15 වන දිගහැරුම
මේසය මත විසිරී ඇති පැරණි ලේඛන සහ රස පරීක්ෂක වාර්තාවේ රූප සටහන් දෙස දෑස් දල්වාගෙන, මහා කල්පනාවක ගිලී සිටින මේඝට මාධව කිසිදු බාධාවක් කළේ නැත. ඔහු නිහඬවම මේඝගේ තියුණු මනසට සහ තීරණවලට ඉඩ දෙමින් බලා සිටියේය. මුළු සාලයම මළගමක වැනි මහා නිශ්ශබ්දතාවයකින් වෙළී තිබුණි.
මේඝගේ මනස මේ වෙලාවේ ක්‍රියා කරන්නේ කෙතරම් බරපතළ සහ තීරණාත්මක රිද්මයකටදැයි මාධව වටහාගෙන සිටියේය. ප්‍රශ්න අසා ඔහුගේ කල්පනාව බිඳින්නට හෝ අනවශ්‍ය ලෙස කලබල කරන්නට මාධව උත්සාහ කළේ නැත. ඔහු සාලයේ කෙළවරකට වී, මේඝට තනිවම ඒ ප්‍රහේලිකාවේ නොවිසඳුණු නූල් පටවල් එකිනෙක ගලපා ගැනීමට උපරිම නිදහස ලබා දුන්නේය.
මුළු මන්දිරය පුරාම ඇසුණේ මේඝ තමන් අත තිබූ පෑනෙන් මේසයට තට්ටු කරන ඒකාකාරී හඬ පමණි. එය ඔහුගේ පැරණි, අත්හැරිය නොහැකි පුරුද්දකි. මනස අතිශය ගැඹුරු කල්පනාවක, විසඳුම් නැති ප්‍රහේලිකාවක අතරමං වූ සෑම අවස්ථාවකම මේඝට නොදැනීම ඔහුගේ අත මෙලෙස ක්‍රියාත්මක වන බව මාධව හොඳින්ම දැන සිටියේය.
ටක්... ටක්... ටක්...
ඒ හඬ ඇසෙද්දී මාධව තේරුම් ගත්තේ මේඝගේ මනස දැන් සාමාන්‍ය තලයක නොවන බවයි. ඔහු මේ වාර්තා, වර්ෂයන් සහ සාක්ෂි අතර ඇති නොපෙනෙන රහස් නූල්පට සොයා මනුෂ්‍ය බුද්ධියට ළඟා විය නොහැකි තරම් ඈතකට ගොස් ඇති බව මාධවට වැටහුණි. 1993 දී සිදු වූ ඒ සාහසික අපරාධයත්, 2023 දී මහන ලද කළු ලෝගුවත් අතර ඇති හිස්තැන පිරවීමට මේඝගේ තීක්ෂණ බුද්ධිය වෙහෙසෙමින් තිබුණි. මාධව කිසිදු ශබ්දයක් නොකර, හුස්ම ගන්නා හඬ පවා පාලනය කරගනිමින් බලා සිටියේය.
ටක්... ටක්... ස්ලිප්... ටක්...
එකවරම ඒ ඒකාකාරී ශබ්දය බිඳී ගියේය. මේඝගේ අතේ තිබූ පෑන මේසයේ එක්තරා ස්ථානයක තිබූ ඉතා කුඩා සිදුරක් තුළට වැදී, එහි තදින් හිර විය. එය භාවිතයේදීම හෝ කාලයත් සමඟ ලී මේසයේ ඇති වූ සිදුරක් විය හැකිය. සිදුරෙන් පෑන මුදා ගැනීමට මේඝ උත්සාහ කළේය. ඔහු පෑන දෙපසට පද්දමින්, මඳක් තද කරමින් එය එළියට ගැනීමට තැත් කළද, පෑන සිදුර තුළ හොඳින්ම හිර වී තිබුණි. මේඝගේ මුහුණේ ඇඳුණේ දැඩි නොසන්සුන්, කෝපාවිෂ්ඨ පෙනුමකි.
සාලයේ කෙළවරක සිට මේ දෙස බලා සිටි මාධවගේ මුවඟට යන්තම් සිහින් සිනහවක් නැඟුණි. රස පරීක්ෂක වාර්තා මැද අතරමං වී, මේ අභිරහස් ප්‍රහේලිකාව විසඳා ගැනීමට නොහැකිව මේඝගේ හිතේ උපන් ඒ මහා පීඩනය දැන් පෑන පිටින් යන්නට පටන් ගෙන ඇතැයි මාධව සිතුවේය. තදින් හිර වී ඇති පෑන දෙස බලාගෙන, දත්කුඩ විඳිමින් එය ගලවා ගැනීමට වෙහෙසෙන මේඝගේ ඒ ආවේගශීලී ඉරියව්ව දෙස මාධව බලා සිටියේ, මේ මහා භීතිකා කලාපය මැද තත්පර කිහිපයකට හෝ හිතට දැනුණු සැහැල්ලුවකිනි.
නමුත් මේඝ තවමත් උත්සාහය අත්හැරියේ නැත. ඔහු පෑන කෙමෙන් තදින් අල්ලා ගත්තේය.
ඩග්...!!
පෑන මුදාගැනීමට නොහැකි වූ තැන, උපන් කෝපයත් සමඟම මේඝ තමාගේ අනෙක් අත මිටිමොළවා මේසයේ ඒ ස්ථානයට තදින්ම පහරක් ගැසුවේය. වසර ගණනාවක් තිස්සේ මන්දිරයේ තෙතමනයටත්, පාළුවටත් අසුවී දිරාපත් වෙමින් තිබූ ඒ ලී මේසයේ මතුපිට, මේඝගේ බරැති පහර හමුවේ එකවරම කරස් හඬින් බිඳී පහළට කඩා වැටුණි. ලී පියස්ස ඇතුළට බැස යද්දී මහා දූවිලි රොදක් අවට විසිරී ගියේය.
මාධව ගැස්සී ඉදිරියට ආවේ මේඝට අනතුරක් වුණාදැයි බැලීමටය. නමුත්, බිඳී ගිය ලී කුහරය දෙස බලා සිටි මේඝ සිටියේ ගල් ගැසීගෙනය. ඔහුගේ දෑස් අදහාගත නොහැකි පුදුමයකින් විශාල වී තිබුණි.
"මේඝ... මොකද වුණේ?" මාධව ළඟට විත් කුහරය දෙස බැලුවේය. එහි තිබූ දේ දැක මාධවගේ වචනද උගුරේ සිරවිය.
ලී කුහරය ඇතුළත, මේසයේ සැඟවුණු සාමාන්‍ය රහස් ලාච්චුවක් තිබුණේ නැත. ඒ වෙනුවට එහි දිස් වූයේ ඉතාමත් සවිමත්, මලකඩ කා ඇති බරැති යකඩ කොක්කක් වැනි යාන්ත්රණයකි. වඩාත්ම අසාමාන්‍ය සහ මවිතයට කරුණ වූයේ, ඒ යකඩ කොක්ක කෙළවර කුඩා යතුරු සිදුරක් පැහැදිලිව දක්නට ලැබීමයි. එය හරියටම කුමක් හෝ රහස් දොරක් තද කර අගුළු ලා ඇති මහා පරිමාණයේ 'ලොක්' එකක් වැනිය.
"මේක... මේක සාමාන්‍ය මේසයක් නෙවෙයි මාධව," මේඝ වෙව්ලන ඇඟිලිවලින් ඒ මලකඩ කෑ යකඩය ස්පර්ශ කරමින් මිමිණුවේය. "මේසයක් ඇතුළේ මෙච්චර ශක්තිමත් ලොක් එකක් තියෙන්න විදිහක් නැහැ. මේක මේසෙට විතරක් සම්බන්ධ වුණු එකක් නෙවෙයි..."
මේඝ නැමී, බිඳුණු ලී කුහරය අස්සෙන් මේසයේ පතුල දෙස බැලුවේය. මේසයේ ඒ යකඩ කඳ මේස කකුලක් දිගේ විහිදී තිබුණේ පොළොව දෙසටය. ඔවුන් මෙතෙක් කල් සාමාන්‍ය ලී මේසයක් යැයි සිතා ලේඛන පරීක්ෂා කළ ඒ වස්තුව, ඇත්තටම මන්දිරයේ පොළොව යට සැඟවුණු තවත් මහා දොරටුවක, නැතහොත් රහස් යාන්ත්‍රණයක ප්‍රධාන පාලක අගුල බව ඔවුන්ට වැටහෙන්නට වැඩි වේලාවක් ගියේ නැත.
"මාධව... අල්ලන්න මේ පැත්තෙන්. අපි මේ මේසය අයින් කරලා බලමු."
මේඝ වටපිට බලා මේසයේ එක් කෙළවරක් දැඩිව ග්‍රහණය කරගත්තේය. මාධවද වහාම අනෙක් පසින් මේසය බදාගෙන, තමන්ගේ මුළු ශක්තියම යොදවා එය පැත්තකට ඇද දැමීමට උත්සාහ කළේය.
"එකයි... දෙකයි... තුනයි... අදින්න!"
නමුත්, කිසිදු චලනයක් සිදු වූයේ නැත. මහා බරැති ශෛලමය පර්වතයක් සෙලවීමට තැත් කළාක් මෙන්, ඒ ලී මේසය මිලිමීටරයක්වත් සොලවන්නට ඔවුන්ට හැකි වූයේ නැත. දිරාපත් වූ ලී මතුපිටක් තිබුණද, මේසයේ සම්පූර්ණ සැකිල්ල සහ එහි බර රඳා පැවතියේ ඒ අද්භූත යකඩ කඳ මත බව ඔවුන්ට වැටහුණි.
ඔවුන් දෙදෙනාම හතිලමින් මේසයෙන් අත් හැරියහ. මාධව දණහිස් මත දෑත් තබාගෙන, බිඳුණු ලී කුහරය දෙස බැලුවේය.
"මේක... මේක හොල්ලන්නවත් බෑ මේඝ," මාධව බියෙන් සහ මවිතයෙන් වෙව්ලන හඬින් කීවේය. "මේ ලී කකුල් නිකන් බොරුවට පොළොව උඩ ගෑවිලා විතරයි තියෙන්නේ. මේ මුළු මේසයම... අර යකඩ යාන්ත්‍රණයත් එක්කම මේ මන්දිරයේ ගල් පොළොව ඇතුළටම සවි කරලා තියෙන්නේ!"
මන්දිරය නිර්මාණය කළ මුල් කාලයේදීම, පොළොව යට ඇති කුමන හෝ රහස් කුටියක් හෝ උමඟක් වසා දමා, එහි ප්‍රධාන අගුල සාමාන්‍ය මිනිසුන්ගේ දෑස්වලින් වසන් කිරීම සඳහා මේසයක හැඩයෙන් මෙය නිර්මාණය කර ඇති බව ඔවුන්ට වැටහිණි. දැන් ඔවුන් ඉදිරියේ ඇත්තේ පොළොවට බද්ධ වූ ඒ මහා අගුල සහ එහි ඇති රහස් යතුරු සිදුර පමණි.
නමුත්... ඒ යතුර ඇත්තේ කවුරුන් ළඟද?
"දැන් අපිට තියෙන ලොකුම අභියෝගය මේ යතුර හොයාගන්න එක," මේඝ මන්දිරයේ බිත්ති දෙස දෑස් යවමින් කීවේය. "මාධව... මට හිතෙන්නේ මේ යතුර තියෙන්නේ මේ මන්දිරය ඇතුළේම, හැමදාම අපේ ඇස් ඉස්සරහ ගැවසුණු, ඒත් අපි කවදාවත් සැක නොකරපු එක සරල වස්තුවක් ඇතුළේ. අපි මුලින්ම බලන්න ඕනේ මේ සාලේ බිත්තිවල තියෙන පැරණි දේවල් දිහා."
ඒ සිතිවිල්ලත් සමඟම ඔවුන් දෙදෙනා වියරුවෙන් මෙන් සාලය පුරා විසිරී ඇති බඩු බාහිරාදිය පෙරළන්නට පටන් ගත්හ. මේඝ බිත්තිවල එල්ලා තිබූ ශතවර්ෂ ගණනාවක් පැරණි, දූවිල්ලෙන් වැසුණු සිතුවම් එකින් එක ඇද ගලවා බිමට දැමුවේය. රාමු පිටුපස බිත්තියේ කුහරයක් හෝ රහස් ලාච්චුවක් ඇත්දැයි ඔහු ඇඟිලි තුඩුවලින් තට්ටු කරමින් සෙවීය. මාධව පොත් රාක්කවල තිබූ ඝනකම්, වේයෝ කා දැමූ පැරණි ලේඛන සහ පොත් පිටු අතර තිබූ දූවිලි ඇවිස්සුවේය.
"මෙතන නෑ....!" මාධව හතිලමින් බිම තිබූ පරණ පෙට්ටි ඇද දැමුවේය.
"ඌ මේ ගැන දන්නෙ නැහැ..." මේඝ ඉතා සෙමින්, බිඳුණු හඬින් මිමිණුවේය.
මාධව අත තිබූ පැරණි පොත් මිටිය බිමට අතහැර මේඝ දෙස බැලුවේය. "මොකක්ද ඔයා ඒ කිව්වේ මේඝ? ඌ දන්නෙ නැහැ කියන්නේ?"
"කළු ලෝගුකාරයා... මූ මේ මන්දිරේ ඇතුළේ මෙහෙම මේසයක්, මේ වගේ ලොක් එකක් තියෙනවා කියලා දන්නෙම නැහැ!" මේඝ තමාගේම හිස අත්දෙකෙන් බදාගත්තේය. "ඌ අවුරුදු තිස් ගාණක් තිස්සේ පිස්සුවෙන් වගේ මේ මන්දිරයට රිංග රිංගා, අර උමං පාරවල් අස්සේ දඟල දඟල හොයන්නේ මොකක් හරි වටිනා දෙයක්. ඒත්... ඒ හැමදේම පාලනය වෙන ප්‍රධාන තැන තියෙන්නේ මේ මේසය ඇතුළේ කියලා ඌ දන්නේ නැහැ. ඌටත් මඟහැරුණු තැන, අද අපේ ඉස්සරහ දිගහැරිලා තියෙනවා මාධව!"
වෙලාව සවස තුන පසුවී තිබුණද, නුවරඑළියේ අහස මෝසම් වැහි වලාකුළුවලින් බරවී අඳුරු අන්ධකාරයකින් මුළු වටපිටාවම වසාගෙන තිබුණි. "සීතල මන්දිරය" ඇතුළත වූයේ දැඩි නිශ්ශබ්දතාවයකි. පසුගිය පැය කිහිපය පුරාම මන්දිරයේ හැම තැනක්ම පීරමින් සෙවූ මුත්, අර අතුරුදන් වූ යතුර හමු වූයේ නැත.
"මට හිතෙන්නේ ඒ යතුර පියදාස ළඟ තියෙන්න ඕනේ," මාධව සාලයේ තිබූ පැරණි කැඩුණු සෝෆාව මත හිඳගනිමින්, තමාගේ ලැප්ටොප් පරිගණකය උකුල මත තබා ගත්තේය.
මේඝ කිසිවක් නොකියා සාලයේ කෙළවරක තිබූ විශාල ජනේලය අසලට වී ඝන මීදුම දෙස බලාගෙන කල්පනාවකට වැටුණේය. එසැනින් මාධවගේ ලැප්ටොප් පරිගණකයෙන් කෙටි ශබ්දයක් නිකුත් විය.
"මේඝ! මේල් එක ආවා. අර මං කිව්වේ මූලස්ථානයෙන් ඩොක්ටර් සුජීව ගැන තොරතුරු වගයක් එවනවා කිව්වා කියලා," මාධව උද්යෝගයෙන් පැවසීය.
මාධව සීඝ්රයෙන් විද්‍යුත් ලිපිය විවෘත කර, එහි අඩංගගු රහස්‍ය වාර්තා කියවන්නට විය. "විස්තර පුදුමාකාරයි මේඝ... වෛද්‍ය සභාවේ සහ පොලිස් වාර්තාවලට අනුව වෛද්‍ය සුජීව මියගොස් තියෙන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් සිද්ධ වුණු දරුණු රිය අනතුරකින්. ඔහුගේ කාර් එක නුවරඑළිය පාරේ බෑවුමකින් ප්‍රපාතයකට පෙරළිලා සම්පූර්ණයෙන්ම ගිනි අරන්. නමුත් මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, ඒ අනතුර සිද්ධ වුණු තැන තිබිලා හමු වුණු මළසිරුර වෛද්‍ය සුජීවගේමයි කියලා හඳුනාගන්න පුළුවන් කිසිම ජීව විද්‍යාත්මක හෝ විද්‍යාත්මක සාක්ෂියක් ලැබිලා නෑ. සිරුර හඳුනාගන්න බැරි තරමටම පිලිස්සිලා. හැබැයි ඒක ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑ!"
මාධව කතාව නතර කර, විද්‍යුත් ලිපිය සමඟ අමුණා තිබූ පැරණි කළු-සුදු ඡායාරූපයක් පරිගණක තිරය මත විශාල කළේය. එය වෛද්‍ය සුජීවගේ තාරුණ්‍යයේ ඡායාරූපයකි. ඡායාරූපය දෙස බැලූ මාධව මොහොතකට ගල් ගැසී ගියේය. ඔහු පරිගණක තිරය දෙසත්, ජනේලය අසල සිටින මේඝ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය."මේ ඇස් මං මීට කලින් කොහේදී හරි දැකලා තියෙනවා... ඒත් කොහේද?"ඔහු හෙමින් මිමිණුවේය.
"මේඝ..." මාධවගේ හඬේ පුදුමයක් ගැබ්ව තිබුණි. "මේ ඩොක්ටර් සුජීවගේ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නකොට... මට මාර හුරුපුරුදු ගතියක් දැනෙනවානේ. මට හිතෙනවා මේ මනුස්සයව මට කොහෙදිහරි හම්බෙලා තියෙනවා කියලා. මට මූව හොඳටම මීටර්!"
තවමත් නිහඬවම ජනේලයෙන් පිටත බලා සිටි මේඝ පැමිණ ලැප්ටොප් පරිගණකයට එබුණේ කුතුහලයෙනි. "උඹට හොඳටම විශ්වාසද?"
"ඔව් බං. මට මූව කොහෙදිහරි හම්බෙලා තියෙනවා."
"එහෙනම් හොඳට මතක් කරපන්. උඹේ මීටරේට වරදින්න විදිහක් නෑ. උඹට හරියටම ඒ කොහෙදිද කවුද කියලා මතක් වුණොත් අපිට මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්."
මාධව පරිගණකය පසෙකින් තබා සෝෆාවෙන් නැඟිට්ටේය. ඔහු ලොකු කල්පනාවකට වැටුණත් මතකය අවදිකර ගැනීම පහසු නොවීය. "ඒක නෙවෙයි මේඝ... අර වයසක මුරකරු පියදාස... ඌ දැන් මේ පැත්තේ එන්නේ නෑ නේද? උඹ මෙතෙන්ට එද්දි විතරයි ඌ හිටියේ. ඌ ගැන කිසිම රෙකෝඩ් එකක් පොලිසියේ නෑ. මගේ රහස් පරීක්ෂක ඉව කියන්නේ මේ හැම දේකටම පියදාස සම්බන්ධයි කියලා. දැනට මගේ ලිස්ට් එකේ ඉන්න ප්‍රධානම සැකකරුවෙක් ඌ!"
මාධව දැඩි විශ්වාසයකින් යුතුව පියදාසව සැක කරන බව පවසද්දී, මේඝ සෙමින් මාධව දෙසට හැරුණේය. ඔහු කිසිවක් පැවසුවේ නැත. ඔහු කළේ මාධවගේ මුහුණ දෙස බලා, තොල් කොනකින් මතු වූ අද්භූත, සියුම් සිනහවක් පෑම පමණි. එම සිනහව පිටුපස මාධවට කියවාගත නොහැකි වූ මහා බරක් සැඟව තිබුණි.
සාලය පුරා පැතිර තිබූ මූසල නිශ්ශබ්දතාවය බිඳ දැමුවේ ජනේල වීදුරු සෙලවෙමින් හමා ආ මහා සැඩ සුළඟකි. ඒ සමඟම මුළු සාලයේම තිබූ ස්ඵුටික පහන් එකවරම සෙලවී ගියේය. මන්දිරයේ සාලය මැද පිහිටි පැරණි පෙන්ඩුලම් ඔරලෝසුව කිසිදු හේතුවක් නොමැතිව මහා හඬින් නාද වන්නට විය.
"මේඝ... මොකක්ද ඒ වුණේ?" මාධව කලබලයෙන් තම ඉනේ තිබූ සේවා පිස්තෝලය අතට ගත්තේය.
නමුත් මේඝගෙන් පිළිතුරක් නොවීය.
හදිසියේම, "ම්... මේඝ! අයින් වෙයන් එතනින්!" මාධව කෑගැසුවේය.
නමුත් ප්‍රමාද වැඩිය. මේඝට සෙලවීමට පවා නොහැකි විය. අදෘශ්‍යමාන ශක්තිමත් දම්වැල් කෑලිවලින් වෙලා ඇතිවාක් මෙන් ඔහු බන්ධනයක් මැද සිර විය. ඔහුගේ ශරීරයේ නහර මතු වෙමින්, දැඩි වේදනාවකින් ඔහු දඟලන්නට වූයේය.
"නවත්තපන්!" මාධව කෑගසමින් කළු ලෝගුකාරයා දෙසට තුවක්කුව එල්ල කර පිට පිට වෙඩි තැබීය.
ඩෝං! ඩෝං!
වෙඩි උණ්ඩ කළු ලෝගුකාරයාගේ සිරුර දෙසට ඇදී ගියද, ඔහු වටා තිබූ අද්භූත ශක්ති පලිහක වැදී ඒවා බිමට ඇද වැටුණේය. තුවක්කු උණ්ඩවලින් ඔහුට කිසිදු හානියක් කළ නොහැකි විය. කළු ලෝගුකාරයා මහා මූසල හඬින් සිනාසෙමින් මේඝ දෙසට පියවර තැබීය. ඔහු බන්ධනය ඇතුළේ සිරවී සිටි මේඝගේ බෙල්ලෙන් තනි අතින් අල්ලා ඉහළට එසවීය. මේඝගේ හුස්ම හිරවෙමින් තිබුණි.
කළු ලෝගුකාරයා තමාගේ අනෙක් අතින් මේඝගේ පපුවට දරුණු පහරක් එල්ල කළේය. ඒ පහරේ වේගයට මේඝ සාලයේ අනෙක් කෙළවර තිබූ ලී කබඩයක් මතට විසිවී වැටුණේ ලේ වමනය කරමිනි.
"අදින් පස්සේ මේ මන්දිරයේ රහස් හොයන්න කවුරුත් ඉතුරු වෙන්නේ නෑ. උඹට වෙන්නෙත් කලින් උන්ට වෙච්ච දේම තමයි!" කළු ලෝගුකාරයා ගොරෝසු හඬින් පවසමින්, වැටී සිටි මේඝව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නැවතත් තම අද්භූත බලය ඒකරාශී කරන්නට විය. මාධවට කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකිව අසරණ විය.
"නතර කරපන් කාලකන්නියා!"
සැඳෑ අන්ධකාරය දෙබෑ කරමින් මහා ගර්ජනාවක් ඇසුණි. මන්දිරයේ ප්‍රධාන දොර එකවරම විවෘත වුවද එයින් කිසිවෙකු පැමිණියේ නැත. ඒ වෙනුවට තද මීදුමක් හා අමුතු ශබ්දයක් පමණක් පිටවෙනු මාධවට පෙනුණි. එසැනින් නිකුත් වූ සුදු පැහැති ආලෝක ධාරාවක් කෙළින්ම ගොස් කළු ලෝගුකාරයාගේ පපුවට වැදුණි. මහා ශක්තිවන්තයෙකු වූ කළු ලෝගුකාරයා පවා ඒ ප්‍රහාරයෙන් පස්සට විසිවී ගියේය.
"උඹ...?" කළු ලෝගුකාරයා වේදනාවෙන් කෑගැසුවේය.
"තොට ඉස්සර කරපු සෙල්ලම් කරන්න මං ඉඩ දෙන්නේ නෑ!" මීදුම මැදින් ඇසුණු ඒ හඬත් සමඟ නැවතත් ප්‍රහාරයක් එල්ල වීමට සැරසෙද්දීම, තමාට වඩා ප්‍රබල සතුරෙකු පැමිණ ඇති බව වටහාගත් කළු ලෝගුකාරයා, අද්භූත ලෙස එසැනින් එතැනින් අතුරුදන් වී ගියේය.
මන්දිරයේ සාලයේ ආලෝකය සෙමින් යථා තත්ත්වයට පත් විය. මාධව ගල් ගැසී බලා සිටියේ සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකිවය. කළු ලෝගුකාරයා අතුරුදන් වී ගොස්ය. මේඝ දරුණු පහර වැදී, සිහසුන්ව බිම වැටී සිටියේය.
මාධව තවමත් සිටියේ තමාගේ සේවා පිස්තෝලය අතැතිව, දැඩි කම්පනයෙනි. මන්ද යත්, මීට සුළු මොහොතකට පෙර මේඝව බේරාගැනීමට අද්භූත බලයක් උපයෝගී කරගනිමින් කළු ලෝගුකාරයා සමඟ සටන් වැදුණු කිසිදු මිනිසෙකු මාධවට පෙනෙන්නට සිටියේ නැත! මාධව දුටුවේ කළු ලෝගුකාරයා කුමකට හෝ බිය වී, අදෘශ්‍යමාන බලවේගයකින් පහර කා පසුබසින අයුරු පමණි.
නමුත්, සැබවින්ම එතැන සිටියේ පියදාසය! ඔහු මස් ලේවලින් සැදුණු මිනිසෙකු නොව, මේඝව ආරක්ෂා කිරීම වෙනුවෙන්ම මේ මන්දිරයට බැඳී සිටින අතීත ආත්මයකි. මාධවට ඔහුව කිසිසේත් නොපෙනුණද, පියදාස මේඝ අසලම දණගසාගෙන සිටියේය.
බිම වැතිරී සිටි මේඝ අමාරුවෙන් කැස්සේය. ඔහුගේ කටකොනින් තවමත් ලේ බිංදු වැගිරෙමින් තිබුණි.
"මේඝ! උඹට සිහිය ආවද?" මාධව වහා දිවගොස් මේඝව වට කරගත්තේය.
මේඝ අමාරුවෙන් නැඟිට, සාලයේ තිබූ පැරණි කබඩයට බර විය. ඔහුගේ පපුව තවමත් තදින් රිදුම් දෙමින් තිබුණි.
"මේඝ... මොකක්ද එතන වුණේ? ඒ කළු ලෝගුකාරයා උඹේ බෙල්ලෙන් උස්සනකොට... එකපාරටම ඌට වැදුණු පාරවල් මොනවද? ඌ කාට බයවෙලාද දිව්වේ?" මාධව ප්‍රශ්න වැලක් ඇසීය.
මේඝ මාධව දෙස බැලුවේ නැත. ඔහුගේ දෑස් යොමුව තිබුණේ මාධවගේ උරහිසට පිටුපසින් සාලයේ කෙළවරක සිටගෙන සිටින වයසක පියදාස දෙසටය.
"මාධව… ඌ දිව්වේ මට බයවෙලා නෙවෙයි..." මේඝ බිඳුණු හඬින් පැවසීය. "ඌ දිව්වේ මෙතන ඉන්න තුන්වෙනි පුද්ගලයාට බයවෙලා."
"තුන්වෙනි පුද්ගලයෙක්?" මාධව වටපිට බැලුවේය. "පිස්සුද මේඝ? මෙතන වෙන කවුරුත් නෑ. උඹට පහර වැදිච්ච පාරට මොළයට බලපෑමක් වෙලා..."
"මෙතන කෙනෙක් ඉන්නවා මාධව. ඒ තමයි පියදාස... ඔහු තමයි මාව බේරගත්තේ."
මාධව ඒ දෙස බැලුවේය. එතැන තිබුණේ හිස් අවකාශයක් පමණි. මාධවගේ මුවඟට ආවේ සියුම් උපහාසාත්මක සිනහවකි. "මේඝ, එක්කෝ උඹ බොන එක වැඩි කරපන් නැත්නම් නවත්තපන්. පියදාස කියන්නේ මනුස්සයෙක්. ඌ සැකකරුවෙක්. උඹ කියන්නේ දැන් ඌ මෙතන නොපෙනී ඉන්නවා කියලද?"
"මේ වගේ වෙලාවක මං විකාර කියවන්නෙ නෑ මාධව. පියදාස කියලා කෙනෙක් ඉන්නවා... ඒ මස් ලේවලින් හැදුණු මනුස්සයෙක් නෙවෙයි. ඒ ආත්මයක්... මට මෙච්චර කාලයක්, මේ හැම අඩියක්ම ඉදිරියට තියන්න, මේ ගමන එන්න උදව් කළේ පියදාස. මං දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියලා... ඒත් මොන හේතුවක් නිසා හරි මට ඔහුව පැහැදිලිව පේනවා. හැබැයි උඹට ඔහුව පේන්නේ නෑ."
මාධව කිසිවක් කරකියා ගත නොහැකිව තමන්ගේ සේවා පිස්තෝලය පහත් කළේය. ඔහු මේඝ දෙස බලා සිටියේ මහා ව්‍යාකූලත්වයකිනි.
මේඝ සෙමින් ඉදිරියට පියවරක් තබා මාධවගේ වම් අත දෙසට තම ඇඟිල්ල දිගු කළේය. මාධවගේ මැණික් කටුවෙහි පරණ, මේඝ ගැටගැසූ රතු පැහැති නූල් කැබැල්ල තිබුණි. "උඹට මතකද මාධව... මං එදා උඹේ අතේ ගැටගහපු අර රතු නූල? ඒක මං හොයාගත්ත එකක් නෙවෙයි. ඒ නූල මට ගෙනත් දීලා උඹේ අතේ ගැටගහන්න කිව්වේ පියදාස. ඒ උඹව මේ මන්දිරේදි අද්භූත බලවේගවලින් ආරක්ෂා කරන්න."
මාධව සෙමින් තමාගේ වම් අත දෙස බැලුවේය.
"මාධව... උඹ මාව විශ්වාස කරපන්," මේඝ මාධවගේ උරහිස මත තමාගේ වෙව්ලන අත තැබුවේය. "මට පිස්සු නෑ මචං... මෙතන සිද්ධ වෙන්නේ අපිට සාමාන්‍ය විද්‍යාවෙන් විසඳන්න බැරි මහා දරුණු ගුප්ත අපරාධයක්."
මාධව ගැඹුරු හුස්මක් ගෙන මඳ වෙලාවක් මේඝගේ දෑස් දෙස බලා සිටියේය. "මේඝ... උඹට පිස්සු!" මාධව තිගැස්මකින් යුතුව පස්සට පියවරක් තැබුවේය. "උඹට ඇත්තටම පිස්සු හැදීගෙන එනවා මචං. පෙනෙන සතුරෙක් එක්ක මට සටන් කරන්න පුළුවන්. හැබැයි මේ වගේ නොපෙනෙන ආත්ම, මන්ත්‍ර බන්ධන, මේවා මට විශ්වාස කරන්න කියලා කියන්න එපා. උඹ ඉස්සර හිටපු මේඝ නෙවෙයි! අපි මේ පරීක්ෂණ ඔක්කොම නවත්තලා වහාම ගෙදර යමු. මට මගේ යාළුවව නැති කරගන්න බෑ. අපි දැන්ම මෙහෙන් යමු!"
සාලය ඇතුළත රජ කළ මූසල නිශ්ශබ්දතාවය තත්පරයෙන් තත්පරය දැඩි වන්නට විය. මන්දිරයේ සාලයේ පැවති සීතල එකවරම ශුන්යයටම වැටෙන්නාක් මෙන් දරාගත නොහැකි දැඩි සීතලක් කාමරය පුරා පැතිර ගියේය. ඔවුන් පිට කළ හුස්ම පවා පිණි කැට මෙන් වාතයේ මිදෙන්නට විය.
හදිසියේම, මාධව අත රැඳි සේවා පිස්තෝලය බරින් වැඩි වන්නට විය. කිසිදු මිනිස් රුවක් පෙනෙන්නට නොසිටියද, මාධවට දැනුණේ ඝන, අයිස් වැනි සීතල ඇඟිලි කිහිපයක් සෙමින් තමාගේ දෑත් වටා වෙළෙනවාක් මෙනි. පියදාසගේ අදෘශ්‍යමාන ආත්මය මාධවට අඟලක් පමණ ආසන්නයෙන් හිටගෙන සිටියේය.
"ම... මේඝ..." මාධවගේ උගුර වියළී ගියේය. ඔහුගේ දෑස් බියෙන් විශාල විය.
කිසිදු හේතුවක් නොමැතිව, මාධවගේ දෑත් වෙව්ලන්නට වූ අතර, ඔහු තදින් අල්ලාගෙන සිටි පිස්තෝලය ඔහුගේ පාලනයෙන් ගිලිහී සෙමින් ඉහළට එසවෙන්නට විය. අදෘශ්‍යමාන බලවේගයක් තුවක්කු කට මාධවගේ දෙසටම හරවන්නට විය. මාධව තමාගේ මුළු ශක්තියම යොදවා තුවක්කුව පහත් කිරීමට උත්සාහ කළද, ඒ අදෘශ්‍යමාන ග්‍රහණය මහා යකඩ කුලුණක් මෙන් ශක්තිමත් විය.
තුවක්කුව හිස් අවකාශයේ එහෙ මෙහෙ සෙලවෙන්නට විය. එය හරියට අදෘශ්‍යමාන මිනිසෙකු තුවක්කුව අතට ගෙන පරීක්ෂා කරන්නාක් මෙන් භයානක දර්ශනයක් මවා පෑවේය.
ක්ලික්...
තුවක්කුවේ ආරක්ෂිත අගුල කිසිවෙකු විසින් සෙමින් පහළට දමන හඬ අන්ධකාරය මැද පැහැදිලිවම ඇසුණි. තුවක්කු කට දැන් කෙළින්ම එල්ල වී තිබුණේ මාධවගේ නළල මැදටය. මාධවගේ මුළු සිරුරම මරණ බියෙන් ගැහෙන්නට විය.
"පියදාස එපා! ඔහු මගේ මිතුරා!" මේඝ අමාරුවෙන් කෑගැසුවේය.
එසැනින්, මාධවගේ දෑත් වටා තිබූ ඒ අයිස් වැනි සීතල ග්‍රහණය ලිහිල් වී ගියේය. පිස්තෝලය ලී පොළොව මතට ඇද වැටුණේ මහා ශබ්දයක් නිකුත් කරමිනි.
ඩෝං...
මාධව බිම වැටුණු තුවක්කුව දෙස බලා එතැනම දණහිස් ඇද වැටුණේය. තමා මේ මුහුණ දුන්නේ මනස්ගාතයකට නොව, තමාගේ විද්‍යාත්මක මොළයට තේරුම් ගත නොහැකි මහා අද්භූත සත්‍යයකට බව මාධවට දැන් වැටහී අවසන්ය. ඔහු බියෙන් ගැහෙමින්, කෑගසන්නට විය.
"නෑ... නෑ...! මේක වෙන්න බෑ! මට පිස්සු හැදීගෙන එනවා... මේඝ, අපි යමු...!" මාධව දෑතින්ම ඔලුව බදාගත්තේය.
මේඝ අමාරුවෙන් ඉදිරියට පියවර තබා, බිම වැටි සිටි මාධව අසල දණගසා ගත්තේය. ඔහු මාධවගේ වෙව්ලන උරහිස් දෙකෙන් තදින් අල්ලා, ඔහුව තමා දෙසට හරවා ගත්තේය.
"මාධව! මාධව... මං දිහා බලපන්! සන්සුන් වෙයන් මචං..." මේඝ තදින් මාධවට සොලවමින් ඔහුව පාලනය කර ගැනීමට උත්සාහ කළේය. "මට ඇහුම්කන් දියන් මාධව! උඹ හිතුවද මම මේවා එකපාරටම පිළිගත්තා කියලා? මමත් මුලින් හිතුවේ පියදාස කියන්නේ මේ හැම දේකටම සම්බන්ධ ප්‍රධානම සැකකරුවෙක් කියලා තමයි! මමත් උඹ වගේම සාක්ෂි පස්සේ විතරක් දිව්ව මිනිහෙක්."
මේඝ සෙමින් මාධවගේ දෑස් දෙස බැලුවේය. ඔහුගේ දෑස්වල අතීත වේදනාවක් මතු විය.
"ඒත්... අද වගේම එදා මහ රෑ, මේ මන්දිරයෙ වත්තෙදි මාව අර කළු ලෝගුකාරයගෙන් බේරගත්ත වෙලාවෙ තමයි මම සැබවින්ම පියදාස කවුද කියලා දැනගත්තේ. මාධව... මං එදා, අද උඹ වගේම බයෙන් පිස්සු නැටුවා! මට ඒක දරාගන්න බැරුව මං එදා හොඳටම බිව්වා... උඹට මතකද මං රෑ එළිවෙනකන් පිස්සු නැටුවා? උඹ දැන් ඉන්න තත්වෙම තමයි එදා මම හිටියේ!"
මේඝගේ හඬ බිඳී ගියේය. ඔහු මාධවගේ දෑත තදින් අල්ලා ගත්තේය. "මටත් මේක එකපාරටම විශ්වාස කරන්න බැරි වුණා මචං. මගේ විද්‍යාත්මක මනස මේක ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒක තමයි ඇත්ත. පියදාස මෙතන ඉන්න එක අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි."
මේඝගේ වචනවල තිබූ අවංකභාවය සහ දැඩි ස්වරය නිසා මාධව සෙමින් සන්සුන් වන්නට විය. ඔහුගේ වේගවත් හුස්ම ගැනීම මඳක් අඩු විය. ඔහු තවමත් බියෙන් වුවද, මේඝගේ මුහුණ දෙස බලා තමා ඉදිරියේ ඇති අද්භූත සත්‍යය වටහා ගැනීමට උත්සාහ කරමින් සිටියේය.
********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Ituru tika ikmanata danna.👍👍♥️♥️
ReplyDeleteDoctors thama kalu logukaraya. Kathawa godariyak lassanayi
ReplyDelete