සිහින මන්දාකිණී 1/6

මලී අක්කා අරන් දුන්නු ඇඳුම් සේරම ඇන්දත් ඩෙනිම අඳින්න මම කැමති වුණේ නෑ. ඒත් මලී අක්කයි අම්මයි මේ දවස් ටිකේම බල කරපු නිසා, මම අද ඩෙනිම ඇන්දා. මූණ බලන කණ්ණාඩියෙන් මගෙ රූපෙ දකිද්දි මටම තේරුණා වෙනදටත් වඩා ලස්සනක් තියෙනවා කියලා. ඒත් හැමදාම මගෙ කැඩපත වුණේ අම්මා. අම්මා බලලා ඇඳුමේ අඩු පාඩු කියනකන් මට හරියන්නේ නෑ.
හැමෝම කියන්නේ මම අම්මා වගේ කියලා. ඒත් අම්මා කියන්නේ අප්පච්චි වගේ කියලා. ඒත් මට තේරුණ විදියට මම අම්මයි අප්පච්චියි දෙන්නම වගේ.
ඊයේ මලී අක්කා අමිත අයියගේ අම්මට කිව්ව බොරුව, මම අපේ අම්මට හරිගස්සන්න ගියේ නෑ. හරිගස්සන්න ගියොත් ඒකට හුඟක් උත්තර බඳින්න වෙනවා කියලා මට හිතුණා.
"ෂා, අද මැණික් හරි හැඩයි."
මම අම්මව හොයාගෙන කුස්සියට ගියේ වැඳලා යන්න. ඒත් වදින්න කලින්ම අම්මා මාව බදාගෙන අඬන්න ගත්තා.
"අනේ... ඇයි අම්මා මේ අඬන්නේ...?"
"අද ඔයාගේ අප්පච්චි හිටියනම් කොච්චර සතුටු වෙයිද මගෙ දූ...?"
"අප්පච්චි ළඟදිම නිදහස් වෙයි අපේ අම්මා... ඔයා අඬන්නේ නැතුව ඉන්නකෝ. අපි යමු අප්පච්චි බලලා එන්න."
"අපි එහෙ එනවට අප්පච්චි කැමති නෑ මැණික්, මම ගියොත් හැමදාම මට බනිනවා."
"ඇයි ඒ අම්මා...?"
"එතන ගැහැනුන්ට යන්න හොඳ තැනක් නෙමේ කියන්නේ..."
"එහෙම කියලා බෑනේ අපේ අම්මා. ඉන්නකෝ මම දවසක් නිවාඩු දාලා හරි අප්පච්චි බලන්න යනවා."
"දූ නිවාඩු දාන්න ඕනා නෑ. මම ගිහින් එන්නම්."
"අම්මා හැමදාම අප්පච්චි බලන්න මාව එක්කන් යන්නේ නෑ. ඇයි ඒ...?"
"ඔයාට ඒ පැහිච්චකම් වැඩක් නෑනේ මගෙ දූ..."
"ඒක නෙමේ අද තාම මලී අක්කා ආවේ නෑනේ අම්මා..."
"ආ... මට අමතක වුණානේ. අද මලී දුවට එන්න වෙන්නේ නෑ කියලා ඒ ළමයගේ අයියා ඇවිත් කියලා ගියා. මලී දුවට හොඳටම උණලු."
"මලී අක්කට උණ...?"
"ඔව් උණලු. සමහර විට හෙට එන්න පුළුවන් වෙයි කිව්වා. දුවට පරිස්සමෙන් යන්න කියලත් කියලා එවලා තිබ්බා."
"පව්... මම මලී අක්කව බලලා දුවලා එන්නද?"
"දැන් වැඩට යන්නකෝ... පරක්කු වේවි. සර් කෑගහයි. හවසට යන්නකෝ මැණික්."
"එහෙනම් අම්මා තව ටිකකින් ගිහින් බලනවාද?"
"හා මැණික්."
"එහෙනම් මම ගිහින් එන්නම් අම්මා."
"හොඳයි. මගෙ දුවට තුණුරුවන්ගේ සරණයි! පරිස්සමෙන්."
අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා මම ගෙදරින් පිටත් වුණේ තනියම. ඊයේ හවසත් මලී අක්කා හිටියේ ගොඩක් අප්සට් එකේ. හොඳට හිටිය කෙනාට උණ ගැනෙන්න තරම් දෙයක් වුණේ කොහොමද?
බස් හෝල්ට් එකට ඇවිත් පැය භාගයක් විතර ගියත් බස් එකක් ආවේ නෑ. දැන් එන බස් එකෙත් කට කපලා සෙනඟ ඉඳීවි. අද නම් චැනල් එකට යද්දි පරක්කු වෙයි වගේ.
කොච්චර බස් එකක් එනකන් මග බලන් හිටියත් මගෙ හිත තිබ්බේම මලී අක්කගේ ප්‍රශ්න ළඟ. මෙච්චර ළඟින් දුක සැප බෙදා ගන්න මටත් කියන්න බැරි දේවල් මලී අක්කට තියෙනවාද? කොච්චර ලොකු කල්පනාවකද උන්නේ කිව්වොත් මං ළඟ ඉන්නේ කවුද කියලවත් මට තේරුණේ නෑ. ඒත් මට පිටිපස්සෙන් හිටිය කොල්ලෝ විහිළු කරන්නේ මට කියලා නම් මට තේරුණා.
"නංගී... ටී.වී. එකේ ඉන්නවට වඩා ලස්සන හින්දද ඔච්චර ආඩම්බර?"
"නෑ බන් එයා ආඩම්බර නෑ... එයා අපිත් එක්කත් එයි."
"පිස්සුද යකෝ, එයාලා යන්නේ ලොකු ලොකු සල්ලිකාරයෝ එක්ක..."
"අපිත් එක්ක එන්න අකමැති වුණාට කමක් නෑ බන්, අපි අරගෙන හරි යමු."
මට පිටිපස්සෙන් හිටගෙන හිටිය කොල්ලෝ දෙන්නගේ කතාව මගෙ හිතට දරා ගන්න හුඟක් අමාරු වුණා. මේ වෙනකම් මේ වගේ සිද්ධියකට මුණ දීලා නැති හින්දා මගෙ හිතට දැනුණේ ලොකු බයක්.
"අපෝ... මේ තරම් බයයි කියලා අපි හිතුවේ නෑනේ බන්."
"නංගී යමු නේද අපිත් එක්ක. අපි හොඳ ගානක් දෙන්නම්."
මෙච්චර වෙලා මගෙ පිටිපස්සේ හිටිය කොල්ලෝ දෙන්නා හිමීට මගෙ දෙපැත්තට ඇවිත් හිටගත්තා.
'අනේ දෙවියනේ... ඉක්මනට බස් එක එනවනම්...'
මට හිතන්න හම්බුණේ එච්චරයි. නපුරගේ කාර් එක ඇවිත් අපි ඉස්සරහ බ්‍රේක් කරද්දි, ජරා කොල්ලෝ දෙන්නව විතරක් නෙමේ මාවත් ගැස්සිලා ගියා.
නවත්තපු කාර් එකෙන් බැස්ස සමෙත් සර්වයි නපුරවයි දැක්කම මට ඉබේටම බිම බැලුණා. නපුරගේ මූණේ තිබ්බ කේන්තිය මොන විදියකින් පිට වෙයිද කියලා මට තේරුණේ නෑ.
"මන්දාකිණි, මොකක්ද අවුල...?"
"සමෙත් ස...ස...ර්..."
"මිස් රත්නායක, මොකක්ද ප්‍රශ්නේ? ඇයි මෙතන අඬන්නේ? කවුද මේ දෙන්නා? තමුන් අඳුරන අයද...?"
"ස...ස...ර්..."
"ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙනවා. අඳුනනවාද මෙයාලව?"
"නෑ... නෑ... සර්."
"ඇයි මහත්තයෝ... මොකක්ද ප්‍රශ්නේ? මෙයා මහත්තයගේ කැච් එකක්ද? එහෙනම් අපි කැපෙන්නම්."
"මොකක්ද යකෝ තෝ කිව්වේ...?"
රස්තියාදුකාර කොල්ලගේ කොලර් එකෙන් ඇදලා ගත්තේ නපුරා වියරු වැටිච්ච කොටියෙක් වගේ.
"ස...ස...ර්..."
"මිස් රත්නායක කට වහනවා!"
"ඒ සිහින, උඹට පිස්සුද? මේ නිකන් හිටපන් පිස්සු කෙළින් නැතුව..."
"ඇයි මහත්තයෝ ඔයා ගේමටද ආවේ...?"
"ඔව්... ඇයි... උඹ මොකද?"
සමෙත් සර් නපුරව ඇදලා ගත්තේ නැත්නම් ඒ වෙලාවේ එතන මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ.
"හොඳයි අපි පස්සේ බලාගමු මහත්තයෝ. පරිස්සම් වෙන එක මහත්තයලට කෝකටත් ඇඟට ගුණයි."
"ඇයි තමුසෙ මොනවා බලා ගන්නද?"
මෙච්චර වෙලා හැමදේම ඉවසන් හිටිය සමෙත් සර්ගේ ඉවසීමේ සීමාව පැන්නා කියලා මට තේරුණා. සමෙත් සර්ට තරහා ගියාම නපුරටත් වඩා හුඟාක් දරුණු පාටක් ඒ මූණේ තිබුණේ.
"සමෙත් අපි යමු. මං මේක බලාගන්නම්. මිස් රත්නායක, තමුසෙත් නගිනවා කාර් එකට."
නපුරා මට සැරෙන් නොවුණත් ටිකක් තදින් කිව්වේ මූණේ ලොකු බැරෑරුම් බවක් මවාගෙන.
මම ගිහින් කාර් එකට නගිද්දි අර කොල්ලෝ දෙන්නා මං දිහා ඔරවගෙන බලාගෙන ඉන්නවා මම දැක්කා. මං ආයෙමත් ඒ පැත්ත බලනවා දැක්ක නපුරා කාර් එකේ දොර ඇරලත් ආපහු හැරිලා උන් දෙන්නා දිහා ඔරවලා බැලුවා. නපුරා කොච්චර උන්ට එරෙව්වත් ගෙරෙව්වත් උන් ඒ එක දේකින්වත් සැලුණේ නෑ කියලා ඒ මූණු දෙකේ හොඳටම පේන්න තිබ්බා.
කාර් එකට නැගලා හුඟ වෙලාවක් ගියත් නපුරාවත්, සමෙත් සර්වත්, මමවත් කතා කළේ නෑ. ඒ ජරා කොල්ලෝ දෙන්නා කිව්ව කතාවල්, උන් දෙන්නගේ හිනාව, බැල්ම මතක් වෙද්දි මාව සීතල වෙලා යනවා මට දැනුණා.
අපි අතරේ තිබ්බ නිහඬ බව බිඳලා දැම්මේ සමෙත් සර්.
"මන්දාකිණී නංගි, මොකක්ද එතන වුණේ? කෝ අද මලී?"
"මලී අක්කට හොඳටම උණ සර්, මම තනියම ආවේ."
"මොකක්ද වුණේ...?"
"මම එතන ඉද්දි උන් මට අහන් ඉන්න බැරි තරම් දේවල් කිව්වා සමෙත් සර්."
"මේ සමාජේ ජීවත් වෙන්න ඔහොම අහිංසක වෙලා බෑ මන්දාකිණී. ටිකක් කටත් තියෙන්න ඕනා. තේරුණාද?"
"ඔව්... සර්..."
"මිස් රත්නායක...?"
"ස...ස...ර්...?"
"උන් මොනවද කිව්වේ?"
"අ... අහන් ඉන්න බැරි දේවල් සර්."
"ඒක දැන් තමුසෙ එක පාරක් කිව්වනේ. මං අහන්නේ ඒ කිව්ව දේවල්."
"සිහින උඹ..."
"සමෙත් පොඩ්ඩක් ඉඳහන්. මොනවද කිව්වේ මිස් රත්නායක...?"
නපුරා අහපු ප්‍රශ්නේ ළඟ මාව ගොළු වෙලා ගියා. මං කොහොමද දෙයියනේ පිරිමියෙක් එක්ක ඒ දේවල් කියන්නේ?
"මන්දාකිණී... උත්තර දෙනවා."
"ස...ස...ර්... මේ..."
"සිහින, ඒ කෙල්ල කොහොමද බන් ඒවා අපි එක්ක කියන්නේ?"
"හරි එහෙනම් මේකට උත්තර දෙනවකෝ. උන් අනවශ්‍ය යෝජනාවක් කළාද?"
"ස...ස...ර්..."
"කියනවා ඒකට උත්තරේ..."
"ඔ..ඔ..ඔව් සර්."
මම අමාරුවෙන් අමාරුවෙන් නපුරා ළඟ වචන ගැටගහ ගත්තා.
සමෙත් සර් චැනල් එක ළඟ කාර් එක නවත්තපු ගමන් මම කාර් එකෙන් බැහැලා බිම බලාගෙනම චැනල් එකට ආවා. නපුරවත් සමෙත් සර්වත් මාව නැවැත්තුවේ නෑ.
"ආ... එන්න සුරංගනාවී... වඩින්න."
රෙස්ට් රූම් එකේ හිටියේ අපේ සෙට් එක විතරයි. කාවිංග අයියා වෙනදා නැති උද්යෝගෙකින් විහිළු කරලා මාව පිළිගත්තත් මගෙ හිතේ පුංචි උද්යෝගයක්වත් තිබ්බේ නෑ.
"අද කෙල්ලගේ ලස්සන... කොහෙද බන් ඔය හැඩ හැංගිලා තිබ්බේ? මෙතන්ට උඹ මීට කලින් කවමදාකවත් ඩෙනිමක් ඇඳන් ඇවිල්ලා නෑ."
සෙව්වන්දි අක්කා කියවන් ගියත් මට ඒ ගැන හිතන්න තරම් ෆිට් එකක් තිබුණේ නෑ. ඒ හැඩ හැමෝටම කලින් දැක්කේ මගෙ අම්මා කියලා විතරයි මට මතක් වුණේ.
"චූටි, මොකක්ද අවුල...?"
"මුකුත් නෑ ෆාති අක්කා."
මම දිග සුසුමක් පිට කළේ වෙච්ච හැමදේම අමතක කරලා හිත සැහැල්ලු කර ගන්න.
"නැති වෙන්න බෑ. වෙනදට චූටිගේ මූණේ තියෙන සංසුන් ගතිය නෑ. මොකද වුණේ? ඩ්‍රීම් බැන්නද?"
"නෑ ෆාති අක්කා."
"හංගන්නේ නැතුව කියපන් බන්..."
ආයෙත් දිග හුස්මක් පහළට දාලා මම වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම රෙස්ට් රූම් එකේ අපේ කට්ටියට කිව්වා.
"ඕවනම් පාරෙදි සාමාන්‍ය දේවල්. ඒත් චුට්ට නම් අසාමාන්‍ය දෙයක් කියලා අපි දන්නවා. මොනවා වුණත් ඩ්‍රීම් ආව එක හොඳයි. කෝකටත් පාරේ තොටේදි පරිස්සමෙන්. කට ඕන තැනට ඔය කට පරිස්සම් කරන්නේ නැතුව එළියට ගන්න චූටි."
මම කියපු සේරම අහගෙන ඉඳලා ෆාති අක්කා කිව්වේ එච්චරයි. ඒක අනෙක් හැමෝගෙමත් අදහස කියලා ඒ හැම මුහුණුකම පේන්න තිබ්බා.
"කෝ අක්කා නිමේෂ් අයියා?"
මම ෆාති අක්කගෙන් ඇහුවේ හැමදේම අමතක කරන්න ට්‍රයි කරන ගමන්.
"ආ... ඌ අද මනමාලියෙක් බලන්න යනවා කිව්වා. හවස ප්‍රෝග්‍රෑම් වලට එයි."
"බොරු නේද තරිඳු අයියා?"
"ඔයාට බොරු කියලා අපි මොනවා ගන්නද චූටි? ඔන්න එයාට කසාද බඳින්න්න කෙනෙක් හිටියේ නැත්නම් ඔයාව කසාද බැඳගන්නවත් තිබ්බා. ඒත් කොයින්ද අපිට ඒ තරම් ලක් එකක්..."
කට්ටිය මොන දේවල් කිව්වත් මගෙ හිත ගියේ මලී අක්කයි නිමේෂ් අයියයි දිහාට. ඇත්තටම මලී අක්කා ලෙඩ වෙන්න හේතුව මේකද? එයා ඊයේ උන්නෙත් අප්සට් එකේ. අනික මෙතන අය ඒ දෙන්නගේ නම් අල්ලගෙන කරන විහිළු...
"චූටි කෝ අද අග්‍රාමාත්‍ය, එහෙමත් නැත්නම් ආරක්ෂක? ඒකි හිටියා නම් ඔයාට අද කවුරුත් චණ්ඩි පාට් දාන්නේ නෑ."
"මලී අක්කට උණ ටෙෂාන් අයියා. මම දන්නෙත් අද උදේ. හවසට බලන්න යනවා."
"මලීෂාට මම කිව්වා... ඔය මගුල හිතේ හිරකරන් ඉන්නේ නැතුව කියපන් කියලා. කොහෙද මේකි අරූගේ මූණටම බෑ කිව්වනේ. හිතේ ආදරේ හිර කරන් ඉන්න කොට වේදනාව වැඩියිනේ."
"මොකක්ද ෆාති අක්කා ඒ කතාවේ තේරුම?"
ෆාති අක්කා මුස්ලිම් වුණාට අපිට වඩා හොඳට සිංහල කතා කරනවා. ඒත් එයා සමහර වෙලාවට ඒ වචන වල තේරුම දන්නෙත් නෑ. ෆාති අක්කට වරදින්නේ තරිඳු අයියගේ නම විතරයි. ඒත් එයා ඒක හිතලා වරද්දනවාද කියන එක හැමෝටම ප්‍රශ්නයක්.
ඒ වුණත් ෆාති අක්කා දැන් කිව්ව කතාව මම කවදාවත් අහලා තිබ්බේ නෑ. මලී අක්කා නිමේෂ් අයියාට ආදරේ කරනවා කියලා මම දැනන් උන්නේ නෑ.
"ඇයි චූටි ඔයා දන්නේ නැද්ද? අපි හිතන් උන්නේ දන්නවා කියලා. නිමේෂ් මලී ගැන අදහසක් හිතේ තියන් ඉන්නවනේ. මලී කැමතියි. ඒත් ඒක අඟවන්නේ නෑ."
"අනේ මම එහෙම දෙයක් දැනන් උන්නේ නෑ ෆාති අක්කා. මලී අක්කා මට එහෙම දෙයක් කියලා නෑ කවදාවත්."
"එහෙනම් අපි කිව්වා කියලා අවුලක් යයිද දන්නේ නෑ මලීට."
"අනේ නෑ අක්කේ, මලී අක්කා එහෙම කෙනෙක් නෙමෙයි."
"මේකයි චූටි සිද්ධිය. නිමේෂ් මලීගෙන් යාළු වෙන්න ඇහුවා. කොහෙද මේකි කොච්චර කැමති වුණත් බෑ කිව්වා. දැන් නිමේෂ්ට ගෙදරින් ප්‍රොපෝසල් ගේනවා. ඒක නිසා මලීෂා ඉන්නේ අවුලෙන්."
"ඉතින් ටෙෂාන් අයියලා නිමේෂ් අයියට කිව්වේ නැද්ද?"
"කියන එක නම් කිව්වා නංගි, ඒත් ඉතින් මලී බෑ කිව්වාට පස්සේ නිමේෂ් කියලා මක් කරන්නද චූටි? ආදරෙයි කියලා කෙල්ලෙක් ළඟ ඔච්චරටම නැමෙන්න බෑනේ නංගි. මලී ආඩම්බරයි, උඩඟුයි. ඒ හින්දයි එයා අද ඔහොම විඳවන්නේ."
"අනේ... මලී අක්කා එහෙම ආඩම්බර නෑ ටෙෂාන් අයියා. එයාට වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති."
"ඔව් ඉතින් චූටිනේ එයා එක්ක හැමතිස්සෙම ඉන්නේ. පුළුවන්නම් උන් දෙන්නගේ අවුල ලිහන්න නංගි. ඒ පින ඔයාට හොඳටම ඇති ඔයා ආදරේ කරන කෙනාව ඔයාට ලැබෙන්න."
"අනේ... පල පල ටෙෂාන්. චූටිට එයා ආදරේ කරන කෙනා ලැබිලනේ ඉන්නේ. ළඟදි අපිටත් වෙඩින් එක කියයි."
"උඹ කොහොමද තුෂාර කියන්නේ ඒ චූටි ආදරේ කරන කෙනාමද කියලා?"
"බූරුවෝ... ආදරේ කරන කෙනා නෙමේ නම් කවුද බන් බඳින්නේ... ටෙෂාන්?"
"නෑ මම එහෙම කියන්නේ නෑ."
"එහෙම නෙමේ නම් උඹ කොහොමද කිව්වේ?"
"බලපන් දැන් මලීෂාට එයාගේ ආදරේ ලැබිලද? නිමේෂ්ට උගේ ආදරේ ලැබුණද? නෑනේ... එතනම සාක්ෂි තියෙනවනේ. උන් දෙන්නම දෙපැත්තට වෙලා විඳවනවා."
"ඒක ඇත්ත ටෙෂාන්. ඒත් මං දකින්නේ වෙනම දෙයක්. අපි අපිට ජීවිතේ ලැබෙන හැමදේම සතුටින් බාර ගන්න ඕනා. ඒ ලැබෙන දේ හොඳ වගේම නරක වෙන්නත් පුළුවන්. ඒත් හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතුවම ජීවත් වෙන්න ලේසියි."
"අනේ තුෂාර, ටෙෂාන් උඹලා දෙන්නම නවත්තගනින් ඔය බණ. උඹලා දෙන්නා හැමදාම මෙහෙමයි. මොකක් හරි අල්ලගෙන තර්ක කරනවා. අපිට ඔය දාර්ශනික ටෝක් තේරෙන්නේ නෑ බන්."
ටෙෂාන් අයියයි තුෂාර අයියයි ආදරේ ගැන කතා කරපු හැමදේම ඇත්ත කියලා මට හිතුණා. ටෙෂාන් අයියා කිව්වා වගේ අපි හැමෝටම බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්නේ නෑ. ඒ වගේම තුෂාර අයියා කිව්වා වගේ අපි අපේ ජීවිතේට ලැබෙන හැමදේම සතුටින් බාර ගන්න ඕනා. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතුවම ජීවත් වෙන්න ලේසියි.
"මොනවද චූටි කල්පනා කරන්නේ?"
"නෑ මුකුත් නෑ අයියේ. අද නිමේෂ් අයියා කීයටද එන්නේ?"
"හවස ප්‍රෝග්‍රෑම් වලට එයි, චූටි ඇයි?"
"නෑ නිකන් ඇහුවේ ටෙෂාන් අයියා."
"මන්දාකිණී මැඩම්..."
රෙස්ට් රූම් එකේ දොර ළඟ හිටියේ රංජිත් අංකල්. අවුරුදු 45 ක් විතර ඇති, සාමාන්‍යයෙන් උසයි. රංජිත් අංකල් තමයි ඩ්‍රීම් ටී.වී. එකේ කාගෙත් හිතවතා. මෙතනට ආවේ ක්ලාක් කෙනෙක් විදියට වුණාට අංකල් වැඩිපුර හිටියේ කැන්ටින් එකේ.
"ඇයි රංජිත් අංකල්?"
"සිහින සර් එන්න කිව්වා."
"රංජිත් අංකල් යන්න. මම එන්නම්."
නපුරා එන්න කිව්වා කිව්වම උදේ වුණු දේත් එක්ක හිත ගැස්සුණත්, ඒ තිගැස්ම හිතේ හිර කරගෙන මම පුටුවෙන් නැගිට්ටා.
"යමන් යමන් චූටි. අදත් බැනුම් අහලා වරෙන්."
"ඔව් ටෙෂාන් අයියා... මට තේරෙන්නේ නෑ ඇයි කියලා."
"ඔයාට තියා අපිටවත් තේරෙන්නේ නෑ නංගි, අනික ඩ්‍රීම් ඔයාට කතා කරන්නෙත් සර්නේම් එකෙන්. අපි හැමෝටම ඒක තමා ලොකුම ප්‍රශ්නය."
"ගණන් ගන්න එපා චූටි. ඩ්‍රීම් බැන්නත් සැපයිනේ. ඕක පෙර ආත්මේ ඉඳන් එන වෛරයක් වෙන්න ඇති කියලවත් හිත හදා ගනින් බන්. දැන් යමන් බලලා වරෙන් මොකද කියලා. පරක්කු වෙලා නැත්නම් ඒකටත් බැනුම් අහපන්."
හිතන්න හුඟාක් දේවල් තිබ්බත් ඒ හැමදේම හිතේ යටපත් කරගෙන බැනුම් අහන්න බලාගෙනම මම නපුරගේ රූම් එක ළඟට ආවා. දොර අරින්න හිත හුඟාක් බය වුණත් හිත තද කරගෙනම මම දොරට අත තිබ්බා.
ඒත් මට නපුරගේ කාමරේ වෙනදට වඩා වෙනසක් දැනුණ නිසයි මම ආපහු හොඳට දොර දිහා බැලුවේ. එතකොටයි මම දැක්කේ වෙනදට දොර කෙළින් කර්ටන් එක බාගෙට ඇරලා තිබුණත් අද සම්පූර්ණයෙන්ම නපුරගේ රූම් එක වහලා කියලා.
අද මොකද මෙච්චර වෙනසක්? පුදුමයි. මට එහෙම හිතුණත් හිතට දැනුණ බය නම් පොඩ්ඩක්වත් නැති වුණේ නෑ. රූම් එකේ දොර ඇරියත් නපුරගේ ඒ නපුරු මූණ බලන්න නම් මගෙ හිත කෙළින් කරගන්න බැරි වුණා.
"සර් මට එන්න කිව්වේ..."
නපුරගේ මූණ දිහාවත් නොබලා මම නපුරගෙන් ඇහුවත්, මට ඒ දේට උත්තරයක් ලැබුණේ නෑ. උත්තරයක් නොලැබුණු නිසා මම ඔළුව ඉස්සුවා.
මං දිහා ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව බලන් ඉන්න නපුරව දැක්කම මාව සීතල වෙලා ගියා. ඒ බැල්මේ තිබුණේ මොන වගේ හැඟීමක්ද කියලා නොතේරුණත්, ඒ තියෙන්නේ අමිත අයියගේ බැල්මේ තියෙනවා වගේ නොසංසිඳෙන ආශාවක් නම් නෙමේ කියලා මට තේරුණා. මට බිම බැලුණේ ඉබේටම.
"ඇයි... මූණ දිහා කෙළින් බලලා කතා කරන්න බැරිද?"
"ස...ස...ර්..."
"ස...ස...ර්... තමයි. දැන් මාත් එක්ක යන්න ලෑස්ති වෙන්න."
"කො...කො...හෙද සර්?"
"මොකද වෙව්ලන්නේ? හරියට කතා කරන්න බැරිද?"
"සොරි සර්."
"ඇයි මතක නැද්ද? එදා අම්මි කිව්වා, පෝය දවසේ වැඩේට කලින් තමුන්ව පන්සල් එක්කන් එන්න කියලා."
"මතකයි සර්."
"මතකයි නම් කොහේද කියලා අහන්නේ?"
"මට එක පාරටම හිතා ගන්න බැරි වුණා සර්."
"හුම්... එහෙනම් දැන් යමු. මම සමෙත්ටත් එන්න කිව්වා."
"ස...සර්..."
"මොකද?"
නපුරා මාත් එක්ක කතා කළේ නුහුරටමයි. මම දෙයක් ඇහුවත් ඒකට උත්තර දුන්නෙත් හුඟක් තරහින්.
"සර්... වෙන දවසක යන්න බැරිද සර්?"
"ඇයි?"
"මේ... මේ... අද පන්සල් යන්න වෙයි කියලා හිතුවේ නෑ සර්. අද යනවා නම් මේ ඇඳුම හොඳ මදි නේද ස...සර්? ඒකයි."
"දැන් තමුසෙට මම කිව්වාද ඕක ඇඳන් එන්න කියලා? අනික මගෙන් තමුන්ගේ ඇඳුමේ හොඳ නරක අහන්න තමුන් මගෙ කවුද?"
"සො...සොරි සර්."
ඇස් දෙක තෙත් වේගෙන ආවත් මම අමාරුවෙන් කඳුළු තද කරගත්තා. මගෙත් මෝඩකමනේ, සද්ද නැතුව ඉන්නේ නැතුව.
"අදට ඕක කමක් නෑ. තමුන්ට කලිසම ලස්සනයි. ඒ වුණාට අනික් දවසේ මට පේන්න කලිසම් ඇඳන් එන්න එපා. අද බස් හෝල්ට් එකේ අර වගේ දෙයක් වෙන්නත් හේතුව තමුන්ගේ ඔය ඇඳුම. තමුන් වගේ කෙනෙකුට ගැළපෙන ඇඳුමක් නෙවේ ඕක. වෙනදා වගේ චාමෙට අඳින්න."
"හොඳයි සර්."
"හෙට මලීෂා එයිද?"
"ඒවි සර්."
"හෙට මලීෂා එන්නේ නැත්නම් තමුනුත් නාවට කමක් නෑ. ඒ කොල්ලෝ දෙන්නා හෙටත් එන්න ඉඩ තියෙනවා. චැනල් එක ඇතුළෙදි වගේම පිටත් තමුසෙලට ආරක්ෂාව සලසන්න මට වෙලාවක් නෑ."
උදේ වුණු දේ ගැන කතා කරන හැම වචනයක් ගාණේම නපුරගේ ඇස් දෙක කේන්තියෙන් දිලිසෙනවා මම දැක්කා. ඒත් ඒ ඇයි කියන්න මට තේරුණේ නෑ. ඒ කේන්තිය මගෙත් එක්කද, ඒ කොල්ලෝ දෙන්නා එක්කද කියන එක තෝරගන්න මම හුඟක් උත්සාහ කළා. ඒත් ඒ දේ මට බැරි වුණා.
අනෙක් අතට මට තේරුණේ අනෙක් හැමෝටම වඩා නපුරා මාව පාලනය කරනවා කියලා. ඇයි අනෙක් අයට නැති නීති මට? මේ දේවල් ගැන දිගින් දිගට හිතන්න ගියොත් මටමයි ඒක දරාගන්න බැරි වෙන්නේ. මොකද සිහින කියන්නේ මට සිහිනයක්ම විතරක් නිසා. නපුරා කියපු දේවල් පිළිනොපදින්න මට පුළුවන් වුණත් මට එහෙම කරන්න හිත හදාගන්න බැරි වුණා. මට හැම වෙලේම හිතුණේ නපුරගේ බහට අවනත වෙන්න.
"දැන් යනවා. සමෙත් ආපුවම මම කතා කරන්නම්. මට ඩ්‍රයිව් කරන්න බෑනේ."
"හා... සර්."
*******
"සමියෝ පරක්කුයි නේද බන්?""ඔව් සිහින, ලොකු අම්මට මල පැනලද දන්නේ නෑ."
"නෑ බන් පන්සලේනේ. කෑගහන එකක් නෑ."
කාර් එකේ හිටියේ මමයි, නපුරයි, සමෙත් සරුයි විතරයි. සමෙත් සර් ආවේ නපුරට කාර් එක අරන් යන්න බැරි නිසා. නපුරගේ අත කැපුණේ නැත්නම් අද මෙතන යන්නේ නපුරයි මමයි විතරනේ.
නපුරත් එක්ක තනි වෙන්න ආසා හිතුණත් මම ඒ සිතුවිල්ල උපන්ගෙයිම හිර කර ගත්තා. නැත්නම් ඔය දේවල් බලපාන්නේ මටම විතරයි.
නපුරයි සමෙත් සරුයි හිටියේ ලොකු කතාවක. මට කතා කරන්න කෙනෙක් නැති නිසා මම ජනේලෙන් එළිය බලා ගත්තා. කාර් එකේ A/C එකට මුළු ඇඟම සීතල වෙලා, ඒ සීතල දරා ගන්න බැරි ගතියක් ඇඟට දැනුණා.
"සිහින මම උඹෙන් අහන්නමයි හිටියේ."
"මොකක්ද බන්...?"
"මේ දවස් වල උඹ හුඟක් වෙනස්. ඒකට හේතුව අර කෙල්ලද?"
සමෙත් සර් කෙල්ලෙක් ගැන කිව්වා විතරයි මාව ගැස්සිලා ගියා. මෙයාලා මේ කතා කරන්නේ කවුරු ගැනද?
"සමෙත් හරි කියලා මම කිව්වොත්?"
"උඹ කිව්වා කියලා ඉතින් මට කරන්න දෙයක් නෑ. ඒත් බූරුවෝ ටිකක් හිතපන්, මේ විදියට උඹට ඒ කෙල්ලට ළං වෙන්න පුළුවන්ද?"
"අනේ මන්දා සමියෝ. මට තේරෙන්නේ නෑ..."
"යකෝ මැටි කොකෝ, ඒ කෙල්ල අහිංසකයි, ලස්සනයි, දුප්පත්. රශ්මි ඒ කෙල්ලව හක්කේ තියලා සෙම අරියි බන්."
"ඒක එහෙම වෙන්නේ රශ්මි දැන ගත්තොත්නේ."
"උඹ හිතනවාද උඹ ඔය කෙල්ල එක්ක සෙට් වුණොත් රශ්මිගේ රේඩාර් වලට ඔය නිවුස් එක වැටෙන්නේ නැති වෙයි කියලා?"
"මම ඒක පිළිගන්නවා බන්. මට ඒ කෙල්ලට ළං වෙන්න බැරි රශ්මි නිසා තමයි. ඒ ගැන හිතනකොට මට පිස්සු වගේ."
"ඒකද පිස්සෙක් වගේ හැසිරෙන්නේ?"
"විහිළු නෙමේ බන්... සිරියස්."
"විහිළු නෙමේ තමයි. යකෝ... ගොන් බූරුවෝ ඕන ප්‍රශ්නෙකට මූණ දෙන්න බලන් ඒ කෙල්ලට ළං වෙයන්. මම හැමදාම කියනවා වගේ රශ්මි උඹට ගැළපෙන්නේ නෑ. තොට ගැළපෙන්නේ ඒ වගේ කෙල්ලෙක්..."
"ඒත් සමියෝ..."
"ඔව් මම දන්නවා, අනෙක් ප්‍රශ්නය ආන්ටි කියලා. උඹට අම්මගේ කැමැත්තට අකමැති වෙන්න බෑ. ඒ වගේම ආන්ටිට උඹෙන් තොර ලෝකයක් නෑ... මම හරි නේද?"
"ඔව් බන්."
"මම ඔය හැමදේම දන්නවා බන්. මම ආන්ටි කියලා කතා කළාට ඒ මගෙ ලොකු අම්මා මචං. මම චූටි කාලේ ඉඳලම හැදුණේ ආන්ටි ගාව. තාත්තා අම්මාත් නැති දරුවෙක් වෙච්ච මාව අර පිටරටක යන්නම් වාලේ යන්න දාලා තියෙන කොට උඹේ අම්මා මට පිහිට වුණේ නැත්නම් අද මේ සමෙත් මෙතන නෑ. ඒ හින්දා මම උඹට වගේම ආන්ටිටත් ආදරෙයි. සමහර විට උඹට වඩා මම ආන්ටිට ආදරේ වෙන්නත් පුළුවන්. ඒක නිසා මම උඹට කියන්නේ ආන්ටිගේ හිත රිද්දන්නත් එපා."
"එහෙනම් මොකක්ද යකෝ තෝ මට කරන්න කියන්නේ? එහෙන් කියනවා කෙල්ලට ළං වෙන්නලු. අනෙක් පැත්තෙන් කියනවා අම්මිගේ හිත රිද්දන්න එපාලු."
"සිහින, උඹ ඔය ට්‍රයි කරන කෙල්ලට ඕන කෙනෙක් ටක් ගාලා ඇදිලා යනවා. ඒක අපි කවුරුත් දන්නවනේ. උඹ ඒ කෙල්ලව ආන්ටිට ළං කරපන්. ආන්ටිගේ හිත ඒ කෙල්ලටම ඇදිලා යනවා. ඒක සිකුරුයි. ටික දවසකින් ඒ කෙල්ලව ආන්ටිම උඹට ගෙනත් දෙයි. එතකන් උඹත් ඒ කෙල්ලට ළං වෙන්න ට්‍රයි කරපන්... නේද මන්දාකිණි?"
තොහිතපු විදියට සමෙත් සර් කතාව ඉවර කළේ මගෙ පැත්තට හැරිලා. ඒත් මට ඒකට දෙන්න උත්තර නැතුව ගියා. මෙච්චරටම මගෙ හිත පාරන්නේ ඇයි දෙවියනේ? මම මොකක්ද දෙවියන්ට කරපු වරද? මමත් හිතක් පපුවක් තියෙන කෙල්ලෙක්.
නපුරා වෙන කෙනෙක් ගැන කතා කරද්දි මට ජීවිතේම නැති වෙලා යනවා වගේ දැනුණා. රශ්මි මිස් නපුරා ළඟට ආවමවත් මට මේ තරම් දුකක් දැනිලා නෑ. ඇස් දෙකට කඳුළු එන්න වගේ දැනෙන්න ගත්තම මම හුඟක් වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා, ඒ මගෙ ඇස් දෙකට එන කඳුළු නවත්වා ගන්න.
"මන්දාකිණි... ඔයා නිදිද?"
මගෙන් උත්තරයක් හම්බුණේ නැති නිසාද කොහේද සමෙත් සර් පිටිපස්ස හැරිලා බැලුවා. ඒ පාර නම් නපුරත් ටිකක් හැරිලා බැලුවා. තියෙන ආඩම්බරේට මම මැරිලද කියලා වෙන්න ඇති බලන්නේ.
"මන්දාකිණී?"
"ස...ස...ර්..."
"මොකක්ද කල්පනාව?"
"මු...මු...කුත් නෑ සමෙත් සර්."
"ඔයාට මම කියපුවා ඇහුණද මන්දාකිණී?"
"ඔ...ඔ...ව් සර්..."
"මම හරි නේද කියන්න?"
"ඔ...ඔ...ව් සර්."
"ඒකනේ සිහින මම කිව්වේ. ඔය දැන් මන්දාකිණිත් කියන්නේ."
"තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනා බන්..."
"ඔව් තව හිතලා බලපන්. මම ඒකට නම් එකඟයි."
එතනින් එහා කාර් එක ඇතුළේ තිබුණේ පුදුම නිහඬ බවක්. ඒත් මගෙ හිත නම් පොඩ්ඩක්වත් සන්සුන් වෙලා තිබුණේ නෑ. සමෙත් සර් රේඩියෝ එක ඔන් කරපු හින්දා ඒ නිහඬ බව නැති වෙලා ගියා. එවලේ රේඩියෝ එකේ ගියේ දුෂ්ෂන්තගේ ලස්සන සින්දුවක්. ඒ සින්දුවට මගෙ හිතේ බර පොඩ්ඩක් නැති කරලා දාන්න පුළුවන් වුණා.
'දරන්නට බැරි තරම්... ඔබට ආදරෙයි මං... ඔබ ඇයි කුරිරු මේ තරම්. සිතක් නැති කෙනෙක් මෙන්, මා හෙළනා මේ සුසුම්... නුඹට දැනෙනවානම්. මා සොයා යළි ඇවිත්... සිප ගන්නකෝ මා දෙතොල්.'
ඒ සින්දුව නිකන් නපුරටම ලිව්වා වගේ. 'කුරිරු' කියන තැනට 'නපුරු' කියලා දැම්මා නම් ඊට වඩා ලස්සනයි. සින්දුවට කන් දීගෙනම ඇස් දෙක පියා ගත්තේ ඒ සින්දුවට ඒ තරමටම මගෙ හදවතට කතා කරන්න පුළුවන් වෙච්ච හින්දා.
සින්දුව අහන්න ඇස් දෙක පියාගත්තට ඒ සින්දුව අහන්න ලැබුණේ නෑ. එච්චර ලස්සන සින්දුව මගදි ඕෆ් (Off) කරපු මෝඩයා කවුද කියලා බලන්න ඇස් දෙක ඇරියම නපුරා කුරිරු හිනාවක් මූණේ තියාගෙන සමෙත් සර් දිහා බලන් ඉන්නවා. ඇත්තටම සින්දුවක් අහන්නවත් දන්නේ නැති මී හරකෙක්. ඒ වුණාට නම නම් සිහින සත්සර. මහ ලොකු සිහින ස්වර හත!
"මොකක්ද සිහින ඒ කරපු බලු වැඩේ තේරුම? බලපන් ලස්සන සින්දුවක් සිහින."
"මම ඒ සින්දුවට කැමති නෑ සමියෝ."
"මම තොට කිව්වා කියලා හිතා ගනින්. මෙතන මන්දාකිණි හිටියේ නැත්නම් මම තොට හොඳට කියලා දෙනවා."
නපුරාට හොඳටම බනින ගමන් සමෙත් සර් ආයෙත් රේඩියෝ එක ඔන් කළා. නපුරා මුකුත්ම නොකියා ජනේලෙන් එළිය බලා ගත්තා. හොඳම හොඳ වැඩේ!
ඒත් ඉස්සර වෙලා ගිය සින්දුව එවලේ ඉවර වෙලා තිබුණා. තියෙන නපුරු කම විතරක්, දැන් ඒ සින්දුව අහන්න නෑනේ. වෙළඳ දැන්වීම් තුන හතරකට පස්සේ ආයෙත් සින්දුවක් පටන් ගත්තා. බූරුවා ඒකත් ඕෆ් කරයිද දන්නේ නෑ.
ඒ සින්දුව තාත්තා කෙනෙක් මැරුණ දරුවෙක් කියන විරහවක්. ඇත්තටම මම ඒ සින්දුවට හුඟාක් ආසයි. ඒ සින්දුව තරම් හිත පාරවන්න පුළුවන් වෙන සින්දුවක් මම තවම අහලා නෑ. සින්දුව ටික වෙලාවක් අහගෙන ඉන්නකොට මගෙ ඇස් දෙකට කඳුළුත් ආවා.
නපුරා හිටියේ ඒ සින්දුවට සම වැදිලා වගේ. නපුරගේ අර හිතුවක්කාර ඇස් අගත් කඳුළු වලින් වැහිලා තියෙනවා දැක්කම මට ඒක දරා ගන්න හුඟාක් අමාරු වුණා. නපුරා මාව කොච්චර ප්‍රතික්ෂේප කරත් නපුරාට පුංචි දේකින්වත් දුකක් දැනෙනවට මගෙ හිත කැමති වුණේ නෑ. මට සමෙත් සර් දිහා බැලුණේ ඉබේටම. සමෙත් සර්ටත් ඒක හොඳටම තේරිලා තිබුණ නිසා වෙන්න ඇති සමෙත් සර් රේඩියෝ එක ඕෆ් කරලා දැම්මේ.
"ඇයි බන් ඒක වැහුවේ?"
"දැන් පන්සලට ළඟයි සිහින. අතනින් හරවපු ගමන් පන්සල."
නපුරා අපිට කඳුළු පේන නිසාද කොහේද මෙච්චර වෙලා ෂර්ට් එකේ ගහගෙන හිටිය සන්ග්ලාස් එක අරගෙන මූණට දා ගත්තා. වෙන වෙලාවක නම් ඕකට දහසක් දේවල් කියන සමෙත් සර්වත් එවලේ මුකුත් කියන්න ගියේ නෑ.
නපුරා තාත්තාට හුඟාක් ආදරෙයි කියලා මට පළවෙනි වතාවට තේරුණේ ඒ වෙලේ. නපුරගේ තාත්තා නැතිවුණේ කොයි කාලේද මොනවා වෙලාද කියලා මම දැනගෙන හිටියේ නැතත් නපුරගේ තාත්තා හැමෝම දාලා මේ ලෝකෙන් යන්න ගිහින් කියලා මට මලී අක්කා කියලා තිබුණා.
නපුරාට තාත්තාගේ සෙනෙහස ලැබිලා නෑ වගේම මටත් තාත්තා ඉඳලත් පිය සෙනෙහස ලැබිලා නෑ. එහෙම බැලුවොත් අපි දෙන්නම පෙර ආත්මේ එකම විදියේ පව් කරලා ඇති නපුරෝ.
පාරේ වම් පැත්තට වෙන්න තිබ්බ පාරකින් හරවලා ලස්සන පන්සලක් ගාව සමෙත් සර් කාර් එක නැවැත්වුවා. ඒ පරිසරය හරිම නිස්කලංකයි. මම කාර් එකෙන් බැස්සේ ඒ පරිසරයට හුඟාක් වශී වෙලා. මම විතරක් නෙමේ නපුරත් ඒ පරිසරයට වශී වෙලා කියලා මට තේරුණේ ඒ මූණේ තිබ්බ පැහැදිලි සන්සුන් හිනාව දැක්කම.
"එහෙනම් සිහිත මන් ගියා. හරියටම හවස 4.00 වෙද්දි මම මෙතන."
"ඕකේ සමියෝ. පරිස්සමෙන් පලයන්."
"මේ... මේ... බය වෙන්න එපා. මට උඹට වගේ මූලග්ගින්න නෑ, ඒක නිසා මගෙ පරෙස්සම මට ශුවර්. එහෙනම් මන්දාකිණී මම ගියා."
"හොඳයි සර්."
නපුරාටත් පුංචි හින්ට් එකක් පාස් කරලා, මටත් යන්නම් කියාගෙනම සමෙත් සර් කාර් එකේ ඉගිළුණා. බලන් යද්දී නපුරා හොඳයි වගේ.
"අනේ... පුතාලා ආවාද? මම මේ මග බලාගෙන හිටියේ..."
නපුරගේ අම්මා පන්සලේ වැලි මළුවේ ඉඳලා අපි දෙන්නා ළඟට ආවේ හිනා පිරිච්ච මූණකින්. අපි හිටියේ පන්සලෙන් එළියේ වුණාට, එතන ඉඳන් වුණත් පන්සලේ ලස්සන ගැන වර්ණනා කරන්න පුළුවන්.
"මන්දාකිණී..."
"මැඩම්..."
"කොහොමද මෙතන? ලස්සනයි නේද?"
"ඔව් මැඩම්... හරිම ලස්සනයි. නිස්කලංකයි. ඇතුළට යන්න ඕන නෑ, එළියේ ඉඳන් බලපුවාම තේරෙනවා."
"එහෙනම්... ඇතුළට ගිහිනුත් බලමුකෝ දරුවෝ..."
සුදු පාට සාරියක් ඇඳලා හිටිය නපුරගේ අම්මා හරිම සිල්වත් පාටයි. ඒ මූණ දැක්කත් හිත පිරෙනවා. හැම වෙලේම ඉන්නේ හිනාවෙච්ච ගමන්මයි. ඒකටත් එක්ක පුතා...
නපුරගේ අම්මා අපිව පන්සල ඇතුළටම එක්කන් ගිහින් ලොකු හාමුදුරුවන්ට අඳුන්වලා දුන්නා. මම හාමුදුරුවෝ ළඟ දණගහලා වැන්දේ හාමුදුරුවෝ ගැන ඇති වුණ ලොකු පැහැදීමකින්. මුහුණෙන් විතරක් නෙවෙයි කතාවෙන්, ගමනින් වුණත් ලොකු හාමුදුරුවන්ට තිබුණේ හුඟාක් සිල්වත් කමක්.
කට්ටියක් පන්සල් වත්ත සුද්ද කරනවා, තවත් කට්ටියක් සරසනවා. 21 වෙනිදා උත්සවයට හුඟාක් ලස්සනට ලෑස්ති වෙන පාටක් ඒකෙන් තේරුණා. ආමි (Army) එකේ අයත් හතර පස් දෙනෙක්ම හිටියා.
"එහෙනම් මන්දාකිණි ඔයා පුතත් එක්ක ගිහින් පන්සල බලන්න. 21 වෙනිදට පුළුවන් තරම් හොඳට අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනා."
"හොඳයි මැඩම්."
"පුතා..."
"ඇයි අම්මි...?"
"මේ දරුවව විනාඩියක්වත් තනි කරන්න එපා. මේ පළාත මේ දරුවා දන්න පළාතක් නෙමේනේ. අපි මේ දරුවව පරිස්සම් කරන්න ඕනා. තේරුණාද?"
"ඔව් අම්මි තේරුණා..."
"එහෙනම් මම අර පැත්තට යනවා දුව."
"හොඳයි මැඩම්."
"අපි අර පැත්තට යමු."
"හො...හො...ඳයි සර්."
නපුරයි මමයි බෝ මළුව පැත්තට ඇවිදගෙන ආවා. සුදු වැලි දාලා තිබුණ බෝ මළුව මාර නිස්කලංකයි. ඒ පරිසරයට මගෙ හිත හුඟාක් ඇදිලා ගියා. බෝ මළුවේ එක පැත්තක එක දිගටම හදලා තිබුණේ අටවිසි බුදු මැදුරු. එකම විදියට හදලා තිබ්බ ඒ බුදු කුටි වලින් එන හඳුන්කූරු සුවඳ මුළු පරිසරයම පැතිරිලා තිබ්බා. බෝ මළුවේ වැට ගාව සෙරෙප්පු දෙක ගලවලා බුදු කුටිය ගාවට ගියේ හුඟාක් ආසාවෙන්. මම අත් දෙක එකතු කරලා වැන්දේ හිත හුඟාක් සැහැල්ලු කර ගන්න ගමන්. නපුරා මං දිහාම බලන් ඉන්නවා දැක්කේ වැඳලා ආපහු හැරුණම.
"ඇයි සර් වඳින්නේ නැද්ද?"
"මට වඳින්න බෑ මන්දාකිණී. මගෙ අත තාම උස්සන්න බෑ."
නපුරා 'මන්දාකිණී' කියලා කතා කරපුවාම මාව සීතල වෙලා ගියා. මට ඒ දඟකාර ඇස් දිහා බැලුණේ ඉබේටම. මොකක්ද මේ වෙස් මාරුකිරිල්ල?
"සොරි සර්."
ඒ ඇස් දෙකෙන් මගෙ ඇස් බෝ මළුව උඩින් පෙනුණ චෛත්‍යය කොත දිහාට හරවන ගමන් මම නපුරාගෙන් සමාව ඉල්ලුවා.
"ඇයි මන්දාකිණි සොරි කියන්නේ?"
"මට අමතක වුණා සර්ට වඳින්න අමාරුයි කියලා."
"ඒකට කමක් නෑ මන්දාකිණී. ඕක ඉතින් සොරි කියන්න දෙයක්ද? ඒක නෙමේ මෙතන හරි ලස්සනයි නේද?"
"ඔව් සර්... මට නම් මෙහෙටම වෙලා ඉන්න හිතෙනවා."
පළවෙනි වතාවට මම නපුරාත් එක්ක ගොඩක් විවෘතව කතා කළා. නපුරාත් පන්සලට ආවම තිබුණේ නිවුණු තැන්පත් පාටක්. නපුරු මූණ වහගෙන අහිංසක හිනාවක් ඒ මූණට ඇවිත් තිබුණා.
"මටත් එහෙමයි මන්දාකිණී. හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. ඒක වචනෙකින් කියන්න මට තේරෙන්නේ නෑ... අපි අතනින් වාඩිවෙමුද මන්දාකිණි?"
මගෙන් වාඩි වෙමුද කියලා ඇහුවත්, නපුරා මම උත්තරයක් දෙන්න කලින්ම සුදු වැලි මළුවේ පැත්තකින් ඉඳගත්තා. පන්සල් වත්තේ මම අඩිය තිබ්බේ හුඟාක් ලෝභකමින්.
පොල් අතු රටාවට අතුගාලා තියෙන සුදු වැල්ලේ එක අඩි සලකුණවත් තියලා කැත කරන්න මගෙ හිත මට ඉඩ දුන්නේ නෑ. මමත් ගිහින් නපුරා ඉඳගත්ත තැනින්ම ටිකක් ඈතට වෙන්න ඉඳගත්තා. නපුරා බලාගෙන හිටියේ අලුතින් දළු දාලා තියෙන බෝ ගහ දිහා. බෝ ගහේ දළු හෙමීට හුළඟට හෙලවෙනකොට හිතට දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්. නපුරා කියනවා වගේ ඒක වචනෙකින් කියන්න මට තේරෙන්නෙත් නැහැ...
"මන්දාකිණී...?"
"ඇයි සර්...?"
"ඔයාගෙන් මම දෙයක් අහන්නම්. හිතට එකඟව උත්තර දෙනවාද?"
"හා සර්..."
"මට රශ්මිව ගැළපෙනවාද?"
නපුරාගේ ප්‍රශ්නය ළඟ මම ගොඩක් අසරණ වුණා. කවුද හිතුවේ මෙහෙම ප්‍රශ්නයක් අහාවි කියලා... රශ්මි මිස් නොගැළපුණත් මම කොහොමද ඒක කටක් ඇරලා නපුරාට කියන්නේ? ඒත් කෙල්ලෙක්නේ. හැසිරීම, පැවැත්ම කොහොම වුණත් ඒ කෙල්ල නපුරාට කොච්චර ආදරේ ඇද්ද?
"ඇයි මන්දාකිණි කල්පනා කරන්නේ...?"
"නෑ... නැහැ... මුකුත් නෑ සර්..."
"එහෙනම්..."
"නෑ සර්, ඒ ප්‍රශ්නයට උත්තර තියෙන්නේ තවත් කෙනෙක් ළඟ නෙමේ... සර් ගාවමයි."
"ඒ කිව්වේ...?"
නපුරා ඒ ටික ඇහුවේ පුංචි ළමයෙක් වගේ කටක් ඇද කරන ගමන්. එහෙම හැසිරෙද්දිත් නපුරාට තිබ්බේ හුඟාක් අහිංසක ලස්සනක් කියලා මට හිතුණා.
"සර්ට ගැළපෙන කෙනා ගැන දන්නේ සර්මයි. සර්ගේ හිත ඉල්ලන්නේ මොන වගේ කෙනෙක්ද, එහෙම කෙනෙක්ට ළං වෙන්න. එතකොට හැමදේම විසඳෙයි. සර් හිතනවා නම් රශ්මි මිස් සර්ට ගැළපෙන්නේ නෑ කියලා, සර්ගේ හිත කියන තීරණය ගන්න. අපි ගන්න ඕනා අපේ හිත කියන තීරණය මිසක් තවත් කෙනෙක්ගේ හිත කියන තීරණය නෙමේ. තව කෙනෙක් එක්ක ඒ ගැන කතා කරත්, අපිට හරි කියලා හිතෙන දේ තමයි අපි කරන්න ඕන."
"රශ්මි මට ගැළපෙන්නේ නෑ මන්දාකිණී... මගෙ හිත ඉල්ලන්නේ රශ්මි නෙමේ... වෙන කෙනෙක්ව."
"ඒ කවුද සර්?"
ඒ වෙලේ ඒ ප්‍රශ්නය මම අහන්නේ නැතුව හිටියා නම් හොඳයි කියලා මට හිතුණේ ඒක අහලා ඉවර වුණාට පස්සේ. නපුරාගේ හිතේ ඉන්න ගැහැනු ළමයා ගැන කියද්දි මගෙ හිත හුඟාක් දුරට අතරමං වෙනවා කියලා මම දන්නවා.
"ඒ ගර්ල් ගොඩක් අහිංසකයි. ගොඩක් ලස්සනයි. හරියට පුංචි කාලේ අම්මා කියලා දීපු කතන්දර වල හිටිය සුරංගනාවියක් වගේ. ඉස්සර මම හීනයක් දැක්කා කවදා හරි ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් කසාද බඳිනවා කියලා. ඒත් ලොකු වෙද්දි මට තේරුණා ඒක හීනයක් විතරයි, එහෙම අය මේ ලෝකේ නෑ කියලා... ඒත් දැන් මට එහෙම කෙනෙක් හම්බවෙලා තියෙනවා. ඒත් හම්බවෙනකොට මම රශ්මිට කැමැත්ත දීලා ඉවරයි මන්දාකිණි."
"සර් කොහොම කිව්වත් ලස්සන තාවකාලිකයි සර්..."
"ඒක මම දන්නවා මන්දාකිණි. ඒත් ඒ අහිංසකකම, හැදියාව තාවකාලික නෑ. ඒ කෙල්ල ලස්සන නොවුණත් මම බඳිනවා, ඒ ගතිගුණ වලට මම ආදරේ නිසා."
"ඒත් සර් දැන් රශ්මි මිස්ට කැමැත්ත දීලා ඉවරයිනේ..."
"කැමැත්ත දුන්නේ අම්මා කිව්ව හින්දා."
"එහෙනම් සර් ලොකු මැඩම්ට කියන්න."
"කියන්න නම් පුළුවන්. ඒත් අම්මා පිළිගනියි කියලා මම හිතන්නේ නෑ."
"අනේ මන්දා සර්... මට තේරෙන්නෙත් නෑ..."
"මම ඉන්න තැන ඔයා හිටියා නම් මොකද කරන්නේ...?"
"සර්ගේ ඔය ප්‍රශ්නයට මගෙ ළඟ උත්තර නෑ සර්."
නපුරා වගේම ඒ ප්‍රශ්නෙදි මමත් හුඟාක් අසරණයි කියලා මම කොහොමද කටක් ඇරලා කියන්නේ? අමිත අයියා මගෙ සම්පූර්ණ අයිතිය ලියා ගන්න හදන්නේ බලෙන්. ඒත් ඒ කිසිම දෙයක් අපේ අම්මා පිළිගන්න කැමති නෑ...
"ඒත් මම ආදරේ කරන්නේ රශ්මිට නෙමේ. රශ්මි කියන්නේ මගෙ යාළුවෙක් විතරයි."
"ඒ යාළුකම ආදරේකට පෙරලන්න සර්. හැබෑ වෙන්නේ නැති ආදරයක් ගැන හීන දකින්න එපා..."
"මම හීන දකිනවා මන්දාකිණී. ඒ හැම හීනයක්ම මම හැබෑ කර ගන්නවා. චූටි කාලේ ඉඳන්ම මට දෙයක් ඕනා කිව්වොත් ඕනා. දැන් වුණත් මම එහෙමයි."
"ඒ කියන්නේ සර් රශ්මි මිස්ව අත ඇරලා සර්ගේ ආදරේ ළඟට යනවා?"
"ඔව්, ඒත් ඒ ආදරේ මාව පිළිගන්න කැමති නම් විතරයි."
"සර්ලා සල්ලිකාරයෝ. මොන තීරණ ගත්තත් ඒවා සර්ලට බලපාන්නේ ගොඩක් අඩුවෙන්. සර්ගේ ආදරේ සර්ටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ කොහොම වුණත් සර් ආදරේ කරන ගර්ල් ගැන මීට වඩා හිතලා බලන්න."
හිතට විරුද්ධව වුණත් හුඟක් අමාරුවෙන් ඒ ටික කියලා නපුරා ගාවින් නැගිටලා මම ආවාස ගෙය පැත්තට ආවා.
නපුරා සැරින් සැරේ මාව කතාවට අල්ල ගන්න හැදුවත්, මම එතන ඉඳන්ම කළේ වැඩසටහන කරන්න අවශ්‍ය තොරතුරු එකතු කරපු එක. පන්සලේ හාමුදුරුවෝත් එක්ක, ගමේ මිනිස්සුත් එක්ක කතා කරලා ගමේ ඉතිහාසය, පන්සල ගැන හුඟක් තොරතුරු හොයා ගත්තා. මම කරන හැමදේම ළඟට වෙලා බලන් උන්නා මිසක් නපුරා හොඳක්වත් නරකක්වත් කිව්වේ නෑ. වැඩම කරන ස්වාමීන් වහන්සේ ගැනයි, එදාට කතා කරන ධර්ම කරුණු ගැනයි විස්තර හොයා ගන්න වෙන්නේ නිමේෂ් අයියලත් එක්ක කතා කරලා තමයි. නපුරා ළඟ ඉද්දි මේ දේවල් කරන්න ලොකු අපහසුවක් දැනුණේ ඇයි කියන්න මම දන්නේ නෑ. නපුරාගේ අවධානය මගෙන් මිදිලා වෙන පැත්තකට යනවා නම් හොඳයි කියලා මට හිතුණා.
*********

Comments
Post a Comment