සිහින මන්දාකිනී 1 / 3 දිගහැරීම

 


03 වන දිගහැරුම

"බලපන් සමෙත්, මුන්ට මොනවට සහතික දීලද මන්දා. ඉන්ටවිව් එකට ගෙනාපු සහතික ටිකේ නම් තියෙනවා අර මීඩියා විභාගෙ පාස්, මේක පාස් කියලා. ඒ වුණාට මුන්ගෙ ටැලන්ට් අන්තිමයි. ඊයේ මුන්ගෙ කතාවල් කොහොමද? 'මට ටැලන්ට් තියෙනවා සර්, අරහෙමයි මෙහෙමයි...' ෂික් විතරක්! බලපන්, මේ ඉන්ටවිව් එකේ හරිහමන් එකෙක් නෑ තාත්විකව, ස්වභාවිකව ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. එකෙක් කොළේ බලාගෙන කියවනවා. අනිකා කටපාඩමින් කියවනවා. ඕක ඉතින් ඕන එකෙකුට කරන්න පුළුවන් එකක්නෙ බන්. අපරාදෙ මගෙ මහන්සිය. හිතට අල්ලන විදියේ එකෙක් හොයාගන්න බැරි වුණානෙ. ඔක්කොටම කිව්වෙ දන්වලා එවන්නම් කියලා."

"උඹ හරි සිහින. ඊයේ තෝරපු 12 දෙනාම හරි නෑ. කිසිම සජීවී ගතියක් නෑ. බලපන් මුන්ගෙ ඇඳුම්. ඉන්ටවිව් එකකටවත් එන්න දන් නෑ. ඕවා ඇඳගෙන පාරෙ කොහොම ආවද දන් නෑ. උන් හිතුවද දන්නෙ නැහැ, ඉන්ටවිව් එකත් සජීවීව T.V. එකේ දෙනවා කියලා. මුන් හිතන්නෙ වැහෙන්න ඕන තැන් ඇරුණම සේරම හරි යනවා කියලා."

"තව කී දෙනෙක් ඉන්නවද සමෙත්?"

"ඊයේ ඉන්ටවිව් එකෙන් තෝරපු කට්ටියම ඉවරයි. දැන් ඉන්නෙ මලීෂගෙ යාළුවා මන්දාකිණි විතරයි."

නපුරගෙයි සමෙත් සර්ගෙයි කතාව මට හොඳට ඇහුණා. ඇත්ත තමයි, මට තේරෙන විදියට වුණත් මෙතැන ඉන්ටවිව් කරපු එක්කෙනෙක්ගෙවත් කිසිම ස්වාභාවික ගතියක් තිබුණෙ නෑ. එක්කෙනෙක් කට අමුතු විදියට හදනවා, තවත් එක්කෙනෙක් නහයෙන් කතා කරන්නෙ. ඒ වගේ හුඟක් අඩුපාඩු තිබුණා. මේ අය එක්ක බලද්දී මගේ ටැලන්ට් නම් මට හොඳටම ශුවර්.

දවස පුරාම හෙම්බත් වෙන මිනිස්සු T.V. එක බලලා බලාපොරොත්තු වෙන්නෙ හිතට සහනයක්. ඒකට කන්කරච්චලයක් දාගත්තම වෙන්නෙ තවත් ඒ මිනිස්සු අවුල් වෙන එක. ඒක අද කාලෙ T.V. චැනල්වලට තේරෙන්නෙ නැති එකනම් හුඟක් කණගාටු වෙන්න ඕන දෙයක්.

ඒත් Dream T.V. නම් එහෙම නෑ. මේ ආයතනය හුඟක් මිනිසුන්ට, සමාජයට ළං වෙච්ච, මිනිස්සුන්ගේ හදවත තේරුම් ගත්ත, හැමවෙලාවෙම ඇත්තම ඉදිරිපත් කරන ජනමාධ්‍ය ආයතනයක්. ඒ නිසා මම පෞද්ගලිකව Dream T.V. එකට කැමතියි. ඒ වගේම Dream T.V. එක විනයක් ඇතුව පාලනය වෙනවා. අඩු කාලෙකින් මිනිස්සුන්ගෙ කැමතිම නාලිකාව විදියට ඉස්සරහට එන්න, කිසිම කුණු නාමයක් ගාවගන් නැතුව Dream T.V. එකට පුළුවන් වුණා. සංස්කෘතියට, සභ්‍යත්වයට මුල් තැනක් දුන්නත් නවීකරණය අතිනුත් පස්සට ගිහින් නෑ. හැමදේම අවශ්‍ය විදියට තියෙන රූපවාහිනී නාලිකාවක්.

"එහෙනම් ඉක්මනට එන්න කියපන් බන්. ඉක්මනට මේක ඉවර කරලා දාමු."

"මලීෂා... ඊළඟට ඉන්නෙ ඔයාගෙ යාළුවා. අපි වැඩේ පටන් ගමු."

"Ok සමෙත් සර්."

නිමේෂ් අයියත් එක්ක කොම්පියුටර් එකේ මොකක්ද කර කර හිටපු මලී අක්කා දුවගෙන මන් ළඟට ආවා.

"මන්දාකිණි... ඊළඟට ඉන්නෙ උඹ.. හොඳට කරපන් හොඳද...? ඔය බෑග් එක තියලා වරෙන්කො..."

මගේ අතේ තිබ්බ බෑග් එක පුටුව උඩින් තියලා මලී අක්කා මාවත් ඇදගෙන අනිත් අය රෙකෝඩින් කරපු රූම් එකට ආවා.

"නංගියෝ, ඔයාට කරන්න තියෙන්නෙ මේකයි. මම ප්‍රසිද්ධ ලේඛකයෙක් කියලා හිතන්න. දැන් ඔයා තමයි මේ ඉදිරිපත් කරන්නෙ. ඔයා ඉන්නෙ කැමරාවක් ඉස්සරහ. එහෙම හිතාගෙන මාත් එක්ක කරන සාමාන්‍ය කතාබහක් විදියට කරන්න. පුළුවන් තරම් සජීවී වෙන්න ඕනා. ඔයාට තේරෙනවනෙ නේද?"

"ඔව් නිමේෂ් අයියා."

"ඒ විදියට කරන්න. මෙන්න අහන්න ඕන ප්‍රශ්න ටික. විනාඩි පහයි, බයවෙන් නැතුව හොඳට හිතට අරන් කරන්න. Ok?"

"මේකෙ තියෙන දේවල්මද කියන්න ඕනා නිමේෂ් අයියා?"

"නෑ.. නෑ... ඔයාට පුළුවන්නම් වෙනස් කළාට කමක් නෑ. ඒකෙ කිසිම අවුලක් නෑ. හැබැයි ලස්සන වෙන්න ඕනා."

"Ok, නිමේෂ් අයියා."

නිමේෂ් අයියා මට දීපු කොළේ කියවනකොට හිතට පුංචි බයක් ආවා. මීට කලින් මෙහෙම ප්‍රෝග්‍රෑම් කරලා නැති වුණත් ඉස්කෝලෙ, දහම් පාසලේ එක එක වැඩසටහන් මෙහෙයවලා තියෙන නිසා මගේ හිතේ තියෙන බය ටිකක් විතර අඩු වුණා.

අනික මෙතැන මම මේ දේ හරියට නොකළොත් මටත් වඩා ලැජ්ජා වෙන්නෙ මලී අක්කා. මට මෙතැන ජොබ් එක නොලැබුණත් එයා මෙතැන දිගටම වැඩ කරන්න ඕනා. ඒ වගේම අර උගුඩුවා ඉස්සරහා ලැජ්ජා වෙන්න මගෙ හිත සූදානම් වුණේ නෑ. ඒක හින්දම හිතට ධෛර්යය අරගෙන ප්‍රෝග්‍රෑම් එක කරන්න මම හිතාගත්තා.

"නංගි ඔයා රෙඩීද?" "ඔව් මලී අක්කා." "නිමේෂ් ඔයා...?" "රෙඩී මලීෂා...." "එහෙනම් පටන් ගන්න."

මම ප්‍රෝග්‍රෑම් එක කරලා ඉවර වෙද්දීම මලී අක්කා දුවගෙන ඇවිත් මාව බදාගෙන, මගෙ මූණ ඉඹගෙන ඉඹගෙන ගියා. හැමෝගෙම මූණුවලින් පේන්න තිබුණෙ "ඔයා හොඳට කළා නංගි" කියන එක. ඒත් ඉතින් නපුරා මොනවා කියයිද දන්නෑනේ.

"එක්සලන්ට් නංගි... ඔයා හොඳට කළා. හුඟක් හදවතට කතා කරන්න එයාට පුළුවන්. ඔයාගෙ ටැලන්ට් නම් මලීෂාටත් වඩා හොඳයි."

"තෑන්ක්ස් නිමේෂ් අයියා."

"නිමේෂ්, ඔයා ඕක මන්දාකිණිට කිව්ව හින්දා මම ඉවසනවා. නැත්නම් දන්නවනේ මගෙ හැටි. මන්දාකිණි මගෙ නංගි හින්දා අවුලක් නෑ..."

"ඔය කට්ටියටම සිහින සර් එන්න කිව්වා."

චැනල් එකේ වැඩ කරන මැදි වයසෙ විතර අංකල් කෙනෙක් දොරෙන් එබිලා කිව්වා.

"මලී අක්කා... මට බයයි."

"උඹ මොකට බය වෙනවද මන්දාකිණි. උඹ නියමෙට කළානෙ. වරෙන් යන්න. උඹට අද ඩ්‍රීම් මොනවම හරි කිව්වොත් මමයි ඩ්‍රීම්ගෙ රෙදි ගැලවෙන්න කතා කරන්නෙ."

"මලීෂා, ටිකක් සදාචාර සම්පන්නව හැසිරෙන්නකො..."

"මම ඔයාට පස්සෙ වෙලාවක සදාචාරය ගැන කියලා දෙන්නම් නිමේෂ්."

නිමේෂ් අයියට බණ බණම මලී අක්කා මාවත් ඇදගෙන නපුරා ඉන්න තැනට ආවත්, නපුරා දිහා කෙළින් බලන්න මට ලොකු අපහසුවක් දැනුණා.

"කොහොමද සිහින සර්, මම කිව්වේ මන්දාකිණිගෙ ටැලන්ට් ගැන. මම හරි නේද?"

"මලීෂා හරි, මිස් රත්නායකගෙ වැරදි තියෙන්නෙ හරිම අඩුවෙන්. අපි පුංචි පුංචි වැරදි ටික හදාගමු. එයාව ඉන්ටවිව් පාස් කළා. සමෙත් ඔයා අතින් විස්තර ටික මිස් රත්නායකට කියලා, මගෙ රූම් එකට එන්න."

"සිහින ඇයි යන්නෙ?"

"මගෙ ටිකක් ඔළුව කකියනවා, ඔය වැඩ ටික ඉවර වෙලා ඇවිත් මාව හම්බවෙන්න."

පොඩ්ඩක්වත් සුහද හිනාවක් නැතුව නපුරා නැගිටලා ගියා. තියෙන උඩඟුකම! පුංචි වැරැද්දක් හරි හොයනවා. උගුඩුවා!

"නිමේෂ්, හුඟ කාලෙකට පස්සෙ අපේ මලීෂාව අභිබවා යන ටැලන්ට් තියෙන කෙල්ලෙක් හමු වුණා නේද Dream T.V. එකට?"

"ඔව් සමෙත් සර්, නියම ටැලන්ට්. වැඩේ කියන්නෙ එයාව එක්කන් ආවෙත් මලීෂාමනෙ."

"එහෙම තමා. මේ මගෙ නංගි, ඒකයි මම එයාව මෙතැනට ගෙනාවෙ. මම දන්නවා මන්දාකිණි මට වඩා ඉස්සරහට එනවා කියලා. ඒකට මට කිසිම දුකක් නෑ."

"ඒක හොඳයි. ඒක හොඳයි. හරි මන්දාකිණි, ඔයා හෙට ඉඳන් වැඩට එන්න. ඔයා ආවම සිහින සර් ඔයත් එක්ක මේ ගැන තවත් කතා කරයි. ඒ වගේම හෙට ඔයාට ඇග්‍රීමන්ට් එකක් හම්බවෙනවා. ඒකෙ තියෙන කොන්දේසිවලට එකඟනම් ඔයාට ජොබ් එක රෙඩී. එයාට මෙතැන වැඩ කරන විදිය ගැන මලීෂා කියයි. එහෙමනම් දැන් යන්න. හෙට ඉඳන් එන්න. ගුඩ් ලක්!"

"තෑන්ක් යූ සර්.."

******** 

"රස්සාව හරි ගියාට ඇඳගෙන යන්න ඇඳුමක්වත් නෑ නේද දූ....?"

වැරැන්ඩාවේ ඉඳගෙන පාරේ යන වාහන දිහා බලන් හිටපු මාව කල්පනා ලෝකෙන් මිදුණෙ පිටිපස්සෙන් ආපු අම්මගෙ කටහඬින්.

"අනේ මන්දා අම්මා. ඔය තියෙන එකක් අඳිනවා..."

"එහෙම කියලා කොහොමද දුවේ... ඔය වගේ තැනක වැඩට යනකොට ලස්සනට ඇඳලා කරලා යන්න ඕනා. ඔතන වැඩට එනවා ඇත්තෙ නානාප්‍රකාර මිනිස්සු. එතන විලාසිතා ලෝකයක් වෙන්න ඇති."

"ඒකනම් එහෙම තමයි අම්මා. ඒත් අපිට කොයින්ද මේ වෙලාවෙ වියදම් කරන්න සල්ලි. පළවෙනි පඩියෙන්වත් ඇඳුමක් දෙකක් ගන්න බලමු."

"එතකන් අඳින්නෙ මොනවද මගෙ දුව?"

"ඔය තියෙන එකක් අඳිනවා අම්මා."

"එහෙම බෑනෙ දුව, හිටින්කෝ මම ආනන්ද අයියලෑ දිහාට ගිහින් එන්නම්."

"ඒ මොකටද අම්මා මේ වෙලේ?"

"මම අතමාරුවක් කරගෙන එන්නම් මැණික්."

"අම්මාට පිස්සුද? එපා... කවුරුත් ළඟ ඔළුව පාත් කරන්න යන්න."

"එහෙම කියලා හරියන් නෑනෙ දුව."

"අම්මා කාටවත් පාච්චල් වෙන්න යනවට මම කැමති නෑ."

"අනේ මන්දා.. දූට තියෙන්නෙත් දූලගේ අප්පච්චිගෙම ගතිගුණ තමයි. කන්න නැතුව මැරුණත් කෙනෙක්ගෙන් ඉල්ලන්නෙ නෑ.. මැණික්... ආනන්ද කියන්නෙ පිට කෙනෙක් නෙමේ. එක පැත්තකින් මගෙ අයියා කෙනෙක්, අනික් පැත්තෙන් ඔයාගෙ මාමා.. තවත් පැත්තකින් අමිතගෙ තාත්තා..."

"ඒකම තමා මම කැමති නැත්තෙ... අපි මොකටද අමිත අයියලට ඔළුව පාත් කරන්නෙ?"

"මැණික්, මට ඔයාව හදන්න නම් බෑ දුවේ..."

"අම්මා... අපි ඔය කතාව නවත්තමු. බොරුවට අපි දෙන්න රණ්ඩු වෙන්න ඕනා නෑනේ.."

එතැනින් එහාට අම්මත් මමත් අතර කතාවක් ඇති වුණේ නෑ. අම්මට කෑගැහුවට ඒ ප්‍රශ්නය නිසා මම හුඟක් අසරණ වෙලා හිටියෙ. ලෝකෙ ඉපදෙන හැම මිනිහෙක්ටම මූලික අවශ්‍යතා තුනක් තියෙනවා. ඒත් අපිට හරියකට ඒ අවශ්‍යතා තුනවත් ලබාගන්න විදියක් නෑ. මිනිහෙකුට නිවාස අවශ්‍යයි. අපිට තියෙනවා, ඒත් කුලියට. මිනිහෙකුට ආහාර අවශ්‍යයි. අපි කනවා හැමදාම බඩෙන් බාගෙට. මිනිහෙකුට ඇඳුම් අවශ්‍යයි. අපිත් අඳිනවා යන්තම් විලි වැහෙන්න. මේකටද ජීවිතේ කියන්නෙ?

"අර අතින් කටින් එල්ලන් එන්නෙ මලී දූ නේද?"

"ඔව්ම තමා..."

"මේ ළමයා වැඩ ඇරිලා යන ගමන්ද කොහෙද? ඔය එන තේ එකක් බීලා යන්න. ඉන්න මම හදාගෙන එන්නම්."

අලුතෙන් කොන්ක්‍රීට් කරපු පාර දිගේ ඇවිත් අපේ වත්තට ඇතුළු වෙච්ච මලී අක්කා දිහා මම බලාගෙන හිටියා. මලී අක්කා තලෙලුයි. ඒ වුණාට හරිම සිරියාවන්ත පාටයි. එයාගෙ තිබුණෙ අමුතු ලස්සනක්. ඇස් දෙකෙන් හිනාවෙන්නෙ. ඒ හිනාවට තමා මම හුඟක්ම ආස.

"මොනවද උඹ මන් දිහා බලාගෙන කල්පනා කරන්නෙ?"

"ලස්සන බැලුවෙ."

"අපෝ.. යන්තම් ක්‍රීම් එකට පින්සිද්ධ වෙන්න සුදු වුණා විතරයි. උඹේ ඇස්වහ කටවහ වැදිලා ආයෙත් කළු වෙයිද දන් නෑ."

"මගෙ ඇස්වහ කටවහ නෑ හරිද?"

"හරි... හරි.. බන්, කෝ ආන්ටි?"

"අම්මා ඔයා ඈත එනවා දැක්ක ගමන්ම තේ හදන්න ගියා."

"දැක්කනෙ, ආන්ටි විතරයි මට ආදරේ."

"ඔව්... ඔව්. අපි ආදරේ නෑනේ. ඒකට කමක් නෑ, හත් අට පොළකින් වාඩි වෙන්නකො. අද ගෙදර නොගිහින්මද ආවෙ?"

"ඔව් බන් හරි මහන්සියි. අද පඩි බන්, මායි නිමේෂ් අයියයි ෂොපින් කළා. නිමේෂ්ට හොඳට ඇඳුම් තෝරන්න පුළුවන්. උඹ දන්නවනෙ මට ඕවා තේරෙන් නෑ."

"ඔව් ඔව් මම දන්නවා, ඔයා තේරුවොත් ඉතින් ඒවා අඳින්න අමුතුවෙන් මිනිස්සු හදන්න ඕනා."

"ඒක නෙමේ. බලපන් නංගියෙ හොඳද කියලා."

බෑග් තුනක දාලා තිබුණු ඇඳුම් එළියට අරන් බලද්දී මට ආස හිතුණා. හිතට දුකක් නොදැනුණාමත් නෙමෙයි. ලස්සන ඩෙනිමකුයි, සායවල් දෙකකුයි, ටීෂර්ට් දෙකයි, අත් දිග බ්ලවුස් එකකුයි. සේරම හරිම ලස්සනයි. නිමේෂ් අයියාගෙ සිලෙක්ෂන් නම් මරු.

"ගොඩක් ලස්සනයි. මේ ටිකට කීයක් ගියාද?"

"උඹට ගාන වැඩක් නෑනේ මගෙ ගොන් නංගියෙ. ඇඳුම් ටික කොහොමද කියපන්කො."

"හුඟක් හොඳයි අක්කා, ඇත්තමයි. ලස්සනයි."

"එහෙනම් එච්චරයි. දැන් හෙට ඉඳන් වැඩට එනවනෙ."

"ඔව් අක්කා."

"මේ හෙට ඉඳන් උඹ ඔය ඩ්‍රීම්ට ගස්සන පුප්පන ඒවා නවත්තපන්. ඒ අපේ බොස්."

"හොඳයි අක්කා."

"මෙන්න මේ තේ එක බීලා ඉන්න මලී දුව. මේ පැණි අළුවා හැදුවා, රසද බලන්නකෝ."

"ආ.... මරුනෙ, ආන්ටිද හැදුවෙ..?"

"අනේ නෑ... මෙන්න මෙයා. ඔය හෙට යනකොට කට්ටියට ගෙනියන්න කියලා හැදුවෙ."

"ආ.. මරු, අපේ උන් පෙරළගෙන කයි. ආන්ටිට දස දහස් වතාවක් පින් තේ එකට."

"දූට පින්සිද්ධ වෙන්නනෙ අපේ මැණික්ට රස්සාවක් ලැබුණෙ."

"පිස්සුද ආන්ටි. තනිකරම නිල් මැණිකගෙ ටැලන්ට්වලට තමා. මම කළේ එතැනට එක්කන් ගිය එක විතරයි."

"ආ.. මම අක්කගෙන් අහන්න උන්නෙ, පොඩ්ඩෙන් අමතක වෙනවා."

"මොකද බන්?"

"ජොබ් එකට යනකොට අඳින්න ඕනා සාරි විතරමද?"

"පිස්සුද බන්, උඹ එතැන එකෙක්වත් සාරියක් ඇඳන් ඉන්නවා දැක්කද? ඔන්න ඔය හෙට විතරක් ඔය යාර හය ඇඳන් වරෙන්."

"හා අක්කා.."

"හෙට ඔසරියක් ඇඳපන්, අද සාරිය ඇන්දනෙ. උඹට ඔසරිය ලස්සනට හිටියි. අනික් දවස්වලට ඔය සාමාන්‍ය ඇඳුමක් ඇඳන් වරෙන්. අපි වැඩසටහන් කරනකොට අපේ ඇඳුම්, කොස්ටියුම් සේරම එක එක ආයතනවලින් සපයනවා."

"එහෙනම් මැණික්ට ඇඳන් යන්න ටිකක් හොඳ ඇඳුම් ටිකක් ගන්න වෙයි නේද මලී දූ..?"

"ඔව් ආන්ටි... මම මේ ඇඳුම් ටික අරන් ආවෙ මන්දාකිණිට තමා. දැනට පිරිමහගන්න ඇති වෙයි. ඔය මදි වුණොත් අපි දෙන්නට මාරු කර කර අඳින්න බැරියෑ.."

"අක්කා... ඔයාට පිස්සුද? මේ.. මේ... පිස්සු වැඩ නොකර මෙන්න මේ ටික අරන් යන්න."

"මේවා මට අඳින්න බෑ බන්, මේවා උඹේ සයිස් එකට ගත්තුවා. මම මේවා ඇන්දොත් නියමෙට හිටියි."

"අක්කා..."

"මම දන්නවනෙ නංගි, මේ වෙලේ උඹට අමාරුයි කියලා. ඒකයි මේ. මම දන්නවා මේ ටික උඹට හුඟක් වටිනවා කියලා. මේක ගන්න උඹේ හිතට හරි නෑ. ඒත් මම උඹේ අක්කා. අක්කා කෙනෙක්ට අයිතිය තියෙනවා නංගි කෙනෙක්ට ගිෆ්ට් එකක් දෙන්න. ඒක නිසා ඒ ගැන වැඩිය හිතන් නැතුව මේ ටික ගනින්."

"අනේ අම්මා... මේ බලන්නකෝ..."

"අනේ මන්දා දුවේ. කවදා මේ ණය මලී දූට ගෙවලා ඉවර කරන්න අපිට ලැබෙයිද කියලා.."

"ආන්ටි අහලා තියෙනවද? 'යම් ක්‍රියාවක් සිදු කරලා ඒකෙ ප්‍රතිවිපාක දැනෙන විට නැත්නම් කළ කී දෑ මතක් වෙන විට පශ්චාත්තාවයට පත් නොවී සතුටු වීමට හැකිනම් එවැනි ක්‍රියාවන් සිදු කළ යුතුයි' කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියලා. මම කවදාවත් මෙහෙම දෙයක් කළා කියලා පශ්චාත්තාපයට පත් වෙන් නෑ. මේ දේවල් කරන්නෙ මම තවත් දෙයක් බලාපොරොත්තුවෙනුත් නෙමේ. ඒ හින්දා ආන්ටිලා ඒ ගැන හිතලා හිත කලබල කරගන්න එපා."

"එහෙම කියලා බෑනෙ මගෙ දූ.."

"ආන්ටිට මේවට ගෙවන්නම ඕනනම්, වැඩි දෙයක් ඕනා නෑ, හැමදාටම මට ඔයාගෙ ලොකු දුව විදියට සලකන්න. මට ඒ හොඳටම ඇති. එතකොට මම මේකිගෙ අක්කා, මේ දේවල් අක්කා නංගිට ගෙනත් දුන්නෙ කියලා ඔයාලා දෙන්නටම හිත හදා ගත්තැකි. එතකොට මටත් සතුටුයි, ඔයාලටත් සතුටුයි."

"හා.. හා.. පණ්ඩිත ආච්චියෙ..."

"අනේ පලයන් ගෙම්බියෙ යන්න. ආන්ටි තොට මොකට මැණික් කියලා දැම්මද දන් නෑ."

"ඔන්න පටන් ගත්තා දෙන්නා. මම දැන් දෙන්නටම දෙනවා කෝටුවක් ගත්තොත්."

අම්මා මටයි, මලී අක්කටයි තරවටු කළාට ඒ කටහඬේ තිබුණෙ හුඟක් ලොකු ආදරයක්. ඒක මට වගේම මලී අක්කටත් හොඳටම තේරුණා. මලී අක්කා දුවලා ගිහින් අපේ අම්මව බදා ගත්තා.

"මේ... මොකද මේ?"

"ආන්ටි හුඟාක් හොඳයි. ආන්ටි එහෙම කියද්දී මගෙ අම්මා මගෙ ළඟම ඉන්නවා වගේ දැනෙනවා."

"ඔයාගෙ අම්මා ඔයා ළඟම තමයි මගෙ දූ ඉන්නෙ."

එහෙම කියලා අපේ අම්මා හුඟාක් ආදරෙන් මලී අක්කගෙ නළල සිපගත්තා. මලී අක්කා ටිකක් වෙලා අපේ අම්මව බදාගෙන ඇඬුවා. ඒක දැක්කම මගෙ ඇස්වලටත් කඳුළු ආවෙ ඉබේටමයි. මට අයිති අම්මගෙ සෙනෙහස තවත් කෙනෙක් එක්ක බෙදාගන්න ලෝභ වුණත් මලී අක්කත් එක්ක බෙදාගත්තෙ මම හුඟක්... කැමැත්තෙන්.

"මම යන්නම් ආන්ටි, හරි රස්නෙයි. සීතල වතුර ටිකකින් නාගන්න ඕනා."

ඇස් දෙකේ තිබුණු කඳුළු පිහදාගෙන, ඇඳුම් බෑග් ටික ගාව තිබුණු හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන සුදු වැලි දාපු මිදුල දිගේ යන මලී අක්කා දිහා මම බලන් උන්නෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව. හුඟක් අමුතු චරිතයක්. මේ වගේ සහෝදරකමක් එක්කුසේ උපන් සහෝදරයෙකුටවත් නැතුව ඇති. එක් අත්තක මල් පිපුණත් ලොකු සුළඟකට ඒ මල් බිම වැටුණට පස්සෙ කවදාවත් ආයෙ එකතු වෙන් නැති විදියට එයාලා ඈත් වෙනවා. හුඟක් සහෝදරකම් ඒ වගේ. ඒක මේ ලෝකෙ හැදිලා තියෙන හැටි. ඒත් මලී අක්කා හුඟක් වෙලාවට ඒ සමාජ ක්‍රමයට පටහැනිව යන්න හදන කෙනෙක්. මෙච්චර හොඳ අවංක මිනිස්සුන්ට ජීවිතේ වරදින්න විදියක් නෑ.

"පව් නේද දුව...?"

"ඔව් අම්මා... මලී අක්කා අවංක වැඩිද කියලත් හිතෙනවා."

"ඔය ඇඳුම් ටිකට සෑහෙන ගානක් යන්න ඇති මගෙ හිතේ."

"ඔව් අම්මා... මලී අක්කාට සල්ලි තිබුණට ඒ දේවල්වලින් ඔළුව ඉදිමෝගෙන නෑ."

"ඔච්චර සල්ලි තිබිලත් ඇයි ඔය ළමයා රස්සාවකට යන්නෙ....?"

"එයා මීඩියා වලට ආසයි අම්මා. එයාගෙ ජීවිතේම මීඩියා. එයා රස්සාව කරන්නෙ පඩියක් ගන්න බලාගෙන නෙමේ, මානසික තෘප්තියක් ගන්න. ඔය ගන්න පඩියෙන් වැඩිපුරම කරන්නෙ කාට කාට හරි ජීවත් වෙන්න උදව් කරන එක. ඒත් ඒක එයා කාටවත් අඟවන් නෑ. මටත් කියලා නෑ. ඒත් මට තේරිලා තියෙනවා."

"අනේ... වාසනාවන්! ඒ දරුවට ඔහොම නෙමේ, කිරි ඉතිරෙන්න ඕනා."

"ඒකනම් මමත් හැමවෙලාවෙම ප්‍රාර්ථනා කරන දෙයක් අම්මා.."

"දූගෙ අතට සල්ලි ටිකක් ලැබුණම ඒ සල්ලි මලී දූගෙ හිත රිදෙන් නැති විදියට දෙන්න..."

"හොඳයි අම්මා...."

******** 

මම හිතාගෙන හිටියෙ කවමදාවත් මේ ක්‍රීම් පාට සාරිය අඳින්නෙ නෑ කියලා. ඒත් අන්තිමේදී ඒක අඳින්නම වුණා. මලී අක්කා ඊයේ ගෙනත් දීපු ඇඳුම් අඳින්න පුළුවන්කම තිබුණත් වැඩ භාරගන්න පළවෙනි දවස නිසා ඔසරිය ඇඳන් යන්න කියලා අම්මයි මලී අක්කයි දෙන්නම කිව්වා.

මේ සාරිය මගේ උපන් දිනට අමිත අයියගේ අම්මා ගෙනත් දීපු එකක්. තෑග්ගක් දුන්නම නොගෙන බැරිකමට ගත්තා මිසක් වෙන දේකට දුන්නා නම් මම මේක ගන්නෙත් නෑ. එදා ගත්තට පස්සෙ මම අද තමයි මේ සාරිය ඇන්දේ. අම්මගේ බලකිරීමටයි, ඔසරියක් අඳින්න තරම් හොඳ සාරියක් නැති කමටයි ඇන්දා මිසක් මේක අඳින්න මගේ චූටි කැමැත්තක්වත් තිබුණේ නෑ.

ඔසරිය නීට් එකට ඇඳලා, කොණ්ඩේ ලස්සනට පීරලා බැඳලා, අරලිය මලක් වගේ කොණ්ඩ කට්ට කොණ්ඩේ පැත්තකින් ගැහුවම තිබුණේ හුඟක් චාම් බවක්. කන්නාඩියෙන් මට පේන මගේ රූපේ දිහා මම ටිකක් වෙලා බලන් හිටියා. 'හරිම අහිංසක පාටයි, වැදගත් පාටයි' කියලා මට මම ගැනම හිතුණා. කරේ පාළුව යන්න සීයා කරට දාපු මාලේ තිබ්බ නිසා හුඟක් ලස්සනයි. මේ විදියට ඇඳලා පාරේ යනකොට කවුද හිතන්නේ මේ කෙල්ලට මොනවයින් අඩුපාඩුවක්ද කියලා. අපි විතරයි දන්නෙ අපේ නැති බැරිකම.

"ෂා.. ඒ ඔසරිය ඇන්දම දූගේ මූණ හරි එළියයි. රමණිගේ තේරීම නම් නියමයි."

"ඔව් ඉතින්, අමිත අයියලාගේ ගෙදරින් අහක දාන කෙහෙල් ලෙල්ලක් දුන්නත් අම්මට හොඳයිනේ. ඒකනේ මේ ඔක්කොම."

"මන්දාකිණි......"

අම්මගේ කටේ සද්දෙට ඔසරියේ නෙරිය රැලි ටික හද හදා හිටිය මාව ගැස්සිලා ගියා. අපේ අම්මා මට 'මන්දාකිණි' කියලා කතා කරන්නේ හුඟක්ම තරහ ගිය වෙලාවටයි, දුක හිතුණු වෙලාවටයි විතරයි. ඒ නිසා ඒ වෙනස මගේ හිතට හුඟක් බලපෑවා.

"මන්දාකිණි, දැන් මේ වැදගත් ගමනක් යන්න ලෑස්ති වෙන හින්දා මම ඉවසනවා. මගේ යකා අවුස්සන් නැතුව කතා කරනකොට පරිස්සමෙන් කතා කරන එකයි තියෙන්නෙ. දෙමව්පියෝ දරුවන්ට කවදාවත් ජීවිතේ වැරදෙන දෙයක් කරන් නෑ. ඒක මතක තියා ගන්නවා."

කෑගහලා නොවුණත් මට ටිකක් තදින් කියලා අම්මා කාමරෙන් යන්න ගියා. මාව ඇඳ උඩින් ඉන්දවුණේ ඉබේටමයි. අම්මට කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් මම අමිත අයියට කැමති නෑ කියලා, ඒකට චුට්ටක්වත් ඇහුම්කන් දෙන්න අම්මා කැමති වුණේ නෑ.

විවාහය කියන්නේ ජීවිතේ වැදගත් කඩුල්ලක්. ඒ කඩුල්ල හරියට පනින්න බැරි වුණොත් එතනින් ඇදගෙන වැටෙන මානසික තත්ත්වය නිසා ජීවිතේ ඉස්සරහට පනින හැම කඩුල්ලක්ම හරියට පනින්න බැරි වෙනවා. විවාහ වෙන දෙන්නෙක් අදහස්වලින් එක සමාන වෙන්න ඕනා. ඒ අදහස් පරස්පර විරෝධී නම් කවමදාවත් ඒ විවාහ ජීවිතේ සාර්ථක වෙන් නෑ. අනික විවාහ ජීවිතයක් ගොඩනැගෙන්නේ ආදරේ මූලික කරගෙන. යුවළක් අතරේ ආදරයක් නැත්නම් කවදාවත් ඒ ජීවිතය පුරාවටම සාර්ථක ජීවිතයක් ළඟා කර ගන්න ඒ දෙන්නට බැරි වෙයි.

මම බලාපොරොත්තු වෙන ආදරේ, විවාහය මේක නෙමේ. ඒ හදවතින්ම උපදින හුඟාක් පවිත්‍ර හැඟීමක්. ඒක ආත්මයක් ආත්මයක් ගානේ දම්වැලක පුරුක් වගේ එකිනෙකට බැඳී පවතින්න ඕනා. ඒ ආදරේ පිවිතුරු වෙන්න ඕනා. ඒකයි ආදරේ කියන්නේ. අපේ අම්මට ඒ දේ තේරුම් කරන්න කාටවත්ම බැරි ඇයි දෙවියනේ. එයාගේ එකම දුවගේ හදවතට ඉබ්බා දාලා එයා කැමති කෙනාට දුවව දෙන්න හදන්නේ ඇයි? ඇයි අම්මා හිතන් නැත්තේ මේ දෙයින් දුව කොච්චර අසරණ වෙනවද කියලා? ඇයි මගේ අම්මත් අනෙක් සාම්ප්‍රදායික ගැහැනියක් වෙන්න හදන්නේ? ඇයි හිතන් නැත්තේ 'මම නෙමෙයි ඒ මිනිහත් එක්ක ජීවත් වෙන්නෙ මගේ දුවයි' කියලා? මෙතැන වැදගත් දුවගේ කැමැත්ත අකමැත්ත කියලා. දෙමව්පියෝ වුණත් දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. එයාලගේ ජීවිත ඉවර වුණු දවසක එයාලා මේ ලෝකෙන් යන්න යාවි. ඒත් අර දරුවා හිතින් විඳ විඳ තව අවුරුදු කීයක් මේ ලෝකේ ජීවත් වෙන්නද? දරුවන්ගේ ජීවිත ගැන තීරණ ගන්න දෙමව්පියන්ට පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි ඒ දරුවන්ගේ කැමැත්ත අකමැත්ත අනුව.

"මන්දාකිණි…"

ඇඳ උඩ ඉඳගෙන කල්පනා ලෝකේ තනිවෙලා හිටිය මාව මලී අක්කගේ කටහඬට ගැස්සිලා ගියා.

"මන්දාකිණි, මොකක්ද ප්‍රශ්නේ නංගි? ඇයි මේ ඇස්වල කඳුළු? මම මෙතැනට ඇවිත් හුඟක් වෙලා, ඒත් ඔයා මාව දැක්කේ නෑ. ඔයා ජනේලෙන් පාර දිහා බලාගෙන හුඟක් ලොකු කල්පනාවක හිටියේ."

"මුකුත් නෑ අක්කා. අපි යමු. පරක්කු වෙනවා නේද?"

"උඹට දැන් මේ අක්කට කියන් නැතුව මඟ අරින්න පුළුවන් ප්‍රශ්නත් තියෙනවද මන්දාකිණි...,"

"මම අක්කට නොකියන දෙයක් නෑ අක්කා."

"එහෙනම් ඉතින් කියපන්…"

"මට අමිත අයියවම බඳින්න වෙයි අක්කා. මොන තරම් දේවල් හිතන් හිටියත් හැමදේම සිද්ධ වෙන්නේ පෙර කරන පින් පව් අනුව. මේ ආත්මේ මම කාටවත් දැනගෙන වරදක් කරලා නෑ. ඒත් ගිය ආත්මවල මගේ අතින් හුඟක් වැරදි වෙලා ඇති. ඒ දේවල් මේ ආත්මේ මට පල දෙනවා."

"ආන්ටි උඹට මොනා හරි කිව්වද?"

"අම්මගේ වරදක් නෑ අක්කේ. ඒ එයා දකින, හිතන පතන විදිය.. එයා හිතන්නේ මට කාව හරි හොයලා කසාද බන්දලා දුන්නම හරි කියලා. ඒකට එයා මේ ලෝකේ දකින විශ්වාස කරන එකම කෙනා අමිත අයියා. ඒත් එයාට තේරෙන් නෑ අමිත අයියව බැන්දොත් මට ජීවිතේම විඳවන්න වෙයි කියලා."

"උඹ බය නැතුව ඉඳපන්. මම ඒක ආන්ටිට තේරුම් කරලා දෙන්නම්. හැබැයි දැන්ම නෙමේ. දැන් ඔය කඳුළු පිහදාගෙන මූණට පවුඩර් ටිකක් දාගනින්. මේ ලස්සන මූණ කැත වෙනවට මම කැමති නෑ. ෂා... බලපන්කො කෙල්ලගේ හැඩ. උඹනම් නියම ලියතඹරා මලක්. සාරිය පාටමයි ඇඟ, කොහෙන්ද බන් උඹට මේ පාට හම්බුණේ? මොන පිරිමියද බන් උඹට අකමැති වෙන්නේ? තෝව හරියන්නේ රජ කෙනෙක්ගේ අග බිසවට. අපේ උන්ට පිස්සු හැදෙයි උඹව දැක්කම. මේ වගේ කෙල්ලෙක් හැමදාටම ළඟින් තියා ගන්න හම්බවෙන පිරිමියා හුඟක් වාසනාවන්ත වෙයි. ප්‍රශ්න දාහක් ආවත් උඹේ මූණ දැක්කම ඒ හැමදේම අමතක කරන්න පුළුවන්. නියම ලියතඹරා මල් මෙන්න මේ වගේ උන් තමා. ඇත්තමයි. උඹේ ඇඟේ හැඩ දැක්කම කී දෙනෙක් ඊර්ෂ්‍යාවේ පැලෙයිද දන්නෑ චැනල් එකේ."

"ඒ ලස්සනෙන් ඇති වැඩක් නෑ අක්කේ. හිතයි කෙනෙක්ගේ ලස්සන වෙන්න ඕනා. මට වඩා හුඟක් ලස්සන අය ඉන්නවා මේ ලෝකේ. මේ ලස්සන හරිම තාවකාලිකයි. මගේ මූණට ඇසිඩ් ගැහුවොත් ලස්සන එදාටත් පවතියිද? හැමෝම මාව පිළිකුල් කරයි. ඒත් හදවතේ ලස්සන කිසිම කෙනෙක්ට නැති කරන්න බෑ. කෙනෙක් ජීවත් වෙනකන් ඒ කෙනා ළඟ ඒ ලස්සන පවතිනවා. ඒ ලස්සන සදාකාලිකයි අක්කේ.."

"ආ.. මේ මලී දුවත් ඇවිත් ඉන්නේ …"

මාත් එක්ක හිත නරක් කරගෙන අම්මා ගිහින් තියෙන්නේ කුස්සියට කියලා අතේ බත් පාර්සලේ දැක්කම මට තේරුණා..

"ෂා.. ආන්ටි බත් උයලා.. කොච්චර දෙයක්ද ආන්ටි. හැමදාම කැන්ටිමෙන් කාපු මටත් රජ මඟුල්. සම්බෝල එහෙම නැද්ද දන්නේ නෑ නේද බත් මුලේ?"

"අදනම් සම්බෝල හැදුවේ නෑ දුවේ. ඉන්නකෝ මම දුවටත් බත් එකක් බැඳලා දෙන්න."

"එපා.. එපා ආන්ටි. මේ ඇති. අපි දෙන්නටම... හෙට බත් එක බඳින කොට ටිකක් වැඩියෙන් බඳින්නකෝ."

"මන්දාකිණි අපි යමුද?"

"හා අක්කා යමු…"

මම අම්මගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට මලී අක්කත් අපේ අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. කවදාවත් නැති විදියට එවෙලේ අපේ අම්මගේ ඇස් දෙකට කඳුළු ඇවිත් තිබුණා. මොන ප්‍රශ්න ආවත් අපේ අම්මා අඬනවා මම දැක්කේ හුඟක් කලාතුරකින්.

"අපි ගිහින් එන්නම් අම්මා."

"හොඳයි... තුණුරුවන්ගේ සරණයි. මලී දුවේ.., මගේ කෙල්ලව පරිස්සම් කරන්න. මගේ ඇස් දෙකෙන් මිදිලා පැය ගානකට මේ ඈතට යනවමයි. අනික මේ වගේ රස්සාවකට. මලී දුව එතන ආරක්ෂාව ගැන සහතික වුණු නිසයි මම යවන්නේ. මට වෙන කරන්න දේකුත් නෑ. ඒ නිසා මගේ කෙල්ලව පරිස්සම් කරන්න දුවේ. මේ කෙල්ල සමාජේ ගැන දන්නේ හුඟක් අඩුවෙන්."

"බයවෙන්න එපා ආන්ටි, මම මන්දාකිණිගේ ආරක්ෂාව ගැන වගකියනවා. එතන නරක තැනක්නම් මම කවමදාවත් මගේ නංගිව එතැනට ගෙනියන් නෑ. ඒ ගැන හිතලා හිත කලබල කර ගන්න එපා ආන්ටි."

"මැණික් විතරක් නෙමේ, දුවත් පරිස්සම් වෙන්න. මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවනේ."

"තෑන්ක්ස් ආන්ටි, මට ඒ වචන ටිකත් ඇති. එහෙනම් අපි ගිහින් එන්නම් ආන්ටි."

"අපි ගිහින් එන්නම් අම්මා."

"දෙන්නම පරිස්සමෙන්, තුණුරුවන්ගේ සරණින් ගිහින් එන්න."

කවදාවත් මම දැකලා නැති විදියේ එළියක් මලී අක්කගේ මූණේ පේන්න තිබ්බා. වෙනදා තොරතෝංචියක් නැතුව කියවන කටට අද අගුල් වැටිලද කොහෙද? එයා අපේ අම්මගෙන් බලාපොරොත්තු වුණු මව් සෙනෙහස එයාට ලැබෙද්දී එයාගේ ජීවිතේ ඇතිවෙන සතුට එයාගේ මූණෙන් කියන්න පුළුවන්.

මලී අක්කාට නිදහසේ කල්පනා කරන්න දුන්නා මිසක් ඒ සිතුවිලිවලට බාධා කරන්න මට හිතුණේ නෑ. අපිට ගෙදර ඉඳන් Dream T.V. එකට යන්න පැය එකහමාරක් විතර යනවා. බස් පරක්කු වුණොත් කීය වෙයිද කියන්න බෑ. චැනල් එක ළඟපාතින් නවතින්න තැනක් හොයා ගත්තානම් හුඟක් ලේසි වෙයි කියලා මට හිතුණේ ඊයේ රෑ. ඒක මලී අක්කගෙනුත් අහලා බලන්න කියලා අම්මා කිව්වනේ. කොන්ක්‍රීට් පාරට හැරෙද්දීම මම ඈත එන අමිත අයියගේ කාර් එක දැක්කා. අද ඉතින් දවසම ඉවරයි. හිතුවා වගේම කාර් එක ඇවිත් අපි ළඟින්ම නැවැත්තුවා.

"මන්දාකිණි කොහෙද මේ යන්නේ? මේ අපේ අම්මා අරන් දීපු සාරිය නේද? ඒකට ඔයා වෙනදටත් වඩා හැඩයි මන්දාකිණි."

හැමදාම වගේ උඩ ඉඳන් පහළටම මහ පෙරේත විදියට බලලා අමිත අයියා මාව ඇස් දෙකෙන් කෑවා.

"කොහෙද මේ යන්නේ, හොඳට ඇඳලා කරලා..?"

"ම..ම..මම මේ... මේ..."

"අද මන්දාකිණි නංගි ජොබ් එකකට යනවා අමිත අයියේ.."

"ජොබ් එකකට...?"

මට කියා ගන්න බැරුව දිව පැටලෙද්දී, මලී අක්කා කිව්ව දෙයින් අමිත අයියා හුඟක් කලබල වුණා කියලා මට තේරුණා. කාර් එකෙන් බැහැලා මගේ ගාවට ඇවිත් හිටගත්තේ මාව මරාගෙන කන්න තරම් තරහින්.

"තමුසේ, මට නිකන්වත් කිව්වේ නෑනේ මන්දාකිණි.."

"හදිස්සියෙමයි රස්සාව හම්බුණේ අයියේ."

"ඒත් තමුසෙට යුතුකමක් තිබුණා මට නිකන් කියන්න."

"මට වෙලාවක් හම්බවුණේ නෑ."

"මන්දාකිණි එකක් මතක තියා ගන්නවා, තමුසෙව කසාද බඳින්න ඉන්නෙ මම. මට නොකියා එහෙම තීරණ ගන්න තමුසෙට බෑ..."

"අමිත අයියා...."

"මම මේක නැන්දත් එක්ක බලාගන්නම්කෝ."

"අමිත අයියා, ඔයා අම්මට විතරක් මුකුත් කියන්න එපා. එයත් අකමැත්තෙන් මම මේ ජොබ් එකට යන්නේ..."

"ඇයි තමුසේ එහෙම තනි තීරණ ගන්නේ..?"

"අපිත් මිනිස්සු අමිත අයියා, අපිටත් බඩගින්න දැනෙනවා. අපිටත් අවශ්‍යතා තියෙනවා. ඒ දේවල් කරගන්න අපිට සල්ලි ඕනා. අපිට දෙන්න කෙනෙක් නෑ. අනික අතපය හතර හොඳට තියාගෙන කාගෙන්වත් ඉල්ලන් කන්න තරම් පහත් තැනකට වැටෙන්න අපි කැමති නෑ. දුප්පත් වුණත් අපිට ආත්මගරුත්වයක් තියෙනවා. අන්න ඒක මතක තියා ගන්න..."

"ඒත් මන්දාකිණි ..."

"ඔයා තව මුකුත් කියන්න එපා අමිත අයියා. මොකද මම තාම ඔයාව බැඳලා නෑ. කවදා හරි මම ඔයාව කසාද බැන්දොත්, එදාට මම ඔයා කියන දේ අහන්නම්. ඔයා කියන විදියට ඉන්නම්."

"බැන්දොත් කියලා ඇයි ඔයා අඩමානෙට කියන්නේ? ඔයාගේ බලාපොරොත්තුවක් නැද්ද මාව බඳින්න.."

"නෑ.. මම ඔයාට හැමදාම කිව්වනේ, මම ඔයාට කැමති වුණේ අම්මා කියපු නිසා."

"අම්මා කියලා හරි දැන් ඔයා මට කැමැත්ත දීලා ඉවරයි. ඒක වෙනස් වෙන්න බෑ මන්දාකිණි....."

"ඉතින් ඒක වෙනස් වෙනවා කියලා මම කිව්වේ නෑනේ. මම කියන්නේ මම තමුන්ව කසාද බඳිනකම් මට බලපෑම් කරන්න එපා කියලා."

"මන්දාකිණි නංගි.. අපිට පරක්කු වෙනවා."

"යමු මලී අක්කා..."

"මන්දාකිණි තමුසේ දැන් ඕනාවට වැඩියි. මම දන්නවා තමුසේ ඔළුවට විෂබීජ දාන්නේ කවුද කියලා.."

"කාටවත් මගේ ඔළුවට විෂබීජ දාන්න බෑ හරිද? මම කරන්නේ, මම කියන්නේ මට ඕන දේ. කාටවත් ඕන දේවල් නෙමේ. අපි යමු මලී අක්කා."

"ඔහොම ඉන්න මන්දාකිණි."

"ඇයි?"

"අපි ඉක්මනට කසාද බඳිමු, මම අදම ගෙදර ගිහින් මේ ගැන අම්මලට කියනවා. දැන් යන ගමන් නැන්දටත් කියාගෙන යනවා."

"ඔයාට කසාද බඳින්න හදිස්සි වුණාට මට තාම හදිස්සි නෑ අමිත අයියා. ඔයා කාත් එක්ක කතා කරත්, මට තාම බඳින්න හදිස්සියක් නෑ. එච්චරයි..."

"අපි බලාගමු මන්දාකිණි, ඔයාද දිනන්නේ මමද කියලා.."

මායි මලී අක්කයි කොන්ක්‍රීට් පාර දිගේ ඉස්සරහට ගියත් අමිත අයියා තාමත් හිටපු තැනම ඉඳන් අපි දිහා බලන් ඉන්නවා මට තේරුණා. කවුරු මොනවා කිව්වත් එයා කියන විදියට නටන්න මම රූකඩයක් නෙමේ.

"අරූ අර විෂබීජ දාන කතාවනම් කිව්වේ මට මන්දාකිණි..."

"ඔව් අක්කා මටත් ඒක තේරුණා.."

"ඕකා තාම දන් නෑ මේ මලී කවුද කියලා. මම ඕකට ඒක ළඟදීම පෙන්වන්නම්කෝ..."

"ඒ කිව්වේ අක්කේ..?"

"මම ඒක කරලම පෙන්වන්නම් නංගියෝ. ඒ කොහොම වුණත් මම ජීවිතේ පළවෙනි වතාවට දැක්කා උඹ අඬන් නැතුව කොන්ද කෙළින් කරන් කතා කරනවා. ඔහොම තමයි ඉන්න ඕනා.. ඕනාවට වඩා අහිංසක වුණාම මේ ලෝකේ ජීවත් වෙන්න බෑ.."

එතැන ඉඳන් චැනල් එක ළඟට එනකම්ම අපි දෙන්නා කතා කර කර ආවේ අමිත අයියා ගැන. මලී අක්කානම් කියන්නෙම අමිත අයියව බඳින්න එපා කියලා. මමත් චුට්ටක්වත් කැමති නෑ. මට තියෙන එකම ප්‍රශ්නය අම්මගේ හිත රිද්දන්න බැරි කම. නැත්නම් දැනටමත් ඔය ප්‍රොපෝසල් එක අවලංගු වෙලා.

"මන්දාකිණි, ඩ්‍රීම් ඇතුළේ ඉන්නවා. රැස් දාන්නේ නැතුව ගිහින් කතා කරපන්.."

"අනේ.. මට බයයි අක්කා.."

"බය වෙන්න එපා මන්දාකිණි, ඩ්‍රීම් හරි හොඳයි."

මාව නපුරාගේ රූම් එක ළඟින් දාලා, මලී අක්කා නිමේෂ් අයියලා හිටපු පැත්තට ගියා. එදා මේ චැනල් එකේදීම මට හොඳටම බැන්න නපුරා අද හොඳින් කතා කරයි කියලා හිතන්න පුළුවන්ද? කොච්චර ආඩම්බරකම් තිබුණත් ලැබිච්ච රස්සාව ආරක්ෂා කර ගන්න එපාය. ආඩම්බරකම පැත්තකින් තියලා රූම් එකේ දොර තල්ලු කරගෙන මම ඇතුළට ගියා…

හිත හුඟක් බයෙන් ගැහෙද්දී බොහොම අමාරුවෙන් නපුරා දිහා කෙළින් බැලුවත්, නපුරා මම දිහා බැලුවෙවත් නෑ..

"ගුඩ් මෝනින් සර්..."

මෙච්චර වෙලා කොම්පියුටර් තිරේ තියාගෙන හිටිය ඇස් දෙක මගේ පැත්තට හැරෙව්වත් පුංචි සුහද හිනාවක්වත් ඒ මූණේ තිබුණේ නෑ.

"මෝනින් මිස් රත්නායක..."

අකීකරු කමට මූණට වැටිලා තිබ්බ කොණ්ඩේ අත් දෙකෙන් පස්සට කරන ගමන් නපුරා පුටුවට හේත්තු වෙලා පපුව උඩින් අත් දෙක බැඳ ගත්තා. ඒ මූණේ පුංචි හිනාවක්වත් තිබුණේ නෑ. නපුරා මගේ දිහා සෑහෙන වෙලා බලන් හිටියා. ඒ කාන්තිය දරා ගන්න බැරුව මම බිම බලා ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා. නපුරා මම දිහා විනාඩි පහක් විතර බලන් හිටියා මිසක් කිසිම දෙයක් ඇහුවෙවත්, කිසිම දෙයක් කිව්වෙත් නෑ.

"Ok, ඊයේ සමෙත් විස්තරේ කියන්න ඇතිනේ…?"

"ඔව් සර්."

"එහෙනම් වාඩිවෙන්න."

මට මේසය ඉස්සරහා පුටුව පෙන්නන ගමන් නපුරා නිල් පාට ෆයිල් එකක් අරන් ඒක පෙරළන්න ගත්තා. හිනා පොදක් නැති ඒ ලස්සන මූණ වෙනදටත් වඩා ලස්සනයි. ඒ ඇස් දෙක තිබ්බේ මාව ගිලින්න වගේ බලන බැල්මක් නෙමේ. හුඟක් ලොකු පුදුමයක් දැක්කාම ඒ දිහා බලන් ඉන්නවා වගේ බැල්මක්. ඒ ඇස් දෙක හුඟක්ම කතා කරන ඇස් දෙකක් කියලා මට හොඳට තේරුණා. ඒ මූණ කොච්චර නපුරු වුණත් ඒ ඇස් දෙක නම් පුදුම තරම් ලස්සනයි. ඒ වගේම දඟයි.

"Ok., එහෙනම් මේ ඇග්‍රීමන්ට් එක කියවලා බලලා මේකට සයින් කරන්න...."

මට සුදු පාට කොළයක් දික් කරලා නපුරා කොම්පියුටර් එකේ මොනවද කරන්න ගත්තා.

ඇග්‍රීමන්ට් එකේ එක කොළයක් ඉංග්‍රීසියෙන්, එකක් සිංහලෙන්. මගේ අප්පච්චි ඉස්කෝලෙක ඉංග්‍රීසි ගුරුවරයෙක්. අම්මටත් හොඳට ඉංග්‍රීසි ලියන්න කතා කරන්න පුළුවන්. ඒ නිසා අම්මා ඉංග්‍රීසිවල අගය හොඳටම දැනගෙන හිටියා. වෙන මොන දේ නැතත් අම්මා එයාට පුළුවන් විදියට මට ඉංග්‍රීසි අධ්‍යාපනය, ටියුෂන්වලට සල්ලි පුදන් නැතුවම හොඳට ඉගැන්නුවා. ඒ නිසා මට සිංහල කොළේ දිහා බලලා නපුරා ඉස්සරහා ලැජ්ජා වෙන්න ඕන වුණේ නෑ.

ඇග්‍රීමන්ට් එකේ තිබ්බ විදියට මේ චැනල් එකේ වැඩ කරනවානම් අවුරුදු දෙකක් යනකම් සාධාරණ හේතුවක් නැතුව මෙතැනින් අයින් වෙන්න බෑ. ඒ වගේම කිසිම දවසක නොදන්වා නිවාඩු ගන්නත් බෑ. හදිස්සි අවශ්‍යතාවයක් නම් ඒක ආයතනයට දන්වන්න ඕනා. විනය නීති තදින්ම බලපානවා. විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂයට. අනික දෙන ඕනෑම අභියෝගයක් භාර ගන්න ලෑස්ති වෙන්න ඕනා. සමගිය සමාදානය ආයතනය තුළදී හුඟක් වැදගත්. ඔය වගේ හුඟක් නීති තිබ්බා. ඒ හැම නීතියක්ම සාධාරණයි කියලා මට හිතුණා. ඇග්‍රීමන්ට් එකේ අන්තිමට මැනේජර් කියන තැන ඉංග්‍රීසියෙන් ලස්සනට 'සිහින සත්සර' කියලා සයින් එක දාලා තිබ්බා. මම විනාඩියක් විතර ඒ දිහා බලන් උන්නේ ඒ අකුරු එච්චරටම ලස්සන නිසා.

ඇග්‍රීමන්ට් එක කියවලා මම නපුරා දිහා බැලුවේ මම ඒ හැම කොන්දේසියකටම එකඟයි කියන්න. ඒත් ඇහිපිල්ලමක්වත් නොගසා මම දිහා බලන් ඉන්න නපුරව දැක්කම ඒ කිසිම දෙයක් කියන්න මගේ කටට වචන ආවේ නෑ. අනික් හැම වෙලාවෙම වගේ ඉබේටම බිම බැලුණා මිසක්.

"මිස් රත්නායක, මොකද කියන්නේ? කොන්දේසිවලට එකඟද?"

"ඔ... ඔව් සර්..."

"Ok එහෙනම් ඕක සයින් කරන්න."

පෑන මට දික් කරන ගමන් නපුරා මගේ ඇස් දෙක දිහා කෙළින් බැලුවා. ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දී මාව පිච්චිලා යනවා වගේ මට දැනුණා. පෑන අරන් ඇග්‍රීමන්ට් එක සයින් කළාට පස්සෙ මම නපුරා දිහා බැලුවේ නැත්තේ ඒ බැල්මේ කාන්තිය මට දරා ගන්න බැරි නිසා.

නපුරාගේ රූම් එකේ දොර ඇරෙනවත්, තව කවුරු හරි ඇතුළට එනවත් මට දැනුණත් ආව කෙනා කවුද කියලා බලන්න මම ඒ පැත්ත බැලුවේ නෑ. නපුරා ඉස්සරහා මාව ගල් පිළිමයක් වෙලා වගේ මට දැනුණා. කවුරු ආවත් ඒ මලී අක්කානම් වෙන්න එපා කියලා මගේ හිත කිව්වා. එයා මෙතැනට ආවොත් මොන මොනවා කියයිද දන් නෑ.

"ආ ...සමෙත්, කම්... කම්…"

"ආ.. මේ.. මන්දාකිණි ඇවිත් ඉන්නේ. ගුඩ් මෝනින් මන්දාකිණි."

"ගුඩ් මෝනින් සමෙත් සර්.."

"සිහින, මොකද මන්දාකිණි ඇග්‍රීමන්ට් සයින් කළාද?"

"ඔව්."

"එහෙනම් මන්දාකිණිත් මෙතැන අද ඉඳන් වැඩ නේද?"

"ඔව්..."

"සතුටුද මන්දාකිණි?"

"හුඟක් සතුටුයි සර්..."

"එහෙනම් ඒ සතුට සමරන්නත් එපාය. අපිට පාටියක් එහෙම ඕනෑ...,"

"හොඳයි සමෙත් සර්..."

"මිස් රත්නායක...."

"සර්.."

"මේක මාධ්‍ය ආයතනයක්. මේ වගේ තැනක වැඩ කරද්දී මොන වගේ අභියෝග භාර ගන්න වෙයිද දන් නෑ. ඒ හැමදේකටම මූණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න. ඒ වගේම ගැහැනු ළමයෙකුගේ ආරක්ෂාව ගැන මේ ස්ථානය තුළදී අපි වග කියනවා. හුඟක් ආරක්ෂාවක් මේක ඇතුළෙදී ඔයාලට ලැබෙනවා. මේකෙන් පිටදී ඔයාලට ඔයාලගේ ආරක්ෂාව ගැන බලා ගන්න ඕනා. තේරුණාද…?"

"ඔව් සර්.."

"තව එක දෙයක් තියෙනවා මිස් රත්නායක."

"මොකක්ද සර්?"

"ඇග්‍රීමන්ට් එකේ නැති නීතියක් තියෙනවා තමුන්ට පිළිපදින්න. තමුන් මෙතැන සේවය කරනවානම් මෙතැන ඉන්න කිසිම කොල්ලෙක් එක්ක අනවශ්‍ය පැටලිලි හදා ගන්න බෑ. එහෙම වුණොත් මෙතැන විනය නීති කැඩෙනවා. තමුන්ට ඒ නීතියට යටත් වෙන්න බැරි නම් මෙතැන ජොබ් එක නෑ..."

"සිහින උඹට..."

"සමෙත් පොඩ්ඩක් ඉඳපන්. මේ වැඩේ ඉවර කරලා, උඹ ආව වැඩේ කතා කරමු.... එකඟද?"

"ඔව් සර්.."

"හරි එහෙනම් අද ඉඳන් මෙතැන ජොබ් එක රෙඩි. ඔහොම පොඩ්ඩක් ඉන්න මම මලීෂාට ඔයාව භාර දෙන්නම්."

මට දහ අතේ නීති දාලා නපුරා මලී අක්කාට කෝල් එකක් දීලා එන්න කිව්වා. මේ උගුඩුවට අපේ අම්මට කියලා කොහිල ටිකක් උයලා දෙන්න ඕන.

"මේ අයි කමින් සර්..?"

"කමින් මලීෂා ...."

"සර් මට එන්න කිව්වේ..?"

"අද ඉඳන් මිස් රත්නායකව ඔයාට භාරයි. නිමේෂ්ටත් කියන්න මෙතැන වැඩ කෙරෙන විදිය මෙයාට කියලා දෙන්න කියලා. ඒ වගේම මෙයාව මෙතැන ඉන්න හැමෝටම අඳුන්වලා දෙන්න..."

"හොඳයි සර්…"

"මිස් රත්නායක.... ?"

"සර්..."

"තව එකක් මතක තියාගන්න ඕනේ. මෙතැන වැඩ කරන කවුරුත් එළියේදී ෂෝ දාන් නෑ. මෙතැනින් ප්‍රසිද්ධ වෙලා තැනකට ආවාට පස්සෙ මෙතැනින් එහා සමාජයේදී අනෙක් අයට ඔරවන්න, ගොරවන්න යන්න බෑ. මතක තියාගන්න කෙනෙක් ඉහළට යන්න යන්න නිහතමානී වෙන්න ඕනා. එතකොට තමයි ඒ කෙනා සමාජයේ තවත් කැපිලා පේන්නේ. අනික ඔයාලගේ හැසිරීම් රටාව මිනිස්සු දකින විදියෙන් තමයි මේ චැනල් එකේ ඉදිරි ගමන රඳා පවතින්නේ. අන්න ඒකනම් හොඳටම මතක තියා ගන්න ඕනා දෙයක්. ඒ වගේම අපිට හුඟක් ප්‍රශ්න එනවා. ඒ වුණාට වැඩක් කරද්දී ඒ හැමදේම අමතක කරලා සම්පූර්ණයෙන්ම හිත ඒ වැඩේට යොමු කරන්න ඕනා. මනෝලෝකවල සැරිසරන් නැතුව සිහිබුද්ධියෙන් වැඩ කරන්න. හරි දැන් යන්න, ගුඩ් ලක්."

"තෑන්ක් යූ සර් .."

මට පුංචි හින්ට් එකකුත් ගසා කතාව නවත්තපු නපුරාට ස්තූති කරගෙනම මම පුටුවෙන් නැගිට්ටා. ඒත් අපි රූම් එකේ දොර ළඟට එද්දී සමෙත් සර් නපුරාගෙන් අහපු සේරම ඒවට නපුරා දුන්නු උත්තර මට පැහැදිලිව ඇහුණා.

"සිහින මොකක්ද බන් උඹේ අලුත් නීතිය? එහෙම එකක් මෙතැන නෑනේ. ඇයි උඹ ඒකිගේ හදවතට ඉබ්බා දාන්නේ?"

"මම කිසිම දෙයක් හේතුවක් නැතුව කරන් නෑ සමෙත්. එහෙම නීතියක් දැම්මේ නැත්නම් මේ වගේ කෙල්ලෙක්ව ආරක්ෂා කරන්න අපිට අමාරුයි. සමාජේ ගැන දන්නේ නැති අහිංසක කෙල්ලෙක්, ඒ ජීවිතේ විනාශ කර ගත්තොත් ඒකට අපිටත් පව්කාරයෝ වෙන්න වෙයි. අන්න ඒක නිසයි එහෙම නීතියක් දැම්මේ. ඒ වගේ ලස්සන කෙල්ලෙක්ට මේ සමාජේ හුඟක් දරුණු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි බන්. මේක ඇතුළේදී ආරක්ෂාව සපයන එක අපේ වගකීම."

ඒ කතාව ඇහුණම මට නපුරා ගැන ඇති වුණේ ලොකු පැහැදීමක්. වැඩ කරන සේවකයෝ ගැන හුඟක් හිතන ස්වාමියෙක් කියලා මට හිතුණා. ඒ කොහොම වුණත් මම ඒ කිසිම දෙයක් මලී අක්කාට කිව්වේ නෑ. කිව්වානම් මෙයා ඇද ඇද නාවන්නේ මාවමනේ.

මලී අක්කා මාව එක්කන් ආවේ එයාලගේ රෙස්ට් රූම් එකට. ලස්සනට ටේබල් තියලා හුඟක් පිළිවෙලට එතැන හදලා තිබ්බා. ඒකෙම පැත්තක කැන්ටින් එක තිබ්බා. ජනෙල්වලින් ඈතට පේන්නේ මුහුද. හරිම නිසලයි. මම කලින් දැනන් හිටියේ නෑ මෙතැනට මුහුද පේනවා කියලා. රෙස්ට් රූම් එක තිබ්බේ දෙවැනි තට්ටුවේ කොනටම වෙන්න. ඒකේ ජනේලෙන් ඕනෑතරම් වෙලා මුහුද දිහා බලන් ඉන්න පුළුවන්.

"මොනවද මන්දාකිණි කල්පනා කරන්නේ...?"

"හරිම පුදුමයි මලී අක්කා…."

"පුදුම වෙන්න දෙයක් නෑ නංගි, Dream T.V. එක හුඟක් වෙනස්. ලංකාවේ තියෙන අනික් හැම චැනල් එකකටම වඩා වෙනස්. ඒක මෙතැන වැඩ කරද්දී ඔයාට තේරෙයි. එක වෙලාවකට මේක රූපවාහිනී නාලිකාවක් කියලා හිතන්නවත් බෑ.."

"හලෝ ...මලීෂා.... වරෙන් වරෙන්. උඹව සාදරයෙන්, ආදරයෙන්, කෑදරයෙන් පිළිගන්නවා.. කෝ උඹේ කුරුල්ලා…?"

"කුරුල්ලා ..., මම උඹට කිව්වා කියලා හිතා ගනින් කාවිංග..."

"උඹ ඔය වක්කඩේ ඇරියේ නැති වුණාට කමක් නෑ. කවුද මේ අලුත් නංගි...?"

එතැන හිටිය හුඟක් අයව මම T.V. එකේ දැකලා තිබ්බා. කවමදාවත් මෙතැනට එන්න ලැබෙයි කියලා මම හිතුවේ නෑ. T.V. එකේ පේනවට වඩා එයාලා හුඟක් විනෝදශීලී කියලා මට හිතුණේ එයාලා කතාබහ කරන විදියෙන්. පුංචි ආඩම්බරකමක්වත් එයාලා ළඟ තිබ්බේ නෑ. මලී අක්කා කිව්වා වගේ Dream T.V. හුඟක් වෙනස් තැනක් කියලා මට තේරුණේ මේ අයගේ හැසිරීමෙන්.

"අඳුන්වලා දීපන්කො බන්, ඒ නංගි බය වෙලා."

"මේ මගේ නංගි කෙනෙක්, නම මන්දාකිණි..."

"පල පල... මේ නංගි, උඹට ගෑවිලාවත් නැතුව ඇති."

"ඇයි ඒ කාවිංග…?"

"බලපන් මේ නංගි හුඟක් අහිංසකයි, නිශ්ශබ්දයි. උඹ නිකන් වක්කඩේ වගේ.., ඉතින් මේ නංගි උඹට ගෑවිලා තියා එයාගේ අම්මට උඹව මුණගැහිලාවත් තියෙන්න බෑ."

"අනේ පලයන් කාවිංග."

"හරි දැන් ඇයි මේ නංගිව උඹ අපිට අඳුන්වලා දෙන් නැත්තේ..?"

"තොපි කුකුළො නිසා.."

"ආ… ආ… අපි කුකුළො. එතකොට නිමේෂ් කවුද.. කිකිළිද….?"

"ඒක මම දන් නෑ."

"උඹ මොනාද ඉතින් දන්නේ? හරි ඒකෙන් වැඩක් නෑ. මේ නංගිව අපිට අඳුන්වලා දීපන්. අද ඉඳන් එයත් අපිත් එක්ක වැඩනේ…."

"මන්දාකිණි මෙතැන ඉන්න බාගයක්ම අඳුනනවා ඇති T.V. බලලම."

"ඔව් මලී අක්කා."

"මෙතැන ඉන්න ඔක්කොම එළකිරි පොරවල්. හැබැයි දෙපැත්ත කන ජරා සත්තු ටිකකුත් ඉන්නවා. හැබැයි උන් මෙතැන නෑ."

"හරි බන් මලී, මෙතැන වැඩ කරද්දී මන්දාකිණි ඒ දේවල් දැන ගනියි."

"මෙන්න මේ හැම වෙලාවෙම මැදින් පනින මෙන්න මේකා කාවිංග. එතකොට මේ උගේ ගෑනි රශිමා, මේ තරිඳු, කසුන්, මලිත්, නාලක, ටෙෂාන්. විහඟි. දෙනෙති. සෙව්වන්දි, ෆාතිමා, රොෂාන්... තව මෙතැන නැති සෙට් එකකුත් ඉන්නවා."

මලී අක්කා ටේබල් එක වටේට එකතු වෙලා හිටිය හැමෝම මට අඳුන්වලා දුන්නා. ඒ හැමෝගෙම මූණුවල ලියැවිලා තිබ්බේ 'අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා නංගි' කියනවා වගේ බැල්මක්..

"දැන් මන්දාකිණි නංගිට මලීෂා කිව්ව නම් ටික මතකද?"

"ටිකක් විතර, සෙව්වන්දි අක්කා..."

"මට හිතුණා, එක්ස්ප්‍රස් එක වගේ කියාගෙන යනකොට කිසි සදාචාරයක් නෑනේ."

"උඹේ සදාචාරේ ගැන මගෙන් අහගන්න එපා..."

මෙච්චර වෙලා හිටගෙන හිටිය මලී අක්කා මටත් අතින් පුටුවක් පෙන්නලා ඉඳ ගත්තා..

"හා.. හා.., දැන් ඇති උඹලා රණ්ඩු වුණා. අපේ ඩ්‍රීම් මොකද මන්දාකිණිට කිව්වේ…?"

"හොඳට වැඩ කරගෙන යන්න කිව්වා තරිඳු අයියේ.."

"එච්චරමද ...?"

"ඔව් අයියා.."

"මේ අහපල්ලකෝ.., ඔය මන්දාකිණි කියන නම ලස්සන වුණාට දිග වැඩියි බන්. මෙතැන ඉන්න හැමෝටම ෂෝට් නේම් එකක් තියෙනවා. ඒ හින්දා මේ නංගිටත් ෂෝට් නේම් එකක් දාමු."

"ඒ පාර ටෙෂා හදන්නේ මෙතැන උප්පැන්න ලියන්නද?"

"නෑ බන් මලී, ටෙෂාගේ කතාව හරි. මෙතැන ඉන්න හැමෝටම ෂෝට් නේම් තියෙනවනේ.. මෙතැන ඉන්න හැමෝගෙන්ම බාලයා වගේ පේන හින්දයි, හුඟක් හුරුබුහුටි හින්දයි අපි මේ නංගිට 'චූටි' කියලා කියමු. ඒක හුඟක් ලේසියි. ලස්සනයි."

"පල පල.. ඔය තියෙන්නේ, අපේ ෆාතිට කිව්වොත් ඉතින් එළකිරි නම් දා ගත්තෑකි, තනිකර කුණුහරුප. පුදුමයි 'චූටි' කියන එකවත් හරියට කියා ගත්තා. උඹලට ළමයි හම්බුණ කාලෙක ෆාතිව ඇවිත් හම්බවෙයල්ලා."

"තරිඳු ...ඔයාට නම්..."

"මේ... මේ... උඹලා මෙතැන මරාගන්න කොට චූටිට අදම මෙතැන එපා වෙයි. ඕන මගුලක් කියපල්ලා මරා ගන්නැතුව."

කාවිංග අයියා හැමෝටම කෑගැහුවා. ඇත්තටම රස්සාවට ගිය පළවෙනි දවස වුණාට මට හුඟක් ආස හිතුණා. හරිම විනෝදෙන්, සැහැල්ලුවෙන් වැඩ කරගෙන ඉන්න පුළුවන්...

"හා.. හා.. කතා ඇති යමු.., අලුතින් ආව කෙනා වැඩ භාර ගන්න.."

රෙස්ට් රූම් එකේ දොර ළඟ හිටන් උන්නේ නිමේෂ් අයියා. මොකක්ද ෆයිල් එකකුත් අතේ තියාගෙන හිනාවෙවී හිටිය නිමේෂ් අයියව දැක්කා විතරයි කට්ටියම මලී අක්කාට "ෂූ..." සද්දෙ දාන්න ගත්තා. ඒත් මලී අක්කාට හරියට ඒක තේරුණේ නෑ.

නිමේෂ් අයියව දැක්කා විතරයි කාවිංග අයියා පුටුවෙන් නැගිටලා කෙළින් හිටගෙන ඔළුව නමලා වැඳ නමස්කාර කරලා පිළිගත්තා.

"පුරෝහිත?"

"නිෂ්පාදක මහ රජ, සැපත් වෙනු මැන දම්රෝ සිංහාසනයට.."

"අලුත් සහෝදරිය දැන හැඳින ගත්තේ ද?"

"එසේය නිෂ්පාදක මහාරජ උතුමාණෙනි එසේය."

"කෙසේද ඇය?"

"ඔබ වහන්සේ අමනාප නොවන්නේනම් පවසනු කැමැත්තෙමි උතුමාණෙනි,"

"පවසනු පුරෝහිත, පවසනු.."

"අවසර මහ රජ තුමනි, අලුත් සහෝදරිය ඉතා ලස්සනය, පියකරුය, විනීතය, ඉතා යහපත්ය, අහිංසකය, එලෙසින්ම ඇය ඔබ වහන්සේගේ රැජිනිය මලීෂා දේවියට වඩා ඉතාමත් කාරුණිකය..."

"කාවිංග උඹට මම.."

කට්ටියම හුඟක් හයියෙන් හිනා වෙන කොට මලී අක්කා කාවිංග අයියා පස්සෙන් ගහන්න එළවාගෙන ගියා. කාවිංග අයියා පුටු පෙරළගෙන රෙස්ට් රූම් එක වටේ දුවද්දී මලී අක්කා පොඩි එකෙක් වගේ කාවිංග අයියා පස්සෙන්ම දිව්වා.

"මන්දාකිණි නංගි..."

"හෝව් හෝව් නිෂ්පාදක තුමනි, මන්දාකිණි නෙමේ. චූටි.."

"උඹලා ඒ ටිකට නමකුත් රෙජිස්ටර් කළාද බන් ටෙෂා...?"

"ආයෙත් අහලා, දන්නවනේ අපේ වැඩ ක්ෂණික ක්ෂණික..."

"ඔව්... ඔව්.. අපි දන්නවා.. කවදා හරි උඹ බඳින කෙල්ල පව් මොකද උඹ ක්ෂණිකනේ..."

"කෑගහන්න එපා යකෝ. මගේ පතිවත බිඳුණොත් මට කෙල්ලෙක් දාගන්න හම්බවෙන්නෙ නෑ..."

"හරි හරි, චූටි.. මලී මට කිව්වා ඔයා අපි වෙනුවෙන් රස කෑමක් හදන් ආවා කියලා."

"ආනේ.... නිමේෂ් අයියා මතක් කළේ නැත්නම් මට අමතක වෙනවා.. පොඩ්ඩෙන්…"

මම බෑග් එක ඇදලා ඒකේ තිබ්බ පැණි අළුවා පාර්සලේ එළියට අරන් නිමේෂ් අයියට දුන්නා. ඒක දිග ඇරියේ සෙව්වන්දි අක්කා..

"ෂා.... පැණි අළුවා. කජුත් දාලා."

මම දැක්කේ පාර්සලය දිග අරිනවා විතරයි. ඒකෙන් කෑලි හතරක් නිමේෂ් අයියා කැන්ටිමේ අංකල්ට දීලා කිව්වා නපුරාටයි සමෙත් සර්ටයි තේ වෙලාවට යවන්න කියලා. ඊට පස්සෙ අළුවා පාර්සලයට වෙච්ච දෙයක් මට හොයා ගන්න බැරි වුණා..

"තෑන්ක්ස් චූටි, හරිම රසයි. කවුද අම්මද හැදුවේ?"

"පිස්සු හැදෙයි, මේවා හැදුවේ මෙන්න මේ පිස්සු මන්දාකිණි.."

"බොරු නොකියා ඉඳපන් මලී.."

"ආ.. මෙන්න වැඩක්, මම බොරු කියලා උඹෙන් උඹේ ගෑනිව ඉල්ල ගන්නද කාවිංග?"

"ඇත්තද චූටි..?"

"ඔව් කාවිංග අයියා. මම හැදුවේ..."

"ෂා.. මරු චූටි. කියලා වැඩක් නෑ.. හරිම රසයි."

"හරි හරි දැන් මන්දාකිණි අපිට පැණි අළුවා දුන්නා. දැන් අපි අපේ චූටිට මොනවද දෙන්නෙ…?"

"අපි චූටි ආව එක සමරන්න චූටි වෙනුවෙන් හොඳ සින්දුවක් කියමු නිමේෂ්."

"අන්න වැඩේ ටෙෂා. ඒ අදහස මරු."

"ටෙෂා උඹ පටන් ගනින්."

"Ok... එහෙනම් ඔන්න..."

ලියතඹරා... මුදු කුසුමකි ඈ.... තවුසන්ගේ දැහැනේ සම බිඳිනා.... නෑ ලෝකේ ජීවේ ඇයයි...//

නිමේෂ් අයියලා මම වෙනුවෙන් සින්දුවක් කියලා මාව පිළිගත්තා. මරු කට්ටිය, පිස්සු නැත්නම් ෂෝක්. රවුම් ටේබල් එකට සින්දුවේ තාලෙට බෙර ගහන ගමන් රෙස්ට් රූම් එකේ ඉන්න ඔක්කොම මම වෙනුවෙන් ඒ සින්දුව කියන්න ගත්තා. මලී අක්කා ඒ සින්දුවට ලස්සනට රඟපාන්න පටන් ගත්තා. මගේ ජීවිතේ පළවෙනි රස්සාව මම පටන් ගත්තේ හරිම විනෝදෙන්.

"හරි හරි ඔය ඇති නවත්තපල්ලා. කොහෙද උඹලට එකක් කියන්න කිව්වම දහයක් කියනවනේ."

නිමේෂ් අයියා කට්ටියටම කෑගහලා මගේ පැත්තට හැරුණා. ඒ මූණේ තිබුණේ හරිම සුහද හිනාවක්.

"හරි චූටි, අපේ ඩ්‍රීම් කිව්වා ඔයාට කියලා අද සුවසරණ වෛද්‍ය සාකච්ඡාව කරවන්න කියලා. ඩ්‍රීම්ගේ මීඩියා මොළේ නම් නියමයි. ඔයා තමයි ඒකට නියමෙට මැච් වෙන්නෙ. අද ඉඳන් ඒ සාකච්ඡාවට එන්නෙත් අලුත් ඩොක්ටර් කෙනෙක්. එයා ඩොක්ටර් අසංක. ඔයත් අලුත්, එයත් අලුත්... ඒකනම් මරු."

"නිමේෂ් උඹ හිතනවද ඕකට නුවනි කේස් එකක් අදින් නැතුව ඉදියි කියලා…?"

"එයාගෙන් අපිට වැඩක් නෑ සෙව්වන්දි. මේ ඩ්‍රීම්ගේ ඕඩර් එකක්. නුවනි ඒක ඩ්‍රීම් එක්ක බලා ගනියි. චූටි ඔයා ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙන්න, මලී චූටිට හෙල්ප් කරන්න."

"Ok නිමේෂ්."

********** 


"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."   

Next Episode

  


 


Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1