සිහින මන්දාකිණී 1 / 5
එතැන ඉඳන් ගෙවිලා ගියේ ටික වේලාවක් වුණාට චැනල් එකේ හැමෝම හුඟක් කාර්යබහුල වුණා. මම කරන 'සුවසරණ' ප්‍රෝග්‍රෑම් එක මලී අක්කට කරන්න කිව්වට ආයෙමත් කැරකිලා ඒක මටම ආවා. සුවසරණ මගෙන් අරගෙන මලී අක්කට දෙන්න නපුරට ඕන වුණේ මොකද මන්දා...
මලී අක්කා මියුසික් ප්‍රෝග්‍රෑම් එක කරලා එනකන් මම රෙස්ට් රූම් එකට ආවා. මම කොයි තරම් ෆ්‍රී එකේ හිටියත් මම හැමදාම මලී අක්කා එනකන් ඉන්නවා. මලී අක්කා ප්‍රෝග්‍රෑම් එක කළේ කාවිංග අයියත් එක්ක. කාවිංග අයියගෙ වැඩේම හැමවෙලේම වගේ එතැනදිත් මලී අක්කව අවුස්සන එක. රෙස්ට් රූම් එකේ ජනේලෙ අයිනෙ තිබ්බ ටේබල් එකෙන් ඉඳගෙන මම T.V. එක දිහා බලාගෙන හිටියා. මට එහායින් නුවනි අක්කයි, තවත් කෙල්ලෝ දෙන්නෙකුයි ඉඳගෙන ඉන්නවා දැක්කත් මම ඒ පැත්ත බැලුවේ නෑ. නිකන් හරි නුවනි අක්කා එදා වගේ මගෙ ඇඟට කඩන් පැන්නොත් කියලා මට බය හිතුණා.
කවුරුහරි මගෙ උරහිසට අත තියනවා දැනිලා මාව ගැස්සිලා ගියා. මම බලාපොරොත්තු වුණේ අපේ සෙට් එකේ කෙනෙක් වුණත් එතැන හිටියේ ඩොක්ටර් අසංක.
"ඩො... ඩොක්ටර්... ඔයා..?"
"මන්දාකිණී බය වුණා නේද?"
"නෑ... නෑ... ඩොක්ටර්.."
"නැත්තෙ කොහෙද…? ඔය තාමත් මූණ රතුවෙලා..."
"මම ඩොක්ටර්ව මේ වෙලාවේ බලාපොරොත්තු වුණේ නෑ..."
"එහෙනම් කාවද බලාපොරොත්තුවෙන් හිටියෙ..?"
මට ඉස්සරහා තිබ්බ පුටුවෙන් ඉඳගන්න ගමන් ඩොක්ටර් මගෙන් ඇහුවේ අමුතු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට මොන වගේ උත්තරයක්ද ඩොක්ටර් බලාපොරොත්තු වුණේ කියලා මට හිතාගන්න බැරි වුණා.
"මන්දාකිණී.."
"ඩො.. ඩොක්ටර්..?"
"කෝ මම අහපු ප්‍රශ්නෙට උත්තර…?"
"මම බලන් හිටියෙ මලී අක්කා එනකන් ඩොක්ටර්."
"මලී තාම අතනනෙ. ඉතින් කොහොමද එයා එන්නෙ..?"
"මම එයාව තමා බලාපොරොත්තුවෙන් හිටියෙ. ඩොක්ටර් අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් ඒක."
"පොඩි එකා වගේ හිටියට මන්දාකිණීගෙත් කට නේද?"
"අපි උවමනා තැනට කතා කරන්න ඕනනේ ඩොක්ටර්."
"ඒක හරි. ඒක නෙමේ මලීගෙ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න කීය වෙනවද?"
"6.30 වෙනවා."
"එහෙනම් ඔයාලා ගෙදර යද්දි පරක්කු වෙනවා ඇති නේද?"
"එච්චරමත් නැහැ, 8.00.. 8.15 විතර වෙද්දී ගෙදර."
"මන්දාකිණී..?"
"ඇයි ඩොක්ටර්?"
"මට ඩොක්ටර් කියන්න එපා. මට අසංක කියන්න.."
"ආනේ... එහෙම කොහොමද? එතකොට මට ප්‍රෝග්‍රෑම් එකේදිත් අසංක කියවෙයි."
"එහෙම වෙන්නෙ නෑ මන්දාකිණී."
"අනේ මට බෑ ඩොක්ටර්, මම ඩොක්ටර් කියලම කතා කරන්නම්."
ඩොක්ටර් අසංක චුට්ටක් මගෙ මූණ දිහා බලන් ඉඳලා යාන්තමට හිනා වුණා. ඒ හිනාව ලස්සන වුණාට නපුරගෙ හිනාවේ තරම් ලස්සනක්, පිවිතුරුකමක් මම ඒ හිනාවෙන් දැක්කේ නෑ. ඩොක්ටර් අසංක එන විදිය හොඳ නෑ කියලා මට තේරුණේ ප්‍රෝග්‍රෑම් එක කරපු පළවෙනි දවසෙමයි. මලී අක්කට කිව්වම මලී අක්කා නම් හිනාවෙලා "අපි බලමුකො නංගි" කියලා කිව්වා. මනුස්සකමට කතා කරාම කතා නොකර බැරි කමට කතා කළා මිසක් නැත්නම් කතා කරන්න මට ආසාවක් තිබ්බේ නෑ.
"මන්දාකිණි.... මොනවද කල්පනා කරන්නෙ?"
"අනේ... මොකුත් නෑ ඩොක්ටර්...."
"ඔයාට හිතෙන්නෙ නැද්ද මන්දාකිණී 'ඩොක්ටර්' කියලා කතා කරද්දි අපි දෙන්න හුඟක් දුරයි කියලා? නෑ මෙ... මේ... මන් කිව්වේ යාළුවො විදියට."
"එහෙම දෙයක් නැහැ ඩොක්ටර්. යාළුකම තියෙන්නේ කතා කරන වචන වලවත්, කරන ක්‍රියාවෙවත් නෙමේ, හදවතේ. ඒක නිසා ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ඒක බාධාවක් නෙවේ. අනික අපේ අම්මා මට කියලා දීලා තියෙනවා 'පිදිය යුත්තන් පුදන්න' කියලා.."
"නිහඬ චරිතයක් වුණාට මන්දාකිණී හරි පණ්ඩිතයි වගේ..."
ඩොක්ටර් අසංක කියපු කතාවට මම උත්තර දුන්නේ හිනාවකින්. ඒකට උත්තර දෙන්න ගියා නම් මේ කතාව තවත් දිගට ඇදිලා යනවා කියලා මට තේරුණා.
"ඒ පාර සද්ද නැහැ... මොනවා හරි කියන්නකො මන්දාකිණි."
"මොනවද ඩොක්ටර්ට දැන ගන්න ඕනා...?"
"මන්දාකිණීගෙ පවුලෙ විස්තර කියන්නකො එහෙනම්...."
"මට ඉන්නෙ අම්මයි, අප්පච්චියි විතරයි. සහෝදර සහෝදරියෝ නෑ. අප්පච්චි හිරේ. ඒකට හේතුව මම දන්නෙ නෑ. ඒත් අප්පච්චි සාධාරණ, අභිමානවත් මනුස්සයෙක් කියලා නම් දන්නවා. ඒ ඇරුණම මට ලෝකෙ තනි නොතනියට ඉන්න එකම කෙනා මලී අක්කා."
මං ගැන මම දන්න පුංචි විස්තරේ කිසිම දෙයක් හංගන්නෙ නැතුව මම ඩොක්ටර් අසංකට කිව්වා. කිසිම කෙනෙක් ළඟ මගෙ අප්පච්චි හිරේ කියන එක හංගන්න මට උවමනාවක් තිබ්බේ නෑ.
"මන්දාකිණි හුඟක් කෙටියෙන් පවුල ගැන විස්තර කළානේ. මමත් එහෙනම් හුඟක් කෙටියෙන් කියන්නම්."
"හා ඩොක්ටර්..."
"මගේ තාත්තා අනුරාධපුරේ ගොවියෙක්. අම්මත් ඒවට උදව් කරගෙන ඉන්නෙ. නංගි කැලණිය කැම්පස් එකේ. අයියා තමයි අපිට උගන්නන්න මහන්සි වුණේ. එයත් ගොවිතැන් කරගෙන ඉන්නෙ. එයා බැඳලා. තවත් කියනවා නම්... ආ.... මම තාම බැඳලා නම් නෑ...."
ඩොක්ටර් අසංක අන්තිම ටික කිව්වේ හරි අමුතු විදියට. ඒකට මට හයියෙන් හිනා ගියා. නුවනිලගෙ ටේබල් එකේ හිටිය හැමෝම හැරිලා බලනවා මම දැක්කත් මට හිනාව පාලනය කර ගන්න උවමනාවක් වුණේ නෑ. මොකද මගෙ මූණට එහෙම හිනාවක් එන්නෙ හුඟක් කලාතුරකින් නිසා.
"ඒයි... ඒයි.. ගෑණු ළමයි ඔහොම හිනාවෙනවද?"
"ඇ… ඇයි, අපිට හිනාවෙන්න තහනම්ද….?"
"අනේ... නෑ. ඇතිවෙන්න හිනාවෙන්න, ඒත්.."
"ඇයි ඒත් කිව්වෙ?"
"මන්දාකිණි ලස්සන හයියෙන් හිනාවෙන කොට නෙමේ. යන්තම් හිනාවෙන කොට.."
"අයියෝ... ඩොක්ටර් කිව්වේ නම් අද දවසේ බොරුව.."
"බොරු නෙමේ ළමයෝ, ඇත්තමයි.."
"එක්ස්කියුස්මී චූටී..."
මම මූණට ආපු හිනාව පිටින්ම පිටිපස්ස බැලුවේ මලී අක්කද කියලා සැකෙන්. ඒත් අපි ඉන්න තැනට ඇවිදගෙන ආවේ නපුරගෙ සෙකට්‍රි ශෂීමා අක්කා.
"ඇයි ශෂීමා අක්කා..?"
"දෙන්නා හොඳට කැකිරි පලනවා නේද?"
"අනේ නෑ ශෂීමා අක්කා.."
"නැත්තෙ කොහෙද බන්? මේ…. මූණේ හිනා එකයි."
"ඔයාට විකාර අනේ..."
ශෂීමා අක්කා ඇවිත් මගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා.
"හරි හරි, මට විකාර වුණාට කමක් නෑ. අන්න ඩ්‍රීම් උඹට එන්න කිව්වා."
"මට..?"
"ඔව් ඉතින් මෙතැන වෙන මන්දාකිණිලා නෑනේ."
"ආයෙත් බැනුම්ද?"
"ඒ වගේ බන්. රතු කට්ට පැනලා. ගිහින් බලපන්. ඩ්‍රීම්ට ඉතින් බැන්නෙ නැත්නම් කෑවෙ නෑ වගේනෙ.."
මම ඩ්‍රීම්ගෙන් කොච්චර බැනුම් අහනවද කියලා දැනගෙන හිටිය එකම එක්කෙනා ශෂීමා අක්කා. මම මොන දේ කොහොම කළත් පුංචි වැරැද්දක් හරි අල්ලන් මට බනින එක නපුරගෙ පුරුද්ද කියලා ශෂීමා අක්කා හොඳටම දන්නවා.
"යමන් ඉතින්, කල්පනා කරන් නැතුව චූටියෝ."
"අපි ගිහින් එන්නම් ඩොක්ටර්..."
"හොඳයි මන්දාකිණි, මමත් දැන් යනවා. අපි ආයෙත් හම්බවෙමුකෝ."
මගෙන් උත්තරයක් ඩොක්ටර් බලාපොරොත්තු වුණා කියලා මට තේරුණත්, ඩොක්ටර්ට හිනාවකින් සංග්‍රහ කරලා මම ශෂීමා අක්කත් එක්ක නපුරගෙ රූම් එක පැත්තට ආවා. නපුරගෙ රූම් එක ළඟට ආවත් ඇතුළට යන්න මගෙ හිත හුඟක් බය වුණා.
"ඇතුළට යන්න ටිකක් බයයි ශෂීමා අක්කේ."
"යමන් බන් ටිකක් බැනුම් අහපන්. ඩ්‍රීම් බැන්නත් සැපයිනෙ බන්. ගිහින් බලපන් මමත් දැන් යනවා.."
"ඔ.. ඔයා යනවද ශෂීමා අක්කා..?"
"ඔව් බන්, දැන් යන්න ඕනා.. අංජු මඟ බලාගෙන ඇති. පරක්කුත් වුණා.. එහෙනම් මම යනවා.."
"හොඳයි ශෂීමා අක්කා.."
මම ශෂීමා අක්කා පේන්නෙ නැති වෙනකන් කොරිඩෝව දිහා බලන් හිටියා. වෙනදා දවසට පස් හය වතාවක්ම නපුරගෙ රූම් එකට ගියත් මට ඒ කිසිම වෙලාවක මෙච්චර බයක් දැනිලා නෑ. ඒත් අද දැනෙන මේ බය මොකක්ද කියලා මට හරියට තේරුණේ නෑ.
මොනවා කරන්නද, මොන වගේ තත්ත්වයක් උදා වුණත් දරාගෙන ඉන්නවා කියලා හිතාගෙන මම නපුරගෙ රූම් එකට ඇතුළු වුණා.
"එක්ස්කියුස් මී සර්."
"මිස් රත්නායක...?"
"සර් මට එන්න කිව්වෙ...?"
"එන්න කිව්වෙ ඇයි කියලා කියන්න ඇවිත් වාඩි වෙනවා."
"ස… ස..ර්.."
"සර් නෙමේ... වාඩි වෙනවා...!"
නපුරගෙ කටේ තිබ්බ සද්දෙට ආයෙත් පාරක් වාඩි වෙන්න කියන්න කලින්ම මාව පුටුව උඩ ඉඳුණා.
"තමුසෙ හිතුවද Dream T.V. කියන්නෙ අනෙක් චැනල් වගේ කෝලම් මඩුවක් කියලා…?"
"ස… සර්.."
"මිස් රත්නායක, තමුසෙ මෙතැනට එද්දි ඇග්‍රිමන්ට් සයින් කළේ ඒකෙ තිබ්බ හැම දෙයක්ම පිළිපදිනවා කියලා. ඒත් දැන් ඒවා අමතක වෙලා වගේ. මට ආයෙම මතක් කරන්න වෙයි වගේ නේද?"
"අනේ... සර්.. ම.. මට අමතක නෑ..."
"අමතක නැත්නම්, මොකක්ද තමුසෙට අසංකයා එක්ක තියෙන ගනුදෙනුව? තමුසෙත් ඉන්න තැන නේද? මම නුවනිට කිව්වේ මම මෙතැන ඉඳන් ඇස් කන් පියන් ඉන්නවා කියලා හිතන්න එපා කියලා."
"ඩොක්ටර් ...."
"කටවහ ගන්නවා! මම සේරම දැක්කා මිස් රත්නායක. මම තමුසෙට එදා කිව්වා මෙතැන කෝලම් නටන තැනක් නෙමේ කියලා. අනික දොස්තරයා කොහොමද රෙස්ට් රූම් එකට යන්නෙ? එතැනට යන්න පුළුවන් මෙතැන වැඩ කරන අයට විතරයි."
"ම.. ම... මම කෝලම් නැටුවේ නෑ සර් ..."
මට කියන්න ශක්තිය ආපු පළවෙනි වතාවෙම මම කිව්වා. ඒත් ඒකෙන් නපුරට තවත් තරහා ආවා. නපුරා ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටලා මං ඉන්න තැනට එද්දි මාව ඉබේටම පුටුවෙන් නැගිට්ටුණා.
"එහෙනම් තමුන් නැටුවේ නාඩගම්ද?"
"ස.. සර්…"
"තමුන් දැන ගන්න ඕනා, අසංක කියන්නෙ අඩුම තරමෙ මෙතැන වැඩ කරන කෙනෙක්වත් නෙමේ. කොහේවත් යන දොස්තරයෙක් හින්දා චැනල් එකට කැත නමක් ගෑවෙනවට මම කැමති නෑ... තේරුණාද? මම මේ නම හදාගත්තේ හුඟක් අමාරුවෙන්. මතක තියා ගන්නවා මෙතැන වෙනස් තැනක්."
මගෙ ඉස්සරහා හිටගෙන ඇඟිල්ලක් උළුක් කරගෙන මට බනින නපුරගෙ මූණ යකෙක් වගේ වියරු වැටිලා තිබ්බා. ඒ මූණේ තිබ්බ හැඟීම් තේරුම් ගන්න ඒ වේලාවේ මට කොහොමත්ම බැරි වුණා.
"තමුන්ට තේරුණාද..?"
"ඔ… ඔව් සර්..."
"මම කැමති නෑ මෙතැන තියෙන නීතිරීතිවලට පිටින් වැඩ කරනවට. කරුණාකරලා ඒක තේරුම් අරන් වැඩ කළොත් හොඳයි. දැන් යනවා, මලී බලාගෙන ඇති."
ඇස් දෙකෙන් වැටෙන කඳුළු පිහදාගෙනම මම ඒ මූණ දිහා බැලුවා. ඒ නපුරු ඇස් දෙක මගෙ මූණෙ තියාගෙන ඔරවගෙන ඉන්න නපුරව දැක්කම මගෙ හිත හුඟක් බය වුණා. මගෙ අසරණකම හින්දනෙ මම හැමදාම බැණුම් අහන්නෙ. මම වගේ වෙන කිසිම සේවකයෙක් ඉවසන එකක් නෑ.
මම රූම් එකේ දොර අරින්න යද්දිම සරාස් ගාලා වීදුරුවක් බිඳෙනවා ඇහුණා. මට නපුරා දිහා බැලුණේ ඉබේටම. නපුරා දකුණු අත අමාරුවෙන් අල්ලන් ඉන්නවා, ඒ අතින් හොඳටම ලේ වැක්කෙරෙනවා. එකපාරට මොකද වුණේ කියලා මට හිතාගන්න බැරි වුණා. මේසෙ වීදුරුව කෑලි කෑලිවලට කැඩිලා තියෙනවා දැක්කම මට සේරම තේරුණා. මාව නපුරා ගාවට දිවවුණේ ඉබේටම.
"අනේ දෙයියනේ.... මොකක්ද මේ කරගත්තේ? හොඳටම ලේත් එනවා. ඇයි සර් කේන්තියට වීදුරුවට ගැහුවේ? ඔච්චරටම මාත් එක්ක තරහ නම් මට ගහන්න තිබුණනේ. නැත්නම් මාව රස්සාවෙන් අයින් කරන්න තිබුණා."
ලේ වැක්කෙරෙන අත තද කරලා අල්ලගෙන නපුරා මට එරෙව්වා. ඇයි දෙයියනේ එයා අත කපා ගත්තට මම පලිද? අතෙන් ලේ වැක්කෙරෙනවා. ඒත් කිසිම ගාණක් නෑ මේ උගුඩුවට.
"කෝ බලන්න සර් ..."
මට නපුරගෙ අතේ තුවාලෙ බලන්න ඉල්ලුවත් මට දුන්නේ නෑ. ඒත් මම බලෙන් ඇදලා ගත්තා. මට ඒ වගේ ධෛර්යයක් ඒ වෙලාවේ කොහෙන් ආවද කියලා මට දැනුණේ නෑ. පළවෙනි වතාවට පිරිමියෙක්ගෙ අතින් ඇල්ලුවත් ඒ අත මට හුඟක් සුපුරුදු විදියට දැනුණා. ඒත් ඒ ඇයි කියලා මට තේරුණේ නෑ. මම නපුරගෙ අතේ තිබ්බ ලේ සේරම මගෙ ලේන්සුවෙන් පිහදැම්මා.
"බලන්න සර්... හොඳටම කැපිලා. ඉන්න මම ෆස්ට් එයිඩ් බොක්ස් එක අරන් එන්නම්."
"ෆස්ට් එයිඩ් බොක්ස් එක මගෙ ලාච්චුවේ ඇති මන්දාකිණී..."
නපුරා 'මන්දාකිණි' කියලා කතා කරද්දි මාව ගැස්සුණා. මෙච්චර දවසක් සර්නේම් එකෙන් කතා කරපු කෙනා එකපාරටම වෙනස් වුණේ ඇයි දන්නෑ. මට නපුරා දිහා බැලුණේ ඉබේටම. නපුරගෙ හුස්ම මගෙ මූණට වැටෙන තරම් අපි ළංවෙලා හිටියේ.
"ස... සර්, ඔතනින් ඉඳගන්න."
මම නපුරට එහෙම කිව්වේ ඒ ඇස් දෙකේ කාන්තිය දරාගන්න බැරි නිසා, ඒ ඇස් මගහරින ගමන්. ඒත් නපුරා ඒ ඇස් මගෙ මූණෙන් ඈත් කළේ නෑ.
"ස.. සර් මෙතනින් ඉඳගන්න. මේ බෙහෙත් ටික දාන්න.."
කළු පාට සෝෆා එක පෙන්නලා මම නපුරට ටිකක් තදින් කිව්වා. එතකොට නම් නපුරා පුටුවෙන් ඉඳගත්තා. මලී අක්කා අරන් දීපු සුදු පාට බ්ලවුස් එක පුරාම හුඟක් ලේ ගෑවිලා තියෙනවා මම දැක්කත්, මට ඒ ගැන ගාණක් වුණේ නෑ..
නපුරා ඉඳගත්ත පුටුව ළඟ මම දණගහලා ඉඳගෙන නපුරගෙ අත ඇදලා ගත්තා. තියෙන හිතුවක්කාරකම, අත දෙන්නෙත් නෑ.. බේත් ටික දාන්න. අනේ මට මේ නපුරු අත එපා. අත බලෙන්ම වගේ ඇදලා අරගෙන මම ආයෙත් පාරක් අතේ පිරිලා තිබ්බ ලේ සේරම පිහදැම්මා. බේත් දානවා කියලා හිතුවට මම හරියට මොනවාද දාන්නෙ කියලවත් දැනගෙන හිටියෙ නෑ. සර්ජිකල් ස්ප්‍රීට් එක ගත්තේ ඉස්සෙල්ලම තුවාලෙ සුද්ද කරනවා කියලා හිතාගෙන. ඒත් නපුරා මගෙ අත තද කරලා අල්ල ගත්තා.
"ඕවා දාන්න එපා..!"
"ඒත් සර්....?"
"මම එපා කිව්වනෙ. ඕවා දානවට මම කැමති නෑ. එතකොට ගොඩක් දනවා. මේකට සර්ජිකල් දාන්න ඕනා නෑ. නිකන් බේත් දාන්න."
කොච්චර නපුරු වුණත් ඒ ටික නම් කිව්වේ පොඩි එකෙක් වගේ. මොනවාහරි වුණාම නම් අර නපුරුකම නැතුව යනවා.
"ඔය ලේ එනවා. ඕක මොකකින් හරි බඳින්න මන්දාකිණි."
නපුරා මට බේත් දාන්න කිව්වත් නපුරා මගෙ අත අතහැරියේ නෑ. අතින් තද කරලා අල්ලගෙන මගෙ මූණ දිහාම බලන් හිටියා.
"ඉතින් මගෙ මූණ දිහා බලන් ඉන්නෙ ඔක්කොම ලේ ටික යනකම්ද? ඕක මොකකින් හරි බඳිනවා.."
නපුරා ආයෙත් කියද්දි මට තේරුණා නපුරා වගේම මමත් නපුරගෙ මූණ දිහා හුඟක් වෙලා බලන් හිටියා කියලා. ලැජ්ජාව වැඩි කමට මට ඉබේටම බිම බැලුණා..
"ස... සර්.... බෙහෙත් දාන්නම්. ඒත් මගෙ අත සර් අල්ලන් ඉන්නකන් මට බෙහෙත් දාන්න බෑනේ..."
මම එහෙම කිව්වම නපුරට ලස්සන හිනාවක් ගියා. ඒ හිනාව මූණේ තියාගෙනම නපුරා මගෙ අත අතහැරියා. මම Dream T.V. එකට වැඩට ආපු දවසෙ ඉඳන්ම නපුරා මාත් එක්ක පළවෙනි වතාවට හිනා වුණේ අද.
"සොරි මන්දාකිණී......"
නපුරා සොරි කිව්වත් මම ඒකට උත්තර දුන්නේ පුංචි හිනාවකින්. ඒ ඇස් දෙක දිහා බලලා කතා කරන්න තරම් මට ශක්තියක් තිබ්බේ නැති නිසා.
නපුරගෙ අතට ලේ නවතින්න බෙහෙත් දාලා හුඟාක් තද වෙන්න බැන්ඩේජ් කළත් ඒ සුදු පාට බැන්ඩේජ් එක වහගෙන ලේ උඩට මතු වුණා.
"සර්....... සෑහෙන්න කැපිලා.. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි."
"කාටද? ඩොක්ටර් අසංකටද..?"
"අනේ සර්..."
මට කියාගන්න හම්බ වුණේ එච්චරයි. හැමවෙලේම වගේ එවෙලෙත් මගෙ ඇස් දෙක උඩට මුලින්ම ආවේ කඳුළු. ඒ කඳුළු පිටින්ම ආපහු එන්න හැරුණත් නපුරා මගේ අතින් තද කරලා අල්ල ගත්තා.
"කොහෙද හොටු පෙර පෙර යන්න හදන්නේ......?"
"ම... මලී අක්කා බලාගෙන ඇති සර්..."
"ඔහොමද යන්නෙ?"
"ඇ... ඇයි සර්...?"
"ඔය ලේ සෝදගෙන යන්න. ඔහොම බස් එකේ යන්න බෑ...."
"මම සෝදගන්නම් සර්..."
"එහෙම බෑනේ.. අනික් අය බලයි මොකද කියලා.. පොඩ්ඩක් ඉන්නවකෝ."
මගේ අතින් ඇදගෙන නපුරා ටෙලිෆෝන් එක ගාවට ඇවිත් කැපුණු අතින්ම අමාරුවෙන් කාටද මන්දා කෝල් එකක් ගත්තා.
"හෙලෝ... සමියා... උඹ වැඩකද ඉන්නෙ? නැත්නම් දැන්ම මලීෂවත් එක්කගෙන මගෙ රූම් එකට වරෙන්...."
"නෑ... නෑ..... බන් අවුලක් නෑ බන්, උඹ වරෙන්කෝ. ආවම කියන්නම්."
ෆෝන් එක තියලා නපුරා මන් දිහා බැලුවේ අමුතු විදියට හිනා වෙලා.
"අනේ සර් ඇයි එයාලට එන්න කිව්වෙ…?"
"ඒක එයාලා ආපුවම බලා ගන්න.."
"හා සර්…"
"අයෑම් සොරි.."
"අනේ මොනවටද සර් මට සොරි කියන්නෙ...?"
"මම ඔයාට බැන්නනේ…"
"කමක් නෑ සර්, මගෙනෙ වැරැද්ද. මම ආයේ ඒ වගේ දේවල් කරන් නෑ."
මොනවා කතා කළත් නපුරා තාමත් මගෙ අත අතහැරලා තිබ්බේ නෑ. මගෙ අප්පච්චි ඇරෙන්න මගෙ අතින් පිරිමියෙක් කියලා පළවෙනි වතාවට ඇල්ලුවේ නපුරා වුණත් ඒ දේට විරුද්ධ වෙන්න තරම් මට උවමනාවක් තිබුණේ නෑ. මගෙ හිත ටික ටික නපුරගෙ පැත්තට ඇදිලා යනවා කියලා මට ඒ වෙලාවේ තේරුණා.
"මම ඔයාට කෑ ගැහුවේ ඔයාගේ හොඳට මන්දාකිණි.. ඔයා ඔය විදියට ඩොක්ටර් එක්ක කතාබහ කරන්නේ නරක හිතකින් නෙමේ කියලා මම දන්නවා. ඒත් බලන් ඉන්න අය එහෙම හිතන් නෑනේ. අපේ නමට පුංචි හරි කළු තිතක් වැදුණොත් ඒ දේ මකන්න කොච්චර හොඳ කළත් බෑ මන්දාකිණි... තේරුණාද?"
නපුරා ගැන හිතේ තිබ්බ පුංචි කේන්තියත් ටිකින් ටික දිය වෙලා යනවා මට තේරුණා. නපුරා හැමදේකටම වඩා මෙතැන වැඩ කරන අයගෙ ආරක්ෂාව ගැන හිතනවා කියලා දැනෙද්දි නපුරා ගැන ඇති වුණේ ලොකු ගෞරවයක්.
"ඔයාට මන් කියන දේ තේරුණාද…?"
"ඔව් සර්.."
නපුරා මොනවා කිව්වත් තාමත් හිටියේ මගෙ අතින් අල්ලගෙන. ඒ අතින් මගෙ අත මුදව ගන්න හිත ලෝභකම් කළත්, අකැමැත්තෙන් වුණත් මට ඒ දේ කරන්න සිද්ධ වුණා.
"ස.. සර්…"
"ඇයි මන්දාකිණී?"
"සර්, මගෙ අත.."
එතකොටයි නපුරටත් තේරුණේ තාමත් ඉන්නෙ මගෙ අතින් අල්ලගෙන කියලා. මගෙ අත හෙමීට අතහැරලා නපුරා ගිහින් නපුරගෙ පුටුවෙන් ඉඳගත්තා. ඒත් එක්කමයි සමෙත් සරුයි, මලී අක්කයි රූම් එකට ආවේ.
මාවයි නපුරවයි දැක්කම සමෙත් සර්ට අමුතු හිනාවක් ගියා. ඒත් ඒ හිනාවේ අර්ථය මොකක්ද කියලා නම් මට තේරුණේ නෑ. ඒත් මලී අක්කා මාව දැක්කම හොඳටම බය වුණා.
"මන්දාකිණි…… මොකද මේ වුණේ? ඇයි මේ ඇඟ හැමතැනම ලේ….?"
මලී අක්කා කෑ ගහද්දි තමයි සමෙත් සර් මගෙ ඇඳුම් වල තියෙන ලේ දැක්කේ.
"සිහින.... මොකද බන් වුණේ…?"
සමෙත් සර් නපුරගෙන් ඇහුවම නපුරා මේසෙ වීදුරුව පෙන්නුවා.
"මේසෙ වීදුරුවට මොකද වුණේ? මන්දාකිණිගෙ ඇඳුම්වල ලේ කොහෙන්ද?"
ඒ පාර නපුරා හංගගෙන හිටිය අත උස්සලා සමෙත් සර්ට පෙන්නුවා.
"මගෙ අත කැපුණා බන්. මට තද වෙලා මේසෙ වීදුරුව කුඩු කළා."
"උඹට මම කිව්වා කියලා හිතා ගනින්. එතකොට මන්දාකිණීගේ ඇඳුම්වල ලේ කොහෙන්ද?"
"මිස් රත්නායක මගෙ අතට බෙහෙත් දැම්මේ. එතකොට ලේ ගෑවුණා ඇඳුමේ."
මෙච්චර වෙලා මගෙ නම කියපු නපුරා ආයෙම සර්නේම් එකෙන් කතා කරද්දි මට තේරුණා අනෙක් අය ඉස්සරහදි නපුරා මට සමීප බවක් පෙන්වන්න කැමති නෑ කියලා.
"අම්මේ... මම බය වෙච්ච තරමක්. මම හිතුවා මන්දාකිණී මොනවාහරි කරගෙන කියලා. එහෙනම් ඉතින් හෙට ඉඳන් ජොබ් එකට එනවා බොරු."
"ඇයි මලීෂා...?"
"අම්මෝ සමෙත් සර්, මේකිට මොනවා හරි වුණොත් විශා ආන්ටි මාව මරාගෙන කයි. විශා ආන්ටිගෙ නිල් මැණිකනේ මේ…!"
"කවුද විශා ආන්ටි.....?"
"ඒ මන්දාකිණිගේ අම්මා සමෙත් සර්. මේකිට කිසිම දෙයක් දරා ගැනීමේ ශක්තියක් නෑ. අනික පුංචි දෙයක් ඇති මාසයක් ලෙඩ වෙන්න. '
මලී අක්කා ඒ දේවල් කියද්දිත් නපුරා මන් දිහා බලාගෙන හිටියේ. ඒක සමෙත් සර් ඉස්සෙල්ලා වගේම දැක්කා. සමෙත් සර්ට ආයෙත් අමුතු හිනාවක් ගියා. ඒත් ඒ හිනාවේ තේරුම මොකක්ද කියලා මට තේරුණේ නෑ.
"Ok, Ok දැන් සිහින උඹ කොහොමද ගෙදර යන්නෙ...?"
"ඒකට තමා උඹව ගෙන්න ගත්තෙ."
"ආ.. උඹට ඒවට විතරයි මම. කෙල්ලන්ට ලව් කරන්න එහෙම ඕන වුණාම උඹට මාව පේන්නෙ නෑ."
"දෙන්නෙකුට එක කෙල්ලෙකුට ලව් කරන්න බෑනේ බන්."
"ඒකත් එහෙමයි නේද? හා... හා... බලාගමු පුතෝ..."
"හරි උඹ ඒවා බලා ගනින්කෝ. මේ මිස් රත්නායකට මෙහෙම පාරෙ බස් එකේ යන්න බෑනේ බන්. අපි මේ දෙන්නවත් ගෙවල් ගාවින් ඩ්‍රොප් කරගෙන යමු."
"අනේ ඕනා නෑ සර්. අපි බස් එකේ යන්නම්."
"එහෙම බෑනේ මන්දාකිණී. මම සිහින වගේ නෙමේ. ඔයාලව පරෙස්සමට ගේ ගාවින් දාන්නම්.."
"ඒත් සමෙත් සර්..."
"යමු යමු මන්දාකිණී. මොකටද මෙච්චර ආඩම්බරකම? යමු.. අපි ගේ ගාවින් දාන්නම්."
මායි මලී අක්කයි බෑ කියද්දිම සමෙත් සර් අපිව බලෙන්ම වගේ එක්කගෙන නපුරගෙ කාර් එක ගාවට ආවා. අපි දෙන්නා පිටිපස්සෙ ෂීට් එකට නගිද්දි නපුරා කාර් එකේ ඉස්සරහට නැග්ගා.
එතැන ඉඳන් ටවුන් එකට එනකන්ම අපි කවුරුත් කතා කළේ නෑ. අපි අතර තිබ්බ නිහඬතාවය බිඳලා දැම්මේ සමෙත් සර්.
"මෙතැනින් කොහෙටද මලී...?"
"ඔතනින් වමට හරවන්න සර්."
"ආ, ඔයාලා ඉන්නෙ මේ පාරෙද? අපෙත් යාළුවෙක් මේ පාරෙ ඉන්නවා. ඌ ඩොක්ටර් කෙනෙක්. ගෙදරම ඉස්සරහා ඩිස්පෙන්සරියක් කරන්නේ..."
"ආ... හරි සර් ඒ කියන තැන මම දන්නවා. අපේ ගෙවල් තියෙන්නෙ ඊට හුඟක් එහා."
"එතකොට ඔය දෙන්නම ඉන්නෙ එක ගෙවල් ළඟද?"
"ඔව් සමෙත් සර්, මන්දාකිණීලගෙ මිදුලට ගියාම අපේ ගේ පේනවා. ගෙවල් දෙක තියෙන්නෙ මූණට මූණ බලාගෙන."
"එතකොට මන්දාකිණීගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ ගේ..?"
"අපි යන්නෙ එයාලගෙ ගෙවල් පහු කරගෙන. ඒත් ඒ ගේ පාරට පේන්නෙ නෑ. නැත්නම් සර්ලට පෙන්වන්න තිබ්බා."
"Ok Ok.... ඒක නෙමේ සිහින, ඩොක්ටර් කෙනෙක් ළඟට යනවද?"
"ඕනා නෑ බන්, දැන් ලේ නැවතිලා."
"උඹේ ගිනිපුත් ගායට බේත් මේ ලෝකෙ නෑ සිහින. රශ්මිව තමයි උඹට හරියන්නෙ. ඒකි ගානට තම්බලා ගනී උඹව..!"
සමෙත් සර් රශ්මි මිස්ව මතක් කරාම නපුරා මුකුත්ම කිව්වේ නෑ. ඒත් මගෙ හිතට නම් මොකක්ද වුණා කියලා මට තේරුණා. මගේම දෙයක් වෙන කෙනෙක් අරගෙන ගියා වගේ.
"මොකද බන් සිහින සද්ද බද්ද නැත්තේ?"
"අත කැක්කුමයි බන්.."
"ඒක තමා පුත්තලම් බූරුවෝ, ඩොක්ටර් කෙනෙක්ට පෙන්වමු කිව්වේ...!"
නපුරගෙ අත ඩොක්ටර් කෙනෙක්ට නොපෙන්නුවොත් ඒක හුඟක් දරුණු වෙන්න ඉඩ තියෙනවා කියලා මට හිතුණා. ඒත් මේ නපුරු උගුඩුවට ඕනකමක් නෑනේ.
"සමෙත් සර්.."
"ඇයි මන්දාකිණී? මොකෝ අද ඔයාට කතා කරන්න හිතුණේ?"
"සර්... සිහින සර්ගෙ අත හුඟක් කැපිලා තියෙන්නෙ. ඒක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් හොඳයි.."
"ඒකනේ බන්, තුවාලෙ දැක්කේ මන්දාකිණිනෙ. යමන් යමන්, ඩොක්ටර් කෙනෙක්ට පෙන්වාගෙනම යමු."
"OK සමෙත්, හරවපන් ඩොක්ටර් අසංක ඉන්න හොස්පිට්ල් එකට."
"උඹට පිස්සුද බන්, ඌ ශෛල්‍ය වෛද්‍යවරයෙක්නෙ. ඌ උඹේ අත ඔපරේෂන් කරයි!"
"ඇයි ඌට ලව් කරන්න විතරද පුළුවන්? තුවාලවලට බේත් කරන්න බැරිද?"
"ලව් කරන්න...?"
"ඔව්."
මලී අක්කා මන් දිහා බැලුවේ නපුරා කියපු කතාවේ අග මුල ලිහා ගන්න බැරුව. මමත් ඒක නොතේරුණු ගානටම හිටියා. ඒත් නපුරා මාත් එක්ක තාමත් ඉන්නෙ හුඟක් තරහින් කියලා නම් මට තේරුණා.
"සිහින උඹට මොනවා වෙලාද කියල නම් මට තේරෙන්නෑ.. ලොකු ලෙඩක් හැදීගෙන එනවා කියල නම් තේරෙනවා. එක්කෝ අත කැපුණු වෙලේ වැරදි නහරයක් කැපිලා. කටවහගෙන යමන්, තවම හයහමාරයි, ඉමේෂයා ඇති. පෙන්වාගෙනම යමු."
සමෙත් සර් කෑ ගැහුවට පස්සෙ නපුරා මුකුත්ම කතා කළේ නෑ. එත් බුම්මගෙන ජනේලෙන් එළිය බලා ගත්තා. ඩොක්ටර් අසංක ලස්සනයි, උසයි, සුදුයි, ටිකක් කෙට්ටුයි. අවුරුදු 35ක් විතර ඇති. ඒත් නපුරා තරම් ලස්සනක් මම අසංකගෙ දැක්කේ නෑ. අමිත අයියා වුණත් කිසිම කැතක් තිබ්බ මනුස්සයෙක් නෙමේ. ඒත් මගේ හිත හොල්ලන්න පුළුවන් වුණේ නපුරට විතරයි. මගෙ හිත නපුරා ගාව නැවතුණේ ඒ හින්දා. ඒ නැවතුණු හිත මට නපුරා ගාවින් ගලවා ගන්න බැරි වෙලා. ඒත් මම දන්නවා නපුරා මට හිමිවෙන කෙනෙක් නෙමේ, හැමදාම සිහිනයක්ම විතරයි කියලා.
"මොකද මන්දාකිණි, හොඳට හේත්තුව දාගෙන කල්පනාව? සිහින ලෝකවල අතරමං වෙලාද?"
"අනේ නෑ සමෙත් සර්.."
"ඔව් ඉතින්, කොහෙද අපිට සිහින දකින්නත් අවසර නෑනේ. ඔක්කොම සිහින තියෙන්නෙ අපේ 'සිහින' ගාවනේ. සිහින දකින්නත් මුගෙන් අවසර ගන්න වෙලා..!"
සමෙත් සර් මොනවා කිව්වත් අනික් අය මුනිවත රැක්කා. හැමවෙලේම කියවන මලී අක්කා හිටියේ ලොකු කල්පනාවක. එයාට ලොකු ප්‍රශ්නයක් වගේ කියලා විතරයි තේරුණේ..
සමෙත් සර් ඩිස්පෙන්සරියක් ගාව කාර් එක නැවැත්තුවා. ඩිස්පෙන්සරියක් කිව්වට ඒක පුංචියට කරගෙන යන හොස්පිට්ල් එකක්. හැමෝටම කලින් නපුරා කාර් එකෙන් බැහැලා ගියා. මොනවා වෙලාද මන්දා, මූලග්ගින්න නැග්ග ගමන්මයි.
"මේ සිහිනට එක වෙලේකට මොනවා වෙනවද මන්දා මලීෂා. පිස්සුනේ නටන්නෙ... බලන්න දැන් අපි ඉන්නවද කියලවත් මූට ගාණක් නෑනේ."
"සිහින සර්ට මොනවා හරි ප්‍රශ්න ඇති සර්."
"මොන ප්‍රශ්නද මලී? ඕකට ප්‍රශ්න තියෙනවා නම් ඒවා මම නොදැන ඉන්නවද?."
අපි ඩොක්ටර් ළඟට යද්දිත් නපුරා ගිහින් ඩොක්ටර් ළඟින් ඉඳන් කයිය ගහනවා. අපිව දැක්කම ඩොක්ටර් හුඟක් පුදුම වුණා.
"ඉමේෂයා මොකෝ..?"
"ඈ බන් සිහින, උඹ මුත් එක්කද ආවේ..?"
"ඔව් බන්, ඇයි?"
"නෑ ඉතින්, මූට මාව මතක් වෙන්නෙ මොනවා හරි වුණාම විතරනෙ."
"අනේ පලයන් බන් යන්න..!"
ඩොක්ටර් සමෙත් සර්ට බැන්නත් ඇස් දෙක තිබ්බේ මායි මලී අක්කයි ගාව.
"ඉමේෂ, උඹ කොහෙද දැන් ඔය බලන් ඉන්නෙ...?"
"නෑ, මන් මේ දෙන්නව T.V. එකේ දැකලා තියෙනවා. මන් වැඩ කරන හොස්පිට්ල් එකේ ඩොක්ටර් අසංක එන ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ මෙයානේ."
"ආ.... ඔව්... අසංකව අඳුනනවද..?"
"නැතුව, ඒ හොස්පිට්ල් එකේ ඩොක්ටර්නෙ."
"එහෙමද? ඒකට කමක් නෑ. උඹ කන්න වගේ මේ දෙන්නා දිහා බලන් ඉන්නැතුව මෙන්න මුගෙ ඔය අත ලිහලා බලපන්…!"
"ඇයි යකෝ ඇස් තියෙන්නෙ බලන්නනේ. අනික මේ වගේ බියුටි ක්වීන් කෙනෙක් දැක්කම නොබලා ඉන්න එකා කවුද?."
"ඒ වුණාට තෝ බැඳලා, අනික එක්දරු පියෙක්!"
"හරි බන්, ඒත් බැඳලා කියලා පිටේ ගහලා නෑනේ.."
"අනේ මන්දා උඹෙන් බේත් ගන්න එන ලෙඩුන්ට දෙයියන්ගෙ පිහිටයි!"
"ඒකෙන් තොට වැඩක් නෑනේ. කියපන් ඇයි මේ පැත්ත මතක් වුණේ? අනික මොකෝ මේ සිහිනයගෙ මූණ වැඳිරි මැරිච්ච වඳුරා වගේ වෙලා..?"
ඩොක්ටර් ඉමේෂ කිව්ව කතාවට අපි හැමෝටම හිනා ගියත් නපුරා විතරක් බුම්මගෙන අහක බලා ගත්තා.
"මෙන්න මේකා වීදුරුවක් කුඩු කරලා අතින්. ඔය මඟුල ලෙහලා බේත් දාපන්."
"උඹ වීදුරු කුඩු කළේ මූලග්ගින්න තද වෙලා නේද සිහින...?"
"උඹ උඹේ වැඩේ කරනවද? ජාතකෙයි බණයි අහන් නැතුව."
ඩොක්ටර් ඉමේෂ් විහිළු කරන ගමන්ම නපුරගෙ අත වෙලලා තිබ්බ බැන්ඩේජ් එක ගැලෙව්වා.
"අඩෝ…. තෝ මොනවා කරන්න ගිහින්ද යකෝ මෙච්චර අත කපාගත්තේ…? මේ මන්... සීරියස් අහන්නෙ."
"මගේ යකා අවුස්සන් නැතුව ඕකට කරන මඟුලක් කරපන් බන්..!"
"විහිළු නෙමේ සිහින. මේක අරගෙන පලයන් ස්ටෑන්ඩ් එකට හිඟා කන්න. උඹට ගාණක් හොයා ගත්තෑකි."
"ඉමේෂ, ඕකට බෙහෙත් දාන්න බැරි නම් කියපන්, මම වෙන තැනකින් දා ගන්නම්..!"
"සමෙත් මේ බලපන්කෝ..... මුගෙ ලොකු කම."
ඩොක්ටර් නපුරගෙ අත අපි ඉන්න පැත්තට හැරෙව්වා… කැපිලා තියෙන හැටි දැක්කම මලී අක්කා අහක බලා ගත්තා. සමෙත් සර් ඔළුවේ අත ගහගත්තා.
"මේකට මැහුම් දාන්න වෙයිද බන්?"
"නැතුව, මැහුම් දෙකක් තුනක් දාන්න වෙයි. ඇතුළේ වීදුරු කටුත් ඇතිද දන්නෙ නෑ.."
"මූට ඉතින් ඉස්සර ඉඳන්ම මූලග්ගින්නනේ. උඹ දන්නවනේ ඉමේෂයා. මූට තද වෙලා මේසෙ වීදුරුව කුඩු කරලා. මේ මන්දාකිණී තමයි ලේ නවතින්න ඔහොම හරි ඕක බැඳලා තියෙන්නේ."
"මොනවා නැතත් මන්දාකිණි නියමෙට මේක බැඳලා තියෙනවා. නැත්නම් මේකෙ ලේ නවත්තන්න බෑ."
"බලපන් දැන් උඹේ අම්මට මොනවාද මම කියන්නෙ සිහින. මේක දැනගත්තම ලොකු අම්මා මැරෙයි."
මට මලී අක්කා දිහා බැලුණේ ඉබේටම. එතකොට නපුරගෙ අම්මා සමෙත් සර්ගෙ ලොකු අම්මද? මලී අක්කගෙ මූණෙත් පේන්න තිබ්බේ "ඒක දැනන් උන්නෙ නෑ නංගි" කියන එක.
"ඇත්තටම සිහින ටිකක් ඉවසීමෙන් වැඩ කරපන්කෝ. ඔහොම තද වුණාම සේවකයෝ ගොඩක් පාලනය කරන්න අමාරුයි."
"හරි හරි ඉමේෂ, කතාව තියලා ඔන්න ඕකට මැහුම් බැරි නම් ඕන එකක් දාපන් බන්..!"
"තොට තියෙන තදියමට මේවා කරන්න බෑ. පොඩ්ඩක් ඉඳහන්. මේකෙ වීදුරු කටු තියෙනවද දන්නෙත් නෑ."
ඩොක්ටර් ආයෙමත් නපුරගෙ තුවාල හොඳට සුද්ද කරලා නපුරට ඉන්ජෙක්ෂන් එකකුත් විද්දා. ඒක විදිනකොටත් නපුරා ඩොක්ටර්ට කෑ ගැහුවා. හිරි වැටෙන්න ගහපු ඒ ඉන්ජෙක්ෂන් එක හින්දා ඩොක්ටර්ට නපුරට මැහුම් දාන්න අමාරු වුණේ නෑ. කොච්චර චණ්ඩියෙක් වගේ කියෙව්වත් නපුරා මාර බයයි. මැහුම් දාලා ඉවර වෙනකන්ම නපුරා හිටියේ අහක බලාගෙන.
නපුරා වේදනාවෙන් මූණ ඇඹුල් කරන කොට මට දැනුණේ ලොකු දුකක්. ඒ දුක වචනෙකින් කියන්න මට තේරෙන්නෑ. ඒත් මගෙ හිත ටිකින් ටික තුවාල වේගෙන එනවා කියලා නම් මට තේරුණා. ඒක නවත්ත ගන්න මම උත්සාහ කළත් මට ඒක කරන්න බැරි වුණා.
එතැන ඉඳන් ගෙවිලා ගියේ පුංචි කාලයක් වුණත් ඒ ටික මට දැනුණේ කල්පයක් වගේ. කට්ටිය කාර් එකට නැගලා එන්න ආවත් කවුරුත්ම වැඩිය කතා කළේ නෑ. සමෙත් සර් සැරින් සැරේට පාර ඇහුවත් නපුරට විහිළුවක්වත් කළේ නෑ. වෙනදට කටර් එක වගේ කියන මලී අක්කත් කට වහගෙනම හිටියා. ඒත් හැමෝම හිතෙන් කතා කරනවා කියලා මූණවල් වලින් පේන්න තිබ්බා.
සමෙත් සර් අපේ ගේ ගාව කාර් එක නවත්වනකොට අමිත අයියලාගෙ අම්මා අපේ මිදුලෙ ඉන්නවා මම දැක්කා. දැන් ඉතින් ඉඳලා ඉවරයි.
"මන්දාකිණී, අමිත අයියලාගේ අම්මා...!"
"ඔ... ඔව් මලී අක්කා.."
නපුරා මිදුලෙ හිටගෙන ඉන්න අමිත අයියලාගෙ අම්මා දිහා හොඳට බැලුවා. ඒත් මගෙ දිහා බලලා හිනා වෙන්නවත් ඒ නපුරු කොල්ලට උවමනාවක් තිබ්බේ නෑ. අපි කාර් එකෙන් බහිද්දි අම්මයි, අමිත අයියලාගෙ අම්මයි වැට ගාවට ආවා.
"මන්දාකිණි එහෙනම් අපි ගිහින් එන්නම්.."
"අනේ ගෙට ඇවිත් තේ එකක් බීලම යමු සර්..."
"Ok එහෙනම් තේ එකක් බීලම යමු සිහින."
"බෑ බන්, අම්මි බලාගෙන ඇති. අපිට පරක්කුයි, අපි යමු."
"එච්චරම පරක්කු නෑ බන්."
"නැත්තෙ කොහෙද? යමන්."
"අපි යනවා මලීෂා. "
"හොඳයි සර්. "
"මලීෂා…. අර ඔයාලගේ ගෙදර නේද?"
"ආ... ඔව් සමෙත් සර්."
"එහෙනම් අපි දවසක එන්නම්කො තේ ටිකක් බීලම යන්න. මන්දාකිණී අපි යනවා. දවසක අනිවාර්යයෙන්ම එනවා තේ බීලා යන්න."
"හොඳයි සමෙත් සර්. ගොඩක් ස්තූතියි අපිව ගෙනත් බැස්සුවට."
"ඕක මොකක්ද මන්දාකිණි. එහෙනම් අපි යනවා.."
කොන්ක්‍රීට් පාර දිගේ ඈතට යන නපුරගේ කාර් එක දිහා මම බලන් හිටියා. යද්දි නිකන්වත් ගිහින් එන්නම් කිව්වේ නෑ.. කමක් නෑ, අපි දුප්පත් මිනිස්සුනේ. අපේ ගෙවල් වලට එන්න හිත නැමෙන්නේ නැතුව ඇති. තේ එකක් බීලා යන්න සමෙත් සර් කැමති වුණත් නපුරානේ අකැමැති වුණේ. අපේ දුප්පත් තේ පෙවෙන්න නැතුව ඇති. මම මොකටද දුක් වෙන්නේ? ඒත් මේ මම හදන්නෙ මගෙ හිතම රවට්ට ගන්න කියලා මට තේරුණා. නපුරා මට හීනයක් කියලා තේරුණත් දැන් මගෙ හිත ඒ හීනේ හිර වෙලා ගලවාගන්න බැරි තරමට.
"මන්දාකිණි කවුද ඒ? "
"ඒ….. අපේ සර් නැන්දේ... "
"ආනේ... ඇත්තද මැණික්? ඇයි තේ එකක්වත් බොන්න අඬගහන්න එපාය."
"අඬගැහුවා අම්මා, ඒත් සර්ලට පරක්කු වෙනවා කියලා ගියා."
"නාඩගම්… පුතා මට කිව්වා ටික දවසක් යද්දි හිටපු මන්දාකිණී වෙනස් වෙයි කියලා."
"ඇයි නැන්දා එහෙම කියන්නෙ?"
"පේන්නෙ නැද්ද? දැන් ගෙදරට ගෙනත් දාන්නත් උන් ඉන්නවා."
"නැන්දේ... මේ... මමද නාඩගම් නටන්නේ අමිත අයියද කියලා ටිකක් හොයලා බලන්න... සර්ලා අපිව ගෙනත් දැම්මේ මට මෙහෙම බස් එකේ එන්න බැරි නිසා. මේ බලන්න."
කළුවර වැටිලා නිසා අම්මවත් නැන්දාවත් දැක්කේ නැති, මගෙ බ්ලවුස් එක පුරාම තිබ්බ ලේ මම නැන්දට පෙන්නුවා.
"මැ... මැණික්, මොකද මේ වුණේ?"
"කලබල වෙන්න එපා ආන්ටි.. අද හවස චැනල් එකේ ළමයෙක්ගෙ ඔළුව පැළුණා. එයාව හොස්පිට්ල් ගෙනිච්චේ මන්දාකිණියි මමයි, සර්ලා දෙන්නයි. ඒ ළමයා ඔළුව තියන් හිටියේ මන්දාකිණීගෙ ඔඩොක්කුවේ. එතකොට ලේ ඇඳුම්වල වැදුණා. මෙහෙම බස් එකේ එන්න බැරි නිසා සර්ලා අපිව ගෙනත් දැම්මා."
"අනේ... මලී දුවේ, මම හොඳටම බය වුණා. ඇත්තමයි."
"මන් ආන්ටිට කිව්වනේ මම ඉන්නකන් බය වෙන්න එපා මන්දාකිණීගෙ ආරක්ෂාව ගැන.."
මම මලී අක්කා දිහා බැලුවේ "ඇයි බොරු කිව්වේ..?" කියලා අහන්න. එයා ඇහෙන් මට නැන්දව පෙන්නුවා. එතකොටයි මට තේරුණේ අක්කා බොරු කිව්වේ ඇයි කියලා.
"මන්දාකිණී... ඉක්මනට මේ මඟුල කෙරෙන්න ඕනා. මම අද ආවේ හඳහන ඉල්ලන් යන්න. ඒ නිසා දැන් ගෙදර නැවතුණොත් හොඳයි."
"නැන්දා හඳහන් බලලා දින දාගන්න. මම අමිත අයියව බැන්ද දාට පහුවදා ඉඳන් වැඩට යන එක නවත්වනවා..!"
නැන්දා මොකුත්ම නොකියා මට ගස්සගෙන යන්න ගියා. ඒ මගෙ හිතට ලොකු බරක් එකතු කරලා.
*****
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Comments
Post a Comment