දඟකාර ආඩම්බරී 11

 
11 වන දිගහැරුම

"මම නම් කියන්නෙ අක්කා ජොබ් එකකට යන්න ඕන නෑ. ඔය තියෙන විදියකට කාලා ඇඳලා ගෙදරට වෙලා ඉන්න."

"එහෙම බෑනෙ නෙළුම්. ඔයාලගෙ ගෙදරිනුත් හම්බ කරන්නෙ ඔයා විතරයි. ඉතින් තවත් මම මෙහෙ ඉන්නව නම්, ඔයාලට මගෙන් පොඩි හෙල්ප් එකක්වත් තියෙන්න ඕනා."

"ඒත් ක්‍රිෂි අක්කෙ මම කියන දේ අහන්න. මම හොඳටම දන්නවා ඔයාට රස්සාවල් කරලා පුරුදු නෑ."

"අමාරුවෙන් හරි පුරුදු වෙන්න ඕනනෙ නංගි. ඔයාලට බරක් වෙවී තවත් මට මෙහෙ ඉන්න බෑ. එක්කො රස්සාවක් කරන්න ඕනා, නැත්නම් මෙහෙන් යන්න ඕනා."

"මෙහෙන් යන්න? ඔයාට පිස්සුද ක්‍රිෂි අක්කෙ..."

"ඒක තමා මැට්ටියෙ කිව්වේ, තවත් මම මෙහෙ ඉන්න ඕන නම් රස්සාවක් කරන්න ඕනනෙ සුදු."

"ඔයා අපිට බරක් නෙමේ දුවේ." මෙච්චර වෙලා උළුවස්සට හේත්තුවක් දාගෙන හිටිය නෙළුම්ලගෙ අම්මා 'ස්පීකර් එක ඔන් කළා'.

"ඒත් ආන්ටි..."

"නෑ දුවේ. ඔයා රස්සාවක් කරන්න ඕනෙ නෑ. අපේ දුවට කරපු උදව්වට අපි දුවට සළකන්න ඕනා මෙහෙම නෙමේ. හරිනම් දෙයියෝ බුදුන් අදහනවා වගේ මල් තියලා වඳින්න වටින්නෙ. එදා අපේ දුවට අනුකම්පා කළේ නැත්නම්, රස්සාව හදලා දුන්නෙ නැත්නම්, අපේ දුවට වෙන දේ අපි කාටවත් හිතා ගන්න බැරුව යනව දුවේ. මගෙ කෙල්ලගෙ ලස්සන අනාගතේ විනාශ වෙලා යන්න එදා ඕන තරම් ඉඩ තිබ්බා. ඒ නොදන්න රටේ මගෙ දුව මොනවා කියලා කරන්නද, කාගෙන් කියලා උදව් ඉල්ලන්නද? අද රටේ ලෝකෙ ඉන්න මිනිස්සු මහා දරුණුයි. උන් බලන්නෙ කොහෙන් හරි උන්ට ප්‍රයෝජනයක් ගන්න. ගෑනු දරුවෙකුට වරදින්න වැඩි වෙලාවක් යන්නෙ නෑ මගෙ දුවේ. එදා මගෙ දුවගෙ වෙලාවට ඔයා එතැනට ආවෙ දෙයියො එව්වා වගේ. ඉතින් දුවට උදව් කරන්න දෙයියො අපිටත් අවස්ථාවක් දුන්නා. අපිට ඒකෙන් ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න. දුවත් ගෑනු දරුවෙක්. දුවව ආරක්ෂා කරන එක අපේ වගකීමක්. දුව රස්සා කරන්න ඕන වෙන්නෙ නෑ. අපේ මහත්තයා ගොවිතැන් බත් කරලා හම්බකරන කීයක් හරියි, මේ කෙල්ල හම්බකරන කීයක් හරියි මදෑ අපි හැමෝටම ජීවත් වෙන්න."

ඒ ටික කියලා ඉවර වෙන කොට නෙළුම්ලගෙ අම්මගෙ ඇස් දෙකට කඳුළු ඇවිල්ලා තිබුණා. හරිම සංවේදී මිනිස්සු. ඈත එන නෙළුම්ලගෙ අප්පච්චිව දැක්ක ගමන් නෙළුම්ගෙ අම්මා ඉක්මනට චීත්ත පොටෙන් කඳුළු පිහදා ගත්තා. අපේ අම්මයි තාත්තයි හිටියා නම් මගෙ ජීවිතෙත් එළමකිරි වෙන්න තිබ්බා. දෙයියො හැමදේම සමව බෙදන්නෙ නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට දුක වැඩියි. සතුටින් ඉන්න දුප්පත් මිනිස්සුන්ට සල්ලි නැති ප්‍රශ්න. දෙයියො බෙදන කොට හැමෝටම එකම හැන්දෙන් බෙදුවානම් මොකද වෙන්නෙ? ඇඟෙන් කෑල්ලක් යනවද? එක හැන්දක් ඉතුරු කරලා දෙයියන්ගෙ අනිත් හැඳි ටික ඉස්සුව නම් හරි.

උදැල්ලත් කරේ තියාගෙනම ආපු නෙළුම්ලගෙ අප්පච්චිගෙ අනිත් අතේ පත්තරේකුත් තිබුණා. මේ හිටිය ටික කාලෙට පත්තරයක් ගෙදර ගෙනාපු නැති අංකල්ගෙ අතේ පත්තරයක් තිබ්බ එක නම් මාරම ප්‍රශ්නයක්.

"අප්පච්චි මේ බලන්න. මේ ක්‍රිෂී අක්කා රස්සාවකට යන්න හදනවා." චූටි කාලෙ කවුරු හරි ගහපුවම දුවගෙන ගිහින් තාත්තට කියන චූටි එකෙක් වගේ නෙළුම් තාත්තගෙ ලඟට නඩුව අරන් ගියා.

"අර මක්කටයි ළමයො...?"

"එයා කියනවා එයාව අපිට බරක්ලු, එයත් කීයක් හරි හම්බකරන්න ඕනලු."

"දුව කීයක් හරි හම්බකරගන්නව නම් කමක් නෑ ඒක ඉතිරි කරගන්නව නම්. ඒත්... දුවට රස්සාවකට යන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නෙ."

"ඇයි අංකල් එහෙම කිව්වේ...?"

"මේක බලලා හිටිය නම්." අංකල් මගෙ අතේ පත්තරේ තියලා එක පැත්තක තිබ්බ දැන්වීමක් පෙන්නුවා. මොකක්ද කියලා බලන්න නෙළුම් නංගිත් මගෙ උරහිසට උඩින් ඔළුව දානවා මට තේරුණා.

පත්තරේ තියෙන දැන්වීම දැක්කම මට දෙලෝ රත්වෙලා ගියා. ඒ කියන්නෙ අයියා තාම ගේම් එක අත ඇරලා නෑ. පත්තරේ ලොකු අකුරින් 'සොයා දෙන්න' කියලා දාලා මගෙ ලස්සන ෆොටෝ එකක් දාලා තිබ්බා. යටින් තියෙන විස්තරේ කියෙව්වම මාව ඊටත් වඩා රත් වෙලා ගියා.

"මෙම ඡායාරූපයේ සිටින තැනැත්තිය මීට මාස දෙකකට පමණ උඩදී අතුරුදහන් වී ඇති අතර, භාවනා විහාරී මායාදුන්න (ක්‍රිෂී) යන අයව සොයා දෙන කෙනෙකුට ඇයගේ සොහොයුරා වන භවන්ත සත්‍යජිත් නැමැත්තා විසින් මුදලින් ලක්ෂ පහක ත්‍යාගයක් පිරිනැමීමට සූදානම් බව දන්වමු. මැය පිළිබඳ තොරතුරක් දන්නේ නම් පහත සඳහන් ලිපිනයන්ට, දුරකතනයන්ට හෝ ආයතනයන්ට හැකි ඉක්මනින් දැනුම් දෙන්න."

ඒ විදියට ඉවර කරලා තිබ්බ දැන්වීමේ අන්තිමට ෂොප් එකෙයි, බ්‍රාන්චස් වලයි, ගෙදරයි ෆෝන් නම්බර්ස් ටිකයි ඇඩ්රස් ටිකයි පිළිවෙලකට ලියලා තිබ්බා.

ඉතින් කොහොමද දැන් වළඳන්නෙ? පාත්තරේ බිඳ ගත්තනම් නිකන් හිටු කිව්වලු. අද ඉඳන් මෙහෙන් එළියට බැහිලි බොරු.

"ඕක හැම පත්තරේකම දාලා තියෙනවා. හැබැයි දුවව අඳුනන්න නම් බෑ. මාත් බොහොම අමාරුවෙන් අඳුන ගත්තෙ. ඒත් මේ නම් ගම් දාලා තියෙන හින්දා දුව රස්සාවකට යනවනම් තව ටිකක් කල්පනා කොරලා බැලුවනම් තමා හොඳ."

අංකල් ඒ ටික කිව්වම තමයි මම පත්තරේ තිබ්බ ෆොටෝ එක දිහා හරියටම බැලුවේ. ඇත්ත නේන්නම්. අයියා දාලා තිබ්බෙ මම ඉස්සර ගත්ත ෆොටෝ එකක්නෙ. නියම කොල්ලා. ඇරපු අතක් නෑ. හරිනෙ, මම ලඟකදී ගහපු ෆොටෝ එකක් ගෙදර නෑනෙ. බලන් යනකොට නෙළුම්ලගෙ තාත්තගෙ කොන්ඩෙ පැහිලා තියෙන්නෙත් අකලට නෙමේ. මාර මොළේ. නියමයි ඇලේ දාලා ගත්තනම්.

"ඇත්තටම ක්‍රිෂී අක්කෙ.... ඉස්සර ඔයා කොල්ලෙක් වගේමනෙ."

"එහෙම තමයි සුදූ... හැමදාම එකම විදියට ඉන්න හොඳ නෑනේ..."

"අක්කේ... ඔයාට මියුසික් පුළුවන්ද...?" මෙච්චර වෙලා අපේ කතාවට කණ දාගෙන නවකතා පොතක් එහෙට මෙහෙට පෙරළ පෙරළ හිටිය සුපිපි කතාවට හොට දැම්මා.

"ඔව් සුපිපි... ඇයි එහෙම ඇහුවේ...?"

සුපිපි සද්දයක් බද්දයක් නැතුවම ගේ ඇතුළට ගියා. යකෝ අද කාලෙ කෙල්ලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවට උත්තරේ එළියට එන්න යන වෙලාව. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. කොහොමත් සුපිපි නිහඬ චරිතයක්. පොතක් තියෙනවනම් ඒකෙ ඇලී ගැලී ඉන්නවා මිසක් වචනයක් කතා කරන්නෙ නෑ. ඒකටත් එක්ක නෙළුම් කියවනවනෙ.

ගේ ඇතුළට ගිය සුපිපි ඊළඟ තත්පරේදී එළියට ආවෙ වයලීන් එකකුත් අතේ තියාගෙන. ඒකී වයලීන් එක මගෙ ඔඩොක්කුවෙන් තිබ්බා. මම මේ රස්සාවක් හොයා ගන්න ට්‍රයි කරනවා, මේකී කියන්නෙ මට වයලීන් ප්ලේ කරන්න කියලද?

"මේ භානු අයියගෙ වයලීන් එක. ඊට පස්සෙ මට දුන්නා. දැන් මට ඕක ඕනෙ නෑ. සයන්ස් වල වයලීන් ගහන්න පුරුදු කරනවයැ. අක්කා ඕක ගන්න. අරගෙන පුංචි මියුසික් ක්ලාස් එකක් පටන් ගන්න. මම ළමයි ටික දෙනෙකුත් හොයලා දෙන්නම්. මේ පැත්තෙ හොඳ මියුසික් ක්ලාස් එකක් නෑ. එතකොට අක්කට පුළුවන්නෙ ගෙදර ඉඳන්ම කීයක් හරි හොයා ගන්න. රස්සාවක් කරන්න පිට යන්න ඕන නෑ."

"ඇත්තම නේන්නම්. මේ ගේ ඉඩ මදි නිසා අපි හාමුදුරුවොත් එක්ක කතා කරලා පන්සලේ කරමු." නෙළුම්ටත් මාරම හැපි. ඇත්තම නේන්නම්, නැන්දගෙන් ඉගෙන ගත්ත දෙයින් මෙච්චර කාලෙකට වැඩක් කරගත්තෙ නෑනෙ. මේකට තමා කියන්නෙ ඉගෙන ගන්න කිසිම දෙයක් අහක යන්නෙ නෑ කියලා. කොයිම වෙලේක හරි අපිට ඒවා පිහිට වෙනවා.


දන්නෙම නැතුව මාස හතරක් පහක් ගෙවිලා ගියා. හිතන්නවත් බැරි තරම් ඉක්මනට එදා සුපිපිගෙ වයලීන් එකෙන් පටන් ගත්ත සංගීත පංතියෙ දැන් ළමයි විස්සකටත් වඩා ඉන්නවා. ගමේ මිනිස්සු වුණත් මාත් එක්ක නියම ෆිට් එකක් තියෙන්නෙ. කැපිලි කෙටිලි නෑ. රණ්ඩු නෑ. ඇත්තටම මේ ගම නම් මාරම එකමුතුයි. මෙහෙම ආවට පස්සෙ තාම තුන් හතර පාරකට වඩා මම ටවුන් එකට ගියේ නෑ. කොහොමත් දැන්නම් ගමේ කවුරුත්ම මට මෙහෙන් යනවට කැමති නෑ කියලා මට ශුවර්. ඇයි ඉතින් දහම්පාසලේ වුණත් දැන් මම නැතුවම බැරි චරිතයක් වෙලානෙ. පිට ගමකින් ආව කෙනෙක්ට මෙහෙම සැළකිලි කොහෙන් හම්බවෙන්නද? දැන්නම් ඉතින් මේ ගමෙන් ඡන්දෙ ඉල්ලුවත් එළමකිරි වගේ දිනන්න පුළුවන්. වැඩේ කියන්නෙ මට බොරු පොරොන්දු දීලා පුරුදු නැති නිසා කොහොමටවත් ඒ සබ්ජෙක්ට් එක හරියන්නෙ නැති එක.

මියුසික් එක්කම කාලේ ගෙව්වත් හිත ඇතුළෙ තියෙන වේදනාව සැරින් සැරේ උඩ එනවා. ඒ වෙලාවට මම වයලීන් එකත් අරගෙන අඹ ගහේ තියෙන ඔන්චිල්ලාවට ගිහින් ප්ලේ කරනවා. ඇත්තටම සංගීතය නම් එළමකිරි. මිනිසුන්ට කොච්චර ප්‍රශ්න තිබ්බත් සංගීතෙත් එක්ක ජීවත් වෙන කොට ඒ ප්‍රශ්න හැම එකක්ම අමතක වෙනවා. එහෙම දේවල් අපේ ජීවිතේට තියෙනවා කියලා දැනෙන්නෙත් නෑ.

මොන දේවල් කොහොම අමතක කරත් මට අමතක කරන්නට බැරි එකම දේ මගෙ පවුලෙ කට්ටිය. මම නැතුව කට්ටියටම ජීවිතේ එපා වෙලා ඇති. මෙහෙට ආවට පස්සෙ මට නිකන්වත් ගෙදර ගැන හොයලා බලන්න ක්‍රමයක් නැති වුණානෙ. සුදු සියටයි ආච්චිටයි කොහොමද දන්නෑ. අපි වෙනුවෙන් මැරිලා මැරිලා ටිකක් නිදහසේ ඉන්න හැදුවා විතරයි, මම ඒක කන්න කාලා දැම්මනෙ.

මෙච්චර කාලයකට මට මෙහෙ ඉන්න තිබ්බ එකම ප්‍රශ්නෙ මේ ගෙදරට මම බරක් කියන එක. ඒත් දැන් නම් අවුලක් නෑ. සංගීත පන්තියෙ පිහිටෙන් මටත් මේ මිනිස්සුන්ට උදව්වක් කරන්න පුළුවන් හින්දා මගෙ හිතට බරක් නෑ.

සාදියා අවුල ලිහාගෙනද අනාගෙනද, ඇඟ පුරාම ගාගෙනද දන්නෙ නෑ. භානුක නම් හොඳ කොල්ලා, පුළුවන් තරම් ඉක්මණට මොනවම හරි කරලා දෙන්නව ආයෙ සෙට් කරලා දාන්න ඕන. පව් දෙන්නම දෙපැත්තට වෙලා හිතින් විඳවනවා.

ඉඳුවර නම් දැන් අර ගර්ල්ව හොයාගෙන ගිහින් ඇති. "ඉඳුවර ඔයාට නොකරන උදව් මං ලඟ නෑ" කියලා වැඩ්ඩා වගේ කිව්වට, මම කොහොමද දෙයියනේ ඒක කරන්නෙ? මමත් අනිත් කෙල්ලො වගේම තමයි. මටත් දුක කියන එක හොඳට දැනෙනවා. මටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මට මොනා වුණත් කමක් නෑ. ඉඳුවර ඒ ගත්ත තීරණේ හරි කියලා මට දැන් හිතෙනවා. ඉඳුවර අතින් ඒ ගර්ල්ට කොහොම වැරැද්දක් වුණාද කියන්න මම දන්නෙ නෑ. ඒක ඒ ගර්ල්ගෙ ජීවිතේට බලපෑම් කරන දෙයක් නම් මම ඒ මැද්දට පැනලා ඒ කෙල්ලගෙ ජීවිතේ අඳුරු කරන්නෙ මොකටද? ඉඳුවර අයිති මට නම් කවදාහරි ලැබෙයි. නැත්නම් ඊළඟ ආත්මෙවත් ලැබෙයි. අර භානු කියනවා වගේ මගේ කියලා බදා ගන්නෙ නැතුව හිටියම දුක අඩුයි. "ඉඳුවර වෙන කෙනෙක්ගෙ. ඉඳුවර මගෙ යාළුවෙක් විතරයි" කියලා හිත හදා ගන්න ට්‍රයි කරනවා. හැබැයි වෙන කෙනෙක්ට සෙට් වෙන්න නම් හිතක් නෑ. තනියම ඉන්න කොට දුක නෑ. සංගීත පංතිය තව ටිකක් දියුණු කරගත්ත නම් මට අවුලක් නැතුවම එළකිරි වගේ ජීවත් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ටිකක් ගෙදර පැත්ත ගැන හොයල බලන්න ඕනා. නෙළුම් එක්ක කතා කරලා ඒකිගෙනුත් අහලා මොනා හරි කරලා ගෙදර විස්තර ටික හොයා ගත්ත නම් තව ටිකක් සැනසිල්ලෙ මෙහෙට වෙලා ඉන්න තිබ්බා.

තාම ළමයි කවුරුත්ම ඇවිත් නෑ. කොහොමත් ළමයි එන්න කලින් පන්සලට ඇවිත් එළකිරි වගේ බෝ මළුවට වෙලා ටිකක් ඇවිද ඇවිද ඉන්න එක මගෙ පුරුද්දක්. මේ නිස්කලංක පරිසරය ගැන කියන්න මගෙ ශබ්දකෝෂෙ වචන නෑ.

වෙනදට බුද්ධිකා මේ වෙන කොට එනවා. අද ඒ කෙල්ලත් නෑ. ඇත්තටම බුද්ධිකාට මාර ටැලෙන්ට් එකක් තියෙන්නෙ. ආයෙ හෝදන්න දෙයක් නෑ. එක දෙයක් එක පාරයි කියලා දෙන්න ඕන. බුද්ධිකා ගමේ යමක් කමක් තියෙන පවුලක කෙල්ලෙක්. ඒත් අනිත් ළමයින්ට රැස් දාන්න යන්නෙ නෑ. සල්ලි බලේ පෙන්නන්නෙත් නෑ.

"ක්‍රිෂී මිස්, එක්ස්කියුස් මී..." මම හිටියෙ බෝ ගහ යට. මගෙ පිටිපස්සෙන් ඇහුණෙ බුද්ධිකාගෙ කටහඬ. හැමදාම මුන්ට කියනවා මිස් කෑලි දාන්න එපා කියලා. ඔය වචනෙ මගෙ ශබ්දකෝෂෙ නෑනෙ.

"මම හැමදාම කියනවා නේද මට මිස් කියලා කතා කරන්න එපා කියලා?" මට තද වෙච්ච හින්දා මම බුද්ධිකාගෙ පැත්තට හැරුණෙ කෑ ගහගෙනමයි. ඒත් ඒකි හිටියෙ තනියම නෙමේ. තව කවුද මන්ද අපිට වඩා අවුරුදු තුන හතරක් විතර වැඩිමල් පිරිමි කෙනෙක් එක්ක. පිරිමි කෙනෙක් කිව්වට කොල්ලෙක්. හරිම වැදගත් පාට පොරක්.

"මිස්, මේ මගේ ලොකු අයියා. ඊයෙ ලංකාවට ආවේ. ගෙදරට වෙලා ඇඳ බදාගෙනම ඉන්න හින්දා මම පන්සල් එක්කන් ආවා. අයියා...... මේ අපේ මියුසික් මිස්."

"හෙලෝ... අයිම් විරාජ් විමංස ඇතුගල." මිනිහා ඉංග්‍රීසියෙන්ම මිනිහව මට අඳුන්වලා දුන්නා. මූ හිතාගෙන ඇති මම ගොඩයෙක් කියලා. ඇයි ඉතින් කලිසම එහෙම අත ඇරලා දිගට දිගේ සායටයි බ්ලවුස් එකටයි බැහැලනෙ. අනේ යකෝ පිට රූපෙන් මිනිස්සු මනින්න එපා බං. ආයෙ දෙපාරක් හිතන්නැතුවම මාත් පොරට අතට අත දුන්නා.

"අයිම් භාවනා විහාරී මායාදුන්න."

"භාවනා...? ක්‍රිෂී... ?" මිනිහට හෙන පුදුමයි. ඇස් දෙක නිකන් දැන් බිමට වැටෙයි වගේ.... ඕ.... මෝඩයා. පොර හැදුවේ මාව මඩවන්නනේ.

"ක්‍රිෂි කියන්නෙ මගෙ පෙට් නේම් එක."

"ඕකේ... ඕකේ.."

"අයියා ඔයා මිස් එක්ක කතා කරන්න. මම අර පැත්තට යනවා, සංගීතා එනවා. ක්ලාස් එක පටන් ගන්න ඩෙස්ක් බංකු ටික හදලා එන්නම්." බුද්ධිකා එහෙම කියලා ධර්මශාලාව පැත්තට ගියා.

"විරාජ් අයියා මොන රටේද හිටියේ...?"

"ඉතාලි වල. දැන් අවුරුදු පහක් විතර. ආයෙ යන්න ආවෙ."

"කසාද බැඳලා යන්නද ආවෙ ....... එල එල.. එහෙනම් අපිටත් වෙඩින් කේක් කෑල්ලක් කන්න බැරියැ."

"අනේ නෑ ක්‍රිෂී... ගෙදර අය බලලා යන්න. ඒක නෙමේ ඔයාගෙ ගම කොහෙද? මේ පැත්තෙ කෙනෙක් නෙමේ කියලා නංගි කිව්වා. පුංචිබණ්ඩා මාමලගෙ ගෙදර ඉන්නෙ කියලත් කිව්වා." බලන් යනකොට බුද්ධි ඔක්කොම කියලනෙ.

"ඒත් ඔයා කොහෙද කියලා කිව්වෙ නෑනේ....."

"මම නිගම්බු වල..."

"ඒක තමා මට හිතුණා, ටිකක් නගරබද කෙනෙක් වෙන්න ඇති කියලා. ඉතින් ඇයි මෙහෙට වෙලා ඉන්නෙ?" අනේ අම්මපා මුටත් ඕනෙ නැති දෙයක් නෑනෙ. නිකන් මිනිහා ගෑනිගෙන් ප්‍රශ්න කරනවා වගේනෙ.

"ඇයි ක්‍රිෂී සයිලන්ට්...?"

"නෑ, නෙළුම් මගෙ යාළුවෙක්. අපේ අයියයි අක්කයි රට ගියා. එයාලා එනකම් මම මෙහෙ ඉන්නවා." අනිත් කට්ටියටම කිව්ව බොරුව මම පොරටත් කිව්වා. නැත්නම් මාව මුගෙ සැකේට භාජනය වෙනවා. මොකද මිනිහා මේ ගමේ අනික් මිනිස්සු වගේ නෙමේ කියලා මගෙ හිත මට කිව්වා. ආයෙ දෙකක් නෑ, බෝ ගහ යටම ඉඳගෙන හතරවෙනි සිල් පදේ කැඩුවට මට සමාවෙන්න බුදු හාමුදුරුවනේ. මට වෙන කරන්න දෙයක් නෑ.

"කොහෙද රට...?"

"සිංගප්පූර්."

"ඉතින් ඇයි ඔයා නොගියේ...?"

"මට ලංකාව හැර කොහේවත් අල්ලන්නෙ නෑ. ඒකයි."

"ඉතින් අම්මා තාත්තා ලඟට වෙලා ඉන්න තිබ්බනේ. ඇයි මේ හද්දා ගොඩේ පැත්තට වෙලා ඉන්නෙ...?"

"මගෙ අම්මයි තාත්තායි දෙන්නම මැරිලා. අනික මේ වගේ ලස්සන ගමකට ගොඩේ කියන ඔයා නම් ඇත්තටම මෝඩයෙක්. මොළේ කලඳක් නෑ." මට පොරත් එක්ක තද වුණා. ඇයි යකෝ මූ මගෙන් ප්‍රශ්න අහන්නෙ නිකන් උසාවියෙ විත්තිකාරයෙක්ගෙන් ප්‍රශ්න අහනවා වගේනෙ. චන්දු අංකල්ගෙ ගෝලයෙක්ද දන්නෙ නෑ. අනික මේ ගමේ ඉපදෙන්න හොඳයි, ඉන්න හොඳයි, ඒත් ගම ගොඩේ ගමක්. මම ඉතින් කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියලා දාන හින්දා උගෙ මූණ අප්සට් ගියාට මට කිසිම අවුලක් වුණේ නෑ.

"සොරි නංගි, මම දන්නෙ නෑනෙ ඔයාගෙ අම්මයි තාත්තයි නෑ කියලා. ඔයාගේ හිත රිදුන නම්...."

"නෑ..... ඒකෙ අවුලක් නෑ. පුංචි කාලෙ ඉඳලා ඔය ප්‍රශ්නෙට උත්තර දීලා මට දැන් ඒක පුරුදු වෙලා. ඕව නම් මොනාද, නැට්ට පිටින් අලි මැරෙන්නෙ. ඒක මට ප්‍රශ්නයක් නෙමේ."

"නංගිගෙ රූපෙ නම් හරිම අහිංසක පාටයි. උගන්වන විෂයන් හරිම සංසුන් එකක්. නමත් ඇහුව ගමන් හිත නිවෙනවා. ඒත් කට නම් මාර කටක්."

"ඕක ඔයා කියන්න කලින් මට ගොඩක් කට්ටිය කියලා තියෙනවා."

"ක්‍රිෂි රණ්ඩු කෙක්කක් වගේ."

"ඒක ඔයාට වැඩක් නෑනේ. දැන් මට පංතිය පටන් ගන්න තියෙනවා. ඒක නිසා මම යනවා. බායි..." මිනිහව බෝ මළුවෙ දාලා මම ධර්මශාලාව පැත්තට ආවා. පොඩි හාමුදුරුවන්ට වැඳලා අවසර අරගෙන මම ක්ලාස් එක පටන් ගත්තා. මම උගන්වන දිහාත් මිනිහා ඈත ඉඳන් බලන් ඉන්නවා මම දැක්කත් මම ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ඒ දේවල් ගැන හිතන්න ගියොත් මගෙ ඔළුව අවුල් වෙනවා. මගෙ ඔළුවෙ කෑලි හොයන්න පංචිකාවත්තට ගියත් බැරි වෙයි. මොකද ක්‍රිෂීගෙ මොළේට ගැලපෙන කෑලි කොහේවත් නෑ.

******* 

භානුකගෙ අම්මගෙ තත්ත්වය දැන් එන්න එන්නම දුර්වල වෙලා. වෙනදා තමන්ගෙ වැඩ ටික කර ගන්න පුළුවන්කම තිබ්බත් දැන් එකතැන් වෙලා හින්දා කවුරු හරි ලඟ ඉන්නම ඕනා. භානුටත් කැම්පස් යන්නයි අම්මව බලා ගන්නයි දෙකක් කරන්න බෑ. ඒක හින්දමයි නෙළුම්ලගෙ තාත්තගෙ බාලම නංගියි එයාගෙ හස්බනුයි ඇවිත් මෙහෙ නතර වුණේ.

භානුගෙ අම්මා, නෙළුම්ලගෙ තාත්තගෙ අක්කලු. එයා නර්ස් කෙනෙක්. පවුලෙන් හොඳටම ඉගෙන ගත්ත කෙනා වුණත් හිතුවක්කාර කසාදයක් හින්දා ගෙදරින් එළවලා ඉඳලා තියෙන්නෙ. ඊට පස්සෙ ඒ මිනිහා නැන්දව දාලා වෙන කවුද ගෑනු කෙනෙක් අරගෙන ගිහින්. අන්තිමට භානුවත් අරගෙන නැන්දා ගමට ඇවිත්. ආයෙත් භාර ගන්නෙ නෑ කියලා හිටියට මොන දෙමාපියන්ගෙද බොක්ක උණු වෙන්නෙ නැත්තෙ තමන්ගෙ දුවට කරදරයක් වුණා කිව්වම.

භානුලගෙ ගෙදර තිබ්බෙ වෙලෙන් එහා පැත්තෙ. නෙළුම්ලගෙ ගේ තරම්වත් ලොකු නැති වුණාට ගේ වටේ පරිසරය නම් මාරම ගති. වත්ත වටේම තියෙන පළතුරු ගස් දැක්කම ආසාවෙ බැහැ. කවදා හරි සාදියා මේ ගෙදරට ආවාම වැඳිරියෙක් වගේ ගස් උඩටම වෙලා ඉඳියි.

සුපිපියි මායි මෙහෙ ආවේ භානුලගෙ අම්මට පොලොස් උයපුවා වගයක් දෙන්න. ආපු වෙලාවේ ඉඳලම මම මේ පේර ගහ යටමයි. රතුම රතු පාටට ඉදුණු පේර. කාටද ඉතින් මෙතනින් හෙල්ලෙන්න හිතෙන්නෙ?

"අද ක්‍රිෂී අක්කව නම් මෙතනින් ගෙනියන්න හම්බවෙන එකක් නෑ වගේ."

"ඉතින් කෙළ ගිල ගිල ඉන්නෙ. කනවකෝ...."

"අපෝ මට ඕවා කාලා ඇති වෙලා තියෙන්නෙ."

"එහෙනම් ඉතින් මට උදැල්ල දාන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්."

"ඔයා කන්න. පුංචි නැන්දා ලොකු නැන්දව නාවන්න වතුර උණු කර කර හිටියා. මමත් උදව්වක් කරලා එන්නම්."

"මේ... නාවනකොට මටත් කතා කරනවා හරිද? මමත් උදව්වට එන්නම්."

"හරි හරි පෙරේති..." මට මහා පල් ටෝකක් දාලා සුපිපි පැනලා දිව්වා. ඇයි ඉතින් ලඟ හිටිය නම් මගෙන් ගුටි කනවනෙ.

"හෙලෝ.. භාවනා…" ඒ පාර මොකාද මේ හලන එකා? පුරුදු සවුන්ඩ් එකක් නම් නෙමේ. පිටිපස්ස හැරෙද්දියි දැක්කෙ විරාජ් අයියව.

"ආ... කොහෙද මෙහෙ..?"

"ක්‍රිෂී මාරයිනෙ, අපේ ගේ ගාවට ඇවිත් මගෙන් අහනවා මම කොහෙද මෙහෙ කියලා."

"මේ ලඟද ඉන්නෙ...?"

"ඔව් අර තියෙන්නෙ අපේ ගේ.." කම්බි වැටට උඩින් අත් දෙක තියාගෙන හිටිය විරාජ් අයියා භානුලගෙ ගෙට උඩින් ඈතට වෙන්න තියෙන ටිකක් පරණ ලස්සන ගෙයක් පෙන්නුවා. මොනා වුණත් ගේ නම් එළමකිරි. මාර ලස්සනයි. මම ඒ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියෙ ඒ පරිසරය එච්චරට ලස්සන නිසා.

"මොකද ගේ දිහා බලන් ඉන්නෙ... ?"

"ගේ හරිම ලස්සනයි. වත්තත් හරිම ලස්සනයි, පිළිවෙළයි."

"ඒ ඉතින් අපේ අම්මා හින්දා තමයි. එයා මල් වලට ගොඩක් ආසයි. ඒ නිසා එයා වත්ත පුරාම මල් හිටවනවා. මම කම්මැලිකම නිසා වත්ත පහළට ආවෙ. එතකොටයි දැක්කෙ ඔයා මෙතන ඉන්නවා."

මම ආයෙත් පාරක් හැරිලා ගේ දිහා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්. එච්චරටම හිත ඇදිලා යනවා..

"ඔච්චරම හිත ගියාද ගෙට? ගේ දිහාම බලන් ඉන්නෙ."

"නෑ මම මේ කල්පනා කලේ එච්චර ලස්සන ගෙදරක තමුසෙ වගේ වඳුරෙක් ඉන්න පුළුවන්ද කියලා."

"ඇත්තටම…. මට විතරක් නෙමේ, ඔයා වගේ වැඳිරියකටත් ඒ ගෙදර ඉඩ තියෙනවා."

"මො.. මොකක්…?"

"ඇයි මම කිව්ව කතාව වැරදිද...?"

"ඉඳකින් විතරක්... මේකා නම් වඳුරෙක්ම තමා. මම මොකටද තමුසෙලගෙ ගෙදර එන්නෙ...?"

"ඇත්තටම ක්‍රිෂී.. ඇයි ඔයා මාත් එක්ක විතරක් රණ්ඩු වෙන්නෙ? මම දැන් මාස දෙක තුනක වෙලේ ඉඳලා බලන් ඉන්නවා, ක්ලාස් එකේදි, දහම් පාසලේදි ඔයා එක ළමයෙක්ටවත් බනින්නෙ නෑ. හොඳට හිනා වෙලා කතා කරනවා. ගමේ අනික් හැම මනුස්සයෙක් එක්කමත් හුඟක් එකතුයි. මාත් එක්ක කොයි වෙලේ බැලුවත් එල්ලෙනවා."

"එල්ලෙන්න තමුන් ලණුවක්යැ."

"ඔයා දන්නවද ක්‍රිෂී, මේ ගමේ කවුරුවත්ම මට ඔහොම කතා කරන්නෙ නෑ. විරාජ් කියන්නෙ මේ ගමේ හැම කෙනෙක්ගෙම 'පුංචි මහත්තයා' හොඳද?"

"ඇත්තට? එහෙනම් මම ඒ රෙකෝඩ් එකත් කැඩුවා… නියමයි."

"ඒ රෙකෝඩ් එක කඩපු කෙනාට තමයි.."

"තමයි, ඉතින් මොනවද...?" කතාව එතනින් නවත්තපු හින්දා මම විරාජ්ගෙන් ඇහුවා.

"අපේ ගෙදර ලොකු ලේලි වෙලා එන්න පුළුවන්."

ඇත්තටම මූටනම් පිස්සු. ක්‍රිෂීගෙ හැටි දන්නවනම් ලේලි නෙමේ ගෙදරටවත් වැද්ද ගන්නෙ නෑ.

"මම කිව්ව එක ගැන ඔයා මොනාද හිතන්නෙ භාවනා..?" මෙච්චර වෙලා වැට ලඟ හිටිය මේකා ඒ පාර මං ගාව. මූට තටුවත් තියෙනවද...?

"විරාජ් අයියට ඇත්තටම පිස්සුද...?"

"ඔව්, ඔයාව දැකපු දවසෙ ඉඳන් පිස්සු වගේ තමා චූටි මිස්. කියන්නකො ළමයො ඔයා මොකද කියන්නෙ මගෙ යෝජනාවට?"

"ඔය යෝජනාව ගිහින් කරගන්නවා වෙන කෙනෙකුට. මට ඒ තරම් පිස්සු නෑ."

"කමක් නෑ… ඔයා ඕන තරම් කල් කල්පනා කරලා මට උත්තරයක් දෙන්නකො. ඒත් මතක තියා ගන්න, මම ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා."

"කල්පනා කරන්න, හිතන්න දෙයක් නෑ. මම දැන් උත්තරේ දුන්නනේ. ඒක තමා මගෙ අන්තිම තීරණේ."

"අනේ ක්‍රිෂී, විහිළු නෙමේ. ඉට්ස් සීරියස්. මම ඔයාට ගොඩක් ආදරෙයි කෙල්ලෙ. ඔයාව දැක්ක දවසෙ ඉඳන් මට හැමවෙලාවෙම ඔයාව මතක් වෙනවා. හරියට නින්දක්වත් නෑ. හැමදාම පන්සලට ඇවිත් මම ඔයා දිහා බලන් ඉන්නවා. ඔයා හින්දා මගෙ ජීවිතේම වෙනස් වුණා භාවනා."

මගේ අතින් අල්ලගෙන විරාජ් හෝ ගාලා කියවනවා. මූට කොහෙන්ද එච්චර හයියක්?

"විරාජ් අයියා…, ප්ලීස් මගෙ අත අතහරින්න."

"මේ අත මම අල්ල ගත්තෙ කවදාවත් අත අතහරින්න නෙමේ දඟකාරියෙ."

"මේ තමුසෙ තාම මගෙ හැටි දන්නෙ නෑ. මගෙ යකා අවුස්සන්නෙ නැතුව මගෙ අත අත අරිනවා."

"මට ආසයි ඔයාගෙ යකා ඇවිස්සිලා තියෙනවා බලන්න."

"ඒකත් එහෙමද? ඔන්න එහෙනම් බලාගන්නවා."

මම හොඳට අත දිග ඇරලා හොඳ කම්මුල් පාරක් විරාජ්ට දුන්නා. දැන්වත් දකින්න ඇතිනෙ ක්‍රිෂීගෙ යකා. පාරෙ සැරකම කියන්නෙ අල්ලන් හිටපු මගෙ අත අතහැරලා විරාජ් එයාගෙ කම්මුල අල්ල ගත්තා.

"දැන් දැක්කද ක්‍රිෂීගෙ යකා? ඔය ඇවිස්සුණේ ටිකයි. ගොඩක් ඇවිස්සුණාම ඔයිට වඩා වෙනස්."

මගෙ අතේ තිබ්බ පේර ගෙඩිය විරාජ්ගෙ අතින් තියලා මම ගේ පැත්තට යන්න හැරුණා.

"ඔහොම ඉන්න ක්‍රිෂී."

ඒ පාර මොකද? අනිත් පැත්තටත් පාරක් ඕන වෙලාද දන්නෑ.

"ඇයි? මට තවත් කතා කරන්න දෙයක් නෑ."

"තැන්ක්ස් ක්‍රිෂී, ඔයාගෙ ඔය අතින් කම්මුලට එක පාරක් නෙමේ සිය පාරක් ගැහුවත් මට ඔයාව එපා වෙන්නෙ නෑ. ඒක මට එක මතක සටහනක්. ඔයා මගෙ ලඟ නැති වුණත් ඔයාගෙ අතේ සුවඳ ඔයා මගෙ ලඟට එනකම්ම මගෙ තනි රකියි. කොහොමත් ඔයා මේ කරපු දෙයින් වුණේ මම ඔයාට තවත් කැමති වුණ එක විතරයි. ඔයා දන්නවද ඔයාගේ ඔය ගතිගුණ වලට තමයි මම ගොඩක් කැමති? මේකෙන් මට ඔයා ගැන තිබ්බ ආදරේ තවත් වැඩි වුණා මිසක් ඒක චුට්ටක්වත් පළුදු වුණේ නෑ. මම ඔයා වගේ කෙල්ලෙක් තමයි හොය හොයා උන්නෙ. මම ඕන තරම් කෙල්ලො දැකලා තියෙනවා, ඒත් ඔයා වගේ කෙල්ලෙක්ව කවදාවත් මට හම්බවෙලා නෑ. පිරිමි කියන කියන පදේට නටන්නෙ නැති, කොල්ලන්ගෙ බොළඳ වචන ගාව නැමෙන්නෙ නැති ඔයා වගේ කෙල්ලො හරිම අඩුයි. අයි ලව් යූ ක්‍රිෂී... අයි ලව් යූ.. මම අනිද්දට ඔයා හම්බවෙන්න පන්සලට එනවා. මාව මඟ අරින්න එපා. එදාට මට ඔයාගෙන් උත්තරයක් ඕන. මම යනවා."

මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා මගෙන් ගුටි කාපු කම්මුල අත ගගා මිනිහා යන්න ගියා. යකෝ ඇයි මම මිනිහා එච්චර දේවල් කියනකම් සද්දෙ වහගෙන හිටියෙ?

******** 

"මට හරි පුදුමයි ක්‍රිෂී අක්කෙ."

"ඇයි නෙළුම්...?"

මායි විරාජ් අයියයි අතර ඇති වෙච්ච කතා බහේ හැමදේම නෙළුම්ට කිව්වත් මම විරාජ්ගේ කම්මුලට ගහපු කතාවම කිව්වෙ නෑ. මොනා වුණත් පොරත් කොල්ලෙක්නෙ, ඒ යකාටත් ආත්මගරුත්වයක් තියෙනවා. හැබැයි මම කියපු විස්තර අහගෙන හිටිය නෙළුම් කිව්වේ "පුදුමයි" කියලා විතරයි.

"නෑ ක්‍රිෂී අක්කෙ, විරාජ් බේබි හරිම හොඳයි. හරිම නිහතමානියි. තමන්ගෙ තත්ත්වය තියාගෙන හැමෝටම උදව් කරගෙන ඉන්න කෙනෙක්. කවදාවත් ගමේ ගෑණු ළමයෙකුටවත් නරක විහිළුවක්වත් කරන්නෙ නෑ. ඒ තරම් හොඳ කෙනෙක්."

"ඉතින් පුදුමයි කිව්වෙ...?"

"මම දන්න විදියට විරාජ් බේබි කසාද බඳින්නෙ නෑ කියලා හිටියෙ. ඒත් අක්කට කැමති වුණා. ඒකයි."

"ඒත් ඉතින් මම කැමති නෑනෙ නෙළුම්."

"ඔයා කැමති වුණත් කමක් නෑ අක්කෙ. විරාජ් බේබි වගේ කෙනෙක් අක්කට හොඳට ගැළපෙනවා. ලොකු නෝනලා වුණත් අකැමැති වෙන එකක් නෑ."

"ඇයි ඒ...?"

"අපි වගේ කෙනෙක් එක්ක යාළු වුණා නම් ඔන්න අකැමැති වෙන්න තිබුණා. මොකද ක්‍රිෂී අක්කට මොනවයින් අඩුවක්ද? ඔයාලා කුලවත්, ධනවත් මිනිස්සු. ලොකු නෝනලට වඩා සල්ලිත් තියෙනවනෙ."

"ඔයා දන්නවද නෙළුම්, අපේ ලංකාවට ඉස්සරහට යන්න බැරි එකම හේතුව තමා තාමත් ජාති බේද, කුල බේද තියෙන එක. අපේ ෆැමිලි එක ඔය කිසිම දෙයක් ගණන් ගන්නෙ නෑ. අනික ඔය සල්ලිකාරයො කියලා ඔළුව උඩ ඔටුන්න දාගෙන ඉන්න මිනිස්සුන්ට වඩා, දුප්පත් කියලා සමාජයෙන් කොන් කරලා ඉන්න මිනිස්සු ලඟ මනුස්සකම තියෙනවා. ඒ වගේම ඔය දේවල් එක්ක රටක් ඉස්සරහට යන්න හැදුවට කවදාවත් බෑ නෙළුම්. අනික සල්ලි කියන්නෙ ජීවිතේ නෙමේ නංගි. සල්ලි පස්සෙ යන මිනිස්සුන්ට මම කැමති නෑ."

"ඔයා කියන්නෙ විරාජ් බේබිත් එහෙමයි කියලද? නෑ…. එයා ඔයාගෙ තත්ත්වය දන්නෙ නෑ. එයාගෙ හිත ගියානම් අක්කා හිඟන්නෙක්ගෙ දුවෙක් කිව්වත් එයා ඔයාව බඳියි. ලොකු නෝනලා තමා ලෙඩේ. වේලිච්ච ඉරටු නමන්න බෑනෙ අක්කෙ, ඒවා කැඩෙනවා. ඒත් ලොකු නෝනලා මොනවා කිව්වත් විරාජ් බේබි කිව්වොත් කිව්වා. ඔයාගෙයි එයාගෙයි අදහස් එක වගේ."

"එතකොට නංගි කියන්නෙ මට විරාජ්ට කැමති වෙන්න කියලද...?"

"මම ඔයාට බල කරන්න බෑනෙ. ඒත් විරාජ් බේබි හොඳ කෙනෙක්. අක්කා සලකලා බලන්න."

"නංගි දන්නවනෙ…"

"ඔව් අක්කෙ, ඔයා මුකුත් කියන්න ඕන නෑ. මම දන්නවා ඔයාගෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ ඉඳුවර අයියගෙන් කියලා. ඒත් ඒක දැන් නොලැබෙන දෙයක් වෙලා අතීතෙට එකතු වෙලා ඉවරයි. හිත හදාගෙන ඔයාගෙ අනාගතේ ගැන හිතන්න."

"මට වගේ දෙයක් නංගිට වුණා නම් ඔයා ගන්න තීරණේ මොකක්ද?" මම අහපු ප්‍රශ්නය ලඟ නෙළුම් හොඳටම අසරණ වුණා.

"මම දන්නෙ නෑ අක්කෙ. මට ආදරේ ගැන අත්දැකීම් නෑ."

"අපිට තව කෙනෙක්ට උපදෙස් දෙන්න පුළුවන් නෙළුම්. ඒත් ඒ දේවල් අපිට වුණොත් තමා තේරෙන්නෙ ඒ උපදෙස් ක්‍රියාවට නංවන්න බෑ නේද කියලා."

"අනේ මන්දා... හිතලා බලලා අක්කා හොඳ තීරණයක් ගන්න. ඔයා ගන්න තීරණේ හොඳ එකක් වුණොත් ඔයාගෙ ගොඩක් ප්‍රශ්න විසඳෙයි. නරක එකක් වුණොත් ඔයා මේ මකුළුදැලේ තව තවත් පැටලෙයි."

******* 




Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1