දඟකාර ආඩම්බරී 12
"ප්ලීස් භාවනා, මඟ ඇරලා යන්න නම් එපා. අනිත් කම්මුලටත් ගහලා හරි ටිකක් වෙලා කතා කරන්න බැරිනම් රණ්ඩු වෙලා හරි යන්න."
"මට කාත් එක්කවත් රණ්ඩු කරන්න ඕනෑ නෑ."
මගේ කටහඬේ සද්දය ගොඩක් අඩු වෙලා තිබ්බා. මටම පුදුමයි. වෙනදා විරාජ්ව දැක්කම එල්ලෙන්න හිතෙන මට, අද විරාජ් ගැන ලොකු දුකක් ඇති වුණා. සමහර විට නෙළුම් නංගි කිව්ව දේවල් නිසා වෙන්න ඇති. මගේ හිතේ විරාජ් ගැන තිබුණ නරක ප්‍රතිරූපය නැති වෙලා ගියේ. 'සොරි විරාජ්, මම වෙන කෙනෙක්ගේ.'
"අනේ ඇයි ඒ...? ඔයත් එක්ක රණ්ඩු කරලා ගියේ නැත්නම් නිකම් මට පිස්සු වගේ ළමයෝ. ප්ලීස් කතා කරන්න බැරිනම් මොනවා හරි කියලා මට බනිනවකෝ."
"අයියෝ මට වද දෙන්නෙ නැතුව යන්න විරාජ් අයියා..." වෙනදා වගේ සැර නොවුණත් ටිකක් විතර තදට මම කියලා දැම්මා.
"ඔයාට මාව වදයක්ද කෙල්ලේ...? ඇයි ඔයා මට මෙහෙම කරන්නේ...? මගේ ආදරේ ඔයාට දැනෙන්නෙ නැද්ද ක්‍රිෂී?"
"නෑ විරාජ් අයියා... මේ... මේ..."
"මේ... මේ... නෙමෙයි ක්‍රිෂී, මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි. මෙච්චර පස්සෙන් ඇවිත් කෙල්ලක් ඉස්සරහා චාටර් වෙන පළවෙනි වතාව මේ. ඒ ඔයාට තියෙන ආදරේ හින්දා නංගි. මම ඔයාව දැක්ක දවසෙ ඉඳන්ම හිතට ආව හැඟීමක් නංගි ඒක. ක්‍රිෂී.... ඇයි.... ඔයා මාව ප්‍රතික්ෂේප කරන්නේ? මගේ මොකක්ද තියෙන අඩුපාඩුව...? කියන්න ක්‍රිෂී, කියන්න. ඔයා වෙනුවෙන් මම ඕනෑම විදියකට වෙනස් වෙන්නම්."
මගේ උරහිස් දෙකෙන් අල්ලලා හයියෙන් හොලවන ගමනුත් විරාජ් අයියා කියවනවා. ඇත්තටම විරාජ් අයියගේ ඇති අඩුපාඩුවක් නෑ. ඒත් මගේ හිත කියන්නෙම ඉඳුවර ඇර වෙන කෙනෙක් ළඟට යන්න එපා කියලා. 'සොරි විරාජ් අයියේ, හිත ගිය තැන මාළිගාව කියනවනේ.'
"ඇයි ඔයා උත්තර දෙන්නෙ නැත්තේ ක්‍රිෂී...? කෝ වෙනදට අර මාත් එක්ක රණ්ඩු කරන කට? අර මම ගොඩක් ආස කරන බොරුවට මවා ගත්ත නපුරු පාට මූණ...? අද ඔයා ගොඩක් වෙනස් වෙලා. ප්ලීස් කතා කරන්න ක්‍රිෂී..."
"ප්ලීස් විරාජ් අයියා, මට ඔයාට කැමති වෙන්න බෑ. ඒ ඔයාගේ අඩුපාඩුවකට නෙමෙයි. ඔයා ගොඩක් හොඳයි. ඒ වගේම මට ගොඩක් ආදරෙයි කියලත් දන්නවා. ඔයා වගේ කොල්ලෙක් ලබන කෙල්ල ගොඩක් වාසනාවන්ත වෙයි."
"එහෙනම් ඇයි ඔයාට බැරි මට කැමති වෙන්න...? මට පුළුවන් ඔයාව ගොඩක් ආදරෙන් බලා ගන්න."
"ම... මම වෙන කෙනෙක්ගේ විරාජ් අයියේ."
"මොකක්...? ඒක වෙන්න බෑ ක්‍රිෂී. ඔයා මගේ විතරයි."
"නෑ විරාජ් අයියේ. ඒක වෙන්න පුළුවන්. මම ආදරය කරන්නේ වෙන කෙනෙක්ට. එයාගෙයි මගෙයි ප්‍රශ්නයකට මම මෙහෙට වෙලා ඉන්නේ. ඒක දන්නේ නෙළුම් නංගියි භානුකයි විතරයි. ඔයාට මේක නොකියම බැරි හින්දයි කිව්වේ. ඒ රහස රකින්න."
"මම කොහොමද ක්‍රිෂී මේක පිළිගන්නේ? මගේ හිතට ඒක දරා ගන්න හුඟක් අමාරු වෙයි. ඔයාම මට කියන්න."
"ඔයාට බලාපොරොත්තු දෙන්න අකමැති නිසයි මම මේ ටික හරි ඔයාට කිව්වේ අයියේ. ඒත් මම කොහොමද එයාට වගේම ඔයාටත් ආදරේ කරන්නේ...? මම එහෙම කෙල්ලෙක් නෙමෙයි විරාජ් අයියේ..."
"මම දන්නවා ක්‍රිෂී. ඒකමයි මම ඔයාට මෙච්චර ආදරේ. ඔයාට තියෙන්නෙ එක හිතයි. හිත් දෙකක් නෑ."
"සොරි විරාජ් අයියා..."
"කමක් නෑ ක්‍රිෂී, මේක මගේ ඉරණම. ආදරේ කියන දේ මට උරුම දෙයක් නෙමෙයි. මම කෙනෙකුට කැමති වුණු පළවෙනි වතාව."
ඇස් දෙකෙන් ආපු කඳුළු මට නොපෙනෙන්න පිහදාගන්න ගමන් විරාජ් යන්න හැරුණා. මිනිහා පව් තමයි. ඒත් මට කරන්න කිසිම දෙයක් නෑ. භාගයක් දුර ගිය විරාජ් අයියා ආපහු ඇවිත් මගේ අතින් අල්ල ගත්තා. එයාගේ අතේ තිබ්බ පුංචි පාර්සලයක් මගේ අත උඩින් තියලා මගේ මූණ දිහා ටිකක් වෙලා බලන් හිටිය විරාජ් අයියා ආයෙත් කතාව පටන් ගත්තේ යන්තමට හිනා වෙලා.
"මේක මම ඔයාට ප්‍රොපෝස් කරන්න ඊයේ ගත්තේ. මේක ඔයා ආදරේ කරන කෙනාව කසාද බඳින දාට මේ ලස්සන ඇඟිලි පහෙන් එකකට දාගන්න."
"ප්ලීස් විරාජ් අයියා, මට එපා... මේක අරගෙන මට හැමදාම පසුතැවිලි වෙවී ඉන්න බෑ."
"ඔයා මොකටද පසුතැවෙන්නේ...? ඔයාගේ හොඳම යාළුවා දුන්නා කියලා හිතාගෙන ගන්න. අද ඉඳන් මේ ගමේ අනිත් නංගිලා මල්ලිලාට වගේම මම ඔයාටත් අයියා කෙනෙක් කියලා හිතාගන්න."
විරාජ් අයියගේ ඒ වචන ටික ගාව නම් මගේ ඇස් දෙකට කඳුළු ආවා. දුක ඉවසගෙන හිනාවෙලා ඉන්න එයාට හොඳට පුළුවන්. ඒ අතින් විරාජ් අයියා මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.
"ඇයි මේ ඇස් දෙකේ කඳුළු? පිස්සියෝ, අඬන්න එපා. මම කැමති නෑ ඔයා අඬනවට. කෝ........ හිනා වෙලා අර ඉස්සර වගේ මාත් එක්ක රණ්ඩු වෙනවා. කෝ... ඉතින්..."
'මගේ කඳුළු පිහදැම්මට ඔයා හිත ඇතුළෙන් අඬනවා කියලා මම දන්නවා විරාජ් අයියා. ඒත් මගේ හිත ඔයාව පිළිගන්න කැමති නෑ.' හිත ඇතුළෙන් හිතුවත් මම ඒ වචන ටික විරාජ් අයියා ඉස්සරහා කිව්වේ නෑ. එහෙම වුණොත් මේ කොල්ලට දරාගෙන ඉන්න ටිකවත් දරාගන්න බැරි වෙනවා කියලා මට තේරුණා.
"අන්න එහෙම හිනා වෙලා මේක ගන්නවා. මාව මතක තියාගෙන වෙඩින් එක දාට අතේ දාගන්නවා. මම යනවා."
"තෑන්ක්ස් විරාජ් අයියා."
"ක්‍රිෂී…,"
"ඇයි අයියේ...?"
"මේ ආත්මේ ඔයා වෙන කෙනෙක්ගේ වුණාට ඊළඟට උපදින හැම ආත්මෙකම ඔයා මගේ ක්‍රිෂී. ඒක වෙනස් කරන්න කාටවත්ම බැරි වෙයි."
මගේ දකුණු අත උඩින් එයාගේ අත තියලා මට පොරොන්දුවක් දීලා විරාජ් අයියා පන්සලෙන් යන්න ගියා.
'ඔයා එහෙම කියන්නේ කොහොමද විරාජ් අයියේ? මේ ආත්මේ මට නොලැබුණු ඉඳුවරව මමත් ඊළඟ ආත්මෙට ප්‍රාර්ථනා කරලා තියෙද්දී. එහෙම වුණොත් ඊළඟ ආත්මෙත් අපිට මෙහෙම හම්බවෙලා දුක් වෙන්න වෙයි. ඒක නිසා එහෙම හිතන්න එපා. ඒක අපි දෙන්නටම දුකක් විරාජ් අයියා.'
*******
"ක්‍රිෂී අක්කේ, ඔය වතුර එක රස්නේ වැඩිද කියලා බලන්නකෝ."භානුකලාගේ අම්මා දැන් ගොඩක්ම දුර්වල හින්දා තනියම නාගන්නවත් බෑ. ඒක හින්දා නෙළුම් නංගියි, සුපිපියි දෙන්නා තමා නාවන්නේ. මාත් ඉතින් පුළුවන් හෙල්ප් එකක් දෙනවා. හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම මම උණු වතුර එකට අත දැම්මා. දැම්මා විතරයි කෑ ගහගෙනම අත ආපහු ගත්තේ මගේ ඇස් වලින් කඳුළු පනින්නම අත පිච්චුණු නිසා.
"ඇයි අක්කේ පිච්චුණාද...?"
"නෑ නෑ ඒක එච්චර ගානක් නෑ. වතුර රස්නේ වැඩියි." මම ඒක කියපු තාලෙටද කොහෙද මුන් දෙන්නා හිනා වෙන්න ගත්තා.
"අනේ... අනේ කෙල්ලේ පුච්ච ගත්තා නේද. මෙහෙ දියන් බලන්න අත. මුන්ට නම් මොකද, හැම එකටම හිනා වෙන්න විතරනේ දන්නේ."
භානුකලාගේ අම්මා අරුන් දෙන්නට පලු යන්න බනින ගමන් මගේ අත අල්ලගත්තා. මටත් මදෑ ඕක. කවුරුහරි ඔළුව අතගෑවත් ඇති. ආයෙ ඉතින් එළට් එකටම ෆිට් වෙනවා. මාත් භානුකලාගේ අම්මා ඉඳගෙන හිටිය පුටුව ළඟ බිම ඉඳගත්තා. භානුකලාගේ අම්මා බලන්න ඕනෑ අත පිච්චුණ එක දිහා වුණාට බලන් උන්නේ මගේ අතේ තියෙන කැළල දිහා. එයා කැළල දිහා බලාගෙන සෑහෙන වෙලා කල්පනා කළා. මම ආන්ටිගේ අතින් මගේ අත ගත්තත් ඒකවත් එයාට දැනුණේ නෑ. සමහර විට භානුගේත් ඒ වගේ ලපයක් තියෙන නිසා වෙන්න ඇති.
"ක්‍රිෂී දුවේ, ඔය ලපේ ඇඳපු එකක්ද...?"
නාවලා ඉවර වෙලා ඇඳ ගාවටත් ගෙනිච්චට පස්සේ තමයි භානුකලාගේ අම්මා කතාවට එන්ටර් වුණේ.
"අනේ නෑ ආන්ටි. ඒක මම දන්න දවසේ ඉඳන් තියෙනවා. අපේ ගෙදර කට්ටිය නම් කියන්නේ ඉපදුණ දවසේ ඉඳන් කියලා."
"ඒකත් හැබෑද..."
භානුකලාගේ අම්මා කිව්වේ එච්චරයි. එයා ගොඩක් වෙලා කල්පනා කරනවා කියලා නම් අපි තුන්දෙනාටම තේරුණා. එයාගේ ඇස් දෙක ළඟට කඳුළු බිංදු දෙකකුත් එකතු වුණා.
'මෙයා මේ කල්පනා කරන්නේ මගේ ලපේ ගැනද...? එහෙමත් නැත්නම් ආන්ටිට භානු මතක් වෙන්න ඇති. එයා නැති කාලෙක භානු තනි වෙනවනේ.'
නෙළුම්ලාගේ පුංචි නැන්දා දවල්ට කන්න උයනකල් අපි තුන්දෙනා පේර ගහ යටට ආවා. එදා විරාජ් අයියගේ කම්මුලට ගහපු සීන් එක මතක් වෙද්දී මට මං ගැනම ලොකු තරහක් ඇති වුණා. ඒ හැමදේම හිතේ තියාගෙන හිනාවෙලා ඉන්න විරාජ් අයියට තියෙන්නෙ මටත් වඩා හයිය හිතක්. භානුකලාගේ ගෙට උඩින් තියෙන විරාජ් අයියලාගේ ගේ දිහා මම බලාගෙන හිටියේ අරමුණක් නැතුව.
"ඈ ක්‍රිෂී අක්කේ, ඔයාගේ අතේ තියෙන ලපේ දැකලා ලොකු නැන්දා කල්පනාවකට වැටුණනේ."
"අනේ මන්දා නෙළුම්. ඒකට නම් මේ ක්‍රිෂීටත් උත්තර නෑ. සමහර විට භානුව මතක් වෙනවා ඇති."
"හරි සුපිපි අපි එහෙමයි කියමුකෝ. ඒත් කොහොමද ක්‍රිෂී අක්කගෙයි භානු අයියගෙයි එකම වගේ ලප දෙකක්, එකම අතේ, එකම තැන තියෙන්නේ? ඒක වෙන්න බෑනේ. එහෙම තියෙන්නේ ට්වින්ස්ලාගේනේ."
"ඉතින් වැස්සියෝ, ලෝකේ එක වගේ මිනිස්සු ඉන්නවා. උන් ඔක්කොම එක අම්මගේ බඩෙන් එළියට ආපු මිනිස්සුද? ඉතින් මේක මහ ලොකු දෙයක්ද? මේ දෙන්නා විතරක් නෙමෙයි අක්කේ, ඔය වගේ තියෙන අය තවත් ඇති."
"ඒත් මට මේක හරි ප්‍රශ්නයක් සුපිපි. එදා පත්තරේ දාලා තිබ්බ ක්‍රිෂී අක්කගේ ෆොටෝ එකත් එක්ක බලනකොට මේ දෙන්නගේ රූපෙත් ගොඩක් දුරට එක සමානයි."
"නෙළුම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒ ගැන වැඩිපුර හිතුවොත්නේ. ඒක ගැන වැඩිය හිතන්න එපා. එතකොට සේරම හරි. ඒක පැත්තකින් තියන්න, නෙළුම් මට ඔයාගෙන් ලොකු හෙල්ප් එකක් ඕනා."
"මොකක්ද අක්කේ...?"
රතුම රතු පාටට ඉදුණු පේර ගෙඩියක් මගේ අතේ තියන ගමන් නෙළුම් කතාව අහන්න රෙඩි වුණා.
"මේකයි, මම දැන් මෙහෙට ඇවිත් අවුරුද්දකට වැඩි මිසක් අඩු නම් නෑ. ගෙදර මිනිස්සුන්ට මොනවද වුණේ කියලා හොයලා බලන්න මට ක්‍රමයක් තිබ්බේම නෑ. තිබ්බත් මම ඒකට උනන්දු නොවුණේ එහෙම හොයන්න ගියා නම් මාව මාට්ටු වෙන හින්දා. ඒත් දැන් අපේ කට්ටියට මම නැති එක ලොකුවට දැනෙන්නේ නැතුව ඇති."
"හරි දැන් මොනවාද අපෙන් ඔයාට වෙන්න ඕනා...?"
"ඔයාට පුළුවන්ද නංගි අපේ ගෙදර ගැන චුට්ටක් ඔෆිස් එක පැත්තෙන් හොයලා බලන්න?"
"අයියෝ… ඕකද? මම හිතුවා හෙන ලොකු කේස් එකක් කියලා. ඔයා බය වෙන්න එපා. වැඩේ එළකිරි වගේ කරලා දෙන්නම්."
"තෑන්ක්ස් නෙළුම්, ඔයා නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්."
"හා.. හා ... කට්ටිය දේවාල ගාණේ යන්නේ කාට පොල් ගහන්නද?"
"හානේ... භානු අයියේ, ඔයා ළඟට එනකම්ම අපි දැක්කේ නෑනේ."
"ඒ කියන්නේ කට්ටිය උන්නේ ඒ තරම්ම ලොකු කතාවකද නෙළුම්...?"
"නැත්නම්, ඒ කතාව ඇතුළේ ඔයත් හිටියා."
"ඒක තමයි විරාජ් බේබි මට එනකොට පාර දිගේම හච්චින් ගියේ."
භානු විරාජ්ගේ නම කියන කොට මාව උඩ ගිහින් බිම වැටුණා. එතකොට තමයි මම මගේ පිටිපස්සේ හිටගෙන හිටිය විරාජ් අයියව දැක්කේ.
"මොකෝ චණ්ඩියා බය වෙලා...?"
"නෑ... නෑ... භානු, මුකුත් නෑ."
"ඔව් ඉතින් ඔයාව බය කරන්න අපි ඉගෙනගෙන එන්න එපායැ. ඒක නෙමෙයි… ඉතින් විරාජ් බේබි ආයෙ කවද්ද යන්නේ...?"
විරාජ් අයියා එක්ක කතාවට මුල පුරන ගමන් භානු ගහ යට තිබ්බ බංකුවෙන් ඉඳගත්තා. විරාජ් අයියා ඊට එහා තිබ්බ ඔන්චිල්ලාව උඩින් ඉඳ ගත්තේ මගේ මූණ දිහා බලාගෙනමයි. මම ඒ ඇස් මඟ ඇරලා ඈත බලා ගත්තේ විරාජ් අයියට මූණ දෙන්න බැරි හැඟීමක් දැනුණ නිසා. කට්ටිය සූදානම් බර කතාවකට වගේ. මට මෙතන ඉන්න බැරි බව දන්නේ නෙළුම් විතරයි. ඒකීටත් ගානක් නැති හැටි.
"මම උඹලට හැමදාම කියනවා බේබි කෑල්ල හලපල්ලා කියලා යකෝ. අපි හැමෝම ලේ මස් නහර වලින් හැදිච්ච මිනිස්සු. ඉතින් මොකද මට විරාජ් කිව්වම? නේද ක්‍රිෂී?"
විරාජ් අයියා කතාව ඉවර කළේ මාවත් කතාවට ඇදලා ගන්න බලාගෙනමයි. විරාජ් අයියා කිව්ව කතාව හිනාවකින් අනුමත කළා මිසක් මම ඊට එහා මුකුත්ම කියන්න ගියේ නෑ.
"විරාජ් බේබිත් ක්‍රිෂී අක්කා වගේ. ඔයාලා දෙන්නනම් ශෝක් එකට ගැලපෙනවා."
"ඇයි සුපිපි නංගි එහෙම කිව්වේ?"
"නෑ බේබි. ක්‍රිෂී අක්කගේ අදහසුත් බේබිගේ අදහස් වගේ."
"කට වහනවා නංගි. මොන පණ්ඩිතකම් කියවනවද මන්දා."
"ඉතින් මම කිව්වේ ඇත්තනේ අපේ අක්කා."
"නංගිට බනින්න එපා නෙළුම්. ඒ ළමයා කිව්වේ එයාට හිතෙන දේනේ."
විරාජ් අයියා එහෙම කිව්වේ මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලන ගමන්. නෙළුම් ඒක දැක්කා. කෙල්ලට ඒකෙන් මට මෙතන ඉන්න බෑ කියලා හොඳට තේරුණා.
"ඉතින් බේබි කවද්ද යන්නේ? දැන්ම යන්නේ නෑනේ. පන්සල් කඨිනයට එහෙම ඉඳලනේ යන්නේ."
"බෑ භානුක. මම ලබන සතිය, ඊළඟ සතිය දිහාට යනවා."
"ඒ මොකද ඒ? වෙනදා ආපුවාම අවුරුද්දක් විතර ඉන්නවනේ. බේබි ලංකාවට එන්නෙත් අවුරුදු හතර පහකට සැරයක්නේ. මට අද වගේ මතකයි බේබි ලංකාවෙන් ගියේ අවුරුදු 10න් විතර. එතකොට මට යන්තම් අවුරුදු 5ක් ඇති."
"ඔව් ඉතින්. පුංචිලා මාව අරන් යද්දී මම ගොඩක් පොඩිනේ. ඒ කාලේ නෙළුම් යන්තම් වැටි වැටි ඇවිදිනවා. භානුකයි නෙළුම් නංගියි කෑ ගහලා ඇඬුවා එදා."
"ඔව් මටත් යන්තම් මතකයි. ඉතින් ඇයි බේබි මේ පාර කලින් යන්නේ?"
"මේ සැරේ හිතට හරි නෑ වගේ භානු."
"ඒ මොකද ඒ…? කවුද හිත කැඩුවේ....?"
"මොනවා වුණත් ගලක් වගේ තිබ්බ ඔය හාට් එකේ පුංචි කොටසක් හරි උණු කරපු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා. මම හිතන්නෙනම් නෑ ඒ කතාව ඇත්ත කියලා. විරාජ් බේබි ගැන අපි දන්නවනේ."
භානු ඒ ටික කිව්වේ විහිළුවෙන් වුණත්, ඒක මට වගේම විරාජ් අයියටත් ගොඩක් මානසිකව බලපෑවා කියලා තේරුණේ නෙළුම්ට විතරයි.
"ක්‍රිෂී අක්කේ අපි අර පැත්තට යමුද…? පුංචි නැන්දා තනියම උයනවනේ. අනික පිරිමි ළමයින්ට රහස් තියෙනවා කතා කරන්න. එයාලා බයයිනේ අපි දැන ගනියි කියලා. නිදහසේ කතා කරගන්නෙ නැතෑ."
"මොකක්ද නෙළුම් කිව්වේ...? උඹට මම...."
"භානු අයියේ ඔයාට දුවන්න බෑ... ඉස්කෝලේ හැමදාම අන්තිමයා හරිද...?" මාවත් ඇදගෙන ගේ පැත්තට දුවන ගමන් නෙළුම් භානුට කෑ ගැහුවා. සුපිපි නංගිත් අපි පස්සෙන්ම දුවගෙන ආවේ ක්ලාස් යන්න තියෙනවා කියලා. මාව එතනින් මේ පැත්තට ගෙනාව එකට නම් මේකීට මල් තියලා වඳින්න ඕනා.
*********
"ක්‍රිෂී අක්කේ, දැන් අපේ බ්‍රාන්ච් එකේ ඉන්න මැනේජර් නම් හරිම හොඳයි. ඉස්සර හිටිය එකා වගේ නෙමෙයි. තරුණ කොල්ලෙක්.""තරුණ කොල්ලෙක් කියන්නේ නෙළුම් නාකි කොල්ලොත් ඉන්නවද බං?"
"ඔව්නේ අක්කේ. ඇයි ඉස්සර හිටිය මැනේජර්, ඒකා හිතන් හිටියේ ඌ හෙන කොල්ලා කියලනේ."
"ඒකත් එහෙමද..."
"අක්කේ, මම ඔයා කිව්ව වැඩේ බැලුවා."
"ඇත්තද නංගි, කොහොමද ගෙදර විස්තර, කොහෙන්ද සොයා ගත්තේ ?"
මෙච්චර වෙලා අතේ තියන් හිටිය වයලින් එක පැත්තකින් තියලා මම නෙළුම්ගේ පැත්තට හැරුණා.
"මම ඔයාලගේ ගෙදරට කෝල් කළා අක්කේ."
"කෝල් කළා…?"
"ඔව්, ඔන්න හැබැයි කලබල වෙන්න එපා."
"ඇයි නංගි ගෙදර මොකක් හරි අවුලක්ද...?"
"අවුලක්මත් නෑ... ඒ කියන්නේ ටිකක් විතර තියෙනවා."
"ඔව්... මම කෝල් කළාම ෆෝන් එක ගත්තේ ඔයාගේ නෑනා."
"ඉතින්...?"
"මම නෑනගෙන් ඇහුවා ඔයා ඉන්නවද කියලා. නෑනා මුලින්ම කිව්වා ඔයා ගෙදර නෑ කියලා. ඊට පස්සේ මගෙන් ඇහුවා මම කවුද කියලා. මම ඉතින් ඇත්තම කිව්වා. ඊට පස්සේ තමා ඔයා නැති සීන් එක කිව්වේ."
"ඇත්තම කියලා කිව්වේ.... ....?"
"මම කිව්වා ඔයයි මායි යාළුවෝ වෙච්ච හැටි."
"ඒකත් එහෙමද..... එතකොට ගෙදර සෙට් එකට කොහොමද ?"
"ඔයාගේ අයියා දැන් ඉස්සර වගේ නෙමෙයිලු, කොයිවෙලේ බැලුවත් කල්පනාවලු. අක්කටත් හෙන පාළුයිලු, ගෙදර හිනා පොදක් නැහැලු. ශනුෂි වුණත් ඉන්නේ ගොඩක් අප්සට් එකේලු. තිස්සෙම ඔයාව අහනවලු. ඔයාව හොයන්න සෑහෙන ට්‍රයි එකක් දීලා තියෙනවා අක්කේ. මට පුදුම අපේ පැත්තට ආපු නැති එක."
"ඉතින් සීයාටයි ආච්චිටයි කොහොමද....?"
"සීයාටත් හෙන අවුල කිව්වා."
"එතකොට ආච්චිට...?"
"අක්කේ.... කලබල වෙන්න එපා. ආච්චිටනම් ගොඩක් අසනීප වුණාලු. හැමතිස්සෙම ඔයාව අහනවලු අක්කේ..."
"අනේ දෙයියනේ.... මගේ ආච්චි..."
"අඬන්න එපා අක්කේ. තාම ඔයා පරක්කු නෑ."
"ඒත් මට ආයෙම එහෙට ගිහින් මගේ අයියගේ මූණ බලන්න බෑ නංගි."
"ඒත් ඔයා ආච්චි ගැන හිතන්න ඕන නේද ?"
නෙළුම් ඒ අහපු ප්‍රශ්නය ළඟ මට උත්තරයක් නොතිබුණත්, ආයෙ මීගමුව පැත්ත දකින්නවත් මට ආසාවක් තිබුණේ නෑ.
'ආපහු ගියොත් මෙච්චර කල් මම හැංගිලා හිටිය එකෙන් වැඩක් නෑ. නොගිහිනුත් බෑ... අනේ මන්දා. හරි දැන් ආච්චිට කොහොමද ?'
"මම ඒක නම් ඇහුවේ නෑ අක්කේ. ආයෙ කෝල් කරත් එයාලට සැක හිතෙයි නේද ?"
"ඔව් මටත් එහෙම හිතෙනවා. මම කියන්නද නංගි, ඔයාට පුළුවන්ද මේ කළා වගේම මට තව චුට්ටි උදව්වක් කරන්න?"
"මොකක්ද අක්කේ..?"
"ඔයාට බැරිද නංගි අපේ ගෙදර ගිහින් ආච්චිව බලලා එන්න?"
"යන්න නම් පුළුවන්, දැන් පාරවලුත් දන්නවනේ. ඒත් මට තියෙන බය ඔයාලගේ ගෙදර කට්ටිය මාව සැක කරයිද කියන එක."
"සැක කරන එකක් නම් නෑ. ළඟට ආව ගමන් මම ගෙදර ආවද කියලා බලන්න ආවා කිව්වම හරි. ඒත් මට නංගිව තනියම යවන්න බයයි."
"එහෙනම් ඉතින් මමයි භානු අයියයි ගිහින් එන්නම්."
"භානු එයිද...?"
"අපෝ... එනවා බය වෙන්න එපා."
"අනේ මම මේ නංගිගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මම ආයෙ නංගිට කරදර කරන්නේ නෑ."
"මොන කරදරයක්ද චණ්ඩියෝ."
******
"කෝ අක්කේ මේ ගිය දෙන්නා තාම නෑනේ.""ඒක තමයි සුපිපි, මාත් කල්පනා කළේ....."
"අක්කලාගේ අයියට සැක හිතිලා පොලිසියට අල්ලලා දුන්නද දන්නේ නෑ."
"අපේ අයියා එච්චර දරුණු කෙනෙක් නෙමෙයි. ඉස්සර නම් ගොඩක් දරුණුයි. ඒත් නෑනා හදලා ගත්තනේ."
උදේ පාන්දර ගෙදරින් පිට වෙච්ච නෙළුම් නංගියි, භානුකයි තාමත් නෑ. දැන් හයටත් ළඟයි. දෙන්නට මොනවා වුණාද මන්දා. නෙළුම්ව තනියම ඇරියා නම් මළ කෙළියයි නේද...?
"ආ... අර එන්නේ කපල් එක. හොඳට කාලාද කොහෙද, මහත් වෙලා."
සුපිපි ඈත එන නෙළුම්වයි, භානුකවයි පෙන්නලා මහා හයියෙන් හිනා වුණා.
"දෙන්නා හරියට මනමාල ජෝඩුව වගේ, කොහොමද මැවිලා පේන්නේ...?"
"කියනවා ඕක භානුකට ඇහෙන්න. හොඳ කනේ පාරක් කෑවැකි පැණි බේරෙන්න."
"මොකක්ද… මොකක්ද… ඒ පැණි බේරෙන කතාව?"
"නෑ…. මේ මී වදයක් ගැන කිව්වේ. නේද ක්‍රිෂී අක්කේ? ඔන්න මුකුත් කියන්නෑ හොඳද..." කනට කරලා මට තර්ජනාත්මක රහසක් කියලා සුපිපි ගෙට දිව්වා.
"කොහෙද ඔය දුවන්නේ..?"
"අම්මට කියලා එන්නම් ඔයාලා ආවා කියලා."
"ඉතින් කොහොමද නෙළුම් ගිය ගමන?"
වැරැන්ඩා එක යට තිබ්බ පුටුවකට බර වෙන ගමන් මම කතාවට එන්ටර් වුණත් නෙළුම් නංගියි, භානුයි කතාවට එන්ටර් වුණේ ටිකක් වෙලා ගිහින්.
"ගිය ගමන නම් අතිසාර්ථකයි අක්කේ. ඔයාගේ භාෂාවෙන් කියනවා නම් එළමකිරි."
"ආච්චිට කොහොමද ?"
"අපි ගියාට පස්සේ හොඳ වුණා නේද නෙළුම්?"
"ඒ කිව්වේ...?"
"නෑ... නෑ....... මේ.. ආච්චිගේ හිතේ ඔයා ආවා කියලා. නෙළුම්ට ක්‍රිෂී කියලා රැවටිලා."
"මොකක්... ඔයාලට පිස්සුද ?"
"පිස්සු නෙමෙයි හලෝ. දැන් ආච්චි වයසයිනේ. ඉතින් ඇස් පේනවා අඩුයි. ඔයාලගේ සීයා කිව්වා ඔයා ඇවිත් කියලා."
"බොරු කියන්න එපා හලෝ..."
"ඔය ඉතින් බොරුලු. ඇත්ත හලෝ, ආච්චිගේ හිතේ ඔයාමයි කියලා."
"වෙන මොනවාද වුණේ...?"
"කොහෙද මෙයාට ඉවසිල්ලක් නෑනේ. ඉන්නවකෝ කියනකම්."
"ඊට පස්සේ නේද ?.... ඊට පස්සේ අපි හොඳට කාලා බීලා කතාබහ කරලා ආවා."
"එච්චරමද...?"
"ඔව් චණ්ඩියෝ."
"ගෙදර කට්ටිය හොඳින්නම් මට ඒ ඇති නංගි. දැන් නම් මට මොනවා වුණත් කමක් නෑ."
මේ දෙන්නම මට මොකක් හරි හංගනවා කියලා තේරුණත්, මම ඊට එහා මුකුත්ම අහන්න ගියේ නෑ. දෙන්නා කියනවා නම් කියයිනේ. හොර පූසෝ දෙන්නෙක් වගේ දෙන්නම මූණවල් හංගනවා.
"මොකද මේ දෙන්නා බය වෙලා?"
"අපි මොකටද බය වෙන්නේ? අපිට හරි මහන්සියි. නේද භානු අයියා...?"
"සොරි ඔයාලා මං හින්දා මහන්සි වුණාට."
"අන්න අන්න, ෆ්‍රෙන්ඩ්ෂිප් එකට උදව්වක් කළාම සොරියක් දාන්න එනවා."
"හරි හරි ඉතින් වැරදුණා."
"නේද භානු අයියා..... මිනිස්සුන්ට වරදින්න පුළුවන් එක පාරයි නේද ?"
"ඔව් නෙළුම්... ඇයි, අසමත් වීම කියන්නේ අවසානයක් නෙමෙයි..."
"මාර ලස්සන කියමන් ටික නේද භානු අයියේ? ඔයා දන්නවද ඕවා කියලා තියෙන්නේ කවුද කියලා?"
"කවුද නංගි...?"
"මීගමුව පැත්තම හොල්ලපු, ලස්සන, නිහතමානී, චන්ඩි කෙල්ලෙක්. ඒ කෙල්ලට ඒ පැත්තේ හැමෝම කිව්වේ ආඩම්බරී කියලලු."
'යකෝ මුන් දෙන්නා මගේ වචන කොහෙන් අහුල ගත්තද? මුන් ඒවායින් මටම ගහනවා. පේන හැටියට ගෙදරදී මං ගැන සෑහෙන විවේචනයක් ගිහින් තියෙනවා වගේ.'
"ආ.... ඔයා ගෙදරින් එන්න හේතුව ගෙදර කට්ටිය දන්නවා."
"මොකක්...?" නෙළුම්ගේ කටින් පැන්න ඒ කතාව නම් මට අදහගන්නත් බැරි වුණා. කවුද ඒ කතාව ගෙදරට කිව්ව තකතීරුවා?
"ඒ කොහොමද කියන්න නම් අපි දන්නෑ. ඒත් භවන්ත සර් තමා කිව්වේ."
"අයියා ගෙදර හිටියද...?"
"නෑ, අපි ගියාට පස්සේ ඔයාගේ නෑනන්ඩි කෝල් කරලා ගෙන්නුවා. ඒ විතරක් නෙමෙයි, රන්දිකත් ආවා. සාදි කැම්පස් ගිහින් කිව්වා. අපි යද්දී චන්දු අංකල්ද කවුදත් මන්දා එහෙ හිටියා."
"හොඳ වෙලාවට සාදි ආවේ නැත්තේ...?"
"ඇයි?"
"නෑ... නෑ..... ඒකි ආවනම් ඔයාලව සැක කරනවා. ඒකිට තියෙන්නේ ලෝ තියරි."
"මොනවා නැතත් ශනුෂි නම් ඔයා වගේමයි ක්‍රිෂී."
"අනේ ශනුව දකින්නත් ආසයි භානුක."
"ඉතින් අපි නම් කියන්නේ ඔයා දැන් වුණත් පරක්කු නෑ කියලා. අයියලා තාමත් ඔයාව හොයන එක නවත්තලා නෑ."
"ඒකත් එහෙමද ...?"
"ඔව් ඔයා නැති පාලුව, ඔයා නැතුව ඒ මිනිස්සු දුක් විඳින හැටි දැක්කම මට නම් මාර විදියට අප්සට් ගියා. මම නම් කියන්නේ ඔයාව මෙහෙ තියාගෙන නෙළුම්ලත් කරගන්නේ පවක්. ඒ මිනිස්සුන්ගේ පපුව ඇතුළේ ඇවිලෙන ගින්දර පේන්න එහෙට යන්නම ඕනා. ඔයා කැමති තීරණයක් ගන්න. හැමදාම මම ඔයාට කියන්නේ ඒකයි. මම යනවා."
කිව්වේ ටිකයි වුණාට මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා භානු මිදුලට බැහැලා යන්න ගියා. ඇත්තටම භානු කියනවා වගේ මම පරක්කු නැද්ද? ඒත් අයියට මූණ දෙන්නේ කොහොමද? එහෙන් ඉඳුවර අර කෙල්ලත් එක්ක පෙම් කෙළිනවා බලන්න ආයෙමත් ඔය මීගමුවට යන්නේ කොහොමද ? ආයෙ ගිහින් යාළුවන්ට මූණ දෙන්නේ කොහොමද? ඔය හැම ප්‍රශ්නය ගාවම මම අසරණයි භානුක. ඉස්සර හිටපු ක්‍රිෂී දැන් නෑ.
*******
"මිස් ප්ලේ කරනවා අපි අහගෙන ඉඳලා ඊළඟට ප්ලේ කරන්නම්.""මොකටද අහන් ඉඳලා ප්ලේ කරන්නේ? ඊයේ මම සේරම එළකිරි වගේ කියලා දුන්නේ. ඒ විදියට ප්ලේ කරන්න."
"මිස් ප්ලේ කරනවා අහන් ඉන්න ආස හින්දනේ කියන්නේ. ප්ලීස්."
"අම්මෝ සෙට් එකේ කපටිකම...... මම ප්ලේ කරන්න ගත්තම ගොඩක් වෙලා ප්ලේ කරනවා කියලා දන්නවනේ."
"අනේ මිස්…."
"හරි හරි ප්ලේ කරන්නම්. හැබැයි ඊළඟට ඔයාලා හොඳට ප්ලේ කරන්න ඕනා හොඳද ?"
"හොඳයි අපේ චූටි මිස්..."
ඇත්තටම මම වයලින් එක ප්ලේ කරන්න ගත්තේ ආසාවෙන්. මම වයලින් එක ප්ලේ කරන කොට මම දන්නෙත් නැතුවම මගේ ඇස් දෙක පියවෙනවා. කොච්චර වෙලා ප්ලේ කරනවද කියලා මටවත් දැනෙන්නේ නෑ. ඒ තරමටම මම වයලින් එකට වශී වෙනවා.
වයලින් එක ප්ලේ කරලා ඉවර වෙනවත් එක්කම හතර වටෙන්ම අත්පුඩි සද්දයක් ඇහුණා. අද පන්තියේ හිටියේ පොඩි උන් හතර පස් දෙනයි කියලා මට ඊළඟ තත්පරේදී මතක් වුණා. එහෙනම් කවුද මේ...? කවුද බලන්න ඇස් දෙක ඇරියම එතන හිටිය සෙට් එක දැකලා මාව තුෂ්ණිම්භූත වෙලා ගියා. ජීවිතේ මට ගොඩක්ම ළඟින් හිටිය සුදු, නෑනා, සුදු සීයා, සාදි, රන්දික, ශනු කට්ටියම මගේ ඉස්සරහා හිටන් ඉන්නවා දැක්කම මට නැගිට ගන්න කකුල් දෙකක් පණ නැතුව ගියා.
මම ඇස් දෙක ඇරිය ගමන් "නැන්දී" කියාගෙන දුවගෙන ඇවිත් මට තුරුල් වුණේ ශනු.
"නැන්දී ඇයි මෙච්චර දවස් අපිව දාලා ඇවිත් මෙහෙට වෙලා හිටියේ? මාත් එක්ක තරහා වෙලාද ? නැන්දී මාත් එක්ක තරහා වෙන්නේ මම බත් කෑවේ නැත්නම් විතරනේ. ඉතින් මම හොඳට කනවනේ. ඇයි නැන්දී තරහා වෙලා ආවේ....?"
"අනේ නෑ පැටියෝ..."
"එහෙනම්...?"
පුංචි කෙල්ලගේ ප්‍රශ්නය ළඟ කොච්චර කටකාරියක් වුණත් මට උත්තර නැතුව ගියා. ඒ වෙනුවට ඇස් දෙකට ආවේ කඳුළු. මෙච්චර කල් හිර කරගෙන හිටිය කඳුළු සට සට ගාලා ඇස් දෙකෙන් කඩාගෙන වැටෙද්දී මම ශනුව තුරුල් කරගත්තා.
"අනේ අම්මියෝ.... මෙන්න නැන්දියා අඬනෝ."
පුංචි ශනු නෑනන්ඩියට කෑ ගහනවා ඇහුණත් මට ඔළුව උස්සලා කට්ටිය දිහා බලන්න තරම් ශක්තියක් ඒ වෙලාවේ තිබුණේ නෑ.
"ක්‍රිෂී දුවේ, මේ බලන්න මගේ දුවේ. දැන් අඬලා වැඩක් නෑ. අපි යමු ගෙදර."
කවුරු ආවත් ඉඳගෙන හිටිය තැනින් නැගිටලා හිටියේ නැති මාව සුදු සීයා ඇවිත් නැගිට්ටෙව්වා. මේ වගේ මගේම මිනිස්සු දාලා ඈතකට වෙලා ඉන්න තරම් මගේ හිත ගලක් වුණේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුණා.
"මට සමාවෙන්න සුදු සීයෝ, මම ඔයාලගේ හිත් රිදෙව්වා."
සීයාගේ කකුල් දෙක ගාව වැඳ වැටිලා සමාව ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට ඒ වෙලාවේ ඉතුරු වෙලා තිබුණේ නෑ.
"මේ අහන්න දුවේ, ඔයා සමාව ඉල්ලන්න ඕන නෑ.. අපි ඒවා අමතක කරමු."
සීයා මාව නැගිට්ටවලා තුරුල් කර ගත්තේ මගේ ඇස් දෙකේ තිබ්බ කඳුළුත් පිහදාලා.
"ඒත් සීයෝ මම ඔයාලගේ හිත් රිද්දුවා."
"මේ අහන්නකෝ මගේ දුවේ. අපි ඒවා අමතක කරමු. අපෙත් වැරැද්ද, ඔයා හැමවෙලේම හිනා වෙලා ඉන්නකොට අපි හිතුවේ ඔයා ඉන්නේ සතුටින් කියලා. ඒත් මිනිස්සු ගොඩක් හිනාවෙන්නේ තමන්ගේ දුක පිටට පෙනෙයි කියලා බයටයි කියන එක අපි තේරුම් ගන්න කල් ගියා දුවේ. ඒ වගේම ඔයත් තරුණ වයස ඉන්න කෙල්ලෙක්, ඔයාටත් ආදරේ දැනෙනවා කියලා අපිට අමතක වෙලාම ගියා දුවේ. දැන් ඔය කඳුළු පිහදා ගන්න."
"සීයෝ, කෝ ආච්චි ආවේ නැද්ද....?"
"ආච්චිට අසනීපයිනේ දූ...... එයා ඔයාව එක්කන් එනකම් බලන් ඉන්නවා."
ඊළඟට මාව ඇවිත් බදා ගත්තේ නෑනා. අයියා බැන්නොත් මිසක් වෙන මොනවටවත් අඬන්නේ නැති නෑනන්ඩි මාව තුරුල් කරගෙන සෑහෙන වෙලා ඇඬුවා.
"උඹට එහෙනම් හැමතිස්සෙම රණ්ඩු කරපු, විහිළු කර කර අවුස්සපු, එකට පිස්සු නටපු මේ නෑනව දාලා එන්න පුළුවන් වුණා නේද ?"
"අනේ සංජු අක්කේ..."
"අඬන්න එපා ක්‍රිෂී. දැන් අපි ඉන්නවනේ. හිත හදාගන්න. ඒක නෙමෙයි කෝ උඹේ කලිසම ?"
"කලිසමට සමුදුන්නා අක්කේ."
"හරි හරි... හැබැයි උඹට මම හැමදාම කිව්වා වගේ මෙහෙම ඇන්දම මාර ගති. නිළියක් වගේ. හුඟාක් ලස්සනයි. මේ… ඒක නෙමෙයි මචෝ රියල් ගේමක් තියෙනවා."
"මොකක්ද අක්කේ ?"
ඇස් දෙකේ තිබ්බ කඳුළු පිහ දාගන්න ගමන් මම අක්කගෙන් ඇහුවේ දුක හංගගෙන.
"ඔයත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නෑ කියලා ආපු, අන්න අර අයියණ්ඩියව ශේප් කර ගන්න එක ඔයාට බාරයි."
පන්සලේ බෝ ගහ යටට වෙලා ඉන්න අයියා දිහාට අත දික් කරලා සංජු අක්කා කිව්වා. ඒක දැකලා අයියා අහක බලා ගත්තේ අපි දෙන්නටම රවලා. ඒ කියන්නේ වැඩේ සිරියස්.
මම හෙමින් හෙමින් බෝ ගහ යට උන්නු අයියා ගාවට ගියත්, අයියා මම ළඟට ආවා කියලා දැක්කත්, එයා මං දිහා ඇහැක් ඇරලවත් බැලුවේ නැහැ. ඒ දුක මට කොච්චර දැනුණද කියලා මටවත් තේරුණේ නෑ.
"සුදු ඔයා මාත් එක්ක තරහාද ?"
සුදු වචනයක්වත් කතා කළේ නැති නිසා මම එහෙම ඇහුවත් සුදු මං දිහා ඔරවලා බැලුවා මිසක් මුකුත්ම කිව්වේ නැහැ.
"සොරි අයියේ, මම ඔයාලගේ හිත රිදෙන දෙයක් කළා. ඒ මට එවෙලේ හිතට ආපු දේ අයියේ. අනික මට කරන්න වෙන දෙයක් තිබ්බෙත් නෑ. ඔයා දන්නවනේ ඔයාගේ නංගිට ඕනෑම දෙයක් ඕනාවට වඩා දරාගන්න අමාරුයි කියලා. ඔයා මට සමාව දෙනවා නේද සුදු...?"
"එක් එක්කෙනා වැරදි කරන කරන ගාණේ සමාව දෙන්න මම කොන්දක් නැති මිනිහෙක් නෙමෙයි. ඒක දැන ගන්නවා. මං ගැන හොඳටම දන්නෙ තමුසෙනේ."
"අනේ සුදු ..... මම ආදරේ ළඟ ගොඩක් අසරණ වුණා සුදු."
"තමුසෙට ඒ ආදරේ විතරද ලොකු වුණේ? මෙච්චර තමුසෙ ගැන හිතන අපිව තඹේකට මායිම් නොකර කොහේවත් යන එකෙක්ගේ ආදරේ වෙනුවෙන් අපිව දාලා ආවා. නිකම් හරි අපි ගැන ඒ වෙලාවේ මතක් වුණා නම් තමුසෙ මෙහෙම එන්නේ නෑ. තමුසෙට මගේ ආදරේට වඩා ඒ ආදරේ ලොකු වුණා."
ජීවිතේ පළවෙනි වතාවට සුදු මට හොඳටම බනින්න පටන් ගත්තා. 'කමක් නෑ සුදු, බැනලා බැරිනම් ගහලා හරි ඔයා ඔයාගේ තරහා පිට කර ගන්න.'
"තමුසෙ දන්නවද තමුසෙ ගැන හොයන්න මම නොකරපු දෙයක් නෑ. හොයලා හොයලා බැරිම තැන පත්තර වලට, ටීවී වලටත් දැම්මා. නොගිය පොලීසියක් නෑ. ඒත් තමුසෙව හොයන්න බැරි වෙනකොට මේ භවන්ත පිස්සෙක් වුණා කියලා තමුසෙට මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. පුංචි කාලේ ඉඳන් කිසිම කෙනෙකුගෙන් වචනයක් අහන්න නොදී, අඩුම තරමේ කාගෙවත් නරක හුළං පොදක්වත් වදින්න නොදී, හැම සැපක්ම දීලා තමුසෙව ආරක්ෂා කර ගත්ත මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට ගොඩක් දුකයි ක්‍රිෂී. තමුසෙට මෙච්චර ආදරේ කරපු මේ සුදුව දාලා තමුසෙ එහෙනම් හැංගිලා හිටියා නේද....? මොකද, කෝ අර වෙනදා කියවන කට...? කතා කරනවා ක්‍රිෂී, කතා කරනවා."
"අයියේ..."
"කට වහගන්නවා, තමුසෙගේ ඔය කටෙන් මට අයියා කියන්නවත් එපා."
"භවන්ත ඔය ඇති. ඔයා කොච්චර ආසාවෙන්ද නංගි බලන්න ආවේ? ඇයි මේ රණ්ඩු කරන්නේ ?"
"නෑ සංජලී. මෙයා පොඩ්ඩක්වත් මං ගැන හිතුවේ නෑ. මෙයා රට හිටිය ටිකේ අපි හිටියේ කොහොමද කියලා මෙයා හොඳාකාරවම දන්නවා. එහෙම එකේ මෙයා ඇයි මේ වගේ වැඩක් කළේ...?"
ජීවිතේ කවදාවත්ම මම දන්න තරමින් අක්කට සංජු කියනවා මිසක් අයියා සංජලී කියලා කතා කරලා නෑ. ඒ වෙනස මට විතරක් නෙමෙයි අක්කගේ මූණෙනුත් හොඳටම පේන්න තිබ්බා.
"හරි හරි භවන්ත, දැන් හොඳ ළමයා වගේ කූල් වෙන්නකෝ."
"නෑ අක්කේ, අයියගේ තරහා නිවෙනකම් මට බනින්න ඉඩ දෙන්න. ඒත් මදි නම් ගැහුවදෙන්. ඔයා සද්ද නැතුව ඉන්න."
"ගහන්න... ඔව් නොගහපු එකේ අරුමේ තමයි මේ."
ජීවිතේ පළවෙනි වතාවට කාගෙන්වත් ගුටිකාලා නැති ක්‍රිෂී හොඳ කම්මුල් පාරක් කෑවා. ඇස් දෙකෙන් වැටෙන කඳුළු නවත්ත ගන්න සෑහෙන්න ට්‍රයි කළත් ක්‍රිෂීට බැරි වුණා. ඒ හිතට ආව දුක හිර කරගෙනම මම බෝ මළුවෙන් එළියට අඩිය තිබ්බා.
"ක්‍රිෂී... නවතිනවා."
අයියගේ කටහඬ පන්සල් වත්ත පුරාම දෝංකාර දෙද්දී, බෝ මළුවෙන් එළියට තිබ්බ කකුල ආපහු අරගෙන මම අයියගේ පැත්තට හැරුණා.
අයියා ටිකක් වෙලා මං දිහා බලාගෙන ඉඳලා මං ළඟට ඇවිත් මාව බදාගෙන අඬන්න ගත්තා. ඇත්තටම ඒ වෙලාවේ මටත් කඳුළු නවත්තගන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. ඇති වෙනකම් අඬලා අපි දෙන්නාම ඔළුව උස්සනකොට වටේම හිටිය කට්ටියගේ ඇස් වලට කඳුළු ඇවිල්ලා තියෙනවා මම දැක්කා. හිනාවෙලා අපි දිහා බලන් හිටියේ ලොකු හාමුදුරුවොයි, පොඩි හාමුදුරුවොයි විතරයි.
මම ගිහින් ලොකු හාමුදුරුවෝ ළඟ දණ ගහලා වැන්දා. හිනාවෙන් පිරිච්ච ලොකු හාමුදුරුවන්ගේ මූණ දකිද්දී, කාන්තාරෙක අතරමං වෙලා ඉද්දී වතුර ටිකක් හම්බුණා වගේ හිතට ලොකු සැනසීමක් දැනුණා.
"ක්‍රිෂී ළමයා මෙච්චර ලොකු පවුලක ළමයෙක් කියලා අපි දැනන් උන්නේ නෑනේ පොඩි නම."
"එහෙයි අපේ ලොකු හාමුදුරුවනේ. දැන් ඉතින් ක්‍රිෂී ගියහම අපේ ළමයි ටිකට තමා පාඩු."
"ඇයි පොඩි නම, ගමේ මිනිස්සුන්ට?"
"ඒක නේන්නම් අපේ හාමුදුරුවනේ."
"අවසරයි හාමුදුරුවනේ, සමාවෙන්න. මට මෙහෙ මගේ නංගිව තියලා යන්න කියල නම් කියන්න එපා. මම නංගි නැතුව මේ ටික කාලේ ජීවත් වුණේ පිස්සෙක් වගේ."
"හරි.. හරි... උපාසක මහත්තයෝ. අපි කියන්නේ නෑ මේ කෙලිව මෙහෙ තියලා යන්න කියලා. ඒත් මට ඔබතුමා එක්ක ටිකක් කතා කරන්න ඕනෑ. ඔය තරුණ කට්ටියට ඔහෙන් ඉන්න කියලා වැඩිහිටි උදවිය ආවාසගේ පැත්තට ආවනම් හොඳයි."
සාදිවයි, රනියවයි, මාවයි බෝ මළුවේ තියලා අනික් කට්ටියත් එක්කගෙන ලොකු හාමුදුරුවෝ ආවාස ගේ පැත්තට වැඩියා.
"සාදි…"
"එන්න එපා උඹ මාත් එක්ක කතා කරන්න. බලපන් චූටි කාලේ ඉඳන් බොක්කෙන්ම ආශ්‍රය කරපු මටවත් නොකියා උඹ මෙහෙට වෙලා උන්නනේ."
"මම වෙන මොනවා කරන්නද බං?"
"උඹ මොනවාද කරලා තියෙන්නේ? අන්තිමට හැමෝගෙම හිත් රිද්දපු එක විතරයි."
"ඒත් ඒකෙන් ඉඳුවරට හොඳක් වුණානේ."
"මොකක්ද ක්‍රිෂී... ඉඳුවරට වෙච්ච හොඳේ...?"
"රන්දික, උඹ මුකුත් දන් නෑ වගේ කතා කරන්න එපා. ඉඳුවර එයා ආදරේ කරපු කෙනා හම්බවෙලා ඇති. නැත්නම් තාමත් හොයනවා ඇති. ඒ මැද්දට පැනලා ඒක අවුල් කරන්න මට ඕන වුණේ නෑ. ඒ ගර්ල්ට සාධාරණයක් වෙන්නයි මට ඕන වුණේ. එහෙම වුණත් මට ඒ දේවල් බලන් ඉන්නත් බෑ. ඒකයි මීගමුව දාලා ආවේ. උඹලා ඒක දන්නවනේ."
"උඹ එහෙම හිතනවද ක්‍රිෂී…?"
"ඔව් රන්දික. මම එහෙම හිතනවා. මම වැරදි නෑනේ..."
"අනේ… ප… ල… යන්…"
එක පාරටම සාදි කියන්න ආපු වචන ටික ගිල්ලා. එතකොටයි මම දැක්කේ ඈත එන භානුකයි, නෙළුම් නංගියි, විරාජ් අයියයි. 'ඔය තියෙන්නේ එළකිරි වගේ. මේ ප්‍රශ්නෙත් මෙතනම විසඳලා දැම්මැකි.' හිතේ තියෙන ප්‍රශ්න සේරම පැත්තකින් තියලා මේ ප්‍රශ්නෙ විසඳලා ඉන්නවා කියලා මම හිතා ගත්තා.
"ක්‍රිෂී අක්කේ… ඔන්න මට නම් බනින්න එපා. භානු අයියා තමයි සේරම කළේ. අපි ඔයාගේ විශ්වාසය බිඳින්න හිතුවේ නෑ. ඒත් එහෙට ගියාම ඔයාලගේ ගෙදර කට්ටිය මානසිකව වැටිලා ඉන්න හැටි දැක්කම, ආච්චිගේ අසනීප තත්ත්වය ඇහුවම, මේ සේරටම හේතුව ඔයා ගෙදර නැති එක කියලා දැනුණම අපිට අපිවම කන්ට්‍රෝල් කරගන්න බැරිවුණා. භානු අයියා මගෙන් ඇහුවා කියමුද කියලා. ඉතින් මාත් කිව්වා හා කියලා. ඊට පස්සේ කියලා දැම්මා. ඔයාට කියන්න, අපි ඒ විස්තර කිව්වම ඔයාගේ ආච්චිගේ ලෙඩේ භාගෙට භාගයක්ම හොඳ වුණා. අනික භවන්ත සර්ගේ මූණට ආපු හිනාව මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. එයාලා එවෙලෙම එන්න හැදුවේ. ඒත් අපි කිව්වා අද එන්න කියලා. නේද භානු අයියා?"
විස්තරය පත්තරයට දැම්මා වගේ සේරම දිග ඇරලා නෙළුම් භානුකගේ පිටට ගහලා කතාව අනුමත කරන්න කිව්වත් භානුක නෙමෙයි ඔළුව ඉස්සුවේ. සාදිත් බිම බලාගෙනමයි හිටියේ. දැන් මේකීට මෙතනින් යන්නත් බෑ, ඉන්නත් බෑ. ඕවට තමා කියන්නේ "උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ" කියලා.
"නෙළුම් නංගි ඔයාගේ සමාව බකට් එක මට පස්සේ ගෙනත් දෙන්න. එනකොට අපේ ගනුදෙනු බේරගමු. මෙතන ඊට වඩා රියල් ගේම් එකක් දෙන්න තියෙනවා." මගේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා ආයෙම පරණ ක්‍රිෂීගේ තත්ත්වයට එන ගමන් මම නෙළුම්ට කිව්වා.
"ඒ මොකක්ද ක්‍රිෂී අක්කේ...?"
"ඔන්න එහෙනම් චිත්‍රපටිය බලාගන්නකෝ."
කට්ටියම තුෂ්ණිම්භූත කරලා දාලා මම සාදි ළඟට ගියා. සාදියා මටත් ගස්සලා අහක බලා ගත්තේ නිකන් මම ලව් කරපං කිව්වා වගේනේ.
"සාදි, මේ ඉන්නේ මදුෂිත්. භානුක, මේ ඉන්නේ මයුමි." රන්දිකටයි, නෙළුම්ටයි, විරාජ්ටයි හෙන පුදුමයි. ඇයි ඉතින් මම වෙනදා හඳුන්වාදෙන කිසිම නමක් භාවිතයට නොගෙනනේ හඳුන්වා දීමට ලක් කළේ.
"ක්‍රිෂී… මට යන්න දීපං. උඹව හොයාගෙන තියෙන වැඩ ඔක්කොම දාලා මම ආවේ. දන්නවා නම් අද මම මේ ගමන එන්නෙත් නෑ."
"ආ.... මේ බලහල්ලකෝ ඉබ්බියෙක් ගිය උඩ. උඹ නිසා ආවට මම මෙහෙ ආව එක ගැන ගොඩක් පසුතැවෙනවා."
මට තර්ජනාත්මක ස්වරයක් දාලා සාදියා යන්න හැරුණා. එහෙම කොහොමද ඒකීට යන්න දීලා? ඒකමයි මම ඒකිගේ අතින් අල්ල ගත්තේ.
"සාදි චුට්ටක් ඉඳපං. දැන්වත් දෙන්නා මේ ප්‍රශ්නෙ විසඳගනිල්ලා, දෙන්නා දෙපැත්තට වෙලා අඬ අඬා ඉන්නේ නැතුව."
"මට විසඳ ගන්න ප්‍රශ්නයක් නෑ. උඹත් දන්නෙ නැති තොත්ත බබා වගේනේ කතා කරන්නේ. ඇස් දෙකට පෙනි පෙනී." සාදියා නෙළුම් දිහා බලාගෙන කෑ ගහනවා. යකෝ මුන් උසාවියට ගියොත් ඔක්කොටම කලින් නඩුකාරයා මුන්ව කුඩුවට දානවා. ඇයි යකෝ, වැදගත් විදියට හැසිරෙන්න දන්නෙම නෑනේ. මේකීට නෙළුම්ව මරන්න පුළුවන්නම් මේකී ඒකත් කරනවා. ඉඳකින් මගේ බොක්කේම යාළුවා කියන්නත් ලැජ්ජයි.
"අනේ ක්‍රිෂී අක්කේ මොකක්ද මේ ප්‍රශ්නේ? අපිව නිකම් කරකවලා අත ඇරියා වගේ, මුකුත් තේරෙන්නේ නෑ."
"තේරුම් කරලා දෙන්න තමා මේ හදන්නේ නෙළුම්. කොහෙද මේකී දතකට පුට්ටු කරගෙන දඟලනවනේ."
"ක්‍රිෂී මට යන්න දීපන්."
"සාදි මම හැමදේම දැනගෙන කතා කරන්නේ. මේක තනිකරම වැරදි වැටහීමක්. මේ ඉන්නේ මදූගේ මාමගේ දුව නෙළුම්. එදා උඹ බොරුවට මදූව සැක කළේ. දැන්වත් ටිකක් කතාබහ කරලා ප්‍රශ්න විසඳගනිල්ලා. කොහෙද උඹ ඉතින් මහ ලොකු ලෝයර්නේ."
"ඒ කියන්නේ ක්‍රිෂී, ඔයා දැනගෙන හිටියද මම මදුෂිත් කියලා?"
"ඔව් භානු. එදා ඔයා ඔයාලගේ සීන් එක කියන වෙලාවේ මට සැක හිතුණා. මේක සාදියගේ සීන් එකට සමානයි කියලා. ඒකයි මම ඔයාගෙන් ගර්ල්ගේ නම ඇහුවේ. ඔයා මයුමි කිව්වම මගේ සැකේ ස්ථිර වුණා. හැබැයි මට එක ප්‍රශ්නයක් ඉතුරු වුණා."
"ඒ මොකක්ද...?"
"සාදීගේ බෝයිෆ්‍රෙන්ඩ් වුණු භානුක ඇයි ඒකිගේ හොඳම යාළුවා වුණු මගේ නමවත් නොදන්නේ කියන එක."
"මට ඔයා ගැන හැමදේම මයුමි කියලා තියෙනවා. ඒත් මට දැන් මයුමිව දකිනකම්ම ඒ කිසිම දෙයක් මතක් වුණේ නෑ. සොරි ක්‍රිෂී..."
"හරි... හරි... හැබැයි ආයෙ අමතක වෙන්න බෑ."
"ආයෙ අමතක වෙන්නේ නෑ. එතකොට මට මයුමිව හම්බවුණු දවසේ අපි හොස්පිට්ල් අරගෙන ගියේ ඉඳුවරවද..?"
"හ්ම්.. ඔව්."
මම භානුට කිව්වේ එච්චරයි. එතනින් එහාට ඒ ගැන කතා කරන්න මගේ හිත කැමති වුණේ නෑ. හිතට වේදනාවක් දැනුණ නිසා මම සුසුමක් පිට කළේ හිත සැහැල්ලු කර ගන්න. ඒත් ඒක මං දිහාම බලාගෙන හිටිය විරාජ් අයියා දැක්කා කියලා දැනෙනකොට මට ලොකු අපහසුතාවයක් දැනුණා.
"එතකොට භානු අයියේ ඔය දෙන්නා තරහා වෙලාද උන්නේ? මේ මයුමි අක්කාද...? ඔයාලා තරහා වුණේ මම හින්දද ? අනේ දෙයියනේ ඇයි මේ කිසිම දෙයක් මට නොකිව්වේ...? මට කිව්වා නම් මම හොයාගෙන ගිහින් හරි මේ ප්‍රශ්නේ විසඳනවනේ."
"එහෙම කොහොමද… එතකොට ක්‍රිෂී විසඳන්නේ මොනවාද ? නෙළුම්, දැන් ඒවා අතීතය. මේ බලන්න, දැන් ඉතින් අපිට ළඟදීම වෙඩින් කේක් කෑල්ලක් කන්න පුළුවන්. රනියෝ දැන්මම රැග් එක ප්ලෑන් කරලා තියා ගනින්."
"ඕකේ… ක්‍රිෂී... ඒවා වෙඩි වගේ තියෙයි."
"දැන් ඔය අවුරුද්දක විතර පවුල් ප්‍රශ්න සමාදානයෙන් විසඳ ගන්න කියලා අපි අන්න අර පැත්තට යමු." භානුවයි සාදිවයි බෝ මළුවේ දාලා අපි පන්සලේ ජම්බු ගහ යටට ආවා.
"රන්දික අයියේ ඊයේ වෙලාවට නේද මයුමි අක්කා හිටියේ නැත්තේ. හිටියා නම් මට ගුටි කන්නත් වෙනවා."
"අනිවාර්යයෙන්ම. මම දන්නෙ නැද්ද සාදියගේ හැටි. එහෙනම් අද අපිට මෙහෙ එන්න වෙන්නේ නෑ. අපිට ඔයාව බලන්න හොස්පිට්ල් තමා යන්න වෙන්නේ."
රන්දිකයි නෙළුම් නංගියි කතාවකට වැටුණත් මට එයාලා එක්ක කතා කරලා සතුටු සාමීචියේ යෙදෙන්න තරම් මානසිකත්වයක් තිබුණේ නෑ. ඒකයි මම ජම්බු ගහේ මුල උඩින් ඉඳගෙන කල්පනා කරන්න ගත්තේ.
"භාවනා නංගි."
මගේ පිටිපස්සේ හිටියේ විරාජ් අයියා.
"කියන්න අයියේ."
"කියන්න නම් දේවල් හුඟක් තියෙනවා. ඒත් කොහෙන්ද පටන් ගන්නේ කියලා මටත් තේරෙන්නේ නෑ."
"ඒ කිව්වේ අයියේ?"
"ඔයා මේ කරලා තියෙන වැඩේ ගොඩක් බරපතළයි නංගි. ඔයාට එහෙම නොකරන්නයි තිබුණේ."
"මටත් දැන් එහෙම හිතෙනවා අයියේ. එක අතකින් ඊයේ භානුකලා එහෙම කරපු එකත් හොඳයි. දැන් ඉතින් මගේ වැරැද්ද මට හදා ගන්න පුළුවන්."
"වැරැද්ද හදාගෙන විතරක් මදි. ආයෙ එහෙම වැරදි කරන්නේ නෑ කියලා ඔයා මට පොරොන්දු වෙන්නත් ඕනා."
"අ.. අයියේ.."
"කෝ ඉතින්. මේ පන්සලේ ඉඳලම පොරොන්දු වෙන්න."
මම විරාජ් අයියා දිහා බැලුවේ ඒ මූණේ තියෙන හැඟීම් තේරුම් ගන්න. ඒත් ඒ ඇස් දෙකේ තිබුණ කිසිම දෙයක් මට තේරුම් ගන්න බැරිවුණා.
"කෝ ඉතින්…"
"හ්ම්… මම අයියට පොරොන්දු වෙනවා."
විරාජ් අයියගේ අත උඩින් අත තියලා මම විරාජ් අයියට කිව්වා. විරාජ් අයියා මගේ අතින් අල්ල ගත්තේ ලොකු සෙනෙහසකින් කියලා මට තේරුණා. ඒත් එයාගේ ලස්සන හිතට තවත් බලාපොරොත්තු දෙන්න මට ඕනෑ වුණේ නෑ.
********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Comments
Post a Comment