සිහින මන්දාකිනී 1 / 2 දිගහැරීම




  2 වන දිගහැරුම

"මගෙ අම්මට දැන් කොහොමද...?"

"දැන් හොඳයි මගෙ මැණික්. මලී දූට පින්සිද්ධ වෙන්න."

"මලී අක්කා මගේ අම්මට හුඟාක් ආදරෙයි අම්මෙ. එයාගෙ අම්මගෙන් එයාට නැති වුණු සෙනෙහස අපේ අම්මගෙන් බලාපොරොත්තු වෙනවා."

"පව් මගෙ දූ.. හිත හරිම හොඳයි මලී දූගෙ. මට මගෙ දුවත් එකයි, මලීෂා දුවත් එකයි."

"මම දන්නවා අම්මා... අනේ මේ සාරියේ පොට හදන්නකෝ අම්මා... හරියට හිටින්නෙම නෑ."

"ඔය මදෑ ළමයෝ හැඩ වුණා. මගෙ දූ මොක ඇන්දත් හැඩයි."

"අනේ නිකා ඉන්න අම්මා... ඔයා බොරු කියන්නෙ.."

මාව හතර අතට කරකවන ගමන් අම්මා කියවනවා. දැන් මට කැරකිල්ල හැදිලා නතර වෙන්නෙ.

"අනේ අනේ අපේ අම්මා... මට කැරකිල්ල හැදෙයි."

"මගෙ දුව පරිස්සමට යන්න. හැමදාම බණ දේශනාව දෙන්න ඕනා නෑනෙ. දැන් දැනගන්න ඕනා තමන් පරිස්සම් වෙන්න. ඊයේ වගේ අවසිහියෙන් එහෙම පාරෙ යන් නෑ, හොඳට පාර දෙපැත්ත බලලයි පාර පනින්නෙ. දැන් ඉතින් සමාජෙ ගැන දැනගන්න ඕනා. මගෙ අස්සෙ රිංගන් හිටියා ඇති."

"හොඳමයි මැඩම්..."

"විහිළු නෙමේ මැණික්. මට කියලා දහයක් නෑ. මගෙ දූ විතරයි ඉන්නෙ. ඔයාට මොනා හරි වුණොත් මේ අම්මට ජීවිතයක් නෑ දුවේ, මගෙ පණ කෙන්ද රැකිලා තියෙන්නෙ දුව ගාව, ඒක නිසා මං ගැන හිතලවත් පරෙස්සම් වෙන්න, තේරුණාද?"

"ඔව් අම්මා... මම පරිස්සම් වෙනවා."

"හා... හා... අම්මට හුරතල් වුණා ඇති. යමන් යමන්."

දොරේ උළුවස්සට හේත්තු වෙලා කෑගහන මලී අක්කව දැක්කම මටයි අම්මටයි දෙන්නටම හිනා ගියා. කාට හරි ගහන්න වගේ කුඩෙත් උළුක් කරගෙන, ඉනෙත් අතගහගෙන... මෙයාට පිස්සුවක්වත් හැදිලද?

"මොකද මලී දුවේ මේ...? කාට ගහන්න යන්නද කුඩෙත් උළුක් කරගෙන?"

"ඇයි ආන්ටි අර කතාවක් තියෙන්නෙ කොහේ ගියත් සූදානමින් යන්න ඕනා කියලා."

"හරි ඉතින්, ඒත් මේ අද මොකද?"

"ඇයි ආන්ටි අද මම බස් එකේ යන්න ඕනා මේකිත් එක්කනේ."

"ඉතින් මාත් එක්ක යනකොට ඇයි සූදානමින් යන්නෙ?"

"ඇයි බොල මැට්ටියෙ, අද තොගෙ ලස්සනට පස්සෙන් එන කොල්ලන්ට පැණි බේරෙන්න නෙලන්න."

"අනේ බලන්නකො අම්මා... මලී අක්කා හරි හොඳ නෑ."

"යකෝ මම උඹව එක්කන් යනවා වගේම හවසට හිටියා වගේම විශාකා ආන්ටිට ගෙනත් බාර දෙන්න ඕනනේ. මට බයයි උඹව කවුරුහරි උස්සන් යයි කියලා. ඒකයි මම සූදානමෙන් යන්නෙ. කොහේ හරි යන එකෙක් ඇවිත් උඹව උස්සන් ගියොත් මෙහෙම ලස්සනට ඇඳලා යනකොට."

"මාව උස්සන්න බෑ. මම බරයි..."

"දොඹකරයක් ගෙනත් හරි උස්සයි මන්දාකිණි උවමනාව තියෙනව නම්, දැන් යමන්... ආන්ටි අපි ගිහින් එන්නම්."

"හා මලී දුව."

"අම්මා මම ගිහින් එන්නම්."

මම අම්මා ළඟ දණ ගහලා වඳිද්දී මලී අක්කත් අපේ අම්මට දණ ගහලා වැන්දා.

"මැණික් මගෙ දුව පරිස්සමෙන්."

"ආන්ටි නිල් මැණික් ද?"

"ඔය කෙල්ල මට නිල් මැණිකකටත් වඩා වටිනවා මලී දුවේ. නිල් මැණික එච්චර වටින්නෙ නෑ."

අම්මගෙ ඒ වචනවල තිබුණ මව් සෙනෙහස මගෙ හිතට කිඳා බහිද්දී මලී අක්කගෙ ඇස් දෙකට පුංචි කඳුළු බිංදු දෙකක් එකතු වෙනවා මම දැක්කා. එයා අම්මගෙ සෙනෙහස නැතුව කොච්චරනම් වේදනා විඳිනවා ඇතිද? මට හරියට කන්න අඳින්න නැතත් ඒ හැමදේම වහගෙන අම්මගෙ ආදරේ ඉහළින්ම ලැබිලා තියෙනවා.

සමගි වත්ත පහුකරලා ටිකක් ඉස්සරහට එනකොට හම්බවෙන්නෙ අමිත අයියලාගෙ කුඹුරු යාය. හොඳට නිල්ල ගහලා හැදිලා තියෙන කුඹුරු යාය දිහා ඕනතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. නගරයට ටිකක් ළඟ වුණත් අපි හිටිය ගම ගොඩක් ලස්සනයි. උපරිම විදියට නාගරීකරණය මිනිස්සු ජීවත් වුණත් මේ ගැමි පරිසරයනම් චූට්ටක්වත් වෙනස් වුණේ නැහැ.

අමිත අයියා අපේ අම්මගෙ අයියා කෙනෙක්ගේ පුතෙක්. පුංචිකාලෙ ඉඳන්ම අමිත අයියව දන්නවා වුණත් ඒ වඳුරා ගැන මගෙ හිතේ පුංචි පැහැදීමක්වත් තිබුණෙ නෑ. අපේ අප්පච්චි ජීවිතාන්තය දක්වාම හිරේ ගියාට පස්සේ මහනුවර අත ඇරලා අපේ අම්මා මේ පැත්තට පදිංචියට ඇවිත්. පස්සෙ අමිත අයියගෙ තාත්තගෙ ගෙදරක කුලියට ආවත් කුලී ගෙවන්නවත් අපේ අම්මට සල්ලි තිබිලා නැහැ. මම ඉපදෙන්න මාස 7 ක විතර ලොකු බඩකුත් තියාගෙන කඩවල් වලට කෑම හදලා, ගෙවල් වල වැඩ කරලා තමා ජීවත් වෙලා තියෙන්නෙ.

ටික දවසකින් සීයා තාත්තයි, අම්මා අම්මයි ඇවිත් අපේ ගෙදර නැවතිලා තියෙනවා. ඒත් අම්මාගේ ආර්ථික අපහසුකම් හින්දා ඒ දෙන්නට හරියට සලකාගන්න අම්මට බැරි වුණාලු. සීයා තාත්තා ලෙඩ වෙලා අම්මා තවත් අසරණ වුණාට පස්සෙ, අපේ අම්මගෙ මල්ලි ඇවිත් අවුරුදු දෙකක් විතර වුණු මාවයි අම්මවයි තනි කරලා සීයා තාත්තවයි අම්මා අම්මවයි එක්කන් ගියාලු. එදා ඉඳන් මම හුඟක් හැදිලා තියෙන්නෙ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් මලී අක්කයි, මලී අක්කගෙ අයියයි එක්ක. අපි දෙන්නවම බලාගෙන තියෙන්නෙ මලී අක්කගෙ අයියා.

"මන්දාකිණි උඹ ගොළු බේත් බීලද බන්...?"

"ඇයි අක්කා...?"

"ඇයි කියන්නෙ යකෝ... බලහන් ගේ ගාව ඉඳන් බස් හෝල්ට් එකටත් ආවා, තෝ වචනයක්වත් කතා කළේ නෑනේ. උඹට අමුකැවිලද, නැත්නම් දිව ගිලිලද?"

"ඔය දෙකෙන් එකක්වත් වෙලා නෑ."

"එහෙනම් මොකද වෙලා තියෙන්නෙ?"

"මුකුත් නෑ."

"අඩෝ උඹ මටත් බොරුව දානවා. උඹට මුකුත් නැත්නම් මචෝ අපිට කොහෙත්ම නැතුව යන්න ඕනා."

"ඒ කිව්වේ?"

"ඇයි මන්දාකිණි බලපන්කො උඹට සාමාන්‍ය කෙල්ලෙක්ට තියෙන්න ඕනා ඒවා වැඩිපුරත් එක්ක තියෙනවා. මාර ගති. ඒ වුණාට... තෝ කියනවා මුකුත් නෑලු."

"අනේ... මලී අක්කා... ඔයා නම්."

"අඩේ නංගා... අද බස් නැද්ද බන්. බලහංකො හෝල්ට් එකේ ඉන්න සෙනඟ කන්දරාව. නිකන් කළු කූඹිගුලක් ඇවිස්සිලා වගේ."

"එහෙම වුණොත් මාර වැඩේ තමයි වෙන්නෙ. අද ඉන්ටවිව් එකට පරක්කු වෙයි."

මම ඉන්ටවිව් එක ගැන මතක් කළාම මලී අක්කට අමුතු හිනාවක් ගියා. ඒක තනිකරම හොර හිනාවක්. මෙයා මොකද මේ නටන්න හදන වන්නම?

"ඇයි නංගෝ, උඹ මන් දිහා කන්න වගේ බලන්නෙ?"

මට අක්කගෙ හිනාව ඇල්ලුවේ නෑ. "අද කොහෙද ඉන්ටවිව්...?"

"ආ... ඒක ගියාම බලාගමු."

"යන්න කලින් මට කියන්න."

මම මලී අක්කාගෙන් ඒ ගැන ඇහුවත් ඒකට උත්තර දෙන්න මලී අක්කට හම්බවුණේ නෑ. කළු පාට ලස්සන අලුත්ම කාර් එකක් ඇවිත් අපි ඉස්සරහින් නතර කළා. කාර් එක දැක්කම මට ඊයේ සිදුවීම් එකින් එක මතක් වෙන්න ගත්තා. මේකනම් මගෙ මහ කරුමයක්.

නැවැත්වූ කාර් එකේ පැති වීදුරුව පාත් කරලා අපිත් එක්ක හිනා වුණේ ඊයේ ඉන්ටවිව් බෝඩ් එකේ හිටිය සමත් කියන කොල්ලා. මලී අක්කා මන් දිහායි කාර් එක දිහායි මාරුවෙන් මාරුවට බලනවා. ඇත්තටම අර ආඩම්බරකාර නපුරට මිනිහෙක් දිහා බලලා හිනාවෙන්නවත් දන් නෑ. කෙළින් බලාගෙන. හිතාගෙන ඇති මම "අනේ සොරි සර්" කියලා කතා කරයි කියලා.

"ගුඩ් මෝර්නින් මලීෂා, නගින්න කාර් එකට, චැනල් එකටනෙ යන්නෙ."

"ගුඩ් මෝර්නින් සමෙත් සර්. යන්නෙ නම් චැනල් එකට තමා. මගෙ යාළුවත් ඉන්නවනේ. සර්ලා යන්න, අපි බස් එකේ එන්නම්."

"අද බස් ස්ට්‍රයික් මලීෂා. ඔයා අද මෙතන හිටියොත්, හෙට මේ වෙලාවට චැනල් එකට එන්න පුළුවන්. යාළුවත් එක්කම නගින්නකො."

"මන්දාකිණි යමුද...?"

"අක්කා යන්න.. මම ගෙදර යන්නම්."

"උඹට පිස්සුද නංගි, ඉන්ටවිව් පරක්කු වෙනවා."

"කමක් නෑ අක්කා. කොහොමටත් දැන් ගියොත් යන්න වෙන්නෙ නපුරගෙ චැනල් එකට. ඊට වඩා හොඳයි ගෙදර යනවා. අනික එතන නෙමේනෙ ඉන්ටවිව් තියෙන්නෙ."

"හරි මම ඩ්‍රීම්ට කියලා උඹව ඉන්ටවිව් තියෙන තැනින් බස්සන්නම්. දැන් යමන්කෝ."

"මට ඔය සල්ලිකාරයින්ගේ කාර්වල නැගලා පාච්චල් වෙන්න බෑ, අක්කා යන්න."

"උඹ ආවේ නැත්නම් සර්ලා මන් ගැන මොනවා නොහිතයිද, මගෙ යාළුවන්ගෙ තියෙන ආඩම්බරකම කියලා හිතයි. උඹ මන් ගැන හිතලවත් වරෙන්."

මලී අක්කගෙ ඉල්ලීම මට අහක දාන්න බැරි වුණා. මෙච්චර උදව් කරන මලී අක්කා දෙයක් කිව්වම නොකර ඉන්න බෑනේ.

"හරි මම එන්නම්. හැබැයි ඒ ඔයා නිසා."

"මලීෂා... අපි යමුද පරක්කු වෙනවා."

"හරි හරි සමෙත් සර්. මේ එනවා. ඔච්චර ආඩම්බර වෙන්න එපා මන්දාකිණි. ටිකක් නිහතමානී වෙයන්. දැන් යමන්. මන් උඹව පස්සෙ අල්ලගන්නම්."

බස් හෝල්ට් එකෙන් මාව ඇදගෙන ඇවිත් බලෙන්ම වගේ මලී අක්කා පිටිපස්සෙ සීට් එකට තල්ලු කරලා එයත් කාර් එකට නැග්ගා. කාර් එකට නැග්ගම ටිකක් හරි හිනා වුණේ සමෙත් කියන කොල්ලා විතරයි. තියෙන ආඩම්බර! මේ කබලට මම නැග්ගෙ මලී අක්කා නිසා. නැත්නම් අමිත අයියගෙ ඩක ඩකේ මීට වඩා හොඳයි.

"මලීෂාගේ යාළුවා හරි ආඩම්බරයි වගේ."

"ආ... එයා එහෙම තමයි සමෙත් සර්, කොච්චර කිව්වත් හදන්න බෑ."

"මොකක්ද මලීෂා, යාළුවගෙ නම කිව්වේ? ඊයේ ඉන්ටවිව් ආවට නම හරියට මතක නෑ."

"ඒක ලේසියෙන් මතක හිටින නමක් නෙමේ සමෙත් සර්, අහස්‍යා මන්දාකිණි රත්නායක."

"මලීෂා..."

"ඇයි සිහින සර්?"

"අද කොහොම හරි විජේවර්ධන ඇමතියව අල්ලගන්න ඕනා. මම නිමේෂ්ටත් දැනුම් දුන්නා. ඇමතියා හැමදාම කට්ටි පනිනවා. ජනමාධ්‍යයට කට්ටි පනින්නේ මිනිහගෙ හොර වැඩ හින්දනෙ. මට හුඟක් විශ්වාසවන්ත තැනකින් නිවුස් එකක් ආවා ඇමතියා අද ඉන්නවා කියලා. කොහොම හරි අද ඔයාලගේ කණ්ඩායම ගිහින් එයාගෙ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕන. සජීවී දෙන්න බැරි වුණත් නියමෙට කරන්න. එයාගෙ හාර අවුස්සන්න පුළුවන් හැම හොර වැඩක් ගැනම කට්ටි පනින්න බැරි වෙන්න ප්‍රශ්න කරන්න. මම ඔයාට තවත් තේරුම් කරන්න ඕනා නෑනෙ. දන්නවනෙ Dream TV අනෙක් හැම රූපවාහිනී නාලිකාවකට වඩා වෙනස්. ඒ තැන ආරක්ෂා වෙන්න වැඩ කරන්න. තේරුණාද?"

"ඔව් සර් මම දන්නවා. පුළුවන් තරම් හොඳට කරන්නම්."

"ඒක හොඳයි. ආ... ඒ වගේම අද ඊයේ ඉන්ටවිව් එකෙන් තෝරගත්ත අයගෙ රෙකෝඩින් ටික කරනවා. ඔයා ඒකට නිමේෂ්ට හෙල්ප් කරන්න. ඒක නිසා ඒකෙ වැඩ ටික ඉවර වෙලා ඔයාලා යන්න. මට චැනල් එකේ අනිත් අයගෙ වැඩ ගැන එච්චර ශුවර් නෑ."

"හොඳයි සර්... මම ඒකට නිමේෂ්ට හෙල්ප් කරන්නම්."

"මලී අක්කා... මාව ඉන්ටවිව් තියෙන තැනින් බස්සලා යන්න."

මම මලී අක්කගෙ කනට කරලා හෙමීට මතක් කළා. ඇයි අර උගුඩුවා කඩාගෙන බිඳගෙන යනවනෙ.

"මොනවද මලීෂා ඔයාගේ යාළුවා රහස් කියන්නෙ? මෙතන හතර දෙනෙක් ඉන්නකොට දෙන්නෙක් රහස් කියන එක හොඳ නෑනෙ. අපිටත් ඇහෙන්න කියන්නකො."

"අනේ රහසක් නෙමේ සමෙත් සර්... එයා කියනවා, බඳින්න ඉන්න අයියා හවසට එයාව ගන්න එනවලු, ඒක නිසා මට එයා එනකන් ඉන්න එපාලු."

මලී අක්කා ඒ කතාව ඉවර කරනකොටම නපුරු කොල්ලා හයියෙන් කාර් එක බ්‍රේක් කළා. මේ පිස්සට මොකද මේ වෙලා තියෙන්නෙ? මට ඊයේ මාර්ග නීති කියලා දුන්න මනුස්සයා අද මාර්ග නීති කඩ කරනවා. පොඩ්ඩෙන් පිටිපස්සෙන් ආපු ලොරිය කාර් එකේ පිටිපස්ස චප්ප කරනවා.

"මොනාද බන් සිහින උඹ කරන්නෙ? අපි ඔක්කොම මරන්නද යන්නෙ?"

සමෙත් සර් ඇහුවත් නපුරා උත්තර දුන්නේ නෑ. ඒ වෙනුවට කළේ ආපු වේගෙන්ම රවුන්ඩ් අබවුඩ් එකෙන් කාර් එක හරවපු එක.

"මොකද බන් උඹට එකපාරට වුණේ...?"

"මුකුත් නෑ."

නපුරා ඒක කිව්ව තාලෙට මලී අක්කයි සමෙත් සරුයි හිනාවෙන්න ගත්තා. මටත් හිනා යන්න ආවත්, මම හුඟක් අමාරුවෙන් ඒ හිනාව තද කරගත්තා.

"මලීෂා... මන්දාකිණි බඳින්න ඉන්න කෙනා මොනවා කරන කෙනෙක්ද?"

"එයා කරන්නෙ තොග කඩයක්. ඒත් වතුපිටි, හරකා බාන, ගොඩ මඩ ඉඩම් වලින් නම් අඩුවක් නෑ. ඒ නිසා හුඟක් සල්ලි තියෙනවා. මම වගේ දුප්පත් නෑ. අනික එයා මන්දාකිණීගේ මස්සිනා කෙනෙක්."

"මලී අක්කෙ ඔයාට පිස්සුද?"

"මට පිස්සු නෑ. මම කියන්නෙ ඇත්ත."

මම කනට කරලා අහපු එකට මලී අක්කා උත්තර දුන්නෙත් හයියෙන්. අනේ මන්දා. එක්කො මෙයා අද උදෙන්ම නාලා හින්දා මොළේ පෙඟිලා. නැත්නම් පිස්සු පෙත්ත බීලා නෑ. ඇයි දෙයියනේ මම කිව්වේ එකක් මෙයා කියන්නෙ තව එකක්.

"සිහින උඹ එකපාරටම අමුතු වුණා. මේ උඹට මැරෙන්න ඕනෙනම් කරුණාකරලා අපිව බස්සලා මැරියන්."

වංගුවේදී තවත් වෑන් එකක කාර් එක හප්පන්න ගිය නිසා සමෙත් සර් නපුරට කෑගැහුවා. හොඳම වැඩේ ඊයේ මට කියපුවට. ඔහොම වෙලා මදි. මහ ලොකු නීතිකාරයා. ඉස්සෙල්ලා මෙයාව ලර්නර්ස් අරින්න ඕනා.

"මන්දාකිණිගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට ඔච්චරටම සල්ලි තියෙනවනම් ඇයි මේ කෙල්ලව රස්සාවකට යවන්න හදන්නෙ?"

"මොන රස්සාවල්ද සමෙත් සර්... අමිත අයියා කොහොමත් මෙයා රස්සාවකට යනවට කැමති නෑ. කොහේ මේ මැට්ටි එයා කියන කිසි දෙයක් අහන එකියක්යැ."

"ඇයි ඒ...?"

"මේකිට ඉන්නෙ අම්මා විතරයි. මෙයා අමිත අයියගෙන් මුකුත්ම ගන්න කැමති නෑ. අඩුම තරමෙ අමිත අයියා එළවළු ටිකක් ගෙනාවත් ආපහු අරිනවා. ඒක වෙන්න ඇති නියම ආදරේ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ විදියට කරන කොට ඉතින් මෙයාටයි අම්මටයි ජීවත් වෙන්න විදියකුත් ඕනනේ. ඉතින් මේකි ජොබ් එකක් නොකර කොහොමද?"

"මලී අක්කා... ඔයාට පිස්සුද, නැත්නම් මේ ඔයාගෙ හැටිද? අරූ කවදද අපේ ගෙදරට බඩු ගෙනාවේ, කවදද සල්ලි දුන්නේ? දුන්නත් මම ගන්නෙත් නෑ. ඒත් ඔහොම බොරු කියන්න එපා."

ආයෙමත් මම කනට කරලා මලී අක්කට කිව්වා. නැත්නම් එහෙම මේ හොල්මන තව මොන මොනවා කියවයිද දන් නෑ.

"හරි මන්දාකිණි... බයවෙන්න එපා, මම ආන්ටිට කියන්නම් ඔයා අමිත අයියා එක්ක බීච් ගියා කියලා. ආන්ටි අකමැති වෙන එකක් නෑ."

අයියෝ... දෙයියනේ, මේ හොල්මනටනම් පිස්සු. ඇයි යකෝ මොනවද මේ කියවන්නෙ? මෙයා මොනවා කිව්වත් කටවහගෙන ඉන්න එක ඇඟට ගුණයි. නැත්නම් තව මොන මොනවා කියවයිද දන් නෑ.

"මන්දාකිණි දන්නෙ රහස් කියන්න විතරද? තාම වචනයක් කතා කළේ නෑනෙ හරියට."

"ඒ එයාගෙ හැටි සමෙත් සර්. එයා හරි නිහඬ චරිතයක්."

නපුරා 'Dream TV' කියලා ලොකු බෝඩ් එකක් දාලා තිබ්බ බිල්ඩින් එක ගාව කාර් එක නැවැත්තුවම මාව රත් වුණා. මේ පිස්සු හොල්මනගෙ කතාවලට කන් දීගෙන ආව නිසා මෙතැනට එනකම් දැනුණේ නෑනෙ.

"මලී අක්කා...!"

ඔන්න එතකොටයි මම මේ කාර් එකට නැග්ග තැන ඉඳන් මේ වෙනකම්ම නිහඬව ආපු මම හයියෙන් වචනයක් කතා කළේ. මගේ කටහඬේ තිබ්බ තිගැස්ම නපුරා වගේම සමෙත් සරුත් හොඳට තේරුම් අරන් තිබ්බා.

"ඇයි මලීෂා ඔයා මිස් රත්නායකට කිව්වෙ නැද්ද?"

"නෑ... නෑ... සර් මෙයා මේ බය වෙලා. ඒ ඔක්කොම හරි."

"බය වෙලා හරියන්නෑ මලීෂා."

"නෑ සර්. ඒ ඔක්කොම හරි."

"හුම්."

බකමූණු තඩියෙක් වගේ හුම් ගාලා හාපුරා කාර් එකේ දොර ඇරගෙන එළියට බැස්සා. හැටි විතරක්, හැලි වඳුරා!

"මලී අක්කා... මොනවද සේරම හරි?"

"යමු ඇතුළට, මම කියන්නම්."

කවදාවත්ම මේ වගේ සුපිරි කාර් එකක ගිහින් තිබුණේ නැතත්, අමිත අයියගේ ඩක ඩොකේ දවසක් දෙකක් අම්මත් එක්ක ගිහින් තිබුණ නිසා මට දොර ඇරගන්න අමාරු වුණේ නැහැ. කාර් එකෙන් බැස්සාම මට ලොකු වෙනසක් දැනුණා. කාර් එකේ තිබ්බ සීතල ඇඟ පුරාම දැවටිලා තිබුණත්, උදේ යාමේ වැටීගෙන එන ඉර අව්ව ඒ සීතල ඉක්මනින් නැති කරලා දැම්මා.

"මන්දාකිණි යමන් ඇතුළට. චූටි වැඩ වගයක් තියෙනවා. ඒ ටික ඉවර කරන් ඉමු."

"අනේ අක්කා... ඔයා වැඩ ටික ඉවරකරන් එන්න. මම එළියෙන් ඉන්නම්."

"තොට පිස්සුද මන්දාකිණි? ඔය ආඩම්බරේ පැත්තකට දාලා යමන් ඇතුළට මගෙ යකා අවුස්සන් නැතුව. උඹටනම් පොඩ්ඩක්වත් විශා ආන්ටිගෙ ගතිගුණ පිහිටලා නෑ."

මලී අක්කා මට හොඳටම බැන බැන මගෙ අතින් ඇදගෙන බලෙන්ම Dream TV එක ඇතුළට ආවා.

"මෙතැනින් ඉඳගෙන හිටහන්, මම එන්නම් රෙකෝඩින් එක ලැහැස්ති කරලා."

මම වචනයක් කියන්න කලින් මම ඊයේ ඉඳගෙන හිටිය තැනම පුටුවකට තල්ලු කරලා මලී අක්කා යන්න ගියා. අනේ මන්දා, මෙයත් මාර එක්කෙනෙක් තමා.

මට ටිකක් එහායින් මගෙ වයසෙම වගේ ගෑණු ළමයි කට්ටියක් හිටියා. හරියට ෆැෂන් ෂෝ එකකට ඇවිත් වගේ. කට්ටියගෙ හැසිරීම් වලින්, කතා බහෙන් තේරුණ විදියට ඒ ඊයේ ඉන්ටවිව් එකෙන් සිලෙක්ට් වුණු අය. අර නපුරා මාව කැපුවෙ නැත්නම් මමත් අද මෙතැන ඉන්නවනෙ.

මාව පහුකරන් ගියපු හතර පස් දෙනෙක් මන් දිහා කන්න වගේ බැලුවා. සමහර විට මගෙ ඇඳුම් දිහා වෙන්න ඇති. ඒ බැල්මේ තිබ්බේ "ඔහොම ඇඳුම් මෙතැනට හරියන් නැහැ" වගේ අදහසක්. මේ මලී අක්කා කොහේට ගියාද මන්දා. අද මගෙ ඉන්ටවිව් එකට පරක්කු වෙයි වගේ.

"එක්ස්කියුස් මී...!"

"ඇයි...?"

මගෙ ඉස්සරහා හිටගෙන හිටියේ කවදාවත්ම දැකපු කෙනෙක් නෙමේ. එයා ඇඳලා තිබ්බ හිර ගවුමට එයාගෙන් පේන්න තිබ්බේ සරාගී බවක්.

"ඔයත් ඉන්ටවිව් එකටද ආවේ?"

"අනේ නෑ. මම යාළුවෙක් එක්ක ආවේ. එයා ඇතුළට ගියා වැඩකට. එයා එනකන් ඉන්නවා."

"ඒක තමයි. මම ඒත් බැලුවා මේ වගේ තැනකට එනකොට කවුරුත් සාම්ප්‍රදායික විදියට අඳින්නේ නෑනේ."

මම ඒකට උත්තර දුන්නේ හිනාවකින්. ඒ වගේ කතාවක් අනුමත කරන්න මගෙ හිත මට ඉඩ දුන්නේ නෑ.

"ඔයාගෙ නම මොකක්ද මිස්?"

"මම මන්දාකිණි..."

"වාව්... නයිස් නේම්. මම ඉනෝකා. මම අතැනට යන්නම් මිස්, දැන් ඉන්ටවිව් පටන් ගනී."

"හොඳයි..."

"මිස්ගෙ නම වගේම මිසුත් හුඟක් ලස්සනයි."

"තෑන්ක්ස්."

ඉනෝකා ගිහින් මට එහාට වෙන්න හිටිය කට්ටිය ළඟින් ඉඳගත්තා. එතැන හිටි තවත් කෙල්ලෙක් මාව පෙන්නලා මොනවද අහනවයි ඉනෝකා ඒකට උත්තර දෙනවයි මම හොරැහින් දැක්කා. මුන්ට නම් ඕන නැති මගුලක් නෑ. නිකමට වගේ දකුණු පැත්තට වෙන්න තිබ්බ රූම් එක දිහා බැලුවෙ. වටේටම කර්ටන් දාලා හැම වීදුරුවක්ම වහලා තිබ්බත්, එක තැනක් ඒ රූම් එකේ තිබුණ මේසෙට කෙළින් ඇරලා තිබුණා. මම හිතුවේ නෑ ඒක නපුරගෙ රූම් එක කියලා. මට ඒ ලස්සන මූණෙන් ඇස් දෙක අහකට ගන්න ලෝභ හිතුණා. හුඟාක් වැදගත් පාටයි. කළු දිග කලිසමට ලා නිල් පාට අත් දිග ශර්ට් එක ඇඳලා, ඒකට ගැළපෙන ටිකක් තද නිල් පාට ඉරි තියෙන ටයි එකක් දාලා ඉන්න සිහින සූරියබණ්ඩාර ඇත්තටම හුඟාක් කඩවසම්. කොණ්ඩේ ටිකක් විතර වවලා ස්ට්‍රේට් කරලා තිබුණා. ඒ කොණ්ඩේ හුඟක් අකීකරුයි. මේස උඩ මොකක් හරි ෆයිල් එකක් දිග ඇරගෙන ඒ දිහා බලන් ඉන්නකොට ඒ අකීකරු කොණ්ඩේ නපුරට හුඟක් වද දුන්නා. ඒ විදියට ඔළුව පහත් කරගෙන ඉන්නකොට තිබ්බේ හරිම නිවිච්ච සන්සුන් කමක්. ඒ මූණේ රැඳිලා තියෙන පුංචි හිනාවට කෙල්ලෝ දාහක් විතර වශී වෙයි. ඒ හිනාවත් හරිම පිවිතුරුයි. ඒ ලස්සන කඩවසම් බව ළඟ කෙනෙක් වශී වෙන්න තත්පර ගානක්වත් යන්නෑ.

පුංචි කාලේ මම අම්මා කියද්දී හිතින් මවාගත්ත ලස්සන හීනෙක මේ වගේ රාජකුමාරයෙක් හිටියා. මට අද වගේ මතකයි. මේ මූණමයි. ඒත් වෙනසක් තියෙනවා. ඒ රාජකුමාරයා හරිම කරුණාවන්තයි. ඒත් මේ බූරුවා හුඟාක් නපුරුයි.

ඒ නපුරුකම මේ මූණට චුට්ටක්වත් ගැළපෙන්නේ නෑ. ඒක මේ බූරුවට පොඩ්ඩක්වත් තේරෙන්නෑනෙ. ඇයි දෙවියනේ මේ වගේ නපුරෙකුට කෙල්ලෙකුගේ හිත චංචල කරන රූපයක් දුන්නෙ? දෙවියන්ට වැරදිලාවත්ද?

මම කොච්චර වෙලාවක් නපුරා දිහා බලන් හිටියාද කියලා මට තේරුණේ නෑ. ඒත් එහෙම බලන් හිටිය එක වැරදියි කියලා මට තේරුණේ, බල බලා හිටිය ෆයිල් එක පැත්තකින් තියලා අත් දෙකෙන්ම අකීකරු කොණ්ඩේ පස්සට කරන ගමන් ඔළුව උස්සපු නපුරාව දැක්කම.

මම එයා දිහා බලන් ඉන්නවා ඒ මෝඩයා දැක්කා. ඒක දැක්කම ඒ මූණට ආපු නපුරු පාට, මට ඔරවපු හැටි... මහ මොකෙක්ද මන්දා. මට කරගන්නම දෙයක් නැති නිසා මම බිම බලාගත්තා. ඒත් ඉතින් දැන් අහුවෙලා ඉවරයිනෙ. ලැජ්ජාවෙ බෑ. නපුරව දැක්කම රැස් දාන මාව නිකන්ම ලැජ්ජා වුණා.

ආයෙමත් හෙමීට ඔළුව උස්සලා බලන්න හිතුණත් මම මගෙ හිත හුඟක් අමාරුවෙන් පාලනය කරගත්තා. මම වගේ කොල්ලෝ පේන්න බැරි කෙල්ලෙකුට නපුරව දැකලා දෙපාරක් බලන්න හිතෙනවනම්, කොල්ලෝ පස්සෙ යන කෙල්ලන්ට නපුරව දැක්කම මොනවා හිතෙයිද? බිම බලාගෙන ඔහේ ඉන්නකොට තමයි මලී අක්කා ආවෙ. එයත් එක්ක ඊයේ හිටපු අයියත් හිටියා.

"ගුඩ් මෝර්නින් මන්දාකිණි නංගි...!"

"ගුඩ් මෝර්නින් අයියා...!"

"ඉතින් කොහොමද? අද ඔයා ඊයේටත් වඩා ලස්සනයි නංගි."

මගෙ ළඟින් ඉඳගෙන නිමේෂ් අයියා හුඟාක් සුහද විදියට මාත් එක්ක කතා කළා.

"හා... හා... නිමේෂ්, මේ... නිකන් අපිට ඔහොම කිව්වොත් කට ගෙවෙනවද දන් නෑ නේද?"

"එහෙම නෙමේ මලී, මට හිතුණ දේ මම කිව්වා. අනික නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයි කියනවනේ."

"හා... හා... එකත් එහෙමයි නේ එහෙනම්...?"

"අනේ... මන්දාකිණි නංගි, ඔයා දන්නවා ඇතිනෙ මෙයත් එක්ක කතා කරන්න ගියොත් ඉවර වෙන්නෙ රණ්ඩුවකින්..."

"ඔව් ඉතින් මම රණ්ඩු වෙනවනේ. ගිහින් කතා කරන්න පුළුවන් එකෙක් හොයාගන්න එකනේ ඇත්තේ. කවුද අල්ලගත්තෙ?"

"හරි හරි ඉතින්... මගෙ සුදු මලී පැටියා තරහා ගන්න එපා ඔහොම."

"නිමේෂ්... මගෙ කට අවුස්සගන්න එපා...!"

ඒ පාර මේ දෙන්නා රණ්ඩු වෙනවා. අනේ මන්දා මලී අක්කා කවදා හැදෙයිද කියලා. යන යන තැන රණ්ඩුවටමයි. නිමේෂ් අයියට රවන ගමන්, මලී අක්කා මට අනිත් පැත්තෙ තිබ්බ පුටුවෙන් ඉඳගත්තා. මම එයා දිහා බලනකොට මට කෙළින්ම පේන්නෙ නපුරගෙ රූම් එක. නපුරා පුටුවට හේත්තු වෙලා අත් දෙකත් පපුවට බැඳගෙන, කොම්පියුටර් තිරේ දිහා බලා හිනාවෙනවා. මේ මොකද මේ... එක්කෝ පිස්සු නැත්නම් හැටි.

"මන්දාකිණි උඹ කොහෙද ඔය බලන් ඉන්නෙ?"

"ඒ පාර ඒ කොල්ලව අල්ලගත්තා එල්ලෙන්න. මලීට නම් මෙන්ටල් අප්සෙට් එකක් තියෙනවා."

"අනේ මේ... නිමේෂ් මගෙන් මුකුත් අහගන්නැතුව පොඩ්ඩක් කට වහන් ඉන්නවද? උඹ කොහෙද මන්දාකිණි බලාගෙන ඉන්නෙ?"

"ඔයාලාගේ මහ ලොකු ඩ්‍රීම්ට පිස්සුද? මොනිටර් එක දිහා බලාගෙන හිනාවෙන්නෙ."

මම ඒක කිව්වෙ මලී අක්කටයි නිමේෂ් අයියටයි වුණාට, ඒකට ගැස්සිලා මගෙ දිහා බැලුවෙ අපේ කතාව ඇහුණෙවත් නැති අර නපුරු කොල්ලා. අනේ... මේ මොකද? ආයෙත් ඒ පැත්ත බලන් හිටියා කියලා අහුවුණා නේද? මන් දිහා කන්න වගේ බලන් ඉඳලා ආයෙත් නපුරා මට එරෙව්වා, හරියට මන් කියපු එක ඇහුණා වගේ. හිතන්න ඇති මම බය වෙයි කියලා.

"මේ නංගියෝ... ඩ්‍රීම්ට පිස්සු වුණාට උඹට වැඩක් නෑ. ඒ දිහා බලන් ඉඳලා උඹ පිස්සු හදාගන්න එපා. දැක්කනෙ අපි බලනවා ඩ්‍රීම් දැක්කා. අනික උඹ නිකන් හරි ඩ්‍රීම් දිහා බලනවා රශ්මි මිස් දැක්කොත් උඹේ ඇස් උගුල්ලයි."

"රශ්මි මිස්?"

"අපේ ඩ්‍රීම් බඳින්න ඉන්න මිස්. හුඟක් ආඩම්බරයි. අපේ ඩ්‍රීම්ට ගැළපෙන්නෙ නම් නෑ. ඒත් අපිට ඒවා වැඩක් නෑ. ඒ නිසා අපි අහක බලන් ඉන්න එක තමයි හොඳ."

"ඉතින් ඕවා මොකටද මට කියන්නෙ?"

"උඹට කිව්වෙ දැනගන්න."

"මම දැනගත්තා කියලා මොකක්ද ඇති පලේ?"

"දැනගත්තම තියෙන පලේ උඹට තව ටිකකින් තේරෙයි."

"අනේ මලී... ඔයා ඔහොම තරහා ගන්න එපා පැටියෝ..."

"නිමේෂ්... ඔයාට මම...!"

"හෝව්... හෝව්... ගහන්න එපා..!"

මලී අක්කා නිමේෂ් අයියට අතේ තිබ්බ පොතකින් ගහන්න පැන්නා. මලී අක්කගෙන් බේරෙන්න නිමේෂ් අයියා පැනලා දිව්වා. අනේ පව්... මෙයත් එක්ක කොහොම ඉන්නවද දන්නෙ නෑ මෙතැන කට්ටිය.

"ඔය කොහෙද දුවන්නෙ...? ඔහොම ඉන්න නිමේෂ්!"

"තරිඳුව මට එන්න කිව්වා. මම යනවා... ඔයා වැඩ ටික කරලා එන්න."

මලී අක්කා කෑගහලා අහපු ප්‍රශ්නෙට උත්තරේ දීගෙනම නිමේෂ් අයියා පැනලා දිව්වා.

"මලී අක්කා...!"

"ඇයි බන්?"

"ඔයා ඇයි සමෙත් සර්ට අරෙහෙම කතාවක් කිව්වෙ?"

"කොහොම කතාවක්ද?"

"අමිත අයියගෙ කතාව."

"ඒක කිව්වෙ උඹේ ආරක්ෂාවට."

"ආරක්ෂාවට...?"

"ඔව්."

"මට තේරුණේ නෑ."

"තේරුණේ නැත්නම් නැති විදියට ඉඳපන්. ඒක හුඟක් හොඳයි."

"බෑ... මලී අක්කා මට තේරුම් කරන්න."

"මම එහෙම කිව්වෙ එතකොට කවුරුත්ම උඹට ළං වෙන්න ට්‍රයි කරන් නැති නිසා."

"මට ළං වෙන්නැති නිසා...?"

"ඔව්."

"ඒ කියන්නෙ?"

"අයියෝ... මැට්ටියෙ, උඹට ඕක තේරෙන් නැද්ද?"

"නෑ...!"

"නෑ තමයි යකෝ. මේ අහපිය, විශා ආන්ටි උඹව මට බාර දුන්නෙ පරිස්සම් කරන්න කියලා. ඉතින් මම ඒකට වගකියන්න ඕනා. නැත්නම් ආන්ටි මැරෙයි. උඹට බඳින්න කෙනෙක් ඉන්නවා කිව්වම කවුරුත් උඹට අනම් මනම් ටෝක්ස් දාන් නෑ. එතකොට මට උඹේ ආරක්ෂාව ගැන ටිකක් හරි ශුවර්."

"ඒ කියන්නෙ අක්කට අක්කගෙ සර්ලවත් ශුවර් නෑ?"

"නෑ, සියයට සියක් ශුවර්."

"එහෙනම් ඉතින්?"

"උඹව දැක්කම බෝ පැළ වුණත් හෙල්ලෙනවා මන්දාකිණි, උඹ නියම ලියතඹරා මලක්."

"ඒත් අර හැලි වඳුරු අමිතයගෙ නම කිව්වේ ඇයි...?"

"නංගි, සමහර වෙලාවට බේතට ඌරු කුණත් ඕන වෙනවා බන්. ආයෙ උඹ මාත් එක්ක ඔය ගැන කතා කරන්න එපා."

"නෑ මලී අක්කා. මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඔයා නපුරටයි සමෙත් සර්ටයි ඒ ගැන කිව්වේ? මම මෙතැන ජොබ් එක කරන් නෑනෙ. ඉතින් ඇයි ඔයා මාව මෙතැන අයගෙනුත් ආරක්ෂා කරගන්න හදන්නෙ?"

"උඹ මෙතැන ජොබ් එක කරනවා නංගි. මම උඹව අද එක්කන් ආවෙ මෙතැන ඉන්ටවිව් එකට."

"ම... මලී අක්කා... ඔයාට පිස්සුද?"

මට ජීවිතේ පළවෙනි වතාවට මලී අක්කත් එක්ක ලොකු තරහක් ආවා. ඇයි මුන් ඉස්සරහා මම බාල්දු වෙන්නෙ? මීට වඩා හොඳයි අමිත අයියා එක්ක කුඹුරු කොටනවා.

"පිස්සු නෑ නංගි. උඹේ ටැලන්ට් වල හැටියට උඹට ගැළපෙන එකම තැන රූපවාහිනී නාලිකාවක්. ඒවයිනුත් Dream TV විතරයි උඹට ගැළපෙන්නෙ. මොකද? උඹේ ආරක්ෂාව ගැන මට වගකියන්න පුළුවන් මේ Dream TV එක ඇතුළෙ විතරයි. වෙන කිසිම චැනල් එකක උඹේ ආරක්ෂාව මට ශුවර් නෑ. මෙතැන උඹට ඕනාවටත් වඩා ආරක්ෂාව තියෙනවා. අපේ ඩ්‍රීම් මෙතැන පාලනය කරන්නෙ විනයක් ඇතුව. අනිත් චැනල් වගේ නෙමේ. මට මේ ලෝකෙ අනික් හැමදේටම වඩා උඹව වටිනවා නංගි. පුංචි කාලෙ ඉඳන්ම මගෙ ඇඟිල්ලෙ එල්ලිලා සෙල්ලම් කරපු උඹව මට මගෙ නංගි ගාණයි. අනික අම්මා නැති මට අම්මා කෙනෙක් වෙච්ච විශා ආන්ටිට කරන යුතුකමක් මම උඹව ආරක්ෂා කරන එක. ඒ හින්දා මම උඹව ඇහැක් වගේ බලාගන්නවා කෙල්ලේ. ඒ නිසා උඹ මන් ගැන අහිතක් හිතන්න එපා."

මුලදී මලී අක්කා ගැන තරහක් ආවත්, එයාගෙ ඒ වචන ටික ළඟ ඒ තරහව හදවතින් සහෝදරකමකට පෙරළුණා. එයාගෙම නංගි කෙනෙක්ට වගේ මට සලකන මලී අක්කට වචනයක් කියන්න මගෙ හිත මට ඉඩ දුන්නේ නෑ.

"සොරි අක්කා... මම ඔයාගෙ හිත රිද්දුවා."

"නෑ නංගි, ඔයා ඔයාගෙ අක්කගෙන් සමාව ගන්න ඕනා නෑ. දැන් රෙකෝඩින් එක තියෙනවා. මෙතැනම ඉන්න. ඔයාට කතා කළාම එන්න, මම යනවා ඇතුළට."

"මලී අක්කා...?"

යන්න නැගිටපු මලී අක්කගෙ අතින් මම ආයෙමත් අල්ලගත්තා. යන්න ගිය මලී අක්කා ආයෙමත් මගෙ පැත්තට හැරුණා.

"ඇයි නංගි...?"

"ඇයි ඔයා මන් වෙනුවෙන්, ඊයේ මට බැනලා එළවගත්ත අර උගුඩුවා ළඟ බාල්දු වෙන්න ගියෙ? මට ජොබ් එකක් නැති වුණාට මගෙ අක්කා කවුරු ළඟවත් හෑල්ලු වෙන්න ඕනා නෑ."

"මම බාල්දු වුණේ නෑ නංගි."

"නැත්තේ මොකද අක්කා? ඔයා නපුරා එක්ක කතා කළේ නැත්නම් කොහොමද ඊයේ මට බැනලා එළවගත්ත කෙනා අද මට ඉන්ටවිව් එකට එන්න කියන්නෙ? ඊයේ මාව ඉන්ටවිව් කරන්නෙත් නැතුව කොහොමද දෙවැනි ඉන්ටවිව් එකට මාව සිලෙක්ට් කරන්නෙ? මේ හැමදේම වුණේ ඔයා අර නපුරත් එක්ක මගෙ ජොබ් එක ගැන කතා කරන්න ගිය නිසා."

"උඹ නම් හරියන්නෙ ලෝ කොලේජ් එකට නංගියෙ. බලපන් දැන් තෝ මගෙන් ප්‍රශ්න කීයක්නම් ඇහුවද? නීතිඥයා විත්තිකාරයගෙන් ප්‍රශ්න කරනවා වගේ."

"කොහොම වුණත් කමක් නෑ. මලී අක්කා මට, මම අහපු හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න."

"හරි... එහෙනම් අහගනින්. ඊයේ උඹ මෙතැනින් ගියාට පස්සෙ ඩ්‍රීම් මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. කොහොම හරි ඩ්‍රීම් දැකලා තියෙනවා මම උඹත් එක්ක කතා කර කර ඉන්නවා. ඩ්‍රීම් මගෙන් ඇහුවා මිස් රත්නායකව අඳුරනවද කියලා. මම ඉතින් උඹයි මමයි අඳුනන විදිය කිව්වා. මමයි මෙතැනට උඹට ඇප්ලිකේෂන් දාන්න කිව්වෙ කියලත් කිව්වා."

"ඉතින්...?"

"ඉතින් කියන්නෙ බන්, ඊට පස්සෙ ඩ්‍රීම් මගෙන් ඇහුවා දැන් වෙච්ච සිද්ධිය මලීෂා දන්නවා නේද කියලා... මම ඔව් කියලා කිව්වම මාත් එක්ක උඹට පලු යන්න බැන්නා. මමත් අහන් හිටියා. මං වෙන මොනා කරන්නද? බැනලා ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා කියනවා, 'එවලෙ මමත් හැසිරුණු විදිය වැරදියි මලීෂා. මම හිතුවෙ මගෙ පැත්තෙන් විතරනෙ. ඒත් මිනිසුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද? ඕනම කෙනෙක්ට ප්‍රශ්න තියෙන කොට තමන් කරන්නෙ මොනවද කියන්නෙ මොනවද කියලා තේරෙන් නෑ. මිස් රත්නායකටත් එහෙම වෙන්න ඇති. මම දැන් ඒ වෙලේ හැසිරුණු විදිය ගැන කණගාටු වෙනවා මලීෂා' කියලා."

"අනේ නපුරගේ සත්ව කරුණාව! ඒක හිතන්න තිබ්බේ ඊයේ අර ඉන්ටවිව් බෝඩ් එක ඉස්සරහයි මහ පාර මැද්දෙයි මට බනිනකොට."

"තරහා ගිහින් ඉද්දී අපි වුණත් එහෙම තමයි බන්."

"ඒ උගුඩුවට තරහා ගියා කියලා අපි බයිට්යැ?"

"උඹෙත් වැරැද්දක්නේ බන්."

"මගෙ වැරැද්ද නිසා තමයි මම එවලෙ ඉවසගෙන හිටියෙ."

"මන්දාකිණි, උඹේ අහිංසක කමට ඔය නපුරුකම් ගැළපෙන් නෑ. අන්න ඒක හොඳට මතක තියාගෙන වැඩ කරපන්."

"ඊට පස්සෙ නපුරා කිව්වද මාව ජොබ් එකට එක්කන් එන්න කියලා?"

"ඔව්. ඩ්‍රීම් කිව්වා උඹව එක්කන් එන්න කියලා. ඊයේ උඹට මේ ගැන මම කිව්වනම් කීයටවත් උඹ අද එන්නෙ නෑනෙ. ඒකයි මම නොකිව්වේ. මම දන්නවනෙ මගෙ නංගියෙ හැටි..."

"ඔයා හරි හපන්කමනෙ කරලා තියෙන්නෙ මලී අක්කා...!"

"ඔව් ඩියර්. මේ නියමෙට රෙකෝඩින් එක කරපන්. නැත්නම් මට නිකන්ම ඇඬෙනවා. මොකද මම උඹේ ටැලන්ට් ගැන සුපිරියටම වර්ණනා කරලා තියෙන්නෙ පැටියෝ...!"

******* 

 "මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    



Next Episode

Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1