දඟකාර ආඩම්බරී 13

13 වන දිගහැරුම 

“අපිට කොයින්ද පූසෝ මාළු... අපි යනවැයි මුහුදු...”

මමයි, නෙළුම් නංගියි සාදිලා ඉන්න දිහාට ආවේ උන් දෙන්නට මොකද වුණේ කියලා බලන්න. පන්සල් වත්තෙ අසංවර ලෙස හැසිරුණා කියලා යම රජ්ජුරුවෝ කුදලගෙන ගිහින්ද දන්නෙත් නෑනෙ. සොයා බලලීම අපේ යුතුකමක්නෙ. අයියලා කට්ටිය තාමත් ලොකු හාමුදුරුවොත් එක්ක හෙන කයිය. පැය භාගයක් විතර ගිහිල්ලත් සාදිලා පේන්න නැති නිසා බලන්න ආවම දැක්ක දර්ශනය තනිකරම ‘කොටු කොටු’ දර්ශනයක්. මගෙ කටහඬ ඇහුණා විතරයි, භානුකට තුරුල් වෙලා හිටිය සාදි විදුලි වේගයෙන් ඈත් වුණා. ඒකිට හෙන ලැජ්ජාවයි. ඇත්තනෙ ඉතින්, චිත්‍රපටියක දර්ශන පෙළක් මායි නෙළුම් නංගියි ටිකට් නැතුවම දැක්කනෙ.

තීන්දුව දෙන්න ගෙනාපු විත්තිකාරයෝ දෙන්නෙක් වගේ දෙන්නම බිම බලාගෙන. හැබැයි සාදියා ඉන්නේ හොඳටම අඬලා කියලා මට තේරුණා. ඉඳකින් යකෝ, අවුරුද්දකට විතර පස්සෙ හම්බවෙලත් සාදියට දැන් මාව ඕනෙ නෑනෙ. මෙකී ඇවිත් තියෙන්නේ භානුකව හොයාගෙනද කොහෙද?

“මේ මේ... ආයෙ ඔය ළමයි පන්සල් නාවට කමක් නෑ. පන්සල තියෙන්නේ පින් කරන්න මිසක් පෙම් කෙලින්න නෙමේ. ආවනම් මලක් පහනක් පූජා කරලා පිනක් දහමක් කරන්නේ නැතුව එනවා මෙතන චිත්‍රපටි රඟපාන්න. තරුණ ළමයි නේද... අනේ මේ වගේ ළමයිනෙ අපේ රට ඉස්සරහට භාර ගන්න ඉන්නෙ. අනාගතේදී පින්දහම් කරන්න තියෙන පන්සල් පෙම් කෙලින පාක් වෙයිද දන්නෙ නෑ. ඕං මම කිව්වා.”

ලොකු හාමුදුරුවෝ මෙතනට වැඩියා නම් ඔන්න ඔය වගේ නොමිලේම හොඳ උපදෙස් ටිකකුයි, හිතපුරා පැණි බේරෙන්න බැනුම් මාලාවකුයි වෙඩි මඩුවක් පුපුරනවා වගේ අහගන්න උඹලා දෙන්නටම පුළුවන්.

ඒ පාර මුන් හයියෙන් හිනා වෙනවා. යකෝ මුන් නම් මැටි හරක්. පන්සලක හැසිරෙන්නවත් දන්නේ නෑ.

“යකෝ කෑ ගහන්න එපා... ඊළඟට ලොකු හාමුදුරුවෝ වැඩියොත් බනින්නේ මේ අහිංසක අපි දෙන්නටත් එක්ක.”

“අප්පේ... හොඳ අහිංසක නේද මයුම්...”

“අම්මට සිරි නෙළුම්, මේ බලපංකෝ දැන්මම නෝනයි මහත්තයයි එක පැත්තක් ගහලා. හා... හා... ඔහොම යං ඔහොම යං.”

“අපිට කොහෙන්ද බූල් බල්ලෝ නේද ක්‍රිෂි අක්කේ?”

“යස් නංගි, යූ ආර් කරෙක්ට්.”

“අක්කේ... මම කැරට් අලයක්ද?”

“කැරට් අලයක් වගේ තමයි නේද ක්‍රිෂි?”

එහෙම අහගෙනම රන්දිකයි විරාජ් අයියයි අපි ගාවට ආවා.

“ඒ... ඒ... භානුක, නංගිව පරිස්සම් කර ගනිං පුතෝ... ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි වගේ... ඔන්න මම නොකිව්වයි කියන්න එපා.”

මම භානුකට එහෙම කියනකොට රනියා මගෙ කට වහන්න සෑහෙන ට්‍රයි එකක් දුන්නා. නෙළුම් බිම බලාගෙන කකුලේ මහපට ඇඟිල්ලෙන් බිම හාරන්න ගත්තා.

“ආ... බං ක්‍රිෂි... පොල් පැලෙත් අකමැත්තක් නෑ වගේ නේද?”

සාදියා නෙළුම් එක්ක තිබ්බ නයි වෛරය අතඇරලද කොහෙද? මුන්ගෙ නම් ලැජ්ජා නහරේ කපලා. සාදියා දාපු පල් ටෝක් එකට තමා ලැජ්ජාවෙන් රතුවෙලා බිම බලාගෙන සිටිය නෙළුම් ඔළුව ඉස්සුවේ.

“අනේ... ඔයාලට විකාර...”

“ආ... අපිට විකාර... එතකොට තමුසෙට? අනේ මේ, ඔය පන්සල් වත්ත හාරන්න එපා. පව්... ඊළඟ ආත්මේ ගැඩවිල් පනුවෙක් වෙලා ඉපදෙයි හාර හාර ඉන්න.”

මගෙ පල් ටෝක් එකට සෙට් එකටම හිනා ගියා. අවුරුද්දකින් විතර කට්ටිය සෙට් වෙච්ච නිසා ඇත්තටම හැමෝම හිටියේ සතුටින්. ඒත් මගෙ හිතේ තිබ්බ ප්‍රශ්නය කට්ටියගෙන් අහන්න මගෙ හිත බය වුණා. මගේ දුක හංගගෙන අනිත් හැමෝටම පේන්න හිනාවෙන්න මම ලොකු උත්සාහයක් ගත්තා. හැමෝටම වඩා සතුටින් හිටියේ සාදි. ඇයි ඉතින් ඒකිට ආයෙත් මල්සරා පරණ ඊතලයෙන්ම විද්දනෙ. හිනා වෙවී අපිත් එක්කම ඉන්න විරාජ් අයියව දැක්කමයි මට මතක් වුණේ, මම කට්ටියට විරාජ් අයියව අඳුන්වලා දුන්නේ නෑ කියලා.

“සාදි, රනියෝ... මේ ඉන්නේ විරාජ්. මේ ගමේ ඉන්න අයියා කෙනෙක්.”

“ආ... මෙයාද විරාජ්? මට නෙළුම් මේ අයියා ගැනත් කිව්වා.”

“උඹට කොහොමද නෙළුම්ව හම්බවුණේ...?”

“ඇයි ඊයේ භවන්ත අයියලගෙ ගෙදර මමත් හිටියනේ බං සාදියෝ.”

“ආ... එහෙනම් මේ ඊයේ ඉඳන්ම ඇති වෙච්ච සීන් එකක් ආ... හොඳයි හොඳයි, එහෙනම් අපේ රනියටත් මල්සරා විද්දා එහෙනම්. නෙළුම් කැමති වුණොත් ඒකත් ජයසිරි මංගලම් ආ...”

“අනේ... ක්‍රිෂි අක්කට පිස්සු. මම යනවා.”

“හෝව්... හෝව්... යනවා නම් පස්සේ ගිහින් හෝද ගන්නවා. ඔය ටිකක් ගඳ ගැහුවට කමක් නෑ. අපිනේ ඉන්නේ.”

“අනේ... අක්කේ...”

“නංගි මේ...”

“නෙළුම් නංගි ඔන්න කිව්වා මේ අහගන්න... අනේ... පණේ කතා එපා තවත් කියන්න... කලවයසක් ගෙවිලා යයි බෑ ඉවසන්න... අනේ... දෙකෙන් එකක් කියන්න...”

රනියා ලස්සනට සින්දුවක් කිය කියා නෙළුම් වටේ යන්න ගත්තා. කට්ටියටම හිනා. අවුරුදු ගානකට පස්සේ මෙහෙම හිනාවුණේ. නෙළුම්ට එළකිරියටම රනියා ගැලපෙනවා. අවුලක් නෑ. ඒ අහිංසක කෙල්ලට හරි යනවා නම්, මගේම නංගි කෙනෙක්ටත් වඩා ඒකි මට ළඟයිනේ. රනියා නරක කොල්ලෙක් නෙමේ. දාහකින් සොයා ගන්න බැරි පල්කිරි පොරක්. ඒත් ඉතින් මූ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා නම් තාම හිතා ගන්න බෑ.

“ක්‍රිෂි, අපි මෙච්චර වෙලා ගොඩක් කතා කළා. විහිළු කළා. හිනා වුණා. ඒත් තාම මෙතැනට අවශ්‍යම කතාව ආවේ නෑ.” අල්ලගෙන හිටිය භානුකගේ අත අතඇරලා සාදි මං ගාවට ආවේ හෙන සීීරියස් මූඩ් එකක් අරගෙන. දැන් ඉතින් හරි. මොනවා කරන්නද? මුන් මාව නඩු නැතිව එල්ලුම්ගස් යවයි වගේ. මම කැමති වුණත් අකමැති වුණත් කොයි වෙලේ හරි මේ කතාව ඇදිලා එනවා කියලා මම දැනන් උන්නා.

“ඔව් බං සාදියෝ, මමත් කටවහන් හිටියේ ක්‍රිෂීම මේ කතාව මෙතැනට ඇදලා ගනියි කියලා. ඒත් මෙකී ඒ ළඟටවත් යන්නේ නෑ. ඒක හින්දා අපිම කතාවටම බහිමු.”

“උඹ හරි රනියෝ. මේකි හිතා මතාම ඒ කතාව අපෙන් මගහරිනවා.”

“හරි, දැන් මොකක්ද උඹලගේ ඔය කතාව...?”

කතාවේ මාතෘකාව මම දන්නවා වුණත් නොදන්නවා වගේ හැසිරුණේ, ඇත්තටම මම ඉඳුවරව අමතක කරලා ඉන්නේ කියලා කට්ටියට අඟවන්න. මම තාමත් ඒ ගැන හිතනවා කියලා ආයෙත් මගෙ මිනිස්සුන්ගේ හිත පාරන්න මට උවමනා වුණේ නෑ.

“උඹ දන්නෙම නෑ?”

“නැති හින්දනේ සාදි මම මොකක්ද කියලා ඇහුවේ.”

සාදියගේ ඇඟට කඩන් පතිත වෙන ගමන් මම එතැන තිබුණු ලොකු ගහේ මුල උඩින් ඉඳගත්තා. මම දිහා කන්න වගේ කට්ටියම බලන් ඉන්නවා. මුන්ට නම් පිස්සු.

“උඹ දන්නේ නැත්නම් දැනගනින්. අපි මේ කියන්නේ ඉඳුවර ගැන. උඹේ ආදරේ ගැන. උඹේ ජීවිතේ ගැන.”

සාදි එහෙම කිව්වම මට පුංචි හිනාවක් ගියා. ඒක මම හිතලා කරපු දෙයක් නෙමේ. මට දැනුණේ ඒ හිනාව මට මං ගැනම දැනුණු අනුකම්පාව නිසා ඇති වුණ දෙයක් වගේ. ඒක උන්ට දිරෙව්වේ නැති වුණා කියලා මට තේරුණේ ඊළඟ තත්පරේදී.

“උඹට දැන් ඉඳුවරව මතක නැද්ද ක්‍රිෂි...?”

සාදි අහපු ප්‍රශ්න දිගේ මම ටිකක් වෙලා කල්පනා කළා. විරාජ් අයියා මගෙ ඇස් දිහාම බලාගෙන හිටියේ මම මොකක්ද කියන්නේ කියලා දැන ගන්න කියලා මට තේරුණා. බෝ ගහේ හෙලවෙන දළු දිහා බලාගෙන මම සාදියට ඇත්තම කිව්වා. ඒ තවත් මට හංගන්න දෙයක් නැති නිසා.

“ජීවිතේට ගොඩක් ලං වෙච්ච දේවල් අමතක කරන්න බෑ බං සාදි. මම ලංකාවෙන් ගියේ ඉඳුවර ගැන ලොකු වෛරයක් හිතේ තියාගෙන. ලංකාවට ආවේ මට කරපු දේට පළිගන්න. ඒත් අන්තිමට මගෙ හිත මට කිව්වේ ඉඳුවරව සනීප කරගන්න කියලා. මම ඒක කළා. ඒත් අන්තිමට මට වුණේ ආපහු ඉඳුවරගෙන් ඈත් වෙන්න. අමතක කරන්න අමාරුයි තමයි. ඒත් අමතක කරන්න ට්‍රයි කරනවා.”

“හරි, උඹ අමතක කරන්න හදන එක දැන් සාර්ථකයිද?”

“ඒක ගැන මමවත් දන්නේ නෑ බං. ඒත් දැන් ඉස්සරට වඩා සැහැල්ලුවෙන් ඉන්නේ කියලා නම් හිතෙනවා.” හිතට එකඟව නොවුණත් ඒ බොරුව මම කිව්වේ මේ කතාව දිගට ඇදෙන එක නවත්තන්න.

“බොරු කියන්න එපා ක්‍රිෂි... මේ පන්සල. උඹ ළඟ ඉස්සර තිබුණු සැහැල්ලුව දැන් නෑ. මට උඹේ මූණෙන් ඒක කියන්න පුළුවන්. පුංචි කාලේ ඉඳන්ම එකට හැදුණු වැඩුණු අපි දෙන්නට අපි දෙන්නගේ හිත් කියවන්න පුළුවන් කියලා උඹම නේද ඉස්සර මට කියන්නේ?”

“උඹලා දැන් ඔය මෙතැනට ඇදගෙන එන්න හදන්නේ මට අඬන්න වෙන කතාවක් නම් ප්ලීස් ඕක නවත්තපල්ලා බං. මොකද ඉස්සර වගේ මගෙ හිත දැන් හයිය නෑ. මම අමතක කරලා දාන්න හදන දේවල් මතක් කරලා මාව පිස්සියෙක් කරන්න එපා. මගෙ පවුලේ කට්ටියට ආපහු මාව නැති කරන්න එපා සාදි.”

මම කියපුවට සාදි මුකුත්ම කිව්වේ නෑ. රනියත් කටපියා ගත්තා. එතැන් ඉඳන් අපි කට්ටිය මුකුත් කතා කළේ නෑ. ඒත් ඒ නිශ්ශබ්දතාවය බිඳලා දාලා විරාජ් අයියා කතා කරන්න ගත්තා.

“ක්‍රිෂි, ඔයා හිතනවද ඔයා ඉඳුවරව අමතක කරලා දාන්න හදනවා කියලා?”

“ඔ.. ඔව් විරාජ් අයියා.”

“නෑ ක්‍රිෂි, ඒක බොරුවක්. ඔයා එහෙම කරන්න පුංචි හරි ට්‍රයි එකක් දුන්නා නම් එදා ඔයා මට කැමති වෙනවා. එදා ඔයා කතා කරපු හැම වචනෙකම තිබුණේ ඔයා ඉඳුවරව අමතක කරන්න ලෑස්ති නෑ කියන එක. නංගි, මිනිස්සුන්ට ජීවිතේ ලැබෙන දේවල් බාර ගන්න ඕනා. අපි ඒ දේවල් එපා කියලා හිටියට ඒවා බලෙන් හරි අපි ළඟට එනවා. බලන්න මගෙ ජීවිතේ. මම බලාපොරොත්තු වුණේ ඔයාව. ඒත් ඔයාව මට ලැබුණද? නෑනෙ. ජීවිතේ මිනිස්සුන්ට හොඳ කාලයක් තියෙනවා. ඒ වගේම නරක කාලයකුත් තියෙනවා. අපි ඒ දෙකටම එකම විදියට මූණ දෙන්න ඕනා. හොඳ කාලෙ ළඟ සතුටු වෙන්නයි නරක කාලෙ ළඟ අඬන්නයි ගියහම අපේ ජීවිත අවුල් වෙනවා නංගි.”

“මගෙ හොඳ කාලේ ගියා. දැන් නරක කාලේ ඇවිත් තියෙන්නේ. ඒත් මම දෙකටම එකම විදියට මූණ දෙනවනේ විරාජ් අයියා.”

“ඔයාට දෙයක් තේරුම් කරන්න ඔයාගේ හොඳම යාළුවට බැරි එකේ අපි කොහොම කරන්නද? ඒත් ඔයා ඔයාගේ දුක වහගෙන අපි ඉස්සරහා මවන්න හදන රූපය අපිට වෙන් කරලා අඳුනගන්න පුළුවන් නංගි.”

“හරි, දැන් ඔයාලා මට මොකක්ද කරන්න කියන්නේ? කවදාවත් නොලැබෙන ඉඳුවර ගැන බලාපොරොත්තු තියා ගන්නද කියන්නේ...?”

“කවදාවත් නොලැබෙන ඉඳුවර නෙමේ ක්‍රිෂි, ඉඳුවරව උඹට ලැබෙනවා. තාමත් උඹ පරක්කු නෑ.”

“දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වෙන්න මම කැමති නෑ සාදි. උඹ මගෙ හැටි දන්නවා. අනික උඹලා කරන්න ඕනා මාවයි ඉඳුවරවයි එකතු කරන එක නෙමේ, ඒ ගෑණු ළමයව හොයන්න ඉඳුවරට හෙල්ප් කරන එක.”

“ඒ ඉඳුවර දෙන්නෙක් නම්නෙ. නෑ ක්‍රිෂි, තාම ඉඳුවර තනියම. උඹ ආස නැද්ද උඹේම යාළුවගේ ඇස් දෙකෙන් ලෝකෙ දිහා බලන ඉඳුවරව දකින්න?”

“ආසයි. ඒත් ඒක මට දුකක් නම්... ආයෙම සුදුට දුකක් දෙන්නත් මට බෑ බං.”

“ඒක උඹට දුකක් වුණේ නැත්නම්... භවන්ත අයියටත් දුකක් නෙමේ නම්...?”

“මට උඹලගේ අණ්ඩර දෙමළ තේරෙන්නේ නෑ බං. කියන දෙයක් තේරෙන්න සිංහලෙන් කියපල්ලකෝ, මාව පිස්සු වට්ටන්නේ නැතුව.”

“රන්දික... උඹ පටන් ගනින්.”

සාදිගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත හින්දා ඒකි ෆෝන් එකත් අරගෙන අපෙන් ටිකක් ඈතට ගියා. ගිහින් කාටද මන්දා ෆෝන් එකෙන් පාර කියනවා වගේ තේරුණත් ඒ කාටද කියලා නම් අපි කාටවත්ම තේරුණේ නෑ.

“ක්‍රිෂි, මැද්දෙන් පනින්නේ නැතිව මුළු කතාවම අහන් ඉඳලා මට උත්තරයක් දීපං.”

“හරි හරි ඉතින් කියපං, මාව තවත් අවුස්සන්නේ නැතුව.”

“එදා උඹ අපිට හදිස්සියකට යනවා කියලා ගියාට පස්සේ ආවේ නෑ. බලන් ඉඳලා ඉඳලා බැරිම තැන අපි ඉඳුවරව හොස්පිට්ල් ඇඩ්මිට් කළා. උඹේ ෆෝන් එකට ගත්තත් ඒ මඟුලත් ඕෆ් කරලා. අන්තිමට කරන්නම දෙයක් නැති තැන සාදි උඹලගේ ගෙදරට කෝල් කළා. ඒත් උඹ හිටියේ නෑ.”

“හරි බං රන්දික. මට ඕවා වැඩක් නෑ. සීන් එකේ වැදගත් ටික විතරක් කියපං.”

“ක්‍රිෂි, මම උඹට මුලින්ම කිව්වා ඉස්සෙල්ලා අහගෙන ඉඳපන්. උඹ මේ හැමදේම දැන ගන්න ඕනා.”

මගෙ ඇඟට මහසෝනා වගේ කඩන් පැන්න රනියා ආයෙ කතාව කියන්න පටන් ගත්තා.

“උඹට ඉඳුවර කියලා තිබ්බා උගෙ ඇස් දෙක හොඳ වුණාම ඉස්සෙල්ලම බලන්නේ භාවනාව කියලා. ඉතින් ඔපරේෂන් එක ඉවර වෙලා ඇස් දෙක ඇරිය ගමන් ඉඳුවර ඇහුවේ උඹව. මටයි, සාදියටයි, අංකල්ටයි දෙන්න උත්තර නැතුව ගියා. අන්තිමට අපි ඌට හෙන බොරුවක් දැම්මා, උඹේ අම්මට හදිස්සියෙම අසනීප වෙලා උඹ ගමේ ගියා කියලා. ඒත් ඒ ටික වෙලාවකට විතරයි.”

“ඒ කිව්වේ...?”

“ඊළඟට ඉඳුවර සාදිගෙන් ක්‍රිෂිව ඇහුවා. සාදිට දෙන්න උත්තර කොහෙන්ද බං? අනික අපි ඒ වගේ ප්‍රශ්නයක් ඉඳුවරගෙන් බලාපොරොත්තු වුණෙත් නෑ.”

“එයා මොකටද මාව අහන්නේ? අර ගෑණු ළමයා ගැනනේ අහන්න තිබුණේ...?”

“මොන ගෑණු ළමයා ගැනද ක්‍රිෂි..?”

කෝල් එක ඉවර වෙලා අපි ගාවට ඇවිත් හිටිය සාදියා මැද්දට පැන්නා.

“එදා මට කිව්වේ, එයාගේ අතින් ගෑණු ළමයෙකුට ලොකු වැරැද්දක් වෙලා තියෙනවා, එයාට ඒ ගෑණු ළමයව හොයාගන්න හෙල්ප් කරන්න කියලා.”

මම එහෙම කියන කොට සාදිටයි රනියටයි අමුතු හිනාවක් ගියා. ඒ හිනාවේ තනිකරම තිබ්බේ මට නෝන්ඩියක්.

“ඇයි උඹලා නෝන්ඩියට හිනා වෙන්නේ? මට හැමදේම එපා වෙලා තියෙන්නේ. මාව තවත් අසරණ කරන්න එපා.”

“උඹ මට කොච්චර කිව්වද ක්‍රිෂි ‘සාදි, දකින දේයි ඇහෙන දේයි බොරු වෙන්න පුළුවන්’ කියලා. මගෙයි මදුගෙයි ප්‍රශ්නෙදී උඹ ඕක මට සිය වතාවකට වඩා කියලා තියෙනවා. කොච්චර කිව්වත් උඹත් ඒ දේ පිළිඅරගෙන නෑනෙ බං. ඉඳුවර අරහෙම කිව්ව ගමන්ම මුකුත් හොයන්නේ බලන්නේ නැතුව මාරු වුණා.”

“ඉතින් මම වැරදිද?”

“ඔව්, තනිකරම උඹයි වැරදි. උඹ පොට සම්පූර්ණයෙන්ම පිටපොට අරගෙන.”

“අනේ මේ...”

“යකෝ... උඹ දන්නවද එදා ඉඳුවර ඒ කිව්ව ගෑණු ළමයා කවුද කියලා?”

“නෑ. මට දැන ගන්න ඕනෙත් නෑ.”

“නෑ... උඹ දැන ගන්න ඕනා. ඒ වෙන කවුරුත් නෙමේ ක්‍රිෂි. එදා උඹ ගැනමයි ඉඳුවර භාවනා එක්ක කිව්වේ. ඌ කරපු වැරැද්ද තමයි බං බීච් එකේදී උඹට බූට් එක තිබ්බ එක. ඉඳුවර දැනන් උන්නේ නෑනෙ භාවනා කියන්නෙත් ක්‍රිෂි කියන්නෙත් එකම කෙනෙක්ට කියලා. ඉඳුවර කළේ උඹ හිතන් ඉඳපු ජාතියේ වැරැද්දක් නෙමේ.”

සාදි කිව්ව දේ ඇහුවම මට මං ගැනම ලොකු කලකිරීමක් වගේම පුදුමයක් ඇති වුණා. එදා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව හැමදේම අතඇරලා දාලා ආවේ මගෙ ගොන්කම හින්දා. ඒ හැමදෙයක් ගැනම මට ලොකු කලකිරීමක් ඇතිවුණා. මට ඕන වුණේ හැම කෙනෙක්ගෙන්ම ඈත් වෙලා තනිවෙන්න.

“මොකද ක්‍රිෂි උඹේ කට වැහිලා.. උඹට උත්තර නෑ නේද? උඹට උඹ ගැනම ලැජ්ජයිනේ...”

“ඔව් බං සාදි... මගේ ගොන් වැඩ හින්දා මට හැමදේම නැතිවුණා බං. ආච්චිත් ලෙඩ වුණා. මට ටිකක් තනියම ඉන්න දීලා පලයල්ලා, මම එන්නම්. නෙළුම් උඹලව ගෙදරට එක්කන් යයි.”

“නෑ ක්‍රිෂි, තාම නැති වුණේ නෑ. හැබැයි නෙළුම් නංගියි මදුයි එදා භවන්ත අයියලගේ ගෙදර ගියේ නැත්තම් උඹට මේ හැමදේම නැති වෙන්න තිබ්බා. තනියම ඉන්න නෙමේ, දැන්වත් මේ අවුල ලිහා ගනින් බං.”

“සාදි, දැන් ඉඳුවර කෝ...?”

“දැන්ද බොක්ක උණු වුණේ...?”

“එහෙම කියන්න එපා මයුම්. ක්‍රිෂි කවමදාවත් ඉඳුවරව අමතක කරලා තිබ්බේ නෑ. අපි ඉඳුවරව මෙයාට අමතක කරවන්න හැදුවත් මෙයා ඒක කළේ නෑ. මෙයා හැමදාම ඉඳුවර ගැන හිත හිතා අපිට හොරෙන් ඇඬුවා. මෙයා තාමත් ඉස්සර වගේම ඉඳුවරට ආදරෙයි.”

භානුක මං වෙනුවට කතා කරපු එක නම් ගොඩක්ම ලොකු දෙයක් වුණා. සාදිගේ ප්‍රශ්න පත්තරේ ළඟ මට මුකුත්ම උත්තර තිබ්බේ නෑ. ඉස්කෝලේ යන කාලේ හැම වාර විභාගයකදීම හැම ප්‍රශ්නයකටම උත්තර තිබ්බ මට ජීවිතේ මේ ප්‍රශ්නය ගාවදී කිසිම උත්තරයක් නැති වුණා. මට දැනුණේ මං ගැන ලොකු කලකිරීමක් විතරයි.

“මයුම්, දැන් ඉඳුවර දන්නවද භාවනා කියන්නෙයි ක්‍රිෂි කියන්නෙයි එකෙන්නෙක්ට කියලා...?”

මම අහන්න ඕන ප්‍රශ්නයක් වුණත් ඒ ප්‍රශ්නය ඇහුවෙත් භානුක.

“ඔව් මදු, දන්නවා. ඒක අපිට කියන්න වුණා.”

“ඒ කොහොමද මයුමි...?”

“ඉඳුවරගේ ඔපරේෂන් එකෙන් පස්සේ අපි කට්ටිය ඉඳුවරත් එක්ක කතා කර කර ඉද්දි එතැනට භවන්ත අයියා ආවා. ඇවිත් රන්දිකව කොලර් එකෙන් ඇදලා අරගෙන ගහන්න ගියා. අපි කවුරුත්ම හේතුව දැනගෙන හිටියේ නෑ. ඩොක්ටර්ලා කෑ ගහපු හින්දයි එදා රනියා ගුටි නොකා බේරුණේ. පස්සේ භවන්ත අයියා රන්දිකගෙන් ඇහුවා ක්‍රිෂි කෝ කියලා. එයා හිතන් ඉඳලා තියෙන්නේ රන්දිකයි ක්‍රිෂියි යාළුයි කියලා.”

අයියයි සංජලී අක්කයි රන්දිකව මට බන්දවන්න කතා වුණ හැටි මට එකින් එක මතකයට ආවා. ඇස් දෙකෙන් ආපු කඳුළුත් එක්කම මට පුංචි හිනාවකුත් ගියා. එත් ඒක කවුරුත්ම දැක්කේ නෑ.

“මේ කතාව අහගෙන ඇඳ උඩට වෙලා හිටිය ඉඳුවරට මළපැන්නා. ඒ බූරුවා හිතුවේ රනියගෙයි ක්‍රිෂිගෙයි කතාව ඇත්ත කියලා.”

“ඒ කියන්නේ ඒ ටික කාලෙට ඉඳුවර ක්‍රිෂිට ගොඩක් ආදරේ කරලා තියෙනවා.”

“ඔව්, අපිට හිතාගන්නවත් බැරි තරම්. ඒකනේ ඉතින් තද වුණේ....”

“අන්තිමට භවන්ත අයියා ඉස්සරහම ඉඳුවර මටයි රනියටයි හොඳටම බැන්නා. අන්තිමට මූ කිව්ව කතාව ඉතින් අපි දෙන්නටම දිරවන් නැති කතාවක්.”

“මොකක්ද...?”

“මූ කියනවා භාවනා හිටියා නම් හොඳයිලු. අපි වගේ නෙමේලූ. අපි එකට හිටියත් බොක්ක වෙනස්ලු. ඔහොම එක එක කතන්දර ගොඩක් කිව්වා. අන්තිමට සේරම අහගෙන හිටිය භවන්ත අයියා ඉඳුවර ඉස්සරහම හැමෝටම ඇහෙන්න කෑ ගහලා කිව්වා, ‘යකෝ භාවනා කියන්නෙත් මගෙම නංගි ක්‍රිෂිට. උඹේ ඔපරේෂන් එක කරන්න මැරීගෙන මහන්සි වුණේ ඒ කෙල්ල තමයි. ඒත් ඊයේ හවස ඉඳන් නංගි නැති වෙලා. ඒකට වග කියන්න ඕන තොපි තමයි යකෝ’ කියලා ඉස්පිරිතාලෙ හෙල්ලෙන්න කෑ ගැහුවා.”

“ඒ සීන් එකෙන් පස්සේ ඉඳුවර හැසිරුණේ පිස්සෙක් වගේ. ඒ බූරුවව මේච්චල් කරන්න දොස්තරලා හෙන ගේමක් දුන්නා. දොස්තරලා කිව්වේ මානසික රෝගියෙක් මේච්චල් කරන එක මීට වඩා ලේසියි කියලා. දවස් දෙකක් විතර ගියාට පස්සේ තමයි ඉඳුවර අපිට අර කතාව කිව්වේ. ඊට පස්සේ තමයි අපි උඹ ගම රට අතඇරලා යන්න හේතුව දැන ගත්තේ. ඔන්න ඕකයි ක්‍රිෂි ස්ටෝරිය.”

ඒ කතාව සේරම කියලා ඉවර වෙලා සාදි හෙන හුස්මක් පහළට දැම්මා. මෙච්චර කල් හිතේ තියාගෙන උන්නු ලොකුම බර බිමින් තිබ්බා වගේ. ඒ කියන්නේ දැන් තීරණය තියෙන්නේ මගෙ අතේ.

එතැන් ඉඳන් අපි අතර විනාඩි පහක් විතර යනකම් කිසිම කතා බහක් ඇති වුණේ නෑ. හැමෝම බලන් හිටියේ මම කතා කරනකම්. ඒත් ඒ වෙලාවේ කතා කරගන්න මගෙ කටට එක වචනයක්වත් ආවේ නෑ. ඒ වෙනුවට ඇස් දෙකෙන් ආව කඳුළු පිහදාගෙන මම හිනාවෙන්න ගොඩක් ලොකු උත්සාහයක් ගත්තා. ඒත් ඒ උත්සාහය කඳුළුත් එක්කම හේදිලා ගියා.

“අක්කේ... ආව කට්ටියව කෑමට එක්කන් එන්න කිව්වා.”

ගේ පැත්තේ ඉඳලා වෙල දිගේ දුවන් ආපු සුපිපි එහෙම කියාගෙනම ආවාස ගේ පැත්තට දිව්වා. ඒත් එක්කම වගේ සුදුම සුදු හයිබ්‍රිඩ් කාර් එකක් පන්සල් වත්ත ඇතුළට දාලා නවත්වනවා මම දැක්කා. කඳුළු අතරින් කාර් එක පෙනුණේ බොඳ වෙලා වගේ. කතා කරන්න බැරුව, කිසිම දෙයක් හිතා ගන්නත් බැරුව මම ඉඳගෙන හිටිය ගහේ කඳට හේත්තු වෙලා කාර් එක දිහාම බලන් හිටියේ අරමුණක් නැතුව.

කාර් එකෙන් එළියට බැහැපු මහනාම අංකල්වයි ඉඳුවරවයි මම ඒ වෙලාවේ කොහොමත් බලාපොරොත්තු වුණේ නෑ. මගෙ පපුව ගැහෙන්න ගත්තේ හරිම වේගයෙන්. එයාලා අපි ඉන්න පැත්තට එනවා දැක්කත් මම බලාගත්ත අතේ බලාගෙන හිටියා මිසක් මුකුත්ම කළේ නෑ. ඉඳුවර දැන් ඉස්සර හිටියා වගේමයි. අශේන්ගේ ඇස් දෙකෙන් ලෝකෙ බලන ඉඳුවර දිහා මම ඇස් පිල්ලමක්වත් නොගහා බලාගෙන උන්නා. ඇස් පේන්නෙත් නැතුව ඇවිදගන්නවත් බැරුව හිටිය ඉඳුවර හොඳට හිනාවීගෙන අපි ගාවට එනවා දැක්කම මට මාරම සතුටක් දැනුණා. ඒත් දැන් මම ඉඳුවරට දෙන උත්තර මොනවද? මහා අසරණකමක් හිතට දැනෙද්දි ඇස් වලින් වැටෙන කඳුළු වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. කවුරුවත්ම මාව නවත්වන්න හැදුවෙත් නෑ. “දුක තුනී වෙනකම් අඬන්න දෙන්න” කියලා භානු සාදිට කියනවා මට යාන්තමට වගේ ඇහුණා.

මම නැගිට්ටේ එතැනින් යන්න හිතාගෙන. කාටවත්ම මූණ දෙන්න බැරි ලොකු අපහසුතාවයක් මට දැනුණා. ඒත් සාදියා මගෙ අතින් අල්ලගත්තා.

“ක්‍රිෂි, උඹ මීට කලින් කිසිම ප්‍රශ්නෙකදී පැනලා ගිහින් නෑ. ඇයි මේ ප්‍රශ්නෙදී පැනලා යන්නේ? මේ ප්‍රශ්නෙටත් කොන්ද කෙළින් තියාගෙන මූණ දීපං.”

අපි ඉන්න පැත්තට ආපු මහනාම අංකලුයි ඉඳුවරයි නැවතුණේ රන්දික ගාව. ජීවිතේ පළවෙනි වතාවට ක්‍රිෂී කාටවත්ම මූණ දෙන්න බැරුව හොඳටම අසරණ වුණා.

“භාවනා දුවේ, ඇයි ඔයා මෙච්චර උදව් කරලත් අන්තිම මොහොතේ අපිව දාලා ආවේ...? අනික ඔයා ඉස්සර ඉඳලම අපේ පුතාගේ යාළුවෙක් කියලා ඇයි ඔයා අපිට නොකිව්වේ?”

අංකල් මගෙ අතින් අල්ලගෙනම ප්‍රශ්නයක් ඇහුවත්, මම මුකුත්ම කියන්න ගියේ නෑ. මම වෙනුවට කතා කළේ සාදි. මම ගොළුවෙක් වගේ බිම බලා ගත්තා.

“අංකල්, ඒකට හේතුවත් අංකල්ගේ හිතුවක්කාර පුත්‍රරත්නයම තමයි. අපි ඒක පැත්තකින් තියමුකෝ. ඒවා ඒ දෙන්නා විසඳ ගනී. ඒක නෙමේ ඉඳුවර, පාර හොයා ගන්න අමාරු වුණාද?”

“නෑ සාදියෝ. උඹට කෝල් කරලා ඇහුවට පස්සේ අවුලක් වුණේ නෑ.”

ඒ කියන්නේ ඉස්සෙල්ලා සාදිට කෝල් කරලා තියෙන්නේ ඉඳුවර. මේ හැමදේම කරලා තියෙන්නේ මුන් ප්ලෑන් කරලා.

“උඹට මම කිව්වනේ හෙට වෙනකම් ඉවසපන් කියලා. කොහෙද උඹට අද එන්නම ඕන වුණානේ. දැන් ඉතින් මස්සිනාට මූණ දෙන්නත් වෙයි.”

“ඒකට කමක් නෑ රනියෝ. මම ඉස්සර වගේ නෙමෙයි දැන්. මට පුළුවන් ඒ හැමදේම බැලන්ස් කරන්න.”

“හරි හරි දැන් අපි යමු. දෙන්නට බේර ගන්න සෑහෙන පවුල් ප්‍රශ්න ඇතිනේ. අංකල්, යමු අර පැත්තට. මම භවන්ත අයියව අඳුන්වලා දෙන්නම්.”

“අනේ සාදි, මමත් එනවා.”

“උඹ කොහේ එන්නද... අද උඹට නෙළුම්ලගේ ගෙදර කෑම නෑ. අනික මටයි මදුටයි තිබුණේ අවුරුද්දක ප්‍රශ්න. උඹලා දෙන්නට අවුරුදු හතරක පහක ප්‍රශ්න තියෙනවනේ බේර ගන්න. බේරගෙනම වරෙන්.”

“අපි යනවා... අංකල් අපි යමු.”

“අනේ සාදි... අයියා..”

“බය වෙන්න එපා. අපි භවන්ත සර්ව ෂේප් කරගන්නම්. අනික දැන් අපිට ෂේප් කරන්න දෙයක් නැතුව ඇති ක්‍රිෂී අක්කේ. ඔයා ලොකු හාමුදුරුවන්ගේ හැටි දන්නවනේ.”

මම සාදියට කිව්වා වුණත් උත්තරේ දුන්නේ නෙළුම්. නයි පොළොංගු වගේ හිටිය මුන්ව ෂේප් කළාට පස්සේ දැන් මුන් මාව අසරණ කරනවා. අන්තිමට මම සාදිට කියපුවම මට කියලා මාවයි ඉඳුවරවයි පන්සලේ තනි කරලා දාලා කට්ටියම ආවාස ගේ පැත්තට ගියා. ඉඳුවරට මූණ දෙන්න බැරිකම හින්දම මම බිම බලාගෙනම හිටියා. වෙනදා වගේ ඉඳුවර එක්ක කතා කරන්න මගෙ හිත ගොඩක් බය වුණා.

කඳුළු පිරිච්ච ඇස් දෙක ලේන්සුවෙන් පිහදාගෙන වයලින් එක අතට ගත්තේ ගෙදර යන්න. මං මොනදේ කළත් ඉඳුවර බලන් උන්නා මිසක් වචනයක්වත් කතා කළේ නෑ. පපුවට අත්දෙක බැඳගෙන මං දිහාම බලාගෙන මොනවා කල්පනා කරනවද මන්දා?

වයලින් එක අරගෙන මට අඩිය තියන්න හම්බුණේ බෝ මළුව පහු වෙනකම් විතරයි. යන්න ගිය මගෙ අතින් තද කරලා ඉඳුවර අල්ල ගත්තා. මාව සීතල වෙලා යද්දි මට ඉබේටම ඉඳුවර දිහා බැලුණා.

“කොහෙද යන්නේ...?”

“ගෙ... ගෙ... දර”

“ගෙදර යන්න කලින් පොඩ්ඩක් ඔහොම ඉන්න. මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනා.”

“මේක පන්සල ඉඳුවර... හාමුදුරුවෝ ආවොත් හොඳ නෑ. ඒ හින්දා මට ගෙදර යන්න දෙන්න.”

හිතේ මොන දේ තිබුණත් යන්තම් වචන ගලපගෙන මං ඒ ටික කියා ගත්තා.

“හරි... ඉතින් එහෙනම් අපි දෙන්නම යමු.”

“මම පයින් එන්නම්. වෙලෙන් පැන්න ගමන් නෙළුම්ලගේ ගෙදර. ඔයා කාර් එකේ යන්න ඉඳුවර.”

“නෑ නෑ, මම පයින් එන්නම්. භාවනා කාර් එකේ යන්න.”

“මට අනුන්ගේ කාර් වලට නගින්න ඕන නෑ.” පරණ ක්‍රිෂි වෙන්න ට්‍රයි කරන ගමන් මං ටිකක් තදින් කිව්වා.

“ආ... මෙන්න වැඩක්. ඒක අනුන්ගේ යැ? භාවනාගේ ඉස්සර හිටිය හොඳම යාළුවා ඉඳුවරගේ. අනික මම නෙළුම්ලගේ ගෙදරට එන්න පාර දන්නවද? අනික් කට්ටිය ඔක්කොම ගියා. පණ්ඩිත කතා නොකියා නගිනවා. යමු දෙන්නම. මම ගිලින්නේ නෑ.”

මගේ අතින් ඇදගෙන ඇවිත් කාර් එකට නග්ගවන්න හදනකොටම හාමුදුරුවෝ ඈත ඉන්නවා මම දැක්කා. ඉඳුවරගේ අත ගසලා දාලා මම හාමුදුරුවෝ ඉන්න පැත්තට ගියා.

“අවසර අපේ හාමුදුරුවනේ.”

“ආ... සුවපත් වේවා... මේ ඉලන්දාරියා වෙන්න ඇති මේ ඉඳුවර කියන්නේ.”

මගෙ පිටිපස්සෙන් ආපු ඉඳුවරත් හාමුදුරුවන්ට වඳින කොට හාමුදුරුවෝ ඇහුවා. ඒ කියන්නේ අපේ කට්ටිය හාමුදුරුවන්ටත් විස්තරේ කියලා.

“එහෙමයි හාමුදුරුවනේ...”

“හ්ම්.. හ්ම්... දැන් ඔය නොහොද නෝක්කාඩු අතඇරලා දාලා ඉක්මනට එක වහලක් යටට වෙන්න හදන එක තමයි හොඳ. මේ දැරිවි වුණත් ආයෙ මේ වගේ හිතුවක්කාර වැඩ නොකරනවා නම් තමයි හොඳ, ප්‍රශ්න වලින් පැනලා ගිහින් අනික් මිනිස්සුන්ට දුක් දෙන්නේ නැතුව. ඔය ඉලන්දාරියාත් නාහෙට අහන්නේ නැති වැඩ කරලා ආයෙත් ප්‍රශ්න අවුල් කරගන්නේ නැතුව දැන් කරදර කාලේ ඉවරයි කියලා සතුටින් සමාදානයෙන් ඉන්න එකයි කෙරෙන්න ඕන.”

“එහෙමයි හාමුදුරුවනේ.”

ලොකු හාමුදුරුවන්ට එහෙම කියලා ඉඳුවර මං දිහා බැලුවා. ඒ මූණේ තිබුණේ තනිකරම ජයග්‍රාහී හිනාවක්. නිකන් ලෝකෙම ලැබුණා වගේ.

“මම මේ දැරිවිගේ අයියටත් තේරුම් කරලා දුන්නා. දැන් ඉතින් සමාදාන වුණොත් හොඳයි කියලා. ආයෙ දෙන්නත් එක්කම මේ පැත්තේ එමුකෝ වෙලාවක. දානෙකට වඩින්න වාහනේ ආවා.”

ලොකු හාමුදුරුවොයි, පොඩි හාමුදුරුවොයි ඉස්සරහා දණ ගහලා වැඳපු මම හාමුදුරුවෝ දානෙට වඩින දිහා බලන් හිටියා.

“මොකද, මහණ වෙන්නද කල්පනාව...?”

කණ ළඟින් ඇහුණේ ඉඳුවරගේ කටහඬ.

“මම මහණ වුණාට කාටවත් ඇති වැඩක් නෑනෙ.”

“මේ... මේ... එහෙම වුණොත් කොහොමත් මම ඔයාට සිවුරේ ඉන්න ඉඩ දෙන්නේ නෑ. පන්සලට ඇවිත් ඔයා දිහාම බලාගෙන ඉන්නවා.”

“පව් කතා කියන්න එපා ඉඳුවර.”

“එතකොට මම පව් නැද්ද?”

මම ඒකට මුකුත්ම කිව්වේ නෑ.

“හරි... හරි... ඒකෙන් වැඩක් නෑ භාවනා. නගින්න කාර් එකට. අපි යන ගමන් කතා කරමු.”

ඉඳුවර ඒ ටික කිව්වේ කාර් එකේ දොරත් ඇරලා. ඉඳුවරගේ ඇස් දෙක දිහා බලාගෙන මට කොහොමටවත් ඉඳුවරගේ ඒ ආරාධනාව පිළිනොගෙන ඉන්න බැරි වුණා.

******* 

“කොහෙද ඉඳුවර මේ යන්නේ..?”

“ටිකක් නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට.”

“ඔයාට පිස්සුද? ගෙදර යමු...”

“කට වහගන්නවා. මම කරන්නේ මට ඕන දේ. මෙච්චර කල් තමුසෙට ඕන දේ කළානේ.”

මහසෝනා ඇඟට කඩන් පනිනවා වගේ මගෙ ඇඟට කඩන් පැන්න ඉඳුවර මාව සතේකටවත් ගණන් ගන්නේ නැතුව ‘ගම මැද පාර’ කියලා බෝඩ් එකක් දාලා තිබ්බ පාර ගාවින් වමට දාලා ලස්සන වැවක් ගාව කාර් එක නතර කළා.

ඇත්තටම එතැන නම් ගොඩක් ලස්සනයි. මේ ගමේ මෙච්චර කාලයක් හිටියත් වැඩිය එළියට බැහැලා නැති නිසා මම මීට කලින් කවමදාවත් මෙතැන දැකලා තිබ්බේ නෑ.

“දැන් කියනවා මොකද මාව දාලා ආවේ...?”

“මම දාලා ආවේ නෑ...”

“ආ... දැන් කියන්නේ ආවේ නෑ, එවුණා කියලද...?”

“ඉඳුවර...”

“කට වහගන්නවා.”

කවදාවත් නැති විදියට මම පිරිමියෙක් ළඟ මෙල්ල වෙනවා කියලා මට දැනුණා. වෙනදා ඔහොම කිව්වා නම් ඇස් වලින් වැටෙන කඳුළු වෙනුවට හොඳ වචන එළියට එනවා.

“අවුරුදු දෙකක් කොහේද තූත්තුකුඩියක ගිහින් හිටියා. ඊට පස්සේ පණ්ඩිතයා වගේ ඇවිදින් මාව අවුස්සලා තියලා, මගෙ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව මාව හොඳ කරලා ආයෙත් මාරු වුණා. ඒවා හරිද?”

“දැන් කට වහගන්න කිව්වනේ. කතා කරන්නේම නෑ. මමද දන්නේ නෑ රට ගියාට වැරදිකාරයා.”

“කතා කරනවා භාවනා. ඇයි උත්තර නැද්ද...?”

ඉඳුවර වලිගෙ පාගගෙන කෑ ගැහුවට මම සද්ද නැතුව සිටියා. ඔය මූලග්ගින්නට නෙළුම්ලගේ අම්මට කියලා කොහිල මාළුවක් උයලා දුන්නම හරි.

“කියනවා, ඇයි මට හිටපු විදියට ඉන්න නොදී මාව සනීප කරන්න මුල් වුණේ? තමුසේ මගෙ ජීවිතේ සෙල්ලමකට ගත්තද...?”

ඉඳුවර මොන දේ කොහොම කිව්වත් මම එක වචනයක්වත් කතා කළේ නෑ. ඈත තියෙන වැව දිහාම බලන් සිටියා.

“තමුසේ දන්නවද මම තමුසෙට කොච්චර ආදරේ කරනවද කියලා? තමුසේ මාව පිස්සෙක් කළා හලෝ.”

“මමද ඔයාව පිස්සෙක් කළේ... ඔයාද මාව පිස්සියෙක් කළේ..?”

“මට සමාවෙන්න භාවනා. මම දන්නවා මේ හැමදේම වුණේ මගේ වරදින් කියලා. ඒත් ඔයාට මාව දාලා නොගොස් ඉන්නයි තිබුණේ.”

“මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් කල්පනා වුණේ නෑ ඉඳුවර.”

“දුක හිතුණද වෙන කෙල්ලෙක් ගැන කිව්වම...?”

“නෑ. උඩ පැන පැන හිනාවෙලා හෙන සතුටින් පාටියකුත් දැම්මා.”

“ඊර්ෂ්‍යාකාරී...”

“ඔව්... මම ඊර්ෂ්‍යාකාරියක් තමයි. ඒකෙන් කාටවත් වැඩක් නෑනෙ. දැන් යමු ගෙදර. මට බඩගිනියි.”

මම ඒ ටික කියන්න හැදුවේ තදට වුණත් අන්තිම හරිය කියද්දි කටහඬ බිඳිලා ගියා. ලොකු අසරණකමක් හිතට දැනෙද්දී මම කාර් එකේ සීට් එකට හේත්තු වුණා.

“බොරු කියන්න එපා.”

“ඔව් මම කියන්නේ බොරු. අනිත් අය කට ඇරියොත් කියන්නේ ඇත්තනේ.”

බිඳිලා ගිය කටහඬින්ම ජනේලයෙන් එළිය බලාගෙන මම ඉඳුවර කිව්ව දේට උත්තර දුන්නා.

“හරි... හරි... දැන් රණ්ඩු වුණා ඇති. මේ අහන්නකෝ.”

“මට මුකුත් අහන්න ඕන නෑ ඉඳුවර...”

“ඒ වුණාට මට කියන්න ඕනනේ. ඒක හින්දා ඔයාගේ ඔය කට වහගෙන අහන් ඉන්න. භාවනා, ඔයා ගොඩක් නරකයි. ඔයා පොරොන්දු කඩ කරනවා.”

මගේ ඔඩොක්කුවේ තිබ්බ අත අල්ලගන්න ගමන් ඉඳුවර ආයෙත් කතාව පටන් ගත්තා. ඒත් ඒ කටහඬ හොඳටම හැඟීම්බර වෙලා තිබ්බා.

“මම පොරොන්දු කඩ කරලා නෑ ඉඳුවර.”

“ඇයි නැත්තේ... ඔයා මට කිව්වා මගෙ ඇස් දෙක හොඳ වෙලා මුලින්ම ඇස් අරින කොට ඔයා මගේ ළඟින්ම ඉන්නවා කියලා. ඒත් ඔයා හිටියේ නෑ. අනික මට ඕනම හෙල්ප් එකක් කරනවා කියලත් පොරොන්දු වුණා. අන්තිමට කෙල්ල හොයා ගන්නත් නෑ. ඒ දේවල් පොරොන්දු නෙමේද? කියන්න භාවනා.”

මෙච්චර වෙලා මාව මරාගෙන කන්න හදපු ඉඳුවරගේ කටහඬ හුඟක් හැඟුම්බර වෙලා තිබ්බා.

“මට එදා වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ ඉඳුවර. ඔයාගේ කටින් වෙන කෙල්ලෙක් ගැන කියනවා කොහොමටවත් මට දරා ගන්න බැරි වුණා. ඒකයි මම හැමදේම දාලා ආවේ. මට ඔයාගේ ජීවිතේ අවුල් කරන්න ඕන වුණේ නෑ. මට සමාවෙන්න.”

“ඉතින් මැට්ටියේ, එදා මම කිව්වේ ක්‍රිෂි ගැනනේ. එදා බීච් එකේදී මම ක්‍රිෂිට කියපු දේවල් වලට මම ගොඩක් හිතින් දුක් වින්දා භාවනා. ඒ කාලේ මට ඕන වුණේ කොල්ලෝ අතරේ වැඩ්ඩෙක් වෙන්න විතරයි. ඔට්ටුව දිනලා පෙන්වන්න ඕන වුණ නිසා මම ඔයාට බූට් එක තිබ්බා. ඒත් හැමදාම ඔයා ගැනම හිතලා අන්තිමට මම දන්නෙම නැතුව ඔයාට ආදරේ කරන්න පටන් අරන් තිබ්බා. ජීවිතේ ළඟින් හිටිය භාවනාගෙන් මම ඒ උදව්ව ඉල්ලුවේ ඒකයි. එදා මම බීච් එකේදී බිංදුවටම දාලා කතා කරපු කෙල්ල භාවනා විදියට මගෙ ළඟින් ඉඳියි කියලා කොහොමත් මම හිතුවේ නෑ. සැරින් සැරේට ඔයාගේ හැසිරීම් වලින් මට සැක හිතුණත් මහා මේරු පර්වතේ වගේ බීච් එකේ සීන් එක මගෙ ඉස්සරහට ආවා. අන්තිමට ඔයා මම ඉල්ලපු උදව්ව නොකරම මට දරා ගන්න බැරි තරම් දුක් ගොඩක් ඉතුරු කරලා මගෙන් ඈත් වෙලා ගිහින් තිබ්බා.”

“ඔයා දන්නවද ක්‍රිෂි කියන්නෙත් භාවනා කියන්නෙත් එක්කෙනෙක්ට කියලා දැනගත්තම මට මගේ ජීවිතේම එපා වුණා. ඒ මදිවට එදා භවන්ත අයියා කිව්වේ ඔයා රන්දිකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඌ මගෙ යාළුවා වුණත් ඒ වෙලාවේ මට උගෙ බෙල්ල මිරිකලා මරන්න හිතුණා භාවනා.”

“පස්සේ මට එකින් එක තේරෙන කොට, ඔයා දෙවෙනි සැරේටත් මාව දාලා ගිහින් තියෙන්නේ මගේම වරදින් කියලා දැනෙන කොට මට මාවම පාලනය කර ගන්න බැරි වුණා මගෙ කෙල්ලේ.”

“මෙච්චර දවසක් මගෙ ළඟින් ඉඳගෙන මට සාත්තු සපායම් කළේ, යාළුවෙක් වගේ මගෙ හිත හැදුවේ, මට ජීවත් වෙන්න පාර කිව්වේ එදා මීගමු බීච් එකේදී මම බිංදුවටම ඇදලා දාපු ඒ දඟකාර කෙල්ල කියලා මතක් වෙනකොට මම ගොඩාක් අසරණ වුණා. අන්තිමට මම ඔයාව හොයන්න නොගිය තැනක් නෑ. නොකරපු දෙයක් නෑ. ඒත් ඔයාව හම්බවුණේ නැති වුණාම මට මගේ ජීවිතේ පවා නැති කර ගන්න හිතුණා. ඒත් එහෙම නොකළේ, එහෙම වුණා නම් ඔයාලා අවුරුදු ගානක් මහන්සි වෙලා මාව හොඳ කරන්න කරපු හැම වැඩක්ම වතුරේ යන හින්දයි, අර අහිංසක අශේන්ගේ පරිත්‍යාගයෙන් වැඩක් නැති වෙන හින්දයි.”

“ඉඳුවර ඔය ඇති... මට තවත් දරා ගන්න බෑ.”

“නෑ භාවනා, ඔයා ඉතුරු ටිකත් දැන ගන්න ඕනා. අන්තිමට ඔයාගේ අයියගේ එකම හතුරා වුණේ මම. එයා මට ගොඩක් වෛර කළා. මාව එයාගේ ඇස් දෙකෙන් දකින්නවත් එයා කැමති වුණේ නෑ. මාව මරාගෙන කන්න පුළුවන්නම් ඒකත් කරන සයිස් එකේ භවන්ත අයියා හිටියේ. අඩුම තරමේ ඔයා ඉන්න තැන දැන ගත්තත්, ඔයාගේ අයියා අපිට කිව්වේ නෑ. සාදියා ඊයේ තමයි කෝල් කරලා කිව්වේ. ඔයා දන්නවද ඒක දැන ගත්තම තමයි මම මගෙ රැවුල කැපුවේ? මේක හෙන දිගට තිබ්බා. මට එවලේම එන්න ඕන වුණත් සාදියා මට එන්න දුන්නේ නෑ. ඊයේ රෑ මට නින්ද ගියේවත් නෑ. එළිවෙච්ච ගමන්මයි මම දුවගෙන ආවේ. කෙල්ලේ ඔයා දන්නවද ඔයා ඉන්නවා කියලා දැන ගත්තම මම කොච්චර සතුටු වුණාද කියලා? ඒක කියන්න වචන නෑ ක්‍රිෂි...”

ඉඳුවර හමුවූ වෙලාවේ ඉඳන් පළවෙනි පාරට මට ක්‍රිෂි කියලා කතා කළා. ඉඳුවර ලොකු පාපොච්චාරණයක් කළත් එයාට මම චූටි ඩිස්ටර්බ් එකක්වත් කළේ නෑ. ඒ මට කතා කරන්න වචන එකතු කර ගන්න බැරි වුණ නිසා වෙන්න ඇති. ඒ වෙනුවට ඇස් දෙකෙන් හෝ ගාලා ගලාගෙන ගියේ කඳුළු. ඒ සතුටටද, දුකටද කියන්න මට තාමත් තේරෙන්නේ නෑ. ඒ වුණාට කඳුළු වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා මම එදා තේරුම් ගත්තා. දුකට සතුටට හැමදේටම අපි ළඟ ඉන්නේ කඳුළු.

“ඔය ඉතින්, මුකුත් කියන්න බෑ අඬනවනේ. කෝ අර ඉස්සර තිබුණ දාංගලේ..?”

මගේ උරපතු දෙකෙන් අල්ලා එයාගේ පැත්තට හරවගන්න ගමන් ඉඳුවර එයාගේ අතින් මගෙ කඳුළු පිහ දැම්මා.

“මේ අහනවකෝ... ආයෙ තමුසේ අඬන්න ඕනෙ නෑ... ඇඬුවොත් දෙනවා දෙකක් කණ පැලෙන්න හරිද... අපෝ... අපෝ... ඔය ඉතින් ආයෙත් අඬනවා.”

“අඬන්න එපා මැට්ටියේ. දැන් මම ඔයා ළඟ ඉන්නවනේ. ආයෙ මගෙ කෙල්ලව මගෙන් ඈත් කරන්න කාටවත්ම බෑ. මම ඔයාගෙන් ඈත් වෙන්නෙත් නෑ.”

“අනේ ඉඳුවර...”

මට කියන්න හම්බුණේ එච්චරමයි. හොඳට තිබ්බ කටහඬ බිඳිලා ගියා. ඉඳුවරගේ පපුවට ඔළුව තියාගෙන ෂර්ට් එක තෙත් වෙනකම්ම ඇති වෙන්න ඇඬුවා.

ඒ වෙලාවේ එතැන හිටියේ ක්‍රිෂිද කියලා මට තාමත් හිතා ගන්න බෑ. කිසිම දවසක බොළඳ කෙල්ලෙක් නොවූ ක්‍රිෂි ගොඩක් බොළඳ කෙල්ලෙක් වෙලා කියලා නම් තේරුණා.

“හරි හරි... කඳුළු ඉවර වෙනකම් අඬනවකෝ. ඕක ඉවර වෙන තරමට හොඳයි. අපරාදේ මගෙ ෂර්ට් එක. ඕක හොඳට හෝදලා තියෙන්නේ. ආයෙ හෝදන්න දෙයක් නෑ.”

“පිස්සා...”

“අඬලා ඉවරද.. කෝ එහෙනම් ඔළුව උස්සනවකෝ. රතු වෙච්ච මූණ ටිකක් බලා ගන්න.”

“මට බෑ. මට මෙහෙම්ම ඉන්න ඕනා.”

“මරු එකට තියෙයි මස්සිනාකාරයා ආවොත්. මාව උස්සලා වෙලට විසි කරයි. ඒ තරම් පොරක්නේ. කුම්භකර්ණයගේ ලොකු මල්ලි වගේ ඉන්නේ සද්ද බද්ද නැතුව. ඒත් වැඩ නිකන් එවරෙඩි වගේ.”

“කමක් නෑ. ඔයාව වෙලට විසි කළොත් මාත් වෙලට පනිනවා. දෙන්නම මඩ නාමු.”

“මිනිස්සු හිතයි මී හරක් දෙන්නෙක් කියලා.”

“හිතපුදෙන්. අපිට මොකද?”

“කෝ බලන්න මූණ... මී දෙනකගේ පෙනුම තියෙනවද කියලා.”

නිකටෙන් අල්ලා මගෙ මූණ දිහා ඉඳුවර සෑහෙන වෙලා බලාගෙන හිටියා. ඒ ඇස් වල තියෙන කාන්තිය කොහොමත් මට දරා ගන්න පුළුවන් වුණේ නෑ. ඒකමයි මම බිම බලා ගත්තේ. මම බිම බලාගත්තා විතරයි ඉඳුවර මාව අත් දෙකෙන් ඇදලා අරගෙන හයියෙන් තුරුල් කරගත්තා. අම්මා කෙනෙක්ගේ උණුහුම හොයන පුස් පැටියෙක් වගේ මමත් ඉඳුවරට තව තවත් තුරුල් වුණා.

“ක්‍රිෂි, ඔයා ගොඩක් වෙනස් වෙලා. ඉස්සර හිටිය ක්‍රිෂි දැන් නෑ. දැන් නම් ඔයාට ගැලපෙන්නේ භාවනාගේ චරිතේ.”

“ඉතින් ඒක හොඳයිනේ ඉඳුවර. ඔයා කැමති ඒ වගේ කෙනෙකුටනේ. ඒ හින්දමයි මම වෙනස් වුණේ.”

“ඒ ඉස්සර. දැන් මට ඕනා අර හැමතිස්සෙම හිනාවෙලා විහිළු කරලා, පිස්සු නටන දඟකාර ක්‍රිෂිව. භාවනා කියන්නෙත් ක්‍රිෂිට කියලා දැන ගත්තම මට හිතුණා ඔයාට තියෙන්නේ කොච්චර ලස්සන හදවතක්ද කියලා. එතකොට මගෙ හිතේ ක්‍රිෂි ගැන තිබුණ ආදරේ තව තවත් වැඩි වුණා. ඒක තේරුම් ගන්න පරක්කු වුණ එක ගැන මට දුකයි ක්‍රිෂි. මම හිතුවේ මම පැරදුණා කියලා. ඒත් මට ආපහු ඔයාව ලැබුණා. ඔයා ඉස්සර වගේම නිදහසේ ඉගිල්ලෙනවට මම ආසයි. හැබැයි මේ දිගම දිග කොණ්ඩෙට නම් අත තියන්න තහනම් හරිද? ඒ වගේම අර දඬුමොණරේ අල්ලන්නත් තහනම්.”

“අනේ... ඇයි ඒ...?”

“මේ කොණ්ඩේ භාවනාගේ එක මතකයක්. ඔය දඬුමොණරේ හින්දා ඔයාටත් මට වුණ දේම වෙයි කියලා මට බයයි ක්‍රිෂි.”

“ඔයා වැඩිපුරම කැමති භාවනාටද ක්‍රිෂිටද ඉඳුවර..?”

“ඒ දෙකම සංකලනය වෙච්ච කෙල්ලෙක්ට. එයා ඔයා ළඟ ඉන්නවා ක්‍රිෂි. ඔයා කොච්චර දඟකාර වෙන්න හැදුවත්, කොල්ලෙක් වගේ ඉන්න හැදුවත් ඔයා ළඟ තියෙන්නේ කෙල්ලෙක්ගේ අහිංසක ගතිගුණ. මම ඒකට ආසයි.”

“බොරු කියන්න එපා.”

“බොරු නෙමේ බබා. ඇත්ත. ඒක ඔයාට තේරෙන්නේ නැහැ.”

“ඔයා ආස සුරංගනාවියක් වගේ කෙල්ලෙක්ටනේ ඉඳුවර.”

“ඉතින් ඔයා ඒ තරමටම ලස්සනයි. අනික ඒ නොතේරුම් වයසේ කියපු දේවල් ඔය තරම් හිතලා මාව රිද්දන්න එපා භාවනා. ඒ අතීතේ අවුස්සන්න එපා. ඒ වළදාපු මළකුණු ගොඩ දාපුවාම ගඳ ගහනවා. ඒක හින්දා අපි ඒ අතීතේ අමතක කරලා අද ඉඳන් ජීවිතේ පටන්ගමු කෙල්ලේ.”

“හ්ම්...”

“මොකද හ්ම් ගාන්නේ? ඉස්සරනම් ඔයා තොරතෝංචියක් නැතුව කියවනවනේ. ආ... ඒක නෙමේ. කවුද විරාජ් කියන්නේ?”

“අ.. ඔයා කොහොමද දන්නේ?”

“දන්න විදිය වැඩක් නෑනෙ. මට කියනවකෝ.”

“කියන්නකෝ... කොහොමද දන්නේ?”

“ඊයේ රෑ මට රනියා කිව්වා. ඔයාලගේ ගෙදර ආපු කෙල්ල කිව්වා කියලා, එයාලගේ විරාජ් බේබි ක්‍රිෂි අක්කට පණ ඇරලා ආදරෙයි කියලා. ඒක අහපු වෙලේ ඉඳලා මට ඌට පණ යන්න ගහන්න හිතෙනවා. කවුද කියනවකෝ විරාජ් කියන්නේ?”

“විරාජ් කියන්නේ ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක්.”

“ආ ඇත්තද...? අපි හැන්ඩ්සම් නෑනෙ ඉතින්.”

“ඔයා... ටිකක් විතර හැන්ඩ්සම් නේ...”

මම ඉඳුවරව අවුස්සන්න එහෙම කිව්වත්, ඉඳුවර බුම්මගෙන අහක බලා ගත්තා.

“අපෝ... තාමත් ඉස්සර වගේමයි. පොඩ්ඩ බැරි වෙනකොට තරහා යනවා.”

“ඔව් ඉතින්. මම ඒ ඉඳුවරම තමයි. නැතුව මැරිලා ඉපදුණේ නෑනෙ.”

“මම විහිළුවක් කළේ ඉඳුවර. ඔයා දන්නවනේ මට ඔයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ගැන හිතන්න බැහැ. මම ඔයාව මගේම කියලා හිතාගත්තේ යන්තම් හය හතර තේරෙන කාලේ ඉඳලා. එතකොට ආදරයක් ගැන නොතේරුණත්, සෙල්ලම් කරද්දිවත් ඔයාට වෙන කෙනෙක් එක්ක එකතු වෙන්න මම දුන්නේ නෑනෙ. ඔයාව චූටි කාලේ ඉඳලමයි මම අයිති කරගෙන හිටියේ. ඉතින් කොහොමද මම වෙන කෙනෙක්ට ලං වෙන්නේ? මම ඔයාගෙන් ඈත් වුණාට මගෙ හිත වෙනස් වුණේ නෑ.”

“අම්මෝ ඔව්. ඒ කාලේ මට වෙන කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් දෙන්නේ නෑනෙ. මොකක් හරි බාල්දියක් පෙරළනවා. කෙල්ලෙක් පස්සෙවත් යන්න දුන්නේ නෑ. ඒත් මම මුලින්ම හිතුවේ ඒක වදයක් කියලා. ඔයා මගෙන් ඈත් වෙලා ගියාමයි මට තේරුණේ මගෙ ජීවිතේ පැත්තක්ම හිස් වෙලා කියලා. මමත් නොදැනිම ඔයාට ආදරේ කරලා කියලා. ඒ හින්දා අදින් පස්සේ අපේ නරක මතකයන් අමතක කරලා දාලා අලුතින් ජීවිතේ පටන් ගමු මගෙ ආඩම්බරී...”

“ආයෙ ඕක කිව්වොත් එහෙම....”

“ආ... කිව්වොත් මට මොනවා කරන්නද...?”

“මොනවා කරන්නද කියන්නේ... මම තරහයි.”

“අපෝ... මම දන්නවා යාළු කරගන්න විදිය.”

“කොහොමද...?”

“මෙන්න මෙහෙම.”

මගෙ අත් දෙකෙන් තද කරලා අල්ලගෙන ඉඳුවර මගෙ නළලට පුංචි හාදුවක් දුන්නා. ඒ දඟකාර දෙතොල් අස්සේ මගෙ දෙතොල් සඟවගන්න ගමන් ඉඳුවර මාව ආදරෙන් තුරුල් කර ගත්තා. ජීවිතේ පළවෙනි වතාවට ඉඳුවර සිපගත්ත මේ මූණ කාටවත්ම ආයෙ සිපගන්න දෙන්නේ නෑ කියලා හිතාගෙනම මමත් ඉඳුවරට හුඟාක් තුරුල් වුණා.

******* 

“අපි හිතුවා අද දෙන්නා ගෙදර එන එකක් නෑ, එතැනින්ම හනිමූන් ගිහින් ඇති කියලා.”

කාර් එක නෙළුම්ලගේ වත්තට දාද්දිම අඹ ගහ යට ඔන්චිල්ලාවේ ඉඳගෙන ලොකු බත් පිඟානකට වැඩේ දෙන ගමන් රනියා අපිට බරබරයක් දැම්මා. ඇත්තටම මූට හැදියාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද මන්දා?

“ඇයි උඹට ජෙලස්ද රනියෝ...? නෙළුම් කැමති වුණෙත් නෑනේ.”

කාර් එකෙන් බැස්සේ ඉඳුවර රන්දිකගෙන් එහෙම අහගෙනමයි.

“ආ... එයා වෙලාවට කැමති වෙයි.”

“ඇත්තද නෙළුම් මේ කියන්නේ...?”

“පිස්සු ක්‍රිෂි අක්කේ.”

“ආ.. මූට පිස්සු කියලා මුළු ලෝකෙම දන්නවා. ගිය සතියෙනේ අංගොඩින් ටිකට් කපන් ආවේ. එහේ ඉන්න ලේඩි ඩොක්ටර් කෙනෙක්ව ඉඹින්න ගිහින් මූව ගහලා එලවලා.”

“අපිටද පිස්සු හැදුණේ...? උඹටනේ. නිකං ජූතක බමුණා වගේ රැවුලත් වවාගෙන හිටියේ. සුදු තීන්ත ටිකක් හැලුවා නම් නියම නත්තල් පප්පා.”

“හරි හරි, උඹලා දෙන්නගේ කචකචේ නවත්ත ගනින් රන්දික. හැබැයි ඉඳුවර, අද උඹලට කන්න නම් නෑ. කොහොමත් කන්න ඕනෙත් නෑනෙ. මූණ දැක්කම පේනවා බඩ පිරිලා කියලා.”

“ඇත්තට.... උඹේ මූණෙනුත් එහෙම පේනවා සාදියෝ.”

මට දෙන්න උත්තර නෑ කියලා තේරුණ හින්දද කොහෙද ඉඳුවර සාදියව කපලම දැම්මා.

“ආ... දැන්වත් දෙන්නා ආවද...?”

පිටිපස්සෙන් ඇහුණේ සුදුගේ කටහඬ. සුදුව දැක්කා විතරයි, ඉඳුවරගේ අතේ එල්ලිලා හිටිය මම ඒ අත අතහැරියා. සුදුට මූණ දෙන්න බැරි වරදක් කළා වගේ අපි දෙන්නම බිම බලාගත්තා.

“මොකද දෙන්නා ඇඹරෙන්නේ? කිරි පණු ගායද? කතා කරනවලා, කෝ ක්‍රිෂි ස්පීකරේ... පිච්චිලාද...?”

“භවන්ත අයියා, ප්ලීස් ක්‍රිෂිට බනින්න එපා. එයා බෑ කියද්දිමයි ටිකක් කතා කරන්න පුළුවන් නිදහස් තැනකට මම එක්කන් ගියේ.”

“ආ... දැන් මෙයාලද තමුසෙගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැඳිලා ඉන්නේ ක්‍රිෂි...?”

“අයියා...”

“තමුන් තනි තීරණ ගත්තා නම් දැන් මොකටද අයියා?”

“සොරි සුදු”

“ඉඳුවර... මෙහෙට එනවා.”

අයියට මොන යකෙක් වැහිලද මන්දා? ඇයි යකෝ මෙච්චර හොඳට සේරම විසඳිලා තියෙද්දිත් මෙයා වලිගෙ පාගගෙන දඟලනවනේ.

කට්ටියම ෆුල් හොල්මන්. ඇයි ඉතින් වැස්සකුත් නැතුව මෙතැන පාත් වෙන්න යන හෙණ ගෙඩිය මොකක්ද කියලා කවුද දන්නේ?

“මිස්ටර් මහනාම... මම ඔයාගේ පුතාට කැමති නෑ. එයා කරපු හැමදේටම මම එයාට දඬුවම් දෙනවා.”

“ඔව් මිස්ටර් භවන්ත. වැරැද්දක් කළොත් අනිවාර්යයෙන්ම දඬුවමක් තියෙන්නම ඕනා.”

“මට ඕන දඬුවමක් දෙන්න. හැබැයි ක්‍රිෂිට බනින්න එපා.”

“එක්කෙනෙක්ට දඬුවම් දීලා මෙයාලව හදන්න බෑ. දෙනවා නම් දෙන්නටම දඬුවම් දෙන්න සුදු පුතා.”

“ඔව් සුදු සීයා, ඒ දේවල් එහෙම වෙන්න ඕනා. නැත්නම් මෙයාලා හැදෙන්නේ නෑ. ඉඳුවර, ක්‍රිෂි... ආයෙ තමුසෙලා දෙන්නට හම්බවෙන්නවත්, කතා කරන්නවත් බෑ. ඒ වගේම ඔය මූණ ආයෙ මේ මූණට මුණගැහිලා තිබ්බොත් මේ භවන්ත නරක මිනිහෙක් වෙයි. තේරුණාද?”

“ඒත් භවන්ත අයියා...”

“නෑ මගෙ පුතා. භවන්ත පුතා හරි. මේ මහානාමගේ තීරණයත් ඒකම තමයි. ඔයාලා හිතාගෙන ඉන්නේ ජීවිතේ සෙල්ලමක් කියලා. අනික මගෙ කොල්ලට හොඳ කෙල්ලෙක් මට හොයන්න පුළුවන්. මොකටද නිකන් අපි සෙකන්ඩ් වෙන්නේ?”

“තාත්තේ...”

“වචනයක්වත් කතා කරන්නේ නැතුව යන්න ලෑස්ති වෙයන්.”

“අංකල්, සුදු, ඇයි මේ... මොනවද ඔයාලට වෙලා තියෙන්නෙ...? මට මෙහෙම කරන්නද ඔයාලා මාව හොයාගෙන ආවෙ? ඔයාලට දැන්වත් මේ තරහා මරහා අමතක කරන්න බැරිද? මට ඉඳුවර නැති ජීවිතයක් නෑ සුදු. ඔයා කියන දේකට මම කැමති වෙන්නම්. හැබැයි එදායින් පස්සෙ ඔයාලගෙ ක්‍රිෂීවත්, භාවනාවත් ඔයාලා මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. සමහර විට ජීවිතේම එපා වෙච්ච පිස්සියෙක් ඔයාලා අතර ඉඳියි. මම මෙච්චර කල් ඇඬුවෙ ඉඳුවර වෙනුවෙන්. ඒ ආදරේ ලැබෙනකම්ම මම ජීවත් වුණේ මැරිච්ච ගානට. ඒත් ඔයාලා මට ඒ ආදරේ ලැබුණම ඒකට අකුල් හෙළනවා. ඔයාලා කවුරුවත්ම මට ආදරේ නෑ. ඔයාලා දැන් මෙතනින් යන්න. මම ගෙදර එන්නම්.”

“තාත්තේ මටත් එහෙම තමයි. ක්‍රිෂීව මගෙන් ඈත් කරලා ඉස්සර හිටපු ඉඳුවරව ඔයා බලාපොරොත්තු වෙන්න එපා. ඔයාගෙ පුතාව මරාගන්න ඕනෙ නම් ඔයා කැමති තීරණයක් ගන්න.”

“දැන් ඔය දෙන්නා හිතන්නෙ ඔයාලගෙ ඔය අදෝනාවල් අපි අහයි කියලද...?”

“සුදු, ඔයාලා ඇහුවත් එකයි, නැතත් එකයි. අපි කිව්වෙ අපේ හිතේ තියෙන දේවල්.”

“මිස්ටර් මහනාම, මොකද කරන්නෙ...?”

“මිස්ටර් භවන්තම අන්තිම තීරණේ දෙන්න. ඊට පස්සෙ මම තීරණේ කරන්නම් මගෙ කොල්ලගෙ අනාගතේ ගැන.”

“එහෙනම් අහගන්න ක්‍රිෂී...?”

“මට අහන්න ඕනා නෑ.”

“භවන්ත අයියා කියන දෙයක් ඉක්මනට කියනවද....? අපි මෙතන රත් වෙනවා.”

ඒ වෙලාවේ රනියා හරි අපි වෙනුවෙන් කතා කරපු එක ලොකු දෙයක් වුණා. මටයි ඉඳුවරටයි දෙන්නට කතා කර ගන්න බැරුව ගිහින් තිබුණ හින්දා රනියගෙ ඉදිරිපත් වීමට නම් මල් තියලා වඳින්න ඕනා.

“අද ඉඳන් තව අවුරුද්දකින් විතර ක්‍රිෂීගෙ උපන්දිනේ දවසෙ මීගමු බීච් එකේදී භාවනාව මම කසාද බන්දනවා.”

“අයියෙ ඔයාට පි...”

“වචනයක් කතා කරන්න එපා. ඒක මගේ තීරණේ. මෙච්චර කාලෙකට ඔයාගෙ ජීවිතේ තීරණ ඔයා ඔයාට ඕන විදියට ගත්තා. මේ තීරණෙ ගන්නෙ මට ඕන විදියට.”

“මිස්ටර් භවන්ත, ඔයා හිතනවද ඔයා නංගිව කසාද බන්දනකන් මම නිකන් ඉඳියි කියලා? එදාටම එතනදීම ඒ නැකතටම මමත් මගෙ පුතාව ලෝකෙ ඉන්න හොඳම කෙල්ලට බන්දලා දෙනවා.”

“තාත්තා...”

“තමුසෙත් වහගන්නවා කට. මේ හැම දෙයක්ම වෙන්නෙ මට ඕන විදියට.”

“හරි, එතකොට අංකල් මෙයාලා දෙන්නගෙ මනමාලයයි මනමාලියි කවුද කියන්නකො...?”

“ඒවත් අපි තීරණය කරලා ඉවරයි. මම හිතන්නෙ මායාදුන්න මහත්තයා ඒ ගැන කියයි.”

“ඔව්, මේ අයගෙ තීරණ වලට මාත් එකඟයි.”

“සුදු සීයෙ, මම හිතුවා ඔයාවත් මගෙ පැත්තෙ ඉඳියි කියලා.”

“අඬන්න එපා මගෙ දුව. මේ ඔයාලගෙ ඉරණම. ඔයා ඉපදෙනකොට අත මීට මොලවගෙන ආපු දෛවය. ඔයාට ලැබෙන කොල්ලා ඔයාට ගොඩක් ආදරය කරයි.”

“කවුද ඒ සීයා...? මම ඒ ගෙම්බට හොඳ වැඩක් කරනවා, බලන්නකො.”

“ඒ ගෙම්බගෙ නම ඉඳුවර සහස්‍ර ජයවර්ධන.”

සීයගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙ සුදු. මම පැන්න ගමන් සුදුගෙ බෙල්ල බදාගත්තා. අහල පහල හිටිය සෙට් එකම හිනාවෙනවා.

“අනේ සුදු, ඔයා අපිව බය කළා.”

“එහෙම තමයි. එක පාරටම කැමැත්ත දුන්නම අගේ නැති වෙනවා.”

“මෝඩයා...”

“ඒ ගෙම්බා, මෙහෙ වරෙන්.”

කට්ටියටම ඇහෙන්න සුදු ඉඳුවරට කතා කළා.

“ගෙම්බා, උඹට ආයෙ මේ ගෙම්බිව අතහරින්න තහනම්. එහෙම නේද මහනාම අංකල්...?”

“යර්ස් භවන්ත පුතා. දැට්ස් රයිට්.”

“ඉඳුවර, උඹ ආයෙ එහෙම මේ අත අතහැරියොත් මේ මස්සිනා ගොඩක් දරුණු වෙයි. අද ඉඳන් මගෙ පිස්සිව අඬවන්නෙ නැතුව බලා ගන්න එක උඹට භාරයි මල්ලි.”

ඒ ටික කියද්දි අයියගෙ කටහඬ බිඳිලා ගියා. මගෙයි ඉඳුවරගෙයි අත් දෙක එකට තියලා තද කරගෙනම අයියා ආයෙත් කතාව පටන් ගත්තා.

“මම මගෙ නංගිට චුට්ටි දුකක්වත් දීලා නෑ. එයා ඉල්ලන හැමදේම එයාට දුන්නා. එයා මොහොතකට හරි ඇඬුවනම් ඒකට කොහෙන් හරි ඔයාගෙ නම ගෑවිලා ඇති. ආයෙ කවදාවත් මේ ඇස් දෙකෙන් දුකට කඳුළු වැටෙන්න බෑ. ඒ වගේම උඹේ මස්සිනා උඹට තව එක චාන්ස් එකක් දුන්නෙ මගෙ නංගිගෙ සතුට වෙනුවෙන්. ඒක හින්දා ඒ විශ්වාසෙ රැකපන් මල්ලි.”

“මම ඒ විශ්වාසෙ රකිනවා භවන්ත අයියෙ. ආයෙ කවදාවත් ක්‍රිෂීට මගෙන් ඈත් වෙන්න මම පුංචි ඉඩක්වත් තියන්නෙ නෑ. ඒ වගේම ඔයාට හොඳ මස්සිනා කෙනෙකුත්, සීයයට හොඳ බෑනා කෙනෙකුත් වෙන්න මම පොරොන්දු වෙනවා.”

“ආ... එතකොට ඔයා මගෙ නෑනාව අරන් යන්නෙ මට මුකුත් පොරොන්දු වෙන් නැතුවද..?”

කොහේදෝ මන්දා හිටිය නෑනා එක පාරටම මැද්දට කඩන් පාත් වුණා.

“ආ.. හරි, අක්කට මම පොරොන්දු වෙනවා ක්‍රිෂී ජීවිත කාලෙම මේ වෙනකම් කාපු වටලප්පන් වලට හරියන්න ලොකු වටලප්පමක් ගෙනත් දෙනවා කියලා.”

“හූ…. ඇද්ද අහගත්තා..”

“අනේ පලයන් ක්‍රිෂී යන්න. මම උඹට මේ නෑනාව දාලා කොහෙවත් යන්න දෙන්නෙ නෑ.”

“යකෝ… හරි මඟුලක්නෙ. සංජුට තියෙන්නෙ මට නැති අමාරුවක්නෙ.”

“භවන්ත.. මෙයාලා ගියාම මම කා එක්කද රණ්ඩු අල්ලන්නෙ?”

“හරි හරි, දැන් ඔය රණ්ඩුව කට්ටියම නවත්ත ගන්න. ක්‍රිෂී දුව යන්න තව කල් තියෙනවනෙ. ඉඳුවර පුතා, මම උඹව ගොඩක් විශ්වාස කරලා මගෙ එකම මිණිබිරිව උඹට දෙන්නෙ. ඒ විශ්වාසෙ රකින්න උඹ බැඳිලා ඉන්නවා.”

“මම ඒ විශ්වාසෙ රකිනවා සුදු සීයෙ.....”

“භානු අයියේ… භානු අයියේ...”

භානුකලගෙ ගෙවල් පැත්තෙ ඉඳන් සුපිපි දුවගෙන ආවෙ කවුරුහරි ගහන්න එළවනවා වගේ. හති දාගෙන ආපු කෙල්ල කතා කර ගන්නවත් බැරි තරම් බය වෙලා තිබ්බා.

“ඇයි සුපිපි…?”

“භානු අයියා…. නැන්දට ගොඩක් අමාරුයි.”

ඒ වචන ටික සුපිපි කටින් පිටවෙන්නත් කලින් භානුක ගේ පැත්තට දිව්වා. එතන හිටිය අනිත් කට්ටියත් ඒ පැත්තට දිව්වත් මම සුපිපිගෙ අතින් අල්ල ගත්තා.

“සුපිපි, නැන්දට එක පාරටම අමාරු වුණේ ඇයි?”

“හොඳට හිටියා අක්කෙ. මගෙන් ඇහුවා අද ඔයාලා පේන්න නැත්තෙ ඇයි කියලා. මම කිව්වා ඔයාව එක්කන් යන්න ඔයාලගෙ කට්ටිය ආවා කියලා. එතකොට ඔයාගෙ සීයව හම්බවෙන්න ඕන කිව්වා. මම කිව්වා යන්න කලින් එක්කන් එන්නම් කියලා. ඒත් ටිකකින් නැන්දට ගොඩක් අමාරු වුණා.”

“දෙවියනේ…. අනේ ඉඳුවර අපිත් ඉස්පිරිතාලෙට යමු.”

කාර් එකේ දාගෙන ඉස්පිරිතාලෙට අරන් යන භානුකගෙ අම්මව දැක්කම මට මගේ අම්මව මතක් වුණා. ජීවිතේට පණ පිටින් අම්මව දැකලා නැතත් මගෙ අම්මත් භානුගෙ අම්මා වගේ හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා දැනෙනකොට මගෙ ඇස් දෙකෙන් කඳුළු එන එක නවත්තගන්න මටවත් බැරි වුණා. අශේන් වගේම නැන්දත් අපිට දාලා යයිද කියන බය මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.

“අනේ කෙල්ලෙ, ඇයි මේ ඇස් වල කඳුළු...?”

“මට මගේ අම්මවයි, තාත්තවයි, අශේන්වයි මතක් වුණා ඉඳුවර.”

“ඔව් ක්‍රිෂි, හැම අම්මම මගෙ අම්මා වගේ දරුවො දාලා යන හිතක් පපුවක් නැති ගෑනු නෙමෙයි. අපි යමු, නගින්න කාර් එකට.”

 ********

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."   
 


Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1