සිහින මන්දාකිණී 2/7
"හිටපන්කො බං දඟලන්නේ නැතුව, උඹේ කොණ්ඩෙත් උඹ වගේම අකීකරුයි."
"ආයී අක්කේ.. හෙමින් පීරන්නකෝ. රිදෙනවා."
උදෙන්ම නැගිටලා වොෂ් එකක් දා ගත්තේ 7.30 වෙනකොට වාහනය එනවා කිව්ව නිසා. මලී අක්කා ගිය පාර මගේ උපන් දිනේට අරන් දීපු කහ පාට ගවුම ඇන්දේ, ඒක මීට කලින් එක පාරක්වත් ඇඳලා තිබුණේ නැති නිසා. ඒක ඇන්දම මම ඉස්සර වගේම ලස්සනයි කියලා මගේ හිත කිව්වේ කණ්ණාඩියෙන් මාව දකිනකොට. නපුරා මම ගැන හිතනවා කියලා දැනුණු දවසේ ඉඳලා වෙනදට වඩා මම ගැන මම හිතන්න අරගෙන තිබුණේ මටත් නොදැනිමයි. එක වෙලාවකට ලොකු ලැජ්ජාවක් දැනුණත්, පුංචි කෙල්ලෙක් වගේ මමත් දවසට හත් අට වතාවක් කණ්ණාඩියෙන් මූණ බලන්න පුරුදු වෙලා හිටියා.
"මලී දුව කියන්නේ මම ඩොක්ටර් හම්බවෙන්න යන්න එන්න ඕනේ නෑ කියලද...?"
"ඕනේ නෑ නැන්දේ... මම ගිහින් එන්නම්. ඩොක්ටර් අද මන්දාකිණිව එක්කන් එන්න කිව්වේ මොකක්ද ටෙස්ට් එකක් කරන්නනේ. ඒක ලොකු දෙයක් නෙමෙයි කියලා කිව්වා."
"අනේ මන්දා.."
"නැන්දා ඉන්න. මම එක්කන් යන්නම්. අනික මන්දාකිණිත් ආස ඇතිනේ පොඩ්ඩක් එළියට යන්න. නැන්දා මාව විශ්වාස කරන්නකෝ."
මලී අක්කාට ඕන වුණේ අම්මව කොහොමහරි ගෙදර නවත්තලා යන්න. ඊයේ මට සිහිය නැතුව ගිය එක අම්මා දැනගෙන හිටියේ නෑ. මගේ කොණ්ඩේ ගොතලා ඉවර වෙලා මලී අක්කා එයාගේ කොණ්ඩේ පීරන්න ගත්තා. කොහොමත් එයාට කොහේ හරි යන්න ගියාම මේකප් එක දාන්නත් ටිකක් වෙලා යනවා. නිමේෂ් අයියා හම්බවුණාට පස්සේ එයත් වෙනදට වඩා එයාගේ රූපය ගැන වද වෙනවා කියලා මම දැනගෙන හිටියා.
"අනේ මන්දා... මම මේ කල්පනා කළේ එහෙම හොඳද කියලා."
"මන්දාකිණිට වෙනසකටත් එක්ක හොඳයි නැන්දේ... නැන්දට එන්නම ඕනෙ නම් ඉතින් කමක් නෑ. ලෑස්ති වෙන්නකෝ."
මලී අක්කා එහෙම කිව්වේ වෙන කරන්නම දෙයක් නැති වුණු නිසා.
"හරි... එහෙනම් දැන් ඔය දෙන්නා මොකේද යන්නේ?"
මෙච්චර වෙලා දොර ළඟ හිටිය අම්මා ඇවිත් මගේ ළඟින්ම ඇඳේ වාඩි වුණේ මලී අක්කාගෙන් එහෙම අහන ගමන්.
"කොහොමත් මන්දාකිණිව අරන් යන්න චැනල් එකේ වාහනය එනවා. ඒ නිසා බය වෙන්න එපා."
"හ්ම් හ්ම්... එහෙනම් දෙන්නා ගිහින් එන්න. එක අතකින් ගෙටම වෙලා හිර වෙලා ඉන්නවට වඩා ටිකක් එළියට යන එක හොඳයි."
"ඒකනේ නැන්දේ කියන්නේ..."
ඊයේ මට සිහිය නැති වුණු එක ගැන අම්මාටවත්, කාන්ති මැඩම්ටවත් කිව්වේ නැත්තේ එයාලා කලබල වෙයි කියන බයට. එහෙම වුණා නම් ආයෙ කවදාවත් මට ගෙදරින් එළියට බහින්න වෙන්නේ නෑ කියලා අපි දැනගෙන හිටියා. මලී අක්කා කණ්ණාඩිය ඉස්සරහින් නැගිට්ටේ ගේට්ටුව ගාව වාහනයක් හෝන් කරනවා ඇහිලා.
"මන්දාකිණි අන්න වාහනය ඇවිත්. අපි යමු. පරක්කු වෙනවා. ඩොක්ටර් උඹ හින්දම අද උදේ හොස්පිට්ල් එකට එනවා කිව්වා. පරක්කු වෙන එක හොඳ නෑ."
මම ඇඳෙන් බැහැලා මලී අක්කා පස්සෙන් එළියට ආවා. ඒත් හැමවෙලේම වගේ පඩියකින් බහිනකොට අම්මා හරි මලී අක්කා හරි මාව අල්ලගත්තේ මම වැටෙයි කියන බයට. මට දැන් තනියම ඇවිදින්න පුළුවන් කිව්වට මෙයාලා කවුරුත්ම ඒක ඇහුවේ නෑ.
"එහෙනම් අපි ගිහින් එන්නම් නැන්දේ.."
"හොඳයි පරිස්සමෙන්."
මලී අක්කා මාවත් අල්ලගෙන පොඩි ගේට්ටුවෙන් එළියට එක්කගෙන ආවා. මම බලාපොරොත්තු වුණේ චැනල් එකේ වාහනයක් වුණාට, එතැන තිබුණේ නපුරාගේ කාර් එක. මගේ හිතට ලොකු සතුටක් දැනුණේ නපුරව ආපහු දකින්න පුළුවන් වෙන හින්දා.
"මලී අක්කේ...?"
"ඇයි...?"
"කෝ... මේක චැනල් එකේ වාහනය නෙමෙයිනේ."
හිතට කොච්චර සතුටක් ආවත් මම ඒක නොපෙන්වා මලී අක්කාගෙන් ඇහුවා.
"උඹට පිස්සුද මන්දාකිණි? හොඳට තියෙයි ඒකේ ගියොත්."
"ඇයි...?"
"උඹට ඕනෙ මැරුම් කන්නද? තාමත් රශ්මිගේ උන් උඹේ පස්සෙන් පන්නනවා. නැගපන් පිස්සු කියවන්නේ නැතුව."
නපුරාගේ කාර් එකේ පිටුපස දොර ඇරලා මලී අක්කා මාව කාර් එකේ වාඩි කෙරෙව්වා. ඒත් මම බලාපොරොත්තු වුණු කෙනා එතැන හිටියේ නෑ. එතැන හිටියේ නපුරාගේ ගෙදර ඩ්‍රයිවර් අංකල්.
"සිහින සර්ද අංකල්ව එව්වේ?"
"ඔව් මලීෂා මිස්."
"මට සර් උදේ කෝල් කළා. ඒ වෙලාවේ කිව්වා ගොඩක් වෙලාවට අංකල්ව තමයි එවන්න වෙන්නේ කියලා."
මාව කාර් එකට නග්ගවලා මලී අක්කාත් කාර් එකට නැග්ගට පස්සේ අංකල් කාර් එක ස්ටාර්ට් කරලා ඉස්සරහට ගත්තා. නපුරාගේ කාර් එක දැක්කම හිතට දැනුණු සතුට කාර් එකට නැග්ගට පස්සේ මගේ හිතෙන් නැති වෙලා ගියා. මම මටත් නොදැනිම නපුරාට හුඟක් ළං වෙලා කියලා මට තේරුණේ ඒ වෙලාවේ. මම කොච්චර එපා කිව්වත් හිත හැමවෙලාවෙම හෙව්වේ ඒ ඇස් දෙක. මගේ පපුව ඇතුළෙන් මොකක්දෝ හිස් කමක් මට දැනෙන්න ගත්තා.
මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා දැනුණත්, නපුරාගේ ආදරේ ළඟ මම ජීවත් වුණේ හරිම ආසාවෙන්. ඒ ආත්මාර්ථකාමී ආදරේ ඇත්තටම මාව පිස්සු වට්ටලා තිබුණා. ඒත් ඒක මම කාටවත්ම කිව්වේ නෑ. නපුරා එදා කිව්වා වගේම මම එයාට ආදරේ කරන තත්ත්වයට පත් කරන්න එයාට වැඩි දවසක් ගියේ නෑ. ගැහැනු හිතක් හොයන ආදරය, රැකවරණය, ආරක්ෂාව හැම දෙයක්ම නපුරා ගාව ඕනෑවටත් වඩා තිබුණා. ඒ ආදරේ වෙන කෙනෙකුට දෙන්න මගේ හිතේ තිබුණේ ලෝභ කමක් වුණත්, මම ඒ සිතුවිල්ලට මතුවෙන්න ඉඩ දුන්නේ නෑ.
ඇත්තටම නපුරා මට හීනයක්. ඒත් ඒ හීනෙන් අවදිවෙන්න මගේ හිතට ඕන වුණේ නෑ. ආදරෙයි කියලා වචනයෙන් නොකිව්වත් අපි දෙන්නම අපි දෙන්නට හුඟක් ආදරේ කරනවා කියලා මම දන්නවා. ඒක ඇත්තටම පිවිතුරු හැඟීමක්. නපුරා මේ තරම් ලොකු පවුලක කෙනෙක් නොවුණා නම් ඇත්තටම අපේ ආදරේ ලස්සනට ගලාගෙන යන්න තිබුණා. ඒත් එයාට කිට්ටු වෙන්න මම හුඟක් බය වුණා.
අංකල් හොස්පිට්ල් එක ගාව කාර් එක නතර කරනකම්ම මම ආවේ කල්පනාවෙන්මයි. මලී අක්කා වුණත් මට කරදර කළේ නෑ. හොස්පිට්ල් එක ගාව නවත්වපු කාර් එකෙන් මලී අක්කා බැස්සේ නිමේෂ් අයියාට කෝල් එකක් ගන්න ගමන්. මමත් කාර් එකේ දොර ඇරගෙන එළියට බහින්න හැදුවත්, මට කලින් කාර් එකේ දොර ඇරපු කෙනාව දැක්කම මාව සීතල වෙලා ගියා. ඩෙනිමයි ටී-ෂර්ට් එකකුයි ඇඳලා සන්ග්ලාස් දෙකක් දාලා හිටිය නපුරාගෙන් පෙනුණේ දඟකාර ගතියක්. මෙයා හරියට කටුස්සෙක් වගේ. එක එක වෙලාවට රූපය මාරු කරනවා.
"ස... සර්...."
"හෙමීට බහින්න. පරිස්සමෙන්."
නපුරා කිව්වේ හුඟක් ලෙන්ගතුකමකින්.
"ස.. ස.. සර් මොකද මෙහේ කරන්නේ?"
"ඇයි... හිතුවද මම ඩොක්ටර් අසංකට ඔයාට තනියම හම්බවෙන්න දෙයි කියලා? විශාකා නැන්දා මොනවා හරි හිතයි කියලයි මම ඩ්‍රයිවර්ව එව්වේ."
"අ.. අනේ සර්... මේ මොනවද මේ කියන්නේ?"
"මම කියන්නේ ඇත්ත. ඔයාට කවදාවත් තනියම ඩොක්ටර් හම්බවෙන්න මම දෙන්නේ නෑ. මොකද මම දන්නවා ඩොක්ටර්ගේ හිතේ ඔයා ගැන තියෙන හැම හැඟීමක්ම. ඒත් එයාට කලින් ඔයාව හම්බවුණේ මට."
"ස.. සර් මොනවා කියනවද මන්දා.."
"මම මොනවා කිව්වත් කමක් නෑ. දැන් පරිස්සමෙන් බහින්න්න."
නපුරා මාව කාර් එකෙන් බස්සගත්තේ පොඩි ළමයෙක්ව වාහනයෙන් බස්සනවා වගේ. මගේ හිත නම් නපුරව දැක්කම සතුටින් පිරිලා ගියා කියලා මට දැනුණා. ඒත් මම ඒ කිසිම දෙයක් එයාට පෙන්නුවේ නෑ.
"යමු මන්දාකිණි ඇතුළට."
නපුරා මාව හොස්පිට්ල් එක ඇතුළට එක්කගෙන ආවේ අතින් අල්ලගෙනමයි. අපි ඇතුළට එනකොට මලී අක්කයි නිමේෂ් අයියයි දෙන්නම එතැන.
"මලී අක්කේ.. මාව දාලා ඔයා කොහේද අනේ ගියේ?"
මම මලී අක්කාගේ කනට කරලා ඇහුවේ තරහින්මයි.
"මම ආවේ නිමේෂ්ව බලන්න. මම උඹව තනියම දාලා ආවේ නෑ. මම ආවේ උඹේ අයිතිකාරයට උඹව බාර දීලා."
මලී අක්කා අතින් පුටුවක් පෙන්වන ගමන් එයත් පුටුවක වාඩි වුණා. මමත් එතැනින් වාඩි වුණේ එක දිගට හිටගෙන ඉන්නකොට ඇඟට අපහසුවක් දැනුණු නිසා.
"ඔයා මොනවද අනේ මේ කියවන්නේ? ඔයාට පිස්සුද?"
"උඹ මුකුත් නොදන්න තොත්ත බබානේ."
මායි මලී අක්කයි රහසෙන් රණ්ඩු වුණේ නපුරාට ඇහෙන්නේ නැති වෙන්න. නපුරයි නිමේෂ් අයියයි ඩොක්ටර් ඉමේෂ එක්ක කතා කර කර හිටපු නිසා කොහොමත් අපි කියන මුකුත්ම එයාලට ගාණක් වුණේ නෑ.
"ඔයා අද කණ්ණාඩිය ගාව වැඩිපුර හැඩ වෙනකොට මට නිකමට හිතුණා නිමේෂ් අයියා එනවා ඇති කියලා."
"අනේ පලයන් බං යන්න. උඹේ නපුරා තමා නිමේෂ්ව එක්කන් ආවේ."
"ඒ මොකටද?"
"මම දන්නේ නෑ. උඹම අහ ගනින්."
"අනේ මට ඕවා අහන්න ඕන කමක් නෑ. ඔයාලා මොකටද නපුරාට එන්න කිව්වේ?"
"මම කිව්වා ඇති එකක් නෑ. එයා තමයි මට කෝල් කරලා කිව්වේ නිමේෂ්ටත් එන්න කියන්න කියලා. අනික මට ඇත්තම කියපන්, උඹත් ඩ්‍රීම්ව බලාපොරොත්තුවෙන් නේද උදේ කාර් එකට නැග්ගේ? මම දැක්කා ඩ්‍රයිවර් අංකල්ව දැක්කම මූණ හතරැස් වෙන හැටි."
"අනේ නිකන් ඉන්න අක්කේ... ඔයාට පිස්සු."
"උගුරට හොරා බේත් බොන්න බෑ මන්දාකිණි. අනික අපි දැක්කනේ අලුත් ගවුමක් එහෙම ඇඳලා පැය ගානක් කණ්ණාඩියෙන් මූණ බල බල උන්නු හැටි."
"මොකද දෙන්නා කුටු කුටු ගාන්නේ?"
නපුරයි නිමේෂ් අයියයි, ඩොක්ටර් ඉමේෂයි අපි ගාවට එනකම්ම අපි දැක්කේ නෑ.
"නෑ.. මේ මන්දාකිණි..."
"අක්කේ කට වහන්නකෝ."
මම මලී අක්කාගේ කට මගේ අතින් වහගත්තේ එයා කට ඇරියොත් මට මෙතැන කාටවත්ම මූණ දෙන්න බැරි කරනවා කියලා දන්න නිසා.
"අයියෝ... මේ දෙන්නට මෙතැන ඇවිල්ලවත් රණ්ඩු නොවී ඉන්න බෑනේ සිහින සර්."
නපුරා මම දිහා බලලා හිනා වුණා මිසක් මුකුත්ම කිව්වේ නෑ. මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තේ මලී අක්කා මාව කොනිත්තනකොට. නපුරාට තේරෙන්න ඇති මලී අක්කාට මම කියන්න නොදී කට වැහුවේ නපුරයි මමයි ගැන මොනවා හරි වෙන්න ඇති කියලා.
"ඒක නෙමේ මන්දාකිණි, ඩොක්ටර් අසංක කිව්වා ඔයාගේ ඔළුවේ ආපහු ස්කෑන් එකක් කරන්න ඕනා කියලා. අපි මුලින්ම ඒක කරලා ඉමු. බය වෙන්න එපා."
"නෑ ඩොක්ටර් ඉමේෂ, මම බය නෑ."
"මන්දාකිණි නම් ඉතින් බය නෑ. අපිනේ බය වෙලා හිටියේ. මන්දාකිණිට බේත් කරන්නත් ඕනේ, බේබද්දෝ පරිස්සම් කරන්නත් ඕනේ. ඒ කාලේ අපිටද කොහේද සෙනසුරු අපලය ලබලා තිබුණේ."
"කට වහපන් ඉමේෂ. මේක හොස්පිට්ල් එකක්."
පුරුදු විදිහටම නපුරා ඩොක්ටර්ගේ ඇඟට පැන්නා. එයාට කරන්න හොඳයි, කිව්වම නරකයි. එයාගේ වැඩේ අනික් අයට බනින එක තමයි. එයාගේ වැරදි පේන්නේ නෑ. අපිට ටිකක් එහායින් තිබුණු රූම් එකකින් එළියට ආවේ ඩොක්ටර් අසංක. එයා එක්ක තව නර්ස්ලා දෙන්නෙක් අපි ඉන්න තැනට ආවා. ඩොක්ටර් අසංකගේ ඇස් තිබුණේ මගේ මූණේමයි. මාව දැක්කම ඇත්තටම ඩොක්ටර්ගේ මූණට ලස්සන හිනාවක් ආවා. ඒත් ඒකට පොඩ්ඩක්වත් නපුරා කැමති නෑ කියලා ඒ නපුරු මූණෙන් පෙනෙනකොට මට හිනා යන්නත් ආවා.
"මන්දාකිණි, කොහොමද ඔයාට...?"
"දැන්නම් හොඳින් ඉන්නවා ඩොක්ටර්."
"හ්ම්.... ඔයා ආපහු ඉස්සර හිටියා වගේම ඉන්න එකට මට ගොඩක් සතුටුයි. ඒත් ඊයේ වෙච්ච දේ නිසා මට හිතෙනවා ඔයාගේ තත්ත්වය තාම සම්පූර්ණයෙන්ම රිකවර් වෙලා නෑ කියලා."
"අනේ මන්දා... ඒ ගැන නම් මට තේරෙන්නේ නෑ ඩොක්ටර්."
මට නපුරා එක්ක කතා කරනවා වගේ ඩොක්ටර් එක්ක කතා කරන්න අමාරු වුණේ නෑ. ඒ නිසා මම ඩොක්ටර් එක්ක ගොඩක් සුහදව කතා කළා. ඒ දිහා බලාගෙන ඉන්න සිහින සර්ගේ මූණ ඊර්ෂ්‍යාවෙන් පිරෙනවා මම දැක්කා. මට ඕන වුණේ නපුරව තව ටිකක් අවුස්සන්න. ඒකමයි මම ඩොක්ටර් එක්ක හොඳට කතා කළේ. ඉස්සර හිටපු මන්දාකිණි දැන් වෙනස් වෙලා කියලා මටම හිතුණා.
"හරි අපි බලමුකෝ ටෙස්ට් එක කරලා. ඩොක්ටර් ඉමේෂ ස්කෑන් එක ලෑස්ති කරන්න. මම එන්නම්."
"ඩොක්ටර්ත් ස්කෑන් එක කරන්න එනවද?"
"ඔව් මම එනවා. මම අද උදෙන්ම ආවෙත් ඒකයි. මට දැන් වෙන වැඩක් නෑ. අපි ඉක්මන් කරමු. මම 9 වෙනකොට ජෙනරල් හොස්පිට්ල් එකේ ඉන්න ඕනා."
ඩොක්ටර් ඉමේෂට එහෙම කියලා ඩොක්ටර් ආපහු එයාගේ රූම් එකට ගියා.
"සිහින... ඩොක්ටර් ලෙඩෙක්ගේ ස්කෑන් එකක් කරනකොට ළඟ ඉන්නේ හරිම අඩුවෙන්. තමන්ගේ නෑවෙන කෙනෙක්ගේවත් එහෙම ළඟ ඉන්නවා ඩොක්ටර් එක්ක වැඩ කරපු මේ කාලෙටම මම දැකලා නෑ. සිහින... උඹට බය වෙන්න හේතු තියෙනවා."
ඩොක්ටර් ඉමේෂ එහෙම කිව්වම නපුරාගේ කළු වෙලා තිබුණු මූණ තවත් කළු වුණා. ඒත් ඒ වෙලාවේ නපුරාට කරන්න දෙයක් තිබුණේ නෑ. නපුරාට වගේම ඩොක්ටර් ඉමේෂ කිව්ව කතාවට මටත් ගොඩක් අප්සෙට් ගියා. ඩොක්ටර් ඉමේෂ මාව ස්කෑන් රූම් එක ළඟට එක්කගෙන ඇවිත් එතැන හිටපු නර්ස්ලාට මාව ස්කෑන් එකට ලෑස්ති කරන්න කියලා, සිහින සර්වත් එක්කගෙන එතැනින් එළියට ගියා.
කිව්වා වගේම මගේ ස්කෑන් එක කළේ ඩොක්ටර් අසංකමයි. එයා ඒ වෙලාවේ ඒ ගැන හුඟක් උනන්දු වුණා කියලා මට තේරුණා. ඩොක්ටර් මම ගැන ඕනෑවටත් වඩා උනන්දු වෙනකොට මගේ හිතට දැනුණේ ලොකු අපහසුවක්. ඒත් මට ඩොක්ටර්ගේ හිත රිදෙන්න වචනයක් කියන්න පුළුවන්කමක් තිබුණේ නෑ. නපුරාටවත් මලී අක්කාටවත් ඒ දොරෙන් ඇතුළට එන්න අවසරයක් තිබුණේ නෑ. දැන් එළියට වෙලා බුම්මගෙන ඇති.
******
නපුරා ඩොක්ටර්ගෙන් ඇහුවේ හුඟක් නොයිවසිල්ලෙන්.
"මිස්ටර් සිහින ගොඩක් කලබල වෙලානේ."
ඩොක්ටර් ඒ ටික කිව්වේ නොරිස්සුමෙන්ද, නැත්නම් තරහින්ද කියලා මට තේරුණේ නැහැ.
"ඔව් ඩොක්ටර්. ඇත්තටම මම කලබලයි."
ඒ වෙලාවේ ඩොක්ටර්ගේ රූම් එකේ හිටියේ මමයි, නපුරයි, මලී අක්කයි, ඩොක්ටර් ඉමේෂයි විතරයි. ඩොක්ටර් කතා කළේ රිපෝට් එක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියට පස්සේ.
"ලොකුවට බය වෙන්න දෙයක් නෑ. ඒත් තාම අවදානම පහවෙලා නෑ. මන්දාකිණිට ලොකු කම්පනයක් එක පාරට දරා ගන්න අමාරු ඒකයි."
"ඒ කිව්වේ ඩොක්ටර්?"
"මන්දාකිණි... ඔයාත් අහගන්න මේ ටික. ඒ වගේම මලීෂා ඔයාත්. මන්දාකිණිගේ සර්ජරි එක කළාට තාම ඇතුළේ තත්ත්වය හොඳටම හොඳ නෑ. ඒ නිසා ඔයා වැටෙන්න හිතන්නවත් එපා. ඔළුවට කිසිම ඩැමේජ් එකක් වෙන්න බෑ. දුකින් ඉන්න එපා. කල්පනා කරන්න එපා. අඩුම ගානේ තව මාස හයක් යනකන්වත් අපිට ඔයාට ට්‍රීට්මන්ට් කරන්න වෙනවා. තාම ඔයාගේ ජීවිතේ තියෙන්නේ අවදානමේ. ආපහු ඉන්ටර්නල් බ්ලීඩින් එකක් වුණොත් අපිට කරන්නම දෙයක් නැතුව යනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ එහෙම වුණොත් ෂුවර් කරන්න බෑ."
"ඔව් ඩොක්ටර් මට තේරුණා."
"හ්ම් ඒක හොඳයි. මිස්ටර් සිහින, මේ ගැන මන්දාකිණි එක්ක ඉන්න හැම කෙනෙක්වම දැනුවත් කරලා තියන්න."
"තෑන්ක් යූ ඩොක්ටර්. මම ඒ ගැන බලන්නම්."
"ඇයි අද මන්දාකිණිගේ අම්මා ආවේ නැත්තේ?"
"විශාකා නැන්දා දන්නේ නැහැ ඩොක්ටර් ඊයේ වුණු දේ. එයා කලබල වෙයි කියලා අපි කිව්වේ නෑ. ඒකයි නැන්දව එක්කන් ආවේ නැත්තේ."
"එහෙම බෑ මලීෂා... මේක ලොකු වගකීමක්. සෙල්ලමක් නෙමෙයි. මන්දාකිණි ගාව ඉන්න අය එයාගේ තත්ත්වය දැන ගන්න ඕනේ. ඔයාලා නැති තැනක එහෙම දෙයක් වුණොත් මොනවද කරන්න ඕනේ කියලා එයාලා දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා ඒ ගැන අම්මව දැනුවත් කරන්න."
"හොඳයි ඩොක්ටර්. මම නැන්දට කියන්නම්."
"ඒක හොඳයි. එහෙනම් මම දැන් යන්න ඕනේ. 9 වෙද්දි මම හොස්පිට්ල් ඉන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් පුළුවන් ඉක්මනට මට කෝල් කරන්න. පොඩ්ඩක්වත් වෙලාව පහු කරන්නේ නැතුව හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න. ඔයා වෙනුවෙන් මොන ලෝකේ හිටියත් මම එනවා."
"හොඳයි ඩොක්ටර්."
"මම යන්නම් මිස්ටර් සිහින."
"හරි ඩොක්ටර්. තෑන්ක් යූ."
ඩොක්ටර් ඒ ටික කියලා නැගිටලා යන්න ගියා. පුරුදු විදිහටම නපුරා මූණ එල්ලගෙන මට එරෙව්වා. මම මොනවා කරන්නද දෙයියනේ... ඩොක්ටර් කියන කරන දේවල් මම නවත්වන්නේ කොහොමද?
"මන්දාකිණි මිස්, පොඩ්ඩක් එනවද? ඔයාගේ තව බ්ලඩ් එකක් ගන්න තියෙනවා."
"හරි අපි එන්නම්."
මම මලී අක්කාත් එක්ක ඉක්මනට නැගිටලා එළියට ආවේ, එතැන හිටියොත් නපුරාගේ කේන්තිය පිටවෙන්නේ මගේ පිටින් නිසා. ඒත් ඒ රූම් එකේ කතා කරන හැමදේම එතැනින් එහා පැත්තේ ලේ ගන්න තැනට හොඳට ඇසුණා. ඒත් නපුරාලට අපි ඉන්නේ කොහේද කියලා පෙනුණේ නෑ.
"මලීෂා මිස්... මම බ්ලඩ් එක ගන්නකන් ඔයාට පුළුවන්ද මේ බේත් ටික ෆාමසියෙන් ගන්න?"
"ඕකේ (Ok).. මම අරන් එන්නම්. මන්දාකිණි ලේ ගත්ත ගමන් පුටුවෙන් නැගිටින්න එහෙම එපා."
"හරි අක්කේ."
"මිස් යන්න. බය වෙන්න එපා. මන්දාකිණි මිස්ගේ තත්ත්වය ගැන ඩොක්ටර් අසංක අපිව දැනුවත් කරලා තියෙන්නේ."
"අනේ.. එහෙනම් මෙයාව වැටෙන්න දෙන්න එපා."
"මිස්ගේ අක්කා මිස්ට හුඟක් ආදරෙයි නේද?"
"අනේ ඔව්. එයා බයයි මටත් වඩා."
"ඒක තේරෙනවා."
ලේ ගන්න නර්ස් මාත් එක්ක කතා කළේ හුඟක් සුහදව. එයාගේ හිතේ මලී අක්කා මගේ අක්කා කියලා. ඒත් ඒක නිවැරදි කරන්න මට ඕන වුණේ නෑ. මලී අක්කා මගේ අක්කා කියනකොට මට ලොකු සතුටක් ඇති වුණා.
"ඉමේෂ ඇත්තටම මන්දාකිණිව පෙන්වන්න වෙන ඩොක්ටර් කෙනෙක් ඇත්තෙම නැද්ද බං?"
එහා පැත්තේ කාමරේ නපුරයි, ඩොක්ටර් ඉමේෂයි කතා කරන දේවල් අපි ඉන්න තැනට හොඳට ඇසුණා. මට ලොකු අපහසුවක් දැනුණේ නර්ස් මම ළඟ හිටිය නිසා. මුකුත්ම අහන්නේ නැතුව මගේ ලේ ගත්තත් නර්ස් හිටියේ හැමදේම හොඳට අහගෙන.
"උඹට පිස්සුද යකෝ... මන්දාකිණිගේ තත්ත්වය දැකලා හැම ඩොක්ටර් කෙනෙක්ම කිව්වේ සර්ජරි එකක් කළොත් අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා. බය නැතුව වගකීම අරගෙන, මන්දාකිණිට මොනවා හරි වුණොත් ඩොක්ටර්ගේ නමට වෙන හානිය ගැනවත් හිතන්නේ නැතුව මේකට අත ගැහුවේ ඩොක්ටර් අසංක. මොන දේ කොහොම වුණත් උඹට ඉවසන්න වෙනවා සිහින. ඩොක්ටර් නැත්නම් අද මන්දාකිණිගේ තුන්මාසේ දානෙත් දීලා. ඔහොම ගුණමකු වෙන්න එපා."
"මම දන්නවා බං. ඒත් උගේ මනමාලකම වැඩියි."
"ඩොක්ටර්ගේ මනමාල කමක් ගැනනම් මම දන්නේ නෑ.. ඒත් මෙච්චර කාලෙකට කෙල්ලෙක් ගැන උනන්දු නොවිච්ච ඩොක්ටර් දැන් කෙල්ලෙක් ගැන උනන්දුයි කියලා මම දන්නවා. ඒ මන්දාකිණි වෙච්ච එකයි මට තියෙන දුක. මන්දාකිණිට ලව් කරන්නේ උඹ නෙමෙයි නම් මම ඩොක්ටර්ට බොක්කෙන්ම සපෝර්ට් එක දෙනවා."
"මගෙන් කුණුහරුප අහන්නේ නැතුව හිටපන්."
"උඹට තිත්ත වුණාට මම කියන්නේ ඇත්ත. ඩොක්ටර්ට මන්දාකිණිව හොඳට ගැලපෙනවා. අනික බලපන් මන්දාකිණි වුණත් ඩොක්ටර් ඉස්සරහා හැසිරෙන්නේ හරිම සැහැල්ලුවෙන්."
"ඉමේෂ... උඹ මගෙන් මැරුම් කන්න ගොඩක් ළඟයි හොඳේ.."
"උඹේ ඔය තදවිල්ල තමයි ඔක්කොටම මුල.
"මන්දාකිණි මට කැමතියි. ඒක මට විශ්වාසයි. අනික කොහොමත් එයා මගේ. ඒක ස්ථීරයි."
"සිහින මම මේ උඹට කියන්නේ උඹ මගේ හොඳම යාළුවා හින්දා. මම දන්නවා උඹට මීට කලින් කෙල්ලෙක්ට ලව් කරලා අත්දැකීම් නෑ. රශ්මිට වුණත් උඹ ලව් කළේ නෑනේ. ආන්ටි කිව්වා ඒකිව බඳින්න කියලා උඹ හා කිව්වා. හැබැයි මට ඊට වඩා හුඟක් අත්දැකීම් තියෙනවා. යකෝ උඹ ඔය කරන්නේ මන්දාකිණිගේ හිත බලෙන් ලියා ගන්න හදන එක. උඹ ඒකිගේ කැමැත්තක් අකමැත්තක් අහන්නෙත් නෑ. මම දන්නවා උඹ ඒකිට බොක්කෙන්ම ලව් කියලා. හැබැයි සිහින මට දැනෙන විදිහට මන්දාකිණි ඉන්නේ උඹට තියෙන බයට. උඹ ඉස්සර ඉඳලම ඒකිව බය කරගෙනනේ උන්නේ."
"අනේ මන්දා බං. මට බයයි ආයෙත් මට හැමදේම නැති වෙයි කියලා."
"එහෙම වෙන්නේ උඹ ඔහොම හැසිරෙන්න ගත්තොත්. පොඩ්ඩක් ඒකි කියන දෙයක් අහපන්. උඹ ඒකිගේ අයිතිය බලෙන් ලියාගත්තට හිත බලෙන් තියාගන්න බෑ. අනික ඒකිට කොහොමත් උඹට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නෑනේ. මන්දාකිණි දන්නවා උඹ නැත්නම් අද එයා නෑ කියලා. ඒ වගේම හොඳට මතක තියා ගනින් ඩොක්ටර් අසංක හිටියේ නැත්නම්, ඒත් මන්දාකිණි කෙනෙක් අද නෑ. එතකොට උඹටයි, අසංකටයි දෙන්නටම තියෙන්නේ එකම සුදුසුකම. ඒත් ඩොක්ටර් මන්දාකිණිට ළං වෙන විදිහෙන් මන්දාකිණිගේ හිත ඒ පැත්තට ඇදිලා යන්න පුළුවන්."
"පලයන් යන්න. මම ඒක වෙන්න ඉඩ තියන්නේ නෑ."
"ඔය ඉතින් උඹ කියන දේ නෙමෙයිනේ තේරුම් ගන්නේ."
එතැනින් එහාට ඒ කාමරේ කවුරුත් කතා කරන සද්දේ ඇසුණේ නෑ. ඩොක්ටර් ඉමේෂ කිව්ව හුඟක් දේවල් ඇත්ත වුණත් එක දෙයක්නම් කවදාවත් ඇත්ත වෙන්නේ නෑ කියලා මම දන්නවා. නපුරා මගේ ආදරේ බලෙන් ලියා ගන්න හදනවා කියලා හැමෝම කිව්වත්, මගේ හිතේ නපුරා ගැන ආදරයක් ඇති වුණේ එයා හම්බවුණු මුල් දවසෙමයි. ඉතින් කවදාවත් මගේ හිත ආපහු ඩොක්ටර් ගාවට ඇදිලා යන්නේ නෑ කියලා මට හුඟක් විශ්වාසයි.
"මිස්ට හුඟක් දේවල් දැනගන්න පුළුවන් වුණා නේද?"
මම කල්පනාවෙන් මිදුණේ මගේ ළඟ හිටිය නර්ස්ගේ කතාවට. ඒත් මම හිනා වුණා මිසක් මුකුත්ම කිව්වේ නෑ.
"ඔන්න මිස් ඔයාට හොඳ චාන්ස් එකක් හම්බවුණේ අද. ඔයාට දැන් හිතලා තීරණයක් ගන්න පුළුවන්. අපේ ඩොක්ටර් අසංකට අවස්ථාවක් ලැබෙයි කියලා අපි හුඟක් කල් ඉඳලා බලාගෙන ඉන්නේ. අද මේ ඇහුණු ටිකෙන් නම් මට ඒක ෂුවර් වුණා."
********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."
Next Episode


Comments
Post a Comment