සිහින මන්දාකිණී 2/10
හුඟක් කාලෙකෙට පස්සේ Dream TV එක දැක්කම මගේ හිතට දැනුණේ පුදුමාකාර සතුටක්. ඒ ගැන වචනයකින් කියන්න මට තේරුණේ නැහැ. හුඟ කාලයක් මට අහිමි වෙලා තිබුණු දෙයක් ආපහු මට ලැබුණා වගේ හැඟීමක් මට දැනුණා. මගේ ජීවිතේ මම සතුටින්ම හිටපු කාලේ ගෙවුණේ මෙතැන. නපුරාගේ කාර් එකෙන් බැහැපු මට චැනල් එක වටේම දුවන්න හිතුණේ තටු ලිහලා දාපු කිරිල්ලියකට වගේ.
ඊයේ කිව්වා වගේම අපිව චැනල් එකට එක්කන් යන්න අද උදේම නපුරා එයාගේ කාර් එක ඩ්‍රයිවර් (Driver) එක්ක එවලා තිබුණා. නපුරා කවදාවත් එයාගේ කාර් එක සමෙත් සර්ට ඇරුණම වෙන කෙනෙකුට දෙන්නේ නැති නිසා, ඒ කාර් එකේ අපි ඉඳියි කියලා කවුරුත් හිතන්නේ නැහැ කියලා තමයි නපුරා කිව්වේ. මේ වෙලාවේ කිසිම කෙනෙක් නපුරාට හානියක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා නපුරාට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා එයාගේ කාර් එක කවුරුත් ෆලෝ (Follow) කරන එකක් නැහැ කියලා තමයි එයා කිව්වේ.
චැනල් එක ඉස්සරහා තිබුණු ඇහැළ ගස්වල පිරෙන්න මල් පිපිලා; හුඟක් ලස්සනයි. මම එතැනට ගියේ හුඟක් ආසාවෙන්. අම්මත් මගේ පිටිපස්සෙන් එතැනට ආවා. මම බිමට නැමිලා තිබුණු ඇහැළ පොකුරක් කඩා ගත්තේ පුංචි කාලේ ඉඳලම ඇහැළ මල්වලට හුඟාක් කැමති නිසා.
"අපරාදේ මැණික්... ලස්සනට පිපිලා තියෙන මල් කඩන්න එපා ළමයෝ. ගහටත් නැහැ, ඔයාටත් නැහැ."
"ආසාවටනේ කැඩුවේ අම්මා. ආ... මෙන්න මේක අපේ වසම වස අම්මට!"
මම අම්මට ඇහැළ මල් පොකුර දුන්නා. මගේ කන මිරිකලා අම්මා ඒක ගත්තේ මට හුඟක් ආදරෙන් කියලා මට හිතුණා.
"මන්දාකිණි මැඩම්, ඇතුළට ගියොත් හොඳයි නේද? මෙතැන මෙහෙම ඉන්න එක එච්චර හොඳ නැහැ. සිහින සර් මට කිව්වේ ගිය ගමන් ඔයාලාව ඇතුළට එක්ක යන්න කියලා."
ඩ්‍රයිවර් අංකල් අපි හිටපු තැනට ඇවිත් කිව්වේ වටපිට හොඳට බලන ගමන්. එතකොටම වගේ වේගයෙන් ආපු CBR බයික් එකක්, ආපු වේගයෙන්ම චැනල් එකට හරවනකොට මගේ පපුව ටිකක් ගැහෙන්න ගත්තා. ඩ්‍රයිවර් මාව කවර් (Cover) කළේ එයත් ඒකට බය වුණු නිසා. හැමෝම හිතුවේ ඒ කෙනා ආවේ මට කරදරයක් කරන්න කියලා. ඒත් ආපු කෙනා නපුරා වාහන නවත්වන තැන බයික් එක නතර කරනකොට, අපි හැමෝගෙම හිතට ආවේ බයට වඩා ලොකු කුතුහලයක්.
මේ කවුද කියන ප්‍රශ්නය මට වගේම එතැන හිටපු හැමෝටම තිබුණා. "මම මෙතැන හිටපු නැති කාලේ වැඩට ගත්ත කෙනෙක් වෙන්න ඇති" කියලා මගේ හිත කිව්වත්, ඇයි ඒ කෙනා නපුරාගේ වාහන නවත්වන තැනම බයික් එක නතර කළේ කියලා හිතනකොට මගේ කුතුහලය තව තවත් වැඩි වුණා. ෆුල් ෆේස් (Full-face) හෙල්මට් එක දාලා, කළු පාට ජැකට් එක ඇඳලා, සන්ග්ලාස් (Sunglasses) දෙකක් දාලා හිටපු කෙනාව අඳුනගන්නනම් පුළුවන්කමක් කාටවත්ම තිබුණේ නැහැ.
බයික් එක පාර්ක් කරලා හෙල්මට් එක ගලවපු කෙනාව දැක්කම මට අදහාගන්න බැරි වුණා. ඒ ඉන්නේ නපුරා කියලා නම් මට චුට්ටක්වත් හිතිලා තිබුණේ නැහැ. මේ තරම් ලස්සනක් මම කවදාවත් දැකලා තිබුණේ නැහැ. අපිට කාර් එක එව්වා කියන එක කාටවත් සැක හිතෙන්නේ නැති වෙන්න වෙන්න ඇති මේ විදිහට එන්න ඇත්තේ.
මීට කලින් චැනල් එකේ කවුරුත්ම නපුරව මේ විදිහට දැකලා නැතුව ඇති. වැඩිපුරම අඳින්නේ පොකට් ට්‍රවුසර් වුණාට, කවදාවත් චැනල් එකට එනකොට මෙහෙම ඇඳලා ඇවිත් හිටියේ නැහැ. ටී-ෂර්ට් එක ඇඳලා, සන්ග්ලාස් එක දාලා, ෆුල් ෆේස් හෙල්මට් එක අතේ අරන් ඈත එන නපුරා දැක්කම මට හීල්ලුණා. ඒ අකීකරු කොණ්ඩයට හෙයා ජෙල් (Hair gel) ටිකක්වත් ගාලා තිබුණේ නැහැ. හුළඟට ඒ කොණ්ඩයේ අකීකරුකම තව තවත් වැඩි වුණා.
නපුරා ආවේ අපි ඉන්න තැනට. මං දිහා බලලා යන්තමට හිනා වුණාට, ඒ හිනාව ඇතුළේ පුංචි නොරිස්සුමක් තියෙනවා කියලා මට හිතුණා. නපුරා කෙළින්ම ගියේ අම්මා ළඟට.
"ආන්ටි, ඔයාලා දැන්ද ආවේ?"
"ඔව් පුතා... මේ දැන්."
"රවී, මම කිව්වේ චැනල් එකට ගිය ගමන්ම ආන්ටිලාව ඇතුළට එක්කන් යන්න කියලා නේද? මෙහෙම එළියේ ඉන්නකොට මම කරපු දේවල් වලින් ඇති වැඩක් නැහැනේ. කවුරුහරි ආවොත් මෙතැනම වෙඩි තියලා දාලා යයි."
"අනේ නැහැ සිහින බේබි. මම මේ මන්දාකිණි නෝනට කිව්වා විතරයි ඇතුළට යමු කියලා. නෝනා මේ ඇහැළ ගස් ටික දැක්කා විතරයි මෙතැනට දුවගෙන ආවනේ."
නපුරා මගේ දිහා බැලුවේ රවලා. වරදක් කරපු පුංචි එකෙක් වගේ මම බිම බලාගත්තේ නපුරාගේ ඇස් මඟහරින ගමන්.
"යමු ආන්ටි ඇතුළට. මෙතැන ඉන්න එක එච්චර හොඳ නැහැ. මම වැඩේ ඔක්කොම රෙඩි (Ready) කරලා තියෙන්නේ. ආන්ටිලා චේන්ජ් (Change) එකක් දාගත්තම ආටිකල් එකට ෆොටෝ ටික ගන්න පුළුවන්."
"හොඳයි පුතේ."
මගේ දිහා එක පාරක්වත් හැරිලා බලන්නේ නැතුව නපුරා අපිට ඉස්සර වුණා. මම අම්මාගේ අතින් අල්ලගෙන නපුරා පිටිපස්සෙන්ම චැනල් එක ඇතුළට ආවා.
"Welcome Mandakini!" මම චැනල් එක ඇතුළට යනකොට දැක්ක දෙයින් මට හුඟක් සතුටු හිතුණා. චැනල් එකේ කට්ටිය මාව පිළිගන්න පුංචි පාටියක් ලෑස්ති කරලා, චැනල් එක ලස්සනට සරසලා තිබුණා. හැම තැනම වගේ මම වැඩ කරනකොට ගත්ත පින්තූර එල්ලලා තිබුණා.
"ප්‍රසිද්ධ නිවේදිකා මන්දාකිණි රත්නායක චැනල් එකට සාදරයෙන්, ආදරයෙන් පිළිගන්නවා!"
කාවින් අයියා පුරුදු විදිහටම කෑගහලා කියනකොට අනික් හැමෝම හයියෙන් අත්පුඩි ගහන්න ගත්තා. මගේ ඇස්වලට කඳුළු ආවේ ඉබේටම. ඒ තරම් ආදරයක් මම එයාලගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මගේ විතරක් නෙවෙයි, අම්මාගේ ඇස් අගත් කඳුළු එකතු වෙලා තියෙනවා මම දැක්කා. "අනේ මට ආයෙමත් වැඩට එන්න තියෙනවා නම්..." ඒ බලාපොරොත්තුවෙන්ම මම නපුරා දිහා බැලුවේ එයා ඒකට අවසර දෙයි කියලා හිතලා. ඒත් නපුරා හිනා වුණා මිසක් එක වචනයක්වත් කිව්වේ නැහැ.
රෝද පුටුවේ ඉඳගෙන වුණත් තරිඳු අයියා වැඩ පටන් අරගෙන තිබුණා. මට තමයි බැරි. තරිඳු අයියට අවසර තියෙනවා. රෙස්ට් රූම් (Rest room) එක පැත්තේ ඉඳලා දුවගෙන ආපු මලී අක්කා මාව වැළඳ ගත්තේ හුඟක් ආදරෙන්. එයාගේ පිටිපස්සෙන් නිමේෂ් අයියා ආවේ පුංචි ලස්සන කේක් එකකුත් අරගෙන.
"මන්දාකිණි ආපහු චැනල් එකට ආපු සතුට සමරන්න අපි පුංචි පාටි (Party) එකක් ඕගනයිස් (Organize) කළා සිහින සර්."
"ඒකට කමක් නැහැ නිමේෂ්. ඒක ඔයාලගේ සතුටනේ."
"අම්මෝ චූටි... උඹ මෙතැනට ආවත් මෙතැන පිරිලා වගේ බං. ඔයා නැති අඩුව මකන්න මෙතැන කාටවත්ම බැරි වුණා."
"හරි... හරි... අපි ඉස්සෙල්ලාම මේ කේක් එක කපලා ඉමු චූටි."
රිබන් එකක් බැඳපු පුංචි පිහියක් දික් කරලා නිමේෂ් අයියා මට කිව්වා. කේක් එක කපලා මම මුලින්ම කේක් කෑල්ල කැව්වේ අම්මට, ඊට පස්සේ නපුරාට. ඒ වෙලාවෙත් ඒ ඇස් දෙකෙන් බේරෙන්න මට පුළුවන් වුණේ නැහැ. අනිත් හැමෝටම කේක් කැව්වාට පස්සේ එතැන තිබුණු පුංචි සංග්‍රහය අපි හැමෝම භුක්ති වින්දා.
"ඒක නෙවෙයි මන්දාකිණි, ආයෙ කවදද වැඩට එන්නේ?"
තුෂාර අයියා එහෙම අහපුවාම මාව ගැස්සිලා ගියා. මට නපුරා දිහා බැලුණේ ඉබේටම. ඒත් ඒ මූණේ පුංචි අනුකම්පාවක්වත් තිබුණේ නැහැ. මාව ආපහු කවදාවත් වැඩට ගන්න අදහසක් එයාගේ හිතේ නැහැ කියලා ඒ මූණෙන් මට තේරුණා.
"අනේ ඔව් තුෂාර. මන්දාකිණි වගේ ටැලන්ට් (Talent) තියෙන කෙනෙක් මේ චැනල් එකෙන් අයින් වෙන එක අපිට ලොකු පාඩුවක්."
"ඒක තමයි ෆාති, මමත් කියන්නේ."
"හරි... හරි... මන්දාකිණි වැඩට එන නොඑන එක තීරණය කරන්න කලින් එයාට හොඳ වෙලා ඉන්න ඕනේ. ඒ ඔක්කොටම කලින් අද වැඩේ ඉවර කරගන්න ඕනේ. ඔයාලගේ සංග්‍රහය ඉවර වෙලා මන්දාකිණිටයි ආන්ටිටයි චේන්ජ් එකක් දාගන්න උදව් කරන්න. වැඩේ රෙඩි වුණාට පස්සේ මට දැනුම් දෙන්න නිමේෂ්."
"හරි සිහින සර්."
නපුරා ඒ ටික කියලා එයාගේ රූම් (Room) එක පැත්තට යන්න ගියා. "මහාම මහා උඩඟු නරියෙක්!"
"සෙව්වන්දි, ඔයා ආන්ටිට චේන්ජ් එකක් දාගන්න උදව් කරන්න. මම මන්දාකිණි එක්ක පොඩ්ඩක් රෙස්ට් රූම් එක පැත්තට යනවා. අද කරන ආටිකල් (Article) එක ගැන මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ."
"හරි මලීෂා."
මලී අක්කා මාවත් එක්කගෙන රෙස්ට් රූම් එක පැත්තට ආවේ අද පත්තරවලින් කරන ආටිකල් එකේදී මම කතාබහ කරන්න ඕන විදිහ මට කියලා දෙන්න.
"ඒක නෙමෙයි බං, මොකද අද උඹේ නපුරා වෙනස් වෙලා? චැනල් එකේ හිටපු කාලෙටම මම ඔහොම මුහුණුවරකින් දැක්කමයි."
මලී අක්කා මගෙන් එහෙම අහනකොට මට සතුටක් දැනුණත්, මම බොරු තරහක් මවා ගත්තේ ඒ සතුට මලී අක්කට නොපෙනෙන්න.
"ඔයාට පිස්සුද අක්කේ? එයා මගේ නපුරා වෙන්නේ කොහොමද?"
"අනේ... මොකුත් නොදන්න තොත්ත බබා වගේ හැසිරෙන්න එපා මන්දාකිණි. මම දැක්කනේ ඊයේ අමිතයා දැක්කම සිහින සර් හැසිරුණු විදිහ. ගහ දන්න මිනිහට කොළ කඩා පාන්න එපා උඹ!"
මම මලී අක්කාට විරුද්ධව මොකුත්ම කියන්න ගියේ නැහැ. එයාගේ කට අවුස්සගන්නවාට වඩා මම කට වහගන්න එක හොඳයි කියලා මම දන්නේ අත්දැකීමෙන්.
පත්තරවලින් අහන ප්‍රශ්නවලට මම උත්තර දෙන්න ඕන විදිහ හැමදේම මලී අක්කා මට කියලා දුන්නා. එයා ඒ හැමදේම ප්ලෑන් (Plan) කරලා තිබුණේ කලින් ලෝයර් (Lawyer) එක්ක කතා කරලා. එහෙම කරන්න කියලා තිබුණේ සිහින සර්. මම කියන හැම වචනයකටම ලොකු වගකීමක් තියෙන නිසා කිසිම දෙයක් වරද්දා ගන්න එපා කියලා තමයි එයා මට කිව්වේ.
Change room එකට ගිහින් චේන්ජ් එකක් දාගෙන මම මලී අක්කාත් එක්කම ආවේ ආටිකල් එක කරන අය ඉන්න තැනට යන්න. ඒත් නපුරාගේ ඔෆිස් (Office) එක ගාව හිටපු සමෙත් සර් මලී අක්කව පොඩ්ඩකට නවත්වා ගත්තා.
"මන්දාකිණි, ආටිකල් එක තියෙන්නේ සිහින සර්ගේ රූම් එකේමයි. එතැන කට්ටියම ඉන්නවා. ඔයාට යන්න පුළුවන් නේද? මට පොඩ්ඩකට මලී එක්ක කතා කරන්න ඕනේ. ඊළඟට තියෙන ප්‍රෝග්‍රෑම් (Programme) එකේ පොඩි ප්‍රශ්නයක්."
"හා සමෙත් සර්."
කට්ටියම ඉන්නවා කියපු නිසා නපුරාගේ රූම් එකට යන්න මම බය වුණේ නැහැ. අම්මත් එතැන ඇති කියලා මගේ හිත කිව්වා. මම නපුරාගේ රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ආවේ ඒකයි. ඒත් එතැන කිසිම කෙනෙක් පේන්න හිටියේ නැහැ. මම වටපිට බැලුවේ හුඟක් පුදුමෙන්. අඩුම ගානේ සිහින සර්වත් රූම් එකේ හිටියේ නැහැ. සමෙත් සර් මට මොකටද බොරු කිව්වේ කියලා මට හිතාගන්න බැරි වුණා. මම හැරුණේ ආපහු යන්න. ඒත් එතකොටම දොර ඇරගෙන ඇතුළට ආපු නපුරාව දැක්කම, ඊයේ වෙච්ච දේ මතක් වෙලා මාව ගැහෙන්න පටන් ගත්තා.
"සි...සිහින සර්..."
"මන්දාකිණි... ඔයා මොකද මගේ ඔෆිස් එකේ කරන්නේ?"
"අ... අනේ සර්... සමෙත් සර් මට කිව්වා ආටිකල් එක කරන්නේ සර්ගේ ඔෆිස් එකේ කියලා. මලී අක්කවත් හදිස්සි වැඩකට කියලා එක්කගෙන ගියා. අනිත් අයත් ඉන්නවා කිව්ව නිසා තමයි මම ආවේ."
මම ගොත ගහ ගහ නපුරාට කිව්වේ, හිතට දැනිච්ච ලැජ්ජාවෙන් බේරෙන්නමයි.
"සමෙත් එහෙනම් ඔයාටත් මට වගේම ලණුවක් දීලා."
"ඒ... කිව්වේ සර්?"
"ඇවිත් වාඩි වෙන්නකෝ... මම කියන්නම්."
"එපා සර්... මම යන්නම්. මලී අක්කලා බලාගෙන ඇති මම එනකම්. අම්මත් මාව හොයනවා ඇති."
මම හැදුවේ නපුරාගෙන් බේරිලා යන්න. ඒත් නපුරා මගේ අතින් තද කරලා අල්ලගෙන මාව එයාගේ ටේබල් (Table) එක ගාවට එක්කගෙන ආවා.
"ඇයි ඔයා මාව දකින හැම වෙලාවෙම දුවන්න හදන්නේ? ඔයාට විතරක් නෙමෙයි සමෙත් මටත් ලණුවක් දීලා තමයි මාව රූම් එකට එව්වේ."
"ඒ කිව්වේ සර්?"
"සමෙත් මට කිව්වා මාව හම්බවෙන්න අම්මි ඇවිත් කියලා. මම ඒකයි මේ දුවගෙන ආවේ."
"අනේ මන්දා... මේ සමෙත් සර් නම් හරිම නරකයි. මොනවා කරනවාද කියලා තේරෙන්නේ නැහැ."
"සමෙත් නරකයි කියලා මම ඉස්සර ඉඳලම දන්නවා. ඒත් මම ඌට මෙච්චරම කැමති, ඌ මගේ හොඳම යාළුවා වෙලා ඉන්න හේතුව ඔයා දන්නවාද?"
"නැහැ සර්."
"සමෙත් මටත් කලින් මට ඕනේ මොනවාද කියලා හොඳට තේරුම් ගන්නවා. ඌ මාව හොඳට අඳුනනවා. මට දැන් ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඌට දැනෙන්න ඇති."
"අ...අනේ සර්... මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මම යන්නම් අම්මත් මාව හොයනවා ඇති."
"බය වෙන්න එපා. ඔයාව සමෙත් මෙතැනට එවන්න ඇත්තේ හැමදේම බැලන්ස් (Balance) කරලා. ඌ එහෙම බාගෙට වැඩ කරන එකෙක් නෙමෙයි. ඌ ආන්ටිව 'ශේප්' කරගනියි. ඒක පැත්තකින් තියන්න. ඉස්සෙල්ලාම කියනවා බලන්න, කෝ ෆෝන් එක කියලා?"
"මො... මොකක්ද?"
"මම අහන්නේ කෝ ෆෝන් එක?"
"ඒක බෑග් එකේ."
"ගන්නවාකෝ බලන්න බෑග් එකෙන් ෆෝන් එක."
මම හෑන්ඩ් බෑග් එකේ තිබුණු ෆෝන් එක අරන් නපුරාගේ අතට දුන්නා.
"ඕක මට දීලා හරියන්නේ නැහැ. අරගෙන බලනවා මැසේජ් (Messages) කීයක් තියෙනවාද කියලා."
මම ෆෝන් එකේ ස්ක්‍රීන් (Screen) එක දිහා බැලුවේ එතකොටයි. "නිව් මැසේජ් 18යි" කියලා ෆෝන් එකේ වැටිලා තිබුණා.
"දෙයියනේ..."
"හ්ම්... දැන් තේරෙනවාද වැරැද්දක් කළා කියලා? මම උදේ ඉඳලා මැසේජ් එවන්නේ. එකකටවත් රිප්ලයි (Reply) නැහැ. ඔයාට මාව දැනෙන්නේ නැද්ද මන්දාකිණි?"
"අ...අනේ සර්..."
"මට දුකයි, කේන්තියි දෙකම. ආපු ගමන් මම සමෙත්ට කෑගැහුවා. ඌට තේරෙන්න ඇති මම ඉන්නේ තරහා ගිහින් කියලා. ඒකයි මෙහෙම කරන්න ඇත්තේ. ඇයි රිප්ලයි කළේ නැත්තේ?"
"අම්මා ළඟ හිටපු නිසා මම ෆෝන් එක සයිලන්ස් (Silence) කළා සර්."
"එහෙම කරන්න එපා ආයේ. මම හුඟක් කලබල වෙනවා. මට එතකොට එක එක දේවල් හිතෙනවා. ඔයාට අසනීප වෙලාද, කවුරුහරි ඔයාට කරදරයක් කරලාද කියලා මට බය හිතෙනවා."
"අ...අනේ සර්..."
"ඔයා දන්නවාද ඔයාගෙන් මැසේජ් එකක්වත් නැති නිසා මම කලබලේට බයික් එකේ ආවා නෙමෙයි, ඉගිල්ලුණා. මට මගේ ජීවිතේ ගැනවත් හිතුණේ නැහැ ඒ වෙලාවේ."
"අනේ... ඇයි එහෙම කළේ?"
"ඔයාට තේරෙන්නේ නැද්ද, මම ඔයාට තියෙන ආදරේ නිසා කියලා?"
"ඒත්..."
"මොකුත් කියන්න එපා. හිත රිදෙන දෙයක් කිව්වොත් මම ආපහු යනකොටත් හයියෙන් යනවා බයික් එකේ. හැප්පිලා මැරුණත් කමක් නැහැ."
නපුරාගේ කතාව ඇහුවාම මාව හීතල වෙලා ගියා. නපුරාට කරදරයක් වෙයි කියන බය මගේ හිතට හුඟාක් වද දුන්නා. නපුරා කොහොමත් කේන්ති ගියාම කිසිම ඉවසීමක් නැති කෙනෙක් කියලා මම දන්නවා. නපුරා ඇත්තටම ආපහු එහෙම කරයි කියන බය නිසා මම නපුරාගේ හිත රිද්දන්න වචනයක්වත් කිව්වේ නැහැ.
"මන්දාකිණි..."
"ස...සර්..."
"ඔයාව දකින හැම වෙලේම, ඔයාව මතක් වෙන හැම වෙලේම මගේ පපුව ගැහෙනවා. මේ බලන්නකෝ..."
නපුරා මගේ අත අරගෙන එයාගේ පපුව උඩින් තිබ්බේ බලෙන්ම වගේ. නපුරාගේ පපුව ගැහෙන තරම මගේ අතට හොඳටම දැනුණා. ඒ තරම් ආදරයක් ඒ පපුව ඇතුළේ තියෙනවා කියලා දැනෙනකොට මගේ හිතට දැනුණේ ලොකු බරක්. මම මගේ අත නපුරාගේ පපුවෙන් අහකට ගත්තේ ඒකයි.
"ඇයි මන්දාකිණි?"
"මම හරි බයයි සර්."
"බය වෙන්න එපා ළමයෝ. මම ඔයාව කවදාවත් අතහරින්නේ නැහැ. මට ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා ඔයාට හිතෙනවාද? ඔයාව දකින්නේ නැතුව හුස්ම ගන්නවත් මට බැහැ. මට ඔයාව නොලැබුණොත් මම පිස්සෙක් වෙයි. මම ඒ තරමට ඔයාට බැඳිලා. වෙන කෙනෙකුගේ හුස්මක්වත් ඔයාට වදින්න දෙන්නේ නැහැ මම. ඔයා අයිති මටම විතරයි. මගෙන් අයින් වෙලා යන්න හිතන්නවත් එපා."
නපුරා මාව එයාගේ උණුහුමට තුරුළු කරගත්තේ එහෙම කියන ගමන්. ඒ ආදරේ ළඟ මට නපුරාගෙන් ඈත් වෙන්න හිතුණේ නැහැ. ඒ පපුව ගැහෙන සද්දය මට ඇහෙනකොට මම නපුරාගේ උණුහුමේ ඇස් දෙක පියා ගත්තේ හුඟක් ආසාවෙන්. ඒ හැඟීම මට කවදාවත් දැනිලා තිබුණේ නැහැ. මම ලොකු වරදක් කරනවා කියලා මගේ බුද්ධිය මට අනතුරු ඇඟෙව්වත්, මගේ හදවත ටිකෙන් ටික නපුරාගේ ආදරේට අවනත වෙන්න පටන් ගත්තා.
*********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Comments
Post a Comment