සිහින මන්දාකිණී 1/8







 08 වන දිගහැරුම

"මලී අක්කා... දැන් කොහොමද ඔයාට...?"

"දැන්නම් අඩුයි මන්දාකිණි. හෙට වැඩට යන්න පුළුවන් වෙයි. උඹ මොකද අද කලින්?"

"පන්සලේ ප්‍රෝග්‍රෑම් එකට විස්තර බලන්න පන්සල් ගියා අක්කා. සමෙත් සර්ලා මාව ගේ ගාවින් දාලා ගියා."

"හවස ප්‍රෝග්‍රෑම් නැද්ද?"

"නෑ අක්කෙ. අද සෙනසුරාදනෙ. ඒක නෙමේ, ඇයි අක්කෙ ඔයා එක පාරටම අසනීප වුණේ? ඔයා හොඳට හිටියනේ."

"අනේ මන්දා චූටියො..."

"ඔයා බෙහෙත් ගත්තද?"

"බෙහෙත් ගන්න ඕනා ගතේ ලෙඩ වලට මන්දාකිණි, හිතේ ලෙඩ වලට බෙහෙත් ගත්තට වැඩක් නෑ."

මම පිටිපස්ස හැරුණේ රංගන අයියගේ කටහඬ ඇහුණු නිසා. කාමරේ දොර රෙද්ද ඈත් කරගෙන අපි දෙන්නා දිහා බලන් ඉන්න රංගන අයියගේ මූණේ තිබුණේ ලොකු කේන්තියක්.

"රංගන අයියා...?"

"නංගි, පුළුවන්නම් ඔය හොල්මනගේ හිතේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා අහලා ඕක විසඳගන්න උදව් කරන්න. මම ඕකිගේ අයියා වුණාට ඕකි මට කිසිම දෙයක් කියන්නේ නෑ. මම ඕකිගෙන් කොච්චර ඇහුවද, කොහෙද කටක් ඉස්සුවේ නෑ. අද උදේ ඉඳන් මුකුත් කාලත් නෑ. ඇත්තටම මෙයාට තියෙන ප්‍රශ්න මොනවද නංගි? මම ඔයාගෙන් අහන්නේ, ඔයාව විතරනේ මෙයා ආශ්‍රය කරන්නේ. මට ඕකි ඔහොම ඉන්නවා බලන් ඉන්න බෑ."

"මම දැනුවත්ව නම් මුකුත් ප්‍රශ්න නෑ රංගන අයියා."

"අනේ මන්දා නංගි, හරියන්නේ නැහැ. ඉක්මනටම මෙයා ගැන තීරණයක් ගන්න වෙනවා. ඉන්නකො මම තාත්තත් එක්කත් කතා කරන්න. අපිට කියලා දහයක් නෑනේ. මෙයා විතරනේ ඉන්නේ."

රංගන අයියා උළුවස්සට හේත්තු වෙලා කියවගෙන ගියේ හුඟාක් වගකීම් තියෙන තාත්තා කෙනෙක් වගේ. රංගන කියන්නේ මලී අක්කගේ එක කුස උපන් අයියා වුණාට, එයා මටත් සලකන්නේ එයාගේ එක කුස උපන් නංගිට වගේමයි. හුඟක් වස වුණත් එයා මලී අක්කාට හුඟක් ආදරෙයි. වැඩිදුර අධ්‍යාපනයක් ලබලා නැතත් හොඳ මොළයක් තියෙනවා. පුංචියට පටන් ගත්ත වාහන සේල් එක දැන් සෑහෙන දියුණුයි. ඉස්සරහට තවත් දියුණු වෙන පාටක් ඒ දිහා බලන ඕනම කෙනෙක්ට පේනවා. මලී අක්කා විතරක් නෙමේ, කවදාවත් මමවත් රංගන අයියට ඉහළින් කට ඉස්සුවේ නෑ.

"මලී..."

"ඇයි අයියා...?"

"ඔයාගේ හිත ගිය කෙනෙක් ඉන්නවද?"

මලී අක්කා රංගන අයියගේ ප්‍රශ්නය ළඟ හුඟාක් ගොළු වුණා.

"නංගි, මම අහපු ප්‍රශ්නයට ඔයා ළඟ උත්තර නැද්ද? එහෙම නැත්නම් ගොළු වෙලා ඉන්නේ එහෙම කෙනෙක් ඉන්න හින්දද?"

"එ... එහෙම කෙනෙක් නෑ අයියා."

මලී අක්කගේ කටින් පිට වෙච්ච ඒ වචන වල තිබුණේ ලොකු වේදනාවක්. 'ඇයි මලී අක්කෙ ඔයා විහින් විඳවන්නේ?'

"එහෙනම් මම ඒ ගැන හොයලා බලනවා නංගි."

රංගන අයියගේ අවසන් තීන්දුව දීලා රංගන අයියා යන්න ගියා. රංගන අයියා ගියා විතරයි බදාගෙන හිටිය කොට්ටේ ඔළුව ඔබාගෙන මලී අක්කා අඬන්න පටන් ගත්තා.

"මලී අක්කෙ ඇයි මේ හිතින් දුක් විඳින්නේ? කියන්න මට මොකක්ද ප්‍රශ්නෙ?"

"ඒවා ගැන කතා කරලා වැඩක් නෑ නංගි."

"කතා කරලා වැඩක් නැද්ද කියලා බලන්න කියන්නකො."

මම මලී අක්කගේ ඇඳ උඩින් ඉඳගෙන එයාගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.

"මම දන්නේ නෑ චූටි මේක කොහෙන් පටන් ගන්නද කියලා. එක අතකින් මේක කාට හරි කියලා හිත නිදහස් කර ගත්තම සැනසීමයි."

"හරි ඉතින් කියන්නකො."

"මම නිමේෂ් අයියට ගොඩක් කැමතියි. ආදරෙයි. එයා තරම් මාව තේරුම් ගත්ත තවත් කෙනෙක් මේ ලෝකේ නෑ. ඒත් මම එයාව ළං කරගන්න තරම් පින නෑ. මම එයාව ළං කරගත්තොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කොහොම වුණත් එයා වෙන කෙනෙකුට අයිති වෙනවා මට දරා ගන්නත් බෑ."

"හරි ඉතින් අක්කෙ, නිමේෂ් අයියට ඔයා ඔච්චරම ආදරේ නම් ඇයි එයා ඔයාගෙන් යාළුවෙන්න අහපු වෙලේ බැහැයි කිව්වේ?"

"ඒකට ලොකු හේතුවක් තියෙනවා නංගි. ඒත් ඔයා කොහොමද නිමේෂ් මගෙන් යාළුවෙන්න ඇහුවා කියලා දන්නේ?"

"අද උදේ රෙස්ට් රූම් එකේදී ඔයාලගේ කතාව ඇදිලා ආවා. එතකොට මට ෆාති අක්කා කිව්වා."

"ඒ කියන්නේ?"

"එයාලා හැමෝම ඔයාගේ හදිසි ලෙඩ වීමට සැක කරන්නේ නිමේෂ් අයියව."

"ඒකත් එහෙමද?"

"ඒක එහෙම තමයි. දැන් මට කියන්න ඇයි ඔයාට නිමේෂ් අයියට කැමති වෙන්න බැරි?"

"ඒවා කතා කරලා වැඩක් නෑ නංගි."

"නෑ වැඩක් තියෙනවා. මට ඒක දැන ගන්න ඕනා."

"නිමේෂ් අයියා උඩරට උසස් වංශවත් පවුලක කොල්ලෙක්. ඒත් මම අඩු කුලේක ඉපදිච්ච කෙල්ලෙක් නංගි. මට නිමේෂ්ට ළං වෙන්න බැරි ඒකයි."

"අයියෝ... ඔයාටත් පිස්සු. දැන් කාලේ කවුද ඕවා ගණන් ගන්නේ අක්කෙ? මේ 21 වෙනි ශතවර්ෂයනේ. ඔයා තාම ජීවත් වෙන්නේ එක්දහස් නවසිය බර ගණන් වලනේ."

"නිමේෂ් ගණන් නොගත්තට එයාගේ දෙමව්පියෝ ගණන් ගන්නවා නංගි."

"හරි මෙහේ ඉඳන් අංජනම් එළියක් බලලද ඕක තීරණේ කළේ?"

"නෑ."

"එහෙනම් ඔයා දන්නේ කොහොමද එයාලගේ දෙමව්පියෝ එහෙමයි කියලා?"

"නිමේෂ්මයි කිව්වේ නංගි."

ජනේලෙන් පේන නිල්පාට අහස දිහා බලාගෙන මලී අක්කා දිග සුසුමක් හෙළුවා. ඒ මූණේ තිබුණේ නිමේෂ් අයියගේ ආදරේ වෙනුවෙන් දුක් විඳින මලී අක්කගේ හදවතේ වේදනාව කියලා මට තේරුණේ ආයෙමත් එයාගේ ඇස් අගට කඳුළු බිංදු දෙකක් ඇවිත් තියෙනවා දැක්කම.

"මොනවද නිමේෂ් අයියා කිව්වේ?"

"එයා දන්නේ නෑ නංගි, මම කුලහීන කෙල්ලෙක් කියලා. මම එයා එක්ක දවසක් ඔය ගැන නිකමට වගේ කතා කළා. එතකොට එයා තමයි කිව්වේ අපේ අම්මලා තාත්තලා නම් ඔය දේවල් ඔළුව උඩ තියන් ඉන්නේ කියලා."

"නිමේෂ් අයියත් ඕවා විශ්වාස කරනවද?"

"එයා නම් එහෙම නෑ."

"එහෙනම් ඉතින් තවත් මොනවද අක්කෙ? ඔයා ජීවත් වෙන්නේ නිමේෂ් අයියත් එක්ක. එයාලගේ අම්මලා තාත්තලා වත් පරම්පරාවේ අයවත් එක්ක නෙමේ."

"ඒත් නංගි..."

"අක්කේ... මිනිස්සු කුල මල ජාති ආගම් වලට බෙදුණට, හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම ලේ. ඒ ලේ රතු පාටයි. මොකද උසස් කුලේ කියලා උන්ගේ ලේ විතරක් කොළ පාටද? නෑනේ අක්කෙ."

"ඒක හරි නංගියො. ඒත් සමාජේ හැමෝම එහෙම හිතන්නේ නෑ. ඒ මේ සමාජ ක්‍රමේ හැදිලා තියෙන හැටි. අපිට මේ සමාජේ වෙනස් කරන්න බෑ නංගි."

"අපිට සමාජේ වෙනස් කරන්න බෑ තමයි. ඒත් අපිට වෙනස් වෙන්න පුළුවන්. කවදා හරි මේ ලෝකේ විනාශ වෙනවා. එදාට ඔය හැමෝම මැරෙනවා. ඔයාම හිතන්න මේ ලෝකේ පහත් කියලා සම්මත කුල වල මිනිස්සු රටට කොච්චර සේවයක් කරලා තියෙනවද?"

"ඒත් පැටියෝ..."

"ඒත් මේත් නෙමේ අක්කෙ. යුද්ධෙදි උසස් පහත් කුලයකින් තොරව කී දෙනෙක් මැරුණද? එදා ඒ අය දිවි පුදපු හින්දා අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙනවා. එදා ඒ සේවය කළේ උසස් අය විතරද, පහත් අය විතරද? නෑ, දෙගොල්ලොම. ඒ එකමුතුකම නිසා අද රට නිදහස්. ඔයා ඔය පුහු මතේ එල්ලීගෙන ඉන්න එපා අක්කෙ. කුලය, නම්බුනාම, බලය කියන්නේ එක මිනිහෙක් තව මිනිහෙක්ව යටපත් කරලා දාන්න හදා ගත්ත දේවල් අක්කෙ."

"ඔයා ඔය කියන විදියටම නිමේෂ්ලගේ අම්මලා තාත්තලා හිතනවා නම් අද මෙහෙම ප්‍රශ්නයක් නෑ නංගි."

"හිතයි... අක්කෙ හිතයි..."

"නොහිතුවොත්..."

"සෘණාත්මකව හිතන්න එපා අක්කෙ. ධනාත්මක වෙන්න. ඔයා වගේ හොඳ කෙනෙකුට කවදාවත් වරදින්න විදියක් නැහැ මගේ අක්කෙ."

"ඔයා කියන්නේ මට නිමේෂ්ට කැමති වෙන්න කියලද?"

"ඔව්. එන ප්‍රශ්න වලට දෙන්නම එකතු වෙලා ඒකට මුහුණ දෙන්න. ඔයා ඔය දේ මුලින්ම නිමේෂ් අයියට කියන්න. එතකොට අනාගතේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ. අනික නිමේෂ් අයියා ඕවා ගැන හොයන කෙනෙක් නම් එයා ඔයාගෙන් අහන්න කලින්ම ඒ ගැන හොයනවනෙ අක්කෙ. එයාට විශ්වාස ඇති එයාලගේ පවුලේ අය ඔයාට අකමැති වෙන්නේ නෑ කියලා."

"මට බෑ නංගි, මට බෑ. කවදා හරි දවසක ඔය ප්‍රශ්නෙ උඩ ඇවිත් එයාලගේ ගෙවල් වලින් මට ප්‍රශ්න ඇති කළොත්, මාව, මගේ ගෙදර අය පාගලා කතා කළොත්, මට ඒ දේවල් දරා ගන්න බැරි වෙයි නංගි."

"අක්කෙ, නිමේෂ් අයියා ඔය දේවල් හොයලා ආදරේ කරන කෙනෙක් නම් දැනටමත් එයා ඔය දේවල් හොයාගෙන. ඒ විතරක් නෙමේ ඔයාගෙන් ඈත් වෙලා. ඒත් එයා ඔයාගෙන් ඈත් වුණේ නෑ. කවමදාවත් ඔය දේවල් හොයන්න ට්‍රයි කළෙත් නෑ. එයා ඔයාට ආදරේ කළා විතරයි. ඉතින් අක්කෙ නිමේෂ් අයියට ඔය දේවල් වැඩක් නැත්නම් ඇයි ඔයා ඔය දේවල් ගැන හොයන්නේ? ඕවා පැත්තකට දාලා හිතේ තියෙන පිවිතුරුම හැඟීමට එළියට එන්න ඉඩ දෙන්න. අක්කෙ එතකොට ජීවිතේ හරිම සැහැල්ලුයි."

"හරි, ඔය හැම දේම පැත්තකට දාලා නිමේෂ් අයියට ආදරේ කරන්න හිතුවා කියමු. ඒත් දැන් එයා මගෙන් ඈතට ගිහින් ඉවරයිනේ නංගි."

"ඔයා කෙලින් තීරණයක් ගන්නවා නම්, මම ඈතට ගිය කුරුල්ලා අල්ලගෙන ඇවිත් දෙන්නම්."

"ඔයාට ඒ දේ කරන්න පුළුවන්ද නංගි?"

"මට මේ තරම් උදව් කරන ඔයා වෙනුවෙන්, මට ඒ දේවල් කරගන්න බැරි නම් මගෙන් වැඩක් තියෙනවද අක්කෙ?"

"මට ඒ දේ කරලා දෙන්න නංගි. මට මගේ නිමේෂ්ව ගෙනත් දෙන්න."

"අන්න එහෙම ඉන්න මලී අක්කෙ. මම නිමේෂ් අයියත් එක්ක කතා කරන්නම්. ඔන්න එතකන් මූඩ් අවුට් යවා ගන්නේ නැතුව ඉන්න ඕනා. දැන් කෑම කන්නත් ඕනා. හෙට වැඩට යන්නත් ඕනා."

"ඔයා ඇත්තටම මට ඒ දේ කරලා දෙනවද නංගි...?"

"මම කවදාවත් මගේ අක්කට බොරු කියලා තියෙනවද? හරි දැන් හිනා වෙලා, හොඳට කාලා බීලා හෙට වැඩට යන්න ලෑස්ති වෙන්න. හැබැයි... ඒ පරණ මලී විදිහට."

"හරි නංගියො හරි. දැන් මට හොඳයි."

"ඒකනේ මලී අක්කෙ, රංගන අයියා කියපු කතාව හරී. ඔයාට තිබිලා තියෙන්නේ හිතේ ලෙඩක්."

"නිමේෂ් මගේ වුණාට පස්සේ ආයෙ කවදාවත් මට හිතේ ලෙඩ හැදෙන එකක් නෑ නංගි."

"මම දන්නවා අක්කෙ. මම ගිහින් එන්නම්. මම ගෙදර ආවා විතරයි. වොෂ් එකක්වත් දැම්මේ නෑ."

"හොඳයි පැටියො... හෙට උදේ මම වැඩට යන්න එනවා."

"මම හෙටම නිමේෂ් අයියත් එක්ක කතා කරන්නම් අක්කෙ."

"ඔයා මගේ හොඳම හොඳ නංගියා."

මලී අක්කාට පොරොන්දුවකුත් දීලා මම මලී අක්කලාගේ ගෙයින් එළියට ආවා. ගෙදරට ආවත් හිතේ නිස්කලංක ගතියක් තිබ්බේ නෑ. උදේ ඉඳන් සිද්ධ වෙච්ච හැම සිද්ධියක්ම මගේ ඇස් ඉස්සරහා මැවී මැවී මාව අවුල් කරන්න ගත්තා. වෙනදා වගේ කාමරෙන් එළියට වෙලා ඉන්න මට හිතුණේ නෑ. අම්මත් මට කරදර නොකළේ, මගේ වෙනසක් තේරුණ නිසා වෙන්න ඇති.

උදේ පාන්දර ලෑස්ති වෙලා මමයි මලී අක්කයි එළියට බහින්න හදනකොටම චැනල් එකේ වෑන් එකක් ඇවිත් අපේ ගේ ඉස්සරහා නැවැත්තුවා. මමයි මලී අක්කයි මූණෙන් මූණ බලා ගත්තේ හුඟක් පුදුම වෙලා.

"ධර්මසේන අංකල්, ඇයි මේ?"

"ඇයි මලී මිස් Dream කිව්වේ නැද්ද?"

"මොකක්ද ධර්මසේන අංකල්?"

"ඊයේ උදේ අපේ මන්දාකිණි දුවට බස් හෝල්ට් එකේදී වෙච්ච දේ නිසා සර් තීරණේ කළා ට්‍රාන්ස්පෝට් එකක් පටන් ගන්න. චැනල් එකට එන ටිකටයි චැනල් එකෙන් ගෙදර යන ටිකටයි එතන වැඩ කරන අයගේ ආරක්ෂාව චැනල් එකටම භාර අරගෙන."

මලී අක්කා මං දිහා බැලුවේ හුඟක් පුදුමෙන්. ඊයේ වුණු දේවල් මලී අක්කාට මට කියන්න අමතක වුණානේ.

"මොකක්ද චූටි ඊයේ වුණේ?" වෑන් එකේ පිටිපස්සේ ෂීට් එකට නගින ගමන මලී අක්කා ඇහුවා. වෑන් එකේ පිටිපස්සේ චැනල් එකේ වැඩ කරන තව හතර පස් දෙනෙක් විතර හිටියා.

ඊයේ උදේ බස් හෝල්ට් එකේදී වෙච්ච හැමදේම මලී අක්කාට කිව්වම එයාගේ හිතේ ඇති වෙච්ච කේන්තිය එයාගේ මූණෙන් පේන්න ගත්තා. හුඟාක් ලස්සනට තිබ්බ ඒ මූණ ලොකු කේන්තියකින් පිරෙද්දී මලී අක්කා කළේ මට ඔරවන එක විතරයි.

"උඹ ඊයේ හවස ඇයි මට ඕක නොකිව්වේ?"

"මට අමතක වුණා අක්කෙ. අනික ඔයත් ලෙඩින්නේ උන්නේ."

"එහෙම කියලා උඹ නොකියා ඉඳලා හරියන්නේ නෑනේ බන්. ඒකයි මට කේන්ති උඹත් එක්ක."

************ 

"මොකද නිමේෂ් අයියෙ, බර කල්පනාවක?"

"ආ... නෑ... නෑ නංගි, මුකුත් නෑ."

"මම හිතුවා ඊයේ බලන්න ගිය මනමාලිගේ ලෝකේ තනිවෙලා කියලා. කෙල්ල හොඳයිද නිමේෂ් අයියේ?"

"අනේ මන්දා නංගි."

"ඇයි කෙල්ල හිතට අල්ලන්නේ නැද්ද?"

"වරදක් නෑ."

"එහෙනම් අපිටත් වෙඩින් එක කියනවනේ."

"හුම්."

"ඒ කෙල්ලගේ පරම්පරාව බකමූණොද අයියෙ?"

"ඇයි එහෙම අහන්නේ?"

"හුම්... කිව්ව නිසා."

"ඔයාට පිස්සු චූටි... කෝ මලීෂා?"

"ඇයි අයියා දන්නේ නැද්ද? මම හිතුවා අනික් අය කියලා ඇති කියලා."

"මොනවද? මට කවුරුත් මුකුත් කිව්වේ නෑ..."

"මලී අක්කාට හොඳටම උණ අයියෙ. ඊයේ චැනල් එකට ආවෙත් නෑ."

"මො... මොකක්... මලීට උණ...?"

"ඔව් අයියෙ... මම හිතුවා මලී අක්කා කියන්න ඇති කියලා."

මට නිමේෂ් අයියත් එක්ක කතා කරන්න ඕන වුණු මාතෘකාවට කතාව ආව නිසා නිමේෂ් අයියා හිටිය ටේබල් එකේම පුටුවක මම වාඩි වුණා. මලී අක්කාට උණ කියලා කිව්වම කලබල වුණු විදියෙන්ම හිතත හැකි මෙයා මලී අක්කාට කොච්චර ආදරේද කියලා.

"මලීට ගොඩක් අමාරුද නංගි...?"

"දැන්නම් ටිකක් හොඳයි. අද වැඩට ආවේ..."

"කෝ මලී... වෙනදට මුලින්ම එන්නේ රෙස්ට් රූම් එකටනේ."

"එයාට එන්න බෑ කිව්වා අයියා. එයා චේන්ජ් රූම් එකේ ඇති ෆාති අක්කත් එක්ක. එයා මොකක් හරි ලොකු හිත් වේදනාවකින් ඉන්නේ අයියෙ. මටවත් කියන්නේ නෑ."

"හිත් වේදනාවක්, මො...කක්ද එයාට තියෙන වේදනාව?"

"අයියෙ ඔයා හොඳටම කලබල වෙලා.. ඇයි මේ...?"

මම එහෙම කිව්වම නිමේෂ් අයියා හුඟක් නිශ්ශබ්ද වුණා. එයා කලබල වුණා වැඩියි කියලා එයාටම හිතෙන්න ඇති. නිමේෂ් අයියගේ මූණට ආපු අඳුරු පාට චුට්ටක්වත් නැති වුණේ නෑ. නිමේෂ් අයියා සුසුමක් පිට කරලා රෙස්ට් රූම් එකේ ජනේලෙන් ඈත පේන අහස දිහා බලාගෙන ලොකු කල්පනාවකට වැටුණා.

"නිමේෂ් අයියා... ඔයා දන්නවද මලී අක්කාට තියෙන ප්‍රශ්නෙ...?"

"මට හිතා ගන්න බැහැ නංගි, ඒත් මගේ හිත කියන ප්‍රශ්නෙ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා."

"නෑ නිමේෂ් අයියේ... ඔයාගේ හිත කියන ප්‍රශ්නෙ තමයි මලී අක්කාට තියෙන්නේ."

"ම... මන්දාකිණි... ඔයා කො... කොහොමද එහෙම කියන්නේ?"

"ඔයාගේ මූණෙයි, මලී අක්කගේ මූණෙයි තියෙන දුක දැක්කම මට ඒක කිව්වැකි."

"නංගි ඔයා මොනව...ද මේ කියන්නේ?"

"අයියා මොකක්ද අයියා ඔයාලා ප්‍රශ්න හිතේ තියාගෙන දුක් විඳින්නේ? මට තියෙන ප්‍රශ්න වල හැටියට මේ දේවල් ප්‍රශ්නද අයියා? ඔයා මෙතන, මලී අක්කා අතන."

"මට ඇති ප්‍රශ්නයක් නෑ චූටි. ඔයා මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නෑ."

"බොරු කියන්න එපා අයියා. ඔයාට තේරෙනවා ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ. ඒකයි වෙලා තියෙන්නේ."

"අනේ මන්දා නංගි... මට තේරෙන්නේ නෑ."

"තේරුම් ගන්න බලන්න අයියා. ඇයි ඔයාලා දෙන්නා මේ විදිහට දෙපැත්තට වෙලා දුක් විඳින්නේ?"

"ඒ තීරණේ ගත්තේ මලී. එයා එහෙම තීරණයක් අරන් ඇයි අද එයා දුක් විඳින්නේ?"

"එයා ඒ තීරණේ ගත්තේ හේතුවක් ඇතුවයි කියලා මම කිව්වොත්?"

"මොකක්ද ඒ හේතුව මන්දාකිණි? එයාගේ ෆැමිලි එකේ අය කැමති නම්, අපේ ගෙදර අයත් කැමති නම්, අපි දෙන්නට දෙන්නත් හුඟක් ආදරේ නම් තව මොනවද නංගි ප්‍රශ්න?"

"ඔයාලගේ ෆැමිලි වලින් කැමැත්ත දීලා නෑනේ අයියා."

"ඒත් මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ගෙවල් වලින් කැමති වෙයි කියලා..."

"මලී අක්කාට තියෙන ප්‍රශ්නෙ ඔයාලගේ ගෙදර අය අයියෙ..."

"මො... මොකක්...?"

"ඔව් අයියේ. එයා කියනවා ඔයාලා උඩරට වලව්කාරයොලු. එයාලා කුලහීනයිලු. ඔයාලා වගේ කුලීන මිනිස්සු එයාව පවුලේ කෙනෙක් කරගන්න කැමති වෙයිද අහනවා."

"මේ වගේ චූටි දේකටද මලී මගෙන් ඈත් වෙන්නේ? මේ කෙල්ලට පිස්සුනේ. ඇයි දෙයියනේ අම්මලා තාත්තලා එහෙම වුණාට මම එහෙම නෑනේ නංගි."

"ඒත් අයියෙ, දෙමව්පියන්ගේ ආශීර්වාදය නැතුව දෙන්නෙක් එකතු වුණාට මම හිතන්නේ නෑ ඒ දෙන්නට හොඳින් ජීවත් වෙන්න ලැබෙයි කියලා. අපේ ලෝකය එළිය කරපු අම්මලා තාත්තලා කොච්චර ආසද අයියෙ අපේ අනාගතේ ලස්සන වෙනවා දකින්න. එයාලගේ හිත් රිදවලා කරන කිසිම වැඩක් හරියන්නේ නෑ අයියා."

"මම එයාලගේ හිත් රිද්දන්නේ නෑ නංගි, මට මලීව ඕනා. කවදා හරි මම එයාව මැරි කරන්නේ දෙපැත්තේම ආශිර්වාද අරගෙන. මම අපේ ගෙදර කොහොම හරි ෂේප් කර ගන්නවා නංගි. කොහොමත් අපේ අම්මා මලීට හරි ආදරෙයි."

"නිමේෂ් අයියලගේ අම්මා මලී අක්කව දන්නේ කොහොමද?"

"මම ගෙදර ගිහින් කියනවා නංගි, අනික මලී කරන ප්‍රෝග්‍රෑම් අම්මා බලලා තියෙනවා."

"ඔයා හිතනවා නම් ඔයාට එහෙම කරන්න පුළුවන් කියලා ඔයා මලී අක්කාට ළං වෙන්න අයියා."

"ඒත් නංගි, මට මලී කැමති නෑ කියලා ආයෙම කිව්වොත්?"

"එහෙම වෙන්නේ නෑ. ඔයාට එයා කැමති වෙනවා."

"නංගි ඒක ශුවර් එකටම කියන්නේ කොහොමද?"

"ඊයේ හවස මම මලී අක්කත් එක්ක කතා කළා අයියෙ. එයාම තමයි කිව්වේ මේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න කියලා. ඒකමයි මම ඔයත් එක්ක කතා කළෙත් අද."

"කෝ චූටි දැන් මලී...?"

"ඉන්නකො මම ගිහින් එන්න කියන්නම්."

"එපා නංගියො, මම යන්නම්. තෑන්ක්ස් ඔයාට හුඟක්. අපේ මේ ප්‍රශ්න විසඳගන්න උදව් කළාට. ඔයා හුඟක් හොඳයි නංගි. මට ඔයාට තෑන්ක්ස් කරන්න වචන නෑ."

"මලී අක්කා මට කරලා තියෙන උදව් වලට මේක උදව්වක් නෙමේ නිමේෂ් අයියා. ගිහින් දෙන්නා සමාදාන වෙන්නකො."

"Thank you very much නංගියො."

"තෑන්ක්ස් කරලා විතරක් හරියන්නේ නෑ. පාටි එකක් ඕනා."

"දෙන්නම් පාටි එකට දහයක්, පාටි නැත්නම් පාන් වාටි හරි දෙනවා. මම යනවා."

නිමේෂ් අයියා රෙස්ට් රූම් එකෙන් ගියේ අඩියට දෙකට. පුදුම හදිස්සියක් තියෙන්නේ. පව් මෙච්චර කාලයක් හිතින් දුක් විඳ විඳ ආදරේ කළානේ. මලී අක්කාටත් පිස්සුනේ ඉතින්.

******** 

"පුතා සේරම හරි නේද?"

"ඔව් අම්මි..."

"කෝ මන්දාකිණි දුව?"

"එයාලා රෙඩි අම්මි, ආ... මේ ඉන්නේ මිස් රත්නායක."

"ඇයි සර්...?"

"නෑ, දැන් වැඩසටහන පටන් ගන්නවා, යන්න. ගිහින් රෙඩි වෙන්න."

"Ok සර්... ඒත් කෝ අනෙක් එනවුසර්?"

"ආ... එයා එතෙන්ට එයි. ඔයා යන්නකො."

අනෙක් එනවුසර් ගැන ඇහුවම නපුරාට අමුතු හිනාවක් ගියා. අනේ මන්දා මොන බහුභූතයක් කරන්න හදනවද කියලා. ඇයි දෙයියනේ පොඩ්ඩක් හරි ඒ මනුස්සයත් එක්ක මේ ගැන කතා කරන්න ඕනනේ. මේ බහුභූතයා එක්ක කතා කරලා හරියනවයැ. එයා නම් මගෙන් සේරම විස්තර දැන ගත්තා.

"ඇයි මිස් රත්නායක, කල්පනා කරන්නේ? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"නෑ... නෑ... සර්, මුකුත් නෑ."

"ප්‍රශ්නයක් නැත්නම් තව පැය කාලක් ඇතුළත රෙඩි වෙන්න."

මගේ උඩ ඉඳන් පහළට බලන ගමන් නපුරා කිව්වා. අද නපුරා ගොඩක් පින් පාටයි. ලස්සන හිනාවක් රැඳිලා තියෙන ඒ අහිංසක මූණ දිහා කල්ප කාලයක් වුණත් බලන් ඉන්න පුළුවන්. කතා කරන ඒ ඇස් දෙක අහිංසක හිනාවකින් පිරිච්ච ගමන්මයි. එක වෙලාවකට කොච්චර තරහා ගත්තත් නපුරා හුඟක් නිහතමානී අහිංසක කොල්ලෙක්.

නැෂනල් එක ඇඳලා, උතුරු සළුව පොරෝගෙන හුඟාක් සංසුන් විදියට ඉන්න නපුරා දිහා මම බලන් උන්නේ ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතුව. අකීකරු කොණ්ඩේ හුළඟට එහෙ මෙහෙ යනකොට තිබුණේ අමුතු ලස්සනක්. දුඹුරු පාට ඇස් දෙක කවදාවත් මම මේ තරම් ලස්සනට දැක්කේ නෑ.

Dream T.V. එකේ හුඟක් අය සිල් ඇඳුමෙන් සැරසිලා හිටියත් නපුරා ඒ හැමෝම අතරින් හුඟක් කැපිලා පෙනුණා. මිනිස්සු හුඟාක් හිටියත් ඒ අතරින් හුඟාක් කැපිලා පේන ලස්සන තේජාන්විත සිහින සත්සර සූරියබණ්ඩාර කියන නපුරු කොල්ලට පුළුවන් කම තිබ්බා.

"මොකද චූටි හොඳ පනාවක් දාගෙනම ඩ්‍රීම් දිහා බලන් ඉන්නේ?"

මගේ පිටිපස්සේ හිටගෙන හිටිය මලී අක්කව දැක්කම මුලින්ම මගේ හිතට ආවේ පුංචි බයක්. ඒත් ඒ බය ඉක්මනින්ම ලැජ්ජාවකට පෙරළුණා. මම මලී අක්කාට මූණ දෙන්න බැරුව හෙමින් බිම බලා ගත්තා.

"මම උඹෙන් අහන්නේ නෑ නංගො උඹ කල්පනා කරන්නේ මොනවද කියලා. ඒත් සිහින කියන්නේ උඹට, අපිට හැමෝටම හීනයක්. එයා දිව්‍යකුමාරයෙක්. ඒත් මට හිතන්න බෑ එයා උඹව ගලවගන්න ආපු දිව්‍යකුමාරයා කියලා. මොකද එයා යක්ෂණියකට අහුවෙලා ඉවරයි. ඒ යක්ෂ බන්ධනය බලගතුයි. ඒ බන්ධනය කඩන්න උඹ වගේ අහිංසකියකට බෑ."

"මම එහෙම මොකුත්..."

"උඹ මට බොරුව දාන්න එපා චූටි. මම උඹේ අක්කා. අන්න ඒක මතක තියා ගනින්... අන්න විශාඛා ආන්ටි ඇවිත්..."

"අම්මා ආවද අක්කෙ? ඔව් මම ත්‍රිවිලර් එකක් යැව්වා."

"අනේ මේ වැඩත් එක්ක මට අමතක වුණා අක්කෙ."

"ඒක තමයි බන් උඹෙන් අහන්නේ නැතුවම මම ත්‍රිවිලර් එක යැව්වේ. යමන්... ආන්ටිට ආස ඇති උඹේ ලස්සන බලන්න. අද සුරංගනාවියක් වගේනේ."

"අනේ යනවා යන්න."

"අයියෝ... මේ පන්සල කැත කරන්නේ නැතුව ඉඳින්... ගඳේ බෑ."

"අද සිල් ගන්න නේද ආවේ? කට වහගෙන ඉන්න අක්කෙ. නිමේෂ් අයියා උන්නනම් ඔයා හොඳවයින් එකක් අහගන්නවා."

"එයා මට බනින්නේ නෑ."

"ආ... මෙයාලගේ පෙම බලන්නකො."

"ඔයාට පින් සිද්ධ වෙන්න තමා."

"ඒ පිනෙන්වත් මට හරි යයිනේ..."

"මන්දාකිණි දුව...?"

අපි දෙන්නා කතා කර කරම බෝ මළුවට ආවේ අම්මා ආවා කිව්ව නිසා. ඒත් කාන්ති මැඩම් කතා කරපු නිසා මම ඒ පැත්තට ගියා.

"ඇයි මැඩම්...?"

"කොහෙද ළමයො ඇවිදින්නේ? එක තැනකට වෙලා ඉන්න. ඔයයි අද මෙතන ප්‍රධාන චරිතේ. අනික ඔය සෙනඟ අස්සේ රිංගන්න එපා."

"නෑ මැඩම්, අපේ අම්මා ආවා. ඊයේ මම කිව්වා අද සිල් ගමු කියලා. මලී අක්කා ත්‍රිවිලර් එකක් යවලා ගෙන්නගෙන. අම්මව බලලා එන්න මැඩම් යන්නේ. ඉක්මනටම එන්නම්."

"අනේ ඇත්තද? යමු බලන්න මේ පිං පාට කෙල්ලගේ අම්මා කවුද කියලා බලන්න."

"මම අම්මව එක්කන් එන්නම් මැඩම්."

"පිස්සුද ළමයො... යමු යමු. ඇයි අපේ කකුල් ගෙවිලයැ? නේද පුතා?"

"ඔව් අම්මි... ඒකනේ."

නපුරයි, කාන්ති මැඩමුයි, මායි මලී අක්කයි එක්කම බෝ මළුව පැත්තට ඇවිදගෙන ආවා. සමෙත් සර් නපුරගේ අත කොනිත්තනවා මම හොරැහින් දැක්කත්, ඒ ඇයි කියලා නම් මටවත්, මලී අක්කාටවත් තේරුණේ නෑ. මේ තරම් සල්ලි තියෙන කාන්ති මැඩම්ගේ චරිතය අපේ රටේ මධ්‍යම පාන්තිකයන්ටත් හොඳ ආදර්ශයක් කියලා නම් මට තේරුණා.

සෙනඟ හුඟක් අස්සේ අම්මව හොයා ගත්තේ හුඟක් අමාරුවෙන්. අම්මා ඉඳගෙන හිටියේ බෝධියෙන් වම් පැත්තේ අයිනකටම වෙන්න. අම්මා කවදත් කැමති නිසංසලේ ඉන්න. ගමේ පන්සලේ සිල් ගන්න ගියත් කවදාවත් ගෑණුන්ගේ ඕපදූප සංගම් වලට නම් බැඳුණේ නෑ.

"අම්මා..."

"ආනේ... මැණික්... මගේ දුව අද හරි ලස්සනයි."

එතන හිටියේ කවුද කියලවත් බලන්නේ නැතුව අම්මා මාව අත් දෙකෙන්ම අල්ලගෙන බදාගත්තා.

"අම්මේ මේ..."

මම අම්මව කාන්ති මැඩම්ට අඳුන්වලා දෙන්න හැදුවත් මට අඳුන්වලා දෙන්න බැරි වුණා. අපේ අම්මා මාව අත අරිනවත් එක්කම කාන්ති මැඩම් ඇවිත් අම්මව බදා ගත්තේ අපි හැමෝම පුදුම කරලා. එතන වුණු කිසිම දෙයක් නපුරටවත්, මටවත්, සමෙත් සර්ටවත්, මලී අක්කාටවත් තේරුම් ගන්න බැරි වුණා.

"වි... වි... විශාඛා... ඔයා... මාව අඳුනගන්න බැරිද විශාඛා?"

පන්සල කියලවත් නොබලා කාන්ති මැඩම් අපේ අම්මව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. ඒ ඇස් වල කඳුළු දිලිසෙනවා අපි හැමෝම දැක්කා.

"කා... කා... කාන්ති... මේ ඔයාමද?"

"ඔව් විශාඛා... මම කාන්ති."

"මට හිතා ගන්නවත් බෑ මේක."

"ඔව් විශා... මටත්."

"මේ අවුරුදු 24 කට පස්සේ... කාන්ති දැන් හුඟක් වෙනස් වෙලා... මැණික් දුව කොහොමද කාන්තිව අඳුනන්නේ?"

"අම්මා... මේ අපේ ලොකු මැඩම්. කාන්ති සූරියබණ්ඩාර කියන්නේ මේ මැඩමට අම්මේ."

"මො... මොකක්ද?"

"ඔව් අම්මා... කා... කාන්ති... මට හරිම පුදුමයි."

"ඔව් විශා... මේ දේවල් වලට පින් දෙන්න ඕනේ ඔයාට තමා..."

"ඔයාට පිස්සු."

"මට ඔයාගෙන් දස දහස් වාරයක් සමාව ඉල්ලන්න ඕනා. ඔයා කරපු කවුරුත් නොකරන කැප කිරීම් හින්දයි අද මමයි, මගේ පුතයි මෙහෙම ජීවත් වෙන්නේ. අද මගේ පුතාට මෙහෙම අනාගතයක් උදාවෙලා තියෙන්නේ ඔයා නිසයි."

"දැන් ඒවා වැඩක් නෑ. ඒ අවුරුදු 24 කට කලින් අතීතය එහෙම්මම වල දාමු."

"ඒත් ඒ අතීතය මට වද දෙනවා විශා... මට ඔයාට යුතුකම් ඉෂ්ඨ කරන්න හම්බවුණේ නෑ. මේ වෙනකන් මම ඔයාව හොයපු නැති තැනක් නෑ විශා, එදා ඔයා මාව දාලා නුවරින් ආපු දවසේ ඉඳලා."

"අම්මි... මොනවද මේ ඔයාලා කියවන්නේ? අයි කාන්ට් අන්ඩස්ටෑන්ඩ් අම්මි."

"පුතාලට නොතේරුණාට මේ කතා වල ලොකු තේරුමක් තියෙනවා. ඒක ඔයාලට වැදගත් නෑ. දැනගන්න ඕන කාලය ආවම ඒක මම කියන්නම්. නේද විශා?"

"ඔව්... ඔව්."

අතේ තිබ්බ ලේන්සුවෙන් කඳුළු පිහදාගන්න ගමන් අපේ අම්මත් කාන්ති මැඩම්ගේ කතාව අනුමත කළා.

"මන්දාකිණි දුවව දැක්ක දවසෙම මට විශාඛා මතක් වුණා. ඒත් මම කවදාවත් හිතුවේ නෑ මේ විශාගේ දුව කියලා."

"මේ ඉන්නේ මගේ එකම එක නිල් මැණික."

මගේ ඉණ වටේ අත දාලා අම්මා මාව ආදරෙන් එයාගේ ළඟට ළං කරගෙන නහය මිරිකුවා.

"මේ ඉන්නේ මගේ one and only හිතුවක්කාරයා."

නපුරගේ කන මිරිකන ගමන් කාන්ති මැඩම් අහිංසක විදියට හිනා වුණා.

"ඇත්තමයි කාන්ති, පුතා බණ්ඩාර වගේමයි."

"අනේ අද වගේ හොඳ දවසක ඔය මිනිහව මතක් නොකර ඉන්න විශාඛා."

කාන්ති මැඩම් අම්මගේ කනට කරලා කිව්වත් එතන උන්න මටයි සමෙත් සර්ටයි ඒ කතාව පැහැදිලිව ඇහුණා. අපි දෙන්නට මූණෙන් මූණ බැලුණේ ඉබේටම.

ඒ කියන්නේ මැඩම්ගේ ජීවිතේ හැමදේම අපේ අම්මා දන්නවා කියන එක. ඒ ජීවිත දෙක ඇතුළේ හුඟක් ලොකු රහස් හැංගිලා තියෙනවා කියලා මට තේරුණා.

"අම්මි 6.40 යි. 7.00 ට පටන් ගන්නවා. අපි රෙඩි වෙමු නේද?"

"Ok පුතා. අපි රෙඩි වෙමු. විශා, මම ඔයාව නිදහසේ හම්බවෙන්න එනවා... ඉක්මනටම... ආයෙ ඔයාට මාව දාලා කොහෙවත් යන්න දෙන්නේ නැහැ. කියන්න දේවල් ගොඩක් තියෙනවා. එන්න මාත් එක්කම සිල් ගමු."

"කමක් නෑ කාන්ති. මට මෙතන හොඳයි."

"මෙන්න මෙහෙ වරෙන් විශා... අපි හම්බවුණෙත් කාලෙකින්නේ."

අම්මයි කාන්ති මැඩමුයි යාළුවෝ කිව්වම මට ඇති වුණේ ලොකු සතුටක් වුණත්, ඒ මොහොතේ ඉඳන් මම හුඟක් කාර්යබහුල වුණු නිසා මට ඒ ගැන හිතන්න වෙලාවක් හම්බවුණේ නෑ.

මමත් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන අනිත් නිවේදකයව දැක්කම මම හුඟක් කලබල වුණා. කවදාවත් මම නපුරව ඒ තැනට බලාපොරොත්තු වුණේ නෑ. කලබල වෙච්ච හිත සන්සුන් කරගන්න ලොකු උත්සාහයක් කළත් මට හිත සැහැල්ලු කරගන්න හුඟක් අමාරු වුණා.

හිත ඇතුළේ ඇති වෙච්ච කැළඹුම පිටතට පෙන්නන්නේ නැතුව ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න පුළුවන් වුණත්, සැරින් සැරේට ඒ කැළඹීම උඩට එන්න පටන් ගත්තා.

නපුරා මාත් එක්ක ප්‍රෝග්‍රෑම් එක ගැන හුඟක් කතා කළේ එයා අනෙක් නිවේදකයා නිසා වෙන්න ඇති. මහම මහ නපුරෙක්. මට කිව්වා නම් එයයි අනෙක් එනවුසර් කියලා මාව මේ තරම් කැළඹෙන්නේ නෑනේ.

කවදාවත් නපුරගේ ටැලන්ට් දැකලා තිබ්බේ නැති Dream T.V. එකේ හැමෝම හිටියේ හුඟක් පුදුම වෙලා. නපුරගේ ටැලන්ට් වලට අපේ ටැලන්ට් ලං කරන්නවත් බැරි තරම්. ඒ දක්ෂකම හංගගෙන හිටියේ ඇයි කියලා හිතෙනවා.

අහිංසා අක්කයි, ඩොක්ටර් අසංකයි සිල් ගන්න ඇවිත් ඉන්නවා දැක්කත් මම සුහද හිනාවක් පෙන්නුවා මිසක් වැඩි කතාබහක් කරන්න ගියේ නෑ. උදේ ඉඳන් හවස 5.00 වෙනකන්ම එක දිගට කරගෙන ගිය බෞද්ධ වැඩසටහන් හැම එකකම වගේ නිවේදන කටයුතු තිබුණේ මටයි නපුරටයි. Live කරන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක වුණත් මම අනෙක් අයට වඩා හොඳට කළා කියන තෘප්තිමත් හැඟීම මට තිබුණා. ඒත් නපුරගේ ටැලන්ට් එක්ක ගද්දී මට තියෙන්නේ 50% ක ටැලන්ට් කියලත් මට තේරුණා.

කොච්චර මහන්සි වෙන්න වුණත් මට ඒක දැනුණේවත් නෑ. ඇත්තටම දැනුණේ හිත නිවුණ ගතියක්. ධර්ම සාකච්ඡා වලට ආපු හාමුදුරුවෝ මටයි නපුරටයි හුඟක් ආශිර්වාද කළා. මගේ ගමන ඉදිරියටම යන්න ශක්තියක් ඒ ආශිර්වාදය ඇතුළේ ගැබ්වෙලා තියෙනවා කියලා මට දැනුණා.

කොච්චර වැඩසටහනේ සිහියෙන් හිටියත් නපුරගේ ඇස් දෙක නිතරම මගේ පස්සේ පන්නනවා කියලා මට තේරුණා. වැඩසටහන ඉවර වෙන්න යද්දී පන්සලේ ලොකු හාමුදුරුවෝ නපුරා ගැනයි, කාන්ති මැඩම් ගැනයි කරපු ගුණවර්ණනාව නම් කියන්න වචන නෑ. ඇත්තටම ඒක මුරුංගා අත්තට නැග්ගීමක් නෙමේ. ඒ හැම වචනයකම තිබ්බේ පිරිසිදු ඇත්ත. ඒ වගේ කෙනෙක් යටතේ සේවය කරන සේවකයෙක් කියන නිහතමානී ආඩම්බරකම මටත් එවලේ නම් දැනුණා.

දවස ගෙවිලා ගියේ දැනෙන්නේවත් නැතුව. හිතා ගන්නවත් බැරි තරම් සතුටක් හිතට දැනෙන කොට මම දුවගෙන ගිහින් මලී අක්කව බදා ගත්තා.

"උඹ හොඳටම කෙරුවා මගේ නංගියො. මම උඹට හදවතින්ම විශ් කරනවා."

"බොහොම ස්තූතියි මගේ අක්කෙ."

සේරම වැඩ ඉවර වෙලා ගෙදර එනකොට 7 ට විතර. අම්මත් මාත් එක්කම එන්න හිටියා. චැනල් එකේ වාහනෙන්ම මාවයි අම්මවයි, මලී අක්කවයි ගෙනත් දැම්මා. නිමේෂ් අයියත් අපිව ගෙනත් දාන්න ආවා. එයා ඉතින් මලී අක්කගේ ආරක්ෂකයනේ.

************ 

"සර් හරියටම යන්නේ කවදද කියන්නකො... මම හිතන් ඉන්නේ නිමේෂ් ලබන සතිය. 23 වෙනිදා හොඳයි නේද? නියමයිනේ සර්..."

චැනල් එකේ හැමෝම වගේ රෙස්ට් රූම් එකේ හිටියා. එවලේ කවුරුවත් නපුරුව බලාපොරොත්තු වුණේ නැති නිසා අපි කලබල වුණත්, අනිත් හැමෝටම වැඩිය මම කලබල වුණත්, නපුරා ආපු කාරණය දැන ගත්තට පස්සේ හැමෝගෙම හිත් වල ඇති වෙච්ච සතුට මූණු වලින් පේන්න ගත්තා.

"සර් හැටන් යනවා නම් දවස් 2 ක් වත් යමු සර්..."

"නෑ මලී, අපි දවස් තුනකට යන්නේ."

"නියමයි! සර්ට නම් බුදු බව ලැබෙනවා."

"අපෝ... එච්චර දෙයක් එපා තරිඳු, එතකොට මම කසාද බඳින්නේ කොහොමද?"

"ඒකත් ඇත්තනේ."

"එහෙනම් ඔයාලට තියෙන්නේ ඕන කරන බඩු ටිකයි, කන බොන දේවලුයි හදාගෙන උදේ 4 ට මෙතෙන්ට එන්න. අර එදා මිස් රත්නායක හදාගෙන ආපු කජු අළුවා හදාගෙන එන්න පුළුවන්නම් ලොකුම ලොකු දෙයක්."

"අයියෝ සර්... බය වෙන්න එපා. මන්දාකිණි හදාගෙන එයි. එයාට රසට අළුවා හදන්න පුළුවන්."

"මලී අක්කා Please කට වහන්න." මලී අක්කගේ කට වැහුවට නපුරාට ඇහෙන්න ඕන ටික ඇහිලා තිබ්බා.

"එහෙනම් මිස් රත්නායක, එදාට ශුවර් එකට හදන් එනවානේ."

"හා සර්... ඒත් රස නම් කොහොම වෙයිද දන්නේ නෑ."

"මෙයා කොහෙද සර් දන්නේ මෙයාගේ කෑම වල රස. ඒවා දන්නේ අපිනේ. බය වෙන්න එපා, මේ මලී ඉන්නවා. එදාට සර්ට අනිවාර්යෙන්ම මන්දාකිණි අළුවා හදාගෙන එයි."

"OK එහෙනම් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා."

එතනින් කතාව නැවැත්වපු නපුරා යන්න ගියා. එතන ඉඳන් රෙස්ට් රූම් එකේ තිබුණේ ලොකු ඝෝෂාවක්. හැමෝම ට්‍රිප් එක යන සතුටින් ඉපිලිලා තිබ්බා. ඒත් ඒ සතුට මට නම් දැනුණේ ලොකු වේදනාවක් විඳිනවා වගේ. ට්‍රිප් එකක් යන්න තරම් වත්කමක් මට තිබුණේ නෑ. මෙතන වැඩට ඇවිත් මාස දෙකක පඩි ගත්තත්, ඒ පඩිය ගෙදර අඩු පාඩු ටික පිරිමහ ගන්නත් මදි. ඒ පඩිය මදි කමකට නෙමේ, ගෙදර තියෙන අඩුපාඩු වැඩිකම. ඉතින් එහෙම එකේ හිත හදාගෙන ට්‍රිප් එකක් යන්නේ කොහොමද? අනික මට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය අම්මව තනියම දාලා දවස් තුනක් පිට යන එක. එක දවසක්වත් අපි දෙන්නා තනියෙන් රැයක් එළි කරලා නෑ. අම්මත් මේ ගමන යනවා නම් මට හිත හදාගෙන යන්න තිබුණා. හරි හමන් අසරණකමක්ම හිතට දැනෙනකොට මේ ගමන ගැන අනෙක් අයට වගේ සතුටු වෙන්න පුළුවන් කමක් මට තිබුණේ නෑ. ජීවිතේ පළවෙනි වතාවට තාත්තාගේ අඩුව මට හුඟක් දැනෙන්න ගත්තා. ගහක මුදුන් මුල දිරපුවාම ටික දවසකින් ඒ ගහ කඩන් වැටෙනවා කියලා මට හොඳටම තේරුණා.

"මන්දාකිණි... ඇයි උඹ අවුලෙන් වගේ?"

"අනේ නෑ මලී අක්කා."

"නැතිවෙන්න බෑ චූටි, කියපන් කෝ මොකක්ද අවුල?"

"මම ට්‍රිප් එක යන්නේ නෑ අක්කෙ..."

"උඹට පිස්සුද නංගි? මොනවද මේ කියන්නේ?"

"පිස්සු නෑ අක්කෙ. ඔයා මගේ තත්වය දන්නවා. එක රැයින් ප්‍රසිද්ධ වෙච්ච නිවේදිකාවක් වුණාට මම ගොඩක් අසරණ දුප්පත් කෙල්ලෙක්."

"මොනවද චූටි? ට්‍රිප් එක යන්න සල්ලි යන්නේ නෑනේ බන්."

"වාහනේට සල්ලි නොගියාට එහේ ගිහින් අඳින්න ඇඳුම් කෝ? ඒකත් හදා ගත්තා කියමුකො, මම කොහොමද අක්කෙ අම්මව දාලා යන්නේ?"

"ඒ වුණාට බන් උඹේ විනෝදයක් කියලා කිසිම දෙයක් නෑ. ඉතින් මේකටවත් සෙට් වෙයන්. අපි අම්මවත් එක්කන් යමු. කාන්ති මැඩම්ගේත් යාළුවනේ. තනියට එක්කන් යයි කිව්වොත්."

"අපේ අම්මා ඉන්නේ කාගෙවත් තනි රකින්න නෙමේ."

"අනේ මේ චූටි, උඹේ ඔය උඩඟු කම නැති කර ගනින්. අම්මයි මැඩමුයි හොඳම යාළුවො. එයාලත් සතුටින් යයි."

"හරි... එතකොට ඇඳුම්? මට බෑ අක්කේ. මගේ ඔළුව අවුල් වෙනවා."

"අසව්... අසව්..."

මලී අක්කා මට බනින්න හැදුවත් රෙස්ට් රූම් එකෙන් ආපු තරිඳු අයියාගේ කෑ ගැහිල්ල නිසා මලී අක්කා කට වහ ගත්තා.

"මොකද බන් අඬබෙරකරු වගේ...?"

"සුභම සුභ ආරංචියක් නිමේෂ්."

"මොකක්ද?"

"ට්‍රිප් එක යන්න හැමෝටම Dream T.V. එකෙන් යුනිෆෝම් එකක් හදලා. සුදු ටී ෂර්ට් එකයි, කළු පාට ඩෙනිමයි. ටී ෂර්ට් එකේ නිල් පාටින් Dream T.V. කියලා ප්‍රින්ට් කරලා තියෙනවා. මරු නේද? එතකොට හැමෝම දන්නවා අපි Dream T.V. එකේ කට්ටිය කියලා."

"එළකිරිනෙ තරිඳුවො. කවදද ඉතින් කිට් එක ලැබෙන්නේ? මම ඕක ඩ්‍රීමට කියන්න උන්නේ බන්."

"කොහොමත් ට්‍රිප් එක යන්න කලින් හම්බ වෙයි බන්."

"හරි, හරි, දැන් පලයල්ලා තම තමන්ගේ වැඩ වලට. නැත්නම් ට්‍රිප් එක උපන්ගෙයිම කැන්සල් වෙයි, දන්නවනේ ඩ්‍රීම්ගේ හැටි."

"නිමේෂ් මේ... තෝ එන්න එපා, උස්සනවා තොගේ ගෑණිව."

"අනේ පල ටෙෂා... උඹට බෑ මලීව උස්සන්න."

"තෝ බෑ කියලද කියන්නේ...?"

"අඩේ උඹ දන්නවනේ හැටි, කන් කරච්චලය. උඹ උස්සයි, ඒත් හෙට ආපහු ගෙනත් දෙනවා. මට විතරයි ඔය කරච්චලය අහන් ඉන්න පුළුවන්."

මලී අක්කා නිමේෂ් අයියා ළඟට ගියේ මල පැනලා. කොහොමත් නිමේෂ් අයියාගේ පුරුද්දනේ මලී අක්කාව අවුස්සන එක.

"ඔන්න මලී... අපි නෙමේ කිව්වේ.. උඹේ මිනිහමයි."

"ඉතින් මම වැරැද්දක් කිව්වේ නෑනේ සෙව්වන්දි."

"නෑ නෑ නිමේෂ්, තිත්තම තිත්ත ඇත්ත."

"ඒකනේ සෙව්වන්දි. 

"අනේ... මම තරහයි."

මලී අක්කා ගස්සගෙන ආපහු හැරුණේ මූණ කජු ලෙල්ල වගේ කරගෙන. ඒත් නිමේෂ් අයියා මලී අක්කගේ අතින් ඇද්දා. මලී අක්කා බැලන්ස් නැතුව ගිහින් ඉඳගෙන හිටිය නිමේෂ් අයියගේ ඔඩොක්කුවේ ඉන්දවුණා.

රෙස්ට් රූම් එකේ හිටිය හැමෝම හූ කිය කිය හිනා වුණා. අනේ පව් මලී අක්කගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුම රතු වෙලා.

"මන්දාකිණි..."

හැමෝගෙම හිනාවල් අස්සෙන් ටිකක් උස් හඬින් ඇහුණු ඒ කටහඬට මාව ගැස්සිලා ගියා. හුඟාක් කලබලෙන් රෙස්ට් රූම් එකට ආවේ සමෙත් සර්.

"සමෙත් සර්..."

මම සමෙත් සර්ව අඳුන ගත්තේ කටහඬින්. කටහඬේ පවා තිබුණේ පුදුම කැළඹිල්ලක්. රෙස්ට් රූම් එකට ආවෙත් පුදුම හදිස්සියෙන්. සර්ගේ සිට කැළඹිල්ලට මාව ඉඳගෙන උන්නු පුටුවෙන් නැගිට්ටවුණා. "ඇයි සර් මේ හුඟක් හදිසියෙන්...?"

"මන්දාකිණි, තරිඳු, ඔය දෙන්නා ඔයාලගේ සෙට් එකක් එක්ක දැන්ම යන්න කොළඹ කැම්පස් එක ළඟට. කැම්පස් එකේ කොල්ලො, කෙල්ලො ටික එළියට බැහැලා ආණ්ඩුවට විරුද්ධව. මොන දේ වුණත් උන් සාධාරණයි. උන්ගේ එකට ඉන්න කොල්ලෙක්ව මරලා තියෙන්නේ."

"සර්... එතෙන්ට මන්දාකිණිව යවන එක හොඳයිද?"

"ගොඩක් හොඳයි නිමේෂ්. මන්දාකිණිට එක පැත්තකින් විතරක් නෙමේ, ඕනම පැත්තකින් නිවේදනය කරන්න පුළුවන් කියලා පෙන්නන්න හොඳ චාන්ස් එක. අනික මන්දාකිණියි සිහින සරුයි එක රැයින් ප්‍රසිද්ධ වෙච්ච අයනේ. ඉතින් තවත් හොඳයි. අනික මේක ඔයාලගේ බොස්ගේ ඕඩර් එකක්. බොස් ලොකු වැඩක ඉන්නේ. නැත්නම් බොසුත් යනවා."

"ඊයේ නම් මරු සමෙත් සර්, අපි කවදාවත් දැනන් හිටියේ නෑ සිහින සර්ට මේ තරම් ටැලන්ට් තියෙනවා කියලා."

"ඔයාලා විතරක් නෙමේ, මමවත් දන්නේ නෑ නිමේෂ්. මම මුලින්ම ඕක කරන්න එපා කිව්වා. ඒත් බොස්ට ඉහළින් යන්න අපිට බෑනේ. ඊයේ ප්‍රෝග්‍රෑම් ඉවර වෙනකන් මම හරි බයෙන් උන්නේ. ඒත් මම හිතුවෙවත් නෑ සිහිනට ඔච්චර ටැලන්ට් ඇති කියලා."

"ඒක නම් ඇත්ත සර්."

"Ok, Ok එහෙනම් දැන් යන්න. මන්දාකිණිට ප්‍රශ්නයක් නෑනේ?"

"අනේ නෑ සමෙත් සර්, මම ඕනම අභියෝගයක් බාර ගන්න කැමතියි."

"අන්න හරි. එහෙම තමා ඉන්න ඕනා. මන්දාකිණි මෙතන ඉන්න හැමෝටම ආදර්ශයක්. එහෙනම් චූටි යන්න ගිහින් රෙඩි වෙන්න. නියමෙට කරන්න. ගුඩ් ලක්."

"තෑන්ක්ස් සමෙත් සර්."

මම ලොකු වගකීමක් පවරලා සමෙත් සර් යන්න ගියා. මේ වැඩසටහනත් පුළුවන් උපරිමයෙන්ම කරනවා කියලා මම හිතා ගත්තා.

හැමෝම ඇවිත් මට විෂ් කරද්දී නුවනි අක්කා විතරක් පැත්තකට වෙලා හින්ට් හිනාවක් මූණේ තියාගෙන උන්නා. ඒ හිනාවේ තිබ්බේ 'අපි බලමුකො උඹ ඕක කරන හැටි' කියනවා වගේ බැල්මක්. ඒ මූණේ තිබුණේ ලොකු තරහක්. හැබැයි ඒ තරහින්, ඒ වෛරයෙන් විනාශ වෙන්නේ නුවනිමයි කියලා එයාට තේරෙන කොට ගොඩාක් පරක්කු වෙලා තියෙයි. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නෑ නුවනි අක්කෙ. මම ඔයාට මට පුළුවන් තරමින් මෛත්‍රී කරනවා. මට ඔයා ගැන තියෙන්නේ ලොකු අනුකම්පාවක්.

මම දිහා එක දිගට විනාඩි තුනක් විතර බලාගෙන ඉඳලා කාටද මන්දා කෝල් එකක් ගන්න ගමන් නුවනි ටිකක් ඈතට ගියා. හැමෝගේම සුභ පැතුම් මැද්දේ මම රෙස්ට් රූම් එකෙන් යන්න හදද්දී නුවනි අක්කා මගේ ඉස්සරහට ආවා.

"මොකද මං දිහා බලන් උන්නේ? මමත් තමුසෙට විෂ් කරයි කියලා හිතුවද?"

"අනේ නෑ නුවනි අක්කෙ, එහෙම දෙයක් නෑ."

"කතා කරන්න එපා! තමුසේ නිසා මෙතන මට ලැබෙන්න තියෙන ගොඩක් දේවල් අද මට නැති වෙලා. මේකේ පලිය ගත්තේ නැත්නම් මම නුවනි නෙමේ. බලමු කවුද දිනන්නේ කියලා."

මට මහපට ඇඟිල්ල උළුක් කරලා ඒ ටික කියපු නුවනි මට ඉස්සර කරගෙන ගියේ. රෙස්ට් රූම් එකේ හිටිය අනෙක් අය හැමෝම වගේ නුවනිට හූ කිය කියා හිනා වෙද්දී පව් එක අතකින්.

"චූටියො මේ... බල්ලෙක් බිරුවට කඳු පාත් වෙන්නේ නෑ බන්. උඹත් ඒ වගේ කන්දක් වෙයන්. තේරුණාද? දැන් ඉතින් යමන්, ගිහින් හොඳට වැඩේ කරපන්. එක රැයින් ජනප්‍රිය වෙච්ච නිවේදිකාව, අවුරුද්දේ හොඳම නිවේදිකාව විදියට සම්මාන ලබනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා. දැන් යමන් සුදෝ..."

අපිට උද්ඝෝෂණය තිබ්බ තැනට එන්න පැය කාලකට වඩා ගියේ නෑ. අතින් කටින් බෝඩ් කෑලි එල්ලගෙන කෑ ගහන කොල්ලො කෙල්ලො ටික දැක්කම මට පුදුම හිතුණා. මේ තරම් එකමුතුකමක්, මේ තරම් ශක්තියක් තාමත් ලංකාවේ තියෙනවා කියන එක මගේ හදවත ඇතුළටම කිඳා බැස්සා.

"පාලකයිනි නැගිටිව්! අසාධාරණය විනාශ කරව්! කපටි දේශපාලනයෙන් බැට කෑ අපගේ සහෝදරයාට සාධාරණය ඉටු කරව්!"

"වව්ලන් සේ නිදාගෙන ලොකු අතු වල එල්ලී සුදු රෙද්දට මුවා වී කරන සිල්ලර වැඩ නවත්වව්!"

මේ වගේ සටන් පාඨ ඒ හැම බෝඩ් එකකම වගේ ලියලා තිබුණා. ඇත්තටම ඒ හැම කතාවක්ම ඇත්ත. ලංකාවේ පාලනය දිහා බලද්දී ඒ සේරම ඔප්පු වෙනවා. ඒත් ඊට විරුද්ධව කතා කරන හැම එකාම අන්තිමේදී පස් යට වැළලෙනවා.

අපි පුළුවන් තරම් හොඳට උද්ඝෝෂණය කවර් කළා. තරිඳු අයියා නම් කිව්වේ මගේ නිවේදන එළම තමා කියලා. සිහින T.V. කවදත් ගත්තේ සාධාරණ පැත්ත. ඒක මම වැඩට ඇවිත් ටික කාලයක් වුණත් හොඳටම තේරුම් අරන් තිබ්බ දෙයක්. පක්ෂග්‍රාහී නොවීම මමත් සාධාරණවම ඉෂ්ඨ කළා. සමහර විට තව ටික දවසකින් මටත් පස් යට වැළලෙන්න වෙයි. ඒත් මම සිහින T.V. වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කළා කියන සතුට මන් ළඟ තියේවි.

ප්‍රෝග්‍රෑම් එක ලයිව් දෙන නිසා ගොඩක් කල්පනාවෙන් පුංචි වැරැද්දක්වත් නොකර මම වැඩේ කළේ. ඒත් හිතා ගන්න බැරි විදිහට වෙඩි තියන සද්දෙකුයි, මගේ වටේ හිටිය හැම කෙනෙක්ම දුවන විදියයි විතරයි මට තේරුණේ. මොකක්ද වුණේ කියලා හිතා ගන්න බැරිව මාව එක තැන ගල් ගැසුණා. "මන්දාකිණි දුවන්න! උද්ඝෝෂණයට පහර දෙනවා නංගි...!" තරිඳු අයියා කියනවා විතරයි මට ඇහුණේ. මගේ ඔළුවට ලොකු පාරක් වදිනවත් එක්කම බඩේ පැත්තකින් ලොකු වේදනාවක් එනවත් විතරක් මට තේරුණා. ඒත් එක්කම මම ඉන්න තැනට දුවගෙන ආපු තරිඳු අයියගේ ඡායාව මම දැක්කා.

****** 

නැවත හමුවෙමු

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."  

    සිහින මන්දාකිණී 2   

 Next Episode

 

 










Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1