සිහින මන්දාකිණී 1/7



07 වන දිගහැරුම

Dream T.V. එකේ වැඩට ඇවිත් මාසයක් ඉවර වෙන්න ළං වුණත් මම සජීවී වැඩසටහනක් කරලා තිබුණේ නැහැ. ෆස්ට් ටයිම් කරන ප්‍රෝග්‍රෑම් එක හොඳටම කරන්න ඕන කියන එක විතරමයි මගේ ඔළුවේ තිබුණේ.

මාත් එක්ක සාකච්ඡාව මෙහෙයවන අනෙක් නිවේදකයා කවුද කියලා කවුරුත් දැනන් හිටියේ නැහැ. නපුරා මොනවා කරන්න හදනවද මන්දා. වැඩසටහන කරන හැටි සාකච්ඡා කරගන්න ඒ නිවේදකයව අඳුන්වලා දෙන්නෙත් නැහැනේ.

කට්ටිය එක්ක සාකච්ඡා කරලා ඉවර වෙන කොට හොඳටම දවල් වෙලා. මෙච්චර ඉක්මනට දවස ගෙවුණද කියලා හිතෙනවා. අඹ ගහට හේත්තු වෙලා වැඩසටහන කරන හැටි කල්පනා කර කර ඉන්න කොට නපුරා, කාන්ති මැඩම්වත් එක්කගෙන මම ඉන්න තැනට ආවා.

"මොනවාද මන්දාකිණි දුව කල්පනා කරන්නේ?"

"නැහැ මැඩම්... වැඩසටහන ගැන කල්පනා කළේ..."

"අනේ දුව, ලස්සනට කරන්න හොඳද? එදාට මුළු ලංකාවම Dream T.V. බලන විදියට. නිමේෂ් ඔයාට කියලා දේවි."

"ඒක එහෙම වෙයි අම්මි. මේ අපේ චැනල් එකේ අඩුම කාලෙකින් හොඳම ටැලන්ට් පෙන්නපු කෙනා. ඒ නිසා බය වෙන්න එපා."

"හරි... හරි... මගේ පණ්ඩිතයෝ. ඒක නෙමේ දුව... ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවද මේ ගැන?"

"අනේ... ඔව් මැඩම්... මේකයි... මාත් එක්ක මේ වැඩසටහන මෙහෙයවන අනෙක් කෙනා කවුද කියලා මම දන්නේ නැහැ. මම මේ ගැන එයත් එක්ක කතා කරලා තියෙන්න ඕනනේ."

"මේකයි මන්දාකිණි. අපි මේ පාර T.V. එක ඉස්සරහට ගේන්න යන්නේ අලුත් නිවේදකයෙක්. එයා ගැන මට ශුවර්. මම කැමතියි හැමෝම එයාව එදාට අඳුනගන්නවා නම්."

"ඒත් සර්..."

"මෙහෙමයි. ඔයා ඔය හැමදේම නිමේෂ් එක්ක කතා කරන්න. එයා අර නිවේදකයව දැනුවත් කරයි. ඔයා ඒ දේ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා."

"හොඳයි සර්."

"හරි... හරි... දැන් යමු... කාලා ඉමු. මේ දුවටත් බඩගිනි ඇතිනේ."

කාන්ති මැඩම් මගේ අතින් අල්ලගෙනම බණ මඩුවට එක්කගෙන ආවා. කෑම ගෙනත් තිබුණේ කේටරින් එකකින්. පන්සලේ වැඩ කර කර හිටපු හුඟක් අය කෑම කනවා. ඔක්කොම බලාගෙන හිටියේ අපි තුන්දෙනා දිහා. හුඟාක් ලොකු පුදුමයක් දැක්කා වගේ.

"පුතයි දුවයි කන්න... මම පස්සේ කන්නම්."

මාවයි නපුරවයි දාලා යන්න හදපු කාන්ති මැඩම්ගේ අතේ එල්ලිලා නපුරා මැඩම්ව නවත්වා ගත්තා. හරියට පොඩි එකෙක් වගේ. අම්මාගේ නාකි හුරතලේ.

"අම්මි..."

"ඇයි පුතා... මොකද මේ?"

"අම්මි... මගේ අත."

"ආනේ... පුතාට අතින් කන්න බැහැ නේද? ඉන්න ඉන්න මම කවන්නම්..."

"තැන්ක්ස් මගේ හොඳ අම්මි."

"එන්න එපා බටර් ගාන්න. ඕනෑවටනේ අත කපාගත්තේ. ඉවසීම කියන එක ගෑවිලාවත් නැහැනේ. ඔයා කවුරු වගේ හැදිලද මන්දා පුතේ."

"තාත්ති වගේ වෙන්න ඇති අම්මි."

නපුරා තාත්තාව මතක් කළා විතරයි, කාන්ති මැඩම්ව ගැස්සිලා ගියා. බත් බෙදා ගන්න අතට ගත්ත හැන්ද මැඩම්ගේ අතින් බිමට වැටුණා.

"හානේ... හැන්ද බිම නේද අම්මි? මට බනිනවා සිහියක් නැහැ, ඉවසීමක් නැහැ කියලා... ඒ වුණාට අම්මිත් එහෙමනේ. ඉතින් මම අම්මිගේ පුතාම තමයි."

"පුතා මම එකක් කියන්නම්... මම චුට්ටක්වත් කැමති නැහැ ඔයා තාත්ති වගේ වෙනවට."

"ඇයි අම්මි තාත්ති වසයිද?"

"ඔයා තාත්ති වගේ වුණොත් කවදා හරි රශ්මි දුව පව්. මම ඔයාට තාත්ති වගේ වෙන්න දෙන්නේ නැහැ..."

"හරි... හරි... දැන් කමුකෝ... මම තාත්ති වගේ වෙන්නේ නැහැ..."

මැඩම් අතින් වැටිච්ච හැන්ද අහුලන ගමන් නපුරා මැඩම්ගේ අතින් අල්ලගෙන කිව්වා. මැඩම් කිව්ව දේවල් නපුරා විහිළුවට ගත්තත් ඒ කතාව ඇතුළේ හැංගුණු මොකක් හරි ලොකු රහසක් ඇති කියලමයි මගේ හිත කිව්වේ. ඒ රහස මොකක් වුණත් ඒ ගැන අංශුමාත්‍රයක්වත් නපුරා නම් දන්නේ නැහැ වගේ.

"පුතා ඔය හැන්ද ඔය අංකල්ට දීලා එන්න. මොනවාද ඕකේ හැඩ බලන්නේ?"

වැටිච්ච හැන්ද එහාට මෙහාට හරව හරව හැඩ බලන නපුරා දැක්කම මට හිනාව නතර කර ගන්න බැරි වුණා. කාන්ති මැඩම්ටත් හිනා. ඇත්තනේ දෙයියනේ... හරියට හැන්දක් දැකලා නැහැ වගේනේ.

මම හිනා වෙන කොට නපුරා මම දිහා රවලා බැලුවා. ඒ නපුරු බැල්මට මගේ හිනාව හිර වෙලා ගියා. මම හිනාව හිර කර ගත්තා විතරයි, නපුරා හයියෙන් හිනා වෙන්න ගත්තා. දෙයියනේ මේ හිනා වෙන්නේ මට නේද? බූරු පැටියා මාව බය කරලා මට හිනා වෙනවා. ගෙම්බා!

"පුතා ඔයාට පිස්සුද? මෙන්න මෙහෙ එනවා යන්න කවන්න. මට තව වැඩ තියෙනවා."

කෑම බෙදාගෙන අපි ආවේ මම ඉස්සෙල්ලා හිටපු අඹ ගහ යට ලී බැංකුව උඩට. අනෙක් හැමෝම ශාලාව ඇතුළේ ඉඳන් කෑම කද්දී නපුරට තමයි එළියටම එන්න ඕන වුණේ.

"මිසිස් සූරියබණ්ඩාර."

"ඇයි?"

"ලොකු හාමුදුරුවෝ ලොකු උවමනාවක් කියලා එන්න කිව්වා."

"හදිස්සියක්ද?"

"ඒ වගේ මැඩම්..."

"හරි මම එන්නම්."

අපි ගාවට ආවේ ආර්මි කිට් එකක් ඇඳගත්ත අවුරුදු 40 ක විතර උස මහත මනුස්සයෙක්. නපුරා ඒ මිනිහා දිහා බැලුවේ මරාගෙන කන්න තරම් කේන්තියෙන්. හිනා යන්න ආවත් මම හුඟක් අමාරුවෙන් ඒ හිනාව තද කරගත්තා.

"දැන් මොකද කරන්නේ පුතා? මම යන්න ඕනනේ."

"කමක් නැහැ... අම්මි යන්න. මම පස්සේ කන්නම්."

"එහෙම හරියන්නේ නැහැනේ පුතා. මම කියන්නද ඔයා මන්දාකිණිට කියලා කෑම කවා ගන්න. කමක් නැහැ නේද දුවේ?"

නපුරාගේ අම්මාගේ ඉල්ලීම අහක දාන්න මට කොහොමත් බැරි වුණා. ඊටත් වඩා නපුරාගේ ඇස් දෙකේ තිබ්බ ඒ හිනාව ළඟ ඒ දේ ප්‍රතික්ෂේප කරන්න තරම් නපුරු වෙන්න මට බැරි වුණා. නපුරා මට හීනයක් වුණත් ඒ හීනෙට ළං වෙන කොට මාව පිච්චිලා අළු වෙලා යනවා කියලා මට දැනුණා වුණත්, ඈතින් ඉඳන් හරි ඒ හීනෙ දිහා බලාගෙන සතුටු වෙන්න මට ආස හිතුණා.

"ඇයි මන්දාකිණි දුව කල්පනා කරන්නේ? ඔයාට බැරිද?"

"නැහැ... නැහැ... මැඩම්... මම කවන්නම්."

"එහෙනම් මම යනවා."

අත තියලවත් තිබ්බේ නැති මගේ බත් එක පැත්තකින් තියලා මම නපුරාගේ බත් එකෙන් නපුරට කැව්වා. නපුරාගේ ලස්සන ඇස් දෙක තිබුණේ මගේ මූණෙමයි. අපි ළඟින් ගිය හතර පස් දෙනෙක් අපි දිහා බලලා මොනවාද කියලා හයියෙන් හිනා වුණත්, නපුරා ඒ දිහාවත් ඇහැක් ඇරලා බැලුවේ නැහැ. හරියට වෙනම ලෝකෙක අතරමං වෙලා වගේ.

"මන්දාකිණි... ඔයත් කන්න."

"මම පස්සේ කන්නම් සර්... සර් කන්නකෝ."

"මොන පස්සේද ළමයෝ... ඔයත් ඕකෙන්ම කන්නකෝ."

"ඕනේ නැහැ සර්, සර්ට කවලා මම පස්සේ කන්නම්."

"එහෙමද? එහෙනම් මට ඇති."

මම කවන්න හදපු බත් ටිකට අතින් ගහලා නපුරා බංකුවෙන් නැගිට්ටා. මහම මහ නපුරු කොල්ලෙක්. පන්සලේ ඉඳලවත් කරුණාවක් නැහැ.

"සර්... චුට්ටනේ කෑවේ?"

"ඔව්... මම අම්මා ආවම කවා ගන්නම්. මම නිසා කවුරුත් නොකා නොබී ඉන්න ඕනා නැහැ."

"මම එහෙම දෙයක් කිව්වේ නැහැනේ සර්... මම කිව්වේ සර්ට කවලා මම කන්නම් කියලානේ."

"ඇයි මගේ කෑම පිඟානෙන් කෑවම ජලභීතිකාව හැදෙනවාද?"

"අනේ... එ...හෙ..."

"කට කට... ඒක තමා ඇත්ත."

"අනේ... මම එහෙම කෑවොත් සර්ටයි හොඳ නැත්තේ."

"ඇයි මගේ පතිවත බිඳෙනවද? අනේ මේ..."

"කවුරු හරි දැක්කොත් රශ්මි මිස්ට කියයි."

"රශ්මිගේ ආච්චි... මට කවන්න කියලා තමුසෙට කිව්වේ අම්මි. ඒක නිසා රශ්මිගේ අප්පච්චි ආවත් මොකට බය වෙනවද?"

"මට අවසර දුන්නේ සර්ට කවන්න විතරනේ. ඒ පිඟානෙන්ම මට කන්න කිව්වේ නැහැනේ."

"හරි ඉතින් මම කාලා ඉවරයි. තමුසෙ කනවා එතකොට හරිනේ. දැන් සැපයිනේ."

"සර් චුට්ටක් තේරුම් ගන්නකෝ."

"අනේ යනවා හලෝ... මට තේරුම් ගන්න ඕනෙත් නැහැ... කන්න ඕනෙත් නැහැ... මම බඩගින්නේ ඉන්නවා. මට ඇති."

"සර්... කෑ ගහන්න එපා මේක පන්සල."

"ඒ පාර තමුසෙ එනවද මාව පාලනය කරන්න? මාව පාලනය කරන්න තරම් හයියක් ආවේ තමුසෙ මගේ කවුද?"

"ම... ම... මම සර්ව පාලනය කරන්න ආවේ නැහැ සර්. මම සර්ගේ කවුරුවත් නෙමේ."

"තමුසෙ මගේ කවුරුවත් නෙමේ කියලා කොහොමද කියන්නේ මන්දාකිණි?"

"ස... ස... ර්..."

"මට උත්තර දෙනවා!"

"දැන් සර්මනේ කිව්වේ."

"මම කිව්වට තමුසෙ එහෙම කියන්නේ කොහොමද ආ?"

බලද්දී කැකිල්ලේ රජ්ජුරුවෝ හොඳයි වගේ නපුරට වඩා. නපුරා කියන්නේ පුදුම කතානේ.

"ස... ස... ර්... මම සර්ගේ නෑදෑයෙක්වත්, සහෝදරයෙක්වත්, යාළුවෙක්වත් නෙමේ. ඒ කියන්නේ මම සර්ගේ කවුරුත් නෙමේ. මම පිට කෙනෙක්."

"නැහැ නැහැ... තමුසෙ පිට කෙනෙක් නෙමේ."

"ස... ස... ර්... සර්ට මොකද මේ වෙලා තියෙන්නේ?"

හුඟක් සද්දෙට නොවුණත් මම ටිකක් තදට නපුරට කතා කළා. ඇයි දෙයියනේ පිස්සුනේ කියවන්නේ.

"සො... සොරි මන්දාකිණි."

"කමක් නැහැ සර්."

"මෙ... මෙ... මට කියන්න ඕන වුණේ ඔයා පිට කෙනෙක් නෙමේ, ඔයා මගේ සේවකයෙක් කියලා. මගේ සේවකයන්ට මම පිට අය විදියට සලකන්නේ නැහැ."

"සර්ට තරහා ගියාම සර් මොනවාද කරන්නේ, මොනවාද කියන්නේ කියලා සර්වත් දන්නේ නැහැ. ඉවසීමෙන් වැඩ කරන්න සර්."

"කියනකම්මයි හිටියේ මම!"

"ඔය ඉතින් සර්ට ආයෙම තරහා ගියා. කමක් නැහැ කාලා තරහා ගන්නකෝ."

"මම කිව්වනේ මට ඇති."

"හරි එහෙනම් මමත් කන්නම්, දැන්වත් කන්න."

"Ok... කලින්ම මාත් එක්ක කෑවා නම් මෙච්චර මාව කෑ ගස්සන්නේ නැහැනේ."

නපුරා ආයෙමත් ඇවිත් මගේ ළඟින්ම ඉඳ ගත්තා. ඒත් අපි දෙන්නට සතුටින් කන්න ලැබුණේ බත් කටවල් දෙකක් විතරයි. මගේ ජීවිතයට සතුට එන කොට ඒක උදුරා ගන්න එක දෙවියන්ගේ පුරුද්දනේ.

"ඩාලිං..."

අපි දෙන්නා ළඟ හිටගෙන හිටියේ රශ්මි මිස්. මමවත් නපුරවත් ඒ මොහොතේ රශ්මි මිස්ව බලාපොරොත්තු වුණේ නැහැ. මිස් ළඟට එනකම්ම අපි දැක්කෙත් නැහැ.

"මේක කෝලමක්ද? එහෙමත් නැත්නම් නාඩගමක් ද ඩාලිං?"

"රශ්මි මෙතන කෑ ගහන්න එපා. මේක පන්සල."

"කෑ ගහන්නේ නැතුව? ඔයා මට කියන්නේ උඩ පැන පැන හිනා වෙන්න කියලද?"

ඇඟට හුඟාක් තද වෙච්ච අත් නැති ටී ෂර්ට් එකකුයි කළු පාට ත්‍රී ක්වාටර් එකකුයි ඇඳන් හිටපු රශ්මි මිස් එදාටත් වඩා විකාරයක් වගේ මට පෙනුණේ. ගෑනු ඇයි මෙච්චර අසංවර කියන ප්‍රශ්න මගේ හිත වටේ හොල්මන් කරන්න ගත්තත්, ඒ ප්‍රශ්නෙටත් වඩා හොල්මන් කළේ දැන් මෙතන ඇති වෙන්න යන තත්ත්වය මොන වගේ වෙයිද කියන ප්‍රශ්නය.

"චූටි... බොහෝම... අපූරුයි. මෙහෙමද ගෑනු ළමයි හැසිරෙන්නේ? ලැජ්ජා නැද්ද? අනුන්ගේ කොල්ලන්ට බත් කවන්නේ. හරියට අලුත බැඳපු ජෝඩුව වගේ."

"ර... ශ්... මි..."

"කතා කරන්න එපා ඩාලිං. මම හුඟක් වෙලා ඈතට වෙලා බලාගෙන හිටියේ. ඔයාටත් ලැජ්ජා නැද්ද? මුන් වගේ ආතක් පාතක් නැති හිඟන්නියන්ව ආශ්‍රය කරන්න."

රශ්මි මිස් මොන දේ කිව්වත් මගේ ඇස් දෙකෙන් ආවේ කඳුළු විතරයි. දුක කියන දේ ජීවිතයට කිඳා බැස්සම ඒකෙන් බේරෙන්න හුඟක් අමාරුයි. ඒක මගේ ඇස් පනා පිටම ඔප්පු වෙන්න පටන් අරන් කියලා මට තේරුණා.

"රශ්මි... ඔයා අපිව මිස් අන්ඩස්ටෑන්ඩ් කරගෙන. මගේ අත කැපිලා, මැහුම් දාලා තියෙන්නේ. මට අතින් කෑම කන්න බැහැ. ඒකයි මිස් රත්නායකට කියලා කවා ගත්තේ."

"ඇයි ආන්ටිට කිව්වා නම් ආන්ටි කවන්නේ නැද්ද ඩාලිං?"

"අම්මිට වැඩ රශ්මි. අම්මිමයි මිස් රත්නායකට කිව්වේ මට කවන්න කියලා."

"ඇත්තට? ඔයාට කවන ගමන් ඒ පිඟානෙන්ම මේකිට කන්න කිව්වෙත් අම්මිද ඩාලිං? අනේ... මේ සිහින මගේ යකා අවුස්සන්න එපා."

"ඔයාගේ යකාට මම බය නැහැ රශ්මි. මම මෙතන ඉවසන්නේ මේක පන්සල නිසා."

"ඇත්තද? ඒයි චූටි නංගි මෙහාට දෙනවා බත් එක. මම මගේ හස්බන්ඩ්ට කවන්නම්. කෝ දෙනවා බත් එක."

මගේ අතේ තිබ්බ බත් පිඟාන රශ්මි මිස්ට දීලා මම බංකුවෙන් නැගිට්ටා. නපුරා ළඟින් ඉඳගෙන බත් කවන ගමනුත් මට රශ්මි මිස් හොඳටම බැන්නා. ඒ හැමදේම ඉවසුවේ මෝඩයොත් එක්ක කතා කරලා දිනන්න බැහැ කියලා අපේ අම්මා මට උගන්වලා තියෙන හින්දා.

"මොකද මෙතන හිටගෙන තවත් බලාගෙන ඉන්නේ? යනවා යන්න මෙතනින්. අහිංසක පාට තිබුණට හැදියාවක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. තමුසෙ මෙහෙම නම් තමුසෙලාගේ මහ උන් ගැන හිතාගන්න පුළුවන්."

මෙච්චර වෙලා ඉවසගෙන හිටපු අහිංසක මන්දාකිණිගේ රතු කට්ට පනින්න ඒ වචන ටික හොඳටම ප්‍රමාණවත් වුණා. මෙච්චර වෙලා මගේ හිත වහගෙන තිබ්බ ලැජ්ජාව, අහිංසකකම පැත්තකින් තියලා මම කතා කළා.

"මේ රශ්මි මිස්, ඔයාට අයිතියක් නැහැ මට කෑ ගහන්න. මම ඔයාගේ Boy friend ට බලෙන් කෑම කවන්න ගියේ නැහැ හරිද? තමුන් මට බැන්නත්, මට ඉවසගෙන ඉන්න පුළුවන්. ඒත් මගේ දෙමව්පියන්ට වචනයක් කියන්න එපා. මොකද එයාලා ඔයාගේ දෙමව්පියන්ට වඩා සිය දහස් ගුණයක් හොඳයි කියලා ඔයාවයි මාවයි දකින ඕන කෙනෙකුට කියන්න පුළුවන්. හැදියාව තියෙන්නේ කාටද, නැත්තේ කාටද කියලා පිටින් බලන ඕන කෙනෙකුට පේනවා. ඉස්සෙල්ලාම තමුන් ගැන හරියට දැනගෙන තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න. ඒ මොකද තමුන් එක ඇඟිල්ලක් කෙනෙකුට දික් කළොත් අනෙක් ඇඟිලි ඔක්කොම ඔයාගේ පැත්තට හැරෙන නිසා. මම මෙච්චර හරි ඉවසුවේ ඔයා මම වැඩ කරන තැන අයිතිකාරයාගේ අනාගත බිරිඳ නිසා. අන්න ඒකත් හොඳට මතක තියා ගන්න."

"ඇත්තද චූටි? අපි මේක බලාගමු එහෙනම්."

"රශ්මි කට වහගන්න!"

"නැහැ ඩාලිං මේකි මට බැන්නා."

"එයා තමුසෙට බැන්නේ නැහැ රශ්මි... ඒ කිව්ව දේවල් සීයට සීයක් ඇත්ත. ඒ නිසා කට වහගන්නවා."

"මගේ කට වහන්න ලේසියෙන් බැහැ සිහින."

"කට වහනවා රශ්මි!"

නපුරා හුඟක් හයියෙන් කෑ ගහලා රශ්මිගේ ඇඟට කඩන් පැන්නා. වටේ පිටේ හිටපු හතර පස් දෙනෙකුත් හැරිලා බැලුවේ ඒ තරම් නපුරාගේ කට සද්දෙ නිසා. වක්කඩේ වගේ ඇරගෙන හිටපු රශ්මි මිස්ගේ කට නම් ඒ සද්දෙට වැහුණා.

බංකුව උඩ තිබ්බ අත තියලවත් තිබ්බේ නැති මගේ බත් එක අරගෙන මම බණ මඩුවට ආවා. පිඟාන එතන හිටපු අංකල්ගේ අතට දුන්නම ඒ අංකල් මගේ දිහා බැලුවේ පුදුමයෙන් වගේ. ඒ අංකල්ට හිනාවකින් සංග්‍රහ කරලා අත සෝදගෙන බෝ මළුවට ගියේ කලබල වෙච්ච හිත ටිකක් සංසුන් කර ගන්න. මම කරන හැම දෙයක් දිහාම නපුරා බැංකුව උඩ ඉඳන් බලන් ඉන්නවා දැක්කත් මම චුට්ටක්වත් නපුරව ගණන් ගත්තේ නැහැ.

හිතට ලොකු දුකක් දැනුණත් ඒ දුක හිර කරගෙන මම බෝ ගහේ හෙමිහිට හෙලවෙන දළු දිහා බලාගෙන හිටියා. රශ්මි මිස් සාධාරණයි, ඒ එයාගේ අනාගත හස්බන්ඩ්.

"එක්ස්කියුස් මී මිස්..."

බෝ මළුවේ තනි වෙලා කල්පනා කර කර හිටපු මම ගාවට ආවේ අවුරුදු 24 ක 25 ක අක්කා කෙනෙක්. සුදු දිග සායකුයි, සුදු අත් දිග බ්ලවුස් එකකුයි ඇඳලා හිටපු ඒ අක්කාගේ මූණේ හරිම අහිංසක නිවුණු සංසුන් පාටක් ගැබ් වෙලා තිබුණා.

"ඇයි?"

"මිස් Dream T.V. එකේ එනවුසර් කෙනෙක් නේද?"

"ආ... ඔව්... අක්කේ."

"මිස්ගේ නම මන්දාකිණිනේ. පෙට් නේම් එක චූටි."

"ඔව් අක්කේ. මට මිස් කියන්න එපා මන්දාකිණි කියන්න අක්කේ."

"නංගි හරි හොඳයි. මම හිතුවේ ආඩම්බරයි කියලා."

"අනේ... ආඩම්බර වෙන්නේ මොකටද අක්කේ?"

"ඔයා හුඟක් ලස්සනයි. ඒ වගේම හුඟක් ලස්සනට වැඩසටහන් කරනවා. මට පුළුවන් හැම වෙලාවකම ඔයා කරන වැඩසටහන් බලනවා."

"තැන්ක්ස් අක්කා."

"ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඒක නෙමේ අර ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නේද?"

"අනේ නැහැ... ඒ මගේ බොස්."

"බොරු නේද?"

"බොරු කියන්න හොඳයැ. අනික පන්සලෙත් ඉඳගෙන."

"ඒකත් ඇත්තනේ නේද? අර ඉන්නේ බොස්ගේ වයිෆ්ද?"

"නැහැ වයිෆ් වෙන්න ඉන්න කෙනා."

"ඒ වුණාට මම බලන් හිටියේ. ඔයා එක්ක ඉද්දී බොස් ගොඩක් හැපි එකේ හිටියේ. ඒත් අරයට නම් බනිනවා. බත් කවන්න ගිහින් බත් පිඟානට අතින් ගැහුවා... විසි වෙලා යන්න."

සර්ට තරහා ගිහින් ඇති අක්කා. ඒ කියන්නේ මම ඒ පිඟානෙන් කෑවේ නැති නිසා මට දාපු පාට්, රශ්මි මිස්ට කවන හින්දා දාලා.

"නංගිලා අද... ඇයි මෙහෙ? මොකක් හරි තියෙනවද?"

"ඔව් අක්කා. 21 වෙනිදා පෝය දවසෙම මේ පන්සලේ සීල ව්‍යාපාරයක් කරනවා අපේ චැනල් එකෙන්."

"ඇත්තද? එහෙනම් අපිත් එදාට එන්නම්කෝ."

"අක්කාගේ නම?"

"මම අහිංසා."

"ලස්සන නමක්. අක්කා වගේමයි."

"මගේ විතරක් නෙමේ. නංගිගේ නමත් ගොඩක් ලස්සනයි. නංගිත් ලස්සනයි. ගොඩක් නිවේදිකාවෝ ලස්සන වෙන්නේ මේකප් වලින්. ඔයා මේකප් නැතුවත් ලස්සනයි."

අහිංසා අක්කාට මම හිනාවකින් උත්තර දුන්නේ මට මම ගැන වර්ණනා කරන්න උවමනාවක් නැති නිසා.

"නංගියෝ ඔයාලගේ සර් මේ පැත්තට එනවා."

මූණේ හිනාපොදක් නැතුව බෝ මළුව පැත්තට එන නපුරව අහිංසා අක්කා මට පෙන්නුවා. ඒ මූණේ කලින් තිබුණ සංසුන් පාට පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. හුඟාක් නොසන්සුන් පාටක් ඒ මූණට ඇවිත් තිබුණා.

"මිස් රත්නායක."

"ස... ස... ර්..."

"I am sorry මිස් රත්නායක."

"කමක් නැහැ සර්..."

මගේ මූණේ රැඳිලා තිබුණු නපුරාගේ ඇස් ඊළඟට කැරකුණේ අහිංසා අක්කා ළඟට. මේ කවුද කියන ප්‍රශ්නාර්ථය මුහුණේ තියාගෙන නපුරා ආයෙමත් මම දිහාට හැරුණා.

"සර්... මේ අහිංසා අක්කා."

"හෙලෝ මිස්ටර් සිහින... මම ඩොක්ටර් අසංකගේ නංගි... සුව සරණ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ."

නපුරාගේ මූණ වෙනස් වුණේ බලන් ඉද්දී. මටත් පුදුම හිතුණා. මෙච්චර වෙලා කතා බහ කරත් අහිංසා අක්කා මට මේ ගැන කිව්වේ නැහැනේ.

අහිංසා අක්කාට අතට අත දීලා නපුරා ආපහු හැරිලා යන්න ගියේ මගේ මූණ දිහාවත් බලන්නේ නැතුව. දැන් ඉතින් මම ඉවරයි.

"අක්කා මට කිව්වේ නැහැනේ ඔයා ඩොක්ටර් අසංකගේ නංගි කියලා."

"ඉතින් නංගෝ මම ඒක කියන්න හදද්දිනේ ඔයාලගේ සර් ආවේ. ඇයි සර් ආපහු ගියේ?"

"සර් මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ. ඒක වෙන්න ඇති."

"ඒකෙන් වැඩක් නැහැ මන්දාකිණි. අපේ අයියා නම් ඔයාව නිතරම මතක් කරනවා. කට ඇරියොත් කියන්නේ ඔයා ගැනමයි. එයාගේ යාළුවෝ නම් කියන්නේ එයා මන්දාකිණියක අතරමං වෙලා කියලා. ඒක ඇත්තද?"

"අයියෝ මං නම් එහෙම හිතන්නේ නැහැ අක්කේ. මම දැනුවත්ව නම් ඩොක්ටර් අතරමං වෙලා නැහැ. ඒක ඉතින් ඩොක්ටර්ගෙන්ම තමා අහන්න ඕනා."

"අහන්න දෙයක් නැහැ නංගා. ඒක එහෙම තමයි."

"බොරු නොකියා ඉන්න අක්කා... මට තව වැඩ ගොඩක් තියෙනවා. අපි පස්සේ වෙලාවක හම්බවෙමුකෝ අහිංසා අක්කේ... මම ගිහින් එන්නම් අක්කේ. බුදු සරණයි...!"

"හොඳයි නංගියෝ... බුදු සරණයි...!"

ෂේප් එකේ කතාව මඟ ඇරලා මම බෝ මළුවෙන් එළියට ආවා. එයා හදන්නේ කපුකම් කරන්න වගේ. මලී අක්කා හිටියා නම් කරයි කපුකම්. දැන් ඉතින් නපුරගෙන් බැණුම් අහන්න වෙන්නේ මට. එයා ඉතින් කුකුළු කේන්ති කාරයෙක්නේ.

බෝ මළුවේ ඉඳලා ආවාස ගේ ගාවට එනකම්ම තිබුණේ තණ පිට්ටනියක්. ඒ තණකොළ මැදින් තියෙන චූටි සුදු වැලි පාර දිගේ මම ආවාස ගේ පැත්තට ආවා. ඒ හරියේ නපුරා පේන්නවත් හිටියේ නැහැ. එතනින් එහා පැත්තට වෙන්න තිබුණේ චූටි ගුරු පාරක්. 'දේවාල භූමිය' කියලා බෝඩ් එකක් ගහලා තිබුණ ඒ පාරට හැරුණේ ටිකක් විතර බයෙන්. ඒත් එතන තිබ්බ ලස්සන දැක්කම ඒ බය කොහෙන් ගියාද කියලා හිතා ගන්න බැරි වුණා. ගුරු පාර දෙපැත්තෙම වවලා තිබුණේ සුදු මල් ගස් පේළියක්. ඊට එහා කහ මල්, රෝස මල්, පිච්ච මල් වගේ ගොඩක් මල් වවලා තිබුණා. ඒ හැම ගහකම මල් පිරිලා හුඟක් ලස්සනයි. දේවාල භූමියට ඇතුළු වෙන්න තිබුණේ පුංචි ගේට්ටුවකින්. කෙටි තාප්පෙකින් වට කරලා තිබුණ දේවාල වත්ත පුරාම දාලා තිබුණෙත් සුදු වැලි. ඒ වත්තේ කොනටම වෙන්න සමන් පිච්ච වැල් ගාලක් තිබුණා. දේවාලය නම් තිබුණේ වහලා. වත්ත අතු ගගා හිටපු ටිකක් වයසක ගෑනු තුන් දෙනෙක් මම දිහා බලලා මොනවාද කියනවා මම දැක්කා. ඒ අම්මලා දිහා බලලා එයාලට සුහද හිනාවකින් සංග්‍රහ කරත් මගේ හිතේ තිබුණේ "නපුරා කෝ?" කියන ප්‍රශ්නය.

දේවාල වත්ත හතර වටේටම බැලුවත් නපුරා පේන්න හිටියේ නැහැ. කොහේ ගිහින්ද මන්දා... කොහොමත් කේන්ති යනවනේ පොඩ්ඩ බැරි වෙද්දී.

මටම කියා ගන්න ගමන් මම ආපහු හැරුණේ දේවාල වත්තෙන් එළියට යන්න. ඒත් අතන හිටපු එක ගෑනු කෙනෙක් මගේ ළඟට ආවා.

"කරදරයක් කළා නම් සමාවෙන්න මිස්."

"අනේ නැහැ... මොන කරදරයක්ද... ඇයි ආන්ටි?"

"මිස් Dream T.V. එකේ ඉන්නවා නේද?"

"ආ ඔව් ඉන්නවා නම් තමයි... මට මිස් කියන්න එපා. මම මන්දාකිණි... එහෙම නැත්නම් චූටි."

"අපි හිතුවේ දුව හරි ආඩම්බර ඇති කියලා."

"අනේ... මම මොකටද ආඩම්බර වෙන්නේ?"

"නැහැ ඉතින් ඔතනට ගියාම හැමෝම ආඩම්බර වෙනවනේ."

"ඒ අනික් චැනල් වල අය වගේ Dream T.V. එකේ අය නැහැ ආන්ටි. අපේ සර් අපිට එහෙම වෙන්න දෙන්නෙත් නැහැ."

එතන හිටපු අනික් අම්මලා දෙන්නත් මගේ ළඟට ආවා.

"දුව කරන වැඩසටහන් හරි හොඳයි. අපි හරිම ආසාවෙන් බලන්නේ."

"බොහොම ස්තූතියි ආන්ටිලාට."

"දුව කාව හරි හොයනවා නේද?"

"අනේ ඔව් ආන්ටි."

"කාවද දුව?"

"අපේ සර්ව හොයන්නේ. කොහාට ගිහින්ද දන්නේ නැහැ."

"ආ... අර සුදුම සුදු පාටට ඇඳලා කිරි කොකා වගේ හිටපු මහත්තයාද? සන්ග්ලාස් 2ක් දාලා කොණ්ඩුත් වවලා හිටියේ."

"ඔව් ආන්ටි ඒ තමයි Dream T.V. එකේ අයිති මහත්තයා."

"අනේ ඇත්තද? හරිම සිරියාවන්තයි ඒ මහත්තයා."

අප්පේ සිරියාවන්ත, මමනේ දන්නේ සිරියාවන්ත කම! ඒ වචන ටික කියන්න කටට ආවත් මම ඒක හුඟාක් අමාරුවෙන් නවත්වා ගත්තා.

"ආන්ටිලා අපේ සර්ව දැක්කද ආන්ටි?"

"ආ... ඔව් දුව... චෛත්‍ය මළුවට ගියා. මේ පඩි පෙළෙන් යන්න දුව, චෛත්‍ය මළුවට යන්නේ මෙතනින්."

"බොහොම ස්තූතියි ආන්ටි. 21 වෙනිදට සිල් ගන්නවා නේද? එදාට මම එනවා."

"අපි අනිවාර්යයෙන්ම එනවා දුව."

"එහෙනම් මම ගිහින් එන්නම් ආන්ටි."

"හොඳයි දුව."

ඒ අම්මා පෙන්වපු පඩි පෙළෙන් මම උඩට ආවා. සුදුම සුදු වැලි දාලා ඒ මළුවත් ලස්සනට අතුගාලා තිබුණා. හුඟාක් නිස්කලංකයි. කෙටි තාප්පේ අයිනේ තිබුණ ලස්සන ලොකු ගහක මුලක් උඩ ඉඳන් චෛත්‍යයේ කොත දිහා බලන් ඉන්න නපුරව දැක්කම මට දුක හිතුණා. මහණ වෙයිද දන්නෑ.

මම නපුරා ළඟට ගියත් නපුරා මාව දැක්කේ නැහැ. හුඟාක් ලොකු කල්පනාවක අතරමං වෙලා හිටියේ.

"සර් මහණ වෙන්නද කල්පනාව?"

"හුම්."

නපුරාගේ පළවෙනි ප්‍රතිචාරෙන්ම නපුරා ඉන්නේ හුඟාක් කේන්තියෙන් කියලා මට තේරුණා. මම එතනින් එහාට වචනයක්වත් කතා කළේ නැහැ.

"කවදා ඉඳන්ද නෑනාව අඳුනන්නේ?"

"නෑ... නෑනා කිව්වේ සර්..."

"දන්නෙම නැති තොත්ත බබා... අසංකයාගේ නංගිව."

"ස... ස... ර්... අඳුනගත්ත වෙලේ ඉඳලම තමයි සර්."

"අනේ මේ... මගෙන් කුණුහරුප අහගන්න එපා. තමුසෙ කොහොමද දන්නේ මම මෙතන කියලා?"

"මම සර්ව හොයන කොට පහළ හිටපු අම්මලා කිව්වේ."

"හුම්."

"ඇයි සර් අප්සට් එකෙන් වගේ?"

"මුකුත් නැහැ."

"ඇයි සර් මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"ඔව්."

"මට කියන්න කැමති නම් කියන්න. එතකොට සර්ගේ හිත නිදහස් වෙයි."

මම නපුරා ළඟ හිටගෙන හිටියේ. නපුරා ඔළුව උස්සලා ටිකක් වෙලා මම දිහා බලන් ඉඳලා, ඉඳගන්න කියලා ඔළුවෙන් කිව්වා. ඒ මූණේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුණත්, ඒ දුක ඈතින් ඉඳන් ගන්නවා මිසක් හදවතට ළං වෙලා ගන්න මට අවසර තිබුණේ නැහැ.

නපුරාගේ ඉස්සරහින් ඉඳගත්තම මගේ මූණ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා නපුරා ලොකු කතාවකට මුල පිරුවා.

"මගේ දෙයක් දැන් මගෙන් ඈත් වෙලා යන්න හදනවා මන්දාකිණි. මට හිතා ගන්න බැහැ මම ඒකට මොකද කරන්න ඕන කියලා. ඒ කෙනා මගෙන් ඈත් වෙන්න හදන කොට මගේ මුළු ලෝකෙම පාළු වෙලා යනවා. ඔයා හිතන්න එපා මම මහ බොළඳ ආදරවන්තයෙක් කියලා. ඒත්... ආදරේදී ලෝකේ ඕනම මිනිහෙක් බොළඳයි මන්දාකිණි."

"ඇ... ඇයි සර්... අද වුණු දේ නිසා රශ්මි මිස් තරහා වෙලාද?"

"බම්බුව! මදැයි මාත් දුක කියන්න කෙනෙක් හොයා ගත්තා. රශ්මි මගෙන් ඈත් වෙනවා නම් කොච්චර දෙයක්ද? මේ හැම ප්‍රශ්නෙකටම මුල එයා."

"ස... ස... ර්... මොකක්ද?"

"රශ්මි මට ආදරේ නැහැ. එයා ආදරේ මගේ සල්ලි වලට, දේපළ වලට, ප්‍රසිද්ධියට. එයාලා කොච්චර සල්ලි තිබ්බත් එයාලා සල්ලි වලට හරි පෙරේතයි. එයා මාව මැරි කරන්න හැදුවට එයාට තව ආදරවන්තයෝ හුඟක් ඉන්නවා. එයා ගෑනු ළමයෙකුගේ නම්බුව ආරක්ෂා කර ගත්ත කෙනෙක් ද කියලත් මට සැකයි."

"ඉතින් සර්... ඇයි රශ්මි මිස්ව මැරි කරන්න තීරණය කළේ?"

"අපේ අම්මිගේ කැමැත්තට. රශ්මිගේ අම්මි මැරිලා... සියදිවි හානි කරගෙන. හේතුව නම් කවුරුත් දන්නේ නැහැ. රශ්මි පුංචි කාලේ ඉඳන්ම හැදුණේ එයාගේ තාත්ති එක්ක. අංකල් මැණික් මුදලාලි කෙනෙක්. රශ්මිගේ තාත්තියි අපේ තාත්තියි හුඟක් හොඳ යාළුවෝ. අපේ තාත්තිත් නැති වුණාම අපි රට ගියා. රශ්මි ඉගෙන ගත්තේ පිටරට... අපිත් එක්කමයි. එයා නැවතිලා හිටියේ අපේ ගෙදර. අපි ලංකාවට එන්න අවුරුද්දකට කලින් එයාලගේ තාත්තාට අසනීප වුණා. ඒ නිසා රශ්මි ලංකාවට ආවා. පුංචි කාලේ ඉඳන්ම මගේ අවසරයක් නැතුවම රශ්මි මම ගැන බලාපොරොත්තුවෙන් හිටියේ. අපේ අම්මිත් ඒක දන්නවා. අම්මිත් රශ්මිට අකමැති වුණේ නැහැ. ඔහොම කෑ ගැහුවට, දැඟලුවට, වෙස්ටර්න් විදියට බරක් පතලක් නැතුව ජීවත් වුණාට රශ්මිගේ ගතිගුණ හරි හොඳයි. එයා මට නංගි කෙනෙක් විතරයි. ඒත් එයා දැන් හුඟක් නරක් වෙලා. ඒක අපේ අම්මි දන්නේ නැහැ."

"ඉතින් සර් මැඩම්ට තේරුම් කරලා දෙන්නකෝ."

"මට ඒ දේ කරන්න බැහැ. ඒකෙන් වෙන්නේ අම්මිගේ හිත රිදෙන එක. මම ඒකට චුට්ටක්වත් කැමති නැහැ."

"ඒත් සර් මේ දේවල් නිසා මැඩම් හුඟාක් හිතින් දුක් විඳියි."

"ඇයි ඒ?"

"සර්... රශ්මි මිස්ට ආදරේ කරන්නෙත් නැතුව, රශ්මි මිස්ගේ චරිතෙත් හොඳ නැතුව මැරි කළාට පස්සේ ගොඩක් දුරට පවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට 'මම හින්දනේ මගේ පුතා අද දුක් විඳින්නේ' කියලා මැඩම් ගොඩක් හිතයි. එතකොට මැඩම් ලෙඩ වෙන්නත් ඉඩ තියෙනවා. ඒක හින්දා මම නම් කියන්නේ රශ්මි මිස් සර්ට ගැළපෙන්නේ නැත්නම් දැන්මම මැඩම්ට කියන එක හොඳයි. එතකොට දුක හිතුණත් ඒක ටික දවසකින් ඇරිලා යයි. හැබැයි සර්... රශ්මි මිස්ව බැඳලා සර් දුක් වින්දොත් මැඩම් ජීවිත කාලෙම ඒ ගැන දුක් වෙයි."

"මන්දාකිණි හරි. මම මේක අම්මිට කියන්නම ඕනා. ඒත් එතකොට අම්මි 'මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද?' අහයි."

"ඉතින් සර් කියන්න එහෙම කෙනෙක් නැහැ කියලා."

"එතකොට හෝ ගාලා මට ප්‍රොපෝසල් ගෙනෙයි. ඒක තවත් කරදරයක්."

"සර් එහෙනම් සර්ගේ හිතේ ඉන්න ගෑනු ළමයා ගැන කියන්න."

"එයා තාම මගේ වෙලා නැහැනේ මන්දාකිණි."

"හරි එහෙනම් කියන්න 'මගේ හිතේ කෙනෙක් ඉන්නවා, මම වෙලාව ආවම එයා ගැන කියන්නම්, එතකන් මට කෙල්ලෝ හොයන්න එපා' කියලා."

"එතකොට අම්මි අහයිද?"

"අනිවාර්යයෙන්ම අහනවා. ලොකු මැඩම් සර්ට ගොඩක් ආදරෙයිනේ."

"මම අහන හැම ප්‍රශ්නෙකටම මන්දාකිණි ළඟ උත්තර තියෙනවා නේද?"

"සමහර විට උත්තර නැති ප්‍රශ්නත් ඇති සර්..."

"මොනවාද?"

"එහෙම කියන්න තේරෙන්නේ නැහැ. ඒත් එහෙම ප්‍රශ්නත් තියෙන්න පුළුවන්."

"මන්දාකිණි අහන්නේ නැතිද කවුද මම ආදරේ කරන ගර්ල් කියලා?"

"නැහැ සර්."

"ඇයි ඒ?"

"කවදා හරි බඳින දවසට අපිට දැනගන්න පුළුවන්නේ. කවුරු වුණත් ඒ කෙනා ගොඩාක් වාසනාවන්තයි."

"ඔයා කොහොමද එහෙම කියන්නේ?"

"සර් හුඟාක් හොඳ කෙනෙක් නිසා."

"මේ... මේ... මම? හැම වෙලේම ඔයාගේ ඇඟට කඩන් පනින මම හොඳයි කියන්න ඔයාට පිස්සුද මන්දාකිණි?"

"ඒක මම දන්නේ නැහැ සර්. ඒත් මට දැනෙනවා සර් ගොඩක් හොඳ අවංක කෙනෙක් කියලා. ඒක නිසයි මම කිව්වේ ඒ ගර්ල් වාසනාවන්තයි කියලා."

"ඒ ගර්ල්ව මට ලැබුණොත් මම ගොඩක් වාසනාවන්ත වෙයි මන්දාකිණි... ඇත්තමයි."

"එයාව සර්ට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සර් අපි යන්නේ නැද්ද?"

නපුරාත් එක්ක තවත් මේ ගැන කතා කළොත් මට අඬන්න වෙනවා කියලා මට තේරුණා. ඒකමයි මම නැගිට්ටේ. ඒත් නපුරා මගේ අතින් ඇද්දා.

"තව ටිකක් ඉමු."

"මැඩම් අපිට හොයනවා ඇති සර්."

"අනේ මන්දාකිණි..."

"සර් ඉඳලා එන්න. මම යන්නම්."

"ආ... එහෙමද? හරි යනවා... යනවා ඉතින්."

"ස... ර්..."

"යනවා යන්න. මම මෙතනට වෙලා ඉන්නම්."

"අනේ... සර් ආයෙත් තරහා ගන්නවනේ. හරි හරි මම ඉන්නම්කෝ."

"එහෙනම් ආයෙ ඉඳගන්න."

"ඉඳගන්න ඕනේ නැහැ සර් මෙහෙම ඉන්නම්."

"මම තමුන්ගේ බොස්. මේ රාජකාරි වෙලාව. මම කියන විදියට වැඩ කරනවා!"

මේ නම් මහම මහ නපුරෙක්ම තමා.

"මම කියන දේ ඇහුණද?"

"සොරි සර්..."

ආයෙම ඉඳගෙන හිටපු තැනින්ම ඉඳගන්න ගමන් මම නපුරාට කිව්වා.

"බඩගිනිද?"

"නැහැ සර් මම කෑවනේ."

"බොරු කියන්න එපා. ඔයා කෑවේ බත් කටවල් 2යි. මම දැක්කා බත් එක එහෙම්ම ගෙනිහින් ආපහු දෙනවා. බත් එකට අතවත් තිබ්බේ නැහැ. මගේ බත් එකෙන් කාපු ටික විතරයි."

"මට බඩගිනි නැහැ සර්..."

"සොරි මන්දාකිණි. ඔයා මම නිසා බැණුම් ඇහුවා. රශ්මිට පිස්සු."

"කමක් නැහැ සර්."

"බිම බලාගෙනම උත්තර දෙන්නේ... වැලි කැට ගණිනවද?"

නපුරා අහපු හැම ප්‍රශ්නෙකටම වගේම මම උත්තර දුන්නේ බිම බලාගෙන. ඒකට තරහා ගිහින් නපුරා ආයෙත් මට කෑ ගැහුවා.

"මොකද කතා නැත්තේ?"

"මුකුත් නැහැ සර්..."

"අඩෝ තදයා... උඹ මෙතන! මම උඹව හැමතැනම හෙව්වා සිහින."

"හෙලෝ ෂාන්! ඉතින් ඉතින්..."

"වරදක් නැහැ ඔහේ ඉන්නවා බන්."

සුදු පාට ටී ෂර්ට් එකකුයි ආමි කලර් කලිසමකුයි ඇඳපු උස සුදු ලස්සන කොල්ලෙක් ඇවිත් අපි හිටපු ගහ යට තිබුණ කළු ගලක් උඩ ඉඳගත්තා.

"උඹ කොහොමද දන්නේ මම මෙහෙ කියලා?"

"යකෝ... බුද්ධි අංශේ උන්ට ඉව තියෙනවා. ඒක මතක තියා ගනින්."

"අනේ තියා ගනින් තොගේ ඉව. ශුවර් අපේ අම්මි කියන්න ඇති."

"ආන්ටි කිව්වා උඹ ආවා කියලා. ඒත් ටික වෙලාවක ඉඳන් අතුරුදහන් කියලා. බලද්දී උඹ මෙතන මල් නෙළනවා. මම හිතුවේ නැහැ උඹට අර උරචක්‍රමාලාවෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. යකෝ මම බෝම්බ ඕන තරම් දැකලා තියෙනවා... ඒත් ඒ වගේ බෝම්බයක් නම් දැකලා නැහැ. ලෝකෙටම එකයි තියෙන්නේ."

"උඹ දැකලා නැත්නම් ඉතින් මම කොහොමත් දැකලා නැහැනේ..."

"කවුද මේ... මෙන්න මේ පාර උඹේ සිලෙක්ෂන් නම් ඵල. ආන්ටි තෝරපු එකී එක්ක නම් මට මල."

"පිස්සුද යකෝ... මේ ඉන්නේ අපේ චැනල් එකේ වැඩ කරන ගර්ල් කෙනෙක්. ප්‍රෝග්‍රෑම් එකක වැඩකට පන්සල බලන්න ආපු ගමන් ටිකක් කතා කළා. කොහේද උඹලා දකින්නේ වැරදියටනේ."

"අනේ සොරි නංගි, කොහේද මම T.V. බලන එකෙක් යැ."

මට අප්සට් ගියා කියලා නපුරාට තේරුණ නිසා මගේ විස්තර යාළුවාට කිව්වා. ඒත් එහෙම කියන කොට මගේ හිත ටිකක් හෙල්ලුණා. ඇත්තනේ ඉතින් මම නපුරාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේනේ. මොන දේ වුණත් ෂාන් සර් ඇවිත් මාව ලොකු උගුලකින් ගලවා ගත්තේ. නැත්නම් ඉතින් මට නපුරාගේ ප්‍රශ්න පත්තරේටම උත්තර නැතුව යනවා.

"හරි එහෙම නම් ඉතින් කවුද මේ සුරංගනාවි කියලා අසරණ අහිංසක ලද බොළඳ ෂාන්ට කියලා දෙනවද මගේ සිහිනයෝ?"

"උඹ නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ඇතුළාන්තයෙනුත් ඔහොමද බන්?"

"පොඩ්ඩක් ඉඳපන් ගලවලා පෙන්නන්නම්."

ෂාන් සර් ලෑස්ති වුණේ ඇත්තටම ෂර්ට් එක ගලවන්න. ඇත්තටම පිස්සුද කොහේද?

"උඹට පිස්සුද යකෝ? මෙතන කෙල්ලෙක් ඉන්නවා. නැත්නම් මම තොට හොඳවයින්ම කියා දෙනවා බන්..."

නපුරාට තරහා ගිහින් ෂාන් සර්ට හොඳටම බනින්න ගත්තා. මෙයාට ඉතින් කොයි වෙලෙත් තද වෙනවනේ.

"උඹත් වෙනස් වෙලා නැහැ සිහින. තාම මූලග්ගින්න තියෙනවා."

"මම උඹට කියන්නේ නැහැ බූරුවා."

"බූරුවෝ ආශ්‍රය කරන එකත් බූරුවා තමා. නැතුව අශ්වයෝ වෙන්නේ නැහැ නේද නංගි?"

ෂාන් සර් කතාව ඉවර කළේ මගේ පැත්තට හැරිලා. මට හිනාව නවත්වා ගන්න බැරි වුණා. නපුරා රවලා මගේ දිහා බැලුවේ හුඟක් තරහා ගිහින්.

"ආ... තමුසෙත් උගේ කතා වලට හිනා වෙනවා. එතකොට හරිනේ."

"සො... සොරි සර්..."

"මොනවාද බන් සිහින? උඹ සිහින දැකීමේ අයිතිය මදිවට සිනා වීමේ අයිතියත් මිනිස්සුන්ගෙන් උදුරාගෙනනේ."

"ඒකෙන් උඹට වැඩක් නැහැනේ. හරි මට වැඩක් නැහැ. ඉන්ට්‍රඩියුස් කරපන් මාව මේ නංගියට. නැත්නම් මම අඳුනගන්න ද?"

"අනේ මෙ... උඹ ඉඳපන්. මන්දාකිණි, මේ ෂාන්. චූටි කාලේ ඉඳන්ම මාත් එක්ක ඇමරිකාවේ ඉගෙන ගත්තේ. මූට ඒ කාලේ ඉඳන්ම රට වෙනුවෙන් යුද්ධ කරන්න ඕන කම තිබුණා. එක්සෑම් ඉවර වුණ ගමන්ම ලංකාවට ඇවිත් ආමි එකට බැඳුණා. දැන් ඉන්නේ බුද්ධි අංශේ. මූට ලංකාව ඇතුළේ ඕන දෙයක් කරන්න පුළුවන්."

"ආ... උඹ මම ගැන සෑහෙන විස්තරයක් දුන්නනේ. ඒත් කියන්න ඕනම දේ කිව්වේ නැහැනේ..."

"මොකක්ද ෂාන්?"

"මම තාම බැඳලා නැහැ කියලා!"

"අනේ තොගේ බැඳිල්ල!"

"ඇයි උඹට ඊර්ෂයාද? මේ වගේ වනේ පිපුණු මලක් මම නෙළා ගනී කියලා..."

"ඊර්ෂයා වෙන්නම දෙයක්! මන්දාකිණිව එයාගේ මස්සිනා උස්සලා ඉවරයි. ළඟදී බඳිනවා."

නපුරා සමේත් සර් ළඟ ඇරෙන්න ෂාන් සර් ළඟත් මට 'මන්දාකිණි' කියලා කතා කළා. අනේ මන්දා මේ වෙස් මාරුව මොකක්ද කියලා.

"ඒකත් එහෙමද සිහින? මදෑ මාත් කන්න ඉල්ලන්නේ."

එතන ඉඳන් කතාව ඇදී ගියේ යුද්ධය ගැන. යාළුවෝ දෙන්නාට කතා කරන්න ඉඩ දීලා මම නැගිටලා චෛත්‍යය ළඟට ආවා. චෛත්‍යය ළඟටත් නපුරලාගේ කතාව පැහැදිලිව ඇහුණා. කොච්චර විහිළුවෙන් හිටියත් යුද්ධය ගැන කතා කරන්න ගත්තම ෂාන් සර්ගේ මූණට ආවේ බැරෑරුම් පාටක්. යුද්ධය ඉවර වුණාට ඒකෙන් ලංකාවේ තරුණ තරුණියන්ට වෙච්ච පාඩු ගැන කතා කරද්දී ෂාන් සර් කතා කළේ හරිම කණගාටුවකින්. එක්ක වැඩ කරපු යාළුවෝ මැරුණ හැටි කියන කොට ෂාන් සර්ගේ ඇස් දෙකේ කඳුළු බිංදු පිටට පනින්න දඟලනවා මම දැක්කා. ඒත් එයා ඒ හැමදේම දරාගෙන කඳුළු හංගගන්නවා මට තේරුණා. එයාලාගේ රස්සාවෙ හැටියට එයාලා අඬන එක හැමෝටම ලැජ්ජාවක් කියලා කියනවත් මට ඇහුණා.

"මම උඹට හැමදාම කිව්වනේ සිහින, රශ්මි උඹට පොඩ්ඩක්වත් මැචින් නැහැ කියලා."

"මාත් ඒකිට ලව් කළේ නැහැනේ බන්... ඒකි මට නංගියෙක් ගානයි."

"එතකොට දැන් උඹ කාට හරි ලව් කරනවා?"

"ඔව්."

"උඹ කියන්න කලින් මම කියන්නද කවුද කියලා?"

"කියහන් බලන්න."

"විදේශයකදී හමුවුණු ඒ ලස්සන කෙල්ලව නේද? උඹ හිතන්නේ මම දන්නේ නැහැ කියලාද? ඒත් ඒ රහස තවම හංගන් ඉන්නේ උඹට දිනාගන්න බැරි වුණු නිසයි."

"උඹ හරි නේද සිහින? ඔව් උඹ හරි."

"හැබැයි සිහින උඹේ සිලෙක්ෂන් නම් ඵල! මම පාරේ පළවෙනියටම ඒ කෙල්ලව දකින ගමන් ගැස්සිලා ගියා. පිස්සු හැදෙනවා. ඒ වගේ කෙල්ලෙක් ගැළපෙන්නේ උඹ වගේ හැන්ඩියෙකුටම තමා. නැතුව පඟර නැට්ටෙකුට නෙමේ. නෙළා ගන්නවා නම් පරෙස්සමට නෙළා ගනින්. හැබැයි පුතෝ පෙති තලන්න එපා. පව් බන් අහිංසකයි. නිමේෂ්, සමේත් දන්නවද?"

"ඔව් බන් දන්නවා. වැඩේ කියන්නේ නෙළා ගන්න හදන කොට කොහේද ඉඳලා ආපු බූරු පැටියෙක් උදැල්ල දානවා බන්."

"අයියෝ ඕක මොකක්ද? දෙමු වැඩක්! මම ඒවට කැමති නැහැ බන්."

"උඹ කැමති නැති වුණාට අපි කැමතිනේ. කොහොමත් ඉස්සරත් උඹ නෙමේනේ වලි දා ගත්තේ... සමියයි මමයි නිමේෂ්නෙ. ඒත් අන්තිමට උඹනේ අනිත් උන්ට තෙළන්නේ. දැන් උඹ වලි දා ගනින්, අපි නෙළන්නම්. ඒක නෙමේ මොකද තොගේ අතට වුණේ?"

"කැපුණා බන්."

"ඇයි යකෝ තෝ තොත්ත බබෙක්ද ඔය තරම් අත කපා ගන්න? නැහැ බන් මට තද වෙලා මේසේ වීදුරුව කුඩු කළා."

"මොකක්?"

"ඔව් ඇයි?"

"උඹ වගේ පාපතරයෙක්! අපරාදේ වීදුරුව. කවුද බේත් දැම්මේ? ඌ යහතින් ඉන්නවද? ඕකට සර්ජිකල් දැම්මා නම් ශුවර් එකටම දාපු එකා ඉස්පිරිතාලේ."

"උඹට ඒවා මතකයි නේද?"

"මට මොකද අමතක? උඹට පෙන්නන්නම බැරි දේ සර්ජිකල් දාන එකයි ඉන්ජක්ෂන් ගහන එකයිනේ. මතකනේ ඉස්සර උඹට බේත් දාන්න දොස්තරලා මාර බයයිනේ. ඇමරිකන් කාරයෝ වෙව්ලනවා."

"ඉමේෂ් බන් බෙහෙත් දැම්මේ."

"අප්පට සිරි! ඒ එක් දරු පියාද? ඌ යහතින් ඉන්නවා නේද බන්?"

"යහතින් යහතින්... මැහුම් 2ක් දාලා තියෙන්නේ. අනිද්දා මැහුම් කපනවා."

"උඹ ඕවා ඉතින් විහින් කර ගන්න දේවල්. ඉමේෂ් දැම්ම හින්දා හොඳයි. උඹට වෙන කෙනෙක් බෙහෙත් දැම්මා නම් ඌට සොරි ඩොට් කොම්."

"වෙන කෙනෙකුත් දැම්මා බන්. හැබැයි සර්ජිකල් දාන්න ගිහින් මම එපා කිව්වා."

"අම්මේ කවුද ඒ නූලෙන් ජීවිතේ බේරා ගත්ත කෙනා?"

"ඔය ඉන්නේ බන්."

"ආ මේ නංගිද? එයාට බය වෙන්න දෙයක් නැහැ."

"ඇයි ඒ?"

"ඇයි කියලා මම පස්සේ කියලා දෙන්නම්කෝ. ඒක නෙමේ පෙරේදා බන්ධනාගාරයට ගියා, අයියා කාරයා හම්බෙන්න. ඌ ඒකෙම වැඩ දැන්."

"ඉතින්?"

"මම අර පොර ගැන හොයලා බැලුවා. කවුද අපේ තාත්තිව..."

"ඔව් බන් අංකල්ව මරපු එකා ගැන. මම හිතුවේ ඒකා මහා නරුමයෙක් වෙන්න ඇති කියලා. හෙන අහිංසකයෙක් බන්. ඒකාමද ඒ මරණය කළේ කියලා හිතෙනවා. අංකල් වගේ කෙනෙක්ව ඌ කොහොම මැරුවද මන්දා බන්."

ෂාන් සර් කිව්වේ අමුතුම කතාවක්. ඒ කියන්නේ නපුරාගේ තාත්තාව කවුරු හරි මරලද?

"අහිංසක? මට ඕකව එළියේදී හමු වුණොත් මම ඕකව අත අරින්නේ නැහැ!"

"උඹ පන්සලේ ඉඳගෙන කියන කතා! යකෝ දඬුවම නීතියෙන් දීලා තියෙද්දී උඹ දඬුවම් දෙන්න ඕනා නැහැනේ."

"උඹ දන්නවා ෂාන්, උඹ විතරක් නෙමේ ඉමේෂ්, සමේත් උන් දෙන්නත් දන්නවා. උඹලා හැමෝටම තාත්තේ කියලා දුවලා ගිහින් බෙල්ල බදාගෙන හුරතල් වෙන්න තාත්තලා හිටියා. පුංචි කාලේ උඹලා තාත්තලාත් එක්ක හුරතල් වෙද්දී මේ සිහින තනියම පැත්තකට වෙලා හොරෙන් ඇඬුවා. කොලේජ් එකේ සුදු පැටවුන්ව සුද්දෝ ඉස්කෝලෙට දාලා යද්දී මම ඒ දිහා ආසාවෙන් බලාගෙන හීන මැව්වා. ඉස්කෝලේ හිටපු දක්ෂම ශිෂ්‍යයා මම... හැම අවුරුද්දෙම මම සම්මාන අරගෙන ස්ටේජ් එකෙන් බහින කොට දුවගෙන ඇවිත් මාව වඩාගෙන ඉඹින්න මගේ තාත්ති හිටියේ නැහැ. හැමෝම මගෙන් තාත්ති ගැන අහන කොට මම ගොඩක් අසරණ වුණා. ලොකු වෙලා ටිකෙන් ටික තේරෙන කොට මගේ හිතට ඇතුළු වුණේ වෛරයක්. මම ඉපදෙන්නත් කලින් පිය සෙනෙහස අහිමි කරපු ඒ පාහරයාගෙන් පළි ගන්නවා කියන අදහස විතරයි මට තිබුණේ. ඒත් මගේ අම්මි මට ඒකට ඉඩ දුන්නේ නැහැ. බැරිම තැන මට අවුරුදු 18 වෙද්දී මම ලංකාවට ආවා. ඒත් අම්මත් මාත් එක්කම ආපු නිසා මට ඒ මිනිහව දකින්නවත් ඉඩ ලැබුණේ නැහැ. දැන් මට අවුරුදු 24ක්... මට දැන් ඕනා ඒ මිනිහට දඬුවම් දෙන්න. ඒත් නීතිය මට හරස් වෙලා. මම කවදාම හරි ඒ දේ කරනවා, ෂාන් කරනවාමයි."

"ඉදකින් මම වගේ පාපතරයෙක්! මඟුලක් කියලා උඹව අවුස්සලා යට ගිහින් තිබ්බ කුණු ඔක්කොම එළියට ඇද්දා. දැන් ඉතින් ඔය කුණු හෝදන්න සෑහෙන්න අමාරුයි."

"ඒ කුණු කවදාවත් යට යන්නේ නැහැ බන්. ඒවා යට යන්නේ කවදාම හරි මම උගෙන් පළිගත්ත දාට."

"සිහිනයෝ ගිය දේ ගියා බන්. ඒ මිනිහා ඒකට තවමත් දඬුවම් විඳිනවා. ඉස්සරහටත් දඬුවම් විඳියි. ඒවා නීතිය බලාගනියි. දැන් ඌට තේරිලා ඇති සිහින, එක සැරේ මරනවාට වඩා මැරි මැරි උපදින කොට දැනෙන වේදනාව දරුණුයි කියලා. උඹ මගේ බොක්කෙම ෆිට් එක. උඹ වෙනුවෙන්ම මට කරන්න පුළුවන් හැම දේම මම කරනවා. ඒත් උඹට උගෙන් පළි ගන්න දෙන්නේ නැහැ."

"ඇයි ඒ?"

"තැලෙන යකඩේ වුණත් උඩ පැන පැන තලලා හරියන්නේ නැහැ. එතකොට හදන ආයුධේ කොලිටි නැති වෙනවා. ගානට තලන්න ඕනා. අන්න ඒක මතක තියා ගනින්."

"ඒත් බන් මාවයි අම්මිවයි මේ ලෝකේ තනි කරපු ඒ පාහරයාව මට දැන ගන්න ඕනා. ඇයි ඌ එහෙම කළේ කියලා. ඉස්සර මම අම්මාගෙන් 'මට තාත්ති කෝ?' කියලා අහද්දී අම්මිගේ ඇස් වලින් වැටිච්ච හැම කඳුළක් ගාණේම පලිය උගෙන් මම ගන්න ඕනා."

"ඒ පලිය නීතියෙන් අරගෙන ඉවරයි. උඹට ඕනෙම නම් ඒ මිනිහා එක්ක කතා කරන්න මම ලෑස්ති කරලා දෙන්නම්. හැබැයි ඒ උඹ කලබල නොකරනවා නම් විතරයි."

එතනින් එහාට නපුරාවත් ෂාන් සර්වත් මුකුත්ම කතා කළේ නැහැ. නපුරා ලොකු කල්පනාවක පැටලුණා. ඒ කියන්නේ නපුරාගේ තාත්තාව ලෝකෙන් උදුරා ගත්ත කෙනා ඉන්නෙත් මගේ අප්පච්චි ඉන්න තැනමයි. මගේ අප්පච්චි ජීවතුන් අතර හිටියත් මගේ ළඟ නැහැ. නපුරාගේ තාත්තා එයා ළඟ ඇත්තෙම නැහැ. අපි දෙන්නටම පිය සෙනෙහස ලැබිලම නැහැ. අප්පච්චි හිරේ ඉන්න හේතුව නපුරා දන්නෙත් නැහැ. මගේ අම්මා වගේ කාන්ති මැඩමුත් කොච්චර දුකක් විඳිනවා ඇත්ද?

"මොනවාද උඹ කල්පනා කරන්නේ සිහින?"

"මොනවත් නැහැ. යමන් තුනත් වෙලා. අම්මි හොයනවා ඇති. යමන්, යමන්. මමත් දැන් යන්න ඕනා. අපේ උන් මාව දාලා ගිහින්ද දන්නෙත් නැහැ."

"මන්දාකිණි අපි යමු නේද?"

"මො... මො... කක්ද සර්?"

නපුරා කිව්ව දේ මට ඇහුණත් කල්පනා කර කර හිටපු නිසා මාව ගැස්සිලා ගියා.

"කොයි ලෝකෙද හිටියේ? මස්සිනාගේ ලෝකෙද? කමක් නැහැ දැන් අපි යමු මන්දාකිණි නංගි. පරක්කු වෙනවා."

"අනේ සොරි ෂාන් සර්."

"මේ... මේ... මෙන්න මූ ඔයාගේ සර් වුණාට මම ඔයාගේ සර් නෙමේ. මට ෂාන් කියන්න. කොහොමත් ඉතින් දැන් අපි ෆ්‍රෙන්ඩ්ලනේ."

මම ෂාන් සර්ට උත්තර දුන්නේ හිනාවකින්. ඕකට මොනවා හරි කියන්න ගියා නම් නපුරගෙන් ආයෙත් මට බැණුම් අහන්න වෙනවා කියලා මට තේරුණා.

****** 


"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."    
 
 

Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1