18 වන දිගහැරුම

"බ්‍රිතාන්‍ය කිරුළ සතු අතිශය වටිනා මුතු ඇටය වැනි මේ දූපත අපේ පාලනයට නතු කර ගැනීමට අප දරන වෑයම මුලින්ම අසාර්ථක වන්නේ මන්දැයි අපට කිසිසේත්ම නොවැටහිණි. ත්‍රිකුණාමලය, ගාල්ල සහ කොළඹ වැනි මුහුදුබඩ තීරයන් අපේ ග්‍රහණයට හසු වුවද, රට අභ්‍යන්තරයේ වූ සෙංකඩගල රාජධානියට ඇතුළු වීමට අප දැරූ සෑම උත්සාහයක්ම පලක් නොවීය. අපේ දියුණු තාක්ෂණය, මහා කාලතුවක්කු, නවීන අවි ආයුධ සහ අපේ විනයගරුක යුධ උපක්‍රම ඉදිරියේ වුවත්, සිංහල හමුදා සතු ශක්තිය අපට කිසිසේත් අභියෝග කළ නොහැකි, අදෘශ්‍යමාන බලයක් ලෙස පැවතිණි. ක්‍රි.ව. 1803 දී අපේ සේනාංක එම රාජධානියේදී මුහුණ දුන් මරණීය පරාජය ඊට හොඳම සාක්ෂියකි.

අවසානයේ, මගේ සෘජු නියෝගයෙන් මේ පිළිබඳව සොයා බැලීමට රහසිගත පර්යේෂණ කණ්ඩායමක් පත් කෙරිණි. සිංහලයන්ගේ දේශීය පාවා දෙන්නන් සහ රාජද්‍රෝහී ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව කළ දීර්ඝ සහ අවදානම් සහගත පරීක්ෂණයකින් පසු, අප එම භයානක සත්‍යය සොයා ගතිමු. සිංහල සටන්කරුවන්ගේ සැබෑ බලය ඔවුන්ගේ ශාරීරික ශක්තිය හෝ කඩුව හැසිරවීමේ දක්ෂතාවය පමණක් නොවේ, ඔවුන් සටන් කරන්නේ අපට නොපෙනෙන 'අදෘශ්‍යමාන බලවේගවල' සහාය ඇතිවය. මම සොයාගත් බිහිසුණු සත්‍යය නම්, මෙම මහා බලය රහසේ පාලනය කරන්නේ අතිශය බලගතු 'රතු පාෂාණයක්' සහ එම මන්ත්‍ර ජප කිරීමට යොදා ගන්නා ගුප්ත පොත් පෙළකිනි. මෙය ඔවුන්ට මහා බලගතු 'අදෘශ්‍යමාන පලිහක්' විය.

එම රහස දැනගත් වහාම, අපේ දේශීය පාවා දෙන්නන්ගේ උපකාරයෙන්, සටනකින් තොරවම උපක්‍රමශීලීව එම රතු පාෂාණය සහ මන්ත්‍ර පොත් සියල්ල සොරා ගැනීමට අප සමත් විය. මන්ත්‍ර බලය සහ පාෂාණයේ ශක්තිය අහිමි වීමත් සමඟ, සිංහලයන්ගේ ඒ 'අදෘශ්‍යමාන පලිහ' එකවරම බිඳ වැටිණි. ඉන්පසු, ක්‍රි.ව. 1815 මාර්තු මස මුළු ලංකාවම බ්‍රිතාන්‍ය කිරුළට යටත් කර ගැනීම අපට ඉතා පහසු විය.

එහෙත්, අපේ සැබෑ ගැටලුව මතු වූයේ රට අල්ලා ගැනීමෙන් පසුවය. මේ පාෂාණය අතිශය භයානක ය. එය හුදෙක් උෂ්ණත්වයට හෝ ආලෝකයට ප්‍රතිචාර දක්වන වස්තුවක් පමණක් නොවේ. එය සජීවීව ක්‍රියාත්මක කිරීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන 'සංඛ්‍යාත මන්ත්‍ර' මාලාවක් පවතී. යම් වැරදි කෙනෙකු විසින් මේ මන්ත්‍රයක් මතුරන විට, පාෂාණයෙන් පිටවන අතිධ්වනික තරංග නිසා මිනිසුන් ක්ෂණයකින් උන්මත්තක වෙති. ඇතැමෙක් ඒ අභ්‍යන්තර වේදනාව දරාගත නොහැකිව මිය යති.

එය විනාශ කිරීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වූයේ එහි ඇති අමුතු, සජීවී ගුණය නිසාය. නමුත් එම විද්‍යාඥයින් දිගින් දිගටම කළ සූක්ෂ්ම පර්යේෂණවලින් පසු අතිශය වැදගත් විද්‍යාත්මක රහසක් සොයාගැනීමට සමත් විය. එනම්, මෙම පාෂාණය සැබෑ රත්තරන් ඇතුළත පවතින විට, එහි ක්‍රියාකාරීත්වය සහ විනාශකාරී තරංග පිටවීම සම්පූර්ණයෙන්ම අඩපණ වන බවයි. රත්තරන් සතු කිසියම් සුවිශේෂී පරමාණුක ස්වභාවයක් නිසා පාෂාණයේ බලය පිටතට ගලා යාම වළක්වන බව විද්‍යාඥයින් තහවුරු කළේය.

එබැවින්, එහි බලය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා මම තීරණය කළේ එය කොටස් තුනකට කඩා, අතිශය ඝනකම් සැබෑ රත්තරන් පෙට්ටි තුනක් ඇතුළත තැන්පත් කිරීමටයි. ඉන්පසු එම රන් පෙට්ටි තුන එකිනෙකාට නොදැනෙන සේ ලංකාවේ අතිශය රහසිගත ස්ථාන තුනක නිදන් කිරීමට කටයුතු සැලසුම් කළෙමි. එසේ කොටස් කර රන් පෙට්ටි තුළ සිර කළද එහි ස්වභාවික බලය අඩුවූයේ නැත. ඒ වෙනුවට එම කැබලි තුනට වෙන වෙනම අද්භූත බලයන් ආරෝපණය වී, ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වන්නට විය. මෙම රහස සදහටම ආරක්ෂා කිරීම සඳහා, මම මගේ එකම බ්‍රිතාන්‍ය නිලධාරියෙකුටවත් කොටස් තුනම ඇති ස්ථාන නොදැනෙන ලෙස කටයුතු සැලසුම් කළෙමි.

මා මෙම මන්දිරයේ සඟවා ඇති කොටස ආරක්ෂා කිරීමේ වගකීම මගේ අතිශය විශ්වාසවන්ත බ්‍රිතාන්‍ය නිලධාරියෙකු වූ 'හැරිසන්' පරපුරට භාර දුන්නෙමි. මා මේ වගකීම ඔවුන්ගේ ලේ වලටම මුසු කර තැබුවෙමි. මෙම ස්ථානය ඔවුන්ගේ පවුලේ රහස්‍යභාවය මතම ආරක්ෂා විය යුතුය. මා හැරිසන් පරපුරට මෙම බරපතල වගකීම භාර දුන්නේ ඔවුන්ගේ පක්ෂපාතීත්වය මතම නොව, ඔවුන් ලංකාවේ රැඳී සිටි කාලය තුළ එකතු කරගත් පැරණි සිංහල සම්ප්‍රදායන් පිළිබඳ දැනුම හා ඔවුන් සිංහලයන් සමඟ ඒ වනවිටත් ඉතා සුහදශීලීත්වයක් ගොඩනඟාගෙන තිබීම නිසාය.

පළමු කැබැල්ල අඩංගු රන් පෙට්ටිය නිදන් කිරීම සඳහාම මම මෙම මන්දිරය ගොඩනැඟුවෙමි. එය මෙම මන්දිරයේ අත්තිවාරම යට, කවුරුත් නොදන්නා කුටියක තැන්පත් කරන ලෙස මම හැරිසන් පවුලට පැවරුණෙමි. ඔවුන්ට මා දැඩිව පැවසුවේ, 'මෙය ඔබගේ පවුලේ උරුමයයි, එහෙත් මෙම රන් පෙට්ටිය කිසිසේත්ම විවෘත නොකරන්න, පාෂාණය ස්පර්ශ නොකරන්න, මෙයට කතා නොකරන්න, මෙය කිසිවෙකුට නොපෙන්වන්න' යනුවෙනි. ඔවුන් එම වගකීම දශක ගණනාවක් පුරා අකුරටම ඉටුකරන බව මම නිසැකවම දැන සිටියෙමි. මන්ත්‍ර ශබ්ද නොමැතිව, මෙම පාෂාණය හුදෙක් නිසල, මළ ගලක් වැනිය. හැරිසන් පවුල එය කෙතරම් හොඳින් රැක ගත්තාද යත්, ඔවුන් පාෂාණයට බිය වූයේ නැත. ඔවුන් එයට ගරු කළහ.

එහෙත් මට වරදක් සිදු විය. මා සිතුවේ මෙම කොටස් වෙන් කර රන් පෙට්ටි තුළ බහාලීමෙන් ඒවායේ ඇති විනාශකාරී බලය සදහටම අඩපණ වේ යැයි කියාය. එහෙත් එය මගේ ලොකුම අඥානකමයි. මන්ත්‍රය රහිතව එය අක්‍රිය වුවත්, ඒ අවට වායුගෝලයේ පවතින අස්වාභාවික ස්පන්දනය කිසිවෙකුට සම්පූර්ණයෙන් නැවැත්විය නොහැක. එම පාෂාණයෙන් පිටවන අතිධ්වනික තරංග, පාෂාණයේ කම්පනය නිසා ඇතිවන ධ්වනියක් බව කිසිවෙකු නොදනිති.

කෙසේ වෙතත්, මෙම පරම්පරාවට මම මහා බරක් පටවා ඇත්තෙමි. පාෂාණය ආරක්ෂා කිරීම යනු හුදෙක් රාජකාරියක් නොවේ, එය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම කරන මහා කැපකිරීමකි. යම් දිනක හැරිසන් පරපුරට මෙම බර දරා ගැනීමට නොහැකි වුවහොත්, නැතහොත් ඔවුන්ගේ ආරක්ෂක වළල්ල බිඳී ගියහොත්, එම පාෂාණයේ පවතින අද්භූත බලයෙන් එම ආරක්ෂකයින්ගේ ආත්මයන් පාෂාණයටම 'බද්ධ' වන බව මම සිදුකළ සොයාබැලීම්වලින් අනාවරණය විය. ඉන්පසු ඔවුන්ට මරණයෙන් පසුව පවා නිදහසක් නැත. ඔවුන්ගේ ආත්මයන් මන්දිරයේ බිත්ති අතර සිරවී, සදාකාලිකවම මේ අභාග්‍යසම්පන්න වස්තුවේ වහලුන් ලෙස සැරිසරනු ඇත. කිසිදු පූජාවකින් හෝ යාඥාවකින් ඔවුන්ගේ ආත්මයන්ට සැනසීමක් ලැබෙන්නේ නැත. ඔවුන් සදහටම අඳුරේ ගිලී සිටිනු ඇත.

මාගේ කාලය අවසන් වෙමින් පවතී. මාගේ මිත්‍ර හැරිසන්ගේ කාලයද නිමා වෙමින් පවතී. ඔහුගෙන් පසු ඔහුගේ පරපුරේ අය මෙය ඉදිරියට රැක ගනු ඇත. මේ ගැන නොදන්නා බාහිර කෙනෙකු මෙය සොයා ගන්නේ නම්, ඔවුන් මුලින්ම තේරුම් ගත යුත්තේ හැරිසන් පරපුර යනු සාමාන්‍ය මිනිසුන් නොවන බවත්, මේ පාෂාණය යනු හුදෙක් ගලක් නොව, තමන්ගේම බුද්ධියක් සහිත විනාශකාරී යාන්ත්‍රණයක් බවත්ය.

කෑලි තුනම රන් පෙට්ටිවලින් මුදවා එකතු වූ දාක, එය වැරදි පුද්ගලයෙකු අතට පත් වුවහොත් නැවතත් ඒ අතීත අඳුරු බලවේගයන් පණ ලබනු ඇත. එවිට මා කළ ඒ කැපකිරීමෙන් කිසිදු පලක් නොවනු ඇත. විශේෂයෙන්ම මෙම පාෂාණයේ කොටස් තුනම එකතු කර, එහි නිවැරදි මන්ත්‍රය මුමුණා එය සක්‍රීය කළහොත් එය මේ ලෝකයේ පැවැත්ම සම්පූර්ණයෙන්ම කනපිට පෙරළනු ඇත.

එම නිසා මා මියගිය පසුත් මෙය රහසක්ව පැවීතීමට අවශ්‍ය සියලු කටයුතු මා දැනටමත් සිදුකර අවසානය. පළමු කොටස සඟවා ඇති මෙම මන්දිරය, දැනටමත් එම පාෂාණයේ අභිරහස් බලපෑමට ලක්ව ඇත. මෙම පාෂාණය නිදහස් වුවහොත්, මෙහි එන ඕනෑම අයෙකුට තම සිත තුළ ඇති අඳුරුම සිතුවිලිවලින්ම මරණයට පත් වීමට සිදුවනු ඇත. හැරිසන් පරපුරට පමණක් මෙම 'මුද්‍රාව' යටතේ ජීවත් වීමට හැකියාව පවතී.

මේ ලියවිල්ල කියවන ඕනෑම කෙනෙක් හොඳින් දැනගත යුතු වන්නේ, ඔබ සතුව ඇත්තේ ලංකා දූපතේ රහසක් නොව, ලෝකයේ සමතුලිතතාවය බිඳ දැමිය හැකි දොරටුවක යතුරක් බවයි. මගේ පරම අවවාදය නම්, මෙය නැවත රන් පෙට්ටිය පිටින්ම වළ දමා, මෙම මන්දිරයෙන් වහාම පිටව යාමයි. මෙය නැවත ප්‍රතිස්ථාපනය කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු දෙයකි. පරෙස්සම් වන්න! නැතිනම් ඔබට මෙම වස්තුවට බද්ධ වී ඔබේ ආත්මය පවා පාවා දීමට සිදුවනු ඇත."

"මට... මට මේක තනියම කරන්න බෑ..." මේඝ වේගවත් වූ හුස්ම මඳක් පාලනය කරගන්නට වෙර දරමින් තමාටම මුමුණා ගත්තේය. ඔහුගේ නළලතින් සීතල දහඩිය බින්දු කඩා හැලෙමින් තිබුණි. මේ මහා අනතුරෙන් සියල්ලෝම බේරා ගැනීමට නම්, හැරිසන් පරපුරේ ලේ උරුමය ඇති සැබෑ පුද්ගලයා කවුදැයි වහාම සොයා ගත යුතුය.

එවිටම, කුටියේ කෙළවරක තිබූ පස් ගොඩවල් ඈත් කරමින්, දෑතේ තැවරුණු දූවිලි පිසදමමින් මාධව මේඝ සිටි දෙසට පියනැඟුවේය. මුහුණ පුරා වූ දැඩි විමතිය සහ විඩාව නිසා මාධව සිටියේ අන්දමන්ද වීය. ඔහු වෙවුලන දෑතින් යුතුව, බිම බලාගෙන මළකඳක් මෙන් ගල් වී සිටින මේඝ අසල නතර විය.

"මේඝ... ඇයි මේ? මොකද වුණේ? ඇයි ඔය හැටි බය වෙලා?" මාධව හදිසියේම මේඝගේ උරහිසෙන් අල්ලා සොලවමින්, කලබලයෙන් විමසුවේය.

මේඝට කිසිවක් කියාගත නොහැකි විය. ඔහුගේ මුව ගොළු වී තිබුණි. ඔහු මන්දිරයේ අඳුර දෙසත්, තමා අත තිබූ රහස් ලියවිල්ල දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ වියරු වැදුණු දෑසිනි. අවසානයේ, කිසිදු වදනක් නොදොඩාම, තමා අත තිබූ ඒ පැරණි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ රහස් ලියවිල්ල ඔහු මාධවගේ අතට දිගු කළේය.

ලියවිල්ල අතට ගත් මාධව, එහි වූ ඉංග්‍රීසි අකුරු පෙළ මත තම දෑස් වේගයෙන් යොමු කළේය. ඔහු එය කියවාගෙන යද්දී, කුටිය තුළ පැවති වායුගෝලය තවත් බර, හුස්ම ගැනීමට පවා අපහසු තරම් ඝන විය. හැරිසන් පරපුරේ ශාපය, සුලෝචනාගේ ආත්මීය සිරවීම සහ ඒ ලේ උරුමයේ බිහිසුණු වගකීම පිළිබඳව කියවා අවසන් වෙද්දී මාධව සම්පූර්ණයෙන්ම බිරාන්ත වී සිටියේය. ඔහු අත තිබූ ලියවිල්ල මඳක් පහතට වැටුණු අතර, ඔහු කිසිවක් කරකියා ගත නොහැකිව, දෑස් අදහාගත නොහැකි විස්මයකින් සහ කම්පනයකින් යුතුව මේඝ දෙස බලා සිටියේය. මුළු කුටියම මොහොතකට සොහොන් පිටියක් මෙන් නිශ්ශබ්ද විය.

"මේ... මේක වෙන්න බෑ..." මාධව බිඳුණු හඬින් මුමුණද්දී, මේඝ වහා ක්‍රියාත්මක විය.

මේඝ තවදුරටත් කාලය නාස්ති නොකර, පෙට්ටියේ තිබූ රතු පාෂාණ කොටස නැවතත් ඉතා ප්‍රවේශමෙන් වසා දැමුවේය. ඉන්පසු එය කලින් තිබූ පරිදිම ඝන රෙදිකඩකින් මනාව ඔතා, රන් පෙට්ටියද සමඟින් ඒ අඳුරු ගුහාව තුළ, එය තිබූ රහසිගත ස්ථානයේම නැවත තැන්පත් කළේය. මාධව බිරාන්ත වී බලා සිටියදීම, මේඝ ආණ්ඩුකාරවරයාගේ ඒ රහස් ලියවිල්ලද ගෙන, එයද එම ගුහාව තුළම තිබූ විදියටම සුරක්ෂිතව තැම්පත් කිරීමට කටයුතු කළේය.

සියල්ල අවසන් වූ පසු, මේඝ එම අඳුරු කුහරය දෙස බැලුවේය. එම කුටියේ, රහසිගතව සඟවා තිබූ යකඩ කොක්කක් ඔහුගේ දෑසට හසු විය. මේඝ දැඩි වෙහෙසක් යොදා ඒ කොක්කෙන් තදින් ඇද්දේය.

ක්‍රීස්...ස්...ස්...

බිහිසුණු, කන්කරච්චල් හඬක් නඟමින් මන්දිරයේ ඒ මහා ගල් බිත්තිය සෙමෙන් ඉදිරියට ඇදී ආවේය. එය පෙර තිබූ පරිදිම වැසී ගියේය. ඉන්පසු කුහරය වසා දමන කොක්කද ඇද, රහස් කුහරය සම්පූර්ණයෙන්ම වසා දැමීය. සියල්ල තිබූ පරිදිම ස්ථිර ලෙස වැසී ගියේය. දූවිලි සහ ගුප්ත රහස් සියල්ල නැවතත් ඒ මහා බිත්තිය පිටුපස සදහටම සැඟවී ගියේය. සියල්ල තිබූ විදියටම සකස් කළ මේඝ, මාධව දෙස හැරී බැලුවේ ඊළඟ මාරාන්තික පියවර සඳහා තම සිත දැඩි කරගනිමිනි.

රන් පෙට්ටිය සහ රහස් ලියවිල්ල නැවතත් මහා ගල් බිත්තිය පිටුපස සැඟවී ගියද, මේඝගේ සිත තුළ ඇති වූ කැළඹීම නම් එලෙසින්ම පැවතිණි. පියදාසගේ පසුබිම මේඝට විශාල ගැටලුවක් විය. පියදාසට හැරිසන් පරම්පරාව සමඟ කිසිදු ලේ නෑකමක් හෝ උරුමයක් නොමැත. එසේ නම්, ඔහු ඇයි මේ මන්දිරයේ මෙසේ සිරවී සිටින්නේ? ඔහුට උරුමයක් නොමැති නම්, ඔහු මන්දිරයේ සිරකරුවෙකු වී සිටින්නේ කුමන හේතුවක් නිසාද? ඇතැම් විට පියදාස යනු පරම්පරාවෙන් පරම්පරාවට මේ රහස රැකගැනීමට දිවි දුන් පක්ෂපාතී සේවකයෙකු විය හැකිය. තමන්ගේ නොවන ශාපයක බර තවමත් කර මත දරාගෙන, උරුමක්කාරයා පැමිණෙන තුරු මඟ බලා සිටින අසරණ සෙවණැල්ලක් මෙන් ඔහු මෙහි කොටුවී සිටින්නේ ඒ නිසාදැයි මේඝට සිතෙන්නට විය.

මේ රහස තමා සතු කර ගැනීමෙන් පමණක් වැඩක් නැත. මේ මන්දිරයේ බිත්ති අතර සිරවී සිටින සුලෝචනාගේ ආත්මයත්, පියදාසගේ ආත්මයත් නිදහස් කිරීමටත්, කොහේදෝ සැඟවී සිටින උරුමක්කාරයා වන ඇගේ පුත්‍රයා සොයා ගැනීමටත්, තවත් බොහෝ දේ සොයා ගත යුතුය.

"පියදාස, මට ඇත්ත කියන්න!" මේඝ තමා පිටුපස සෙවණැල්ලක් මෙන් රැඳී සිටි පියදාස දෙසට හැරී තරයේ ඇසුවේය. "සුලෝචනාට දරුවෙක් හිටියා නේද? ඒ දරුවා කොහෙද? ඔයා මේ රහස දන්නවා!"

පියදාසගේ දෑස් බියෙන් මෙන් එකවරම විශාල විය. ඔහු මේඝ දෙසත්, ඉන්පසු අඳුරේ සැඟවී තිබූ මන්දිරයේ බිත්ති දෙසත් බැලුවේ වියරු වැදුණෙකු මෙනි. මුඛය විවෘත කළද කිසිදු වචනයක් පිට නොවීය. හදිසියේම, ඔහු දෙසින් නැඟුණේ බිහිසුණු මෙන්ම වේදනාකාරී කෙඳිරිගෑමකි. මේඝට කිසිවක් සිතා ගැනීමටත් මත්තෙන්, පියදාස අඳුරේම වෙලී, එකවරම දෘශ්‍යමාන නොවී වාතයට දිය වී අතුරුදහන් වී ගියේය.

"මේක හොයාගන්න වෙන්නේ මටම විතරයි." මේඝ තමාටම මුමුනා ගත්තේය.

රතු පාෂාණය සහ ආණ්ඩුකාරවරයාගේ රහස් ලියවිල්ල සොයාගෙන දැන් සම්පූර්ණ දවසක්ම ගෙවී ගොස් ඇත. එහෙත්, ඒ මහා අභිරහස විසඳා ගැනීමට කිසිදු මාර්ගයක් තවමත් මේඝට හමු වූයේ නැත. දහවල මුළුල්ලේම ඔහු මන්දිරයේ පැරණි පොත්පත්, ලේඛන සහ බිත්තිවල තිබූ සිතුවම් පවා පරීක්ෂා කළද, හැරිසන් පරපුරේ සැබෑ උරුමක්කාරයා කවුද යන්න හෝ කළු ලෝගුකාරයා සතුව පවතින පාෂාණ කැබැල්ලත් මන්දිරයේ පවතින පාෂාණ කැබැල්ලත් හැරුණු විට ඉතිරි තුන්වන පාෂාණ කැබැල්ල තිබෙන තැන ගැන කිසිදු ඉඟියක් සොයාගත නොහැකි විය.

රාත්‍රිය උදාවෙද්දී මන්දිරය පුරා පැතිර ගියේ මළානික පාලුවකි. කාමරයේ තනිවී සිටි මේඝ ජනේලයෙන් පිටත පෙනෙන මහා ඝන අන්ධකාරය දෙස බලා සිටියේය. පියදාස පැවසීමට තැත් කළ ඒ රහස කුමක්ද? සුලෝචනාගේ නැතිවූ දරුවා අද ජීවතුන් අතර සිටීද?

හුදකලා කාමරයේ දැල්වෙමින් තිබූ ලාම්පු එළිය එකවරම නිවී ගියේය. මුළු කුටියම ඝන අන්ධකාරයේ ගිලී ගිය අතර, කාමරයේ දොර කිසිවෙකු විසින් පිටතින් සෙමෙන් හරිනු මේඝට ඇසුණි. මන්දිරය ඇතුළතින් සන්සුන්, එහෙත් මාරාන්තික ශීතලක් මුළු කුටිය පුරාම පැතිර යන්නට විය. මේඝ සලිත විය. ඔහු වටපිට බැලීමටත් මත්තෙන්, අඳුර සිදුරු කරගෙන මතු වූයේ කළු ලෝගුවකින් මුළු සිරුරම වසාගත්, මුහුණක් නොපෙනෙන ඒ බිහිසුණු අද්භූත රූපයයි!

කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව කළු ලෝගුධාරියා මේඝ වෙත කඩා පැන, මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු සතු වූයේ අසාමාන්‍ය, අසුර බලයකි. පළමු පහරින්ම මේඝ කාමරයේ කෙළවරක තිබූ මේසයකුත් බිඳගෙන බිත්තියේ වැදී බිම ඇද වැටුණි. කටින් ලේ විසිවෙද්දී මේඝ නැගිටීමට උත්සාහ කළද, කළු ලෝගුධාරියා සන්තකයේ තිබූ ඒ අද්භූත ශක්තිය ඉදිරියේ ඔහු සම්පූර්ණයෙන්ම අසරණ විය.

එවිටම, කළු ලෝගුධාරියා තමා සඟවාගෙන සිටි, රතු පාෂාණයේ අනෙක් කොටස පිටතට ගත්තේය. රළු රෙදිකඩකින් ඔතා තිබූ එම පාෂාණ කැබැල්ල නිරාවරණය වෙද්දීම, එයින් අඳුරු රතු පැහැති වෘක ආලෝක ධාරාවක් මුළු කාමරයේම බිත්ති මත පතිත විය. කළු ලෝගුධාරියා ඉතා වේගයෙන් බිහිසුණු ගුප්ත මන්ත්‍රයක් මතුරන්නට විය.

මන්ත්‍ර ශබ්දයත් සමඟ පාෂාණයේ කම්පනය අධික ලෙස වර්ධනය වී, කාමරය පුරා මහා විනාශකාරී අතිධ්වනි කම්පන තරංග මාලාවක් මුදා හැරුණි. මෙම පාෂාණයේ අතිධ්වනි කම්පනය යනු සැබවින්ම මරණයේ දොරටුවකි. එයින් නිකුත් වන තරංග සාමාන්‍ය මිනිසෙකුගේ කන් අඩි පුපුරුවා, මොළයේ සෛල එකින් එක විනාශ කර, මිනිසකුව ක්ෂණයකින් උන්මත්තකයෙකු බවට පත් කර මරා දැමීමට සමත්ය. ලේ වැගිරීමකින් තොරව, මිනිස් ස්නායු පද්ධතියම අළු කර දමන මේ මාරාන්තික තරංගයෙන් බේරීමට, එනම් ඒ අතිධ්වනි කම්පනය දරාගැනීමට ශාරීරිකව හැකි වන්නේ හැරිසන් පරපුරේ සැබෑ ලේ උරුමයක් ඇති අයෙකුට පමණක් බව කළු ලෝගුධාරියා දැන සිටියේය!

කළු ලෝගුධාරියා උත්සාහ කළේ ඒ අතිධ්වනි කම්පනයෙන් මේඝව එතනම මරා දැමීමටයි. කම්පන තරංගවල ප්‍රබලත්වය නිසා මුළු කාමරයේ තිබූ වීදුරු උපකරණ එකවරම මහා හඬින් කුඩු පට්ටම් වී ගියේය. මේඝට තමාගේ හිස්කබල ඇතුළතින් පුපුරා යන්නාක් වැනි මරණීය වේදනාවක් දැනෙන්නට විය. කන් සිදුරුවලින් සෙමෙන් ලේ වැගිරෙන්නට විය. ඔහුගේ සිරුර පුරා නිල් පැහැති නහර වේගයෙන් මතුවී, ඔහු බිම වැතිරී පණ අදිමින්, දෑතින් හිස බදාගෙන මහා හඬින් කෑගසමින් දඟලන්නට විය.

මුළු සිරුරේම ලේ ධාතුව දැවී යන්නාක් මෙන් අතිශය අමාරු, බිහිසුණු තත්ත්වයක පසු වුවද, පුදුමයකි! ඔහුගේ මොළයේ නහර පුපුරා ගියේ නැත; ඔහු මියගියේද නැත!

මේඝ මරණීය වේදනාවෙන් බිම දඟලන දෙස බලා සිටි කළු ලෝගුධාරියාගේ මන්ත්‍ර ජප කිරීම එකවරම නැවතුණි. ඔහුගේ දෑස් විස්මයෙන් සහ බියෙන් අගුලු වැටුණි. ඔහුගේ සැක මුසු දෑස් මේඝ වෙත යොමු වූයේ කුතුහලයෙනි.

"තෝ... තෝ කොහොමද මේ අතිධ්වනි කම්පනයට කෙලින්ම අහුවෙලත් තවමත් ජීවත් වෙන්නේ? තෝ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයිද? තෝ කවුද?" ඔහු ගොරෝසු, බිහිසුණු හඬින් ගර්ජනා කළේය. සාමාන්‍ය මිනිසෙකු නම් මේ වනවිටත් මොළයේ නහර පිපිරී මියගොස් සිටිය යුතුය. මේඝ තවමත් හුස්ම ගැනීම ඔහුට අදහාගත නොහැකි විය.

කළු ලෝගුධාරියා නැවතත් මන්ත්‍රය වඩාත් වේගයෙන් මතුරන්නට විය. මෙවර පාෂාණයෙන් පිටවූ කම්පනය කෙතරම් දරුණුද යත්, කාමරයේ ඝන බිත්ති පවා සෙලවෙන්නට විය. මේඝගේ දෑස් රතු වී, පපුව වේගයෙන් ගැහෙන්නට විය. ඔහු මරණයත් ජීවිතයත් අතර සටනක යෙදී සිටියේය.

එවිටම, කාමරයේ අඳුර සිදුරු කරගෙන පියදාසගේ ආත්මය එහි පෙනී සිටියේය. පියදාසගේ මුහුණේ වූයේ මහා භීතියකි. ඔහු මේඝව බේරා ගැනීමට ඉදිරියට පැනීමට උත්සාහ කළද, කළු ලෝගුධාරියාගේ අද්භූත මන්ත්‍ර බලය සහ පාෂාණයේ ප්‍රබල අතිධ්වනි ශක්තිය ඉදිරියේ පියදාස අසරණ විය. අදෘශ්‍යමාන පවුරක් වැනි ඒ තරංග නිසා පියදාසගේ සෙවණැලි සිරුර පවා විසිරී යන්නට විය. ඔහුට කළු ලෝගුධාරියා සමඟ හැප්පෙන්නට තරම් කිසිදු ආත්මීය ශක්තියක් තිබුණේ නැත.

කළු ලෝගුධාරියා මන්ත්‍ර ජප කිරීම තව තවත් තීව්‍ර කරද්දී, රතු පාෂාණයේ අඳුරු රතු ආලෝකයත්, මාරාන්තික ධ්වනි කම්පනයත් මුළු කුටියම ගිලගනිමින්, මේඝගේ අවසානය ළඟා කරවන්නට මෙන් වේගවත් විය! මුළු mන්දිරයම දෙදරුම් කවමින් මහා සුළඟක් කාමරය තුළට කඩා වැදුණි.

එවිටම, කාමරයේ මැද අහසේ මළානික නිල් පැහැති ආලෝක වළල්ලක් මතු විය. කළු ලෝගුධාරියාගේ මන්ත්‍ර හඬ පරයමින්, මුළු මන්දිරයේම බිත්ති සිසාරා දෝංකාර දුන් බිහිසුණු මෙන්ම ශෝකී විලාපයක් සමඟින් සුලෝචනාගේ ආත්මය එතැන ප්‍රදර්ශනය විය! ඇගේ දෑස්වලින් ක්‍රෝධය සහ වේදනාව එකලෙස පිටාර ගලමින් තිබුණි. බිම වැටී පණ අදින මේඝ දෙස බැලූ ඇය, ක්ෂණයකින් කළු ලෝගුධාරියා දෙසට හැරුණාය.

කළු ලෝගුධාරියා මඳකුත් පසුබට නොවී, තමා අත තිබූ රතු පාෂාණය සුලෝචනා දෙසට යොමු කර, එහි මාරාන්තික අතිධ්වනි කම්පන තරංග මාලාව ඇය දෙසට මුදා හැරියේය. කාමරයේ බිත්ති පවා ඉරිතලා යන තරමට ඒ කම්පනය දරුණු විය. පියදාසගේ ආත්මය පවා ඒ තරංග හමුවේ විසිවී ගියද, පුදුමයකි! ඒ මාරාන්තික ධ්වනි තරංගවලට සුලෝචනාව ස්පර්ශ කිරීමටවත් නොහැකි විය. හැරිසන් පරපුරේ සැබෑ ලේ උරුමය ශරීරයෙන් පමණක් නොව, ආත්මයෙන්ද ඇයට හිමිව තිබූ බැවින්, පාෂාණයේ කිසිදු විනාශකාරී කම්පනයක් ඇයට බලපෑවේ නැත. ඇය ඒ තරංග පවුර බිඳගෙන ඉදිරියටම ඇදුණාය.

"තොට මේ විනාශය කරන්න මම ඉඩ දෙන් නැහැ!" සුලෝචනාගේ ආත්මීය හඬ කාමරය පුරා ගිගුම් දුන්නේය.

"මම මේක කරන පළවෙනි වතාව නෙමේ සුලෝචනා. උඹ මට මොනවා කරන්නද? වෙනදා වගේම බලන් ඉදපන් මූ දඟලලා මැරිලා යන හැටි!" කළු ලෝගුධාරියා වියරුවෙන් පැවසීය.

ඇය තම දෑත් ඔසවා, මන්දිරයේ තිබූ අද්භූත බලවේගයන් ඒකරාශී කරමින් කළු ලෝගුධාරියා වෙත එල්ල කළාය. කාමරයේ තිබූ බරැති ලී බඩු සහ බිත්තිවල තිබූ ගල් කැට පවා අහසට එසවී, මහා ප්‍රහාරයක් ලෙස කළු ලෝගුධාරියා දෙසට විසි විය. කළු ලෝගුධාරියා තමා වටා අඳුරු මන්ත්‍ර පලිහක් මවා ගනිමින් එම ප්‍රහාර වැළැක්වීමට උත්සාහ කළද, සුලෝචනාගේ ආත්මීය ශක්තියේ ප්‍රබලත්වය හමුවේ ඔහු කිහිප පියවරක් පසුපසට විසි විය.

කාමරය තුළ ඇවිලී ගියේ ඇස් අදහාගත නොහැකි අද්භූත, ගුප්ත සටනකි. සුලෝචනා ලෝගුධාරියා වටා කැරකෙමින්, මන්දිරයේ බිත්ති අතරින් මතු කරගත් අදෘශ්‍යමාන ආත්මීය හස්තයන්ගෙන් ඔහුට දරුණු ලෙස පහර දෙන්නට වූවාය. කළු ලෝගුධාරියා බිම ඇද වැටුණු අතර, ඔහු අත තිබූ රතු පාෂාණයේ ආලෝකය මඳක් මළානික වන්නට විය.

නමුත්, කළු ලෝගුධාරියා යනු ලෙහෙසියෙන් පරාජය කළ හැකි අයෙකු නොවීය. ඔහු සතු වූයේ වර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රගුණ කළ අතිශය බලගතු අඳුරු මන්ත්‍ර ශක්තියකි. තමා පරාජය වෙමින් පවතින බව වටහාගත් කළු ලෝගුධාරියා, බිම දණින් වැටී, තමාගේම ලේ බිඳක් බිමට හෙළා, මෙතෙක් කල් රහසක්ව පැවති අතිශය බිහිසුණු මන්ත්‍ර පද පේළියක් ඉතා වේගයෙන් හා ශබ්දයෙන් ජප කරන්නට විය.

ඒ සමඟම, ඔහු වටා තිබූ අඳුරු ශක්තිය දස ගුණයකින් වර්ධනය විය. රතු පාෂාණයෙන් පිටවූයේ අතිධ්වනි කම්පන නොව, සුලෝචනා වැනි ආත්මයන් පවා අළු කර දැමිය හැකි අඳුරු මන්ත්‍ර ගින්නකි! සුලෝචනා මුළු ශක්තියම යොදා ඔහුට එදිරිව සටන් කළද, කළු ලෝගුධාරියා තුළින් විහිදුණු ඒ මහා මන්ත්‍ර බලයට ඔරොත්තු දීමට ඇයට නොහැකි විය. මන්ත්‍ර ශක්තියේ දරුණු පීඩනය නිසා සුලෝචනාගේ නිල් පැහැති ආත්මීය රූපය තැනින් තැන ඉරිතලා, ඇය වේදනාවෙන් කෑගසමින් පසුපසට විසි වන්නට වූවාය. ඇගේ ශක්තිය කෙමෙන් කෙමෙන් ක්ෂය වෙමින් පැවතිණි.

එවිටම, කාමරයෙන් පිටත කොරිඩෝව දෙසින් වේගවත් පියවර ශබ්දයක් ඇසුණි.

"මේඝ...! මේඝ...!"

කලබලයෙන් කෑගසමින්, මන්දිරයේ පඩිපෙළ නැග මාධව ඒ විනාශකාරී කුටිය දෙසට දුවගෙන ආවේය. දවසක් මුළුල්ලේ මේඝව මඟහැරී සිටි මාධව, මන්දිරයෙන් නැඟුණු අස්වාභාවික හඬවල් නිසා බියට පත්වී වහාම ක්‍රියාත්මක වී තිබුණි. කාමරයේ විවෘත දොරෙන් ඇතුළට පැමිණි මාධව දුටු දර්ශනයෙන් ඔහු භීතියෙන් ගල් ගැසුණි. කාමරය මැද කළු ලෝගුවකින් මුළු සිරුරම වසාගත් බිහිසුණු රූපය සහ බිම වැතිරී පණ අදින තම මිතුරා, මේඝව ඔහු එකවරම දැක්කේය! ඔහුගේ අත තම පිස්තෝලය වෙත ඇදී ගියත් ඉන් පලක් නොවන බව ඔහුට සිහිවිය.

නමුත් මාධවට ඒ දර්ශනය දෙස බලා සිටීමට ලැබුණේ තත්පර කිහිපයකි. කළු ලෝගුධාරියා අත තිබූ රතු පාෂාණයෙන් විහිදුණු ඒ මාරාන්තික අතිධ්වනි කම්පන තරංග මාලාව ක්ෂණයකින් මාධවගේ ශරීරයේ වැදුණි.

"ආහ්...!"

ඒ මාරාන්තික තරංගවලට මුහුණ දීමට ඔහුගේ ශරීරයට කිසිසේත්ම ශක්තියක් තිබුණේ නැත. පළමු කම්පනයෙන්ම ඔහුගේ මොළයේ ස්නායු පද්ධතිය අඩපණ කරමින්, ඔහු දරුණු ලෙස කාමරයෙන් පිටතට, කොරිඩෝවේ බිම වෙත විසිවී ගියේය.

මාධව බිම ඇද වැටුණි. ඔහුගේ කන් අඩි පැලී යන්නාක් මෙන් දැනුණු අතර, නාසයෙන් සහ කන්වලින් ලේ බිංදු සෙමෙන් ගලා එන්නට විය. තමාගේ මරණ මොහොත තමාට පෙනි පෙනී තිබෙන බව මාධවට වැටහිණි. තව සුළු මොහොතක් මේ තරංගවලට හසුවුවහොත් තමාගේ හිස්කබල පුපුරා මිය යන බව ඔහු හොඳින්ම දැන සිටියේය.

නමුත් ඒ මරණීය බිය අතරතුරත්, ඔහුගේ දෑස් යොමු වූයේ බිම වැතිරී පණ අදින මේඝ දෙසටයි. 'මම කොහොමහරි මේඝව බේරගන්න ඕනේ...' මාධවගේ යටිසිත ඔහුට දැඩිව මුමුණන්නට විය.

තවදුරටත් කෙලින් නැගී සිටීමට නොහැකි වූ මාධව, දෑතින්ම තමාගේ කන් දෙක අතිශය තදින් වසාගත්තේය. ඔහු මරණීය වේදනාවෙන් කෙඳිරිගාමින්, බිම දිගේ බඩගාගෙන, පෙර දින මේඝ විසින් විවෘත කළ ඒ රහස් කුටියේ දොර දෙසට ඇදෙන්නට විය. ශරීරයේ සෑම සෛලයක්ම වේදනාවෙන් කෑගසද්දී, මාධව මුළු ශක්තියම එකතු කර මේසයේ තිබූ ඒ රහස් යකඩ කොක්කෙන් ඇද්දේය.

ක්‍රීස්...ස්...ස්...

මහා බිත්තිය සෙමෙන් විවෘත විය! ඔහු අමාරුවෙන් පඩි පෙළ බැස අඩපණ වූ දෑතින්, ඒ අඳුරු කුහරය ඇතුළත තිබූ රහස් කුටියේ දම්වැල සොයන්නට විය. අඳුරේ වුවත් ඒ මොහොතේ එය ඔහු අත ගැටුණි. එය තදින් ඇද්ද විට රහස් කුහරය විවෘත විය. ඝන රෙදිකඩින් ඔතන ලද රන් පෙට්ටිය වෙතට තම අත යැවීය. කිසිවක් නොසිතූ ඔහු, වහාම රන් පෙට්ටිය විවෘත කර, ඒ ඇතුළත සුරක්ෂිතව තිබූ, තවමත් නිසලව පැවති රතු පාෂාණයේ ඉතිරි කැබැල්ල තදින් තම අතට ගත්තේය!

පුදුමයකි! ඒ පාෂාණ කැබැල්ල මාධවගේ අතේ සිර වූ සැණින්, මෙතෙක් වෙලා තමා වෙලාගෙන තිබූ ඒ මාරාන්තික අතිධ්වනි කම්පනය සහ හිස්කබල පැලී යන වේදනාව එකවරම, සම්පූර්ණයෙන්ම නතර වී ගියේය! මාධවට ක්ෂණික සහනයක් දැනුණි.

ඒ මොහොතේම මාධවට මහා විද්‍යාත්මක රහසක් වැටහිණි. 'මේ මැණික... මේ මැණික අතේ තියාගෙන ඉන්න කෙනාට මේ තරංගවලින් කිසිම හානියක් වෙන්නේ නැහැ! අර කළු ලෝගුකාරයාට කිසිම උරුමයක් නැතත් ඌ නොමැරී බේරිලා ඉන්නේ ඌ ළඟ අනෙක් කොටස තියෙන නිසා.'

නමුත් ඒ සමඟම මාධවගේ මතකයට ආවේ උඩ කාමරයේ තවමත් ඒ මාරාන්තික තරංගවලට හසුවී, දෑතින් හිස බදාගෙන පණ අදින මේඝවයි. මාධවගේ අතේ දැන් පාෂාණ කැබැල්ලක් තිබෙන නිසා ඔහුට තරංගවලින් හානියක් නොවුණද, මේඝ තවමත් සිටින්නේ මරණයේ අද්දරය. මේ පාෂාණ කැබැල්ල කොහොමහරි මේඝගේ අතට දුන්නොත් පමණක් මේඝ බේරෙන බව මාධව තේරුම් ගත්තේය.

"මගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ... මම මේඝව බේරගන්නවා!" මාධව තමාටම ස්ථිරව කියාගත්තේය. තමාට දැනෙන සහනය ගැන නොසිතූ ඔහු, මේ පාෂාණ කැබැල්ල මේඝගේ අතට දී ඔහුව මරණයෙන් මුදාගැනීමේ පරම අදිටනින්, රතු පාෂාණ කැබැල්ල තම දෑතේ තදින් සිරකරගෙන, මරණයට අභියෝග කරමින් කළු ලෝගුකාරයා සහ මේඝ සිටින උඩ කාමරය දෙසට වේගයෙන් දුවන්නට විය!

නමුත් මාධව නැවතත් ඒ විනාශකාරී කාමරය තුළට පය තබත්ම සිදු වූයේ කිසිවෙකුත් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අදහාගත නොහැකි අද්භූත සිදුවීමකි!

මාධව කාමරයට ඇතුළු වනවාත් සමඟම, ඔහුගේ අතේ තිබූ රතු පාෂාණ කැබැල්ලෙන් මුළු මහත් මන්දිරයම ඒකාලෝක කරමින් අතිශය ප්‍රබල, දෑස් අන්ධ කරවන සුළු රතු ආලෝක ධාරාවක් එකපාරටම පිටවන්නට විය. ඒ සමඟම, කාමරය පුරා පැතිර තිබූ මාරාන්තික අතිධ්වනි කම්පන ශබ්දය මහා ගිගුරුමක් බවට පත් විය.

කළු ලෝගුධාරියා මන්ත්‍ර ජප කරමින් සිටි ස්ථානයේදීම ගැස්සී ගියේය. මාධවගේ අතේ ඇති පාෂාණ කැබැල්ල සහ කළු ලෝගුකාරයා අතේ තිබූ මැණික අතර අතිශය ප්‍රබල, නොපෙනෙන චුම්බක ආකර්ෂණ ශක්තියක් ක්ෂණයකින් ක්‍රියාත්මක වන්නට විය. කළු ලෝගුධාරියාට තමාගේ දෑත් පාලනය කරගත නොහැකි විය. ඔහු මැණික තදින් අල්ලා ගැනීමට උපරිම ශක්තිය යෙදුවද, මාධවගේ අතේ තිබූ පාෂාණයෙන් නිකුත් වූ ඒ අසිරිමත් චුම්බක බලය කෙතරම් දරුණුද යත්, කළු ලෝගුධාරියා අත තිබූ මැණික ඔහුගේ ග්‍රහණයෙන් මිදී, සුළඟේ පාවී එන්නාක් මෙන් අතිවේගයෙන් මාධවගේ අතේ තිබූ අනෙක් කොටස දෙසට ඇදී එන්නට විය!

මුළු කාමරයම රතු ආලෝකයෙන් සහ චුම්බක තරංගවලින් කැළඹී යද්දී, කළු ලෝගුධාරියා බියෙන් සහ ක්‍රෝධයෙන් මහා හඬින් කෑගැසුවේය. කළු ලෝගුධාරියාගේ ග්‍රහණයෙන් මිදුණු ඒ රතු පාෂාණ කැබැල්ල, මහා චුම්බක ශක්තියකින් ඇදී අවුත් මාධවගේ අතේ තිබූ අනෙක් කොටස මත තදින්ම වැදුණි.

ටින්...න්...නෑ...

ස්ඵටික දෙකක් එකිනෙකට බද්ධ වන්නාක් වැනි තියුණු හඬක් නඟමින් ඒ මහා පාෂාණ කොටස් දෙක එකිනෙකට සම්බන්ධ විය! ඒ සමඟම මුළු කාමරය පුරාම විහිදී ගියේ දෑස් නිලංකාර කරවන සුළු, අතිශය දීප්තිමත් රතු සහ රන්වන් පැහැ මුසු වූ ආලෝක වළල්ලකි.

එම පාෂාණ කොටස් දෙක එකට එකතු වීමත් සමඟම, මන්දිරය පුරා අභිරහස් ලෙස ක්‍රියාත්මක වූයේ පෙරළිකාර බලවේගයකි. මැණිකේ සැබෑ උරුමයේ ශක්තිය මුළු වායුගෝලය පුරාම මුදාහැරෙන්නට විය. කළු ලෝගුධාරියාගේ අඳුරු මන්ත්‍ර ශක්තියෙන් දැවී, දුර්වල වී, අතුරුදන් වීමේ මුවවිටටම පැමිණ සිටි සුලෝචනාගේ ආත්මය, ඒ මැණිකේ නිවැරදි උරුමයේ බලය ශරීරගත වීමත් සමඟ එකවරම අතිශය ප්‍රබල සහ බලවත් වන්නට විය!

ඇගේ සිරුර වටා තිබූ මළානික නිල් පැහැ ආලෝකය වෙනුවට, දැන් මැණිකෙන් නිකුත් වූ ඒ දිව්‍යමය රන්වන් රතු ආලෝකය ඇයව වෙළා ගත්තේය. ඇගේ ශක්තිය දස ගුණයකින් වර්ධනය වූ අතර, ඇගේ දෑස් තුළින් නැවතත් මහා ක්‍රෝධයක සහ ආරක්ෂාවක බලය මතු වන්නට විය.

මැණිකේ බලය අතැතිව සිටින මාධව, පළමු වතාවට තම දෑස් ඔසවා කාමරයේ මැද සිටින ඒ අද්භූත රූපය දෙස බැලුවේය. මුළු සිරුරම වෙවුලා යන විස්මයකින් මාධවගේ මුව ගොළු විය. ඔහු තම ජීවිතයට මෙවැනි දෙයක් දැක නොතිබුණි. තමා ඉදිරියේ සිටින්නේ මේඝ නිතරම පැවසූ, මේ මන්දිරයේ සිරවී සිටින හැරිසන් පරපුරේ ඒ අභිරහස් කාන්තාව, එනම් 'සුලෝචනා' බව මාධවට එකවරම වැටහිණි. ඇගේ මුහුණේ වූයේ අතිශය ගාම්භීර, මෙන්ම තේජවන්ත පෙනුමකි.

මාධව අන්දමන්ද වී, දෑස් අදහාගත නොහැකිව සුලෝචනාගේ ආත්මය දෙස බලා සිටියදී, සුලෝචනාද තමාගේ දෑස් කෙලින්ම මාධව වෙත යොමු කළාය. ඇගේ දෑස්වලින් මාධව දෙසට විහිදුණේ අමුතුම ආකාරයේ සෙනෙහසක් සහ සහනයක් මුසු වූ බැල්මකි. තමන්ගේ පරපුරේ නැතිවූ වටිනාම දෙයක් නැවත තමා වෙත ගෙන දුන්නාට ස්තුතියි වැනි හැඟීමක් ඇගේ මුහුණෙන් මතු විය.

මේ සියල්ල දෙස බලා සිටි කළු ලෝගුධාරියා, තමා සතු වූ මැණික ද අහිමි වී, සුලෝචනා නැවතත් අතිශය බලවත් වී තමා ඉදිරියේ නැගී සිටින අයුරු දැක මහා භීතියට පත් විය!

පාෂාණ කොටස් දෙක එකට බද්ධ වීමෙන් සුලෝචනාගේ ආත්මය අතිශය තේජවන්ත ලෙස බලවත් වුවද, කළු ලෝගුධාරියාව සහමුලින්ම විනාශ කර දැමීමට ඇයට නොහැකි විය. මන්ද, මේ මහා රතු පාෂාණයේ තවත් එක් කුඩා කොටසක් තවමත් අඩුව පැවති බැවිනි. එම අවසන් කුඩා කොටස නොමැතිව, මේ මැණිකේ බලය සහ එහි ගුප්ත මන්ත්‍ර ක්‍රමවේදයන් මනාව ප්‍රගුණ කර ඇති කළු ලෝගුධාරියා වැනි මන්ත්‍රධරයෙකු සදහටම මරා දැමීම කළ නොහැක්කකි.

මැණිකෙන් විහිදුණු මහා ආලෝක ධාරාව නිසා කළු ලෝගුධාරියාගේ සිරුර වටා තිබූ අඳුරු පලිහ බිඳී ගොස්, ඔහු දැඩි ලෙස අඩපණ වී බිම ඇද වැටුණේය. ඔහුගේ මුවින් රතු පැහැති ලේ ධාරාවක් ගලා ආ අතර, ඔහු දැඩි වෙහෙසකින් හුස්ම ගනිමින් සිටියේය. ශාරීරිකව අඩපණ වුවද, ඔහුගේ සිත තුළ තිබූ ඒ මහා ක්‍රෝධය සහ වෛරය බිඳකිනුදු අඩු වී තිබුණේ නැත.

ඔහු බිම දණින් වැටී, වෙවුලන දෑතින් බිම වාරු කරගනිමින්, තමා ඉදිරියේ බලවත්ව සිටින සුලෝචනාගේ ආත්මය දෙසට තම රතු වූ දෑස් යොමු කළේය. ඔහු ඇයට ශාප කරමින්, මහා වෛරයකින් බැන වදින්නට වූයේය.

"තෝ...! තෝ ජීවත් වෙලා ඉන්න කාලෙත් මට මගේ අරමුණට යන්න දුන්නේ නැහැ! මාව හැම තැනදීම වැළැක්වුවා! බලපිය... තෝ මැරුණට පස්සෙත් මට බාධා කරනවා!" කළු ලෝගුධරියාගේ ගොරෝසු හඬ මන්දිරයේ බිත්ති අතර වැදී දෝංකාර දුන්නේය. ඔහු වේදනාවෙන් පපුව අල්ලා ගනිමින්, වියරුවෙන් මෙන් හිනා වෙන්නට විය. "මගේ ජීවිතේ හොඳම කාලය එක්කයි තෝ සෙල්ලම් කළේ සුලෝචනා...! මේ මහා බලය, මේ මැණික මගේ සන්තකයට ලබාගන්න මම කී දෙනෙක්ව නම් මැරුවද? මම තොට කවදාවත් සැනසීමක් දෙන්නේ නැහැ! තොගේ ඒ නැතිවුණු උරුමක්කාරයාව, තොගේ පුත්‍රයාව තොට කවදාවත් හොයාගන්න වෙන්නේ නැහැ! මගේ අවසාන බිල්ල තමයි ඌ!"

කෙමෙන් කෙමෙන් පියවි සිහිය ලබමින් සිටි මේඝ සහ මාධව, කළු ලෝගුධරියා පවසන මේ බිහිසුණු වදන් දෙස බලා සිටියේ දැඩි තිගැස්මකිනි.

කළු ලෝගුධාරියා මාධවගේ අතේ ඇති බද්ධ වූ පාෂාණය දෙස බලමින් බිහිසුණු ලෙස සිනාසුණේය. "උඹලා හිතුවද මාව විනාශ කරන්න පුළුවන් කියලා? ඌ හම්බවෙනකන් මාව විනාශ කරන්න උඹලා කාටවත් බැහැ! උඹලා මැණිකේ කොටස් දෙකක් එකතු කරගත්තා තමයි. හැබැයි ඒක සම්පූර්ණ වෙන්න ඕනේ අනෙක් කුඩා කොටස තියෙන්නේ තොගේ ඒ උරුමක්කාරයා ළඟයි! ඒක තෝ කළේ මාව පිස්සු වට්ටන්න. ඒකෙන් වුණේ තෝයි පියදාසයි අවුරුදු ගාණක් මෙතන හිරවුණු එක!"

"එදා... එදා පියදාසයා මට ඒ රහස නොකියම මියගිය නිසා, ඌ ඒක හංගගෙනම මැරුණු නිසා තමයි තොපි හැමෝම තාමත් මෙහෙම අපායක සිරවෙලා ඉන්නේ! නැත්නම්... නැත්නම් වෙලහකටත් මම මගේ අරමුණට ගිහින්!"

කළු ලෝගුධාරියාගේ ඒ මාරාන්තික අනාවරණයත් සමඟ මුළු කුටිය තුළම යළිත් වරක් මහා අභිරහස් නිශ්ශබ්දතාවයක් පැතිර ගියේය. පියදාස මෙතෙක් කල් සඟවාගෙන සිටි, තමන්ගේ ජීවිතය දී රැකගත් ඒ අවසන් රහස කුමක්ද යන්න මේඝට වැටහුණි.

සුලෝචනාගේ මුවඟට නැඟුණේ ශෝකී, එහෙත් අතිශය තේජවන්ත සිනහවකි. ඒ සිනහව මන්දිරයේ බිත්ති අතරින් ගලා ගියේ කළු ලෝගුධාරියාගේ වියරු ගර්ජනාව මුළුමනින්ම යටපත් කර දමමිනි.

"එදා... එදා උඹ මගේ ඔළුවට ගහපු ඒ මාරාන්තික පාරෙන් මගේ ආත්මයෙන් තාමත් ලේ වැගිරෙනවා..." සුලෝචනාගේ හඬ ශෝකයෙන් ගැහෙද්දී, ඇගේ දෑස් ක්‍රෝධයෙන් දිලිසෙන්නට විය. "ඒත්... ඒත් උඹට බෑ දෛවය වෙනස් කරන්න! මටත් බෑ. මේ හැමදේම සිද්ධ වෙන්නේ මහා විශ්වීය නියමයකට අනුවයි. ඒ නියමයට පිටින් යන්න හැදුවොත් උඹට උරුම වෙන්නේ විනාශයම විතරයි!"

ඈ සෙමෙන් අඩපණ වී බිම වැතිර සිටින කළු ලෝගුධරියා දෙසට පියනැඟුවාය. ඇගෙන් විහිදුණු රන්වන් රතු ආලෝකය හමුවේ කළු ලෝගුධාරියා වේදනාවෙන් මුහුණ වසාගත්තේය.

"උඹ මගේ දරුවාව හොයාගන්න කලින්, ඒ දරුවා දවසක උඹව හොයාගෙන ඒවි! ඒක මේ මැණිකේ ලේ උරුමයයි. උඹේ ඔය කිලිටි කළු ලෝගුව මේ ලෝකය ඉදිරියේ ගැලවුණු දාට, මුළු මහත් සමාජයක්ම දැනගනියි උඹ මේ බලය වෙනුවෙන් කරපු ඒ මහා සාපරාධී අපරාධවල තරම!" සුලෝචනා අභිමානයෙන් යුතුව ප්‍රකාශ කළාය.

ඇගේ ඒ අන්තිම වදන් පෙළත් සමඟම, මාධවගේ අතේ තිබූ බද්ධ වූ පාෂාණ කොටස් දෙකෙන් නික්මුණු ආලෝකය තව තවත් තීව්‍ර විය. කළු ලෝගුධාරියා තමාට තවදුරටත් මෙහි රැඳී සිටියහොත් ජීවිතය පවා අහිමි විය හැකි බව වටහාගත්තේය. ඔහු වේදනාවෙන් කෙඳිරිගාමින්, මන්ත්‍රයක් මුමුණා කාමරයේ තිබූ ඝන අන්ධකාරය තමා වටා රොක් කරගත්තේය. තත්පර කිහිපයකින්, මහා සුළඟක් සමඟ ඒ අන්ධකාරය වාතයට මුසු වී යද්දී, අඩපණ වූ කළු ලෝගුධරියාද කාමරයෙන් නොපෙනී අතුරුදහන් වී ගියේය.

මුළු කුටියම යළිත් වරක් නිශ්ශබ්ද විය. මේඝ සෙමෙන් නැගිට දෑස් පිසදමමින් මාධව දෙස බලද්දී, මාධව තවමත් විස්මයෙන් අගුලු වැටී, තමා ඉදිරියේ සිටින සුලෝචනාගේ ආත්මය දෙස බලා සිටියේය.

සුලෝචනා සෙමෙන් මාධව වෙතට පියනැඟුවාය. ඇගේ මුහුණේ වූයේ මව් සෙනෙහසක් බඳු අසිරිමත් ශාන්ත බවකි. ඇය තමාගේ සිහිල්, ආලෝකමත් දෑත මාධවගේ අත මත තැබුවාය. ඒ ස්පර්ශයෙන් මාධවගේ මුළු සිරුරම සිසිල් වී ගිය අතර, ඔහු දෑතේ තිබූ බද්ධ වූ රතු පාෂාණය සෙමෙන් සුලෝචනාගේ අතට පත් විය.

ඇය ඒ මැණිකත් රැගෙන, බිම වැතිරී සිටින මේඝ වෙතට සෙමෙන් ඇදුණාය. වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි මේඝගේ දෑත මත ඇය ඒ මැණික තැබූ සැණින්, එහි තිබූ බලය මේඝගේ ශරීරයට කා වැදුණි. ඔහුගේ ශරීරයේ තිබූ සියලු මරණීය වේදනාවන් සහ වෙහෙස නිමේෂයකින් පහව ගියේය.

මැණිකේ බලයෙන් ශක්තිමත් වූ මේඝ, දැඩි ආයාසයකින් වාරු ගෙන බිමෙන් නැගිටින්නට උත්සාහ කළේය. ඔහු තවමත් වෙවුලන හඬින්, තමා ඉදිරියේ සිටින සුලෝචනාගේ ආත්මය දෙස බලා සෘජුවම ප්‍රශ්නයක් නැඟුවේය.

"සුලෝචනා... කවුද ඒ කළු ලෝගුධාරියා? එදා... එදා ඔයාගේ ඔළුවට ගහලා, ඔයාව අමානුෂික විදිහට මරලා දාපු ඒ මිනීමරුවා කවුද? මට කියන්න...!" මේඝගේ දෑස්වලින් කුතුහලයත්, ක්‍රෝධයත් එකවරම පිටාර ගැලුවේය.

නමුත් සුලෝචනා ඒ ප්‍රශ්නයට එකවරම පිළිතුරක් දුන්නේ නැත. ඇගේ මුවඟට නැඟුණේ අභිරහස්, එහෙත් අනුකම්පා සහගත සිනහවකි. ඇය සෙමෙන් හිස සලා මෙසේ පැවසුවාය.

"ඔබට අයිති දේ ඔබ කරන්න මේඝ... ඒක ඔබේ දෛවයේ ලියවිලා තියෙන දෙයක්. විශ්වයේ හැම දේකටම නියමිත කාලයක් තියෙනවා. මට මේ ලෝකයේ රැඳී ඉඳලා කරන්න අවසර තියෙන්නේ මට උරුම වූ, මගේ පරපුරේ දේවල් ආරක්ෂා කරන එක විතරයි. ඊට එහා ගිය දේවල් සොයායෑම සහ දෛවය විසඳීම අයිති ඔබටයි..."

ඇගේ ඒ අද්භූත වදන් පෙළත් සමඟම ඇගේ ආලෝකමත් රූපය සෙමෙන් සෙමෙන් කාමරයේ වාතය සමඟ දිය වී යන්නට වූයේ, මේඝට සහ මාධවට තවත් විශාල ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමිනි.

කාමරය පුරා පැතිර තිබූ ඒ මහා ආලෝක ධාරාවන් සහ අද්භූත බලවේගයන් කෙමෙන් කෙමෙන් වාතයට මුසු වී මැකී යද්දී, මුළු මන්දිරයටම අමුතුම ආකාරයක මළානික නිශ්ශබ්දතාවයක් ළඟා විය. කළු ලෝගුධාරියා සහ සුලෝචනා දෙදෙනාම නික්ම ගොස් අවසානය. නමුත් ඉතිරි වූයේ තවමත් නාසයෙන් සහ කන්වලින් ලේ බිංදු පෙරෙමින්, මරණීය තුවාල ලබා සිටි මාධව සහ දැඩි ලෙස අඩපණ වී සිටි මේඝ පමණි.

"මාධව... උඹට... උඹට ගොඩක් අමාරුයි නේද මචං...?" මේඝ පියවි සිහියට එමින්, කෙඳිරිගාන හඬින් අසා සෙමෙන් මාධව අසලට බඩගෑවේය.

"මට... මට කමක් නෑ මේඝ. උඹ... උඹ බේරුණානේ..." මාධව දැඩි අපහසුවකින් යුතුව බිත්තියට වාරු වී හිස තබාගත්තේය. ඔහුගේ දෑස් තවමත් අඩවන් වී තිබුණේ ඒ මාරාන්තික අතිධ්වනි තරංගවලින් ඔහුගේ මොළයට සිදු වූ දරුණු බලපෑම නිසාය.

දෙදෙනාම බොහෝම අමාරුවෙන්, එකිනෙකාට වාරු වෙමින් පඩිපෙළ සෙමෙන් බැස පහළ සාලයේ ඇති සෝෆාව වෙත පැමිණියහ. මේඝ වහාම මන්දිරයේ තිබූ ප්‍රථමාධාර පෙට්ටිය සහ වතුර වීදුරු දෙකක් රැගෙන ආවේය. මාධවගේ කන්වලින් සහ නාසයෙන් ගලා ආ ලේ පිසදා දැමූ මේඝ, තුවාලවලට මූලික බෙහෙත් දමා, තද බල හිසරදයට සහ ශරීර වේදනාවට සහනයක් වීම පිණිස ප්‍රබල වේදනා නාශක පෙති කිහිපයක් මාධවට දුන්නේය. ඉන්පසු ඔහුද වේදනා නාශකයක් ගිලදමා සෝෆාවට බර වූයේ මහා තෙහෙට්ටුවකිනි.

******** 

"මෙහි ඇති සියලු කෘති වල සම්පූර්ණ කතෘ අයිතිය ප්‍රභා චතූ ජයසිංහ සතු වේ. කතෘගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම නිර්මාණ වල කිසිදු කොටසක් උපුටා ගැනීම, නැවත පළ කිරීම, විද්‍යුත් මාධ්‍ය මගින් බෙදා හැරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් වාණිජමය හෝ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙය බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය වරදකි."     
 

Comments

  1. Megada e lamaya. Na neda. Kathawa godariyak lassanayi ❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]

සීතල මන්දිරය 2 කොටස[අභිරහස් කතා/නවකතා]

දඟකාර ආඩම්බරී 1