන ගියා.

"ෂා..... මාරයිනේ. එකම වගේ....... මේ විදියට ගොඩක් පිහිටන්නේ ටුවින්ස්ලාගේ."

"අනේ යනවා හලෝ යන්න. භානුක කොහොමද එහෙම කියන්නේ?"

"ඇයි ක්‍රිෂී මම නොදන්නේ? මම දොස්තර කෙනෙක් කියලා අමතක වුණාද...?"

"එහෙනම් අපි දෙන්නා පෙර ආත්මේ කිඹුල්ලු වෙන්න ඇති."

භානුකගේ පිටට එකකුත් දීලා මම ගොඩක් හයියෙන් හිනා වුණා. මම කොච්චර විහිළු කතා කිව්වත් භානුකගේ මූණට නම් හිනාවක් ආවේ නෑ. එයා ලොකු කල්පනාවකට වැටුණා කියලා නම් පේන්න තිබ්බා.

"ඇයි භානුක...?"

"නෑ ක්‍රිෂී, මුකුත් නෑ..."

"මුකුත් නැත්තේ කොහෙද භානුක, ඔයා ඔය හොඳට ඇඳගෙන ඉන්නේ. ඔයා මුකුත් නැතුව හිටියා නම් මට නූල් බඳින්න නූල් කම්පැනි එකක් ගෙනාවත් මදි වෙනවනේ."

"ඒකත් ඇත්ත නේන්නම්.. මටත් පිස්සුනේ."

"හරි හරි භානු… ඒක නෙමේ, කොහොමද දැන් අම්මට කියන්නකෝ. මට දවස් දෙක තුනකින් එහේ යන්නත් බැරි වුණා."

"අම්මට ඒ හැටි හොඳක් නෑ ක්‍රිෂී. කොහොමත් තව වැඩි කාලයක් අල්ලා හිටින එකක් නැහැ."

භානු ඒ ටික කිව්වේ නම් මාරම අවුලෙන්. ඒ කියන්නේ ඊළඟට භානු තනි වෙනවා කියන එකද...?

"හොඳ කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද භානුක....?"

"මම අපේ සර් එක්කත් කතා කළා ක්‍රිෂී. එයා තමා මේ සම්බන්ධයෙන් ඉන්න හොඳම දොස්තර. සර් හැම තිස්සෙම කියන්නේ බලාපොරොත්තු තියාගන්න කියලා. ඒත් මම දන්නවා ක්‍රිෂී, පිළිකාවක් කියන්නේ පැතිරුණාට පස්සේ හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙමේ. ඒක දැන් හැමතැනම පැතිරිලා තියෙන්නේ. කොච්චර බේත් කළත් වැඩක් නෑ. දවසින් දවස දුර්වල වෙනවා. අපිට කැම්පස් එකේදී ඒ හැම දෙයක්ම උගන්වනවා. ඒක කරුමෙට හැදෙන ලෙඩක්."

"මරණයේ වේදනාව මම හොඳට දන්නවා භානු. අම්මයි තාත්තයි නැති අඩුවත් හොඳට දන්නවා. මම අම්මා තාත්තා නැතිව චූටි කාලේ ඉඳන්ම ජීවත් වුණා. ඔයාගේ අම්මා ඔයාට යන්න මාර්ගය පෙන්වලා දීලා තියෙන්නේ. ඒ හින්දා ඔයා එයාගේ හිත හැදෙන්නවත් හරියට ජීවිතේ හදා ගන්න."

"ඒ හැමෝම මේ ලෝකෙට එන්නේ තනියමනේ. ඒ වගේම ජීවිතේට මූණ දෙන්න ඕනෙත් තනියම. මගේ කියලා බදාගන්නේ නැතිව හිටියම දුක අඩුයි. අපි ජීවත් වෙනකොට ඕනම දෙයක් පස්සේ ඕනාවට වඩා දුවන්න හොඳ නෑ. මව් සෙනෙහස පස්සේ වුණත්."

"ඒ කියන්නේ දැන් භානු ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ?"

"ගොඩක් දුරට නෙවෙයි, ටිකක් දුරට. ඉපදෙන ඕනම කෙනෙකුට මරණය පොදු ධර්මතාවයක්, අපි අඬලා වැඩක් නෑ. අපේ අම්මා මේ ජීවත් වෙන ටික කාලේ මම එයාව ගොඩක් සතුටින් තියනවා. දැන් මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි. අම්මව දකින දකින ගාණේ ඒ වේදනාව මගේ හිත පාරවනවා ක්‍රිෂී. අපේ කෙනෙක් අපි දන්නෙම නැතුව එක පාරටම මැරිලා යනවට වඩා, හෙට අනිද්දා අනිවාර්යයෙන්ම මේ කෙනා මැරෙනවා කියලා දැනගෙන ඒ කෙනා දිහා බලන කොට එන වේදනාව කියන්න ලෝකේ භාෂාවන් ගොඩක් තිබ්බත් ඒ එකකවත් වචන නෑ ක්‍රිෂී. මගේ අම්මත් මේ හැමදේම දන්නවා. ඒත් එයා නොදන්නවා වගේ ඉන්නවා. මාමලා ඉන්න හින්දා තමා එයා හිත හදාගෙන තියෙන්නේ. අපේ අම්මාගේ නම් කැමැත්ත මායි නෙළුම් නංගියි කසාද බඳින එක. ඒත් අපි අතරේ එහෙම බැඳීමක් නෑ. ඒ දේවල් ගැන හිතලා අපේ සහෝදරකම චූටි පලුද්දක්වත් කර ගන්න අපි දෙන්නා කොහොමත් කැමති නෑ."

භානුකගේ හිත සැනසෙන්න කියන්න මම ළඟ එක වචනයක්වත් තිබුණේ නෑ. ජීවිතේ යථාර්ථය ළඟ මම වගේම භානුත් ගොඩක් අසරණ වෙලා තිබ්බා. මගේ හිතට දැනුණ අසරණ හැඟීම හිතේ හිර කරගන්න ගමන් මම කතාව වෙන පැත්තකට හැරෙව්වේ, මේ මාතෘකාව තව දිගට ඇඳීලා ගියොත් භානුකගේ වේදනාව තව තවත් වැඩි වෙන හින්දා.

"භානුකයි නෙළුම් නංගියි අතරේ තියෙන්නේ සහෝදර බැඳීමක් නම්, භානුකගේ හිත ගිය කිසිම කෙල්ලෙක් මේ පෘථිවි තලයේ නැද්ද...?"

මම අහපු ප්‍රශ්නයට භානු උත්තර දුන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. හිතට ආපු වේදනාවක් හිර කර ගන්න එයා ඇතුළතින් සෑහෙන ට්‍රයි එකක් දෙනවා කියලා මට තත්පරයට තේරුණා. භානුගේ හිත රිදෙයි කියලා මාතෘකාව වෙන පැත්තකට හැරෙව්වට, බලන් යනකොට ඒකෙන් ඊට වඩා හිත රිදෙයි වගේ.

"මම ඔයාගෙන් ඇහුවේ වැරදි ප්‍රශ්නයක් නම්, ඔයා මට උත්තර නොදුන්නට කිසිම තරහක් පරහක් මගේ හිතේ නෑ භානු."

"නෑ ක්‍රිෂී, එක අතකින් මේවා කාට හරි කියලා හිත නිදහස් කර ගත්තම ඉවරයි."

"කාටම හරි කිව්වම ඔයාගේ හිතට ගැම්මක්, කූල් එකක්, සැනසිල්ලක් එනවා නම් ඔයා කියන එක හෙට උදේ ඉර පායනකම් හරි අහන් ඉන්න මම රෙඩි."

"මම ගර්ල් කෙනෙකුට මගේ පණටත් වඩා ආදරේ කළා. ඒත් වැරදි වැටහීමක් හින්දා එයා මගෙන් ඈත් වුණා. ඒක එයාට කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් එයා ඒක තේරුම් ගන්නේ නෑ. අන්තිමට වුණේ දෙන්නම හිත රිද්දගෙන දෙපැත්තකට වෙච්චි එක. අද එයා එහේට වෙලා දුක් විඳිනවා, මම මෙහේට වෙලා දුක් විඳිනවා. මම දන්නවා එයා අවංකවම ආදරේ කළේ මටම විතරයි. ඒත් එයා මාව හරියට තේරුම් අරන් තිබ්බේ නෑ. ආදරේ වැඩිකම හින්දම එයා දැක්ක දෙයින් එයා ගොඩක් කලබල වුණා. අන්තිමට එයාම තීරණය කරලා එයාම මගෙන් ඈත් වුණා. මම අදත් බලන් ඉන්නේ එයාට වැරදුණ තැන නිවැරදි කරලා දෙන්න චාන්ස් එකක් එනකම්."

"ඉතින් එයාගේ හිතට වැරදි වැටහීමක් එන්න ඔයා කරපු වරද මොකක්ද...?"

"තවත් ගර්ල් කෙනෙක් එක්ක පාරේ ගිය එකයි, ඒ ගර්ල්ගේම අතින් අල්ලගෙන බීච් එකේ රැල්ල පෑගපු එකයි."

"ඉතින් මෝඩයෝ ඒක වැරදියිනේ. තමන්ට ආදරේ කරන්න කෙල්ලෙක් ඉද්දී, භානු මොකටද වෙන කෙල්ලෙක් එක්ක බීච් ගියේ...?"

මම භානුගේ මූණටම කිව්වම භානුකගේ මූණට අහිංසක හිනාවක් ආවා. ඇත්තටම ඒ අහිංසක හිනාව දිහා බලාගෙන භානු වැරදිකාරයෙක් කියලා හිතන්න මගේ හිත චුට්ටක්වත් ඉඩ දුන්නේ නෑ.

"ඔයා දැන් හිතුවා වගේම තමයි එදා එයා හිතුවෙත්. මම හිතන්නේ ඒක සමස්ත ගෑනු සංහතියේම රෝගයක්ද කොහේද."

"ඉතින් භානු කියන විදියට ඔයා කරලා තියෙන්නේ වැරැද්දක් නෙමේද?"

"ඒක වැරැද්දක් වෙන්නේ මම ඒ ගෑනු ළමයත් එක්ක සම්බන්ධයක් තියෙනවා නම්නේ ක්‍රිෂී."

"ඒත් දකින අයට හිතෙන්නේ එහෙමනේ මනුස්සයෝ."

"ක්‍රිෂී… ඇයි මේ සමාජේ අයියා කෙනෙක්ට නංගි කෙනෙක් එක්ක පාරේ යන්න බැරි? ඒ වගේම නංගි කෙනෙක්ගේ ආසාවට බීච් එකට එක්කන් යන්න බැරි? මේ සමාජේ එච්චරටම අන්ධද ක්‍රිෂී? ඔයාටත් අයියා කෙනෙක් ඉන්නවා. කවුරු හරි ඔය දෙන්නා ගැනත් වැරදි ඇහැකින් බැලුවොත් ඔය දෙන්නා මොකද කරන්නේ...?"

භානුගේ ප්‍රශ්නය ගාව නම් මාව කරකවලා අත හැරියා වගේ වුණා. මට දෙන්න කිසිම උත්තරයක් තිබුණේ නෑ. නිශ්ශබ්දතාවය හින්දමද කොහේද භානු ආයේ කතාවට එන්ටර් වුණේ.

"ඔයාට දෙන්න උත්තර නෑ නේද ක්‍රිෂී ..... ඒත් එදා එයාට නම් දෙන්න උත්තර ගොඩක් තිබුණා."

"හරි දැන් ඔයා කියන ඔයාගේ නංගි කවුද....?"

"වෙන කවුරුත් නෙමේ ක්‍රිෂී, ඔයාගේම යාළුවා නෙළුම්.."

"ඕ... මයි ගෝඩ්, එතකොට මේ ඔක්කොම ඔය දෙන්නව දැකලද...?"

"ඔව් ක්‍රිෂී.... එදා නෙළුම්ට ඇඳුම් වගයක් ගන්න ඕනේ කිව්වා. එයා මොනවද කොළඹ ගැන දන්නේ? ඒකයි මම එක්කන් ගියේ. අනික එදා බීච් ගියෙත් අපේ පවුල් වල ඔක්කොම. නෙළුම්ට රැල්ල පාගන්න යන්න බයයි කිව්වා. ඒකයි මම එයාගේ අතින් අල්ලගෙන රැල්ල පෑගුවේ. එයාලා ගෙවල් ඇතුළේ හැදුණ ළමයි. එයාලට නගරේ ගෑනුන්ට වගේ හැමදේම කරන්න බෑ. අනික ඉතින් නංගිගේ අතින් අල්ලගෙන රැල්ල පාගන්න අයියට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑනේ."

"ඔයාගේ පැත්තෙන් ඔයා හරි භානු. ඒත් ඔයාගේ ගර්ල්ගේ පැත්තෙන් ගත්තොත් එයත් හරි."

"ඔයා කොහොමද එහෙම කියන්නේ? එයාට තිබ්බා මම මොනාද කියන්නේ කියලා චුට්ටක් අහලා ඔය තීරණය ගන්න."

"ආදරේදී අපි කවුරුත් ආත්මාර්ථකාමීයි භානුක. හරි අපි මෙහෙම හිතමුකෝ. ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලන් බීච් එකේ රැල්ල පාගනවා දැක්කොත් ඔයා කරන්නෙත් එයා කරපු දේමනේ. ඔයත් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නෑ, එයාට කන් දෙන්නේ නෑ. කොච්චර උගත් මිනිස්සු වුණත් ආදරේ වගේ දේකදී තීරණ ගන්නේ පොඩි උන් වගේ. හරිම බොළඳයි. කිසිම විදියකින් තමන් වැරදියි කියන්න එයාලා කැමති නෑ. දැක්ක දේ ඇත්ත කියලා ඔප්පු කරන්නමයි හදන්නේ. ඕවා ඇති වෙන්නේ පැහැදිලිවම ඊර්ෂ්‍යාව නිසා. මම හරිද...?"

මගේ කතාවට භානු මුකුත්ම කිව්වේ නෑ. එයා ඒ වෙනුවට කිව්වේ වෙනම කතාවක්. හැබැයි ඒ කතාව මට ගොඩක් වැදගත් වුණා.

"එයා හැමතිස්සෙම හිතන්නේ නීතිමය පැත්තෙන්. එයාට ජීවිතේ හරියට නඩුවක් වගේ. එයා ලෝ ෆැකල්ටියේ හිටියට වඩා හොඳයි නිකම්ම නිකම් ගමේ කෙල්ලෙක් වුණා නම්. එහෙම නම් අපි අතරේ මෙහෙම කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. අපිට ගොඩක් සතුටින් ඉන්න තිබුණා ක්‍රිෂී..."

භානුක ඒ කිව්ව කතාවට හරියට මගේ ඉස්සරහට බැහැල නැති හෙන ගෙඩියක් පාත් වුණා වගේ මට දැනුණා. අකුණේ සැර වැඩිකමටද කොහේද එතැනම අඹ ගහේ බැඳලා තිබුණ ඔන්චිල්ලාව උඩ මාව ඉඳවුණා.

මේක ජීවිතේට වෙන්න පුළුවන් දෙයක්ද....? භානු මේ කියන හැම කතාවක්ම සාදිගේ කතාවට සම්බන්ධයි නේද කියලා මට මතක් වුණේ ඒ වෙලාවේ. සාදි කිව්ව විස්තර එක්ක බලද්දී භානුගේ හැම විස්තරයක්ම එකට එකක් ගැලපෙනවා. භානුට ඉන්නේ අම්මා විතරයි. භානුකත් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට මේ බීච් එකේ සීන්, මේ හැම දෙයක් දිහාම එකම කෝණයකින් බැලුවොත් භානුක කියන්නෙත් මදුෂිත් කියන්නෙත් එක්කෙනෙක්ටමද කියන ප්‍රශ්න මගේ හිතේ හොල්මන් කරන්න ගත්තා.

"ක්‍රිෂී ... ඇයි අසනීපයක්ද...?"

මම එක පාරටම අප්සට් ගියා කියලා භානුට තේරිලා තිබ්බා. බලන් යද්දී භානුත් මාර මීටරේ. හැම දෙයක් ගැනම ඇහැ දාගෙන ඉන්නේ. මගේ හැකියාවන් සේරම මේ මනුස්සයටත් තියෙනවා. මම හිතුවේ දෙයියෝ මේ හැකියාවන් දීලා තියෙන්නේ ක්‍රිෂීට විතරයි කියලා.

"නෑ භානු .... මට චුට්ටි කලන්තයක් වගේ ඇල්ලුවා ඒකයි."

"ඇයි උදේට කෑවේ නැද්ද...?"

"අපෝ හොඳට බඩ කට පිරෙන්න ඉඳි ආප්ප පනහක් විතර ගිල්ලා දොස්තර මහත්තයෝ."

මහ හයියෙන් හිනාවෙන ගමන් භානුකගේ සැකය වෙන පැත්තකට හැරෙව්වත්, මගේ හිතේ සැකය නම් එන්න එන්නම වැඩි වුණා. භානුටත් මැරෙන්න හිනා. ඒ හිනාව නම් මාරම ගති. ආයේ හෝදන්න දෙයක් නෑ.

"භානුක, ඔයාගේ ගර්ල්ගේ නම මොකක්ද...? හැමදේම කිව්වට ඒක කිව්වේ නෑනේ."

ටිකක් වෙලා සද්ද නැතුව හිටිය භානුගේ කටින් හෙමීට "මයුමි" කියලා පිට වුණා.

ඔය තියෙන්නේ....... මේ ක්‍රිෂීට වරදින්න විදියක් නෑ. ආයේ මේක සාදියගේ කේස් එක කියලා හිතන්න මට තවත් අටුවාටීකා, ටිප්පණි, උප්පැන්න සහතික, පොලිස් වාර්තා මුකුත් ඕන වුණේ නෑ. ලෝ තියරි වුණාට සාදියගේ සිලෙක්ෂන් නම් එළමකිරි. ලංකාවේ ඉන්න අහිංසකම කොල්ලවද කොහේද මේකි අල්ලගෙන තියෙන්නේ.

බය වෙන්න එපා භානු, ඔයාට ඔයාගේ ආදරේ ලැබෙයි. වැඩේ තියෙන්නේ ඒකට තව ටික කාලයක් ඉවසන්න වෙනවා. මම භානුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ බොක්කේම යාළුවා කියලා අඳුන්වලා දෙන එකේ නම් පොඩි අවුලක් තියෙනවා. එහෙම වුණොත් මම ඉන්න තැන සාදිගේ කනට යන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒකෙන් වෙන්නේ මට මෙහෙ ඉන්න තියෙන එකත් නැතුව යන එක. ඒක හින්දා අකමැත්තෙන් වුණත් මම ගැන නොකියන්න මම තීරණයකට බැස්සා. මොකද මේ යකාට තියෙන තදියමේ හැටියට සාදිගේ තත්ත්වය මූට කිව්වොත් මූ හෙටම සාදි හොයාගෙන යනවා. එහෙම වුණොත් මගේ බෙල්ල මුලටම කොටු වෙනවා.

ඒ පාර ආයේ කල්පනාවක් දාගත්තා. ඇත්තටම ක්‍රිෂී, ඔයාට කල්පනා කරන්නේ නැතුව මනුස්සයෙක් එක්ක පැය භාගයක් කතා කරන්න බැරිද...? වචනයක් කිව්වොත් ඒක දිගේ වාක්‍ය සියයක් විතර හිතනවා.

මේකටත් ඕන නැති රෙද්දක් නෑ. දැන් දීපන්කෝ උත්තර. යම රජ්ජුරුවොවත් මෙහෙම ප්‍රශ්න අහන්නේ නෑ. මම පාර දිහා බැලුවේ නිකමට වගේ. මොනා නැතත් දෙයියෝ මගේ ළඟින් හෙල්ලෙන්නේ නෑ වගේ. ඇයි ඉතින් මාව හිරවෙන හැම වෙලාවකම ඒකෙන් බේරෙන්න උපක්‍රමයක් මගේ ළඟම තියෙනවනේ. මම ඈත ඉඳන්ම අපි දිහා බලාගෙන හිනාවෙවී එන නෙළුම්ව භානුට පෙන්නුවා.

"අද මෙයා කලින්..."

භානුක කිව්වේ එච්චරයි. ඈත එන නෙළුම් දිහා අපි දෙන්නම බලාගෙනම හිටියා. නෙළුම් වත්ත ඇතුළට ආවේ අපි දිහා බලාගෙනමයි. මේ මොකද මේ අවුරුදු සිය ගණනකින් දැකලා නෑ වගේ බලන්නේ...

"මොකෝ කන්න වගේ බලන්නේ..?"

මම අහන්න හදපු ප්‍රශ්නය නෙළුම්ගෙන් ඇහුවේ භානුක.

"නෑ භානු අයියා, මට හරි පුදුමයි. මම ඈත ඉඳන්ම බලාගෙන ආවේ, ඔය දෙන්නා එකට ඉන්නකොට සහෝදරයෝ වගේ. මුහුණුවරත් ගොඩක් දුරට එක සමානයි. මට හිතා ගන්න බෑ. අඩුම තරමේ භානු අයියා මම වගේවත් චුට්ටක්වත් නෑ ...ඒත්…"

"ඒත්" කියලා නෙළුම් කතාව නැවැත්තුවා.

"ඇයි නෙළුම් කතාව නැවැත්තුවේ...?"

"නෑ ක්‍රිෂී අක්කේ, ඔය දෙන්නගේ හිනාවත් එකම වගේ. හිනා වෙන කොට දෙන්නගේම මූණේ පැත්තක් වළ ගැහෙනවා. මට හරි පුදුමයි."

"එච්චර විතරක් නෙමේ නෙළුම් පුදුම වෙන්න තවත් දේවල් තියෙනවා."

භානුක මගේ අත අරගෙන නෙළුම්ට පෙන්වන ගමන් හිනා වුණා. එතකොට තමා මම දැක්කේ මගේ වගේම භානුගේ මූණත් හිනාවෙනකොට වළ ගැහෙනවා කියලා.

නෙළුම් නිකම් යකෙක් දැක්කා වගේ මං දිහා බලන් උන්නේ. ඇත්තටම එකිනෙකාගේ මූණ දිහා බලන් හිටියා මිසක් කාටවත්ම කතා කරන්න වචන ආවේ නෑ. අන්තිමට මම කතාව ස්ටාර්ට් කළා.

"සමහර විට මේක පෙර ආත්මේ ඉඳන් එන දෙයක් වෙන්න ඇති නෙළුම්. පෙර ආත්මේ අපි සහෝදරයෝ වෙන්න ඇති. ඒකයි. ඒක ගැන වැඩිය හිතන්න එපා."

මම එහෙම වචනයක් දැම්මම නෙළුම් නම් රිලැක්ස් වුණා කියලා තේරුණත්, භානුක ඒක ගැන ගොඩක් හිතනවා කියලා එයාගේ මූණෙන් තේරුණා.

"මම වොෂ් එකක් දාගෙන එන්නම් අක්කේ."

නෙළුම් ගේ පැත්තට දිව්වත් භානුක තාම මේ ලෝකෙට ආව පාටක් පේන්න තිබ්බේ නෑ.

"හරි පුදුමයි නේද ක්‍රිෂී…?"

"පුදුම වෙන්න දෙයක් නෑ භානු. පුනර්භවය කියලා දේකුත් මේ විශ්වයේ තියෙනවනේ. ඕක ගැන එච්චර හිතන්න එපා. එහෙම වුණොත් අපිට පිස්සු පීකුදු වෙනවා. ඒක නෙමේ ඔයාගේ ලව් එකේ විස්තරේ නෙළුම් දන්නවද?"

"නෑ ක්‍රිෂී, එයා හිතන් ඉන්නේ තාම අපේ ලව් එක තියෙනවා කියලා."

"ඒකත් එහෙමද... ඇයි ඉතින් ඔයා නෙළුම්ට නොකිව්වේ...?"

"මම කැමති නෑ ක්‍රිෂී අපේ ලව් එක බ්‍රේක් වුණේ එයා හින්දා කියලා එයා දැනගන්නවට. ඒක ඒ පුංචි කෙල්ලගේ හිතට කොහොමත් දරා ගන්න බැරි වෙයි. ඒ කෙල්ල ගැන මම හොඳට දන්නවා. පුංචි දෙයක් ගැන වුණත් නෙළුම් ඕනාවට වඩා හිතනවා. මේක කිව්වොත් කෙල්ල කලබල වෙයි. ඒකිගේ හිත තාම පුංචි එකෙක්ගේ වගේ. හරිම බොළඳයි. අහිංසකයි."

"ඇත්තටම භානුක, ඔයා හරිම හොඳ කොල්ලෙක්. අද ඉඳන් ඔයා මගේ දෙවෙනි අයියා කියලා මම හිතා ගන්නවා ඩියර්."

"ඔයාට කවුරු නැතත් මම ඉන්නවා ක්‍රිෂී…"

****** 

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."   

Next Episode

 

Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1