සිහින මන්දාකිනී 1 / 1 දිගහැරීම



 

1 වන දිගහැරුම

"නම මොකක්ද?" 

"මන්දාකිණි රත්නායක සර්.."

 "තමුන්ට සර්නෙම් එක තියෙන්නෙ නමේ අගට විතරද?"

 "නැ..නැහැ සර්.." 

"එහෙනම් ඉතින් ෆුල් නේම් එක කියනවද කරුණාකරලා?" 

"රත්නායක මුදියන්සේලාගේ අහස්‍යා මන්දාකිණි රත්නායක."

 "හරි... දැන් මිස් රත්නායක ඇයි මෙතෙන්ට ආවෙ...?" 

"ඉන්ටවිව් එකට සර්.." 

"එතකොට තමුන් හිතනවද, තමුන්ට මෙතන ජොබ් එක ලැබෙයි කියලා?"

 "ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින් තමා සර් ආවේ."

 "තාමත් ඒ බලාපොරොත්තුව තියනවද?"

 "තියෙනවා... ඒත් ලැබෙන ඕනෑම තීරණයක් බාරගන්න ලැහැස්තියි සර්."

 "බොහොම හොඳයි. මොකද තමුන් හිතන් හිටියට තමුන්ට මෙතන ජොබ් එක ලැබෙයි කියලා, මෙතන තමුන් වගේ අයට දෙන්න ජොබ් නෑ."

"ඒකට කමක් නෑ සර්. ඒත් මට දැනගන්න පුළුවන්ද ඒ ඇයි කියලා? සර්ලා මාව ඉන්ටවිව් කළේ නැහැනේ."

 මම මෙතනට එනකොට හිතන් හිටියෙ Dream T.V කියන්නේ හොඳ රූපවාහිනී නාලිකාවක් කියලා. ඒත් ඒකෙ අයිතිකාරයගෙ රැස් වළල්ල Dream TV වහගෙන ඉන්නවා කියලා මට තේරුණේ මෙතෙන්ට ආවට පස්සේ. කොහෙද යන මානසික ලෙඩෙක්. මම මටම කියාගත්තා.

"මම හිතුවට වඩා මිස් රත්නායකගෙ කටට පණ තියෙනවා එහෙනම්. හරි, තමුන්ට ජොබ් එකට නොගන්න හේතුව මම පහදලා දෙන්නම්. මේකයි මිස් රත්නායක, ඔයා පාරෙ යන එන විදිය දන්නවද? ඒ කිව්වෙ මේ.., මාර්ග නීතිවලට අනුව."

"සිහින, ඇයි අපි මේ අනවශ්‍ය දේවල් කතා කරන්නෙ?"

 "නෑ සමෙත් නෑ.., මේ කතාව කොහෙන් හරි මේ ජොබ් එකට සම්බන්ධ වෙනවා. සමෙත් දන්නවනෙ, මම ආවට ගියාට වචන පාවිච්චි කරන මනුස්සයෙක් නෙමේ." 

"වෙරි සොරි සිහින." 

"ඉට්ස් ඕකේ සමෙත්."

ඉන්ටවීව් බෝඩ් එකේ හිටිය තවත් කොල්ලෙක් තේරුම් කරලා දෙන්න හැදුවත් අර උද්දච්ච මිනිහා කිසිම දෙයක් පිළිගත්තේ නෑ. මූණ ලස්සන වුණාට මහ උද්දච්ච, උඩඟු නරියෙක්.

"කෝ මිස් රත්නායක උත්තර...?"

 "දන්නවා සර්."

 "හරි එහෙනම් මට කියන්න.... අපි පාරේ ගමන් කරන්න ඕනා මොන පැත්තෙන්ද? මම කිව්වේ.... පයින් යනකොට."

 "දකුණු පැත්තෙන්."

 "Ok.... එතකොට පාර මාරු වෙනකොට අනුගමනය කරන්නේ මොන වගේ පියවරක්ද...?" 

"හොඳට පාර දෙපැත්ත බලලා පාර මාරු වෙන්න ඕනා."

 "හරි.. ඔය දේවල් තමුන් ක්‍රියාත්මක කරනවාද?" 

"ඔව්."

මේ මනුස්සයට ඇත්තටම පිස්සුද කොහෙද? ඇයි දෙයියනේ මේ ලර්නර්ස් එකක්ද?

 "මම හිතන්නේ නෑ තමුන් ඔය කිසිම දෙයක් පිළිපදින කෙනෙක් කියලා." 

මාව විතරක් නෙමේ ඉන්ටවිව් බෝඩ් එකේ හැමෝමවත් පටලලා දාලා මේ මිනිහා මොනවා කියන්න හදනවද මන්දා.

"ඒත් මිස්ටර්..."

 "පොඩ්ඩක් ඉන්න මිස් රත්නායක, ඉක්මන් වෙන්න එපා. වැදගත් අය අහගෙන ඉන්නවා මිසක් වැඩිය කතා කරන්නේ නෑ. අනික ඉක්මන් වුණාම 'කොරස්' කටෙත් අත දාගන්න බෑ කියනවනෙ. එතකොට පස්සට පසුතැවෙන්න වෙනවා." 

"සිහින, අපිට ටයිම් එක තියෙන්නේ හරිම අඩුවෙන්. ඒක නිසා..." 

"ඉට්ස් ඕකේ සමෙත්.... මිස් රත්නායක, ඔයා කිසිම වැඩක් සිහිබුද්ධියෙන් කරන කෙනෙක් නෙමේ. ඒක නිසයි තමුන්ට මෙතන ජොබ් එක නැතුව ගියේ. මෙතන වැඩ කරන්න නම් හොඳ සිහිබුද්ධියක් තියෙන්න ඕනේ." 

"ඒත් සර්….."

 "ඔයා ඔය අහන්න හදන්නේ මම ඒක දන්නේ කොහොමද කියලනේ, නේද?"

 "ඔව් සර්.."

"හරි මම කියන්නම්. අද උදේ හරියටම 8.00 ට රවුන්ඩ්අබවුට් එක ළඟදි, තමුන්ට කළුපාට කාර් එකකට හැප්පෙන්න ගියා. පොඩ්ඩෙන් තමුන්ගෙ වරදින්, ඒක එලවගෙන ආපු මම නිරපරාදෙ පොලීසි ගානේ රස්තියාදු වෙනවා. තමුන් වගේ ළමයින්ගෙ මනෝ විකාර නිසා, අහක ඉන්න මිනිස්සුයි අමාරුවෙ වැටෙන්නේ. තමුන්ව මෙතන ජොබ් එකට ගත්තොත් මට මේ සිහින TV එක වහලා දාන්න වෙයි. අන්න ඒක නිසා මේ සිහින තීරණය කළා තමුන්ව ඉන්ටවිව් නොකර ඉන්න. අද ඉඳන්වත් සිහියෙන් වැඩ කරන්න ට්‍රයි කරන්න. නැත්තම් මනෝ ලෝකෙන් මවන මාළිඟා කකුල් දෙක උඩටම කඩාගෙන වැටෙයි. හරි... දැන් මෙතනින් යන්න, අපිට වැඩ තියෙනවා." 

"සොරි මිස්ටර් සූරියබණ්ඩාර..."

මට කියාගන්න හම්බුණේ එච්චරයි. ඇස් දෙකෙන් කඳුළු කඩාවැටෙන්න ගත්තා. අතේ තිබ්බ ලේන්සුව ඇස් දෙකට තියලා තදකරගන්න ගමන් මම රූම් එකෙන් එළියට ආවා. ඇවිදගෙන බස් හෝල්ට් එකට යන්න තරම්වත් ඒ වෙලේ මට සිහියක් තිබුණේ නැහැ. හිත ටිකක් සංසුන් වෙනකන් මෙතනම ඉඳලා යනවා කියලා හිතාගෙන එතන දිග කෝරිඩෝවේ පේළියට තියලා තිබ්බ කළුපාට සෙටි එකේ ඉඳගත්තා. පුටුවට හේත්තුවෙලා, ඇස් දෙක පියාගත්තේ හිත සැහැල්ලු කරගන්නවා කියලා හිතාගෙන වුණත්, උදේ වෙච්ච සිදුවීම් එකින් එක චිත්‍රයක් වගේ මගේ හිතේ ඇඳිලා මගේ හිත තවත් අවුල් කළා.

උදේ පාන්දර ඉන්ටවිව් එකට එන්න ලෑස්ති වෙද්දිත් අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා, කැරකිල්ල හැදුණු හැටි මතක් වෙද්දි ආයෙමත් කඳුළු ගලාගෙන එනවා දැනුණත් මට ඇස් අරින්න තරම් ශක්තියක් ආවෙ නෑ.

"අනේ අම්මා.. මොකද මේ...?"

 "මට චුට්ටක් කැරකිල්ල වගේ හැදුණා මැණික්. තව ටිකකින් අඩුවෙලා යයි."

 "අම්මා ප්‍රෙෂර් පෙත්ත බිව්වද?"

 "ඔ..ව් මැණික්."

 "බොරු කියන්න එපා අම්මා. අම්මා බොරු කියනකොට තේරෙනවා. ඉන්න මම අරන් එන්නම්."

 "එපා මැණික්." 

"බෙහෙත් නොබී කොහොමද අම්මා ලෙඩ හොඳ වෙන්නේ? මගේ හොඳ අම්මානේ අපි බෙහෙත් බොමු." 

"අදට බෙහෙත් පෙති ඉවර වෙලා දවස් තුනක් මගේ දුවේ...."

 "ඇයි අම්මා…, ඔයා මට නොකිව්වේ?" 

"කිව්වා කියලා මගේ දුව මක් කරන්නද මැණික? කිව්ව නම් ඔයාගෙ හිතට තවත් බරක් එකතු වෙනවනෙ.. මගේ මැණිකට ඕවා දරාගන්න බෑ." 

"අනේ අම්මා එහෙම කොහොමද..? මම ණයක් වෙලා හරි අම්මට බෙහෙත් ටික ගෙනත් දෙනවනෙ. ඔන්න අනිත් දවසේ එහෙම නොකියා ඉන්න බෑ හොඳද?"

 "තව කොහෙට ණය වෙන්නද දූ? කඩේ මුදලාලිටම රුපියල් හාරදහස් ගාණක බිලක් තියෙනවා." 

"අනේ මන්දා අම්මා, අපි කවදා මේ තත්ත්වෙන් ගොඩ එන්නද කියලා. මට හිතාගන්න බෑ, අද මේ රස්සාවවත් හරි ගියොත්..."

"හරියයි මගේ දූ. අපි කාටවත්ම වරදක් කරලා නෑ. දූලගෙ අප්පච්චි වුණත්, ඔය මහ උළුගෙයි උන්නට සතෙකුට සිව්පාවෙකුට වුණත් වරදක් කරපු මනුස්සයෙක් නෙමේ. අප්පච්චි නිර්දෝෂී කෙනෙක්. ඒ නිසා තුණුරුවන්ගේ සරණින් දෙවියෝ අපේ මූණ බලන්න ඕනා. ඒක නිසා පරිස්සමට මගේ දුව ගිහින් එන්නකෝ..."

 "ඒත් කොහොමද? මම අම්මව තනියම දාලා යන්නේ?"

 "මට තනි නෑ දුව. තව ටිකකින් මේක ඇරිලා යාවි." 

"ඔව් පුළුවන් නම් අමාරුව පිටින්ම ආයෙත් අර රෙදි කන්ද මහන්න පටන් ගන්න. ඔයා ඉතින් එහෙමනෙ. හෙල්ලෙන්නැහැ ඇඳෙන්, තේරුණාද..?"

 "අනේ මැණික් එහෙම කොහොමද?"

 "එහෙම නෙමේ. කොහොම හරි මෙතනින් හෙල්ලිලා තිබුණොත් බලාගෙනයි." 

"හරි හරි දොස්තර නෝනේ. දැන් පරිස්සමට ගිහින් එන්න." 

මම සිතූ නංගිටත් කියලා යන්නම් මෙහෙට ඇවිත් ඉන්න කියලා. අනේ අම්මා..., පරිස්සමෙන්.."

අම්මගෙ කකුල් දෙක අල්ලලා වැඳලා ගෙදරින් එළියට බැහැලා සිතු නංගිටත් කතා කරලා අම්මා ළඟ ඉන්න කියලා ඉන්ටවිව් එකට ආවේ අම්මගෙ බෙහෙත් ටික ගන්නේ කොහොමද කියලා කල්පනාවෙන්මයි. පරණ කුඩේ ඉහළ ගත්තත් ඒකෙ තියෙන සිදුරු වලින් අහසෙ නිල් පාට හොඳට පේනවා. ඉන්ටවිව් එකට ඇඳගෙන යන්න තිබුණෙත් මලී අක්කා ගෙනත් දීපු ක්‍රීම් පාට සාරිය. අවුරුදු එකහමාරකින් දෙකකින් ඇඳුමක් ගත්තේ නැහැ. අතේ සත පහක් නෑ දාගෙන යන්න සෙරෙප්පු දෙකක් නැති නිසා කැඩිච්ච සෙරෙප්පුවට ඇණයක් ගහලා හදාගත්තත් අඩිය තියෙනකොට පැත්තට යනවා. ඒ හැමදේම පැත්තකින් තිබුණත් අම්මගෙ බෙහෙත් ටික ගන්න විදියක් නැති එක තමයි දරාගන්න බැරි. මොනවා කරන්නද, අප්පච්චි හිටිය නම් අපිට මෙහෙම කලක් යන්නේ නෑ.

මලී අක්කගෙ හිත හොඳකම නිසා අද ඉන්ටවිව් එකට නම්බුපිට යන්නේ. රස්සාව හම්බුණත් අඳින්න පළඳින්න ඇඳුමක් නෑ. ඒ හැමදේටම වඩා මට වැදගත් අම්මගෙ බෙහෙත්. අවුරුදු 47ක් වගේ වයසකින් මේ වගේ ලෙඩක් හැදුණේ, අප්පච්චි හිරේ ගිය දවසේ ඉඳන් මගේ ජීවිතේ ගොඩනගන්න නොවිඳිනා දුක් වින්ද හින්දා. ලස්සන අත් දෙකේ කරගැට එනකන් මහන්සි වෙලා කුලී වැඩ කරලා, ළමයි බලාගන්න සොච්චමෙන් කොහොම හරි මට උසස් පෙළට එනකන් ඉගැන්නුවා. එතනින් එහාට ඉගෙනගන්න පුළුවන්කම, ආශාව තිබ්බත් ඒ හැමදේම අතඇරලා රස්සාවල් වලට ඉන්ටවිව් යන්නේ, වේලක් ඇර වේලක් කාලා හරි ලැබිච්ච ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕන නිසා.

කන්න බොන්න නැතත් තමන්ගෙ නම්බුව රැකගෙන තරුණ ගෑණු දරුවෙකුත් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න අම්මා කොච්චර මහන්සි වෙනවද? ජීවිතේ මගේ අම්මා ඉහිලුව තරම් දුක් ගොඩක් තවත් ගැහැණියෙක් නම් උහුලන්නේ නෑ.

පයින්ම පාර අයින දිගේ ඇවිදගෙන ආවට Dream TV එක තියෙන තැනවත් මම දැනගෙන හිටියේ නෑ. පාර එහා පැත්තට පැනලා එතන ඉන්න ගෑණු කෙනාගෙන් අහනවා කියලා හිතාගෙනයි කහ ඉරට පොඩ්ඩක් මෙහායින් පාර පැන්නේ. ලොකු කල්පනාවක ආව හින්දා පාර හරියට බැලුවේ නෑ කියලා මට මතක් වුණේ ඈත ඉඳන් පිඹගෙන ආපු කළුපාට කාර් එකක් මගේ කණ ළඟින්ම බ්‍රේක් කරද්දි. අහල පහළ හිටිය හැමෝම එක තැන නතර වුණා. හැමෝම හිතුවේ මාව හැප්පුණා කියලා. බයවෙච්ච පාර මමත් එතනම නතර වුණා මිසක් අඩියක්වත් ඉස්සරහට තියන්න මට ශක්තියක් තිබුණේ නැහැ.

"තමුසෙ කොහෙද හලෝ යන්නේ? මැරෙන්නද? මැරෙන්න ඕන නම් අනික් මිනිස්සුන්ව අමාරුවෙ දාන්නේ නැතුව මැරෙනවා!" 

කාර් එක එළවගෙන ආපු කෙනා බැහැලා ඇවිත් මට හෝ ගාලා බනින්න ගත්තා. අඩුම තරමේ මගේ ඉස්සරහ ඉඳන් මට බනින කෙනා කළුද සුදුද කියලා බලන්නවත් මට ඔළුව උස්සගන්න ශක්තියක් තිබුණේ නෑ. අඩුම තරමේ ඒ මූණ දිහා බලලා සොරි කියන්නවත් මට ඔළුව උස්සගන්න බැරි වුණා. අහළ පහළ සෙනඟ පිරිලා ඒ හැමෝම මට බනිනකොට මට පුළුවන් වුණේ අඬන්න විතරයි.

"දන්නේ වැරදි කරලා අඬන්න විතරද...? මම වාහනය කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න නිසා.., අද තමුන්ගෙ ජීවිතේ බේරුණා කියලා මතක තියාගන්නවා. තමුසෙලා හින්දයි ඕයි, වාහන කාරයෝ අමාරුවේ වැටෙන්නේ. මේ වගේ මෙලෝ සිහියක් නැති උන් ඉන්නකන් මේ රටට හරියන්නේ නෑ. මගේ වෙලාව හොඳටම නාස්ති කළා. යනවා දැන් ඉතින් යන තුත්තුකුඩියක…. පොත්ත රතු වුණාට, මූණ ලස්සන වුණාට මොළේ කළඳක් නෑ. ඔය විදියට මනෝ ගහගෙන පාරෙ ගියහම අමාරුවෙ වැටෙන්නේ අහිංසක මිනිස්සු කියලා හොඳට මතක තියාගන්නවා. මට පරක්කු වෙලා තිබ්බේ නැත්නම් මම තමුසෙට හොඳ පාඩමක් උගන්නලයි අද මෙතනින් යන්නේ., ඊඩියට්."

උදේ වෙච්ච සිදුවීම් එකින් එක මතක් වෙද්දි ඇස් දෙකට එන කඳුළු අලුත් වුණා මිසක් වේලිලා ගියේ නම් නෑ. මගේම පවට උදේ කාර් එකේ ආව කෙනාම මෙතන බොස් වුණානේ. ලොකු බලාපොරොත්තුවකින් ඉන්ටවිව් එකට ආවත් යන්න වෙන්නේ හිතත් හොඳටම පාරගෙන. අම්මට මේ දේවල් කොහොම කියන්නද? අපරාදෙ මලීෂා අක්කගෙ මහන්සිය වතුරේ ගියා.

"මන්දාකිණි, මොකද මේ....?" 

ලොකු කල්පනාවක හිටිය මම මේ ලෝකෙට ආවේ මම ළඟින්ම ආපු සුපුරුදු කටහඬක් නිසා. අඬලා අඬලා හෙම්බත් වෙච්ච ඇස් දෙක හිමීට ඇරියම මගේ ඉස්සරහ හිටගෙන හිටියේ මලීෂා අක්කා.

"ම..ම..ලී අක්කේ...." 

"නංගි, මොකද මේ ඔයා හොඳටම අඬලා...?" 

මගේ අත් දෙකෙන්ම අල්ලගෙන මගේ එහා පැත්තේ තිබ්බ පුටුවෙන් මලී අක්කා ඉඳගත්තා. මලී අක්කා එක්ක තවත් අයියා කෙනෙක් හිටිය නිසා මම ඒ පැත්ත බැලුවේ මලී අක්කා අහපු ප්‍රශ්නය මගඅරින්න හිතාගෙන. 

"අනේ... මට අමතක වුණා. මේ ඉන්නේ නිමේෂ්.. මට මේ චැනල් එක ඇතුළේ ඉන්න හොඳම යාළුවා. නිමේෂ්, මේ මන්දාකිණි. අර උදේ මම කිව්වේ, අපේ ගෙදර ඉස්සරහා ගෙදර ඉන්නවා කියලා." 

"මලී, එහෙනම් ඔයා යාළුවත් එක්ක කතා කරලා එන්න. එයාට ලොකු ප්‍රශ්නයක් වගේ. මම රෙස්ට් රූම් එකට යනවා, අපේ උන් බලන් ඇති."

 "හා නිමේෂ්…." 

"මම යනවා නංගියෝ. ඔයාගෙ ප්‍රශ්නය ඉක්මනට විසඳේවි හොඳද..?"

 මම නිමේෂ් අයියට හොඳයි කියලා කිව්වේ ඔළුව වනලා. නිමේෂ් අයියා හිතන්න ඇති මම මනුස්සයෙක් එක්ක කතා කරන්න දන්නැති උඩඟු කෙල්ලෙක් කියලා.

"මන්දාකිණි මොකද වුණේ බන්..?"

"ඒවා ගැන කතා කරලා වැඩක් නෑ අක්කා."

 "කතා කරන්න එපා, උඹ ප්‍රකාශ කරපන්කෝ."

 "අක්කට විහිළු."

 "විහිළු නේන්නම් කෙල්ලේ.. උදේ ගෙදරට ඇවිත් හිනාවෙලා, 'අක්කේ මම අද 9.00 ට ඉන්ටවිව් එනවා' කියලා ගිය කෙල්ල මෙතන අඬනකොට ඒක විහිළුවක් නෙමේද බන්..? එතන ඉඳන් මේ වෙනකන් පැය කීයක් ගෙවුණද අක්කා? ඒ ටික වෙලාවට අඬන්න දෙයක් සිද්ධ වෙන්න බැරිද?"

 "හරි ඉතින් මම අහන්නේ ඒ සිද්ධ වුණු දේ තමා."

 "මන්දා අක්කා…."

 "කියහන්කෝ බන්."

උදේ අම්මට අසනීප වුණු තැන ඉඳන් මේ වෙනකන් වෙච්ච හැම සිද්ධියක්ම මම මලී අක්කාට කිව්වා. මම කියලා ඉවර වෙනකන් ඉඳලා මලී අක්කා කළේ ඔළුව අතගහගන්න එක විතරයි. 

"ඇයි…?"

 "ඇයි කියන්නේ යකෝ, උඹව හැප්පුණා නම් එහෙම මොන දෙයියන්ට කියන්නද? සර් කියලා තියෙන දේවල් හරි. පාරෙ යනකොටවත් සිහියෙන් පලයන්." 

"මම අම්මගෙ බෙහෙත් ටික ගන්න විදියක් ගැන අක්කේ කල්පනා කර කර ආවේ."

 "යකෝ…. මෝඩියේ, තෝ හැප්පිලා මැරුණා නම් එහෙම ආන්ටිට බෙහෙත් ඕන වෙන්නේ නෑ, ආන්ටිටත් මිනී පෙට්ටියක් ඕඩර් කරන්න වෙයි." 

"මම දැන් මොකද කරන්නේ අක්කා? මට දැන් මෙතන ජොබ් එකත් නෑ, ඉන්ටවිව් කීයකට නම් ගියාද..?"

 "අපේ ඩ්‍රීම් (Dream) අමුතු මෑන් කෙනෙක් නංගි." 

"ඩ්‍රීම්…..?"

 "ආ.. උඹ කොහොම දන්නවද? ඩ්‍රීම් කියන්නේ අපේ බොස්ට. නම සිහින ඒක නිසා එයා අපි කාගෙත් ඩ්‍රීම්." 

"ඩ්‍රීම් ම තමයි, නම නම් පොඩ්ඩක්වත් මැච් වෙන්නේ නෑ." 

"එහෙම කියන්න එපා කෙල්ලේ අපේ බොස් හරිම හොඳයි."

 "හොඳයි… කාටද දන්නේ නෑ හොඳ..?"

 "උඹ දන්නේ නෑ මන්දාකිණි, මෙහෙ ටික කාලයක් වැඩ කළා නම් උඹ ඩ්‍රීම්ගෙ හැටි දැනගන්නවා." 

"අනේ මට කාගෙවත් හැටි දැනගන්න ඕනා නෑ, පොඩ්ඩක්වත් හිත උණුවෙන්නේ නැති මහ උඩඟු මිනිහෙක්."

  "යකෝ බූරුච්චියේ.. අපේ ඩ්‍රීම්ට උඹ බනිනවා මෙතන කාට හරි ඇහුණොත් තොට සොරිම තමා." 

"අනේ මේ... ඇයි මට මොනවා කරන්නද?" 

"කොහෙද? තොට මල පැනලානේ. ඩ්‍රීම් මේක ඇතුළෙදි ඔහොම වුණාට එළියෙදි සාමාන්‍ය කෙනෙක් වගේ, වැඩ කරන කොල්ලගෙ කරට අත දාගෙන ඉන්නේ."

 "ඒක තමා උදේ මාව කන්න හැදුවේ, සාමාන්‍ය මනුස්සයෙක් නිසානේ." 

"යකෝ බන්, ඒ ඔෆිස් ටයිම් එක. එතකොට රාජකාරි මට්ටමෙන්, තේරුණාද?"

 "රාජකාරි බැරි නම් දේවකාරි හරි මලී අක්කා, මාව ඉන්ටවිව් බෝඩ් එක ඉස්සරහම චා කරලා දැම්මා." 

"හරි හරි..., උඹත් අපේ ඩ්‍රීම් වගේම තමා. දෙන්නටම කොහිල කවන්න ඕනා. නපුරි... අහිංසක වුණාට, උඹ හරි වසයි."

 "ඔව්."

 "ආපෝ... කටේ කැත.., හා..හා. දැන් පලයන් ගෙදර, ආන්ටිටත් කොහොමද දන්නේ නෑනේ."

 "අනේ මන්දා අක්කා."

  "දැන් උඹ බේත් ටික ගන්නේ කොහොමද?" 

මට සුසුමක් හෙළුණේ ඉබේටම. ජීවිතේ මොන තරම් කටුකද, අමිහිරිද. දුප්පත් අපිමයි අසරණ වෙන්නේ. මගේ අත ගියේ මගේ කරේ තිබුණ රත්තරන් චේන් එකට. මට කියලා තියෙන්නේ අපේ සීයා පුංචි කාලෙ මගේ කරට දාපු මේ මාලේ විතරයි අක්කා. මේක කරෙන් ගලවනවට අපේ අම්මා කොහොමවත් කැමති නෑ. ඒත්.. මට හැමදේටම වඩා වටින්නේ මගේ අම්මා. 

"උඹ මාලෙ උකස් කරනවාද?"

 "ඔව්. රස්සාවක් හොයාගත්තම බේරගන්නවා. ඒත් බැරි වුණොත් සින්න වුණාදෙන්. මම යනවා අක්කා. තවත් මෙතන උන්නොත් පරක්කු වෙයි. අම්මා බයවෙයි." 

"නංගි.." 

"ඇයි අක්කා?"

 "උඹ මාලෙ උකස් කරන්න එපා. බෙහෙත් රිසිට් එක මට දියන්."

 "බැ..බෑ. අක්කට පිස්සුද?" 

"දියන් බන්. විශාකා ආන්ටි තොගෙ විතරක් නෙමේ මගෙත් අම්මා. ඒ අම්මට බෙහෙත් ටික අරන් දෙන්න මටත් චූටි ඉඩක් දියන්කෝ මගේ නංගෝ..."

 "බෙහෙත් අරන් නොදුන්නට ඔයා අපිට හුඟක් උදවු කරලා තියෙනවා අක්කා, ඒ හොඳටම ඇති."

 "හරි. උඹ අතට සල්ලි හම්බුණාම මට දීපන්. එතකන් මම අරන් දෙන්නම්කෝ..." 

මම බෙහෙත් රිසිට් එක මලී අක්කට දෙන්න අදිමදි කළත් මලී අක්කා බලෙන්ම ඒක ගත්තා. සාමාන්‍ය පවුලක ඉපදුණත් මලී අක්කලාට ජීවත් වෙන්න ප්‍රශ්න තිබුණේ නෑ. මලී අක්කගෙ අම්මා නැති නිසා අපේ අම්මට සැලකුවේ එයාගෙම අම්මට වගේ. ඒත් මට ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හිතුණේ නෑ.

 "උඹ කල්පනා කරන්නේ නැතුව ගෙදර පලයන්. හවසට මම එන්නම්. ඒත් එකක් මතක තියාගනින්, හැම ඩ්‍රයිවර් කෙනෙක්ම අපේ ඩ්‍රීම් තරම් සුපිරි නෑ. ඒ නිසා පරිස්සමට පාරෙ පලයන්."

******** 

"නැගිටපන් බූරුච්චියේ, බලපන් නිදියන් ඉන්න කැත. හදාගනින් ඔය ගවුම මන්දාකිණි." 
 
"කවුරු දකින්නද මලී අක්කා?" 
 
"දකින්න….. මරු එකට හිටියි දැක්කොත් එහෙම." 
 
"ඇයි…?" 
 
"කෑල්ලක් කපාගෙන යයි." 
 
"උයලා කන්නද?"
 
 "නෑ බන්, තියාගෙන දුම් අල්ලන්න."
 
 "අනේ යන්න… අක්කා යන්න…." 
 
"යන්න නෙමේ බන් ආවේ ඉන්නමයි. කතා කරන්න කලින් වහගනින් ඔය කකුල් දෙක."
 
 "ඕක ඇරගෙන හිටියා කියලා මොකද වෙන්නේ?"
 
 "ඇරගෙන හිටපන් දණහිස් දෙකෙන් පහළ. ඔය උඩ ඇරගෙන ඉන්නකොට මට දුක හිතෙනවා." 
 
"ඇයි?"
 
 "ඇයි කියලා අහන්නේ, යකෝ.. බලපන් තනිකරම රෝස පාටයි. දිලිසෙනවා. ඕක කවුරුහරි පිරිමි පරාණයක් දැක්කොත් එහෙම ඌට වෙන දේ ගැන මට දුකයි නංගියේ."
 
 "හා.. හා.. ඔන්න එහෙනම් වහගත්තා."

දණහිසෙන් ටිකක් උඩට ඇවිත් තිබ්බ ගවුමත් හදාගෙන මම ඇඳ උඩින් ඉඳගත්තා. මලී අක්කා හිනාවෙනවා. එක්කෝ මෙයාට පිස්සු නැත්නම් මට පිස්සු. 

"ඇයි හිනාවෙන්නේ?" 

 "හිනාවෙනවා නම් බන්, හිනා යනවා.."

  "ඇයි…?"

 "ඇයි කියන්නේ, මට උඹේ මස්සිනා කාරයව මතක් වුණා."

  "ඒ මොකද, ඒ බූරුවව මතක් වුණේ?"

  "එහෙම කියන්න එපා බන්. ඒ උඹේ අනාගත ස්වාමියා." 

 "අනේ මලී අක්කා මේ..."

 "හරි.. හරි.. දැන් උඹ අහන්නේ නැද්ද ඇයි මට අමිතව මතක් වුණේ කියලා?"

  "දැන් එකපාරක් ඇහුවේ. ඇයි?"

 "මේකයි. උඹලා දෙන්නා බැඳලා හනිමූන් ගිය දාට අරූ පව් බන්."

  "අනේ මලී අක්කා මේ.." 

"ආ.. ආ.. බය වෙන්න එපා. එදාට මම එන්නේ නෑ. ඒ වුණාට මම දන්නවා තෝ කරන දේ." 

"මොනවාද?"

 "මන්දාකිණි නංගි, මම උඹව දන්නේ ජංගියේ චූ දාගන්න කාලේ ඉඳන්. මට සීයට දෙසීයක් ෂුවර්, තෝ අරූව ඇඳෙන් බිමට දාලා තෝ ඇඳේ නිදියනවා. අමිතයට වෙන්නේ රෑ එළිවෙනකන් උඹේ මූණ දිහා බලන් කෙළ ගිලින්න."

 "අනේ මලී අක්කා ඔයා හොඳ නෑ." 

"'උපන්ගෙයි සිරිත බලි ඇරියත් නොයයි' කියනවනේ බන්. ඒක නෙමේ උඹ තාමත් අමිතට අකමැතිද?"

 "ඔව් අක්කා, ඒත් අකමැත්තෙන් වුණත් දැන් ඒ දේවල් තීන්දු වෙලා ඉවරයිනේ." 

"ඇයි නංගා අමිතට අකමැති?" 

"ඌව බැන්දොත් මට වෙන්නේ එක්ටැම් ගෙයි හිරකරපු උන්මාදචිත්‍රාට වෙච්ච දේ. අනික, ඌ හෙන කුණා. කන්නේත් නෑ, බොන්නේත් නෑ, අඳින්නේත් නෑ. ඌ ළඟ කිසි මනුස්සකමකුත් නෑ. ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් මට අල්ලන්නේම නැත්තේ ඌ මගේ දිහා ගිලින්න වගේ බලන බැල්ම. ඒ බැල්මේ තියෙන්නේ ආදරේ නෙමේ, නොසංසිඳෙන ආශාව." 

"උඹ හරි නංගි, ඒක මමත් දැකලා තියෙනවා. මමත් උඹට කියන්න හිටියේ, ඒත් කියන්න විදියක් නැතුව හිටියේ. ආදරයයි ආශාවයි අතරේ ලොකු වෙනසක් තියෙනවා නංගි, ඒක තේරුම් ගන්න බැරි වුණාම තමයි හිත්රිදවීම්, නොගැලපීම්, වෙන්වීම් ජීවිතේ ඉතුරු වෙන්නේ. උඹ ඒක තේරුම් ගන්න එක ගැන මට සතුටුයි කෙල්ලේ."

 "ඒක මම තේරුම් ගත්තාට අපේ අම්මට තේරුම් ගන්න බෑ අක්කා. ඒ අම්මගෙ වරදක් නිසා නෙමේ, අපිට මේ ජීවිතේ දීපු කෙනාගෙ වරද නිසා." 

"අපිට කවුරුත් ජීවිතේ දුන්නේ නෑ නංගි. අපිට ජීවිතේ ලැබුණේ අපි පෙර කරපු පව් පින් නිසා. අපිට මේ ලෝකෙට එන්න පින් හයියක් වුණා වගේම, අපිට මේ ලෝකය එපා වෙන්න අපේ පව් ඉදිරිපත් වෙලා. ඒත් එහෙමයි කියලා හැමදේම දෛවයටත්, පව් පින් වලටවත් බාර දීලා අපිට ජීවත් වෙන්න බෑ."

 "ඒ හැමදේම ඇත්ත අක්කා. ඒත් දැන් මගේ ඉරණම ලියවිලා ඉවරයි."

 "අපි මැරෙනකම් අපේ ඉරණම ලියවිලා ඉවර වෙන්නේ නෑ බබෝ. අපිට කියන්න බෑ ඒ අපේ ඉරණම කියලා. අද වෙන දේ හෙට ආයෙමත් වෙනස් වෙන්න පුළුවන්. අනිද්දට ආයෙමත් වෙනස් වේවි. අන්න ඒකයි ජීවිතේ හැමදේම සිදු වෙන්නේ අපි නොහිතන විදියට. අපේ හෙට දවස ගැන අපිට හරි තීරණයක් ගන්න බෑ. ඒක සිදුවෙන්නේ සොබාදහමට අවශ්‍ය විදියට. සමහර විට අපි මැරිලා මේ ශරීරයෙන් අපේ ජීව ශක්තිය පිට වුණත්, අපේ ඉරණම ගැන අපිට තීරණය කරන්න බෑ. මොකද අපි දන්නේ නෑ අපේ හෙට දවස මොන වගේ වේවිද කියලා. අපිට එන්න පුළුවන් හෙට දවස මෙහෙම වේවි සමහර විට කියන නිගමනයට විතරයි. ඒ නිගමනය සමහර විට හරි, සමහර විට වැරදියි. ඒත් මට එකක් කිව්වෑකි."

 "ඒ මොකක්ද අක්කා?"

 "මන්දාකිණි හරියන්නේ පෙරේත ලෝකෙට නෙමේ, දිව්‍ය ලෝකෙට කියලා." 

"ඒත් මම දැන් ඒ පෙරේත ලෝකේ හිර වෙන්න ළඟයි අක්කා." 

"නෑ... සමහර විට දිව්‍ය ලෝකෙන් දිව්‍ය කුමාරයෙක් ඇවිත් උඹව බේරගනීවි." 

"ඒවා සුරංගනා කතා අක්කා." 

"මම උඹට කිව්වනේ හෙට දවස ගැන අපිට තීරණ දෙන්න බෑ කියලා. ඒත් හෙට දවසේ නරක දෙයක් නොවන විදියට අද දවසේ වැඩ කරන්න පුළුවන්." 

"එහෙම වෙන්න ඇති. ඒත් මම වගේ හිඟන්නියකට එහෙම වාසනාවක් නෑ."

"පිස්සී, උඹ අෂ්ට ලෝක ධර්මය විශ්වාස කරනවද? ඒකෙ කියවෙන විදියට මිනිහෙකුට ජීවිතේ දුක ලැබුණොත් කවදම හරි සැපත් ලැබෙනවා. ඒ වගේම තමයි සැප ලැබුණොත් කවද හරි දුකත් ලැබෙනවා. අපිට විතරක් අෂ්ටලෝකධර්මය වෙනස් විදියට බලපාන්න බෑනේ බන්. එහෙනම් ඉතින් අපි ඇට, ලේ, මස්, නහර වලින් හැදිච්ච මිනිස්සු වෙන්න බෑ. ලක් එක කොහෙන් හරි අපිටත් කැරකෙයි බන්."

 "ඔය ලක් එක කැරකෙද්දි අපි හැට පැන්න වැඳිරියෝ වෙලා තියෙයි." "උඹට එහෙම වෙන්නේ නෑ. ඒක මට මේ ඉර හඳ පායනවටත් වඩා විශ්වාසයි. අර කුම්මැහියට නම් උඹව දෙනවට මම විරුද්ධයි. මම විශා ආන්ටිත් එක්ක කතා කරන්නම්කෝ." 

"අපි ඔය හැලි වඳුරා ගැන කතා කරන එක නවත්වමු අක්කා. මගේ හිත තවත් අවුල් වෙනවා. මට ඕකාව පෙන්නන්න බැහැ." 

"ඔව්, උඹට අර ඩක ඩොකේ එන අහිංසකයව පේන්න බෑ. බලපන්කෝ හැඩ, ඌ නිකන් යම රජ්ජුරුවන්ගේ දකුණු පුරෝහිත වගේ. කාර් එක යමයාගෙ වාහනය වගේ." 

"අනේ මලී අක්කා..," 

"හරි හරි, කෝ ආන්ටි?" 

"අම්මා කාමරේ නිදි අක්කා."

 "එහෙනම් ඇහැරවන්න එපා. මේ බෙහෙත් ටික දීපන්. මෙතන මාසෙකට බේත් තියෙනවා. මේ රිසිට් එක මම තියාගන්නවා. අද දෙවැනිදානේ. ඊළඟ දෙවැනිදා වෙද්දි මම ආයෙ බෙත් ටික ගෙනත් දෙන්නම්." 

"අනේ මලී අක්කා..."

 "මේ කට වහපන්. වචනයක් කතා කළොත් අමිතයට උස්සන් යන්න කියනවා." 

මෙච්චර වෙලා අතේ තියන් හිටිය බෙහෙත් කවරය මගේ අතට දීලා මලී අක්කා නැගිටලා ජනේලය ළඟට ගියා. 

"අක්කා මේ කරන උදවු වලට මම කොහොම ණය ගෙවන්නද මන්දා. මට පින් දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අක්කා." 

"උඹ මුකුත් කරන්න ඕනා නෑ නංගි. ඔය ඇස්වල කඳුළු පිහදාගනින්."

 "අක්කා....... කවදා හරි මම මේවට කළගුණ සලකනවා."

 "මට ඔය මගුල් ඕනා නෑ. පුළුවන් නම් මම වෙනුවෙන් එක ප්‍රාර්ථනාවක් කරපන්." 

"මොකක්ද අක්කා.. ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ." 

"ඊළඟ ආත්මෙවත් මගේ අම්මව මගෙන් වෙන් නොකර, විශා ආන්ටි උඹට ආදරේ කරනවා වගේ මටත් මගේ අම්මාගෙ ආදරේ ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරපන්. මට ඒ හොඳටම ඇති." 

මලී අක්කා ඒ ටික කිව්වේ හුඟක් සංවේදී විදියට. එයා ඒක කිව්ව විදියට මගේ ඇස් අගට ආපු කඳුළු අලුත් වෙනවා මට දැනුණා. එයා හිතින් කොච්චර විඳවනවා ඇතිද?

 "මගේ නංගි, උඹ ඒ ටික ප්‍රාර්ථනා කරනවා නේද කෙල්ලේ?" 

"ඔයා වෙනුවෙන් ඒ දේ එක වතාවක් නෙමේ මම දස දහස් වතාවක් ප්‍රාර්ථනා කරනවා අක්කා."

 "උඹ මට මගේම නංගි කෙනෙක් පැටියෝ.."

 ඇස් දෙකෙන් ආව කඳුළු බ්ලවුස් එකේ උරපතු දෙකෙන් පිහදාන ගමන් මලී අක්කා මාව බදාගත්තා. 

"අක්කා. අපි යමු හැමදේම අමතක වෙන්නත් එක්ක තේ එකක් බොන්න."

 "යමන් යමන්, මේ වෙලාවේ උඹේ අතින් හදපු ඉඟුරු දාපු තේ එකක් බොනවා කියන්නේ ඉතින් හොදි ඕනා නෑ." 

"මේ එන්න එපා බටර් ගාන්න.."

 "බටර් නෙමේ බන්, උඹට රහට තේ හැදුවෑකි. ගන්න මිනිහට එළම තමා."

 "ඇත්තට, එහෙනම් යමු. මිනිහට කලින් අක්කට තේ එකක් හදලා දෙන්න." 

මලී අක්කවත් අතින් ඇදගෙන මම කුස්සියට ආවා. ඉස්සර ඉඳන්ම මම හදන තේ බොන්න මලී අක්කා හරි ආසයි. අම්මට තරම් නැති වුණත් සාමාන්‍ය විදියට උයන්න පිහන්න මටත් පුළුවන්. අම්මා හදලා කඩවල් වලට දාන කෑම මේ පැත්තේ හරි ප්‍රසිද්ධයි. ඒ කරලත් මේ කාලේ ජීවත් වෙනවා කියන එක අමාරුයි.

"ආ.. මලී අක්කා තේ එක බොන්න." 

"තෑන්ක්ස්, තෑන්ක්ස් උඹට වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනා. දැන් මොනවාද මන්දාකිණි කරන්න හිතන් ඉන්නේ?" 

"අනේ මන්දා මලී අක්කා, ඒ ගැන නම් මට හිතාගන්නවත් බෑ. අදත් ජොබ් එක හරි ගියේ නෑනේ."

 "ආන්ටි මොකද කියන්නේ?" 

"අම්මා කියන්නේ අද වෙච්ච දේවල් ගැන හිතන්න එපා කියලා. ඒත් අද ජොබ් එක නැති වුණේ මගේ වැරැද්දෙන්, ඒ නිසා මට හිත හදාගන්න අමාරුයි. දැන් ජොබ් එකක් හොයන්න මුල ඉඳන් ට්‍රයි කරන්න ඕනනේ. කවදා මෙතනින් ගොඩ එන්නද මන්දා අක්කා." 

"හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ නංගි. හෙට ලෑස්ති වෙලා ඉඳපන් මාත් එක්ක ගමනක් යන්න. හෙට යන ජොබ් එක උඹට හරියනවමයි." 

"එහෙම කියලා ජොබ් කීයකට නම් ගියාද අක්කා. එකක්වත් හරි ගියේ නෑනේ. අපිට මේ තත්ත්වෙන් ගොඩ එන්න බැරි වෙයි." 

"නංගියෝ වාසනාව කියන අකුරු හතර අද උඹ ගාව, හෙට මම ගාව. මම හිතනවා හෙට වාසනාව උඹ ළඟ කැරකෙයි කියලා." 

"ඔය සල්ලිකාර කම්පැනිකාරයෝ ඔක්කොම එකයි මලී අක්කා. ඔච්චරටම හොඳයි කියලා හිතාගෙන හිටිය Dream TV එකේ අයිතිකාරයා ගැනත් මම අද හොඳට දැනගත්තා." 

"ඩ්‍රීම් හොඳයි බන්…"

 "ඔයාලට හොඳ ඇති. ඒත් කෙනෙකුගේ කඳුළක් ළඟ හිත උණුවෙන්නේ නැති මිනිහෙක්. ඔය මොන සල්ලිකාරයත් එකයි."

 "මන්දාකිණි, දුප්පත් අවංක මිනිහා කවදත් හිතින් පොහොසත්. ඒක මම පිළිගන්නවා. ඒ වගේම වංචාවෙන් කපටිකමෙන් පෝසත් වුණ එකෙක් ඉන්නවා නම් ඌ සදාකාලිකම කාලකන්නියෙක්. මම ඒකත් පිළිගන්නවා. හැබැයි අපේ ඩ්‍රීම් සල්ලි වලින් පෝසත් වගේම හදවතිනුත් හුඟක් පොහොසත්. වංචාවෙන් කපටිකමෙන් සල්ලි හම්බකරපු කාලකන්නි පෝසතෙක් නෙමේ, උඹ ඒක පිළිගනින්." 

"අනේ මන්දා මලී අක්කා,"

 "නංගී... උඹ කියනවා නේද උඹට මෙතනින් ගොඩ එන්න බෑ කියලා? නෑ නංගි, උඹට පුළුවන්. උඹ ළිඳට වෙලා ඉන්නකන් අනික් හැමෝම ප්‍රබලයි. පුළුවන් තරම් ඩම් එක දාලා ළිඳෙන් ගොඩ වරෙන්. ඒ දේට මම උඹට ඕනතරම් උදව් කරනවා. හරි.., හෙට ලෑස්ති වෙලා ඉඳපන්. මම උඹ ආසම සාරිය ගෙනාවා. ඉස්සරහ පුටුව උඩ තියලා ඇති. මම හෙට උදේම උඹව ගන්න එනවා. Ok?"

 "හොඳයි අක්කා.." 

"ආ තව එකක්, මගේ ඇඳුම් අඳින එක මදිකමක් කියලා හිතන්න නම් එපා නංගෝ.." 

"අනේ නෑ අක්කා." 

"තේ එකට තෑන්ක්ස්.. එහෙනම්, මම හෙට උදේ 7 වෙද්දි මෙතන. මම ගියා..."

******** 

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    

Next Episode

 



Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1