සිහින මන්දාකිණී 2/4
"අම්මේ, කාන්ති මැඩම් තාම ලංකාවට ආවෙ නැද්ද?"
"නෑ මැණික්... තාම මැඩම්ගෙ තාත්තට සනීප නැතුව ඇති."
මම හිටියේ 'නපුරා'ලගේ ගෙදර සාලේ සෝෆා එකේ වාඩි වෙලා. කෑම මේසෙ ළඟ පත්තරේ දිග ඇරගෙන බල බලා හිටපු අම්මා, පත්තරේ පැත්තකින් තියලා මගේ පැත්තට හැරුණා.
"ඒක තමයි. නැත්නම් අනිවාර්යයෙන්ම මාව බලන්න එනවනේ."
"අනේ ඔව් දුව. ඔයාට ඔය දේ වෙච්ච වෙලාවේ කාන්ති මැඩම් නොහිටියනම් මට පිස්සු හැදෙනවා. අඩුම ගානේ මට ඒ ගැන දුවලගේ අප්පච්චිටවත් කියන්න දුන්නේ නෑ. හරියට මාව බලාගත්තේ දරුවෙක් බලා ගන්නවා වගේ. ඔය ගමන වුණත් ගියේ නොගිහින්ම බැරිකමට. දුවට සිහිය ආවා කියලා මම කෝල් කරලා කියද්දී ඇඩුවත් එක්ක."
"අනේ ඇත්තමයි අම්මේ... කාන්ති මැඩම් හුඟාක් හොඳයි."
"එයා ඒ කාලේ ඉඳලම එහෙම තමයි මැණික්. ඒ ගැන කියන්න වචන නෑ."
"කාන්ති මැඩම් දන්නවද අම්මේ අපේ අප්පච්චි ඉන්නෙ හිරේ කියලා?"
"හ්ම්..."
"ඒ කොහොමද?"
"ඒ... ඒ කාලේ ඉඳලම කාන්ති මගේ යාළුවෙක්නේ. ළඟදී කාන්තිත් ගියා මාත් එක්ක අපේ මහත්තයව බලන්න."
"අනේ... අම්මා මාව තමයි එක්කන් යන්නේ නැත්තේ තාත්තව බලන්න. ඒක නෙමේ අම්මා, අප්පච්චිට කිව්වද මට වෙච්ච දේ?"
"නෑ මැණික්. කාන්ති මට කියන්න දුන්නේ නෑ, අප්පච්චිට තවත් දුක් දෙන්න එපා කියලා."
"ඒක ඇත්ත අම්මේ. නොකිව්ව එක හොඳයි. කාන්ති මැඩම්ට මෙච්චර සල්ලි තිබිලත් ඇයි මේ තරම් නිහතමානී කියලා හිතෙනවා වෙලාවකට."
"ඔව් මැණික්. කොහොමත් ලංකාවට ආව ගමන් එයි දුවව බලන්න. මට ඊයෙත් කතා කළා."
"මොනවද කිව්වේ?"
"ලංකාවට එනකොට මොනවද ගේන්න ඕනා කියලා ඇහුවා."
"එහෙනම් ළඟදී ලංකාවට එනවා ඇති."
"හ්ම්..."
"එහෙනම් අම්මටයි දුවටයි මාව අමතක වෙලා නෑ නේද?"
අපි දෙන්නම ගෙදර දොරට පිටුපාලා හිටපු නිසා, එකපාරටම ඇසුණු ඒ කටහඬින් ගැස්සිලා ගියා. අපි දෙන්නම පුටුවෙන් නැගිට්ටේ එකටම වගේ. එතකොට කාන්ති මැඩම් ගේ ඇතුළට ඇවිල්ලත් ඉවරයි.
"මැඩම් ඔයා... කවදද ලංකාවට ආවේ? ඊයෙත් මට කතා කළානේ එහේ ඉඳලා."
"මේ එයාර්පෝර්ට් (Airport) එකේ ඉඳලා යන ගමන්."
"අනේ ඇත්තමද මැඩම්?"
"විශාකා... මම හැමදාම ඔයාට කියනවා, මම මැඩම් නෙමෙයි, මම කාන්ති."
"ඒ වුණාට දැන් අපේ මැණික්ගේ මැඩම්නේ."
"දුවටත් මම කාන්ති නැන්දා මිසක්, මැඩම් නෙමේ."
"අනේ... එහෙම බෑනේ මැඩම්."
"එහෙම පුළුවන් මන්දාකිණි දුව..."
"ඇයි අම්මි, මොකක්ද ප්‍රශ්නේ?"
අතින් කටින් බෑග් ගොඩක් උස්සගෙන 'නපුරා' ගෙට ආවේ කාන්ති මැඩම් ඇවිත් ටික වෙලාවකට පස්සේ. එතකොටයි මම දැනගත්තේ නපුරත් ඇවිත් කියලා. ගෙනාපු බෑග් ටික ටේබල් එක උඩින් තියලා, සුපුරුදු විදිහටම නපුරා මගේ ඇස් දිහා කෙළින් බැලුවා. මම ඒ ඇස් මඟ ඇරලා කාන්ති මැඩම් දිහාට හැරුණේ කාන්ති මැඩම්ටවත් අපේ අම්මටවත් නොපෙනෙන්න.
"නෑ පුතා... මේ බලන්නකෝ. මෙයාලා අපිට සලකන්නේ පිට මිනිස්සුන්ට වගේ. දැන් විශාකා ආන්ටිගේත් ඉස්සර තිබුණු බැඳීම නෑ."
"අනේ එහෙම දෙයක් නෑ සිහින මහත්තයා. ඇයි මේ ඔයාලා හිටගෙන? එන්නකෝ වාඩි වෙන්න. මේ පිට තැන් නෙමේනේ. මේ ඔයාලගෙම තැනනේ."
"නෑ... නෑ... පුතා. එපා වාඩි වෙන්න. මෙයාලා අපිට සලකන්නේ පිට මිනිස්සුන්ට වගේ. ඔය 'මැඩම්' කියන එක අත ඇරලා විශාකා මට 'කාන්ති' කියනකම්වත්, මන්දාකිණි මට 'නැන්දා' කියනකම්වත් අපි වාඩි වෙන්නේ නෑ."
"ඔව් ඔව්... අම්මි. ඒක ඇත්ත තමයි. මමත් අම්මිට කියන්නමයි හිටියේ. විශාකා ආන්ටි මටත් 'මහත්තයා' කියනවා."
හරියට කේලම් කියන පොඩි එකෙක් වගේ නපුරා කාන්ති මැඩම් ළඟට නඩුව අරන් ගියා. අම්මා මගේ මූණ දිහා බැලුවේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව කියලා මට තේරුණා. ඒත් මටත් ඒකට මොකක්ද කියන්නේ කියලා හිතාගන්න පුළුවන් වුණේ නෑ.
"හරි හරි... එහෙනම් සිහින පුතයි, කාන්ති ඔයයි දෙන්නම වාඩිවෙන්නකෝ."
"අන්න එහෙම වරෙන් විශාකා. අපේ අතීතේ අමතක කරන්න එපා. සෑහෙන කාලයක් උඹව මට හොයාගන්න බැරි වෙන්න හැංගිලා හිටියා. ඒ මදිවට දැන් මට පිට කෙනෙක්ට වගේ සලකනවා. එතකොට මගේ හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්."
කාන්ති මැඩම් ඇවිත් මගේ අත් දෙකෙන්ම අල්ලගත්තේ අම්මට එහෙම කියන ගමන්. ඒ කතාවේ ලොකු අර්ථයක් ඇති කියලා තේරුණා වුණත්, ඒ ගැන අහන්න තරම් ශක්තියක් මට තිබුණේ නෑ. ඒ කතාව අහගෙන හිටපු නපුරගේ මූණෙත් පේන්න තිබුණේ පුදුමයට පත්වුණු ගතියක්.
"දැන් ඒ හැමදේම අමතක කරන්නකෝ. දැන් මට කියන්න බලන්න මගේ කෙල්ලට කොහොමද කියලා."
මගේ අත් දෙකෙන්ම අල්ලගෙන සෝෆා එකේ වාඩි කරගන්න ගමන් කාන්ති මැඩමුත් වාඩි වුණා. නපුරා අපිට ඉස්සරහින් තිබුණු පුටුවේ වාඩි වුණේ අපි දිහා බලාගෙනමයි.
"දැන් නම් හොඳයි මැඩම්..."
"ඔය ඉතින්... ආපහු මැඩම්ලු. කමක් නෑ... හැබැයි ඔයා ඉක්මනට මට 'නැන්දා' කියන්න පුරුදු වෙන්න ඕනේ."
"අම්මෝ එහෙම කොහොමද? එතකොට මට චැනල් එකේදීත් එහෙම කියවෙයි."
"කමක් නෑ, එහෙම කියන්න. අනික කොහොමත් මම ඔයාව ආපහු චැනල් එකට ගන්නේ නෑ මන්දාකිණි. ඔයාට එතන අනතුරුදායකයි."
"අ... අනේ..."
"නෑ මන්දාකිණි. ඔයාගේ අම්මයි මමයි ඒක කතා කරගෙන ඉවරයි. ඔයාව නැති කරගන්න අපි දෙන්නටම බෑ."
"අනේ මැඩම්... මම ඒ රස්සාව කරන්නේ හුඟක් ආසාවෙන්."
"ඔව් මම දන්නවා දරුවෝ. ඔයා හුඟක් දක්ෂයි කියලත් දන්නවා. ඒත් ඒ හැමදේටම වඩා අපිට ඔයාව වටිනවා."
මම නපුරා දිහා බැලුවේ එහෙම කරන්නේ නෑ නේද කියලා අහන්න. ඒත් නපුරත් ඔළුව හොලවලා ඒක අනුමත කළා. 'හැටි විතරක්, බෙල්ල හොලවනවා ඔටුවෙක් වගේ.' මගේ හිතට දැනුණේ ලොකු දුකක්. මම ඒ වේදනාව සුසුමකින් දිය කරලා ඇරියේ හිතේ බර අඩු කරගන්න. ඒත් ඒක නපුරා හොඳට දැක්කා.
"අපි බලමුකෝ අම්මි. ඇත්තටම මන්දාකිණිගේ දක්ෂතාවය අපරාදෙනේ. මොන දේ කරන්නත් එයා සම්පූර්ණ සනීප වෙලා ඉන්න ඕනනේ. අපි ඒක ඊට පස්සේ කතා කරමු. නේද විශාකා ආන්ටි?"
"ඔව් සිහින පුතා. මමත් මැණික්ට කියන්නේ ඕකම තමා."
නපුරා එහෙම කිව්වේ මගේ හිත හදන්න කියලා මට තේරුණා. මෙයාලට බය ඇති ඒක කල්පනා කරලා මම ලෙඩ වෙයි කියලා. මෙයාලා හිතාගෙන ඇති මම බබෙක් කියලා මාව මෝඩයට අන්දවන්න හදන්නේ. මම බුම්මගෙන අහක බලාගත්තේ හිතට ආපු කේන්තියෙන්මයි.
"දුවට ඕනම දෙයක් තියෙනවනම් මට කියන්න. මම ඔයාගේ අම්මා වගේම තමයි. තේරුණාද?"
"හා මැඩම්..."
කාන්ති මැඩම් මාව එයාගේ ළඟට හේත්තු කරගෙන මගේ ඔළුව අතගෑවේ හුඟක් ආදරෙන්.
"ඇයි පුතා මේ හුරතල් කෙලීව ඔයා මේ වැඩේට යැව්වේ?"
"ඒ දේ ගැන මමත් දැන් හුඟක් පසුතැවෙනවා අම්මි."
"හ්ම්... ඔව්. කෙල්ලව හොඳ කරගන්න බැරි වුණානම් වෙන දේවල් මට හිතනකොටත් බයයි. දුව බෙහෙත් ටික වෙලාවට බොනවා නේද? කෑම ටික කනවා නේද හොඳට?"
"අනේ ඔව් මැඩම්."
"එහෙනම් කමක් නෑ. ඕනම ප්‍රශ්නයක් මට කියන්න. කල්පනා කරලා මනස අවුල් කරගන්න එපා."
"හොඳයි මැඩම්."
"තව ටික දවසක් බලලා අපි කෙල්ලට හොඳ තැනකින් හොඳ කොල්ලෙක් හොයමු නේද විශාකා? ඒ හැමදේම මගේ අතින් කෙරෙන්න ඕන දේවල්."
කාන්ති මැඩම් ඒක කිව්වා විතරයි නපුරව ගැස්සිලා ගියා. ඒ මූණ රතු වුණේ බලාගෙන ඉද්දී. හිතට ආපු ලොකු කේන්තියක් පාලනය කරගන්න දඟලනවා කියලා මට තේරුණේ නපුරා අත මිට මොලවනවා දැක්ක නිසා.
"එයාට කෙනෙක්ව දැන් හුඟ කාලෙක ඉඳලා යෝජනා කරලා තියෙන්නේ කාන්ති. හරි හොඳ පිරිමි ළමයෙක්."
"එහෙම කියලා බෑනේ. අපි හොඳට හොයලා බලන්න ඕනනේ. කවුද පිරිමි ළමයා?"
"නම නම් අමිත. පිට ළමයෙක් නෙමෙයි, අපේම නෑදෑ වෙන ළමයෙක්."
"කවුද මම නොදන්න නෑදෑයා ඔයාලගේ?"
"ඔයා දන්නවා අනේ... අර අපේ ලොකු නැන්දගේ පුතා රන්නේ අයියා ඔයාට මතකද?"
"ඔව් මතකයි. අර ඒ කාලෙත් තට්ටේ තිබුණේ. අපි ඉස්සර ඒ අයියට හරියට විහිළු කරනවා තට්ටෙට."
"අන්න හරි. එයාගේ පුතා තමයි අමිත කියන්නේ."
"අනේ... කොච්චර දෙයක්ද? එහෙනම් බය වෙන්න දෙයක් නෑනේ."
"ඔව් මට විශ්වාසයි ඒ ළමයව. පිට මනුස්සයෝ ගැන හොයනවට වඩා දන්න කෙනෙක් බඳින එක හොඳයි. මෙයාගේ නම් ඒ හැටි මනාපයක් නෑ. ඒත් ඕවා හරියයි කසාද බැන්දට පස්සේ."
"ඒ වුණාට එහෙම කියලා බෑ විශාකා. අපි තව හොඳට හොයමු. මම ඉන්නවනේ දැන්. මට රශ්මි කරපු දේ නිසා දැන් කිසිම කෙනෙක් විශ්වාස නෑ. පිට මිනිස්සු, තමන්ගේ මිනිස්සු කියලා නෑ. දැන් කාලේ හුඟක් මිනිස්සු අවස්ථාවාදියි. ඒ නිසා හොඳට හොයන්න ඕනා."
"අනේ අම්මී... දැන් ඔය කතාව නවත්වන්න. මන්දාකිණිව කසාද බන්දන්න කලින් එයාව සීයට සීයක් සනීප කරගෙන ඉන්න. අනිත් එක ඔය ඔක්කොටම කලින් දැන් මට බඩගිනියි. කන්න මොනවා හරි ඕනා. මම එන ගමන් කෑම ගන්න හදනකොට ඔයා තමයි මාව එක්කන් ආවේ විශාකා ආන්ටිගේ කෑම රහයි කියලා."
"අම්මෝ... මෙයා හරියට කෑගහන්නේ වේල් හතකින් කාලා නෑ වගේ. හරි හරි ඉන්න ටිකක්. අනේ විශාකා මොනවා හරි හදමුද ටක් ගාලා?"
"මම උදේ කිරිබත් හැදුවා මන්දාකිණි කන්න ආස නිසා. ඒක ඇති වෙයි. ලුණු මිරිසක් විතරයි හදන්න තියෙන්නේ. ඉන්න මම ටක් ගාලා හදන්නම්. ඔයාලා කතා කර කර ඉන්නකෝ."
"ඉන්න විශාකා, මමත් එන්නම්..."
"එපා එපා... ඕකට මට මහ වෙලාවක් යන්නේ නෑ. අනික හේමලතා නංගිත් ඉන්නවනේ."
"නෑ... නෑ... අද මමයි හදන්නේ ලුණු මිරිස්..."
"ක... කාන්ති..."
"ඇයි හිනා වෙන්නේ? මට දැන් හොඳට උයන්න පිහන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයි."
"හ්ම්... හ්ම්... අපි බලමුකෝ එහෙනම්."
අම්මයි කාන්ති මැඩමුයි කුස්සියට ගියේ මාවයි නපුරවයි සාලේ තනි කරලා. මට දැනුණේ ලොකු අපහසුවක්. නැගිටලා කාමරේට යන්න හිතුණත් එහෙම කරන එක හොඳ නෑ කියලා මගේ හිත මට අනතුරු ඇඟෙව්වා. ඒත් මම මොනවා කතා කරන්නද මේ ඔටුවත් එක්ක? මාව රස්සාවෙනුත් අස් කරලා ඉවරයි දැන්මම. ඒ නිසා මම මුකුත්ම කතා නොකර හිටියා.
"මන්දාකිණි..."
නපුරගේ කටහඬ මගේ ළඟින්ම ඇහෙනකොට මාව සීතල වෙලා ගියා. අමුතු හැඟීමක් හිතට දැනෙනකොට මාව ගැස්සිලා ගියේ හිතට ආපු බයත් එක්කමයි. මම ඔළුව උස්සලා බලනකොට නපුරා හිටියේ මගේ ඉස්සරහා තිබුණු ටීෆෝ එක උඩ වාඩි වෙලා. මෙයා මට මෙච්චර ලං වෙලා ඉන්නවා අම්මලා දැක්කොත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතුණා.
"මොකද මේ බය වෙලා?"
"එ... එහෙම නෑ.." මම උත්තර දුන්නේ ඕනෑවට එපාවට.
"දැන් ඔයාට කොහොමද?"
මම නපුරට මුකුත්ම කිව්වේ නෑ. එකක් මට කතා කරගන්න වචන ආවේ නෑ. අනික මාව රස්සාවෙන් අයින් කරනවා කිව්ව නිසා මගේ හිතට දැනුණේ ලොකු කේන්තියක්. එහෙම කියලා තව මගේ හිත හදන්න බොරුත් කියනවා.
"මොකද කතා නැත්තේ?"
"මුකුත් නෑ." මම බිම බලාගෙනම කිව්වේ ඒ මූණ මඟ හරින ගමන්.
"මාත් එක්ක තරහින්ද?"
මම ඒකට කිසිම දෙයක් කියන්න ගියේ නෑ. එයා ඕන එකක් හිතා ගත්තාවේ.
"මම දන්නවා. ජොබ් එකෙන් අයින් කරනවා කිව්වට තරහා වෙලා නේද ඉන්නෙ? ඔයාව අයින් කළේනම් නෑ. ඒත් ඉස්සරහට ඔය වගේ ප්‍රෝග්‍රෑම් වලටනම් යවන්නේ නෑ. ඕනේ නම් ඔයාට ඔෆිස් (office) එකේ වැඩ කරන්න පුළුවන්. ඒකත් කරන්න පුළුවන් වෙන්නේ ඩොක්ටර්ගේ අවසරය පිට තමයි."
"මම ආස නැහැ ඔෆිස් එකේ වැඩ කරන්න. මම හුඟක් ආසාවෙන් කරපු ජොබ් එක. මට ඒක දිගටම කරන්න ඕනා."
"ඒක ඇත්ත මන්දාකිණි. මට ඔයාව තේරෙනවා. ඒත් මට ඒක කරන්න බෑ."
"හ්ම්..."
"මාත් එක්ක තරහා වුණාට කමක් නෑ. ඒක තමයි දැනට මගේ තීරණේ. ඔයාට සනීප වුණාම අනිත් දේවල් බලමු. ඔයා දන්නවනේ මගේ තීරණ වෙනස් වෙන්නේ හරිම කලාතුරකින්."
නපුරා ඒ ටික කිව්වේ හුඟක් තදින්. මගේ හිතට ලොකු දුකක් දැනුණා. 'මහම මහ උගුඩුවෙක්. පොඩි අනුකම්පාවක්වත් නෑ. මට දැනෙන දුක එයාට දැනෙන්නේ නෑනේ.' මට තවත් එතන ඉන්න හිතුණේ නෑ. මම නැගිට්ටේ කුස්සියට යන්න. ඒත් මගේ අතින් තද කරලා අල්ලලා නපුරා ආපහු මාව පුටුවේ වාඩි කෙරෙව්වා.
"ඔයාට තරහා වෙන්න දෙයක් මම කිව්වේ නෑ. අනික මම කියන කරන හැමදේම කරන්නේ, කියන්නේ හොඳට හිතලා. ඒක ඔයාට තව ටික දවසක් යද්දී තේරෙයි."
"හ්ම්."
"මට තව කතා කරන්න ඕනා. ඒ නිසා යන්න එපා. ඔහොම ඉන්න."
"කියන්න සර්..."
නපුරා අල්ලගෙන ඉන්න අත ගලවගන්න උත්සාහ කරන ගමන් මම නපුරට කිව්වා. ඒත් එන්න එන්නම ඒ ග්‍රහණය වැඩි වුණා මිසක් නපුරා මගේ අත අතහැරියේ නෑ.
"ඔයාට දැන් කොහොමද? මුකුත් අමාරුවක් එහෙම දැනෙනවද?"
"නැහැ සර්."
"ඔයා කියන්නේ බොරු කියලා මට ඔයාගේ මූණෙන්ම කියන්න පුළුවන් මන්දාකිණි. මට ඇත්ත කියන්න. ඔයාව සනීප කරන්න මහන්සි වුණු කෙනෙක් හැටියට මට ඒක දැනගන්න ඕනා. අනික ඩොක්ටර්ට වගේම ඒක දැනගන්න මටත් අයිතියක් තියෙනවා."
සිහින සර් ඒ ටික කිව්වේ ඉස්සර වගේම අර නපුරු පාට මූණට අරගෙන.
'ඔව් ඇත්තනේ. එයාට දැනගන්න අයිතියක් තියෙනවා. එයානේ හැම වියදමක්ම දැරුවේ. අනික මම මැරුණොත් එයාගේ චැනල් එකට වෙච්ච පාඩුවට දාලා තියෙන නඩුව එයාට දිනා ගන්න බැරි වෙනවනේ. ඒකනේ මේ කියවන්නේ. නැතුව මට තියෙන ආදරේකට නෙමේනේ.' මගේ මුරණ්ඩු හිත මුමුනන්න ගත්තේ කේන්තියෙන්මයි.
"මට කියනවද?"
"එක වෙලාවකට ඔළුව ටිකක් රිදෙනවා. නිදාගෙන ඉඳලා නැගිටින්න බෑ, කැරකිල්ල වගේ හැදිලා විසිවෙනවා."
"ඩොක්ටර්ට කිව්වද?"
"ඔව්."
"ඩොක්ටර් මොකද කිව්වේ?"
"මුකුත් කියන්නේ නැතුව ඔළුව වැනුවා."
"හරි මම ඩොක්ටර්ට කතා කරන්නම්. ඒත් එකපාරට නැගිටලා ඇවිදින්න එහෙම එපා. ටිකක් වෙලා ඉඳලා නැගිටිනවා මිසක්. ආන්ටිව හරි හේමව හරි කතා කරගන්න නැගිටලා එහෙට මෙහෙට යනකොට."
"හා."
මම නපුරා අහන හැමදේටම උත්තර දුන්නේ ඕනෑවට එපාවට. එයත් එක්ක හිත හොඳින් කතා කරන්න මගේ මුරණ්ඩු හිත මට ඉඩ දුන්නේ නෑ.
"මන්දාකිණි මම හිතුවට වඩා මුරණ්ඩුයි වගේ."
"නෑ. මම එහෙම නෑ."
"ඔය බුම්මගෙන ඉන්නේ මාත් එක්ක තියෙන තරහටනේ."
"අපෝ නෑ."
"කමක් නෑ. ඒත් මේ බලන්නකෝ මගේ දිහා..."
නපුරා ආපහු කතා කළේ හුඟක් ආදරණීය විදිහට. ඒත් මලී අක්කා කියනවා වගේ මගේ උඩඟු හිත ඒ වචන ගාව නැමෙන්න කැමති වුණේ නෑ. ඒ නිසයි නපුරා එහෙම කිව්වත් මම ඔළුව උස්සලා නපුරා දිහා බැලුවේ නැත්තේ.
"මෙහෙ බලනවා."
නපුරා මගේ නිකටෙන් අල්ලලා මූණ ඉස්සුවේ මගෙන් කිසිම අවසරයක් නැතුව. ආපහු ඒ ඇස් නපුරු වෙලා කියලා මට තේරුණේ එක බැල්මෙන්මයි.
"මම කියන දේ අහන්නම බැරිද?"
මට මුකුත්ම කියාගන්න බැරුව මම ගොළු වෙලා ගියා. හිත හුඟක් ගැහෙනකොට 'මෙතනින් ඉක්මනට යන්න ඕනා' කියලා විතරයි මට හිතුණේ. ඒත් ඒකට පුංචි අවස්ථාවක්වත් මට ලැබුණේ නෑ.
"කතා නොකළට කමක් නෑ. මම කියන දේ අහන් ඉන්න."
අහක බලාගෙන හිටපු මගේ නිකටෙන් ආපහු අල්ලලා එයාගේ පැත්තට මූණ හරවගන්න ගමන් නපුරා කිව්වේ හිනා වෙලා. ඒ හිනාව දැක්කම නම් මගේ කේන්තිය ටිකක් නිවුණා.
"ඔයාව රස්සාවෙන් අස් කරන්නේ නැහැ. හැබැයි ආයෙ කවදාවත් එළියේ ප්‍රෝග්‍රෑම් වලට මම ඔයාව යවන්නේ නෑ. චැනල් එක ඇතුළේ ඕන දෙයක්. මම ගොඩක් කැමතියි ඔයා ඔෆිස් එකේ වැඩ කරනවනම්. ඇත්තටම මට ඔයාව නැති කරගන්න බෑ මන්දාකිණි. මම දන්නේ නෑ ඔයාට මාව තේරෙනවද කියලා. පුළුවන්නම් මාව තේරුම් ගන්න. ප්ලීස්... මාව කේන්ති අවුස්සන වැඩ කරන්න එපා. ඔහොම මුරණ්ඩු වෙන්නත් එපා. මම මේ හැමදේම කරන්නේ ඔයාව අයිති මට විතරක් නිසා. ඒ අයිතිය මම කාටවත් දෙන්නේ නෑ. අමිතටවත්, අසංකටවත්."
මාව සීතල වෙලා ගියේ මම එහෙම වචනයක් මේ වෙලාවේ නපුරගෙන් බලාපොරොත්තු වුණේ නැති නිසා. මට කතා කරගන්න වචන නැති වුණා. නපුරගේ ඇස් තිබුණේ මගේ ඇස් ළඟමයි. ඒකෙන් එයා මොනවා හරි තේරුම්ගන්න උත්සාහ කරනවා කියලා මට හිතුණා. මම ඇස් තද කරලා පියාගත්තේ තවත් ඒ දිහා බලාගෙන ඉන්න බැරි නිසා.
"මට ඔයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මම කිව්වේ මගේ හිතේ තියෙන දේ. මට ඔයාගේ හිතේ තියෙන දේ දැන්ම දැනගන්න ඕනා නෑ. ඔයා අකමැති වුණත් මම ඔයාව කැමති කරගන්නවා. ඔයාට මාව දැනුණු දවසක ඔයාම මට ඒක කියයි. මට එතකන් බලන් ඉන්න පුළුවන්. ඒත් ඔයා හොඳට මතක තියාගන්න මන්දාකිණි අයිති සිහිනට විතරයි කියලා."
මට ඇස් දෙක අරින්න පුළුවන් කමක් තිබුණේ නෑ. මගේ අවසරයක් නැතුවම එයා මාව අයිති කරගෙන කියලා මට තේරුණා. 'මහ ආත්මාර්ථකාමියෙක්. මේ විදිහට ආදරේ කරන්න පුළුවන්ද?'
"දැන් ඔයා දන්නවනේ. ආයෙ මම මතක් කරන්න ඕනේ නෑනේ. ඒ ටික ඔළුවේ තියා ගත්තොත් මට ඇති. එහෙම නැති වුණොත් මට හුඟක් කේන්තියි."
"සිහින මහත්තයා..."
මාවයි නපුරවයි දෙන්නවම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇසුණු හේමා නැන්දගේ කටහඬින්. මෙච්චර වෙලා ඇස් දෙක වහගෙන හිටපු මම ඇස් ඇරලා හේමා නැන්දා දිහා බැලුවේ හුඟක් බයෙන්. මම විතරක් නෙමෙයි, හේමා නැන්දත් හිටියේ හුඟක් බය වෙලා. ඒත් නපුරට ඒ ගැන ගාණක්වත් තිබුණේ නෑ. මගේ නිකට අතහැරියත් මගේ අත අතාරින්න නපුරට ඕන වුණේ නෑ.
"සි... සිහින මහත්තයා... ලො... ලොකු නෝනා කෑමට එන්න කිව්වා." හේමා නැන්දා ඒ ටික කිව්වෙත් හුඟක් බයෙන්.
"හරි අපි එන්නම්. හේමා යන්න. හැබැයි..."
"මම දන්නවා මහත්තයා, මම කාටවත් මුකුත්ම කියන්නේ නෑ."
"හ්ම්... ඒක හොඳයි. හේමා දන්නවනේ දැන් මම මන්දාකිණි නෝනව මෙච්චර පරිස්සම් කරන්නේ ඇයි කියලා."
"ඔව් මහත්තයා."
"එහෙනම් වෙනදටත් වඩා හොඳට එයාව බලාගන්න."
"මම ඒක කරන්නම් මහත්තයා. මහත්තයා ඒ ගැන කරදර වෙන්න එපා."
"හ්ම්ම් අපි එන්නම්. හේමා යන්න."
"හොඳමයි."
"මන්දාකිණි... කෑම කාලා ලෑස්ති වෙන්න. අද තරිඳු එනවා හවස 2.45ට තියෙන ෆ්ලයිට් (flight) එකේ. අද තරිඳුගේ බර්ත්ඩේ (birthday) එක. ඒ නිසා කට්ටිය පොඩි පාර්ටි (party) එකක් ඕගනයිස් (organize) කළා. ඒකට ඔයාව එක්කන් යන්නත් එක්ක මම ආවේ."
"අ... අ.. ම්මා.."
"අපේ අම්මා විශාකා ආන්ටිට කියලා කැමති කර ගනියි. ඒ ගැන හිතන්න එපා."
*******
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Comments
Post a Comment