17 වන දිගහැරුම
පරීක්ෂණ කණ්ඩායම පිටව ගොස් පැය කිහිපයකට පසුව, රාත්‍රියේ මන්දිරය නැවතත් හුදකලාව අත්පත් කරගෙන තිබුණි. මේඝ සාලයේ තිබූ ලාම්පුව නිවා දමා, අඳුරේම මන්දිරයේ පිටවීමේ දොරටුව දෙසට පියනැඟුවේය. කිසිවක් නොවූ ගානට මන්දිරය නැවතත් තම රහස් සියල්ල දරාගෙන නින්දට වැටී තිබුණි. එහෙත් මේඝට දැනෙනා පරිදි, මෙය පරීක්ෂණයේ අවසානය නොව, මහා පරිමාණයේ පවුල් අභිරහසක ආරම්භය පමණි.
"පොඩ්ඩක් ඉඳපන් මාධව," මේඝ එකවරම නතර වී තම නළල පිරිමැද්දේය. ඔහුගේ දෑස්වල පරීක්ෂණාත්මක තියුණු බව නැවතත් මතු විය. "මිනිය හම්බුණා, ඔව්. දරුවෙක් ගැන අලුත් ප්‍රශ්නයක් මතුවුණා, ඒත් අපි අමතක කරපු වැදගත්ම දේ තවම තියෙනවා. ඒ තමයි 'කළු ලෝගුකාරයා' මේ මන්දිරේ පෙරලගෙන හොයන ඒ විශේෂ වස්තුව."
මාධව වහා හිස ඔසවා බැලුවේය. ඔව්, ඇත්ත! ඔවුන් මේ රහස් කුටිය පීරුවේ සුලෝචනාගේ මරණය ගැන දැනගන්නට වුවත්, ඒ බිහිසුණු කළු ලෝගුව ඇඳගත් පුද්ගලයා දිගින් දිගටම මේ මන්දිරය වටා සැරිසැරුවේ අනිවාර්යයෙන්ම කිසියම් පෞරාණික හෝ ගුප්ත වස්තුවක් ලබා ගැනීමේ අරමුණින් බව මාධවට සිහි විය.
"ඇත්තම තමයි මේඝ! රහස් කුටියේ අපි හැම අඟලක්ම බැලුවා. ඇටසැකිල්ල, ළදරු බඩු, දිරාගිය ඇඳුම් පෙට්ටිය... ඒත් ඒ කියන 'වස්තුව' නම් කොහෙත්ම තිබුණේ නැහැ."
මේඝ සාලයේ බිම ඉඳගෙන කල්පනා කරන්නට විය. "ඒක සුලෝචනාගේ ඇටකටු අස්සේ තිබුණේ නැත්නම්, ඒක කොහේ හරි මේ කාමරේම බිත්තියක හරි, නැත්නම් මන්දිරේ වෙනත් තැනක හරි සැඟවිලා තියෙන්න ඕනේ." එහෙමත් නැත්නම්, මේඝ නැවතත් කාමරය දෙස බැලුවේය. "ඒ වස්තුව සුලෝචනා මැරෙන්න කලින් කාටහරි භාර දෙන්න ඕනෙ. සමහරවිට ඇය ඒ දරුවා එක්කම ඒ වස්තුවත් පිටතට යවලා තියෙනවා වෙන්න පුලුවන්."
"ඒක තමයි වෙන්න ඕනේ!" මාධව නැඟිට්ටේය. ඔහුගේ පියවරවල තිබුණේ නැවතත් පොලිස් නිලධාරියෙකුගේ අධිෂ්ඨානයයි. "අපි පරීක්ෂණය කළේ මිනියක් හොයන්න. ඒත් කළු ලෝගුකාරයා හෙව්වේ 'වස්තුවක්'. ඒ වස්තුව කියන්නේ මේ මුළු රහසම විවෘත කරන යතුර වෙන්න ඇති."
මේඝ මාධව දෙස දැඩි ලෙස බැලුවේය. "හෙට ඉඳන් මේ පරීක්ෂණය වෙනස් වෙනවා. අපි සුලෝචනාගේ මරණය නෙවෙයි, කළු ලෝගුවා හොයන ඒ සැඟවුණු වස්තුව සහ අතුරුදන් වුණු ඒ දරුවා ගැන තියුණුම පරීක්ෂණය පටන් ගන්නවා. මේ හැමදේකම මුල එතන."
අඳුරු මන්දිරයේ වහලයේ කැඩුණු තැන්වලින් වැටෙන වැහි වතුර සද්දය දැන් මේඝට ඇසුණේ රිද්මයකට මෙනි. රහස් කුටිය වැසුණද, මන්දිරයේ සැබෑ අගුල තවමත් විවෘත වී නොතිබුණි. ඔවුන් හෙව්වේ මිනියක් වුවත්, ඔවුන්ට හමු වී තිබුණේ විසඳිය නොහැකි තරම් ගැඹුරු, පරම්පරා ගණනාවක අභිරහසකි.
"අර යකඩ දොර... ඒක අරින්න බැරි වුණාට, ඒක පිටුපස තියෙන්නේ මොකක්ද කියලා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේඝ," මාධව පහත් හඬින් පැවසීය.
පසුදා උදෑසනම ඔවුන් නැවතත් රහස් කුටියට බැස ගත්හ. පරීක්ෂණ නිලධාරීන් විසින් සකස් කර තිබූ ආරක්ෂිත ආවරණ සහ පටි සියල්ල තවමත් එලෙසම පැවතුණි. වාතයේ තිබූ දැඩි දුර්ගන්ධය තවමත් එලෙසම විය. විදුලි පන්දම් එළියෙන් ඒ ශක්තිමත් යකඩ දොර දෙස බැලූ ඔවුන්ට, ඒ දොර වටා තිබූ බිත්තිවල රළු බව දැකගත හැකි විය.
"මේ බලන්න මාධව," මේඝ දොරේ අද්දරට වී පරීක්ෂා කළේය. "මෙතන තියෙන මලකඩ තට්ටුව අනිත් තැන්වලට වඩා වැඩියි. හැබැයි මේ දොරේ අගුලක් පේන්න නැහැ. මේක බිත්තියටම වෙල්ඩින් කරලා වගේ."
මාධව තමා සතු කුඩා විදුලි පන්දම දොරේ ඉරි සහ සන්ධි දිගේ ඉතා සූක්ෂ්ම ලෙස යැව්වේය. එකවරම ඔහුගේ දෑස් තියුණු විය. "මේඝ, මෙතන පස් කන්දක් විතරක් නෙවෙයි තියෙන්නේ. මේක පිටුපස තියෙන උමග සම්පූර්ණයෙන්ම කඩා වැටිලා වගේ. මේ දොර බිඳලා දාන්න බෑ මේඝ, එහෙම වුණොත් මුළු මන්දිරයම කඩාගෙන වැටෙන්න පුළුවන්," මාධව බරපතළ ලෙස පැවසීය. "ඒත් දැන් අපිට තේරෙනවා, සුලෝචනා තමන්ගේ පණ වගේ රැකගත්ත දෙයක් මේ කොහේ හරි තියෙන්න ඕනෙ කියලා."
"සමහරවිට මේක අපි හිතනවාට වඩා සංකීර්ණයි මාධව," මේඝ සෙමෙන් පැවසීය. ඔහු බිත්තියේ තිබූ ගල් පතුරු කිහිපයක් ස්පර්ශ කළේය. "මේ ව්‍යුහය සාමාන්‍ය මන්දිරයක උමගක් නෙවෙයි. මේක පරම්පරා ගණනාවකට පෙර ඉතාම රහසිගතව සකස් කරපු බිම්ගෙයක්. සුලෝචනා ඒ දරුවා ගැන සහ මේ වස්තුව ගැන කිසිම සටහනක් තියලා ගියේ නැති එකෙන් පැහැදිලි වෙන්නේ, ඇය මේ රහස තමන්ගේ අවසාන හුස්ම තෙක්ම රැකගන්න තීරණය කරලා තිබුණු බවයි."
ඔවුන් දෙදෙනා පැය ගණනාවක් පුරා රහස් කුටියේ සෑම අඟලක්ම පීරමින් සෙවූහ. දිරාගිය දැවමය පෙට්ටි, බිත්තිවල තිබූ ලිහිල් ගල් පතුරු සහ අබලන් වූ බිම් පුවරු පවා ඔවුන් ඉවත් කර බැලූහ. මාධවගේ විදුලි පන්දම දොරේ සන්ධිවල සහ බිම තිබූ මඩ තැන්වල කිහිප වරක්ම ගැටුණද, ඔවුනට කිසිවක් හමු නොවීය. බලාපොරොත්තු වූයේ කිසියම් ලියවිල්ලක්, යතුරක් හෝ අවම වශයෙන් කුඩා පැළඳීමක් වැනි දෙයක් වුවත්, එහි තිබුණේ කාලයේ දූවිල්ල සහ අතීතයේ කඳුළු පමණි.
"කිසිවක් නැහැ මාධව," මේඝ අවසානයේ හෙම්බත් වී බිත්තියකට හේත්තු විය. ඔහුගේ හඬෙහි වූයේ දැඩි කලකිරීමකි. "අපි හැම දෙයක්ම පරීක්ෂා කළා. සුලෝචනාගේ ඇටසැකිල්ල අවට, යකඩ දොර අද්දර, මේ කාමරේ කොන්වල... මුකුත් නැහැ. ඒ වස්තුව මෙතන නැති බව නම් ස්ථිරයි."
මාධව සුසුමක් හෙළා තම දෑත් පිස දාගත්තේය. ඔහුගේ මුහුණේ ඇඳී තිබුණේ බලාපොරොත්තු සුන්වීමේ සේයාවකි.
"ඔව්," මේඝගේ ඇස්වල යළිත් දැඩි අධිෂ්ඨානයක් දිලිසෙන්නට විය. "මේ වස්තුව හොයාගන්න බැරිවීමම, මේක මේ මන්දිරයේ තවත් එක අඳුරු රහසක් බවට පත් කරනවා. යකඩ දොර පිටුපස සැඟවුණු ඒ උමග වගේම, මේ වස්තුවත් කවදා හෝ දවසක සත්‍යය එළියට එන තුරුම අද්භූත අභිරහසක් විදියටම තියෙයි. අපි අදට මෙතනින් නවත්වමු. ඒත් මාධව, මට හොඳටම විශ්වාසයි, මේ කළු ලෝගුකාරයා ආයෙමත් මේ මන්දිරයට එනවා. එදාට අපි සූදානම් වෙලා ඉන්න ඕනේ."
අඳුරු රහස් කුටියේ වාතය තවමත් බරව තිබුණි. ඔවුනට හමු නොවූ ඒ අභිරහස් වස්තුව තවමත් කොහේදෝ සඟවාගෙන මේ මන්දිරය අභිරහසක් ලෙසම ඉතිරි විය. පිටතින් ඇසුණු අකුණු සැරයක ශබ්දය මන්දිරයේ බිත්ති පවා සෙලවූවාක් මෙන් විය. ඔවුන් තේරුම් ගත්තේ, විසඳන්නට සැරසුණ අභිරහස, තවත් බොහෝ අඳුරු ප්‍රශ්න වලට මඟ පාදමින් නිමාවක් නොමැතිව දිගු වන බවයි.
මද වේලාවක නිහඬතාවය බිඳිමින් මාධවගේ සාක්කුවේ තිබූ දුරකථනය එකවරම නාද වන්නට විය. එය කොළඹ ප්‍රධාන පොලිස් මූලස්ථානයෙන් පැමිණි ඇමතුමකි. මාධව දුරකථනය කනට තබාගෙන ඉතා ඕනෑකමින් සවන් දුන්නේය. ඔහුගේ මුහුණේ ඉරියව් තත්පරයෙන් තත්පරයට වෙනස් විය.
"හරි... තේරුණා. මම ඒක බලාගන්නම්," මාධව කෙටියෙන් පවසා දුරකථනය විසන්ධි කළේය.
ඔහු මේඝ දෙස බැලුවේ තරමක උද්යෝගයකිනි. "මේඝ, කොළඹින් අපිට ආරංචියක් ආවා. ඊයේ අපි කරපු පරීක්ෂණවල මූලික වාර්තා සහ සුලෝචනාගේ මරණය සම්බන්ධ රහස් ලිපිගොනු අරගෙන විශේෂ නිලධාරියෙක් අද රෑ මන්දිරයට එනවා. ඔහු රහස් පරීක්ෂණ අංශයේ නිලධාරියෙක්."
මේඝගේ ඇස්වල මඳක් සැකයක් මතු විය. "රහස් නිලධාරියෙක්? හදිසියේම කොළඹින් මෙහෙම කෙනෙක් එන්නේ ඇයි මාධව? ඔය පරීක්ෂණ වාර්තා අපිට මේල් කරන්න කියලා මම එදා කිව්වනේ. මේක ඉවර කරන්න කලින්, මේකට ඉහළ නිලධාරීන් මැදිහත් වෙනවට මම කැමති නැහැ."
මාධව මඳක් සිනාසෙමින් මේඝ දෙස බැලුවේය. "මේඝ, ඒ ඔයා හිතනවා වගේ සැක සහිත කෙනෙක් නෙවෙයි. කොළඹ ඉඳන් එන්නේ අපේ නිලධාරියෙක්. ඔහු එන්නේ ඊයේ අපේ පරීක්ෂණ වාර්තා අරගෙන, අනික දෙපාර්තමේන්තුව තීරණය කරලා ඔයාව නැවතත් සේවයේ පිහිටුවන්න. ඒ නිල නියෝගය සහ ඒ ආශ්‍රිත ලිපිගොනු අරගෙනයි ඔහු එන්නේ."
මාධවගේ සතුට වචනයෙන් විස්තර කළ නොහැකි තරම් විය. වසර දෙකකට පසු තම ආදරණීය මිතුරා සහ තමාගේ ගෞරවනීය ඉහළ නිලධාරියා වූ මේඝ නැවතත් දෙපාර්තමේන්තුව නිල වශයෙන් පිළිගැනීම මාධවට දැනුණේ තමන්ගේම ජයග්‍රහණයක් ලෙසිනි. ඔහු බිත්තියට හේත්තු වී, මේඝ දෙස බලමින් සිනාසුණේය.
"මේඝ! මේක කොච්චර ලොකු දෙයක්ද කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? මුළු දෙපාර්තමේන්තුවම ඔයාගේ දක්ෂතාවය ආපහු පිළිඅරගෙන. කොහොමත් ඔයාට සම කරන්න කෙනෙක් නෑ. ආයෙත් ඔයාට නිල ඇඳුම අඳින්න පුළුවන්, ඔයාගේ ඒ බලතල ඔක්කොම ආයෙත් හම්බවෙනවා. මේක නිකන්ම උසස් වීමක් නෙවෙයි, ඔයාගේ ගෞරවය ආයෙත් ඔයාට ලැබීමක්!" මාධව උද්යෝගයෙන් පැවසීය.
නමුත් මේඝ සිටියේ ඉතා සන්සුන්වය. ඔහුගේ මුවගට නැගුණේ ඉතා සුළු සිනහවක් පමණි. ඔහු තම අත් දෙක එකට බැඳ ගත්තේය.
"මාධව, මට තේරෙනවා ඔයා මේ ගැන ගොඩක් සතුටු වෙන බව. ඒ ගැන මටත් සතුටුයි. ඒත්..." මේඝ කෙටි විරාමයක් ගත්තේය. "මේ තනතුරු, නිල ඇඳුම්, තරු පටි... මේ කිසිම දෙයකින් මට වැඩක් නැහැ. මට මේ වෙලාවේ තියෙන එකම ඉලක්කය තමයි මේ මන්දිරයේ තැන්පත් වෙලා තියෙන මේ මහා අභිරහස විසඳන එක. මම මේ පරීක්ෂණය පටන් ගත්තේ මගේ තනතුර බේරගන්න නෙවෙයි. මම මේක පටන් ගත්තේ ඇත්ත දකින්න."
ඔහු හැරී මාධවගේ දෑස් දෙස කෙළින්ම බැලීය. ඔහුගේ ඇස්වල තිබූ බැරෑරුම් බව මාධවගේ උද්යෝගය මොහොතකින් මැකී ගියේය.
"මේ පරීක්ෂණය අවසාන වෙනකන්, මේ අඳුරු රහස් එළියට එනකන්, මට වෙන කිසිම දෙයකින් වැඩක් නැහැ මාධව. ඒ වස්තුව කොහෙද තියෙන්නේ? සුලෝචනාගේ දරුවාට මොකද වුණේ? මගේ මනස දැන් ඉන්නේ ඒ මඩ ගොහොරුවේ. ඔය දේවල් වලට වඩා මට වැදගත් වෙන්නේ මේ මන්දිරයේ බිත්ති අතර සැඟවුණු නිහඬ සාක්ෂි."
මාධව නිහඬ විය. තම මිතුරාගේ අධිෂ්ඨානය කෙතරම් දැඩිදැයි ඔහුට යළිත් වරක් සිහිපත් විය. පදවි නාම හෝ නිල තල මේඝ වැනි මිනිසෙකුට හුදෙක් කඩදාසි කැබලි පමණක් බව මාධව තේරුම් ගත්තේය.
මාධව මේඝ දෙස බලා සිටියේ ගෞරවයකිනි. මේඝගේ දෑස්වල තිබූ ඒ දැඩි බව, අවංක බව සහ නීතියට වඩා යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ ඒ පැරණි ගතිගුණ තවමත් එලෙසම තිබෙනු ඔහු දුටුවේය. අවුරුදු දෙකක කාලයක් තිස්සේ සමාජයෙන් සහ දෙපාර්තමේන්තුවෙන් වෙන් වී සිටියද, මේඝගේ ආත්මය තුළ සිටි ඒ නීතිගරුක, විනයගරුක සහ අති දක්ෂ නිලධාරියා කිසිදු වෙනසක් නොවී ජීවත් වන බව මාධවට හැඟුණි.
"ඔයා හරි මේඝ," මාධව මෘදු සිනහවකින් යුතුව පැවසීය. "මට වැරදුණා. මේ තනතුරු, මේ ලියකියවිලි ඔයාට ඔප්පු කරන්න ඕන දේවල් නෙවෙයි. ඔයා කවුද, ඔයාගේ හැකියාව මොකක්ද කියලා ඔයාගේ ක්‍රියාවන්ම මේ සමාජයට ඔප්පු කරපු කෙනෙක්. ඔයාගේ ඇතුලේ ඉන්න ඒ පැරණි 'මේඝ' අංශු මාත්‍රයකින්වත් වෙනස් වෙලා නැහැ."
මාධවගේ වචනවල තිබූ අවංක බව මේඝට දැනුණි. ඔහුගේ මේ දුෂ්කර ගමනේදී තමා සමඟ සිටින එකම සහායකයා මාධව පමණි. ඔවුන් අතර තිබූ මිත්‍රත්වය හුදෙක් සේවා සහායකයන් දෙදෙනෙකුට වඩා බෙහෙවින් ගැඹුරු විය. එය ගෞරවය සහ විශ්වාසය මත ගොඩනැගුණු බැඳීමකි.
******
මධ්‍යම රාත්‍රිය උදාවෙමින් තිබුණි. මන්දිරයේ සාලයේ වූ පැරණි ඔරලෝසුවේ රිද්මයානුකූල හඬ නිහඬතාවය තවත් තීව්‍ර කළේය. හරියටම දොළහට, කොළඹ සිට පැමිණි එම තරුණ නිලධාරියා මන්දිරයේ සාලයට ගොඩ වැදුණි. මේඝ කෙරෙහි ඔහු තුළ පැවතියේ ඉමහත් ගෞරවයකි. ඔහු මේඝ අසලට පැමිණ, අතේ මැදගිල්ල ඇහි බැම අද්දරට ස්පර්ශ වන පරිදි අත ඔසවා මේඝට ආචාර කළේය.
ඔහු තම අතේ තිබූ ලිපිගොනුව දෙඅතින්ම ගෙන මේඝ වෙත පිරිනැමුවේය. "සර්, මේ තියෙන්නේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ අත්සනින්ම නිකුත් කරපු නිල නිවේදනයයි. වසර දෙකක ඇවෑමෙන්, ඔබතුමාව නැවතත් සේවයේ පිහිටෙව්වා කියන මේ පුවත ගෙන එන්න ලැබීම මා ලබන විශාලම ගෞරවයක් ලෙස මම සලකනවා."
ඔහුගේ ස්වරය තුළ තිබුණේ දැඩි සත්භාවයකි. "සර්, දෙපාර්තමේන්තුවම ඔබතුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා. මින් ඉදිරියට කිසිදු බාධාවකින් තොරව, පෙර පරිදිම ගෞරවාන්විතව සහ කෙලින්ම රාජකාරිය කිරීමට ඔබට දැන් පූර්ණ අවසරය ලැබී තිබෙනවා."
මේඝ එම නිල ලියවිල්ල ගෞරවයෙන් පිළිගත්තේය. ඔහුගේ මුහුණෙහි තනතුරක් ලැබීම නිසා ඇතිවන කිසිදු උද්දාමයක් හෝ මමත්වය නොතිබුණි. ඔහු නිහතමානීව සිනාසෙමින් එම නිලධාරියාගේ උරහිසට හිතවත්කමින් තට්ටුවක් දැමීය.
"ස්තූතියි. මේ ලිපිය නීතිමය වශයෙන් වටිනාකමක් තිබුණත්, මට වැදගත් වන්නේ මේ මන්දිරයේ සැඟවී ඇති සත්‍යය හෙළිදරව් කිරීමයි. මේ පණිවිඩය රැගෙන ඒමට ඔබ දැක්වූ කැපවීම ගැන මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා." මේඝ ලිපිගොනුව මාධව අතට පත් කළ නමුත්, මේඝගේ අවධානය යොමු වූයේ එම නිලධාරියා තවමත් අතේ තබාගෙන සිටි අනෙක් ඝනකම ලිපිගොනුව දෙසටය. මේඝ කිසිදු පැකිලීමකින් තොරව ගාම්භීර ස්වරයෙන් මෙසේ විමසුවේය.
"ඒත් මට වඩාත් වැදගත් දේ මෙතැන නැහැ. පරීක්ෂණ වාර්තා කෝ? පසුගිය දිනවල මේ මන්දිරයෙන් සොයාගත් දේවල පරීක්ෂණ පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ටික මට දැන්ම අවශ්‍යයි. මේ මොහොතේ මට ඒක අතිශයින්ම වැදගත්."
ඔහුගේ ස්වරය දැඩි වුවත්, එහි කිසිදු අහංකාරකමක් නොවීය. ඒ වෙනුවට තිබුණේ සත්‍යය සොයා ගැනීමට ඇති දැඩි උනන්දුවයි. ඒ නිලධාරියා වහාම එම ලිපිගොනුව මේඝ අතට පත් කළේය. "ස්තූතියි. ඔබ ගෙනා මේ ලිපිගොනු අපේ ගමනේ තීරණාත්මක සාධකයක් වෙනවා."
"සර්, මේ ෆොරෙන්සික් වාර්තාවේ ප්‍රතිඵල ඔක්කොම තියරි උඩුයටිකුරු කරනවා," ඔහු හඬ පහත් කර පැවසීය.
වාර්තාවේ වූ කරුණු එකින් එක දිගහැරෙන විට මේඝට දැනුණේ මහා අවිනිශ්චිත බවකි. සිරුරේ අස්ථිවල ඇති වූ දිරාපත් වීමේ තත්ත්වයන් සහ කාබන් පරීක්ෂණ අනුව, සුලෝචනා මියගොස් ඇත්තේ ඇය අතුරුදහන් වූ 1992 වසරේදී නොව, ඉන් වසර එකහමාරකට පසුව එනම් 1993 අගභාගයේදීය.
"ඇය අතුරුදහන් වුණාට පස්සේ අවුරුදු එකහමාරක් තිස්සේ ඇය ජීවත් වෙලා ඉඳලා තියෙනවා මාධව. ඇය කොහේ හරි රහසිගතව හිරවෙලා ඉඳලා තියෙනවා," මේඝ සැකයකින් යුතුව පැවසීය.
අධිකරණ වෛද්‍ය විශේෂඥයාගේ වාර්තාව ඉතාම බිහිසුණු විය. සුලෝචනාගේ මරණය ක්ෂණික වූවක් නොවේ. ඇගේ හිස්කබලේ පසුපසට එල්ල වූ ප්‍රබල පහරදීමෙන් ඇය සිහිසුන් වී නැවත සිහිය ලබා ඇත. එය මාරාන්තික පහරක් නොව, එය ඇයව අඩපණ කළ පහරක් පමණි. ඇගේ ඇඟිලි අස්ථිවල සහ දණහිස් අස්ථිවල ඇති වූ ක්ෂුද්‍ර තුවාල මගින් පැහැදිලි වූයේ, ඇය බිහිසුණු වේදනාවක් විඳිමින්, එම කුටියේ ගල් බිම දිගේ අඩි ගණනාවක් බඩගා ගොස් ඇති බවයි. ඇය එම තත්ත්වයෙන් පැය එකහාමාරක් පමණ ජීවිතය වෙනුවෙන් අරගල කරමින්, අවසානයේ ශ්වසන අපහසුතාවයෙන් මියගොස් තිබුණි.
වෛද්‍ය වාර්තාවේ වඩාත්ම කම්පන සහගත කොටස වූයේ ඇයගේ ශ්‍රෝණි අස්ථියේ අභ්‍යන්තරයේ වූ ස්ථිර වෙනස්කම්ය. "ඇය අතුරුදහන් වෙලා ඉඳපු ඒ අවුරුදු එකහමාර ඇතුළත ඇය දරුවෙක් බිහි කරලා තියෙනවා." අතුරුදහන් වන විට ඇය ගැබිනියක බවට කිසිදු සාක්ෂියක් නොතිබීමෙන් අදහස් වන්නේ, ඇයව බලහත්කාරයෙන් කොතැනක හෝ සඟවාගෙන සිටි කෙනෙක් විසින් ඇයව ගර්භණීභාවයට පත් කර ඇති බව හෝ ඇයව රැගෙන යන විටත් ඇය ගර්භණීව සිටි බවයි. නමුත් එය කිසිවෙකුත් දැන සිටියේ නැත.
කෙස් සහ නියපොතු වලින් ලබාගත් DNA සාම්පල සහ ඇය අතුරුදහන් වූ අවදියේ ඇගේ පනාවේ තිබී සොයාගෙන තිබූ කෙස්වල DNA සමාන බැවින්, මේ ඇයගේ දේහයම බව සනාථ කර තිබුණි.
වාර්තාවේ සඳහන් කරුණු එකින් එක කියවන විට මේඝගේ දෑත් වෙවුලන්නට විය. සාලයේ තිබූ ලාම්පුවේ දැල්ල නිතර දෙවේලේ උච්ඡාවචනය වූයේ, මන්දිරයේ පැවති අස්වාභාවික වාතාවරණය තීව්‍ර කරමිනි. මේඝ වාර්තාව නැවත නැවතත් කියෙව්වේ, තමන් දකින දේ මොළයට වටහා ගැනීමට මෙනි.
"මෙය සරල අපරාධයක් නෙවෙයි මාධව," මේඝගේ හඬ ගුප්ත විය. "සුලෝචනා අතුරුදහන් වුණේ 1992 නම්, ඇය 1993 අගභාගය දක්වාම ජීවත්ව සිටි බව වෛද්‍ය වාර්තාවලින් ස්ථිර වෙනවා. ඒ කියන්නේ ඇයව අවුරුදු එකහමාරක් තිස්සේ මන්දිරයේම හෝ අවට කොහේ හෝ සැඟවුණු කුටියක සිරකරගෙන සිට තිබෙනවා. ඒ කාලය ඇතුළත ඇය ලබා තිබෙන වධ වේදනා අතිමහත්."
මාධවගේ මුහුණේ ඇඳී තිබුණේ දැඩි කම්පනයකි. "අවුරුදු එකහමාරක්! ඇය ඒ රහස් කුටියේ බඩගාගෙන ගොස් මියයන විට ඇය විඳි ශාරීරික හා මානසික වේදනාව හිතාගන්නවත් බැහැ මේඝ. තවද, ඇය දරුවෙකු බිහි කර ඇති බව වෛද්‍ය වාර්තා තහවුරු කරනවා නම්, ඒ දරුවාට මොකද වුණේ? ඒ බිළිඳාගේ DNA සාම්පල හෝ අවම වශයෙන් අස්ථි කොටස්වත් ඒ කුටියේ තිබුණේ නැහැ."
මේඝ වෛද්‍ය වාර්තාවේ අග තිබූ ඡායාරූප දෙස බැලුවේය. සුලෝචනාගේ ඇඟිලි අස්ථිවල වූ ක්ෂුද්‍ර තුවාල සහ අස්ථි බිඳී තිබූ ආකාරය දෙස බලන විට, ඇය යමෙකුගෙන් බේරීමට උත්සාහ කරමින් මරණය අභිමුව අරගල කළ බව පැහැදිලි විය.
මාධව අසුනෙන් නැගිට ජනේලය අසලට ගියේය. පිටතින් ඇසුණේ වැස්සේ හඬ පමණි. "එතකොට මේඝ, 1992 හෝ 1993 ඉපදුණු ඒ දරුවා අදටත් ජීවතුන් අතර නම්, ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේ මන්දිරයේ සැබෑ උරුමක්කාරයා."
මේඝ වාර්තාව මේසය මත තබා, තම නළල පිරිමැද්දේය. ඔහුගේ දෑස්වල තිබුණේ කුණාටුවකට පෙර පවතින නිහඬ බවකි. "සුලෝචනා මියගොස් ඇත්තේ හුස්ම හිරවීමෙන්. ඒ දරුවා අද කොහෙද ඉන්නේ? සුලෝචනාගේ අවසාන හුස්ම පොදට පෙර ඇයට පහර දුන්නේ කවුද? මට ඒ ටිකට උත්තර හොයාගන්න ඕන මාධව. මේක මනුෂ්‍යත්වයට පිටුපෑ අමානුෂික කතාවක්."
මන්දිරයේ අඳුරු කොන් දෙස බලන විට, මේඝට දැන් දැනුණේ ඒ බිත්ති අතරින් යම් මර හඬක් නැගෙන්නාක් මෙනි. ඔවුන් හෙව්වේ සාමාන්‍ය මරණයක් පිළිබඳ හෝඩුවාවක් වුවද, දැන් ඔවුන් අතට පත්ව ඇත්තේ දශක ගණනාවක් තිස්සේ මවක් සහ දරුවෙකු වෙන් කළ, අඳුරු යටගියාවකි.
*******
මේඝගේ සිතුවිලි ජාලය දැඩි වේගයකින් ක්‍රියාත්මක වන්නට විය. ඔහු මේසය මත තිබූ සුලෝචනාගේ පැරණි ඡායාරූපයත්, සුජීවගේ වෛද්‍ය වාර්තාත් එකිනෙක අසලින් තබා ගනිමින් ඒවායේ ඇති නොගැලපීම් එකිනෙක සසඳන්නට විය. කාමරය පුරා රජ කළේ මරණීය නිශ්ශබ්දතාවයකි. එය කෙතරම් තීව්‍ර ද යත්, පිටත වැසි කුණාටුවෙන් තෙත බරිත වී තිබූ මන්දිරයේ බිත්ති දිගේ වෑහෙන දිය බිඳු පොළොවට පතිත වන සියුම් හඬ පවා ඔවුන්ට ඉතා පැහැදිලිව ඇසුණි.
"මාධව, අපි මීට වඩා ගැඹුරට, බොහෝම සූක්ෂ්මව හිතන්න ඕනේ," මේඝ මන්දිරයේ අඳුරු කොරිඩෝව දෙසට තම තියුණු දෑස් යොමු කරමින් සෙමෙන් පැවසීය. "සුලෝචනා කියන්නේ මේ මන්දිරයේ සහ මුළු වතුයායේම එකම පවුලේ සැබෑ උරුමක්කාරිය. ඇය අතුරුදහන් වුණාට පස්සේ මේ මහා දේපළ, මේ මන්දිරය, ඒ වගේම පරම්පරාගතව පැවත එන ඒ අද්භූත රහස් වස්තුව කාගේ අතටද පත් වුණේ? සුජීව කියන්නේ නිකම්ම නිකන් වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි. ඔහු කාලයක් තිස්සේ මේ මන්දිරයේ සහ පවුලේ විශ්වාසවන්තයා ලෙස පෙනී සිටි කෙනෙක්. සමහරවිට සුලෝචනාගේ අමානුෂික මරණයටත්, ඒ අහිංසක දරුවාගේ අතුරුදහන් වීමටත් ප්‍රධානම හේතුව සුජීව කෙරෙහි තැබූ ඒ අන්ධ විශ්වාසය වෙන්නත් පුළුවන්."
මාධව තමා වාඩි වී සිටි අසුනෙන් නැගිට මේඝ අසලට පැමිණියේය. ඔහුගේ දෑස් තුළ දූෂිත අපරාධකරුවෙකු කොටු කරගැනීමේ දැඩි අධිෂ්ඨානයක් ලියැවී තිබුණි.
"ඒ කියන්නේ මේඝ... සුජීවට ඕන වුණේ සුලෝචනාව නෙවෙයි, මේ මන්දිරය පිටුපස සැඟවුණු ඒ අද්භූත බලය සහ වස්තුව කියන එකද? ඔහු සුලෝචනාව අර රහස් කුටියේ වසර එකහමාරක් තිස්සේ බලහත්කාරයෙන් සිර කරලා තබා ගත්තේ ඇගේ කුසෙහි සිටි දරුවා බිහි වෙනකන් විතරයි. දරුවා මෙලොවට ලැබුණට පස්සේ... ඔහු ඇයව අමානුෂික ලෙස බිලි දීලා, ඒ දරුවාව තමන්ගේ ග්‍රහණයට ගත්තා වගේ බිහිසුණු දෙයක්ද මෙතන සිද්ධ වුණේ?"
"ඔව්, අපිට එහෙම හිතන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්," මේඝ බරපතළ ලෙස හිස සැලුවේය. "සුජීව අදටත් මේ වටපිටාවේ කොහේ හරි සැඟවිලා ඉන්නවා නම්, ඔහු තවමත් උත්සාහ කරන්නේ තමන්ගේ ඒ අසම්පූර්ණ අරමුණ මුදුන්පත් කරගන්න සහ ඒකට බාධා වෙන ඕනෑම සාක්ෂියක් අයින් කරන්න වෙන්න ඇති. මේ කියන 'කළු ලෝගුකාරයා' කවුරු වුණත්, ඔහු සුජීවගේ අතකොළුවක් වෙන්නත් බැරි නැහැ. එහෙමත් නැත්නම්, කළු ලෝගුකාරයා කියන්නේ සුජීවගේම තවත් එක බිහිසුණු වෙස් මුහුණක් වෙන්නත් පුළුවන්. හැබැයි මාධව, ඒක එක සැකයක් විතරයි. අනෙක් පැත්තෙන් වීරසිංහ ඉන්නවා. ඒත් වීරසිංහට සුලෝචනා මේ වගේ පරම්පරාගත රහස් කිව්වා කියලා අපිට හිතන්න ටිකක් අමාරුයි. එහෙමත් නැත්නම්... අපි හීනෙකින්වත් නොහිතන, මේ පවුලට සම්බන්ධ තුන්වැනි පාර්ශවයක කෙනෙක් මේ මුළු විනාශය පිටිපස්සෙ ඉන්නවා වෙන්නත් පුළුවන්."
"දැන් අපි මොකද කරන්නේ මේඝ?" මාධව බලාපොරොත්තු සහගතව ඇසුවේය.
"අපි දැන් මේ පරීක්ෂණයේ භයානකම සහ තීරණාත්මකම කොටස පටන් ගනිමු මාධව," මේඝ නැඟිට්ටේය. "මිනීමරුවා කොතැන සැඟවී සිටියත්, ඒ දරුවා අද කොහේ අතුරුදහන් වුණත්, වීරසිංහ මැරුණත් නැතත්... මම ජීවත් වෙලා හිටියොත් මේ මන්දිරයේ දූවිලි සහ ලේ අස්සේ සැඟවුණු සත්‍යය කවදා හෝ දවසක ලෝකය ඉදිරියට ගේනවාමයි."
මේඝ නැවතත් රහස් කුටියට ඇතුළු වූයේ මන්දිරයේ පැරණි කළුගල් බිත්තිවලින් වෑහෙන දිය බිඳු හඬ පවා තියුණු ලෙස ඇසෙන මරණීය නිශ්ශබ්දතාවයක් මැදය. ඔහු සෙමෙන් ගොස් සුලෝචනාගේ ඇටසැකිල්ල හමු වූ ඒ අඳුරු ස්ථානය අසල නැවතත් දණ ගැසුවේය. නිල පරීක්ෂණ කණ්ඩායම් පැමිණ එහි තිබූ බාහිර සාක්ෂි සියල්ල එකතු කරගෙන ගියද, මේඝගේ සහජ පරීක්ෂණ ඉව ඔහුට දිගින් දිගටම මුමුණන්නට වූයේ මෙහි ඇසට නොපෙනෙන තවත් විශාල යමක් සැඟවී ඇති බවයි.
පැය ගණනාවක් නිහඬවම ගෙවී ගියේය. ඔහු විදුලි පන්දම් එළියෙන් ඒ සීතල කළුගල් බිත්තිවල සෑම අඟලක්ම පීරමින්, ගල් පතුරු දහස් ගණනක් තම ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කරමින් පරීක්ෂා කළේය. රළු ගල්වල ගැටීම නිසා ඔහුගේ දෑත් තුවාල වී ලේ ගලන්නට විය. පිටතින් එන දැඩි සීතල වාතය ඔහුගේ සිරුර වෙලා ගත්තද, ඒ වන විටත් කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය. බලාපොරොත්තු සුන් වූ ඔහු මඳක් පසුපසට වී ඇද වැටුණි.
"මට කොහේද වැරදුණේ?" ඔහු තමාටම මුමුණා ගත්තේ දැඩි කලකිරීමකිනි. ඔහුට මොහොතකට සිතුණේ තමන් කිසිදු පදනමක් නැති මහා බොරුවක් පසුපස හඹා යනවාද කියාය. තවත් ගැඹුරු සුසුමක් හෙළමින් ඔහු බිත්තියේ අබලන් වූ විශාල ගල් තලාවකට තම සිරුරේ බර දී හේත්තු විය.
ඔහුගේ බර දරාගන්නට නොහැකි වූයේ දැයි නොදන්නා නමුත්, ඔහු හේත්තු වී සිටි විශාල කළුගල් පතුරක් මඳක් ඇතුළට තෙරපී, පසෙකට වන්නට ඇලවුණි.
එහි තිබූ පස් සහ දූවිලි අතරින්, ඉතා සූක්ෂ්ම ලෙස බිත්තිය තුළ සැඟවී තිබූ මලකඩ කෑ අබලන් වූ දම්වැලක කෙළවරක් මේඝගේ ඇස ගැටුණේය. එය හුදෙක් සාමාන්‍ය දම්වැලක් නොවීය; දශක ගණනාවක් තිස්සේ මඩ සහ දූවිලි යට වැසී තිබූ, බිත්තිය ඇතුළත ක්‍රියාත්මක වන රහසිගත යාන්ත්‍රික අගුලක කොටසකි.
මේඝ අදහාගත නොහැකි විස්මයකින් එය දෙස බලා සිටියේය. ඔහු සෙමෙන් ඒ මලකඩ කෑ තද දම්වැල තම දෑතින්ම දැඩිව අල්ලා ගත්තේය. එය බිත්තියටම සම්බන්ධ වී ඉතා තදින් බැඳී තිබුණි. ඔහු තම සිරුරේ මුළු ශක්තියම යොදා එය එකවරම තමා දෙසට ඇද්දේය.
"ග්‍රෝව්... ක්‍රැක්..."
භයානක, ගොරහැඬි ශබ්දයක් සමඟ කුටියේ කළුගල් බිත්ති පවා සෙලවෙනු මේඝට දැනුණි. දකුණුපස බිත්තියේ කළුගල් පතුරු අතරින් හීන් ඉරිතැලීමක් මතුවී, සෙමෙන් දෙපසට විවර වන්නට විය. එයින් ගැලවී ආවේ වසර තිහක් තිස්සේ බාහිර වාතය නොලැබුණු, පැරණි ලියකියවිලි සහ දූවිලි මුසු අමුතුම ගුප්ත සුවඳකි.
මේඝ තම විදුලි පන්දම දල්වා බිත්තිය තුළ විවෘත වූ ඒ කුඩා රහස් ගුහාව තුළට එබී බැලීය. එහි වූ කුඩා රාක්ක මත, කාලයේ දූවිල්ලට අභියෝග කරමින් තැන්පත් කර තිබූ පැරණි රහස් පොත් පෙළක් තිබුණි. ඒ අතරින් වඩාත් කැපී පෙනුණේ කහ පැහැ ගැන්වුණු අත්භූත ලියවිලි සමූහයකි. එහි වූ අකුරු බොඳවී ගියද, ඒවායේ ඇඳ තිබූ පැරණි යන්ත්‍ර මන්ත්‍ර සහ රූපසටහන් බිහිසුණු ස්වභාවයක් ඉතිරි කළේය.
නමුත් මේඝගේ අවධානය ක්ෂණයකින් යොමු වූයේ ගුහාවේ කෙළවර තිබූ කුඩා රන් පෙට්ටිය වෙතයි. ඔහු එය පුදුමයෙන් අතට ගත්තේය. ඒ රත්තරන් පෙට්ටියම ලක්ෂ ගණනක් වටිනා පෞරාණික පුරාවස්තුවක් බව පෙනුණි. ඔහු ඉතා ප්‍රවේශමෙන් එහි පියන විවෘත කළේය.
එහි ඇතුළත වෙල්වට් රෙදි කඩකින් ඔතා තැන්පත් කර තිබුණේ රතු පැහැයෙන් දිදුලන අමුතුම ආකාරයේ පාෂාණයකි. එය ස්වභාවයෙන්ම කිසියම් ගුප්ත, අද්භූත ආලෝකයක් විහිදුවමින් තිබුණි. නමුත්, පෙට්ටිය මැද එයට වෙන් කර තිබූ ඉඩකඩ දෙස බලන විට, මේඝට පැහැදිලි වූයේ මෙය සම්පූර්ණ පාෂාණයක් නොවන බවයි. එහි තිබුණේ බිඳී ගිය එක් කොටසක් පමණි; අනෙක් කොටස මෙහි නැත!
මේඝගේ දෑස්වල තිබුණේ අදහාගත නොහැකි විස්මයකි. රතු පැහැති පාෂාණ කැබැල්ල අඩංගු රන් පෙට්ටිය පසෙකින් තැබූ ඔහු, එම කුඩා රහස් ගුහාව තුළ තවත් යමක් සැඟවී ඇත්දැයි විදුලි පන්දම් එළියෙන් සූක්ෂ්ම ලෙස පරීක්ෂා කළේය.
එවිටම, ඒ අඳුරු කුහරයේ ඉහළ බිත්තියට වන්නට සවි කර තිබූ, මලකඩ කා ගියද අතිශය ශක්තිමත් පෙනුමකින් යුත් විශාල යකඩ කොක්කක් ඔහුගේ නෙත ගැටුණි. එය සාමාන්‍ය දෙයක් නොවන බවත්, පෙර පරිදිම කිසියම් යාන්ත්‍රික පද්ධතියකය සම්බන්ධ වූවක් බවත් ඔහුගේ තියුණු පරීක්ෂණ බුද්ධියට වහා වැටහිණි.
මේඝ කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට ගොස් ඒ ශක්තිමත් යකඩ කොක්ක තම දෑතින්ම දැඩිව ග්‍රහණය කරගත්තේය. ඉන්පසු, ඔහුගේ සිරුරේ ඉතිරිව තිබූ මුළු ශක්තියම යොදවමින් එය පහළට ඇද්දේය.
මුලදී එය අඟලක්වත් සෙලවුණේ නැත. එහෙත් ඔහු තම උපරිම වෙහෙස යොදා දෙවන වරටත් එය ගැස්සීමකින් යුතුව ඇද දැමූ විට, "ක්‍රීස්... ක්‍රැක්..." හඬින් යුතුව මුළු රහස් කුටියේම සිවිලිමෙන් දූවිලි හා කුඩා ගල් කැබලි බිමට හැලෙන්නට විය.
ඒ සමඟම, එතෙක් වේලා කිසිදු අගුලක් හෝ විවරයක් සොයාගත නොහැකිව, බිත්තියටම වෙල්ඩින් කර ඇති සේ දිස් වූ ඒ මහා ශක්තිමත් යකඩ දොර දෙසින් දරුණු යකඩ ගැටෙන හඬක් ඇසෙන්නට විය. දශක ගණනාවක නිහඬතාවය බිඳදමමින්, බිම්ගෙයි බිත්ති පවා සෙලවෙන සුළු මහා ඝෝෂාවක් සමඟින් ඒ බරැති යකඩ දොර සෙමෙන්, නමුත් ස්ථිරවම දෙපසට විවර වන්නට විය. දොර පිටුපසින් ගලා ආවේ වසර ගණනාවකින් මිනිස් පහසක් නොලද, දැඩි අන්ධකාරයෙන් සහ අභිරහසෙන් පිරුණු තවත් එක් බිහිසුණු ලෝකයකි.
යකඩ දොර සෙමෙන් දෙපසට විවර වෙත්ම, එහි ඇතුළතින් ඇසුණු බිහිසුණු හඬ තවත් දරුණු විය. දොර පිටුපස වූ උමගෙහි ශක්තිමත් බව කාලයත් සමඟ ගිලිහී ගොස් තිබූ බැවින්, දොර ඇරීමේදී ඇති වූ ඒ දැඩි කම්පනය දරාගත නොහැකිව උමග මුදුනේ තිබූ පස් සහ ගල් කැබලි විශාල ප්‍රමාණයක් එකවරම කඩා හැලෙන්නට විය. උමග අවහිර කරමින් තිබූ ඒ දූවිලි මිශ්‍ර පස් කන්ද, විවෘත වූ දොර කටින් මේඝ සිටි කුටියේ බිම දෙසට වේගයෙන් ගලා විත් පතිත විය. මුළු කුටියම දූවිලි වලාකුළකින් වැසී ගිය අතර, කැඩුණු ගල් බිත්ති අතරින් නැඟුණු ඒ මහා ශබ්දය මුළු මන්දිරය පුරාම දෝංකාර දුන්නේය.
රහස් කුටියෙන් ඇසුණු ඒ අසාමාන්‍ය ගොරහැඬි ශබ්දයක්, පොළොව පවා සෙලවෙන පරිදි නැඟුණු ඝෝෂාවත් ඇසුණු විගස සාලයේ සිටි මාධව දැඩි ලෙස කලබලයට පත් විය. මේඝට අනතුරක් වන්නට ඇතැයි සිතූ ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට වූ අතර, ඔහු කිසිදු පමාවකින් තොරව විදුලි පන්දම හා ආරක්ෂාව සඳහා තම පිස්තෝලයද අතැතිව රහස් කුටියේ පියගැටපෙළ දෙසට වේගයෙන් දිව ආවේය.
"මේඝ! මේඝ! ඔයාට කරදරයක්ද?" මාධව කෑගසමින්, දූවිලි අතරින් කහිමින් කුටිය තුළට කඩා වැදුණේය.
නමුත් කුටිය මැදට පැමිණි මාධව එකවරම ගල් ගැසී නතර විය. ඔහුගේ විදුලි පන්දම් එළිය මුලින්ම වැටුණේ බිත්තියේ විවෘත වී තිබූ ඒ අලුත් රහස් කුහරය වෙතටයි. එහි රාක්ක මත තිබූ පැරණි රහස් පොත් පෙළ, මේඝගේ අතේ තිබූ රතු පැහැයෙන් දිදුලන අමුතු පාෂාණය සහිත රන් පෙට්ටිය සහ ඒ සියල්ලටම වඩා එතෙක් වසා තිබූ, දැන් අඩක් විවෘත වී පස් කන්දක් පෙරළී ඇති ඒ මහා යකඩ දොර දෙස බලන විට මාධවට තමා දකින දේ අදහාගත නොහැකි විය.
ඔහු මේඝ දෙසත්, විවෘත වූ දොර පිටුපස ඇති අඳුරු උමග දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. මහා විස්මයක් සහ කම්පනයක් නිසා ඔහුගේ උගුර වියළී ගිය අතර, මේඝ සොයාගෙන තිබූ ඒ මහා රහස් සමුදාය දැකීමෙන් මාධවට වචන අමතක වී, කතා කර ගැනීමට පවා නොහැකිව මුව අයාගෙන බලා සිටින්නට විය.
දූවිලි වලාකුළු මඳක් පහව යත්ම, මාධව සහ මේඝ යකඩ දොර පිටුපස වූ ඒ අඳුරු, බිහිසුණු මාර්ගයට ඇතුළු වූහ. මන්දිරයේ බිත්ති පවා සෙලවෙන තරම් වූ දැඩි ආතතියක් සහ කුතුහලයක් ඔවුන් වෙලාගෙන තිබුණි. වසර ගණනාවකින් වාතාශ්‍රය නොලැබුණු ඒ අඳුරු කුටීරය තුළින් වහනය වූයේ දිරාපත් වූ පස්වල සහ පැරණි ගල් බිත්තිවල මළකඩ මුසු ගුප්ත සුවඳකි.
"ඒ කියන්නෙ මේක තමයි සුලෝචනා හැමදාම භාවිතා කරපු රහස් මාර්ගය..." මාධව පහත් ස්වරයෙන් පැවසීය.
ඔවුන් දෙදෙනා විදුලි පන්දම් එළියෙන් උමග දිගේ සෙමෙන් ඉදිරියට ගමන් කළහ. මේ උමග සාමාන්‍ය එකක් නොවීය; එය අතිශය ශක්තිමත් කළුගල් පුවරු එකිනෙක තබා, පරම්පරා ගණනාවකට පෙර ඉතාම සූක්ෂ්ම ලෙස නිර්මාණය කරන ලද්දකි. බිහිසුණු අන්ධකාරයක් මෙන්ම මරණීය නිශ්ශබ්දතාවයක් උමග පුරා රජ කළේය. හිසට ඉහළින් වූ ගල් ආරුක්කු කොතරම් ශක්තිමත්ද යත්, මෙතරම් කාලයක් ගත වුවත් මන්දිරය කිසිදු හානියක් නොවී තවමත් ස්ථිරව පැවතීමට සැබෑ හේතුව මන්දිරයේ මුළු බරම දරාගෙන සිටින මේ භූගත ව්‍යුහය බව ඔවුන්ට වැටහිණි.
ටික දුරක් යන විට උමග ප්‍රධාන කොටස් දෙකකට බෙදී යන අයුරු ඔවුන්ට දැකගත හැකි විය. එහි වම්පසට විහිදුණු අඳුරු මඟ පරීක්ෂා කළ මේඝ, "මාධව, මේ එක කොටසක් කෙළින්ම යන්නේ ගබඩා කාමරයට. ඒ කියන්නෙ කළු ලෝගුකාරයා මේ මන්දිරේට හොරෙන් ඇතුල් වෙන තැනට," යැයි පැවසීය. අනෙක් දිශාව, එනම් දකුණුපස මාර්ගය හරියටම සුලෝචනාගේ නිදන කාමරයට යටින් දිව යන බව වටහා ගැනීමට ඔවුන්ට වැඩි වේලාවක් ගත නොවීය.
"ඒ කියන්නෙ කළු ලෝගුවා මේ රහස් මාර්ගය ගැන දන්නවා. නමුත් අතන තව රහස් දොරක් තියෙනවා කියලා වත්, ඒක පිටිපස්සේ මෙහෙම කාමරයක් තියෙනවා කියලාවත් ඔහු දන්නෙ නෑ. මොකද ඒක බාහිරින් හොයන්න බැරි විදියටයි නිමවලා තියෙන්නෙ. බලන බලන හැමතැනම කළු ගල් විතරමයි පේන්න තියෙන්නෙ," මේඝ තේරුම් කළේය.
විදුලි පන්දම් එළිය රළු කළුගල් බිම දිගේ සෙමෙන් ඉදිරියට ඇදෙද්දී, ඔවුන් දුටු දසුනින් ඔවුන්ගේ මුළු සිරුරම වෙව්ලා ගියේය. ඒ බිම පුරා තිබුණේ හුදෙක් දූවිලි මත ඇඳුණු සලකුණු නොවේ; දශක තුනකට පෙර වේදනාවේ උපරිමයටම ගිය ගැහැනියකගේ අවසාන අරගලය සනිටුහන් කළ, වියළී කළු-දුඹුරු පැහැ ගැන්වුණු අඳුරු ලේ පැල්ලම්ය.
කාලයත් සමඟ දූවිලි තට්ටුවලට යට වී තිබුණද, ඇය තම ඇඟිලි තුඩුවලින් බිම හූරමින්, ශරීරයේ බර ඇදගෙන ඉදිරියටම බඩගා ගිය බව කියන ඒ දිගු ලේ ඉරි තවමත් මැකී ගොස් නොතිබුණි. ඇතැම් තැන්වල රළු ගල් කෙළවරවල් මත ඇගේ නියපොතු බිඳී, ඇඟිලි තුවාල වෙමින් ගලා ගිය ලේ ඝන වී, බිත්තිය පාමුල අඳුරු කැටිති ලෙස ඉතිරිව පැවතියේය. බිහිසුණු මරණීය වේදනාව දරාගනිමින් ඇය මේ රළු ගල් බිම දිගේ ඇදී ගිය ආකාරය මවාගන්නට පවා නොහැකි තරම් විය. ඒ බිහිසුණු සාක්ෂි දෙස බලා සිටි මේඝගේ සහ මාධවගේ ලේ නහර පවා මොහොතකට සීතල වී ගියේ, ඒ අඳුරු ලේ පැල්ලම් අතරින් ඇගේ අවසාන මර හඬ තවමත් දෝංකාර දෙන්නාක් මෙනි.
ඉන්පසු ඔවුන් උමගෙහි අනෙක් දිශාව ඔස්සේ ඉදිරියටම ඇදුණහ. අන්ධකාරය තව තවත් ඝන වූ අතර, උමගෙහි දිගු බව නිසා ඔවුන්ට කිලෝමීටර් ගණනාවක් ඉදිරියට ගමන් කිරීමට සිදු විය. අවසානයේ, උමගෙහි කෙළවර ඔවුන්ට හමුවූයේ දැවැන්ත මන්දිරය පිහිටි වතු යාය අවසානයේ වූ ඝන කැලෑව සහ අත්හැර දැමූ පැරණි ඇළ මාර්ගය පිහිටි දෙසට වන්නටයි.
"මේඝ, මෙතනින් එහාට යන්න බෑ," මාධව තම විදුලි පන්දම ඉදිරියට යොමු කරමින් පැවසීය.
ඔවුන් ඉදිරියටම යද්දී විදුලි පන්දම් එළියෙන් දැකගත හැකි වූයේ බලාපොරොත්තු සුන් කරවන දසුනකි. ගල්තලාවට විවෘත වන උමගෙහි අවසාන කොටස සම්පූර්ණයෙන්ම පාහේ දරුණු ලෙස කඩා වැටී තිබුණි. දැවැන්ත කළුගල් කුට්ටි සහ මහා පස් කන්දක් පෙරළී මුළු මාර්ගයම සදහටම වැසී ගොස් තිබූ අතර, එතනින් එහාට අඟලක්වත් ඉදිරියට ගමන් කළ නොහැකි ලෙස උමග අවහිර වී පැවතියේය. දශක ගණනාවකට පෙර මන්දිරයෙන් රහසිගතව පිටතට යාමට තිබූ හොඳම මඟ මෙය වන්නට ඇත.
එහෙත්, ඔවුන් දෙදෙනාම මවිතයට පත් කරමින් තවත් අමුතුම දෙයක් එහි පැවතුණි. උමගෙන් පිටතට යාමට කිසිදු ඉඩක් නොමැතිව මහා පස් කන්දෙන් වැසී තිබුණද, ඒ කඩා වැටුණු ගල් කුට්ටි අතරින් සහ උමගෙහි ඉහළ වහලයේ වූ ඉතා සූක්ෂ්ම සිදුරු අතරින් සූර්යාලෝක ධාරාවන් කිහිපයක් උමග ඇතුළට විහිදෙමින් තිබුණි.
"මේඝ, මේක බලන්න... මේ ඇතුළට එළිය එන්නේ කොහොමද?" මාධව පුදුමයෙන් ඉහළ බැලුවේය.
ඝන පොළොවට යටින් පිහිටි, සම්පූර්ණයෙන්ම කඩා වැටුණු මේ බිම්ගෙය තුළට, කිසිසේත්ම තිබිය නොහැකි ආකාරයට සූර්යාලෝකය පතිත වන ඒ අමුතුම රටාව ඔවුන්ට කිසිසේත් හිතාගත නොහැකි විය. එය හරියට උමගෙහි ව්‍යුහය ඇතුළතින්ම ආලෝකය විහිදුවන්නාක් මෙන් ගුප්ත, අද්භූත ස්වභාවයක් ඉතිරි කළේය.
උමගෙහි කෙළවර එලෙස සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව දැකීමෙන් ඔවුන් දෙදෙනාටම දැඩි ලෙස බලාපොරොත්තු සුන් විය. දරුවා පිටව ගිය මඟ ඔස්සේ ඉදිරියටම ගොස් සත්‍යය සොයා ගැනීමට තිබූ අවසන් අවස්ථාවත් වැසී ගොස් ඇති බව වටහා ගත් ඔවුහු, සුසුම් හෙළමින් නැවතත් ආපසු හැරී රහස් කුටිය දෙසට පියනැඟූහ.
නැවතත් රහස් කුටිය වෙත පැමිණි පසු, මේඝගේ අවධානය වහාම යොමු වූයේ අර අලුතින් විවෘත වූ කුඩා බිත්ති කුහරය වෙතටයි. ඔහු එහි තිබූ කහ පැහැ ගැන්වුණු අබිරහස් ලියවිලි සහ රහස් පොත් පෙළ එකින් එක අතට ගෙන, ඒවායේ ඇති රූපසටහන් සහ බොඳ වී ගිය අකුරු ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂා කරන්නට විය. මේ මන්දිරයේ සහ පවුලේ සැබෑ උරුමය කුමක්දැයි වටහා ගැනීමට ඔහු තම මුළු මනසම ඒ වෙත යොමු කළේය.
මේ අතර, මාධව රහස් කුටියේ කොනක දමා තිබූ මලකඩ කාගිය පැරණි සවලක් සොයාගත්තේය.
"මේඝ, ඔයා ඒ ලියකියවිලි බලන්න. මම මේ පස් ටික අයින් කරන්නම්. නැත්නම් අපිට මේ කුටිය ආපහු තිබුණ විදියටම වහලා දාන්න බෑ," මාධව පැවසීය.
ඔහු ඒ පැරණි සවල අතට ගෙන, අර යකඩ දොර විවෘත වන විට උමගෙන් කුටිය තුළට කඩා වැටුණු මහා පස් කන්ද සූරමින් පසෙකට දමන්නට විය. මාධව දැඩි වෙහෙසක් ගනිමින් පස් ඉවත් කරද්දී, සවල බිම වැදී නැඟුණු ශබ්දය මුළු රහස් කුටිය පුරාම දෝංකාර දුන්නේය.
********
"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."


Comments
Post a Comment