සිහින මන්දාකිණී 2/8
"මේ... මේ කොහෙද සර් යන්නේ?"
නපුරා කාර් එක හැරෙව්වේ මම දන්න පාරකින් නෙමෙයි හින්දා මම ඇහුවේ බයෙන්. මලී අක්කයි නිමේෂ් අයියයි චැනල් එකේ වැඩකට කියලා මාව නපුරාට බාර දීලා, ඩ්‍රයිවර් අංකල් එක්ක චැනල් එකට ගියේ ඉක්මනට එන්නම් කියලා වුණත් තාම ආවේ නැහැ.
"ඇයි... ඔයා බයයිද...?"
"නැ.. නෑ සර්... ඒත් මලී අක්කලා ඇවිත් අපිව හොයයි."
"ඒකට තමයි මන්දාකිණි මේ ෆෝන් එක තියෙන්නේ. මලීට මම කිව්වා චැනල් එකෙන් පිටත්වෙනකොට කෝල් එකක් දෙන්න කියලා. එයාලා අපි ඉන්න තැනට එයි."
"අනේ සර්..."
"ඇයි මොකද... ඔයා මාත් එක්ක ඉන්නේ බයෙන්ද...?"
නපුරා එහෙම ඇහුවේ මගේ ඇස් දෙක දිහා කෙලින් බලලා. එයා ඒකෙන් හුඟක් දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා මට තේරුණා. ඩොක්ටර් ඉමේෂ අද උදේ හොස්පිට්ල් එකේදි කිව්ව දේවල් නපුරාගේ හිතට වැදිලා කියලා මට තේරුණා.
"එහෙම දෙයක් නෑ සර්... ඒත් කවුරුහරි දැක්කොත් හොඳ නෑ."
"දැක්කත් මොකද? මොකක්ද ඒකේ තියෙන වැරැද්ද...?"
"අපි ගැන වැරදියට හිතයි."
"වැරදියට හිතන්න දෙයක් නෑ. මොන දේ හිතුවත් මට වැඩකුත් නෑ."
"එහෙම කියන්න එපා සර්... ඒක මටයි ගොඩක්ම හොඳ නැත්තේ."
"ඇයි ඒ...?"
"සර්... මම කසාද බඳින්න ඉන්න කෙනෙක්."
මම හිතුවේ පුරුදු විදිහටම නපුරා කේන්තියෙන් කෑ ගහයි කියලා වුණත්, නපුරාගේ මූණට ආවේ ලස්සන හිනාවක්.
"ඇයි සර් හිනාවෙන්නේ?"
"ඔයා මොකක් හරි කියලා මගෙන් ගැලවෙන්න නේද හදන්නේ? අනික ඔය බඳින්න ඉන්නවයි කියන කෙනා, ඔයා හොස්පිට්ල් එකේ ඉන්න කාලෙටම ඔයාව බලන්න එනවා මම දැක්කේ නෑ."
"ඒක ඇත්ත වෙන්න ඇති සර්. ඒත් මම කසාද බඳින්න ඕනේ ඒ කෙනාවමනේ. ඒ නිසා මම බොරුවට නෙමෙයි කිව්වේ."
"බොරු නෙමෙයි කියලා මම දන්නවා. අමිත කියන්නේ ඔයාගේ මස්සිනා කෙනෙක්නේ. ඔයාව එයාට බන්දලා දෙන්න ඔයාගේ අම්මාටනේ ඕනේ. ඒත් ඔයා ඒකට පොඩ්ඩක්වත් කැමති නෑනේ."
"ඒක වෙනම කතාවක් සර්... ඒත් මම බඳින්න ඉන්නේ එයාව."
"අපි ඒක බලමුකෝ මන්දාකිණි. මම ඔයාට කිව්වනේ... මම ඔයාව වෙන කෙනෙකුට බඳින්න දෙන්නේ නෑ."
මම එතැනින් එහාට එක වචනයක්වත් කතා කළේ නෑ. නපුරා වාහනය පදවනකොට දෙතුන් පාරක් මගේ දිහා බැලුවත්, මාත් එක්ක කතා කරන්න උත්සාහ කළේ නෑ. එයා එයාගේ පාඩුවේ වාහනය පැදෙව්වා. බීච් එක පැත්තට කාර් එක හැරවලා, ඒ ළඟ තිබුණු රෙස්ටුරන්ට් එකක් ළඟ කාර් එක නැවැත්තුවට පස්සේ තමයි නපුරා මාත් එක්ක කතා කළේ.
"මට ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ ඔයත් එක්ක. ඒකයි ටිකක් නිස්කලංක තැනකට එක්කන් ආවේ. ඔයාට සිහිය ආපු දවසේ ඉඳලා මේ වෙනකන් මම ඒකට ට්‍රයි කළා. ඒත් මට චාන්ස් එකක් හම්බවුණේ අද. ඔයා තරහා නෑනේ...?"
"නැ.. නෑ සර්.."
නපුරා කාර් එකෙන් බැහැලා ඇවිත් මට බහින්න දොර ඇරියා. හිත ගැහෙන්න ගත්තත් මම වෙනසක් නොපෙන්වා කාර් එකෙන් බැස්සා. බහිනකොටත් එයා මාව අල්ල ගත්තේ මම වැටෙයි කියන බයටද කොහේද.
"අපි යමු එන්න."
නපුරා මගේ අතින් අල්ලගෙනම රෙස්ටුරන්ට් එක ඇතුළට එක්කන් ආවා. එයා හැසිරෙන විදිහෙන් මෙතැන එයාට හුඟක් හුරුපුරුදු තැනක් කියලා මට තේරුණා. අපි ආවේ රෙස්ටුරන්ට් එකේ අනෙක් පැත්තේ තිබුණු වෙරළ අයිනට. ලස්සනට පෙරළි පෙරළි එන රැල්ල ගල් තලාවේ හැප්පිලා බිඳිලා යනකොට තිබුණේ හරිම ලස්සනක්. මුහුදේ ඉඳලා එන හුළඟට මගේ කොණ්ඩයවත්, ගවුමවත් එක විදිහකට තියා ගන්න මට බැරි වුණා.
"ලස්සනයි..."
"ආ.. මො.. මොකක්ද සර්?"
"මම කිව්වේ ඔයා හුඟක් ලස්සනයි කියලා."
මගේ මූණට වැටිලා තිබුණු කොණ්ඩය එයාගේ අතින් පස්සට කරන ගමන් නපුරා මගේ මූණට එබුණා. මට දැනුණේ ලොකු අපහසුවක්. මම නපුරාගෙන් ඈත් වුණේ ලැජ්ජාවෙන්මයි. නපුරා යන්තමට හිනා වුණා මිසක් මුකුත්ම කිව්වේ නෑ.
"එන්න මන්දාකිණි... අපි අතනින් වාඩි වෙමු."
වෙරළෙන් ටිකක් ඈතට වෙන්න තිබුණු නිස්කලංක තැනක මේසයක් පෙන්වලා නපුරා මට කිව්වා. මම ඒ පැත්තට යන්න ඉස්සර වුණත්, නපුරා ඉක්මනට ඇවිත් මගේ අතින් අල්ල ගත්තේ මට තනියම යන්න නොදී.
"සර්... මට තනියම යන්න පුළුවන්."
"ඇත්තද? හොඳට තියෙයි මේ වැල්ලේ වැටුණොත් එහෙම. මතක නැද්ද ඩොක්ටර් කිව්වා? ඔයා පරිස්සම් වෙන්න ඕනේ මන්දාකිණි."
"හා සර්..."
අපි දෙන්නම එතැනින් වාඩි වුණත් මට නපුරා එක්ක කතා කරන්න දෙයක් හිතට ආවේ නෑ. ඇත්තටම කියන්න දේවල් හුඟක් තිබුණත් මට ඒ කිසිම දෙයක් එයාට කියන්න බෑ. මගේ හිතට දාලා තිබුණු තහංචි නිසා මම ගොළු වෙලා හිටියේ. මට පුළුවන් වුණේ ඈත මුහුද දිහා බලාගෙන ඉන්න විතරයි. සිහින සර් කළේ මගේ මූණ දිහා බලාගෙන හිටපු එක.
අපි වාඩි වෙලා ටික වෙලාවකින් අවුරුදු 25ක විතර වේටර් කෙනෙක් අපි ළඟට ආවා.
"සිහින සර්... ඉතින් කොහොමද? මාසෙකට විතර පස්සේ දැක්කේ."
මටත් සුහද හිනාවකින් සංග්‍රහ කරලා ඒ තරුණයා නපුරා එක්ක කතා කළේ හුඟාක් හිතවත් විදිහට.
"ඔව් තිළින. මේ ටිකේ එන්න බැරි වුණා."
"ඒත් මම කල්පනා කළා මොකද ආවේ නැත්තේ කියලා. මේ ඉන්නේ මන්දාකිණි මිස් නේද?"
"මම දැක්ක ගමන්ම අඳුන ගත්තා සර්. මැඩම්ට සනීප වුණු එකනම් ලොකු සතුටක්. මැඩම්ව දැක්කම සර් මේ පැත්තේ ආවේ නැති හේතුවත් මට තේරුණා."
නපුරා හිනා වුණේ යන්තමට. ඒ හිනාවට තමයි මගේ හිත මුලින්ම හොරකම් කරන්න නපුරාට පුළුවන් වුණේ.
"මන්දාකිණි, ඔයා බොන්න කැමති මොනවද?"
"ස.. සර් කැමති ඕන දෙයක්."
"එහෙනම් ඉතින් බොන්න වෙන්නේ විස්කි තමයි."
මාව ගැස්සිලා ගියේ මටත් හිතා ගන්න බැරි විදිහට. මම බය වුණා කියලා නපුරාට තේරුණා.
"අපෝ... පොඩ්ඩ ඇත්නම් බය වෙනවා. අපිට ගේන්න ඔරේන්ජ් ජූස් දෙකක්. අද විස්කි බිව්වොත් මොනවා වෙයිද දන්නේ නෑ."
නපුරා කිව්වේ හිනා වෙවී. ඒක කිව්වේ විහිළුවට වුණත්, ඒ කතාවට නම් මාව හීතල වෙලා ගියා.
"අපෝ... විස්කි නෙමෙයි, මොනවා බිව්වත් මට සර් ගැන විශ්වාසයි. මොකද ඉතින් සර් මෙතැනට එන්නේ අදක ඊයෙක ඉඳලා නෙමෙයිනේ. සර් ගැන මම හොඳට දන්නවා. අද කෝ අනෙක් මහත්තයලා?"
"මේ වගේ ගමනක් උන්ව එක්කන් එනවද? උන් දන්නෙත් නෑ මම ආවා කියලා. හදිසියේමයි අපි ආවේ."
"හරි එහෙනම් සර්ලා කතා කරන්න. මම එන්නම්."
තිළින අපි ඉන්න තැනින් ඈතට යන හැටි මම බලාගෙන හිටියේ අරමුණක් නැතුව.
"මොනවද තිළින දිහා බලාගෙන කල්පනා කරන්නේ?"
"ආ..."
"මම ඇහුවේ මොනවද අරූ දිහා බලාගෙන කල්පනා කළේ කියලා."
"මුකුත් නෑ සර්. හරි හොඳ ළමයෙක් නේද?"
"හ්ම්.. ඔව් හරි හොඳ කොල්ලා. මම දැන් අවුරුදු තුන හතරක ඉඳලා අඳුනනවා."
"හ්ම්..."
"ඇයි තරහෙන් වගේ?"
"අ.. අනේ මම මොකට සර් එක්ක තරහා වෙන්නද?"
"මම ඔයාට බොරු කියන්නේ නෑ මන්දාකිණි. ඉස්සර ඉඳලම මම ඉඳහිට ටිකක් බොනවා. හුඟක් වෙලාවට නම් එන්නේ අපේ උන් එක්ක. උන් අල්ල ගන්න බැරි වුණොත් තනියමත් ආපු දවස් තියෙනවා. ඒ හැම දවසකම මම එන්නේ මෙතැනට. මොකද බීලා වැඩි වුණොත් මම වාහන පදින්නේ නෑ. ඒ නිසා තිළින මට මේ හොටෙල් එකේ රූම් එකක් ලෑස්ති කරලා දෙනවා. ඒකයි අපි මේ තරම් හිතවත්. මම කොච්චර බීලා හිටියත් තිළින මාව රූම් එකට ගෙනත් දානවා."
නපුරා මොනවා කිව්වත් මම වචනයක්වත් කතා කළේ නෑ.
"මන්දාකිණි."
"අ.. ඇයි සර්.."
"ඔයාට මගෙන් මුකුත්ම අහන්න දේවල් නැද්ද? ඔයාට මා ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න."
"නැ.. නෑ.. සර්.. මම ඒවා දැන ගත්තා කියලා තේරුමක් නෑනේ."
"ඔයා ඉන්නේ තරහෙන්. මම හුඟක් බොනවා කියලා නේද දැන් හිතන් ඉන්නේ?"
ඇත්තටම මගේ හිතට කේන්තියක් ආවා. සිහියක් නැති වෙන තරම් නොබිව්වා නම් තිළින මොකටද එයාව රූම් වලට එක්කන් යන්නේ? ඒ කියන්නේ කෙලින් ඉන්න බැරි තරම් බීලා කියන එකනේ. නපුරා එක්ක තිබුණ තරහට මම කතා කළේ නෑ.
"හරි... ඔයාට දැනගන්න ඕනේ නැති වුණාට කමක් නෑ. මට ඔයාට කියන්න ඕනා දේවල් හුඟක් තියෙනවා. ඔයා මං ගැන ඒ හැමදේම දැනගෙන ඉන්නවට මම කැමතියි."
"හා සර්...."
"මම හුඟක් තනියම හැදුණු කෙනෙක් මන්දාකිණි. අපේ අම්මාගේ ජීවිතේ හැමදාම ගෙවුණේ ඕස්ට්‍රේලියාවේ ටික කාලයක් සහ ලංකාවේ ටික කාලයක් විදිහට. එයා ඕස්ට්‍රේලියානු සම්භවයක් තියෙන කෙනෙක්. මගේ ආච්චි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්, සීයා ලංකාවේ. ඉතින් තනිකම පුංචි කාලේ ඉඳලම මට පුරුදු වෙලා තිබුණේ."
කාන්ති මැඩම් වගේම නපුරත් මේ තරම් ලස්සන වෙන්න හේතුව මම හරියටම දැන ගත්තේ ඒ වෙලාවේ. ඒත් ඊටත් වඩා මගේ හිතට ආව ප්‍රශ්නය තමයි කාන්ති මැඩම් වගේ කෙනෙක් අපේ අම්මාගේ යාළුවෙක් වුණේ කොහොමද කියන එක.
"මම අවුරුදු 18 වෙනකන් ඉගෙන ගත්තේ එහේ. ඒත් මම ඉපදිලා තියෙන්නේ ලංකාවේ. 18න් පස්සේ ලංකාවට ආවේ අම්මිගේ බිස්නස් වලට උදව් කරන්න. මගේ තාත්ති මැරිලා තියෙන්නේ මම බඩේ ඉන්න කාලෙමයි. එදා ඉඳලා මේ හැම බිස්නස් එකක්ම බලා ගත්තේ අම්මි. එයා හුඟක් කාර්යබහුල කෙනෙක්. ඒත් මම මෙහේ ඇවිත් ටික කාලයක් යනකොට අම්මි හැම බිස්නස් එකක්ම මට බාර දුන්නා. මමත් ඒවා බාර ගත්තේ හුඟක් ආසාවෙන්. මොකද පුංචි කාලේ ඉඳලම මට ඕන වුණා මගේ අම්මිව ටිකක් නිදහසේ තියන්න. ඉතින් මම හැම බරක්ම මගේ කර උඩට ගත්තා."
"ඉතින් මට හුඟක් තනිකම දැනෙනවා. මගේ යාළුවන්ව ඔයාට මම අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕනේ නෑනේ. උන් නැත්නම් මට පිස්සුත් හැදිලා. ඔය තනිකම හින්දම මම පාළුවෙන් ඉන්න වෙලාවට මෙතැනට ඇවිත් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න පුරුදු වුණා. හැබැයි පහුගිය කාලේ නම් මම සිහිය නැති වෙනකන් බිව්වා තමයි. ඒ මට සිහියෙන් ඉන්න බැරි වුණු නිසා. ඒත් දැන් එහෙම බොන්නේ නෑ."
තිළින බීම වීදුරු දෙකක් අරගෙන ඇවිත් මේසය උඩින් තියලා යන්න ගියේ අපිට බාධා කරන්නේ නැතුව. තිළින ආව නිසා නපුරා කතාව නැවැත්තුවා.
"මේක බොන්න මන්දාකිණි.."
"හ.. හා සර්..."
"මන්දාකිණි... මම ඔයාට කියන්නමයි හිටියේ."
"මොකක්ද සර්?"
"ඔයා මගේ ළඟ ඔහොම බය වෙන්න එපා. මම යකෙක් නෙමෙයි. අනික මම දැන් ඉස්සර වගේ නපුරුත් නෑ."
නපුරා ඒක කිව්වේ මේසය උඩ තිබුණු මගේ අතින් අල්ලගන්න ගමන්මයි.
"මම ආසයි ඔයා මා ළඟ සැහැල්ලුවෙන් ඉන්නවට. ඔයා හැමවෙලේම ඉන්නේ බය වෙලා."
"එහෙම නෑ සර්..."
"මන්දාකිණි...."
නපුරා කතා කළේ ටික වෙලාවක් ගියාට පස්සේ.
"ඇයි සර්?"
"ඔයා දන්නවනේ මම ඔයාට කැමතියි කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා ඔයා මට කැමති වෙයි කියලා. ඇත්තටම මම ඔයාව මගේ කරගන්න නොකරපු දෙයක් නෑ. ඔයාව දැක්ක දවසේ ඉඳලා මාව හුඟක් අවුල් වුණා. මට එහෙම හැඟීමක් ඊට කලින් කවදාවත් දැනිලා තිබුණේ නෑ. මට මුලින්ම තේරුම් ගන්න බැරි වුණා ඔයා ගැන හිතේ තියෙන්නේ කොහොම හැඟීමක්ද කියලා. මම ඒකයි ඔයාට හැම වෙලේම බැන්නේ. ඒත් මම හරියටම ඒක තේරුම් ගත්තේ ඔයා ඩොක්ටර් අසංකත් එක්ක රෙස්ට් රූම් එකේ කතා කර කර හිටපු වෙලාවේ. එදා මට දැනුණු ඊර්ෂ්‍යාව සහ බය තමයි මට තේරුම් කළේ මම ඔයාට ආදරේ කරනවා කියලා."
"ස... සර්.."
"හ්ම්.... දැන් මතක් වෙද්දී හිනත් යනවා. අපේ උන් ටික ඕක මතක් කරලා මාව හැමදාම මඩවනවා.බීපුවම උන්ගේ 'බයිට්' එක මම තමයි හැමදාම. මම ඇත්තටම ඔයාලා දෙන්නව දැක්කේ කැමරාවෙන්. මට ලැප්ටොප් එකත් පොළොවේ ගහන්න හිතුණා."
"එ.. ඒ... කියන්නේ?"
"ඇත්තටම මෙහෙමයි.... මුළු චැනල් එකේම CCTV කැමරා චෙක් වෙන්නේ සිකියුරිටි එකෙන් වුණාට, ඒ හැම කැමරාවක්ම මට මගේ ලැප්ටොප් එකෙන් බලන්න පුළුවන්. මම චැනල් එකේ වෙන හුඟක් දේවල් දැනගන්නේ ඒකෙන්. හුඟක් අය මා ගැන කතා කරන, කියන හැමදේම ඒකෙන් මම දැනගන්නවා. අනික කට්ටියගේ හොර වැඩ පවා මම දැනගන්නේ කැමරා වලින්. ඒක දන්නේ සමෙත් විතරයි. ඇත්තටම මම එහෙම කරලා තියෙන්නේ චැනල් එකේ ඉන්න මිනිස්සු ගැන දැනගන්න ඕන නිසා. එතකොට මට පාලනය කරන්න ලේසියි."
නපුරා කිව්ව දේට මාව සීතල වෙලා ගියා. ඒ කියන්නේ අපි කතා කරන හැමදේම වගේ නපුරා දන්නවා කියන එකද? අනේ මම මලී අක්කා එක්ක නපුරාට බැනපු තරමක්!
"ඒක කාටවත් කියන්න එපා මන්දාකිණි. ඒක රහසක්. ඔයා මට නපුරා කියනවා කියලා මම දැනගත්තේ මුලින්ම ඒ විදිහට තමයි. අනික ඔයා ඉන්ටර්විව් ආව දවසේ මම බැනලා එළවගත්තනේ, ඊට පස්සේ මටත් ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න හිතුණේ නෑ. මම සමෙත්ට ඔක්කොම බාර දීලා මගේ රූම් එකට ආවා. එදා මගේ හිත හුඟක් අවුල් වෙලා තිබුණේ. ඊට පස්සේ මට ඕන වුණා ඔයා චැනල් එකෙන් ගියාද කියලා බලාගන්න. මම කැමරා ඔන් කරලා බලනකොට ඔයා පුටුවකට වෙලා අඬනවා. මම හුඟක් වෙලා ඔයා දිහා බලාගෙන හිටියා. මට මා ගැනම ලොකු තරහක් ආවා. ඔයා ගැන ලොකු ලෝභකමක් දැනුණා. ඒත් එදා ඒ හැඟීම් හරියටම මට තේරුම් ගන්න පුළුවන් වුණේ නෑ."
"ඊට පස්සේ මම දැක්කා මලීෂා ඔයා එක්ක කතා කරනවා. ඔයාලා දෙන්නා කතා කරන හැමදේම මම අහගෙන හිටියේ. ඒ අස්සේ මගේ හිතට සතුටක් ආවා, එදා ඔයා මගේ වාහනයට හැප්පෙන්න ගියේ ඔයා වගකීමක් නැති කෙනෙක් නිසා නෙමෙයි, ඔයාට තියෙන ප්‍රශ්න නිසා කියලා හිතනකොට. ඊට පස්සේ තමයි මම මලීෂාට කියලා ඔයාව ආපහු ඉන්ටර්විව් ගෙන්නුවේ. ඇත්තටම අපි වෙනදට ඉන්ටර්විව් දෙකක් තියන්නේ නෑ. ඔයා නිසා තමයි මම එහෙම කළේ. මට ඕන වුණේ ඔයාව වැඩට ගන්න. ඔයාව හැමවෙලේම දකින්න ඕනෙ කියලා හැඟීමක් මට ආවා. ඔයාට ටැලන්ට් තිබ්බත් නැතත් ඔයා වෙනුවෙන් ජොබ් එකක් හදලා හරි ඔයාව වැඩට ගන්නවා කියලා මම හිතා ගත්තා. ඒත් මම නොහිතපු විදිහට ඔයා හුඟක් දක්ෂතා පෙන්නුවා."
එක දිගට කියවගෙන ගිය නපුරා, තමන්ගේ බීම වීදුරුව එක හුස්මට බිව්වා. පුංචි දරුවෙක් වැරැද්දක් කරලා අහුවුණාම කියවනවා වගේ ලොකු පාපොච්චාරණයක් කරන්න නපුරාට ඕන වෙලා තිබුණා. මම ඒකට බාධා කරන්න ගියේ නෑ.
"ඔයා අමිතට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා මම දැනගත්තෙත් කැමරා වල පිහිටෙන්. අනික නුවනි එදා ඔයාට බනිනකොට එතැනට මලීෂාව එව්වෙත් මම කැමරාවෙන් හැමදේම බලාගෙන හිටිය නිසා. අනික අපිට අමිත ගැන කියලා මලීෂා කළේ ඔයාව ආරක්ෂා කරපු එක කියලත් මම දැනගත්තා. අන්තිමට ඔයා කරන කියන හැමදේම ගැන විමසිල්ලෙන් ඉන්න මම ඇබ්බැහි වුණා. සමෙත් මට බැන්නත් එක්ක. ටික කාලයක් යනකොට, ඩොක්ටර් ඔයාට ළං වෙන්න හදනකොට මට කේන්ති යන එකෙන් මට තේරුණා මම ඔයාට ආදරේ කරනවා කියලා. පස්සේ මට ඔයාට ළංවෙන්න ඕන වුණත් ඒක කරන්න පුළුවන් වුණේ නෑ. මගේ ඉස්සරහා හිටපු රශ්මි නිසා මගේ ජීවිතේ හිරවෙලා තිබුණේ. ඒ කාලේ ඔයාව ළං කරගන්න බැරි වෙනකොට මට කේන්ති යනවා. ඒකයි මම ඔයාට නපුරු වුණේ. ඒත් දැන් මම එහෙම නෑ. ඒත් තාමත් මට ඔයා බයයි. ඒක මගේ හිතට ලොකු දුකක් මන්දාකිණි."
නපුරා මොන තරම් දේවල් කිව්වත් මම කතා නොකළේ මට කියන්න කිසිම දෙයක් තිබුණේ නැති නිසා. මම කළේ මුහුද දිහා බලාගෙන හිටපු එක.
"මම මෙච්චර දේවල් කියලත් ඔයාට කියන්න දෙයක් නැද්ද මන්දාකිණි?"
"ස.. ර.."
"හරි මම කෙලින්ම අහන්නම්කෝ. ඔයාගේ හිතේ මට පුංචි හරි ඉඩක් තියෙනවද? ඔයා මට අවස්ථාවක් දෙනවද?"
"ස... ස.. ර්.. මම බඳින්න ඉන්න කෙනෙක්."
"ඒකට මට කමක් නෑ. මොකද ඒ කසාදෙට ඔයා කැමති නෑ කියලා මම දන්නවා. ඒ ගැන මම බලාගන්නම්. ඔයාගේ හිතේ මට ඉඩක් තියෙනවද කියන්නකෝ."
"අ.. අනේ මන්දා සර්..."
ඒ කිව්ව විදිහට නම් මට හිතුණේ ඉඩක් තියෙනවා කියලා.
"මට එහෙම එක පාරට තීරණයක් ගන්න බෑ සර්. අනික සර්රුයි මමයි අහසයි පොළොවයි වගේ. අනික කාන්ති මැඩම් මොනවා හිතයිද, අනෙක් මිනිස්සු මොනවා නොකියයිද... මම ඒ හැමදේම හිතන්න ඕනේ සර්."
"ඒ කියන්නේ ඔයාගේ හිතේ මට ඉඩක් තියෙනවා. ඔයා බය අනෙක් අය මොනවා කියයිද කියන එකට. ඒ කියන්නේ ඒ හිතේ වෙන කෙනෙකුට නවතින්න බෑ. අනෙක් අය හිතන පතන විදිහ මට වැදගත් නෑ. මට වැදගත් මගේ අම්මි විතරයි. ඒ ගැන මම බලාගන්නම්. කොහොමත් මට ඔයාගෙන් එකපාරටම උත්තරයක් එපා. මම දන්නවා මේක ඔයාගේ හිතට ලොකු බරක්. ඒ නිසා ඔයා හෙමීට මට උත්තරයක් දෙන්න. මට ඕන වුණේ මට අවස්ථාවක් තියෙනවද කියලා දැනගන්න විතරයි. දැන් මම දන්නවා මට අවස්ථාවක් තියෙනවා කියලා. එතැනින් එහාට හැමදේම මම බලාගන්නම්. ඔයාගේ හිතේ මං ගැන ආදරයක් ඇති කරන්න මට පුළුවන්. ආදරේ කියන්නේ එක පාරට ඇති වෙන දෙයක් නෙමෙයි මන්දාකිණි. ආදරයක් ඇති වෙන්න කාලයක් යනවා. ඒ හින්දා ඔයාගේ හිතේ කාලයක් යනකොට මං ගැන ආදරයක් ඇතිවෙයි. මට ඒක විශ්වාසයි."
නපුරා ඒ ටික කිව්වේ හුඟාක් හැඟීම්බර විදිහට. ඒ හිත රිද්දන්න මට පුළුවන් වුණේ නෑ.
"අනේ මන්දා සර්... ඒත් මම වචනයක්වත් දුන්නේ නෑනේ. සර් බොරුවට බලාපොරොත්තු තියා ගන්න එපා."
"එහෙම කියන්න එපා. ඔයා වචනයක් දුන්නේ නෑ තමයි. ඒත් ඔයාගේ ඇස් දෙක මට හුඟක් දේවල් කිව්වා. මම දැන් දන්නවා ඔයා වෙන කෙනෙකුට අයිති වෙන්නේ නෑ කියලා."
"අනේ මන්දා... මම සර්ට..."
"දැන් මුකුත් කියන්න එපා. ඒ කතාව දැන් නවත්වන්න. එන්න අපි ටිකක් රැල්ල පාගන්න යමු."
නපුරා පුටුවෙන් නැගිටලා ඇවිත් මගේ අතින් අල්ලගෙන වෙරළ පැත්තට එක්කගෙන ආවා. පළවෙනි වතාවට මට නපුරා ළඟ ඉන්නකොට සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. ඒ අතේ එල්ලිලා රැල්ල පෑගුවේ හුඟක් ආසාවෙන්. මම ජීවත් වෙනවා කියලා මට දැනෙන්න ගත්තා. වෙනදා වගේ නපුරා ළඟ මගේ හිනාව හිරකර ගන්න මට ඕන වුණේ නෑ. අපි දෙන්නම හුඟක් විනෝද වුණා. හිතේ හැටියට වැල්ලේ දුවන්න ඕන වුණත් නපුරා මට ඒකට ඉඩ දුන්නේ නෑ.
"මන්දාකිණි බලාගෙන ළමයෝ, වැටෙයි."
නපුරා මාව ආරක්ෂා කළේ හුඟක් ආදරෙන්. ඇත්තටම ඒ ආදරේ මට දැනෙන්න අරගෙන තිබුණා. එක රැල්ලකට මගේ ගවුම තෙමෙනකොට මම පොඩි එකෙක් වගේ නපුරාගේ අතේ එල්ලුණේ මාව වැටෙයි කියන බයට.
"ගවුම තෙමා ගත්තා නේද? ඔයාට මුහුද දැක්කම පිස්සු හැදෙනවා වගේනේ."
"අනේ ඔව් සර්... මම හුඟක් ආසයි මුහුදට."
"එහෙනම් මම ඔයාව පුළුවන් හැමවෙලාවකම එක්කන් එන්නම්කෝ."
"ඔය ඇත්තමද?"
"හ්ම්... ඔව්... අපි අර පැත්තෙන් ඉමු. ටිකක් වෙලා යනකොට ගවුම වේලෙයි."
නපුරා එහෙම කිව්වත් මට එතැනින් යන්න හිතුණේ නෑ.
"දැන් ඇති නේද නැටුවා? පරක්කු වෙනවා. විශාකා ආන්ටි බලාගෙන ඇති. මම වෙන දවසක එක්කන් එන්නම්කෝ ඇති වෙනකන් රැල්ල පාගන්න."
"කෝ මලී අක්කා තාම ආවේ නෑනේ."
"මලීෂාට මම කෝල් කළා. මඟට එයි. අපි යමු."
"හ්ම්... යමු එහෙනම්."
මමයි නපුරයි කාර් එක ගාවට එනකන් ඇවිදගෙන ආවෙත් අත් දෙකෙන් අල්ලගෙන. නපුරා බිල් එක ගෙවලා එනකන් මම කාර් එක ළඟට වෙලා හිටියේ ගවුම ටිකක් වේලෙන්න. මම වගේම නපුරත් හිටියේ හුඟක් සැහැල්ලුවෙන් කියලා මට දැනුණා. මාව කාර් එකට නග්ගවලා නපුරත් අනෙක් පැත්තෙන් ඇවිත් කාර් එකට නැග්ගා.
"ඔයා සතුටින්ද?"
"හ්ම්... ගොඩාක්."
"මටත් අද ගොඩක් සතුටුයි මන්දාකිණි, ඇත්තමයි. ඉන්නකෝ.... මම ඔයාට පුංචි ගිෆ්ට් එකක් ගත්තා."
"ඒ මොකක්ද?"
නපුරා පිටුපස්සෙ සීට් එකේ තිබුණු පුංචි පාර්සලයක් අරගෙන මගේ අතට දුන්නා.
"මේ මොකක්ද සර්?"
"ඇරලා බලන්න."
මම නපුරා දුන්නු පාර්සලය ගැලෙව්වේ හුඟක් ආසාවෙන්. ඇත්තටම මලී අක්කා ඇරෙන්න වෙන කෙනෙක් මට දුන්න පළවෙනි තෑග්ග. ඒක ඇතුළේ තිබුණේ ලස්සන ෆෝන් එකක්. මට හුඟක් පුදුම හිතුණා. එච්චර වටින දෙයක් මම බලාපොරොත්තු වුණේ නෑ.
"අනේ සර්... මට මේක බාරගන්න බෑ."
"ඔයාට පිස්සුද මන්දාකිණි? කෙනෙක් ගිෆ්ට් එකක් දුන්නම ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නෑ. එතකොට හිත රිදෙනවා. අනික මේ මම ඔයාට දීපු පළවෙනි තෑග්ග."
"අනේ මන්දා..."
"ඕක ගන්න. මට ඔයාට හැමවෙලේම කතා කරන්න ඕනේ. මම කොහොමද ගෙදරට කතා කරන්නේ? විශාකා ආන්ටි සැක හිතයි. හැබැයි ඔයා ඕක ගත්තේ නැත්නම් මම හැමවෙලාවෙම ගෙදරට කතා කරලා ඔයාට කරදර කරනවා. එතකොට විශාකා ආන්ටිට උත්තර දෙන්න වෙයි ඔයාට."
ඇත්තටම මහ නපුරෙක්ම තමයි. ඇයි දෙයියනේ මාව හැම පැත්තකින්ම හිර කරනවනේ! වෙන කරන්න දෙයක් නැති නිසා මම ඒ තෑග්ග බාර ගත්තා.
"ඕකේ මගේ නම්බර් එක සේව් කරලා තියෙන්නේ."
"හා සර්..."
"හ්ම් එහෙනම් අපි යමු."
********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Comments
Post a Comment