සිහින මන්දාකිණී 2/2
ඉතින් අහපන්කෝ බන්..."
"හරි.. හරි.... අහගෙන ඉන්නේ මලී අක්කා.. ඔයා කියන්නකෝ."
සිහිය ඇවිත් දවස් තුනක් විතර ගියාට පස්සේ, මට සාමාන්‍ය විදියට කතාබහ කරන්න පුළුවන් වුණා. දැන් කෑමබීම වුණත් සාමාන්‍ය විදියට කන්න බොන්න දෙන්න කියලා ඩොක්ටර් අසංක මලී අක්කට කියලා තිබ්බා. මලී අක්කා එදා ඉඳලම ප්‍රෝග්‍රෑම් ඉවර වුණාට පස්සේ ආවේ හොස්පිට්ල් එකට. එයාට ඕන වුණේ පුළුවන් හැම වෙලාවෙම මාත් එක්ක ඉන්න.
"ඔන්න ඉතින් උත්ඝෝෂණය ලයිව් දෙනවා. අපි ඔක්කොම රෙස්ට් රූම් එකේ ඉඳන් බලන් උන්නේ. උඹ එදා හිටියේ චැනල් එකේ යුනිෆෝම් එක ඇඳලා. ඒකට උඹ මාර ගති. එතන උන්නු කට්ටිය ඔක්කොම වගේ කතා කරකරා හිටියේ උඹේ ලස්සන ගැන. කවදාවත් නැතුව සමෙත් සරුයි, 'ඩ්‍රීම්' (සිහින සර්) තුත් ආවා රෙස්ට් රූම් එකට. කට්ටියම කට ඇරගෙන T.V එක දිහා බලාගෙන උන්නා."
මලී අක්කා මොනවා කිව්වත්, මගේ සිහිය තිබුණේ මලී අක්කාගේ ෆෝන් එකේ මම play කරකරා හිටිය ගේම් එකට.
"ඉතින් අහපන්කෝ බන්..."
"කියන්න මලී අක්කේ... මම අහගෙන ඉන්නේ."
"ඊට පස්සේ එකපාරටම කෙල්ලෝ කොල්ලෝ ටික දුවන්න ගත්තා.. අපිටත් හිතාගන්න බැරි වුණා මොකක්ද වෙන්නේ කියලා. පස්සේ තමයි තේරුණේ පිකට් එකට පහර දෙනවා කියලා. උඹ හිටියේ ප්‍රෝග්‍රෑම් එකේ සිහියෙන් නිසා, උඹට ඒ ගැන ගාණක් වුණේ නැහැ. තරිදුවා දුවගෙන ආවා උඹ ළඟට. ඒත් ඌ උඹට දුවන්න කියලා කෑගහනකොටම, හෙන අලිපත සයිස් එකෙක් ඇවිත් දෝත බදලා උඹට පොල්ලකින් ගැහුවා. ඔළුවටමයි ගැහුවේ. එතකොටම වගේ උඹට වෙඩි පාරකුත් වැදුණා. ඒක කොහෙන් ආව එකක්ද කියලා අදටත් හොයාගන්න බැහැ."
"ඔය ඔක්කොම කැමරා කරගෙනද අක්කේ...? එතකොට කැමරාමන්ස්ලට ඩැමේජ් නැද්ද..?"
Play කරකර හිටිය ගේම් එක නවත්තලා මම මලී අක්කාගෙන් ඇහුවේ, හිතට දැනුණ කුතුහලය නිසාමයි.
"උන්ටත් හොඳටම ඩැමේජ් බන්. උන්ගේ කැමරා කුඩු කරලා දාලා. ඒත් ඔය ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන්නේ වෑන් එකේ සෙට් කරලා තිබ්බ කැමරාවේ."
"එතකොට උන් වෑන් එකට ඩැමේජ් කරලා නැද්ද..?"
"වෑන් එකටත් ගහලා. ඒත් උන් දන්නේ නැහැ වෑන් එකෙත් කැමරාවක් තියෙනවා, ඒකේ රෙකෝඩ් වෙන්න ඕනා ටික රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා."
"ඒක නෙමෙයි, කෝ අක්කේ තරිදු අයියා? මට සිහිය ආව වෙලේ ඉඳලා අනික් හැමෝම මාව බලන්න ආවා. ඒත් තරිදු අයියා ආවේ නැහැ."
"මෙ.. මේ... ආ... තරිදු එයි නංගි. තරිදු දන්නේ නැහැ උඹට සිහිය ආවා කියලා. මේ දවස් වල චැනල් එකේ පොඩි වැඩ වගේකට රට ගිහින්. අපි කිව්වෙත් නැහැ. ඒත් කියන්නත් ඕනා. කිව්වොත් කරන්න ගිය වැඩ ටිකවත් ඉවර කරන්නේ නැතුව එයි. තරිදු ඒ තරමට ආදරෙයි උඹට."
"පව්! දන්නවානම් ඉක්මනටම දුවගෙන එයි. එදා මට යන්තම් මතකයි, තරිදු අයියා දුවගෙන ආවා මං ළඟට. මට දුවන්න කියලත් කෑගැහුවා. ඒත් මට දුවාගන්න හම්බවුණේ නැහැ. තරිදු අයියට කරදරයක් නැහැ නේද අක්කේ...? එයා කවදද අක්කේ එන්නේ..?"
මම මලී අක්කාගෙන් තරිදු අයියා ගැන ඇහුවත් එයාට ඒක ඇහුණේ නැහැ. එයා හිටියේ ලොකු කල්පනාවක.
"මලී අක්කේ..."
"ආ.. අ.. මොකක්ද ඇහුවේ මන්දාකිණී..?"
"ඔයා මොනවාද කල්පනා කරන්නේ...?"
"නැ.. නැහැ මොකුත් නැහැ."
"මොකද නිමේෂ් අයියා තරහා වෙලාද..?"
මම එහෙම ඇහුවත් මලී අක්කා හිනාවුණා මිසක් ඒකට උත්තරයක් දුන්නේ නැහැ.
"ඕවා ගණන් ගන්න එපා අක්කේ. එයාට ඔයත් එක්ක තරහා වෙලා ඉන්න බැහැනේ.. මම ඇහුවේ තරිදු අයියා කවදද එන්නේ කියලා...?"
"කවදා එයිද කියන්න දන්නේ නැහැ මන්දාකිණී.. වැඩේ ඉවර වුණ ගමන්ම එයි. මේ... ඒක නෙමෙයි.. ඔයා දන්නවාද ඔයාට ඕක වුණු වෙලේ නපුරා හැසිරුණ විදිය?"
"අනේ… මම අක්කාගෙන් අහන්නමයි හිටියේ. මට අමතක වුණා. මම සිහින සර්ට නපුරා කියනවා කියලා ඔයාද එයාට කිව්වේ...?"
"උඹට පිස්සුද බන්.. මට විකාරද ඕවා කියන්න. අනික උඹට සිහිය නැතුව ඉන්නකොට ඕවා කියනවා තියා මට කන්න බොන්නවත් බැරි වුණා. අනික සිහින සර් හිටියෙත් හොඳ සිහියකින් නෙමෙයිනේ."
"ඒ කිව්වේ..?"
"උඹ ඉතින් දන්නේ නැහැනේ ඕවා... එහෙනම් අහගන්නකෝ..."
"අහන්න ඉතින් ඔයා කියන්න එපායැ අක්කේ."
"ඔයාලාට ඕක වෙනකොටම නපුරා යක්ෂාවේශයෙන් පුටුවෙන් නැගිට්ටා. ඇත්තටම කිව්වොත් නැගිට්ටා නෙමෙයි නැගිට්ටුණා. ඊට පස්සේ සමෙත් සර්වත් ඇදගෙන රෙස්ට් රූම් එකෙන් ගියා. අපි එතැනට යනකොටත් නපුරා එතැනට ගිහින්. අපි යද්දී ඔයාලව හොස්පිටල් ගෙනිහින්. මමයි නිමේෂ් අයියයි හොස්පිටල් එකට දිව්වා. අනික් කට්ටිය එතන වෙච්ච දේවල් ඔක්කොම ටික කවර් කරලා තිබුණා. අපි හොස්පිටල් එකට යනකොට නපුරා එතන දෙවනත් කරනවා. සමෙත් සර්ටවත් පාලනය කරගන්න බැහැ. ඔයාවයි තරිදුවයි ICU දාලා. අනික් අයටනම් ලොකුවට අමාරුවක් තිබුණේ නැහැ, පොඩි පොඩි තුවාල විතරයි."
"ඉතින්..."
"ඊට පස්සේ නපුරාව අල්ලන්න කාටවත් බැරි වුණා. නපුරා දන්න දන්න හැම තැනටම කෝල් කළා. මන් හිතන්නේ මැති ඇමතිවරුන්ටත් කතා කළාද කොහෙද, නපුරගේ යාළුවෝ වෙන්න ඇති. මේ වෙනුවෙන් ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියලා තර්ජනය කළා. මේ වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ නොවුණොත්, මාධ්‍ය තුළින් කරන්න පුළුවන් උපරිම දේ කරනවා කිව්වා. එදා තමයි මම හරියටම දැනගත්තේ සිහින සර්ට තියෙන පිරිස් බලය."
"උඹලා දෙන්නා ICU එකේ ඉන්නකම්ම නපුරා එතන. කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ. තරිදු දවස් තුනයි හිටියේ, උඹ දවස් 8ක් හිටියා. ඊට පස්සේ ඒ හොස්පිටල් එකේ පහසුකම් මදි කියලා තමයි මේකට මාරු කළේ. ඔක්කොම වියදම් දැරුවේ සිහින සර්."
"ලංකාවේ නෙමෙයි බන් ලෝකේ මොන ජනමාධ්‍ය ආයතනයකවත් ලොක්කෙක් ඔහොම හැසිරෙන්නේ නැතුව ඇති. 'ඩ්‍රීම්' ඒ අතින් සුපිරි ආ... හැබැයි අනික් හැම චැනල් එකක්ම, පත්තරයක්ම වගේ මේකෙදී 'ඩ්‍රීම්' එක්ක හිටියා. මාධ්‍යවේදියෝ පිකටින් කළා මේකට සාධාරණය ඉල්ලලා. අන්තිමට 'ඩ්‍රීම්' කොහොමහරි වැරදිකාරයෝ උසාවි ගෙනල්ලා තමයි උඩට ගත්ත හුස්ම පහළට දැම්මේ. වැරදිකාරයෝ අල්ලන්න පොලිස්සිය ගෙදරටම යනකන් උන් දන්නේ නැහැලු. ඒ දේවල් කොහොමද කළේ කියන එකනම් රහසක්. 'ඩ්‍රීම්' ට සෑහෙන්න ආරක්ෂක අංශ වලින් හෙල්ප් එක තිබුණලු බන්. මට නිමේෂ් කිව්වේ."
මලී අක්කා එහෙම කිව්වම මට මතක් වුණේ ශාන් අයියව. එයා හුඟක් මහන්සි වෙන්න ඇති.
"ඉතින් නඩුවේදී මොකද වුණේ අක්කේ?"
"ඒකෙදී ඉතින් අරුන්ව රිමාන්ඩ් කළා. තාම ඉවර නැහැ. දැනට තියෙන සාක්ෂි අනුවනම්, උත්ඝෝෂණයට පහර දීලා තියෙන්නේ උත්ඝෝෂණය සංවිධානය කරපු උන්මයි. උන් ඒක කරලා තියෙන්නේ ආණ්ඩුවෙන් උන්ට පහර දුන්නා කියලා පෙන්වන්න."
"ආණ්ඩුව වැරදි වුණත් නිවැරදි වුණත් ආණ්ඩුවට විරුද්ධව ඔය නඩුව විසඳෙන්නේ නැහැනේ අක්කේ."
"ඒත් ඇත්ත නැත්ත කතා කරන්න, හොයන්න බලන්න අපිට අයිතියක් තියෙනවනේ නංගි. උඹ වෙනුවෙන්, තරිදු වෙනුවෙන්, අපේ ගුටිකාපු අනික් උන් වෙනුවෙන්, Dream T.V වෙනුවෙන් ඕනම ජනමාධ්‍යකින් ඒවා එළියට එයි. උඹේ නපුරා ඒවා ගාණට කරයි මන්දාකිණී."
"මගේ නපුරා... ඔයාට පිස්සුද...?"
"ඇයි මම වැරදිද..?"
"ඔව් වැරදියි... සම්පූර්ණයෙන්ම වැරදියි.. මගේ නපුරා නෙමෙයි, රශ්මි මිස්ගේ නපුරා."
"අයියෝ... උඹට පිස්සුද...? දැන් රශ්මි මිස් මේ කතාවෙන් එළියට විසිවෙලා ඉවරයි."
"ඒ කිව්වේ..?"
"සිහින රූපවාහිනී නාළිකාව හෙවත් Dream T.V ආයතනයට හා ප්‍රසිද්ධ නිවේදිකාවක් වන මන්දාකිණී රත්නායක ඇතුළු අනෙකුත් මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් අය අතර, ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක් වන ධර්මසේන පුද්ගලික රෝහලේ අධිපති අශෝක ධර්මසේන මහතාද සිටින බව හඳුනාගැනේ. එතුමා ආණ්ඩුපක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් බවද සඳහන් වන අතර, මෙහි ඇති විශේෂත්වය වන්නේ ධර්මසේන මහතාගේ එකම දියණිය වන රශ්මි නිලක්ෂා මෙනෙවිය විවාහ වීමට යෝජනා වී තිබුණේ Dream T.V ආයතනයේ සභාපති සිහින සත්සර සූරියබණ්ඩාර මහතා වීමයි. මෙම පහරදීමට දේශපාලනික හේතූන්ට අමතරව පුද්ගලික හේතූන්ද බලපෑමක් වී ඇති බවට පොලිස් පරීක්ෂකවරුන් සැකපළ කරයි."
"මොකක්…?"
නිවුස් කියනවා වගේ මලී අක්කා කියාගෙන ගිය කතාව මට අදහාගන්නත් බැරි වුණා.
"ඔව් බන්.. මේකේ ප්‍රධානම සැකකරු රශ්මි මිස්ගේ තාත්තා."
"ඒ… ඒත්… ඇයි එහෙම කරන්නේ..? එහෙම වෙන්න බැහැ අක්කේ. රශ්මි මිස් 'ඩ්‍රීම්' ට ආදරෙයි. අනික ඔය ලොකු ලොකු මිනිස්සු ගැන ඕන තරම් කටකතා හැදෙනවනේ. ඕක එහෙම දෙයක් වෙන්න ඇති."
"උඹේ ඔළුවට පොල්ලෙන් ගහපු වෙලේ මොළේ නහර තැලිලා, ඒකයි ඔහොම කතා කියන්නේ. අපි හැමෝම හිතන්නේ මේක Drama T.V එකටවත් 'ඩ්‍රීම්' ටවත් කරපු පහරදීමක් නෙමේ කියලා."
"එහෙනම්..?"
"මේක වෙන තරහක්.."
"ඒ මොකටද වෙන කා එක්කවත් තියන කේන්තියට 'ඩ්‍රීම්' ට හානියක් කරන්නේ?"
"අපි සැක කරන්නේ මේක කළේ උඹත් එක්ක තියන තරහට කියලා."
"මෙ.. මෙ.. මාත් එක්ක? ඒ මොකටද මලී අක්කේ..?"
"'ඩ්‍රීම්' ව උඹත් එක්ක බෙදාගන්න බැරුව."
"මො.. මොකක්… ඔයාට පිස්සුද? රශ්මි මිස් මොකටද එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව මාත් එක්ක බෙදාගන්නේ?"
"පිස්සු නෙමෙයි බන්. රශ්මි මිස් දන්නවා 'ඩ්‍රීම්' උඹට ආදරේ කරනවා කියලා."
"මේ.. මේ.. ම… මට?"
"ඔව් බන්."
"ඔයාට පිස්සුද අක්කේ? බොරු කියන්න එපා. අනික මේ නැති කතන්දර හදලා මාව තවත් අවුල් කරන්න එපා."
"නැහැ නංගි. මටත් මුලින්ම ඒක විශ්වාස කරන්න අමාරු වුණා. අපි නොදැන හිටියට, 'ඩ්‍රීම්' අපිට නොපෙන්නුවට, 'ඩ්‍රීම්' උඹව දැක්ක දවසේ ඉඳලම උඹට ආදරේ කරලා. ඒත් ඒක රශ්මි මිස්ගේ රේඩාර් වලට කොහොමහරි අහුවෙලා තියෙනවා. මුන් උත්ඝෝෂණය පිටින් දාලා උඹගෙන් පළිය ගත්තා. උත්ඝෝෂණයට පහර දුන්නේ දේශපාලන කේස් එකක් නිසා. අපේ චැනල් එකේ කට්ටියට පහර දුන්නේ උඹත් එක්ක තියෙන තරහට. ඒකට නුවනිත් හවුල්. එදා මතකද උඹ උත්ඝෝෂණය කවර් කරන්න යන්න යද්දී නුවනි උඹට අභියෝග කළා? ඒ කියන්නේ ඒකි උඹට මේක වෙනවා කියලා එදා දැනගෙන හිටියා. අන්තිමට නුවනි පොලිස්සිය ඉස්සරහා ඔක්කොම කිව්වා බන්. 'ඩ්‍රීම්' නුවනිවත් අයින් කළා."
"අනේ අක්කේ…"
"ඔය කේස් අස්සේ රශ්මි මිස්ගේ තාත්තව රිමාන්ඩ් කළා. එතකොට රශ්මි මිස් ආවා හොස්පිටල් එකට. මමත් එතකොට හොස්පිටල් එකේ. 'ඩ්‍රීම්' ඇහුවා ඇයි ආවේ කියලා. 'බඳින්න ඉන්න එකාටම හතුරුකම් කරලා තවත් මූණ බලන්න පුළුවන්ද' ඇහුවා."
"ඊට පස්සේ රශ්මි මිස් කිව්වා 'තාත්තව එළියට අරන් දෙන්න, ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි' කියලා. 'ඩ්‍රීම්' ට යකා නැගලා කිව්වා 'වැරදි කරපු උන් දඬුවම් විඳින්න ඕනා. තමුසෙගේ තාත්තා මේකට හවුල්නම් මම ගෙනියන්න ඕන ඉහළම තැනට ගෙනිහින් උපරිම දඬුවම් කරලා තමයි නතර වෙන්නේ. තමුසෙගේ මහප්පාගේ දේශපාලන බලේටවත්, තාත්තාගේ සල්ලි බලේටවත් ඒක නවත්වන්න බැහැ' කියලා."
"ඉ.. ඉ.. තින්.."
"එතකොට සමෙත් සර් හෙමීට රශ්මිට කිට්ටු කරලා ඇහුවා 'ඇයි මෙහෙම දෙයක් කළේ' කියලා."
"රශ්මි හොඳටම අඬ අඬා උන්නේ. මේකි ගත් කටටම කිව්වා 'මට අයිති දේ උදුරගත්ත මන්දාකිණිගෙන් පළිගන්න' කියලා. ඇත්තටම ඒක රශ්මි කිව්වා නෙමෙයි, ආව ආවේගයට ඒකිට ඒක කියවුණා."
"අනේ දෙවියනේ…"
"දෙවියනේ.. නෙමෙයි බන්.. යකුනේ කියපන්. ඊළඟ ටික තමයි හොඳම ටික."
"ඒ කිව්වේ?"
"ඒක ඇහුණම 'ඩ්‍රීම්' ට හොඳටම මළපැන්නා. එතන හිටියේ කවුද, මේ ඉන්නේ කොහෙද කියලවත් 'ඩ්‍රීම්' බැලුවේ නැහැ. පැනපු ගමන් රශ්මිගේ කණ හරහා එකක් දුන්නා බන්.. ඔළුව වටේ තරු පේන්න. අපි කාටවත් ඒක නවත්වන්න තියා හිතාගන්නවත් බැරි වුණා."
මලී අක්කා මට හැමදේම කියනකොට, එදා මාව බලන්න හොස්පිට්ල් ආපු වෙලාවේ එයාගේ හැසිරීමේ තිබුණ වෙනස මට තේරුම්ගන්න පුළුවන් වුණා. මට මං ගැනම ඇති වුණේ ලොකු කලකිරීමක්. මම නිසා හොඳට හිටිය මිනිස්සු දෙපැත්තකට බෙදිලා රණ්ඩු වෙනවා දකින්න මම කැමති වුණේ නැහැ. අනික රශ්මි මිස් සාධාරණයි. මොනවා වුණත් සිහින කියන්නේ එයාගේ අයිතිය. කවුරුහරි තමන්ගේ දෙයක් උදුරගන්න හදනවා කියලා දැනෙනකොට, ඒක දරාගන්න එයාට බැරි වෙන්න ඇති. එයා ඒකට ප්‍රතිචාර දැක්වූවේ මේ විදියට.
"මොනවාද උඹ කල්පනා කරන්නේ?"
"පව් මලී අක්කේ රශ්මි මිස්.."
"උඹට ඇත්තටම පිස්සුද මන්දාකිණි? මගෙන් කුණුහරුප අහගන්න එපා. ඇයි යකෝ මෙච්චර දෙයක් වෙලා තියෙනකොට උඹ පව් පින් හොයන්න එනවා? ඇත්තම කියනවානම් අපි හැමෝම හිතුවේ උඹ මැරෙයි කියලා. ඩොක්ටර් අසංකයි, සිහින සරුයි උඹව අතහැරියෙම නැහැ, ඒකයි උඹ අද ජීවත් වෙන්නේ."
"ඒත් අක්කේ සිහින කියන්නේ රශ්මි මිස්ට අයිති කෙනෙක්. එතැනට මම තුන්වෙනියෙක් වෙන්න කැමති නැහැ. අනික රශ්මි මිස් එහෙම කළාට මගේ හිතේ තරහක් නැහැ. එයා සාධාරණයි."
"එයා සාධාරණ වෙන්න තිබුණා නංගි, එයා උඹව මරන්න උත්සාහ නොකර උඹත් එක්ක කෙළින් කතා කරලා මේක විසඳගත්තනම්. අපි මෙච්චර උඹ ගැන වද වෙනකොට ඔය වගේ කතා කියන්න උඹට හිතක් පපුවක් නැද්ද? අනික උඹ ඕක 'ඩ්‍රීම්' ඉන්න තැනවත්, ඩොක්ටර් අසංක ඉන්න තැනවත් කියන්න එපා. ඒ මිනිස්සු උඹව ගොඩ දා ගන්න වින්ද දුක දන්නේ අපි. මගුලක් කියවන්නේ නැතුව කතාවේ ඉතුරු ටික අහපන්."
"ඉතින් ඔයා මට බණිනවා මිසක් කතාව කියනවයැ."
"බණින්න නෙමෙයි ඕනා උඹට, හිල් වෙන්න ටොක්කක් අනින්න. මට ඒක කරන්න බැහැ මේ ඔළුව වටේ ඔතලා තියෙන බැන්ඩේජ් හින්දා. අහගනින් ඉතුරු ටික."
"කියන්න ඉතින්.."
"රශ්මිගේ කණ අතගාලා එහෙම ඉවර වෙලා 'ඩ්‍රීම්' කියපි 'යකෝ… තෝ දන්නවාද…? මම මන්දාකිණිට ආදරෙයි. මම මන්දාකිණිට ආදරේ කළේ එයාව මුලින්ම දැකපු දවසේ ඉඳලමයි. මම ඒ කෙල්ලව හොඳ කරගෙන මොන තත්ත්වයෙන් හිටියත් කසාද බඳිනවා. උඹ ආයේ මගේ ඇස් ඉස්සරහට ආවොත්, මම උඹට කරන්නෙත් උඹේ තාත්තාට කරපු දේමයි' කියලා හොස්පිට්ල් එක දෙදරන්න කෑගැහුවා."
ඒත් මලී අක්කාට කියන්න හම්බවුණේ එච්චරයි. රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ආවේ අපේ අම්මා. එතනින් එහාට ඒ කතාව නැවතුණා. මට ඒ ගැන තවත් දේවල් දැනගන්න ඕන වුණත්, මට ඊට පස්සේ ඒකට අවස්ථාවක් ආවේ නැහැ. ඒත් මගේ ඔළුව හොඳටම අවුල්වෙලා ගියා. නපුරයි මමයි හම්බවුණු මුල් දවසේ ඉඳලා මේ වෙනකන් සිද්ධ වෙච්ච හැමදෙයක්ම මගේ මතකයට එනකොට, මම ඒ මතකයන් ඇතුළේ අතරමං වුණේ මටවත් හිතාගන්න බැරි විදියට.
********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Comments
Post a Comment