සිහින මන්දාකිණී 2/9

9 වන දිගහැරුම
"මොකද කරන්නේ? ඔයා බේත් බිව්වද...?"
ඊයේ නපුරා මට ෆෝන් එක දීපු වෙලේ ඉඳලා මේ වෙනකම් හැම පැයකටම සැරයක් විතර මට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් එව්වා. හුඟක් මැසේජ් වලට මම රිප්ලයි (reply) කරන්න ගියේ නැහැ. එතකොට එක දිගට මැසෙජ් තුන හතරක් එවන නිසා අම්මට ඇහෙයි කියන බයට මම ෆෝන් එක සයිලන්ට් (silent) කළා.
"බේත් බිව්වා."
මම නපුරාට කෙටියෙන් මැසේජ් එකක් දැම්මේ නැත්නම් බේරෙන්න බැරුව මැසේජ් කරන නිසා. ඇත්තටම එයාට වෙන වැඩක් නැද්ද දන්නෙත් නෑ.
"මන්දාකිණි... මේ කිරි එක බීලා ඉවර වෙලා මල් කඩන්න."
මම හිටියේ නපුරලාගේ ගෙදර වැරැන්ඩා එකේ තිබුණු හාන්සි පුටුවක ඇලවෙලා. මලී අක්කා මම ළඟට ආවේ කිරි එකකුත් අරගෙන.
"පිස්සුද අක්කේ. මම කඩපු මලක් නෑ. ආ... ඕනේ නම් අරන් බලන්න."
කිරි වීදුරුව අතට ගන්න ගමන් මම මලී අක්කාට ෆෝන් එක දික් කළා. ඒත් එයා ඒක ගත්තේ නෑ.
"අපෝ... අපිට නෑනේ ඔය අනුන්ගේ දේවල් හොයන පුරුද්දක්."
"එහෙනම් ඉතින් මට විහිළු කරන්න එපා. විහිළු කරනවා නම් ඉස්සෙල්ලම මේක බලලා ඉන්න."
"අම්මෝ... උඹට යන කේන්ති! ඔහොම ගියොත් නම් උඹ ඉක්මනට නාකි වෙනවා."
"ඔයාට විකාර අනේ... ඔයා කිරි බිව්වද...?"
"මම බිව්වා බන්. ඒක නෙමෙයි, අද ආන්ටි එන්න පරක්කු වෙයිද...?"
"ටිකක් විතර පරක්කු වෙයි අක්කේ. කාන්ති මැඩම් එක්කනේ ගියේ."
"හ්ම්... මේ ඒක නෙමෙයි. මොනවාද ඊයේ ඩ්‍රීම් (Dream) කිව්වේ?"
"අනේ මන්දා අක්කේ. මට තේරෙන්නේ නෑ."
"ඇයි ඒ...?"
"එයා මා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒත් මට බයයි ඒකෙන් අන්තිමට මට අඬන්න වෙයි කියලා."
"මමත් ඔය ගැන නම් හිතුවා මන්දාකිණි. ඒත් උඹට ඇක්සිඩන්ට් (accident) එක වුණු වෙලාවේ සිහින සර් හැසිරුණු විදිහ, කරපු කැපකිරීම් මතක් වෙනකොට මට සිහින සර්ගෙ හිතේ උඹ ගැන තියෙන ආදරේ හොඳටම දැනුණා. එහෙම මනුස්සයෙක්ව මගහැර ගන්න කියන්නත් ලෝභයි මට. අනික කොහොමද බන් එච්චර දෙයක් කරපු මනුස්සයෙක්ට උඹ කට ඇරලා බෑ කියන්නේ?"
"අනේ මන්දා... මම හරි අසරණයි අක්කේ."
"සිහින සර් උඹට හුඟාක් ගැලපෙනවා. ඒත් මට තියෙන බය එයාට ළං වෙන්න ගිහින් උඹට ආයෙත් කරදරයක් වෙයි කියලා. රශ්මි මිස්ලා කියන්නේ දෙයක් ලේසියෙන් අතහරින මිනිස්සු නෙමෙයි බන්. උන්ගේ තියෙන දේශපාලන බලය, උන්ට තියෙන මැර බලය, සල්ලි බලය... ඕවා හැමදෙයක්ම ළඟ උඹ හරියට කූඹි පැටියෙක් වගේ. මම හිතන්නේ නෑ සිහින සර්ට ඔය හැමදෙයක්ම බැලන්ස් (balance) කරන්න පුළුවන් වෙයි කියලා."
"මම කිව්වා එයාට අපි දෙන්නා අහසයි පොළොවයි වගේ කියලා. ඒ වුණාට එයා ඒවා ගණන් ගන්නේ නෑ අක්කේ. අඩුම ගානේ මගේ කැමැත්ත අකමැත්තවත් එයාට වැඩක් නෑ. මම කසාද බඳින්න ඉන්නේ කිව්වම හිනා වෙනවා."
"ඒ මොකද...?"
"මට අසනීප වෙලා හොස්පිට්ල් හිටපු එක දවසකවත් අමිත අයියා මාව බලන්න ආවේ නෑ කියලා."
"ඒක නම් ඇත්ත බන්. අමිතයා ආවේ නෑ තමයි. මම දෙපාරක් විතර කෝල් කළා. ඒකා මට බනිනවා, මම හින්දලු උඹට ඕක වුණේ කියලා. කියන දේ අහන්නේ නැතුව ගිය එකට තරහටයි එන්නේ නැත්තේ කියලා කිව්වා."
"අනේ මන්දා... ඒ වුණාට මම ඊයෙත් අහගෙන හිටියා එයා අපේ අම්මට කෝල් කරනවා."
"හ්ම්... අමිතයා ගේම අතහැරලා නෑ. ඒක මටත් තේරුණා."
"අනේ මන්දා අක්කේ... මට තේරෙන්නේ නෑ මම මොනවාද කරන්න ඕනේ කියලා. මම හරි අසරණයි."
"කලබල වෙන්න එපා මන්දාකිණි. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ හැමදේකටම විසඳුම් හම්බවෙයි. අපි කාලයට ඉඩ දීලා බලන් ඉමු. ඒක නෙමෙයි... මට ඇත්ත කියපන්, උඹත් සිහින සර්ට කැමතියි නේද?"
"අ... අක්කේ...?"
"අවංකව කියපන් මන්දාකිණී. මම උඹේ අක්කා... උඹ මොනවා කිව්වත් මම උඹට බනින්නේ නෑ. ඇත්තටම සිහින සර් ගැන උඹේ හිතේ කැමැත්තක් ඇති නොවුණොත් තමයි මම පුදුම වෙන්නේ."
"හ්ම්... ඔව්. ඇත්තටම මම සිහින සර්ට හුඟක් ආදරෙයි අක්කේ. ඒත් කවදාවත් මට ඒකට එකඟ වෙන්න බෑ. ඈතින් ඉඳන් එයාට ආදරේ කරනවා මිසක්..."
"මට ඕක දැනුණා බන් මුල ඉඳලම. ඇත්තම කියනවා නම් මම ඒකට හුඟක් බය වුණා. ඒත් දැන් ඉතින් කමක් නෑ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
ඒක නෙවෙයි, කොහොමද ඔයාලගේ වෙඩින් (wedding) එකේ වැඩ?"
"අවුලක් නෑ. හොඳට කෙරීගෙන යනවා. මේ අවුරුද්දේ අන්තිම දින දාගන්න තමයි හිතන් ඉන්නේ."
"ඒක හොඳයි. ඔන්න මම තමයි යාළු මනමාලි!"
"නැතුව ඉතින්! මට වෙන නංගිලා නෑනේ."
ගේට්ටුව ළඟ වාහනයක් හෝන් (horn) කරනවා ඇහුණු හින්දා මමයි මලී අක්කයි දෙන්නම ඒ පැත්ත බැලුවේ කුතුහලයෙන්. අම්මයි කාන්ති මැඩමුයි වෙන්න බෑ කියලා මගේ හිත කිව්වා. සිකියුරිටි (security) අංකල් එළියට ගිහින් බැලුවත් ගේට්ටුව ඇරියේ නැහැ. ඒ කියන්නේ දන්න කෙනෙක් නෙමෙයි. මගේ හිත චුට්ටක් ගැහෙන්න ගත්තේ ඒ නිසා. ආපහු පොඩි ගේට්ටුව වහපු සිකියුරිටි අංකල් අපි ඉන්න පැත්තට ආවේ අඩියට දෙකට.
"කවුද අංකල්?"
මලී අක්කාත් ටිකක් කලබල වෙලා කියලා මට තේරුණේ එයාගේ කටහඬේ තිබුණු තැතිගැන්මෙන්.
"මම අඳුනන්නේ නෑ මිස්. නම කිව්වේ අමිත කියලා. මන්දාකිණී මිස් බඳින්න ඉන්න කෙනා කියලා කියන්නේ. මෙච්චර කාලෙකට එහෙම කෙනෙක් ආවේ නැති නිසා මට සැක හිතුණා."
"මල මඟුලයි මන්දාකිණි! මූ නම් ගලේ ගහලවත් මරන්න බෑ. අපි දැන් මතක් කළා විතරයිනේ. අපි දැන් මොකද කරන්නේ? නැන්දත් නෑනේ."
"ගෙදර කවුරුත් නෑ කියලා මම ආපහු යවන්නද මලීෂා මිස්?"
"එහෙම කරමුද බන්?"
"එපා අක්කේ. ගෙදරට ආපු කෙනෙක්ව එහෙම යවන්න බෑනේ. අනික අනිවාර්යයෙන්ම ඕක අමිත අයියා අපේ අම්මගේ කණේ තියනවා. එතකොට මට විසුමක් වෙන්නේ නෑ."
"ඕකා හැබැයි මෙතන මොන ජල්ලියක් නටයිද දන්නේ නෑ."
"බලමුකෝ අක්කේ. ඇතුළට එන්න දෙන්න අංකල්. මම බඳින්න ඉන්න කෙනා තමයි."
"හොඳයි මිස්."
සිකියුරිටි අංකල් මම දිහා බැලුවේ පුදුම වෙලා. හේමා නැන්දා වගේම අංකලුත් හිතන් ඉන්නේ මමයි නපුරයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ මිනිස්සුන්ට මේ වෙන දේවල් හිතාගන්න බැරුව ඇති.
සිකියුරිටි අංකල් ගිහින් ගේට්ටුව ඇරියේ අකමැත්තෙන් වගේ. අමිත අයියා ගේට්ටුවෙන් ඇතුළට කාර් එක දැම්මත් කාර් එකෙන් බැස්සේ ටිකක් වෙලා ගිහින්.
"ඕකා දැන් උඹට බනින්න ගනියි. ඔන්න උඹ අසනීප වෙන්න එහෙම එපා."
"අනේ නෑ අක්කේ. එයා මට බනින්නේ අදක ඊයෙක ඉඳලයැ. ඕක ඉතින් ශොක් (shock) වෙන්න අලුත් දෙයක් නෙමෙයිනේ."
අමිත අයියා ගේ ඇතුළට ආවේ පුංචි පාර්සල් එකකුත් අරගෙන. කාලෙකින් දැක්ක හින්දාද මන්දා අමිත අයියා සුදු වෙලා කියලා මට හිතුණා.
"එන්න අමිත අයියේ ගෙට. වාඩි වෙන්න."
"මන්දාකිණී... කෝ නැන්දා නැද්ද...?"
"නෑ අයියේ, අම්මා නම් නෑ."
"හ්ම්..."
අමිත අයියා පුටුවෙන් ඉඳගත්තේ වටපිටාව දිහා හොඳට බලන ගමන්.
"මෙහෙට ආවමනේ තේරුණේ ඔයාලා අපේ ගෙවල් දාලා එන්න හේතුව."
"ඒ කිව්වේ අයියේ?"
"මේ ගෙවල් දොරවල් නිකන් සිටු මැදුරු වගේනේ. ඉතින් අපේ දුප්පත් ගේ ඔයාලට මදි වුණා නේද...?"
"අනේ එහෙම දෙයක් නෑ අයියේ. මේක මේ චැනල් (channel) එකෙන් දීපු ගෙයක්. නඩුව ඉවර වෙනකන් විතරයි අපි මෙහෙ ඉන්නේ. අනික මට තාම හොඳ නෑනේ. හදිසියේ අමාරුවක් වුණොත් මෙහෙ ඉඳලා හොස්පිට්ල් එකට ළඟයි."
"හ්ම්... දැන් මලීෂාත් මෙහෙද ඉන්නේ?"
"ඔව්, මමත් මෙහෙ නතර වුණා අයියේ. මන්දාකිණිගේ තනියටත් එක්ක."
"ඒක තමයි. මම දැක්කේ නෑ හුඟ කාලෙකින්. මේ ළඟදි අයියව නම් හම්බවුණා. වෙඩින් එක ළඟයි කියලා කිව්වා."
"ඔව් අයියේ, මේ අවුරුද්දේ අන්තිම. මන්දාකිණී, ඔයාලා කතා කරන්න. මම බොන්න මොකක් හරි හදාගෙන එන්නම්."
මලී අක්කා එහෙම කියලා ගෙට ගියා. එයාට කොහොමත් අමිත අයියව පෙන්වන්න බෑ. අමිත අයියව ගෙට ගත්ත එකටත් එයා ඉන්නේ තරහින්.
"ඉතින් මන්දාකිණි... දැන් කොහොමද ඔයාට?"
"ඒ තරම් හොඳක් නෑ අයියේ. ඩොක්ටර්ස්ලා (doctors) කියන විදිහට හොඳටම හොඳ වෙන්න නම් තව අවුරුද්දක්වත් යයි."
"මම තමුසෙට කිව්වනේ ඔය මඟුල් රස්සාවට යනකොට! අරකි තමයි තමුසෙගේ ඔළුවට ඔය විසබීජේ දැම්මේ. දැන් පේනවනේ විඳවන තරම. හොඳට හිටපු එකා ලෙඩෙක් වුණා. මට නම් පුදුම තරහක් තියෙන්නේ. මම ඒකයි මෙච්චර දවස් නාවෙත්."
"ඉතින් අයියා මෙච්චර දවස් එන්නේ නැතුව ඉඳලා ඇයි මේ හදිසියේම අද ආවේ?"
"මොන දේ වුණත් මම තමුසෙව බඳින්න ඉන්න කෙනා විදිහට හැමදාම තරහා වෙලා ඉන්න බෑනේ. අනික අපේ අම්මා මට බනිනවා, ගිහින් මන්දාකිණිව බලලා එන්න කියලා."
"ඉතින් අයියේ, නැන්දලා හොඳින් ඉන්නවාද...? නැන්දා මාව බලන්න නිතරම ආවා කියලා අම්මා කිව්වා."
"ම්... ඔව්. අපේ අම්මයි තාත්තයි හුඟක් අප්සෙට් (upset) එකේ හිටියේ ඔයාට වෙච්ච දේට. ආ... මේක ඔයාට. ලොකු දෙයක් නම් නෙමෙයි, පුංචි තෑග්ගක්."
මෙච්චර වෙලා අතේ තියාගෙන හිටපු පාර්සල් එක අමිත අයියා මගේ අතට දුන්නේ එහෙම කියලා.
"අනේ... මට මොකටද අයියේ තෑගි. මෙච්චර කාලයක් ගිහින් හරි මාව බලන්න ආපු එකම ඇති."
"තාම හින්ට් (hint) ගහන පුරුද්ද අඩු වෙලා නෑ නේද...? පිස්සු කියවන්නේ නැතුව මේක ගන්නවා."
මම හිනා වුණා මිසක් අමිත අයියාට මුකුත්ම කියන්න ගියේ නෑ. එයා මට දීපු පුංචි පාර්සල් එක මම අකමැත්තෙන් වුණත් ගත්තේ 'එපා' කියලා මූණටම කියන්න බැරි කමට.
"ඕක බලන්න හොඳයිද කියලා. මම ඕක ගත්තේ ඒ දවස්වලමයි. ඒත් ඉතින් දෙන්න හම්බවුණේ නෑ. තමුසේ ගුටි කාලා මැරෙන්න වැටුණනේ."
අමිත අයියා දීපු පුංචි පාර්සල් එක මම දිග හැරියේ පුදුමෙන්. මෙච්චර කාලෙකට මට තෑග්ගක් දීලා නැති මෙයාට මොනවා වෙලාද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒක ඇතුළේ තිබුණේ පුංචි කරාබු දෙකක්. ඒක දැක්කම නම් මම කලබල වුණා, ඒ වගේ දෙයක් මට බාරගන්න බැරි හින්දා.
"ඇයි හොඳ නැද්ද...?"
"අ...යියේ, ඔයාට පිස්සුද? මේ... මේක මට බාරගන්න බෑ."
"ඇයි ඒ... ලස්සන නැද්ද...?"
"අනේ එහෙම දෙයක් නෙමෙයි. ඇත්තටම ලස්සනයි. ඒත් මෙච්චර වටින දෙයක් මට එපා."
"විකාර කියවන්නේ නැතුව ඕක ගන්නවා. තමුසෙට මොනවා වුණත් ඔය ලොකුකම නම් අඩු වෙන්නේ නෑ. මම ආසම නෑ ඔය ලොකුකමට. ඒක නෙමෙයි, මේකෙන් වුණේ වෙඩින් එක කල් ගිය එක. දැන් ඉතින් ආපහු ඒ ගැන හිතුවොත් හොඳයි නේද? මට ගෙදරින් කණක් ඇහිලා ඉන්න නෑ."
අමිත අයියා දීපු කරාබු දෙක මම ආපහු තිබුණු විදිහටම පැක් (pack) කළේ අමිත අයියා කියපු දේවල් ඇහුණේ නෑ වගේ.
"මම කිව්ව එක ඇහුණේ නැද්ද? නැත්නම් ඇහුණේ නෑ වගේ ඉන්නවාද...?"
"මට දැන්ම නම් කසාද බඳින්න බැරි වෙයි අයියේ."
"ඒ මොකද...?"
"එකක් මට තාම හරියටම හොඳ වෙලා නෑ. හැමවෙලේම කවුරුහරි මගේ පස්සෙන් ඉන්න ඕනා. අනික නඩුව ඉවරත් නෑ. මගේ ජීවිතේ තාමත් තියෙන්නේ අනතුරේ. ඒකයි චැනල් එකෙන් මාව මේ ගෙදර නතර කරන් ඉන්නේත්. තාමත් මාව මරන්න පුළුවන් කමක් ලැබුණොත් උන් මරනවා. උන්ට ඕනේ නඩුව දිනන්න, මම ඒකට බාධාවක්."
"මඟුල! බලනවාකෝ ඉතින්, තමුසේ කරගත්ත දෙයක්. මට ඕවට තමයි ඉතින් තමුසේ එක්ක යකා නඟින්නේ."
අමිත අයියා කොච්චර කෑ ගැහුවත් මම මුකුත් කියන්න ගියේ නෑ. කොහොම වුණත් මොන දේ වෙලා හරි මේ මඟුල් ගෙදර කල් යනවා නම් හොඳයි කියලා මගේ හිත කිව්වා.
"දැන් ඔය නඩුවෙන් තමුසෙට වන්දියක්වත් හම්බවෙයිද...? නැත්නම් ඉතින් නඩු කියන එකේ තේරුමක් නෑනේ."
"ඔව්, මම හිතන්නේ."
"ම්... එහෙනම් කමක් නෑ. එහෙනම් නඩුව ඉවර වෙනකන් ඉන්න බැරියැ. ඒ සල්ලි වලින් වෙඩින් එක හරි ගන්න පුළුවන්නේ."
අමිත අයියාගේ ඒ කතාවට නම් මට හිනා යන්න ආවා. මට විතරක් නෙමෙයි, අමිත අයියාට තේ එකකුත් අරගෙන ගේ ඇතුළේ ඉඳලා එළියට ආව මලී අක්කාටත් ඒ කතාව පැහැදිලිව ඇහුණා කියලා මට තේරුණා. මලී අක්කාත් හිනාව පාලනය කරගන්න උත්සාහ කරනවා මම දැක්කා. දැන් ටිකකට කලින් මට කරාබු දෙකක් තෑගි දුන්න ආදරවන්තයා සල්ලි ඉස්සරහා දෙකට නැමුණු හැටි දැක්කම මට ලොකු කලකිරීමක් ඇති වුණා. ෂුවර් එකට මේ කරාබු දෙක ගන්න ඇත්තෙත් නැන්දා.
"ඒක තමයි අමිත අයියේ. මාත් මන්දාකිණිට කිව්වේ දැන්ම බඳින්න කලබල වෙන්න එපා කියලා. කොහෙද විශාකා නැන්දට ඕක කිව්වට තේරෙන්නේ නෑ. මම හිතන්නේ මන්දාකිණිට කෝටි තුන හතරක වන්දියක් ගන්න පුළුවන් වෙයි."
මලී අක්කා අමිත අයියාට කිව්වේ තේ එක අල්ලන ගමන්. අමිත අයියාගේ ඇස් දෙක උඩ ගිහින් කට ඇරුණේ බලාගෙන ඉද්දි. මලී අක්කා හදන්නේ අමිත අයියාව විහිළුවට ගන්න කියලා මම ඉවෙන් වගේ දැනගෙන හිටියා.
"මොකක්!"
"ඔව් අමිත අයියේ. මට ලෝයර් කිව්වේ එහෙම තමයි. අනික චැනල් එකෙන් ඔක්කොම වියදම් දරනවනේ. අපිට තියෙන්නේ නඩුවට පෙනී ඉන්න විතරයි."
"ම්... එහෙනම් මන්දාකිණි අපි වෙඩින් එකේ වැඩේ පස්සට දාමු. ඔක්කොටම කලින් නඩුව ඉවර කරගෙන ඉමු."
"ඒක තමයි! කොහෙද මේ විශාකා නැන්දා කියන දේ අහන්නේ නෑනේ."
"මම නැන්දා එක්ක කතා කරන්නම්කෝ."
"ඔව්, අයියාට පුළුවන් වෙයි තේරුම් කරන්න. හැබැයි අයියේ, වන්දියේ කතාව කියන්න එපා නැන්දට. එතකොට නැන්දා ඔයා ගැන වැරදියට හිතයි."
"නෑ නෑ මලීෂා... මම කියන්නම් මන්දාකිණිට හොඳ වෙනකන් ඉමු කියලා."
"අන්න හොඳයි! එහෙම කියන්න."
මලී අක්කා මේ හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මගේ වෙඩින් එක කල්දාන්න කියලා මට හොඳටම තේරුණා. ඒත් අමිත අයියා සල්ලි වලට කොච්චර ලෝභද කියනවා නම් ඒ කිසිම දෙයක් එයාට තේරුණේ නෑ. එයාට ඕන වුණේ වන්දිය ගන්න විතරයි. කසාද බැන්දට පස්සේ මම ජීවත් වෙන්න ඕනේ මෙහෙම මනුස්සයෙක් එක්කද කියලා හිතනකොට මගේ ඔළුව හොඳටම අවුල් වෙන්න ගත්තා.
"අපේ ගෙවල් පැත්තේ තත්ත්වේ කොහොමද අයියේ?"
"මම අද උදෙත් එහේ ගියා මන්දාකිණි. හැමදේම තිබ්බා වගේම තියෙනවා. අම්මා නිතර ගිහින් අස්පස් කරලා එනවා. ඔයාලා නැතුව ඒ පැත්තම පාළුයි."
"අනේ... මටත් දුකයි ඒ ගෙදර දාලා ඇවිත් මෙහෙ ඉන්න. මම පුංචි කාලේ ඉඳලා හැදුණු තැන."
"මම ඒ හැමදේම බලාගන්නම් මන්දාකිණි. ඔයා ඉස්සෙල්ලම හොඳ වෙන්න බලන්න. අනික නඩුව ගැන හිතන්න. ඒ නඩුව දින්නොත් අපිට දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නේ."
"හ්ම්..."
මට අමිත අයියා ගැන ඇත්තටම ඇති වුණේ ලොකු කලකිරීමක්. සල්ලි ළඟ මේ මනුස්සයා කොච්චර වෙනස් වෙනවාද කියලා මම හරියටම දැන ගත්තේ ඒ වෙලාවේ. ඒ අතින් නපුරා කොච්චර හොඳයිද, ඒ ආදරේ කොච්චර අවංකද කියලා මට හිතුණා.
"නැන්දා එන්න තව පරක්කු වෙයිද...?"
"ඔව් අයියේ, හවස් වෙයි."
"එහෙනම් මම යන්නම්. යාළුවෙකුගේ ළමයෙකුට අසනීප වෙලා හොස්පිට්ල් නවත්තලා ඉන්නවා. යන ගමන් ඒ ළමයවත් බලාගෙන යන්න ඕනේ."
අමිත අයියා තේ කෝප්පේ මලී අක්කා අතට දීලා නැගිට්ටේ යන්න. ඒත් සිකියුරිටි අංකල් ගේට්ටුව අරිනවත් ඒ ගේට්ටුවෙන් ඇතුළට දාපු නපුරාගේ කළු පාට කාර් එකත් දැක්කම මාව හීතල වෙලා ගියා. යන්න හදපු අමිත අයියා නැවතිලා ඒ දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන්. දැන් මෙතන මොකක් සිද්ධ වෙයිද කියන බය හිතට දැනෙනකොට මම මලී අක්කාගේ අත තද කරලා අල්ල ගත්තා. මම වගේම මලී අක්කාත් ඉන්නේ බය වෙලා කියලා මට තේරුණේ එයාගේ අත සීතල වෙලා තියෙනවා දැනෙනකොට.
නපුරා කාර් එකේ වීදුරුව ඇරලා සිකියුරිටි අංකල්ගෙන් විස්තර ඇහුවේ අමිත අයියා ගැන කියලා මට තේරුණා. සිකියුරිටි අංකල් අපි ඉන්න පැත්ත බල බලා නපුරාට සේරම විස්තර කියනවා මම දැක්කා. ගින්දර විසිවෙන තරම් නපුරු ඇස් දෙකෙන් මම දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු නපුරා කාර් එකෙන් බැහැලා අපි ඉන්න පැත්තට ආවේ අඩියට දෙකට. ඔෆීෂියල් විදිහට ඇඳලා හිටපු නිසා මෙයා මේ එන්නේ චැනල් එකේ ඉඳලා කියලා මට හිතුණා.
"කවුද මන්දාකිණි ඒ...?"
අමිත අයියා මගෙන් ඇහුවත් මට උත්තර දෙන්න තරම් ශක්තියක් ආවේ නෑ.
"මන්දාකිණි, මම ඇහුවේ කවුද ඒ කියලා."
"අ...අ...යියේ.."
"ඒ අපේ චැනල් එකේ සභාපති අමිත අයියේ. ඒත් ඇයි දන්නේ නෑ මේ වෙලාවේ."
අමිත අයියා මගෙන් අහපු ප්‍රශ්නයට උත්තර දුන්නේ මලී අක්කා.
"ඒ යකා මොකටද මෙහෙ එන්නේ?"
අමිත අයියා එහෙම ඇහුවත් ඒකට මටවත් මලී අක්කාටවත් උත්තර තිබුණේ නෑ. නපුරා වැරැන්ඩා එකට අඩිය තියනකොට මම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටවුණේ ඉබේටම.
"මලීෂා..."
"සි..සිහින ස..ර්.."
අපි ගාවට ආපු නපුරා මම දිහා බලන්නෙවත් නැතුව මලී අක්කා එක්ක කතා කළා. යන්න ගිය අමිත අයියාත් නැවතිලා නපුරා දිහා බලාගෙන හිටියේ හිත හොඳින් නම් නෙමෙයි.
"මොකෝ මේ කට්ටිය බය වෙලා වගේ? මම ඇවිත් තියෙන්නේ වැරදි වෙලාවක වගේ."
"අනේ... එහෙම නෑ සර්."
"මලීෂා, කවුද මේ...? මම කලින් දැකලා නම් නෑ."
"ස...ස...ර්... මේ... අමිත අයියා..."
"අහ්... මට නිකමට හිතුණා. මම ඔයා ගැන අහලා තිබ්බට අදනේ දැක්කේ. මිස් රත්නායක බඳින්න ඉන්නේ ඔයාවලු නේද...?"
"ඔව් මහත්තයා."
නපුරා කතා කරපු විදිහෙන් අමිත අයියාගේ හිතේ තිබුණු නොරිස්සුම් ගතිය නැති වුණා කියලා මට තේරුණත්, ඒ නපුරු හිත ඇතුළේ තියෙන කේන්තිය මට හොඳටම දැනුණා. ඒ වචනයක් පවා මට දැනුණේ ඊතලයක් වගේ.
"හ්ම්... ඉතින් මිස් රත්නායක, අද සතුටු ඇති නේද? පහුගිය කාලේම ඔයා කියෝ කියෝ හිටියේ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ආවේ නෑ, තරහා වෙලාද කොහේද කියලා."
නපුරා වෙනසක් නොපෙන්වා කතා කරනවා කියන්නේ තත්ත්වය හුඟක් බරපතළයි කියලා ඉවෙන් වගේ මමයි මලී අක්කයි දෙන්නම තේරුම් ගත්තා. මට කියන ඇනුම්පද හැම එකකම තිබුණේ හිතාගන්න බැරි තරම් තරහක්.
"මම තරහා වෙලා නම් හිටියේ නෑ මහත්තයා. මම හිටියේ ලොකු කේන්තියකින්. මෙයා මම කියන දේ අහන්නේ නැතුව රස්සාවට ගිහිල්ලනේ මේක කර ගත්තේ. ඒකයි. ඒත් ඉතින් හැමදාම තරහා තියාගෙන ඉන්න බෑනේ මට. ඒකයි මම අද ආවේ. දැන් ඒ හැමදේම වෙලා ඉවරයිනේ."
"ම්... ඒක ඇත්ත. ඉතින් මේ යන්නද හදන්නේ?"
"ඔව් මහත්තයා. 12 වෙද්දී හොස්පිට්ල් එකේ ඉන්න ඕනේ. යාළුවෙකුගේ ළමයෙක් ඉන්නවා බලන්න. ඒකයි."
"හා එහෙනම් ගිහින් එන්න. අපිට බැරියැ ආයෙ හම්බෙලා කතා කරන්න. මම මේ ආවේ චැනල් එකේ වැඩකට මලීෂාව හම්බවෙන්න."
"අනිවාර්යයෙන්ම. අපි ආයෙ හම්බෙමු මහත්තයා. මන්දාකිණි, මම ගිහින් එන්නම්. වෙලාවට බෙහෙත් ටික බීලා පරිස්සමෙන් ඉන්න."
අමිත අයියා ඒ ටික කිව්වේ මගේ ඔළුවත් අතගාලා. කවදාවත් නැතුව එයා ඒකෙන් එයාගේ අයිතිය පෙන්වන්න හදනවා කියලා මට හිතුණා. මලී අක්කා පවා ඒ දිහා බලාගෙන හිටියේ අදහාගන්න බැරුව. කෝටි ගානක වන්දියක් නිසා තප්පරේට මනුස්සයෙක් වෙනස් වුණා කියලා වෙන වෙලාවක නම් අපිට හොඳට හිනා වෙන්න තිබුණත්, ඒ වෙලාවේ අපි හිටියේ හිනාවෙන්න පුළුවන් තත්ත්වෙක නෙමෙයි. අමිත අයියා මගේ ඔළුව අත ගාන දිහා බලාගෙන හිටපු නපුරාගේ ඇස් කේන්තියෙන් රතු වුණේ බලාගෙන ඉද්දි.
අමිත අයියා යන දිහා මම බලාගෙන හිටියේ මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව. මලී අක්කාත් හිටියේ හුඟක් අප්සෙට් එකේ. එයාටවත් මාව දැන් බේරගන්න බෑ කියලා මම දැනගෙන හිටියා. අමිත අයියා කාර් එකට නැගලා යන්න ගියත් මට නපුරා දිහා බලලා කතා කරන්න තරම් ශක්තියක් තිබුණේ නෑ.
"මිස් රත්නායක..."
"ස..ස...ර්.."
"හරි අපූරුයි නේද...?"
"සිහින සර්... අමිත අයියා..."
"නෑ මලීෂා... මට ඔයාගෙන් දැනගන්න කිසිම දෙයක් නෑ. ඔයා පොඩ්ඩක් ඇතුළට යන්න. මට මෙයත් එක්ක තනියම කතා කරන්න ඕනේ."
"සර්..."
"මලීෂා මම එක පාරක් ඔයාට කිව්වා!"
නපුරාගේ සද්දේ මුළු ගේ පුරාම දෝංකාර දෙනකොට මාව ගැස්සිලා ගියේ බයටමයි. එළියේ හිටපු සිකියුරිටි අංකල් වගේම ගේ ඇතුළේ හිටපු හේමා නැන්දත් එතැනට ආවේ බය වෙලා.
"මම යන්නම් සර්... ඒත් මෙතන සිකියුරිටි අංකලුයි, ඇතුළේ හේමා ආන්ටියි ඉන්නවා. ඒ නිසා..."
"හරි... එහෙනම් මෙහෙ එනවාකෝ. මට අද මේක විසඳගන්නම ඕනේ."
නපුරා මාව ඇදගෙන පඩිපෙළ දිගේ උඩට එක්කන් ආවා. මේ ගෙදරට ඇවිත් සති දෙක තුනක් වුණත් මම තාමත් උඩ තට්ටුවට නැගලා තිබුණේ නෑ. අම්මවත් මලී අක්කාත් මට ඒක කරන්න දුන්නේ නෑ. මලී අක්කා වගේම හේමා නැන්දාත් බය වෙලා බලාගෙන හිටියට එයාලා කාටවත් කියන්න දෙයක් තිබුණේ නෑ. නපුරාට කේන්ති ගියාම කොයි වගේද කියලා එයාලා හැමෝම දැනගෙන හිටියා.
නපුරා උඩ තට්ටුවේ තිබුණු ලොකු සෝෆා එකේ මාව වාඩි කරවූවේ බලෙන්ම වගේ. ඒ කේන්තියේ තරම හිතාගන්න මට පුළුවන් වුණේ මීට කලින් කවදාවත් නපුරා මට මේ තරම් රිද්දලා නැති නිසා.
"ස...ස...ර්... අනේ..."
"බය වෙන්න එපා මිස් රත්නායක. මම තමුන්ට කරදර කරන්න මෙතැනට එක්කන් ආවේ නෑ. පිට මිනිස්සු බලාගෙන ඉන්නකොට තමුන්ගේ තත්ත්වෙට හොඳ නැති නිසයි මෙතැනට එක්කන් ආවේ. මට ඕනේ තමුන් එක්ක කතා කරන්න විතරයි."
කෑ ගහලා නොවුණත් නපුරා කිව්වේ හුඟක් තදින්.
"ස...ස..ර්... මම වරදක් කළේ නෑ."
මට කියන්න පුළුවන් වෙච්ච පළවෙනි අවස්ථාවෙම මම කිව්වා. ඒත් ඒ කේන්තිය නිවන්න ඒ වචන මදි කියලා මම දැනගෙන හිටියා. උඩට ඇවිත් ටික වෙලාවක් යනකන් නපුරා මාත් එක්ක කතා කළේ නෑ. එයා කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරනවා ඇති කියලා මට හිතුණා. මම ඔළුව උස්සලා නපුරා දිහා බැලුවේ හුඟක් බයෙන්. මගේ ඉස්සරහා හිටගෙන ඇස්පිල්ලමක්වත් නොගසා මම දිහා බලාගෙන ඉන්න නපුරාව දැක්කම මාව හීතල වෙලා ගියා.
"ස..ස..ර්.."
"තමුන් මේ සෙල්ලම් කරන්නේ මගේ හිතත් එක්ක මිස් රත්නායක."
"අනේ ස..ර්... මම එහෙම කළේ නෑ සර්."
"එහෙනම් මොන මඟුලකටද අරූව ගේ අස්සේ දාගත්තේ?"
"මම කොහොමද සර් අමිත අයියාට එන්න එපා කියන්නේ?"
"ඇයි බැරි?"
"ඒ මම බඳින්න ඉන්න කෙනා ස..ර්..."
නපුරා මගේ අතින් තද කරලා අල්ලගෙන මගේ ළඟින්ම වාඩි වුණේ මගෙන් අහන්නෙවත් නැතුව. මගේ අත හුඟක් රිදුණත් නපුරාට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් මට තිබුණේ නෑ.
"මොකක්ද තමුසේ කිව්වේ? එතකොට මම කවුද තමුසෙගේ?"
"අ..අ..නේ සර්..."
"කියනවා ඉතින්!"
"මට දෙන්නෙක්ව කසාද බඳින්න බෑනේ සර්... කොහොමත් දැන් ඒ කසාදේ තීන්දු වෙලා ඉවරයි."
"ඒ කියන්නේ තමුසේ අමිතයාව කසාද බඳින්න කැමතියි?"
"කැමැත්තක් තිබ්බත් නැතත් කරන්න දෙයක් නෑ."
"මට කෙළින් උත්තරයක් ඕනේ. කැමතියිද නැද්ද...?"
"ස...ස...ර්"
"කියනවා ඉතින්!"
"කැමති නෑ... ඒත් බඳිනවා."
"මගේ යකා අවුස්සන්න ලෑස්ති වෙන්න එපා මන්දාකිණි. තමුසේ දන්නවා මගේ කේන්තියේ තරම."
"ස..ර්... දැන් අම්මලා එයි. ප්ලීස් අපි පහළට යමු."
"තමුසේ මාත් එක්ක කතා කරන්න තමයි බය. අරූව ගේ ඇතුළේ දාගන්න බය නෑ."
"අනේ සර්... මම කාවත් ගේ ඇතුළේ දාගත්තේ නෑ. ඒ මනුස්සයා ආවේ මාව බලන්න. මම මනුස්සකමට කතා කළා. අඩුම ගානේ ගෙටවත් ගත්තේ නෑ. අනික මලී අක්කාත් එතන හිටියා. සර් මේ හැසිරෙන්නේ මම ලොකු වරදක් කරලා වගේනේ."
මම නපුරාට කිව්වේ කේන්තියෙන් වුණත් අන්තිම ටික කියනකොට මගේ ඇස්වලට කඳුළු එන්න පටන් ගත්තා.
"තමුසේ වරදක් කළා තමයි. ඇයි ඌට තමුසෙගේ ඔළුව අත ගාන්න දුන්නේ? ඊයේ මම කිව්වා නේද තමුසේ අයිති මට විතරයි කියලා."
"අ..අනේ සර්... බැන්දත් නොබැන්දත් ඒ මගේ අයියා. අපි පුංචි කාලේ ඉඳලා හැදුණේ එකට. මෙච්චර කාලයක් මම ජීවත් වුණේ ඒ මිනිස්සුන්ගේ ගෙදර. ඉතින් ඒකේ වරදක් තියෙනවාද?"
"ඔව් වැරදියි තමයි. ආයෙ එක දවසක්වත් ඒක වෙන්න බෑ. එහෙම වුණොත් මම හැසිරෙන්නේ මෙහෙම නෙමෙයි. මම ඌ ගැනත් බලාගන්නම්."
"ස...ර්..."
"ඇයි බයයිද මස්සිනාට කරදරයක් වෙයි කියලා?"
"ඔව් බයයි තමයි. මම නිසා අහක ඉන්න මිනිස්සුන්ට කරදර වුණා හොඳටම ඇති."
මම නපුරාට කිව්වේ බුම්මගෙන.
"කට වැඩියි හොඳේ. ඔපරේෂන් එකේදී වැරදි නහරයක් කැපිලද කොහේද."
නපුරාගේ තිබුණු කේන්තිය ටිකක් අඩු වෙලා කියලා මට තේරුණේ ඒ මූණට යන්තම් හිනාවක් ඇවිත් තියෙනවා දැක්කම. ඒත් මගේ හිතේ තිබුණු කේන්තිය නම් පහවෙලා ගියේ නෑ.
"මම ඒ කසාදේ ගැන බලාගන්නම්. බය නැතුව ඉන්න. මට ඔයාව ලැබුණත් නොලැබුණත් ඔයාගේ හිතේ අකමැත්තෙන් වෙන කෙනෙක්ව කසාද බඳින්න මම ඉඩ තියන්නේ නෑ."
නපුරා ඒ ටික කිව්වේ මෙච්චර වෙලා තදින් අල්ලගෙන හිටපු මගේ අත අතහැරලා. ඒ වචන ගාව නම් මගේ හිතේ තිබුණු කේන්තියත් ටික ටික දිය වෙලා යනවා කියලා මට තේරුණා. මම නපුරා ළඟින් නැගිටලා ජනේලේ ළඟට ගියේ, නපුරා මට බනිනවාට වඩා හොඳින් කතා කරනකොට එයා ළඟ ඉන්න මට අපහසුවක් දැනුණු නිසා.
"සොරි....මම හුඟක් කලබල වුණා. තරහද...?"
නපුරාත් මගේ පිටිපස්සෙන්ම ජනේලෙ ගාවට ඇවිත් කියලා මට තේරුණේ එතකොට. මම නෑ කියන්න ඔළුව වැනුවත් නපුරා දිහා හැරිලවත් බැලුවේ නෑ.
"මම කැමති නෑ වෙන කිසිම පිරිමියෙක් ඔයාව අල්ලනවාට. ඔයා අමිතයා ඔළුව අතගානකොට ඒකට ඉඩ දීපු එකට නම් මගේ හිතේ ලොකු කේන්තියක් තියෙනවා මන්දාකිණි. ඒක මතක් වෙද්දී මාව වෙව්ලනවා."
"අ..නේ සර්... මට අමිත අයියා කවදටත් සහෝදරයෙක් වගේ. ඒ ගැන වැරදියට හිතන්න එපා."
"ඒත් ඌට ඔයා සහෝදරියක් වගේ නෙමෙයිනේ."
"හ්ම්.. හරි ආයෙ එහෙම කරන්නේ නෑ... සොරි."
"සොරි කිව්වට ඔයාට සමාව දෙන්නේ නෑ මම."
නපුරා එහෙම කියන ගමන් ජනේලෙ පැත්ත හැරිලා හිටපු මාව එයාගේ පැත්තට හරවා ගත්තා. ඒකෙන් මට ලොකු අපහසුවක් දැනුණත් මම නපුරාට විරුද්ධ වුණේ නෑ.
"එහෙනම් සමාව ගන්න මම මොකක්ද කරන්න ඕනේ?"
මම නපුරාගේ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවේ හිනාවෙන ගමන්. නපුරා මම දිහා බලාගෙන හිටියේ පුදුමෙන් වගේ.
"අනේ... ඇයි සර් මුකුත් කියන්නේ නැත්තේ?"
එහෙම අහලත් නපුරා මුකුත්ම කිව්වේ නැති නිසා මම බිම බලාගත්තත්, නපුරා මාව එයාගේ පපුවට තුරුළු කර ගත්තේ මටවත් හිතාගන්න බැරි විදිහට. මම ඒ තුරුළෙන් ගැලවෙන්න හුඟක් උත්සාහ කළත්, මම එහෙම කරන්න කරන්න ඒ ග්‍රහණය හුඟක් වැඩි වුණා. නපුරාගේ දඟකාර දෙතොල් මගේ මූණ පුරාම දඟ කළේ මගෙන් කිසිම අවසරයක් නැතුව. මගේ දෙතොල් ඒ දෙතොල් අස්සේ හිරවෙනකොට මටත් නොදැනිම මගේ ඇස් පියවෙනවා මට දැනුණා. කොච්චර නපුරාගෙන් ඈත් වෙන්න හැදුවත් මමත් ඒ උණුහුම හොයනවා කියලා මට තේරුණේ මමත් නපුරාට තුරුළු වෙනකොට.
ජීවිතේ පළවෙනි වතාවට මම පිරිමියෙක්ගේ උණුහුමේ තුරුළු වුණේ ඒ වෙලාවේ. අඩුම ගානේ මගේ තාත්තාගේ උණුහුමවත් මට දැනිලා තිබුණේ නෑ. නපුරා ළඟ මට ලොකු ආරක්ෂාවක් දැනෙන්න ගත්තා. පළවෙනි වතාවට මගේ නොයිදුල් දෙතොල් සිප ගත්ත නපුරා මම දිහා බලාගෙන හිටියේ හුඟක් ආදරෙන්. ඒ ආදරේ මගේ පපුවට බර වැඩි වෙයි කියලා මට හුඟක් බය හිතුණා.
නපුරා මාව අතහැරියේ ටිකක් වෙලා ගියාට පස්සේ. මට නපුරාගේ මූණ දිහා කෙළින් බලන්න බැරි තරම් ලැජ්ජාවක් දැනුණා. ලොකු වරදක් කළා කියලා හැඟීමක් දැනෙනකොට මට මම ගැනම ඇතිවුණේ ලොකු කලකිරීමක්. ඒත් ඒ වෙලාවේ මගේ හිත මට පාලනය නැති වුණා.
"මන්දාකිණි..."
"ස...ර්.."
"මට මාව පාලනය කරගන්න බැරි වුණා ළමයෝ. ඔයා හැම වෙලේම මාව පිස්සු වට්ටනවා. මටම හිතාගන්න බෑ ඔයා ඉස්සරහා මට මොනවා වෙනවාද කියලා. ඔයා හුඟක් රතු වෙලා. ඒක දකිනකොට ආයෙත් මට මාව කන්ට්‍රෝල් කරගන්න බෑ වගේ. ආයෙත් ඉඹින්න හිතෙනවා. මම ඔයාට හුඟක් ආදරෙයි මන්දාකිණි. ඇත්තමයි. මම ලෝභයි වගේම බයයි ඔයාව මට නැති වෙයි කියලා."
"අ..අනේ... සර්. ඒත් මේ වෙච්ච දේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. එහෙම නොවෙන්නයි තිබුණේ."
වචන ගළපගන්න පුළුවන් වුණු පළවෙනි වතාවෙම මම නපුරාට කිව්වා.
"ඇයි එහෙම කියන්නේ? මම වරදක් කළාද?"
"මම සර්ට එහෙම දේකට අවසර දීලා නැහැ. අනික කවදාවත් අපිට අපි ගැලපෙන්නෙත් නෑ."
"ඔයාගේ අවසරේ කවදා හරි මට ලැබෙනවා කියලා තේරුණා ඔයා හා පැටියෙක් වගේ මට තුරුළු වුණු වෙලාවේ. කොච්චර මාව තල්ලු කළත් ඔයාට ඕන වුණේ නෑ මගෙන් ඈත් වෙන්න."
"අ..අනේ... මම එහෙම කළේ නෑ."
"මම කිව්වේ මට දැනුණු දේ. ඔයාගේ හදවතින්ම අහලා බලන්නකෝ. හැබැයි ආයෙ අර වගේ මාව කේන්ති ගස්සන වැඩක් කළොත් මම ආයෙත් මේකම කරනවා. ඒ නිසා පරිස්සම් වෙන එක හොඳයි."
"ස...සර්.."
"මම ඔයාට කිව්වනේ... ඔයාගේ කැමැත්ත මම අහන්නේ නෑ කියලා. ඔයා මගේ. එච්චරයි. මොකද මම දන්නවා මන්දාකිණි මට හුඟක් ආදරෙයි කියලා. ඒක ඔයාගේ ඇස් නිතරම මට කියනවා."
"මම එහෙම කිව්වේ නෑනේ."
"දවසක ඔයා කියයි."
"ඒත් ස..ර්.."
"ශ්... දැන් ඇති. මුකුත් කියන්න එපා. මම ආවේ ඔයාටයි අම්මටයි පණිවිඩයක් කියලා යන්න. ඒක ෆෝන් එකෙන් කියන්න පුළුවන් වුණත් මට ඔයාව දකින්න ඕන වුණා. ඒත් මෙහෙට ආවම දැක්ක දෙයින් මට යකා නැග්ගා. ඒ වගේම මම අද දැනගත්තා මට කේන්ති ගියාම ඔයාව කිස් කරපු ගමන් මගේ කේන්තිය නිවෙනවා කියලා. ඒකත් හොඳ බේතක් නේද? කොහොම හරි අද මම ආපු එකෙන් මට ලොකු චාන්ස් එකක් හම්බවුණා."
"ස..සර් මොනවා කියවනවාද මන්දා..."
"හරි හරි... දැන් අහන්නකෝ මම ආපු හේතුව."
"මොකක්ද...?"
"මම ආවේ ඔයාටයි අම්මටයි හෙට චැනල් එකට එන්න කියන්න. හෙට තමයි පළවෙනි වතාවට ඔයාගේ තත්ත්වේ අපි මාධ්‍යට එළි කරන්නේ. ඒක නඩුවට හුඟක් වැදගත්. හෙට පත්තර වලිනුයි අනෙක් චැනල් වලිනුයි එනවා ඔයාගේ මාධ්‍ය සාකච්ඡාවට."
"අනේ ස..ර්.."
"බය වෙන්න එපා මන්දාකිණි. මම ඉන්නවනේ. ඔයාට තියෙන්නේ කිසිම දේකට බය නොවී අහන දේට උත්තර දෙන්න විතරයි."
"ඒත්..."
"අනිත් ටික මම බලාගන්නම්."
"හ්ම්..."
"මම හෙට ඔයාවයි අම්මවයි ගන්න එවන්නම් කාර් එකක්. කොහොමත් ඔයාලගේ ආරක්ෂාවට කට්ටියක් දාන්න වෙනවා මට. ඒ ටික ඕගනයිස් කරලා මම ඔයාට කෝල් එකක් දෙන්නම්."
"අපිට එන්න චැනල් එකේ වාහනේ එවන්න සර්. ආරක්ෂාවක් ඕනේ නෑ."
"මේ පණ්ඩිතයා නොවී ඉන්නවාද? ඒක මට ඕන විදිහට කරන්නම්."
"මන්දාකිණි!"
පඩිපෙළ දිගේ හතිදාගෙන දුවගෙන ආව මලී අක්කා කතා කළෙත් හුඟක් බය වෙලා.
"සොරි සර් ඩිස්ටර්බ් කළාට. කාන්ති මැඩනුයි විශා නැන්දයි එනවා. ඔයාලව මෙහෙම දැක්කොත් හොඳ නෑ නේද?"
******
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."
Next Episode

Comments
Post a Comment