සිහින මන්දාකිණී 2/1

1 වන දිගහැරීම
යන්තම් පුංචි ආලෝකයක් පෙනෙද්දී, මම ඇස් දෙක අරින්න ලොකු උත්සාහයක් ගත්තා. ඒත් වෙනදා නින්දෙන් නැගිටිනවා තරම්නම් ඒක ලේසි වුණේ නැහැ. වටපිටාවෙන් අපැහැදිලි කටහඬවල් දෙක තුනක් ඇහුණත්, ඒ කවුද කියලනම් මට පැහැදිලි වුණේ නැහැ. වෙනදා ඉබේම ඇහැරෙන මට, අද ඇයි මේ තරම් ඇස් දෙක අරින්න අමාරු කියලා හිතාගන්න බැරි වුණා. හරියට නිකම් ඇස් දෙකටම වැලි වැටිලා වගේ.
කොච්චර අමාරු වුණත්, මම හෙමින් හෙමින් ඇස් දෙක අරිනකොට, මට මුලින්ම පෙනුණේ සුදු පාටට සිවිලිම මැද්දේ කැරකෙන ෆෑන් එක විතරයි. එකපාරටම ඇහැට දැනුණු ආලෝකය දරාගන්න බැරි නිසා, මම ආපහු ඇස් දෙක තද කරලා පියාගත්තා. මගේ ඔළුව හොඳටම අවුල් වුණේ, ඇයි මෙහෙම වෙන්නේ කියලා තේරුණේ නැති නිසා. ඒත් මොකක්ද මේ වෙන්නේ කියලා දැනගන්න තිබුණු කුතුහලය නිසාම, මම ආපහු හෙමීට ඇස් දෙක ඇරියා. එතකොට මට පෙනුණේ මගේ වටේට ඉන්න මිනිස්සු වගේ ඡායාවල් ටිකක් විතරයි. ඒ කවුද, මම ඉන්නේ කොහෙද කියලා මට පැහැදිලි වුණේ නැහැ. හරියට මීදුමකින් මුළු පරිසරයම වැහිලා ගිහින් කියලා මට හිතුණා. ආපහු මම තදින්ම ඇස් පියාගත්තේ, හිතට දැනුණු අවිනිශ්චිත බයත් එක්කමයි. මට මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. ටිකක් වෙලා යනකන් මම ආපහු ඇස් අරින්න උත්සාහ කළේ නැහැ. ඒ මට ලොකු බයක් දැනුණ නිසා.
මට හුස්ම ගන්න අපහසුවක් දැනුණේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒත් මගේ මූණ උඩ මොකක් හරි තියෙනවා කියලා මට තේරුණා. ඒත් ඒ මොකක්ද කියලා මට පැහැදිලි වුණේ නැහැ. මගේ හිත මට කිව්වෙම, මට මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න ඕනා කියලා. පුංචි බයක් හිතුණත්, මම ආපහු හෙමීට ඇස් දෙක ඇරියා. එතකොටනම් ඉස්සෙල්ලට වඩා ටිකක් පැහැදිලිව මට පේන්න ගත්තා. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. මට ඇස් දෙක ඇරගෙන ඉන්නනම් බැරි වුණා.
ඒ විදියට තුන් හතර පාරක් කළාට පස්සේ තමයි මට හරියට ඇස් ඇරගන්න පුළුවන් වුණේ. නිදාගත්තේ කොයි වෙලේද, ඇයි මට ඇස් ඇරගන්න අමාරු වුණේ, කියන කිසිම දෙයක් මට හරියට තේරුණේ නැහැ. මම වටපිට බැලුවේ මම ඉන්නේ කොහෙද කියලා හරියටම දැනගන්න. මගේ අතින් තද කරලා අල්ලගෙන මගේ මූණට එබීගෙන ඉන්න මලී අක්කව දැක්කම මගේ පුදුමය තවත් වැඩි වුණා. මලී අක්කා මගේ අත තද කරලා අල්ලගත්තත්, ඒ ගැන කිසිම හැඟීමක් මට ඒ වෙලාවේ ආවේ නැහැ. මට ඕන වුණේ මම ඉන්නේ කොහෙද කියලා දැනගන්න.
ඒක හොඳ ලස්සන රූම් එකක්. ඒක මගේ රූම් එක නෙමෙයි. මම තවත් හොඳට වටපිට බැලුවේ මම ඉන්නේ කොහෙද කියලා හරියටම දැනගන්න. සැපපහසු ඇඳක්, සිවිලිං ෆෑන්, ලස්සන සොෆා එකක්, මේ කිසිම දෙයක් මගේ දුප්පත් කාමරේ තිබුණේ නැහැ. ඒ මදිවට බිත්තියේ ගහලා තිබුණු A/C එක දැක්කම මට තවත් පුදුම හිතුණා. "මේ මගේ රූම් එක නෙමේනම් මම ඉන්නේ කොහෙද, ඇයි මම මෙතන ඉන්නේ?" කියන ප්‍රශ්නය විතරයි මගේ ඔළුවට ආවේ. මම වටපිට බැලුවේ ගොඩක් කලබලෙන්. එතකොටයි ඇඳ ළඟ තියෙන සෙලයින් බෝතලේ තියෙන සෙලයින් ඇතුළු වෙන්නේ මගේ ඇඟට කියලා මට තේරුණේ. ඒත් එක්කම මට දාලා තියෙන ඔක්සිජන් මැෂින් එක නිසයි මගේ මූණ උඩ බරක් තියෙනවා වගේ දැනුණේ කියලා මට තේරුණා. එතකොටයි මම ඉන්නේ හොස්පිටල් එකක කියලා මම තේරුම්ගත්තේ.
ඒත් ඇයි මම මෙතන ඉන්නේ, මොකක්ද ඔක්සිජන් දෙන්න තරම් මට වුණේ කියලා කල්පනා කරන්න හදනකොටම, රූම් එකේ දොර ඇරගෙන, ලස්සනට ඇඳපු, හොඳ වැදගත් පාට තරුණ පිරිමි කෙනෙක් මම ළඟට ආවා. ටිකක් වෙලා ඒ මූණ දිහා බලාගෙන ඉන්නකොට තමයි මට ඩොක්ටර් අසංකව අඳුනගන්න පුළුවන් වුණේ. එතනම හිටිය ඩොක්ටර් ඉමේෂව මම අඳුනගත්තේ ඊටත් පස්සේ.
"මන්දාකිණී... ඔයාට මාව ඇහෙනවද...?"
මට කතා කරන්න පුළුවන්කමක් නොතිබුණත්, මම "ඔව්" කියලා ඔළුව වැනුවා. එතන හිටිය මලී අක්කටයි, ඩොක්ටර්ස්ලටයි, නර්සස්ලටයි හිනාවක් ගියේ එකපාරටම. ඒත් ඒ ඇයි කියලනම් මට තේරුණේ නැහැ.
"අපේ වැඩේ සාර්ථකයි මලීෂා... දැන් බය වෙන්න දෙයක් නැහැ. අපිට පුළුවන් දැන් මැෂින් ගලවන්න."
"අනේ... ඇති යන්තම්... මම හුඟක් බය වෙලා හිටියේ ඩොක්ටර් අසංක."
"ඔයාලා විතරක් නෙමෙයි, මමත් බය වෙලා හිටියේ. දෙවියෝ මන්දාකිණී ගාව ඉඳලා තියෙනවා මලීෂා. මේ හැමදේම ගැන මට හරිම පුදුමයි. අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැන් මන්දාකිණීට අවශ්‍ය විවේකය. මෙයාට කල්පනා කරන්න ඉඩ දෙන්න එපා. මැෂින් ගැලෙව්වට පස්සේ ටික ටික කතා කළාටනම් කමක් නැහැ. අපි ඉතින් මෙයාව මාස තුනක් විතර නිදි කෙරෙව්වනේ... ගොඩක් නෙමෙයි, ටික ටික කතා කරන්න."
"Ok ඩොක්ටර්..."
"මන්දාකිණී... දැන් ඉතින් ඔයත් වෙච්ච දේවල් මතක් කරන්න උත්සාහ ගන්න එපා. ඒවා ඔයාට පස්සේ හෙමීට මතක් වෙයි, හොඳද...? දැන් ඉතින් ඔයා මානසිකව සුවපත් වෙන්න ඕනා. මුල ඉඳන්ම..."
ඩොක්ටර් මට ඒ ටික කිව්වේ මගේ ප්‍රෙෂර් එක චෙක් කරන ගමන්. මම ඩොක්ටර් දිහා බලාගෙන උන්නේ මේ වෙන කිසිම දෙයක් ගැන අවබෝධයක් නැතුව. ඩොක්ටර් මගේ පපුවට ස්තෙලස්කෝප් එක තියලා චෙක් කරන්න ගත්තා. එයා ඒ හැමදේම කළේ මගේ ඇස් දෙක දිහා බලාගෙනමයි. මට ඒකෙන් ලොකු අපහසුවක් දැනුණා. මම ඒ නිසාමයි ආපහු ඇස් පියාගත්තේ.
"මලීෂා... දැන් අපේ වැඩ ඉවරයි. දැන් ඉතින් මෙයාව බලාගන්න එක, පරණ තත්ත්වයට ගේන එක හෙමින් හෙමින් කරන්න ඕනා. ඒක ඔයාලට බාරයි. විශේෂයෙන්ම මතක තියාගන්න, මෙයාට හුඟක් විවේකය අවශ්‍යයි."
මලී අක්කා එක්ක කතා කර කරම ඩොක්ටර් මගේ ඔක්සිජන් මැෂින් එක ගලවනවා මට තේරුණා. ඒත් මම ඇස් ඇරියේ නැහැ.
"හොඳයි ඩොක්ටර්. මම ඒ ගැන බලාගන්නම්."
"ඩොක්ටර් ඉමේෂ..."
"ඔව් ඩොක්ටර්..."
"මට පුංචි වෙනසක් දැනුණත් දැනුම් දෙන්න කියලා නර්ස්ට කියන්න. දවස් දෙක තුනක් යනකම් හැමවෙලාවෙම කෙනෙක් මෙතන ඉන්න ඕනා. එතකොට තව ටෙස්ට් ටිකක් තියෙනවා කරන්න. මම ඒක ලියලා දෙන්නම්. පුළුවන් ඉක්මනින් ඒ ටික කරලා මට රිපෝට් ටික ඕනා. පොඩි වැරැද්දක්වත් වෙන්න බැහැ. එහෙම වුණොත් මාස ගානක අපේ උත්සාහය වතුරේ යන්න පුළුවන්."
"Ok ඩොක්ටර්. මම ඒ ගැන බලන්නම්."
"Ok... මම මිස්ටර් සිහිනට දැනුම් දුන්නා. දැන් එයි."
ඩොක්ටර් අසංක ඒක කිව්වමනම් මම ඇස් ඇරලා ඩොක්ටර් දිහා බැලුවා. ඒ ඇස් තිබුණේ මගේ මූණෙමයි. එයා ඒ වෙලාවේ මගේ හිතේ තියෙන හැඟීම් තේරුම්ගන්න උත්සාහ කරනවා කියලා මට හිතුණා. මම ඩොක්ටර් අසංකගේ ඇස් මගහැරලා ඩොක්ටර් ඉමේෂ දිහාට හැරුණේ ඒකයි.
"මන්දාකිණීට හොඳට ඇහෙනවා. ඒ ගැනනම් වෙන පරීක්ෂණ කරන්න ඕන වෙන එකක් නැහැ වගේ."
කාමරේ හිටිය කට්ටියම හිනාවෙනකොට ඒ ටික කියලා, එතනින් එහාට එක වචනයක්වත් කතා නොකර ඩොක්ටර් කාමරයෙන් එළියට ගියා. ඩොක්ටර් ඉමේෂත් ඒ එක්කම කාමරයෙන් එළියට ගියේ "ආපහු එන්නම්" කියලා අතින් සංඥා කරන ගමන්.
ඩොක්ටර් කොච්චර කිව්වත් කල්පනා කරන්න එපා කියලා, මගේ හිත හෙමින් හෙමින් මට වෙච්ච දේ මොකක්ද කියලා මතක් කරන්න පටන් ගත්තා. ඒත් එකපාරටම කාමරේ දොර ඇරගෙන ඇතුළට ආපු රූපය දැක්කම මට හැමදේම අමතක වෙලා ගියා.
මට "නපුරව" දැක්කම පුදුම හිතුණා. හරියට පිස්සෙක් වගේ,ඒ මූණේ වෙනදා තිබුණ ලස්සන හිනාව, නැවුම් ගතිය තිබුණේ නැහැ. අඩුම තරමේ ඒ කොණ්ඩයවත් පීරලා තිබුණේ නැහැ. වෙනදා ලස්සනට හිටිය නපුරට මොකද වෙලා තියෙන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා.
"සිහින! උඹට පිස්සුද යකෝ... මොකද බන් මේ වෙලා තියෙන්නේ, ගාල කඩාගත්ත හරකෙක් වගේ. බලපන් මගේ ඇඳුමට උඹ නිසා වෙච්ච දේ."
නපුරගේ පිටිපස්සෙන් රූම් එකට ආපු ඩොක්ටර් ඉමේෂ කෑගහන්න ගත්තා. ඩොක්ටර්ගේ ඇඟ පුරාම මොනවද කහ පාටට හැලිලා තිබුණා. ඩොක්ටර් ඉමේෂව දැක්කමත් හිනා යනවා.
"ඩොක්ටර්, මොකද වුණේ?"
"බලන්න මලී, මේ ගෝතයා ගාල කඩාගත්ත හරකෙක් වගේ ඇවිත් නර්ස් කෙනෙක්ගේ ඇඟේ හැප්පුණා. නර්ස් එක්ක කතා කර කර උන්නු මගේ ඇඟ පුරාම නර්ස්ගේ අතේ තිබ්බ බෙහෙත් විසි වුණා. මගේ විතරක්නම් කමක් නැහැ, එතන හිටිය ඩොක්ටර් අසංකගේත් ඇඟ පුරාම බෙහෙත්. අඩුම ගානේ මූ 'සොරි' කියලවත් කිව්වේ නැහැ. ඒ මිනිස්සුන්ට මොකද වුණේ කියලා බලන්නෙවත් නැතුව හරකෙක් වගේ දුවගෙන ආවා."
ඩොක්ටර් ඉමේෂ ඒක කිව්ව විදියට මම යන්තම් හිනා වුණා. කාමරයට ආවා වෙලාවේ ඉඳන් මගේ දිහා බලන් උන්නු නපුරා ඩොක්ටර්ව බදාගත්තා.
"තෑන්ක්ස් ඉමේෂයා! තෑන්ක්ස් උඹට බුදු බව ලැබෙනවා මේ කරපු උදවුවට."
"මට බුදු බව එපා, ඒක ඩොක්ටර් අසංකට කියපන්. ඩොක්ටර් තමා මන්දාකිණීව ගොඩ දැම්මේ. මගේ ෂර්ට් එක හෝදලා දියන්, ගෑණි අරන් දීපු ෂර්ට් එකක් බන් මේක."
"හරි හරි බන්, සොරි මචෝ."
"හොරිය...! තියාගනින් තොගේ හොරිය...!"
තවත් මොනවද කියන්න හැදුවත් ඩොක්ටර් ඉමේෂ ඒ ටික කිව්වේ නැහැ. එතකොටමයි සමෙත් සර් රූම් එකට ආවේ.
"ආ... උඹත් ආවද සමියෝ...?"
"ආවා... ආවා නෙමේ ඉමේෂ, ඉගිල්ලුණා... බලපන් ඉමේෂ, ඩොක්ටර් අසංක කෝල් එක දෙනකොට අපි උන්නේ මුන්ගේ ගෙදර. මූ තාම මූණ සෝදලවත් නැහැ. කලබල වුණ ගමන මාවත් ඇදගෙන ඇවිත් කාර් එකට දාගත්තා. එතන ඉඳන් ආවා නෙමේ බන්, ඉගිල්ලුණා... මම වාහනේ ඉඳගෙන ආවේ මාර බයෙන්. වාහන කීයකනම් හැප්පෙන්න ගියාද! ඒ මදිවට හොස්පිටල් එකේ ගේට් එක ගාවින් කාර් එක නවත්තලා පිස්සෙක් වගේ පැනලා දිව්වා. එතන ඉන්න සිකියුරිටියා බැන්නත් එක්ක. මම මේ කාර් එක පාක් කරලා ආවේ. මූ තනියම ආවානම් කාර් එකේ කෑලි පංචිකාවත්තට ගියත් හොයන්න වෙන්නේ නැහැ. ඒක නෙමෙයි, මොකද මේ උඹ කහ වලින් නෑවද...?"
"ඒකත් මේ බූරුවගේ වැඩක් තමයි."
සමෙත් සර් මොනවා කිව්වත් නපුරා වචනයක්වත් කිව්වේ නැහැ.
"මුගේ පිස්සු වැඩ හින්දා මන්දාකිණීට කතා කරන්නවත් බැරි වුණා. මලීෂා... ඔයා ආන්ටිට පණිවිඩේ යැව්වද...?"
"නැහැ සමෙත් සර්... දැන් යවන්න ඕනා..."
"ඉක්මනට පණිවිඩේ යවන්න. ආන්ටි ගොඩක් සතුටු වෙයි. ඉතින්... මන්දාකිණී කතා කළාද සිහිය ආවට පස්සේ?"
"නැහැ බන් තාම. අපි මහන්සි කෙරෙව්වේ නැහැ. ඒත් දැන් ටික ටික කතා කරන්න ඕනා..."
"ඒකත් එහෙමද...? එහෙනම්... ඉමේෂ, මලීෂා, අපි යමුද ටිකක් එළියට... මට ටිකක් කතා කරන්න ඕනා..."
"යමු සමෙත් සර්..."
"ඉමේෂයා... උඹත් වරෙන්කෝ... විස්තරයක් කියන්න."
නපුරව විතරක් මාත් එක්ක රූම් එකේ තනි කරලා අනික් හැමෝම රූම් එකෙන් එළියට ගියා. මලී අක්කා මගේ ළඟින් නැගිට්ටේ අත තදින් මිරිකලා. එයා ඒකෙන් මොකක් හරි කියන්න ට්‍රයි කළා කියලා හිතුණත්, මට ඒ මොකක්ද කියලනම් තේරුණේ නැහැ.
"මන්දාකිණී..."
නපුරා මගේ ළඟටම ඇවිත් කතා කළේ මූණට එබෙන ගමන්. ඒත් මට කතා කරන්න හිතපු තරම් ලේසි වුණේනම් නැහැ. ඒක ඇස් අරිනවටත් වඩා අමාරු වුණා. තුන් හතර සැරයක් උත්සාහ කළත් වචන පිට වුණේ නැහැ.
"ට්‍රයි කරන්න මන්දාකිණී! ඔයාට පුළුවන්."
නපුරා මගේ අතින් අල්ලගෙන ඇඳ උඩින් ඉඳගත්තා. ඒ තරම් ලෙන්ගතු කමක් මම නපුරගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මට ඒ වෙනස අදහාගන්න බැරි වුණා. මම හිටියේ කතා කරන්න ට්‍රයි කර කර නේද කියලා මට අමතක වුණා. මම නපුරා දිහා හුඟක් වෙලා බලන් හිටියා. නපුරව මට හම්බවුණ දවසේ ඉඳලා මේ වෙනකන් අපි අතරේ වෙච්ච හැම කතාබහක්ම, හැම රණ්ඩුවක්ම, හැම සිදුවීමක්ම මතක් වෙද්දී, "මේ ඉන්නේ DREAM T.V එකේ ආඩම්බරකාර, උඩඟු අයිතිකාරයා සිහින සත්සර සූරියබණ්ඩාරමද?" කියලා මට පළවෙනි වතාවට හිතුණා.
"ඇයි ළමයෝ ඔයා බය වෙලා වගේ මං දිහා බලාගෙන ඉන්නේ? ඔයාට පුදුමයිද...?"
මට එතකොටයි දැනුණේ මම නපුරා දිහා හුඟක් වෙලා බලාගෙන හිටියා කියලා. මුලින්ම මම චැනල් එකට ඉන්ටර්වීව් ආව දවසෙත් මේ විදියටම නපුරා දිහා බලගෙන ඉඳලා අහුවුණ වෙලාවේ වගේ, ලොකු ලැජ්ජාවක් හිතට දැනෙනකොට මට ඉබේටම හිනා ගියා.
"අන්න එහෙම හිනාවෙලා එක වචනයක් හරි කතා කරන්නකෝ මන්දාකිණී... ප්ලීස්."
මම ආසම ලස්සනම ලස්සන හිනාව මූණ මැද්දේ තියාගෙන කතා කරන නපුරා දිහාම බලාගෙන ඉන්න ආස හිතුණත්, ඒ ආසාව ගොඩක් අමාරුවෙන් පාලනය කරගෙන කතා කරන්න උත්සාහ කළා.
"සි... සි... සිහින ස..ර්..."
සිහිය ආවට පස්සේ මම කතා කරපු පළවෙනි වචනය ඒක. නපුරගේ මූණේ තිබුණ ඒ හිනාව වැඩි වෙනවා දැක්කම මගේ හිතටත් අමුතු සතුටක් දැනුණා. ඒ මම නපුරගේ ඒ හිනාවට ආදරේ හින්දා වෙන්න ඇති.
"මන්දාකිණී... ඔයා දන්නවද...? මට අද කොච්චර සතුටුද කියලා. අද තමයි මගේ ජීවිතේ වැඩිපුරම සතුටු වුණ දවස. මන්දාකිණී..., සමහරවිට ඔයාට පුදුමත් ඇති,පුළුවන් තරම් ඔයාට නපුරුකම් කරපු, ඔයාව පෙන්වන්න බැරුව ඉඳපු, ඔයාව හැමවෙලේම අඬවපු නපුරා මේ තරම් වෙනස් වුණේ කොහොමද කියලා."
නපුරා ඒ වචන ටික කියනකොට මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. හරියට මගේ ඉස්සරහ අකුණක් පිපුරුවා වගේ හැඟීමක් මට දැනුණේ. සිහින සර්ගේ කටින් කවදාවත් "නපුරා" කියන වචනය අහන්න මම බලාපොරොත්තු වුණේ නැහැ. මම සිහින සර්ට "නපුරා" කියනවා කියලා දැනගෙන හිටියේ මලී අක්කයි, නිමේෂ් අයියයි විතරයි. ඒක කොහොමද මෙයා දැනගත්තේ...?
"ඔයාට තවත් පුදුමයි නේද මන්දාකිණී... ඔයා බයවෙලා ඉන්න විදිය දැක්කම මට හිනත් යනවා. ඔයා මට නපුරා කියනවා කියලා විතරක් නෙමෙයි, මම තව ගොඩක් දේවල් දන්නවා. ඒවා දැනගත්ත විදියයි, මම මෙච්චර වෙනස් වෙන්න හේතුවයි, මම ඔයාට පස්සේ කියන්නම්කෝ. දැන් ඔයා ඔය දේවල් ගැන හිතන්න එපා. මේ ලෝකේ ගොඩක් නරක, නපුරු මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. මුලින්ම ඔයා හොඳටම හොඳ වෙලා ඉන්න."
මම හුඟක් පුදුමෙන් නපුරා දිහා බලාගෙන උන්නේ, ඒත් නපුරා එතනින් එහාට ඒ ගැන මුකුත්ම කතා කළේ නැහැ. නපුරා මගේ අතින් අල්ලගෙන ඉන්න එක මට ලොකු අපහසුවක් වුණා. මං මගේ අත දිහා බලනවා නපුරා දැක්කත් එයා මගේ අත අතහැරියේනම් නැහැ. ඒ වෙනුවට නපුරා කළේ මගේ නළල වටේට ඔතලා තියෙන බැන්ඩේජ් එක හෙමින් අතගාපු එක.
රූම් එකේ දොර ළඟ කවුරු හරි උගුර පාදන සද්දයක් ඇහිලා මාව ගැස්සිලා ගියා. ඒත් පිටිපස්ස හැරිලා බැලුවා මිසක්, මගේ අත අතහරින්නනම් නපුරට උවමනාවක් තිබුණෙම නැහැ. නපුරා ඉඳගෙන හිටියේ රූම් එකේ දොර කවර් වෙන්න නිසා මට ඒ කවුද කියලා පෙනුණේ නැහැ. ඒත් ඒ කට්ටිය හිනාවෙන සද්දේ ඇහුණම මට තේරුණා ඒ එළියට ගිය මලී අක්කලා කියලා.
"මොකද උඹලා හිනාවෙන්නේ...?"
"උඹව දැක්කම හිනාවෙනවා නෙමෙයි සිහිනයෝ... හිනා යනවා."
"ඇයි ඒ හිනා යන්නේ? කියපන් බලන්න සමෙත්."
"ඒක මම උඹට පස්සේ කියන්නම්. මිස් රත්නායකගේ අම්මා එනවා. ඒ නිසා දැන් ඔතනින් නැගිටපන්."
සමෙත් සර් ඒක කිව්ව විදියට හැමෝම හිනාවෙන්න ගත්තා. වෙනදා විහිළුවක් කළහම හොඳටම කේන්ති යන නපුරත්, බොරු තරහක් මවාගත්තට ඒ තරහට යටින් තිබ්බ හිනාව ඉබේම එළියට පැන්නා.
නපුරා මගේ ළඟින් නැගිටලා සමෙත් සර් ඉන්න තැනට ගියා විතරයි අපේ අම්මා රූම් එකට ආවේ නිමේෂ් අයියත් එක්ක.
"මැණික්...! මගේ දුවේ..."
"අ.. අ.. අ..ම්මේ..."
"අනේ දෙවියනේ! මගේ කෙල්ලට තුරුණුවන්ගෙම සරණයි. මගේ කෙල්ලගේ කටහඬ ආයෙම පාරක් මට අහන්න දුන්නට මේ ලෝකේ ඉන්න හැම දෙවි කෙනෙකුටම බුදුබව ලැබෙන්න ඕනා. මගේ හුස්ම නතර වෙලා තිබුණේ. ඇත්තමයි!"
අම්මගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ සතුටටද දුකටද කියලා මට ඒ වෙලාවේ තේරුණේ නැහැ. අම්මා මගේ ඔළුව ආදරෙන් අතගානකොට මගේ ඇස් වලටත් කඳුළු මෝදු වෙනවා මට දැනුණා.
"අම්මේ..., අඬන්න එපා. ඒක මන්දාකිණීට දුකක්... එයාගේ හිත අප්සෙට් කරන එක හොඳ නැහැ. එයාට තාම සීයට සීයක් හොඳ වෙලා නැහැනේ."
"නැහැ දොස්තර මහත්තයෝ... මම අඬන්නේ නැහැ. මගේ හිතට ආපු සතුට මට දරාගන්න බැරි වුණා. මගේ කෙල්ලව බේරලා දුන්නට මහත්තයලට පින් දෙනවා ඇරෙන්න මට වෙන දෙන්න දෙයක් නැහැ මහත්තයෝ."
"අපි කරන්නේ අපේ රාජකාරිය අම්මේ. මන්දාකිණීව බේරගත්තට මටයි ඩොක්ටර් අසංකටයි වඩා පින් දෙන්න ඕනා මේ සිහිනට. එයා මන්දාකිණීට බෙහෙත් කරන්න හැම වියදමක්ම දරපු නිසා තමයි අද මන්දාකිණීව අපිට මේ තත්ත්වයෙන් දකින්න පුළුවන් වුණේ."
මම නපුරා දිහා බැලුවේ හුඟක් පුදුමෙන්. ඒත් ඒ ඇස් දෙකේ තිබුණ කාන්තිය මට දරාගන්න බැරි වුණා. එයා දිහා බලපු වේගෙන්ම මම බිම බලාගත්තේ ඒකයි. "ඒ ඇස් තාමත් එදා වගේමයි" කියලා මට හිතුණා.
"සිහින මහත්තයෝ... මහත්තයට ජාති ජාතිත් හොඳ ජීවිතයක් ලබන්න මේ පින හොඳටම ඇති මහත්තයෝ... අම්මා කෙනෙක්ගේ හිතේ පත්තු වෙන මහ ගින්නක් නිවන්න මහත්තයට පුළුවන් වුණා. මම කොහොම මේ ණය මහත්තයට ගෙවන්නද කියලා මට තේරෙන්නේ නැහැ."
"අප්පේ...! අපේ සිහිනට හොඳ ජීවිතයක් ලැබෙන්නනම් ඉතින් කසාදය හරියන්නම ඕනා."
සමෙත් සර් ඒක කිව්වේ හිමීට වුණත් ඒක අපේ අම්මට හොඳටම ඇහුණා... ඒ කිව්ව කතාවේ ලොකු අර්ථයක් ඇති කියලා හිතුණත්, ඒ මොකක්ද කියලනම් මට තේරුණේ නැහැ. තව මොනවා හරි කියන්න සමෙත් සර් උත්සාහ කළත්, ඒ ටික කියන්න නපුරා ඉඩ දුන්නේ නැහැ.
"සමියෝ... මේ වගේ වෙලාවකදිවත් උඹේ ඔය වක්කඩ වහගනින්කෝ බන්. මම උඹට වඳින්නම්, ප්ලීස්..."
"හරි හරි... ඔන්න එහෙනම් වහගත්තා... ඇත්ත කියනකොට කොහොමත් රිදෙනවනේ."
"අම්මා කරදර වෙන්න එපා... මන්දාකිණීට හොඳටම හොඳ වෙනකන් එයාගේ වගකීම අපේ චැනල් එක බාරගන්නවා. එයාට මේ දේ වුණේ අපේ චැනල් එක නිසා. ඒ නිසා අපිට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. එයාට විතරක් නෙමෙයි, අපේ චැනල් එක නිසා අමාරුවේ වැටුණු හැම කෙනෙක්වම මම හොඳටම හොඳ වෙනකන් බලාගන්නවා."
නපුරගේ ඒ කතාව ඇහුවමනම් මගේ හිතට පුංචි දුකක් දැනෙන්න ගත්තා... ඒ කියන්නේ මේ හැමදේම චැනල් එක හින්දා. මෙතන වෙන කෙනෙක් හිටියනම් ඒත් නපුරා මේ තරම්ම එයාටත් සලකයි කියලා මට හිතුණා. ඇත්තටම ඉතින් නපුරට මට විශේෂයක් කරන්න ඕන නැහැ. මම කවුද, නපුරා කවුද? එහෙම දෙයක් හිතපු එක ගැනත් මට මං ගැනම ඇති වුණේ තරහක්.
"ඒත් දැන් මහත්තයලට දුන්නු කරදර හොඳටම ඇති. මං දැන් මට පුළුවන් විදියට දුවව බලාගන්නම්."
"එහෙම කරදරයක් නැහැ අම්මේ. මන්දාකිණීට මේ හැමදේම වුණේ අපි නිසා. මේ විතරක් නෙමෙයි, හොස්පිටල් එකෙන් රිලීස් කළාම මන්දාකිණීව එක්කන් යන්නේත් අලුත් ගෙදරකට. එයා අපේ චැනල් එක වෙනුවෙන් ජීවිතේ අන්තිම කෙළවරටම ගිහින් ආවේ. එයා වෙනුවෙන් මේ කරන දේවලුත් මදි කියලයි මටනම් හිතෙන්නේ."
"අනේ... අපිට මොකටද මහත්තයෝ ගෙවල්. මගේ මැණික්ව හොඳ කරලා දුන්න එක මට හොඳටම ඇති. තව දේවල් ඕනා නැහැ."
"එහෙම බැහැ අම්මේ. මේක අපේ වගකීම. අනික දැන් නඩුවක් තියෙන නිසා මන්දාකිණීගේ ආරක්ෂාව ගැනත් බලන්න ඕනනේ. අපි නඩු කියන්නේ ලේසිපහසු මිනිස්සු එක්ක නෙමෙයි අම්මේ."
"අනේ මොකට අපි වෙනුවෙන් සල්ලි වියදම් කරන්නද මහත්තයෝ. මහත්තයා කරදර වෙන්න එපා. මං කොහොමත් හිතන් ඉන්නේ දුවට හොඳ වුණාම මෙහෙන් ටිකක් දුර පළාතකට පදිංචියට යන්න."
අම්මා එහෙම කිව්වම මට ඒක අදහාගන්න බැරි වුණා. ඒ කියන්නේ ආයේ මට රස්සාව කරන්න හම්බ වෙන්නේ නැහැ. මටත් වඩා ඒකට නපුරට අප්සෙට් ගියා කියලා මට තේරුණේ, ඒ මූණේ මෙච්චර වෙලා තිබුණ හිනාව අතුරුදහන් වෙලා ගිය නිසා. "මන් එයාගේ තවත් එක සේවකයෙක් විතරනම් ඔච්චර අප්සෙට් යන්න දෙයක් එයාට නැහැනේ. නැහැ, එයාට දක්ෂ නිවේදිකාවක් නැතිවෙනවට එයා කැමති නැතුව ඇති."
"එහෙම කියන්න එපා මන්දාකිණීලගේ අම්මේ. මන්දාකිණී පැටලිලා තියෙන්නේ එසේ මෙසේ නඩුවකට නෙමෙයි. එයාගේ ජීවිතේ තාමත් තියෙන්නේ අනතුරේ. මේකට දේශපාලනෙත් ගෑවිලා ඉවරයි. අනික මේකට සම්බන්ධ අය හිරේ හිටියට, එයාලගේ අනික් අය තාමත් ඉන්නේ නිදැල්ලේ. මන්දාකිණී තමයි එයාලට බේරෙන්න තියෙන එකම බාධකය. ඒ නිසා අපිට ආවාට ගියාට මේ ප්‍රශ්නය දිහා බලන්න බැහැ. හැමදාටම නොවුණත්, මේ නඩුව ඉවර වෙනකන්වත් අපිට මන්දාකිණීව ආරක්ෂා සහිත තැනක තියන්න වෙනවා."
"අනේ මන්දා සමෙත් මහත්තයෝ... මේවා මේ දරුවට නැති කරදර."
"අපේ චැනල් එක නිසා කරදරේ වැටුණ මන්දාකිණීව අපි බේරලා දෙන්නම්කෝ. අනික බය වෙන්න දෙයක් නැහැ. ඒක සිහිනලටම අයිති ගෙයක්. ඒක ටුවරිස්ට්ලට රෙන්ට් එකට දෙනවා. මේ දවස් වල කවුරුත් නැති නිසා වහලා දාලා තියෙන්නේ."
"ඒ වුණාට... ඒක මහත්තයලට නැති කරදර ඇති කරන වැඩක්."
"කමක් නැහැ අම්මේ... ඒක දැන් තීරණය කරලා ඉවරයි. අපේ අම්මමයි ඒක තීරණය කළේ. ඒ ගැන වැඩිය හිතන්න එපා. ආ... මලීෂා..., ඔයාටත් එහේ නවතින්න පුළුවන්."
"හොඳයි සිහින සර්..."
******
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."

Comments
Post a Comment