සිහින මන්දාකිනී 1 / 4 දිගහැරීම

 


04 වන දිගහැරුම

දන්නෙම නැතුව සතියක් ගෙවිලා ගියා. චැනල් එකේ වැඩ කොච්චර අපහසු වුණත් ඒ හැම දෙයක්ම ලේසි කර ගන්න චැනල් එකේ හතර පස් දෙනෙක් ඇරෙන්න අනෙක් හැමෝම වගේ උදව් කළා. මලී අක්කා කිව්වා වගේම Dream T.V. කියන්නෙ හුඟක් වෙනස් රූපවාහිනී නාලිකාවක් කියලා මම මේ දවස් හතට තේරුම් ගත්තා. වැඩ කරන පස් හය දෙනෙක් ඇරුණාම අනෙක් හැමෝම හුඟක් එකමුතුකමින්, සහයෝගයෙන් වැඩ කරා. රටේ ඉන්න හුඟක් වැදගත් ප්‍රසිද්ධ මිනිස්සු නිතරම වගේ මෙතැනට ආවා ගියත්, ඒ අයගේ වුණත් හරි වැරැද්ද පෙන්නලා දෙන්න චැනල් එක පස්සට ගියෙ නෑ. Dream T.V. එක පැත්තකින් දුප්පත් මිනිහගෙ දුක ඇහුවා, සතුටත් ඇහුවා, පෝසත් මිනිහගෙ හොඳ වගේම නරකත් විවේචනය කළා. කවමදාවත් පගාවට යටත් වෙලා කිසිම බොරු දෙයක් සමාජයට ගෙනියන්න Dream T.V. ඉදිරිපත් වුණේ නෑ.

මට මෙතැනට ඇවිත් මුලින්ම කරන්න හම්බුණේ 'සුවසරණ' දිනපතා වෛද්‍ය සාකච්ඡාව. එදා ඒකට ආපු ඩොක්ටර් අසංකත් මාත් එක්ක හුඟක් හිතවත් වුණා. මලී අක්කයි, නිමේෂ් අයියයි අල්ලගෙන චැනල් එකේ හැමෝම විහිළු කළත්, ඒ දෙන්නා අතර එහෙම කිසිම සම්බන්ධයක් තියෙනවා කියලා පෙනුණේ නෑ. නිමේෂ් අයියා කැමරාව ඉස්සරහට ආවෙ නැතත් ඒක පිටිපස්සෙ ඉඳන් කරන්නෙ හුඟක් අමාරු වැඩක්. හුඟක් වෙලාවට ළමා වැඩසටහන් බාර වෙලා තිබ්බෙ නිමේෂ් අයියට.

මෙහෙ සතියක් වැඩ කරත්, නපුරව හැම දවසකම වගේ දැක්කත්, මාව හම්බවෙච්ච කිසිම වෙලාවක ඒ මූණෙ පුංචි හිනාවක්වත් මම දැක්කෙ නෑ. හිත හොඳින් මාත් එක්ක එක වචනයක් කතා කළේ නෑ. මම කොච්චර හොඳට වැඩ කළත් පුංචි වැරැද්දක් හරි කිව්වා. මෙතන වැඩ කරන කිසි කෙනෙක්ට නපුරා එහෙම සලකනවා මම දැක්කෙ නෑ. අනික් හැමෝටම නම කියලා කතා කරත් මට කතා කළේ සර්නේම් එකෙන්. නපුරා මේ කරන වෙනස්කම් ඇරෙන්න මෙතන වෙන කිසිම කෙනෙක් මට කිසි වෙනස්කමක් කළේ නෑ. ජොබ් එකට තිබ්බ ආශාව කැමැත්ත හින්දම මම නපුරගෙ වෙනස්කම් ඉවසගෙන හිටියා.

"ඒයි.... ඔහොම නවතිනවා චූටී."

වොෂ් රූම් එකේ ඉඳලා එළියට එද්දි මට ඇහුණේ හුඟක් නපුරු කටහඬක්. මම පිටිපස්ස හැරුණේ හුඟක් පුදුම වෙලා. වොෂ් රූම් එකේ දොර ළඟ හිටියෙ නුවනි අක්කා. ඒ බැල්මෙ තිබ්බෙ කිසිම සුහද බවක් නෙමෙයි කියලා මට දැක්ක ගමන් තේරුණා.

"නුවනි අක්කා.... ඇයි අක්කා කතා කළේ?"

"කතා කළේ ද? අහන ලස්සන විතරක්."

"ඇයි නුවනි අක්කා, මොකක් හරි ප්‍රශ්නයක් ද?"

"ඔව් ප්‍රශ්නයක් තමයි."

මෙච්චර වෙලා වොෂ් රූම් එකේ දොර ළඟ හිටිය නුවනි අක්කා, මම අහපු එකට උත්තරේ දීගෙනම මන් ළඟට ආවා.

"අනේ... ඇයි නුවනි අක්කා... මොකක්ද ප්‍රශ්නෙ?"

"ප්‍රශ්නෙද? ප්‍රශ්නෙ තමුන්….."

"මේ..... ම්....ම...මම..."

"ඔව් තමුසෙ!"

"ඒ.. ඒත් අක්කා මම ඔයාට මොකක්ද කරපු වරද?"

"වැරැද්ද 'සුවසරණ' ප්‍රොග්‍රෑම් එක මගෙන් හොරා කාපු එක."

"මම එහෙම කළේ නෑනෙ අක්කා. ඒක මට බාර දුන්නේ සිහින සර්නෙ."

"ඩ්‍රීමට පිස්සු නෑ මන්දාකිණි..... තමුසෙ ඔය ලස්සන හිනාව දාලා ඩ්‍රීමව රවට්ට ගත්තා."

"අනේ අක්කා...... පව් පිරෙන කතා කියන්න එපා."

"පව් පිරෙන කතා... අනේ යනවා යන්න. ඇයි තමුසෙට බයයිද පිරිසිදුව තියාගෙන ඉන්න තමුසෙගෙ ප්‍රතිරූපෙට හානියක් වෙයි කියලා? බය වෙන්න එපා මම ඒක ළඟදිම කරනවා...."

ඇඟටම තද වෙන්න ඩෙනිමක් ඇඳලා ඒකට මැච් වෙන්න කහ පාට ටී ෂර්ට් එකක් ඇඟටම තද වෙන්න ඇඳලා හිටිය නුවනි අක්කට තිබුණේ සරාගී පෙනුමක්. මෙතන කාටවත්ම නුවනි අක්කව ඇල්ලුවෙ නෑ. කාවිංග අයියා හැම වෙලේම කිව්වේ "ඇතිලියෙන් බිමට පැන්න බාගෙට තැම්බිච්ච ඉස්සියෙක් වගේ" කියලා.

"මොනවද? මගෙ මූණ දිහා බලන් කල්පනා කරන්නේ?"

"මු... මුකුත් නෑ නුවනි අක්කා...."

"මුකුත් නෑ. අපි බලාගමු චූටි. තමුසෙද මෙතන දිගටම වැඩ කරන්නෙ මමද කියලා..."

"ඇයි තමුසෙ මොනවා කරන්නද නුවනි?"

මුකුත් කියාගන්න බැරුව ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන යද්දි මගෙ පිටිපස්සෙන් ඇහුණේ මලී අක්කගෙ කටහඬ. අනේ දෙයියනේ දැන් මොනවා වෙයිද දන්නෑ.

"මලීෂා, තමුසෙ තමයි මෙයාව මෙතැනට ගෙනල්ලා, මට තිබුණ තැන මෙතන නැති කළේ. මගේ දේවල් මට නැති කළේ..."

"මොනවද තමුසෙගෙ දේවල්?"

"දැනට මම කරගෙන ආපු ප්‍රෝග්‍රෑම් තුනක් මේකි කරනවා."

"නුවනි, උඹ ඒකි මෙකි කියන්න එන්න එපා. මේ මගෙ නංගි... මම මන්දාකිණී වගේ හැම එකටම අඬන අහිංසකියෙක් නෙමෙයි කියලා මෙතන වැඩ කරන්න ඇවිත් ටික කාලෙට වුණත් තමුසෙ දැනගන්න ඇතිනෙ. තමුසෙ දැන් බැන්නෙ මගෙ නංගිට. ඒ නිසා ටිකක් පරිස්සමින් ඉන්නවා..."

"මලී අක්කා...."

ඇඟිල්ලක් උළුක් කරගෙන නුවනි අක්කට බනින මලීෂා අක්කාගෙ අතේ මම එල්ලුණේ රණ්ඩු වෙන එක නවත්වන්න කියන්න. ඒත් මලී අක්කා මාව සත පහකටවත් ගණන් ගත්තෙ නෑ...

"මන්දාකිණී ඔයා කටවහන් ඉන්න. මුන් හැමදාම අහිංසකයින් දැක්කම තලලා පෙළලා දාන උන්. මුන්ගෙ රෙදි ගැලවෙන්න කතා කරන්න ඕනා."

"අනේ මලී අක්කා..."

"ඉඳපන් මන්දාකිණී... නුවනි, ඇයි තමුසෙ මන්දාකිණීව තනියම අල්ල ගත්තෙ? ඇයි රෙස්ට් රූම් එකේදි කතා කරන්න බැරි? අපේ අනිත් සෙට් එකත් ඉන්න තැන. ඇයි බැරි? නුවනි, ඇයි බැරි...?"

"ඒකෙන් තමුසෙට වැඩක් නැහැනේ..."

"තමුසෙ ඒකට උත්තර නොදී මඟ ඇරියට මම දන්නවා උඹට ඒක කරන්න බැරි ඇයි කියලා... ඒ එතන ඉන්න කවුරුත්ම උඹට බය නැති නිසා. උඹේ ජරා වැඩ දන්න නිසා. ඒකයි උඹ මේ අහිංසක කෙල්ලව පාගලා දාන්න අපි කවුරුත්ම නැති තැනක් තෝර ගත්තේ. සිහින සර් මට කෝල් කරලා නිමේෂ්ට පණිවිඩයක් කියන්න කිව්වෙ නැත්නම් මම මෙතැනට මේ වෙලාවෙ එන්නෙ නෑ. මම නාවා නම් උඹ මේ කෙල්ලව තවත් මානසිකව වට්ටනවා. වරෙන් යන්න අපි හැමෝම ඉන්න තැන කතා කරපන් නුවනි. වරෙන් යන්න රෙස්ට් රූම් එකට!"

"මලී අක්කා.. දැන් ඇති මලී අක්කා... අනේ එන්න අපි යමු…."

"මන්දාකිණී කට වහපන්."

"මලීෂා උඹ දැන ගනින්, මේ නුවනිට කරන්න බැරි දෙයක් Dream T.V එක ඇතුළෙ නෑ.. ඒ නිසා උඹ වගේම උඹලගෙ මහ ලොකු චූටිවත් ආරක්ෂා කර ගනින්..."

"ඇයි උඹ මොනා කරන්නද නුවනි....?"

"කරපු දේ කරපුවාම බලා ගනින් මලීෂා..."

අපි දෙන්නට පිටුපාලා හැරිලා ගිය නුවනි ආයෙත් නැවතිලා අපිට ඔරවලා කියලා ගියා.

"ඇයි අක්කා.. ඔයා රණ්ඩුවට ගියෙ....?"

"උඹත් වහපන් කට. උඹ හැමදාම දන්නෙ අඬන්න විතරනෙ. ඒ නිසා මේ ගැන වචනයක් මාත් එක්ක කතා කරන්න එපා. වරෙන් යන්න. නිමේෂ්ට පණිවිඩයක් කියන්න කියලා ඩ්‍රීමා කිව්වා."

******* 

"නුවනි ඕක ලේසියෙන් අත අරින එකක් නෑ මලීෂා..."

"ඒකි මට මොනවා කරන්නද නිමේෂ්?"

"ඒකි රශ්මි මිස්ගෙ ළඟම නෑ වෙන කෙනෙක්. ඕකිව මෙතැනට ගෙනාවෙත් රශ්මි මිස්..."

"මම කිව්වා නිමේෂ් අයියා රණ්ඩුවට යන්න එපා කියලා මෙයාට. ඒත් මෙයා එවලේ මාව ගණන් ගත්තෙවත් නෑ. ඔහේ එයාගෙ කේන්තිය නිවෙනකන් කියවන්න ඇරලා අහන් හිටියා නම් ඉවරනෙ."

"චූටි මේ... මලීෂා කරපු දේ හරි. කෑ නොගහ හිටියා නම් ඕකිගෙ ලොකුකම ඔළුවට ගහනවා."

"ඒත් එයා මලී අක්කට මොනා හරි කළොත් ටෙෂා අයියා...?"

"අයියෝ... චූටි මොනවා කියලා කරන්නද? වැඩිම වුණොත් ජොබ් එකෙන් අස් කරයි. එහෙම වුණොත් මලීෂා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපි ඉන්නවා."

"නෑ බන් ටෙෂා, අපේ ඩ්‍රීම් එච්චර මෝඩ නෑ..."

"ඒ කිව්වෙ තරිඳු?"

"මේකයි ටෙෂා, ඩ්‍රීම් දන්නවා මෙතන වැඩිපුර ටැලන්ට් තියෙන්නෙ මලීගෙද නුවනිගෙද කියලා. ඩ්‍රීම් කවදාවත් චැනල් එකට පාඩු දෙයක් කරන්නෑ. ඒක මට හොඳටම විශ්වාසයි. ඒ නිසා ඕකට බය වෙන්න දෙයක් නෑ."

ආයෙමත් උදේ වෙච්ච සිද්ධිය ගැන කතාව ඇදිලා ආවෙ හවස ටී ටයිම් එකේදි. කට්ටිය කිව්ව විදියට නම් මලී අක්කට ප්‍රශ්නයක් වෙන්නෑ. ඒත් මගෙ හිතට හුඟක් ලොකු බයක් දැනුණා. කවුරු මොනවා කිව්වත් ඒ බය නැති වුණේ නම් නෑ..

"චුට්ටයි, මලීටයි ඩ්‍රීම් එන්න කිව්වා.."

"ඒ මොකටද චන්ද්‍රසිරි අයියා..?"

"දන්නෑ මලී නංගි.."

"ඩ්‍රීම්ගේ මූඩ් අවුට්ද?"

"එහෙමමත් පේන්න නෑ. ටිකක් විතර තරහා ගිහින්.."

"හරි චන්ද්‍රසිරි අයියා. අපි එන්නම්..."

චන්ද්‍රසිරි අයියා මේ චැනල් එකේ මුල් කාලෙ ඉඳලා ඉන්න කෙනෙක්. එයා මේකෙ කැමරාමන් කෙනෙක්. තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන, කා එක්කත් හොඳින් ඉන්න අවංක මනුස්සයෙක්. කවුරුත් චන්ද්‍රසිරි අයියට හුඟක් ගරු කළා.

"ඇයි දන්නෑ නේද එන්න කිව්වෙ අක්කා?"

"අනේ මන්දා චූටී. මෙතන ඉඳන් අංජනම් බලන් නැතුව වරෙන් යන්න."

එතන ඉන්න හැමෝම තුෂ්ණිම්භූත වෙලා බලන් ඉද්දි මලී අක්කා මාවත් ඇදගෙන රෙස්ට් රූම් එකෙන් පහළට බැස්සා.

චණ්ඩියා වගේ ඉස්සරහින් යන මලී අක්කව දැක්කම මට ඇති වුණේ ලොකු සහෝදර කමක්. කොහේවත් ඉන්න කෙල්ලෙක්ව එයාගෙ නංගියෙක් කියලා මෙතැනට ගෙනල්ලා, ඒ කෙල්ලව ආරක්ෂා කරන්න බැඳීලා. අද ඒ කෙල්ල හින්දා ප්‍රශ්නත් ඇති කර ගත්තා. මේ හැම ප්‍රශ්නයක්ම මම නිසානෙ.

"සොරි මලී අක්කා..."

"සොරි... ඇයි?"

"ඔයා මේ හැම දේකටම පැටලුණේ මන් හින්දනේ..."

"අනේ... උඹට පිස්සුද? උඹ මගෙ නංගිනෙ. නංගිගෙ ප්‍රශ්න වලට අක්කා පැටලෙන් නැතුව කවුරු පැටලෙන්නද? පිස්සු කියවන්නෙ නැතුව හොඳ හුස්මක් අරන් බැණුම් අහන්න බලන් දෙන්නම ඇතුළට යමු."

"එක්ස්කියුස් මී සර්......."

"ආ... එන්න දෙන්නම ඇතුළට මලීෂා.."

"තැන්ක්ස් සර්..."

"වාඩි වෙන්නකො ඔතනින්... ඔයාලා දන්නවද මම එන්න කිව්වෙ ඇයි කියලා?"

"අනේ නෑ සර්......"

"මේකයි... මම මලීෂාට එන්න කිව්වෙ සතුටුදායක ආරංචියක් කියන්න.."

මලී අක්කට මගෙ මූණ දිහා බැලුණේ ඉබේටම. මටත් හුඟක් පුදුම හිතුණා. අපි දෙන්නම බලාපොරොත්තුවෙන් ආවෙ මේ දේ නෙමෙයි.

"අහන්නෙ නැද්ද මොකක්ද සතුටුදායක ආරංචිය කියලා? මොනවද දෙන්නා කල්පනා කරන්නෙ...?"

"මු….මුකුත් නෑ......සර්...., මොකක්ද සර් සතුටුදායක ආරංචිය...?"

"මලීෂාට මතකද අපි ට්‍රිප් එකක් යන්න කතා වුණා? ඔන්න මම ඒක ඕගනයිස් කළා. හරියටම තව මාස දෙකකින් අපි හැටන් යනවා. මේක හැමෝටම සතුටුදායක ආරංචියක් කියලා මම හිතනවා....."

"ආනේ.... ඇත්තමයි සර්! හුඟක් සතුටු හිතෙයි මේක අහපුවම ඔක්කොටම. අපි හැමෝම මේක ගැන කතා කර කර උන්නෙ. අපි සර් එක්ක කතා කරන්නයි හිටියෙ."

"දැන් හරිනෙ මලීෂා. ඔයා නිමේෂ් එක්ක එකතු වෙලා ඒ සේරම සංවිධානය කරන්න. එතකොට මම මිස් රත්නායකට එන්න කියපු හේතුව දන්නවාද?"

"නෑ... නෑ... සර්...."

මලී අක්කගෙ මූණ ඇඹුල් වෙනවා මම හොරැහින් දැක්කා. ඔයා විතරක් නෙමෙයි මලී අක්කේ, මමත් හුඟක් අවුල් වෙනවා නපුරා මට සර්නේම් එකෙන් කතා කරද්දි.

"සමෙත් ඔයා කියන්න."

නපුරට එහා පැත්තෙ පුටුවෙ ඉඳගෙන ෆයිල් එකක් පෙරළ පෙරළ හිටිය සමෙත් සර්ට නපුරා කිව්වා. එයා කිව්වම කට ගෙවෙනවද දන්නෑ.

"මේකයි මන්දාකිණී.... අවුලක් ගන්න එපා. හෙට ඉඳන් ඔයා 'සුවසරණ' ප්‍රොග්‍රෑම් එක කරන් නෑ."

"ඒත් සමෙත් සර් ඇයි ඒ? මන්දාකිණී ඒක හොඳට කරනවනෙ. අනික මන්දාකිණී ඒක කරන්න ගත්තට පස්සෙ ඒකට හුඟක් ප්‍රතිචාර තියෙනවා."

"වෙන්න පුළුවන්, ඒත් ඒක මේ සිහිනගෙ තීරණයක් මලීෂා."

"එත් සර්...!"

"මලීෂා.. මම එකපාරක් කිව්වා...!"

"කමක් නෑ මලී අක්කා. ඒක නුවනි අක්කා කරයි."

"නුවනි.... ඔයාට පිස්සුද මන්දාකිණී? නුවනිට ඒක කරන්න බෑ. ඒක එයා හොඳට අනනවා.."

"එහෙනම් සමෙත් සර්?"

"අදින් පස්සෙ 'සුවසරණ' කරන්නෙ මලීෂා. අද ඉඳන් මන්දාකිණී ළමා වැඩසටහන් වලට දාලා.. ඒක මන්දාකිණීට ප්‍රශ්නයක් නෑනෙ.....?"

"අනේ නෑ සමෙත් සර්. කිසිම ප්‍රශ්නයක් නෑ...."

"Ok එහෙනම් දෙන්නම යන්න.. ගිහින් නිමේෂ්ට මම එන්න කිව්වා කියන්න."

"හොඳයි සිහින සර්..."

නපුරු උගුඩුවගේ තීරණේ දෝතටම අරගෙන මායි මලී අක්කයි ආපිට හැරුණා..... ඒත් අපිට එන්න හම්බුණේ නපුරගේ රූම් එකේ දොර ළඟට විතරයි. දොරෙන් ඇතුල් වෙන්න ආපු කෙල්ලෙක්ගෙ ඇඟේ මාව හැප්පුණා... හැප්පුණේ කවුද කියලා බලන්නත් කලින් ටකරමකට ගල් ගහනවා වගේ ඒ කෙල්ල මට බනින්න්න පටන් ගත්තා.

"කොහෙද හලෝ යන්නෙ? ඇස් පේන්නෙ නැද්ද? නැත්නම් තමුසෙට පිස්සුද?"

"සො... සොරි මිස්.."

"සොරි! තව හැප්පිලා සොරි කියන්නත් එනවා.. තමුසෙ දන්නවද මම කවුද කියලා...?"

ටිකක් විතර තලෙලු පාට, මලී අක්කගෙ වයසෙ වගේ හිටිය කෙල්ලට කිසිම හැදියාවක් නම් තිබුණේ නෑ. දණහිස්සෙනුත් උඩට තිබ්බ කොට සාය මහන්න රෙදි යාරයක්වත් යන්න නැතුව ඇති. ඒක දැක්කම මට මතක් වුණේ දවසක් ගවුම උඩ දාගෙන නිදියන් ඉද්දි මලී අක්කා මට කෑ ගහපු හැටි. හුඟක් හීනි පටි තියෙන ටී ෂර්ට් එකට ඇගේ භාගයක්ම පේනවා. රතුම රතු පාටට තොල් පාට කරලා මූණ වටේම මේකප් දාගෙන හිටිය ඒ කෙල්ලගෙන් පෙනුණේ හුඟක් සරාගී බවක්. හරියට විකාරයක් වගේ.

ඒ කෙල්ලට පිටිපස්සෙ හිටිය නුවනි අක්කාව දැක්කමයි මලී අක්කා මට කියලා තියෙන ඒවයි අනුව මට නිකමට හිතුණේ "මේ නම් රශ්මි මිස්" කියලා. මොනා නැතත් අක්කයි නංගියි දෙන්නා නම් තකට තක. රශ්මි මිස්ගෙ පිටිපස්සෙ හිටිය නුවනි අක්කා රශ්මි මිස්ගෙ කනට කරලා මොනවද කිව්වෙ මට රවන ගමන්.

"ආ...... එතකොට මෙයාල ද මේ මහ ලොකු චණ්ඩි...?"

"ඔව් රශී අක්කා... මෙයා තමයි මලීෂා. මේ මන්දාකිණී.. මෙයාලට හැමෝම කියන්නෙ චූටි කියලා.."

"ඇත්තටම....? චූටි දන්නවද මම කවුද කියලා…?"

"නෑ... නෑ... මිස්.."

"මම තමයි මේ චැනල් එකේ අයිතිකාරයගේ අනාගත බිරිඳ."

මගෙ වටේ කැරකි කැරකි රශ්මි මිස් කියද්දි මට ඉබේටම බැලුණේ නපුරා දිහා. මෙච්චර ලස්සන කොල්ලෙක් වෙලත් මේ වගේ උරචක්‍රමාලයක් එල්ල ගත්තෙ මොකටද දන්නෑ..

රශ්මි මිස් මොනවා කිව්වත් නපුරා වචනයක්වත් කිව්වෙ නෑ. එයාගෙ ගර්ල් ෆෙන්ඩ් නිසා වෙන්න ඇති. මම නපුරා දිහා බැලුවෙ හුඟක් තරහා ගිහින්. ඒ හින්දද කොහෙද නපුරට කතා කරන්න කට ඇරුණේ..

"රශ්මි, ඔයාට කවුද මෙහෙට එන්න පාර කිව්වේ...?"

"ඩාලින්... මට මෙහෙට එන්න කවුරුත් පාර කියන්න ඕනා නෑනේ.."

රශ්මි මිස් ගිහින් නපුරගෙ පුටුවේ ඇන්ද උඩින් ඉඳගෙන නපුරගෙ අතින් අල්ල ගත්තා. පිරිමි දෙන්නෙක් ඉන්න තැන හැසිරෙන කැත. වැහෙන්න ඕනා සේරම ඇරගෙන.

නපුරා මට කොච්චර වෙනස්කම් කළත්, ඒ දේවල් වලට මට කොච්චර දුක හිතුණත් රශ්මි මිස් නපුරට මෙච්චර ළං වෙලා ඉද්දි දැනෙන දුක අර හැම දුකක්ම යට කරගෙන මගෙ ඇස් අගට කඳුළු අරගෙන ආවා. කාටත් හොරෙන් ඇස් අගට ලේන්සුව තියලා තද කර ගත්තත් නපුරගේ ක්ෂණික බැල්මකට මගෙ කඳුළු අහු වුණා..

"රශ්මි, චුට්ටක් එහාට වෙලා කතා කරන්න. මේ ගෙදර නෙමෙයි. අනික නාඩගම් නටන අයට මම අකමැතියි කියලා ඔයා දන්නවනෙ.."

"මම මොකටද එහාට වෙන්නෙ? මම ඔයාගේ අනාගත බිරිඳ."

"ඉතින් ඒක අඬබෙර ගහලා කියන්න ඕන නෑනෙ රශ්මි..."

"ඔයාට නැති වුණාට, මට ඕනනේ සිහින."

සමෙත් සර්ට අමුතු හිනාවක් යනවා මම දැක්කා. ඒ හිනාව රශ්මි මිස් දැක්කෙ නෑ. ඒක දැක්ක නම් මෙතන ඉඳලා ඉවරයි. ඒ හිනාව රශ්මි මිස්ට හින්ට් එකට කියලා මට හොඳට තේරුණා. ඒ කියන්නෙ රශ්මි මිස්ව මේ හැමෝටම විහිළුවක්.

"හරි එහෙනම්, හුඟ කාලෙකින් ආව හේතුව කියන්නකො..."

"ඔයාගෙ මෙන්න මේ මහ ලොකු නිවේදිකාවෝ දෙන්නා, මගෙ නංගිට බැනලා තියෙනවා. මේක ඇතුළෙදි මගෙ නංගිට බනින්න කාටවත් අයිතියක් නෑ."

"ඔයා ඔය වගකීමෙන්ද කතා කරන්නේ රශ්මි?"

"මම දන්න වගකීමක් නෑ ඩාලින්, ඒත් මේකට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕනා."

"මලීෂා, මිස් රත්නායක, ඔයාලා මොකද ඔතන? මේ ප්‍රශ්නෙට ඔය දෙන්නත් සෘජුවම සම්බන්ධයිනෙ. එන්න මෙතැනට."

නපුරා අපි දෙන්නට කතා කරාම අපි දෙන්නට මූණෙන් මූණ බැලුණා. අපි දෙන්නගෙම හිත ඇතුළෙ තියෙන බය ඒකෙන් හොඳට තේරුණා... නුවනි අක්කා මන් දිහා බැලුවේ "ඇතිද උඹට" කියනවා වගේ බැල්මකින්. මට නපුරා සර්නේම් එකෙන් කතා කරද්දිත් නුවනි අක්කා මූණෙ තිබ්බ හින්ට් හිනාව තව තවත් වැඩි වුණා.

"එකපාරක් කිව්වම එනවලා මාව යකා අවුස්සන්නෙ නැතුව....!"

නපුරගෙ සද්දෙට අපි දෙන්නව විතරක් නෙමෙයි සමෙත් සර්වත් උඩ විසි වුණා. ඇයි දෙයියනේ කවදාවත් බලාපොරොත්තු වුණේ නැති දෙයක්නේ. නපුරට තරහා ගියාම හැටි අපිට වඩා සමෙත් සර්ලා දන්නවා ඇතිනෙ. ඒකයි ඒ තරමටම සමෙත් සර් කැළඹෙන්නෙ ඇත්තෙ..

"සිහින... උඹට..."

"සමෙත් පොඩ්ඩක් උඹත් කටවහගෙන හිටහන්. මට මේක විසඳගන්න දීලා..!"

"අන්න හරි ඩාලින්.... මුන්ව අස් කරලම දාන්න....!"

"රශ්මි, තමුසෙත් පොඩ්ඩක් ඉන්නවා."

පුටු ඇන්ද උඩ ඉඳගෙන නපුරගෙ අතකින් අල්ලන් හිටිය රශ්මි මිස්ගෙ අතත් ගසලා දාලා නපුරා පුටුවෙන් නැගිට්ටා. කොච්චර බැනුම් අහන්න වෙනවා කියලා හිතුණත්, නපුරා ඒ කරපු වැඩේට නම් මට හුඟක් සතුටු හිතුණා. ඒ ඇයි කියන්න නම් මට තේරුණේ නෑ.

"නුවනි, ඔයාලා අතර වෙච්චි හැමදේම මම දන්නවා. ඔයාලා හිතන්න එපා මම මේ රූම් එකට වෙලා ඇස් කන් පියාගෙන ඉන්නවා කියලා. මම හොඳ සිහිබුද්ධියෙන් ඉන්නෙ. මේ චැනල් එක ඇතුළෙ වෙන හැම දෙයක්ම මම දන්නවා. දැන් රශ්මිවත් එක්කන් ආවේ සාධාරණේ ඉෂ්ඨ කර ගන්නනෙ. එහෙනම් අපි දැන් සාධාරණේ ඉෂ්ඨ කරමු."

"ඩාලින් මම කියන්නෙ, ඔයා මේ නැට්ටිච්චියෝ දෙන්නව අස් කරන්න ඕනා.."

"රශ්මි, කටවහනවා. මේක මගේ චැනල් එක. මෙතන වැඩ කෙරෙන්නෙ මට ඕන විදියට මිසක් තමුසෙට ඕනා විදියට නෙමෙයි."

සමෙත් සර්ට ආයෙත් හින්ට් හිනාවක් ගියා. ඒ හිනාව නපුරා දැක්කත් සමෙත් සර්ට මුකුත්ම කිව්වෙ නෑ.

"සමෙත්..."

"සිහින.."

"අපි මිස් රත්නායකව ළමා වැඩසටහන් වලට දැම්මා නේද?"

"Yes සිහින."

"ඒක කැන්සල්. අද ඉඳන් නුවනි කරපු හැම ප්‍රෝග්‍රෑම් එකක්ම මිස් රත්නායක කරයි. නුවනිව අද ඉඳන් ළමා වැඩසටහන් වලට මාරු කරන්න."

"ඒත් ඩාලින්.....?"

"රශ්මි, ඔයාට ඕන වුණේ සාධාරණේ ඉෂ්ඨ වෙන්නනේ. දැන් මම සාධාරණේ ඉෂ්ට කළා.. ඒත් මේත් නෑ. මම කිව්වනේ මෙතන වැඩ වෙන්නෙ මට ඕන විදියට. මෙයාලා අතර වෙච්ච හැමදේම මම දන්නවා. ඒකට නියම විසඳුම මේක. මේකත් හොඳ වැඩියි. හරිනම් අස් කරන්නයි ඕනා, ඒත් ඔයා නිසා මට ඒක කරන්න බෑ."

"ස…සර්..!"

"ඇයි මිස් රත්නායක?"

"සර්.. නුවනි අක්කාට එහෙම කරන්න එපා. එයා කරපු ප්‍රොග්‍රෑම් එයාට දෙන්න."

"මිස් රත්නායක, ඔයා කවුද මගේ තීරණ වෙනස් කරන්න? මන් ගන්න තීරණ වෙනස් කරන්න කාටත් බෑ."

"සිහින මම යනවා. මගේ නංගිව මුන් ඉස්සරහා බාල්දු කළාට ඔයාට හුඟක් දුක් වෙන්න වෙයි. මේ රශ්මි කවුද කියලා එදාට බලාගන්න....!"

"මේ සිහින කාටවත් බය ඇති මිනිහෙක් නෙමෙයි රශ්මි."

යන්න හැරුණු රශ්මි මිස් ආපහු ඇවිත් මන් ළඟ නැවතුණා..

"අපි එළියෙදි බලා ගමු චූටි......."

ඇඟිල්ලක් උළුක් කරලා මට එහෙම කියලා රශ්මි මිස් ගස්සගෙන යන්න ගියා. රශ්මි මිස් ගියාට පස්සෙ අපි නපුරා දිහා බැලුවෙ හොඳටම බය වෙලා. ඊළඟට බැනුම් බකට් එක අපිටනෙ.

"මොකද ඔතන? යන්න ගිහින් නිමේෂ්ටයි, ටෙෂාන්ටයි එන්න කියන්න."

මටයි මලී අක්කාටයි කාමරේ දොර ඇඟිල්ලෙන් පෙන්නලා නපුරා කම්පියුටර් තිරේට ඔළුව ඔබා ගත්තා. නපුරගෙ රූම් එකෙන් එළියට ආවම තමයි අපි දෙන්නගෙ උඩට අරගෙන තිබ්බ හුස්ම පහළට වැටුණේ.

"ඈ.... බන්, ඩ්‍රීම් කොහොමද නුවනියි අපියි අතර වෙච්ච සිද්ධිය දන්නෙ...?"

"අනේ මන්දා මලී අක්කා.. මටත් හරි පුදුමයි.."

"ඒ කියන්නෙ මේක ඇතුළෙ ඩ්‍රීන්ට කේලම් කියන උනුත් ඉන්නවා. හැබැයි කියපු එකා ඇත්තම කියලා තියෙනවා මන්දාකිණී, ඒකයි කියපු එකාගෙ හොඳේ…!"

****** 

"අම්මි ..... මේ තමයි මම අර කිව්ව ගර්ල්. මෙයා මිස් රත්නායක. මිස් රත්නායක, මේ මගෙ අම්මී."

"ඇයි පුතා මේ ලස්සන කෙල්ලට නමක් නැද්ද? සර්නේම් එකෙන් කතා කරන්නේ. ඔයා දැන් හරියට නරක් වෙලා පුතා. ඇත්තමයි. දුවගෙ නම මොකක්ද දුව?"

"මන්දාකිණී."

"මැඩම්."

නපුරාගෙ රූම් එකේ හිටියෙ මමයි, නපුරයි, නපුරගේ අම්මයි විතරයි. මට මොකට එන්න කිව්වාද මන්දා. මට නපුරු පාට් දැම්මට අම්මගෙ හුරතලා වගේ. හුරතල් පෙන්නන්න තිබ්බා දවසක් ඇවිත් මෙතන වෙන දේවල් හොරෙන් බලන් හිටියා නම්. මම දවසට කී පාරක් බැනුම් අහනවද කියලා.

"බලන්න පුතා, මෙච්චර ලස්සන නමක් තියෙද්දිනෙ ඔයා මේ සර්නේම් එකක් කියන්නෙ. ඕක කියන්න අමාරු නැද්ද ඔයාට? අනික මෙතන වැඩ කරන වෙන කිසිම කෙනෙක්ට ඔයා එහෙම කතා කරනවා මම දැකලා නෑ. ඔයා දැන් හරියට නරක් වෙලා පුතා."

"අනේ මම නරක නෑ අම්මි. කෙනෙක් මාව නරක් කරනවා. එයාව දැක්කම මට නරක් වෙන්න හිතෙනවා.."

"රශ්මි දුව තමා ඔයාව නරක් කරන්නෙ."

"අම්මට ඕන එකක් හිතා ගන්නකො..."

"ඔව්... කොහොමටත් දැන් මට ඔයා ගැන හිතන්න වෙනවා. ඔයාගෙ හැසිරීම දැන් අන්තිමයි. මෙලෝ සිහියක් නෑ. මම හුඟ දවසක ඉඳලා බලාගෙන ඉන්නෙ ඔයාගේ හැසිරීම දිහා."

"අනේ අම්මී.... අපි ඕවා පස්සෙ කතා කරමු. දැන් ආව වැඩේ ගැන කතා කරමුකො."

"ඔයා මම ඔය ගැන අහන හැම වෙලේම මඟ අරිනවා පුතා."

"අනේ අම්මි...!"

"හරි හරි... මම ඔයාව අල්ලගන්නම්කො පුතා. දැන් ආපු වැඩේ කරමු."

"Ok මිස් රත්නායක, මේකයි. Dream T.V. පෝයට මේ සැරේ ලොකු පින්කමක් කරනවා. ඒක කරන්නෙ ආබාධිත රණවිරුවො වෙනුවෙන්. එදාට ඒ අය වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට මූලිකත්වය ගන්නෙ අපේ අම්මා. අපි පින් කරන්න ඕනා ප්‍රසිද්ධියට නෙමෙයි තමයි. ඒත් අරමුදලක් පිහිටවනවා නම් අනිවාර්යයෙන්ම ඒකට ප්‍රසිද්ධිය අවශ්‍යයි. ඒක නිසා පෝයදාට දවස පුරා තියෙන සීල ව්‍යාපාරයයි, බෝධි පූජා පින්කමයි අපේ චැනල් එකේ සජීවීව දෙනවා. ඒකෙ නිවේදන භාර දෙන්නයි මම මිස් රත්නායකට එන්න කිව්වෙ. මිස්ට ප්‍රශ්නයක් එහෙම නෑනේ?"

"නැහැ සර්."

"OK මම නිමේෂ්ටයි, ටෙෂාන්ටයි දැනුම් දුන්නා. එයාලා ඉතුරු වැඩ බලාගනියි. එදාට අපේ චැනල් එකේ හැමෝම සිල් ගන්නවා. එහෙම බැරි නම් වෙනත් විදියකින් හරි මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ වගේම තවත් විශේෂත්වයක් තියෙනවා. එදාට මිස් රත්නායක එක්ක වැඩ සටනත කරන්න එන අනික් නිවේදකයා අලුත් කෙනෙක්. එයාව එදාට අඳුනගන්න ලැබෙයි."

"හොඳයි සර්..."

"අම්මි, ඔයාට ප්‍රශ්නයක් තියෙනවාද?"

"පුතා, මට දවස් දෙකක් විතර පෝයට කලින් මේ කෙල්ලව පන්සල් එක්කන් යන්න වෙනවා. කමක් නෑනේ..?"

"ඒ මොකටද අම්මි?"

"මගෙ වැඩ ටික පහසුයිනෙ පුතා. පුතා කිව්වනෙ සමෙ‍ත්, නිමේෂ්, මලීෂා ඇරුණාම මේ චැනල් එකේ ඉන්න විශ්වාසවන්තම කෙනා මේ දුව කියලා... අනික දුවටත් ඒ පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් වැඩසටහන කරන්න ලේසි වෙයිනෙ."

"ඒක නම් එහෙම තමා අම්මි. ඒත් මිස් රත්නායක කැමති නම් විතරක් එක්කන් යන්න පුළුවන්..."

"මම කැමතියි සර්. එතකොට මටත් ලේසි වෙයි."

"Ok කවදාද අම්මිට මිස් රත්නායකව ඕනා?"

"පෝය 21 නෙ. මම මේ දරුවට පුතා අතේ කියලා එවන්නම්."

"හොඳයි මැඩම්...."

"Ok මිස් රත්නායක, එහෙනම් දැන් යන්න. ඊළඟ 'සුවසරණ' ප්‍රෝග්‍රෑම් එක..."

"හොඳයි සර්..."

නපුරගෙ කාමරෙන් එළියට ආවම මට දැනුණේ පුදුම සැහැල්ලුවක්. හැමතිස්සෙම ඔරවන ඒ මූණ දිහා බලන්න මට තිබුණේ ලොකු අපහසුවක්.

******* 

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    

Next Episode

  



Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1