සිහින මන්දාකිණී 2/3


 

 

 

 3 වන දිගහැරුම

සිහිය ආවාට පස්සේ දෙකකට කිට්ටු කාලයක් හොස්පිට්ල් එකේ ඉඳලා අපි ආවේ නපුරා කිව්ව ගෙදරට. මේ ගෙදරට එන්න අම්මාගේයි මගේයි පුංචි කැමැත්තක්වත් තිබ්බේ නැති වුණත් මලී අක්කා කිව්වේ මෙච්චර දෙයක් කරලා මාව බේරගත්ත සිහින සර්ගේයි, කාන්ති මැඩම්ගේයි හිත රිද්දන්න එපා කියලා. මලී අක්කාගේ කතාව ඇත්ත කියලා අපිට තේරුණ නිසා ටික කාලයක් මෙහෙ ඉන්නවා කියලා අම්මයි මමයි තීරණය කළා.

පුංචි තට්ටු දෙකේ ගෙයක් වෙච්ච නපුරලාගේ ගේ තිබුණේ ටවුන් එකෙන් ටිකක් ඇතුළට වෙන්න. මුළු වත්ත වටේටම තාප්පේ ගහලා ලොකු ගේට්ටුවක් දාලා තිබුණා. ආරක්ෂාවට කැමරාත් හයි කරලා තියෙනවා මලී අක්කා මට පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි සිකියුරිටි කෙනෙක් පවා හිටියා. මෙච්චර ආරක්ෂාවක් මොකටද මන්දා. ඒක මගේ හිතට ලොකු බරක් කියලා මට හිතුණා.

නපුරලාගේ ගාර්ඩන් එකනම් හුඟක් ලස්සනයි. හැම තැනක්ම කොළ පාටයි; හරිම පිළිවෙළයි. වත්ත කොනටම වෙන්න ලස්සන බෙන්ච් එකක් තියෙනවා. ඒකටනම් මට ආසා හිතුණා. නිදහසේ නිස්කලංකව ඉන්න ෂෝක් තැනක්.

මේ වගේ ලස්සන ගෙයක්, ලස්සන ගාර්ඩන් එකක් කවදාහරි දවසක හදන්න ඕනා කියලා අහිංසක හීනයක් මට පුංචි කාලේ ඉඳලම තිබුණා. මෙච්චර කාලයක් දුක් විඳපු අම්මයි තාත්තයි දෙන්නාට ඒ වගේ තැනක ජීවත් වෙන්න හදලා දෙන්න තිබුණු මගේ හීනය මේ වෙච්ච එක්සිඩන්ට් එකත් එක්ක හැබෑ කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා හිතනකොට, මට සුසුමක් හෙළුණේ ඉබේටම.

"මොකද මන්දාකිණි හූල්ලන්නේ...?"

මාව අල්ලගෙන හිටිය මලී අක්කා මගෙන් එහෙම ඇහුවම මට එයාට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ.

"මුකුත් නැහැ මලී අක්කේ."

මලී අක්කා එතැනින් එහාට මුකුත් ඇහුවේ නැත්තේ එතැන කට්ටිය හිටිය හින්දා කියලා මම දන්නවා.

"එන්න මන්දාකිණි ගෙට... පරිස්සමෙන්! මෙතැන පඩියක් තියෙනවා හැප්පෙයි බලාගෙන."

මලී අක්කා මට කිව්වේ මාව අල්ලගන්න ගමන්. මට දැන් තනියම ඇවිදින්න පුළුවන් වුණත් මාව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරනකොට ඩොක්ටර් අසංක අපේ අම්මාටයි, මලී අක්කාටයි කිව්වේ මාව හුඟාක් පරිස්සම් කරන්න කියලා. වැටෙන එක හොඳම නැහැ කියලත්, මං ළඟ ටික දවසක් යනකන් නිතරම කෙනෙක් ඉන්න ඕනා කියලත් ඩොක්ටර් කිව්වේ හුඟාක් බරපතළ කරලා.

මලී අක්කා නපුරලාගේ ගෙදර වැරැන්ඩා එකේ තිබුණු පුටුවක මාව ඉන්දවලා ආපහු කාර් එකට ගියේ ඒකේ තිබුණු මගේ බඩු ටික ගේන්න.

"ඉතින් අද ඉඳලා මේ ගෙදර අම්මලාට බාරයි. ගෙදර වැඩට ඉන්න එක්කෙනා ගමේ ගිහින් හිටියේ. මම පණිවිඩයක් දුන්නා, අද හවස් වෙනකොට එයි."

සාක්කුවෙන් ගත්ත යතුරකින් ගෙයි දොර ඇරලා නපුරා අම්මාගේයි මගේයි ඇඳුම් බෑග් ටික ගේ ඇතුළින් තිබ්බා.

"අනේ මොකටද සිහින මහත්තයෝ වැඩට අය?"

"එහෙම බැහැ අම්මේ. අම්මාට නිතරම මන්දාකිණි ගාව ඉන්න වෙනවා. එතකොට අම්මා උයන්න පිහන්න ගියාම කවුද මන්දාකිණිව බලාගන්නේ? අනික ඒ ගෑනු කෙනා තමයි මේ ගේ බලාගෙන ඉස්සර ඉඳලම මෙහෙ ඉන්නේ. ඒ නිසා අම්මලා ඒ ගැන හිතන්න එපා."

"අනේ මන්දා... මගේ හිතට මහ මොකක්දෝ වගේ. මහත්තයලාට නැති කරදර මෙව්වා..."

"මොන කරදරයක්ද අම්මේ? මන්දාකිණි මේ කරදරේ වැටුණේ අපි නිසානේ. ඉතින් අපිට ඕනා මන්දාකිණි ඉස්සර හිටපු තත්ත්වයටම ආපහු ගේන්න. නේ බන් සමෙත්..."

"ඔව් අම්මේ... ඔයාලා ඒවා ගැන හිතන්න එපා. කොහොමත් මෙහෙදී මන්දාකිණිගේ ආරක්ෂාව අපිට සීයට සීයක් ෂුවර්."

අම්මයි සමෙත් සර්ලායි කතා කරන දේවල් වලට මට කියන්න දෙයක් තිබුණේ නැහැ. මලී අක්කා ඉන්දවලා ගිය හාන්සි පුටුවට හේත්තු වෙලා, ඇස් දෙක පියාගෙන සුපුරුදු විදියටම මම මගේ කල්පනා ලෝකේ තනි වුණා.

එදා මට සිහිය ආව දවසට පස්සේ කීප සැරයක්ම නපුරා මාව බලන්න හොස්පිට්ල් එකට ආවත්, ඒ හැම වෙලාවෙම අම්මා මගේ ළඟ හිටිය නිසා මට බේරෙන්න ඕන වුණේ ඒ ඇස් වලින් විතරයි. මම අද අඩිය තිබ්බේ නපුරාගේම ගෙදරකට. එතකොට මම කොහොමද හැමදාම නපුරාව මගහරින්නේ කියන ප්‍රශ්නය ළඟ මාව ගොඩක් අසරණ වුණා.

මලී අක්කා එදා මට කිව්ව හැමදෙයක්ම බොරුවක් නෙවෙයි කියලා මට මේ ටික දවසට තේරුණා. ඒත් මට කවදාවත් ඒ වගේ දේකට අනුබල දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මගේ හිතත් ටික ටික වෙනස් වේගෙන එනවා කියලා මට හිතුණේ මගේ ඇස් දෙකත් හැමවෙලේම ඒ රූපේ මවාගන්න උත්සාහ ගන්න නිසා.

මම ඉක්මනින්ම මේ ගෙදරින් ආපහු මගේ ගෙදරට යන්න ඕනා. එච්චරයි මගේ හිත කිව්වේ. ඇත්තටම මේ ගෙදර හැම පහසුකමක්ම තියෙනවා කියලා බැලූ බැල්මට ඕන කෙනෙකුට තේරෙනවා. මොන දේ තිබුණත් හිතේ සැනසීමක් නැති තැනක ජීවත් වෙන්න මගේ හිත කැමති වුණේ නැහැ. අමිත අයියාගේ ගෙයක් වුණත් අපේ පුංචි පැලේ මට ඕනාවටත් වඩා සැනසීම තිබුණා.

"මන්දාකිණි ඔයා නිදිද...?"

මගේ ළඟින්ම ඇහුණේ සිහින සර්ගේ කටහඬ. මම හෙමීට ඇස් දෙක ඇරියේ වෙන කරන්න දෙයක් තිබුණේ නැති නිසා.

"ස..ස..ර්.."

"මම හිතුවා පුටුව උඩම නින්ද ගිහින් කියලා. ඔයාට මොකක් හරි අපහසුවක් දැනෙනවාද මන්දාකිණි?"

"නැ… නැ.. හැ.. සර්…"

නපුරා මගේ ළඟම තිබුණ පුටුවේ ඉඳගත්තේ මම ආසම ළෙන්ගතු බැල්ම මූණේ තියාගෙන.

"එහෙනම් ඇයි ඔහොම ඉන්නේ? ඔයාට මේ ගෙදර හිතට අල්ලන්නේ නැද්ද...?"

මාව ගැස්සිලා ගියේ නපුරා මගේ මූණෙන් මගේ හිත කියවපු හින්දා. ඒත් මෙච්චර දෙයක් කරපු කෙනාගේ හිත රිද්දන්න මට ඕන වුණේ නැහැ. හිතට එකඟව නොවුණත් මම නපුරාගේ හිත නොරිදෙන්න කතා කළා.

"අනේ… එහෙම නැහැ සර්… අපේ ගෙදරට වඩා මෙහෙ කොච්චර හොඳයිද? ඒත් මට පුරුදු නැති ගතියක් දැනෙනවා. මගේ ඇඟට ටිකක් මහන්සි සර්.. ඒ නිසා වෙන්න ඇති."

"පුරුදු වෙනකොට හරියයි මන්දාකිණි. මම ඉන්නවානේ ඔයාට."

නපුරා ඒ ටික කිව්වේ මගේ ඔළුව හෙමීට අතගාලා. ඒ ළෙන්ගතුකම ළඟ මගේ ඇස් තෙත් වෙයි කියලා මට බය හිතුණා.

"කෝ මලී අක්කයි, අම්මයි...?"

"එයාලා දෙන්නා ඔයාගේ කාමරේ පොඩ්ඩක් අස් කරනවා. අපි ඊයේ අස් කරලා ගියේ, ඒත් තව අඩුපාඩු මොනවාද කියලා බලන්න කියලා මම කිව්වා. ඇයි ඔයාට මොනවා හරි ඕනේද...?"

"නැ.. නැ සර්…"

"මන්දාකිණිට මුකුත් ඕන නැති වුණාට අපිටනම් හවසට බෝතල් තුන හතරක් කඩලා පාටියක් ඕනා සිහිනයෝ..!"

ගේ ඇතුළේ ඉඳලා අපේ කතාව අහන් හිටිය සමෙත් සර් නපුරට කෑගැහුවා.

"උඹලාට එච්චරයි අඩු."

"අපෝ බලු වැඩ කරන්න එපා! මම ඉමේෂයාටත් කිව්වා හවසට සෙට් වෙමු කියලා. උඹ පහුගිය කාලේ බෝතල් ගණන් නානකොට අපි උඹේ තනි රැක්කා. කොළඹ වටේම තියෙන රෙස්ටුරන්ට් කීයකින් කෝල් කරලා කිව්වාද උඹ ඉන්නේ හොඳටම බීලා ඇවිත් අරන් යන්න කියලා. අපි කාපු කටු දන්නේ අපි විතරයි. දැන් නම් උඹ සිල් රකින්න හදන්න එපා."

"උඹට ඔය වක්කඩේ ටිකක් වහගෙන ඉන්න බැරිද ඇත්තටම?"

මම නපුරා දිහා බැලුවේ හුඟක් පුදුමෙන්. ඒ මූණට ආවේ හොර හිනාවක්. හරියට වැරැද්දක් කරලා අහුවුණු පොඩි ළමයෙක් වගේ.. ඒත් මම නපුරාගෙන් මුකුත්ම ඇහුවේ නැහැ. පහුගිය ටිකේ එක දිගට ආපු ප්‍රශ්න නිසා එහෙම වෙන්න ඇති කියලා මම හිත හදාගත්තා.

"සොරි මන්දාකිණි… සමෙත්ට පිස්සු. ඔයා ඕවා හිතන්න එපා. ඒත් අද හවසට මට මුන් දෙන්නාටයි, ශාන්ටයි පාටියක් දෙන්න වෙනවා. නැත්නම් මේ හිඟන්නෝ ටික මට ඉන්න දෙන එකක් නැහැ. බය වෙන්න එපා, මම වැඩියේ බොන්නේ නැහැ. පහුගිය කාලේ මම ඇති වෙන්න බිව්වා."

"නපුරා බොන නොබොන එක මොකටද මට කියන්නේ? ඒක මට වැදගත් දෙයක් නෙමෙයිනේ" කියලා කියන්න මගේ කටට ආවත්, මගේ හිත මට ඒකට ඉඩ දුන්නේ නැහැ. නපුරා බොන්නේ නැහැ කියනකොට හිතට ලොකු සතුටක් දැනුණා කියලා මට තේරුණා. ඒත් මම ඒකට මුකුත්ම කිව්වේ නැහැ.

"හවසට පාර්ටි එකක් දෙන්නම්. ශාන්වත් සෙට් කරගනින් සමෙත්."

ගේ ඇතුළේ හිටිය සමෙත් සර්ට නපුරා කිව්වේ ගෙට එබෙන ගමන්.

"හ්ම්.. හ්ම්.."

"ඒ ගමන උඹට මොකද වෙලා තියෙන්නේ...?"

"නැහැ, මම මේ මගේ වක්කඩේ වහගෙන ඉන්නේ."

"මම උඹේ වක්කඩේ ගැන කියලා දෙනවා මෙතන මන්දාකිණි නොහිටියානම්."

"කියපන් බලන්න! උඹ පහුගිය කාලේ හිටිය විදිය ගැන චරිත සහතිකයක් ගන්න ඕනෙනම් බය නැතුව කියපන් සිහින."

"අම්මෝ… මේගොල්ලන්ගේ සද්දේ ඇහෙනවා කුස්සියට."

එහෙම කියාගෙනම මලී අක්කා අපි ඉන්න තැනට ආවේ බිස්කට්, කේක්, කෙසෙල් පුරවපු ට්‍රේ එකක් අරගෙන.

"යකොඩෝ… මලීෂා.. ඔයා කොහොමද මේ වහලා තිබ්බ ගෙදර කෑම බීම ලෑස්ති කළේ...?"

"ඇයි සමෙත් සර්… අපි ඊයේ මේ ගේ අස් කරන්න ආවානේ. එතකොට මේවා ලෑස්ති කරලා ගියේ."

"මො.. මොකක්.. දෙයියනේ… මේ තියෙන්නේ ඊයේ ඉඳලා ලෑස්ති කරපු කෑමද එතකොට? අනේ මටනම් එපා."

"අනේ නැහැ සමෙත් සර්.."

"එහෙනම්?"

"තේ හැදුවේ දැන්. අපි අනික් ඒවා ඊයේ ගෙනත් ෆ්‍රිජ් එකේ දාලා ගියේ."

"ආ.. එහෙනම් අපි කමු බොමු ප්‍රීති වෙමු!"

"සමෙත් මට එකක් කියපන්."

"මොකක්ද සිහින...?"

"කවදාද උඹ අත්තන ඇට කෑවේ?"

"ඇයි බන් මතක නැද්ද? උඹත් එක්කමනේ කෑවේ."

"ඇත්තමයි මට කුණුහරුප මතක් වෙනවා උඹත් එක්ක."

"ඔට්ටුයි! මතක් වුණාට උඹට කියන්න බැහැ."

"කියන්න බැහැ තමයි, මෙතැන අනික් මිනිස්සු ඉන්න නිසා."

"යමු යමු සිහින සර් තේ ටිකක් බොන්න. සමෙත් සර්ගේ විකාර අහගෙන ඉන්න ගියොත් තේ ටික ඇල් වෙයි."

"ඈ මලීෂා… ඔයා ඔය ට්‍රේ එක අරගෙන මෙතැනට ආවේ අපිට කන්න දෙන්න නෙමෙයිද...?"

"නැහැ සර්.. මම මේක මේසේට තියන්න යන ගමන්. සර්ලාට තේ බොන්න යමු කියන්න ආවේ. යමු තේ මේසේ ලෑස්තියි."

"බලන් යනකොට මලීෂා මට එහානේ."

"සමෙත්… වහපන් බන් කට, විකාර කියවන්නේ නැතුව. මලීෂා ඔයත් මේ ගෙදර නතරවෙනවා නේද..?"

"ඔව් සර්… එහෙම තමයි හිතාගෙන ඉන්නේ."

"ඒක හොඳයි."

"අනේ සිහින සර්.. මන්දාකිණිට තනියම පඩි නගින්න බැහැ. එයාව අල්ලගෙන එනවාද තේ මේසේ ළඟට?"

මලී අක්කා කිව්ව දේට මාව ගැස්සිලා ගියා. නපුරාගේ මූණටනම් ආවේ ලස්සන හිනාවක්. සමෙත් සර් ඔච්චමට හිනා වෙලා අහක බලාගත්තා.

"හරි මලී. මම එක්කන් එන්නම්."

මගෙන් මුකුත්ම අහන්නේ නැතුව නපුරා මගේ අතින් අල්ලගෙන මාව නැගිට්ටෙව්වා. මගේ ඉණ වටේට එයාගේ අත යවලා අනෙක් අතින් මගේ අත අල්ලගෙන නපුරා මාව එයාගේ ඇඟට ළං කරගත්තා. වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මම නපුරා දිහා බලාගෙන උන්නේ හුඟක් බය වෙලා.

"එන්න මන්දාකිණි…. පරිස්සමෙන් නගින්න."

මට පුළුවන් වුණේ රොබෝ කෙනෙක් වගේ ඒ වචනයට අවනත වෙන්න විතරයි.

******* 

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි." 

Next Episode

    

 

 


Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1