සිහින මන්දාකිණී 2/6
6 වන දිගහැරුම
"නෑ ඩොක්ටර් අසංක. ඒත් එකපාරටම වුණු දේ අපිට හිතාගන්න බෑ. දැන් සති තුනක් වෙනවා සිහිය ඇවිත්. ඒත් මේ වෙනකම්ම එහෙම දෙයක් වෙලා නෑනේ."මට යන්තම් ඇසුණේ ඩොක්ටර් ඉමේෂගේ කටහඬ බව මට හඳුනාගන්න පුළුවන් වුණා. මම ඇස් අරිනකොට හිටියේ ඇඳක් උඩ. ඒක නපුරාගේ ගෙදර කාමරයක් වෙන්න ඇති කියලා මට හිතුණා. ඇඳ ළඟම වාඩි වෙලා හිටියේ ඩොක්ටර් ඉමේෂ. මලී අක්කයි, නපුරයි ඊට එහායින් හිටගෙන ඉන්නවා මම දැක්කා.
"නෑ ඩොක්ටර්, මම ප්‍රෙෂර් බැලුවා. ඒවා නෝමල්. දැන් තමයි සිහිය ආවේ. නෑ.. නෑ.. වැටුණේ නෑ. සිහින අල්ලා ගත්ත නිසා යන්තම් බේරුණා."
මම ඇස් ඇරලා ඩොක්ටර් ඉමේෂ දිහා බලනකොට, මට නැගිටින්න එපා කියලා ඩොක්ටර් අතින් සන් කළා. ඩොක්ටර් කතා කරන විදිහෙන් ෆෝන් එකේ එහා පැත්තේ ඉන්නේ ඩොක්ටර් අසංක කියලා මට තේරුණා. ඒත් මට ඒ කිසිම දෙයක් ගාණක් වුණේ නෑ. මට ඕන වුණේ තරිඳු අයියා ගාවට දුවලා යන්න. මට එයත් එක්ක කතා කරන්න ඕන වුණා. මම ඇඳෙන් බැහැලා දුවන්න හැදුවේ ඒකයි. තරිඳු අයියාව මගේ ඇස් ඉස්සරහා මැවිලා පේන්න ගත්තා. එයාට එහෙම වුණේ මම නිසා කියලා මම හොඳටම දැනගෙන හිටියා.
ඒත් මගේ එහා පැත්තේ හිටිය මලී අක්කා මාව තද කරලා අල්ලා ගත්තේ මට යන්න දෙන්නේ නැතුව.
"ම.. මලී අක්කේ… මට යන්න දෙන්න. තරිඳු අයියා පව්."
"ඔයාට ඕනේ ආයෙත් වැටෙන්නද මන්දාකිණි? පොඩ්ඩක් කලබල නොකර ඉඳපන්."
"අනේ ප්ලීස් අක්කේ. අනේ…. මට යන්න දෙන්න. ඔයාලා මට ඇයි මෙහෙම කරන්නේ? ඔයාලා කවුරුත් මට මේ ගැන කිව්වෙත් නෑ. අනේ ප්ලීස් අක්කේ…"
ඒ වෙලාවේ මගේ හිතට දැනුණේ ලොකු අසරණකමක්. මට මම ගැනම ගොඩක් දුක හිතුණා. ඇස්වලින් එන එක කඳුළක්වත් නවතා ගන්න මට ඕන වුණේ නෑ. නපුරා මම දිහා බලාගෙන ඉන්නවා මිසක් වචනයක්වත් කතා කළේ නෑ. ඒ මූණේ ඒ වෙලාවේ තිබුණු කිසිම හැඟීමක් පැහැදිලි කර ගන්න මට බැරි වුණා.
"හරි ඩොක්ටර්, මම සිහිනට කියන්නම් හෙට උදෙන්ම එක්කන් එන්න කියලා. ඕකේ ඩොක්ටර්, ඉන්න මම ස්පීකර් දාන්නම්. මන්දාකිණි, ඩොක්ටර් අසංකට ඔයාට කතා කරන්න ඕනලු."
ඩොක්ටර් ඉමේෂ ෆෝන් එකේ ස්පීකර් දැම්මේ එහෙම කියන ගමන්.
"මන්දාකිණි…"
මම වචනයක්වත් කතා නොකළේ මට කතා කරන්න තරම් හිතේ හයියක් තිබුණේ නැති නිසා. ඒ වෙනුවට මගේ ඇස්වලින් ගලාගෙන ගියේ කඳුළු.
"මන්දාකිණි, ඔයා කතා නොකළට කමක් නෑ. ඒත් මම කියන දේ හොඳට අහගන්න. ඔයාගේ ඔළුවේ අපි කළේ සාමාන්‍ය සැත්කමක් (surgery) නෙමෙයි. ඒක ගොඩක් බැරෑරුම් (serious) එකක්. එතකොට ඔයා දැන් ඔය හැසිරෙන විදිහෙන් ඔයාගේ තත්ත්වය ආයෙත් වෙනස් වෙන්න පුළුවන්. අනික අපි මේක බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයිනේ. මේක නිතර නිතර වෙනවා නම් අපිට ඒ ගැන ගොඩක් හිතන්න වෙනවා. සමහරවිට කම්පනය නිසා වෙන්නත් පුළුවන්. ඒත් ඔයා පරිස්සම් වෙන්න ඕනා. අපිට වගේම ඔයාටත් ඔයා ගැන හැඟීමක් තියෙන්න ඕනා. නැත්නම් අපි මොන දේ කළත් ඒකෙන් වැඩක් නැතුව යනවා. අනික මම ඔයාගේ ඩොක්ටර්. ඔයා ඔහොම හැසිරුණොත් මට සිද්ධ වෙනවා ආපහු ඔයාව හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න. තේරුණාද? ඒ නිසා හොඳ ළමයා වගේ අඬන්න එපා. මම තරිඳු ගැන බලන්නම්. මම ඔයාට පොරොන්දු වෙනවා ඒක. දැන් කලබල නොවී සංසුන් වෙන්න. මම තියන්නම්, මම හිටියේ මීටින් එකක. ඔයා හෙට උදෙන්ම අනිවාර්යයෙන්ම එන්න මාව හම්බවෙන්න. නැත්නම් මම ගෙදරට එනවා. ඉමේෂ…."
"ඔව් ඩොක්ටර් කියන්න, මම අහගෙන ඉන්නේ."
"ස්පීකර් ඕෆ් (off) කරන්න."
ඩොක්ටර් ඉමේෂ ස්පීකර් එක ඕෆ් කරලා ෆෝන් එක කනේ තියා ගත්තා. ඩොක්ටර් අසංක එහා පැත්තෙන් තව මොනවා හරි කිව්වත් ඒ කිසිම දෙයක් මට ඇසුණේ නෑ.
"හරි ඩොක්ටර් මම ඒක කරන්නම්. ඕකේ ඩොක්ටර්, තෑන්ක් යූ (thank you)."
ඩොක්ටර් ඉමේෂ ෆෝන් එක තිබ්බේ මගේ පැත්තට හැරෙන ගමන්.
"මුලින්ම ඔයා අඬන එක නවත්වන්න මන්දාකිණි. ඔයාට සිහිය ඇවිත් සති 3යි. මේක එච්චර හොඳ නෑ. ඔයාට මේ තරම් දෙයක්වත් දරාගන්න බැරි තරම් ඔයා අහිංසකයි කියලා දන්නවා නම් ඔයාව මෙහෙට එක්කන් එන්න දෙන්නෙත් නෑ මම. ඔහොම මේ ලෝකේ ජීවත් වෙන්න බෑ මන්දාකිණි. ඔයාට කොහොමද දැන්? මොකක් හරි අපහසුවක් එහෙම දැනෙනවද…?"
ස්ටෙතස්කෝප් එක මගේ පපුවට තියලා මාව පරීක්ෂා කරන ගමන් ඩොක්ටර් ඉමේෂ මගෙන් ඇහුවත් මට ඒකට උත්තර දෙන්න ඕන වුණේ නෑ. මගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුණේ තරිඳු අයියා එදා මම ළඟට දුවගෙන ආපු විදිහ. මට දැනුණේ මහා අසරණ කමක්. මම නිසයි තරිඳු අයියාට එහෙම දෙයක් වුණේ කියලා මගේ හිත මට දොස් කියන්න ගත්තා. එදා මාව දාලා දුවන්න තරිඳු අයියාට ඕනෑ තරම් අවස්ථාව තිබිලත්, මම ළඟට දුවගෙන ආවේ මාව ආරක්ෂා කරන්න කියලා මතක් වෙනකොට මට මගේ කඳුළු නවතා ගන්න බැරි වුණා.
කාමරේ හිටියේ මලී අක්කයි, නපුරයි, ඩොක්ටරුයි විතරයි. ඒත් මට තරිඳු අයියාව බලන්න තිබුණේ ලොකු නොයිවසිල්ලක්.
"මන්දාකිණි ඔයා කියන දේ අහන්නෙම නෑනේ. ඔය ඇති දැන් ඇඬුවා. ඔයා ඔහොම ඇඬුවොත් අපි හැමෝටම අඬන්න වෙයි."
"කෝ.. ත.. ත.. රිඳු අයියා?"
මම ඉකිගගහා ඩොක්ටර්ගෙන් ඇහුවේ නපුරාගේ ඇස් මඟහැරලා.
"හරි මම මලීට කියන්නම් තරිඳුව එක්කන් එන්න කියලා. තරිඳු ඉන්නෙත් හුඟක් මානසිකව වැටිලා. ඒ නිසා ඔයා අඬන එක නවත්වන්න ඕනේ. මලී ගිහින් තරිඳුව එක්කන් එන්න."
මලී අක්කා මගේ ළඟින් නැගිටලා ගියේ එයාගේ ඇස් දෙකේ තිබුණු කඳුළු පිසදාගෙන.
"මන්දාකිණි, ඔයා සතුටු වෙන්න තරිඳු ඔය තත්ත්වයෙන් ඉන්න එක ගැන. එයාට දිගටම ප්‍රතිකාර කරනකොට එයාට ඇවිදින්න පුළුවන් වෙනවා. අනික තරිඳුගේ කකුල් දෙකට වෙලා තිබුණු හානියේ (damage) හැටියට අපිට එයාව හොඳ කරගන්න රට යවලා හරි පුළුවන්කම තිබුණා. ඒත් ඔයාට වෙච්ච හානියේ හැටියට ඔයාව රට යවන්නවත්, හොල්ලන්නවත් පුළුවන්කමක් අපිට තිබුණේ නෑ. ඔයාගේ මුළු ජීවිතේම තිබුණේ අනතුරේ. ඔයාව බේරාගන්න අපි දවල් රෑ නොබලා ඔට්ටු වුණා. ඒත් ඔයා දැන් මෙහෙම කලබල වෙලා මේ කරන වැඩෙන් වෙන්නේ අපේ මහන්සිය වතුරේ යන එක."
ඩොක්ටර් අසංක වගේම ඩොක්ටර් ඉමේෂත් ලොකු දේශනයක් තිබ්බත් මට ඒ එක දෙයක්වත් ඒ වෙලාවේ ඔළුවට ගියේ නෑ. මගේ ඇස්වලින් ගලාගෙන ගියේ කඳුළු විතරයි. ඒක නවතා ගන්න මම ලොකු උත්සාහයක් දැරුවත් මට බැරි වුණා.
නපුරා ඩොක්ටර් ඉමේෂ ගාවට ඇවිත් ඩොක්ටර්ගේ උරහිසට අත තියලා කිව්වේ එතැනින් යන්න කියලා. ඩොක්ටර් ඉමේෂ වචනයක්වත් කතා නොකර එතැනින් යන්න ගියේ කාමරේ දොරත් වහගෙන. වෙන වෙලාවක නම් ඒකට හුඟක් බය වෙන මගේ හිතට, ඒ වෙලාවේ ඒ ගැන ගාණක්වත් වුණේ නෑ.
"මන්දාකිණි…"
නපුරා මගේ අතින් අල්ලාගෙන ඇඳ උඩින්ම වාඩි වුණේ කිසිම අවසරයක් නැතුව.
"දැන් ඇති මන්දාකිණි… මම දැන් හුඟක් ඉවසුවා."
"ත.. ත.. රිඳු අයියා.."
"දැන් ඔයාට ඉමේෂ කිව්වා නේද? තරිඳු වීල්චෙයාර් එකේ ඉන්නේ ටික කාලෙකට විතරයි. එයා තව ටික දවසකින් නැගිටියි."
"ඒත්.. එයාට ඒක වුණේ මම නිසා.."
"ඔයා නිසා කියලා ඔයා කොහොමද කියන්නේ?"
"එදා තරිඳු අයියා මම ළඟට දුවගෙන ආපු නිසයි එහෙම වුණේ."
"හරි.. තරිඳු එහෙම කරපු නිසා තමයි ඔයා බේරුණේ. ඒ නිසා තමයි උන් ඔයාගේ ඔළුවට එක පාරක් ගහලා නැවතුණේ. නැත්නම් උන් තව දෙක තුනක් ගහනවා. එහෙම වුණා නම් ඔයාව අපිට බේරාගන්න වෙන්නේ නෑ."
"මම නිසා තරිඳු අයියාට එහෙම දෙයක් වුණාට වඩා හොඳයි ඇත්තමයි එදා මම මැරුණා නම්."
"මන්දාකිණි…!"
නපුරාගේ ඒ කෑගැහිල්ලට මගේ කඳුළු හිර වුණා කියලා මට තේරුණා. ඒ ඇස්වලින් ගින්දර වගේ පිටවෙන කේන්තියට මාව පිච්චිලා යයි කියලා මට හිතුණා.
"මම මේ ඉවසන තරම හුඟක් වැඩියි මන්දාකිණි. මම තමුසෙට කියන්නේ නෑ, තමුසෙව මෙච්චර අමාරුවෙන් බේරාගත්තේ මට තමුසෙව ඕනෑ හින්දා. තමුසෙ මැරුණා නම් එදා මේ සිහින පිස්සෙක් වෙනවා. ඇයි තමුසෙට මාව තේරෙන්නේ නැත්තේ? ඇයි තමුසෙ මගේ හිත මෙච්චර රිද්දන්නේ? තරිඳු වෙනුවෙන් මම කරන්න පුළුවන් හැමදේම කළා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් ඌ මගේ එකෙක්. අනික ඌ නැත්නම් තමුසෙ අද ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මම ඌ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. මම ඉස්සරහටත් ඒක කරනවා. මම ඌව ඇවිද්දනවා. දැන් ඌට ලංකාවෙන් බෙහෙත් කරන්න පුළුවන් නිසා තමයි මම ලංකාවට ගෙන්නුවේ. නැත්නම් මම ලංකාවට ගෙන්නන්නේ නෑ හොඳටම හොඳ වෙනකම්. හැබැයි තමුසෙ මේ කරන දෙයින් වෙන්නේ මට තමුසෙව නැති වෙන එක විතරක් නෙමෙයි, තරිඳු එදා තමුසෙව බේරාගන්න ඒ මැද්දට පැනලා උගේ ජීවිතේ පරදුවට තිබ්බ එකෙනුත් වැඩක් නැති වෙන එක."
"ම.. ම.. මම නිසා හැමෝටම වෙන්නේ කරදර.."
"ඔහොම කියන්න එපා මන්දාකිණි. අනේ…. මට ඔයාව නැති කරන්න එපා. ඔයාට ඔයාව ඕනෑ නැතුව ඇති. ඒත් මගේ හුස්ම වැටෙන්නේ ඔයා නිසා.. ඔයා ඒක හොඳට මතක තියා ගන්න. ඔයාගේ හුස්ම නැවතුණොත් එදාට මට මොනවා වෙයිද දන්නේ නෑ."
අන්තිම ටික කියනකොට නපුරාගේ කටහඬ බිඳීලා ගියා. ඒ ලස්සන ඇස් දෙක ළඟට කඳුළු එකතු වෙනවා මම දැක්කා. ඒ කඳුළු දිහා බලාගෙන තවත් මුරණ්ඩු වෙන්න මට පුළුවන් වුණේ නෑ. මගේ ඇස්වල තිබුණු කඳුළු මම පිසදා ගත්තේ හිතේ කොච්චර දුකක් තිබුණත් නපුරා දුකින් ඉන්නවට මම අකමැති නිසා.
නපුරා මගේ කම්මුල අතගෑවේ ඒ කඳුළු අතරින්ම හිනා වෙන ගමන්.
"මම කොච්චර හිත හයිය පිරිමියෙක්ද කියලා ඔයා දන්නවා මන්දාකිණි. මගේ ඇස්වලින් කඳුළක් වැටෙනවා පළමු වතාවට දැක්ක එකම කෙනා ඔයා. ඔයාට මොනවා හරි වෙයි කියලා බය හිතෙනකොට මගේ හිතේ හයිය නැති වෙනවා. පහුගිය කාලේ මම ජීවත් වුණු විදිහ දන්නවා නම් ඔයා ඔහොම හැසිරෙන්නේ නෑ."
"ස… ස.. ර්…"
"හරි… ඒවා අපි පස්සේ කතා කරමු. ආයේ අඬන්න බෑ. තේරුණා නේද..?"
"හා.. ස.. ස.. ර්"
"දැන් තරිඳු එක්ක කතා කරන්න දෙන්නම්. ඌව අවුල් කරන්න එපා. උගේ හිතේ හයිය නැති කරන්නත් එපා. ඔයාගේ යුතුකම ඔයා වෙනුවෙන් මෙච්චර දෙයක් කරපු ඌට ශක්තියක් වෙන එක."
"හා.. සර්.. මට තේරුණා."
"ඒ වගේම මේකත් මතක තියා ගන්න ඕනා හොඳේ.."
"මොකක්ද සර්…?"
"මන්දාකිණි අයිති සිහිනට විතරයි. ඒක ඉල්ලීමක් නෙමෙයි. ඒක නීතියක්."
*******
"තරිඳු අයියේ…."
"මන්දාකිණි නංගි.. දැන් කොහොමද ඔයාට?"
"දන්නේ නෑ අයියේ. ඒ තරම් අමාරුවක් නම් නෑ."
"ඒ කියන්නේ ඔයාට තාම හොඳටම හොඳ නෑ නේද?"
නිමේෂ් අයියා තරිඳු අයියාගේ රෝද පුටුව තල්ලු කරගෙන මම ළඟට ආවේ මට ඇඳෙන් බහින්න ඩොක්ටර් ඉමේෂ ඉඩ දුන්නේ නැති නිසා. තරිඳු අයියාව දැක්කම මගේ ඇස්වලට ආපහු කඳුළු ආවත් ඒ කඳුළු මම අමාරුවෙන් හිරකර ගත්තා. නපුරාගේ ඇස්වලින් බේරිලා අඬන්නවත් මට පුළුවන් වුණේ නෑ.
"මම හොඳටම බය වුණා. ඔයා බිමට වැටෙයි කියලා. මට ඔයාව අල්ලා ගන්න නැගිටින්නත් බෑ. වෙලාවට ඒ වෙලාවෙම සිහින සර් ආවේ. නැත්නම් ඔයා වැටිලා එතැන තිබ්බ මල්පෝච්චියේ ඔළුව වදිනවා. එහෙම වුණා නම් හැමදේම ඉවරයි."
"මට මතක නෑ අයියේ. මට මතක වටේම කළුවර වෙනවා විතරයි."
"හ්ම්… ඔයාට ෂොක් (shock) වුණා නේද මාව මෙහෙම දකිද්දී? මම හිතුවේ ඔයා දන්නවා ඇති කියලා."
"නෑ අයියේ මම දැනගෙන හිටියේ නෑ. මෙයාලා කවුරුත් මට කිව්වේ නෑ එහෙම දෙයක්."
"කමක් නෑ. දැන් ඒ ගැන හිතන්න එපා. දැන් මම ඉන්නවනේ. තව ටික දවසයි. මට ඇවිදින්න්නත් පුළුවන් වෙයි කියලා එහෙදී ඩොක්ටර්ස්ලා කිව්වා. ඔයා බොරුවටනේ බය වුණේ."
"ඒත් ඔයාට මේ දේ වුණේ මම හින්දනේ අයියේ. ඒක මට දරාගන්න බෑ."
"පිස්සි… එහෙම දෙයක් නෑ. ඒක අපි දෙන්නටම වෙන්න තිබ්බ දෙයක්. අපේ පෙර පව් පින් තමයි. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. ඔයා හිතන්න ඕනා එච්චර දෙයක් වෙලත් මම මෙහෙම ඉන්න එක ගැන. මට සතුටුයි ඇත්තටම ඔයා වගේ කෙනෙක්ව බේරාගන්න මගේ ජීවිතේ පරදුවට තිබ්බ එක ගැන. මම එහෙම කරපු නිසා අද ඔයයි මමයි දෙන්නාම ජීවත් වෙන එක ගැන හිතද්දී ලොකු සතුටක් දැනෙනවා. මම එදා ඔයාව දාලා දිව්වා නම් අද ඔයා නෑ. ඔයා හිතනවද මට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා? ඔයා වෙනුවෙන් දෙයක් නොකරපු එක ගැන මට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා."
"ඒත් අයියේ…"
"ඔයා දුක් වෙන්න එපා නංගි. මම හිත හයිය කොල්ලෙක්. මම සදහටම රෝද පුටුවේ හිටියත් මම සැලෙන්නේ නෑ. මට ජීවිතේ දිනන්න හුඟක් ක්‍රම තියෙනවා. අනික මම දන්නවා මගේ වටේ ඉන්න උන් මාව අතාරින්නේ නෑ කියලා."
"මට සමාවෙන්න අයියේ.."
"පිස්සු විකාර කියවන්න එපා අනේ. මම ඔයා වෙනුවෙන් කරපු දේට ඔයා මට ණයයි. ඒ නිසා ඔයාට බෑ ඔයාගේ ජීවිතේ අනතුරේ දා ගන්න. ඒ නිසා ඉක්මනට හොඳටම සනීප වෙන්න. එතකොට තමයි ඔයා මට තියෙන ණය ඉවර වෙන්නේ."
"හ්ම්.. හ්ම්… මම එහෙම කරන්නම්කෝ."
මම කිව්වේ යන්තමට හිනා වෙලා. මට එහායින් ජනේලේ ළඟ හිටගෙන හිටිය නපුරාටත් යන්තමට හිනාවක් ගියා.
"සිහින සර්ට හුඟක් පින් මම වෙනුවෙන් කරපු හැමදේටම. අන්තිම මොහොත වෙනකනුත් මාව අත් නොහැරපු එකට."
"එහෙම කියන්න එපා තරිඳු. උඹ මගේ එකෙක්. මම කොහොමත් මගේ දේවල් ලේසියෙන් අතාරින මනුස්සයෙක් නෙමෙයි. ඒ මගේ පුංචි කාලේ ඉඳලම හැටි."
නපුරා ඇවිත් ඇඳ උඩින් වාඩි වුණේ රෝද පුටුවේ හිටිය තරිඳු අයියාගේ උරහිසට උඩින් එයාගේ අත තියලා තද කරන ගමන්. ඒකෙන් එයා තරිඳු අයියාට තියෙන ලෙන්ගතුකම හොඳින්ම පෙනුණා.
"සර් නොහිටියා නම් අපේ ගෙදර අයට මාව ගොඩදාන්න වෙන්නේ නෑ. එහෙනම් මම සදහටම ආබාධිතයෙක්."
"එහෙම වෙන්නේ නෑ කොල්ලෝ. කොහොමත් මම උඹව නැගිට්ටවනවා. ඒක මගේ පොරොන්දුවක්."
"නඩුවේ තත්ත්වය මොකද සර්…?"
"ප්‍රබලම සාක්ෂි දෙක දැන් තියෙන්නේ මම ළඟ. ඒ නිසා කොහොමත් නඩුව පරදින්නේ නෑ. අපේ චැනල් එකේ මේ නිසා සීරීමක් හරි වුණු හැම කෙනෙක්ටම උන් වන්දි ගෙවයි. අනිවාර්යයෙන්ම."
"සර්… මට නම් ගෙදරට වෙලා ඉන්න කියන්න එපා.. මම හෙට ඉඳලම වැඩ පටන් ගන්නවා."
"හෙට ඉඳලා නම් එපා තරිඳු. ටික දවසක් රෙස්ට් (rest) කරන්න. අනික ඔයාගේ ආරක්ෂාව ගැන බලන්නත් ඕනා. තාම කවුරුත් දන්නේ නෑ මම ඔයාව ලංකාවට ගෙන්නුවා කියලා. මම ඒ හැමදෙයක්ම පිළිවෙළ කරලා ඔයාට කියන්නම්. එතකොට වැඩට එන්න. කොහොමත් ඒක ඔයාගේ මනසට හොඳයි. හුඟක් වෙලාවට ඔයාට නවතින්න චැනල් එකේම ලෑස්ති කරන්න තමයි මම හිතන් ඉන්නේ. ඔයාව බලාගන්න කෙනෙකුත් එක්ක. මොකද ඔයාව පිට යවන එක හොඳ නෑ."
"කමක් නෑ සර්.. තනිකඩ මට ඔය කොහේ හරි කමක් නෑ. මෙච්චර හොඳට හැමදේම කළේ සර්නේ. ඉතින් සර්ට හොඳ විදිහට අනෙක් හැමදේමත් කරන්න. කොහොමත් අපි නඩුව දිනන්න ඕනා."
"ඔව් ඒක ඇත්ත."
මට නපුරා එක්ක ඒ වෙලාවේ ආයෙත් කේන්ති ගියා. තරිඳු අයියාට වැඩට එන්න පුළුවන්, මට බෑ. මේක මාර අසාධාරණයක්නේ.
"මන්දාකිණි නංගිත් වැඩට එනවා නේද..?"
"නැ.. නෑ අයියේ.. තාම ශුවර් නෑ ඒක."
තරිඳු අයියාට එහෙම කිව්වත්, මම නපුරා දිහා බැලුවේ ඔරවලා. නපුරාට ඒකට හිනා ගියා. 'හැටි විතරක් උගුඩුවාගේ.. තව හිනා වෙන්නත් එනවා.'
අපි දිහා බලාගෙන හිටිය තරිඳු අයියා මුකුත් නොකිව්වත්, එයා ඒකෙන් හුඟක් දේවල් තේරුම් ගත්තා කියලා මට තේරුණා.
*********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Comments
Post a Comment