16 වන දිගහැරුම

මුළු නුවරඑළියම අඳුරේ ගිල්වමින් ඇද හැලෙන නොනැවතෙන මහ වැස්සත් සමඟ කාලය සෙමින්, බරපතළ ලෙස ගෙවී ගියේය. අර භීෂණකාරී, මාරාන්තික රාත්‍රියෙන් පසු තවත් වෙහෙසකර දින කිහිපයක්ම දින පොතෙන් මැකී ගොස් තිබුණි.

මේඝ සහ මාධව මුළු මන්දිරයම, බිත්තියෙන් බිත්තිය, ගෙබිමෙන් ගෙබිම පීරමින් මේසයේ ඇති අද්භූත අගුලට ගැළපෙන යතුර සෙවූහ. නමුත් තවමත් ඒ රහස් යතුර හමු වූයේ නැත. මන්දිරයේ තිබූ සෑම පැරණි පෙට්ටියක්ම, රහස් ලාච්චුවක්ම, වේයන් කා දැමූ පොත් රාක්කයක්ම ඔවුන් අතින් දහස් වාරයක් පරීක්ෂාවට ලක් වුවද, යතුර අකාලයේ අතුරුදන් වූවාක් මෙන් විය.

ඒ අද්භූත යතුර නොමැතිව මුළු පරීක්ෂණයම එක තැන හිර වී තිබුණි. දින ගණනාවක් පුරා නිදි නොලබා, මනසින් මෙන්ම ගතින්ද දැඩි ලෙස පීඩා විඳි ඔවුන් දෙදෙනාම දැන් සිටියේ අන්තයටම හෙම්බත් වූ, බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකය.

එදා පියදාසගේ ආත්මයත්, කළු ලෝගුකාරයාත් මුහුණට මුහුණ ලා සිදු වූ ඒ බිහිසුණු ගැටුමෙන් පසු, මේඝ සහ මාධව සිටියේ දැඩි අවධානයකිනි. ඕනෑම මොහොතක මාරාන්තික ප්‍රහාරයක් එල්ල විය හැකි බව සිතා මාධව තමාගේ සේවා පිස්තෝලය නිරන්තරයෙන් සන්නද්ධව තබාගෙන සිටියේය. අවටින් ඇසුණු සෑම කුඩා ශබ්දයකටම, සුළඟට ජනේල වීදුරුවක් හෙලවෙන හඬකට පවා ඔහු තිගැස්සෙමින් සලිත විය.

නමුත් පුදුමයකට මෙන්, එදායින් පසු කළු ලෝගුකාරයා නැවත පැමිණියේ නැත. මන්දිරය වටා රජ කළේ මූසල, පාළු, මාරාන්තික නිශ්ශබ්දතාවයකි. ඒ නිහඬතාවය හරියට මහා ව්‍යසනකාරී කුණාටුවකට පෙර පරිසරයේ ඇති වන අද්භූත, බියකරු සාමකාමී බවක් බඳු විය. කළු ලෝගුකාරයා නොපැමිණීම ඔවුන්ගේ බිය තව තවත් තීව්‍ර කළේය. ඔහු ඊළඟ වතාවේ කුමන ආකාරයේ දරුණු, බිහිසුණු සැලසුමකින් තමන්ව වටලනු ඇත්දැයි සිතාගත නොහැකි වූ බැවින් සාලයේ වාතය පවා බර වී ඇති බවක් දැනුණි.

එක් අඳුරු සවස් යාමයක, දැඩි මානසික හා කායික විඩාව නිසාම මේඝ සාලයේ තිබූ පැරණි හාන්සි පුටුව මත හිඳ දෑස් පියාගෙන සිටියේය. මාධව කැටයම් කපන ලද දිරාපත් වූ ලී මේසයට බර වී, කිසිවක් කරකියා ගත නොහැකිව හිස් අවකාශය දෙස බලා සිටියේය. යතුර නැතිව මේ ඝන අන්ධකාරය සිදුරු කරන්නේ කෙසේදැයි දෙදෙනාටම විසඳිය නොහැකි මහා ප්‍රහේලිකාවක් වී තිබුණි.

මන්දිරයේ සාලයේ පැතිර තිබූ මූසල නිශ්ශබ්දතාවය මැද, හාන්සි පුටුවේ දෑස් පියාගෙන සිටි මේඝ එකවරම මහා තිගැස්මකින් යුතුව අවදි වූයේ අමතක වූ යමක් මතක් වූ ලෙසය. ඔහු කිසිවක් නොකියා සෙමින් නැඟිට, සාලයේ අඳුරු කෙළවරක තිබූ, දූවිල්ලෙන් වැසුණු පැරණි පියානෝව දෙසට පියවර නැඟුවේය.

ඒ පියානෝව මීට පෙර ඔවුන් කිහිප වතාවක්ම ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂා කර තිබූ එකකි. එහි ලී පියන, යතුරු පුවරුව, පිටුපස සැකිල්ල පවා ඔවුන් අතින් පරීක්ෂා වී තිබුණි. නමුත්, ඒ දෙස බලා සිටි මේඝගේ මනසට එකවරම අකුණක් ගැසුවාක් මෙන් යමක් සිහිවිය.

"මොකද මේඝ...?" මාධව තමා අත තිබූ තුවක්කුව මඳක් තද කරගනිමින්, වෙහෙසකර මෙන්ම කුතුහලයෙන් පිරි හඬින් ඇසුවේය.

මේඝ පිළිතුරක් දුන්නේ නැත. ඔහු වෙව්ලන ඇඟිලි තුඩුවලින් පියානෝවේ කළු සහ සුදු යතුරු මතින් දෑත් යැවූ අතර, ඔහුගේ දෑස් නතර වූයේ පියානෝවේ පහළම කෙළවරේ තිබූ, කිසිදා ශබ්දයක් නිකුත් නොකරන බිඳී ගිය එකම එක යතුරක් දෙසටය.

මේඝ පියානෝවේ ඒ මළගිය යතුර මත තම දෑඟිලි තද කළේය. කිසිදු ස්වරයක් නිකුත් නොකළ ඒ යතුර, මඳක් තද කරද්දීම 'ක්ලික්' යන හඬින් යුතුව පියානෝවේ අභ්‍යන්තරයට කිඳා බැස ගියේය.

පුදුමයකට මෙන්, පියානෝවේ දකුණු පස ලී බිත්තියෙන් කුඩා කොටසක් රහස් ලාච්චුවක් බඳුව සෙමින් ඉදිරියට නෙරා ආවේය. එහි නිල් පැහැති වෙල්වට් රෙදිකඩක සුරක්ෂිතව එතූ පැරණි, දිරාපත් වූ පොතක් විය. එය ඔවුන් සොයන අතුරුදන් වූ රහස් යතුර නොවූවත්, ඊට වඩා සිය දහස් වාරයක් වටිනා අතීතයක සාක්ෂියක් බව මේඝගේ තීක්ෂණ දෑස්වලට වැටහුණි.

"මාධව... මෙහාට වරෙන්," මේඝ වෙල්වට් රෙදිකඩ ලිහමින්, එහි වූ රහස දිගු කරමින් උද්‍යෝගී හඬින් පැවසීය.

එය "සුලෝචනා" නම් වූ ඒ අභිරහස් තරුණියගේ පැරණි දිනපොතයි! එහි පිටු කාලයත් සමඟ කහ පැහැ වී, වේයන්ගෙන් හා තෙතමනයෙන් දිරාපත් වෙමින් තිබුණද, ඇය තැබූ මුදු අත්අකුරු තවමත් පැහැදිලිව කියවිය හැකි මට්ටමේ පැවතුණි. ඔවුන් දෙදෙනා සාලයේ තිබූ පැරණි ලී මේසය අසලට වී, හුස්ම පොදක් පවා සිරකරගෙන, දැඩි කුතුහලයකින් යුතුව එහි පිටු පෙරළන්නට වූහ.

එහි ලියැවී තිබුණේ වසර තිස් ගණනකට පෙර සිදු වූ, කාලයේ වැලි තලාවෙන් වැසී ගිය සුන්දර මෙන්ම අවාසනාවන්ත ආදර කතාවක මුල් භාගයයි.

"1991 අප්‍රේල් 12... වසර ගණනාවක සිට මම මේ සීතල මන්දිරයේ ගල් බිත්ති හතරකට කොටු වී, තනිකමෙන් සහ පාළුවෙන් මිරිකෙමින් ජීවත් වුණෙමි. බාහිර ලෝකය මට අකැප වූ, අඳුරු තැනක් බඳු විය. නමුත් මගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ එදිනයි... අපේ තේ වත්තේ වැඩ කරන අහිංසක ලැයින් පවුල්වල ජනයා වෙනුවෙන්, මන්දිරයේ අනුග්‍රහයෙන් පැවැත්වූ නොමිලේ සෞඛ්‍ය සායනයට ඔහු පැමිණ සිටියේය. ඔහු වෛද්‍ය සුජීවය..."

දිනපොතේ ඊළඟ පිටුවල ඇය තමන්ගේ හදවතේ උපන් අකලංක ආදරය අකුරු කර තිබුණේ ඉතාමත් සංවේදී අයුරිනි. ඒ අකුරු කියවද්දී පාළු මන්දිරයේ කොනකින් ඇගේ සිනහා හඬ තවමත් ඇසෙන්නාක් මෙන් මාධවට දැනුණි.

"සුජීව යනු මං මෙතෙක් දුටු කරුණාවන්තම සහ ආදරණීයම මිනිසාය. පාළුවෙන් මන්දිරයට වී හිර වී සිටි මගේ අඳුරු, නිහඬ ජීවිතයට ඒ ආදරය මහ මෙරක් විය. මට ජීවත් වීමට අලුත් බලාපොරොත්තුවක් දුන්නේ ඔහුය. අපේ සමාජ තත්ත්වයන් සහ කුලමල බොහෝ සෙයින් වෙනස් වුවද, සුජීවගේ දෙමාපියන් පවා අපේ සම්බන්ධයට කිසිදු අකමැත්තක් දැක්වූයේ නැත. පියදාස මාමා පවා අපට සෙවනැල්ලක් මෙන් උදව් කළේය. සුජීවගේ පවුලේ අය මට බොහෝ සෙයින් ආදරය කළහ. "

මාධව සහ මේඝ හුස්ම ගැනීමට පවා අමතක කරමින් දිනපොතේ ඊළඟ පිටු සීඝ්‍රයෙන් පෙරළූහ. එහි සුජීව මන්දිරයට නිතර නිතර පැමිණි ආකාරයත්, ඔවුන් තේ වතු යායවල් මැද ගත කළ සුන්දර කාලයත් තවදුරටත් විස්තර කර තිබුණි.

"සුජීව මාව බැලීමට මන්දිරයට එන සෑම අවස්ථාවකම පාහේ තනිවම පැමිණියේ නැත. ඔහු පැමිණියේ තමාගේ ළඟම, විශ්වාසවන්තම සහ එකටම හැදුණු මිතුරා ද කැටුවය. ඔහු නමින් කුමාර වීරසිංහය. සුජීව ඔහුට නිතරම ඇමතුවේ 'වීරේ' යන සුරතල් නාමයෙනි. වීරේ අපේ ආදරයට බොහෝ සෙයින් උදව් කළ අයෙකි. මන්දිරයේ උදවිය අපේ සම්බන්ධයට දැක්වූ විරෝධතා හමුවේ වුවද, වීරේ අපේ පැත්ත ගත්තේය. ඔහු මන්දිරයට වී අප සමඟ සිනාසෙමින් බොහෝ වේලාවක් ගත කළේය. වීරේ වැනි උදාර මිතුරෙකු ලැබීමට සුජීව ඇත්තෙන්ම වාසනාවන්තය..."

"වීරසිංහ...!" මාධව තිගැස්මකින් යුතුව කීවේය. "ඒ කියන්නේ අර මූලස්ථාන වාර්තාවල තිබුණ කතාව හරියටම හරි මේඝ! ඩොක්ටර් සුජීවගේ ළඟම යාළුවා තමයි මේ වීරසිංහ කියන්නේ."

"ඔව්..." මේඝගේ හඬ ගොරෝසු විය. ඔහු දිනපොතේ පිටු මත ඇඟිලි තුඩු යවමින් තවදුරටත් කියවන්නට උත්සාහ කළේය. නමුත් ඊළඟ පිටු සියල්ලම පාහේ බොඳ වී තිබුණි. "හැබැයි මාධව... මේ දිනපොතේ තියෙන විදිහට වීරසිංහ කියන්නේ ඔවුන්ගේ සම්බන්ධයට පණ ඇරලා උදව් කරපු හොඳම යාළුවෙක්. අන්තිමට ඌත් අතුරුදන් වුණා. එතකොට මේ ඩොක්ටර් සුජීවගේ පවුලට ඊළඟට වුණේ මොකක්ද?"

"දැන් ඇති මේඝ... කළු ලෝගුකාරයා මොකෙක් වුණත් මට වැඩක් නැහැ. මේ මන්දිරේ සිද්ධ වෙන හැම අද්භූත මිනීමැරුමකටම ඌ වගකියන්න ඕනේ කියලා අපිට හොඳටම තේරෙනවා. අපි මෙහේට ගෙන්නලා ඌව අල්ලමු. මං කතා කරන්නම් නුවරඑළිය පොලිසියට. උන් අපිට ඕන හැමදේම ලෑස්ති කරලා දෙයි!" මාධව තමාගේ සේවා පිස්තෝලය නැවතත් අතට ගෙන එහි උණ්ඩ පරීක්ෂා කරමින් දැඩි, වෘත්තීය ස්වරයෙන් පැවසීය.

"නෑ මාධව... උඹට තවම මේ ප්‍රහේලිකාව තේරෙන්නේ නැහැ," මේඝ හැරී මාධවගේ දෑස් දෙස කෙළින්ම බැලුවේය. "අපි ළඟ තියෙන ඔය සාමාන්‍ය අවි ආයුදවලින් විතරක් ඌව මෙච්චල් කරන්න බැහැ. එදා උඹ දැක්කා ඌ වටේ තිබුණු අද්භූත, ගුප්ත බල පලිහ. උණ්ඩ පවා බිමට ඇද වැටුණා. ඌ මිනිස් ලෝකයේ නීතියට වඩා, සාමාන්‍ය අවි ආයුදවලට වඩා එහා ගිය මහා බිහිසුණු ගුප්ත බලවේගයක්, මන්ත්‍ර බන්ධනයක් එක්කයි මේ සටනට එන්නේ. ඌව විනාශ කරන්න නම් අපිට ඊට වඩා ප්‍රබල, අද්භූත බලවේගයක් ඕනේ..."

මේඝ කතාව නතර කර සාලයේ හිස් කෙළවරක් දෙස බැලුවේය. එහි මාධවට නොපෙනෙන, නමුත් මේඝව ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින පියදාසගේ ආත්මය නිහඬව, දැඩි දෑසින් බලා සිටින අයුරු මේඝට පෙනුණි. වීරසිංහව කොටු කිරීමට නම් තමන්ට භෞතික ආයුධවලට වඩා පියදාසගේ ඒ අද්භූත රැකවරණය සහ මේ මන්දිරයේ පොළොව යට සැඟවුණු සැබෑ රහස අත්‍යවශ්‍ය බව මේඝ හොඳින්ම වටහාගෙන සිටියේය.

මේඝ සාලයේ තිබූ විශාල, කළු ලෑල්ලක් බඳු පැරණි ලී බිත්තිය අසලට ගියේය. ඔහු තමා ළඟ තිබූ මාකර් එකක් ගෙන, දූවිලි තැවරුණු ඒ කළු පැහැති ලී බිත්තිය මත මේ වන විට ඔවුන් සතු සියලු තොරතුරු, වර්ෂයන් සහ චරිත එකිනෙක ලියා, රේඛාවලින් යා කරමින් මුළු අපරාධයේ චක්‍රය පෙළගස්වන්නට විය. ඔහුගේ දෑස්වල තිබුණේ අතිශය තියුණු, සාමාන්‍ය මිනිසෙකුට ළඟා විය නොහැකි තරම් තීක්ෂණ රහස් පරීක්ෂක ඉවකි.

"මාධව... මෙන්න මේ චක්‍රය හොඳින් බලාගනින්," මේඝ බිත්තියේ ලියා ඇති නම් දෙසට අත දිගු කළේය. "අපි මේ හැමදේම මුල ඉඳන් ගලපලා බලමු. මේ අභිරහස ඇතුළේ ඉන්න චරිත ටික අපි කොටස් දෙකකට බෙදමු. එකක්... දැනටමත් මියගිහින් හෝ අතුරුදන් වෙලා ඉන්න අය. හැරිසන්, පියදාස, වෛද්‍ය සුජීව, සුලෝචනා, ඒ වගේම වීරසිංහ; ඒ විතරක් නෙමෙයි, මීට කලින් මේ කේස් එක විසඳන්න ඇවිත් අතුරුදන් වුණු නිලධාරීන් කිහිපදෙනා සහ DIG ගේ පුතාගේ යාළුවා. අනෙක් කොටස... මේ හැමදේකින්ම පස්සේ ජීවතුන් අතර සිටින සහ, සිහි බුද්ධිය අහිමි වෙලා පිස්සු හැදුණු අය. ඒ කියන්නේ DIG ගේ පුතා සහ තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් සහ අපි දෙන්නා."

මේඝ බිත්තියට තට්ටු කරමින් මාධව දෙස හැරුණේය. "මෙතනින් අපිට මියගිහින් කියලා 100%ක්ම ස්ථීර වුණේ හැරිසන්, පියදාස, සුලෝචනා, DIG ගේ පුතාගේ යාළුවා සහ අර නිලධාරීන් කිහිපදෙනා විතරයි මාධව."

එවිටම මාධව සාලයේ එහා මෙහා ඇවිදිමින්, ඔළුව කෝපයෙන් මෙන් කඩමින් මේඝගේ කතාවට බාධා කළේය.

"නෑ... උඹ වැරදියි මේඝ! උඹ ඔය චක්‍රයට සුලෝචනාගේ නම මියගිය අයගේ ලැයිස්තුවට දැම්මට, ඇය ඇත්තටම මැරිලද කියලා අපි තාම දන්නේ නැහැ. ඔය පරණ මූලස්ථාන වාර්තාවලවත්, ගොනුවලවත් සුලෝචනා ඝාතනය වුණා කියලා කිසිම නිල සාක්ෂියක් සටහන් වෙලා නැහැ. අපිට ඇගේ දේහයවත්, වෙනත් කිසිම භෞතික සාක්ෂියක්වත් හම්බ වුණේ නෑනේ!" මාධව තර්කානුකූලව පැවසීය.

මාධවගේ ඒ තර්කය හමුවේ මේඝගේ මුහුණට මතු වූයේ අද්භූත, මලානික මද සිනහවකි. ඔහු පෑන මේසය මත තබා, දෑත් බැඳගෙන මාධව දෙස කෙළින්ම බැලුවේය.

"මම උඹට නොකියපු, උඹෙන් මෙච්චර දවස් හංගපු තව එක එකම දෙයක් තියෙනවා මාධව..." මේඝගේ හඬ බෙහෙවින්ම පහත් විය.

"ඒ මොකක්ද...?" මාධව කුතුහලයෙන් සහ මඳ නොසන්සුන්කමකින් යුතුව ඇසුවේය.

"උඹ ඒක අහලා බය වෙයි, නැත්නම් සාධාරණ පොලිස් නිලධාරියෙක් විදිහට ඒක විද්‍යාත්මක නැහැ කියලා පිළිනොගනියි කියලයි මම මෙච්චර දවස් ඒක නොකියා හිටියේ. ඒත් තවත් මේක හංගන් ඉන්න බෑ..." මේඝ ගැඹුරු හුස්මක් ගෙන මාධවගේ උරහිසට අතක් තැබුවේය. "සුලෝචනාව මම දැක්කා මාධව! මේ මන්දිරේ ඇතුළෙදිම මම ඇයව පැහැදිලිවම දැක්කා! පියදාස වගේම ඇයවත් මට පෙනුණා."

මාධවගේ දෑස් මහා පුදුමයකින් අන්දමන්ද වී ගියේය. ඔහුගේ ගතම මොහොතකට ගල් ගැසුණි. "උඹ... උඹ සුලෝචනාව දැක්කා? කොහොමද? කොහේදිද?"

"හැබැයි ඒ ලේ මස් තියෙන, පණ තියෙන මනුස්සයෙක් විදිහට නෙමෙයි..." මේඝ සාලයේ අඳුරු කොනක් දෙසට දෑස් යොමු කරමින් කීවේය. "පියදාස වගේම... අදෘශ්‍යමාන, අද්භූත ආත්මයක් විදිහටයි මම ඇයව දැක්කේ. ඇය තවමත් මේ මන්දිරයේ බිත්ති අතරේ සැරිසරනවා. ඒකයි මම කිව්වේ ඇය මියගිහින් කියලා මට ස්ථීරයි කියලා."

මාධව මහා මන්දගාමීත්වයකින් යුතුව හාන්සි පුටුව මතට බර වූයේ මේ අදහාගත නොහැකි සත්‍යය දරාගත නොහැකි වූවාක් මෙනි. මුළු සාලයම තත්පර කිහිපයකට දැඩි නිශ්ශබ්දතාවයකින් වෙළී ගියේය. පෙර සිදුවූ සිදුවීම් මතක් වන විට මාධවට මේඝව අවිශ්වාස කිරීමට හේතුවක් නොවීය.

"ඒත්... ඒත් මේඝ..." මාධව තමාගේ නළල පිරිමදිමින්, වෘත්තීය මනස යළි අවදි කරගන්නට උත්සාහ කරමින් මිදුණු හඬින් කීවේය. "උඹ ආත්මයක් දැක්කා වෙන්න පුළුවන්. හැබැයි අපි නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්. අපිට උසාවියක් ඉස්සරහට ගිහින් 'ආත්මයක් දැක්කා' කියලා අපරාධකරුවෙක්ට දඬුවම් දෙන්න බෑ. සුලෝචනා මැරිලා හිටියත්, ඇයව ඝාතනය කරලා තිබුණත්... අපිට ඒක නීතියට, විද්‍යාත්මකව ඔප්පු කරන්න තරම් ශක්තිමත්, භෞතික සාක්ෂියක් තවම ලැබුණේ නැහැ."

මේඝ දැඩි ස්වරයෙන් හිස සැලුවේය. "උඹ කියන කතාව මම දන්නවා මාධව. අපි කළු ලෝගුකාරයාගේ ඔය ගුප්ත බලවේග බිඳලා ඌව කොටු කරන්න නම්, මුලින්ම මේ මන්දිරය ඇතුළේ වළලලා තියෙන ඒ අතීත අපරාධයේ සැබෑ සාක්ෂි ටික හොයාගන්නම ඕනේ. නීතියට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂියක් හමු වුණු දවසට... මේ මන්දිරයේ ශාපය වගේම ඌත් සදහටම විනාශ වෙනවා!"

මේඝ මේසය මත තිබූ තමාගේ ලැප්ටොප් පරිගණකය දිග හැරියේය. එහි තිබූ රහස්‍ය පොලිස් වාර්තා කිහිපයක් එකින් එක විවෘත කරමින්, ඔහු නැවත වරක් දැඩි අවධානයකින් යුතුව කියවන්නට විය.

"මාධව, මෙහාට ඇවිත් මේ වාර්තා ටික බලපන්," මේඝ ලැප්ටොප් තිරය මාධව දෙසට හරවමින් කීවේය. "මෙතන ලොකු පරස්පරතාවක් තියෙනවා. වෛද්‍ය සුජීවගේ මරණය, සුලෝචනාගේ අතුරුදන් වීම සහ ඔවුන්ගේ හොඳම මිතුරා වුණු වීරසිංහගේ අතුරුදන් වීම... මේ හැමදේම එකිනෙකට තදින්ම ගැටගැහිලයි තියෙන්නේ."

මාධව හාන්සි පුටුවෙන් නැඟිට, මේඝ අසලින් වාඩි වී පරිගණක තිරය දෙස දෑස් යොමු කළේය.

"බලපන් මේ පළමු වාර්තාව," මේඝ තිරයේ තිබූ ඡායාරූප කිහිපයක් පෙන්වීය. "වෛද්‍ය සුජීව මියගිහින් තියෙන්නේ දරුණු රිය අනතුරකින්. වාර්තාවල තියෙන විදිහට ඔහුගේ මෝටර් රථය ප්‍රපාතයකට පෙරළිලා සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වෙලා තියෙනවා. ඒ ගින්න කෙතරම් දරුණුද කියනවා නම්, කාර් එක ඇතුළේ තිබුණු සිරුර කිසිම විදිහකින් අඳුනාගන්න බැරි තරමටම විනාශ වෙලා තිබුණා. ඒ කාලේ තාක්ෂණයත් එක්ක, ඒක සුජීවගේම සිරුරද කියලා 100%ක්ම විද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ. පවුලේ අය සිරුර භාරගෙන තියෙන්නේ වාහනයේ අංකය සහ සුජීව ළඟ තිබුණු දේවල් නිසයි."

"අපි ඒක දන්න කතාවනේ. එතකොට සුලෝචනා...?" මාධව ඇසුවේය.

"අන්න ඒකයි ඊළඟ අභිරහස," මේඝ ඊළඟ ලිපිගොනුව විවෘත කළේය. "සුජීවගේ මරණයෙන් පස්සේ සුලෝචනාගේ මනස සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙනවා. ඇය දැඩි කම්පනයකින් ඉඳලා තියෙන්නේ. හැමෝම සුජීව මැරුණා කියලා පිළිගනිද්දී, සුලෝචනා දිගින් දිගටම කෑගහලා කියලා තියෙන්නේ 'සුජීව මැරුණේ නැහැ... එයා ජීවතුන් අතර ඉන්නවා!' කියලා. එහෙම මාසයක් විතර ගත වෙද්දී, එක්තරා අඳුරු රාත්‍රියක සුලෝචනා තමන්ගේ කාමරේ ඉන්නකොටම අතුරුදන් වෙලා තියෙනවා. කිසිම සලකුණක්, කිසිම සාක්ෂියක්, අඩුම තරමේ ඇය කාමරෙන් පිට වුණු පියසටහනක්වත් ඉතිරි නොකරමයි ඇය අතුරුදන් වෙලා තියෙන්නේ."

"ඔව්, එහෙම නම් මිනිස්සු කියපු කතා ටිකත් ඇත්ත," මාධව මඳක් කල්පනා කරමින් කීවේය. "ඉතින් මේඝ, මේ සිදුවීම් දෙකම එක එක කාලවල වෙච්ච ඒවද?"

"නැහැ, මෙන්න මේකයි වැදගත්ම දේ," මේඝ වාර්තාවේ අත්සන් කර තිබූ නිලධාරියාගේ නම පෙන්වීය. "වෛද්‍ය සුජීවගේ මරණය ගැන වගේම සුලෝචනාගේ අතුරුදන් වීම ගැනත් මුල්ම පරීක්ෂණ කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි... සුජීවගේ හොඳම යාළුවා වෙච්ච, ඒ වෙනකොට පොලිස් සේවයේ හිටපු කුමාර වීරසිංහ! ඒ කියන්නේ 'වීරේ'!"

මාධවගේ දෑස් පුදුමයෙන් මහත් විය. "ඒ කියන්නේ තමන්ගේ හොඳම යාළුවාගේ මරණයයි, එයාගේ පෙම්වතියගේ අතුරුදන් වීමයි දෙකම පරීක්ෂා කළේ වීරසිංහ?"

"ඔව්," මේඝ දැඩි හඬින් කීවේය. "නමුත් පුදුමය කියන්නේ, ඒ පරීක්ෂණ දෙකම කරගෙන යන අතරතුරේදීම වීරසිංහත් එකපාරටම අතුරුදන් වෙනවා! අදටත් ඔහුගේ සිරුරක්වත්, ඔහුට වුණු දෙයක්වත් ගැන කිසිම හෝඩුවාවක් නැහැ. වීරසිංහගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණය කරලා තියෙන්නේ ඊට පස්සේ ඒ තනතුරට පත් වුණු වෙනත් පොලිස් නිලධාරියෙක්."

මාධව ගැඹුරු කල්පනාවකට වැටුණි. "එතකොට මේඝ... වීරේ තමන්ගේ හොඳම යාළුවාටයි සුලෝචනාටයි ද්‍රෝහි වුණාද? නැත්නම් මේ හැමදේම පිටුපස තියෙන්නේ වීරසිංහවත් නොදන්න වෙනත් තුන්වන පාර්ශවයක මාරාන්තික පළිගැනීමක්ද?"

සාලයේ වාතය තව තවත් බර වෙමින් පැවති අතර, ජනේලයෙන් පිටත ඇද හැලෙන මහ වැස්සේ හඬ මන්දිරයේ බිත්ති අතර දෝංකාර දුන්නේ මේ අභිරහසේ සුලමුල සොයා ගැනීමට ඔවුන්ට අභියෝග කරමිනි.

මාධව මේසය මත තිබූ ලැප්ටොප් තිරයෙන් දෑස් ඉවතට ගෙන, දැඩි වෙහෙසකින් හා බලාපොරොත්තු සුන් වූ ස්වරයකින් සාලයේ වටපිට බැලුවේය. තවමත් ඔවුන් සොයන ඒ අද්භූත රහස් යතුර හමු වී නැත. පරීක්ෂණයේ සියලු තොරතුරු එකිනෙක ගැලපුණද, ඒ අගුල විවෘත නොකර ඉදිරි පියවරක් තැබිය නොහැකි බව ඔහුට වැටහුණි.

ඔහු මඳ සිනහවක් පාමින් මේඝ දෙසට හැරුණේය.

"දැන් ඔය ඔක්කොම හරි මේඝ... හැබැයි ඔය සාලේ මේසෙ තියෙන අගුල ඇරගන්න බැරුව අපි තාමත් එක තැන. උඹ ඔය කියන උඹේ භූතයා... පියදාස... ඌ ඔච්චර වැඩ්ඩෙක් නම්, මේ මන්දිරේ හැමදේම දන්නවා නම්, ඇයි ඌට බැරි අපිට ඔය යතුර තියෙන තැනක් හොයලා දෙන්න? අහපන්කො බලන්න ඕක ඌගෙන්!" මාධව පැවසුවේ මඳක් උපහාසයෙන් මෙනි.

මේඝ මාධවට පිළිතුරක් නොදී සාලයේ අඳුරු කෙළවරක නිහඬව බලා සිටින පියදාසගේ ආත්මය දෙස බැලුවේය. නමුත් වෙනදා මෙන් තේජවන්ත හෝ රහස්‍ය ස්වරූපයක් පියදාසගේ මුහුණේ නොවීය. ඔහු මේඝ දෙස බලා සිටියේ දැඩි වේදනාවකින් පිරි, බිඳුණු බැල්මකිනි.

"පියදාසට මතක නැහැ මාධව..." මේඝ පහත් හඬින් කීවේය.

එවිටම, කිසිවෙකු නොසිතූ අයුරින් සාලය පුරා සීතල, රළු සුළඟක් හමා ගියේය. ඒ සුළඟ එවන්නේ පියදාස බව මේඝට ක්ෂණයකින් වැටහුණි. ජනෙල් පියන්පත් එකිනෙක ගැටෙද්දී, මේසය මත තිබූ සුලෝචනාගේ දිනපොතේ පිටු එකිනෙක වේගයෙන් පෙරළෙන්නට විය. මාධව තිගැස්සී තමාගේ පිස්තෝලය තද කරගත්තේය.

සුළඟ එකවරම නතර විය. දිනපොතේ එක් නිශ්චිත පිටුවක් සාලයේ දැල්වෙන ලාම්පු එළියට නිරාවරණය වී තිබුණි. ඒ, ඔවුන් දෙදෙනා මීට පෙර කිසිම විටක නොදැකපු, දිනපොතේ අග කොටසට වන්නට තිබූ සුවිශේෂී සටහනකි!

මේඝ වහා මේසය අසලට ගොස් ඒ දෙසට නැඹුරු විය. මාධවද කුතුහලයෙන් යුතුව ඔහු අසලින් එබුණේය. එහි සුලෝචනාගේ අත්අකුරින් මෙලෙස ලියා තිබුණි:

"1991 මැයි... මන්දිරයේ අයිතිකරු හා මාගේ පියා වන හැරිසන් මහතා ලංකාවෙන් සදහටම පිටව යන්නට පෙර, රහසින් මා කැඳවා මේ මන්දිරයේ බිත්ති අතර සැඟවුණු, කිසිවෙකු නොදන්නා සියලුම රහස් සහ රහස් අගුල් ක්‍රියාත්මක වන ආකාරය මට කියා දුන්නේය. ඔහු පැවසුවේ මන්දිරයේ රහස් රැක ගැනීම ඉදිරියේදී මා සතු එකම වගකීම බවයි. අපට සෙවනැල්ලක් මෙන් උදව් කරන, මන්දිරයේ විශ්වාසවන්තම සේවකයා වන පියදාස සීයා පවා මේ රහස් කිසිවක් දන්නේ නැත. මාගේ පියා පියදාස සීයාගෙන් පවා මේ රහස් සඟවා තැබුවේ, ඒවායේ ඇති භයානකකම නිසාම වන්නට ඇත. එම රහස් දුටු මුල් දිනයේ මෙන්ම ඒ සියල්ල මතක් වෙන මොහොතක් පාසා මගේ මුළු ගතම වෙව්ලනු මට දැනෙයි..."

සටහන කියවා අවසන් කරද්දීම මේඝ සෙමින් හිස ඔසවා පියදාසගේ ආත්මය දෙස බැලුවේය. පියදාස තවමත් බිඳුණු දෑසින් යුතුව, කිසිවක් කරකියා ගත නොහැකිව බලා සිටියේය.

"දැක්කාද මාධව..." මේඝගේ හඬ ගැඹුරු විය. "යතුර තියෙන තැන පියදාසවත් දන්නේ නැහැ. හැරිසන් ඒ රහස් ඔක්කොම දීලා තියෙන්නේ සුලෝචනාට විතරයි. ඒ කියන්නේ මේ අගුල අරින්න නම්, සුලෝචනා ඒ රහස් යතුර හැංගුවේ කොහේද කියලා අපිට හොයාගන්න වෙනවා!"

*******

එළියේ වැස්ස දැන් තවත් දරුණු වී ඇත. මුළු නුවරඑළියම එකම අන්ධකාරයක ගිල්වමින්, මහා හෙණ හඬින් අහස ගුගුරා ඇද හැලෙන නොනැවතෙන මහ වැස්ස නිසා පරිසරයම බියකරු ස්වරූපයක් ගත්තේය. කාලයත් සමඟ අලුත්වැඩියාවක් නොලද ඒ පැරණි මන්දිරයේ වහලයේ සහ සිවිලිමේ කැඩුණු තැන්වලින් දැන් තැනින් තැන වතුර කාන්දු වන්නට පටන්ගෙන තිබුණි. බිත්ති දිගේ වැහි වතුර රූරා වැටෙද්දී, බිම ඇති ලී ගෙබිම මතට වතුර බිංදු වැටෙන 'ටොප්... ටොප්...' හඬ මුළු මන්දිරයේම මූසල නිශ්ශබ්දතාවය තීව්‍ර කරමින් දෝංකාර දුන්නේය.

මේ සියලු බාධා මැද, මේඝ සහ මාධව ඉහළ මාලයේ පිහිටි සුලෝචනාගේ පාළු කාමරය පුරාම නැවත වරක් ඉතා සූක්ෂ්ම ලෙස යතුර හොයන්නට වූහ. සිවිලිමෙන් වැටෙන සීතල වැහි වතුර බිංදු ඔවුන්ගේ ගත සලිත කරද්දී, ඔවුන් කාමරයේ තිබූ පැරණි ලාච්චු, ඇඳ ඇතිරිලි සහ දූවිල්ලෙන් වැසුණු බඩුබාහිරාදිය සිය දහස් වාරයක් පෙරළා බැලූහ. නමුත් කිසිදු හෝඩුවාවක් හමු නොවූ තැන මාධව දැඩි ලෙස අධෛර්යමත් වන්නට විය.

එකවරම මේඝ කාමරය මැද ගල් ගැසී නතර වූයේ ඔහුට අතීත සිදුවීමක් මතක් වූ ලෙසය. ඔහුගේ තීක්ෂණ දෑස් කෙළින්ම යොමු වූයේ ඇඳට උඩින් බිත්තියේ ගසා තිබූ සුලෝචනාගේ විශාල, පැරණි පින්තූරය දෙසටය. මීට පෙරද ඔවුන් මේ පින්තූරය ගලවා එහි පිටුපස පරීක්ෂා කර තිබුණද, මේඝගේ මතකයට එකවරම අකුණක් ගැසුවාක් මෙන් අමුතු දෙයක් වැටහුණි.

ඔවුන් මීට කලින් මේ පින්තූරය ගලවා බැලූ අවස්ථාවේදී, එහි තිබූ අමුතු කොක්ක ඇතුළට ඔබ්බවා තද කළ විට මේ කාමරය ඇතුළෙන්ම රහස් උමගක් විවෘත වූ ආකාරය මේඝට ක්ෂණයකින් මතක් විය! එදා ඔවුන් සිතුවේ එය උමග විවෘත කරන ලීවරයක් පමණක් කියාය. නමුත් දැන් මේඝට සැබෑ රහස වැටහුණි. ඒ කොක්ක යනු උමග විවෘත කරන ලීවරය පමණක් නොව, එයම ගලවා ගත හැකි රහස් යතුරක් බව ඔහුට පසක් විය.

"මාධව... අර පින්තූරේ!" මේඝ වහා ඉදිරියට පැන කීවේය.

ඔහු වහා ඇඳ මතට නැඟී බිත්තියේ තිබූ සුලෝචනාගේ පින්තූරය සෙමින් ගලවා ඉවත් කළේය. පින්තූරය ඉවත් කළ පසු බිත්තියේ ඉතිරි වූයේ තඹ පැහැති, අමුතු කැටයම් සහිත ඝනකම් ලෝහමය කොක්කකි. මේඝ තමාගේ වෙව්ලන ඇඟිලි තුඩුවලින් ඒ කොක්ක අල්ලා මඳක් තද කර, මෙවර එය ඇතුළට ඔබනවා වෙනුවට වටයට කරකැවීය.

පුදුමයකට මෙන්, 'ක්ලික්' යන හඬින් යුතුව ඒ අමුතු කොක්ක බිත්තියෙන් සම්පූර්ණයෙන්ම ගැලවී මේඝගේ අතට ආවේය! එය බිත්තියට සවි කළ ඇනයක් නොව, සාලයේ ඇති අද්භූත මේසයේ අගුලට හරියටම ගැළපෙන අයුරින් නිදන්ගතව නිමවා තිබූ රහස් යතුරයි! සුලෝචනා හැමෝටම පෙනෙන ලෙස, රහස් උමගේ දොරටුව අසලම තමන්ගේ පින්තූරය එල්ලා තිබුණේ ඒ රහස් යතුර මතමය.

"අපි ඒක හොයාගත්තා මාධව... ඒක තමයි යතුර!" මේඝ තමාගේ අතේ ඇති තඹ පැහැති යතුර පෙන්වමින් උද්‍යෝගිමත් හඬින් පැවසීය.

දීර්ඝ කාලයකට පසු ඔවුන් දෙදෙනාගේම මුහුණුවල බලාපොරොත්තු සහගත සිනහවක් මතු වූ අතර, මන්දිරයේ සැඟවුණු මාරාන්තික රහස සිඳලීමට දැන් ඔවුන් සතුව මඟ පෑදී තිබුණි.

මේඝ සහ මාධව යතුරද සුරක්ෂිතව අතැතිව, තෙතමනයෙන් ලිස්සන සුලු පඩිපෙළ දිගේ සෙමින් පහළ මාලයට බැස ආහ. වහලයේ කැඩුණු තැන්වලින් වැගිරෙන සීතල වැහි වතුර බිංදු මන්දිරයේ අඳුරු සාලය පුරා තැනින් තැන පතිත වෙමින් තිබුණි.

දෙදෙනාම හුස්ම පොදක් පවා සිරකරගෙන සාලයේ මැද තිබූ ඒ කැටයම් කපන ලද, දිරාපත් වූ ලී මේසය අසලට පැමිණියහ. මේඝ තමාගේ වෙව්ලන දෑතින් තඹ පැහැති රහස් යතුර මේසයේ තිබූ අද්භූත අගුල තුළට ඇතුළු කළේය. එය එහි සිදුරට නූලටම ගැළපුණි. ඔහු මහා බරකින් යුතුව යතුර දකුණු පසට කරකවා, මාධවද ඇදගෙන වහා මඳක් පසුපසට විය.

තත්පර කිහිපයක මාරාන්තික නිශ්ශබ්දතාවයකින් පසු, පොළොව යටින් බරැති යකඩ දම්වැල් ඇදෙන මහා ගොරෝසු හඬක් ඇසුණි.

සාලයේ අඳුරුතම, පාළුම කෙළවරක තිබූ බිම් මහලේ ලී පුවරු කිහිපයක් ස්වයංක්‍රීයව දෙපසට වෙමින්, පොළොව යට සැඟවුණු අඳුරු ගැබකට දිවෙන රහස් දොරක් සෙමින් විවෘත විය. ඒ සමඟම, වසර තිස් ගණනක් තිස්සේ පොළොව යට හිරවී තිබූ, පුස් සහ දිරාපත් වූ ද්‍රව්‍යවලින් නැඟුණු, දරාගත නොහැකි දැඩි සැර අශුද්ධ දුර්ගන්ධයක් මුළු සාලය පුරාම විහිදී ගියේය. වෘත්තීය ජීවිතය තුළ ඕනෑතරම් නරක් වූ මිනී දැක පුරුදු පොලිස් නිලධාරීන් වුවද, මේ පැරණි සංවෘත වාතයේ තිබූ තද සැර ගඳ නිසා දෙදෙනාම වහා තම ලේන්සුවලින් නාසය වසාගත්තහ.

මේඝ තමා සතු විදුලි පන්දම දල්වා, ඒ මහා ඝන අන්ධකාරයෙන් පිරි බිහිසුණු කුහරය දෙසට එල්ල කළේය. විදුලි පන්දම් එළිය සිදුරු කරමින් පෙනුණේ, පොළොව යට නොපෙනෙන මානයකට විහිදී යන, දිරාපත් වූ ගල් පඩිපෙළකි.

"මාධව... පියවර තියද්දි පරිස්සමෙන්. කිසිම දේක අත තියන්න එපා. සාක්ෂි විනාශ වෙන්න පුළුවන්," මේඝ වෘත්තීය පොලිස් නිලධාරියෙකු ලෙස නීතිරීති සිහිපත් කරමින් පහත් හඬින් කීවේය.

ඔවුන් දෙදෙනා සෙමින් සෙමින් ඒ පාළු පඩිපෙළ දිගේ පොළොව යට අඳුරු කුටිය වෙත පියවර තැබූහ. පඩිපෙළ අවසන් වූයේ ගල් බිත්තිවලින් වට වූ, තෙතමනයෙන් පිරි කුඩා රහස් කාමරයකිනි. විදුලි පන්දම් එළිය ඒ සීතල ගල් පොළොව මතට යොමු කරද්දීම දෙදෙනාම මොහොතකට ගල් ගැසී ගියහ.

එහි ගල් පොළොව මත, වසර තිස් ගණනක කාලයකට හසු වී සම්පූර්ණයෙන්ම දිරාපත් වී ගිය මනුෂ්‍ය අස්ථි පද්ධතියක් විසිරී තිබුණි. කිසිදු මායාකාරී හෝ අද්භූත මන්ත්‍ර සලකුණක් එහි නොවීය. තිබුණේ ස්වභාවධර්මයේ නියමයට අනුව කාලය විසින් ඉතිරි කර තිබූ ඛේදවාචකයක සාක්ෂි පමණි. මස්, නහර සියල්ල දියවී වැලි වී ගොස් තිබූ අතර, සුදුමැලි වුණු ඇටකටු කිහිපයක් සහ හිස්කබල පමණක් ගල් පොළොව මත තනි වී තිබුණි. ඇය මියයන විට ඇඳ සිටි ඇඳුම්, කාලයත් සමඟ දිරාපත් වී, කෑලි කෑලි බවට පත්ව තැනින් තැන විසිරී තිබුණේය.

නමුත් ඒ සියල්ල මැද, ඇටසැකිල්ලේ දිරාගිය දකුණු අතේ ඇඟිලි අස්ථි අතර තිබූ රන් මුදුවක් පමණක්, විදුලි පන්දමේ එළියට මුහුණ ලා නිහඬව දිලිසෙමින් පැවතුණි.

පළපුරුදු අපරාධ විද්‍යාඥයින් ලෙස ඔවුන් දෙදෙනාම කිසිදු භාණ්ඩයක් ස්පර්ශ නොකිරීමට වගබලා ගත්හ. අපරාධ ස්ථානයක තිබිය යුතු පරිශුද්ධභාවය රකිමින්, ඔවුන් ශරීරයේ පිහිටීම සහ අවට පරිසරය දෑසින් පමණක් නිරීක්ෂණය කළහ.

"මේ ඉන්නේ සුලෝචනා..." මාධව විදුලි පන්දම් එළිය ඇටසැකිල්ල දෙසටම රඳවාගෙන, ඉතා සන්සුන් නමුත් බරෑරුම් හඬකින් පැවසීය. "අවුරුදු තිස් ගණනක් තිස්සේ මුළු පොලිසියම රට වටේ හෙව්ව සුලෝචනා, තමන්ගේම ගෙදර පොළොව යට මෙහෙම වැතිරිලා ඉඳලා තියෙනවා."

මේඝ සහ මාධව ඉතා සූක්ෂ්ම ලෙස විදුලි පන්දම් එළිය හසුරුවමින්, ඒ අඳුරු ගල් කුටියේ වටපිටාව නිරීක්ෂණය කරන්නට වූහ. මුළු කාමරයම වටේටම කළුගලෙන් බැඳ තිබූ අතර, එහි ඇති ශක්තිමත් බව නිසාවෙන්ම වසර තිස් ගණනක් තිස්සේ පොළොව යට කිසිදු සෙලවීමක් නොමැතිව මේ රහස් කාමරය සුරක්ෂිතව පැවතී ඇත.

කාමරයේ එක කොනක, කාලයත් සමඟ මලකඩ කා දිරාපත් වෙමින් පැවති යකඩ කබඩ් එකක් විය. ඊට මඳක් එහායින්, වරක් ආලෝකය ලබා දෙන්නට ඇතැයි සිතිය හැකි, වීදුරුව බොඳ වී ගිය පැරණි ලන්තෑරුමක් සහ දූවිල්ලෙන් වැසුණු කුඩා ලී මේසයක් හා පුටුවක් තිබුණි. මේසය මත දිරාපත් වී වේයන් කා දැමූ පොත් පත් කිහිපයක කොටස් සහ නිල් පැහැ ගැන්වුණු, නිමාව ක්ෂය වී ගිය පැරණි පෑන් කිහිපයක් විසිරී තිබුණි. කාමරයේ අනෙක් පස, ඇඳුම් දැමීම සඳහා එකල භාවිත කළ, ලී පටිවලින් ශක්තිමත් කරන ලද පැරණි ලෙදර් පෙට්ටියක් විය. එහි මතුපිට තැනින් තැන දිරාපත් වී කැබලි ගැලවී ගොස් තිබුණි.

ඔවුන් කිසිදු භාණ්ඩයක් අතින් ස්පර්ශ නොකර, විදුලි පන්දම් එළිය පමණක් ඒ මත රඳවමින් ඉදිරියට ගමන් කළහ. එවිටම කාමරයේ එක් කෙළවරක, කළුගල් බිත්තියටම සවි කර තිබූ තවත් ශක්තිමත් යකඩ දොරක් ඔවුන්ගේ නෙත ගැටුණි.

මාධව සෙමින් ඒ අසලට ගොස් දෑසින් පමණක් එය පරීක්ෂා කළේය. "මේඝ, මෙතන තව දොරක් තියෙනවා. හැබැයි මේක සම්පූර්ණයෙන්ම හිරවෙලා. මේකෙ කිසිම අගුලක් නෑ. මේක හෙලවෙන්නෙවත් නෑ. එහා පැත්තෙන් පස් කන්දක් කඩන් වැටිලා හරි, මොකක් හරි හේතුවකට උමග වැහිලා වගේ තියෙන්නේ. මේක ලෙහෙසියෙන් අරින්න බැහැ."

"ඒ කියන්නේ මේක තවත් කොහේට හරි විහිදුණු රහස් මාර්ගයක්," මේඝ පහත් හඬින් කීවේය.

ඔහු නැවතත් විදුලි පන්දම් එළිය බිම දිගේ සෙමින් හසුරුවන්නට විය. හදිසියේම, සුලෝචනාගේ ඇටසැකිල්ල වැතිරී තිබූ ස්ථානයට මඳක් නුදුරින්, දූවිලි හා වැලි තට්ටුවලට යට වී තිබූ අමුතුම ආකාරයේ වස්තූන් දෙකක් මත විදුලි පන්දම් එළිය නතර විය.

පළපුරුදු පොලිස් නිලධාරීන් වූ ඔවුන් දෙදෙනාගේම දෑස් පුදුමයෙන් මහත් වූයේ එහි තිබූ දේ නිසාවෙනි.

එහි තිබුණේ බිඳී ගිය කුඩා දරුවෙකුගේ කිරි බෝතලයක වීදුරු කැබලි කිහිපයක් සහ කාලයත් සමඟ රබර් කොටස දිරාපත් වී ගිය කුඩා ළදරු සූප්පුවකි! වසර තිස් ගණනක් පැරණි ඒ දූවිලි මත, මේ බිහිසුණු මරණයේ සාක්ෂි අතර ළදරු භාණ්ඩ කිහිපයක් තිබීම කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි.

"ළදරු කිරි බෝතලයක්...? සූප්පුවක්...?" මාධව මවිතයෙන් මේඝ දෙස බැලුවේය. "ඒ කියන්නේ සුලෝචනා අතුරුදන් වෙනකොට...?"

"ඇය තනියම නෙවෙයි ඉඳලා තියෙන්නේ මාධව," මේඝගේ හඬ දැඩි ලෙස බරෑරුම් විය. ඔහුගේ මනසෙහි මේ අභිරහසේ අලුත්ම, වඩාත් සංකීර්ණ පැතිකඩක් දිග හැරෙන්නට විය. "සුලෝචනා මේ පොළොව යට රහස් කාමරේ හිරවෙලා මැරෙනකොට, ඇය ළඟ කුඩා දරුවෙකුත් ඉඳලා තියෙනවා! ඒත් ඒ දරුවාගේ ඇටකටු මෙතන නැහැ. ඒ කියන්නේ ඒ දරුවා ජීවත් වුණාද? නැත්නම් කවුරු හරි ඒ දරුවාව අරන් ගියාද?"

මේඝ සහ මාධව තවදුරටත් ඒ අඳුරු ගල් කුටිය තුළ ඇති සාක්ෂි දෑසින් පරීක්ෂා කරමින් සිටියහ. ළදරු කිරි බෝතලයේ කැබලි සහ සූප්පුව දැකීමෙන් ඇති වූ කම්පනය ඔවුන්ගේ මනස තදින්ම ව්‍යාකූල කර තිබුණි.

එකවරම, කාමරයේ තිබූ දිරාපත් වූ වාතය දැඩි ලෙස සීතල වන්නට විය. කළුගල් පඩිපෙළ අතරින් පියදාසගේ ආත්මය ඒ අඳුරු කුටිය තුළට මතු විය.

ඔහුගේ මුහුණ පුරා තිබුණේ දරාගත නොහැකි වේදනාවකි. වසර තිස් ගණනක් තිස්සේ තමා පණ මෙන් රැකබලා ගත් තාරුණ්‍යයේ පසුවූ සුලෝචනා, තමන් සැරිසැරූ මන්දිරයේ බිමට යටින් මෙලෙස දිරාපත් වී ඇටසැකිල්ලක් වී ඇති බව දකිද්දී, ඒ අද්භූත ආත්මයේ හැඟීම් පාලනය කරගත නොහැකි විය. පියදාස වේදනාවෙන් කැඳවන්නාක් මෙන් අද්භූත, බිහිසුණු හඬක් නිකුත් කරමින් සුලෝචනාගේ ඇටකටු වටා වේගයෙන් කැරකෙන්නට විය. ඒ අමනුෂ්‍ය විලාපයේ ශබ්දයට කාමරයේ තිබූ යකඩ කබඩ් එක පවා සෙලවෙන්නට විය.

මේඝ වහා පියවරක් ඉදිරියට තබා, "පියදාස... සන්සුන් වෙන්න!" යැයි මඳක් තදින් පැවසීය.

මේඝ හිස් අවකාශයකට කතා කරනු දැක මාධව එකවරම තිගැස්සුණි. "මේඝ? කාටද උඹ ඔය කතා කරන්නේ? පියදාස ඉන්නවද මෙතන..?" මාධව වටපිට බලමින් ඇසුවේ මඳක් තිගැස්සෙමෙනි. ඔහුට පියදාසගේ ආත්මය නොපෙනෙන බැවින් ඔහු සිටියේ සම්පූර්ණයෙන්ම අන්දමන්දවය.

පියදාස සෙමින් තමාගේ කැරකීම නතර කර, වේදනාබර දෑසින් මේඝ දෙස බැලුවේය. ඉන්පසු ඔහු මේඝ අසල සිටින මාධව දෙසට තම දෑස් යොමු කළේය.

"මහත්තයා..." පියදාස බිඳුණු, ගොරෝසු හඬකින් මේඝ අමතමින්, මාධව දෙසට අත දිගු කළේය. "මම දැනගෙන හිටියා... ඔබලා දෙන්නා කවදා හරි දවසක මේ රහස විසඳනවා කියලා. මෙච්චර කාලයක්... වසර තිස් ගණනක් තිස්සේ මේ මන්දිරයේම සැරිසැරූ මටවත්, මගේ මිනිපිරිය මෙතන මේ කළුගල් පොළොව යට හිරවෙලා මැරිලා ඉන්නවා කියලා හොයාගන්න බැරි වුණා. ..."

මේඝ පියදාස පවසන දේ අසා සිටින අතරතුර, මාධව තවමත් සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව අන්දමන්ද වී බලා සිටියේය. මේඝ දෙස බලා සිටි මාධව, වෘත්තීය පොලිස් නිලධාරියෙකු ලෙස තමාගේ අවධානය නැවතත් බිම තිබූ සාක්ෂි වෙත යොමු කළේය.

"මේඝ, උඹේ ඔය භූත සංවාද පොඩ්ඩකට නතර කරලා මෙන්න මේකට මට උත්තරයක් දීපන්," මාධව විදුලි පන්දම් එළිය අර බිඳුණු කිරි බෝතලය සහ සූප්පුව වෙත එල්ල කරමින් ඉතා තාත්වික ස්වරයකින් ඇසුවේය. "මෙතන අවුරුදු 30කට වඩා පැරණි ගැහැනියකගේ ඇටසැකිල්ලක් තියෙන එක අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ වගේ සංවෘත, රහස් කළුගල් කුටියක් ඇතුළට කුඩා දරුවෙකුගේ බඩු ආවේ කොහොමද? සුලෝචනා මෙතන හිරවෙෙනකොට ඇය ළඟ දරුවෙක් හිටියා නම්... ඒ දරුවා කෝ? මේක සාමාන්‍ය අපරාධ නඩුවක් නෙවෙයි මේඝ, මේක පිටුපස ඊට වඩා ලොකු දෙයක් තියෙනවා."

මාධවගේ ඒ තාත්වික ප්‍රශ්නයත් සමඟ, මේඝ සෙමින් පියදාසගේ ආත්මය දෙස හැරුණේ ඒ දරුවා කවුදැයි පියදාසගෙන් ඇසීමේ අරමුණිනි.

පියදාස ඒ ප්‍රශ්නයට ක්ෂණිකව පිළිතුරක් ලබා දුන්නේ නැත. ඔහු මහා බියකින් සහ සැකයකින් තැතිගත් එකෙකු මෙන්, මේඝ දෙසත් මාධව දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. වසර තිස් ගණනක් තිස්සේ තමා සඟවාගෙන සිටි, තමාට පමණක් අයිති රහසක් හෝ තමා සතු වටිනාම වස්තුවක් මේ නිලධාරීන් දෙදෙනා විසින් බලහත්කාරයෙන් උදුරා ගැනීමට සැරසෙනවා වැනි අමුතුම බියකරු හැඟීමක් පියදාසගේ දෑස්වලින් පළ විය.

ඔහුගේ ආත්මය දැඩි ලෙස නොසන්සුන් වන්නට වූ අතර, කිසිදු වචනයක් හෝ හෝඩුවාවක් ප්‍රකාශ නොකරම, ඔහු ඒ අඳුරු කළුගල් පඩිපෙළ අතරට වැදී ක්ෂණයකින් නොපෙනී ගියේය.

"මේඝ... මොකද වුණේ? ඌ මොනවා හරි කිව්වාද?" මේඝ සිටි දෙසට විදුලි පන්දම ගසමින් මාධව ඇසුවේය.

"නැහැ මාධව... ඌ එකපාරටම බය වුණා. හරියට එයාට අයිති දෙයක් අපි උදුරගන්න හදනවා වගේ. මුකුත්ම නොකියාම ඌ අතුරුදන් වුණා," මේඝ කල්පනාබරිතව කීවේය.

"මට නම් පේන්නේ මේ දරුවාගේ කතාව ඇතුළේ තමයි මේ හැම මිනීමැරුමකම සැබෑ මුල තියෙන්නේ," මාධව බිම තිබූ කිරි බෝතල් කැබලි දෙස බලමින් දැඩි වෘත්තීය ස්වරයකින් පැවසීය. "අපි වහාම උඩට ගිහින් අපේ කණ්ඩායම්වලට කතා කරමු. මේ සාක්ෂි ටික නීත්‍යානුකූලව එකතු කරගන්නකල් අපිට මෙතන මුකුත්ම කරන්න බෑ."

දෙදෙනාම රහස් කුටියේ දොරටුව දෙසට පියනඟන්නට වූයේ, පියදාසගේ හදිසි නිහඬතාවය පිටුපස ඇති බියකරු සත්‍යය කුමක්දැයි සිතමිනි.

මෙම අපරාධයේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූයේ මාධවය. සිදුවීමේ ඇති සංකීර්ණත්වය සහ සංවේදීතාවය හේතුවෙන්, දේශීය පොලිස් බලප්‍රදේශයට තොරතුරු කාන්දු වීම වැළැක්වීමට ඔහු වහාම පියවර ගත්තේය. ඔහු තම ජංගම දුරකථනයෙන් කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අමතා, මෙම විශේෂ රහසිගත මෙහෙයුම සඳහා සහය ඉල්ලා සිටියේය.

මධ්‍යම රාත්‍රිය පසු වෙද්දී, මහ වැස්සේ අඳුර උපයෝගී කරගනිමින්, ආලෝකය පරාවර්තනය නොවන අඳුරු පැහැති වෑන් රථ තුනක් මන්දිරයේ ගේට්ටුවෙන් ඇතුළු විය. ඉන් බැසගත් නිලධාරීන් කණ්ඩායම කෙළින්ම ගමන් කළේ මේඝ සහ මාධව සිටි ස්ථානයටයි. මේඝ දෙසට හැරුණු ප්‍රධාන නිලධාරියා තද නිශ්ශබ්දතාවයක් මැද ඉතා ගෞරවනීය ලෙස මේඝට ආචාර කළේය. මේඝ තවදුරටත් නිලධාරියෙකු නොවුණත්, ඔහුගේ පෞරුෂය සහ ඔහු දරන රහස් හමුවේ එම පොලිස් නිලධාරීන්ගේ ගෞරවය ඔහුට එලෙසම ලැබුණි. මේඝ යනු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අතිදක්ෂතම නිලධාරියා වුවද, පසුගිය කාලයේ සිදු වූ විවිධ හේතූන් මත තාවකාලිකව සේවයෙන් පහ කර තිබුණද, ඔහුගේ නාමයට තිබූ ගරුත්වය කෙතරම්ද යත්, ඔහු කැඳවූ ඕනෑම මෙහෙයුමකට කොළඹින් පැමිණි විශේෂ කණ්ඩායම සූදානමින් සිටියහ.

කොළඹින් පැමිණි එම කණ්ඩායමට අපරාධ ස්ථාන පරීක්ෂණ විද්‍යාගාර නිලධාරීන්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර නිලධාරියෙකු, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඇතුළු අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් සහ ඇඟිලි සලකුණු හා ඩිජිටල් සාක්ෂි විශේෂඥයින් ඇතුළත් වූහ.

"සර්, ඕඩර් එකට අනුව අපි සියලුම උපකරණ ගෙනාවා. රේඩියෝ තරංග හෝ ජංගම දුරකථන සංඥා මන්දිරයෙන් පිටතට නොයන විදිහට අපි 'සීග්නල් ජෑමර්' පවා සවි කරලා තියෙන්නේ," ප්‍රධාන නිලධාරියා පැවසීය.

"හොඳයි. මෙතන සිද්ධ වෙන කිසිම දේක ෆොටෝ එකක්වත් මේ කාමරයෙන් එළියට යන්න බැහැ. ඒක මගේ නියෝගයක්," මාධවගේ ස්වරය මුවහත් විය. ඔහු වහාම පොලිස් නිලධාරියෙකුගේ සහජ දක්ෂතාවයෙන් යුතුව අණ දීමට පටන් ගත්තේය. "ඉක්මනට ඒරියා එක 'ග්‍රිඩ්' කරන්න. හැම අඟලක්ම චෙක් කරන්න ඕනේ. අර කළුගල් බිත්තිවල කිසිම හිදැසක් ඉතිරි කරන්න එපා."

පොලිස් කණ්ඩායම අතිශය විනයගරුකව ක්‍රියාත්මක විය. ඔවුන් තම සුදු පැහැති ඇඳුම් කට්ටලයෙන් සැරසී, අත්වැසුම් පැළඳ, දූවිල්ලක්වත් නොසෙල්වෙන සේ සාක්ෂි එකතු කිරීමට පටන් ගත්හ.

ඡායාරූපකරණය සහ වීඩියෝ ගත කිරීම පළමුවෙන්ම අපරාධ ස්ථාන ආලෝකකරණ ශිල්පියා සහ ඡායාරූප ශිල්පියා විසින් කාමරයේ ව්‍යුහය, ඇටසැකිල්ල වැතිරී ඇති ආකාරය, එහි දිශානතිය සහ අවට ඇති භාණ්ඩ තිබූ පරිදීම විවිධ කෝණවලින් ඡායාරූපගත කළහ. සෑම ඡායාරූපයකටම අදාළ පරිමාණයන් දැක්වීමට කුඩා අංක පුවරු සාක්ෂි අසලින් තබන ලදී. ඇඟිලි සලකුණු සහ සාක්ෂි එකතු කිරීම විශේෂඥයින් විසින් යකඩ කබඩ් එකේ අගුල, ලී මේසය, පෑන් සහ බිඳී ගිය කිරි බෝතලයේ වීදුරු කැබලි මත විශේෂිත චුම්බක කුඩු සහ ලේසර් ආලෝකය භාවිත කරමින් පැරණි ඇඟිලි සලකුණු හෝ DNA සාක්ෂි මතු කර ගැනීමට උත්සාහ කළහ. කිරි බෝතල් කැබලි සහ සූප්පුව තිබූ ස්ථානය සලකුණු කර, ඒවා සියුම් Tweezers ආධාරයෙන් ගෙන වෙන වෙනම Evidence Bags තුළ බහා සීල් තබන ලදී.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා සෙමින් ඇටසැකිල්ල අසල දණ ගසා, එය ස්පර්ශ නොකර ඉතා සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කළේය. ශ්‍රෝණි අස්ථියේ සහ හිස්කබලේ ව්‍යුහය අනුව එය වයස අවුරුදු 25-30ත් අතර ගැහැනියකගේ බව ඔහු තහවුරු කළේය. හිස්කබලේ පසුපස ප්‍රදේශයේ දක්නට ලැබුණු පැහැදිලි බිඳීමක් පෙන්වමින්, එය මරණයට පෙර මොට ආයුධයකින් සිදුකළ මාරාන්තික පහරදීමක් විය හැකි බවට ඔහු මාධවට මූලික නිගමනයක් ලබා දුන්නේය.

ඇටසැකිල්ලේ දකුණු අතේ තිබූ රන් මුදුව වෘත්තීය මට්ටමින් ගලවා, එහි ඇතුළු පැත්තේ කිසියම් නමක් හෝ සලකුණක් කොටා ඇත්දැයි බැලීම සඳහා රසායනාගාර පරීක්ෂණවලට යොමු කිරීමට වෙනම ඇසුරුම් කරන ලදී. රජයේ රස පරීක්ෂකවරයා විසින් කාමරයේ කළුගල් බිත්ති සහ බිම මත තිබූ දූවිලි සාම්පල මෙන්ම, සිරුර දිරාපත් වීමේදී බිමට උරාගත් ජීව විද්‍යාත්මක සාම්පල සූරා වෙනම නලවලට එකතු කරගත්තේය.

කාමරයේ කෙළවර තිබූ ශක්තිමත් යකඩ දොර සහ ඉන් ඔබ්බට වැසී තිබූ උමගද කණ්ඩායමේ විශේෂ අවධානයට ලක් විය. එහි පිටත අගුලක් නොමැති වීම සහ දොරේ මලකඩ ස්ථරයන් පරීක්ෂා කර, එය වසර තිස් ගණනකින් විවෘත නොවූ බව ඔවුහු සටහන් පොත්වල ලියා ගත්හ.

පරීක්ෂණයේ මූලික කටයුතු නිම වීමෙන් පසු, මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා ස්ථානය සූදානම් කෙරුණි. මාධව සාලයේ කෙළවරකට වී, නිලධාරීන් විසින් සාක්ෂි එකින් එක ලේඛනගත කර සාක්ෂි බෑග් මුද්‍රා තබන ආකාරය දෙස බලා සිටියේය.

"සර්, මූලික විද්‍යාත්මක සාක්ෂි සියල්ල අපි නීත්‍යානුකූලව එකතු කරගත්තා. හෙට උදේට මහේස්ත්‍රාත්තුමා ආවාට පස්සේ සිරුරේ ඉතිරි කොටස් අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයට ගෙනියන්න පුළුවන්," ප්‍රධාන නිලධාරියා මාධව අසලට පැමිණ වාර්තා කළේය.

මාධව හිස සැලුවේය. කොළඹින් පැමිණි කණ්ඩායමේ වෘත්තීය සහ විද්‍යාත්මක පරීක්ෂණ විලාසය හේතුවෙන්, මෙතෙක් කල් අඳුරේ තිබූ සුලෝචනාගේ මරණය පිළිබඳ නඩුව, දැන් නිල වශයෙන් සහ තාත්විකව අධිකරණය හමුවට ගෙනයා හැකි මට්ටමට ගොඩනැඟෙමින් පැවතුණි.

මේඝ අඳුරු කෙළවරක සිටි පියදාසගේ ආත්මය දෙස බැලුවේය. පියදාස නිරුත්සාහකව, කිසිදු චලනයක් නොමැතිව, තමාගේ දියණියගේ අස්ථි පද්ධතිය වටා කැරකෙන මේ විද්‍යාත්මක පරීක්ෂණය දෙස බලා සිටියේය. ඔහුගේ දෑසෙහි වූයේ වේදනාව සහ බලාපොරොත්තු සුන් වූ හැඟීමකි. මේඝට දැනුණේ පියදාසගේ ආත්මය මේ පොලිස් පරීක්ෂණයට බිය වනවාට වඩා, තමාගේ රහස හෙළිදරව් වීමේ සැබෑ වේදනාවෙන් සිටින බවයි.

"මේඝ, මම මෙච්චර කාලෙකට දැකපු බිහිසුණුම අපරාධ ස්ථානය මේකයි. මොකද මේක පිටුපස තියෙන්නේ හුදෙක් මිනීමැරුමක් විතරක් නෙවෙයි, යටපත් කරපු විශාල බලපෑමක්. අපි මේක එළියට දාන්නේ හරි වෙලාවට විතරයි. එතකල් මේ රහස් කුටිය පොළොවට යටින් තියෙන සොහොන් ගෙයක් විතරයි."

පරීක්ෂණය ඉතා රහසිගතව සිදුවෙමින් පැවතුණි. අඳුරු පැහැති වෑන් රථ මන්දිරයේ සෙවනැලි අතර සැඟවී තිබුණි. කිසිවෙකුට හෝ අනුමාන කළ නොහැකි ලෙස, නීතියේ දැල මන්දිරයේ සෑම බිත්තියකටම විහිදෙමින් පැවතුණි.

පරීක්ෂණ සියල්ලම අවසන් වූ පසු, කණ්ඩායම අතිශය විනයගරුකව ක්‍රියාත්මක විය. ඔවුන් සාක්ෂි සියල්ලම අංකිත ලේබල යොදා, නීත්‍යානුකූලව මුද්‍රා තැබූ ඇසුරුම්වලට බහා ගත්හ. ඉතිරිව තිබූ බයෝ-සාම්පල සහ කුඩා භෞතික සාක්ෂි සියල්ලම රහසිගතව පවත්වා ගැනීමට අවශ්‍ය සියලුම ආරක්ෂිත පියවර ඔවුන් ගෙන තිබුණි.

"සර්, දැන් හැමදේම ක්ලීන්. කිසිම හෝඩුවාවක් ඉතිරි වෙලා නැහැ," ප්‍රධාන නිලධාරියා මාධව දෙසට හැරී ගෞරවයෙන් වාර්තා කළේය.

මාධව හිස සැලුවේය. "හොඳයි. දැන් මේ ස්ථානය ආපහු තිබ්බ තත්ත්වයටම සකස් කරන්න. කිසිම කෙනෙක් ඇතුළට ආවොත්, මෙතන කිසිම පරීක්ෂණයක් වෙලා නැති බව තහවුරු වෙන්න ඕනේ."

නිලධාරීන් ඉතා දක්ෂ ලෙස, පොළොව යට රහස් දොරටුව නැවතත් තිබූ පරිදිම සකස් කළහ. උමග වසා දැමූ පසු, පොළොව මතුපිට දූවිලි සහ පැරණි ලී පුවරු ආදිය පෙර තිබූ ස්ථානවලටම දමා, කිසිවෙකුට හෝ කිසිවක් සිදු වූ බව හඳුනාගත නොහැකි වන පරිදි එය ආවරණය කළහ. සාලයේ තිබූ අද්භූත මේසය පවා තිබූ ඉරියව්වටම ගෙනවිත් තබන ලදී.

පරීක්ෂණ කණ්ඩායම ඉතා නිශ්ශබ්දව වෑන් රථ කරා ගමන් කළහ. එළියේ ඇද හැලෙන මහ වැස්ස ඔවුන්ගේ වාහනවල සලකුණු පවා සෝදාගෙන ගියේය. වෑන් රථවල තිබූ ආලෝකයන් පවා නිවා දමා, මන්දිරයේ ගේට්ටුවෙන් පිටතට ගියේ කිසිවෙකුටත් නොදැනෙන අයුරිනි.

කණ්ඩායම පිටව ගිය පසු, මන්දිරය නැවතත් මීට පෙර පැවති ඒ මූසල නිශ්ශබ්දතාවයෙන් වෙළී ගියේය. මාධව සහ මේඝ පමණක් සාලයේ ඉතිරි විය. මේඝ අඳුරු කෙළවරක බලා සිටි පියදාසගේ ආත්මය දෙස බැලුවේය. පියදාසගේ මුහුණේ තිබූ දැඩි වේදනාව දැන් මඳක් සංසිඳී, සාමය පැතිරී තිබුණි. තමාගේ මිනිබිරියගේ දේහය අවසානයේ නීතියේ රැකවරණය යටතට පත් වූ නිසා විය යුතුය, ඔහු තවදුරටත් කලබලකාරී නොවීය.

******* 

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."     

Next Episode 

 


Comments

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1