සිහින මන්දාකිණී 2/5


 

 

 

 
 
 5 වන දිගහැරීම 
 
මම හිටියේ නපුරාගේ කළු පාට ජීප් එකේ පිටුපස සීට් එකේ. අම්මා මාව මේ ගමන එව්වේ කාන්ති මැඩම්ගේ ඉල්ලීම හින්දා මිසක් කැමැත්තකින් නෙවෙයි. මලී අක්කා වුණත් මාව මේ ගමන එක්කන් යන්න අපේ අම්මගෙන් අහන්න නැතුව ඇත්තේ, අම්මා මේ තත්ත්වයෙන් කවදාවත් මාව එවන්නේ නැති බව දන්න නිසා. අනික කොහොමත් මගේ ආරක්ෂාවට හොඳ මදි කියලා මෙයාලා මාව ගෙදරින් පිට යවන්නේ නෑනේ.

වාහනයේ A/C එක නිසා මගේ ඇඟට දැනුණේ ලොකු සීතලක්. කාන්ති මැඩම්ට ඉස්සරහා සීට් එකේ හොඳටම නින්ද ගොස් තිබුණා. ඊයේ හවස ඉඳලම හරියට නින්දක් නෑ කියලා අපේ අම්මත් එක්ක කියනවා මම අහගෙන. නපුරා වුණත් මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑ. එයා ඉන්නේ හුඟක් තරහින් කියලා ඒ මූණෙන්ම තේරුණා. මම ඉස්සෙල්ලා එයාව ගණන් ගන්නේ නැතුව කතා කළාට වෙන්න ඇති මට පුප්පන්නේ. මම මගේ පාඩුවේ ජනේලෙන් එළිය බලාගත්තේ මටත් එයා එක්ක කතා කරන්න දෙයක් නැති නිසා.

එතැන් පටන් ගෙවිලා ගියේ ගොඩක් ලොකු නිහඬ බවක්. මගේ හිත හුඟාක් නොසන්සුන් වෙලා කියලා මට තේරුණා. ඇත්තටම නපුරා කිව්ව දේවල් ගැන හිතනකොට මට දැනුණේ ලොකු බයක්. එයා මාව සදහටම අයිති කරගෙන. ඒත් මගේ අදහස එයාට වැදගත් නෑ. එහෙම ආදරේ කරන්න පුළුවන්ද? අනික මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කාන්ති මැඩම් වුණත් හිතයි මම එයාගේ පුතාව රවට්ට ගත්තා කියලා. කාන්ති මැඩම් අද කිව්ව විදිහට එයාට ඕනේ මාව හොඳ කෙනෙක් හොයලා බන්දන්න මිසක් නපුරාට බන්දන්න නෙමේනේ. එයත් බය ඇති අපි අතර එහෙම සම්බන්ධයක් ඇති වෙයි කියලා. ඒකනේ මාව බන්දන්න කෙනෙක් හොයන්න හදන්නේ. ඇත්තනේ ඉතින්, මාව නපුරාට කොහොම ගැලපෙන්නද? ආදරේ කොහොම වුණත් ඒ සමාජ තත්ත්වයට කිට්ටු වෙන්න අපිට හිතන්නවත් බෑ.

අවසානයේදී මේ හැමදේකින්ම විඳවන්න වෙන්නේ මට. මේ කිසිම දෙයක් මේ 'උගුඩුවා'ට තේරෙන්නේ නෑනේ. මේක කවදාවත් කෙරෙන දෙයක් නෙමෙයි. "හැබෑ වෙන්නේ නැති හීන දකින්න එපා" කියලා මගේ බුද්ධිය මට අනතුරු ඇඟෙව්වා. ඒත් හදවත හැමවෙලේම නපුරාගේ ආදරේ ළඟ අසරණ වුණා.

මේ කිසිම දෙයක් මලී අක්කාට නම් දැනගන්න තියන්න හොඳ නෑ. එයා ඊට පස්සේ නටන්න ගනියි නපුරාට කැමති වෙන්න කියලා. කැමති වෙන්න හරි අකමැති වෙන්න හරි මගෙන් කැමැත්තක් අහන්න එපායැ? එයාට ඒක වැදගත් නෑ කිව්වනේ.

නපුරා අතුරු පාරකින් වාහනය හරවා ටිකක් දුර ඇවිත්, හතරවටේම තාප්පවලින් වටවෙලා තිබුණු ලොකු ගෙදරක ගේට්ටුව ගාව වාහනය නතර කළා. හෝන් එක ගැහුවේ එක පාරයි. පොඩි ගේට්ටුවෙන් එළියට ආපු සිකියුරිටි රිමෝට් එකක් ඔබලා ගේට්ටුව ඇරියා. කාන්ති මැඩම් ඇහැරුණේ වාහනයේ හෝන් සද්දෙට.

"අනේ මට හොඳටම නින්ද ගිහින්නේ පුතා."

"ඔව් අම්මි. මම ඇහැරෙව්වේ නෑ මහන්සි හින්දා."

"පුතා හිටිය නිසා මන්දාකිණි දුවට කම්මැලි හිතුණේ නෑ නේද දුව?"

එක වචනයක්වත් මාත් එක්ක කතා කළේ නෑ කියලා මම කොහොමද මැඩම්ට කියන්නේ? මට හිනා යන්න ආවත් මම ඒක බොහොම අමාරුවෙන් තද කරගත්තා. ඒත් කණ්ණාඩියෙන් මං දිහා බලාගෙන හිටපු නපුරා ඒක දැක්කා කියලා මට තේරුණේ පස්සේ. මට රවලා මූණ එල්ලා ගත්තේ එක තත්පරේට.

"නෑ... නෑ මැඩම්... කම්මැලි හිතුණේ නෑ."

නපුරා ගේට්ටුවෙන් ඇතුළට වාහනය දාලා, වාහනයෙන් බැහැලා ගියේ මූණේ හිනා පොදක් නැතුව.

"එයාට මක් වෙලාද ඒ...? අනේ ඇත්තමයි මන්දාකිණි, වෙලාවකට මට අපේ සිහිනව තේරුම් ගන්න බෑ."

කාන්ති මැඩම් එහෙම කිව්වේ වාහනයෙන් බහින ගමන්. ඒත් මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ. මමත් වාහනයේ දොර ඇරගෙන බහින්න හදනකොටම මලී අක්කා ගේ පැත්තේ ඉඳලා දුවගෙන ආවා.

"ඔහොම ඉන්න මන්දාකිණි... තනියම බහින්න එපා."

මලී අක්කා දුවගෙන ඇවිත් මට බහින්න උදවු කරපු නිසා, කාන්ති මැඩම් වාහනයේ තිබුණු බෑග් ටික අරගෙන එහායින් හිටපු සිකියුරිටි අතට දුන්නා.

"ඔයා කොහොමද මම ආවා කියලා දන්නේ අක්කේ?"

"මට සිහින සර් කිව්වා උඹ කාර් එකේ ඉන්නවා, එක්කන් එන්න කියලා."

"හ්ම්..."

"මොකෝ අවුල?"

"මුකුත් නෑ අක්කේ."

මලී අක්කා එතැනින් එහාට මුකුත් ඇහුවේ නැත්තේ කාන්ති මැඩමුත් අපිත් එක්කම ආපු නිසා කියලා මට තේරුණා. ඒත් එයාට මගේ වෙනස තේරුණා කියන්න මම දන්නවා.

නපුරාගේ ගෙදර ගොඩක් ලොකුයි. ඒක හදලා එච්චර කාලයක් නැතුව ඇති කියලා මට හිතුණේ හැමදෙයක්ම වගේ දැන් කාලේ විදිහට නිර්මාණය කරලා තිබුණු නිසා. ගොඩක් ලොකු ගාර්ඩන් එකක් නැති වුණාට හරිම ලස්සනට ගාර්ඩන් එක හදලා තිබුණා. ගේ ඇතුළේ තිබුණේ හරිම නිස්කලංක බවක්. ගෙදර තිබුණු බඩුමුට්ටු වුණත් හැම එකක්ම වගේ අලුත්ම ඒවා. එක පැත්තක තිබුණු ස්විමින් පූල් (swimming pool) එක දැක්කම නම් මට ආස හිතුණා. එතැන හරිම ලස්සනයි. නපුරා ගොඩක් කැමති නිහඬ නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න කියලා මට හිතුණේ අපි ඉන්න ගෙදර වගේම මේ ගෙදරත් හැම තැනකම ලස්සන කොළ පාටට ගස් වවලා තිබුණු නිසා. ඒ ගස් නිසා මුළු ගාර්ඩන් එකටම ඉර එළිය වැටුණේ හරිම අඩුවෙන්.

'ඉතින් මේ හැමදේම තියෙන සිහින සත්සර එක්ක මාව ගලපන්න පුළුවන්ද? ඒක මට ලොකු බරක්. කවදාවත් මේ දේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බොරුවට බලාපොරොත්තු තියාගෙන අන්තිමට අඬන්න වෙන්නේ මටම තමයි.'

මලී අක්කා මාව එක්කන් ආවේ නපුරාගේ ගේ ඇතුළටමයි. චැනල් එකේ අපේ අය හතර පස් දෙනෙක්ම ගේ ඇතුළේ හිටියා. එයාලා මාව පිළිගත්තේ හරිම ආදරෙන්. මාව සෝෆා එකේ ඉන්දවලා මලී අක්කා අනික් අයත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. මට වුණේ එයාලා දිහා බලාගෙන ඉන්න විතරයි.

මාව එක්කන් ආවාට පස්සේ මම නපුරාව දැක්කේම නෑ. මාව මලී අක්කාට බාර දීලා කාන්ති මැඩම් කාමරේට ගියේ "පොඩි රෙස්ට් එකක් අරන් එන්නම්" කියලා. හැමෝම වගේ තරිඳු අයියාගේ බර්ත්ඩේ (birthday) එක සමරන්න ලෑස්ති වෙනවා. හැමෝගෙම මූණුවල තිබුණේ ලොකු සතුටක්. ඒත් හිතේ සැහැල්ලුවක් නැතුව මම සතුටින් ඉන්නේ කියලා එයාලට පෙන්වන්න හුඟක් අමාරු වුණා.

********* 

"චූටි ආපු එක හොඳයි. පුදුමයි විශා ආන්ටි එන්න දුන්න එක."

"අම්මා එවන්න බෑ කියලා අදිමදි කළා. ඒත් කාන්ති මැඩම් එක්කන් යන්න අහපුවම එයාට එපා කියන්න බැරි වුණා. කාන්ති මැඩම් නොගියනම් මාව එවන්නේ නෑ ෆාති අක්කේ."

"හ්ම්... අපිට හිතුණා ඔයාව එවන්නේ නැතිවෙයි කියලා. ඊට පස්සේ සිහින සර් තමයි කිව්වේ අද උදේම කාන්ති මැඩම්ව එයාර්පෝර්ට් එකෙන් එක්කන් එන්න යනවා, ඒ ගමන්ම කාන්ති මැඩම්ට කියලා ඔයාව එක්කන් එන්නම් කියලා."

"හ්ම්..."

"මොකද නිකන් අවුලෙන් වගේ?"

"එහෙම දෙයක් නෑ අක්කේ. මට මලී අක්කා කිව්වෙවත් නෑ අද මෙහෙම දෙයක් තියෙනවා කියලා."

"මේක මේ හදිස්සියෙමයි ඕගනයිස් කළේ නංගි. තරිඳු එන එක ගැන ශුවර් එකක් තිබුණේ නෑ අපිට."

"ඔයාට තාම තරිඳු අයියාගේ නම හරියට කියවෙන්නේ නෑ නේද අක්කේ?"

ෆාති අක්කා හිනා වුණා මිසක් මුකුත් කිව්වේ නෑ. ඒත් තරිඳු අයියා එන එක ගැන එයාගේ හිතේ තිබුණු සතුට දැක්කම මට පොඩි සැකයක් ඇති වුණා.

"කෝ කාවින්ද අයියලා?"

"අද එයාලට හවස ප්‍රෝග්‍රෑම්. ඒක ඉවර වෙලා තරිඳුව ගන්න එයාර්පෝර්ට් යනවා කිව්වා. ඒක නෙමෙයි, ඔයා ආයේ කවදා ඉඳලද වැඩට එන්නේ?"

ෆාති අක්කා එහෙම අහපුවම මගේ හිතට ආපහු ලොකු දුකක් දැනුණා. ආයෙත් මට වැඩට එන්න වෙන එකක් නෑ කියලා කියන්න මගේ හිත මට ඉඩ දුන්නේ නෑ. මට නපුරාත් එක්ක තිබුණු කේන්තිය ආයෙත් අලුත් වුණා. අම්මලා මොනවා කිව්වත් නපුරාට පුළුවන් මාව ආයේ චැනල් එකට ගන්න. ඒත් එයා මගේ ජීවිතේ පාලනය කරනවා. ඒ මදිවට මට එයාගේ නීතිරීතිවලට යටත් වෙලා ඉන්නත් වෙලා කියලා මතක් වෙනකොට මට සුසුමක් හෙළුණේ ඉබේටමයි.

"ඇයි චූටි...?"

"මට ආයේ කවදා එන්න වෙයිද දන්නේ නෑ අක්කේ. මට තාම හොඳටම සනීප නෑ කියලා තමයි ඩොක්ටර්ස්ලා කියන්නේ."

"හ්ම්... ඒක ඇත්ත නංගි. මොන දේටත් කලින් ඔයා සනීප වෙලා ඉන්න. ඊට පස්සේ බැරියැ රස්සාව ගැන හිතන්න. ඔයාට වුණ දේවල්වල හැටියට ඔයා මෙහෙම ඉන්න එක ගැන අපිට පුදුමයි."

"හ්ම්..."

"අප්පටසිරි... මන්දාකිණි නංගි ඇවිත් ඉන්නේ... ඉතින් ඉතින්!"

මාව දැකලා පඩිපෙළ දිගේ අඩියට දෙකට පහළට ආවේ ෂාන් සර්. මටත් හුඟක් සතුටු හිතුණේ මගේම සහෝදරයෙක් හම්බවුණා වගේ.

"ආනේ... ෂාන් සර්..."

"අයියෝ... නංගි මේ... මම ඔයාගේ සර් නෙමෙයි. අයියා... අයියා..!"

"අනේ සොරි අයියේ..."

"ආයේ වරදින්න බෑ හොඳේ... අනේ සොරි නංගියෝ, ඔයාට සිහිය ආවාට පස්සේ මට ඔයාව බලන්න එන්න බැරි වුණා. මේ ටිකේ පොඩ්ඩක් බිසී. අදත් මේ ආවේ සිහිනගේ කරදරේ බැරිකමට. මම ගෙදරට එන්නමයි හිටියේ ඔයාව බලන්න."

"කමක් නෑ අයියේ... ඒකට මොනවා වෙනවද?"

"ඉතින්... ඉතින්... දැන් කොහොමද ඔයාට?"

"හොඳටම නම් හොඳයි කියන්න බෑ අයියේ. ඒත් හිටියට වඩා හොඳයි."

"ඇත්තටම හිටියට වඩා ගොඩක් හොඳයි නංගි. ඔයා හොස්පිට්ල් එකේ හිටපු විදිහට මම ආයේ ඔයාව මෙහෙම දකින්න බලාපොරොත්තු වුණේ නෑ. මට දැනුණේ මගේම නංගිව මට නැති වෙන්න යනවා වගේ හැඟීමක්."

"අනේ අයියේ..."

"ඇත්තමයි නංගි. ඔයාට ඕක කරපු උන්ට නම් කිසිම සමාවක් දෙන්නේ නෑ මම. ඉක්මනට සනීප වෙන්න. අපිට ආයේ ඔයාව ටීවී එකේ දකින්න ඕනා. ඒ වගේම වසරේ හොඳම නිවේදිකාව අපේ මන්දාකිණි වෙන්නත් ඕනා. නේද ෆාති?"

"අනේ ඇත්තමයි ෂාන් අයියේ. ඒ දවස ඉක්මනින් උදා වෙන්න කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ."

මම හිනා වුණා මිසක් මුකුත් කිව්වේ නෑ. මට ආයේ කවදාවත් ඒක කරන්න බැරි වෙනවා කියන එක දැනගෙන හිටියේ මම විතරයි. මට දැනුණු දුක හිනාවකින් හංගගන්න මට පුළුවන් වුණා.

"ෂාන්..." 

සමෙත් සර් පඩිපෙළ දිගේ පහළට ආවේ ෂාන් සර්ට කතා කරගෙනමයි.

"ඇයි බන්...?"

"අරූට මොකද බන් අර වෙලා තියෙන්නේ? වැඳිරි මැරිච්ච වඳුරා වගේ මූණ එල්ලාගෙන, ඇඳ බදාගෙන ඉන්නේ."

"කවුද බන් දන්නේ. මමත් කතා කළා පහළට වරෙන් කියලා. ඌ එන්නේ නෑ. ඕකගේ තරහා නිවුණම එයි. ඉස්සරත් ඔහොමනේ. මළ පැන්නම කා එක්කවත් කතා කරන්නේ නෑනේ."

'ඒ කියන්නේ මාත් එක්ක තියෙන තරහා තාම නිමිලා නෑ වගේ. ඉතින් එයා නෙමේනේ තරහා වෙන්න ඕනා, මමනේ! මටනේ රස්සාව නැති වුණේ. එයා මොකට මූණ එල්ලන් ඉන්නද?'

"මන්දාකිණි නංගි, සිහින ඔයත් එක්කවත් වලියක් දා ගත්තද?"

"අ... අනේ නෑ සමෙත් සර්."

"එහෙනම් මූට මොනවට හරි කාන්ති ආන්ටි බනින්න ඇති බන්. ඕක ටිකකින් හරියයි සමෙත්. ඒක නෙමෙයි, වරෙන්කෝ පොඩ්ඩක්."

"මම අර පැත්තට ගිහින් එන්නම් නංගි."

"හා ෂාන් අයියේ."

ෂාන් අයියා මං ළඟින් නැගිටලා ගියේ DJ එකේ කට්ටිය ආපු නිසා කියලා මම දැක්කා. ඒ කියන්නේ මේ පාර්ටි එක ඒ තරම් ලොකුවට තියෙනවද? මෙයාලා තරිඳු අයියා වෙනුවෙන් හුඟක් මහන්සි වෙනවා කියලා මෙතැනට ඇවිත් ටික වෙලාවක් යනකොටම මට තේරුණා.

නිමේෂ් අයියා "Happy Birthday Tharindu" කියලා ගහපු කේක් එකක් අරන් ඇවිත් මං හිටපු තැන තිබුණු වීදුරු ටේබල් එක උඩින් තිබ්බා. ඒකේ '35' ගහලා තියෙනවා දැක්කම තමයි මම තරිඳු අයියාගේ හරිම වයස දැනගත්තේ. කවදාවත් වයස කියන කෙනෙක් නෙමේනේ.

"මුන් එයාර්පෝර්ට් එකෙන් පිටත් වුණාලු බන්. ඉක්මනට සරසපල්ලා!" එහෙම කියාගෙන ගෙට දුවගෙන ආවේ තුෂාර අයියා. හැමෝම වගේ වැඩ කරනකොට අනික් හැමදේම අමතක කරලා මමත් මට පුළුවන් විදිහට උදව් කළා.

"මොනවද චූටි ඔය තරම් කල්පනා කරන්නේ? මම දැන් ගොඩක් වෙලා ඉඳලා බලාගෙන හිටියේ."

"එහෙම දෙයක් නෑ නිමේෂ් අයියේ."

 නිමේෂ් අයියත් එක්ක කේක් එක සරසන ගමනුත් මම කල්පනා කළේ නපුරා ගැන. ඒ ගැන නිමේෂ් අයියා නෝට් කරගෙන ඉන්නවා කියලා මට තේරුණේ නෑ.

"මම කියන්නද නංගි කල්පනා කරන්නේ මොනවද කියලා?"

"මු... මුකුත් නෑ අයියේ."

"නැත්තෙ නෑ. ඔයා කල්පනා කරන්නේ 'ඩ්‍රීම්' ගැන නේද?"

"අ... අ... යියා...!"

"මට ඔයාගේ මූණ දැක්කම කියන්න පුළුවන් නංගි. ඔයා මෙතැන ඉඳන් ඩ්‍රීම් ගැන හිතනවා. ඩ්‍රීම් උඩ ඉඳන් ඔයා ගැන හිතනවා. ඩ්‍රීම්ගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම අපි කාටවත් රහසක් නෙමෙයි. අනික ඔයාට සිහිය නැතුව ඉන්න කාලේ අපි ඒ ආදරේ හොඳටම දැක්කා."

"අ... අනේ මම එහෙම දෙයක් ගැන හිතුවේ නෑ අයියේ."

"හරි. සමහරවිට ඔයත් තාම දන්නේ නැතුව ඇති. ඔයා ඒ ගැන හිතලත් නැතුව ඇති. ඒත් ඒක තමයි ඇත්ත. හිතට අවංකව හිතලා බලන්න."

නිමේෂ් අයියා එතැනින් එහාට මුකුත්ම කිව්වේ නෑ. ඒත් එයා කිව්ව හැම වචනයක් එක්කම මම කල්පනා ලෝකේ තනි වුණා.

නපුරාගේ ආදරේ ඇත්ත වෙන්න පුළුවන්. ඒක මගේ හිතටත් හුඟක් දැනෙනවා. මටත් එයාව දකින්නේ නැතුව ඉන්න බෑ කියන්න මම දන්නවා. ඒත් ඒක හැබෑ නොවෙන හීනයක් කියලා තේරුම් ගන්න බැරි තරම් බොළඳ වෙන්න මට බැහැ. ආදරේ කියන්නෙත්, ජීවිතේ කියන්නෙත් ෆිල්ම්  එකක් නෙවෙයි. සැබෑ ජීවිතේ ඊට වඩා හුඟක් වෙනස්. මම හිතන්නේ නෑ නපුරාට තවත් සාලිය කුමාරයෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මට අශෝකමාලා වෙන්නත් බැහැ. යථාර්ථය ඊට වඩා හුඟක් වෙනස්. හමුවෙන හැමදේම අපිට හිමිකර ගන්න බෑ කියලා මම දන්නවා. මම ඒ හැමදේකටම හිත හයිය කර ගන්න ඕනා. ඉතින් මේකත් ඒ වගේ තමයි. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ පුරෝගන්න මට බැහැ.

"ආ... කුමාරයා... උඹ දැන්ද පහළට බහින්නේ? තව ටිකක් උඩුමහන්තලයට වෙලා සැතපෙන්න එපායැ."

ෂාන් අයියාගේ කටේ සද්දෙට හැමෝම වගේ බැලුවේ පඩිපෙළ දිහා. නපුරාව හම්බවුණු දවසේ ඉඳලා මේ වෙනකන්ම කවදාවත් මම නපුරාව මේ තරම් ලස්සනට දැකලා තිබුණේ නෑ. අර ඩීසන්ට් පෙනුමට වඩා මේ දඟකාර පෙනුම නපුරාට ලස්සනයි කියලා මට හිතුණා. සුදු පාට කොට කලිසමට නිල් පාට අත් නැති ටී-ෂර්ට් එකක් ඇඳලා, අකීකරු කොණ්ඩය උඩට කරලා හෙයා බෑන්ඩ් එකක් දාලා, සාක්කු දෙකට අත් දෙක දාගෙන පඩිපෙළ දිගේ පහළට බහින නපුරාව දැක්කම මට ඇස් අහකට ගන්න හිතුණේ නෑ. ඒ කකුල් දෙකට කවදාවත් වැලි කැටයක්වත් පෑගිලා නැතුව ඇති කියලා මට හිතුණා. මේ තරම් කෙල්ලෙක්ගේ හිත ඇදී යන පෞරුෂයක් මම වෙන කිසිම පිරිමියෙක්ගෙන් දැකලා තිබුණේ නෑ. ඕනෑම කෙල්ලෙක්ගේ හිත ඇදලා ගන්න නපුරාට පුළුවන් වුණා. ඉතින් එයාට මට වඩා හුඟක් හොඳ කෙනෙක් හොයා ගන්න පුළුවන් නේද කියලා මට හිතුණා. 'මම වගේ පොළොවේ පයගහලා ඉන්න කෙනෙක්ට ඔයාව ගැලපෙන්නේ නෑ නපුරෝ. ඔයා ඉස්සෙල්ලම ඒක තේරුම් ගන්න.'

"ආ බන් සිහිනියෝ. උඹ ඉස්සරටත් වඩා හැන්ඩියා වෙලානේ බන්. ඉස්සර හිටියේ කෝටු කිතයියා වගේ. මේ බලපන් මෙච්චර උදේ හවස එක්සයිස් කරන මටවත් නෑනේ බන් මේ වගේ ෆිට් ඇඟක්. උඹ කුම්භකර්ණයා වගේ කනවයි බුදියනවයි විතරයි. ඒ වුණාට බලපන්කො, මාර ෆිට් ඇඟක් තියෙන්නේ."

"අනේ පලයන් ෂාන් යන්න, මෙතැන බටර් ගාන්නේ නැතුව. අපේ හිත හොඳයි, ඒකයි. උඹලගේ වගේ නෙවෙයි."

පඩිපෙළ දිගේ පහළට ආපු නපුරා කෙළින්ම ආවේ මමයි නිමේෂ් අයියයි කේක් එක හදන තැනට.

"නිමේෂ්, කාවිංග කෝල් කළාද...?"

"ඔව් සර්... දැන් ටිකකට කලින් එහෙන් පිටත් වුණා කිව්වා."

"හ්ම්... අනික් හැමදේම ලෑස්තිද...?"

"ඔව් සර්... ඔක්කොම හරි. සර්ට තැන්ක්ස්, අපේ එකා වෙනුවෙන් මෙච්චර දෙයක් කරන එකට."

"ඒ උඹලගේ එකෙක් විතරක් නෙමෙයි නිමේෂ්, ඒ මගේ එකෙක්."

නපුරා ඉස්සරහා මම ඔළුවවත් ඉස්සුවේ නෑ. මගේ පාඩුවේ මම නිමේෂ් අයියාට උදව් කළා. ඒත් නපුරාගේ ඒ වචන ටික ඇහුණම නම් මට ලොකු සතුටක් දැනුණා. මලී අක්කා කියනවා වගේ හැමවෙලාවෙම තමන්ගේ සේවකයෝ ගැන උපරිමයෙන් හිතන ස්වාමියෙක් කියන්න වෙන උදාහරණ ඕන වුණේ නෑ. අනික චැනල් එකෙන් පිටදී හැම කෙනෙක් එක්කම හැසිරුණේ හොඳ යාළුවෙක් විදිහට. අනේ නපුරා මටත් එහෙම සැලකුවනම් මට කොච්චර සැහැල්ලුවෙන් මෙතැන ඉන්න තිබුණාද?

ඒ කොහොම වුණත් 'සිහින සත්සර සූරියබණ්ඩාර' කියන්නේ මට සිහිනයක්ම විතරයි. ලස්සන, පෞරුෂත්වය, කුලය, ධනය, අධ්‍යාපනය, තත්ත්වය, ගරුබුහුමන් වගේ හැමදේකින්ම සර්වසම්පූර්ණ සිහින සත්සරට ලං වෙන්න මම වගේ හිඟන්නියකට පුළුවන්ද? ආදරයට හැමදේම යටපත් කරන්න පුළුවන්ද? බෑ, කවදාවත් බෑ. මම නපුරාට කොච්චර කැමති වුණත් මම ඒ තීරණය ගන්නේ නෑ. ඒකෙන් හුඟක් ප්‍රශ්න ඇතිවෙයි. මට එයාට ඈතින් ඉඳන් ආදරේ කරන්න තිබුණොත් ඇති.

කඳුළු හුරතල් වැඩියි මන්දා....

  පුංචි දේටත් ඇඬෙන හින්දා....

  සිහින කවදත් මැකෙන හින්දා....

 හදේ ගැඹුරුම තැනක රන්දා....

  කඳුළු දුක රහසේම වින්දා...

ෂාන් අයියා ගිටාර් එකක් ප්ලේ කර කර සින්දුවක් කියන්න ගත්ත හින්දා මම කල්පනා ලෝකෙන් එළියට ආවා. ෂාන් අයියාගේ කටහඬ ගේ පුරා දෝංකාර දෙන්න ගත්තේ අපි කවුරුත් නොහිතපු විදිහට.

මලෙක මොළකැටි සුමුදු පෙති මත...

  ලියූ සෙනෙහස රිදුම් දෙන සඳ...

 පලාගෙන නෙතු පියන් නොදැනීම...

 කඳුළු වැටුණා... අහිංසක ලෙස...

නපුරු වී පෙම් විමන් බිඳලන..

  සිතක් කොතරම් නපුරු වූවද....

  කඳුළු හිනැහෙන විටදී නෙතු අග...

  අසරණයි යළි තනයි පෙම් ලොව...

ෂාන් අයියා සින්දුව ඉවර කරද්දී මගේ ඇස්වලට කඳුළු ආවේ මටත් නොදැනීමයි. ඒ තරමට ඒ සින්දුව මගේ හිතට කාවැදුණා. මගේ ඉස්සරහා වාඩිවෙලා හිටපු නපුරා මගේ දිහා බලාගෙන ඉන්නවා දැක්කම මට ඇති වුණේ ලොකු ලැජ්ජාවක්. හැමෝගෙම අවධානය තිබුණේ අපි දෙන්නා දිහාට. ඒ වෙනකොට චැනල් එකේ හුඟදෙනෙක් නපුරාගේ ගෙදරට එකතු වෙලා තිබුණා. ඒ කිසිම කෙනෙකුට මූණ දෙන්න බැරි හැඟීමක් මට දැනෙන්න ගත්තා. මම පුටුවෙන් නැගිට්ටේ කාගේවත් අවසරයක් නැතුව. කාටවත්ම මුකුත්ම කියන්නේ නැතුව මම එළියට ආවේ ඒ ලැජ්ජාවෙන්මයි.

නපුරාගේ වත්තේ තිබුණු ලස්සන බට පඳුරු ළඟ තිබුණු බෙන්ච් එකට මම ආවේ හිත ටිකක් නිදහස් කර ගන්න. තරිඳු අයියා වෙනුවෙන් මෙච්චර ආසාවෙන් ලෑස්ති කරපු පාර්ටි එක විනාශ කරන්න මට ඕන වුණේ නෑ. මට ඕන වුණේ හැමවෙලාවෙම ඇස් අගට එන කඳුළු නවතා ගන්න විතරයි.

මාව එක්කන් යන්නවත් කවුරුත් ආවේ නෑ. හැමෝටම හිතෙන්න ඇති මට ටිකක් නිදහසේ ඉන්න දෙන්න ඕනෙ කියලා. ඒත් මලී අක්කා කොහේට හරි වෙලා මං දිහා බලාගෙන ඇති කියලා මට හිතුණා.

ඇස් අගට ආපු කඳුළු ලේන්සුවෙන් තද කර ගන්න ගමන් මම ගේට්ටුව පැත්ත බැලුවේ වාහනයක් ගේට්ටුවෙන් ඇතුළට දාපු නිසා. "තරිඳු අයියා වෙන්න ඇති" කියලා මගේ හිත කිව්වා. තරිඳු අයියාව දකින්න මට ලොකු ආසාවක් ඇති වුණා. මම ඒකමයි ඉක්මනට බෙන්ච් එකෙන් නැගිට්ටේ.

කාවිංග අයියා කාර් එකෙන් බැස්සත් තරිඳු අයියා කාර් එකෙන් බැස්සේ නෑ. කාවිංග අයියා කාර් එකේ ඩිකිය ඇරලා රෝද පුටුවක් එළියට ගත්තා. හිත ගැහෙන්න ගත්තේ ගොඩක් බයෙන්. මොකක්දෝ අමුතු හැඟීමක් හිතේ හොල්මන් කරන්න ගත්තා. එයා රෝද පුටුව දිග ඇරලා කාර් එකේ ඉස්සරහා දොර ඇරලා කාව හරි එළියට අරන් රෝද පුටුවේ ඉන්දෙව්වා. දෙවියනේ... මේ මොකක්ද වෙන්නේ?

රෝද පුටුව තල්ලු කරගෙන කාවිංග අයියා ගේ ඇතුළට එක්කන් යන්නේ, එදා උද්ඝෝෂණය දවසේ "නංගි දුවන්න" කියලා කෑගහගෙන මගේ ඉස්සරහට දුවගෙන ආපු තරිඳු අයියාව නේද කියලා දකිනකොට මට දැනුණේ මාව පාලනයෙන් තොරව යනවා කියලා.

"ත... ත... රිඳු අයියා...!"

මම හැදුවේ කෑගහගෙනම ඒ පැත්තට දුවන්න. ඒත් කවුරුහරි මාව අල්ලා ගන්නවා මට දැනුණා. නපුරාගේ මූණේ ඡායාව යන්තම් පේනකොට මුළු පරිසරයම අඳුරු වෙලා යනවා මට දැනුණා.

******

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."   

Next Episode

   

Comments

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1